RSS

Monthly Archives: දෙසැම්බර් 2011

39. අනේ අත්තම්මෙ මැරෙන්නනං එපා.


අභීත කුරුළු කමුදාවෙ වැඩ කරන මගෙ මචං කාරයාගෙ පුතා. කිසි දේකට බය ඇති පුතයෙක් හෙම නෙවෙයි. නම වගේම තමයි වැඩත්.

අභීත ගැන කෙටි හැඳින්වීමක් කලොත්, දවසක් හදිසියෙ විදුලිය ඇන හිටපු වෙලාවක මේකා ඉන්නවලු ජනේලෙන් ඔලුව එලියට දාගෙන. අම්මා අහලා මොකද කියලා. ඒ පාර අභියා කියනවලු ඒකාට හුස්ම ගන්න අමාරුයි කියලා ලයිට් නැති නිසා. ඔන්න බලන්න ළමයි දේවල් වලට ඇබ්බැහි වෙන හැටි!

දැන් මෙන්න ප්‍රධාන කතාවට.

දවසක් අත්තම්මයි, අභියයි විතරක් ගෙදර ඉන්දැද්දි අනිත් අය ගමනක් ගිහින්. අත්තම්මලාගෙ හැටි දන්නවනෙ. හන්දිපත් රුදාව කියයි, අර අමාරුව කියයි, මේ අමාරුව කියයි. ඉතිං දනිස් අත ගානවා, කොන්ද අතගාගන්නවා, කෙඳිරි ගානවා. ඔය වගෙ වයසට හැදෙන නා නා ප්‍රකාර පොඩි පොඩි අමාරුකම් ගොඩයිනෙ. ඉතින් මේ ආත්තම්මත්,

“ම්ම්ම්හ්හ්, ම්ම්ම්හ්හ්!!” ගාලා කෙඳිරි ගෑවලු.

අභියා කලබල වෙලා ඇහුවලු,

“ඇයි අත්තම්මා, අමාරුද?” කියලා.

“අනේ ඔව් පුතා, මැරෙන්න තරම් අමාරුයි.” කිව්වලු.

අභියා තවත් කලබල වෙලා.

“අනේ අත්තම්මා මැරෙන්නද යන්නෙ?”

අත්තම්මත් කට තියන් ඉන්න බැරුව කිව්වලු,

“අනේ පුතා, මැරෙන්න වගෙ තමයි අමාරුව.”

අහියාට තමන්ගෙ නමේ තේරුමත් අමතක වෙලා, හොඳටම බය වෙලා.

“අනේ අත්තම්මා, හොඳ අත්තම්මනෙ,” දැන් අභියා අභියාචනා කරනවලු. “අනේ මැරෙන්න නං එපා ඔන්න. මං තනියෙන්නෙ ඉන්නෙ. අනික මං පොඩියිනෙ අත්තම්මා. අම්මලා තව පැය බාගෙන් එයි. අනේ අම්මල එනකං කොහොම හරි අල්ලං ඉන්න හොඳ අත්තම්මා වගෙ.”

මට මතක විදියට අත්තම්මගෙ අමාරුව ක්ෂනිකව අතුරුදහන් වුනාලු හිනා වෙලාම.

මේක ලියලා මට මේ පාර නිවාඩුවට නුවර පැත්තෙ යන්න හම්බවෙන එකක් නැත්ද දන්නෙ නෑ. අභියා නම් මේක දැන ගන්න විදියක් නෑ. අර මගෙ බ්ලොග් එක ෆොලෝ කරන රුවන්ති කෙල්ල ගින්න දුන්නෙ නැත්නම් ඕං.

 

ටැග: ,

38. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්


කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.

අජ්ජා වැඩ කරපු නැවේ හිටියා මෙන්ඩිස් කියලා කුක් කෙනෙක්. මෙන්ඩියාගෙ කඩුව මොට්ට වුනාට කොටා ගන්න පුලුවන්. දවසක් පොරට නිවාඩුවක් ගන්න ඕනෙ වෙලා කැප්ටන්ට කියන්නලු ලෑස්තිය. ඒත් පොඩ්ඩක් සැකහැර ගන්න (මෙන්ඩියගෙ තියෙන කරුමෙට), අපේ අජ්ජව හම්බ වෙලා. අජ්ජා ගැන මොකක් හරි හොඳක් කියන්න තියෙනවා නම් ඒ තමයි උගෙ කඩුව එක්සලන්ට්. එච්චරයි. මූට හරීයට මිනිස්සු ‍රැවටෙනවා.

“මල්ලි මම කැප්ටන්ට කියලා නිවාඩුවක් ගන්නයි ඉන්නෙ.”

“ඒ මොකෝ මෙන්ඩිස් අයියා?”

“මේ මගෙ කකුලෙ ගෙඩියක් ඇවිල්ලනෙ. මේ බලන්නකො.”

මෙහෙමෙ කියලා පොර පෙන්නුවා කකුලත්. ඉදිමිලා තමයි එක තැනක්.

“දැන් මොකද අවුල මෙන්ඩිස් අයියා?”

“මේක කොහොමද කැප්ටන්ට කියන්නෙ? ‘I want leave because…’ මොකක්ද? කොහොමද කියන්නෙ කකුලෙ ගෙඩියක් කියලා?”

අපරාදෙ කියන්න බෑ අපේ අජ්ජාටත් කාට හරි ලනුවක් දෙන්න අවස්ථාවක් ලැබුනොත් ඒ අවස්ථාව කිසිසේත් මග හරින්නෙ නැ. නිවාඩු දාගෙන, අතින් වියදම් කරගෙන හරි වැඩේ සෙට් කරනවා.

“මෙන්ඩිස් අයියා, you came to the right person. කිසි අවුලක් නෑ මෙන්ඩිස් අයියා. මේක හොඳට කට පාඩං කරගන්න. කෝ බලමු. දකුණු කකුල නේ. විස්තරේ හරියට දෙන්න එපායැ. නැවේදි අපි දකුණට කියන්නෙ ස්ටාර්බඩ් සයිඩ් (starboard side) කියලනෙ. එතකොට ගෙඩිය. ෆෲට් (fruit) හරි මෙහෙම කියමු. Sir, I need leave because my starboard side leg is having a fruit.”

“දිග වැඩිනෙ මල්ලි.”

“පිස්සුද මෙන්ඩිස් අයියා. චක්කරෙත් පාඩං කරගත්තා නේද පොඩි කාලෙ. පොඩි ළමයෙක් වෙන්න හදන්නැතුව මේක පාඩං කර ගන්නකො හොඳට.”

කොහොම හරි පොර මේක මෙන්ඩියට කට පාඩං කරවලා, කැප්ටන් ගාවට යවන්න කලින් අනිත් වුන්ටත් ගින්න දීල. දැන් කට්ටියම කිට්‍ටුවට වෙලා ගැවසෙනවලු සීන් එක බ්ලාගන්න. මෙන්ඩිස් කාරයා කොරේ තවත් වැඩි කරගෙන කැප්ටන් ගාවට ගිහින් කලිසම් කකුලත් උස්සලා පෙන්නලා කිව්වලු අර වාක්‍යය. මුන් කට්ටියට හය්යෙන් හිනා යන්න ආපු නිසා කැප්ටන් කිව්ව දේ අහගන්න ඉන්න බැරි වෙලා. මුං දුවලා එලියට.

පස්සෙ මෙන්ඩියට නිවාඩුත් හම්බවෙලා තිබ්බලු.

මේ දන්නෙම නැති බුවාලට හෙන්රිබ්ලොග්වෝකර්ගෙ නොමිලේ ඉංග්‍රීසි:
නැව් වලයි, ගුවන් යානා වලයි
වම පෝට් සයිඩ් (port side),
දකුණ ස්ටාබඩ් සයිඩ් (starboard side),
ඉස්සරහ බව් (bow),
පස්ස ස්ටර්න් (stern).

 

ටැග: , ,

37. මං උඹලට දෙන්න හැදුවෙ සබං පෙට්ටියෙන්ම!!!


ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා එක දිගටම නොනැසී, සැර බාල නොවී තියෙන යාලු ‍ෆිට් වලින් චූන්ජි සහ මහින්දට මගෙ ජීවිතේ විශේෂ තැනක් හිමියි. චූන්ජියා ගැන නම් මම ලියලා තියෙනවා “ලැයිට් වැඩ වලට ඕනෙ කරන බඩුවක්” කියන පෝස්ට් එකේ.
මේ අනිත් එකා මහින්ද. අපි තුන්දෙනා ඉස්ස්සර එකටමයි හිටියෙ. එකට කෑවෙ, බිව්වෙ, නෑවෙ, ගමන් ගියේ.

මහින්දයා දැන් ඉන්නෙ ගමේ නොවුනට ඌ නිතර කියන කතාවක් තමයි, ‘ගමේ ගෙයක් හදනවා බං මම පොඩියට. එතකොට අපි තුන් දෙනාට වයසට ගියාමත් ඉස්සර වගෙ එක ගමේම කිට්‍ටුවෙන් එකට හිටියෑකිනෙ’, කියලා.

ඔය මහින්දලගෙ වත්ත පල්ලෙහා තියෙනවා හැමතිස්සෙම වතුර උතුරලා යන නාන්න පුලුවන් පොකුණක්. ඕකෙ නාන්න අපිත් හරි කැමතියි. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඔය පොකුණෙන් මම කොච්චර නාලා ඇත්ද…….!!!

ඔන්න දවසක් මායි චූන්ජියයි ගියා මූව බලන්න තරමක් ඇඳිරි වැ‍ටුනට පස්සෙ. ගේට්‍ටුවෙන් ඇතුල් වෙන කොටම අපට ඇහෙනවා මූ අම්මගෙන් කෑ ගගහ අහනවා උගෙ නානාභරණ දැක්කද කියලා. නානාභරණ කියන්නෙ  අපි සෙට් එක නිශ්පාදනය කරපු වචනයක්, එලිමහනේ නාන්න අවශ්‍ය උපකරණ, සබන් පෙට්ටිය, ටවල් එක, ජොකා වගෙ.

මූ කෑ ගහනවා ඇහුනා විතරයි අපෙත් තියෙන ගතිය කියන්නෙ අපි ගෙදරට ගියේ නෑ. අපි ආපු බයිසිකලුත් හංගලා මූ එන්න කලින් කෙලින්ම වත්ත පහල ලිඳ ගාවට ගියා. ගිහින් පඳුරක් පිටිපස්සෙ ඉඳගෙන ඉන්නවා මූ එනකල්. ඔන්න අපිට පේනවා ගොම්මං අඳුරෙ මහින්දයා ටවල් එකත් කරේ දාගෙන, සබන් පෙට්ටියත් වන වන,  ගල් පඩිපෙල බැහැගෙන එනවා ලිඳ දිහාට. මූ ලඟට කිට්‍ටු වෙන කොටම චූන්ජියයි මායි දෙන්නම එකටම,  පඳුර පිටිපස්සෙ ඉඳන් පැන්න මූ ඉස්සරහට

“හෑ…ඈ ඈ ඈ ඈ ඈ හ්හ්!!” ගාලා කෑ ගහගෙන.

මහින්දයා අනිත් වෙලාවට පොර ටෝක් දුන්නට,  මෙන්න පොර ගැහුව එක තැන බ්‍රේක්, පැන්න අඩි තුනක් පස්සට, කෑගැහුවා මරහඬ දීලා අපිට වැඩිය හයියෙන්,

“හෑ…ඈ ඈ ඈ ඈ ඈ හ්හ්!!” ගාලා.

අපිට තේරුනා මූ හොඳටම බය වුනා තමයි කියලා. අර කතාවකුත් තියෙනවනෙ මිනිස්සුන්ට බය උනයම බය යවන්නත් අමාරුයි කියලා.

ඉතිං මම කෑ ගහලා කිව්වා, “ඒයි මචං මහින්දයො. මේ අපි මචං. හෙන්රියි, චූන්ජියි.”

මෙන්න මූ කියනවා,

“හහ් මම දැක්ක උඹලා ඉන්නව ඈතටම. මං උඹලා දෙන්නට දෙන්න තමයි හැදුවෙ සබං පෙට්ටියෙන්ම.”

කොහොමද මුගෙ වෙපන් සිලෙක්ෂන් එක.

මේවා කියලා මූ වෙනද වගෙ එයාපෝට් එකට නෑවිත් ඉඳීද දන්නෙත් නෑ අපි එනකොට. මූ අනිත් උන් වගෙ නෙමෙයි මගෙ බ්ලොග් කියවනවා.

“හෑ…ඈ ඈ ඈ ඈ ඈ හ්හ්!!”

 

ටැග: , ,

36. හේයි ජූඩ්


දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු වතු වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබ්බ හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි.

මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙ‍රැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.

මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.

මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්!

“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ?” මම ඇහුවා..

“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.

“මේ බස් එක කොට කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න ජූඩ්.”

“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”

“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”

ඔන්න ජූඩ්ගෙ කතාව.

“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකො‍ටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාග්න පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”

“ඉතිං ඉතිං?”

“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”

“මටත් ඔය වැඩේ වෙලා තියෙනවා ජූඩ්.”

“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”

“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”

“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකො‍ටුවෙ.”

” ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”

“අද ඉරිදනෙ සර්.”

“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”
මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.

“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”

“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”

මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.

“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,
“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.

මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද?

 

ටැග: ,