RSS

Monthly Archives: නොවැම්බර් 2011

35. මෙන්න මෙතනිං කපපං මචං


මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, කුමාරසිංහ වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය. දවසක් කුමාරසිංහලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි හතර දෙනා සෙල්ලම. කුමාරසිංහලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා ගමේම කොල්ලො.

ටෙනිසා ඇහුවා ,”උඹලා දන්නවද පොල්පිති ගොන්නු හදන්න?” කියලා.
අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං මචං.” ටෙනිසා කුමාරයට කිව්වා. කුමාරයා උගේ මනෝමය කාර් එකේම බෲම් කියාගෙන ගිහින් ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා පාක් කලා කාරෙක. කුමාරයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.
ඔන්න ටෙනිසන් ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම. මූ සෑහෙන ලොකු ගොනෙක්.
කුමාරයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” ටෙනිසා පිහිය අමෝරාගෙන කිව්වා.

කුමාරයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා.

“මෙතනිං කපපං මචං.” කිව්වා.
ටෙනිසා ඩකාස් ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක කුමාරයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. කුමාරයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

කුමාරයගෙ ල‍තෝනියට කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා.

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා. මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා. ටෙනිසා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපි තාත්තා බයික් එකේම ගිහින් කුමාරගෙ තාත්තයි කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරිනම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ කුමාර ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි ටෙනිසන්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නැ. ඉස්කෝලෙ කොල්ලො කුමාරයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම කුමාරට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම කුමාරසිංහව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු කුමාරසිංහ ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ කුමාරසිංහ නම් කරුණාකර මට ඊයක් එවන්න නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

 

ටැග: , ,

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොර‍ටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .

උඹ, බං, දියං, පලයං කියලා තමයි සුපිරිපාලතුමා සාමාන්‍යයෙන් කතා කරන්නෙ. හැබැයි ආදරේට. ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ බොක්ක හොඳයි. දෙපිටකාට්‍ටු වැඩ නෑ. බෙලි කැපිලි නෑ. හිතන්නෙත් සම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි. හැබැයි කටට බ්‍රේක් නෑ. නිසි තැනට අදාල උත්තර කොහෙන් කටට එනවද කියලා දෙයියෝ තමයි දන්නෙ. ඒ උත්තරෙත් ඇද බාන්නෙ කිසි කලබලයකින් තොරව, ඇඟට පතට නොදැනි, කූල් පිට. ප්‍රතිඵලයත් හරියට මල්ටි බැරල් එකෙන් ගැහුවා වාගෙ. හැබැයි පොර හිනාවෙන්නෙ නෑ. අහගෙන ඉන්න උනුයි බඩවල් අල්ලගෙන හක්ක පනින්න හිනාවෙන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ සුපිරිපාල තුමා ජෝකර් කෙනෙක් කියලා. පොරට මාර පෞරුෂයක් තිබ්බා.

දවසක් කට්ටිය වටවෙලා ඩ්‍රින්ක් එකක් දානවා. ඒ කාලෙ මතට තිතක් තිබ්බෙත් නෑනෙ. ඔන්න කට්ටිය දැන් කියෝනවා. අද බයිට් එක චූනා නොහොත් සංගීතය උගන්වන නාරද.

“ඒයි නාරද,” ඒ සුපිරිපාලතුමා බයිට් කෑල්ලක් කටට දාගන්න ගමන්. “මම කීප දවසක් බලාන හිටියෙ. මොනාද බං උඹ අර ළමයින්ට උගන්නන සංගීතෙ කියලා?”

“ඇයි සර්? මොකද?” නාරදයත් ඇහුවා ඇස් ලොකු කරගෙන.

“නෑ බං උඹ උගන්නනෙ බෝල මියුසිකුයි, පෙට්ටි මියුසිකුයිනෙ.”

දැන් අපි කාටත් කුතුහලේ මොකක්ද මේ අලුත් genre දෙක කියල දැන ගන්න.

“මෙන්න මෙහෙමයි මූ උගන්නන්නෙ.
ස……(අත්ලවල් සමාන්තරව පහලට ගෙන එමින්)
රී…(අත්ලවල් සමාන්තරව පැත්තට ගෙනයමින්)
උඹ පෙට්ටියක්නෙ බං පෙන්නන්නෙ.
දැන් අනිත් උන් හිනාවෙනවා. නාරදයා එච්චර කැමති වුනේ නෑ මේකට.

“හරි, ඒ පෙට්ටි මියුසික්නෙ. බෝල මියුසික් මොනවද? මම නිවීයන ගින්නට පිදුරු ටිකක් දැම්මා.

“මෙන්න මූ දවසක් සින්දුවක් උගන්නනවා ගෑනු ලමයි කට්ටියකට, අත් දෙකෙන් මෙන්න මෙහෙම පපුව ඉස්සරහා බෝල දෙකක් කරකවකව.”

“මොකක්ද මචං මේ බොසා කියන සීන් එක?” එතකොට උමේෂයා ඇහුවා

“යකෝ මං ඉගැන්නුවෙ ‘ඕලු නෙලාලා’ සින්දුව. එහෙම නැතුව ඕලු පෙන්නන්නෙ කොහොමද?” නාරදයා දැං ගොරවන්නෙ අපිට.

දැං කංටියම බක බක ගාල හිනාවෙනවා. නාරදයට මල.

“යකෝ, සින්දුවෙ තියෙන්නෙ ඕලු මල් විතරක්යැ බං. ඕලු නෙලාලා, මාල ගොතාලා තවත් මොනවද කරනවා නේද? උඹ මුලු සින්දුවෙම කලේ බෝල කරකවපු එකනෙ.”

නාරදයගෙ මූණ රතුවෙනව දැක්ක මම මාතෘකාව වෙනස් කලා.

සුපිරිපාලතුමා හැමෝවම බයිට් කරන නිසා, මම බුවාව බයිට් කරන්න හිතාගෙන මෙහෙම ඇහුවා. (මගෙත් කට එච්චර හොඳ නෑයි කියලයි අනිත් උන් නම් කියන්නෙ.)

“මොකක්ද සර් මේ වැඩේ තේරුම?”

“මොන වැඩේද බං?” සුපිරිපාල තුමා සීරුවෙන් තව ෂොට් එකක් වීදුරුවට වක්කරන ගමන් පිළිතුරු දුන්නා.

“සර් බැඳපු මිනිහෙක් නේද?” මං ඇහුවා. දැං ඔන්න හැමෝගෙම ගොසිප් ඇන්ටෙනා මේ පැත්තට හැරුනා.

“ඔව්. ඉතිං උඹට මොකද තියෙන අමාරුව?”, කියපු සුසිරිපාලතුමා ගිණිවතුර ෂොට් එකක් උගුරෙන් පහලට ඇරියා. ඊට පස්සෙ මූන ඇඹුල් කරලා, කඩදාසි නැප්කින් එකකින් කට පිහදාගෙන, අර ලා කොල පාටට හුරු අලුපාට ඇස් වලින්, මගෙ මූණ දිහා බලං ඉන්නවා.

“ඉතිං මොකක්ද සර් ඔය වැඩේ තේරුම? සර් මෙහෙ. වයිෆ් අරෙහෙ පානදුරේ. කසාද බැන්දට වැඩක් තියෙනවයැ?”

“මූ කියන කතාව ඇත්ත.” සුපිරිපාලතුමා දිග සුසුමක් හැරලා නැප්කින් එක ගුලි කරලා පිඟානට අතෑරියා.

ඊට පස්සෙ වටේටම ඉඳගෙන ඉන්න අපි කට්ටියම ආවරණය වෙන විදියට වටේටම ගෙන ගිය ඇස් අන්තිමේදි මා ගාව නතර වුනා.

මගෙ ඇස්දෙක දිහා එක එල්ලෙ බලාගෙන පාපෝච්චාරණයක් කරන විදියට ඉතාම දුක්මුසු හඬකින් මෙහෙම කිව්වා.

“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”

ඇත්තටම, මට හිනා ගිය පාරට මගෙ ඩ්‍රින්ක් එක නහයෙන් එලියට ආවා. සුපිරිපාලතුමා ගානක් නැතුව උඩ බලාගෙන තව බැදපු මස් කෑල්ලක් කටට දමාගෙන හපන්න ගත්තා.

DSCN3290_2_2

තවත් දවසක සුපිරිපාලතුමයි, උමේෂුයි, මමයි ගියා යාලුවො වගයක් බලන්න චමරියකට. අම්පාරෙ චමරි වැහි වැහැලා. ඕන් කට්ටිය එකතු වෙලා වැල ‍ෆිල්ම් එකක් බලන්න. ඕවා ගේන්නත් ඒ දවස් වල එක පොරක් සල්ලි එකතුකරගෙන යනවලු කල්මුණේට.

කොහොම හරි බලන කොට, එතන ඉන්නවා නගරෙම ඉන්න වැදගත්, පරිපාලන, ව්‍යාපාරික, එකී නොකී සියලුම අංශ නියෝජනය වන සාමාජිකයෝ.

‍ෆිල්ම් එක විතරක් නෙවෙයි, බෝතල්-කීතල්ද, අරකද-මේකද හැම එකම. අපිව දැක්ක ගමන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන එක මුදලාලි කෙනෙක් කියනවා,

“යකෝ මේ අපේ විදුහල්පති තුමානෙ. ඉතිං බලන්නකො අපිත් අපේ ළමයි යවනවනෙ ඔය ඉස්කෝලෙට.”

පොර ඒක විහිළුවට කිව්ව වුනත්, මටත් ඒක තදින්ම වැදුනා. මොකද අනිත් කෂ්ටියත් ඒකට පොඩි සපෝට් එකක් වගෙ දුන්නා. අපේ ගෞරවය එහෙම්පිටින්ම ‍රැඳිලා තිබ්බෙ අපේ ශ්‍රේෂ්ඨ, ජ්‍යේෂ්ඨ, විදුහල්පති තුමාගෙ බ්‍රේක් නැති කටේ.

“මේ මුදලාලි මහත්තයො,”සුපිරිපාලතුමා කියනවා. “මං මේ කට්ටියටමයි කියන්නෙ.”

දැන් කට්ටියම ඔලු හරවලා අපි දිහාට.

“මේ විදුහල්පතිවරු කියන්නෙත් අමුතු ජාතියක් නෙවෙයි. විදුහල්පතිවරුත් තමුසෙලා වගේම රෑට @#$%!”

කට්ටියම හොල්මං. කට උත්තර නෑ. අනාගෙන ගහන්න උරුක් කරපු මඩ ගුලි එහෙමම බිමට වැ‍ටුනා. මඩ ව්‍යාපෘතිය පටංගත්ත තැනම අවසන්. කට්ටියම හිනාවෙවී ආපහු තම තමන්ගෙ කතාවල් පටන් ගත්තා. අපිත් ෂොට් දෙකතුනක් දාගෙන වැලෙත් බලල අපේ චමරිවලට ගියා.

 

ටැග: , ,

33. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!


ඔබ මේ ලිපිය කියවන විට බොහෝ විට බ්ලොග්වෝකර් පවුල නැවත මව්බිම වෙත ලඟාවෙන ගමනේ යෙදිලා ඉන්නෙ. ගොඩින්, මුහුදින් හා ගුවනින් කලයුතු මෙම චාරිකාවේ අවසන් කොටසයි මේ. වසරක් පුරා පෙරුම් පුරලා, බලා ඉඳලා, සිහින මවලා, නැවත සියරට බලා එන මේ ගමන නියම ආතල් චාරිකාවක් විය යුතු වුවත්, එය එසේ නොවන්නට ගුවන් ටිකට් පත් ඒජන්ත හෝ බැංකුවක් හෝ මොනයම්ම හෝ ආයතනයක් වග බලා ගන්නවා.

මේ ගුවන් සමාගම් කොතරම් අපේ බලාපොරොත්තු සුන් කර, අපිව වාත කර ඇත්දැයි කියතොත්, අප සැනසුම් සුසුමක් හෙලන්නෙ දැවැන්ත එයාර් බස් ගුවන් යානය ලැසි ගමනින් ධාවන පථයෙ කෙලවරට ගිහින් ආපසු හරවා, ෆෝමියුලා 1 රේසිං කාරයකටත් වඩා වේගයෙන් ධාවන පථය දිගේ දුවගෙන ගිහින් අහසට පැන නැංගමත් නෙවෙයි, යානාව ගුවනට නැගී, නැගෙනහිර දිසාවට හැරුනු පසුවයි. ඔබ මට විශ්වාසයි. එතරම් විශ්වාසයි.

අප කී වතාවක්නම් ගුවන් යානයට නැගීමේ අවසන් නිවේදනය – FINAL CALL – නිකුත් වෙද්දී ගුවන් තො‍ටුපල පර්යන්ත හරහා දුවගොස් හති දමමින් ගුවන් යානයට ගොඩවී ඇතිද? ගුවන් ටිකට් පතක අවුලක් ලෙහා ගන්නට ගුවන් තො‍ටුපලේ ගුවන් සේවා කාර්යාලය මධ්‍යම රාත්‍රියේ විවෘත කරන තෙක් මුලු ‍රැයම එහි නිදි වරාගෙන ‍රැක සිටියෙ ගිය අවුරුද්දේයි. ඉඩ නෑ කියා කියූ සමහර යානාවලට ගොඩවූ පසු එහි කොතරම් හිස් ආසන ඇත්දැයි දැක්කම කාටද පිස්සු කියලා හිතෙනවා.

රාත්‍රී ගුවන් ගමන් වලට අපි කොහොමත් අකමැතියි. විශේෂයෙන්ම ගුවනේ සිට, වසරේ පළමු වරට මව් බිම දැකීමේ ආතල් එක අපට අහිමි වීම එක හේතුවක්. අනික ‍රැ දෙගොඩ හරියට ගෙදර ගියාම තමන්ගෙම ගෙදර අසරණ වෙනවා. එක හොඳක් තියෙන්නෙ කාටත් හොරෙන් ගෙදර යන්න පුලුවන්.

මුහුදුමට්ටමේ සිට අඩි 37000යි. යානාවෙන් පිටත අහසේ උශ්ණත්වය සෙල්සියස් අංශක සෘන 35 හෝ 40.

කෙළ ගිල්ලාම එන්ජින් සද්දෙ වෙනස් වෙනවා. කෙළ ගිලින්නෙ ඇයි? තව බියර් එකක් බිව්වා නම් මොකද?

තව ස්වල්ප වේලාව්කින් අප කොළඹ ගුවන් තො‍ටුපලට ගොඩ බහිනවා. කරුණා කර තම තමන්ගෙ ආසන වලට ගිහින් පටි පැළඳ ගන්නයි කිව්වෙ හොඳ හිතින්.

මට නම්, මව් රට බලා ආපසු පැමිනෙන ගමනෙදි ඉතාමත්ම හැඟීම්බර අවස්ථාව යානය මව් බිමේ ධාවන පථයට ගොඩබෑමයි. එකම ක්‍රමවේදය වුනත්, ආපසු යන ගමනෙදි විදෙස් ගුවන් පථය මත ගොඩ බෑමෙදි ඔය හැඟීම වෙනස්.

නිවේදනට පස්සෙ යානාව සීඝ්‍රයෙන් පහතට ගමන් කරනවා. හොඳ අවධානයෙන් හිටියොත් විදුලිමෝටර් මගින් රෝද ආවරන විවර වෙලා, රෝද පහත් වී අගුල් වැටෙන හඬ ඇහෙනවාටත් වඩා දැනෙනවා . විශේෂයෙන්ම පුතයි මායි සෙල්ලම් කරන Microsoft Flight Simulator ක්‍රීඩාවේ ගොඩබැස්වීමේ ක්‍රියාපිළිවෙල අපි දෙන්නම මතක් වෙන්නෙ නිතැතින්. ත‍ටු මත ඇති ස්පොයිලරයන් විවර වී සුළං කපාගෙන යන හඬත්, දැවැන්ත රෝල්ස් රොයිස් එන්ජින් යොදන පසු තෙ‍රැපුම් බලය නිසාත්, යානවේ ඇතුලට ඇහෙන හඬ උච්ච ස්වරයක් ගන්නවා.

යානය දැන් මඳක් නහය උඩට ඔසවා ගෙන පහලට ගමන් කරන්නෙ පසු පස රෝද කට්ටලය පළමුව බිම පතිත විය යුතු නිසායි. මේ තමයි ඉතාම හැඟීම් බර මොහොත.

තවමත්ගොඩබිමට සාපේක්ෂව අධික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානාවෙ දැවැන්ත පසු පස රෝද කට්ටලය එකාවන්ව ධාවන පථය සිපගන්නෙ යානාව පුරා පැතිරී යන දඩ දඩං හඬක් නගමින්, ධාවන පථයෙ තවත් කලු රබර් පැල්ලමක් ඉතිරි කරමින්. මඳකින් පතිතවන ඉදිරි රෝදත් බිම වැදුනු ගමන් අධික වේගයෙන් වැඩ බාර ගන්නවා. හයිඩ්‍රොලික් කම්පන වාරක පද්ධතිය “හිස්ස්” හඬක් නගමින් ගුවන් යානාවෙ මුලු බර කරට ගනිද්දී යානාව රෝද මත හරි බරි ගැහෙමින් ඉඳගන්නවා.

“අපි ගෙදර ආවා”, හදවත කෑ ගහනවා. දෑස කඳුලක සේයාවකින් තෙත්වෙන්නෙ,උගුර හිරවෙනවා වාගෙ දැනෙන්නෙ, ග්‍රීස් යකුන්, අමන රියැදුරන්, කුණු බක්කි වලට ළදරුවන් විසි කරන මව්වරුන් මොහොතකට අමතක වෙන නිසයි.

තවමත් අධික වේගයෙන් ගමන් ගන්නා යානය ධාවන පථයේ දිව යන්නෙ මටසිලු‍ටු ආකාරයට නොවේ.දඩ බඩ ගාලා. අධික වෙගය ධාවන පථයේ ඇති සුලු කඩතොලු පවා විශාලනය කරනවා. රෝද තිරිංගත්, එන්ජිමේ පසු තෙරපුමත්, ස්පොයිලරත් එකාවන්ව දෙන සටනින්, වේගය පරදවනවා. අපි පර්යන්තයේ ගේට්‍ටුව වෙත එන්නෙ ලැසි ගමනින්. පර්යන්තයේ ජෙට් මං යානයේ දොරටම සම්බන්ද කරන තෙක් යානයෙන් පිටවෙන්න බලා ඉන්න වෙනවා. හදිසි කාරයෝ නිසා හිටගෙන කොරිඩෝ අවහිර කරන් බලා ඉන්න්වා. නුවණැත්තෝ තව දුරටත් ඉඳගෙන දොර අරින තෙක් බල ඉන්නවා.

ඔලුවට ඉහලින් ඇති රාක්කයට තව වරක් එබිලා බලන එක කොහොමත් නුවණට හුරුයි, මොකද ගමන් මල්ලෙ තිබුනු මොනවත් ඇතුලට හැලිලද කියලා අර කලින් අහසෙදි ගැස්සුනු විදියට. අහසෙත් හරියට වලවල්. වායු අවපාත turbulence කියන්නෙ.

ඔන්න දැන් ගොඩබැසීමේ පත්‍රිකා පුරවන්න ඕනෙ. රටකින් රටකට යන කී දෙනෙකු අතේ පෑනක් නැත්ද කියලා බලාගන්න පුලුවන් හොඳම වෙලාවක් මේ. පෑන් නැති වුන් ඇති උන්ගෙන් හිඟමන් යදිනවා. ඇයි මුන්ට පෑනක් ගේන්න මතක් නොවෙන්නෙ?

ඔන්න මව්බිමේ පළවෙනි පොලිමේ, ආගමන විගමන. පරිඝනක තිරය දිහාත් මුහුණ දිහාත් හොඳින් බලා, ගොඩබැසීමේ මුද්‍රාව ගසා, ගමන් බලපත්‍රය ආපසු දෙන නිළධාරීන් ඉතාමත්ම කලාතුරකින් හිනාවකිනුත් සංග්‍රහ කරනවා.
Welcome back. Have a Nice Stay.ඕවා හොලිවුඩ් කතා.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණය දකින මට කවදත් සිහිවෙන්නෙ පිටකො‍ටුවෙ හරස් වීදියක්. “එන්න සර් මොනවද බැලුවෙ?”, “මැඩම් ෆ්‍රිජ් එකක් බලමුද?” ඩියුටි ‍ෆ්‍රී නම් සාප්පුවෙන් සාප්පුවට බඩුවල ගාන වෙනස් වෙන්නෙ කොහොමද? අනික ඇයි ලංකාවෙ පැමිණීමේ පර්‍යන්තයෙ තීරු බදු රහිත සාප්පු වල ගෘහ උපකරණ මිස, ලැප්ටොප්, පරිඝනක උපාංග, ඩිජිටල් කැමරා ආම්පන්න, ගමන් මලු වගේ අපිට ඕනෙ දෙවල් දෙවල් හිඟ? වෙළෙන්දො අපිට ගෘහ උපකරණ ගැන වර්ණනා කරන්නෙ හරියට අපි ගල්ගුහාවක ජීවත් වෙන ආදිවාසීන් කියලා හිතාගෙන වගෙ.

මෙතනත් වැඩි වෙලා ගතකරන්න නිදහසක් නැත්තෙ අපේ බෑග් පහල කැරකෙන පටියෙ කලන්තෙ හැදෙන කල් රවුමට යන නිසයි. baggage carousels තරමක් ප්‍රමාද වුනොත් එතන ඉන්න ආරක්ෂක නිළධාරිය හෙලන්නෙ නොපහන් බැල්මක්. ඊටත් පරක්කු වුනොත් බෑග් අතුරුදහන් වෙන්නත් බැරි කමක් නැහැ. මව් බිමනෙ.ඩියුටි ‍ෆ්‍රී වයින් බෝතල් දෙක තුන දිහා දකින කවුරුත් බලන්නෙ, හැඩ වැඩ කෙල්ලෙක් දිහා බලනවා වගෙ, කෑදර කමින් නැතිනම් ඉරිසියාවෙන්.

ශ්‍රි ලංකා රේගුවෙනුත් අපට වැඩි කරදරයක් නැහැ. සමහර විට දරු පවුලක් නිසා දුක හිතිලා වෙන්නැති. ඉන් පස්සෙ ATM යන්ත්‍රයකින් මුදල් ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. සාමාන්‍යයෙන් අපේ කාඩ් එකකින් මුදල් ගන්න පුලුවන් යන්ත්‍රයක් හම්බ වෙන්නෙ නැති තරම්. මොකක් හරි ප්‍රශ්නයක්.

මුලදි මුලදි නම් අපිව භාර ගන්න යාලුවො නෑදෑයො ආවත්, අවුරුදු දහයක් තිස්සෙ යන එන කොට නවතාවයත් ගිහිල්ලා, වාතයක් බවට පත්වෙලා. දැන් අපි යනකොට ගෙනත් දානවා විතරයි. අපිම ගුවන් තො‍ටුපල ඇතුලෙම තියෙන ටැක්සි සේවාවකින් වෑන් රථයක් වෙන්කර ගන්නවා. රුපියල් තුන් හාරදාහක් යයි. අච්චර දුරක් අපි තනියෙම තල්ලු කරන් ආ ගමන් මලු බලෙන්ම වෑන් එකට පටවන්න කීප දෙනෙක් තරඟ කරන්නෙ ඩොලර් කීපයක් ලැබේවි කියලා හිතාගෙන.

වෑන් එකට නැග්ගට පස්සෙ තමයි ඔරලෝසුවෙයි දුරකතනයෙයි වෙලාව නැවත ලංකාවෙ වෙලාවට කරකවන්නෙ. අවුරුද්දක් පසුම්බියෙ තියාගෙන ආරක්ෂා කරපු එටිසලාට් සිම්, විදේශීය සිම් කාඩ් වල තැන ගන්නවා. අවුරුද්දකට පස්සෙ සිංහල කනට ඇහෙන්න ගන්නවා. අපේම මිනිස්සු පාරෙ තොටේ ඉන්නවා පේනවා. අම්මෝ ඒ වුනාට වාහන එලවන හැටි දැක්කම පිස්සු හැදෙනවා. මුලින්ම දකින්නෙ මොනතරම් නලා හඬවනවද කියන එකයි. ත්‍රිරෝද රථ රියැදුරොයි, පුද්ගලික බස් රියැදුරොයි මට අමතක වලා තිබ්බෙ. ඔය යන්නෙ ඉස්සර වගේම.ගාල කඩා ගත්ත හරක් වගෙ.

මිණුවන්ගොඩ, ගම්පහ හරහා වෑන් රථය වේගයෙන් ඇදී යනවා. මම රියැදුරාත් එක්කා පොඩි පොඩි මාතෘකා ගැන කතා කරනවා.SMALL TALKS! ඩීසල් කීයද? පෙට්‍රල් කීයද? ග්‍රීස් යක්කු කියලා ජාතියක් හිටියලු නේද? අලුත් එක්ස්ප්‍රස්වේ එක අරින්නෙ විසි හතලු නේ? අපේ යක්කු මොනවා කරගනීද දන්නෙ නෑ. ඔය වගෙ යාවත්කාලීන කිරීම්.

ඔන්න අන්තිමේදි ගෙදර!! HOME SWEET HOME! වෙනදට නම් රියැදුරාට කියනවා බය නැතුව දාන්න ඔතනින් පල්ලෙහාට. ගේ ලඟින් හරවන්න ඉඩ තියෙනවා. මමත් හරවන්නෙ හැමදාම. මේ පාර ඒක හරි යන්නෙ නෑ. කාපට් තට්‍ටු දෙකක් දාලා තාර පාර උස්සලා, ගෙදරට යන පාරත් එක්ක විශාල ගැට්ටක් හිටලා. වාහනේ දාන්න පාර හදලා ඉන්න වෙනවා. රටේ ඉන්න අය තම තමාගෙ පාරවල් හදාගෙන. පාරෙ බැහැලා බෑග් උස්සන් යන්නයි වෙන්නෙ. හොඳ වෙලාවට ටෝච් එකක් ගෙනාවෙ. නැත්නම් මේ රෑ මාර කට්ටක් කන්න වෙන්නෙ.

ගමන් මලු බාන්න රියැදුරා උදවු වෙනවා. අතේ තියෙන ඔක්කොම හූරලා තමයි ටැක්සියට ගෙවන්නෙ.
2011හේ පළමු වතාවට යතුර දාලා දොර අරිනවා අපේම ගෙදර.HOME SWEET HOME. AT LAST!
ප්‍රධාන ස්විචය දාලා ලයිට් එකකුත් දාලා බලනවා. හුරේ ලයිට් තියෙනවා.

ඉස්සෙල්ලම බයික් එකයි වෑන් එකයි ආදරෙන් අතගාලා උම්මා දෙකකුත් දෙනවා. තනියෙන් හිටියට.

ටැප් ඇරියට වතුර නම් නැති බව මම දන්නවා. පැය බාගයක්වත් දඟලලා වස්ති කරලා තමයි ටැංකියට වතුර එකක් ගහන්නෙ. ලයින් එකට හුලං ඇදලනෙ.

මම වතුර ලයින් එකත් එක්ක දඟලන අතරේ දීපා නිදන කාමර වැක්යූම් කරලා නිදාගන්න පුලුවන් සයිස් එකට. ලාවට පුස් ගඳක් වගෙ තියෙනවා තවම.

තේ එකක් බොන්න පුලුවන් වෙයිද? වතුර නම් තියෙනවා. ගෑස්?
2010යෙ ගත්ත සිලින්ඩරේ නම් බරයි. නමුත් රෙගියුලේටරය ගැහුවත් ලිප නම් පත්තු වෙන්නෙ නෑ. ගිණි කූරක් ගහලා ගෑස් ඇරලා තමයි ස්ටාර්ට් එක දෙන්නෙ.

එනකොට අරගෙන ආපු ඉතුරු ටී බැග් ටික නිසා වැඩේ ගොඩ. සීනි නම් රා ගඳයි. උන්න හැටියට මලා මදෑ කිව්වලු. දැන් වෙන මොකුත් කරන්න බෑ. වැටිලා නිදා ගම්මු.

ගමන් මහන්සිය තිබ්බත් ලේසියෙන් නින්ද යන්නෙ නෑ. ඔලුව යකාගෙ කම්මල වගෙ.

යකාගෙ කම්මලට නැත්නම් ඔලුවෙ දුවන්නෙ මොනවද කියලා බලන්නම ඕනෙ නම් විතරක් පහල පුංචි අකුරෙන් තියෙන කොටස කියවන්න. ඕපා දූප එපා නම් කෙලින්ම ඊලඟ එකට යන්න

හෙට පාරෙ ගැට්ට හදන්න ඕනෙ… බයික් එකටයි වෑන් එකටයි බැටරි ඕනෙ… දෙකම ස්ටාට් කරන්න ඕනෙ… ඉන්ෂුර්වරන්ස් කරන්න ඕනෙ… දුම් පරීක්ෂාව කරන්න ඕනෙ..ලැප්ටොප් එක හදා ගන්න ඕනෙ…ප්‍රීපේඩ් ඉන්ටනෙට් කානෙක්ෂන් එකක් හොඳ එකක් බලල ගන්න ඕනෙ….බාත් රූම් එකේ වැඩ මේ පාරවත් ඉවර කරන්න ඕනෙ… පෝච් එකේ බතික් ගල් ටික අල්ලන්න ඕනෙ… පිටිපස්සෙ බැම්ම හදන්න ඕනෙ… පාර හදන්න ඕනෙ… නුවර යන්න ඕනෙ… අලුත් එක්ස්ප්‍රස්වේ එකේ යන්න ඕනෙ කැමරා චාජ් කරගෙන…රෝඩ් ට්‍රිප් දෙක තුනක් යන්න ඕනෙ… පුලුවන් උනොත් යාපනේ යන්න ඕනෙ… කෝච්චියෙ බදුලු යන්න ඕනෙ… ගාමිණියත් එක්ක කැළේ ඇවිදින්න ඕනෙ… අර පෙට්ටියෙ දාගෙන හැම තැනම ගෙනියන ෆොග් ලයිට් දෙක මේ පාර වත් හයි කර ගන්න ඕනෙ… වහලෙ උඩ වතුර ‍රැ‍ඳෙනවද බලන්න ඕනෙ නැත්නම් නඩු දානවලුනෙ… වත්ත සුද්ද කරන්න ඕනෙ… නියම සබ්වූෆර් තියෙන පපුවට ඩහ් ඩහ් ඩාල වදින සවුන්ඩ් සිස්ටම් එක වෑන් එකට හයි කරන්න ඕනෙ… පොලේ යන්න ඕනෙ, පොළොස්, මුකුණුවැන්න, ගො‍ටුකොල, හාල් මැස්සො කොහිල දලු කන්න ඕනෙ…ඉරිදා සිංහල පත්තර අරන් කියවන්න ඕනෙ ඉස්සරහ ඉඳගෙන කෝපි එකක් බිබී, කකුල් උඩ තියාගෙන… ‍ෆිල්ම් එකක් බලන්න ඕනෙ… ඉඳි ආප්ප කන්න ඕනෙ හින්දපු හාල් මැස්සොයි අල හොදියි සම්බෝලයි එක්ක… රේල් හයික් එකක් (ඒක නම් කියන්න බෑ)… ආප්ප කන්න ඕනෙ කෙසෙල් ගෙඩිත් එක්ක… බයික් එකට ස්ටේන්ලස් ස්ටීල් සයිලන්සර් දෙකක් හදවා ගන්න ඕනෙ………ZZZ

….ඔන්න අන්තිමේ නින්ද යාගෙන එන්නෙ. හෙට අලුත් දවසක්. අපේ නිවාඩුවෙ පළමු දිනය. අපිට වාසනාවන්ත නිවාඩු කාලයක් වේවා!

ZZZ…ZZZ…ZZZ…

 
ප්‍රතිචාර 28

Posted by මත නොවැම්බර් 20, 2011 in අත්දැකීම්, නිර්මාණ

 

ටැග: ,

32. මචං බාප්පලා සහ ‘ප‍ටුන’


මට ඉන්නවා මචං බාප්පලා සෙට් එකක්. මේ බාප්පලගෙ බාලම එකා මගෙ වයසෙ. මේ සෙට් එකේ ලොකුම බාප්පට විතරයි මම ඇත්තටම බාප්පා කියලා කතාකලේ. දෙවෙනියාට නමින් කතා කලා. තුන්වෙනියටයි හතරවනියටයි මචං කියලා කතාකලා.


මචං බාප්පලගෙ පවුලට තිබ්බා ව්‍යාපර කීපයක්ම. මුලින්ම ඔය ඔක්කොම තිබ්බෙ එක වහලක් යට. පිළිවෙලින් ටේලර් සාප්පුව, පත්තර ඒජන්සිය සහ මුද්‍රණාලය. ඔය කඩ පේලියම තිබ්බෙ මහජන පුස්තකාලයට යන ලේන් එකේ.

මේ මචං බාප්පලාට උඩ ඉඳලා පහලට, ලොක්කා, සුද්දා, පොඩ්ඩා සහ චූටි කියලා අපි කිව්වට ගමේ මිනිස්සු කිව්වෙ ලොකු රාළහාමි, සුදු රාළහාමි, පොඩි රාළහාමි සහ චූටි රාළහාමි කියලා.

ඔතන පත්තර ඒජන්සිය තිබ්බ නිසා paper route දෙකේ යන paper boys ල දෙන්නෙකුත් ඉන්නව. එකෙක් දවසක් කන පාත් වෙන්න ගහලා මචං බාප්පලට අදටත් වලංගු වෙන්න දුන්නනෙ චරිත සහතිකයක් කඩේ ඉස්සරහට ඇවිත් මය හයියෙන්, “මුං මහ _කේ රාළහාමිලා”, කියලා. මේක අදත් කට්ටිය කිය කියා රස විඳිනවා. කතාව ඇදුනොත්, “මොනාද රාළහාමි, මේ කාපු බීපු වෙලාවට කියන දේවල්”, කියල පොර හිනාවක් දාල ශේප් වෙනවා.

ඉතිං ඉස්සර ඉඳන්ම ‘කියවලා සම්පූර්ණ මිනිස්සු වෙන්න’ කියලා හිතාගෙන අපි පුස්තකාලයට රිංගලා බුද්ධියේ නිම් වලලු පුලුල් කරනවා. ඇත්තටම පොත පත් කියවන්නත්, ඒ හා සමානවම පුස්තකාලයට එන නංගිලාට බැල්ම දාන්නත් යන දෙවැදෑරුම් කාරණාම නිසා තමයි අපි නිතර ඔතන වන්දනාමාන කලේ. ඒ මදිවට සටහන් පොතකුත් අරගෙන ගිහින් පුස්තකාලෙ ලොකු රිෆරන්ස් පොත් පෙරලගෙන සටහන් ගන්න බවකුත් පෙන්නනවා. නමුත් ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරු‍ටු. මේ වගෙ.

අනිත් හැම පුස්තකාලයකම වගෙ මේකටත් ‘පිටතින් ගෙනෙන පොත් මෙතනින් තබන්න’ කියලා දැන්වීමක් ගහපු රාක්කයක් තියෙනවා. මොන හේතුවකට හරි අපි ඕකට කැමති නෑ. අපි කරන්නෙ එන ගමන්ම අපේ පොත් අර මචං බාප්පලගෙ කඩේ තියලා එන එකයි. ඒ ගමන්ම එතනත් ටිකක් වල බැහැලා, කැහි කූරක් දෙකක් ඇදලා, තෙල බෙදලා තමයි ඉතින් යන්නෙ.

දවසක් මම අතින් අත ගිහිල්ලම මුල් පි‍ටු ගැලවිච්ච,18+ පොතක් බාප්පලගෙ කඩේ තියලා පුස්තකාලයට ගියා. එන ගමන් කඩේට ගොඩ වැදිලා බැලුවම පොත අතුරුදහන් වෙලා.

“ඒ චූටියො, කෝ බං අපි මෙතන තියලා ගිය පොත?” මං ඇහුවා.

“ඇයි බං ඔතන ඇති, හොඳට බලපං.” චූටියා කිව්වා.

හොඳට බැලුවත් පොත තිබ්බෙ නෑ.

“මෙතන නෑ බං. මේ ෂෝ කේස් එක උඩනෙ තිබ්බෙ.”

“ආ, ඔන්න ඔය ෂෙල්ටන්ගෙන් අහපං.”

ෂෙල්ටන් කිව්වෙ එක paper boy කෙනෙක්. කැළණි ග‍ඟෙන් එගොඩහ ඉඳලා ආපු අහිංසක හිත හොඳ ඩයල් එකක්. ඔන්න එතකොටම ලඟ කඩේකට ගිහින් හිටිය ෂෙල්ටා ප්ලේන්ටී බෝතලේකුත් අරන් ආවා.

“ෂෙල්ටො, මෙතන තිබිලා පොතක් අරන් තිබ්බද?”

“පොතක් නේද? කෝ ඉන්න බලන්න.”

ඔලුව කස කස ටිකක් වෙලා කල්පනා කරපු ෂෙල්ටා,

“ආහ් හරි, අර ‘ප‍ටුන’ කියන පොතනෙ ඔය මහත්තයා කියන්නෙ.”

“මොනව කියන පොතද බං?”

“අර ‘ප‍ටුන’ කියන පොතනෙ.” කියලා තව පාරක් කියපු ෂෙල්ටා කබඩ් එකක් ඇතුලෙ අරන් තියලා තිබ්බ අපේ පොත මේසෙ උඩට දාලා’
“කාගෙද කියලා දන්නෙ නැති නිසා මම අරන් තිබ්බා.” කියල කිව්වා.

හැබෑම නේනං.  ප‍ටුන තමා ඒ පොතේ පළවෙනි පි‍ටුව. අනිත් ඔක්කොම ගැලවිලා ගිහින්.

අපි ඔක්කොම එක හඬින් බක බක ගාලා හිනාවුනු නිසා ෂෙල්ටනුත් අපිත් එක්ක හිනාවුනත් ඒ අහිංසකයට තේරෙන්න නැතුව ඇති ඇයි අපි ඒකට එච්චර හිනාවෙන්නෙ කියලා. පස්සෙ පොරට හෙමිහිට කිව්වා ප‍ටුන කියන්නේ මොකක්ද කියලා.

 

ටැග: , ,

31. යකෝ කෝච්චිය එනවා!!


සීවලී එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නෙ අවුරුදු නවයෙදි. අවුරුදු දොළහකට පස්සෙ තාත්තයි පුතයි ලංකාවට ආවා අවුරුද්දකට විතර. අම්මා එහෙ. ඒ දවස් වල මම අර මෝටර් ඉංජිනේරු ආධුනිකයෙක් වෙලා ඉන්න කාලෙ. අපි දෙන්නම එකට වැඩකලේ. ඉතිං මූ මගෙ බඩියෙක් වෙන්න වැඩි දවසක් ගියේ නෑ.

හැම එකාටම වගෙ මූටත් තිබ්බ නොවැ උපන් දිනයක්. තොපිට නාන්න දෙන්නම් කියකියා හිටපු පොර ඇත්තටම පාටිය දාන්න සෙට් කරගත්තෙ ඔය කොළඹ ඉඳන් දකුණට මුහුද අයිනෙ තියෙන සාද නිකේතනයක්. අපිටත් ඉතින් බොන්න හෙම බෑනෙ. අපි කට්ටියක් යන්න සෙට් වුනේ සීවලියගෙ තාත්තගෙ කාර් එකේ, වැඩ ඇරුනට පස්සෙ.

ඉතිං ඔන්න පාටිය නැගලම යනවා. කිව්වත් වගෙම බොන්නත් තිබ්බ නාන්නම. ඉතින් මද අඳුරේ, ඩිස්කෝ සංගීතයට නටමින් කට්ටියම හොඳට කෑව බිව්ව. ජොයින්ට් එකකුත් අතින් අත ගියා. නටලා නටලා ඩෝප් බස්සගෙන ආයෙම චාජ් කරගන්නවා. පාටිය පාන්දර වෙනකල්ම ගියා. සමහර පොරවල් මහ රෑ මුහුදෙ නාන්න ලෑස්තිය. සෙක්කලා හරිම අමාරුවෙන් මුන්ව නවත්ත ගත්තෙ.

අන්තිමේදි පාටිය ඉවර වුනා. කෙල්ලො සහ වාහන තිබ්බ අනිත් එවුන් එකා දෙන්න යන්න ගියා එන්ජින් රේස් කරගෙන හරියට MAD MAX වගෙ. අදනම් 2 Fast 2 Furious වගෙ. එහෙමත් නැතිනම් Need For Speed වගේ.

සීවලී කලින්ම අපිට කියලා තිබ්බෙ නුගේගොඩ දෙල්කඳ තිබ්බ උංගෙ ගෙදර ගිහින් නිදාගන්න පුලුවන් කියලා අපි ගැන්සියට. මමත් ගෙදරට කියලා ඇවිත් තිබ්බෙ රෑට එන්නෙ නැති බව. දැන් කවුද කාර් එක එලවන්නෙ? අපි මුලදිම වැඩිය බොන්නෙ නැති එකෙක් සෙට් කරලා තිබ්බෙ ගෙදර යනකොට කාරෙක ඩ්‍රයිව් කරන්න. බලනකොට මූත් මුලදි සෝඩා විතරක් බිබී ඉඳලා පස්සෙ දන්නෙම නැතුව දෙක තුනක් ඇනගෙන. හැබැයි දෙක තුනයි. අපිට තරම් අසාධ්‍ය නෑ.

අපි හය දෙනෙක් නැග්ගා පස්සට. එකා උඩ එකා ඉඳගෙන. මේක මුං එංගලන්තෙ ඉඳන් ගෙනාපු Volkswagen Derby 2 door කාර් එකක්. . ඉතින් දොර දෙකේ කාර් එකක පස්සට නගින්න ඉස්සරහා සීට් නවලා හෙම හෙන කට්ටක් කන්නත් එපායැ. ඉස්සරහට නැග්ගා අර කාර් එක එලවන්න තියාගත්ත ඩයල් එකයි සීවලියයි. මගෙ ඔඩොක්කුවෙ එකෙක්. ඔන්න අන්තිමේදි පිටත් වුනා ගෙදර යන්න.

දන්නවා ඇතිනෙ ඔය මුහුද අයිනෙ තියන රෙස්ටොරන්ට්, ගෙස්ට් හවුස් ඔය කොයි එකේ ඉඳලත් ගාලු පාරට යන්න රේල් පාර උඩිං යන්න ඕනෙ විත්තිය. ඒ වගෙම හරස් පාරවල් සිය ගනනක් තියෙන නිසා ඕවට ගේට්‍ටු නෑ. තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලා ගන්න ඕනෙ. ඒ වගෙමයි රේල් හරස් පාර ලඟ තාර ගැලවිලා වලවල් හැදිලා ගන්නම දෙයක් නෑනෙ. ඉතින් ඔන්න අපිත් දෙපැත්ත බලල රේල් පාර උඩින් උඩ පැන පැන යන කොට හරියටම පාර මැද්දෙදි කාරෙකේ එන්ජිම නැවතුනා. එකක් ලෝඩ් එක වැඩියි, අනික වලවල්.
අපේ ඩ්‍රයිවර් බුවා කලබොල වුනේ නෑ. මූ කැරකෙව්වා යතුර. මෝටරේ නම් දුවනවා බස බස ගාලා නමුත් කාර් එක ස්ටාට් වෙන්නෙ නෑ. එතකොටම එකෙක් කෑ ගැහුවා,

“යකෝ කෝච්චිය එනවා!” කියලා.

බුවා නැවත නැවත ට්‍රයි කලත් මෝටරේ දුවනවා විතරයි. බැහැලා දුවනවා නම් දුවන්න පුලුවන් ඉස්සරහ එවුන් දෙන්නට විතරයි. නමුත් උං එහෙම කලේ නෑ. අපි කොහෙ දුවන්නද? අපි පිටි පස්සෙ හිරවෙලානෙ දොර දෙකේ කාරෙක නිසා. ඒ මදිවට හය දෙනෙක් එකා පිට එකා ඉඳගෙන.

බුවා තව පාරක් යතුර කරකැව්වා. එම ප්‍රතිඵලයමයි. මෝටර් එක නිකන් කැරකෙන හැටි අහන් ඉන්න කොට අපිට තේරුනා බඩු පැකට් වෙන්න ආසන්න බව.

මම වට පිට බැලුවත් වැඩි දෙයක් පෙනුනෙ නෑ, මොකද මගෙ ඔඩොක්කුවෙත් එකෙක් ඉන්නවනෙ. එතකොටම කාර් එක ඇතුලට වැ‍ටුන කෝච්චියෙ හෙඩ් ලයිට් එලියෙන් මම දැක්ක අනිත් උන්ගෙ දහඩියෙන් නෑවුනු තැතිගත් මූණු. කෝච්චියයි කාර් එකයි අතර පරතරය තප්පරයෙන් තප්පරය අඩුවුනා. ඇත්තෙන්ම කෝච්චි එන්ජිමේ සද්දෙ නම් ඇහුනෙම නෑ. කාර් එකේ ස්ටාටර් මොටර් එකේ සද්දෙ යටපත් කරගෙන දැවැන්ත යකඩ යකා වානේ පීලි මත ඇතිකරන කම්පනය වානේ රේල් පීලි දිගේම ඇවිත් කාර් එක තුල හිරවී ඉන්න අපිව සසල කලා. මේ කම්පනයත්, කෝච්චි රියැදුරා උඩ නැගගෙන නොනවත්වා ගහපු, කන් පසාරු කරගෙන යන  නලා එකේ හඬත් ගෙවී යන මොහොතක් පාසා තීව්‍ර වෙන බව අපට දැනුනා.

මේ මොහොතෙ මට තේරුනා තව මොහොතකින් සියල්ල අවසන් වන බව. කෝච්චි වල හැපිලා මැරුනම ලේ ගලන්නෙත් නෑලු. හෙට පත්තර වල ඉස්සරහ පි‍ටුවෙ යන වර්ණ පින්තූර මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා. සුන්බුන් අතරෙ මිනිස් සිරුරු කොටස්.

එතකොටම වුණු දේ එච්චර පැහැදිලි නෑ. කෝච්චි හෙඩ් ලයිට් එකේ එලියයි, හෝන් එකේ සද්දෙයි, රේල් පීලි වල කම්පනයයි උපරිමයට ලඟාවෙනකොටම එක පාරට ඉස්සරහට පැන්න කාර් එක උඩ පැන පැන යනවා අපිට තේරුණා. අපේ පස්සෙ බම්පර් එකට අඩි කීපයක් පි‍ටුපසින් දුම්රියේ දැවැන්ත ඩීසල් එන්ජිම මහ හඬින් ගොරවාගෙන ගාල්ල දිහාට ඇදිලා ගියා. අප පසුකර යන ආලෝකවත්ව බැබලුණු දුම්රිය මැදිරි වල ජනේල පෙල කාර් එකේ පස්ස වීදුරුවෙන් අපිට පෙනුනා. වානේ දුම්රිය රෝද, වානේ පීලි මතින් ඇදී යද්දී නැගුනු ටක ටකස් ටක ටකස් හඬ මට ඇහුනෙ ලෝකෙ තියෙන මිහිරිම සංගීත ඛන්ඩය හැටියට.. අපිට ඇතිවෙච්ච හැඟීම කියාගන්න මම දන්න වචන මදි. ඒ නිසා නොකියා ඉන්නම්.

ටික වෙලාවක් යනකල් කවුරුවත් කතා කලේ නෑ. ටිකකින් හැම එකාම එකපාර කතා කරන්න ගත්තා. නරක වචන හොඳ වචන වල වෙනසක් තිබ්බෙ නෑ. හරිම මිහිරියට ඇහුනෙ. “@#$ තව පොඩ්ඩෙන් @%$# %4#&*%?”, වගෙ.

ඇත්තටම ඒ වෙලාවෙ වුනේ මොකක්ද වුනේ කියන එක හරියටම පැහැදිළි නෑ. පරස්පර විරෝධී අදහස් ගොන්නයි. සමහරු දිවුරනවා අන්තිම මොහොතෙ එන්ජිම අපට අනුකම්පා කරලා ස්ටාට් වුනා කියලා. එලෝපු එකා කියනවා ඌ කරන්නම දෙයක් නැති තැන ෆස්ට් එකට දාලා යතුර කැරකෙව්වලු. එතකොට කාර් එන්ජිම ස්ටාට් නොවුනත් ස්ටාටර් මෝටරේ කාර් එක ඇදගෙන රේල් පාරෙන් අහකට පැන්නලු.

කොහොම හරි හැම එකාටම ඕනෙ වුනේ අර කාර් එක එලවපු බුවාට උම්ම එකක් දෙන්න. ඌට හත් දෙනෙක් එකපාර උම්මා දෙන්න හදනකොට හිතා ගන්න පුලූවන්නෙ. ඒ වෙනකොට කාර් එක අර තාප්ප වලින් වටවූ ප‍ටු මාවත දිගේ ගාලු පාර දිහාට යමින් තිබ්බෙ. කාර් එක වැනි වැනී ගිහින් තාප්පෙක හැප්පෙන්න ගිය නිසා ඩ්‍රයිවර් බුවාට උම්මා එපා වෙල කෑ ගැහුවා ශුද්ද සිංහලෙන්ම, “නිකා හිටපියව් @3$!! යකුනෙ දැන් කාර් එක හැපෙනව කොහෙ හරි!! තොපි ඔක්කොටම ඩෝප්!! පිස්සු @3$%!” ඌ කිව්වෙ තරහින් නෙවෙයි. හිනා වෙවී.

හරි කොහොම හරි ජීවිත බේරුනානෙ. එච්චරයි. දැන් කවුරු හරි ඇහුවොත් මම බය වුනාද කියලා ඒක මෝඩ ප්‍රශ්ණයක්ම නෙවෙයි. මොකද රේල් පාර උඩදි ඇත්තම මම හරියට බය වුනේ නෑ. නිකම් හිරි වැටිලා වගෙ හිටියෙ. මට වෙන දෙයක් නෙවෙයි වගෙ. හරියට ‍ෆිල්ම් එකක් බලනකොට වගෙ.

මම එහෙම කියන්නෙ මේකයි. දැන් අපි හයි ලෙවල් පාරට දාලා නුගේගොඩ පැත්තට යනකොට ඔන්න මගෙ දනිස් දෙක පණ නැතුව ගියා, ඇස් නිලංකාර වුනා. සීතල දාඩියකින් මුලු ඇඟම තෙමුනා. ඔලුවෙ කෙස් ගස් අර 7UP කොලුවගෙ වගෙ කෙලින් හිටගෙන ඉන්නව මට දැනුනා. එත්කොට හදවත ගැහෙන රාවය ඇහෙන්න ගත්තෙ පපුවෙ නෙවෙයි: ඔලුව ඇතුලෙ. ඒකත් සිංගල් බීට් නෙවෙයි. ඩබල් බීට්. මම රේල් පාර උඩදි බය වුනා නම් මේ වෙන්නෙ මොකක්ද? මම හිතන්නෙ ඕකට කියන්නෙ delayed reaction එකක් කියලයි. මම ආයෙම ඔහොම බය වුනේ අර අලියා ගහන්න ආපු දවසෙයි.

දැන් කතාවෙ උපරිමයට ලඟා වෙච්ච නිසා හරිනම් කතාව මෙතනින් ඉවර වෙන්න ඕනෙ නේද? ඔව්. ඒ ප්‍රබන්ධ වලනෙ. සැබෑ ජීවිතේ එහෙම නෑ. මේ කතාවෙ තව ටිකක් තියෙනවා.
ඔන්න අපි සීවලීලගෙ (කුලී) ගෙදරටත් ආවා. ඩ්‍රයිවර් බුවා පෝච් එක යටම කාර් එක නවත්තලා බැස්සා. විශ්වාස කරපල්ලා අපේ බර්ත්ඩේ බෝයි තවම නිදි. ඌ මේ කිසි දෙයක් දැනගෙන ඉඳලා නෑ පෙනුන විදියට. කීප දෙනෙක් ඌව වත්තම් කරලා එලියට ගත්තෙ පිටිපස්සෙ උන්ට බහින්න සීට් එක නවන්න ඕනෙ නිසා.

ඔන්න එක පාරට පෝච් එකේ ලයිට් එක වැ‍ටුනා. දොරත් “බ්‍රාස්” සාලා ඇරුනා. සීවලීගෙ තාත්තා ඉනට අත් දෙක තියාගෙන බලා ඉන්නවා, මල් පොකුරම පැනලා. අපි ඔක්කොම ටිකක් පසු බෑවා.

” කට්ටියම හොඳට බීල නේද? පුදුමයි පොලිසියෙන් අල්ලගත්තෙ නැතුව!”

ඊට පස්සෙ තාත්තා තව ගොඩක් දෙවල්, සමාජ වගකීම්, සමාජ විරෝධී හැසිරීම්, පොලිසියේ යුතුකම් වගෙ මාතෘකාවල් ගොඩක් ගැන වරින් වර කියවමින් අපිට බැනගෙන බැනගෙන ගියා. අපිට කිව්වට සීවලියට. කරුමෙ කියන්නෙ මේ එකක්වත් අහගෙන ඉන්නවත්, අඩුම ගානෙ අපිව බේරගන්නවත් ඌට සිහියක් නෑ. ඌ වරින් වර මොනවද මුමුණනව, අපිට නෙවෙයි එංගලන්තෙ ඉන්න උගෙ චෙක් ජාතික ගර්ල් ෆ්‍රෙන්ඩ්ට.

අන්තිමේදි තාත්තා අඩියක් පස්සට අරගෙන අපිට සීවලියාව ඇතුලට ගන්න ඉඩ දුන්නා. ඌව ඇඳට දැම්ම විතරයි මෙන්න බබා වගෙ නිදි කොට්ටෙකුත් තුරුල් කරගෙන පෙම්බස් දොඩ දොඩ. අපි කට්ටියම දැන් මුගෙ ඇඳ වටේ ඉඳගෙන ගලේ පහරපු බළල්ලු වගෙ බලා ඉන්නවා. ටිකකින් රෝල් කරපු පැදුරු වගයක් පියාඹාගෙන ඇවිත් අපේ දෙපතුල් ලඟට වැ‍ටුනා. තව ටිකකින් කොට්ට රංචුවකුත් ඒ පාරෙම ආවා. ඊට පස්සෙ, “ටොයිලට් එක තියෙන්න අතන.” කියලා තදින් කියපු තාත්තා එයාගෙ කාමරේ දොර දඩාස් ගාලා වහගත්තා..

අපි පේලියට පැදුරු එලාගෙන කොට්ට දාගෙන දිග ඇදුනා. හැම එකාම පැතුවෙ ලඟ ඉන්න එකා තමන්ගෙ ඇඟට කබරයා නොදමත්වා කියන එකම ප්‍රාර්ථනාවයි.

පහුවදා උදේ මම නැගිටිනකොට සමහර උං උදේම යන්නත් ගිහින්. මම සීවලියගෙ මේසෙ උඩ තිබ්බ එල්විස් රේඩියෝ එක අතපත ගගා හිටියා. එල්විස් රේඩියෝ එක කියන්නෙ එල්විස් ප්‍රෙස්ලි සින්දු කියන ඉරියව්වකින් ඉන්න පොඩි පිළිමයක් පැතළි රේඩියෝවක් උඩ හයි කරලා හදපු විසිතුරු භාන්ඩයක්. එකපාරටම තාත්තා ආවා කාමරේට දුම් දමන කෝපි කෝප්ප කිහිපයකුත් එක්ක. හැබැයි ඊයෙ රෑට වඩා මූඩ් එක හොඳයි වගෙ පෙනුනෙ.

“Good morning Mr Youknowwho! And thanks.” ඒ මම අයිස් තට්‍ටුව තාම ගනකමද බලනවා.

“Good morning. You’re welcome.” ඒ තාත්තා. ටිකක් ග්‍රම්පියි. නමුත් ඊයෙ රෑ තරම්ම නෑ වගෙ.

ඊට පස්සෙ ඇතිවූ නිහඬතාවය මාව අපහසුවට පත් කරපු නිසා මම එල්විස්ව පෙන්නල කිව්වා.

“මරු ස්ටැච්‍යු එක නේද මේක? කියලා.

“හහ්,” තාත්තා අවුරුදු ගානකට කලින් මියපරලොව ගිහින් හිටපු Elvis the King දිහා අප්පිරියාවෙන් බලලා,

ඕකත් ඔය බීල වැඩිවෙලා මැරිච්ච එකෙක් තමයි.” කිව්ව.

ඒ කියලා ඊටත් වැඩිය අප්පිරියාවෙන් තවමත් නිදා ඉන්න සීවලියා දිහා බලලා කාමරෙන් එලියට ගියා.

මට තේරුනා තාම සාම සාකච්ඡා වලට කාලය නොවන බව. තාත්තා දන්නවානම් ඊයෙ ඇත්තටම වෙච්ච දේ මම හිතුවා. ඒ එක්කම මම හිතාගත්තා මේ ගැන අපේ ගෙදරටත් කිසිදා නොකියන්න.

ජීවිතයට උපදෙස් දෙකක්:
1. කවදහරි ඔබ පදවන වාහනය ඔය වගෙ රේල් පාර මැද්දෙ නැවතුනොත්, එන්ජිම ස්ටාට් වෙන පාටක් නැත්නම්, නමුත් මෝටරේ කැරකෙනව නම්, ගියර් එක දාන්න ෆස්ට් එකට. දාලා කරකවන්න යතුර ක්ලච් එක පාගන්නෙ නැතුව. ස්ටාටර් මෝටරය කාර් එක අනතුරුදායක රේල් පාරෙන් ඉවතට තල්ලු කරාවි. බොහෝ විට තල්ලු කරන්න කට්ටිය නැතිනම් එහෙම නැත්තම් ඔබත් බිරිඳත් විතරක් නම් ඉන්නෙ මේක බොහෝ වැදගත් වේවි. ඉන්න අනිත් මගියට පුලුවන් ඒ ගමන්ම තල්ලුවක් දෙන්නත්. (ඔය මැනුවල් ගියර්ස් තියෙන වාහන වලට. ඔටමැටික් D වලට දැම්මොත් හරිද කියලා කරලා බලලා මට කියන්නකො.)

2. මෝටරේ කැරකෙන්නෙත් නැත්නම් කෝච්චිය ලඟ එනවා නම් කාර් එකෙන් බැහැලා දුවන්න. හුරේ රන් ෆෝ ඩියර් ලයිෆ්! හැබැයි දුවන්න රේල් පාර අයින දිගේ කෝච්චිය එන පැත්තට. ඒ මොන පිස්සු උපදේශයක්ද කෝච්චිය පැත්තට දුවන්නෙ ඔබ කල්පනා කරනවා ඇති. හේතුව මේකයි. කෝච්චිය කාරෙකේ වැදුනම කාරෙක මිසයිලයක් වගෙ විසිවෙනවා. විසිවෙන පැත්ත කෝච්චිය ගමන් කරන පැත්තට. ඉතින් ඔබ ඒ පැත්තෙ හිටියොත්වෙන දේ කියන්න ඕනෙ නෑනෙ. ඉතින් කෝච්චිය එන පැත්තට දිව්වොත් ඔබට විසිවෙන කෑලි වලින් අනතුරක් වෙන්න බැහැ.

නමුත් හෙන්රිබ්ලොග්වෝකර් වන මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට කිසිදා එවන් අවස්ථාවකට මුහුණ පෑමට සිදු නොවේවා කියලා.

ඔබට මේ ලිපියේ ඉංග්‍රීසි මුල් පිටපත කියවන්න පුලුවනි මෙතනින්. Narrow Escapes 4: Stuck In The Rail Crossing!

මම මේ ලිපිය සිංහලෙනුත් දාන්න කල්පනා කලේ මට සමහරුන්ගෙන් ලැබුණු ඊ මේල් ඉල්ලීම් නිසාත් විශේෂයෙන්ම මගෙ සොයුරු වයිල්ඩ් ලයිෆ් ගාමිණී මෙම කොටස පිටපත් කරලා තවත් මිතුරන් ගණනාවකට යවා ඇති බව දැක්ක නිසායි.

 

ටැග: , , , ,

30. අන්තිම පේලියේ උංගේ නිදහස් ආර දම්වැල් චිත්‍ර (Free Form Chain Art.


ඔන්න නවම් මාවතේ පන්සල් හන්දියෙ තිබ්බ ඉස්කෝලෙට ස්වීඩනයෙන්ද කොහෙද ආධාර වගයක් ලැබිලා. ඔය කාලෙ අන්තිම පේලියෙ සමහරු හොස්ටල් එකේ තමයි ඉඳලා තියෙන්නෙ.  හොස්ටල් එකේ වෝඩන්ට ජය්යා සර් දාන්න හැදුවත් දෙමව්පියන්ගෙ විරෝධය නිසා ඔබා සර්ව දාලා. ඔබා සර් ඉතිං බෝ ගහ වගෙනෙ.  ජයියා අංශ ප්‍රධානාචාර්ය. හරිම සැරයි. විනය හපාගෙන තමා ඉන්නෙ. වේවැල පිටිපස්සට වෙන්න හංගගෙන කොරිඩෝ දිගේ ඇවිදිනවා බලන්න බයයි.

අන්තිමෙ පේලියෙ එවුං ඉන්න පන්තියට හම්බ වෙලා තියෙන්නෙ මැග්නෙටික් වයිට් බෝඩ් එකක්. ඔන්න බෝඩ් එක විවෘත කරන්නත් එක්ක එදා ටීච හිතුවා අලුත් ක්‍රියාකාරකමක් කරන්න.

ඔන්න මැග්නෙටික් බෝඩ් දැකලා නැති එවුන්ට බලාගන්න පින්තූරෙකුත් දැම්මා.

ඊගාවට ඔන්න ටීචර් නීති රීති පැහැදිලි කලා.

“ළමයි මේකට කියන්නෙ නිදහස් ආර දම්වැල් චිත්‍ර කියලා.
ඉංග්‍රීසියෙන් Free Form Chain Art.
කැමති ළමයි ඉස්සරහට ඇවිල්ලා (හැබැයි එක එක්කෙනා) වයිට් බෝඩ් මාකර් එක අරගෙන කැමති දෙයක් අඳිනවා. හැබැයි සම්පූර්ණ චිත්‍රයක් නෙවෙයි. කොටසක්.
කිසිම කෙනෙකුට කලින් ඇඳපු කොටස් මකන්න බැහැ. අලුතෙන් එකතු කරන්න විතරයි පුලුවන්.
නමුත් මට පුලුවන් සුදුසු නැති දෙයක් කියලා මම හිතන දෙයක් දැක්කොත් මෙන්න මේ කහ පාට ත්‍රිකෝනයෙන් ඒ කොටස වහලා දාන්න.
දැන් හැමෝටම තේරුනාද?”

අන්තිම පේලියෙ ඉන්නෙ කොහොමත් උනන්දුවො ටිකක්නෙ. හැමෝම ප්‍රීති ඝෝෂා කරලා කැමති වුනා.

කෙල්ලො ටික ඕනයායි අවංක පැට්ටයි දිහා බලලා “ඕං නරක චිත්‍ර නං බෑ හරිද?” කිව්වා.

“ආ දැන් කවුද ඉස්සෙල්ලම එන්නෙ? අපි ගෑණු ලමයෙකුට දෙමු. ආ සඳා එන්න.” ටීච කිව්වා.

සඳා ඇවිත් මාකර් එක අරන් ඇන්දා බෝඩ් එකේ පහලට වෙන්න ඉරක්. එච්චරයි.

සඳා ආපහු යන්න හදනකොට ගෝල්ඩ් ‍ෆිෂ් ඇහුවා “ඒ මොකක්ද ඒ චිත්‍රෙ?” කියලා නෝන්ඩියට වගෙ.
සඳා කිව්වා, “ඔය අහසයි පොළවයි. එච්චර එකක්වත් තේරෙනවයැ…”
සඳා ගිහින් වාඩි වුනා.
දැන් දුවගෙන ආවෙ කසුන් කල්හාර. ඔන්න කසුන් එකතු කරපු දේ.

මෙඩ්ඩි ඇහුවා,
“ඒ කන්දක්ද?”, කියලා.
“ඔයා හරි.” කිව්ව කසුන් ගිහින් වාඩිවුනා.

දැන් වැඩේ නැගලා යනවා.
ඔන්න ආවා සුද්දි. ඔන්න සුද්දි ඇඳපු දේ.

ඒක නම් කාටවත් තේරුනේ නෑ.
“අය්යෝ ඒ කන්ද මුදුනෙ හිම අනේ.” කියපු සුද්දි ආපහු ගිහින් ඉඳගන්න ගමන් ” මේ ගොඩයො snow capped mountains වත් දන්නෙ නෑනෙ කියලා කිව්වෙ ලඟ ඉන්න පොඩි කුමාරිහාමිට. පොඩි කුමාරිහාමි කට උල් කරලා, “ඩොටේ ඩොට්” කිව්වා.

ඊ ගාවට ආවේ සොනාර් හෙවත් සන්දික. ඔන්න ඇඳපු දේ

ඒකනම් කාටත් තේරුනා. “ඒ ඉර නේද?” ජීනියස් පොර වගෙ ඇහුවා.
“ඔව්. ඇති උඹට ඒකවත් තේරුනා.” සන්දිකයා ජීනියස්ට කැපිල්ලක් දාගෙනම ඉඳගත්තා.

දැන් ආවෙ ගන්දරයා. ගන්දරයා ඇවිත් මෙච්චරයි ඇන්දෙ.

“මොකක්ද බං ඒ?” සොරෝ ඇහුවා.
“ඒ අව්වට හිම දියවෙලා වැක්කෙරෙනවා.” ගන්දරයා කිව්වා.

ඔන්න නැගිට්ට මෙච්චර වෙලා ඔක්කොම බලාගෙන හිටපු ඕනයා.
ඕනයගෙ ඔලුව වැඩකරන්නෙ අමුතුම විදියටනෙ. මුගෙ හැටි දන්න ටීචර් සෙන්සර් ත්‍රිකෝනය අතට ගත්තා.
ඕනයා ඇන්දෙ මෙච්චරයි. මොකුත් කිව්වෙ නෑ. ගිහිල්ලා ඉඳගත්තා. කට්ටියම හොල්මං වෙලා මේක දිහා බලා ඉන්නවා.
ටීචර් කිව්වා. “ඕනයා පුතාම කියන්නකො මොකද්ද ඒ කියලා.”


“ඒ ඔබා සර් බාත් රූම් එකේ සබං කෑල්ල ඇහිඳිනවා.”

ප්‍රතිඵලය මල්ටි බැටල් එකක් ගැහුවා වගේ.
හැමෝම චිත්‍රෙ දිහා බලබල හිනාවෙනකොට ටීචර් පැනලා සෙන්සර් ත්‍රිකෝනෙ ඇලෙව්වා සභ්‍යත්වයේ නාමයෙන්.
මේ තියෙන්නෙ ටීචර් සෙන්සර් කරපු ඕනයාගෙ චිත්‍රය. හෝව් හෝව් ස්ක්‍රෝල් කරලා උඩ එකෙන් බලන්න ඔට්‍ටු නෑ.

මේ කලබැගෑනිය ඇහිලා කොරිඩෝ එකේ මුර සංචාරය කර කර හිටපු ජය්යා සර් පන්තියට එබුනා. පන්තියම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා.

අවංක පැට්ටා වහාම ක්‍රියාත්මක වෙලා බෝඩ් එක ලඟට ගිහින් තව ඉරි කෑලි වගයක් එහාට මෙහාට  එකතු කරගෙන කරගෙන ගියා අධි වේගයෙන්. ඊට පස්සෙ පන්තිය දිහා බලල හැමෝටම පොදුවෙ කිව්වා.

“මේ අයිසෙක් නිව්ටන්,” කියලා.

අංශ ප්‍රධානාචාර්ය ජය්යා සර් කොරිඩෝව දිගේ කැන්ටිම පැත්තට යන ගමන් මෙහෙම හිතනවා.
“හුහ්, උං හිතන්න ඇති මම ‍රැව‍ටුනා කියලා. මම නොදන්න අයිසෙක් නිව්ටන්! මං අඳුනන්නෙ නැති දෙයක්ද ඕක?”

 
ප්‍රතිචාර 22

Posted by මත නොවැම්බර් 10, 2011 in නිර්මාණ

 

ටැග:

29. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා


මිස්ට බ‍ටුවංගලගෙ මඩ පුවක් බැක් අප් එක මතකයිනෙ? කියවලා නැති අය මෙතන ඔබන්නකො.

බ‍ටුවංගල තුමා ඇත්තටම නිල්වන් කඳුකරයෙන් ආපු ඩයල් එකක් නිසා බයිසිකල් කියන ජාතියට ආගන්තුකයි. ඒ මොකද ඒ පලාත් වල තියෙන කඳුවල හැටියට බයිසිකල් වලින් වැඩක් නැහැ. ඉතිං බයිසිකල් ඇත්තෙත් නැහැ. ඒ නිසාම හුඟ දෙනෙකුට බයිසිකල් පදින්නත් බැහැ.

නමුත් දෙහිඅත්තකණ්ඩිය කියන්නෙ පැතලි භූමියක් නිසාත්, වෙනත් ප්‍රවාහන මාධ්‍ය දුර්ලභ නිසාත්, බයිසිකල් හරිම සුලභයි. ඉතිං අපේ බ‍ටුවංගල තුමත් බයිසිකල් පදින්න පුරුදු වුනා ටික ටික, වැටි වැටි. වැඩිහිටියෙකුට බයිසිකලයක් පදින්න පුරුදුවෙනවා කියන එක පොඩිහිටියෙකුට වඩා සෑහෙන අමාරු වැඩක් නෙ.

බ‍ටුවංගල එතකොටත් මැදි වයසෙ පුද්ගලයා. සිමෙන්ති කොට්ටයක හැඩහුරුකම තියෙන පොර. මමත් පොරව දාගෙන මුලින් බයිසිකල් වලත් පස්සෙ මගෙ මෝට බයික් එකෙත් ගිහින් තියෙනවා. අපරාදෙ කියන්න බෑ සිමෙන්ති කොට්ට දෙකක් පටවන් යන එක ලේසියි බට්ටව දාගෙන යනවට වඩා.

මොකද, ඔය බයික් පදින අය දන්නව ඇතිනෙ බයික් එකක් පදින කොට, විශේෂයෙන්ම වංගුවක් හෙම ගන්නකොට පිටිපස්සෙ ඉන්න පුද්ගලයා දරදඬුව ඉන්නෙ නැතුව ඇ‍ඟෙන් පොඩ්ඩක් වංගුව ඇතුලට නැවිලා පොඩි සහයෝගයක් දෙනවනෙ. සිමෙන්ති කොට්ටෙ එහෙම නොකලත් අඩුම ගානෙ අනිත් පැත්තට බර නොවී එහෙමම තිබිලා හරි උදවු වෙනවනෙ. බ‍ටුවංගල ඕකෙ අනිත් පැත්ත. දකුණට වංගුවක් ගන්නකොට පොර වමට ඇලවෙනවා. වමට වංගුවක් ගන්නකොට දකුණට ඇල වෙනවා. හදිස්සියෙ යාලුවෙක් දැක්කොත් දුවන බයිසිකලෙන් කකුල බිම ගහලා නැගිටින්න හදනවා. ඉතිං හරිම කල්පනාවෙන් නොගියොත් බයික් එක පෙරලගෙන අතපය කඩාගන්න පුලුවන්.

ඉතින් අපේ පොරත් කොහොම හරි පුෂ් බයිසිකලයක් පදින්න පුරුදු වුනා. හැබැයි සමබර තාවය කියන එක නම් අන්තිමයි. වැනි වැනි යන්නේ ඇඟ දරදඬු කරගෙන, හැඬල් එක මරු විකාරෙන් වගෙ අල්ලගෙන. සිංහලෙන් ‘DEATH GRIP’ කියන්නෙ. බ්‍රේක් ගහන්නෙ මුලින්ම කකුල් බිම තියලා අද්දගෙන ගිහින් අන්තිම මොහොතෙ පසුව ඇතිවෙන පසු සිතුවිල්ලක් (after thought) හැටියට. (පසු සිතුවිල්ල කියන වචනෙ මේ දැන් නිර්මාණය කලේ. එහෙම වචනයක් තියෙනවද ඇත්තට? හික්ස් (:))

එතකොට ගමනාරම්භය බලා ඉන්නත් භයංකාර දර්ශණයක්.


මුලදි තනියෙම ඉස්කෝලෙ වත්ත ඇතුලෙත්, පස්සෙ පාලු පාර වලත් පුරුදු වෙච්ච බට්ටා, තනියෙම දුර ගමනුත් යන්න පුරුදු වුනා. නමුත් අපි කවුරුත් දැනගෙන හිටපු දෙයක් තමයි මෙයා නම් කවදාවත් මේ ශාස්ත්‍රය ප්‍රගුණ නොකරන බව. මොකද හුඟක් ශාස්ත්‍ර වගෙ ඕකත් ඇ‍ඟෙන් එන්න එපායැ.

දවසක් ඉස්කෝලෙ වෙලාවෙ මම පන්තියක ඉඳලා ඔෆීස් එක පැත්තට එනවා. බට්ටා බයිසිකලේක නැගලා ඔෆීස් එක පැත්තෙ ඉඳලා ගේට්‍ටුව දිහාට පැදගෙන යනවා සුපුරුදු වැනෙන ගමනින්. එතකොටම ළමයෙක් පන්තියකින් එලියට ඇවිත් “සර්, සර්!!” කියලා කෑ ගැහුවා.

කොහොමත් වැනි වැනී යන බට්ටා, හදිසියෙම වඩා වේගයෙන් වැනෙන්න ගත්තා. මමත් නැවතිලා මේකා දැන් වැටෙයි දැන් වැටෙයි කියලා බලාපොරොත්තුවෙන්, ඇස් අයාගෙන, කට ඇරගෙන බලා ඉන්නවා. බට්ටා තිබ්බා කකුල් බිම.  දූවිලි අවුස්සාගෙන කකුල් බිම අද්දාගෙන ටික දුරක් ගිය බට්ටා, අන්තිම මොහොතෙ බ්‍රේකුත් මතක් වෙලා ඒකත් ගැහුවා. බයිසිකලෙත් අන්තිමේදි නැවතුනා. බට්ටා බයිසිකලෙන් බැහැලා, ලඟම තියෙන ගහකට හේත්තු කරලා, ආපහු හැරිලා ආවා වෙඩි කාපු ඌරා වගෙ දත් මිටි කාගෙන. ආපු ගමන් අත දිග ඇරලා දුන්න කනේ පාරක් කොල්ලට. කොල්ලා මොනවද කියන්න කට අරිනවා මන් බලාගෙන. බට්ට තව පාරක් දෙන්න අත උස්සනකොට මම ඇහුවා,

“ඇයි සර් මේ ළමයට ගහන්නෙ?”, කියලා.

“හැයි සෑර් තමයි.” බට්ටට මා එක්කත් මල. “මේක සර් සර් ගෑව. තව පොඩ්ඩෙන් මාව කලබල වෙලා වැටෙනවනෙ.” බට්ට කිව්වා.

පස්සෙ අපි අහලා බලන කොට වි ප බ‍ටුවංගලතුමාමයි මේ ළමයට කියලා තිබිලා තියෙන්නෙ එයා කළාප කාර්යාලයට යනකොට මොනවද දෙයක් අරන් යන්න මතක් කරන්න කියලා.

 

ටැග: ,