RSS

Daily Archives: සැප්තැම්බර් 7, 2011

17. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.


ගුරු පුහුණුවෙන් පස්සෙ අනිවාර්ය දුශ්කර සේවයෙ ඉතිරි ටික සම්පූර්ණ කරන්න මටත් යන්න වුනා මහවැලි “සී” කළාපයට. මේ ප්‍රදේශය ඒ කාලෙ කොච්චර සනීපද කියල බලාගන්න පුලුවන් මේ ගැන හොඳම අත්දැකීම විස්තර කරල තියෙන මගෙ හොඳම නිර්මාණය හැටියට මම සලකන “Deepa, Please Don’t Ask What Happened To The Tomatoes”  කියන මෙන්නෙ මේ ලින්ක් එකෙන්. කඩුවට කැමති අය ගිහින් එන්නකො.

ඔන්න ඉතින් ගැබිණි බිරිඳත් ගෙදර තියලා ගමන් මල්ලත් උස්සගෙන වංගු දහ අට, හසලක, මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ පහුරකගෙන  මං ගියා දුෂ්කර සේවයට දෙහිඅත්තකණ්ඩිය පැත්තට. කැලෑ මැද්දෙන් මෝටර් ග්‍රේඩර් වලින්හදපු දූවිලි පාරවල්. මයිලපිටිය, දිවුලපිටිය පැත්තෙන් ගෙනත් පදිංචි කරවපු ජනපදිකයො. අලුත්ම පාසැල් ගොඩනැගිලි නමුත් ජල විදුලි සැපයුම් මොකුත් නෑ. කිවුල් වතුරෙන් හදපු තේ  බොන්නෙ යුතුකමක් හැටියට.

ඉතින් මේ මොන අපායක්ද යකෝ කිය කියා, ඉසුරුපායෙ ගුණවත් පුත්තරයන්ගෙ මව්වරුන්ගෙ ගුණ ගයමින්, බට්ට වෑන් එකෙන් බැහැලා, බෑග් එකත් උස්සගෙන, පාර අහ අහ, ගෑ‍ටුව ඉස්කෝලෙ හොයාගෙන. ඉස්කෝලෙ වත්තෙමයි ගුරු නිවාසත් තියෙන්නෙ. විදුහල්පති බ‍ටුවන්ගල ඉතාම ආදරයෙන් පිලි අරගෙන දීපු කොච්චර බිව්වත් තිබහ නොයන කිවුල් වතුර එක මම හුස්මට බීල දැම්ම.

කොච්චරවත් හපේ ගහගෙන ඉන්න බ‍ටුවන්ගල කඳුකරෙන් ආපු ඩයල් එකක්. හවසට තමන්ගෙම ගෝලයන්ගෙ ගෙවල්වල පිල් කන්ඩි උඩ ඉඳගෙන ගෝලයන්ගෙ තාත්තල ගරු සරු ඇතුව පෙරලා දෙන නැ‍ටුම් තෙල් ගහනවා. මම පස්සෙ දැනගත්ත දෙයක් තමයි මේ ජනපදිකයො තමන්ගෙ ගම් බිම් අත හැරලා මෙහෙට සංක්‍රමනය වෙනකොට සමහරු මොනවා නැතත් පෙරන්න අවශ්‍ය බඩු ටික නම් ලොරියෙ දාගෙන ඇවිත් තියෙන බව.

“මිස්ට බ්ලොග්වෝකර්, මූණ කට හෙම හෝද ගන්නකෝ අර පිටිපස්සෙ තියෙන ටැංකියෙන්. ගමන් මහන්සියත් ඇතිනේ. පොඩි දුරක්යැ කොළඹ ඉඳන් එන්න ගියාම” ලොක්කා කිව්වා.

  මමත් ඒ කියන විදියටම  කරලා වෙන ටී ෂර්ට් එකකුයි ලීවයි’ස්® එකකුයි (ඇඩ් එකක් තමයි) ඇඳගෙන ගියා විදුහල්පති බ‍ටුවන්ගල එක්ක රටතොට බලන්න. ඔන්න ඇවිදල කරලා ගිහින් ඉඳගත්තා එක ගෙදරක පිල් කණ්ඩියක. කිව්වත් වගෙ මේ බුවා ගමේ සෑහෙන ජනප්‍රිය බව පෙනුනා.

  ගෙදර මනුස්සයා ගෙනත් තියපු ක‍ටුකම්බි බෝතලෙන් ෂොට් එකක් වක්කරගන්න ගමන් ලොක්කා මගෙනුත් ඇහුවා,

“මිස්ට බ්ලොග්වෝකර් නම් ඉතින් ‘සුදුවා’ ගන්නෙ නැතුව ඇතිනෙ” කියලා. මම නෑ කියලා චප්ප වෙලා තිබ්බ පැකට් එකෙන් ක්‍රෑන්ක් ශාෆ්ට් එකක් වගෙ ඇදවෙච්ච සිගරට් එකක් අරන් පත්තු කරගත්තා.

රෑ වැනි වැනි ගෙදර එන ගමන් තවත් ළඟ ඉස්කෝලෙක ගුරු නිවාසෙකට රිංගුවාම බලාපොරොත්තු වුන ආකාරයටම කෑමටත් ආරාධනා ලැබුනා. ඒකත් කාල තව ටිකක් සතු‍ටු සාමීචියෙ යෙදිලා (බට්ටත් තෙල බෙදන්න දෙයියා) ආපහු ඉස්කෝලෙට එනගමන් පොර කියනවා,

“මිස්ට බ්ලොග්වෝකර්, මෙහෙ කලුවරේනම් යන්න එපා පු‍තෝ, මොකද මෙහෙ ඉන්නවා විෂකුරු සර්පයෙක් ‘හබරා’ කියලා.”

මම කොහොමත් සර්පයොත් එක්කවත් උන්ට කැමති එවුන් එක්කවත්  ආශ්‍රයක් නෑ. කොටින්ම ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා එක්කත් මම තරහයි සර්පයො නිසාම. අර වයිල්ඩ් ලයිෆ් ගාමිණි සමරකෝන් ආශ්‍රය කරන්නෙ එදා ඉඳල බොක්ක නිසා.

දැන් ඔන්න ආපහු ගුරු නිවාසෙටත් ආවා. ලයි‍ටුත් නැතුව පට්ට ආතල්. ලාම්පුතෙල් එලියට පුරුදු වෙන්නත් ටිකක්  අමාරුයි. ජල විදුලිය සැපයුමක්  නැති වුනාට වයරින් කරලා ටැප් හයි කරලා තියෙන්නෙ බඩු ආපු ගමන් දෙන්න. අනික තව අලුත් ගුරුනිවාස දෙකක් හදාගෙන යනවා. මේක ඇත්තටම විදුහල්පති නිළ නිවාසය. බට්ටා තනියෙම ඉන්නෙ වයිෆ් බබත් එක්ක ගමේ ගිහින් නිසාලු. ඒක හන්දම පොර දුක තුනී වෙන්න කන් පාත්වෙන්න ගහනවා.

දැන් ඔන්න මමත් ශෝටක් හෙම ගහගෙන මට දීපු කාමරේ ඇඳට වැටිලා නිදා ගන්න සෙට් වුනා. පෝය ලඟ නිසාද කොහෙද කාමරේටත් හඳ එලිය වැටිලා තිබ්බා. මාත් බට්ට දීපු මදුරු කොයිල් එකකුත් පත්තු කරගෙන ඇඳට වැ‍ටුනා.

ගමන් මහන්සියටම මටත් පෙරේතයා පොලොවෙ ගැහුවා වගේ නින්දත් ගියා.

මහ රෑ ඔන්න ඇහැරුනා හොඳම චූ බරක් හැදිලා.  ඇ‍ඳෙන් බහින කොටම වැදුන නහය බිත්තියෙ තරු වීසි වෙලා මුලු කාමරයම ඒකාලෝක වෙන්න. තරු එලිය ටිකෙන් ටික අඩු වුනාට පස්සෙ බිත්තිය අතගාල බැලුව ස්ව්ච් එක හොයන්න.  ඒක හම්බවුනෙත් නෑ. එතකොටම මතක් වුනා මේ ගෙදර නෙවෙයි ඉන්නෙ කියලා.

ඇඳේ ඉඳගෙනම කල්පනා කලා කාමරේ පිහිටීම ගැන. හඳ එලියට යන්තම් පේනවා දොරවල් දෙකක තියෙන බව. එකක් සාලෙට. ඒකෙන්නෙ ඇතුලට ආවෙ. ඒක ඇරගෙන ගියා සාලෙට. බට්ට ලී ඉරනව ඇහෙනව. ගැටයක් අහුවෙලාද කොහෙද.

සාලෙන් එලියට තියෙන දොරවල් දෙකම ලොක් කරලා. ඒ මදිවට වහාම ඔලුවට ආවෙ බට්ටගෙ අවවාදෙ සර්පයො ගැන. යකෝ අර මදුරු කොයිල් එක ගාව තිබ්බ නේද ගිණි පෙට්ටියක්? ආයිම බිත්ති අතගාගෙන ගියා කාමරේට. ගිණිපෙට්ටිය හොයාගන්න කලින් දැක්ක අනිත් දොර.

දැන් නම් චූ බර ඩබල් ට්‍රිපල් වෙලා. ඒ දොර බලනවද ජනේලෙන් එලියට චූ කරනවද කියලා සලකා බලන කොට දැක්කා දැන් කලුවරට ඇස් පුරුදු වෙලා නිසාද කොහෙද දොර යාන්තම් අඩවල් කරලයි තියෙන්නෙ කියලා. ඕනැ මගුලක් කියලා ඒ දොර ඇරලා බැලුවම පොඩි හත‍රැස් පැසේජ් එකක්. ලඟම තියෙන දොර බෝලෙ කරකවලා බැලුවා.හහ් මෙන්න යකෝඇරුනා. ඇරුනා විතරක් නෙවෙයි චූ බරෙන් බොක්ක පුපුරන්න යන පොරකට දකින්න පුලුවන් ලස්සනම දර්ශනය දැක්කා. බාත් රූම් එකක්. ටොයිලට් එකක චායාවත් පේනව හඳ එලියට. පැන්න ගමන් ඉස්සුව ටොයිලට්  සීට් එක. පල් ගඳක් වගෙ නම් ආවා. කොහොමත් දැන් නම් නැවතිලි බොරු. ඔය #1 සහ #2 වැඩ වලට තියෙනවනෙ පැය ගානක් හිරකරන් ඉන්න පුලුවන් නමුත් ටොයිලට් එකේ අගුල දානකන් ඉන්න බැරි හිතුවක්කාර ගතියක්. හිර කරගෙන ඉඳල චූ කරනකොට තියෙන ආතල් එක ඉතිං මම විස්තර කරන්න ඕනෙ නැහැනෙ. දන්නෝ දනිති.

චූ දාන ගමන් මට තේරෙනවා ටිකක් අමුතු සද්දෙකටයි චූ පාර වැටෙන්නෙ කියලා.  ඇස් ටිකක් ලොකු කරලා බැලුවම යාන්තම් පේනවා සුදු පාට කොමෝඩ් එකේ කලු පාට මොනවා හරි තියෙන බව. ඒ වගේමයි සුවඳත්. යකෝ මේ බට්ටා හෙන බොගක් දාල ෆ්ලෂ් කරල නැතුව වත්ද? එතකොටම මතක් වුනා ඇත්තටම මේක ෆ්ලෂ් කරන්න වතුර තියෙනවද කියලා.

වැඩේ ඉවර කරලා, ෆ්ලෂ් හැඬල් එක පාත් කරලා බැලුවා.. ම්හු. හිතුව වගේම සද්දයක් වත් නෑ.  මේක ෆ්ලෂ් කරන්න ආයෙ ඉතින් චන්දයක් එනකල් ඉන්න වෙනවා. ඕනෙ මගුලක්. බට්ටට බොග දාල නිකන් ඉන්න පුලුවන් නම් මම චූ කලාම මොනව වෙන්නද කියලා සීට් එක පාත් කරලා පියන වහලා දොරවල් දෙකම වහලා මාත් ගිහින් නිදාගත්ත.

පහුවදා උදේ මම ඇහැරුනේ බට්ට තේ හදන සද්දෙට. මූණ කට නොසෝදම බෙඩ් ටී එක බීල ආයෙත් පත්තු කරගත්ත චප්ප වෙච්ච තවත් සිගරට් එකක්. දැන් ආයෙම කතාව.

“සර් බොන්නෙ නැත්ද තේ?” දුම් වලල්ලක් යවන්න උත්සාහ කරන ගමන් මම ඇහුවා.

“බොනවා. දැන්ම නෙවෙයි” කියලා පොර බුලත් කොලයක් අතට ගත්තා.

“මට ඉතිං ඔය උදේ පාන්දරම හපයක් ගැහුවෙ නැත්නම් වැඩක් නෑ, කටත් අමි රහයි”

අමි රහ මොන රහ ඇත්ද කියලා මම කල්පනා කරකර ඉන්නකොට ලොක්ක,

“චෙහ්, පුවක් ඉවරයි”, කියලා නැගිට්ට.

“අහ්, ඉතින් මොකද කරන්නෙ?” මම ඇහුවෙ නිකමට.

“ඉන්නකෝ,” කියල පොර රිංගුවා මම නිදාගත්ත කාමරේට.

මමත් තව තේ උගුරක් බීලා දුම් උගුරකින් ඒක සීසන් කලා.

මට පේනවා බට්ට අරිනවා අර බාත් රූම් එකේ දොර. මට මතක් උනේ අර ෆ්ලෂ් නොකරපු, මම චූ කරපු බොග.

පොර දොර ගාව නැවතිලා මං දිහා බලල ජයග්‍රාහී හිනාවක් දාල, “බඩු හෑව්. එන්නකෝ පෙන්නන්න.” කිව්වා.

මාත් නැගිටලා ඒ පැත්තට ඇදිලා ගියා කාන්දම වගේ.

පොර ඉස්සුව ටොයිලට් සීට් එක දැම්ම අත ටොයිලට් බෝල් එක ඇතුලට. හොඳට අතගාල ගත්තා කලු පාට කෑල්ලක් අතට.

මට ඇස් අදහගන්න බෑ. කට වහගන්නත් මතක නෑ.

“මො… මො… මොකක්ද සර් ඒ?”

” හැහ් හැහ් හැහ්,” පොර හොඳට එන්ජෝයි කරනවා මේ කොඩැක් මෝමන්ට් එක.

“දේසෙ හැටියට බාසෙ කියනව නොවැ මිස්ටර් බ්ලොග්වෝකර්.”

“ඒ කිවෙ සර්?”

“මේ කොමෝඩ් තිබ්බට ඕවයෙ වැඩක් නෑනෙ වතුර නැතුව. අපි පාවිච්චි කරන්නෙ එලියෙ සර්වන්ට් ටොයිලට් එක. මේ කොමෝඩ් එකේ අඩිය මම රෙදි ගුලියක ගලක් ඔතලා බ්ලොක් කරලා තියෙන්නෙ. දැන් මම මේකෙ මඩ පුවක් දානවා, මේ සිස්ටන් එකෙත් කට  ලඟටම මඩ පුවක් දාල තියෙන්නෙ. හෙහ්, හෙහ්, හෙහ්”

මම ඇස් දෙක පීරිසි දෙක වගෙ හදාගෙන කට ඇරගෙන එතනම ගල් වුනා.

මම ගුරු සෙවයේ රස කතාත් කියවලා තියෙනවා. නමුත් මෙහෙම එකක් නම් මගෙ ජීවිතේට අහලවත් දැකල වත් නෑ. මම ඊයෙ රෑ චූ කරල තියෙන්නෙ ලොක්කගෙ මඩ පුවක් බැක් අප් එකටනෙ. හොඳ වෙලාවට මට ඊයෙ රෑ බොගක් සෙට් වුනේ නැත්තෙ. එහෙම වුනත්,  දැනුත් මේ බට්ට සුද්ද කරන පුවක් ගෙඩියෙන් එන ගඳේ හැටියට පොර ඕක කොහොමවත් නෝට් කරන එකක් නෑ කියල මට හිතුනා.

පසු වදන:

 

එදා අහිංසක පරි පාලන බුවාලට HP (Hewlett Packard) ,WP (Western Province), BP (British Petroleum), වගෙ අන්තිම නරක වචන කියමින් පළමු වතාවට එහෙ ගිය බ්ලොග්වෝකර්  මේ ලඟදි ලංකාවට ගිය වෙලාවක මුළු පවුලම එක්ක එහෙ ගියානෙ නොස්ටැල්ජියාව උත්සන්න වෙලා. දැන් ගස් වැල් පිරිලා පුදුම වෙනසක්  ‘කලකදි වස කලකදි රස’ කියන්නෙ ඔන්න ඕකයි. කාලය කල වෙනසක අරුමේ.

චූටි එකා නම් ඔය ගියාමයි. වෑන් එකේ පිටිපස්සෙ දාගෙන යන එයාගෙ බයික් එක පදිමින් පුදුම සතුටක් ලැබුවෙ.

ඔය තියෙන්නෙ ඉස්කෝලෙ අද.

 

මේ තියෙන්නෙ ඔය කියන ගුරු නිවාසෙ අද.

 

මේ මම ඉසුරුපායෙ අහිංසක තොත්ත බබාලට කුණුහරපෙන් බැන බැන එදා ගිය කාන්තාරෙ ගුරු පාර අද. ඔය තියෙන්නෙ සපත්තු පාලමක්.

 

ඔය යන්නෙ එදා බැන බැන හිටපු හෙන්රිබ්ලොග්වෝකර් ඩූඩ් අතීත සැමරුම් අතරින් අද. අනේද කියන්නෙ. කාලය කල වෙනසක අරුමේ.

 

ටැග: ,