RSS

28. දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

31 Oct

ගුරු සේවයේ පළමු අවුරුද්ද. මේ තමයි අර ගොං කේස් එක වෙච්ච ඉස්කෝලෙ. ලංකාවෙ අනිත් පැත්තෙ, ඒ කියන්නෙ අම්පාරෙ ඉකෝලෙක චමරියෙ තවත් බුවාලා දෙන්නෙකුත් එක්ක නැවතිලා හිටපු මට අර හෝම් සික්නස් කියන ලෙඩේ දරුණුවට වැලඳිලා තිබ්බේ. ඔහොම ඉන්න අතරවාරෙ දවසක සුපුරුදු කටහඬක් ඇහුනා එලියෙන්.

“හෙන්රි ඉන්නවද?”

“ඒයි හෙන්රියෝ, මේ කවුද ඇවිල්ල.”

මම දුවගෙන ගියේ බලන්න. මේ ගාමිණියනෙ. අම්ම තාත්තා දැක්ක වගෙ. මේකත් මට වඩා පන්ති කීපයක් ඉහලින් හිටියත් නාලන්දෙටමයි ගියේ.

“මොකද බං උඹ මෙහෙ කරන්නෙ?” මම ඇහුවා.

“මචං, අපේ ජීප් එකක් හදන්න දැම්ම අම්පාරෙ ගරාජ් එකකට. මට මතක් වුනා උඹත් ඉන්නෙ මෙහෙ කියලා.”

ඔය විදියට ආගිය කතා.

ගාමිණී වණජීවී අඩවි ආරක්ෂක නිලධාරි (Wild Life Ranger) කෙනෙක් වෙලා එතකොට අවුරුදු දෙකක් ඇති. මම මුංගෙ ගෙදර කොච්චර ගිහින් තිබ්බත්, ඉතාම හොඳ බොක්කක් තියෙන , නියමෙට චිත්‍ර, කාටූන් අඳින්න පුලුවන්, ඒ වගෙම සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් විදියට දැනගෙන හිටියත් මෙහෙම වන ජීවී ලෝලියෙක් කියලා නම් දැනගෙන හිටියෙ නෑ.

“ඒයි මේ වීකෙන්ඩ් එකනෙ. යමං අපිත් එක්ක. මම උඹව ඇදගෙන යන්නමයි ආවෙ.”

ඉබ්බා දියේ දාන්න හැදුවා වාගෙ. ගාමිණි වැඩ කරන කුමණ ජාතික උද්‍යානය තියෙන්නෙ කොහෙද කියලාවත්, අම්පාරෙ ඉඳලා කොච්චරද දුරද කියලා වත්, එතකොට ආපහු එන්නෙ කොහොමද කියලාවත්, මේ කිසිම දෙයක් වැදගත් නොවුණු මම උඩ පැනගෙන යන්න ලෑස්ති වුනා.

“මට පුළුවන් උඹව ගෙනත් දාන්න. දවස් කීපයකින් අපි එනවා හදන්න දාපු වාහනේ අරගෙන යන්න.” ගාමිණීම කිව්වෙ මම අහපු නිසා නෙවෙයි.

තවත් මොන කතාද? විනාඩි කිහිපයකින් මම ලෑස්තියි. ඒත් කෝ යකෝ සෙරෙප්පු දෙක. චමරියේ ගජේ ගහන එක සාමාන්‍ය දෙයක් වුනත්, අනිත් උන් දෙන්නම මෙතන ඉන්දැද්දි සෙරෙප්පු දෙක කොහෙ මක බෑ වුනාද?

එතකොටම මට මතක් වුනා අපිට කිරි බෝතලයක් ගෙනත් දෙන කොලුවා නිතරම අපිට ඔයවගෙ ප්‍රැක්ටිකල් ජෝක්ස් කරන බව.

“ඒයි විමල්, අර @$* මගේ සෙරෙප්පු දෙක උස්සල වගෙ. මචං මට උඹේ සෙරෙප්පු දෙක දියන්කො.”

“හරි ගෙනියපං. හැබැයි පු‍තෝ ගෙනිච්චා වගේම ආපහු ගෙනත් දියං.” කියලා විමලයා සෙරෙප්පු දෙකට invoice එකකුත් නිකුත් කලා. මට එවෙලේ නොතේරුනාට මේක මගෙ යටි හිතට ගැඹුරට කිඳා බැහැපු බව මට පස්සෙයි තේරුනේ.

පස්සෙ මම ගාමිණියත් එක්ක ජීප් එකට නැගලා ගමනාරම්භ කලා නොදන්නා ගමනාන්තයක් කරා.

ජීප් ඩ්‍රයිවර් නෝබට්. වණ ජීවී දෙපාර්තමේතුවට අයත්, මේ JEEP වර්ගයේ වාහනය අමෙරිකාවේ නිපදවූ බොඩියකට සහ චැසියකට, බ්‍රිතාන්‍යයේ නිපදවූ වායු සමීකරණ පද්ධතියකුත්, ජපානයේ නිපදවූ ISUZU එංජිමකුත් සවිකරලා හදපු නියම ජාත්‍යන්තර නිශ්පාදනයක් බව රථ ගායෙන් පෙලෙන මට හොඳට මතකයි. මේක ගාමිණියට මතක නැති බවත් මට විශ්වාසයි. (මෙතනදි ගාමිණියා මාව නැවතත් පුදුමයට පත් කලා. මම එන්ජිම MAZDA කියලා ලියලා මේ ඩ්‍රාෆ්ට් එක ගාමිණීට ඊමේල් කලාම ගාමිණී තමයි කිව්වෙ එන්ජිම ISUZU කියලා.)

මේක ජීවිතයටම අමතක නොවන චාරිකාවක්ක්. අම්පාරෙ ඉඳලා ටැමරින්ඩ් ගවර්න්මන්ට් (ඉංග්‍රීසියෙන් සියඹලාන්ඩුව), ලාහුගල, අරුගම්බේ, හරහා ඔකන්ද. එතනින් මුරපොලක් පහුකරලා ඇතුල්වුනාමයි කුමණ. ඇත්තටම කුමණ කියන්නෙ යාල ජාතික උද්‍යානයෙම අනිත් පැත්ත බව මම දැනගත්තෙ එතකොටයි. අන්තිමේදි අපි ඔකන්ද වණජීවී කාර්යාල, නිළ නිවාස තියෙන තැනට එනකොට හොඳටම ඇඳිරි වැටිලා.

වාඩියෙ හිටියා ගිය ආත්මෙ ගරාජ් එකක වැඩ කරපු හුරතල් මුගටියෙක්. වාහනේ නවත්තපු ගමන් මූ දුවගෙන ඇවිත් රෝද, ප්‍රෝපෙලර් ශාෆ්ට්, වගෙ දේවල් ඔක්කොම තියෙනවද කියලා චෙක් කරලා බලලා, ඩිෆරෙන්ෂල් එක උඩට වෙලා නින්දක් ගහනවා. නෝබට් වාහනය ස්ටාට් කරන්න කලින් මුගටියා කොහෙද කියලා බලනවා.

වාඩියෙදි කාපු කෑමත් විශේෂයි. අපි බත් කන්න ව්‍යංජන කීයක් හොයනවද? මෙතන වැඩි දෙයක් නෑ. උයන දේ අත දිග ඇරලා උයනවා. එදා බතුයි මසුයි. කොච්චි අහුරකුයි. බත් වැහෙන්න මස්. හැබැයි පු‍තෝ දඩ මස් නෙවෙයි හරිද? අපි එනගමන් මගින් ගත්ත මස් කිලෝ කිහිපය. පැනඩෝල් එකක් ගන්නවත් තැනක් නැති නිසා දවස් කීපයකට, මම හිතන්නෙ සතියකට සැරයක් ජීප් එකෙන් ඈත නගරයට යන්න ඕනෙ බඩු ලැයිස්තුව ලියාගෙන. ඉතින් දිව පිනවන්න බලපොරොත්තුවෙන් නම් මේ රස්සාව කරන්න බෑ.

එදා මාත් එක්ක වාඩියෙදි බත් කාපු, මට පවුලේ කෙනෙක් වගෙ සලකපු කීප දෙනෙක්ම අද ජීවතුන් අතර නැත්තෙ කොටි ප්‍රහාර වලින් මියගිය නිසා කියලා දැන ගත්තම හිතට ඇතිවෙන්නෙ පුදුම කම්පනයක්.

සාමාන්‍යයෙන් අභය භූමියකදි වාහනයෙන් බහින්න දෙන්නෙ නෑනෙ. නමුත් මට ලැබුනා මේ කට්ටියත් එක්ක කැලේ වරු ගනන් පයින් ඇවිදින්න දවස් ගනනක්ම.

යන මගදිම විල්ලුවක හිටපු Painted Stork වගෙ නානාප්‍රකාර කුරුල්ලො ගැන සුළු සේවකයට පවා තිබ්බෙ පුදුම දැනීමක්. රෑක ගාමිණියි මායි කෑම කාලා බංගලාවකට ජීප් එකේ යනකොට මුව රංචුවක් දැකලා ගාමිණී ජීප් එක රවුමට කැරකෙව්වෙ මුවෝ එලියට ඇහැ දීගෙන ඉන්න හැටි මට පෙන්නන්න.

දවසක් උදේ වරුවේ අපි කැලේ මැද්දෙන් ඇවිදගෙන යනවා. අපි එකා පස්සෙ එකා කැලේ ක‍ටු පඳුරු අස්සෙන් රිංගමින් යනකොට ඉස්සරහින්ම ගිය මග පෙන්වන්න එක පාරටම නැවතුනා. මම නතර වුනේ ගාමිණි මගේ උරෙස්සෙන් අල්ලල නවත්තපු නිසයි. මෙන්නෙ උස පඳුරට එහා පැත්තෙ හිටගෙන නොසෙල්වී ඉන්නවා කලු තාප්පයක් වගෙ, දළ බිම ගෑවෙන, මම දැකලා තියෙන දැවැන්තම දළ ඇතා!!

ඇත්තටම තව අඩි දෙක තුනක් ගියානම් අපි දැවැන්තයගෙ ඇ‍ඟේ හැපෙනවා.

පඳුරු කඩාගෙන කමින් හිටපු ඇතාට අපි එන සද්දෙ ඇහිල කෑම නවත්තලා බලං ඉඳලා. ඉස්සරහින් ගිය මග පෙන්වන්නා හෝ ගාලා අලි මන්තරයක් ජප කරන්න ගත්තා.

ඇතා හෙමිහිට හැරුනා අපි දිහාට. එක දෙයක්. මම හිතන්නෙ අපේ පිකප් එක හොඳයි අලියට වඩා. අපි කට්ටියම ආපහු හැරිලා දිව්වා. ඇතා දැන් එනවා පඳුරු පෙරලගෙන යුද ටැන්කියක් වගෙ අපෙ පස්සෙ පන්නගෙන. හොඬ උස්සගෙන. ගාමිණියා මගෙ අතින් අල්ල ගත්තා මාත් ඇදගෙන දුවන්න.

එතකොට තමයි ඇදහිය නොහැකි මේ සිද්ධිය වුනේ.

මගෙ සෙරෙප්පුවක් ගැලවුනා. මගේ කිව්වට විමලයගෙ. අර දල ඇතා අපි පාරෙ පන්නද්දිත් මම ගාමිණියගෙ අත ගසා දාලා අඩි කීපයක් පස්සට පැනලා සෙරෙප්පුව අහුලගත්තයි කිව්වොත් විශ්වාස කරනවද? ඒ සමහරවිට අරූගෙ තර්ජනය මගෙ යටි හිතේ තැන්පත් වෙලා තිබ්බ හන්දා වෙන්න ඇති. ගාමිණි මාව ඇදගෙන ටික දුරක් zigzag දුවලා ලඟම තිබ්බ පඳුරක් යටට රිංගුවා. කොහොම හරි ඇතාට අපිව මග ඇරුනා. මේකා පඳුරු පොඩි කරගෙන යුද ටැන්කියක් වගෙ අපිව පහු කරන් දිව්වා, අනිත් කට්ටිය පස්සෙන්.

ටිකකින් අපි එකිනෙකා නැවත හොයා ගත්තා. මම බය වුනේ ඊටත් සෑහෙන වෙලාවකට පස්සෙ. දැන් අපි මුගේ ෆෝටෝ ගන්න ඌව හොයාගෙන ආයෙත් පේලියට ගමන් කරනවා. ඔන්න එතකොටයි මට මරණ භය මොකක්ද කියලා දැනෙන්න ගත්තෙ. ඔයිට ඉස්සර මට ඔහොම දැනිලා තියෙන්නෙ රේල් පාර මැද්දෙ කාර් එකක හිර වුනු දවසෙ.

දාඩිය දාලා, දනිස් පන නැතිව ගිහිල්ලා, අධික පිපාසයක් ඇතිවෙලා, තොල කට වේලිලා, හදවත ගැහෙන රාවය ඔලු කට්ට ඇතුලෙ දැනෙන්න ගත්තෙ, අර විදියට එක පාරක් යන්තම් පණ බේරගත්ත අපි, ඒ ඇතාම හොයාගෙන කැලෑව තරණය කරන කොටයි.  මට මුන් කට්ටියම එක්ක ඇතිවුනේ තරමක කේන්තියක්.  අර දැවැන්ත දළ ඇතාගෙ බිම ගෑවෙන්න දිග දළ දෙක පපුව පසාරු කරගෙන යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මොන යම්ම හෝ වාසනාවකට යන්තම් පණ බේර ගත්ත එකේ, දැන් මොන මගුලකට මේ උගේ ෆෝටෝ ගන්න ඌව හොයාගෙන මරු කටට යනවද කියා හිතෙන් හිතමින් මමත් කැලේ පීරගෙන මුන් එක්කම ගියා.

අපිට ඇතාව හොයාගන්න බැරිවුනත්, වලහෙක් හිටපු ගුහාවක් ඇතුලට ගිහින් බැලුවා. ගල් තලාවක් උඩ දුම් දම්න අලි බෙටි තිබ්බා.

මේ ඇතා යාලටත් විශේෂ ඇතෙක් බව පස්සෙ ගාමිණි මට කිව්වා.  ගාමිණී මේ සිද්දිය ගාමිණීගෙ  “යාල නැගෙනහිර අහිම වනමං”  (Lost Trails in Yala East)  පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ගාමිණී කිව්ව තව දෙයක් තමයි, අලියෙක් පන්නනකොට කෙලින් දුවලා බේරෙන්න අමාරු බව. ඒ වගේම උගෙ ඇස් පෙනීම එතරම් හොඳ නැති බවත්, හොඳම දේ zigzag දුවලා  ලඟම තියෙන තැනක හැංගෙන එක බවත්. (ඌට හැරෙන්න තරමක් වෙලා යනවා).

අපි ආයෙ ගිය තැනක් තමයි කුමණ අභය භූමිය මැද්දෙ පිහිටලා තියෙන කුමණ ගම්මානයට. මේ මිනිස්සුන්ට අර ඔකන්ද මුර පොළ හරහා ඇතුල්වෙන්න අවසර තියෙනවා. ගම්මානයෙන් එලියට යන්න ඕනෙ අර මහ කැලේ තරණය කරලා. ඒක කොච්චර හයානකද කියන එකට උදාහරණයක් මට ගාමිණී පෙන්නුව.  ඒ තමයි අලි පහර දීලා තිබ්බ ගැමියන්ගෙ බයිසිකල් සංඛ්‍යාව. මේ ගම්මානෙ ඉස්කෝලයක්, තැපැල් කන්තෝරුවක් හෙම තිබ්බා. ජීවිතය දුශ්කරයි කියලා අපි අඬන්නෙ ඇයි කියලා හිතෙන්නෙ ඒ ජීවිත දිහා බලන කොටයි.

කොහොම හරි අමතක නොවන, දුර්ලභ අත්දැකීම් ගොන්නක් එක්ක ටික දවසකට පස්සෙ, අර හදන්න දාපු ජීප් එක ගෙනියන්න එන ගමන්,  ගාමිණියා මාව අම්පාරට ගෙනත් දැම්මා. ආපු ගමන්ම විමලයා අහපි කෝ උගෙ සෙරෙප්පු දෙක කියලා. මම සෙරෙප්පු දෙක ගලවලා දමා ගහලා කිව්වා,

මේං උඹේ සෙරෙප්පු දෙක. මේ මගුල හන්ද තව පොඩ්ඩෙන් අලියෙක් ගහල මං මැරෙන්නෙ.” කියලා.

අරූ කට ඇරං බලා ඉන්න හන්ද මම විස්තරේ කිව්වා.

ඔක්කොම අහං ඉඳපු විමලයා, “උඹ මාර පොරක්නෙ බං!” කිව්වා.

මට ඔය කාලෙ තිබ්බා ඩයරි ලියන පුරුද්දක්. මේ දැන් බ්ලොග් වලින් කරන්නෙත් ඒකනෙ. ඒත් මේ සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි ලියන විදියට නෙවෙයි. Full Page Diary වල චූටි අකුරෙන් ලියන්නෙ. මදි වුනාම තව කොල අලවලත් ලියනවා. මොකද ඒ දවස් වල ලව් කේස් ගොඩයිනෙ. අතිශය පෞද්ගලික ඒවා ලියන්නෙ IPS වලින්. ඒ කිව්වෙ International Phonetic Symbols වලින්. මට දැනුත් IPS වලින් වේගයෙන් ලියන්න පුලුවන්.

ඉතිං දවසක් මම අපේම ගෙදර ඊලඟ නිවාඩුවට ඇවිත් ඉන්නකොට ගාමිණියා ආව බයික් එකක. ඇවිත් කිව්වා,

“ඒ අන්න උඹ උඹේ ප්‍රේම පුරාණය එහෙ දාල ඇවිත් තිබ්බා. මම කම්මැලිකමට ඉන්න වෙලාවට කියවන්න පුලුවන් හරිය කියෙව්වා. යකෝ උඹටත් වෙන්නෙ බං මාර වැඩනෙ!” කියලා.

කොච්චර මාර වැඩද කියනවා නම් මම වරින් වර අර ඩයරි ගිණි දෙවියන්ට පුදනවා, සාක්කි නැති වෙන විදියට.

මෙවර චිත්‍රය ඇන්දේ මම නෙවෙයි. මේ කතාවෙ ඉන්න ගාමිණි විජිත් සමරකෝන් සොහොයුරායි. ගාමිණී තමයි Wildlife -Sri Lanka බ්ලොග් එක ලියන්නෙ.

මේ කතාව ගාමිණී විජිත් සමරකෝන්ගේම වචනවලින් කියවන්න ගාමිණීගේ විජිතයේ පළවූ “අහිමි වනමං” ලිපියෙන් පුලුවන්. මේ ලිපියේ අඩංගු වෙනවා ගාමිණී ලියූ යාල නැගෙනහිර අහිමි වනමං කෘතියෙ උපුටා ගැනීම් සහ මේ පිළිබඳ ප්‍රතිචාර කිහිපයකුත්.

ඒ එක්කම පසුපසින් පන්නාගෙන එක අලියෙකුගෙන් ගැලවෙන්නේ කෙසේද කියන එක මම මේ ලිපියේ ලියා තියෙන්නෙ ආධුනිකයෙකුගේ ඇහෙන් මට මතක විදියට. ඒ ගැන විශේෂඥ උපදෙස් ගාමිණීගේ විජිතයේ පලවූ “වන අලි සහ වල් අලි” ලිපියේ සහ ප්‍රතිචාරවල කියවන්න පුලුවන්.

එතකොට වර්ඩ්ප්‍රෙස් අකුරු ලොකු කිරීමට හෙන බැක් අප් එකක් දුන්න නවම් මාවතට මගේ උපහාරය. ස්තුතියි සහෝ.

 

ටැග: , , ,

33 responses to “28. දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

  1. Kasun Chanaka

    ඔක්තෝබර් 31, 2011 at 8:18 ප.ව.

