RSS

47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

07 Feb
47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

අපේ අධිවේගී මාර්ගයේ වෙලා තියෙන අනතුරු ගණන ඇහුවම අදහා ගන්න බැරි තරම්. මෙච්චර නවීන ආරක්ෂක උපාංග සවිකරපු වාහන වලින්, අච්චර ඉඩ තියෙන, දරුණු වංගුත් නැති, කෙලින් පාරෙ පැයට කිමී 100 ට ගිහින් මේ තරම් අනතුරු කරගන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැරුව හිටියෙ. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක හුඟාක් අනතුරු වෙන්නෙ වාහන එක ගොඩේ වැදීම (pile up) නිසානෙ. මේ එහෙමත් නෙවෙයි. වේගය පාලනය කරගන්න බැරිකම. එක එක්කෙනාට ඔරොත්තුදෙන වේග තියෙනවානෙ. සමහරුන්ට 60 ශුවර්, සමහරුන්ට 80 ශුවර්, කොයි හැටි වෙතත් වේගය අධික වෙන්න වෙන්න, තමන්ගෙ ප්‍රතිචාර දැක්වීමේ වේගයත් වැඩි වෙන්න ඕනෙ. ඇස් දෙක පාරෙම තියෙන්න ඕනෙ. ආපදා කල්තියා වඩා වේගයෙන් හඳුනා ගන්න ඕනෙ. එහෙම බැරි අය තමන්ට පුලුවන් ගානට යන්න ඕනෙ. ඒ වගෙම ඉතාම හොඳ විනයක් තිබීම අත්‍යාවශ්‍යයි.

ඉතින් අධිවේගී මාර්ගයෙ වූ අනතුරකින් පළමු වතාවට තරුණ රියැදුරෙක් පසුගිය පෙබරවාරි 3 වෙනිදා මියගියා කියලා අන්තර්ජාලෙන් දැක්කම ඔබ කවුරුත් වගෙ අපිත් කම්පා වුනා. ඒ එක්කම මොහොතකින් හිතට ලොකු සැනසිල්ලකුත් දැනුනා. ඒ මගෙ තියෙන ම්ලේච්ඡ තිරිසන් කමකට නෙවෙයි. ඉන්න මම විස්තර කියන්නම්.

අපි ලංකාවට ගිය වෙලේ ආපහු එන්න දවස් දෙකතුනකට කලින් ඒ කියන්නෙ ඇත්තටම 2011 දෙසැම්බර් 29 වෙනිදා මමත් ඔය අධිවේගී මගේ වාහනය පදවගෙන ගියා පවුලේ අයත් එක්ක. දීපත්, චූටි පුතාත්, ඔයගමන සුපුරුදු විදියට වීඩියො සහ ඡායාරූප වලට නැගුවා. පාරෙ අයිතිකාරයො කීප දෙනෙකුත් මුන ගැහුනා. මාර්ග නීති අමු අමුවෙ උල්ලංඝනය කරපු ගවයොත් දෙතුන් දෙනෙක් දැක්ක. ඒ ගැන පස්සෙ කියන්නම්කො.

පින්නදූවට කිට්‍ටු වෙනකොට තමයි අපි මේ හදවත කම්පා කරපු දර්ශනය දැක්කෙ. මේ පින්තූර මගෙ චුටි පුතාගෙ වීඩියෝවෙන් ගත්ත නිශ්චල දර්ශන. ඇත්තෙන්ම screen shots.

We also travelled at 100 kmph most of the way, that's how we made it in one hour.

අපිත් ගියේ පැ. කි. මි. 100 ට තමයි දිගටම වාගෙ. පේනවනෙ මීටරේ. අපිටත් පැයයි ගියේ.

හරි දැන් බලන්න අපි ඊ ගාවට දැක්ක දේ!!







