RSS

Daily Archives: දෙසැම්බර් 8, 2011

36. හේයි ජූඩ්


දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු වතු වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබ්බ හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි.

මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙ‍රැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.

මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.

මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්!

“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ?” මම ඇහුවා..

“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.

“මේ බස් එක කොට කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න ජූඩ්.”

“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”

“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”

ඔන්න ජූඩ්ගෙ කතාව.

“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකො‍ටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාග්න පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”

“ඉතිං ඉතිං?”

“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”

“මටත් ඔය වැඩේ වෙලා තියෙනවා ජූඩ්.”

“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”

“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”

“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකො‍ටුවෙ.”

” ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”

“අද ඉරිදනෙ සර්.”

“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”
මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.

“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”

“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”

මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.

“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,
“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.

මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද?

 

ටැග: ,