    අම්මෝ කණ ගාවින් නේ ගිහින් තියෙන්නේ! ඕව ඉතින් නියමම අත් දැකීම් නේද? හැබැයි මහා මැටි වැඩක් කරලා තියෙන්නේ. සෙරෙප්පුව ගන්න ගිහින් මොනවා හරි වුනා නම් යාලුවට ජීවිතේම විඳවන්න වෙනවා.

     
  2. Observer

    ඔක්තෝබර් 31, 2011 at 8:18 ප.ව.

    අකුරු ලොකු කරපු එක නං ලොකු දෙයක්, දැන් ඔය නාකි යක්කුන්ටත් කියවන්න පුළුවන් ඇති කරදරයක් නැතුව, ඔය යස්සයො නං නොකියෙව්වත් එක අතකින් කමක් නැහැ.

    ප.ලි.
    නියම පෝස්ට් එක හෙන්රි, තාම වන ජීවී ගාමිණි ගෙ බ්ලොග් එක ඇතුළු දීල තිබුන එක ලින්ක් එකක් වත් චෙක් කොරල බැලුවෙ නැහැ, බුදු ෂුවර් ඉන්ටරෙස්ටින් ඇති කියල. එක කොමෙන්ට් එකක් වත් කියවන්නෙ නැතුව මේ කොමෙන්ට් එක ලියන්නෙ, ඒක මං අද ඉගෙන ගත්තෙ ලොකු ජෝන් කියල මට කොමෙන්ට් එකක් දාල තිබුන කෙනෙක් ගෙන්. පොර කියන්නෙ අනිත් අයගෙ කොමෙන්ට් කියෙව්වම මොලේ කොලොප්පන් වෙනව කියල, එතකොට කියන්න හිතාගෙන හිටපු දේවල් අමතක වෙනව වගේ දේවල් වෙනව ඇති නාකි පොරවල් වලට එහෙම. (මේ ක්‍රමේ හොඳද දන්නෙ නැහැ, ඒ වුනාට ට්‍රය් කොරල බලන්න එපෑ)

    මං කිව්ව නේද ඊයකින් ටොයෝට එකේ තිබ්බ “කාවසාකි” එන්ජිම ගැන. මතකද මන්ද ලංගමට ගෙනාව, ඔටෝමැටික් ඉසුසු බස් වගයක්. ඒවයෙ තිබ්බේ “ඇලිසන්” කියල ඇමෙරිකන් ගියර් බොක්ස් එකක්. බස් ගෙනාවෙ ලක්ස 14 ට, ගියර් බොක්ස් පාට්ස් ටොයෝට එකේ නැහැ, ලංකාවෙ “ඇලිසන්” ඒජන්ට් ගියර් පෙට්ටි රෙපෙයාර් එකට විතරක් ලක්ස 4 ක් ඉල්ලනව. අපේ එවුන් ගියර් පෙට්ටියක් මස් කරල, මැනල කොරල ඔක්කොම කෑලි ලෝකලි හැදුව. ලංගම හිටිය ඒ කාලේ සුපර්බ් මැෂිනිස්ට්ල, මිකැනික්ල, එහෙම.

    ආ… තව එකක් කියන්න බැරි වුනා, අලියෙක් එලෝනකොට දුවන ගමන් වමට හෑන්ඩ් සිග්නල් එකක් දාල, දකුණට හැරිල දිව්ව නං, අලිය වමට හැරෙනව. හෙන්රිගේ උපදේශක කිව්ව වගේ ඌ බ්රේක් ගහල හැරිල එනකොට, අපි රෙස්ට් හවුස් එකේ බියර් එකකුත් ගහල, අනිත් එවුන්ට අලිය රවට්ටපු හැටි ගැන කය්ය ගහනව.

     
  3. Weni

    ඔක්තෝබර් 31, 2011 at 8:55 ප.ව.

    ඩූඩ් ගාමිණි විජිත් සමරකෝන් ගෙ එෆ්බී එකේ තිබ්බ පිස්සු හැදෙන වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ටිකක් දැකලා මන් අවුරුද්දකට විතර උඩදි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මා.. ඩූඩ් දැන හඳුනා ගන්නත් ඉස්සෙල්ල ඉඳන් ගාමිණි මගේ එෆ්බී යාළුවෙක්..හැමදාම මම ඒ ප්‍රොෆයිල් එකට ගිහින් බලනවා අළුත් ෆොටෝ දමපු එව්ව..
    හෆොයි සෙරෙප්පුව නිසා තව පොඩ්ඩෙන් !

     
  4. ගෝල්ඩ් fish

    ඔක්තෝබර් 31, 2011 at 9:09 ප.ව.

    මට අර කිව්ව පොත ගන්න තැනක් කියන්නෝ……!

    තව පොඩ්ඩෙන් හෙන්රි…. උඩිං….

     
  5. ඕනයා (දුලිප් සිකුරාජපති)

    නොවැම්බර් 1, 2011 at 12:56 පෙ.ව.

    ගාමිනීගෙ බ්ලොග් එකට ගියා . . කියෙවුව . . ෆස්ටයි ඈ . . . නිකං ඉන්න බැරුවට බුකියෙ රික්වෙස්ට් එකකුත් දැම්ම.

    ඔබා අයිය කියල තියෙන්නෙ මේ සීන් එක නේද . . .???? හරියට ඔබා අයියගෙ සොයාගැනීමක් වගේ . . . .

     
    • Observer

      නොවැම්බර් 1, 2011 at 8:46 පෙ.ව.

      යකෝ ඔය කතා අපි අහනකොට, උඹය් කස්සය් බොලාගේ තාත්තලගෙ අස්ථි වලත් නැහැ

      උඹ කවදාවත් දැකල තියෙනවද මං අන්තිම පේලියෙ හරි කොහෙ හරි කොමෙන්ට් කරනව, ඔය කතාව මං කලින් අහල තියෙනව කියල, වැඩිම උනොත් කියල ඇත්තෙ ඕකෙ වෙන වර්ෂන් එකක් අහල තියෙනව කියල විතරය්. බොලා අහල තියෙන කතා වලට වඩා වැඩිය් බන් මට අමතක වෙලා තියෙන කතා

       
      • ඕනයා (දුලිප් සිකුරාජපති)

        නොවැම්බර් 1, 2011 at 3:11 ප.ව.

        ඕකනෙ කියන්නෙ . . . අපි වගේ පොඩි එවුවො ටිකක් දඟලද්දි අයියල වගේ හද්ද වැඩිහිටියො කෝප ගන්න නරකයි . . . . අනික ඔහොම තදවෙච්චි වෙලාවක ප්‍රෙශර් එක නැගල හෝස් පයිප්පයක්වත් පිරුවොත් . . . ??? මොන දෙයියංට කියන්නද . . . ???
        මොකෝ ඔය මොඩල් එකේ පාට්ස් දැං කොම්පැනියෙ ගහනව කියලද . . . .????

         
  6. hirunijayawardenehiruni

    නොවැම්බර් 1, 2011 at 2:44 පෙ.ව.

    අම්මෝ, ඔහොම බේරුනා හොදයි…..මට එහෙමනම් සෙරෙප්පුව මතක් වෙන්නෙ අර වලස් ගුහාවට ගිහින් ඒ ජරාව දැක්කම…..නියම කතාව, නියම පින්තුර…….හරිම ලස්සනයි

     
  7. නවම්

    නොවැම්බර් 1, 2011 at 12:25 ප.ව.

    හෙහ් හෙහ්.. දැං මං හන්ද තුන් දෙනෙක්ම ලොකු කරගත්තෙ නෙව. සන්තෝසයි. තව කාට හරි ලොකු කරගන්න ඕනෙ නං කියන එකයි ඇත්තෙ. එක බෙහෙත් වඩියෙන්ම වැඩේ ගොඩ. 😉

    හපෝ හෙන්රි අලින්ට ඔච්චර බයයිද. මම නං දවසක් නොහෙල්ලී උන්න අලි හය හත් දෙනෙක්ම මගෙ ඉස්සරහින් ගියා මෙලෝ වගක් නැතුව. [ගංගාරාමෙ නවම් පෙරහැරේ]

     
  8. henryblogwalker

    නොවැම්බර් 1, 2011 at 9:32 ප.ව.

    @ කසුන් චානක: වැඩක් නෑ කියලා. Drama in real life. අපි සමහර වෙලාවට කරන කියන දේ ඇයි එහෙම කලේ කියලා කියන්න අමාරුයි.

    @ ඔබා: ඔබා අයිය නිතර කතා කරන නාකි සින්ඩ්‍රෝම් එක ගැන මම පෝස්ට් එකක් දාන්න ඉන්නෙ.
    මේ වෙනකොට අර ලින්ක් එකට ගිහින් ඇතිනෙ.
    අර ටොයෝටා එකේ කවසාකි එන්ජිම ගැන මට තවම අදහ ගන්න බැහැ.
    එතකොට ඔය ඔබා අයියා කියන එන්ජිම පස්සෙ තියෙන ඔටමැටික් බස් දැන් නැහැ. ඇත්තටම මමත් බස් එකක කෝච්චියක අවුරුදු දහයකින් විතර ගිහින් නැති බව ලැජ්ජාවෙන් උනත් පිලිගන්න වෙනවා.
    එතකොට අලිය පෙරලුනාට පස්සෙ ගිණිකූරක් ගහලා දාපු ගමන් බහ් ගාලා ගිනිගත්තලු මොකද තෙල් ගොඩනෙ. එන ගමන් අලු ගොඩත් බලලලු ආවේ.

     
  9. henryblogwalker

    නොවැම්බර් 1, 2011 at 9:43 ප.ව.

    @ වෙනී: ඇත්තද වෙනි? එහෙනම් අපි දෙන්නට mutual friend කෙනෙක් ඉන්නවා. ගාමිණී මේකට කොමෙන්ට් එකක් දායි. මම හිතන්නෙ මේ වෙලාවෙ ගිරිතලේ මොකක් හරි වැඩක් ඇති. ඒකයි පරක්කු. හොඳම බොක්කක් තමයි.

    @ ගෝල්ඩ් ‍ෆිෂ්: ගෝල්ඩ් ‍ෆිෂ්. ඕකට ගාමිණි උත්තර දෙයි. මම හිතන්නෙ දයාවංස ජයකොඩි පොතක්. හරි මාලු?

    @ ඕනයා: ඕනයත් මල්ටි ටාස්කිං බඩුවක් වගෙ. ඕනයගෙ වන ජීවී අංසෙකුත් තියෙනව එහෙනං ඈ? අපි හිතං හිටියෙ නිකම්ම වල් පොරක් කියලා. විහිලු විහිලු!

    @ ඕනයා සහ ඔබා: හාහා රන්ඩු වෙන්නෙ නෑ. ඕනයා, මේ දවස් වල ඔබා හරියට මරණ තර්ජන එල්ල කරනව බ්ලොගර්ස්ලට. අර පුඩිමෙ කේස් එක දුරදිග ගිහින් බලු කූඩුවෙද දන්නෙ නෑ.

    @හිරුණි: ස්තුතියි ස්තුතියි.

     
  10. henryblogwalker

    නොවැම්බර් 1, 2011 at 9:49 ප.ව.

    @නවම්: හැබෑද බොල? හිටපිය මම මේ කොමෙන්ට් එක චූටි මැණිකෙට දකින්න සලස්සවනකල් මේ පාර නිවාඩුවට ආවමවත්.
    මාත් ඔහොම සිංහයො හත් අට දෙනෙක් පහු කරං ගියා කැළනියෙදි. මේ මැටි එවුං.

     
  11. Weni

    නොවැම්බර් 2, 2011 at 1:44 ප.ව.

    ඉතින් ඩූඩ් එෆ්බී එකේ බොලා මට එවපන්කො රික්වෙස්ට් එකක් (ලැජ්ජවේ මූණ රතුවෙලා ඇඹරෙමින්…!!!) මන් බොලාව දන්නෙ නෑ එෆ් බී එකේ..Priyantha Weniwelpitiya කියලා සර්ච් කලා නම් මන් ඉන්නෙ ඔය බැබලි බැබලි..

     
  12. indika

    නොවැම්බර් 2, 2011 at 2:37 ප.ව.

    මටත් ඔය වගේ කිට්ටුවෙන් යන වනාන්තර අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒවා වචන වලට පෙරලන්න මට තේරෙන්නෙ නැහැ. මාත් කොලඹින් ඈත් වෙලා, වනාන්තර දිහාට එන්න එන්නම කිට්ටු වෙනවා. කැලේ කොලේ එක්ක ජීවිතේ හොඳයි.

     
    • henryblogwalker

      නොවැම්බර් 2, 2011 at 5:59 ප.ව.

      ඉතින් ලියලා දාමු ඉන්දික පුලුවන් විදියට. අපිත් ලේඛකයො නෙවෙයි. අනික මට මහා ගොඩක් වනාන්තර අත්දැකීම් නෑ.

       
  13. Gaminie

    නොවැම්බර් 2, 2011 at 8:35 ප.ව.

    කොමෙන්ට් එක ප්‍රමාද උනාට සොරි මචෝ. මේ දවස්වල ගිරිතලේට අම්බානක වහිනවා. අකුනු ගහල ඉන්ටර් නෙට් කනෙක්ෂන් එක යනවා, එනවා.

    යාලුවො ටික මගෙ බ්ලොග් එක කියවලා දාපු කොමෙන්ට් ගැන සතු‍ටුයි.

    මගේ පොත් දයාවංශ ජයකොඩි (මරදානෙ ආනන්දෙ ඉස්සරහ, එස්. මහින්ද හිමි මාවතේ) පොත් සාප්පුවෙන් ගන්න පුලුවන්.

    ඕකන්දෙ හිටපු හුඟ දෙනෙක් දැන් පැන්ෂන් ගිහිල්ලා, මැරිලා, අතුරුදන් වෙලා, නැත්තං ජොබ් එකට කෙලවෙලා. මම වගෙ අපතයො ටික දෙනෙක් තාම ඉතුරු වෙලා ඉන්නවා. ඉන්න ඕන එවුන් මැරිලා, මැරෙන්න ඕන එවුන් ඉතුරුවෙන එක ලෝක ස්වභාවයනේ මචං.

    යුද්දෙ කාලෙ අවුරුදු දහ අටක් කුමන වහලා තුබුනා. දන් ඇරලා. මේ පාර ආවහම විසිට් එකක් දාමු.

     
  14. පූසා

    නොවැම්බර් 4, 2011 at 1:51 ප.ව.

    මේ කතාවට මාතෘකාව දාන්න තිබ්බේ “දිවි පරදුවට තබා කබල් සෙරෙප්පුවක් බේරාගත් දා” කියලා!😀

    අකුරු ලොකු කරපු එකනම් හොඳයි

     
  15. henryblogwalker

    නොවැම්බර් 4, 2011 at 5:22 ප.ව.

    @ගාමිණී: ස්තුතියි තුමනි. යමු යමු.
    @පූසා: අඩේ පූසාටත් හතලිස් ඇඳිරිය තිබිලනෙ

     
  16. ලොකු පුතා

    නොවැම්බර් 4, 2011 at 9:41 ප.ව.

    (ඔන්න මමත් මේ පැත්තට ගොඩ වදින්න ආවා…)
    අගේ ඇති කතා පොඩ්ඩ. ඇත්තටම ඒ වෙලාවේ සෙරෙප්පුව දාල දුවපු නැති එක නොවැ වැඩේ කියන්නේ

    මම කුමන යන්න ගොඩක් ආසාවෙන් ඉඳල ගිය අප්‍රේල් වල ගියා
    දවස්‌ දෙකෙක් කෑම්ප් ගහගෙනත් හිටියා, හැබැයි සත්තු දැක්කෙනම් ටිකක් නෙමෙයි බොහොම අඩුවෙන්
    ඒත් අපි තල්ගස් මංකඩ සහ කුමනේ බලන්න තියෙන හැම තැනකටම වගේ ගියා
    අමතක නොවන ගමනක්
    අපි හිටියේ ඇද-කුඹුක කෑම්ප් සයිට් එකේ
    එතනට යනවා කියන එකනේ මහා එපාම කරපු ගමන, අපි ඒ කෑම්ප් සයිට් එක බුක් කරලා තිබුන නිසා අපි ඒ ගමන ගියාට අනිත් කිසිම මනුස්සයෙක් ඒ පැත්තට තමන්ගේ වාහනේ ගෙනිච්චේ නැහැ
    අඩු ගානේ හයර් එකට දුවන ජීප්වත්.
    දවස්‌ තුනක් ඒ පාරේ එහෙ මෙහෙ ගියාට පස්සේ මට කාපට් පාරක ඩ්‍රයිව් කරන හැටිත් අමතක උනා.
    ඒ මදිවට රෑ වැහැපු වැස්සකට කෑම්ප් එක ඇතුලට වතුර ඇවිත් හොඳ ගානට තෙමුනත් එක්ක

    @ ගෝල්ඩ් fish
    ගාමිණී මහත්තයාගේ පොත ලිබර්ටි ප්ලාසා එකේ යට තට්ටුවේ තියෙන Rohan’s Book Shop කියන පුංචි පොත් කඩෙත් තියෙනවා මම දැකල තියෙනවා

     
  17. Gaminie

    නොවැම්බර් 8, 2011 at 6:37 පෙ.ව.

    ලොකු පුතේ,

    තද වැහි කාලයට කුමන යන එන එක ටිකක් අමරුයි. (ටිකක් නෙමෙයි හුඟක්) යන්න කලින් කෝල් එකක් දාලා පාරවල්වල තත්වය චෙක් කර ගන්න එක හොඳයි. කොලඹ හෙඩ් ඔ‍ෆිස් එකෙන් නොම්මරය ඉල්ල ගන්න පුලුවන් (011 2888585)

     
    • ලොකු පුතා

      නොවැම්බර් 8, 2011 at 11:39 ප.ව.

      වහින බව ආරංචි වුනා, ඒත් ඉතිං මගේ නිවාඩු සති දෙක තුන ඇතුලෙනේ මේ ගමන යොදා ගන්න සිද්ධ වුනේ.
      ඒත් ඉතිං ලබපු අත්දකීම්නම් ගොඩක් වටිනවා. එදාම තමයි ඔය තරම් දරුණු Off-Road පාරක් දැම්මේ.
      කුමනේ පාරවල් වල වැහිකාලෙට යන්න ටිකක් නෙමෙයි හුඟක්ම අමාරු බව හොඳට දැනකියා ගත්තා ඒ ගමනෙන් පස්සේ.
      ඒ වුනාට ආපහු යන්න ඕනේ වෙලාවක.

       
  18. DJ

    නොවැම්බර් 14, 2011 at 12:39 ප.ව.

    හෙන්රි බ්ලොග්වොකර්,

    හම්මො! අනේ , අනේ! ඔයත් කරන පිස්සු වැඩ .. කබල් සෙරෙප්පු කුට්ටම ලොකු වුනානේ ජිවිතයට වඩා.

    DJ

     
  19. haree

    ජූලි 22, 2012 at 11:19 පෙ.ව.

    ඔන්න අදයි කියෙව්වෙ..

     
  20. Praසන්ன

    අගෝස්තු 15, 2012 at 9:59 පෙ.ව.

    මේකත් ගාමිනී අයියගෙ කතාව වගේම මාරයිනෙ. සෙරෙප්පු දෙකක් හින්ද අලියෙකුට ජීවිතේ පූජකරන්න ගිය මිනිහෙක් ගැන ඇහුවමද කොහෙද?

     
  21. marayagehorawa

    අගෝස්තු 17, 2012 at 9:46 පෙ.ව.

    කොහොම උනත් කුට්ටම බේරගෙන ආපහු ආව එක ලොකු දෙයක්නේ.. නැද්ද මං අහන්නේ..?

     
  22. RanDil

    අගෝස්තු 20, 2012 at 12:15 ප.ව.

    කොච්චර මාර වැඩද කියනවා නම් මම වරින් වර අර ඩයරි ගිණි දෙවියන්ට පුදනවා, සාක්කි නැති වෙන විදියට.

    හික් හික්……………………… ඒක නං ලස්සන කථාව

     
  23. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 9:26 පෙ.ව.

    ඔබාගේ අර වගේ කමෙන්ට් ආයිත් කවදා කියවන්නද ?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: