RSS

51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

28 පෙබ
51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

ගෑස් සිලින්ඩරයක් කොච්චරකල් පාවිච්චි කරන්න පුලුවන්ද? සති තුනයි? මාසයයි? වැඩිම උනොත් මාස එකහමාරක්? හොඳයි. අපි ගෑස් සිලින්ඩරේ අවුරුද්දක් නැත්නම් දෙකක් පාවිච්චි කරනවා කිව්වොත් විශ්වාස කරනවද? මේකට හේතුව අපි නිවාඩුවට ආවම ගන්න ගෑස් සිලින්ඩරේ පාවිච්චි වෙන්නෙ බොහොම අඩුවෙන් නිසා, මොකද අපි වැඩිපුර ඉන්නෙ ගමනෙ  යෙදිලා මහ පාරේ නිසා ගෙදරට ගන්න ගැස් සිලින්ඩරේ වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ. නමුත් අපි  ගෑස් වෙනුවට පොලීසියට දඩ වශයෙන් ඒ බද්ද ගෙවනවා.

ඉතින් පාරෙ ජීවිතය කිව්වම අනිවාර්‍ය අංගයක් තමයි ට්‍රැ‍ෆික් පොලිස්. ගිය දා ඉඳන්ම ට්‍රයි එක කොහොම හරි දඩයක් ගහන්නම තමයි.  ‘ඒක ඒගොල්ලන්ගෙ රාජ කාරියනෙ’, කෙනෙක් කියන්න පුලුවන්. හරි මෙන්න තියෙනවා පොලිස් කතා තුනක් පහුගිය නිවාඩු කාලයෙන්. කියවලාම තීරණය කරන්නකො.

මම දඩ කන තරමක් කන්නෙ වැරදි කීපයකට. එකක් වේග සීමාව ඉක්මවීම. ඒ කියන්නෙ මහ පාරේ හරකෙක් වගෙ එලවලා නෙවෙයි.  ඔය වේග සීමා පුවරු හොයා ගන්න වෙනම ඇහැක් තියෙන්න ඕනෙ සමහර විට. වේග සීමාව දැක්වෙන පුවරුව තිබ්බත් බොහෝ විට වේග සීමාවේ අවසානය දැක්වෙන පුවරු අතුරුදහන් වෙලා.  ඉතින්  එක වේග සීමා පුවරුවකින් පනවපු  වේග සීමාව කොච්චර දුරක් යනකල් බලපවත්වනවද  කියලා කියන්න කාටවත් බෑ. පොලීසියට හැරෙන්න.

අනික ඉරි වලට උඩින් ඉස්සර කිරීම. මේකත් ඒවගෙ. සමහර තැන්වල ඉරි පේන්නෙ නෑ. මැකිලා ගිහින් . අනික තමයි ඉර නිසා ඉස්සර නොකර  කොටන් ලොරියක් (කොටන් ලොරියක් පිටිපස්සෙ කන්දක යන එක අන්තිම භයානක දෙයක්), ට්‍රැක්ටරයක්, කොට කොට යන බස් එකක්  වගෙ වාහනයක් පිටිපස්සෙන් කිලෝමීටර් ගනනාවක් ගාට ගාට ගිහින් ගිහින්, බැරිම තැන ඉස්සර කරනව නේද? පොලිසිය දන්නව එහෙම තැන්. ඉතින් ඒ තැන් වල හැංගිලා ‍රැකගෙන ඉන්නවා. නමුත් සිරිතක් හැටියට ඉරෙන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තෙ කිලෝමීටර් ගානක් රේස් යන ප්‍රයිවට් බස් කාරයව දකින්නෙ නෑ.

එතකොට ඔය ඉරි එක්කම බස් හෝල්ට් දාලා තියෙනකොට සනීපේ කියන්න බෑ.

හොඳයි මෙන්න මේ නිවාඩුවේ පළවෙනි පොලිස් අත්දැකීම.

මැදියම් රෑ පොලිස් දේශනය

මැදියම් රෑක, දඹුල්ලෙ ඉඳලා කොළඹ පැත්තට  එමින් හිටිය මමත් අපිට ඉස්සරහින් ගමන් කල වෑන් එකත් මේ වනකොට බර පැටවූ ලොරියක් පස්සෙන් කිලෝමීටර් විසිපහක් තිහක් ගාටමින් ඇවිදින් තිබ්බා. ඉස්සර කරන්නම බැරි කඳු සහිත පාරෙ දිගටම තිබ්බ සුදු ඉර නිසා. මමත් වරදකට අහු නොවෙන්න අධිශ්ඨාන කරගෙන හිටපු නිසා කවදාහරි ඉවසීමෙන් සැනසීම ලැබෙන කල්  පිටිපස්සෙන් ගෑ‍ටුවා. අනන්තවත් වාහන අපි පහුකරගෙන ඉර කපාගෙන ගියා. දරුණු බෑවුම සහිත කඳුවලදි මම ලොරියට කන්ද නගින්න ඇරලා, ලොරිය ආපහුබලාගෙනත් හිටියා, ලොරිය ආපහු එයි කියලා බයේ.

අන්තිමේදි ඔන්න කඩ ඉරි පටන් ගත්තා. නමුත් දිග කඩ ඉරි. තවත් ටිකකින් ඔන්න කෙටි සුදු ඉරි සම දුරින් තියෙන තැනක් වගේ පෙනෙන්න ගත්තා. වෑන් රියැදුරත් මමත් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා.  ලොරියට ඉස්සර කරලා ආපහු හරි පැත්තට දාන්න හම්බවුනේ නෑ. මෙන්න අර රතු පොලිස් එලිය පොල්ල, ටෝච් එකකුත් එක්ක පාරේ දකුණු පැත්තෙ හැංගිලා ඉඳලා එලියට පැන්නා. කොලපාට ලුමිනස් පටි මේ හැඟීම්බර අවස්ථාවට අමතර අලංකාරයක් එක් කලා.

“SHIT!” මට කැපිටල් අකුරෙන්ම කියවුනා.

පොලිස් නිළධාරිය අතින් පෙන්නුවා නවත්තලා එන්න කියලා.  වෙලාව පාන්දර 12.30 .
මමත් අර වෑන් එකට ඉස්සර කරලා නවත්තලා ගියා බලන්න තත්වය.  මෙන්න ඉන්නවා නිළධාරියා බමණ මතින්! මේ තරමක් ඉහල රෑන්ක් එකක්.

“මහත්තයා වැ‍රැද්දක් කලා කියලා පිළිගන්නවද?”

“නෑ, මම ඉස්සර කලේ කඩ ඉරි වලට උඩින්.”

පොලිස් නිළධාරියා ගැහුවා ටෝච් එලිය පාර මැද්දට.

“මේ කඩ ඉරිද?”

“ඕක මැකිලා නිසා වෙන්නැති, මට නම් වාහනේට පෙනුනෙ ඕක කඩ ඉරක් වගෙ තමයි.”

“කෝ දෙන්න බලන්න ලයිසන්ස් ඉන්ෂුවරන්ස්?”

ටෝච් එලියෙන්ම කියෙව්වා මගෙ රියැදුරු බළපත්‍රය.

“මේක සෑහෙන පරණයිනෙ.”

“ඔවු නමුත් ඕක වළංගුයි”.

“හරි, මේ ලයිසන්ස් එක ගන්න කාලේ කියා දුන්නද කඩ ඉරි ගැන”.

“ඒක නම් මට මතක නෑ, නමුත් මම හයිවේ කෝඩ් එක අරගෙන කඩ ඉරි ගැන ඉගෙනගෙන තියෙන්නෙ.”

පොලිස් නිළධාරියා හරියට FBI එකෙන් සීරියල් කිලර් කෙනෙක් අල්ලගත්ත වගෙ ආඩම්බරෙන් උඩට පහලට ඔලුව වැනුවා.

“හහ්  හහ් හා!” අධික මත් පැන් ගඳට මගෙ නාස් පුඩු පසා කරගෙන ගියා.” මම ලයිසන් ගත්තෙ මේ මෑතකදි. මාත් ඉගෙනගත්තෙ ලර්නර්ස් එකේ පොතෙන්.” (මේ කතාවෙ ඇත්ත නැත්ත මගෙන් අහන්න එපා. මේ ඔහුගෙම වචන)

“හරි දැන්වත් පිළිගන්නවද ඔයා වරදක් කලා කියලා?”

“ඔ‍ෆිසර්, මම වරද පිළිගත්තත් නැතන් මට දඩයක් ගහන්නනෙ යන්නෙ. ඉතින් ඒකෙ වෙනසක් තියෙනවද?”

“අන්න, අන්න මහත්තයට වැරදුන තැන. මහත්තයා පිළිගන්නෙ නැතිනම් වරදක් කලා කියලා දඩ ගහන එක වැරදියි. මහත්තයලා හිතා ඉන්නෙ අපි ඉන්නෙ දඩ ගහන්න විතරක් කියලා නම් ඒ අදහස වෙනස් කර ගන්න. අපි ඉන්නෙ හරි වැ‍රැද්ද පෙන්නල දෙන්නත් එක්කයි. මහත්තයා දන්නවද ලංකාවෙ වැඩියෙන්ම වාහන අනතුරු සිද්ද වෙන්නෙ කොයි පාරෙද කියලා?”

“මේ පාරෙනෙ.”

“හරියට හරි, අපිට පැයකට වැරදි කරන උන් විසි පහක් තිහක් අල්ලගන්න පුලුවන් ඕනෙ නම්. අපි ඉන්නෙ අනතුරු අවම කරන්න.”

මත් පැන් ගඳ දසත පැතිරෙයි.

“කොච්චර හොඳද!”

“හරි දැන් වත් පිළිගන්නවද වරදක් කලා කියලා?”

“ඔ‍ෆිසර් කියනවා නම් මම වරදක් කලා කියලා, මට පිළිගන්න වෙනවා..”

“අන්න, අන්න. මම කිව්වට පිළිගන්න එපා… අවංකව හිතට එකඟව කියන්න.”

“මම මුල ඉඳන්ම අවංකව තමයි කිව්වෙ නෑ කියලා. මමයි අර වෑන් කාරයයි, දැන් කිලෝමීටර්  ගණනාවක් අර  ලොරිය පිටිපස්සෙ ගාට ගාට ආවා. කී දෙනෙක් අපි ඔක්කොටම ඉස්සර කරගෙන ඉරි කපාගෙන ගියාද කියලා මට මතක නෑ.  නමුත් ඔ‍ෆිසර් ඔය කතාව පිළිගන්නෙ නැති බව මම දන්නවා.”

“හරි, මම අහන්නෙ මෙතනදි ඒ ලොරියට ඉස්සර කරලා තමන් වරදක් කලා කියලා මහත්තයා පිළිගන්නවද නැත්ද?”

“ඔ‍ෆිසර්, මම අනිත් අයටත් දෙන අවවාදයක් තමයි කවදාවත් පොලිස් නිළධාරියෙක් එක්ක තර්ක කරන්න යන්න එපා කියන එක, විශේෂයෙන්ම මේවගෙ වෙලාවට. ඒකෙන් කිසිම හොඳක් සිද්ධ වෙන්නෙ නෑ. මොකද හැන්ද තියෙන්නෙ ඔයාලා අතේ. මට තියෙන්නෙ මගෙ වචනය විතරයි. ඔන්න ඕකයි අවංකවම කිව්වොත් ඇත්තම තත්වය. මම දැනුවත්ව වරදක් කලේ නෑ. මෙතන ඉරි මැකිලත් එක්ක. ඉස්සර කලේ ඉවසලා ඉවසලා බැරිම තැන”

“මහත්තයා, ඉස්සර කරන්න බැරි තැන් මොනවද?”

“ඩබල් වයිට් ලයින්, සිංගල් වයිට් ලයින් තියෙන තැන්, පෙඩස්ට්‍රියන් ක්‍රොසිං,  එතකොට  නගරයකදී, පාලමක් උඩදී, කන්දක් මුදුනෙදි… එතකොට ඉස්සරහ මාර්ගය පැහැදිලි නැති වෙලාවට….”

“බ්ර්ර්ප්!”

මගේ ගුරුතුමාගේ හදිසි ගුඩුස් යැවීමෙන් ඇතිවූ සුගන්ධයෙන් මගේ ලැයිස්තුව හදිසියේ ක්‍රියා විරහිත වුනා.

“දැන් එතකොට ඔය ඉරි අනං මනං නැති ඔය කඳුකරයෙ පාරවල් වල ඩ්‍රයිවර්ලා කොහොමද එලවන්නෙ?”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ ඉස්සර කරන්න හොඳ තැන් මොනවද, කවුද ඉස්සර වෙලා යන්නෙ පාරෙ ප‍ටු තැනින්, වංගුවෙන් වගෙ.”

“ඔ‍ෆිසර්ම කියන්නකො.”

“සුහදත්වයෙන් මහත්තයා. සුහදත්වයෙන්!”

“අහ් හා!”

පාඩම මොහොතකට නැවතූ නිලධාරියා විදුලි පන්දම පාරේ අනිත් පැත්තේ නවතා තිබූ මගේ වෑන් රථයට එල්ල කලා.”

“කවුද අර වෑන් එකේ ඉන්නෙ? ෆැමිලි එකේ කට්ටියද?”

“ඔව්, මගෙ වයිෆුයි, පුතයි.”

“කොහෙද මේ රෑ වෙලා ගියේ.”

“අපි යාලුවෙකුගෙ ගෙදර ගිහින් මේ කොළඹ පැත්තට යනවා ගෙදර යන්න.”

මම එක වර පිළිතුරු කීපයක්ම දුන්නා, කතාව කෙටි කරගන්න.

“මහත්තයා දන්නවද, මට ඕනෙ නම් ඔය වාහනේ ලඟට ගිහින් වැරදි පහක් හොයලා පෙන්නන්න පුලුවන් බව ඕනෙ වෙලාවක. ඔන්නම් බලමුද?”

“ඕනෙ නෑ ඔ‍ෆිසර්. මම දන්නවා එහෙම පුලුවන් බව. හැන්ද තියෙන්නෙ ඔ‍ෆිසර්ගෙ අතේ බව මම දන්නවා.”

“වැරදි නැති වාහන හොහන්න අමාරුයි මහත්තයා.”

“ඔ‍ෆිසර් මතක් කරපු නිසා කියන්නම්. මම අද උදේ පොලිස් ජීප් එකක් පිටිපස්සෙ ගියා සෑහෙන දුරක්. දුම ගැන කියලා වැඩක් නෑ. වැරදි සීයකට වැඩිය තියෙන්න ඇති වාහනෙයි, එලවපු විදියෙයි!”

යන යකා කොරහත් බිඳගෙන ගියදෙන්!

“මම පිළිගන්නවා” පොලිස් නිළධාරියා මෙපමන වෙලා අතේ තබාගෙන සිටි මගේ ලියකියවිලි මගේ අතට දුන්නේ මා පුදුමයට පත් කරමින්.

“දැන් රෑ වුනා. පරිස්සමින් ඕවර්ටේක් කරන්න. ගිහින් එන්න. ගුඩ් නයිට්!”

“ගුඩ් නයිට් ඔ‍ෆිසර්, තැන්ක් යූ”

වෑන් එකට නගින ගමන් නිකමට ඩෑෂ් බෝඩ් ඔරලෝසුව දෙස බැලුවා. විනාඩි තිස් හතක දේශනයක්. ඇත්තෙන්ම මේ දේශනය මීට වඩා හුඟක් දිගයි. එකම දේ දෙතුන් වර කියවුනා. දිග වැඩි නිසා සංශෝධනය කරලා තියෙන්නෙ.නමුත් දඩයක් කෑවෙ නෑනේ.

“මොකද වුනේ?” දීපා ඇහුවා.

“ඒක දිග කතාවක්.මම යන ගමන් කියන්නම්. දඩයක් ගැහුවේ නෑ!” මම ලියකියවිලි සන්වයිසරය පසුපස ඇති ෆ්ලැප් එක ඇතුලට ඔබන ගමන් කිව්වා.

 

About henryblogwalker

A keen blogger who jogged up most of my blogs while jogging. Interests..Hmm Hell of a lot. Sri Lankan but working overseas.

ටැග: , , , , , , , ,

15 Responses to 51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

  1. පන්සල් හංදිය

    28/02/2012 at ප.ව. 12:49

    දඩේ ගැහුවනං හොඳයි කියලා හිතෙන්න ඇති නේද, පුදුමයි ජරාවක් ඉල්ලුවෙ නැතුවා ….

    කේස් එක තියෙන්නෙ අපිට වැරදිලාවත් කතරගම පැත්තෙ ගිය වෙලේක දඩයක් ගැහුවොත්, අපේ ලයිසල් එක ගන්න අපි කතරගමම යන්න එපැයි, ඔන්න ඔය අඩුපාඩුව හදන්න පුලුවන් නං පොලිසියට ජරාව යන එක ටිකක් විතර අඩු වෙනවා …….

     
    • henryblogwalker

      28/02/2012 at ප.ව. 1:06

      අපිට එහෙම වෙලා තියෙනවා. එතකොට කරන්නෙ දඩේ ගෙවන්න යන එක තව ට්‍රිප් එකක් කරගෙන තව කොහෙ හරි ගිහින් එන එක. එක පාරක් දඩේ ගෙවන්න කුරුණෑගල ගිහිනෙ අනුරාධපුරෙත් ගිහින් ආවා.

       
  2. emailkavikaari

    28/02/2012 at ප.ව. 12:52

    ඔබ මගේ ඝනයේ රියැදුරෙකු වීම ගැන මගේ බලවත් ප්‍රීතිය මෙසේ ප්‍රකාශ කර සිටිමි.

     
    • henryblogwalker

      28/02/2012 at ප.ව. 1:09

      ස්තුතියි, ඒත් අපි දෙන්නම අයිති මේ ගනය ගැන තව චූට්ටක් පැහැදිලි කලොත්…?

       
      • emailkavikaari

        05/03/2012 at පෙ.ව. 8:07

        ඔ‍ෆිසර්ව පෙරලා ප්‍රශ්න කරන, තමන්ගේ නිවැරදි භාවය කෙසේ හෝ තර්ක මගින් ඔප්පු කරන, නීතිගරුක, යනාදී මෙකී නොකී කාරණා නිසා………… පොලිසිය මාව නවත්තපු හැටියෙම මගෙ දෝණිත්, පුතත් පොඩිකාලෙ ඉඳලම කියන එකක් තමා “පොලිසිය අපෙ අම්මගෙං මාර්ග නීති සංග්‍රහය ඉගෙනගන්ට හදන්නෙ කියල”

         
  3. Observer

    28/02/2012 at ප.ව. 2:19

    කියලා වැඩක් නෑ හෙන්රි ඕකුන්ගේ පණ්ඩිත ටෝක් අහගෙන ඉන්න ගියාම පිස්සු හැදෙනව. මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනව, අඬන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බැරි.

     
  4. බුද්ධි

    28/02/2012 at ප.ව. 3:29

    උඔගෙ බ්ලොග් එකෙ හින්දා කියෙව්වා මිසක් මම නං පොලිස් කතා අන්තිම අරහං…… මටත් එක පාරක් හෙන පෝරියල් එකක් සෙට් කරන්ඩ ගියා කට්ටිය. මම ඒකෙනේ ගැලවු‍නේ මම අකමැතිම වැඩක් කරලා. ඒ කියන්නෙ ලොකු අත්තක් අල්ලලා. කැමති නැති උනත් කරන්න දෙයක් නෑ. වෙන කරන්න දෙයකුත් නෑ… උං එහෙමනං අපිත් එහෙමයි කියලා හිත හදා ගත්තා.

     
  5. kinkusa

    28/02/2012 at ප.ව. 5:58

    wmachan meka meka atta kathawak. mama and mage boss party ekakta gihin enaawa. alluwa poliyena awa lanagata. mage boss ahuwa aie mokda kiyala. meka id ekath dika karagena kiywanna gatta. mage bossa banna thoge amamta kiyapiya hut… puta oka. kiyala banna amu kunu harupen.
    banala api awa. echchari. polie karaya baya una. taawth police karayek kiyala.
    mokda dananwada poliyen podi ewunta lokko katha karanna kunu harupen. mage bossage thatta SSP kenek nsa eka dnanwa e wachana set eka.

     
  6. මඩිස්සලේ නිශාන්

    28/02/2012 at ප.ව. 7:14

    තනි පොලිස් නිලදාරියෙක් විතරක් සිතනවා නම් දඩ ගහන්න බැහැ.ඒ විතරක් නෙවේ එවෙලේ ඔහු බීමතින් සිටි බව ඔබට ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලේම අදාළ නගරයේ (වසමේ) පොලිස් ස්ථානයට ඔහු ගැන දැනුම් දෙන්න පුළුවන්.

     
  7. ගෝල්ඩ් fish

    28/02/2012 at ප.ව. 10:07

    අප්පෙ ඔය වගේ අත්දැකීමක් මටත් තියේ… මට නම් විනාඩි 37ක් නෙමෙයි ගෙඩි පිටින් පැය එක​හ මාරක්… පාන්දර දෙකේ ඉඳන් තුනාමාර විතර වෙනකං….

     
  8. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති)

    29/02/2012 at පෙ.ව. 3:19

    මමනං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ . . මගෙ පාඩුවෙ . . ලියන්නකො රාලහාමි . . කියනව එච්චරයි . . . බුවා ලීවොත් මොන කට්ටක් කාල හරි දඩේ ගෙවනව . . ඒත් වැඩි හරි එහෙම කීවම ලියන්නෙ නෑ

     
  9. Makulu Panchi

    29/02/2012 at පෙ.ව. 4:07

    කොලපාට ලුමිනස් පටි මේ හැඟීම්බර අවස්ථාවට අමතර අලංකාරයක් එක් කලා……..හිකිස්..මට මැවිල පේනවා… :D

     
  10. ලොකු පුතා

    29/02/2012 at ප.ව. 1:52

    මදෑ ඔයිං ගියා… :)

     
  11. hiruni

    29/02/2012 at ප.ව. 11:06

    “බ්ර්ර්ප්!”

    මගේ ගුරුතුමාගේ හදිසි ගුඩුස් යැවීමෙන් ඇතිවූ සුගන්ධයෙන් මගේ ලැයිස්තුව හදිසියේ ක්‍රියා විරහිත වුනා.

    මේක තමා කතාවෙ හිනාම යන කෑල්ල. ඩුඩ් මේ සුන්දර වැඩි දෙනෙක් වරදක් විදියට නොදකින මේ ක්‍රියාව ගැනත් වෙනම බ්ලොග් එකක් ලියමුකො. හිහ් හිහ් හිහ්

     
  12. නවම්

    03/03/2012 at පෙ.ව. 11:08

    හපොයි මං නං අහුවෙච්ච හැම වෙලාවකම ලියන්න රාලහාමි, කමක් නෑ, මොනව කරන්නද කියල කියනව, අහුවෙච්ච හතරපාරෙන් එකම එක පාරයි දඩේ ලිව්වෙ ඒත් රුපියල් සීයකට. ඒක ගෙවන එක හොඳයි දේසනාව අහනවට වැඩිය. ඊටත් බය තියෙන්නෙ ඒ දේසනාවට මගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියල විස්වාස නැති නිසා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

 
Follow

Get every new post delivered to your Inbox.

Join 33 other followers