RSS

Monthly Archives: ජූලි 2011

5.පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

5.පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

උමේෂ්ගෙ ඩැඩී ටිකක් එක විදියක චරිතයක් කියලයි මට හිතෙන්නෙ. එයා වැඩිය ගෙදර ඇත්තෙත් නෑ. සති අන්තයෙ විතරයි ගෙදර එන්නෙ මොකද එයා ඈත පලාතක උසාවියක වැඩ කරපු නීතිඥයෙක් නිසා. හිටියත් කා එක්කවත් වැඩි කතාවක් නෑ. මම මග ඇරලමයි හිටියෙ. මට හිතුනෙ ඇත්තටම මම එහෙ ඉන්නවට එයා කැමති නැතුව ඇති කියලයි. ඒ මට ඒ දවස්වල හිතුන හැටි.

මම දවසක් සුරේශ්ගෙන් ඇහුව “මොකද බං උඹලගෙ ඩැඩී මාත් එක්ක ඔරොප්පුද?” කියල. “අනේ නෑ බං. ඒ එයාගෙ හැටි. උඹ අප්සෙට් වෙන්න එපා. සමහර වෙලාවට මමීගෙන් අහනවලු උඹ ගැන – අර ලමයා කාලද ඉන්නෙ කියලත්” සුරේශ් කිව්ව.

නීතිඥයෙක් හන්දද කොහෙද ගෙදර කෑම මේසෙත් එයා ඉන්නකොට උසාවියක් වගෙ තමයි. නිශ්ශබ්දයි. වචන පාවිච්චිය පරෙස්සමෙන් – අවශ්‍යම දේකට පමණයි. උමේෂ් කෑම මේසෙදි ඩැඩීට කතා කරනව මං අහල තියෙනව “Yes sir!”, “No sir!” කියල.උසාවියක වගෙ.

ඒ වගේමයි මෑන් හරිම unpredictable. හිටපු ගමං මහ හයියෙන් ඕනැ කෙනෙකුට ඕනැ තැනකදි බනින්න පුලුවං. කොකු කිං.

“අනේ බං මම ඩැඩිත් එක්ක ගමං යන්න කැමතිම නෑ. මොකද හෙන කොක්කනෙ. මමී මාව බලහත්කාරෙන් යවන නිසයි යන්නෙ. ඒ මදිවට අර බෑග් එක – බෑග් එකක් කිව්වට අර නයි මල්ල ඕකත් මං උස්සං යන්න එපැයි බං. ඔන්න අහපංකො දවසක් වෙච්ච වැඩක්… හොදි ඕනැ නෑ!”

“ඔන්න දවසක් ඩැඩී මාව ඇදගෙන ගියා එයා වැඩකරන දිහාට. මාත් ඉතිං ගියා. ආපහු එන්න දෙන්න එක්ක ආවා බස් හෝල්ට් එකට පහුවදා කුකුලා අතින් අරගෙන.ඉස්සෙලම මට දුන්නා එයාගෙ අර නයි මල්ල. මට හරි ලැජ්ජයි ඕක උස්සගෙන යන්න. ඒත්  ඉතිං කරන්න දෙයක් නැහැනෙ.

දැන් දෙන්න එක්ක ඉන්නව බස් හෝල්ට් එකේ හිටගෙන. ඔන්න ඉතිං දැන් තව කට්ටිය එකතුවෙනව. මම හෙමිහිට තිබ්බ බෑග් එක බිමිං.   මෙන්න යකෝ  දැං ඉස්කෝලෙ යන කෙල්ලො ගැන්සියකුත් ආවා. ආපු වෙලේ ඉඳල කිචි බිචිය. මාත් දැං සැහෙන උනන්දුවෙං ඉන්නෙ ඒ පැත්තට ඇහැ දීගෙන. ඇත්තටම එකක් හරියාගෙන වගෙ තමයි ආවෙ.

කරුමෙට කකුල් අටයි කියනවනෙ බං. ඔන්න එතකොටම පාත් වුනා කොහෙද දඩාවතේ යන නා‍ටු බල්ලෙක්. මූ ආවා. ඉව කරා ඉස්සෙල්ලම බස් හෝල්ට් එකේ කනුව. ඉස්සුව කකුල. ඇරිය ටැප් එක.

බස් එකක් නැතුව වේලි වේලි හිටපු උං ඕක දැකල මදහස පෑව. කෙල්ලො හිකි හිකි ගෑවා.

මට විතරක් හිනා ගියෙ නෑ. මොකද මට තියෙනව අර සිංහලෙන් sixth sense කියන එක. මොකක හරි විනාසයක් අත ලඟ එන කොට මගෙ මුලු ඇ‍ඟේම රෝම කූප වලට දැනෙනව. තොල කට වේලිලා හීං දාඩියක්. දානව. කන් වලට ඇහෙන්න ගන්නව හර්දය වස්තුව ගැහෙන හඬ. මේ වෙලාවෙත් ඔය ඔක්කොම පිලිවෙලින් වුනා.

මේ පර බල්ල බස් හෝල්ට් එකේ උගෙ ටෙරිටරිය මාක් කරල හැරුන යන්න. එතකොටම මූ දැක්ක බිම තියෙන නයි මල්ල. ආව ලඟට. ඉව කරා හොඳට.  මම ගල් ගැහිල ඉන්නව මොකද බෑග් එක මගෙ කියල ක්ලේම් කරන්න දැන් කොහොමත් බෑනේ.

ඉතුරු ටික උනේ ස්ලෝ මෝශන්. බල්ල ඉස්සුව කකුල. ඇරිය ටැප් එක. මට කලන්තෙ වගෙ දැනුනා. කෙල්ලො හිකි හිකි ගෑවා. කවුද පොරක් “චැහ් කාගෙද දන්නෙ නෑ බෑග් එක” කියනව  ඇහුනා.

මෙච්චර වෙලා පත්තරේ කියව කියව හිටපු ඩැඩීට ඔය කෑල්ල ඇහෙන්න ඇති. ඩැඩී පත්තරේ මෑත් කරල කන්නාඩියට උඩින් ඔරවලා බැලුවා. මම අසරණව බලා හිටියා. ඩැඩීගෙ ඇස් ලොකු වුනා. කට ඇද වුනා. දත් මිටි කාලා මං දිහා බලල “යකෝ පොට්ට වෙලාද? බල්ල හුජ්ජ කරනකං  බලං හිටියෙ බෑග් එකට?” කියල ගිගුරුවා.

කාඩ් කුඩේ කුඩු. පටි හතම රෝල්. කෙල්ලො අත් වලින් කටවල් වහගන්නව මට ඇස්කොනින් පේනව. මොනව කරන්නද? මම බෑග් එක වඩා ගත්ත. කෙල්ලන්ගෙ කටවල් වලිං හිකිස් ගාල හිනා පනිනව මට ඇහුනා. කෙල්ලො දැන් බක බක ගාල හිනාවෙන්නෙ.

ඔන්න එතකොටම බස් එක ආවා. කට්ටියම දිව්ව බස් එකට. ඒත් ඩැඩීටයි මටයි කලිං තිබ්බ හදිස්සිය නෑ වාගෙ. “හ්ම්හ්, හදිස්සිකාරයො ගියදෙං.” කියලා ඩැඩී කිව්වෙ ඇත්තටම මං ගැන අනුකම්පාවෙන් කියල මට තේරුනා.”

මට හිතෙන හැටියට මේ කොල්ලෙකුගෙ අසරණකම උපරිමයටම පිළිබිඹු වෙන කතා පිංචක්… මොකද හිතන්නෙ?

 

ටැග: , , ,

4.පැඩිඩිලියන් 2 – වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර


මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්.

සුරේෂ් තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.

යකෝ, උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල කෂ්ටියට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම යංකෝ.

පැන්නනෙ පීලි. මේ පවුලෙ උන් ඔක්කොම මට ඒ දවස්වල මගේම පවුලෙ උන් වගේ තමයි. තමන්ගෙම දරුවෙකුට වගේ තමයි මමීත් මට සැලකුවෙ ඇත්තටම.

ඉතිං, මේ නොමිලේ වාසය කිරීම හිතට වද දෙන නිසා. මම දවසක් ලොකු එළවලු මල්ලක් අරං ගෙදර ආවා. ගෙට ගොඩ වෙනකොටම ඕක දැකපු සුරේශයා උගෙ අර කැත හිනාව දාලා “කොහෙද බං උඹ මේ යන්නෙ අතිං කටිං එල්ලගෙන?” කියල ඇහුව.

මමත්, “මේක ගිහිං ඇතුලෙං තියපංකො හොඳ එකා වගේ” කියලා කිව්ව ගොනා වගේ.

“ඒයි! උඹ මේ මෙහෙටද ඕක ගෙනාවෙ?” කියපූ මූ බෙරිහන් දෙන්න ගත්තෙ නැත්ද,

“මමී, මමී, මෙහෙ එන්න. මේං මූ නැදෑ ගම් ඇවිල්ල.”කියල.

කට්ටියම දුවගෙන ඇවිත් මාව වටකරගෙන, කිච කරා මාව නැතිවෙන්නම.

ඊට පස්සෙ මං ගෙනාපු එළවලුවක් උයන ගානෙ මාව මඩවනවා.

“අද උයල තියෙන්නෙ පරිප්පුයි, හෙන්රියගෙ/අරූගෙ/උඹේ (සුදුසු වචනය යොදා) බෝංචියි, පපඩනුයි…” යනාදී වසයෙන්.

කොහොම හරි කතාව ඉවරවෙන්නෙ මමී මන් දිහා හිනාවක් එක්ක බලං ඉඳල ” You are a wonderful…” කියනකොටම මම පැනල, ” idiot ” කියල සම්පූර්ණ කරනව මමී ඊට වැඩිය හොඳ වචනයක් දාන කලිං..

ඒ එළවලු ටික ඉවරවෙච්ච දවස මට පුදුමාකාර අස්වැසිල්ලක් සහනයක් ලැබිච්ච දවසක් කියලයි මට හිතෙන්නෙ. පස්සෙ මම හොස්ටල් එකට යන කල්ම, ඒ වගෙ ගොං වැඩක් කලේ නෑ.

ඉතුරු කතා පස්සෙ අහමුකො.

 

ටැග: , , , , , ,

3. පැඩිඩිලියන්ලා

3. පැඩිඩිලියන්ලා

අපි අධිරාජ්‍යවාදීන්ගෙන් නොයෙකුත් දේවල් අරන් තියනවනෙ. කමිස, සපත්තු, එතකොට සිල්වා, පෙරේරා වගෙ දේවල් සිංහල නොවන බව නොදන්න කට්ටියත් අප අතර ඉන්නවා. ඒත් අහල තියෙනවද පැඩිඩිලියන්ල ගැන?

මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.

අම්මෝ එහෙම කාලයක්… වැඩි විස්තර කියන්නම්කො පස්සෙ බ්ලොග් වල.

ප්‍රී සර්විස් එකෙන් පස්සෙ උමේෂුයි මායි දෙන්නම දාපි අනිවාර්ය දුෂ්කර සේවයට අම්පාරට. හොඳ වෙලාවට අපි දෙන්නම වැ‍ටුනෙ නගරයෙම තියන ලඟ ලඟ ඉස්කෝල දෙකකට. සාමාන්‍යයෙන් දුෂ්කර සේවයට යන හැමෝම වගෙ දුෂ්කර සේවය දකින්නෙ පන පිටින් අපායකට යෑමක් වගෙනෙ. ගිය දා ඉඳල බලන්නෙ ආපහු මාරුවක් හදාගෙන එන්නයි. අපිත් ඉතිං එහෙමම තමා. හැබැයි  කාලයක් ගියාම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට දැන් ඒ පලාත් ගැන තියෙන්නෙ ඇත්තටම  nostalgia  එකක්. (ඒකෙ ඉංග්‍රීසි වචනෙ නම් දන්නෙ නැ පු‍තෝ. ඔරොප්පු අවසර! )

මේ පැඩිඩිලියන් සෙට් එකේ තියෙන කැපී පෙනෙන අංගය තමයි කට. ‘කට නැත්නම් යකෝ මෙලහට බල්ලොත් ඇදගෙන ගිහිල්ලා අපිව’ කියල තමයි  ස්වයං අර්ථකතනය කට ගැන. අනික රස හෝ නීරස ඕනැම කතන්දරයක් ලුණු ඇඹුල් දාලා, ඇදල පැදල, කටෙන් වෙට්‍ටු දාලා, තමයි කියන්නෙ ව්‍යක්ත සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්.

අම්පාරට අපි යන්නෙ නුවර පාරෙ – වංගු 18, මහියංගනය, පදියතලාව හරහා. ඕකෙ යන්නෙත් අර එල්ෆ් රූට් වෑන්, හයි ඒස්, වගෙ බට්ටො. ඒ දවස් වල දන්නවනෙ මග දිගට චෙක් පොයින්ට්. දවසක් පදියතලවෙ හරි මහඔය හරි කට්ටිය බස්සල චෙක් කරනවලු. දන්නවා ඇතිනෙ ක්‍රමය? මුලින්ම වාහනේ නවත්තල කට්ටිය බහිනව. “හා අයිඩෙන්ටිටි කාඩ්, බෑග් අරන් පෝලිමේ එන්න!” කියල අණ ලැබෙනව. වාහනේ චෙක් පොයින්ට් එක පහු කරල ගිහින් නවත්තගෙනෙ බලා ඉන්නව. චෙක් කරල  ඉවර අය එක එක්කෙනා ගිහින් වාහනේට නගිනවා.

එදා උමේෂය තියාගෙන ප්‍රශ්න කරනවලු. බස් එකේ ඉන්න උන් බලා ඉඳල ඉඳල මල  පැනලලු. ඒත් මූ නෑලු. අන්තිමට සැහෙන වෙලාවක පස්සෙ මූව එවල. මූ මූන රතු කරගෙන ඇවිත් බස් එකට නැග්ගම මිනිස්සු පටන්ගත්තලු මුගෙන් මුල ඉඳල ප්‍රශ්ණ කරන්න.

“මොකද මහත්තයො මෙච්චර වෙලා?”

“ආ.. ඒ මගෙ නම ටිකක් හොල්මන්නෙ. අරගොල්ලාන්ට පොඩ්ඩක් සැකයි”

“ඇයි මහත්තය සිංහල නෙවේද? ” මිනිස්සු ඇහුවලු ටිකක් සැකෙන්.

“සිංහල තමයි ඕයි” දැන් මුගෙත් රතු කට්ට පැනගෙන එන්නෙ.

“හැබෑටම මොකකද මහත්තයගෙ නම?” පොරක් දැන් සාම ටෝක්.

“උමේශ් පැඩිඩිලියන්”

කට්ටියම හොල්මන්ලු දැන්.

“පැඩි.. මොකක්?”

“පැඩිඩිලියන්”

“ඒ මොන නමක්ද මහත්තයො?”

“මේකනෙ, අපේ මී මුත්තා ඉස්පාඤ්ඤ කාරයෙක්නෙ.” මූ කියපි.

“මොන මගුලක්ද මහත්තයො. මනුස්සයෙකුට කියවගන්න පුලුවන් නමක් දාගන්නවකො නිකන් මේ මිනිස්සු රස්තියාදු නොකර!!

මූ පස්සෙ අපිට කතාව කියනකොට පොර හොඳටම කූල් වෙලා හිටියෙ.

 

ඉතුරු කතා පස්සෙ අහමුකො.

 

ටැග: , , ,

2. එම්බා ලෝක වැසියනි,


ඔන්න බොලේ මාත් බ්ලොග් එකක් පටන් ගත්තා.මේක මව් භාෂාවෙන් කොටා ගන්න එක තමයි දැනට පොඩි ලෙඩකට තියෙන්නෙ. කොහොමටත් කෝ-කෝ-ටයිපිංනෙ. ඔය ප්රයවීන බ්ලොගාලත් මන් හිතන්නෙ එහෙම වෙන්න ඇති නේද? හැක්..හැක්?
මට හැමදාම හිතෙන දෙයක් තමයි මං වගෙ හිතනවුන් තවත් ලෝකෙ ඇති නේද කියන එක. මට දැනගන්න ලැබෙයිනෙ ප්‍රතිචාර කියවනකොට.
මේ සිංහල බ්ලොග් වලට මම ඇබ්බැහි වුනේ මුලින්ම යාලුවෙක් -කෝකිල (නම කෝකිල උනාට සින්දු නම් පැල්කවි කරනවා මූ..හැක්..හැක්) ටැබූ සබ්ජෙක්ට් පෝස්ට් එකක් ගැන චැට් කරන වෙලාවක කිව්වමයි. ඊට පස්සෙ ඒකෙ රහට ඒ ලින්ක් එක ඔස්සෙ එකෙ තිබුනු අනිත් ලින්ක් දිගෙ එල්ලිල බඩගාලා අනිත් සිංහල බ්ලොග් වලට ගියා. හුටාපරිජාලං! ගියාට මොකද කියවන්න බෑනෙ. පස්සෙ සිංහල ෆොන්ට් හොයල ඉන්ස්ටෝල් කරල සැහෙන කට්ටක් කාලා තමයි සිංහල බ්ලොග් කියවන්න පුලුවන් විදියට හදාගත්තෙ.
දැන් මේකෙ රහ කොච්චරද කිව්වොත් අර මුලින්ම මට මේක දීපු කෝකිලයවත් නොගිය බ්ලොග් වලට මං යනව. කොටින්ම ඒකාටත් බ්ලොග් ලිපින කීපයක්ම කිව්වෙ මම..අර ලාස්ට් රෝ (අන්තිම පේලිය) වගෙ ඒව. හැබැයි මට සිංහල බ්ලොග් හඳුන්වාදීමේ ගෞරවය ගෙඩි පිටින් ලැබෙන්නෙ කෝකිල තුමාටයි.
මේකත් අර හරියට අබිං කෑව වගෙ තමා. මම ඇත්තටම ඊයෙ පටන්ගත්ත මගෙ ඉංග්රී සි බ්ලොග් එක. අද තමයි හා හා පුරා කියල මව් භාෂාවෙන් සමාන්තර බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒ මේක තමයි. මටයි මගෙ බ්ලොග් එකටයි ජයවේවා!!
ඉතිං මං කියවන අනිත් බ්ලොග් වලටත් ලින්ක් දාන්නම්කො පස්සෙ
එහෙනම් පස්සෙ හම්බවෙමු.

 
ප්‍රතිචාර 9

Posted by මත ජූලි 14, 2011 in Uncategorized

 

1. Hello world!


Welcome to WordPress.com. After you read this, you should delete and write your own post, with a new title above. Or hit Add New on the left (of the admin dashboard) to start a fresh post.

Here are some suggestions for your first post.

  1. You can find new ideas for what to blog about by reading the Daily Post.
  2. Add PressThis to your browser. It creates a new blog post for you about any interesting  page you read on the web.
  3. Make some changes to this page, and then hit preview on the right. You can alway preview any post or edit you before you share it to the world.