RSS

Monthly Archives: ජනවාරි 2012

45. පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද?


හුඟ දෙනෙක් කියන්නෙ නම් එහෙම තමයි. කොටින්ම මාත් හිතන්නෙ එහෙම තමයි.  ලෝකෙන්ම නරකම රියැදුරෝ ඉන්නෙ ඉතාලියෙ කියලා තමයි ලංකාවට ආපු නැති අය හිතා ඉන්නෙ. වෙද ගෙදර පෝස්ට් එක බැලුවානම් දන්නවා ඇතිනෙ අර ත්‍රී වීල් රියැදුරා වැටිච්ච ෆෝන් එක අහුලන්න ගිහින් කරගෙන තියෙන හරිය.

මේ දාන්න හිතාගෙන හිටපු පෝස්ට් එකක් නෙවෙයි. මම ලියමින් හිටියෙ “නිවාඩු කාලෙ පොලිස් කතා”නෙ. මේකත් ඊට තරමක් සම්බන්ධ නිසාත්, මේක උණු උණු ප්‍රවෘතියක් නිසාත්, දැන්ම නොදැම්මොත් වැඩකුත් නැති නිසාත් ඔහෙ දාලා දාන්න කල්පනා කලා.

මගෙත් එක්ක මේ රටේ උගන්නපු , ඒ වගෙම මගෙ දරුවටත් උ/පෙළ භෞතික විද්‍යාව උගන්නපු මගෙ හොඳම හිතවත් මිත්‍රයෙක් වන කෝකිල දැන් වැඩකරන්නෙ ඊසාන දිග එක්සත් ජනපදයෙ  මිචිගන් ප්‍රාන්තයෙ. ඔව් අර මෝටර් රථවාහන කර්මාන්ත පුරවරය කියලා හඳුන්වන ඩිට්‍රොයිට් නගරය තියෙන්නෙ එහෙ තමයි. ඒ විතරක් නෙවෙයි අර සුප්‍රසිද්ධ විල් පහ පිහිටලා තියෙන්නෙත් කැනේඩියානු දේශ සීමාවට ආසන්න මිචිගන් ප්‍රාන්තය කිට්‍ටුවෙන්මයි.

කෝකිල ගැන මම මගෙ පළමුවෙනි බ්ලොග් පෝස්ට් එකෙත් සඳහන් කරලා තියෙනවා. මට බ්ලොගර් කෙනෙක් වෙන්න කෝකිල එවපු බ්ලොග් ලින්ක් එකක් සෑහෙන බළපෑමක් කලා.

හරි දැන් කතාවට බහිමු. කෝකිලයි බිරිඳයි යාලුවෙකුගෙ මෝටර් රථයකින් North American Motor Show එක බලන්න පිටත්වුනේ බලාපොරොත්තු පොදි බැඳගෙන. අපේ ජෝඩුව ඉඳගෙන හිටියෙ පිටිපස්ස සීට් එකේ. මගදි හමුවුන වර්ණ සංඥා මංසන්දියෙදි කොල පාට එලිය දැල්වෙද්දී කෝකිලලා ‍රැගත් කලු පාට රථයදකුණට හැරෙව්වා. ඔය පින්තූරෙ තියෙන සුදු පාට රථය පදවාගෙන ආපු කාන්තාව ජංගම දුරකථනය කනේ ගහගෙන ආපු නිසා රතු එලිය දැක්ක නැහැ. වැදුන පාරට air bags ඔක්කොම ඇරිලා. හොඳ වෙලාවට වාහනේ ඉදිරිපස විතරයි හානි වුනේ. නැතිනම් කණගා‍ටුදායක ඉරණමකට මුහුණ දෙන්න වෙන්නත් තිබ්බ බඳ මැද්දෙ වගෙ වැදුනනම්. පේනවනෙ තාමත් හිම.

ලංකාවෙ නම් වාහනයක් පදවන ගමන් ජංගම දුරකථනයක් පාවිච්චිකරනව පොලීසියෙන් දැක්කොත් දඩකොල ලියලිය ඉන්නෙ නැතිලු, කෙලින්ම උසාවි දානව කියලා කෝකිලත් කියලා තිබ්බා.


ලස්සනම වැඩේ කියන්නෙ මිචිගන් ප්‍රාන්තයෙ නීතිය අනුව වාහනය පදවන ගමන් text කරන්න තහනම්, නමුත් කතාකරන එක තහනම් නැතිලු. ඉතින් අර කාන්තාවට විරුද්ධව රිය පදවන ගමන් ජංගම දුරකථනය පාවිච්චි කිරීමට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිලු. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ?

කෝකිලම මෝටර් රථය පදවගෙන ගිය තවත් දවසක රතු එළියට නවත්තාගෙන ඉන්න කොට යාබද මංතීරුවෙ වාහනය නවත්තාගෙන හිටපු හිටපු තරුණ කෙල්ල text message එකක් ගහනවා කෝකිල දැකලා තියෙනවා. කොල එලිය වැ‍ටුනු ගමන් අධික වේගයෙන් තනි අතින් වාහනය පදවපු අර කෙල්ල සංඥා එලිවත් මොකුත් නැතුව කෝකිලගෙ මං තීරුවට කපලා. කල්පනාවෙන් ගිය නිසා කෝකිල හරිම අමාරුවෙන්. තව පොඩ්ඩෙන් සින්දු කියන්න කෝකිලයෙක් නෑ.

ඔය ප්‍රාන්තයෙම දවසක් interstate නොහොත් අධිවේගී මාර්ගයකදි එක වාහනයක් පාර අයිනෙ නවත්තගෙන රෝදය මාරුකරකර ඉඳපු එක රියැදුරෙක්ව හප්පලා පරලොව යවලා තියෙන්නෙ ජංගම දුරකථනය පාවිච්චි කරමින් වේගයෙන් ආපු කාන්තා රියැදුරුවරියක්.

මේ දේවල් වෙන්නෙ දැඩි නීති සහ අධික දඩ මුදල් අයකරන ක්‍රමයක් තියෙද්දිමයි. රියැදුරන් කරන වැරදි වලට යම් කිසි ලකුණු එකතුවෙන ක්‍රමයක් තියෙන මේ රටේ මේ ලකුණු එක්තරා සීමාවක් ඉක්මවා ගියාම රියැදුරු බළපත්‍රය මාස කිහිපයකට හෝ සමහරවිට අවුරුදු කීපයකට හෝ අවලංගු වෙන්නත් කටයුතු යෙදෙනවා. කෝකිලම කියන විදියට ඉන් පස්සෙ නැවත පරීක්ෂණයකට මුහුණ දීලා තමයි නැවත බළපත්‍රය ගන්න වෙන්නෙ.

අපේ රටේ නම් නිතර බැණුම් අහන සමහර බස්, ලොරි සහ ත්‍රි රෝද රථ රියැදුරන්ට, සමහර මිචිගන් කෙල්ලො වාහන පදවන හැටියට ඇහුවම කිචි වගෙ දැනෙයිද දන්නෙ නෑ කියලයි මට හිතුනෙ.

ඉතින් නරකම රියැදුරෝ අපේ අයම විතරක්මද කියන එක නැවත වතාවක් සමාලෝචනය කරලා බලන්න මම හිතාගත්තා

මේ ලිපියම ඉංග්‍රිසියෙන් කියවන්න නම් යන්න Hey Dude හි YOU ALSO THOUGHT SRI LANKAN DRIVERS ARE THE WORST IN THE WORLD? THEN TRY THIS FOR SIZE!

 

ටැග: ,

44. නිවාඩු කාලේ පොලිස් කතා.


නිවාඩුවට ලංකාවට යන විදේශගත සහ විදේශීය ‍රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්, කාටත් අමතක වුනු මානව වර්ගයක් කියලයි මට හිතෙන්නෙ. මේ අය අදිසි බැමි කීපයකින්ම බැඳිලයි ඉන්නෙ. මේ අය මුහුණ දෙන ප්‍රශ්ණ ගැන මම පසුව ලියන්නයි ඉන්නෙ.

මෙතනදි මම කතාකරන්න යන්නෙ එයින් එක් විශේෂ බැම්මක් ගැන. ඒ තමයි නියමිත දිනයට ආපසු යෑම. හුඟක් දේවල් රඳා පවතින්නෙ ඔය මත නිසා ඔවුන් කිසි දෙකට විශේෂයෙන්ම නඩු හබ වලින් කෙලවර වීමේ අවදානම ඇති දේවල් වලට පැටලෙන්න කැමති නෑ. හැකිතාක් මග ඇරලයි ඉන්නෙ. වාහන පදවන්නෙත් අනිත් අයට වඩා පරෙස්සමින්. පොලීසියත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. ඒත් මම නම් හැම අවුරුද්දෙම දඩ කොලයක් දෙකක් ගෙවලයි යන්නෙ. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපෑ අප්පා!

මම සාමාන්‍යයෙන් අහුවෙන වැරදි දෙකක් තියෙනවා. එකක් වේග සීමාව ඉක්මවීම. අනික ඉස්සර කිරීම. එක නිවාඩුවකදි කුරුණෑගල නගරයෙදි වේග සීමාව ඉක්මවා රිය පැදවීමට මාව අල්ලා ගත්තෙ මහ රෑ 12.30 ට. දඩ කොලේ ගෙවන්න ආයෙ කුරුණෑගල යන්න වෙච්ච ගමන තවත් රෝඩ් ට්‍රිප් එකකට හරවාගෙන පවුලම අනුරාධපුරෙත් ගිහින් ආවා.

පිට රටක ඉඳලා ලංකාවට ඇවිත් රිය පදවනකොට මුහුණ දෙන එක ගැටලුවක් තමයි පාරවල්වල කරලා තියෙන වෙනස්කම්. ඔය විදේශ රටවල නම් කෙනෙකුට තමන් කලින් නොගිය නගරයක රිය පදවන  එක මහ දෙයක් නෙවෙයි මොකද පැහැදිලිවම බෝඩ් ගහලා අවශ්‍ය කරුණු පෙන්නලා තියෙන නිසා. නමුත් ලංකාවෙ නම් වන්වේ එකක්ද නැත්ද කියලා දැන ගන්න පාරට දාන්න කලින් බලන්න ඕනෙ වාහන කොයි පැත්තටද යනවා පේන්නෙ කියලා. අනිත් උන් යනවා නම් තමනුත් යනවා. රෑක හෙම නම් සෑහෙන දුරක් ගියාට පසෙ තමයි සීන් එක දැනගන්නෙ.

අර අපේ ජයියාත් ලියලා තිබ්බෙ සීන් එකක්. වන් වේ එකේ රිවර්ස් කරපු සිද්ධියක්ගැන. ජයියා කියනවා වගෙ ලංකාවෙ තියෙන්නෙ වැ‍රැද්දක් කරන්න ඇරලා අල්ලාගන්න ක්‍රමයක්නෙ. ලංකාවෙ නගරයක වාහන පදවන්න නම්, මුලින් තව කෙනෙක් පදවන වාහනයක, නැත්නම් පයින් හරි ටැක්සියකින් හරි ගිහින් පූර්ණ අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනෙ. මම දන්න ලංකාවෙම ජීවත්වෙන සමහරු කොළඹ වාහන එලවන්නෙ නෑ. ආසන්න නගරයක දන්න අඳුනන තැනක වාහනේ දාලා බස් එකේ යනවා කොළඹට.

මෙහෙමයි හිතා හිටියෙ

ඔන්න මම එක නිවාඩුවක ලංකාවට ඇවිත් එක සති අන්තයක කොල්ලුපිටියෙ ඉඳලා ධර්මපාල මාවත දිගේ ඇවිත් යුධ ස්මාරකය ලඟ රවුන්ඩබවුට් එකෙන් දකුණට  කරකවලා මහජන පුස්තකාලය පාරට හැරෙව්වා. අපිට ඕනෙ කරලා තිබ්බෙ පුස්තකාලය ඉස්සරහ තිබ්බ බාලදක්ෂිකා සංගම් මූලස්ථානයෙ තිබ්බ මොකක්දෝ සේල් එකකට යන්න. ඉතින් දිගටම ගිහින් ග්‍රීන්පාත් එක පටන් ගන්න තැන තියෙන අනිත් රවුන්ඩබවුට් එකෙන් ආපහු හරෝගෙන එන්න තමයි අදහස තිබ්බෙ. රවුන්ඩබවුට් එක වටේ ගිහින් ආපහු  දාන්න හදනකොටම තමයි දැක්කෙ ඒ පාරෙ වැරදි පැත්තෙන් වාහන කීපයක්ම එන බව. මොකක් හරි අප්සෙට් එකක් බව ඉවෙන් තේරුන නිසා, ඒකට නොදා පොඩ්ඩක් ඉස්සරහට ගත්තා තව රවුමක් ගහලා බලන්න. මෙන්න ඒක ට්‍රැ‍ෆික් කෝන් තියලා වහලා. යකෝ මේක වන්වේ එකක් කරලනෙ. සති අන්තයෙ වාහන අඩු නිසා තමයි නොතේරුනේ. ඉතින් මොකද කරන්නෙ. ග්‍රීන්පාත් එක දිගේ ගිහින්  ආපහු මුල ඉඳන් ආවා නම් හරිනෙ.  කෝන් අතරෙ හිදැසක් බලලා රවුන්ඩබවුට් එකේ තව රවුමක් යන්න හදනකොටම ඇහුනා ජයග්‍රාහී පොලිස් නලා හඬ. ඔය ඉන්නෙ අර පිළිමේ ගාවා හිටගෙන. මට අත වැනුවා හරියට කාලෙකින් දැක්ක යාලුවෙකුට අතවනනවා වගෙ.

මෙහෙමනෙ වුනේ

මාත් කෝන් දෙක අතරින් රිංගලා ගිහින් ලඟට ගියාම කිව්වා “මහත්තයා වාහනේ නතර කරලා එන්නකෝ” කියලා බොහොම කරුණාවෙන්. වෙනත් පොලිස් කාරයෝ වගෙ මරුමුස් පාටකුත් පේන්න නෑ.

මමත් ලියකියවිලි අරගෙන බැහැලා ගියා ලාංකික ක්‍රමයට.

චූටි පුතාත් මාත් එක්කම ආවා අලුත් අත් දැකීමක් ලබන්න.

මං වගේම කලු පොලිස් නිලධාරියෙක්! මාව ඈත තියාම පිළිගත්තා,

“අනේ මං වගේම සුදුම සුදු මහත්තයෙක්නෙ. එන්න මහත්තයො එන්න!”
මට කං අදහගන්න බෑ මේ මොකක්ද වෙන්න යන්නෙ කියලා.
චූටි පුතා දිහා හිනාවකින් බලපු පොලිස්නිලධාරියා, “මේ පුතාද?” කියලා ඇහුවා.
මම ඔවු කිව්වාම,

“පුතා, පැටියො, ඔයා ගිහින් වෑන් එකේ ඉන්නකො. මම තාත්තාත් එක්ක චූට්ටක් කතා කරලා එවන්නම්කො.” කිව්වා.

මමත් පුතාට කිව්ව එහෙම කරන්න කියලා.පුතත් ආපහු වෑන් එකට ගියා.

“මහත්තයයි මායි දෙන්නම එකම පාට කඩවසම් දෙන්නෙක්නෙ..” කාකිසූට් එක ආයෙම කිව්වෙ හිනාවෙවී.
මොන ගේමකටද දන්නෙ නෑ මෙයා මේ සෙට් වෙන්නෙ මම කල්පනා කලා.
“කොහෙද අප්පේ අර ගියේ?”
“මම දන්නෙ නෑනෙ රාළහාමි ඒක වන්වේ එකක් බව”
“ඇයි අප්පේ පත්තරේ දැම්මෙ, ටීවී එකේත් කිව්වෙ. දැන් සෑහෙන කාලයක්නෙ. මහත්තයා වැඩිය කොළඹ එන්නෙ නෑ?”
මම ලංකාවෙ නැති බව මම කියන්නෙ බැරිම වුනොත් තමයි. ඉතින් මම ප්‍රශ්නෙ මග ඇරියා. ඕක කිව්වම දඩේ හෝ ජරාවටත් ටැක්ස් වදින බව අපි විශ්වාස කරනවා. මොකද හුඟ දෙනෙක් හිතන්නෙ රට ඉන්නවුන් සල්ලි ගස්වලින් කඩනවා කියලනෙ. ඒකෙ රඟසොබාව දන්නෙ ඉතින් අපිනෙ.
“හරි, මහත්තයා වැ‍රැද්ද පිළිගන්නවද?”
“ඔවු රාළහාමි, ඉතින්ං වෙන මොනවා කරන්නද?”
“ඇයි මහත්තයො එහෙම කියන්නෙ?”
“මම දැනගෙන හිටියෙ නෑ ඕක වන්වේ එකක් බව.”
“ඇයි මගෙ දෙයියෝ අර කෝන් එහෙම තියලා තියෙනවා දැක්කෙ නැත්ද?”

මේ පොලිස් නිලධාරියාවගෙ කතාකරන වෙන කෙනෙක් මට මුණ ගැහිලා තිබුනෙ නැති නිසා මාත් අර සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි උද්යෝගයක් පෙන්නුවා. ඒ එක්කම සැකයකුත් හිතේ කොනක නොතිබුනාම නොවෙයිඔය විදියට ටිකක් වෙලා කතාකරන කොට පොලිස් නිලධාරියා මගෙන් ඇහුවා මහත්තය රට නේද ඉන්නෙ කියලා.
මම  පිළිගත්තා වැ‍රැද්ද.
“කොයි රටේද මහත්තයෝ ඉන්නෙ?”
මම ඒකටත් උත්තර දුන්නා.
“ආ මහත්තයලගෙ ජනාධිපති ආවනෙ මෙහෙ ගිය මාසෙ.”
ඔන්න මට උන්හිටි තැන් අමතකවුනා.
“මේ රාළහාමි, ඒ අපේ ජනාධිපති නෙවෙයි. රාළහාමිගෙ ජනාධිපතිම තමයි අපෙත් ජනාධිපති. අපි ලංකාවෙ මිනිස්සු. අර එහෙ ගිහිල්ලා රස්සාව කලාට..”
මම කියාගෙන කියාගෙන ගියේ හුඟ දෙනෙක් ඔය විදියට අපේ පුරවැසි භාවයත් අහිමි කරලා අපිව ඒරටටම භාර දීලා කතාකරනකොට දැනෙන හිත් වේදනාව ඒ මොහොතෙත් දැනුනු නිසයි.
මේ කතාව මෙයාට හොඳට හිතට අල්ලලා ගියා. එයා එහෙම හිතුනෙම නෑලු.

“හරි. මහත්තයා. ඔය මහත්තයා වගේම ඕක වටේ කරකවනවා රට ඉඳලා එන කවුරුත්.”
“නැතුවයැ රාළහාමි. අඩු ගානෙ බෝඩ් එකක් වත් ගහලා තියෙනවයැ?”
“හරි, දැන් එහෙනම් දඩයක් ගහමුද, උසාවි දාමුද?”
“දඩයක් ගහන්න රාළහාමි”
“හරි එහෙනං දඩයක් ගහමු.” ඔන්න පොත අතට ගත්තා.
“කීයක් විතර ගහමුද?”
මං පුදුමෙන් කට ඇරගෙන මිනිහා දිහා බැලුවා.රුදුරු පාටක් පේන්නවත් නෑ. හරිම සිරියාවන්තයි.
“මං කොහොමද රාළහාමි ඒක දන්නෙ?”
“මහත්තයයි මායි එකම පාට කඩවසම් හාදයොනෙ. ඉතිං කීයක් විතර ගහන්නද?”
“ඉතිං රාළහාමි කීයක්වත් නොගහ ඉන්නකො.” මම නව බලාපොරොත්තුවකින් කිව්වා.
“එහෙමම නෙවෙයි. ඉතිං චූ………..ටි දඩයක් ගහමු ඔහෙ, වස් දොස් යන්නත් එක්ක.” ඔන්න පෑනෙත් ක්ලිප් එක ගැලෙව්වා.
“කොච්චර චූටිද??
රාළහාමි කට උල් කලා.
“ඌඌඌ…. රුපියා… ආ…. ල් පන්සීයක විතර?”
“රුපියල් පන්සීය චූටියැ. රාළහාමිට ඕනෙ එකක් කරන්න.”
ඔන්න ඒ ගමන පෑනෙ ක්ලිප් එක ආයෙම වැහුවා. වෑන් එක දිහා බැලුවා.

“අර වෑන් එකේ ඉන්නෙ නෝනයි පුතයිද?
මම ඔවු කිව්වා.
“මේ ෂොපිං යනවා?”
“ම්ම්ම්… ඔවු. එහෙමත් අදහසක් තියෙනවා.”
“ම්ම්, හරි මහත්තයත් මං වගෙම සුදුම සුදු මහත්තයනෙ. හ්ම්ම් ගිහින් එන්න.”
“මොනවා?” මට හිතුන මිසක් කිව්වෙ නෑ.
“ගිහින් එන්න මහත්තයා. පරිස්සමින් යන්න. ඔය මහත්තයලා වගේ රට ඉඳලා එන කට්ටිය ඕක ව්ටේ කරකවනව්ම තමයි. හහ් හහ්. හරි එහෙනම්. දෙයියංගෙ පිහිටයි.”
මාත් අතට අත දීලා අචාර කරලා වාහනේට ගියා. ගිහින් විහාරමහාදේවි උද්‍යානය පිටිපස්සෙ පාර දිගටම ගිහින් හෝටන් ප්ලේස් වට රවුමෙන් කරකවලා ආපහු ග්‍රීන් පාත් එනකොට මෙන්න මෙයා ඉන්නවා තවත් එක්කෙනෙක් අල්ලගෙන. මම හෝන් එකට පොඩි තට්‍ටුවක් දැම්මම මෙන්න මෙයා ලොකූ හිනාවක් දාලා අත වනලා ආපහු අර  මනුස්සයා  දිහාට හැරුනා.

 

ටැග: , , , , , ,

43. ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි.


කාලයක් කවුරුත් අතරත් ජනප්‍රිය වෙලා තිබ්බ සීරීස් එකක් තමයි “ජාත්‍යන්තරයට එරෙහිව අපි”. මේ කතා ඔක්කොම වගෙ එකම වට්ටෝරුවෙ. යම්කිසි දෙයකින්, සමහරවිට තරඟයකින්, අමෙරිකන් කාරයා, රුසියන් කාරයා, ජපන් කාරයා පරදවලා අන්තිමට තරඟ වදින ලංකාවෙ පොර ජයගන්නවා.
උදාහරණ: විලේ ඉන්න පරම්පරාව කන කිඹුලා,
මේ කතාවලින් කියවෙන්නෙ  ලංකාවෙ අපේ හපංකම්, මෝඩකම් ඒ වගෙම පුරසාරම් වගෙ පෙනුනට සමහර කතාවලින් අපි ඇත්තටම අපිටමයි හිනාවෙලා තියෙන්නෙ.
උදාහරණ: අපායෙ වලවල්. (දන්නෙම නැත්නම් මම පස්සෙ කියන්නම්)

ඔය කතාවලම උප ප්‍රභේදයක් තමයි සුද්දාට එරෙහිව අපේ පොර.
උදාහරණයක් දුන්නොත්, අර කයිවාරුකාර ආඩම්බරකාර  සුද්දන්ගෙ  කතා.

මතක නැත්නම් මෙන්න එක කතාවක් කෙටියෙන්.

දවසක් සුද්දෙක්ව දාගෙන කො‍ටුව හරහා යන ටැක්සි කාරයෙක් ඒ දවස් වල රටේ  උසම ගොඩනැගිල්ල වුන සෙලින්කෝ එක පෙන්නල ඒ බව කිව්වලු.
ආඩම්බරකාර සුද්දා කිච හිනාවක් දාලා ඇහුවලු,
“හැක් හැක් මේකද තමුසෙලාගෙ උසම ගොඩනැගිල්ල? තමුසෙ දන්නවද අපේ රටේ ගොඩනැගිලි අහසෙ ගෑවෙනවා.”
ටැක්සි කාරයා ටිකක් පසුබාලා ඇහුවලු,
“මොනවා? අහසෙ ගෑවෙනවා? ඒකනම් වෙන්න බෑ.” කියලා.
සුද්දා දබ‍රැඟිල්ලෙන් කන පිටිපස්ස පිරිමැදලා කිව්වලු,
“ම්ම්ම්.. අහසෙ කිව්වට අහසෙම නෙවෙයි. ඊට ටිකක් පහලින්.” කියලා.

කොල්ලුපිටියත් පහුවෙනකල් ගැඹුරු කල්පනාවක යෙදිලා ගිය ටැක්සි කාරයා එකපාරටම කිව්වලු,
“සර් දන්නවද, ලංකාවෙ මිනිස්සු කෑම කන්නෙ නහයෙන්”, කියලා
හොල්මං වෙච්ච සුද්දා,
“මොනවා? නහයෙන්? ඒකනම් වෙන්න බෑ. ඔය බොරුනේද කියන්නෙ?”
“ම්ම්ම්…” ටැක්සි කාරයා නහය පොඩ්ඩක් අතගාලා කිව්වලු,
“නහය කිව්වට නහයෙන්ම නෙවෙයි සර්, ඊට ටිකාක් පහලින්.”

(ඔය නවමා, ඔබා එතකොට ඕනයා වගෙ වල්කම ගෑවිලාවත් නැති බෝගස් වගේ එවුන් ඔය කතාව කියන්නෙ ‘කට’ වෙනුවට ‘බුරිය’ ආදේශකරලා.)

දැන් ඔන්න ආයෙ පීල්ලට දාන්න යන්නෙ, හයියෙන් අල්ලගන්න. ගැස්සෙන්න පුලුවන්.

ඔය ලෝකෙ අනිත් පොරවල් වගෙ නෙවෙයි අපේ පොරවල්. හරිම කල්පනා කාරයො, නිර්මාණ ශිල්පියො, උපන්ගෙයි බුද්ධිමත්තු, වැඩ කාරයො!!
මං කියන දේ විශ්වාස නොකරන බුවාලාට මෙන්න ජීවමාන උදාහරණ:

මේ ජාත්‍යන්තර වැසිකිලි සංඥාව: ෂෙහ්, කිසි ගතියක් නෑ. නිර්මාණශීලිත්වයක් ගෑවිලාවත් නෑ!

මෙන්න ඊට එරෙහිව අපේ ම නිර්මාණයක්. මේක සීගිරියෙ රථ ගාලෙ  වැසිකිලියෙ තිබිලා මම ඡායාරූපගත කලේ 2007 අවුරුද්දෙ. බලන්න අපේ නිර්මාණයෙ තියෙන තාත්වික බව! බලන්න අත් තියාගෙන ඉන්න හැටි…!!

වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත සෝදාගන්න කියන එක ආසියාතික අපට අලුත් දෙයක් නෙවෙයිනෙ. හැබැයි මේ #2 සම්බන්ධයෙනුයි. #2 ට පස්සෙ වතුර සහ වමත පාවිච්චිකරන ආසියාතිකයොත්, කඩදාසි පාවිච්චි කරන බටහිර වැසියොත් එකිනෙකා දිහා අවඥාවෙක් බලනවනෙ ‘තමන් තමයි, හරි අනිකා වැරදියි’  කියන මතයෙ ඉඳගෙන.

#1ට පස්සෙ සබන් යොදා අත සෝදාගැනීම ආසියාතික අපි අතර දුලබ  වුනත් බටහිරයන් අනිවාර්යයෙන් කලයුතු චාරිත්‍රයක්.  #1 සම්බන්ධයෙන් අපිට එච්චර ආඩම්බර වෙන්න බැරි නිසා හෝ බහුතරයක් ඒ ගැන නොදන්නා නිසා හෝ ඒ කාරණය යටපත් වෙලා තියෙන්නෙ කියලයි මම හිතා හිටියෙ පහුගිය දෙසැම්බර්  29 වෙනිදා වෙනකල්. මං කොච්චර වැරදිද!! අපේ පොරවල් අත් විතරක් නෙවෙයි කකුලුත් හෝදනවා කියලා දැන ගත්තම මගෙ හදවත ආඩම්බරයකින් පිම්බුනා. මේකත් කාර් පාක් වැසිකිලියකින්. තැන හරියටම කියනවා නම් නාවින්නෙ අර්පිකෝ සුපිරි වෙලඳ සැලේ රථ ගාලේ වැසිකිලියෙන්.

>සාමාන්‍යයෙන් වින්ඩ්ස්ක්‍රීන් වයිපර්ස් ගැන කවුරුත් දන්නවනෙ. ඊටත් එහාට ගිහින් සමහර මෝටර් රථ නිශ්පාදකයො (Volvo, SAAB, Mercedes Benz වගෙ) කාලෙකට ඉහතදි හෙඩ් ලයිට් එකටත් වයිපර් එකක් හයි කලානෙ මේ වගෙ.

අපේ පොරවලුත් නිකං හිටියෙ නෑ. උන්ට එහෙම පුලුවන් නම් අපිට බැරි මොකෝ කියල හයි කලානෙ නම්බර් ප්ලේට් වයිපර් එකක්. මම මේක දැක්කෙ පහුගිය නිවාඩුවෙදි ලංකාවෙදි. පුදුම ආඩම්බරයක් මට දැනුනෙ.

 

ටැග:

42. හොරි බනිස්


කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ, ගමයයි මායි යනවා පාරෙන් එහා පැත්තෙ තියෙන බේකරි කඩේට (Bakery Shop), තේ එකක් බීලා, දුමක් හෙම ඇදලා එන්න. මේක බේකරි කඩයක් නිසා උණු උණු බේකරි නිශ්පාදන හුඟක් වෙලාවට තිබ්බා. අපේ ප්‍රියතම කෑමක් තමයි හොරි බනිස්. මේක ගමයයි මායි මේ බනිස් ජාතියට දාලා තිබ්බ නම. රසයෙන් උපරිම උනාට මේකෙ උඩ පැත්තෙ තිබ්බෙ බිබිලි බිබිලි දාපු හොරි වගෙ අමුතු ටෙක්ස්චර් එකක්. මේක අපි කවදාවත් කඩේ එවුන්ට ඇහෙන්න කියන්නෙ නෑ.

මෙයින් හොරි බනිස් ගෙඩිය කොයි එකද?

“ඒයි යමං මචං හොරි බනිස් එකක් කාලා, ප්ලේන්ටියකුත් ගහලා, දුමක් හෙම ඇදලා එන්න.” කියලා තමයි ඕෆ් පීරියඩ් වල දෙන්නා සෙට් වෙන්නෙ.

අපි ඕකට හොරි බනිස් කියන බව කඩේ බුවාලා නොදන්නෙ, අපි කෙලින්ම, “අර බනිස් දෙකක් දෙන්න”, කියලා ෂෝ කේස් එකේ වීදුරුවට ඇඟිල්ල තියලා පෙන්නපුවම වේටර් බුවා ඒක පිඟානකට දාලා දෙන නිසයි.

එදත් දෙන්නා එක්ක පාර පැනලා, කඩේට ගිහින්, ස්ටූල් දෙකක් උඩ ඉඳගෙන, ෂෝ කේස් එක් දිහා බැලුවට හොරි බනිස් ඇර අනිත් වර්ග ඔක්කොම තියෙනවා.

“මොනවද සර්ලට ඕනෙ?” කඩේ බුවා ඇහුවා.

“අර.. මේ.. අර අපි වෙනදට කන බනිස් ජාතිය නැත්ද?” මම කටට ආපු ‘හොරි බනිස්’ කියන වචනය අමාරුවෙන් ගිලලා ඇහුවා.

“ආ, මහත්තයල කන්නෙ කුෂ්ඨ බනිස්නේ. අද පොඩ්ඩක් පරක්කුයි. හැබැයි පැය බාගෙකින් බඩු එනවා.” පොර කියාපි.

ගමයයි මායි මූණෙන් මූණ බලාගෙන ඉඟි මැරුවා.

 

ටැග: , , ,

41. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?


young coupleගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශ ප්‍රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්න එකත් ගමයගේ දෛනික රාජකාරියේ කොටසක්. ඒ වගේම, ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට ගිණි තියලා තිබ්බා.


එදත් ගමයා හැමෝම ඇත්තටම ගිහිල්ලද කියලා බලන්න පඩි පෙල දිගේ උඩ තට්‍ටුවට නගිනකොට, මෙන්න ජෝඩුවක් පඩි පෙලේ ලෑන්ඩිං එකේ ඉඳගෙන මෙලෝ සිහියක් නැතුව සිප වැළඳ ගන්නවලු. ගමයත් ඉතිං දෙන්නාගෙ නම් ලියාගෙන, කිව්වලු පහුවදා එනකොට අම්මා හරි තාත්තා හරි එක්කයි ඉස්කෝලෙ එන්න ඕනෙ කියලා.

කිව්වත් වගෙ ඔන්න පහුවදා අම්මල දෙන්න ඇවිල්ලා. මේ මිනිස්සු හුඟක් එන්නෙ අවට තියෙන වතුවල ඉඳලා. වතු කියන්නෙ,  අපි කොළඹ තියෙන පැල්පත් නැතිනම් මුඩුක්කු කියලා හඳුන්වන දේටම ඒවායේ ජීවත්වෙන අය කියන නම. ඒවායේ ඒවාටම ආවේනික සංස්කෘතියක් තමයි තියෙන්නෙත්. 


ඔන්න ඉතිං පැමිණිල්ල විභාග කරන්න ගමයා, විදුහල්පති, විනය භාර ආචාර්ය වගෙ කට්ටියක් හිටියා. මුලින්ම විදුහල්පති චෝදනා ගොනු කරන්න ගත්තා.


“මේ ළමයි දෙන්නා ඊයෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ පඩි පෙලේ ඉඳගෙන සිප වැළඳ ගෙන තියෙනවා.”


“මොකක්ද හරියටම උනේ කියල කියන්නකෝ, සර්” එක අම්මෙක් තරමක් ගොරෝසු හඬින් කිව්වා.


“වෙච්ච දේ තමයි කිව්වෙ.” ඒ විදුහල්පති.


“මොකක්ද ඒ ළමයි ඇත්තටම කලේ?” ඒ අනිත් අම්මා.


“ඊයෙ මං යන කොට මේ ළමයි දෙන්නා පඩි පෙලේ ඉඳන් කිස් කර කර හිටියා.” ගමයා කාටත් තේරෙන භාෂාවෙන්ම කිව්වා.


“ආ ඕකද?” අර මුලින් කතා කරපු අම්මා අහපි. ” ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?”


අනිත් අම්මත් ප්‍රශ්නාර්ථයක් මූණෙ රඳවගෙන අනිත් අම්මත් එක්ක එකඟ වුනා.


ඇත්තටම මම ඔතන හිටියෙ නැහැ. ගමයයි, අනිත් අයයි පස්සෙ හිනාවෙවී ඕක මට කිව්වා. “ඕං බලපංකො මචං. කාට කියන්නද මේවා.” කියලා. 

පස්සෙ ඒකෙ ඇති වැ‍රැද්දක් නැති වුනත් ඉස්කෝලෙදි කිස් කරන එක ඉස්කෝලෙ විනය නීති වලට පටහැනි නිසා, ඉස්කෝලෙදි එහෙම නොකරන්න කියලා අවවාද කරලා සභාව විසුරුවා හැරලා.

 

 ප. ලි.:

අපිත් එක්ක නිතර පැටලෙන අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් කිව්ව කටේ මසුරං දාන්න වටින කතාවක් මට මතක් වෙනවා.  අතන කිංස්ලි එක (සිනමා ශාලාවක්)  ඉස්සරහා කොල්ලෙක් ලිස්සලා වැ‍ටුනොත්, ඕක දකින උන් බනින්නේ කොල්ලගේ අම්මට. ඒ මොකටද දන්නවද? කොල්ලට පාරේ  යන හැටි උගන්නලා නෑ කියලා.  ඒ කොල්ලම ඉස්කෝලේ යුනිෆෝම් එක ගහගෙන ඉන්දැද්දි  ලිස්සලා වැ‍ටුනොත් බැනුම් අහන්නේ කවුද දන්නවද? ගුරුවරු. ඒ මොකටද? ඒත් ඒ හේතුවමයි. කොල්ලට පාරේ  යන හැටි උගන්නලා නෑ කියලා.

දැන් මේ ඉස්කෝලේ සිප වැලඳ ගැනීම සම්බන්ධයෙන් කෙනෙකුට හරි හිතෙන්න පුලුවන් අර අම්මට හිතුන දේම. ” ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද?”

ඇත්තෙන්ම පෞද්ගලිකව මට නම්  ඕකෙ ඇති වැ‍රැද්දක් නෑ. නමුත් මගේ පෞද්ගලික මතය මෙතනට අදාල නෑ.

ලංකාවේ ඉස්කෝලයක් සම්බන්ධයෙන් නම්,  ඕක දැකපු පිටස්තරයෙක් බනින්නෙත් උන් දෙන්නට නෙවෙයි. මේවා දැකලත්, ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා ගුරුවරුන්ට. ඉස්කෝලෙත් වේසා මඩුවක් නැතින මගුල් සක්වලක් හැටියට හංවඩු ගැහෙනවා.

ඕකට මොනවත් කියන්න ගිහිල්ලා එකෙක් වහ බිව්වොත් හෙම, ඒත් කපෝතිය ගහන්නේ ගුරුවරයමයි.

ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් ‍තෝ නසී. මේ පජාත රස්සාවත් ඇත්තෙන්ම අර අතුරේ යනවා වගේ වැඩක් තමයි.

 

 

ටැග: ,

40. 2011 in review


The WordPress.com stats helper monkeys prepared a 2011 annual report for this blog.

Here’s an excerpt:

The concert hall at the Syndey Opera House holds 2,700 people. This blog was viewed about 9�100 times in 2011. If it were a concert at Sydney Opera House, it would take about 3 sold-out performances for that many people to see it.

Click here to see the complete report.

 
ප්‍රතිචාර 5

Posted by මත ජනවාරි 2, 2012 in Uncategorized