RSS

33. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!

20 නොවැ.

ඔබ මේ ලිපිය කියවන විට බොහෝ විට බ්ලොග්වෝකර් පවුල නැවත මව්බිම වෙත ලඟාවෙන ගමනේ යෙදිලා ඉන්නෙ. ගොඩින්, මුහුදින් හා ගුවනින් කලයුතු මෙම චාරිකාවේ අවසන් කොටසයි මේ. වසරක් පුරා පෙරුම් පුරලා, බලා ඉඳලා, සිහින මවලා, නැවත සියරට බලා එන මේ ගමන නියම ආතල් චාරිකාවක් විය යුතු වුවත්, එය එසේ නොවන්නට ගුවන් ටිකට් පත් ඒජන්ත හෝ බැංකුවක් හෝ මොනයම්ම හෝ ආයතනයක් වග බලා ගන්නවා.

මේ ගුවන් සමාගම් කොතරම් අපේ බලාපොරොත්තු සුන් කර, අපිව වාත කර ඇත්දැයි කියතොත්, අප සැනසුම් සුසුමක් හෙලන්නෙ දැවැන්ත එයාර් බස් ගුවන් යානය ලැසි ගමනින් ධාවන පථයෙ කෙලවරට ගිහින් ආපසු හරවා, ෆෝමියුලා 1 රේසිං කාරයකටත් වඩා වේගයෙන් ධාවන පථය දිගේ දුවගෙන ගිහින් අහසට පැන නැංගමත් නෙවෙයි, යානාව ගුවනට නැගී, නැගෙනහිර දිසාවට හැරුනු පසුවයි. ඔබ මට විශ්වාසයි. එතරම් විශ්වාසයි.

අප කී වතාවක්නම් ගුවන් යානයට නැගීමේ අවසන් නිවේදනය – FINAL CALL – නිකුත් වෙද්දී ගුවන් තො‍ටුපල පර්යන්ත හරහා දුවගොස් හති දමමින් ගුවන් යානයට ගොඩවී ඇතිද? ගුවන් ටිකට් පතක අවුලක් ලෙහා ගන්නට ගුවන් තො‍ටුපලේ ගුවන් සේවා කාර්යාලය මධ්‍යම රාත්‍රියේ විවෘත කරන තෙක් මුලු ‍රැයම එහි නිදි වරාගෙන ‍රැක සිටියෙ ගිය අවුරුද්දේයි. ඉඩ නෑ කියා කියූ සමහර යානාවලට ගොඩවූ පසු එහි කොතරම් හිස් ආසන ඇත්දැයි දැක්කම කාටද පිස්සු කියලා හිතෙනවා.

රාත්‍රී ගුවන් ගමන් වලට අපි කොහොමත් අකමැතියි. විශේෂයෙන්ම ගුවනේ සිට, වසරේ පළමු වරට මව් බිම දැකීමේ ආතල් එක අපට අහිමි වීම එක හේතුවක්. අනික ‍රැ දෙගොඩ හරියට ගෙදර ගියාම තමන්ගෙම ගෙදර අසරණ වෙනවා. එක හොඳක් තියෙන්නෙ කාටත් හොරෙන් ගෙදර යන්න පුලුවන්.

මුහුදුමට්ටමේ සිට අඩි 37000යි. යානාවෙන් පිටත අහසේ උශ්ණත්වය සෙල්සියස් අංශක සෘන 35 හෝ 40.

කෙළ ගිල්ලාම එන්ජින් සද්දෙ වෙනස් වෙනවා. කෙළ ගිලින්නෙ ඇයි? තව බියර් එකක් බිව්වා නම් මොකද?

තව ස්වල්ප වේලාව්කින් අප කොළඹ ගුවන් තො‍ටුපලට ගොඩ බහිනවා. කරුණා කර තම තමන්ගෙ ආසන වලට ගිහින් පටි පැළඳ ගන්නයි කිව්වෙ හොඳ හිතින්.

මට නම්, මව් රට බලා ආපසු පැමිනෙන ගමනෙදි ඉතාමත්ම හැඟීම්බර අවස්ථාව යානය මව් බිමේ ධාවන පථයට ගොඩබෑමයි. එකම ක්‍රමවේදය වුනත්, ආපසු යන ගමනෙදි විදෙස් ගුවන් පථය මත ගොඩ බෑමෙදි ඔය හැඟීම වෙනස්.

නිවේදනට පස්සෙ යානාව සීඝ්‍රයෙන් පහතට ගමන් කරනවා. හොඳ අවධානයෙන් හිටියොත් විදුලිමෝටර් මගින් රෝද ආවරන විවර වෙලා, රෝද පහත් වී අගුල් වැටෙන හඬ ඇහෙනවාටත් වඩා දැනෙනවා . විශේෂයෙන්ම පුතයි මායි සෙල්ලම් කරන Microsoft Flight Simulator ක්‍රීඩාවේ ගොඩබැස්වීමේ ක්‍රියාපිළිවෙල අපි දෙන්නම මතක් වෙන්නෙ නිතැතින්. ත‍ටු මත ඇති ස්පොයිලරයන් විවර වී සුළං කපාගෙන යන හඬත්, දැවැන්ත රෝල්ස් රොයිස් එන්ජින් යොදන පසු තෙ‍රැපුම් බලය නිසාත්, යානවේ ඇතුලට ඇහෙන හඬ උච්ච ස්වරයක් ගන්නවා.

යානය දැන් මඳක් නහය උඩට ඔසවා ගෙන පහලට ගමන් කරන්නෙ පසු පස රෝද කට්ටලය පළමුව බිම පතිත විය යුතු නිසායි. මේ තමයි ඉතාම හැඟීම් බර මොහොත.

තවමත්ගොඩබිමට සාපේක්ෂව අධික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානාවෙ දැවැන්ත පසු පස රෝද කට්ටලය එකාවන්ව ධාවන පථය සිපගන්නෙ යානාව පුරා පැතිරී යන දඩ දඩං හඬක් නගමින්, ධාවන පථයෙ තවත් කලු රබර් පැල්ලමක් ඉතිරි කරමින්. මඳකින් පතිතවන ඉදිරි රෝදත් බිම වැදුනු ගමන් අධික වේගයෙන් වැඩ බාර ගන්නවා. හයිඩ්‍රොලික් කම්පන වාරක පද්ධතිය “හිස්ස්” හඬක් නගමින් ගුවන් යානාවෙ මුලු බර කරට ගනිද්දී යානාව රෝද මත හරි බරි ගැහෙමින් ඉඳගන්නවා.

“අපි ගෙදර ආවා”, හදවත කෑ ගහනවා. දෑස කඳුලක සේයාවකින් තෙත්වෙන්නෙ,උගුර හිරවෙනවා වාගෙ දැනෙන්නෙ, ග්‍රීස් යකුන්, අමන රියැදුරන්, කුණු බක්කි වලට ළදරුවන් විසි කරන මව්වරුන් මොහොතකට අමතක වෙන නිසයි.

තවමත් අධික වේගයෙන් ගමන් ගන්නා යානය ධාවන පථයේ දිව යන්නෙ මටසිලු‍ටු ආකාරයට නොවේ.දඩ බඩ ගාලා. අධික වෙගය ධාවන පථයේ ඇති සුලු කඩතොලු පවා විශාලනය කරනවා. රෝද තිරිංගත්, එන්ජිමේ පසු තෙරපුමත්, ස්පොයිලරත් එකාවන්ව දෙන සටනින්, වේගය පරදවනවා. අපි පර්යන්තයේ ගේට්‍ටුව වෙත එන්නෙ ලැසි ගමනින්. පර්යන්තයේ ජෙට් මං යානයේ දොරටම සම්බන්ද කරන තෙක් යානයෙන් පිටවෙන්න බලා ඉන්න වෙනවා. හදිසි කාරයෝ නිසා හිටගෙන කොරිඩෝ අවහිර කරන් බලා ඉන්න්වා. නුවණැත්තෝ තව දුරටත් ඉඳගෙන දොර අරින තෙක් බල ඉන්නවා.

ඔලුවට ඉහලින් ඇති රාක්කයට තව වරක් එබිලා බලන එක කොහොමත් නුවණට හුරුයි, මොකද ගමන් මල්ලෙ තිබුනු මොනවත් ඇතුලට හැලිලද කියලා අර කලින් අහසෙදි ගැස්සුනු විදියට. අහසෙත් හරියට වලවල්. වායු අවපාත turbulence කියන්නෙ.

ඔන්න දැන් ගොඩබැසීමේ පත්‍රිකා පුරවන්න ඕනෙ. රටකින් රටකට යන කී දෙනෙකු අතේ පෑනක් නැත්ද කියලා බලාගන්න පුලුවන් හොඳම වෙලාවක් මේ. පෑන් නැති වුන් ඇති උන්ගෙන් හිඟමන් යදිනවා. ඇයි මුන්ට පෑනක් ගේන්න මතක් නොවෙන්නෙ?

ඔන්න මව්බිමේ පළවෙනි පොලිමේ, ආගමන විගමන. පරිඝනක තිරය දිහාත් මුහුණ දිහාත් හොඳින් බලා, ගොඩබැසීමේ මුද්‍රාව ගසා, ගමන් බලපත්‍රය ආපසු දෙන නිළධාරීන් ඉතාමත්ම කලාතුරකින් හිනාවකිනුත් සංග්‍රහ කරනවා.
Welcome back. Have a Nice Stay.ඕවා හොලිවුඩ් කතා.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණය දකින මට කවදත් සිහිවෙන්නෙ පිටකො‍ටුවෙ හරස් වීදියක්. “එන්න සර් මොනවද බැලුවෙ?”, “මැඩම් ෆ්‍රිජ් එකක් බලමුද?” ඩියුටි ‍ෆ්‍රී නම් සාප්පුවෙන් සාප්පුවට බඩුවල ගාන වෙනස් වෙන්නෙ කොහොමද? අනික ඇයි ලංකාවෙ පැමිණීමේ පර්‍යන්තයෙ තීරු බදු රහිත සාප්පු වල ගෘහ උපකරණ මිස, ලැප්ටොප්, පරිඝනක උපාංග, ඩිජිටල් කැමරා ආම්පන්න, ගමන් මලු වගේ අපිට ඕනෙ දෙවල් දෙවල් හිඟ? වෙළෙන්දො අපිට ගෘහ උපකරණ ගැන වර්ණනා කරන්නෙ හරියට අපි ගල්ගුහාවක ජීවත් වෙන ආදිවාසීන් කියලා හිතාගෙන වගෙ.

මෙතනත් වැඩි වෙලා ගතකරන්න නිදහසක් නැත්තෙ අපේ බෑග් පහල කැරකෙන පටියෙ කලන්තෙ හැදෙන කල් රවුමට යන නිසයි. baggage carousels තරමක් ප්‍රමාද වුනොත් එතන ඉන්න ආරක්ෂක නිළධාරිය හෙලන්නෙ නොපහන් බැල්මක්. ඊටත් පරක්කු වුනොත් බෑග් අතුරුදහන් වෙන්නත් බැරි කමක් නැහැ. මව් බිමනෙ.ඩියුටි ‍ෆ්‍රී වයින් බෝතල් දෙක තුන දිහා දකින කවුරුත් බලන්නෙ, හැඩ වැඩ කෙල්ලෙක් දිහා බලනවා වගෙ, කෑදර කමින් නැතිනම් ඉරිසියාවෙන්.

ශ්‍රි ලංකා රේගුවෙනුත් අපට වැඩි කරදරයක් නැහැ. සමහර විට දරු පවුලක් නිසා දුක හිතිලා වෙන්නැති. ඉන් පස්සෙ ATM යන්ත්‍රයකින් මුදල් ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. සාමාන්‍යයෙන් අපේ කාඩ් එකකින් මුදල් ගන්න පුලුවන් යන්ත්‍රයක් හම්බ වෙන්නෙ නැති තරම්. මොකක් හරි ප්‍රශ්නයක්.

මුලදි මුලදි නම් අපිව භාර ගන්න යාලුවො නෑදෑයො ආවත්, අවුරුදු දහයක් තිස්සෙ යන එන කොට නවතාවයත් ගිහිල්ලා, වාතයක් බවට පත්වෙලා. දැන් අපි යනකොට ගෙනත් දානවා විතරයි. අපිම ගුවන් තො‍ටුපල ඇතුලෙම තියෙන ටැක්සි සේවාවකින් වෑන් රථයක් වෙන්කර ගන්නවා. රුපියල් තුන් හාරදාහක් යයි. අච්චර දුරක් අපි තනියෙම තල්ලු කරන් ආ ගමන් මලු බලෙන්ම වෑන් එකට පටවන්න කීප දෙනෙක් තරඟ කරන්නෙ ඩොලර් කීපයක් ලැබේවි කියලා හිතාගෙන.

වෑන් එකට නැග්ගට පස්සෙ තමයි ඔරලෝසුවෙයි දුරකතනයෙයි වෙලාව නැවත ලංකාවෙ වෙලාවට කරකවන්නෙ. අවුරුද්දක් පසුම්බියෙ තියාගෙන ආරක්ෂා කරපු එටිසලාට් සිම්, විදේශීය සිම් කාඩ් වල තැන ගන්නවා. අවුරුද්දකට පස්සෙ සිංහල කනට ඇහෙන්න ගන්නවා. අපේම මිනිස්සු පාරෙ තොටේ ඉන්නවා පේනවා. අම්මෝ ඒ වුනාට වාහන එලවන හැටි දැක්කම පිස්සු හැදෙනවා. මුලින්ම දකින්නෙ මොනතරම් නලා හඬවනවද කියන එකයි. ත්‍රිරෝද රථ රියැදුරොයි, පුද්ගලික බස් රියැදුරොයි මට අමතක වලා තිබ්බෙ. ඔය යන්නෙ ඉස්සර වගේම.ගාල කඩා ගත්ත හරක් වගෙ.

මිණුවන්ගොඩ, ගම්පහ හරහා වෑන් රථය වේගයෙන් ඇදී යනවා. මම රියැදුරාත් එක්කා පොඩි පොඩි මාතෘකා ගැන කතා කරනවා.SMALL TALKS! ඩීසල් කීයද? පෙට්‍රල් කීයද? ග්‍රීස් යක්කු කියලා ජාතියක් හිටියලු නේද? අලුත් එක්ස්ප්‍රස්වේ එක අරින්නෙ විසි හතලු නේ? අපේ යක්කු මොනවා කරගනීද දන්නෙ නෑ. ඔය වගෙ යාවත්කාලීන කිරීම්.

ඔන්න අන්තිමේදි ගෙදර!! HOME SWEET HOME! වෙනදට නම් රියැදුරාට කියනවා බය නැතුව දාන්න ඔතනින් පල්ලෙහාට. ගේ ලඟින් හරවන්න ඉඩ තියෙනවා. මමත් හරවන්නෙ හැමදාම. මේ පාර ඒක හරි යන්නෙ නෑ. කාපට් තට්‍ටු දෙකක් දාලා තාර පාර උස්සලා, ගෙදරට යන පාරත් එක්ක විශාල ගැට්ටක් හිටලා. වාහනේ දාන්න පාර හදලා ඉන්න වෙනවා. රටේ ඉන්න අය තම තමාගෙ පාරවල් හදාගෙන. පාරෙ බැහැලා බෑග් උස්සන් යන්නයි වෙන්නෙ. හොඳ වෙලාවට ටෝච් එකක් ගෙනාවෙ. නැත්නම් මේ රෑ මාර කට්ටක් කන්න වෙන්නෙ.

ගමන් මලු බාන්න රියැදුරා උදවු වෙනවා. අතේ තියෙන ඔක්කොම හූරලා තමයි ටැක්සියට ගෙවන්නෙ.
2011හේ පළමු වතාවට යතුර දාලා දොර අරිනවා අපේම ගෙදර.HOME SWEET HOME. AT LAST!
ප්‍රධාන ස්විචය දාලා ලයිට් එකකුත් දාලා බලනවා. හුරේ ලයිට් තියෙනවා.

ඉස්සෙල්ලම බයික් එකයි වෑන් එකයි ආදරෙන් අතගාලා උම්මා දෙකකුත් දෙනවා. තනියෙන් හිටියට.

ටැප් ඇරියට වතුර නම් නැති බව මම දන්නවා. පැය බාගයක්වත් දඟලලා වස්ති කරලා තමයි ටැංකියට වතුර එකක් ගහන්නෙ. ලයින් එකට හුලං ඇදලනෙ.

මම වතුර ලයින් එකත් එක්ක දඟලන අතරේ දීපා නිදන කාමර වැක්යූම් කරලා නිදාගන්න පුලුවන් සයිස් එකට. ලාවට පුස් ගඳක් වගෙ තියෙනවා තවම.

තේ එකක් බොන්න පුලුවන් වෙයිද? වතුර නම් තියෙනවා. ගෑස්?
2010යෙ ගත්ත සිලින්ඩරේ නම් බරයි. නමුත් රෙගියුලේටරය ගැහුවත් ලිප නම් පත්තු වෙන්නෙ නෑ. ගිණි කූරක් ගහලා ගෑස් ඇරලා තමයි ස්ටාර්ට් එක දෙන්නෙ.

එනකොට අරගෙන ආපු ඉතුරු ටී බැග් ටික නිසා වැඩේ ගොඩ. සීනි නම් රා ගඳයි. උන්න හැටියට මලා මදෑ කිව්වලු. දැන් වෙන මොකුත් කරන්න බෑ. වැටිලා නිදා ගම්මු.

ගමන් මහන්සිය තිබ්බත් ලේසියෙන් නින්ද යන්නෙ නෑ. ඔලුව යකාගෙ කම්මල වගෙ.

යකාගෙ කම්මලට නැත්නම් ඔලුවෙ දුවන්නෙ මොනවද කියලා බලන්නම ඕනෙ නම් විතරක් පහල පුංචි අකුරෙන් තියෙන කොටස කියවන්න. ඕපා දූප එපා නම් කෙලින්ම ඊලඟ එකට යන්න

හෙට පාරෙ ගැට්ට හදන්න ඕනෙ… බයික් එකටයි වෑන් එකටයි බැටරි ඕනෙ… දෙකම ස්ටාට් කරන්න ඕනෙ… ඉන්ෂුර්වරන්ස් කරන්න ඕනෙ… දුම් පරීක්ෂාව කරන්න ඕනෙ..ලැප්ටොප් එක හදා ගන්න ඕනෙ…ප්‍රීපේඩ් ඉන්ටනෙට් කානෙක්ෂන් එකක් හොඳ එකක් බලල ගන්න ඕනෙ….බාත් රූම් එකේ වැඩ මේ පාරවත් ඉවර කරන්න ඕනෙ… පෝච් එකේ බතික් ගල් ටික අල්ලන්න ඕනෙ… පිටිපස්සෙ බැම්ම හදන්න ඕනෙ… පාර හදන්න ඕනෙ… නුවර යන්න ඕනෙ… අලුත් එක්ස්ප්‍රස්වේ එකේ යන්න ඕනෙ කැමරා චාජ් කරගෙන…රෝඩ් ට්‍රිප් දෙක තුනක් යන්න ඕනෙ… පුලුවන් උනොත් යාපනේ යන්න ඕනෙ… කෝච්චියෙ බදුලු යන්න ඕනෙ… ගාමිණියත් එක්ක කැළේ ඇවිදින්න ඕනෙ… අර පෙට්ටියෙ දාගෙන හැම තැනම ගෙනියන ෆොග් ලයිට් දෙක මේ පාර වත් හයි කර ගන්න ඕනෙ… වහලෙ උඩ වතුර ‍රැ‍ඳෙනවද බලන්න ඕනෙ නැත්නම් නඩු දානවලුනෙ… වත්ත සුද්ද කරන්න ඕනෙ… නියම සබ්වූෆර් තියෙන පපුවට ඩහ් ඩහ් ඩාල වදින සවුන්ඩ් සිස්ටම් එක වෑන් එකට හයි කරන්න ඕනෙ… පොලේ යන්න ඕනෙ, පොළොස්, මුකුණුවැන්න, ගො‍ටුකොල, හාල් මැස්සො කොහිල දලු කන්න ඕනෙ…ඉරිදා සිංහල පත්තර අරන් කියවන්න ඕනෙ ඉස්සරහ ඉඳගෙන කෝපි එකක් බිබී, කකුල් උඩ තියාගෙන… ‍ෆිල්ම් එකක් බලන්න ඕනෙ… ඉඳි ආප්ප කන්න ඕනෙ හින්දපු හාල් මැස්සොයි අල හොදියි සම්බෝලයි එක්ක… රේල් හයික් එකක් (ඒක නම් කියන්න බෑ)… ආප්ප කන්න ඕනෙ කෙසෙල් ගෙඩිත් එක්ක… බයික් එකට ස්ටේන්ලස් ස්ටීල් සයිලන්සර් දෙකක් හදවා ගන්න ඕනෙ………ZZZ

….ඔන්න අන්තිමේ නින්ද යාගෙන එන්නෙ. හෙට අලුත් දවසක්. අපේ නිවාඩුවෙ පළමු දිනය. අපිට වාසනාවන්ත නිවාඩු කාලයක් වේවා!

ZZZ…ZZZ…ZZZ…

 
ප්‍රතිචාර 28

Posted by මත නොවැම්බර් 20, 2011 in අත්දැකීම්, නිර්මාණ

 

ටැග: ,

28 responses to “33. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!

  1. ගෝල්ඩ් fish

    නොවැම්බර් 20, 2011 at 7:50 පෙ.ව.

    එසේම වේවා…! අර චූටි අකුරෙන් දාපු මෙව්වා ඔක්කොම ටික හිතේ හැටියට කරගන්න ලැබේවා…

     
  2. ගෝල්ඩ් fish

    නොවැම්බර් 20, 2011 at 7:51 පෙ.ව.

    තව ඉතිං මේකේ නොලියපුවත් ඇතිනේ ඒ ටිකත් කරගන්න ලැබේවා….!!!

     
  3. පූසා

    නොවැම්බර් 20, 2011 at 8:18 පෙ.ව.

    ජය වේවා!
    මාත් රටින් පිට දෙපාරක් ගොහින් තියෙනවා. දවල් රෑ දෙකම සෙට් වෙලා තියෙනවා. ජනේලයක් අයිනේ ඉඳන් පහල බලන්න හරිම ආසයි. රෑට ලයිට් පත්තුවෙලා තියනකොටත් ලස්සනයි. දවල්ට ලංකා සිතියම සජීවීව දකින්නත් කවුද අකමැති 🙂

    ඔය කරන්න හිතාන ඉන්න එකී මෙකී නොකී සියළුම දේවල් කරගන්ට ලැබේවා!
    ආ තව අපිට කියවන්න කතා ලොට් එකක්ම ලැබෙයි නේද?

     
  4. Kasun Chanaka

    නොවැම්බර් 20, 2011 at 8:58 පෙ.ව.

    මාත් අර පොඩි අකුරෙන් තියන ටික ඒ විදියටම කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. දැන් එතකොට කොහෙද ඔය ආපු ගමන් ගියේ? අර ලිස්ට් එකේ හැටියට සෑහෙන කල් ඉන්න වගේ ඇවිත් තියෙන්නේ.

    “මුලදි මුලදි නම් අපිව භාර ගන්න යාලුවො නෑදෑයො ආවත්, අවුරුදු දහයක් තිස්සෙ යන එන කොට නවතාවයත් ගිහිල්ලා, වාතයක් බවට පත්වෙලා. දැන් අපි යනකොට ගෙනත් දානවා විතරයි..”

    අයියේ පව්…:P

    (මම දාපු මේල් එකට උත්තරයක්‌ නම් ලැබුනේ නෑ.)

     
  5. ~ChAnDiKa~~

    නොවැම්බර් 20, 2011 at 12:26 ප.ව.

    හප්පේ තියෙන වැඩ කන්දරාව. සියල්ලම කරගන්න ලැබේවා. 🙂

     
  6. විසිතුරු | visituru

    නොවැම්බර් 20, 2011 at 2:58 ප.ව.

    සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!

     
  7. hiruni

    නොවැම්බර් 20, 2011 at 3:05 ප.ව.

    මටත් ගෙදර එන්න ඕනේ…….ඒත් මෙහෙ නිවාඩු නෑනෙ :-(. ඔය කියලා තියෙන හැමදේම දෙයියන්ගෙ පිහිටෙන් කරගන්න ලැබෙනවා අනිවාර්යයෙන්ම! පරිස්සමෙන් ඉන්න මම බ්ලොග් වෝකර් පවුලට සුබ පතනවා! මීට එම පවුලේ, ඒත් මේ වෙලාවේ රුසියාවේ, නිදහසක් නැතිව පොත් වලට යට වී සිටින බ්ලොග් දරුවා…. මට ඔයාලා ගැන සතු‍ටුයි!!!!!!!!! පුලුවන් ඉක්මනට නෙට් ගන්න

     
  8. hiruni

    නොවැම්බර් 20, 2011 at 3:06 ප.ව.

    😀 😀 😀 😀 😀 😀

     
  9. Observer

    නොවැම්බර් 20, 2011 at 4:03 ප.ව.

    Read the post, will be back to comment later, may be tomorrow, Sat & Sun are the days the most taxing days mate.

     
  10. පැන්ඩා

    නොවැම්බර් 20, 2011 at 4:45 ප.ව.

    අඩේ අපුරු බ්ලොග් එකක්…කොමැයි මට මඟ ඇරුනේ…බයික් එකෙ පොටො එකක් නැනෙ..නිකමට හිතෙනව හොන්ඩා CD125 මොඩල් එකක් වත් ද?

     
  11. Weni

    නොවැම්බර් 20, 2011 at 5:53 ප.ව.

    ඔබ සියලු දෙනාටම සුභ නිවාඩු කාලයක් වේවා ! සහ සැලසුම් කරන ලද සියලුම වැඩ සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වේවා !

     
  12. මකුළුවා

    නොවැම්බර් 20, 2011 at 7:26 ප.ව.

    නිවාඩු කාලය ෆුල් ආතල් එකේ ගත කරන්න ලැබේවා…..

     
  13. ලොකු පුතා

    නොවැම්බර් 21, 2011 at 12:58 පෙ.ව.

    අයියා කිව්වේ සහතික ඇත්ත, ප්ලේන් එකක ඇවිත් ලංකාවට ගොඩ බහින මොහොත මතක වෙද්දී ඇස් දේකට කඳුළු උනනවා. ඒත් අපහු යන දවසේ හිතට එන කාලකණ්නි හැඟීමනම් කියල වැඩක් නැහැ.
    මමනම් ලබන පාර ආවට පස්සේ අපහු යෑමක් නැහැ,
    උඩ පොඩි අකුරින් දාලා තියෙනවා වගේ බරපතල රාජකාරි ටිකක් කරගෙන ලංකාවට වෙලා ඉන්න තමයි කල්පනාව.
    අයියගේ නිවාඩුව ඇති සාර්ථක වේවා…!
    විශේෂයෙන් අර ගාමිණි මහත්තයව හම්බ වෙන්න යනවා කියපු ගමනත් යන්න, ඒ වගේ ගමනකින් පුදුම සුවයක්නේ දැනෙන්නේ හිතට.

     
  14. ඕනයා (දුලිප් සිකුරාජපති)

    නොවැම්බර් 21, 2011 at 3:12 පෙ.ව.

    එල එල . . . අන්තිම මොහොතෙ උඹලව බලල අතවනන්න බැරිවෙච්චි එකයි දුක . . . .

     
  15. රන්දිල්

    නොවැම්බර් 21, 2011 at 9:26 පෙ.ව.

    වෙල්කම් බැක්. හෑව නයිස් ඩේ………. ඔන්න හොලිවුඩ් දුන්නා සිංහලෙන්ම.

    පරිස්සමින් ගමන් බිමන් යන්න ඕනා හරිද යාළුවා? විශේෂයෙන් ඔය රේල් පාරවල් ගාවින් එහෙම…… 😀

    චූටි අකුරු ටික කියැව්වා. ඒ ටික එසේම කරගන්නට ලැබේවා කියලා පතනවා

     
  16. අවංක පැට්ටා

    නොවැම්බර් 21, 2011 at 12:50 ප.ව.

    හෙන්රි අය්යා ප්ලෑන් කරපු හැම වැඩක් ම ඉටුකරගෙන ඉතාමත් සංතෝසවත් එළකිරි වගේ නිවාඩුවක් ගතකරන්න ලැබේවා… 😀 🙂

     
  17. Observer

    නොවැම්බර් 21, 2011 at 4:55 ප.ව.

    කියල වැඩක් නෑ, ලංකාව උඩ ඉඳන් දකින කොට තියෙන ජොලිය. වෑන් එකේ යන ගමන් සහ, මගදි ගත්ත පින්තුර ඉස්සෙල්ල ආව වෙලාවක ගත්ත ඒවද?
    පෝස්ට් එක ලිව්වෙ ට්‍රිප් යන්න ඉස්සෙල්ල, ලංකාවට බැහැපු දවසෙම කියල හිතුන නිසා එහෙම ඇහුවෙ.

    ඔබීත් ලංකාවට එනව දෙසැම්බර් මැද හරියෙ. ආයෙත් අපි දෙන්නම එන්න ඉන්නෙ අප්‍රියෙල් මාසෙ.

    ඕනයත් දෙසැම්බර් එනව කිව්ව.

    යන එන ගමන් වලදි ගන්න පින්තුර දාන්න බ්ලොග් එකේ.

     
  18. නවම්

    නොවැම්බර් 21, 2011 at 6:36 ප.ව.

    හෙල්ලෝ හන්රි, වෙල් කම් ෆො වල් කම් බඩී,

    helo hendry begrüßen Bruder. hoffe, dass alle Ihre Urlaubspläne klappt gut

    හුහ්, මේක ආව මෙතන ලංකාවෙ හිංගල අහන්න. ඒව හඳේ පුතේ. අපිත් දැං ඉන්ටනැසොනල්

     
  19. henryblogwalker

    නොවැම්බර් 23, 2011 at 4:52 ප.ව.

    Hey Dudes, This is to all of you. I still don’t have access to internet. This is a friend’s PC. No Sinhala font. I apologize for not being able to answer your comments individually and also I didn’t read your blogs. As soon as I get my laptop repaired and get a connection I will. Actually I’m writing this while I’m on the run. I’m busy like a mosquito in a nudist colony these days, he he. Thanks for writing all those wonderful comments and encouraging me. My next blog post is also scheduled to be publish automatically, just like this one.
    Love you dudes.

     
  20. Gaminie

    නොවැම්බර් 27, 2011 at 12:43 ප.ව.

    එදා තකහනියක් ඇවිත් මාව බලලා ගියාට ස්තුතියි මචෝ. අවුරුදු ගණනකට පස්සෙ උඹ දකින්න ලැබුනු එක ලොකු සතුටක්.

    ලැයිස්තුවෙ හදිසි වැඩ ටික ඉවර වෙලා ගිරිතලේ වරෙං දීපා නංගි සහ කොලු පැටියා එක්ක. කෙල්ලට ඉරිසියා හිතෙයි නේද?

    එන්න කලින් ඇමතුමක් දීලාම වරෙං.

    පිට ගිහිල්ලා ආපහු එනකොට ෆ්ලයිට් එකෙන් බැස්ස ගමං බිම පෙරලිලා මහපොලව ඉඹගන්න හිතෙනවා මචං. ඒක විස්තර කරන්න බැරි හැඟීමක්. හමුදාවෙ කොල්ලො මරණය පෙනි පෙනී යුද්ද කරන්නෙ ඒ හැඟීම උපරිමයෙන් උන්ට දැනෙන නිසා වෙන්න ඇති.

     
  21. abeetha

    දෙසැම්බර් 7, 2011 at 2:07 ප.ව.

    එන්න කලින් අපිට මැසේජ් එකක් දුන්නානම් කිසි කරදරයක් නෑ…. වාහනේ එයාපෝට් එකට එනවා.. යන්න ඕන ගමන් ටික රෙඩි වෙලා තියෙනවා… හෝටල් ටික බුක් වෙලා තියෙනවා.. පාර හදලා තියනවා.. අහ් ඒක නෑ…. ඔන්න ඔහොමයි…

     
  22. INK

    දෙසැම්බර් 11, 2011 at 5:46 ප.ව.

    I have traveled up and down like this numerous times. I couldn’t have put those feelings (and the list of things to do) any more better than that dude! Happy vacation!!

     
  23. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:18 පෙ.ව.

    කොහේ ගියත් කොහේ හිටියත් තමන්ගේ ගෙදර තරම් තමන් උපන් රට තරම් දෙයක් තියෙනවද ???

     
  24. kathandarakaraya

    ජූනි 14, 2012 at 5:54 පෙ.ව.

    ඇඬුණා!

     
  25. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 11:41 පෙ.ව.

    අපේ ගමනත් මේ වගේ තමයි පලවෙනි රෑ මගේ ඔලුවත් ඊය වගේ කරන්න තියෙන දේවල් වලින් පිරිලා නින්ද යන්නෙත් නැහැ.. අන්තිමට එයින් බාගයක්වත් නොකර ආපහු එනවා. මමත් 2011 ගියේ 10 වෙනි පාරට

     
  26. Amila

    ඔක්තෝබර් 9, 2012 at 1:34 ප.ව.

    ටිකක් පරණ උනත් කියවල ඉවර උනාම මොනවා හරි කියන්නම හිතුනා. මමත් පිටරටක ඉගන ගන්න කෙනෙක්. ඒත් මේ පාර ලංකාවට එනකොට අමුතුම දෙයක් සිද්ද උනා. මෙදා පාර අපිට ගුවනේදීම පැමිණීමේ කාඩ්පත් ලැබුනේ නෑ (දැන් ඔක්කොම බජට්නේ ඒ හින්ද වෙන්නැති). ඉතින් ආගමන විගමන කවුන්ටරේට යන්න කලින් පන කඩාගෙන ආකෘති පත්‍රය එහෙම පුරවලා බාර දෙනකොට කවුන්ටරේ හිටපු එක්කෙනා කියනවා “අනේ පුතා ලංකාවේ කට්ටියට ෆෝම් පුරවන්න ඕනේ නැනේ කියල”

    තව එකක් මම Flight Simulator ekakata ක්‍රීඩාවක් කියල කියනවට නම් ටිකක් විරුද්ධයි.

     

Kasun Chanaka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න