RSS

46. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.

04 Feb

පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පැහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.
මළගෙදර එලියෙ මා අවට ඉඳගෙන බුළත් හපමින්, දුම්වැටි උරමින්, පහත් හඬින් කතාකරමින් හිටපු මිනිස්සු දඩිබිඩි ගාලා නැගිට්ටා. ඒ මිනිස්සු නැගිටලා, ඔලුගෙඩි කසමින්, දියාරු හිනාවකුත් එක්ක , බයාදු, නිවට බැල්මකින් අර පුද්ගලයා දිහා බලාගෙන එකත්පස්ව ඉන්නවා දැක්කම මට ඇතිවුනේ වේදනාවක්.

අනේ අපේ මිනිස්සුන්ගෙ කොන්දවල් වලට මොකද වුනේ?

“කවුද ඒ? ඇමති කෙනෙක්ද?”

ඉඳගෙන හිටපු මා ලඟ හිටගෙන ඇඹරෙන පොරගෙන් මම ඇහුවා.

මොකද දේශපාලන කශ්ටිය දැක්කමත් අපේ හුඟ දෙනෙකුගෙ පශ්චාත් භාගයට කරන්ට් වදිනවනෙ.

“මහත්තයා, ඇත්තටම දන්නෙම නැත්ද?”

“නෑ. ඉතිං කවුද ඒ?”

“මහත්තයො,” පොර කියනවා. “එයා තමයි ලංකාවෙ ඉස්සෙල්ලම ටිකට් මැෂිමෙන් මාටියා ගහන ක්‍රමය හොයාගත්තෙ. එංගලන්තෙං ඔය මැෂින් ගෙනාවෙ මාටියා ගහන්න බෑයි කියලා ගැරන්ටියක් එක්ක…”

මට මල අතේ.

“එහෙනං පට්ට හොරෙක්නෙ. ඉතින් මේ ඔක්කොමල්ලා දඩිබිඩි ගාලා නැගිට්ටෙ ඒකා එනකොට?”

“හුහ්, ඒ ගහපු ගැහිල්ලෙන් තමයි මහත්තයා නැගිට්ටෙ. අද කෝටිපතියෙක්. බස්ම තියෙනවා…”

“නොදකින් මෙහෙමත් නිවට…!!!” හිතුනත් මම කිව්වෙ නෑ.

මම ටිකකින් නැගිටලා ගෙදර ආවෙ අපේ ජාතියම ගැන ඇතිවුනු පුදුම කළකිරීමකින්.

පස්ස නොසෝදනවා යයි අපි අවමන් කරන සුද්දන්වත්, අප්‍රිකානු සම්භවයක් ඇති කලු ජාතිකයන් ලඟවත්වත් දකින්න නැති මේ නිවටකම දකුණු ආසියාවෙ විතරද තියෙන්නෙ? අර මුලින් කී වර්ගයේ කලු හා සුදු මිනිස්සු හිටගන්නෙ ඇවිදින්නෙ පවා කොන්ද කෙලින් තියාගෙන. කතාකරන්නෙ ඕනෙම ලොක්කෙකුගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන.

ඒකට අපේ කට්ටිය!

අපිත් එක්ක වැඩකරන විවිධ යුරෝපීය ජාතීන් හැරුනම වැඩිම පිරිස ඉන්දියානුවො.

ඉන්දියානුවො එක්ක බලනකොට අපේ උන් හොඳයි. මේ පොරවලුත් හැම එකාටම සර් කියනවා. තමන්ගෙ යාලුවට, එතකොට තමන් එක්ක එකට වැඩ කරන සගයට, කාකාසට, කම්කරුවට, බාබර්ට, ටේලර්ට, බේකරි කාරයට, කොටින්ම කිව්වොත් ඕනැම කෙනෙකුට කතාකරන්නෙ ‘සර්’ කියලයි. ගිය අවුරුද්දෙ අපිත් එක්ක වැඩකරපු පන්ජාබ් ගුරුතුමිය වෛද්‍යවරයෙක් වුන තමන්ගෙම සැමියට කතා කරන්නෙ ‘සර්’ කියලා. නැති තැන අපිත් එක්ක කියන්නෙ ‘ඩාක්ටර්ජී’ කියලා. ඉතින් මෙයාලගෙ සර් කියන වචනේ කිසිම වටිනාකමක් නෑ. හරියටම ‘ඕයි’ කියනවා වගෙ.

අපිත් සමහරවිට ඊට දෙවෙනි නෑ නේද? අපි හැදිලා තියෙන්නෙ, අපිව හදලා තියෙන්නෙ කොන්ද පණ නැති ජාතියක් හැටියට නෙවෙයිද? වෙන රටවල වාහනයක් පොලීසියෙන් නැවැත්තුවාම පොලිස් නිළධාරියා වාහනේ ජනේලය ගාවට යනවා. රියැදුරා ඇතුලෙ ඉඳගෙනම වීදුරුව පහත් කරලා ලියකියවිලි ජනේලයෙන් එලියට දෙනවා. “අවශ්‍ය වුනොත් විතරයි, “Sir, please step out of the vehicle” කියලා ඉල්ලීමක් ලැබෙන්නෙ. ඒ වාහනය පරීක්ෂා කරන්න, නැතිනම් බීමතින් ඉන්නව වගෙ පෙනුනොත්.

අපේ රටේ කොහොමද? කවුද වාහනෙන් බැහැලා යන්නෙ? කවුද සර් කියන්නෙ, කවුද බයාදු විදියට ඔලුව කසන්නෙ? කවුද නිවට හිනාවක් දාගෙන ඉන්නෙ? කවුද තමන්ගෙ අතේ වැ‍රැද්ද තියාගෙන හරි, නැතුව හරි ‘සර්, සර්’ කිය කියා බැගෑපත් වෙන්නෙ?

රජයේ කාර්යාලයකට යන්න. උදාහරණයක් විදියට අධ්‍යාපන කාර්යාලයකට යන ගුරුවරයා මොන තරම් නිවට විදියටද කාකාස ඉඳලා අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා නිළයන් ඉස්සරහ හැසිරෙන්නෙ? එක ලිපි කරුවෙක්, තව ලිපිකරුවෙක් ලඟට ගුරුවරයව යොමු කරන්නෙ, “අර ‘මැඩම්’ගෙන් අහලා බලන්න,” “අර ‘සර්’ ලඟට යන්න,” කියලා නෙවෙයිද? ඉතින් ඒ ‘මැඩම්’ හරි ‘සර්’ හරි ලඟට ගිය ගුරුවරයා, යාචකයා වගේ එකත් පස්ව හිටගෙන ඉන්න ඕනෙ. මොකද සමහර වෙලාවට ඉඳගන්න පු‍ටුවක්වත් නැති නිසා. පු‍ටුවක් තිබ්බත් ඒකෙ ඉඳගන්නෙ අග්ගිස්සෙ, හරියට ඉඳගන්නෙත් නෑ ඇන්දට පිට හේත්තු වෙන්න, බයාදු කමට. හුඟක් වෙලාවට තියෙන සැප පහසුකමින් අඩු පු‍ටුවත් ස්ථානගත කරලා තියෙන්නෙ පන්ති භේදය ඉස්මතුවෙන විදියට. ඔය මැනේමන්ට් කෝස් කරපු අය දන්නවා ඇතිනෙ වැඩි විස්තර. ඉතින් ඒ කියපු පු‍ටුවෙ ඉඳගෙන ඔලුවෙ පිටිපස්ස කස කස ලිපිකරුවන්ට පීචන් වෙන ගුරු මහත්තුරු නෝනලා අධ්‍යාපන කාර්යාලයකට ගියාම දකින්න පුලුවන් (මට නම්) හිත් රිදවන දර්ශනයක්. මේ කෙනෙකුට කතා කරනකොට ඔලුව කසන කාලකන්නි පුරුද්දනම් අපිට කොහෙන් ලැබුනද දන්නෙ නෑ!

බැගෑපත් නොවෙන, කොන්ද කෙලින් තියාගෙන ඇස් දිහා එක එල්ලේ බලලා කතා කරන පුද්ගලයාව සමාජය හඳුන්වන්නෙ ‘අලි ඔලුවෙන් ඉන්න’ එකෙක්, ‘ඔලුව උදුම්මවාගෙන’ ඉන්න ‘පුහු ආඩම්බර කාරයෙක්’ හැටියටයි. මට එක පාරක් ඔහොම ඉඳලා පොලීසියෙන් දඬුවම් ලැබිලත් තියෙනවා. ඒ කතාව පස්සෙ කියන්නම්.

වඳින එකත් ඔයවගේම කේස් එකක් නේද? මේක ටිකක් පරෙස්සමෙන් කතා කලයුතු දෙයක්. සිංහලෙන් කියනවානම්’ Now I’m walking on thin ice”

වඳින එක අපි තියාගන්න ඕනෙ වැඳුම් ලැබිය යුතු පුද්ගලයන්ට වඳින්න විතරයි. එහෙම නැතිවුනොත් ඒකත් අර ඉන්දියානුවන්ගෙ, පාකිස්තාන් ජාතිකයන්ගෙ ‘සර්’ කිවිල්ලට දෙවෙනි නෑ. ළමයෙක්, තමන්ගෙ අම්මට, තාත්තට, වෙනත් පවුලේ වැඩිහිටියන්ට, ගුරුවරයට, එතකොට පූජ්‍ය පක්ෂයට වඳින එක වෙනම කතාවක්. එතකොට ඔය ඉස්කෝලවල තෑගි උත්සවවලදි පවා අපි අපේ ළමයින්ට කියලාවෙනත් බාහිර පුද්ගලයන්ට වන්දන්නෙ අපිට තියෙන මොන අයිතියක්, මොන බලයක් නිසාද? මම මේ ලඟදි බලාගෙන රූපවාහිණී වැඩසටහනකදි තෑගි ගන්න ලමයි ලවා බිස්කට් කොම්පැණියක ලොක්කෙකුට දණගහලා වන්දවනවා. කවුද එහෙම කරන්න කියලා ළමයින්ව පොළඹවපු අහවලා?

මෙතනදි මම කියනදේට කෙනෙක් එකඟ නොවෙන්නත් පුලුවන් බව මම දන්නවා. රජයේ කාර්යාලයකට ගිහින්, තමන් කරන්නෙ උතුම් ගුරු වෘතිය බවත් අමතක කරලා හැම එකාටම නිවට විදියට විරිත්තමින් ඔලුව කසමින් බැගෑපත්වෙන ගුරුවරුන් ගැන මට තියෙන්නෙ කලකිරීමක්. ළමයින් ලව්වා තම තමන්ගෙ ප‍ටු දේශපාලන හෝ වෙනත් අරමුනු මුදුන්පත් පමුණුවා ගන්නට ඕනැම එකෙකුට වන්දවන උන් ගැන මට තියෙන්නෙ තරහක්! ‘තමක් නිවට වෙනවා මදිවට අනාගත පරපුරත් නිවටයො කරන්න එපා යකුනේ!’ කියලා හදවත කෑ ගහන්නෙ ඔය වෙලාවට.

මේ ලියන මමත් ගුරුවරයෙක්. මම හැමදාම ළමයින්ට කිව්වෙ කොන්ද, බෙල්ල කෙලින් තියාගෙන, මූණ දිහා කෙලින් බලලා මිනිස්සුට කතාකරපල්ලා. කතා කරන කොට ඔලුව කසන්න එපා, කොටින්ම අත මූණ දිහාටවත් ගෙනියන්න එපා. නෝන්ජල් විදියට ඇඹරෙන්න එපා. අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට හැසිරියල්ලා කියලයි.

මේක තනියම ගුරුවරයෙකුට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේ කියනදේ පොඩ්ඩක් හිතලා බලලා, තමන්ගෙ ලමයින්ට පෞරුෂ වර්ධනයට අවශ්‍ය මේ ලක්ෂනත් පොඩි කාලෙ ඉඳලා උගන්වන්න.


මතක තියාගන්න ළමයි දෙමවුපියන්ව අනුගමනය කරන බව. ලමයි ලඟ තියාගෙන තාත්තා ඔලුව කසකස පොලීස් නිළධාරියට බැගෑපත්වෙන එක හරියි කියලා ළමයත් ඉගෙන ගන්නවා. පස්සෙ ළමයට එහෙම කරන්න එපා කියලා අවවාද කලාට වැඩක් නෑ. ජාතියේ කොන්ද ගොඩනගන්න හෙට නෙවෙයි අදම පටන්ගනිමු.

අනික අර මුලින්ම කිව්වා වගෙ අපේ මිනිස්සු ගරු කරන්නෙ බාහිර ඔපයට මිසක් ගුණ සුවඳට නෙවෙයි. මම බස් එකෙන් බැහැලා කඩේකට ගියොත්, ඕනැවට එපාවට ඇල්මැරුණු ස්වරූපයෙන්, ‘අයියා’ කියලා කතාකරන කඩේ පොරම, මම වාහනේ කඩේ ඉස්සරහ නවත්තලා, සන්ග්ලාසස් දාලා ඒ කඩේටම ගියාම පස්ස පැත්තට කරන්ට් එක වැදුනා වාගෙ නැගිටලා, “සර් මොනවද බැලුවේ?” කියලා අහන්න්නෙ ඔලුව කස කසා. අනික වාහනේ අලුත්ම එකක් නොවුනත්, ශෝට් එකකුයි, ස්කිනී එකකුයි ඇඳලා ගියාවුනත් “සර්” කෑල්ලනම් අනිවා, ඩෙෆා!!

අපේ රටේ විතරයි මම දන්න තරමින් වාහනයක් ගන්නකොට නයිට් නාමෙකුත් ඉබේ ලැබෙන්නෙ!!

 

ටැග: , , , ,

34 responses to “46. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.

  1. Alchemiya

    පෙබරවාරි 4, 2012 at 11:32 ප.ව.

    මසුරං කියුම් ටික…
    මම මේක මූණු පොතේ බෙදා ගන්නවා…

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:37 ප.ව.

      @Alchemiya: ස්තුතියි ඇල්කෙමියා.

      බෙදාගන්න මූණු පොතෙන්. කොපිරයිට් කතන්දර මොකුත් නෑ. මටත් ඕනෙ වැඩි දෙනෙක් අතරට මේ පණිවිඩය ගමන් කරන්නයි.

      ඇල්කෙමියාගෙ බ්ලොග් එක Top Ten WordPress Sinhala Blog List එකේ නිතර ගැවසෙනවා මම දැකලා තියෙනවා. උණුසුම් සුභපැතුම්!

       
  2. pasanOnline

    පෙබරවාරි 4, 2012 at 11:44 ප.ව.

    “බැගෑපත් නොවෙන, කොන්ද කෙලින් තියාගෙන ඇස් දිහා එක එල්ලේ බලලා කතා කරන පුද්ගලයාව සමාජය හඳුන්වන්නෙ ‘අලි ඔලුවෙන් ඉන්න’ එකෙක්, ‘ඔලුව උදුම්මවාගෙන’ ඉන්න ‘පුහු ආඩම්බර කාරයෙක්’ හැටියටයි.”

    බයාදු විදියට ඉන්න එක හරි කියනවා නෙමේ, ඒ වුනත් මෙන්න මේක තමා අවුල. මිනිස්සු ඔහොම ඔලුව කස කස හිනාව දාගෙන ඉන්නෙ තමාගෙ වැඩේ කරගන්න. මොකද කට්ටිය දන්නවා තත්ත්වයක් නැති කට්ටියව මුරුංගා අත්තේ තිබ්බම තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන් කියලා. තත්ත්වයක් තියෙන කට්ටියට ඔලුව නැමුවෙ නැතොත් රෙස්පෙක්ට් එක දුන්නෙ නෑ කියල එතන වෙනම කෙලියක්. ඉතින් කට්ටියම දාගෙන කස කස ඉන්නවා.

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:32 ප.ව.

      @pasanOnline: පට්ට කොමන්ට් එක පසන්. ඉතින් කට්ටියම කස කසා ඉන්නවා.
      ස්තුතියි අදහසට.
      ඒක නෙවෙයි. මොකද කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ? ලාංකික ඉංග්‍රීසි බ්ලොග් ලියන කීප දෙනයි ඉන්නෙ අපි දෙන්න ඇරුනාම. මොනවහරි ලියමු නේද?

       
  3. ලකී

    පෙබරවාරි 5, 2012 at 12:48 පෙ.ව.

    වාහනයක් ගන්නකොට නයිට් නාමෙකුත් හම්බ වෙනව කියන එකනම් සම්පූර්ණ ඇත්ත…..සමහරවෙලාවට ඔය ලැබෙන අමතර සැළකිලි දරාගන්නත් බැරි තරම්.

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:29 ප.ව.

      @ලකී: කියලා වැඩක් නෑ ලකී. සමහර වෙලාවට අපියි අපසුතාවයට පත්වෙන්නෙ.
      ඇයි අපිට මෙහෙම වුනේ?
      ස්තුතියි ප්‍රතිචාරයට.

       
  4. Observer

    පෙබරවාරි 5, 2012 at 4:35 පෙ.ව.

    මේ පාර ලංකාවට ගිහින් හොඳටම හිත රිදිල වගේ….

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:26 ප.ව.

      @Observer: ලංකාවට ගිහින් හිත රිදවාගෙන ආවා තමයි. නමුත් මේ ඒ සිද්ධි නෙවෙයි. මේක කාලයක් තිස්සෙ හිතේ පැහැව පැහැවතිබ්බ දෙයක් ජාතික දිනයට ඉවුරු කඩාගෙන යාමක්!

       
      • buddhiprasadh

        පෙබරවාරි 5, 2012 at 10:18 ප.ව.

        මේ ගැන කතා කරනවනං අවුරුද්දක් දෙකක් ගේමක් නැතුව බ්ලොග් එකක් කරගෙන ගියැකි. ඒත් කතා කලා කියලා ඇති වැඩක් නෑ කියලා මට එමට හිතිලා තියෙනවා.

         
  5. Raigama

    පෙබරවාරි 5, 2012 at 6:56 පෙ.ව.

    ඔබ කියන කතාව සහතික ඇත්ත. මාත් කලින් කලට මේ ගැන හිතල තියනවා. අප ගෙදරින් එලියට බහින්නෙම වැඳගෙන නේ. ඊට පස්සේ හාමුදුරුවන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට මේ සේරටම වඳින්න ඕනේ. ඉතින් කොන්දට කෙලින් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මගේ අම්ම තාත්ත අපට කියවල පොඩි කාලේ ඉඳන් වන්දවා ගත්තේ නැහැ. ඒ උනා කියල ඒ දෙන්නට අපේ ගව්රවය අඩුවක් උනේ නැහැ. ගෙදරින් පිටතදී අප රැල්ලට වගේ වැඩිහිටියන්ට වැන්දා.ඒත් සමහර දෙනෙකු ගැන මගේ හිතේ කිසි ගව්රවයක් තිබුනේ නැහැ (ඒ ගොල්ලෝ කරන වැඩ වලට). නමුත් මා ලොකු වෙලා දැනුම් තේරුම් ඇති වෙනකොට එකත් නැවැත්තුව. මාත් දැකල තියනවා, අපේ සමහර කෙනෙකුට බටහිර රටක රැකියා සම්මුඛ පරීක්ෂණයේදී කැපී යන්නේ වැඩ බැරි කම නිසා නොවේ. අර යටහත් පහත් කම නිසා. එතොකොට හිතන්නේ වැඩක් කර ගන්න බැරි එකෙක් කියලා. මා වරක් දැක්ක මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) එක රියදුරු බලපත් නිකුත් කරන කන්තෝරුවක, ලංකාවෙන් ආපු කෙනෙක් දෙකට නැවෙන හැටි. ඒ වැඩේ කරගන්න දෙකට නැමෙන්න ඕනේ වෙන්නේ නැහැ. නමුත් මට තේරුන හැටියට ඔහු ඒ දවස්වල ලඟදි ලංකාවෙන් ආපු කෙනෙක්. ඒකයි මා කලින් කියුවේ, මේක එක එක් කෙනාගේ වරදක් නොවේ. අප හැදෙන හා හදන පරිසරයේ වැරැද්ද.

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:22 ප.ව.

      @ Raigama: පට්ට කොමෙන්ට් එක. තව බ්ලොග් එකක් ලියන්න පුලුවන්. ලඟදී ලංකාවෙන් ආපු කෙනෙක් කියලා අඳුනාගන්න පුලුවන් කොන්ද නැවිල්ලෙන්!! කාට කියන්නද? මොකාගෙ වැ‍රැද්දද?

       
  6. Asanka

    පෙබරවාරි 5, 2012 at 6:58 පෙ.ව.

    කතාවට නම් සම්පුර්නයෙන් එකගයි,අර මුලින් කියපු කතාව හිතේ මෑවුනු චිත්ත රුපයක් ද නෑත්තන් සෑබෑ සිදුවීමක්ද,මටනම් හිතෙන විදියට ඔය බයාදු කම අපිට උරුම වුනේ(හෑමෝටම නෙමෙයි) යටත්විජිත සමය නිසා කියලා.
    හෑබෑයි පාසල් අවදියේ සාර්තක පෞර්ශ වර්දන වෑඩසටහන් මෙම ප්‍රශ්නයට හොද විසදුමක් කියලා මටනම් හිතෙන්නේ,ඒත් එහෙම දේයක් කරන්නේ කොහොමද අදයාපන කොමසාරිස්ගේ ඉදලම ඔය ජාතියේ කොන්දක් නෑති පජාතයෝ වුනාම

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:23 ප.ව.

      @Asanka: සාදරයෙන් පිළිගන්නවා අසංකව. අර චිත්ත රූපයක් නෙවෙයි සැබෑම සිදුවීමක්. මේක වුනේ අනූව දසකයෙ මැද වගෙ. මට අමතක නොවෙන සිදුවීමක්. මේ කතාව මම බ්ලොග් ලියන්න කලින් කීප දෙනෙකුට කිව්වත් කවුරුවත් ඉම්ප්‍රෙස් වුනේ නෑ. මොකද ඒක ඒ තරම් සාමාන්‍යකරණය වෙලා.

      අසංක කිව්ව වගෙ හැමෝම නෙවෙයි. ඒක මං පිලිගන්නවා. ඒ වුනාට අසංක සමහර පොත් වල තියෙනවා නේද අපි රජවරුන්ට වැඳගෙන ඉඳලා තියෙන විදිය?

      මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ ජාතික දිනය වෙනුවෙන් මම මේ පෝස්ට් එකම සිංහලෙන් දැම්මා. ඉංග්‍රීසියෙන් දැම්මොත් අන් ජාතිකයොත් කියවන නිසා. ඒකට කෙසෙල් කො‍ටුවෙ චූටි මහත්තයා නොහොත් බුද්ධි ලියලා තියෙන කොමෙන්ට් එක බලන්න. මෙන්න ලින්ක් එක.
      http://dude-heydude.blogspot.com/2012/02/blog-post.html?showComment=1328418613091#c3983262408519415106

       
  7. Buwa

    පෙබරවාරි 5, 2012 at 6:59 පෙ.ව.

    එහෙම තමයි මෙහෙ හැටි , හැබැයි තරුණ පරම්පරාව නම් ඔය තැන නැ . එක පාරක් යාලුවෙකුගේ මල ගෙදර අපි ගිහින් ඉන්නවා . තව කැම්පස් කොල්ලො සෙට් එකකුත් ඉන්නවා . ආවා පලාතේ ප්‍රධාන දේශපාලකයෙක් . මිනිස්සු ඔක්කොම දඩි බිඩි ගාලා නැගිටිනවා . හැබැයි කොල්ලො එකෙක්වත් නැගිට්ටෙ නැ . අරූ ඔරවගෙන යනවා අපිට . ඌ ඔරවනව දැක්ක පිටපලාතකින් ආපු කැම්පස් ඩයල් එකක් . ඒ..මොකාද බන් අරූ කියල ඇහුවා , කොල්ලගෙ කටේ සද්දේ හොඳ කම අර දේශපාලකයටත් ඒ කථාව ඇහුනා

    තවත් වතාවක් ජනාධිපතිවරණයට කලින් යාලුවෙකුගෙ මල ගෙදරට ආවා චන්ඩි පහේ පලාත් දේශපාලකයෙක් . නමින් දන්නවා වුනාට ගොඩ දෙනෙක් පොරව දැකලා නැ . කට්ටිය බහුතරයක් ෆොන්සේකා මහත්තයට සපොට් . එකෙක් : යකෝ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි , ලංකාවෙ දේශපාලනය බල්ලට ගිහින් තියෙන්නෙ ,අර (දේශපාලකයාගෙ නම් ) වගේ තක්කඩින් තමයි දැන් රජ කරන්නේ කියල මහින්ද සපෝටර් කෙනෙකුට හෙන සද්දෙන් කියන කොට අර දේශපාලකය පිටිපස්සේ . පොර හෙමින් සැරේ ඇතුලට ගියත් ආරක්ෂකයො එලියේ . අපේ සෙට් එක ඊට වඩා විශාල නිසා බය නැතුව ආණ්ඩුව විවෙචනය කල ආරක්ෂකයින්ට ඇහෙන්න . එකම දෙ අදාල දේශපාලකයා සහ කට්ටිය පිටත් වෙලා යන කන් ගෙදර යන්න හදපු එකෙක්වත් උන් ගාවින් තනියම ගියේ නම් නැ !🙂

     
  8. ගෝල්ඩ් fish

    පෙබරවාරි 5, 2012 at 9:07 පෙ.ව.

    ෆට්ට…. මේක තමා අයියා අතින් ලියවුන සිරාම පෝස්ට් එක…

     
  9. vimukthi

    පෙබරවාරි 5, 2012 at 10:53 පෙ.ව.

    ළමයෙක්ව ඉස්කෝලෙකට ඇතුල් කරන්නෙත් කොච්චර නැමිලද,එහෙම බැලුවාම ගෙදරිනුයි ඉස්කෝලෙනුයි පටන් ගන්න පාඩම ජීවිතකාලය පුරාම පිළිපදිනවා.ලෝකේ කොයිරටට ගියත් පොඩිකාලේ පාඩම අමතක කරන්නේ නෑ

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 7:48 ප.ව.

      @Vimukthi: මුලින්ම සාදරයෙන් පිළිගන්නවා විමුක්තිව.
      “ළමයෙක්ව ඉස්කෝලෙකට ඇතුල් කරන්නෙත් කොච්චර නැමිලද…,”
      අපි දෙන්නගෙ කොන්දවල් එහෙම නවන්න තියෙන අකමැත්ත නිසා අපේ ලොකු කෙල්ල අස්ප ගානක් ගෙවලා කොළඹ පුද්ගලික පාසැලකට යැව්වා.සල්ලි තියෙන නිසා නෙවෙයි. නොයෙකුත් දේ කැප කරලා.
      කොඳු නවන්න පුලුවන් අනිත් උන් ඔය කියන වතාවත් කරලා ළමයි නිදහස් අධ්‍යාපනය ලැබෙන රජයේ සුපිරි පාසැල් වලට දාගත්තා. උන් අපිව දැක්කෙ ආඩම්බරකාර මෝඩයො හැටියට. නමුත් අපේ ළමයි දෙන්නම දන්නවා උන් දෙන්නට පිටකොන්දක් තියෙන අම්මෙකුයි තාත්තෙකුයි ඉන්න බව. අපිට ඒ ඇති.

       
  10. දුකා

    පෙබරවාරි 5, 2012 at 11:04 පෙ.ව.

    මට හිතා ගන්න බැරි උනා මගේ හිතේ තියෙන අදහස් ඒ විදිහටම මේ ලිපියේ කොහොම ලියවුනාද කියලා . .. නියම ලිපියක් . . උපරිමයි . . .

     
  11. දුකා

    පෙබරවාරි 5, 2012 at 11:20 පෙ.ව.

    උඹ විස්වාස කරනවද මන්දා . . ළමයව වන්දන එකයි අපි වැඩිහිටියන්ට වඳින එකයි ගැන මමයි අපේ ගෙදර උන්දෑයි රන්ඩු . . .

    මම කියන්නේත් කෙනෙක්ට හිස පහත් කරලා වඳින එක හදවතින්ම එන්න ඕන හැඟීමක් කියලයි . . .

    ඒත් දැන් ගොඩක් ගෙවල් වල වෙන්නේ කක්කුස්සියට යද්දිත් අම්මලා තාත්තලා ලඟ දෙකට නැමිලා බොරුවට වඳිනවා වගේ පෙන්නලා යන එක.

    ඉස්සර ඒ වැඳිල්ල තිබ්බේ ඇත්තටම ගෙදරින් කාලෙකට පිට යද්දී හෝ දෙමාපියන්ගේ අවසර ලබා ගන්න, ආශීර්වාද ලබා ගන්න ඕන වුනු වෙලාවකදී විතරයි . .

    ඒකෙන් ඒ වැඳිල්ලට ලොකු මීනින්ග් එකක් ආවා ..

    අනිත් කරුනු ගැන මම ත් දවසක් ලිපියක් ලිව්වා “දීනයකු ලෙස ජීවත් වූයෙමි . . එහෙත් !!!” කියලා . .

    වෙලාවක් තිබ්බොත් කියවපන් . .

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 8:00 ප.ව.

      @දුකා: “මට හිතා ගන්න බැරි උනා මගේ හිතේ තියෙන අදහස් ඒ විදිහටම මේ ලිපියේ කොහොම ලියවුනාද කියලා …”
      අපි දෙන්න වගෙ හිතන වුන් තව ඉන්නබව ඔය කොමෙන්ට් දැක්කම පේනවනෙ. මටත් හරිම සතු‍ටුයි.
      ඇත්ත. වඳින එකත් ‍රැල්ලට ගිහින් තියෙන්නෙ.
      වැඳිල්ලෙ තියෙන වටිනාකම රුපියල වගේම බාල්දු වෙලා.

      මම දුකාගෙ ලින්ක් එක දිගේ ගිහින් “දීනයකු ලෙස ජීවත් වූයෙමි . . එහෙත් !!!” පෝස්ට් එක බැලුවා. මට හිතුනෙත් අර දුකාට මුලින්ම හිතුනු දේමයි
      මට හිතා ගන්න බැරි උනා මගේ හිතේ තියෙන අදහස් ඒ විදිහටම මේ ලිපියේ කොහොම ලියවුනාද කියලා . .. නියම ලිපියක් . . උපරිමයි . . .

      ඇයි බං අපිට මෙහෙම වුනේ?

       
      • දුකා

        පෙබරවාරි 5, 2012 at 10:03 ප.ව.

        අපි එකෙක් දෙන්නෙක් හරි පටන් ගන්න ඕන බන් වෙනස් වෙන්න . .
        මම නම් සෑහෙන ප්‍රමානෙකට වෙනස් වෙලා . . .
        වඳින එක ගැන නම් . .
        වයිෆ් දැන් කියන්නේ ඔයා වඳින්න එපා අපි වඳින්නම් කියලා . .
        මම කියනවා මගේ ළමයවත් එක එක්කෙනා ළඟ වන්දවන්න එපා . . ඌට තේරෙන කාලෙක ඌ හිතලා වඳිනවානම් එච්චරයි කියල ..
        තාම ඉතිං ටිකක් අමාරුයි . .
        ඒත් බැරි නෑ බන්

         
  12. abeetha

    පෙබරවාරි 5, 2012 at 11:42 පෙ.ව.

    වැඳීම හැරුනකොට අනිත් සියළු කාරණාවලට එකඟයි….

    ඉස්සර මම විභාග දෙපාර්තමේන්තුවේ ඉන්නකොට විදුහල්පති වරු ඇවිත් එහෙම ඔළුව කහ කහ ඉන්නවා… අපි පත් වෙන්නේත් පුදුම අපහසුවකට… ගිහින් අමුත්තන්ගේ පුටුවල වාඩි කරවලා නිසි සැලකිලි දීලා වැඩේ කරලා යැව්වට පස්සේ පරණ ලිපිකරුවො අපිට බනිනවා අපේ තත්වෙ පහල දා ගන්න එපා කියලා…. 😀😀😀

     
    • henryblogwalker

      පෙබරවාරි 5, 2012 at 8:04 ප.ව.

      @abeetha: “විදුහල්පති වරු ඇවිත් එහෙම ඔළුව කහ කහ ඉන්නවා… අපි පත් වෙන්නේත් පුදුම අපහසුවකට”
      මටත් හරි අපහසුයි ඒක කියෙව්වම. නමුත් කතාව ඇත්ත කියලා මම පිළිගන්නවා. ඉතින් ඔහොම මහත්තුරු කොහොමද ළමයින්ට කොන්ද ගැන පාඩම් කියා දෙන්නෙ?
      ස්තුතියි අභීත.

       
  13. ජනක

    පෙබරවාරි 5, 2012 at 1:10 ප.ව.

    මම වැඩිය බ්ලොග් වලට කමෙන්ට් දාන කෙනෙක් නෙමේ. ඔබ ලියල තියෙනව වගේ අනේක විදියෙ දුර්වලකම් අඩුපාඩුකම් දැකල ඒ දේවල් මතු කරන්න බ්ලොගයක් ලියන්න කියල හිතල, බ්ලොගයකුත් හදල අන්තිමට ඒ අදහස අතහැරල දැම්මෙ අපේ රටේ එවුන් ජීවිතේට හදන්න බැරි එවුන් ටිකක් කියල හිතුන නිසයි………

    ඒ වුනාට මේ ලිපිය කියවනකොට මම ලිව්වනම් මමත් මේ ටිකමනෙ ලියන්නෙ කියල හිතුන…

    අනර්ග ලිපියක්… මෙය කියවල කොන්දක් නැටි එක් ලාංකිකයෙකු හෝ කොන්දක් ඇතිකර ගන්නවනම් ලොකු දෙයක්….

     
  14. henryblogwalker

    පෙබරවාරි 5, 2012 at 8:09 ප.ව.

    @ජනක: ස්තුතියි ජනක.
    ඒ බ්ලොග් එක අතෑරලා දාන්න එපා. අපි කැමතියි කියවන්න. ඒක හදලා අපිටත් කොමෙන්ට් එකකින් හරි දැනුම් දෙන්නකො. ඒක ජාතික සේවයක් වෙයි.

    “අපේ රටේ එවුන් ජීවිතේට හදන්න බැරි එවුන් ටිකක් කියල හිතුන නිසයි………” කියලා ජනක කියනවා. මටත් එහෙම හිතුන වාර අනන්තයි. නමුත් අපි උත්සාහ කරලා බලමු.

    ඇයි ජනකම කියලා තියෙන්නෙ අන්තිම වාක්‍යයෙන්,”මෙය කියවල කොන්දක් නැටි එක් ලාංකිකයෙකු හෝ කොන්දක් ඇතිකර ගන්නවනම් ලොකු දෙයක්….”
    මගෙත් ඒකායන ප්‍රාර්ථනය ඒකයි

     
  15. hiruni

    පෙබරවාරි 5, 2012 at 9:33 ප.ව.

    ඇත්ත ලීවට බොහොම ස්තුතියි. ඇයි අපේ මිනිස්සු මෙච්චර නෝන්ජල් කියල මම දන්නෙ නැ. මෙහෙ උනත් ලන්කාවෙ ඇම්බැසඩර් හෝල් එකට එනකොට ඔක්කොමල්ල නැගිටිනවා මමයි මගෙ තව යාලුවො කීප දෙනෙකුයි හැර. කියල වැඩක් නෑ

     
  16. hiruni

    පෙබරවාරි 5, 2012 at 9:42 ප.ව.

    ඔව් අපි දෙන්නම ආඩම්බර වෙනවා අපිට හොද කොන්දක් තියන , කිසිම කෙනෙක් ඉස්සරහ ඔලුව නවන්නැති දෙමව්පියො ඉන්න එක ගැන. අද අපි මෙතන මෙහෙම කොන්ද කෙලින් තියන් ඉන්නෙ එයාල නිසා

     
  17. දුකා

    පෙබරවාරි 5, 2012 at 10:07 ප.ව.

    මමත් මේක ෆේස් බුක් එකේ දැම්මා මචන් . .

     
  18. ඕනයා (දුලිප් සිකුරාජපති)

    පෙබරවාරි 7, 2012 at 10:14 ප.ව.

    දෙයියනේ කියල තාම කාලඟවත් ඔලුව කහන්න, දෙකට නැමෙන්න සිද්ද වෙලා නෑ . . . වැඩිහිටියන්ට වඳින එකනං කරනව, ඒ ගෞරව කිරීමක් විදියට.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: