RSS

Monthly Archives: ඔක්තෝබර් 2011

28. දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.


ගුරු සේවයේ පළමු අවුරුද්ද. මේ තමයි අර ගොං කේස් එක වෙච්ච ඉස්කෝලෙ. ලංකාවෙ අනිත් පැත්තෙ, ඒ කියන්නෙ අම්පාරෙ ඉකෝලෙක චමරියෙ තවත් බුවාලා දෙන්නෙකුත් එක්ක නැවතිලා හිටපු මට අර හෝම් සික්නස් කියන ලෙඩේ දරුණුවට වැලඳිලා තිබ්බේ. ඔහොම ඉන්න අතරවාරෙ දවසක සුපුරුදු කටහඬක් ඇහුනා එලියෙන්.

“හෙන්රි ඉන්නවද?”

“ඒයි හෙන්රියෝ, මේ කවුද ඇවිල්ල.”

මම දුවගෙන ගියේ බලන්න. මේ ගාමිණියනෙ. අම්ම තාත්තා දැක්ක වගෙ. මේකත් මට වඩා පන්ති කීපයක් ඉහලින් හිටියත් නාලන්දෙටමයි ගියේ.

“මොකද බං උඹ මෙහෙ කරන්නෙ?” මම ඇහුවා.

“මචං, අපේ ජීප් එකක් හදන්න දැම්ම අම්පාරෙ ගරාජ් එකකට. මට මතක් වුනා උඹත් ඉන්නෙ මෙහෙ කියලා.”

ඔය විදියට ආගිය කතා.

ගාමිණී වණජීවී අඩවි ආරක්ෂක නිලධාරි (Wild Life Ranger) කෙනෙක් වෙලා එතකොට අවුරුදු දෙකක් ඇති. මම මුංගෙ ගෙදර කොච්චර ගිහින් තිබ්බත්, ඉතාම හොඳ බොක්කක් තියෙන , නියමෙට චිත්‍ර, කාටූන් අඳින්න පුලුවන්, ඒ වගෙම සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් විදියට දැනගෙන හිටියත් මෙහෙම වන ජීවී ලෝලියෙක් කියලා නම් දැනගෙන හිටියෙ නෑ.

“ඒයි මේ වීකෙන්ඩ් එකනෙ. යමං අපිත් එක්ක. මම උඹව ඇදගෙන යන්නමයි ආවෙ.”

ඉබ්බා දියේ දාන්න හැදුවා වාගෙ. ගාමිණි වැඩ කරන කුමණ ජාතික උද්‍යානය තියෙන්නෙ කොහෙද කියලාවත්, අම්පාරෙ ඉඳලා කොච්චරද දුරද කියලා වත්, එතකොට ආපහු එන්නෙ කොහොමද කියලාවත්, මේ කිසිම දෙයක් වැදගත් නොවුණු මම උඩ පැනගෙන යන්න ලෑස්ති වුනා.

“මට පුළුවන් උඹව ගෙනත් දාන්න. දවස් කීපයකින් අපි එනවා හදන්න දාපු වාහනේ අරගෙන යන්න.” ගාමිණීම කිව්වෙ මම අහපු නිසා නෙවෙයි.

තවත් මොන කතාද? විනාඩි කිහිපයකින් මම ලෑස්තියි. ඒත් කෝ යකෝ සෙරෙප්පු දෙක. චමරියේ ගජේ ගහන එක සාමාන්‍ය දෙයක් වුනත්, අනිත් උන් දෙන්නම මෙතන ඉන්දැද්දි සෙරෙප්පු දෙක කොහෙ මක බෑ වුනාද?

එතකොටම මට මතක් වුනා අපිට කිරි බෝතලයක් ගෙනත් දෙන කොලුවා නිතරම අපිට ඔයවගෙ ප්‍රැක්ටිකල් ජෝක්ස් කරන බව.

“ඒයි විමල්, අර @$* මගේ සෙරෙප්පු දෙක උස්සල වගෙ. මචං මට උඹේ සෙරෙප්පු දෙක දියන්කො.”

“හරි ගෙනියපං. හැබැයි පු‍තෝ ගෙනිච්චා වගේම ආපහු ගෙනත් දියං.” කියලා විමලයා සෙරෙප්පු දෙකට invoice එකකුත් නිකුත් කලා. මට එවෙලේ නොතේරුනාට මේක මගෙ යටි හිතට ගැඹුරට කිඳා බැහැපු බව මට පස්සෙයි තේරුනේ.

පස්සෙ මම ගාමිණියත් එක්ක ජීප් එකට නැගලා ගමනාරම්භ කලා නොදන්නා ගමනාන්තයක් කරා.

ජීප් ඩ්‍රයිවර් නෝබට්. වණ ජීවී දෙපාර්තමේතුවට අයත්, මේ JEEP වර්ගයේ වාහනය අමෙරිකාවේ නිපදවූ බොඩියකට සහ චැසියකට, බ්‍රිතාන්‍යයේ නිපදවූ වායු සමීකරණ පද්ධතියකුත්, ජපානයේ නිපදවූ ISUZU එංජිමකුත් සවිකරලා හදපු නියම ජාත්‍යන්තර නිශ්පාදනයක් බව රථ ගායෙන් පෙලෙන මට හොඳට මතකයි. මේක ගාමිණියට මතක නැති බවත් මට විශ්වාසයි. (මෙතනදි ගාමිණියා මාව නැවතත් පුදුමයට පත් කලා. මම එන්ජිම MAZDA කියලා ලියලා මේ ඩ්‍රාෆ්ට් එක ගාමිණීට ඊමේල් කලාම ගාමිණී තමයි කිව්වෙ එන්ජිම ISUZU කියලා.)

මේක ජීවිතයටම අමතක නොවන චාරිකාවක්ක්. අම්පාරෙ ඉඳලා ටැමරින්ඩ් ගවර්න්මන්ට් (ඉංග්‍රීසියෙන් සියඹලාන්ඩුව), ලාහුගල, අරුගම්බේ, හරහා ඔකන්ද. එතනින් මුරපොලක් පහුකරලා ඇතුල්වුනාමයි කුමණ. ඇත්තටම කුමණ කියන්නෙ යාල ජාතික උද්‍යානයෙම අනිත් පැත්ත බව මම දැනගත්තෙ එතකොටයි. අන්තිමේදි අපි ඔකන්ද වණජීවී කාර්යාල, නිළ නිවාස තියෙන තැනට එනකොට හොඳටම ඇඳිරි වැටිලා.

වාඩියෙ හිටියා ගිය ආත්මෙ ගරාජ් එකක වැඩ කරපු හුරතල් මුගටියෙක්. වාහනේ නවත්තපු ගමන් මූ දුවගෙන ඇවිත් රෝද, ප්‍රෝපෙලර් ශාෆ්ට්, වගෙ දේවල් ඔක්කොම තියෙනවද කියලා චෙක් කරලා බලලා, ඩිෆරෙන්ෂල් එක උඩට වෙලා නින්දක් ගහනවා. නෝබට් වාහනය ස්ටාට් කරන්න කලින් මුගටියා කොහෙද කියලා බලනවා.

වාඩියෙදි කාපු කෑමත් විශේෂයි. අපි බත් කන්න ව්‍යංජන කීයක් හොයනවද? මෙතන වැඩි දෙයක් නෑ. උයන දේ අත දිග ඇරලා උයනවා. එදා බතුයි මසුයි. කොච්චි අහුරකුයි. බත් වැහෙන්න මස්. හැබැයි පු‍තෝ දඩ මස් නෙවෙයි හරිද? අපි එනගමන් මගින් ගත්ත මස් කිලෝ කිහිපය. පැනඩෝල් එකක් ගන්නවත් තැනක් නැති නිසා දවස් කීපයකට, මම හිතන්නෙ සතියකට සැරයක් ජීප් එකෙන් ඈත නගරයට යන්න ඕනෙ බඩු ලැයිස්තුව ලියාගෙන. ඉතින් දිව පිනවන්න බලපොරොත්තුවෙන් නම් මේ රස්සාව කරන්න බෑ.

එදා මාත් එක්ක වාඩියෙදි බත් කාපු, මට පවුලේ කෙනෙක් වගෙ සලකපු කීප දෙනෙක්ම අද ජීවතුන් අතර නැත්තෙ කොටි ප්‍රහාර වලින් මියගිය නිසා කියලා දැන ගත්තම හිතට ඇතිවෙන්නෙ පුදුම කම්පනයක්.

සාමාන්‍යයෙන් අභය භූමියකදි වාහනයෙන් බහින්න දෙන්නෙ නෑනෙ. නමුත් මට ලැබුනා මේ කට්ටියත් එක්ක කැලේ වරු ගනන් පයින් ඇවිදින්න දවස් ගනනක්ම.

යන මගදිම විල්ලුවක හිටපු Painted Stork වගෙ නානාප්‍රකාර කුරුල්ලො ගැන සුළු සේවකයට පවා තිබ්බෙ පුදුම දැනීමක්. රෑක ගාමිණියි මායි කෑම කාලා බංගලාවකට ජීප් එකේ යනකොට මුව රංචුවක් දැකලා ගාමිණී ජීප් එක රවුමට කැරකෙව්වෙ මුවෝ එලියට ඇහැ දීගෙන ඉන්න හැටි මට පෙන්නන්න.

දවසක් උදේ වරුවේ අපි කැලේ මැද්දෙන් ඇවිදගෙන යනවා. අපි එකා පස්සෙ එකා කැලේ ක‍ටු පඳුරු අස්සෙන් රිංගමින් යනකොට ඉස්සරහින්ම ගිය මග පෙන්වන්න එක පාරටම නැවතුනා. මම නතර වුනේ ගාමිණි මගේ උරෙස්සෙන් අල්ලල නවත්තපු නිසයි. මෙන්නෙ උස පඳුරට එහා පැත්තෙ හිටගෙන නොසෙල්වී ඉන්නවා කලු තාප්පයක් වගෙ, දළ බිම ගෑවෙන, මම දැකලා තියෙන දැවැන්තම දළ ඇතා!!

ඇත්තටම තව අඩි දෙක තුනක් ගියානම් අපි දැවැන්තයගෙ ඇ‍ඟේ හැපෙනවා.

පඳුරු කඩාගෙන කමින් හිටපු ඇතාට අපි එන සද්දෙ ඇහිල කෑම නවත්තලා බලං ඉඳලා. ඉස්සරහින් ගිය මග පෙන්වන්නා හෝ ගාලා අලි මන්තරයක් ජප කරන්න ගත්තා.

ඇතා හෙමිහිට හැරුනා අපි දිහාට. එක දෙයක්. මම හිතන්නෙ අපේ පිකප් එක හොඳයි අලියට වඩා. අපි කට්ටියම ආපහු හැරිලා දිව්වා. ඇතා දැන් එනවා පඳුරු පෙරලගෙන යුද ටැන්කියක් වගෙ අපෙ පස්සෙ පන්නගෙන. හොඬ උස්සගෙන. ගාමිණියා මගෙ අතින් අල්ල ගත්තා මාත් ඇදගෙන දුවන්න.

එතකොට තමයි ඇදහිය නොහැකි මේ සිද්ධිය වුනේ.

මගෙ සෙරෙප්පුවක් ගැලවුනා. මගේ කිව්වට විමලයගෙ. අර දල ඇතා අපි පාරෙ පන්නද්දිත් මම ගාමිණියගෙ අත ගසා දාලා අඩි කීපයක් පස්සට පැනලා සෙරෙප්පුව අහුලගත්තයි කිව්වොත් විශ්වාස කරනවද? ඒ සමහරවිට අරූගෙ තර්ජනය මගෙ යටි හිතේ තැන්පත් වෙලා තිබ්බ හන්දා වෙන්න ඇති. ගාමිණි මාව ඇදගෙන ටික දුරක් zigzag දුවලා ලඟම තිබ්බ පඳුරක් යටට රිංගුවා. කොහොම හරි ඇතාට අපිව මග ඇරුනා. මේකා පඳුරු පොඩි කරගෙන යුද ටැන්කියක් වගෙ අපිව පහු කරන් දිව්වා, අනිත් කට්ටිය පස්සෙන්.

ටිකකින් අපි එකිනෙකා නැවත හොයා ගත්තා. මම බය වුනේ ඊටත් සෑහෙන වෙලාවකට පස්සෙ. දැන් අපි මුගේ ෆෝටෝ ගන්න ඌව හොයාගෙන ආයෙත් පේලියට ගමන් කරනවා. ඔන්න එතකොටයි මට මරණ භය මොකක්ද කියලා දැනෙන්න ගත්තෙ. ඔයිට ඉස්සර මට ඔහොම දැනිලා තියෙන්නෙ රේල් පාර මැද්දෙ කාර් එකක හිර වුනු දවසෙ.

දාඩිය දාලා, දනිස් පන නැතිව ගිහිල්ලා, අධික පිපාසයක් ඇතිවෙලා, තොල කට වේලිලා, හදවත ගැහෙන රාවය ඔලු කට්ට ඇතුලෙ දැනෙන්න ගත්තෙ, අර විදියට එක පාරක් යන්තම් පණ බේරගත්ත අපි, ඒ ඇතාම හොයාගෙන කැලෑව තරණය කරන කොටයි.  මට මුන් කට්ටියම එක්ක ඇතිවුනේ තරමක කේන්තියක්.  අර දැවැන්ත දළ ඇතාගෙ බිම ගෑවෙන්න දිග දළ දෙක පපුව පසාරු කරගෙන යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මොන යම්ම හෝ වාසනාවකට යන්තම් පණ බේර ගත්ත එකේ, දැන් මොන මගුලකට මේ උගේ ෆෝටෝ ගන්න ඌව හොයාගෙන මරු කටට යනවද කියා හිතෙන් හිතමින් මමත් කැලේ පීරගෙන මුන් එක්කම ගියා.

අපිට ඇතාව හොයාගන්න බැරිවුනත්, වලහෙක් හිටපු ගුහාවක් ඇතුලට ගිහින් බැලුවා. ගල් තලාවක් උඩ දුම් දම්න අලි බෙටි තිබ්බා.

මේ ඇතා යාලටත් විශේෂ ඇතෙක් බව පස්සෙ ගාමිණි මට කිව්වා.  ගාමිණී මේ සිද්දිය ගාමිණීගෙ  “යාල නැගෙනහිර අහිම වනමං”  (Lost Trails in Yala East)  පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ගාමිණී කිව්ව තව දෙයක් තමයි, අලියෙක් පන්නනකොට කෙලින් දුවලා බේරෙන්න අමාරු බව. ඒ වගේම උගෙ ඇස් පෙනීම එතරම් හොඳ නැති බවත්, හොඳම දේ zigzag දුවලා  ලඟම තියෙන තැනක හැංගෙන එක බවත්. (ඌට හැරෙන්න තරමක් වෙලා යනවා).

අපි ආයෙ ගිය තැනක් තමයි කුමණ අභය භූමිය මැද්දෙ පිහිටලා තියෙන කුමණ ගම්මානයට. මේ මිනිස්සුන්ට අර ඔකන්ද මුර පොළ හරහා ඇතුල්වෙන්න අවසර තියෙනවා. ගම්මානයෙන් එලියට යන්න ඕනෙ අර මහ කැලේ තරණය කරලා. ඒක කොච්චර හයානකද කියන එකට උදාහරණයක් මට ගාමිණී පෙන්නුව.  ඒ තමයි අලි පහර දීලා තිබ්බ ගැමියන්ගෙ බයිසිකල් සංඛ්‍යාව. මේ ගම්මානෙ ඉස්කෝලයක්, තැපැල් කන්තෝරුවක් හෙම තිබ්බා. ජීවිතය දුශ්කරයි කියලා අපි අඬන්නෙ ඇයි කියලා හිතෙන්නෙ ඒ ජීවිත දිහා බලන කොටයි.

කොහොම හරි අමතක නොවන, දුර්ලභ අත්දැකීම් ගොන්නක් එක්ක ටික දවසකට පස්සෙ, අර හදන්න දාපු ජීප් එක ගෙනියන්න එන ගමන්,  ගාමිණියා මාව අම්පාරට ගෙනත් දැම්මා. ආපු ගමන්ම විමලයා අහපි කෝ උගෙ සෙරෙප්පු දෙක කියලා. මම සෙරෙප්පු දෙක ගලවලා දමා ගහලා කිව්වා,

මේං උඹේ සෙරෙප්පු දෙක. මේ මගුල හන්ද තව පොඩ්ඩෙන් අලියෙක් ගහල මං මැරෙන්නෙ.” කියලා.

අරූ කට ඇරං බලා ඉන්න හන්ද මම විස්තරේ කිව්වා.

ඔක්කොම අහං ඉඳපු විමලයා, “උඹ මාර පොරක්නෙ බං!” කිව්වා.

මට ඔය කාලෙ තිබ්බා ඩයරි ලියන පුරුද්දක්. මේ දැන් බ්ලොග් වලින් කරන්නෙත් ඒකනෙ. ඒත් මේ සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි ලියන විදියට නෙවෙයි. Full Page Diary වල චූටි අකුරෙන් ලියන්නෙ. මදි වුනාම තව කොල අලවලත් ලියනවා. මොකද ඒ දවස් වල ලව් කේස් ගොඩයිනෙ. අතිශය පෞද්ගලික ඒවා ලියන්නෙ IPS වලින්. ඒ කිව්වෙ International Phonetic Symbols වලින්. මට දැනුත් IPS වලින් වේගයෙන් ලියන්න පුලුවන්.

ඉතිං දවසක් මම අපේම ගෙදර ඊලඟ නිවාඩුවට ඇවිත් ඉන්නකොට ගාමිණියා ආව බයික් එකක. ඇවිත් කිව්වා,

“ඒ අන්න උඹ උඹේ ප්‍රේම පුරාණය එහෙ දාල ඇවිත් තිබ්බා. මම කම්මැලිකමට ඉන්න වෙලාවට කියවන්න පුලුවන් හරිය කියෙව්වා. යකෝ උඹටත් වෙන්නෙ බං මාර වැඩනෙ!” කියලා.

කොච්චර මාර වැඩද කියනවා නම් මම වරින් වර අර ඩයරි ගිණි දෙවියන්ට පුදනවා, සාක්කි නැති වෙන විදියට.

මෙවර චිත්‍රය ඇන්දේ මම නෙවෙයි. මේ කතාවෙ ඉන්න ගාමිණි විජිත් සමරකෝන් සොහොයුරායි. ගාමිණී තමයි Wildlife -Sri Lanka බ්ලොග් එක ලියන්නෙ.

මේ කතාව ගාමිණී විජිත් සමරකෝන්ගේම වචනවලින් කියවන්න ගාමිණීගේ විජිතයේ පළවූ “අහිමි වනමං” ලිපියෙන් පුලුවන්. මේ ලිපියේ අඩංගු වෙනවා ගාමිණී ලියූ යාල නැගෙනහිර අහිමි වනමං කෘතියෙ උපුටා ගැනීම් සහ මේ පිළිබඳ ප්‍රතිචාර කිහිපයකුත්.

ඒ එක්කම පසුපසින් පන්නාගෙන එක අලියෙකුගෙන් ගැලවෙන්නේ කෙසේද කියන එක මම මේ ලිපියේ ලියා තියෙන්නෙ ආධුනිකයෙකුගේ ඇහෙන් මට මතක විදියට. ඒ ගැන විශේෂඥ උපදෙස් ගාමිණීගේ විජිතයේ පලවූ “වන අලි සහ වල් අලි” ලිපියේ සහ ප්‍රතිචාරවල කියවන්න පුලුවන්.

එතකොට වර්ඩ්ප්‍රෙස් අකුරු ලොකු කිරීමට හෙන බැක් අප් එකක් දුන්න නවම් මාවතට මගේ උපහාරය. ස්තුතියි සහෝ.

 

ටැග: , , ,

27. ඉංගිරිස් ඉන්ටර්විව්


ඔන්න එකෝමත් එක කාලෙක, හෙන්රිබ්ලොග්වෝකර් අධි සුඛෝපබෝගී ජර්මන්  කාර් වර්ගයක් ගෙන්වන සමාගමක මෝටර් ඉන්ජිනේරු විද්‍යා ආධුනිකයෙක් හැටියට හිටියා. ඕකෙ හිටියා රංග කියලා, අර කටින් වෙට්‍ටු දම දම කතා කරන, කටින් ගහලා ඕනෙ වැඩක් කරගන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසාම මූට හිටියා සැලකිය යුතු ෆෑන් බේස් එකකුත්. මමත් මුගෙ කට දිහා බලාගෙන ඉන්න හරි ආසයි ඒ දවස් වල. මූත් අපි වගෙම ඇපෙක් වුනාට නිතරම හිටියෙ එන්ජිමක් එල්ලගත්ත ෆෝක්ලිෆ්ට් එකක් කරකවමින්.

ඒ දවස් වල අපි ඔක්කොටම තිබ්බා රථගායට අමතරව රට යන පිස්සුවක්. බ්ලොග්වෝකකරුත් ජර්මනියෙ මව් සමාගමට යන්න හිතාගෙන ජර්මනුත් ඉගෙන ගත්තා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. සමහරු ජපන් භාෂාව ඉගෙන ගත්තා.

ඉතිං නිතරම අපේ උන් යනව විදේශිකයෝ පවත්වන සම්මුඛ පරීක්ෂන වලට. ඉතිං අපේ රංග බුවත් ගියා ඔයින් එකකට. ආ… මට කියන්න බැරි වුනානෙ. මුගෙ කඩුව නම් සෑහෙන මළකඩ. නමුත් අර කතාවට කියනවා වගෙ, රේඩියේටර් මූඩියෙන් ඇතුලට ගිහින් සයිලන්සර් බටෙන් එන්න දන්න පොර අර ඔබා අයියා වගෙ. (හැබැයි ඇත්තටම ඔහොම එන්න නම් ගෑස්කට් ගිහින් තියෙන්න ඕනෙ. අනික ගියර් බොක්ස්, ඩිෆරෙන්ෂල් ඔක්කොම මග ඇරෙනව. හික්ස්)

සම්මුඛ පරීෂණය ඉතිං,  ඉංග්‍රීසියෙන්. ඉතින් රංගයත් ගියා පොර වගේ.

මෙන්න අහපු පලවෙනි ප්‍රශ්නේ.

Can you explain the procedure of fitting the fuel injector pump to the engine?
(එංජිමකට ඉන්ජෙක්ටර් පොම්පය සවිකරන ආකාරය පැහැදිලි කරන්න)
රංගයා දඩස් ගාලා නැගිට්ටා. මොකද මේව ඉඳගෙන කරන්න පුලුවන් වැඩ නෙවෙයිනෙ.
“Simple thing” රංගයා කියනවා.
“First cylinder overlap.” (දැන් ඇඟිලි දෙකකින් ඕවලැප් වෙන හැටිත් පෙන්නනවා)
“Mark to Mark” (අත් දෙකේම දබ‍රැඟිලි දෙපැත්තෙ ඉඳලා ඇවිත් පපුව ඉස්සරහදි එකට  මුන ගැහෙනවා)
“DIGGS…!” අත් දෙකම දකුණු පැත්තෙ ඉන ප්‍රදේශයෙ ඉඳල වේගයෙන් පැද්දිලා ඇවිත් මැශින් තුවක්කුවක් අල්ලනව වගෙ නතර වෙනවා.

විදෙශිකයො ටික පෑන් කටේ ගහගෙන  ටිකක් වෙලා මූ දිහා පුදුමයෙන් බලා ඉඳලා, ඊට පස්සෙ එකිනෙකාගෙ මූණවල් දිහා තවත් ටිකක් බලන් ඉඳලා, ඊටත් පස්සෙ ඔලු ඉහලට පහලට වනලා,  කට පුරා හිනාවෙලා ඇහුව ඊලඟ ප්‍රශ්නෙ.

How do you know from the outside when the cylinder head gasket is blown ?
(ගෑස්කට් ගියාම අපි කොහොමද පිටින් දැනගන්න)

“Simple Thing” (මේක දැන් පුරුද්දකට ගිහින් වගෙ)
“Oil mixture water.” (අත් දෙකේම ඇඟිලි එකට පටලවමින්.)
“Radiator cap open” (මූඩියක් ගලවනබව පෙන්වමින්)
“Whoosh.. Ooarrk…!” (වමනය දමන බව පෙන්වමින්)
(ගෑස්කට් ගිය වාහන වල රේඩියේටර් එකේ වමනෙ දාල වගෙ තියෙනවා.)

විදෙශිකයො ටික තව පාරක් පෑන් කටේ ගහගෙන  ටිකක් වෙලා මූ දිහා බලා ඉඳලා, ඊට පස්සෙ එකිනෙකාගෙ මූණවල් දිහා තවත් ටිකක් බලන් ඉඳලා, ඊටත් පස්සෙ ඔලු ඉහලට පහලට වනලා, කට පුරා හිනාවෙලා “Very good. Verry Verry goood!”කිව්ව කියලා තමයි මූ නම් කිව්වෙ.

(මම කොච්චර කිව්වත් කොමෙන්ට් දාන බුවාල කියනවනෙ ඕක මට වෙච්ච දෙයක් කියලා. ඉතින් මම වැඩේ සාධාරණ වෙන්න රංගයා වෙනුවට ඒ දවස්වල මගෙම පින්තූරෙ තමයි ඇන්දෙ.වෙනසකට තියෙන්නෙ පාට විතරයි. මම ඔයිට වැඩිය පාටයි. කොච්චර පාටද කියනවා නම් ස්‍ටුඩියෝ එකේ සෝමෙ අයියා, තියෙන ඔක්කොම හයි පවර් ෆ්ලඩ් ලයිට්, ෆ්ලෑෂ් ලයිට් ගහලා තමයි ෆෝටෝ හෙම ගන්නෙ.

ඔය තියෙන්නෙ මගෙ driver’s license photo එක කාරණාව ඔප්පු කරන්න.

 

 

ටැග:

26. කස්සාගෙ, ඕනයාගෙ, වසුන්දරාගෙ ඇඩ්‍රස් නැතුව යන කතා


රංජියාගෙ අම්මා ප්‍රාථමික පන්ති වලටයි ඉගැන්නුවේ. දැන්නම් විශ්‍රාමිකයි. වේලාසනම විශ්‍රාම ගන්න මේ සිද්ධියත් හේතු වුනාද දන්නෙ නෑ.

පන්තියක ඉන්න ඕනෙ ළමයි ගාන මෙච්චරයි කියලා අධ්‍යාපනඥයෝ කොච්චර කිව්වත් එක පන්තියට හතලිස් ගානක් පුරවනවමනේ එක එක බලපෑම් අනුව. ඉතින් මේ පන්තියෙත් කිසි වෙනසක් නෑ. අනුපාතය කෙල්ලො අටට කොල්ලො තිස් ගානක්. ඉතිං නදී, ගිම්හානි, මෙඩ්ඩි, පොඩි කුමාරිහාමි, දිල්, සඳා, පොඩ්ඩි, වසුන්දරා සහ සුද්දී කියන කෙල්ලො අට දෙනාට දයියා, මලා ශැගියා, ගොඩයා, අඹයා, ගීතක, හඳයා, වැපා, සෝරෝ, විශ්ව, ගෝල්ඩ් ‍ෆිෂ්, ප්‍රසන්න, විසිතුරු, පූසා, සන්දික, ඕනයා (ෆේල් වෙලා හින්දා මේ පන්තියේ නැත්නම් ඉන්න ඕනෙ ශිෂ්‍යත්ව පන්තියෙ), මාතලන්, සමීර, හැලපයා, පැණි දොඩම්, ගුලියා, චීටා, ලිට්ල් ජෝන්, ගමයා, හින්චිමල්ලි, පිසාචයා, ගැටවරයා, ගන්දරයා, අවංක පැට්ටා (කොපි කරලා අහුවෙලා මේ පන්තියෙම තියලා), ජීනියස්(දෙපාරක් ෆේල් වෙලා), අහිංසක, බෙන්ටෙන්, කස්සා සහ සඳරූ කියන කොල්ලන්ගෙන් මාර ඩිමාන්ඩ් එකක් තිබිලා තියෙන්නෙ.

මේ පන්තියෙ හැම එකාටම අන්තිම පේලියෙ ඉඳගන්න ඕනෙ කියලා අඬන නිසා ඉස්සරහ පේලියයි අන්තිම පේලිය විතරයි තිබ්බෙ. අන්තිම පේලිය දිග වැඩි නිසා හතරට කඩලා පලවෙනි පේලිය පිටිපස්සෙන් සෙට් කරලා තිබ්බා.

එතකොට බිත්තියෙන් එහා පැත්තෙ තියෙන ශිෂ්‍යත්ව පන්තියෙ ඩොන්ගයියා, වෙනියා, නවම්, සර්ප අයියා, රංජා, බුවා, කියන කෂ්ටිය.

එතකොට ගම්පහ ඩිපෝවෙන් දුවපු ස්කූල් බස් එක එලෙව්වෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔව් ඔබා මාමා කියන සුරතල් නාමයෙන් හැඳින්වෙන අහවලා තමයි. එතකොට කොන්දා ජයියා කියලා බුවෙක්.

ගුරුවරුන්ට උගන්නනවට වඩා ෆෝම් පුරවන්න තියෙනවා කියලා ගුරුවරුමනෙ නෝක්කඩු කියන්නෙ. ඔන්න දවසක් පන්තියෙ ඉඳගෙන ෆෝම් එකක් පුරවන රංජියාගෙ අම්මා පන්තියෙ ඉස්සරහම ඉන්න දුලීප් සිකුරාජපති බබාගෙන් ඇහුවලු මෙහෙම.

“දුලීප් පුතා. ඔයා කොහෙද ඉන්නෙ?”

දුලීප් ඇස් ලොකු කරලා ගුරුතුමිය දියා බලලා,

“ඇයි මම මේ ඉන්නෙ ටීචර් පන්තියෙ ඉඳගෙන.” කිව්වලු.

දැන් ගුරුතුමී අර rephrasing the question කියන උපක්‍රමය පාවිච්චි කරාලු.

“නෑ නෑ පුතා, පුතා කොහෙද ජීවත් වෙන්නෙ?

“ගෙදර ටීචර්”

“හරි හරි පුතා. ගෙදර තමයි. පුතාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ?”

ඔන්න දුලීප් බබාගෙ මූනෙ තිබ්බ ප්‍රශ්නාර්ථ ලකුණ මැකිලා ලොකු හිනාවකින් මූණම එලිය වැ‍ටුනලු.

“අපේ ගේ තියෙන්නෙ ටීචර් කසුන්ලගෙ ගේ ලඟ.”

චිහ්, කවදාවත් මූ ඕනැකරන දේ නෙවෙයිනෙ කියන්නෙ. ඇයි දන්නෑ මූට ඕනයා කියන්නෙ.

“හරි පුතා, හරි” කියපු ගුරුතුමිය හැරුනලු වැඩක් නැතුව ඔහේ වැනි වැනි ඉන්න ඩයල් එකක් වන කසුන් නොහොත් කස්සා දිහාට.

“කසුන් පුතා කොහෙද ඉන්නෙ?”

“අපේ ගෙදර ටීචර්”

“හරි පුතා, අපි කවුරුත් ජීවත් වෙන්නෙ ගෙවල් වල තමයි. (මුං නම් ඉන්නෙ ගල් ගුහාවල් වලද මන්දා) පුතාගෙ ගේ තියෙන්නෙ කොහෙද?”

අපේ ගේ තියෙන්නෙ මේ දුලීප්ලගෙ ගේ ලඟ ටීචර්.”

දැන් ගුරුතුමියට බිත්තියෙ ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුනත්, ඒක අත් දැකීම් බහුල, ළමා මනෝ විද්‍යාව, අධ්‍යාපන මූලධර්ම හදාරලා තියෙන ගුරු මෑණියකට තරම් නොවන නිසාත්, උගු සිංඥෝ සහ පුත්‍රයෝ සමාගම කොන්ත්‍රාත් අරගෙන හදලා තියෙන බිත්තියක ඔලුව ගහගෙන බලාපොරොත්තු නැති ප්‍රතිථල ලැබිය හැකි නිසාත්, ඒ ඔක්කොටම වැඩිය කොට බිත්තියක ඔලුව ගහගැනීම බිම දන ගසාගෙන කලයුතු නිසාත් ඒ අදහස අත් හැර දාලා ආයෙම හැරුනලු පන්තිය දිහාට.

මේ පාර අලුත්ම උපක්‍රමයක්.

“දැන් පුතාලා, අපු මෙහෙම අහමු. දුලීප් පුතාගෙයි, කසුන් පුතාගෙයි දෙන්නගෙම ගෙවල් තියෙන්නෙ කොහෙද?”

මේ පාර නම් වරදින්න විදියක් නෑ. ඇට්ටරයො ටික. විවෘත ප්‍රශ්ණයක් නිසා නීතියෙ හැටියට දැන් කසුනුයි දුලීපුයි දෙන්නම අත් උස්සගෙන නලියනවලු උත්තර දෙන්න.

එතකොටම තවත් කටට බ්‍රේක් නැති එකියක් වන අන්තිම පේලියෙ ඉඳන් ඉන්න වසුන්දරා පැන්න ගමන්ම කිව්වලු,

“කසුන්ගෙයි, දුලීප්ගෙයි දෙන්නගෙම ගෙවල් තියෙන්නෙ එක ලඟ ටීචර්.” කියලා.

කසුනුයි, දුලීපුයි දෙන්නම වසුන්දරා දිහා ඔරවලා බලලා අත් පාත දැම්මලු.

(අමූලික ඇත්ත වස්තු බීජයකට අතින් කෑලි දමා ඇනිමේට් කරන ලදි.)

 

ටැග:

25. කාකි හදවත.


මගේ අතීසාර මිත්‍රයා රංජිත්, බාබර් ලඟට ගියාම ඩබල් චාජ් කරනවා. මොකද වර්ග සෙන්ටිමීටරයකට තියෙන කෙස්ගස් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගෙ දෙගුණයක් නිසාවත්, කොන්ඩෙ ගනකම වැඩිකමට ආවුද මොට්ට වෙන නෙවෙයි. “Search & Snip” කියන Technique එකට දෙගුණයක් කල්ගතවෙන නිසාලු.

රංජියයි මායි කලාතුරකින් හමුවුනම හීනියට ඔය තැඹිලි ව්තුර ටිකක්, හොඳින් නිවපු කොත්තමල්ලි වතුර වගෙ ශාක සාර ඩ්‍රින්ක් එකක් හෙම ගන්නවා. (දැන් නම් එහෙම හමුවෙන්නෙ නැතිම තරම් දෙන්නගෙම පවුල් බරට) මේ ඔයවගෙ වෙලාවක රංජියා කියපු කතාවක්.

ඔය රංජියලා අපි ඉස්කෝලෙ යන කාලෙ, ඒ කියන්නෙ අපේ නම් ඉස්කෝලවල රෙජිස්ටර් වල තිබ්බ කාලෙ, ඔය දැන් ඉස්කෝලෙ යන උන්ට නැති පහසුකම් අපිට තිබ්බා. එකක් තමයි සාක්කුවෙ ඉස්කෝලෙ හංවඩුව ගහලා නැති එක. රංජියා ගියේ ගම් පහක් තියෙන නගරෙ අග්‍රාමාත්‍ය විද්‍යාලයටනෙ. ඉතිං දවසක් මල්වත්තෙ උපකාරක පන්තියකට සහභාගි වෙන්න මූ ඉස්කෝලෙ පලාතකවත් නොගිහින් පාරක් දිගේ වේගයෙන් ස්ටේෂන් එක දිහාට යනවා. පාර අයිනෙ හිටගෙන පාරෙ යන එවුන් දිහා රබර් ඇහැ දාගෙන ඉන්න පොලිස් කාරයව රංජිය දැක්කෙ ලඟටම ආවට පස්සෙ. ඒ දවස් වල පොලොසියෙන් ඉස්කෝලේ පනින එවුන්ව අල්ලගෙන බාල්දි දාන වෙලාවල් තියෙනවා. මූත් පොලිස් කාරයව නොදැක්ක ගානට යනවා. හරියට කෝච්චියක් අල්ලන්න යනවා වාගෙ.

“ඒයි මල්ලි!”

රංජියා නවතිනවද දුවනවද කියලා කල්පනා කරලා ඕනෙ එකක් කියලානැවතුනා. තරුණ පොලිස් කාරයා වේගයෙන් ඇවිදගෙන ඇවිත් අල්ලගත්තා මුගෙ වැලමිටට පොඩ්ඩක් ඉහලින් හරියට දඬුඅඬුවකින් ඇල්ලුවා වගෙ.අල්ලගෙන කිසි කතාවක් නෑ මූව ඇදගෙන යනව පාරක් දිගේ ආපහු.

දැන් රංජියා කට ඉස්සර කර නොගෙන අහු නොවෙන්න කියන බොරු මොනවද කියලා හිතෙන් ප්‍රෝසෙස් කරනවා.ඒ වගේම දැන් වැඩේ ගැස්සුනොත් පොලිසියටත් ගෙනිහින් කූඩුවෙත් දාලා, ඉස්කෝලෙටත් දන්වලා, ගෙදරිනුත් ඇවිත්, ඊට පස්සෙ වෙන දේවල් හිතන්නත් බයයි. ඒ ඔක්කොමටත් වැඩිය අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මුගෙ ගෙදරට කාඩ් එකත් ඉතාම හොඳයි. ඇත්තම කිව්වොත් අපේ ගෙදරටත් මුගේ කාඩ් එක වැලිඩ් මගෙ එකට වඩා. මූ මොන ක්‍රමයකින් හරි අපේ තාත්තවත් අල්ලගෙන හිටියෙ. විස්වාස කරපල්ල මූ මම නැති වෙලාවට අපේ තාත්තා එක්කත් කතා කරකර ඉන්නවනෙ පැය ගනන්.

අනේ ඉතින් අදින් ඒ ඔක්කොම ඉවරයි. චිහ්, දිව්වනම් ඉවරයි. පොලිස් කාරයට මුගෙ සිතිවිලි තේරිලාද කොහෙද දඬු අඬු ග්‍රහනය එකපාරටම දැඩි වුනේ. මේ ඔක්කොටම වැඩිය පොලිස් කාරයා තවම එක වචනයක් කතාකලේ නැති එකත් සැක සහිතයි.

මේකා මාව මරන්න ගෙනියනවද දන්නෙත් නෑ. ඔය පත්තර වල තියෙන්නෙ ඕනෙ තරම් ඒවගෙ කේස්. දෙයියනේ මම කවදහරි මේ පොලිස් කාරයගෙ නංගිටවත් විහිළු කරලා තියෙනවද දන්නෙ නෑ. එහෙනම් බඩු පැකට් වෙන්නෙ අද තමයි.

පොලිස් කාරය දැන් මූවත් ඇදන් හැරුනා පාලු ලේන් එකකට. හැරිලා ආයෙත් වේගයෙන් යන්වා. බැරිම වුනොත් කියනවා මගේ අයියත් නේවි එකෛ කියලා. පාලු ලේන් එකේ ටික දුරක් ගිය පොලිස් කාරයා මූවත් ඇදගෙන ඇරලා තිබ්බ එකම දොරෙන් ඇතුලට ගියා. රංජියා වටපිට බැලුව. මේක ටේලර් සාප්පුවක්.

පොලිස් කාරයා මූව අතහැරලා ලාවට තල්ලුකලා ටේලර් දිහාට. ඒ ගමන්ම කිව්ව ටේලර්ට,

“ගන්න මෙයාගෙ මෙෂර්මන්ට්” කියලා.

රංජියා ඇත්තටම දුවන්න හැදුවත් කකුල් පන තිබ්බෙ නෑ බයටම. දැන් ටේලර් ටේප් එක අරගෙන පැන්සල කනේ ගහගෙන මූව මනින්න ගත්තා දිගට හරහට.

දැන් අපේ එකා වෙවුලනවා. මේ මොන ගේමක්ද දන්නෙ නෑනෙ.මුං මාව වද දීලා මරලා ඊට පස්සෙ වෙන දේවල් වලට මෙෂර්මන්ට් ගන්නව නේද? මොකද වද දුන්නට පස්සෙ මෙෂර්මන්ට් ගන්න බැරි තරමට බොඩි එක විරූපී වෙලා…….හපෝයි මටත් වෙච්ච දෙයක්!!

අනේ දෙවියනේ අද මට මෙතනින් ගැලවිලා යන්න දුන්නොත් මම මුළු ජීවිත කලෙටම කෙල්ලො දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඇහැක් වහලා මිසක. යකෝ ඒක ජෝක් එකක් නේද මේ වෙලාවෙ මට ජෝක් මතක් වෙන්නෙ මොකෝ. මැරෙන්න ආසන්න වෙනකොට මුලු ජීවිතේම හයි ස්පීඩ් අයෙම ප්ලේ බැක් වෙනව කියලා කවුද කියලා තිබ්බා. යකෝ මේ දෙවියොත් එක්ක විහිළු කරනවද මම මරු විකල්ලෙන්. අනේ දෙවියනේ කට වැරදුනා.
අනේ දෙවියනේ අද මට මෙතනින් ගැලවිලා යන්න දුන්නොත් මම මුළු ජීවිත කාලෙටම කෙල්ලො දිහා බලන්නෙ නෑ. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා.

මෙෂර්මන්ට් අරන් ඉවර වෙච්ච ටේලර් මූව අත හැරියා. ඊට පස්සෙ වුනේ බලාපොරොත්තු නැතිදෙයක්.

පොලිස් කාරයා මුගෙ ඔලුව අතගාලා කියනවා,
“තෑන්ක් යූ, මල්ලි, මගෙ මල්ලිත් ඔයා තරම්මයි. මම අවුරුද්දට ගමේ යනකොට මිනිහට සූට් එකක් මහගෙන යන්නයි හදන්නෙ. යං මං ඔයාව ගිහින් දාන්නම්.”

රංජියට පොලිස් කාරයට උම්මා එකක් දෙන්න හිතුනත්, “නෑ අයියෙ මට ගියෑකි,” කියලා එතනින් ක්ෂනිකව වාශ්ප වුනා.

ස්ටේෂම ඉස්සරහ අර වොලිබෝල් ගහන කෂ්ටිය පහුවෙනකොටම අර බ්‍රහ්මචාරී අදහස අතෑරලා දැම්ම. විනාඩි දහයකින් විතර මෙන්න අර කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලන්න පොරොන්දුවෙච්ච බුවා මල් වත්තේ අත් අල්ලගෙන ඇවිදිනවා.

 

ටැග:

24. ඇණේ


මේ කතාව දන්නවද?

මේක ලියලා චිත්‍රෙ හෙම ඇඳලා තෙලැට්‍රෝවට දාන්න සෙට් වෙනකොට මෙන්න image uploading diable  කරලා. ඇඩ්මින් ගොයියට ඊයක් යවලා බැලුවා, තාම නිදිද කොහෙද. ඇඩ්මින් ගොයියා චිත්‍රෙ දාන්න බෑ කිව්වොත් දාන්නයි ඉන්නෙ ලින්ක් එකක් මෙතනට.

අපරාදෙනෙ මෙච්චර මහන්සි වෙලා ඇඳපු චිත්‍රෙ.

DISCLAIMER POJJA‍:

මෙවර කතාවට කිසිම පුද්ගලයකුගේ හෝ නම් ගම් භාවිතා කර නොමැති අතර අදාල පින්තූරය දෙස බලා නොයෙකුත් මනස්ගාත සිතෙන් මවාගත්තාට කතුවරයාට කල හැකි දෙයක් නොමැත. මේ අහවලා යයි යම්කුට සිතේ නම් එය හුදු මනෝ විකාරයක් පමණි

Oct 12th:

ඔන්න අලුත් අදහසක් ඔලුවට ආව. මේ එක එකා කියනවනෙ ඔය පින්තූරෙ ඉන්නෙ ඔබා අයියයි වෙනි එලදෙනයි කියල (උන්ටනම් පිස්සු) ඉතින් මම කල්පනා කලා මේක ඔබා අයියගෙ බ්ලොග් එකේ දැම්මොත් හොඳයි කියලා. එහෙනම් මෙන්න ලින්ක් එක.

http://observer-nireekshaka-observer.blogspot.com/2011/10/blog-post_12.html#comments

අන්න ඕනයටයි ගයාන්ටයි කතාව මතක් වෙලා. හැබැයි ගයාන් කෝට් එක නම් නෙවෙයි.

 
ප්‍රතිචාර 16

Posted by මත ඔක්තෝබර් 10, 2011 in Uncategorized

 

23. වැහි වැහැලා වතුර ගලා


මම අර බල්බ් එක ගිලපු ගෙදරම තමයි මේ සිද්ධියත් වුනේ. අපේ ගේ ඉස්සරහ තිබිච්ච පල්ලියට අල්ලපු වත්තෙ තිබ්බ ගෙදර තමයි අන්කල් මැනුවෙල් බෝඩ් වෙලා හිටියෙ. මම හිතන්නෙ එයා මීගමුව කොච්චිකඩේ වාගෙ පලාතකින් ආපු ගුරුවරයෙක්. මම අන්කල්ගෙ අත්සනට හරිම ආසයි. මොකද ඒක තොප්පියක් දාපු මිනිහෙකුගෙ මූනක්. එම් අකුර තමයි තොප්පිය. අන්කල් අපේ පවුලේ ලඟම හිතවතෙක්.

ඔන්න දවසක් හොඳටම වහිනවා. අන්කල් අපේ සාලෙ වාඩි වෙලා නංගිටයි මටයි වැස්සට ගැලපෙන කවියක් කියා දෙනවා.

“ඔන්න පුතයි දුවයි හොඳට අහගන්න…

“වැහි වැහැලා

වතුර ගලා

අපේ මිදුල

වැවක් වෙලා”

මේක කීප වතාවක් කියලා..

“හා දැන් පුතා කියන්නකො ඉස්සෙලම.”

මම කියලා දැම්මා. අන්කල් මගෙ ඔලුව අත ගාලා.

“ආ අයියා බබා නම් හපනා.  දැන් නංගි බබා කියන්න බලන්න…”

ඔන්න නංගි කියනවා

“වැහි වැහැලා

වතුර ගලා

…”

එතනින් එහාට යන්නෙම නෑ. නංගි ප්‍රශ්ණාර්ථ ලකුණක් මූනෙ තියාගෙන අන්කල්ගෙ මූන දිහා බලා ඉන්නවා තව පාරක් ට්‍රයි කලත් ඒ ප්‍රතිඵලයමයි. දැන් කවුරුත් කල්පනා කරනවා ඇයි මේ  ළමයා මෙච්චර සරල කවිය නොකියන්නෙ කියලා.

අන්කල් මැනුවෙල් ටැක්ටික් එක වෙනස් කලා.

v“දූ මාත් එක්ක කියන්නකො,

“වැහි වැහැලා”

“වැහි වැහැලා”

“වතුර ගලා”

“වතුර ගලා”

“අපේ මිදුල…”

ඔන්න නංගි එක පාරටම කියලා දැම්මා.

“ඔයගොල්ලන්ගෙ මිදුල

වැවක් වෙලා”

හැමෝම (මම හැර) බඩවල් අල්ලගෙන හිනාවුනා. බලන කොට ලොජික් ප්‍රශ්ණයක්නෙව  තිබිලා තියෙන්නෙ.

 

ටැග:

22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.


දැන් අපි අපේ ළමයින්ට පළතුරු කවන්න පුදුමාකාර සටනක් දෙනවනෙ. එයාලා පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක් තුන් වේලටම රස කර කර කයි ඉඩ දෙනවා නම්. පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක් ඕනැ වෙලාවක ඔට්‍ටුයි.

නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම් ශීතකරනයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.

නමුත් අපි පොඩිකාලෙ ඕකෙ අනිත් පැත්ත. ඇත්තෙන්ම අපේ අම්මලා, විශේෂයෙන්ම ආච්චිලාගෙ උපදෙස් වලට අනුව, කියුබාවට, උතුරු කොරියාවට වගෙ, අපිට පළතුරු සම්බන්ධව සම්බාධක පනවලා තිබ්බෙ නොයෙකුත් හේතු මත. ඇත්තෙන්ම මිත්‍යා මත වලට අනුව. (Old wives’ tales.)

ජම්බු වැඩිය කන්න එපා: ගිණියමයි/වමනෙ යයි.

රඹුටන් වැඩිය කන්න එපා: ගිණියමයි/උගුරෙ අමාරුව හැදෙයි/කතා කරගන්න බැරුව යයි.

කාමරංගා වැඩිය කන්න එපා: ඉහත හේතූන්මයි.

වරකා වැඩිය කන්න එපා: අම්මෝ දිරවන්නෙ නෑ. බඩ රිදෙන්න ගනී.

ජම්බෝල: හම්මෝ පෙන්නන්නවත් එපා / බඩේ අමාරුව.

අඹ: ඌ.. තුවාලයක් තියෙනව නම් වැඩි වෙනවා. උණ තියෙනවා නම් අල්ලන්නවත් දෙන්න එපා.

පේර: ආපෝ බඩේ අමාරුව. විශේෂයෙන්ම පොඩි අයට ඇට හරී…ම අගුණයි. මං හිතන්නෙ ලමයි මැරිලත් තියෙනවාලු පේට ඇට කාල.

උගු‍රැස්ස: පිස්සුද? ගිණියමයි කියලා දන්නෙ නැත්ද?

ඔන්න ඔය වගෙ. හැම පළතුරටම සම්බාධක. එක්කෝ ගිණියමයි, නැතිනම් සීතලයි. මේ මත පිළිගන්න එවුන් අපිට පස්සෙ පරම්පරාවලත් ඉන්න බව ලැජ්ජාවෙන් වුනත් පිළිගන්න වෙනව.ඉතිං අපි පොඩි කාලෙ පළතුරු කන්න අපි හරි ආසයි. ඉඩ ලැබුනු ගමන්ම ඇරියස් එක්කම දෙනවා වැඩේ.

ඔන්න දවසක් මට උණ ගැනිලා ඉඳලා සනීප වේගන එනවා විතරයි. ගෙදරට කවුදෝ පැණි බේරෙන සුවඳ හමන අඹ පාර්සලයක් ගෙනත් දීල. මම සනීපවෙනකල් හිටියොත් අඹ නරක් වෙන්න පුලුවන් නිසා අනිත් අය අඹ කන්න තීරණය කලා මට නොපෙනෙන්න.  මමත් හරි පෙරේතයි අඹ වලට.කොහොම හරි මට මේක මීටර් වුනා දිව ඇරෙන්න අනිත් ඉන්ද්‍රියයන් ඔක්කොගෙන්ම. ඔව් බොල හමටත් දැනුනා..

අම්මා කිව්වා,“අපි ඔයාගෙ අඹ අරන් තියලා තියෙන්නෙ සනීප වුන ගමන් කන්න,”කියලා.

ඉතිහාසගත වෙච්ච කියමන් දන්නවනේ උඹලා. අපි නම් ඒවට කියන්නේ වයිස්ක්‍රැක්ස් කියලා. නී ල් ආම්ස්ට්‍රෝං කිව්වේ,  ‘මිනිසෙකු තැබූ කුඩා පියවරක්’ ගැන හඳට පය තියපු වෙලාවේ. එතකොට විලියොං හෙල්ල හොලවන්නා කිව්වේ, ‘ජීවිතය රඟ මඬලකි.. ‘ කියලා. තව දු‍ටුගැමුණු රජතුමා කිව්වේ, ‘මාගේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව…’ කියලා. ආන්න වයිස්ක්‍රැක්ස්.

මෙන්න මේ වෙලාවෙ තමයි, ළදරු බ්ලොග්වෝකර් හෙවත් ඩූඩ් ඒ වයසට නොගැලපෙන, දශක ගණනාවක්ම පවුලේ හිට් එකක් වෙච්ච, බ්ලොක්බස්ටර් වයිස් ක්‍රැක් එක අත ඇරියෙ.

හිතේ අමාරුව වැඩි කමටම අහක බලාගෙන, බැරෑරුම්, එහෙත් ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි ගල් හිත්, අපායට ගෙනිච්ච බටර් වගෙ උණු වෙලා වැක්කෙරෙන, හරි පුද්ගලයන්ට ඇහුනානම් කෙලින්ම ඔස්කාර් සම්මාන ලැබෙන, පරාජිත, දුක්බර, බිඳුණු හඬකින්, මම මෙහෙම කිව්වා.

“අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි”© ® All rights reserved.

මේක ඇහුන පවුලේ කට්ටිය ගල් ගැහුනා. කටවල් වෙත ගමන් කරමින් තිබිච්ච අඹ කෑලි, අඹ හපමින් සිටි කටවල් විතරක් නෙවෙයි, කටේ සිට අන්නශ්‍රෝතය ඔස්සේ ආමාශය බලා ගමන් කරමින් හිටි අඹ හප, කටවල් දෙපැත්තෙන් නිකට කරා පෙරෙමින් තිබූ අඹ ඉස්ම, යන මේ හැම දෙයක්ම එහෙමම බ්‍රේක් ගහලා නතර වුනා. කෑලි කපලා කිලෝ ගානට විකුනන්න හැකි නිහඬතාවය යට කරගෙන  වරදකාරී හැඟීම් දෝරෙ ගලන්න ගත්තා.

ටිකකින් සිහි එලවා ගත්ත තාත්තා කිව්වා, “ඔන්න ඔය අඹ ගෙඩියක් දෙන්න ඔය කොල්ලට. අසනීපෙ වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියමු,” කියලා.

OBJECTION OVERRULED.

ඊට පස්සෙ කට්ටියම සතුටින් අඹ කෑව.

 

ටැග: ,