පේනවා නේද? මේ පාර ඉවරවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අර ටෝල් බූත් කිට්‍ටුවම. ඔය අනතුර වෙච්ච හැටියෙම උණු උණුවෙ. ඔය කලු පාට SUV වර්ගයෙ වාහනේ අපිට විනාඩියක් දෙකක් ඉස්සරහින් ගිය එකක්. පේනවා නේද වැට තලාගෙන එලියටත් වීසිවෙලා කරනම් ගහලා ආපු පැත්තටම හැරිලා තියෙන්නෙ. ඔය නවත්තලා තියෙන අනිත් නිල්පාට වගෙ වාහනේ සුදු ඇඳගෙන ඉන්න කට්ටියගෙ තියෙන සම්බන්ධය මම දන්නෙ නෑ. අපි නැවැත්තුවෙ නෑ මොකද නවත්තන්න තහනම් නිසා. ඒ වගෙම භයානක නිසා. අපි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ වලට කිව්වා. ඔය වාහනේ ඉස්සරහ ඉන්නවා එක්කෙනෙක්. පාර අයිනේ වැටෙන් එලියෙ බිම වැතිරිලා එක්කෙනෙක්. තව කෙනෙක් හිටගෙන ඉඳලා දනිස් පණ නැතිවෙලා කඩා වැටෙන කොට කෙනෙක් පැනලා අල්ලගන්නවා. වාහනේ නම් කන්ඩෙම් මම හිතන්නෙ. මම එවෙලෙ ඔය විස්තර ඔක්කොම දැක්කෙ නෑ ඇත්තටම. මොකද මම වාහනය පදවපු නිසා.

ඉතින් කතාව මේකයි. අපි පාරේ වාහනයක් පදවනකොට විශේෂයෙන්ම පාරේ එක පැත්තට යන රියැදුරන් අතර අදිසි සහෝදර සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. සමහරවිට පොදු අරමුණක් තියෙන නිසා වෙන්නත් පුලුවන්. විරුද්ධ පැත්තට යන රියැදුරන්ටත් අපි හෙඩ් ලයිට් ෆ්ලෑෂ් කරලා පොලීසිය ඉන්නවා කියලා කියන්නෙ ඔය සුන්දර බැඳීම නිසාමයි. ඉතින් මේ කට්ටිය මම නොදැක්කා වුනත් මොහොතකට කලින් අපිත් එක්කම සමහර විට අපි වගේම හිනාවෙවී විහිළු තහලු කරමින් එක මග ගිය වුන් නේද කියන කම්පණය අපිට දවස් ගානක්ම දැනුනා. එදා මුළු ගමනෙම ඇතිවුණු අඳුරුම පැල්ලම මේ සිද්ධියයි.

ඇත්තටම අපි හිතුවෙ මෙතන මේ වාහනේ ආපු කීපදෙනෙක්ම මෙලොවින් සමුගන්න ඇති කියලා මේ අලුත් ප්‍රවෘතිය දකිනකම්ම. ඒ කියන්නෙ පළවෙනි මරණය සිද්ධ වුනේ පෙබරවාරි 3 නම්, මේ පින්තූර වල ඉන්න අයට දෙවි පිහිටෙන් කිසිම කරදරයක් වෙලා නෑ කියලා දැන ගත්තම අපේ පපු වලට පුදුම සහනයක් දැනුනා. ඒකයි කතාව.

මේ වාහන වල ගිය කවුරුහරි මේ බ්ලොග් එක දැක්කොත් හරි මේ බ්ලොග් එක කියවන කෙනෙක් මේ අයව අඳුරනවා නම් හරි කරුණාකරලා කොමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝව අපි ලඟ තියෙනවා. ඔබ මරණයෙන් ගැලවුන එක අපේ හදවත් වලට පුදුමාකාර සතුටක්. පරිස්සම් වෙන්න!

 

ටැග: , , , ,

16 responses to “47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

  1. hiruni

    පෙබරවාරි 7, 2012 at 12:56 පෙ.ව.

    ඒ කතාව ඇහුවම මටත් හරිම දුකක් දැනුනෙ. අන්තිමේ කියවද්දි ඩුඩ් වගෙම මටත් හරිම සහනයක් දැනුනා. හදිසි අනතුරු වලින් මිය යාම තරම් සිත කම්පාමරවන දෙයක් තවත් නෑ. ඒවා දකින්න ලැබීමත් දුකක්. ඇත්තටම ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් හදිසි ගමන් මිනිස්සුන්ට තියෙනවද? තමන් විතරක් නෙමෙයි තමන්ගෙ මෝඩ කම නිසා වටේ ඉන්න මිනිස්සුත් විදවනවා නේද? හොද බ්ලොග් එකක් ඩුඩ්. මේක කියවල වත් මොලේ පෑදෙයිද දන්නෙ නෑ

     
  2. Gimhani Jayalath

    පෙබරවාරි 7, 2012 at 9:39 පෙ.ව.

    ඉතාමත් හොඳ ලිපියක්.
    මම මෙය මගේ මූණු පොතට සම්බන්ධ කරගන්නවා.
    බොහොම ස්තූතියි.

     
  3. gold fish

    පෙබරවාරි 7, 2012 at 10:27 පෙ.ව.

    ඔය ව​ගේ දේකින් පාඩමක් ඉ​ගෙන ගන්න කෙනෙක් ඉන්නවනම් ඒක තමා ලොකුම දේ…

     
  4. ලොකු පුතා

    පෙබරවාරි 7, 2012 at 11:17 පෙ.ව.

    මම මුලින් බැලුවේ තරහ කාරයෙක් ගැනවත් ලියලද කියලා…..:))

    ඒ වාහනේ ගිය උදවිය ජිවිත හානියකින් තොරව බේරුණු එක ලොකු දෙයක්
    මමනම් තාම අධිවේගී මාර්ගය ඇරියට පස්සේ ලංකාවට ආවේ නැහැ
    ආසාවට වගේ එක වතාවක් හරි යන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ
    කොහොම උනත් ඔය පාරේ ගොඩක් පරිස්සමින් යන එක ඇඟට ගුණයි

     
  5. පූසා

    පෙබරවාරි 7, 2012 at 11:27 පෙ.ව.

    කල්පනාවෙන් සහ පාලයන කරගත හැකි වේගයකින් වාහන පදවනවනම් අනතුරු සෑහෙන්න අඩුවෙයි…

     
  6. Observer

    පෙබරවාරි 7, 2012 at 12:18 ප.ව.

    ඊයෙයි, පෙරේදායි, දවස් දෙක ඇතුලත බටහිර ඔස්ට්‍රේලියාවෙ මෝටසයිකල් අනතුරු වලින් විතරක් තුන් දෙනෙක් මිය ගියා. හැබැයි ඒක අසාමාන්‍ය තත්වයක්.

     
  7. Tharaka C Peiris

    පෙබරවාරි 7, 2012 at 6:02 ප.ව.

    parissamen yanna oni neda

     
  8. ඕනයා (දුලිප් සිකුරාජපති)

    පෙබරවාරි 7, 2012 at 9:15 ප.ව.

    ඔයාට කියන්න මෙයා . . . .ගොඩක් අය හිතනව ඇක්සලේටරේ පෑගෙද්දි, ස්ටියරින් වීල් එක කැරකෙද්දි එයාලට ඩ්‍රයිවිං පුලුවං කියල. එහෙම අය එයාලගෙ විතරක් නෙමේ, අනිත් අයගෙ ජීවිතත් අනතුරේ හෙලනව

     
    • Nish

      පෙබරවාරි 8, 2012 at 12:14 ප.ව.

      මේකනම් සම්පූර්න ඇත්ත ඕනේ. ඔය මාර්ගය නිතර පාවිච්චි කරන මට නම් කියන්න තියෙන්නෙ ඔය වෙන අනතුරු වලට වග කියන්න ඕනි අවිනීත රියදුරන් කියල තමා.

      තමන් පදවන රථයේ තත්වය ගැන දැනගෙන තම්න්ට පාලනය කරගත හැකි වේගෙන් එලවනවා නම් ඕක වෙන්නෙ නෑ. සාපේක්ෂව වාහන අඩු ඔය පාරේ වාහනයක් හප්ප ගන්නව කියන්නෙ නොසැලකිලිමත් බව තමා.
      ඔය මැරුනු පුද්ගලයත් ආසන පටි පැලදගෙන ගොස් නැතිව හෝ ආසන පටි ක්‍රියා කර නැති බව තමා පැවසෙන්නෙ

       
    • ඉන්දික උපශාන්ත

      පෙබරවාරි 9, 2012 at 7:39 ප.ව.

      ඇයිබං ෆෝවීල් ඩ්‍රයිව් SUV, 1.5 කොරොල්ල, ඇලියොන් කියන්නෙ ලැම්බොගිනි කියල හිතල රේස් යන අය. බලහන්කො ඔය පින්තූරෙත්.

       
  9. Kasun Chanaka

    පෙබරවාරි 8, 2012 at 4:01 ප.ව.

    ඔය වගේ පොඩි සමානකමක් නිසා සමහර වෙලාවට මිනිස්සුත් එක්ක බැඳීම් ඇති වෙනවා. ඇයි කියල කියන්න තේරෙන්නේ නැති වුනත් ඒවත් හිතට තදින් දැනෙන වෙලාවල් තියනවා.

    තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගෙන් යන එක තමයි ප්‍රධානම දේ.

     
  10. තිස්ස දොඩන්ගොඩ

    පෙබරවාරි 9, 2012 at 7:27 පෙ.ව.

    හපොයි දෙයියනේ

    මටත් මාර වැඩක් වුනේ උදේ පට්ට පාන්දර ගාලු ගිහින් ආපහු එනකොට තල්මස්සු බලන්න

    ආපසු ගමන දවල් දෙකහමාරට විතර වුනේ – උදේ තුනට ඇහැරිච්ච එකේ නිදිමත මටත් නොදැනී ඇඟ ඇතුලේ තිබිලා – තත්පර බාගෙකට ඇහැපියවුණා!!!!!!!

    ඇහැ ඇරෙනකොට වමේ ආපු මම දකුණු ට්‍රැක් එකේ!!!! කටේ කෙළ හිඳුනා මචං – පුතා අහනකොටත් “මේ කොහෙද යන්නේ” කියල මට ඇහැරිලා

    වේගය ගොඩක් අඩුකරල වතුර මූඩියක්ම ඇස් දෙකට හලාගෙනයි ආයේ ගමන දිගටම ගියේ – පාර කෙළින් හින්දා එක දිගටම අවධානය තියන් ඉන්න අමාරුයි – නොදැනීම රිලැක්ස් වෙනවා මගේ හිතේ

     
  11. නවම්

    පෙබරවාරි 10, 2012 at 4:30 ප.ව.

    හයිවේ මොටෝ. පාර අයිනෙ නවත්තං ඉඳපු මටත් ත්‍රීවීල් කාරයෙක් කෙලාපුකොට, මැණික් ක‍ටුව පිට්‍ටුව වගේ පහුගිය ටිකදොහේ.

    ඔය වගේ අණතුරුවලින් බේරෙනව කියන්නෙ එලොව ගිහිල්ල මෙලොව ආව වගේ දැනෙන සිදුවීමක් වෙන්න ඇති.

     
  12. henryblogwalker

    පෙබරවාරි 10, 2012 at 5:41 ප.ව.

    @හිරුණි: අපිටත් දැනුනෙ පුදුම සහනයක්.

    @Gimhani Jayalath: ඔයාටත් ස්තුතියි ගිම්හාණි!

    @gold fish: මම නම් හිතන්නෙ මේක නම් කට්ටියට කවදාවත් අමතක වෙයි කියලා.

    @ලොකු පුතා:අපි තරහ කාරයෙකුට විපතක් වුනත් සතු‍ටුවෙන මිනිස්සු නෙවෙයි ලොකු පුතා. කොහොමත් ඔය තත්වය ටික ටික හරියාවි. නමුත් ප්‍රයිව්ට් බස් දැම්මොත් නම් දෙයියංගෙම පිහිටයි, කාට කාටත්.

    @පූසා: හරියට හරි පූස්.

    @Observer: ඒක අසාමාන්‍ය තත්වයක්?

    @Tharaka C Peiris: නැතුව නැතුව තාරක. පරිස්සමෙන් වේගයෙන්යන්නත් පුලුවන්.

    @ඕනයා: එහෙම කට්ටිය තමයි පාරෙ වැඩි ඕනයා.

    @Nish: අනිවා. ඇත්තෙන්ම නිශ් ඔය පාර විතරක් නෙවෙයි. අනිත් කොයි පාරක වුනත් අනතුරු වලට ප්‍රධාන හේතුව අවිනීත රියැදුරෝ.

    @ඉන්දික උපශාන්ත:කතාව ඇත්ත ඉන්දික. සීයට නම් ඔය 125cc බයික් එකකත් යන්න පුලුවන්. මේ නම් ලැම්බෝගිනි ෆෙරාරි ගානට ගිහින් වෙන්න ඇති.
    ඒවත් හප්පා ගන්නවා ඉන්දික. මම මේ ලඟදි දැක්කා ලෝකේ මිල අධිකම රිය අන්තුර ජපානයෙ ‍ෆ්‍රීවේ එකක වෙලා තියෙනවා කියලා. හැපිලා තියෙන්නෙ ලැම්බෝගිනි කීපයක් ෆෙරාරි කීපයක් සහ මර්සීඩස් දෙකක් ඔක්කොම එකට. ගන්න දෙයක් නෑ.

    @Kasun Chanaka: ඒක හරි පුදුම බැඳීමක් කසුන්. ඒවා මනුශ්‍යත්වයේ සුන්දර හැඟීම්. බලන්න හෝස්පිටල් වලදී මුලින්ම මුණගැහෙන යාලුවො.

    @තිස්ස දොඩන්ගොඩ: අම්මෝ ඒක නම් මටත් වෙලා තියෙනවා. ඉතින් වයිෆ් හෙන alert එකේ ඉන්නෙ මම ඇහැරිලාද කියලා බලන්න. මටත් ඔහොම වෙලා තියෙනවා දෙපාරක් විතර නුවර පාරෙදි. කෝපි හොඳයි. චොකලට් හොඳයි. තව නවත්තලා එක්කො ටිකක් නිදාගන්න ඕනෙ. නැතිනම් පාරෙ ටිකක් දුවලා උඩ පැනලා ආයෙම පටන් ගන්න ඕනෙ. හැබැයි ඔය පාරෙ ඒ මොකක්වත් බෑනෙ.

    @ඉන්දික: ඒකත් හොඳ අදහසක් වගේ පේනවා.

    @නවම්: ඒකයි අත උලුක් වුනේ නේද? ඊය දැකලා මම අහන්න හැදුවා විතාරයි. උඹටත් මොකක්දෝ ට්‍රැ‍ෆික් අපලයක් තියෙනවා වාගෙ

     
  13. Najath Akram

    පෙබරවාරි 20, 2012 at 5:58 ප.ව.

    නින්ද යාමේ පොඩි අවදානමක් තියෙනවා.. මොකද මාත් අන්තිමට ගිය වාරයේ මම ගිය වාහනයේ රියදුරුට නින්ද යන්න ගියා.. පාර කෙලින් නිසා ඒ අවුල නම් තියෙනවා.. ඒ උනත් හයි වේ එකෙත් වාහනය පාලනය කර ගන්න බැරි නම් රියදුරු බලපත්‍රය ගත්ත විදියේ ප්‍රශ්නයක් තියෙනවා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: