RSS

Daily Archives: ඔක්තෝබර් 1, 2011

22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.


දැන් අපි අපේ ළමයින්ට පළතුරු කවන්න පුදුමාකාර සටනක් දෙනවනෙ. එයාලා පළතුරු ඇරෙන්න ඕනැම කෘතිම ආහාරයක් තුන් වේලටම රස කර කර කයි ඉඩ දෙනවා නම්. පොටේටෝ චිප්ස්ද, ෆ්‍රයිස්ද, ටිපි ටිප්ද, කොකා කෝලාද, රෙඩ් බුල්ද ඕනැ එකක් ඕනැ වෙලාවක ඔට්‍ටුයි.

නමුත් පළතුරු අනිවාර්ය කරලා තියෙන නිසා වැඳලා වගෙ තමයි කවා ගන්න වෙලා තියෙන්නෙ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තම් ශීතකරනයෙ හංගන්න බලනවා. කෑ ගැහුවම වෙන විකල්පයක් නැති නිසා, මූණ ඇඹුල් කරගෙන, තිත්ත කසායක් බොනවා වගෙ අප්පිරියාවෙන් ගිල දමනවා. හරියට මම ඉස්සර කරවිල කෑවා වගේ.

නමුත් අපි පොඩිකාලෙ ඕකෙ අනිත් පැත්ත. ඇත්තෙන්ම අපේ අම්මලා, විශේෂයෙන්ම ආච්චිලාගෙ උපදෙස් වලට අනුව, කියුබාවට, උතුරු කොරියාවට වගෙ, අපිට පළතුරු සම්බන්ධව සම්බාධක පනවලා තිබ්බෙ නොයෙකුත් හේතු මත. ඇත්තෙන්ම මිත්‍යා මත වලට අනුව. (Old wives’ tales.)

ජම්බු වැඩිය කන්න එපා: ගිණියමයි/වමනෙ යයි.

රඹුටන් වැඩිය කන්න එපා: ගිණියමයි/උගුරෙ අමාරුව හැදෙයි/කතා කරගන්න බැරුව යයි.

කාමරංගා වැඩිය කන්න එපා: ඉහත හේතූන්මයි.

වරකා වැඩිය කන්න එපා: අම්මෝ දිරවන්නෙ නෑ. බඩ රිදෙන්න ගනී.

ජම්බෝල: හම්මෝ පෙන්නන්නවත් එපා / බඩේ අමාරුව.

අඹ: ඌ.. තුවාලයක් තියෙනව නම් වැඩි වෙනවා. උණ තියෙනවා නම් අල්ලන්නවත් දෙන්න එපා.

පේර: ආපෝ බඩේ අමාරුව. විශේෂයෙන්ම පොඩි අයට ඇට හරී…ම අගුණයි. මං හිතන්නෙ ලමයි මැරිලත් තියෙනවාලු පේට ඇට කාල.

උගු‍රැස්ස: පිස්සුද? ගිණියමයි කියලා දන්නෙ නැත්ද?

ඔන්න ඔය වගෙ. හැම පළතුරටම සම්බාධක. එක්කෝ ගිණියමයි, නැතිනම් සීතලයි. මේ මත පිළිගන්න එවුන් අපිට පස්සෙ පරම්පරාවලත් ඉන්න බව ලැජ්ජාවෙන් වුනත් පිළිගන්න වෙනව.ඉතිං අපි පොඩි කාලෙ පළතුරු කන්න අපි හරි ආසයි. ඉඩ ලැබුනු ගමන්ම ඇරියස් එක්කම දෙනවා වැඩේ.

ඔන්න දවසක් මට උණ ගැනිලා ඉඳලා සනීප වේගන එනවා විතරයි. ගෙදරට කවුදෝ පැණි බේරෙන සුවඳ හමන අඹ පාර්සලයක් ගෙනත් දීල. මම සනීපවෙනකල් හිටියොත් අඹ නරක් වෙන්න පුලුවන් නිසා අනිත් අය අඹ කන්න තීරණය කලා මට නොපෙනෙන්න.  මමත් හරි පෙරේතයි අඹ වලට.කොහොම හරි මට මේක මීටර් වුනා දිව ඇරෙන්න අනිත් ඉන්ද්‍රියයන් ඔක්කොගෙන්ම. ඔව් බොල හමටත් දැනුනා..

අම්මා කිව්වා,“අපි ඔයාගෙ අඹ අරන් තියලා තියෙන්නෙ සනීප වුන ගමන් කන්න,”කියලා.

ඉතිහාසගත වෙච්ච කියමන් දන්නවනේ උඹලා. අපි නම් ඒවට කියන්නේ වයිස්ක්‍රැක්ස් කියලා. නී ල් ආම්ස්ට්‍රෝං කිව්වේ,  ‘මිනිසෙකු තැබූ කුඩා පියවරක්’ ගැන හඳට පය තියපු වෙලාවේ. එතකොට විලියොං හෙල්ල හොලවන්නා කිව්වේ, ‘ජීවිතය රඟ මඬලකි.. ‘ කියලා. තව දු‍ටුගැමුණු රජතුමා කිව්වේ, ‘මාගේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව…’ කියලා. ආන්න වයිස්ක්‍රැක්ස්.

මෙන්න මේ වෙලාවෙ තමයි, ළදරු බ්ලොග්වෝකර් හෙවත් ඩූඩ් ඒ වයසට නොගැලපෙන, දශක ගණනාවක්ම පවුලේ හිට් එකක් වෙච්ච, බ්ලොක්බස්ටර් වයිස් ක්‍රැක් එක අත ඇරියෙ.

හිතේ අමාරුව වැඩි කමටම අහක බලාගෙන, බැරෑරුම්, එහෙත් ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි ගල් හිත්, අපායට ගෙනිච්ච බටර් වගෙ උණු වෙලා වැක්කෙරෙන, හරි පුද්ගලයන්ට ඇහුනානම් කෙලින්ම ඔස්කාර් සම්මාන ලැබෙන, පරාජිත, දුක්බර, බිඳුණු හඬකින්, මම මෙහෙම කිව්වා.

“අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි”© ® All rights reserved.

මේක ඇහුන පවුලේ කට්ටිය ගල් ගැහුනා. කටවල් වෙත ගමන් කරමින් තිබිච්ච අඹ කෑලි, අඹ හපමින් සිටි කටවල් විතරක් නෙවෙයි, කටේ සිට අන්නශ්‍රෝතය ඔස්සේ ආමාශය බලා ගමන් කරමින් හිටි අඹ හප, කටවල් දෙපැත්තෙන් නිකට කරා පෙරෙමින් තිබූ අඹ ඉස්ම, යන මේ හැම දෙයක්ම එහෙමම බ්‍රේක් ගහලා නතර වුනා. කෑලි කපලා කිලෝ ගානට විකුනන්න හැකි නිහඬතාවය යට කරගෙන  වරදකාරී හැඟීම් දෝරෙ ගලන්න ගත්තා.

ටිකකින් සිහි එලවා ගත්ත තාත්තා කිව්වා, “ඔන්න ඔය අඹ ගෙඩියක් දෙන්න ඔය කොල්ලට. අසනීපෙ වැඩි වුනොත් ඉස්පිරිතාලෙ ගෙනියමු,” කියලා.

OBJECTION OVERRULED.

ඊට පස්සෙ කට්ටියම සතුටින් අඹ කෑව.

 

ටැග: ,