RSS

44. නිවාඩු කාලේ පොලිස් කතා.

22 Jan

නිවාඩුවට ලංකාවට යන විදේශගත සහ විදේශීය ‍රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්, කාටත් අමතක වුනු මානව වර්ගයක් කියලයි මට හිතෙන්නෙ. මේ අය අදිසි බැමි කීපයකින්ම බැඳිලයි ඉන්නෙ. මේ අය මුහුණ දෙන ප්‍රශ්ණ ගැන මම පසුව ලියන්නයි ඉන්නෙ.

මෙතනදි මම කතාකරන්න යන්නෙ එයින් එක් විශේෂ බැම්මක් ගැන. ඒ තමයි නියමිත දිනයට ආපසු යෑම. හුඟක් දේවල් රඳා පවතින්නෙ ඔය මත නිසා ඔවුන් කිසි දෙකට විශේෂයෙන්ම නඩු හබ වලින් කෙලවර වීමේ අවදානම ඇති දේවල් වලට පැටලෙන්න කැමති නෑ. හැකිතාක් මග ඇරලයි ඉන්නෙ. වාහන පදවන්නෙත් අනිත් අයට වඩා පරෙස්සමින්. පොලීසියත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. ඒත් මම නම් හැම අවුරුද්දෙම දඩ කොලයක් දෙකක් ගෙවලයි යන්නෙ. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපෑ අප්පා!

මම සාමාන්‍යයෙන් අහුවෙන වැරදි දෙකක් තියෙනවා. එකක් වේග සීමාව ඉක්මවීම. අනික ඉස්සර කිරීම. එක නිවාඩුවකදි කුරුණෑගල නගරයෙදි වේග සීමාව ඉක්මවා රිය පැදවීමට මාව අල්ලා ගත්තෙ මහ රෑ 12.30 ට. දඩ කොලේ ගෙවන්න ආයෙ කුරුණෑගල යන්න වෙච්ච ගමන තවත් රෝඩ් ට්‍රිප් එකකට හරවාගෙන පවුලම අනුරාධපුරෙත් ගිහින් ආවා.

පිට රටක ඉඳලා ලංකාවට ඇවිත් රිය පදවනකොට මුහුණ දෙන එක ගැටලුවක් තමයි පාරවල්වල කරලා තියෙන වෙනස්කම්. ඔය විදේශ රටවල නම් කෙනෙකුට තමන් කලින් නොගිය නගරයක රිය පදවන  එක මහ දෙයක් නෙවෙයි මොකද පැහැදිලිවම බෝඩ් ගහලා අවශ්‍ය කරුණු පෙන්නලා තියෙන නිසා. නමුත් ලංකාවෙ නම් වන්වේ එකක්ද නැත්ද කියලා දැන ගන්න පාරට දාන්න කලින් බලන්න ඕනෙ වාහන කොයි පැත්තටද යනවා පේන්නෙ කියලා. අනිත් උන් යනවා නම් තමනුත් යනවා. රෑක හෙම නම් සෑහෙන දුරක් ගියාට පසෙ තමයි සීන් එක දැනගන්නෙ.

අර අපේ ජයියාත් ලියලා තිබ්බෙ සීන් එකක්. වන් වේ එකේ රිවර්ස් කරපු සිද්ධියක්ගැන. ජයියා කියනවා වගෙ ලංකාවෙ තියෙන්නෙ වැ‍රැද්දක් කරන්න ඇරලා අල්ලාගන්න ක්‍රමයක්නෙ. ලංකාවෙ නගරයක වාහන පදවන්න නම්, මුලින් තව කෙනෙක් පදවන වාහනයක, නැත්නම් පයින් හරි ටැක්සියකින් හරි ගිහින් පූර්ණ අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනෙ. මම දන්න ලංකාවෙම ජීවත්වෙන සමහරු කොළඹ වාහන එලවන්නෙ නෑ. ආසන්න නගරයක දන්න අඳුනන තැනක වාහනේ දාලා බස් එකේ යනවා කොළඹට.

මෙහෙමයි හිතා හිටියෙ

ඔන්න මම එක නිවාඩුවක ලංකාවට ඇවිත් එක සති අන්තයක කොල්ලුපිටියෙ ඉඳලා ධර්මපාල මාවත දිගේ ඇවිත් යුධ ස්මාරකය ලඟ රවුන්ඩබවුට් එකෙන් දකුණට  කරකවලා මහජන පුස්තකාලය පාරට හැරෙව්වා. අපිට ඕනෙ කරලා තිබ්බෙ පුස්තකාලය ඉස්සරහ තිබ්බ බාලදක්ෂිකා සංගම් මූලස්ථානයෙ තිබ්බ මොකක්දෝ සේල් එකකට යන්න. ඉතින් දිගටම ගිහින් ග්‍රීන්පාත් එක පටන් ගන්න තැන තියෙන අනිත් රවුන්ඩබවුට් එකෙන් ආපහු හරෝගෙන එන්න තමයි අදහස තිබ්බෙ. රවුන්ඩබවුට් එක වටේ ගිහින් ආපහු  දාන්න හදනකොටම තමයි දැක්කෙ ඒ පාරෙ වැරදි පැත්තෙන් වාහන කීපයක්ම එන බව. මොකක් හරි අප්සෙට් එකක් බව ඉවෙන් තේරුන නිසා, ඒකට නොදා පොඩ්ඩක් ඉස්සරහට ගත්තා තව රවුමක් ගහලා බලන්න. මෙන්න ඒක ට්‍රැ‍ෆික් කෝන් තියලා වහලා. යකෝ මේක වන්වේ එකක් කරලනෙ. සති අන්තයෙ වාහන අඩු නිසා තමයි නොතේරුනේ. ඉතින් මොකද කරන්නෙ. ග්‍රීන්පාත් එක දිගේ ගිහින්  ආපහු මුල ඉඳන් ආවා නම් හරිනෙ.  කෝන් අතරෙ හිදැසක් බලලා රවුන්ඩබවුට් එකේ තව රවුමක් යන්න හදනකොටම ඇහුනා ජයග්‍රාහී පොලිස් නලා හඬ. ඔය ඉන්නෙ අර පිළිමේ ගාවා හිටගෙන. මට අත වැනුවා හරියට කාලෙකින් දැක්ක යාලුවෙකුට අතවනනවා වගෙ.

මෙහෙමනෙ වුනේ

මාත් කෝන් දෙක අතරින් රිංගලා ගිහින් ලඟට ගියාම කිව්වා “මහත්තයා වාහනේ නතර කරලා එන්නකෝ” කියලා බොහොම කරුණාවෙන්. වෙනත් පොලිස් කාරයෝ වගෙ මරුමුස් පාටකුත් පේන්න නෑ.

මමත් ලියකියවිලි අරගෙන බැහැලා ගියා ලාංකික ක්‍රමයට.

චූටි පුතාත් මාත් එක්කම ආවා අලුත් අත් දැකීමක් ලබන්න.

මං වගේම කලු පොලිස් නිලධාරියෙක්! මාව ඈත තියාම පිළිගත්තා,

“අනේ මං වගේම සුදුම සුදු මහත්තයෙක්නෙ. එන්න මහත්තයො එන්න!”
මට කං අදහගන්න බෑ මේ මොකක්ද වෙන්න යන්නෙ කියලා.
චූටි පුතා දිහා හිනාවකින් බලපු පොලිස්නිලධාරියා, “මේ පුතාද?” කියලා ඇහුවා.
මම ඔවු කිව්වාම,

“පුතා, පැටියො, ඔයා ගිහින් වෑන් එකේ ඉන්නකො. මම තාත්තාත් එක්ක චූට්ටක් කතා කරලා එවන්නම්කො.” කිව්වා.

මමත් පුතාට කිව්ව එහෙම කරන්න කියලා.පුතත් ආපහු වෑන් එකට ගියා.

“මහත්තයයි මායි දෙන්නම එකම පාට කඩවසම් දෙන්නෙක්නෙ..” කාකිසූට් එක ආයෙම කිව්වෙ හිනාවෙවී.
මොන ගේමකටද දන්නෙ නෑ මෙයා මේ සෙට් වෙන්නෙ මම කල්පනා කලා.
“කොහෙද අප්පේ අර ගියේ?”
“මම දන්නෙ නෑනෙ රාළහාමි ඒක වන්වේ එකක් බව”
“ඇයි අප්පේ පත්තරේ දැම්මෙ, ටීවී එකේත් කිව්වෙ. දැන් සෑහෙන කාලයක්නෙ. මහත්තයා වැඩිය කොළඹ එන්නෙ නෑ?”
මම ලංකාවෙ නැති බව මම කියන්නෙ බැරිම වුනොත් තමයි. ඉතින් මම ප්‍රශ්නෙ මග ඇරියා. ඕක කිව්වම දඩේ හෝ ජරාවටත් ටැක්ස් වදින බව අපි විශ්වාස කරනවා. මොකද හුඟ දෙනෙක් හිතන්නෙ රට ඉන්නවුන් සල්ලි ගස්වලින් කඩනවා කියලනෙ. ඒකෙ රඟසොබාව දන්නෙ ඉතින් අපිනෙ.
“හරි, මහත්තයා වැ‍රැද්ද පිළිගන්නවද?”
“ඔවු රාළහාමි, ඉතින්ං වෙන මොනවා කරන්නද?”
“ඇයි මහත්තයො එහෙම කියන්නෙ?”
“මම දැනගෙන හිටියෙ නෑ ඕක වන්වේ එකක් බව.”
“ඇයි මගෙ දෙයියෝ අර කෝන් එහෙම තියලා තියෙනවා දැක්කෙ නැත්ද?”

මේ පොලිස් නිලධාරියාවගෙ කතාකරන වෙන කෙනෙක් මට මුණ ගැහිලා තිබුනෙ නැති නිසා මාත් අර සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි උද්යෝගයක් පෙන්නුවා. ඒ එක්කම සැකයකුත් හිතේ කොනක නොතිබුනාම නොවෙයිඔය විදියට ටිකක් වෙලා කතාකරන කොට පොලිස් නිලධාරියා මගෙන් ඇහුවා මහත්තය රට නේද ඉන්නෙ කියලා.
මම  පිළිගත්තා වැ‍රැද්ද.
“කොයි රටේද මහත්තයෝ ඉන්නෙ?”
මම ඒකටත් උත්තර දුන්නා.
“ආ මහත්තයලගෙ ජනාධිපති ආවනෙ මෙහෙ ගිය මාසෙ.”
ඔන්න මට උන්හිටි තැන් අමතකවුනා.
“මේ රාළහාමි, ඒ අපේ ජනාධිපති නෙවෙයි. රාළහාමිගෙ ජනාධිපතිම තමයි අපෙත් ජනාධිපති. අපි ලංකාවෙ මිනිස්සු. අර එහෙ ගිහිල්ලා රස්සාව කලාට..”
මම කියාගෙන කියාගෙන ගියේ හුඟ දෙනෙක් ඔය විදියට අපේ පුරවැසි භාවයත් අහිමි කරලා අපිව ඒරටටම භාර දීලා කතාකරනකොට දැනෙන හිත් වේදනාව ඒ මොහොතෙත් දැනුනු නිසයි.
මේ කතාව මෙයාට හොඳට හිතට අල්ලලා ගියා. එයා එහෙම හිතුනෙම නෑලු.

“හරි. මහත්තයා. ඔය මහත්තයා වගේම ඕක වටේ කරකවනවා රට ඉඳලා එන කවුරුත්.”
“නැතුවයැ රාළහාමි. අඩු ගානෙ බෝඩ් එකක් වත් ගහලා තියෙනවයැ?”
“හරි, දැන් එහෙනම් දඩයක් ගහමුද, උසාවි දාමුද?”
“දඩයක් ගහන්න රාළහාමි”
“හරි එහෙනං දඩයක් ගහමු.” ඔන්න පොත අතට ගත්තා.
“කීයක් විතර ගහමුද?”
මං පුදුමෙන් කට ඇරගෙන මිනිහා දිහා බැලුවා.රුදුරු පාටක් පේන්නවත් නෑ. හරිම සිරියාවන්තයි.
“මං කොහොමද රාළහාමි ඒක දන්නෙ?”
“මහත්තයයි මායි එකම පාට කඩවසම් හාදයොනෙ. ඉතිං කීයක් විතර ගහන්නද?”
“ඉතිං රාළහාමි කීයක්වත් නොගහ ඉන්නකො.” මම නව බලාපොරොත්තුවකින් කිව්වා.
“එහෙමම නෙවෙයි. ඉතිං චූ………..ටි දඩයක් ගහමු ඔහෙ, වස් දොස් යන්නත් එක්ක.” ඔන්න පෑනෙත් ක්ලිප් එක ගැලෙව්වා.
“කොච්චර චූටිද??
රාළහාමි කට උල් කලා.
“ඌඌඌ…. රුපියා… ආ…. ල් පන්සීයක විතර?”
“රුපියල් පන්සීය චූටියැ. රාළහාමිට ඕනෙ එකක් කරන්න.”
ඔන්න ඒ ගමන පෑනෙ ක්ලිප් එක ආයෙම වැහුවා. වෑන් එක දිහා බැලුවා.

“අර වෑන් එකේ ඉන්නෙ නෝනයි පුතයිද?
මම ඔවු කිව්වා.
“මේ ෂොපිං යනවා?”
“ම්ම්ම්… ඔවු. එහෙමත් අදහසක් තියෙනවා.”
“ම්ම්, හරි මහත්තයත් මං වගෙම සුදුම සුදු මහත්තයනෙ. හ්ම්ම් ගිහින් එන්න.”
“මොනවා?” මට හිතුන මිසක් කිව්වෙ නෑ.
“ගිහින් එන්න මහත්තයා. පරිස්සමින් යන්න. ඔය මහත්තයලා වගේ රට ඉඳලා එන කට්ටිය ඕක ව්ටේ කරකවනව්ම තමයි. හහ් හහ්. හරි එහෙනම්. දෙයියංගෙ පිහිටයි.”
මාත් අතට අත දීලා අචාර කරලා වාහනේට ගියා. ගිහින් විහාරමහාදේවි උද්‍යානය පිටිපස්සෙ පාර දිගටම ගිහින් හෝටන් ප්ලේස් වට රවුමෙන් කරකවලා ආපහු ග්‍රීන් පාත් එනකොට මෙන්න මෙයා ඉන්නවා තවත් එක්කෙනෙක් අල්ලගෙන. මම හෝන් එකට පොඩි තට්‍ටුවක් දැම්මම මෙන්න මෙයා ලොකූ හිනාවක් දාලා අත වනලා ආපහු අර  මනුස්සයා  දිහාට හැරුනා.

 

ටැග: , , , , , ,

19 responses to “44. නිවාඩු කාලේ පොලිස් කතා.

  1. ඉඳුනිල්

    ජනවාරි 23, 2012 at 12:15 පෙ.ව.

    ඔහොම කාකි මහත්තයෙක් ගැන ඇහැව්වමයි.

    වතාවක් හෙල්මට් නැතිව බයිසිකලේ ගිය මගේ යාලුවෙකුටත්, මටත් හොඳ සිංහල පාඩමක් අහන් ඉන්න ලැබුනා. ඒ යාළුවා නවත්තන්න කිව්වත් නොනවත්වා ගිහින් ආයේ හරවාගෙන ආ නිසා. හැබැයි අන්තිමට දඩ නැතිව යන්න දුන්නා..

     
  2. ඩිලාන්

    ජනවාරි 23, 2012 at 3:19 පෙ.ව.

    මමත් හැම සැරේම පගාවටයි,දඩ වලටයි ගිය ගමන් වෙන් කරනවා,,මොකද අන්තිම දවස් වල සෙට් උනොත් බඩු බනිස් වෙන හින්දා

     
  3. නවම්

    ජනවාරි 23, 2012 at 9:23 පෙ.ව.

    මටත් ඔහොම කාකි මහත්තුරු දෙන්නෙක්ම මුනගැහිල තියනව [ජීවිතේටම දෙපාරයි අහු උනෙත්] දෙපාරම අර මාළුවත් එක්ක යනකොට. එක සැරයක් නම් හෙන්රිත් සීන් එක දැක්කනෙ.

    එදා උනේ මෙන්න මෙහෙම දෙයක්.

    ඔන්න කලර් ලයිට්ස් පැන්න ගමන් අත දාපි කොළු රාලහාමියෙක්. මාත් ඉතිං අන්ද මන්ද වෙලා නෑවැත්තුව, ඇයි මං වැ‍රැද්දක් කොලාය..

    මගෙන් අහපි මල්ලි, මොකෝ ලයිට් දැක්කෙ නැත?

    ලයිට්, මොන ?

    රෙඩ් ලයිට් එකේ නවත්තන්න නැතුව ආවනෙ.

    හප්පටසිරි. දක්කෙ නෑ නෙ. මං මේ යාළුවෙක්ට අතවන වනනෙ ආවෙ. [යාළුව කවුද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ]

    හ්ම්… එහෙමංනං පොඩි දඩයක් ලියන්නම්.

    හා.. මොනව කරන්නද වැ‍රැද්ද මගේනෙ.

    හා… උඹලත් කොල්ලො නේද.. ඔය දඩේ ගෙවන සල්ලිවලින් ඇඟ හැදෙන්න මොනව හරි කෑවොත් නරකද.

    මට කොලොප්පං !

    කොහෙද වැඩකරන්නෙ ?

    නවම් මාවතේ.

    හෙහ්.. ඒ අපේ ඒරියා එකනෙ. දැක්කොත් නවත්තල කතාකරල යන්න ඕනෙ හරිද,

     
  4. රූ

    ජනවාරි 23, 2012 at 9:32 පෙ.ව.

    බෙදාගන්නම වටින මරු කතාව..
    පොලිස් රාලාමි කතා කරන විදිහ නම් හරි අමුතුයි..

     
  5. පූසා

    ජනවාරි 23, 2012 at 10:27 පෙ.ව.

    දෙන්නම එක වගේ සුදු නිසා මිනිහට එයාගේ අයියාව හරි මල්ලිව හරි මතක් උනාද දන්නෑ😀

     
  6. වෙද ගෙදර මහ වෙදනා

    ජනවාරි 23, 2012 at 11:18 පෙ.ව.

    ලංකාවෙද මෙහෙම වුනේ? හයියෝ හයියෝ ඒ පොලිස් මහතැන් උදේ පෙත්ත බීලා නැතුවද කොහෙද. නැත්නම් අපේ පොලෝසිය ??????

     
  7. Observer

    ජනවාරි 23, 2012 at 2:51 ප.ව.

    ගිය වතාවේ ලංකාවට ආව වෙලාවෙ, මමයි මස්සිනයි අනුරාධපුරේ ඉඳල එද්දී මගදී නැවැත්තුව ටිකක් මහන්සි අරින්න. මෝට සයිකලෙකින් ආව ඉන්ස්පෙක්ටර් මහත්තයෙක් නවත්තල ‘ඇයි කාරෙක කැඩිලද’ එහෙම අහල චුට්ටක් කතා බස් කරල හෙම ගියා, බොහොම සුහද විධියට. නම මයුරසිරි, වැඩ කරන්නෙ අනුරාධපුර පොලිසියෙ කිව්ව.

     
  8. uwiniran

    ජනවාරි 23, 2012 at 3:05 ප.ව.

    ඔය වගේ කට්ටියත් ඉන්නවා…..
    මේ වගේ කට්ටියත් ඉන්නවා…..

    දවසක් අපි අ’පුරේ යනකොට ඇල්ලුවා ඉර කැපුවයි කියලා, මම කිව්වා ගිහින් රුපියල් 200 ක් දීලා වරෙන් කියල. මූ ගිහින් ආවා[ඩ්‍රයිවර් මගේ කසියා]
    “හරිද? කීයක් දුන්නද?”
    “400ක් දුන්න බං, එතන දෙන්නෙක් හිටියා”

     
  9. narakaya

    ජනවාරි 24, 2012 at 11:33 පෙ.ව.

    එල පොරක්නෙ… ඈති ඔයින් ගියා

     
  10. ක්සැන්ඩර් | Xander

    ජනවාරි 26, 2012 at 12:38 පෙ.ව.

    අපෝ කතාව කියවද්දිම ඇඟේ මයිල් ස්මයිල් වෙලා තිබ්බේ. මොකද ඔය ජරා ජාතිය අපි රට ඉඳල අවා කිව්වා ගමන් සීය පන්සීය කරලනේ කතා කරන්නේ. අර කිව්වත් වගේ මු අපේ රටේ එකෙක් වෙන්න බෑ. සමහර විට ඌ රට ඉඳල අවදා දන්නේ නෑ. මොකද ෂොපින් යනවා කියලත් උට ජරාවක් කන්න හිතුනේ නැත්තේ ආයේ රහත් වෙලා යේ?

     
  11. ගෝල්ඩ් fish

    ජනවාරි 26, 2012 at 8:59 ප.ව.

    එතකොට අර නවම් අයියටයි මටයි එදා අත වනලා අපිව පොලිසියට මාට්ටු කරපු එක… හිකිස්….

     
  12. weniwel

    ජනවාරි 28, 2012 at 12:00 පෙ.ව.

    දැන් පොලීසිය අපිව පුදුම කරනවා හරියට ! ඒ අයගේ කතා කිරීම සෑහෙන හොඳයි. ආකල්ප වෙනස් කිරීමේ පුහුණුවක් දීලා තියෙන්නෙ !

     
  13. Kandyan

    ජනවාරි 30, 2012 at 1:06 පෙ.ව.

    ලංකාවට ගියාම කරන්නැති එකම වැඩේ තමයි ඩ්‍රයිව් කරන එක. මල පනින වැඩේ තමා මේ යක්කු හැංඟිලා ඉඳලා අත දාගෙන පාරට පනින එක.

     
  14. hiruni

    ජනවාරි 30, 2012 at 3:46 ප.ව.

    හොද වෙලාවට හොද පොලිස් කාරයෙක්ට් අහු උනෙ. නැත්නම් ශොපින් යන්නි හිටිය සල්ලි එයාට දෙන්න තමා වෙන්නෙ. රුපියල් 500 කින් නවතින එකක් නෑ..

     
  15. දුකා

    ජනවාරි 30, 2012 at 4:09 ප.ව.

    යකෝ මේක ලංකාවේ වෙච්චි සීන් එකක් ද . . .හඃ හඃ හා . . .

     
  16. henryblogwalker

    ජනවාරි 30, 2012 at 10:45 ප.ව.

    @ ඉඳුනිල්: ඉඳහිට ඔහොම චරිතත් ඉන්නවා.

    @ඩිලාන්: මම නම් කවදාවත් ජරාවක් දෙන්න උත්සාහ කරලා නෑ. ඒකත් ලේසි වැඩක් නෙවෙයි නේද. අන්තිම දවස් වල සෙට් උනොත් නං බඩු බනිස් තමා, අනිවා.

    @නවම්:ඕකනෙ කියන්නෙ මල්ලියො අපි ගැවුන තැන කතා මැවෙනවා. පුවත් මවන්නෝ සහ කතා මවන්නෝ!! මේකත් බ්ලොග් කලෑකිනෙ බං.

    @රූ: ඇත්තටම රූ දැන් ටික කාලෙක ඉඳලා පොලිසිය මිනිස්සුන්ට ගරු නම්බු දීල කතා කරනවා මම අහලා තියනවා. (හැම තිස්සෙම නෙවෙයි)

    @පූසා: සුදු පූසන්ට ඔය සැලකිලි නෑ හරිද.

    @ලංකාවෙ වෙද මහත්තයෝ. ඒ පොත්ත නම් නොබී ඉන්න එක අපිටත් හොඳයි. හැබැයි මට අමතක නොවෙන චරිතයක්.

    @ඔබා අයියා: ඒක තමයි ඔබා අයියා, විවිධ චරිත නොසිතූ වෙලාවට හමුවෙනවා.

    @uwiniran: හික්ස් අර දෙවෙනි කට්ටිය තමයි වැඩි නේද?

    @නරකයා: මොනවද මේ කතා. මටත් අදහාගන්න බෑ.

    @Xander ඒක තමයි Xander කුණු බිත්තර පෙට්ටියක එහෙමත් වෙලාවට හොඳ බිත්තරත් තියෙනවනෙ.

    @ගෝල්ඩ් fish: බං මං අත වැනුනෙ පිටිපස්සෙ ගිය එකාට. බයික් එක පදින එකා ට්‍රැ‍ෆික් ලයිට් එක තියෙද්දි මොකට අත වැනුවද?

    @වෙනිවැල්: සැටි‍ෆිකේට් ඇත්ත වෙනී.

    @Kandyan: දැන් එහෙම හැංගිලා ඉන්න තහනම් කියලා මට කියනවා ඇහුනා.

    @ හිරුණි: ඒක ඇත්ත.

    @ දුකා: අදගන්න බෑ නේ දුකා?

     
  17. තිස්ස දොඩන්ගොඩ

    පෙබරවාරි 3, 2012 at 7:35 පෙ.ව.

    මචං අහම්බෙන් මෙතනට ආවේ ගූගල් හරහා…

    මාර රහ ලියවිල්ලක් නේ ලියන්නේ උඹ..!!!
    සිරාවට.. තැන තැන යස කමෙන්ටු දාන මේ ඇත්තා කවුදෑ කියා මට නොහිතුනාමත් නෙමේ…
    ඔන්න බ්ලොග් රෝලට එකතු කරගන්නව මගේ

    ඔය කොයි සූට් එකට යටින් ඉන්නෙත් අපි වාගෙම මිනිස්සු…
    ඉස්සර මට පරණ ට්‍රැඩ් සනියක් තිබ්බා- ඒක ටිකක් ඉස්සර අයි පී ලට දීපු වාහන වර්ගයක්
    මගේ පුරුද්දක් තිබ්බා රාජකාරි වලට යන එන වාහනයක් නැතිව පාරේ ලතැවෙන මහත්තුරු දාගෙන යන
    ඉතින් ඔවුන් මුලින්ම අහන්නේ “සර් අද ඕෆ් ද?” කියලා – මම ඉතින් “නෑ නෑ මම පොලිසියේ නෙමේ කියනව ඉතින්”
    අපේ මිනිස්සුන්ට වහකදුරු වුනාට රටේ මිනිස්සුන්ගේ හැටියට තමා පොලිසියත්…
    ජයවේවා

     
  18. henryblogwalker

    පෙබරවාරි 3, 2012 at 10:13 පෙ.ව.

    @තිස්ස දොඩන්ගොඩ: බොක්කෙන්ම ස්තුතියි තිස්ස. මං ගැනත් රස වර්ණනාවක් කරලා!
    ඔන්න උඹත් මගෙ බ්ලොග් රෝලෙ ඉන්නවා.

    මම ‘හද ගී පොතට’ යනවා නමුත් කොමෙන්ට් දාන්න නොයන්නෙ උඹ ලියනා විෂය කරුණු වලට මම තරමක ආගන්තුකයෙක් නිසයි. නොදන්න දේට කොමෙන්ට් දාන එක හත්තිලව්වට ගහපු කලාබරයක් වගෙ වෙන්න පුලුවන්නෙ.

    නමුත් මම සෑහෙන දෙයක් නිහඬව ඉගෙනගෙන තියෙනවා. සමහර දේ උඹ කිව්වට පස්සෙ තමයි මතක් වෙන්නෙ ‘අඩේ එහෙමත් එකක් තියෙනවා නේද’ කියලා.
    අර කතාවත් සහතික ඇත්ත රටේ මිනිස්සුන්ගෙ හැටියට තමයි පොලීසිය. යකාගෙ හැටියටනෙ විමානෙ කිව්වලු.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: