RSS

Monthly Archives: පෙබරවාරි 2012

51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

ගෑස් සිලින්ඩරයක් කොච්චරකල් පාවිච්චි කරන්න පුලුවන්ද? සති තුනයි? මාසයයි? වැඩිම උනොත් මාස එකහමාරක්? හොඳයි. අපි ගෑස් සිලින්ඩරේ අවුරුද්දක් නැත්නම් දෙකක් පාවිච්චි කරනවා කිව්වොත් විශ්වාස කරනවද? මේකට හේතුව අපි නිවාඩුවට ආවම ගන්න ගෑස් සිලින්ඩරේ පාවිච්චි වෙන්නෙ බොහොම අඩුවෙන් නිසා, මොකද අපි වැඩිපුර ඉන්නෙ ගමනෙ  යෙදිලා මහ පාරේ නිසා ගෙදරට ගන්න ගැස් සිලින්ඩරේ වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ. නමුත් අපි  ගෑස් වෙනුවට පොලීසියට දඩ වශයෙන් ඒ බද්ද ගෙවනවා.

ඉතින් පාරෙ ජීවිතය කිව්වම අනිවාර්‍ය අංගයක් තමයි ට්‍රැ‍ෆික් පොලිස්. ගිය දා ඉඳන්ම ට්‍රයි එක කොහොම හරි දඩයක් ගහන්නම තමයි.  ‘ඒක ඒගොල්ලන්ගෙ රාජ කාරියනෙ’, කෙනෙක් කියන්න පුලුවන්. හරි මෙන්න තියෙනවා පොලිස් කතා තුනක් පහුගිය නිවාඩු කාලයෙන්. කියවලාම තීරණය කරන්නකො.

මම දඩ කන තරමක් කන්නෙ වැරදි කීපයකට. එකක් වේග සීමාව ඉක්මවීම. ඒ කියන්නෙ මහ පාරේ හරකෙක් වගෙ එලවලා නෙවෙයි.  ඔය වේග සීමා පුවරු හොයා ගන්න වෙනම ඇහැක් තියෙන්න ඕනෙ සමහර විට. වේග සීමාව දැක්වෙන පුවරුව තිබ්බත් බොහෝ විට වේග සීමාවේ අවසානය දැක්වෙන පුවරු අතුරුදහන් වෙලා.  ඉතින්  එක වේග සීමා පුවරුවකින් පනවපු  වේග සීමාව කොච්චර දුරක් යනකල් බලපවත්වනවද  කියලා කියන්න කාටවත් බෑ. පොලීසියට හැරෙන්න.

අනික ඉරි වලට උඩින් ඉස්සර කිරීම. මේකත් ඒවගෙ. සමහර තැන්වල ඉරි පේන්නෙ නෑ. මැකිලා ගිහින් . අනික තමයි ඉර නිසා ඉස්සර නොකර  කොටන් ලොරියක් (කොටන් ලොරියක් පිටිපස්සෙ කන්දක යන එක අන්තිම භයානක දෙයක්), ට්‍රැක්ටරයක්, කොට කොට යන බස් එකක්  වගෙ වාහනයක් පිටිපස්සෙන් කිලෝමීටර් ගනනාවක් ගාට ගාට ගිහින් ගිහින්, බැරිම තැන ඉස්සර කරනව නේද? පොලිසිය දන්නව එහෙම තැන්. ඉතින් ඒ තැන් වල හැංගිලා ‍රැකගෙන ඉන්නවා. නමුත් සිරිතක් හැටියට ඉරෙන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තෙ කිලෝමීටර් ගානක් රේස් යන ප්‍රයිවට් බස් කාරයව දකින්නෙ නෑ.

එතකොට ඔය ඉරි එක්කම බස් හෝල්ට් දාලා තියෙනකොට සනීපේ කියන්න බෑ.

හොඳයි මෙන්න මේ නිවාඩුවේ පළවෙනි පොලිස් අත්දැකීම.

මැදියම් රෑ පොලිස් දේශනය

මැදියම් රෑක, දඹුල්ලෙ ඉඳලා කොළඹ පැත්තට  එමින් හිටිය මමත් අපිට ඉස්සරහින් ගමන් කල වෑන් එකත් මේ වනකොට බර පැටවූ ලොරියක් පස්සෙන් කිලෝමීටර් විසිපහක් තිහක් ගාටමින් ඇවිදින් තිබ්බා. ඉස්සර කරන්නම බැරි කඳු සහිත පාරෙ දිගටම තිබ්බ සුදු ඉර නිසා. මමත් වරදකට අහු නොවෙන්න අධිශ්ඨාන කරගෙන හිටපු නිසා කවදාහරි ඉවසීමෙන් සැනසීම ලැබෙන කල්  පිටිපස්සෙන් ගෑ‍ටුවා. අනන්තවත් වාහන අපි පහුකරගෙන ඉර කපාගෙන ගියා. දරුණු බෑවුම සහිත කඳුවලදි මම ලොරියට කන්ද නගින්න ඇරලා, ලොරිය ආපහුබලාගෙනත් හිටියා, ලොරිය ආපහු එයි කියලා බයේ.

අන්තිමේදි ඔන්න කඩ ඉරි පටන් ගත්තා. නමුත් දිග කඩ ඉරි. තවත් ටිකකින් ඔන්න කෙටි සුදු ඉරි සම දුරින් තියෙන තැනක් වගේ පෙනෙන්න ගත්තා. වෑන් රියැදුරත් මමත් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා.  ලොරියට ඉස්සර කරලා ආපහු හරි පැත්තට දාන්න හම්බවුනේ නෑ. මෙන්න අර රතු පොලිස් එලිය පොල්ල, ටෝච් එකකුත් එක්ක පාරේ දකුණු පැත්තෙ හැංගිලා ඉඳලා එලියට පැන්නා. කොලපාට ලුමිනස් පටි මේ හැඟීම්බර අවස්ථාවට අමතර අලංකාරයක් එක් කලා.

“SHIT!” මට කැපිටල් අකුරෙන්ම කියවුනා.

පොලිස් නිළධාරිය අතින් පෙන්නුවා නවත්තලා එන්න කියලා.  වෙලාව පාන්දර 12.30 .
මමත් අර වෑන් එකට ඉස්සර කරලා නවත්තලා ගියා බලන්න තත්වය.  මෙන්න ඉන්නවා නිළධාරියා බමණ මතින්! මේ තරමක් ඉහල රෑන්ක් එකක්.

“මහත්තයා වැ‍රැද්දක් කලා කියලා පිළිගන්නවද?”

“නෑ, මම ඉස්සර කලේ කඩ ඉරි වලට උඩින්.”

පොලිස් නිළධාරියා ගැහුවා ටෝච් එලිය පාර මැද්දට.

“මේ කඩ ඉරිද?”

“ඕක මැකිලා නිසා වෙන්නැති, මට නම් වාහනේට පෙනුනෙ ඕක කඩ ඉරක් වගෙ තමයි.”

“කෝ දෙන්න බලන්න ලයිසන්ස් ඉන්ෂුවරන්ස්?”

ටෝච් එලියෙන්ම කියෙව්වා මගෙ රියැදුරු බළපත්‍රය.

“මේක සෑහෙන පරණයිනෙ.”

“ඔවු නමුත් ඕක වළංගුයි”.

“හරි, මේ ලයිසන්ස් එක ගන්න කාලේ කියා දුන්නද කඩ ඉරි ගැන”.

“ඒක නම් මට මතක නෑ, නමුත් මම හයිවේ කෝඩ් එක අරගෙන කඩ ඉරි ගැන ඉගෙනගෙන තියෙන්නෙ.”

පොලිස් නිළධාරියා හරියට FBI එකෙන් සීරියල් කිලර් කෙනෙක් අල්ලගත්ත වගෙ ආඩම්බරෙන් උඩට පහලට ඔලුව වැනුවා.

“හහ්  හහ් හා!” අධික මත් පැන් ගඳට මගෙ නාස් පුඩු පසා කරගෙන ගියා.” මම ලයිසන් ගත්තෙ මේ මෑතකදි. මාත් ඉගෙනගත්තෙ ලර්නර්ස් එකේ පොතෙන්.” (මේ කතාවෙ ඇත්ත නැත්ත මගෙන් අහන්න එපා. මේ ඔහුගෙම වචන)

“හරි දැන්වත් පිළිගන්නවද ඔයා වරදක් කලා කියලා?”

“ඔ‍ෆිසර්, මම වරද පිළිගත්තත් නැතන් මට දඩයක් ගහන්නනෙ යන්නෙ. ඉතින් ඒකෙ වෙනසක් තියෙනවද?”

“අන්න, අන්න මහත්තයට වැරදුන තැන. මහත්තයා පිළිගන්නෙ නැතිනම් වරදක් කලා කියලා දඩ ගහන එක වැරදියි. මහත්තයලා හිතා ඉන්නෙ අපි ඉන්නෙ දඩ ගහන්න විතරක් කියලා නම් ඒ අදහස වෙනස් කර ගන්න. අපි ඉන්නෙ හරි වැ‍රැද්ද පෙන්නල දෙන්නත් එක්කයි. මහත්තයා දන්නවද ලංකාවෙ වැඩියෙන්ම වාහන අනතුරු සිද්ද වෙන්නෙ කොයි පාරෙද කියලා?”

“මේ පාරෙනෙ.”

“හරියට හරි, අපිට පැයකට වැරදි කරන උන් විසි පහක් තිහක් අල්ලගන්න පුලුවන් ඕනෙ නම්. අපි ඉන්නෙ අනතුරු අවම කරන්න.”

මත් පැන් ගඳ දසත පැතිරෙයි.

“කොච්චර හොඳද!”

“හරි දැන් වත් පිළිගන්නවද වරදක් කලා කියලා?”

“ඔ‍ෆිසර් කියනවා නම් මම වරදක් කලා කියලා, මට පිළිගන්න වෙනවා..”

“අන්න, අන්න. මම කිව්වට පිළිගන්න එපා… අවංකව හිතට එකඟව කියන්න.”

“මම මුල ඉඳන්ම අවංකව තමයි කිව්වෙ නෑ කියලා. මමයි අර වෑන් කාරයයි, දැන් කිලෝමීටර්  ගණනාවක් අර  ලොරිය පිටිපස්සෙ ගාට ගාට ආවා. කී දෙනෙක් අපි ඔක්කොටම ඉස්සර කරගෙන ඉරි කපාගෙන ගියාද කියලා මට මතක නෑ.  නමුත් ඔ‍ෆිසර් ඔය කතාව පිළිගන්නෙ නැති බව මම දන්නවා.”

“හරි, මම අහන්නෙ මෙතනදි ඒ ලොරියට ඉස්සර කරලා තමන් වරදක් කලා කියලා මහත්තයා පිළිගන්නවද නැත්ද?”

“ඔ‍ෆිසර්, මම අනිත් අයටත් දෙන අවවාදයක් තමයි කවදාවත් පොලිස් නිළධාරියෙක් එක්ක තර්ක කරන්න යන්න එපා කියන එක, විශේෂයෙන්ම මේවගෙ වෙලාවට. ඒකෙන් කිසිම හොඳක් සිද්ධ වෙන්නෙ නෑ. මොකද හැන්ද තියෙන්නෙ ඔයාලා අතේ. මට තියෙන්නෙ මගෙ වචනය විතරයි. ඔන්න ඕකයි අවංකවම කිව්වොත් ඇත්තම තත්වය. මම දැනුවත්ව වරදක් කලේ නෑ. මෙතන ඉරි මැකිලත් එක්ක. ඉස්සර කලේ ඉවසලා ඉවසලා බැරිම තැන”

“මහත්තයා, ඉස්සර කරන්න බැරි තැන් මොනවද?”

“ඩබල් වයිට් ලයින්, සිංගල් වයිට් ලයින් තියෙන තැන්, පෙඩස්ට්‍රියන් ක්‍රොසිං,  එතකොට  නගරයකදී, පාලමක් උඩදී, කන්දක් මුදුනෙදි… එතකොට ඉස්සරහ මාර්ගය පැහැදිලි නැති වෙලාවට….”

“බ්ර්ර්ප්!”

මගේ ගුරුතුමාගේ හදිසි ගුඩුස් යැවීමෙන් ඇතිවූ සුගන්ධයෙන් මගේ ලැයිස්තුව හදිසියේ ක්‍රියා විරහිත වුනා.

“දැන් එතකොට ඔය ඉරි අනං මනං නැති ඔය කඳුකරයෙ පාරවල් වල ඩ්‍රයිවර්ලා කොහොමද එලවන්නෙ?”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ ඉස්සර කරන්න හොඳ තැන් මොනවද, කවුද ඉස්සර වෙලා යන්නෙ පාරෙ ප‍ටු තැනින්, වංගුවෙන් වගෙ.”

“ඔ‍ෆිසර්ම කියන්නකො.”

“සුහදත්වයෙන් මහත්තයා. සුහදත්වයෙන්!”

“අහ් හා!”

පාඩම මොහොතකට නැවතූ නිලධාරියා විදුලි පන්දම පාරේ අනිත් පැත්තේ නවතා තිබූ මගේ වෑන් රථයට එල්ල කලා.”

“කවුද අර වෑන් එකේ ඉන්නෙ? ෆැමිලි එකේ කට්ටියද?”

“ඔව්, මගෙ වයිෆුයි, පුතයි.”

“කොහෙද මේ රෑ වෙලා ගියේ.”

“අපි යාලුවෙකුගෙ ගෙදර ගිහින් මේ කොළඹ පැත්තට යනවා ගෙදර යන්න.”

මම එක වර පිළිතුරු කීපයක්ම දුන්නා, කතාව කෙටි කරගන්න.

“මහත්තයා දන්නවද, මට ඕනෙ නම් ඔය වාහනේ ලඟට ගිහින් වැරදි පහක් හොයලා පෙන්නන්න පුලුවන් බව ඕනෙ වෙලාවක. ඔන්නම් බලමුද?”

“ඕනෙ නෑ ඔ‍ෆිසර්. මම දන්නවා එහෙම පුලුවන් බව. හැන්ද තියෙන්නෙ ඔ‍ෆිසර්ගෙ අතේ බව මම දන්නවා.”

“වැරදි නැති වාහන හොහන්න අමාරුයි මහත්තයා.”

“ඔ‍ෆිසර් මතක් කරපු නිසා කියන්නම්. මම අද උදේ පොලිස් ජීප් එකක් පිටිපස්සෙ ගියා සෑහෙන දුරක්. දුම ගැන කියලා වැඩක් නෑ. වැරදි සීයකට වැඩිය තියෙන්න ඇති වාහනෙයි, එලවපු විදියෙයි!”

යන යකා කොරහත් බිඳගෙන ගියදෙන්!

“මම පිළිගන්නවා” පොලිස් නිළධාරියා මෙපමන වෙලා අතේ තබාගෙන සිටි මගේ ලියකියවිලි මගේ අතට දුන්නේ මා පුදුමයට පත් කරමින්.

“දැන් රෑ වුනා. පරිස්සමින් ඕවර්ටේක් කරන්න. ගිහින් එන්න. ගුඩ් නයිට්!”

“ගුඩ් නයිට් ඔ‍ෆිසර්, තැන්ක් යූ”

වෑන් එකට නගින ගමන් නිකමට ඩෑෂ් බෝඩ් ඔරලෝසුව දෙස බැලුවා. විනාඩි තිස් හතක දේශනයක්. ඇත්තෙන්ම මේ දේශනය මීට වඩා හුඟක් දිගයි. එකම දේ දෙතුන් වර කියවුනා. දිග වැඩි නිසා සංශෝධනය කරලා තියෙන්නෙ.නමුත් දඩයක් කෑවෙ නෑනේ.

“මොකද වුනේ?” දීපා ඇහුවා.

“ඒක දිග කතාවක්.මම යන ගමන් කියන්නම්. දඩයක් ගැහුවේ නෑ!” මම ලියකියවිලි සන්වයිසරය පසුපස ඇති ෆ්ලැප් එක ඇතුලට ඔබන ගමන් කිව්වා.

 

ටැග: , , , , , , , ,

50. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?


කමල් මගෙ මෙකැනික් සුගත්ගෙ ගරාජ් එකේ ටින්කර් වැඩකරන බුවා. මම නිවාඩුවට ගියාම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි සුගත්ගෙ ගරාජ් එක. මේ සුගත් ඇත්තටම හොඳ වැඩ කාරයෙක්. මාව ගොඩ දාලා තියෙනවා අනන්ත. මම ෆෝන් එකෙන් විස්තරේ කියනකොට අහන් ඉඳලා හරියටම රෝගයත් විනිශ්චය කරලා කියනවා, “අරන් එන්නකො මහත්තයෝ”, කියලා. හරියටම හරි තමයි.

සාමාන්‍යෙන් එතන යන්නෙම 18+ භාෂාව සහ කතන්දර නිසා මම චූටි පුතා එක්ක යනවට සුගත්වත් කැමති නෑ. මේ කතාව ඊට වැඩිය වෙනස්. ඒ කියන්නෙ එතන කියවුනු කතාවලින් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් එකක්.

මේ සුගත් මගෙ බ්‍රේක් පෑඩ් හයි කරනවා.

මේක වෙලා තියෙන්නෙ කමල් කලින් වැඩ කරපු ඈත ඩොටේ ඩොට් කොම් පළාතක ගරාජ් එකක.

ගරාජ් වැඩ කියන්නෙ ඉතින් ඇඟට දැනෙන වැඩ හන්දා හුඟාක් කශ්ටිය හවසට දෙකක් ඇන ගන්නවනෙ. ඉතින් පඩි දවසට කන සාක්කුවෙ. එක දවසක ගැන්සියම මද පමනින් ස්ටෙලා වෙලා ගිහිල්ලා නගරේ රෙස්ටොරන්ට් එකකට කන්න. එක පොරකගෙ, අපි කියමු පාලිත කියලා, නියම නමයි ගම් පළාතයි නොකියා, ඔන්න කන සාකුවට වැටෙන්නෙ ඔන්න මෙන්න(ලු). දැන් ගැන්සියම මේසයක් වටේ ඉඳගෙන ඕඩර් කරන්න(ලු) ලෑස්තිය.

“මොනවද මචං කන්නෙ?”

“මොනවද ඉතිං තියෙන්නෙ බලපංකො ඉස්සෙල්ලා”

ඔන්න එතකොට වේටරුත් ඇවිත්.

“මොනවද මල්ලි තියෙන්නෙ කන්න?”

“රයිස් ඇන් කරි තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, තව…”

“ඒයි රයිස් ඇන් කරි කමු නේද? මොකද උඹලා කියන්නෙ?”

හැමෝම අත උස්සලා සභා සම්මත කරගත්තත් පාලිතයා සද්දයක් නෑ(ලු).

“අඩෝ, උඹ මොකද කියන්නෙ?”

“මට කන්න බෑ බං. උඹලා කාපල්ල කියලා.” මූ සිගරට් එකක් පත්තු කරගත්ත(ලු).

“මූට වැඩියි තමයි මචං එක්කො ඔහොම හිටියාවෙ. නැත්තම් කබ්බ සෙට් වෙන්න පුලුවන්.” කියලා කමලුත් කිව්ව(ලු).

පස්සෙ ඔන්න කශ්ටියම, ඒ කියන්නෙ පාලිතයා හැර, බත් කනව(ලු),

ඔන්න මේක ඇන්දෙ ග්‍රැ‍ෆික් ටැබ්ලට් අහවල් එකෙන්.ඔය චරිතෙ නම් මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඇන්දෙ. දැකලා නෙවෙයි.

පාලිතයා කිර කිර ඉඳලා හදිසියෙම කන සාකුවෙන් එලියට අරගෙන වටපිට බැලුව(ලු). එතකොට අනිත් උන් කාල ඉවර වෙන්නත් ලඟයි(ලු).

මූ එකපාරටම කියනව(ලු).

“අඩෝ, රයිස් කියන්නෙ බත් කියලා දන්නවනං මාත් ටිකක් කනව ඩෝ”

මේකට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න මට ටිකක් වෙලා ගියා.

ප.ලි.: මෙන්න මේ අහිංසකයො හතර දෙනාගෙ පාත්තරේට තමයි ඔය වෙනී හෙනහුරා වැටිලා තියෙන්නෙ. අර ලම්ප් රයිස් මඩ කතාව කොච්චර අසාධාරණද බලන්න!

 

ටැග: , , , , ,

49. Get that feeling of Déjà vu? කලින් අහල පුරුදු ගතියක් දැනෙනවද?


මමයි බිරිඳයි දෙන්නම උගන්වන මේ පාසැලේ උදෑසන ‍රැස්වීමෙදි මම මේ සතියෙ පවත්වපු කතාවයි මේ. මේ කතාව මම සිංහලට පරිවර්තනය කලා. ඔරිජිනල් එකත් මේ එක්කම තියෙනවා. මේ කතාව කවියක් වගේ ලියලා තියෙන්නෙ කතාවක් හැටියට කියවන විට පහසු වෙන්න.

මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හේතුව, ලාංකික ගුරුවරු විදේශ රටවල ඉගැන්වීමේ යෙදෙනවිට ලබන අත්දැකීම් වල ඡායාමත්‍රයක්වත් ඔබට ලබාදීම. එවැනි අත්දැකීම් ඇති ලිපි මම නම් දැකලම නෑ.

ඉතින් මේක කියවනකොට ඔබට අහලා පුරුදු ගතියක් දැනුනොත්.. ඒ කොහොමද? මම මේ කතා කරන්නෙ ලංකාවේ පාසැලක් හෝ ලාංකික සමාජය ගැන නෙවෙයි. නමුත් පොඩ්ඩක් බලන්න මේ කතාවෙ යම් අදාලත්වයක් තියෙනවද කියලා ඔබ ඉන්න පරිසරයත් එක්ක.

අනම් මනම් ඇති. මෙන්න කතාව.

SHIFTING THE RESPONSIBILITY
වගකීම තවෙකෙකු මත පැටවීම

Whether you go to a government office
or a private company
there is one doubt in your mind.
that is,
whether you’d be able to
get what you want done.
රජයේ කාර්යාලයකට යන්න, පෞද්ගලික ආයතනයක යන්න, ඔබේ හිතේ යම් සැකයක් තියෙනවා. මම යන මේ කාර්යය කරගන්න හැකිවේවිද?

And as you feared
the most common answer that you get is,
“I don’t know”, “It’s not my duty.”
with a shrug of shoulders,
which is perfectly normal.
හිතුවා වගේම, උරහිස් හකුළුවා දෙන සුලභම පිළිතුර, “මම දන්නෙ නෑ”, “ඕක මගේ රාජකාරිය නෙවෙයි”, සාමාන්‍ය දෙයක් වෙලා.

And most probably
the officer you wanted to meet
is not at his desk.
He’s either absent or on annual leave.
බොහෝ විට ඔබට හමුවීමට අවශ්‍ය නිළධාරියා, ආසනයෙ නෑ, එක්කො එදා නිවාඩු, නැතිනම් වාර්ශික දීර්ඝ නිවාඩුවක් අරගෙන.

Well, everybody has a right to take leave.
The big question is who’s there
to cover up for them.
And take over their responsibilities.
Actually, no one seems to have thought about that.
හරි, හැමෝටම අයිතියක් තියෙනවා නිවාඩු ගන්න, ප්‍රශ්නෙකට තියෙන්නෙ, කවුද ඔහුගෙ රාජකාරිය කරන්නෙ ඔහු නැති අතරෙ? කවුද ඔහුගෙ වගකීම් දරන්නෙ ඔහු නැති අතරෙ?
ඇත්තෙන්ම කිසිකෙනෙක් මේ ගැන හිතලා නැති හැඩයි.

If one officer is absent,
You have to go back another day,
When he’s back at work,
hopefully.
එක නිළධාරියෙක් නිවාඩු නම් ඔබ යන දවසට,
ඔබට නැවත වෙන දවසක යන්න වෙනවා,
ඔහු නැවත සේවයට වාර්තාකර ඇතියි යන බලාපොරොත්තුවෙන්.

You must be wondering
Why I’m talking about
government offices and private firms
at the school assembly.
දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි මම පාසැල් ‍රැස්වීමෙදි රජයේ හා පෞද්ගලික ආයතනවල වැඩ ගැන කතා කරන්නෙ ඇයි කියලා.

Well, one reason is
School is probably the only place
when one teacher is absent
another teacher is sent on relief duty.
එක හේතුවක් තමයි
එක ගුරුවරයෙක් නිවාඩු නම් අනිවාර්යයෙන්ම වෙනත් ගුරුවරයෙක් සහන පරිච්ඡේදයකට පන්තියට යවන ක්‍රමවේදයක් තියෙන එකම ආයතනය සමහරවිට පාසැල පමණක් වීම.

And another is,
the school is the place
where all those government and private company employees
originated from
with their nature of being irresponsible.
තව හේතුවක් තමයි
ඔය මම කලින් කිව්ව වගකීමෙන් තොර පෞද්ගලික හා රජයේ ආයතනවල නිළධාරීන් ඔය තැන් වලට ගියේ මේ පාසැල්වලින් ඉගෙනගෙන වීම.

It’s at the school we learnt to say,
“I forgot to bring my book.
So’ I’m not working today.
I’m free.”
as if it is the teacher’s fault.
And unfortunately,
“I forgot” is widely accepted and excused.
අපි ඉගෙනගන්නෙ පාසැලේදි මෙහෙම කියන්න.
“මට පොත ගේන්න අමතක වුනා, ඉතින් මම අද වැඩ කරන්නෙ නෑ. මම නිදහස්.!”
මේක කියන්නෙත් හරියට මේක ගුරුවරයගෙ වරදක් වගෙ.
අවාසනාවකට වගෙ, (මේ රටේ), ‘මට අමතක වුනා’ කියන උත්තරය ඉහලින් පිළිඅරන් සමාවත් දෙනවා.

It’s at the school we learnt to say,
“I was absent for the test because I overslept.”
Again, accepted and sympathized too.
So, you expect the school to give you a retest.
අපි ඉගෙනගන්නෙ පාසැලේදි මෙහෙම කියන්න.
“මට විභාගෙට එන්න බැරි වුනා, මට නින්ද ගිය නිසා”
මේ උත්තරෙත් ඉහලින්ම භාර ගන්නවා (මේ රටේ) අනුකම්පා පෙරදැරිව.
ඉතින් ඔබ ඉල්ලනවා පාසැලෙන් ඔබ වෙනුවෙන් නැවත විභාගයක්.
(මේක ඇත්තටම මෙහෙ වෙනවා. එදාට ගුරුවරයා පාසැල් වෙලාවෙන් පස්සෙ ඉඳලා ආ ලමයට ටෙස්ට් එක කරවන්න ඕනෙ)

It’s at the school we learnt to say,
“You are asking me not to talk.
You always pick on me.
Look, he’s also talking, not only me”
අපි ඉගෙනගන්නෙ පාසැලේදි මෙහෙම කියන්න.
“ඔයා මට කියනවා කතා කරන්න එපා කියලා.
ඔයාට හැම තිස්සෙම පේන්නෙ මාව විතරයි.
අර පේන්නෙ නැත්ද අරයත් කතා කරනවා, මම විතරක් නෙවෙයි.”

Finally, It needs a lot of courage
to accept that we are wrong.
And not to point our fingers at the others,
shifting our responsibility to someone else.
අවසන් වශයෙන්,
තව කෙනෙකුට ඇඟිල්ල දික් නොකර
තමන්ගෙ වරද පිළිගන්න,
පුදුමාකාර ධෛර්‍යයක් අවශ්‍යි

Thank you.
ස්තුතියි

 

ටැග: , , ,

48. අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ


ත්‍රිරෝද රුවන් වැකි:

හන්දියෙ ත්‍රී වීල් නවත්තන්නෙ විකී අයියගෙ තට්‍ටු ගොඩනැගිල්ලෙ මිදුලෙ. යට තට්‍ටුවෙ කඩ , කමියුනිකේෂන්, රෙස්ටොරන්ට්, කම්පියුටර් උපාංග වගෙ දේවල්. බේස්මන්ට් එකෙයි උඩ තට්‍ටුවෙයි ටියුෂන් පන්ති. මෙතන ඉන්න ගැන්සියම මම අඳුරනවා මොකද අපි ඉන්නෙ ඊට ගොඩනැගිලි කීපයකට එහා නිසා.

දවසක් කඩේ ලඟට ගිය ගමන් අපේ මධුකයත් එක්ක කතා කරකර ඉන්නකොට නවත්තලා තිබ්බ ත්‍රී වීලර් එකකට මගෙ ඇහැ ගියා. මම ගෙදර ගිහින් කැමරාවකුත් අරගෙන ඇවිත් අයිතිකාර මල්ලිගෙත් අවසර ඇතුව තමයි මේ ෆෝටෝස් ගත්තෙ.

“තනිකම සැපයි!”

ඔහොම ගහලා තිබ්බට…

“කළු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී?”

අයිතිකාරයගෙ පාට හිතා ගත්තැකිනෙ.

No Woman No Cry ලු.

එහෙමත් තේරෙනවා. ඒ වුනාට…

“තාමත් හන්දියෙ අඹ ගහ යට මම නුඹ එනකල්.”

මේව ඇත්තටම කස්ටමයිස්ඩ් කතන්දර. ඒ මොකද මේ ත්‍රී වීලර් එක පාක් කරන්නෙ ඇත්තටම හන්දියෙ අඹ ගහ යට තමයි.

“අඩෝ අපි මේ ත්‍රී වීල් එලෙව්වට…” මේ තමයි මගෙ හිත මුලින්ම ගිය කෑල්ල.

“අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ,
Campus යන්නට ලකුණක් මදි ඇති, ඒකයි තවමත් මහ පාරේ…”

“පට්ටයි ඈ!” මම අගය කලා කුසලතාවය.
“පට පට පට්ටයි”, අයිතිකාරයා හිනා කටින්  අනුමත කරලා, “තව උඩත් තියෙනවා..”

“මොන උඩද?” මම පුදුමෙන් ඇහුවා.

“වහලෙ උඩ.”

මම කැමරාවරත් අරන් නැග්ගා අඹ ගහට මේක ගන්න.

ඔන්න තිබ්බ දේ.

“පේලි පේලි ගැහැණු ළමයි මා දිහා බලා, පාට පාට හීනේ ගානෙ පා වෙලා ගියා.”

කොහොමද නණ ලළ බේදෙ හෙම ‍රැකගෙන තියෙන හැටි විතර!

“යකෝ, ඒ කාට පේන්නද වහලෙ උඩ ඒක ගැහුවෙ???” මම ඇහුවා.

“ඔය අදාල ගෑල්ලමයි ඉන්නෙ අර උඩ තට්‍ටුවෙ ටියුෂන් පන්තියෙ. එතෙන්ට නියමෙට පේන ෆොන්ට් එකකින් තමයි ගහලා තියෙන්නෙ!”

හැබෑම නේන්නං! කොහොමද ටිකිරි මොළේ?

 

ටැග: , , ,

47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

අපේ අධිවේගී මාර්ගයේ වෙලා තියෙන අනතුරු ගණන ඇහුවම අදහා ගන්න බැරි තරම්. මෙච්චර නවීන ආරක්ෂක උපාංග සවිකරපු වාහන වලින්, අච්චර ඉඩ තියෙන, දරුණු වංගුත් නැති, කෙලින් පාරෙ පැයට කිමී 100 ට ගිහින් මේ තරම් අනතුරු කරගන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැරුව හිටියෙ. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක හුඟාක් අනතුරු වෙන්නෙ වාහන එක ගොඩේ වැදීම (pile up) නිසානෙ. මේ එහෙමත් නෙවෙයි. වේගය පාලනය කරගන්න බැරිකම. එක එක්කෙනාට ඔරොත්තුදෙන වේග තියෙනවානෙ. සමහරුන්ට 60 ශුවර්, සමහරුන්ට 80 ශුවර්, කොයි හැටි වෙතත් වේගය අධික වෙන්න වෙන්න, තමන්ගෙ ප්‍රතිචාර දැක්වීමේ වේගයත් වැඩි වෙන්න ඕනෙ. ඇස් දෙක පාරෙම තියෙන්න ඕනෙ. ආපදා කල්තියා වඩා වේගයෙන් හඳුනා ගන්න ඕනෙ. එහෙම බැරි අය තමන්ට පුලුවන් ගානට යන්න ඕනෙ. ඒ වගෙම ඉතාම හොඳ විනයක් තිබීම අත්‍යාවශ්‍යයි.

ඉතින් අධිවේගී මාර්ගයෙ වූ අනතුරකින් පළමු වතාවට තරුණ රියැදුරෙක් පසුගිය පෙබරවාරි 3 වෙනිදා මියගියා කියලා අන්තර්ජාලෙන් දැක්කම ඔබ කවුරුත් වගෙ අපිත් කම්පා වුනා. ඒ එක්කම මොහොතකින් හිතට ලොකු සැනසිල්ලකුත් දැනුනා. ඒ මගෙ තියෙන ම්ලේච්ඡ තිරිසන් කමකට නෙවෙයි. ඉන්න මම විස්තර කියන්නම්.

අපි ලංකාවට ගිය වෙලේ ආපහු එන්න දවස් දෙකතුනකට කලින් ඒ කියන්නෙ ඇත්තටම 2011 දෙසැම්බර් 29 වෙනිදා මමත් ඔය අධිවේගී මගේ වාහනය පදවගෙන ගියා පවුලේ අයත් එක්ක. දීපත්, චූටි පුතාත්, ඔයගමන සුපුරුදු විදියට වීඩියො සහ ඡායාරූප වලට නැගුවා. පාරෙ අයිතිකාරයො කීප දෙනෙකුත් මුන ගැහුනා. මාර්ග නීති අමු අමුවෙ උල්ලංඝනය කරපු ගවයොත් දෙතුන් දෙනෙක් දැක්ක. ඒ ගැන පස්සෙ කියන්නම්කො.

පින්නදූවට කිට්‍ටු වෙනකොට තමයි අපි මේ හදවත කම්පා කරපු දර්ශනය දැක්කෙ. මේ පින්තූර මගෙ චුටි පුතාගෙ වීඩියෝවෙන් ගත්ත නිශ්චල දර්ශන. ඇත්තෙන්ම screen shots.

We also travelled at 100 kmph most of the way, that's how we made it in one hour.

අපිත් ගියේ පැ. කි. මි. 100 ට තමයි දිගටම වාගෙ. පේනවනෙ මීටරේ. අපිටත් පැයයි ගියේ.

හරි දැන් බලන්න අපි ඊ ගාවට දැක්ක දේ!!







පේනවා නේද? මේ පාර ඉවරවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අර ටෝල් බූත් කිට්‍ටුවම. ඔය අනතුර වෙච්ච හැටියෙම උණු උණුවෙ. ඔය කලු පාට SUV වර්ගයෙ වාහනේ අපිට විනාඩියක් දෙකක් ඉස්සරහින් ගිය එකක්. පේනවා නේද වැට තලාගෙන එලියටත් වීසිවෙලා කරනම් ගහලා ආපු පැත්තටම හැරිලා තියෙන්නෙ. ඔය නවත්තලා තියෙන අනිත් නිල්පාට වගෙ වාහනේ සුදු ඇඳගෙන ඉන්න කට්ටියගෙ තියෙන සම්බන්ධය මම දන්නෙ නෑ. අපි නැවැත්තුවෙ නෑ මොකද නවත්තන්න තහනම් නිසා. ඒ වගෙම භයානක නිසා. අපි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ වලට කිව්වා. ඔය වාහනේ ඉස්සරහ ඉන්නවා එක්කෙනෙක්. පාර අයිනේ වැටෙන් එලියෙ බිම වැතිරිලා එක්කෙනෙක්. තව කෙනෙක් හිටගෙන ඉඳලා දනිස් පණ නැතිවෙලා කඩා වැටෙන කොට කෙනෙක් පැනලා අල්ලගන්නවා. වාහනේ නම් කන්ඩෙම් මම හිතන්නෙ. මම එවෙලෙ ඔය විස්තර ඔක්කොම දැක්කෙ නෑ ඇත්තටම. මොකද මම වාහනය පදවපු නිසා.

ඉතින් කතාව මේකයි. අපි පාරේ වාහනයක් පදවනකොට විශේෂයෙන්ම පාරේ එක පැත්තට යන රියැදුරන් අතර අදිසි සහෝදර සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. සමහරවිට පොදු අරමුණක් තියෙන නිසා වෙන්නත් පුලුවන්. විරුද්ධ පැත්තට යන රියැදුරන්ටත් අපි හෙඩ් ලයිට් ෆ්ලෑෂ් කරලා පොලීසිය ඉන්නවා කියලා කියන්නෙ ඔය සුන්දර බැඳීම නිසාමයි. ඉතින් මේ කට්ටිය මම නොදැක්කා වුනත් මොහොතකට කලින් අපිත් එක්කම සමහර විට අපි වගේම හිනාවෙවී විහිළු තහලු කරමින් එක මග ගිය වුන් නේද කියන කම්පණය අපිට දවස් ගානක්ම දැනුනා. එදා මුළු ගමනෙම ඇතිවුණු අඳුරුම පැල්ලම මේ සිද්ධියයි.

ඇත්තටම අපි හිතුවෙ මෙතන මේ වාහනේ ආපු කීපදෙනෙක්ම මෙලොවින් සමුගන්න ඇති කියලා මේ අලුත් ප්‍රවෘතිය දකිනකම්ම. ඒ කියන්නෙ පළවෙනි මරණය සිද්ධ වුනේ පෙබරවාරි 3 නම්, මේ පින්තූර වල ඉන්න අයට දෙවි පිහිටෙන් කිසිම කරදරයක් වෙලා නෑ කියලා දැන ගත්තම අපේ පපු වලට පුදුම සහනයක් දැනුනා. ඒකයි කතාව.

මේ වාහන වල ගිය කවුරුහරි මේ බ්ලොග් එක දැක්කොත් හරි මේ බ්ලොග් එක කියවන කෙනෙක් මේ අයව අඳුරනවා නම් හරි කරුණාකරලා කොමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝව අපි ලඟ තියෙනවා. ඔබ මරණයෙන් ගැලවුන එක අපේ හදවත් වලට පුදුමාකාර සතුටක්. පරිස්සම් වෙන්න!

 

ටැග: , , , ,

46. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.


පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පැහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.
මළගෙදර එලියෙ මා අවට ඉඳගෙන බුළත් හපමින්, දුම්වැටි උරමින්, පහත් හඬින් කතාකරමින් හිටපු මිනිස්සු දඩිබිඩි ගාලා නැගිට්ටා. ඒ මිනිස්සු නැගිටලා, ඔලුගෙඩි කසමින්, දියාරු හිනාවකුත් එක්ක , බයාදු, නිවට බැල්මකින් අර පුද්ගලයා දිහා බලාගෙන එකත්පස්ව ඉන්නවා දැක්කම මට ඇතිවුනේ වේදනාවක්.

අනේ අපේ මිනිස්සුන්ගෙ කොන්දවල් වලට මොකද වුනේ?

“කවුද ඒ? ඇමති කෙනෙක්ද?”

ඉඳගෙන හිටපු මා ලඟ හිටගෙන ඇඹරෙන පොරගෙන් මම ඇහුවා.

මොකද දේශපාලන කශ්ටිය දැක්කමත් අපේ හුඟ දෙනෙකුගෙ පශ්චාත් භාගයට කරන්ට් වදිනවනෙ.

“මහත්තයා, ඇත්තටම දන්නෙම නැත්ද?”

“නෑ. ඉතිං කවුද ඒ?”

“මහත්තයො,” පොර කියනවා. “එයා තමයි ලංකාවෙ ඉස්සෙල්ලම ටිකට් මැෂිමෙන් මාටියා ගහන ක්‍රමය හොයාගත්තෙ. එංගලන්තෙං ඔය මැෂින් ගෙනාවෙ මාටියා ගහන්න බෑයි කියලා ගැරන්ටියක් එක්ක…”

මට මල අතේ.

“එහෙනං පට්ට හොරෙක්නෙ. ඉතින් මේ ඔක්කොමල්ලා දඩිබිඩි ගාලා නැගිට්ටෙ ඒකා එනකොට?”

“හුහ්, ඒ ගහපු ගැහිල්ලෙන් තමයි මහත්තයා නැගිට්ටෙ. අද කෝටිපතියෙක්. බස්ම තියෙනවා…”

“නොදකින් මෙහෙමත් නිවට…!!!” හිතුනත් මම කිව්වෙ නෑ.

මම ටිකකින් නැගිටලා ගෙදර ආවෙ අපේ ජාතියම ගැන ඇතිවුනු පුදුම කළකිරීමකින්.

පස්ස නොසෝදනවා යයි අපි අවමන් කරන සුද්දන්වත්, අප්‍රිකානු සම්භවයක් ඇති කලු ජාතිකයන් ලඟවත්වත් දකින්න නැති මේ නිවටකම දකුණු ආසියාවෙ විතරද තියෙන්නෙ? අර මුලින් කී වර්ගයේ කලු හා සුදු මිනිස්සු හිටගන්නෙ ඇවිදින්නෙ පවා කොන්ද කෙලින් තියාගෙන. කතාකරන්නෙ ඕනෙම ලොක්කෙකුගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන.

ඒකට අපේ කට්ටිය!

අපිත් එක්ක වැඩකරන විවිධ යුරෝපීය ජාතීන් හැරුනම වැඩිම පිරිස ඉන්දියානුවො.

ඉන්දියානුවො එක්ක බලනකොට අපේ උන් හොඳයි. මේ පොරවලුත් හැම එකාටම සර් කියනවා. තමන්ගෙ යාලුවට, එතකොට තමන් එක්ක එකට වැඩ කරන සගයට, කාකාසට, කම්කරුවට, බාබර්ට, ටේලර්ට, බේකරි කාරයට, කොටින්ම කිව්වොත් ඕනැම කෙනෙකුට කතාකරන්නෙ ‘සර්’ කියලයි. ගිය අවුරුද්දෙ අපිත් එක්ක වැඩකරපු පන්ජාබ් ගුරුතුමිය වෛද්‍යවරයෙක් වුන තමන්ගෙම සැමියට කතා කරන්නෙ ‘සර්’ කියලා. නැති තැන අපිත් එක්ක කියන්නෙ ‘ඩාක්ටර්ජී’ කියලා. ඉතින් මෙයාලගෙ සර් කියන වචනේ කිසිම වටිනාකමක් නෑ. හරියටම ‘ඕයි’ කියනවා වගෙ.

අපිත් සමහරවිට ඊට දෙවෙනි නෑ නේද? අපි හැදිලා තියෙන්නෙ, අපිව හදලා තියෙන්නෙ කොන්ද පණ නැති ජාතියක් හැටියට නෙවෙයිද? වෙන රටවල වාහනයක් පොලීසියෙන් නැවැත්තුවාම පොලිස් නිළධාරියා වාහනේ ජනේලය ගාවට යනවා. රියැදුරා ඇතුලෙ ඉඳගෙනම වීදුරුව පහත් කරලා ලියකියවිලි ජනේලයෙන් එලියට දෙනවා. “අවශ්‍ය වුනොත් විතරයි, “Sir, please step out of the vehicle” කියලා ඉල්ලීමක් ලැබෙන්නෙ. ඒ වාහනය පරීක්ෂා කරන්න, නැතිනම් බීමතින් ඉන්නව වගෙ පෙනුනොත්.

අපේ රටේ කොහොමද? කවුද වාහනෙන් බැහැලා යන්නෙ? කවුද සර් කියන්නෙ, කවුද බයාදු විදියට ඔලුව කසන්නෙ? කවුද නිවට හිනාවක් දාගෙන ඉන්නෙ? කවුද තමන්ගෙ අතේ වැ‍රැද්ද තියාගෙන හරි, නැතුව හරි ‘සර්, සර්’ කිය කියා බැගෑපත් වෙන්නෙ?

රජයේ කාර්යාලයකට යන්න. උදාහරණයක් විදියට අධ්‍යාපන කාර්යාලයකට යන ගුරුවරයා මොන තරම් නිවට විදියටද කාකාස ඉඳලා අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා නිළයන් ඉස්සරහ හැසිරෙන්නෙ? එක ලිපි කරුවෙක්, තව ලිපිකරුවෙක් ලඟට ගුරුවරයව යොමු කරන්නෙ, “අර ‘මැඩම්’ගෙන් අහලා බලන්න,” “අර ‘සර්’ ලඟට යන්න,” කියලා නෙවෙයිද? ඉතින් ඒ ‘මැඩම්’ හරි ‘සර්’ හරි ලඟට ගිය ගුරුවරයා, යාචකයා වගේ එකත් පස්ව හිටගෙන ඉන්න ඕනෙ. මොකද සමහර වෙලාවට ඉඳගන්න පු‍ටුවක්වත් නැති නිසා. පු‍ටුවක් තිබ්බත් ඒකෙ ඉඳගන්නෙ අග්ගිස්සෙ, හරියට ඉඳගන්නෙත් නෑ ඇන්දට පිට හේත්තු වෙන්න, බයාදු කමට. හුඟක් වෙලාවට තියෙන සැප පහසුකමින් අඩු පු‍ටුවත් ස්ථානගත කරලා තියෙන්නෙ පන්ති භේදය ඉස්මතුවෙන විදියට. ඔය මැනේමන්ට් කෝස් කරපු අය දන්නවා ඇතිනෙ වැඩි විස්තර. ඉතින් ඒ කියපු පු‍ටුවෙ ඉඳගෙන ඔලුවෙ පිටිපස්ස කස කස ලිපිකරුවන්ට පීචන් වෙන ගුරු මහත්තුරු නෝනලා අධ්‍යාපන කාර්යාලයකට ගියාම දකින්න පුලුවන් (මට නම්) හිත් රිදවන දර්ශනයක්. මේ කෙනෙකුට කතා කරනකොට ඔලුව කසන කාලකන්නි පුරුද්දනම් අපිට කොහෙන් ලැබුනද දන්නෙ නෑ!

බැගෑපත් නොවෙන, කොන්ද කෙලින් තියාගෙන ඇස් දිහා එක එල්ලේ බලලා කතා කරන පුද්ගලයාව සමාජය හඳුන්වන්නෙ ‘අලි ඔලුවෙන් ඉන්න’ එකෙක්, ‘ඔලුව උදුම්මවාගෙන’ ඉන්න ‘පුහු ආඩම්බර කාරයෙක්’ හැටියටයි. මට එක පාරක් ඔහොම ඉඳලා පොලීසියෙන් දඬුවම් ලැබිලත් තියෙනවා. ඒ කතාව පස්සෙ කියන්නම්.

වඳින එකත් ඔයවගේම කේස් එකක් නේද? මේක ටිකක් පරෙස්සමෙන් කතා කලයුතු දෙයක්. සිංහලෙන් කියනවානම්’ Now I’m walking on thin ice”

වඳින එක අපි තියාගන්න ඕනෙ වැඳුම් ලැබිය යුතු පුද්ගලයන්ට වඳින්න විතරයි. එහෙම නැතිවුනොත් ඒකත් අර ඉන්දියානුවන්ගෙ, පාකිස්තාන් ජාතිකයන්ගෙ ‘සර්’ කිවිල්ලට දෙවෙනි නෑ. ළමයෙක්, තමන්ගෙ අම්මට, තාත්තට, වෙනත් පවුලේ වැඩිහිටියන්ට, ගුරුවරයට, එතකොට පූජ්‍ය පක්ෂයට වඳින එක වෙනම කතාවක්. එතකොට ඔය ඉස්කෝලවල තෑගි උත්සවවලදි පවා අපි අපේ ළමයින්ට කියලාවෙනත් බාහිර පුද්ගලයන්ට වන්දන්නෙ අපිට තියෙන මොන අයිතියක්, මොන බලයක් නිසාද? මම මේ ලඟදි බලාගෙන රූපවාහිණී වැඩසටහනකදි තෑගි ගන්න ලමයි ලවා බිස්කට් කොම්පැණියක ලොක්කෙකුට දණගහලා වන්දවනවා. කවුද එහෙම කරන්න කියලා ළමයින්ව පොළඹවපු අහවලා?

මෙතනදි මම කියනදේට කෙනෙක් එකඟ නොවෙන්නත් පුලුවන් බව මම දන්නවා. රජයේ කාර්යාලයකට ගිහින්, තමන් කරන්නෙ උතුම් ගුරු වෘතිය බවත් අමතක කරලා හැම එකාටම නිවට විදියට විරිත්තමින් ඔලුව කසමින් බැගෑපත්වෙන ගුරුවරුන් ගැන මට තියෙන්නෙ කලකිරීමක්. ළමයින් ලව්වා තම තමන්ගෙ ප‍ටු දේශපාලන හෝ වෙනත් අරමුනු මුදුන්පත් පමුණුවා ගන්නට ඕනැම එකෙකුට වන්දවන උන් ගැන මට තියෙන්නෙ තරහක්! ‘තමක් නිවට වෙනවා මදිවට අනාගත පරපුරත් නිවටයො කරන්න එපා යකුනේ!’ කියලා හදවත කෑ ගහන්නෙ ඔය වෙලාවට.

මේ ලියන මමත් ගුරුවරයෙක්. මම හැමදාම ළමයින්ට කිව්වෙ කොන්ද, බෙල්ල කෙලින් තියාගෙන, මූණ දිහා කෙලින් බලලා මිනිස්සුට කතාකරපල්ලා. කතා කරන කොට ඔලුව කසන්න එපා, කොටින්ම අත මූණ දිහාටවත් ගෙනියන්න එපා. නෝන්ජල් විදියට ඇඹරෙන්න එපා. අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට හැසිරියල්ලා කියලයි.

මේක තනියම ගුරුවරයෙකුට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේ කියනදේ පොඩ්ඩක් හිතලා බලලා, තමන්ගෙ ලමයින්ට පෞරුෂ වර්ධනයට අවශ්‍ය මේ ලක්ෂනත් පොඩි කාලෙ ඉඳලා උගන්වන්න.


මතක තියාගන්න ළමයි දෙමවුපියන්ව අනුගමනය කරන බව. ලමයි ලඟ තියාගෙන තාත්තා ඔලුව කසකස පොලීස් නිළධාරියට බැගෑපත්වෙන එක හරියි කියලා ළමයත් ඉගෙන ගන්නවා. පස්සෙ ළමයට එහෙම කරන්න එපා කියලා අවවාද කලාට වැඩක් නෑ. ජාතියේ කොන්ද ගොඩනගන්න හෙට නෙවෙයි අදම පටන්ගනිමු.

අනික අර මුලින්ම කිව්වා වගෙ අපේ මිනිස්සු ගරු කරන්නෙ බාහිර ඔපයට මිසක් ගුණ සුවඳට නෙවෙයි. මම බස් එකෙන් බැහැලා කඩේකට ගියොත්, ඕනැවට එපාවට ඇල්මැරුණු ස්වරූපයෙන්, ‘අයියා’ කියලා කතාකරන කඩේ පොරම, මම වාහනේ කඩේ ඉස්සරහ නවත්තලා, සන්ග්ලාසස් දාලා ඒ කඩේටම ගියාම පස්ස පැත්තට කරන්ට් එක වැදුනා වාගෙ නැගිටලා, “සර් මොනවද බැලුවේ?” කියලා අහන්න්නෙ ඔලුව කස කසා. අනික වාහනේ අලුත්ම එකක් නොවුනත්, ශෝට් එකකුයි, ස්කිනී එකකුයි ඇඳලා ගියාවුනත් “සර්” කෑල්ලනම් අනිවා, ඩෙෆා!!

අපේ රටේ විතරයි මම දන්න තරමින් වාහනයක් ගන්නකොට නයිට් නාමෙකුත් ඉබේ ලැබෙන්නෙ!!

 

ටැග: , , , ,