RSS

Monthly Archives: මාර්තු 2012

58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය


නවම් මාවතේ ජාත්‍යාලය හා සමගිය ගැන තිබ්බ පෝස්ට් එක කියෙව්වම මට මතක් වුනේ John Lennonගෙ IMAGINE කියන සින්දුව. මේ මම ඉතාම ප්‍රිය කරන ගී වලින් එකක්. මේ සින්දුවෙ අදහස දිහා දේශපාලනය හරි, වෙනත් මතවාදයක් හරි, පාට කන්නාඩියක් හරි තුලින් නොබලා මනුස්සයෙක් හැටියට බැලුවොත් යමක් හිතන්න තියෙනවා.

ජෝන් ලෙනන් කොහොමත් අනිත් අයට වඩා වෙනස් පුද්ගලයෙක්. වාර්තා තබපු “THE BEATLES” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන ජෝන් විවාහ වුනෙත් ජපන් ජාතික YOKO ONO සමග. විවාහයෙන් පස්සෙ බිරිඳ සැමියාගෙ වාසගම පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක්නෙ. මම දැනුවත්ව විවාහයෙන් පස්සෙ බිරිඳගෙ වාසගම තමන්ගෙ නමට එකතු කරගත්ත එකම පුද්ගලයා ඔහුයි. ඔහු John Ono Lennon යනුවෙන් නම වෙනස් කරගත්තා. ඔහු කලක් බීටල්ස් කන්ඩායමේ අනිත් සාමාජිකයන් සමග ඉන්දියාවට ගොස් සිතාර් වාදනයත් ඉගෙන ගත්තා.
බ්‍රිතාන්‍යයේ මහ ‍රැජින ඔහුට ප්‍රදානය කල ගෞරවනාමයක් ඔහු ප්‍රතික්ෂේප කලේ පහත සඳහන් පණිවිඩයත් සමග.

“Your Majesty, I am returning this in protest against Britain’s involvement in the Nigeria-Biafra thing, against our support of America in Vietnam and ….. With Love, John Lennon

වියට්නාම්  යුද්ධය නිර්දය ලෙස විවේචනයට ලක් කරපු  නිසා ජනාධිපති නික්සන් ඔහුව මවු රට වූ එංගලන්තයට පි‍ටුවහල් කරන්න දිගින් දිගටම උත්සාහ ගත්තා.

1980දි හතලිස් හැවිරිදිව සිටි ලෙනන් ඝාතකයෙකු එල්ල කල වෙඩි පහර හතරකින් මරු වැලඳ ගත්තා.

වැඩි විස්තර අවශ්‍ය නෑ. මෙන්න සිංදුව, මම උත්සාහ කලා මට හැකි අයුරින් අදහස සිංහලට ගලපන්න, කවුරුත් දන්නවනෙ  මම කවි ලියන්න නම් දක්ෂයෙක් නොවන බව.

මේ සින්දුව මෙතනින් බාගන්න.

IMAGINEමොහොතකට සිතෙහි මවාගන්න

Imagine there’s no heaven මොහොතකට සිතෙහි මවාගන්න දෙව්ලොවක් නැතැයි කියා
It’s easy if you try වෑයම් කලොත් අසීරුත් නෑ,
No hell below us පොලොව යට නිරයක් නැති බවත්
Above us only sky ඉහලින් ඇත්තේ නිල් අහස් කුස පමණක් බවත්.
Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න හැමෝම
Living for today  ජීවත් වන්නේ අදට පමණක් බවත්.

Imagine there’s no countries, සිතෙහි මවාගන්න රටවල් වෙන් නොකල ලොවක්
It isn’t hard to do   වෑයම් කලොත් අසීරුත් නෑ,
Nothing to kill or die for අනෙකා නසන්නට හෝ දිවි පුදන්නට යමක් නොමැති,
And no religion too ආගම් කියා දෙයකුත් නොමැති
Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න ලොවම
Living life in peace සාමයෙන් දිවි ගෙවන දිනක්

You may say I’m a dreamer ඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා
But I’m not the only one නමුත් ඒ  මා පමණක් නොවේ
I hope some day you’ll join us පතමි දිනය ඔබත් අප සමග අතිනත ගෙන
And the world will be as one එකම ලොවක් සදන

Imagine no possessions හිතන්න දේපළක් වස්තුවක් නොමැති ලොවක්
I wonder if you can ඒ නම් හැකිදත් සැකයි…
No need for greed or hunger තණ්හාවක් කුසගින්නක් ඇවැසි නැති
A brotherhood of man  මිනිසත්බව  පමණක් ඇති
Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න හැමදෙන
Sharing all the world  එකාවන්ව දිවි ගෙවන ලොවක්

You may say I’m a dreamerඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා
But I’m not the only oneනමුත් ඒ  මා පමණක් නොවේ
I hope some day you’ll join usපතමි දිනය ඔබත් අප සමග අතිනත ගෙන
And the world will live as one එකාවන්ව දිවිගෙවන

දැන් මෙන්න සින්දුව අමුවටම. මේ සින්දුව සීමිත සංගීත භාන්ඩ ගනනක් උපයෝගී කරගෙන කරපු සරළ එකක්.
දැන් පුලුවන්නෙ බාගත්ත සින්දුවත් අහන ගමන් ඇස් වචන ඔස්සේ දුවවන්න. ඊට පස්සෙ මට දැනගන්න ආසයි ඔබට ඇති වුනෙත් මට ඇතිවුන හැඟීමමද කියලා.

IMAGINE

Imagine there’s no heaven
It’s easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today

Imagine there’s no countries,
It isn’t hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace

You may say I’m a dreamer
But I’m not the only one
I hope some day you’ll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world

You may say I’m a dreamer
But I’m not the only one
I hope some day you’ll join us
And the world will live as one

 

ටැග: , , , , ,

57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

“මෙන්න මූ හුලං ගහනවෝ!” කියෙව්වා නම් මතක ඇතිනෙ මම ආවේ සේද මාවතක් දිගේ නොවන බව. අපි ඒ කතා කලේ bullying ගැන.
දැන් අපි කතා කරමු නවක වදය ගැන.

මම මරදානේ ටෙක් එකේ මෝටර් ඉංජිනේරු ශිල්පය හදාරපු කාලේ කතාවක් මේක. ඔය ටෙක් එකෙත් නවක වදය ඉතාම කැත විදියට තිබ්බ කාලයක් මේක. අද නම් දන්නෙ නෑ. අහන්න එපා.

ඉස්සෙලාම අපේ බැච් එකේ උන් කතා වුනා අපි මුන්ට අල්ලගෙන අම්බානක නෙලමු කියලා ‍රැග් කරන්න ආවොත්. බ්ලොග්වෝකරුත් මේ දවස් වල street fighting වලට අමතරව ටයික්වොන්ඩෝ (taekwondo) පන්තිත් යනවා. ඉතින් බ්ලොග්වෝකරුත් කොකු වලට කොහොමත් ප්‍රියයි.

නමුත් මේ වැඩේට තිබ්බා පොඩි කොස්සක්. ඒ තමයි ඔය ජ්‍යේෂ්ඨ උත්තමයන්ගෙන් එකෙක් ඇත්තටම කරාටේ මාස්ටර් කෙනෙක් වීම. ඌ ගුවන් ගත වෙලා ඩබල් ෆ්ලයින් කික් එකකින් ප්‍රතිවාදීන් දෙන්නෙකුට පහර දෙන ෆෝටෝ එකක් දවස ගානේ පත්තරවල දැන්වීමකට ගියා. ඒ මදිවට ඒකා ලංකාවෙ ප්‍රසිද්ධ කරාටේ මාස්ටර් කෙනෙක්ගෙ පුතෙක්.

මේ සිද්ධිය දැනගත්තට පස්සෙ මාෂල් ආට් නොකරපු අපේ එවුන් යෝජනා කලා හමුදා වල ඉන්න අයියලාව යොදවලා මුන්ට ගස්සන්න වගේ පිස්සු සැලසුම්.

අන්තිමට කවුරුත් තීරණය කලා, “හරි අපි බලමු. සීමාව පැන්නොත් මොකක් හරි කරමු” කියලා.

ඔය තීරණයත් එක්ක ඔන්න බැච් එකම රැග් එක කන්න ලෑස්ති වුනා. ඇඳගෙන ආවෙත් ‍රැග් එකට ගැලපෙන කඩමාලු ඇඳුම්. ඉතිං මේ ලිපිය කියවන වැඩිදෙනෙක් කැම්පස් ‍රැග් එක කාපු උන් නිසා ‍රැග් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නෑනෙ. මේ ලිපියෙ සඳහන් කරලා තියෙන්නෙ මුළු ‍රැග් එකම නෙවෙයි, රසවත් කියලා මට හිතුනු කොටස් විතරයි. මුළු ‍රැග් එකම ලියන්න මේ වගෙ පෝස්ට් හත අටක් වත් යාවි. නමුත් අපි කාපු ‍රැග් එක සමස්තයක් වශයෙන් ඉතාම අමානුෂිකයි කියලා විතරක් කියන්න ඕනෙ.

ඉතාම වේදනාකාරී එක දෙයක් තමයි බිම් මහලෙ ඉඳන් පඩිපෙල දිගේ හාවා පැන පැන තුන්වෙනි තට්‍ටුවෙ තියෙන කැන්ටිමට දෙන ලද කාල සීමාවක් ඇතුලත ලඟාවීම. බැරි වුනොත් මුල ඉඳලා යන්න ඕනෙ. මොන තරම් කරාටේ එක්සසයිස් කරලා හිටියත් මේක නම් ඇත්තටම පණ යන වැඩක්. මගක් යනකොට කකුල් ගිණිගන්නවා වගේ දැනෙනවා. හුස්ම ගන්නත් අමාරුයි.

ඊට පස්සෙ කැන්ටිමේ මුලු දිගට තියලා තියෙන එකට සම්බන්ධ කරපු මේස යටින් දනගාගෙන යන්න ඕනෙ. දෙපැත්තෙ පු‍ටු වල සීනියර් උත්තමාවියෝ ඉඳගෙන ඉන්නවා කකුල් මේස යටට දමාගෙන. අපි එකා පස්සෙ එකා මේස යටින් යන්න ඕනෙ අරුන්ගෙ කකුල් දිහා නොබලා, නොගෑවී. බැලුවොත් හෙම බෝක්කු ඇරගෙන ඉන්න කෙල්ලො පයින් ගහනවා. මේක නම් මට සෑහෙන අමාරු වැඩක් වුනා. මම එහා පැත්තෙන් මතුවෙන කොට සෑහෙන පයින් පාරවල් කාලා. මේ නිසා මට නැවත නැවත යන්න වුනා.

තව ‍රැග් එකක් තමයි අඟුරු වලින් දත් මැදීම. මේකෙ සීන් එක මුන් දෙන තඩි අඟුරු කෑල්ලම කටේ දාගෙන හපන්න ඕනෙ.

“තෝ මොනවයින්ද %$# ගෙදරදි දත් මදින්නෙ?” කියලා ඇහුවම ‘සිග්නල් වලින්’ කිව්වොත් පනිෂ්මන්ට් වැඩියි. මොකද මේ ‍රැග් කිරිල්ල පිටිපස්සෙ තියෙන්නෙ තනිකරම හීන මානයයි ඊර්ෂ්‍යාවයි නිසා. (මම මේවා ඉගෙන ගත්තෙ මට ඉස්සරහින් යන එකාගෙ උත්තර සහ ප්‍රතිචාර අහං ඉඳලා.) මම නං කිව්වෙ අඟුරු වලින් කියලා. එතකොට මේ මානසික රෝගීන්ට හරිම සතු‍ටුයි. මේකෙ තියෙන ආතල් එක තමයි මුලින්ම තමන්ගෙ දත් තමන්ගෙ ඇඟිල්ලෙන් මැදගෙන මැදගෙන යාම. මේක කරන්නෙ තව එකෙක්ගෙ මූනට එබිලා බලාගෙන හරියට කන්නාඩියෙන් බලනවා වගෙ. ඊට පස්සෙ එක පාරටම එකෙක් කෑගහනවා

“නවත්තපියාව්!” කියලා.

හැමෝම හරි සතුටින් නවත්තපුවම,

“දැන් තොපි අනිකගෙ දත් මැදපියාව්!” කියලා නියෝගය ලැබෙනවා.

මම මුලින්ම සීන් එක බලාගෙනයි හිටියෙ. මාත් එක්ක හිටපු ප්‍රියන්තයයි මායි මේකට සෙට් වෙලා හිටියෙ කතාවෙලා. ඉස්සෙල්ලම අපි තමන්ගෙ දත් මැද මැද හිටියෙ මැද ඇඟිලි වලින්. ‘අනිකාගෙ දත් මැදපියාව්’ කිව්ව ගමන් අපි දෙන්නම නෝන්ඩි නැතුව අර ඇඟිලි නවාගෙන දබර ඇඟිල්ලෙන් එකිනෙකාගෙ දත් මැද ගත්තා. අනිත් එවුන් අප්පිරියාවෙ ඇඹරෙනකොට ප්‍රියන්තයයි මායි සෑහෙන මැදගෙන. වැඩේ මාට්‍ටු වුනේ නෑ. අපිව ඒකෙන් ඉක්මනට නිදහසුත් වුනා.

ඉස්කෝලෙ යන කාලේ ඉඳලා අපි පන්තියෙදි කරන එක දෙයක් තමයි ඩෙස්ක් එකට අඩි දෙකක් විතර ඈතින් හිටගෙන ඉඳලා දනිස් නමලා පහත් වෙලා එක වරම දෙපතුලෙන්ම ඉපිලිලා ඩෙස්ක් එක උඩ දෙපතුලෙන්ම පතිත වෙන එක. මේක කරන්න පුලුවන්. නමුත් හිත බය වුනොත්, මගදි ස්ලෝ වුනොත් දනිස්සට පහල තියෙන කොටස ලෙලි ගහගන්න පුලුවන්. මම නම් මේ වැඩේට එක්ස්පර්ට්. ඇත්තටම මම ස්කෝලෙ උගන්නන කාලෙත් ළමයි නැති වලාවට ඕක කරලා බලනවා. මම හිතන්නෙ දැනුත් පුලුවන්. ප්‍රශ්ණෙකට තියෙන්නෙ මේ රටේ තියෙන්නෙ ප්ලාස්ටික් ඩෙස්ක් නිසා පැන්නොත් කැඩෙනවා.

වාසනාවකට වගේ ‍රැග් එකේ ඊලඟ අංගය ඕක. මට ඉස්සරහින් හිටපු එකා පැනලා තව පොඩ්ඩ්න් බෙල්ලත් කඩා ගන්නවා. ඌ ඒ වෙනුවට තව කීප පාරක් මේසෙ යට රිංගන්න එකඟ වුනා.

මේ වෙනකොට මගෙ චේන් පැනලා. අධික පළිගැනීමේ චේතනාවෙන් හිටියෙ. Revenge is sweet කියනවනෙ.

කලින් එකාට වෙච්ච දේ නිසා එතන හිටපු සාජන් කියන එකා මගෙන් ඇහුවා,

“ඒයි @#$, තොට පනින්න පුලුවන්ද?”

“පුලුවන්, ජ්‍යේෂ්ඨ @ත්තමයො” මම හයියෙන් කීව්වා.

“”එහෙනං පැනපිය..” කියලා මූ එක පාරටම,

“ඒ.. මොකක්ද ‍තෝ කිව්වෙ?” කියලා මගෙන් ඇහුවා.

“පුලුවන් කිව්වා.”

“පුලුවන් කිව්වා මට ඇහුනා @#$, අර ජ්‍යේෂ්ඨ මොකක්ද කිව්වෙ?”

” @ත්තමයො කියලා කිව්වෙ.” මම මෝඩය වගෙ කිව්වා.

මූ කෑවා ලණුව. කෑවා නෙවෙයි අරගෙන ගිල්ලා.

“ඒයි මේ අහපල්ලා මූ කියන එක!” මූ මර හඬ දුන්නා.

අනිත් උන් ඔක්කොම වටවුනා.

“කියපිය බලන්න “ජ්‍යේෂ්ඨ උත්තමයා” කියලා.”

“ජ්‍යේෂ්ඨ @ත්තමයා” මම කලින්ටත් වඩා මෝඩ සද්දෙකින් කිව්වා.

“අඩෝ ‍තෝ මේක විහිලුවකට ගත්තද @#$?”

සාජන්ට මල අතේ. මූ මට නෙලන්නම වගේ ලෑස්ති වෙනකොට මම කිව්වා.

“මට පොඩි ගොතයක් තියනවා. මට ‘උ’ සද්දෙ කියන්න බෑ ‘හු’ කියලා තමයි කියවෙන්නෙ. මම ඕකට ස්පීච් තෙරපිත් ගිහින් තියෙනවා.” කියලා

ඊට පස්සෙ මුන් මට ‘උ’ සද්දෙන් පටන් ගන්න වචන ගනනාවක් කියෙව්වා. මම ඒ හැම වචනෙම ගානට ‘හු’ දාලා කිව්වා.

දැන් කශ්ටියම හිනා වෙනවා. සාජන්ට එවෙලෙම @ත්තමයා කියන නම රෙජිස්ටර් කරනවා මම බලාගෙන හිටියෙ දරාගන්න බැරි සතුටෙන්. සාජන්ට සෑහෙන අප්සෙට් .

මේ තමයි ‍රැග් එකේ අන්තිම කොටස.

මූ ආවා මං ලඟට. “හරි එහෙනං පැනපිය බලන්න. ගොතේ තිබ්බට කමක් නෑනේ.”

මේක මට ටොයිස් වැඩක් වුනත් මගේ පරම අභිප්‍රාය වෙලා තිබ්බේ අපිට පහුගිය දවස් ගනනාවක්ම මිහිපිට අපායක් කරපු සාජන්ගෙ ලේ හෙලවීම. මම දැක්කා අවස්තාව.

මම සාජන්ට්ට ලංවුනා. ඊට පස්සෙ මේසෙ දිහාට හැරිලා මදක් කුදුවුනේ ගැම්ම ගන්න. ඊට පස්සෙ පොලොවෙන් උඩට දෙපයින්ම ඉපිලෙන ගමන් වැලමිටි වෙගයෙන් පැද්දුවා, සාජන්ගෙ කට ඉලක්ක කරගෙන හඹාගෙන ගිය වම් වැලමිට මම මේසෙ මත පතිත වෙන්න මොහොතකට කලින් සාජන්ගෙ තොල් තලාගෙන දත්වල තදින් වදිනවා මට දැනුනා.

මම ජයග්‍රාහීව මේසය මත හිටගෙන ඉඳිද්දී, සාජනුත් අත් දෙකින්ම කට අල්ලන් ඉන්නවා ඇස් කොනට දැක්කා.

“මොකද මචං වුනේ?” කියලා අනිත් වුන් සාජන් වටකර ගත්තා. මේසය මත තවම හිටගෙන හිටි මට සාජන්ගෙ ඇඟිලි අතරින් ලේ ගලා යනවා පෙනුනා. මම තවම හිරි වැටිලා තිබ්බ මගේ වැලමිට දිහා බැලුවම සාජන්ගෙ දත් වලට කැපුනු වැලමිටෙනුත් ලේ ගලනවා . නමුත් අවංකවම කිව්වොත් කාපු ‍රැග් ඔක්කොම අමතක වෙන පුදුමාකාර වින්දනයක් මම ඒ වෙලාවෙ ලැබුවා.සාජන්ගෙ කට බලා ඉඳිද්දී ඉදිමිලා ආවෙ මූණ ගරායක් වෙස් මූණක් කරමින්.

“මූ මේක හිතලාමද දන්නෙ නෑ කලේ” කියපු කීපදෙනෙක් මට නෙලන්න සෙට් වෙනකොට, මාව පුදුමයට පත් කරමින් සාජන් ලේ ගලන කටින් කෑ ගැහුවා,

“ඒයි ලිකා හිලෆල්ලා. ඌ හිලල කලෆු ලෙයක් ලෙවෙයිලෙ ඒක.”

පස්සෙ ඔය සාජනුයි ඔය කරාටේ බුවයි මාත් එක්ක සෙට් වුනාට පස්සෙ ‘@ත්තමයා’ කතාවයි මගෙ ගොතෙයි බොරුවක් බව දැනගත්තම සෑහෙන එන්ජෝයි කලා. අරූගෙ කාඩ් එක සුපර් ග්ලූ ගාලා වැදුනා.. නමුත් උගේ කට තැලුවෙ හිතාමතාමයි කියන එක උන්ට කියන්න මට හිතුනෙම නෑ.

 

ටැග: , , ,

56. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!


“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”

“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”

“කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”

මේ දෙබස ගියේ මාත් එක්ක කොට අදින ඉස්කෝලෙ වැඩ කරපු ගමයායි මායි අතර. ගමයා ජ්‍යේශ්ඨ අංශ ප්‍රධානියා. මම ඩෙපියුටි. දෙන්න එක්ක කරන නරක වැඩක් තමයි සිගරට් බොන එක. අර හොරි බනිස් කතාව උනෙත් ඔය වගෙ වෙලාවක. ඉතින් දෙන්න එක්ක පාර පැනලා බේකරි කඩෙන් හොරි බනිස් කාලා, ප්ලේන්ටී එකත් ගහලා ආයෙම පාර පැනලා අනිත් කඩෙන් කැහි කූරු දෙකකුත් අරගෙන කඩේ ඉස්සරහම හිටගෙන බිබී ජීවිතය ගැන කතා කරනවා. සිගරට් බීම නරක වුනත් මේකෙන් අපි දෙන්න සෑහෙන්න එකිනෙකාව හඳුන ගත්තා. එක එක මාතෘකා ඕස්සෙ සෑහෙන දුර ගියා. ගමයා සිංහල උපාධිධාරියෙක්. සමාජ අධ්‍යනයනයි සිංහලයි තමයි ඉගැන්නුවෙ. අප්සෙට් එක ඒක ඉංග්‍රීසි අතහැරලා කරපු උසස් අධ්‍යාපනයක් වීමයි. ඒකයි ගමයා අරවගෙ ඉල්ලීමක් කරන්න හේතුව.

“මෙහෙමයි මචෝ. උඹට පන්තියක් දාලා වගේ නං උගන්නන්න බෑ. උඹ දවසකට එක වාක්‍යයක් ඉගෙන ගනින්. ඒක හරියට දිගටම කලොත් ඒ ඇති.”

“ඒක හොඳ අදහස. උඹ මගෙ අඩුපාඩු දැක්කොත් හදන්න ඕනෙ.”

“අන්න ඒක නම් කරන්න උඹේ අවසර ඕනෙ. මොකද සමහරු කැමති නෑ අඩුපාඩු පෙන්නලා දෙනවට.”

“අන්න අන්න. මට ඕනෙ මගේ අඩු පාඩු හදා ගන්න. උඹ වැ‍රැද්දක් දැක්ක ගමන් මට කියන්න ඕනෙ.”

“හරි එහෙනම් මේ මොහොතේ සිට ක්‍රියාත්මකයි, හරි.?”

“හරියට හරි. ඔන්න යටින් අත්සනුත් කලා, හරි?”

එතකොටම එතනින් ගිය රතු පාට මොන්ටෙරෝවක් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් නවත්තලා රිවර්ස් කලා අපි ලඟට. වීදුරුව පහත් වුනා.

“හලෝ මචං ගමයා..”

“ආඩේ මචං සේරෝ.. යකෝ දැක්ක කල්. කොහොමද ඉතිං?”

“අපිත් ඉන්නවා බං උඹලගෙ පිහිටෙන්.”

“අනේ පලයං ඩෝ යන්න. අපේ පිහිටෙන්…”

කියපු ගමයා හිනාවෙලා යාලුවව මටත් අඳුන්නලා දුන්නා.

“මේ සේරා මචං මූ ඉස්සර ඉඳන්ම ඔය වගෙම ලෝකෝත්තරයා..”

තව පොඩ්ඩක් කතා කරපු සේරා පාවෙලා ගියා මොන්ටෙරෝවෙ වීදුරු වහගෙන. කාලේකින් හමුවුනු යාලුවා ගමයගෙ හිතට සෑහෙන සතුටක් ගෙනාපු බව පෙනුනා මූන පුරා ඇඳුන හිනාවෙන්ම.

“ඕකා අපිත් එක්ක කැළනියෙ බං හිටියෙ. අපේ බැජ් එකේමයි.”

“ඒ වුනාට උඹ තාම බස් එකේ යනවා, ඌ මොන්ටෙරෝ එකේ යනවා.”

ඒකට ගමයාට හිනා ගියා.

“සේරා ඉස්සරත් හෙන බිස්නස් මයින්ඩඩ් තමයි බං.

“මේ, ගමයෝ”

ගමයා මං දිහා බැලුවා.

“මං උඹේ පළවෙනි වැ‍රැද්ද පෙන්නන්නද?”

“හහ්, හහ්, හදපං මචං, බිස්නස් මයින්ඩඩ් කිව්ව එකවෙන්නැති.”

“නෑ. ඌ උඹේ බැජ් එකේ වෙන්න බෑ මචං.”

“එහෙනං?”ගමයා විමතියෙන් මා දිහා බැලුවා.

මෙන්න බැජ් එකක්!

මෙන්න බැජ් එකක්!

මෙන්න අපේ බැජ් එකේ පොරවල්!

මෙන්න අපේ බැජ් එකේ පොරවල්!

“බැජ් එක කියන්නෙ බං ලාංඡනයක්නෙ. ඔය යුනිෆෝම් එකේ හෙම ගහගෙන ඉන්නෙ.”

“හ්ම්ම්ම්”

“ඉතින් ඕකෙ කී දෙනෙකුට ඉන්න පුලුවන්ද ඔය වගෙ ඉඩක?”
ගමයාට හිනා

කී දෙනෙකුට ඉඩ තියෙනවද මේ බැජ් එකේ!!

කී දෙනෙකුට ඉඩ තියෙනවද මේ බැජ් එකේ!!


“හැමෝම කියන්නෙ බැජ් එක කියලා තමයි බං.”

“යකෝ, හැමෝම කිව්වට යමක් නිවැරදි වෙන්නෙ නැ.”

“හරි මොකක්ද එතකොට හරි වචනෙ?”

“බැච් එක. අරූ උඹලගෙ බැච් එකේ. B-A-T-C-H. අනිත් වචනේ බැජ් B-A-D-G-E.”

“යකෝ මං ඕක දැනං හිටියෙ නෑනෙ.”

“උඹ විතරක් නෙවෙයි හුඟ දෙනෙක් එහෙම තමයි කියන්නෙ.”

“තැංක් යූ මචං, ඈ.”

“වෙල්කම් මචං”

 

ටැග: , , , ,

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

මොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි මහන්සියක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනානම් හාන්සි තමයි.

මේ මොහොතෙ මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං  පන්ච් එකක් එල්ල කලා  නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි වේගයෙන්. මොරයාගෙ හුස්ම වූ…ෂ්  හඬකින් කටින් එලියට ගැලුවා. අධිවේගයෙන් මගෙ දෙවෙනි වමත් පාර  මොරයගෙ පැතලි, පලල් නාසය සමතලා කලා. මොරයා කවදාවත් එහෙම වේදනාවක් අත් විඳලා නැතිව ඇති.
අනිත් උන් කෑගහනවා මට ඇහුනා.


“ඒයි මෙහෙ වරෙල්ලා, මේ බලාපල්ලා. මූ හුලං ගහනවා!”

කට්ටිය වට වුනා.
මට පස්සෙ තේරුනා මුන්ට පොල් අඩි ස්වින්ග්ස්  මිසක් බොක්සිං/කරාටේ පන්චස් පුරුදු නැති බව. මුන්ට ඒක පෙනුනෙ බයිසිකල් පොම්පෙකින් හුලං ගහනවා වගෙ. නහය රතු වෙලා ඉදිමිලා තිබ්බ මොරයා මාරාවේශ වෙලා හිටියෙ. ඌ කිව්වා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකොට උගේ අයියලා ගෙන්නලා මට ගස්සන බව. අනිත් උං මූව වත්තං කරගෙන ගියා. හොඳ වෙලාවට බෙල් එක ගහපු නිසා කෑඳැත්තා සමග අන්තිම සටන ඉන්ටවල් එක දක්වා කල් ගියා.

පන්තියෙ ඉන්නකල් මොරයා පාරම්බබා හිටියා ඌ ඕකෙ පළිය ගන්න බව. අනිත් උන්ගෙ මූනවල් වල සෑහෙන වෙනසක් මම දැක්කා. මොරයා ඇර  එකෙක්වත් වචනයක් කිව්වෙ නෑ. සමහරු සතුටෙන් හිටිය බව මට පෙනුනා. දැනටම ‘භය සූත්‍රය’ ක්‍රියාත්මක වෙලා ඇති හැඩකුයි පෙනුනෙ.

කෑඳැත්තා අමුත්තක් නොපෙන්නුවත්, සෑහෙන්න කැළඹිලා හිටි බව පෙනුනා.

ගුරුවරු උගන්නපු දේවල් මගෙ හිතට නොගියෙ මගෙ හිත විවේක කාලයට නියමිත, කෑඳැත්තා සමග කෙරෙන තීරණාත්මක අවසන් මහා සටනට අදාල සිතිවිලි වලින් පිරී තිබූ නිසාමය කියන්න බැහැ. මගෙ සිත අතීතයට ඇදිලා ගියේ මා නොදැනුවත්වමයි.

අපේ තාත්තා රජයේ නිලධාරියෙක් නිසා මම ඉස්කෝල ගනනාවකට යන්න වුනා.  ඉතින් අනිත් සමවයසේ බුවෙකුට වඩා සෑහෙන අත්දැකීම් ලබලා තියෙනවා, ඇසූ පිරූ තැන් තියෙනවා. නමුත් ඒ ඔක්කොම රසවත් අත්දැකීම් නෙවෙයි.

Bullying  ඇත්තෙන්ම නවක වදයට වඩා භයානකයි, වේදනාකාරීයි. නවක වදය විඳින්නෙ සමූහයක් එකතුව. ලැජ්ජාව වේදනාව බෙදිලා යනවා. නමුත් Bullying වලට අහු වෙලා bully වෙන්නෙ බොහෝ විට තනියෙම. අනිත් අය ගැන මම දන්නෙ නෑ. මම නම් bully වෙලා තියෙන තරමක් වෙලා තියෙන්නෙ තනියෙම.

ළමයි මල් වගේ කියලා කියමනට කිව්වට, අලුත් ඉස්කෝලෙකට ගිය ගමන් මුණ ගැහෙන්නෙ යක්කු. මල් නෙවෙයි. මල් අඳුනාගන්න කල් යනවා. අන්තිමට මල් හඳුනා ගන්නකොට, අමාරුවෙන් මල් වෙන් කරගෙන ලං වෙන කොට, ඒ මල් දාලා, බඩු මුට්‍ටු පොදි බැඳගෙන අලුත් යක්කු ඉන්න අලුත් පළාතක, අලුත් ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතින් හැමදාම ‘මරුවා සමග වාසේ’ තමයි.

මම මේ ස්ථාන මාරු වලින් මේසා පීඩා විඳින බව මගේ දෙමව්පියෝ දන්නෙත් නෑ. ගුරුවරු දන්නෙත් නෑ. ගුරුවරු ඇත්තටම නොදන්නවද කියන එකනම් මට අදත් සැක සහිතයි. ඇත්තෙන්ම ඉස්කෝලවල ගුරුවරු මීට වැඩිය කල්පනාවෙන් ඉන්න ඕනෙ අලුතෙන් ඉස්කෝලෙට එන ළමයින්ට ලැබෙන  සැලකිල්ල මොනවාගෙද කියලා.

කොහොම හරි අලුත් ඉස්කෝලෙදි තනිවම – සමහර විට මුළු පන්තියක් එක්ක – සටන් කරන්න වෙනවා. මම සාමාන්‍යයෙන් දෙයක් වේගයෙන් ඉගෙන ගන්නවා. ඒ වගෙම වරක් උගත් පාඩම මතක තියාගන්නවා.මේක ලාංකිකයන්ට ආගන්තුක ලක්ෂණයක් කියලනෙ කියන්නෙ. ඉතින් තැලෙන යකඩෙ වගෙ මමත් පන්නරය ලැබුවා වයසට කලින්. මොකද මට තිබ්බෙ පැවැත්ම සඳහාවූ අරගලයක්.

මම මේ අත්දැකීම දෙපාරක් විතර ලබන විට සොයාගත්තා මගේම ක්‍රමයක්. ඕක මම සොයාගත්තෙ ජෝජ් බුෂ්ට කලින්. ‘Fighting Terror With Terror’. බලංගොඩ කොන්වන්ට් එකේ ඉඳලා බුද්ධ ජයන්ති විද්‍යාලයට ගියාම මට සෑහෙන්න bully වෙන්න සිද්ධ වුනා. ඒ පාර නම් මම තනියෙම නොවුනත්, මට තියෙන්නෙ ‘ගුටි කන මූණක්’ හන්දද කොහෙද මම නිතර ගුටි කෑවා.

පස්සෙ මම දැන ගත්තා අපේ කුලී ගේ ගාවා ගෙදරක හිටපු අයියා කෙනෙක් බොක්සිං  ක්‍රීඩා කරන බව. මම ඒ අයියාගෙන් බොක්සිං තරමක් දුරට ඉගෙන ගත්තා. ඊට පස්සෙ සටන් චිත්‍රපටි වල දකින අනෙකුත් උපක්‍රමත් එකතු කරලා මමම හදා ගත්තා මටම ආවේනික  සටන් ශෛලියක් (combat style). මේකට street fighting කිව්වත් වරදක් නෑ. මේ ඉගෙනගත්ත දේවල් කෙසෙල් ගස් වලට හාල් ගෝනිවලට යොදලා ප්‍රගුණ කලා.

මේ සියලු දෙයින්ම  ඉතාම වැදගත් හැරවුම් ලක්ශය වුනේ ස්වින්ග් (swing) කියන කවුරුත් දන්න පොල් අඩියත්,  අර මිටියකින් ගහනවා වගෙ(hammer blow) එල්ල කරන ගෑණු පොල් අඩියත් වෙනුවට කෙලින් සරළ රේඛාවක් ඔස්සේ එල්ල කරන  ආරක්ෂාකාරී මුශ්ඨි ප්‍රහාරය (punches and jabs) ආදේශ කිරීම. (punch instead of swing).



ඒක වුනේ මෙහෙමයි. ඔය ඉස්කෝලවල  කොල්ලො ගහගන්නකොට මිට මොළවපු අත කවාකාරව පද්දලා ගහන පොල් අඩියම තමයි වැඩියෙම පාවිච්චි කලේ. හරියට  කම්මුල් පාරක් වගෙ පැත්තකින් මේක එන්නෙ.මම බොහෝ විට සටන් බලා ඉඳලා සෑහෙන දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම එකිනෙකාගෙ දුර්වලකම්.

ඔය ස්වින්ග් කියන පොල් අඩියෙ තියෙන ලොකුම දුර්වලකම තමයි, ඕක ලේසියෙන් බ්ලොක් කරන්න, මග හරින්න (dodge) පුලුවන් (පුහුණු වුනොත්). අනික තමයි ඔය පහර එල්ල කරන අතරේ පහර දෙන එකාගෙ පපුව, බඩ ආරක්ෂාවක් නැතිව නිරාවරණය වෙලා තියෙන්නෙ. කොටින්ම මේ බුලියලා තමන්ගෙ ආරක්ෂාව ගැන හිතුවෙ නෑ. ඒක අවශ්‍ය වුනෙත් නෑ.

ඇත්තෙනම ආරක්ෂාව අවශ්‍ය වුනේ මට. මොකක්ද කලින් කිව්වා වගේමට තිබ්බෙ පැවැත්ම සඳහා කරපු අරගලයක්. බුලියන්ට එහෙම දෙයක් නෑ. තමන්ට ඇති තැන රැකගන්න විතරයි උන්ට තිබ්බෙ. ඒකට මහා කැපවීමක් අවශ්‍ය නොවුනෙ අනිත් ළමයි උන් එක්ක පැටලෙන්න නොගිහින් පුලුවන් තරම් මග ඇරලා හිටපු නිසයි.

ඊලඟට වේගය හා කඩිසර බව. මෙයින් පොල් අඩිය මග ඇරීමටත් අවහිර කිරීමටත් උපකාරී වෙනවා. එතකොට දෙපා මත සමබරව සිටීම. (footwork) මේක මට ප්‍රගුණ කරන්න උදව් වුනේ බුලියොමයි නොදැනුවත්වම. මම හිටගෙන ඉන්න වෙලාවටත් මුන් පිටිපස්සෙන් ඉඳගෙන දනහිසෙ පිටිපස්සට පයින් ගහනවා. එතකොට දනහිස නැවිලා ඇදගෙන වැටෙනවා. ඔය නිසාම මම නිතරම  හිටියෙ සමබරව හිටගෙන. මුන් පුදුම වුනා මම නොවැටී ඉන්නකොට.

ඊලඟ දේ තමයි සටනක් වේගයෙන් විශාල කම්පනයක් ඇතිකරමින් අවසන් කිරීම (dramatic bloody finale). අනිත් වුන් කම්මුලට බඩට ගහද්දි මම ‍තෝරාගත්තෙ නහය කට වගෙ ලෙහෙසියෙන් තුවාල වෙලා ලේ ගලන ඉලක්ක. ලේ ගලන කටකින් පුදුම කම්පනයක් ඇතිකරන්න පුලුවන් ගුටිකාපු එකාගෙ වගේ නරඹන්නන් තුලත්.

මෙතනදි තමයි අර මුලින් කියපු බය සූත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ. අහලා තියෙනවද බය සූත්‍රය? නෑ නෑ රතන සූත්‍රය නෙවෙයි. බය සූත්‍රය. ඒක මෙහෙමයි. පන්තියේ චන්ඩියෙක් ඉන්නවා. චන්ඩියාට පහලින් චන්ඩි අංක 2, 3 ආදී වශයෙන් පිළිවෙලට ඉන්නවා. හරියට ප්‍රාන්ත රාජ්‍යයක තනතුරු වාගෙ. අනිත් පන්ති වලත් එහෙමයි. ඔය විදියට මුලු ඉස්කෝලෙම බය කරගෙන ඉන්න චන්ඩියෙකුත් ඉන්නවා. ඌටත් දෙවෙනියො  තුන්වෙනියො ඉන්නවා. හරියටම ෆෙඩරල් මහ ආණ්ඩුව වගෙ. දැන් මුළු ඉස්කෝලෙම අනියමින් පාලනය වෙන්නෙ කවුරු කාට බයද කියන එක අනුවයි.


“ඒයි උඹ මූට බයද? උඹ අරූට බයද?” වගෙ ප්‍රශ්ණ සුලභයි.

දැන් අපි හිතමු මම මේ පන්තියෙ දෙවෙනි චන්ඩියාට මම අල්ලගෙන ගැහුවා කියලා අම්බානක.  එතකොට මට තව දුරටත් තුන්වෙනියා හෝ ඊට  පහලින් ඉන්න  එවුන් එක්ක සටන් කරන්න අවශ්‍ය නෑ තව දුරටත්, මොකද බය සූත්‍රයට අනුව උං සටනකින් තොරවම  මට බය වෙනවා, මම උන්  බයේ හිටපු එකාට ගහපු නිසා. නමුත් ඒ බය සූත්‍රයටම අනුව මම තවම පළවෙනියට බයයි සටනකින් ඌව පරාජය කරනකල්.  මම ඔය තත්වය  කල්තියා අඳුරාගෙන තිබ්බේ.  මුලදි මම නිකං ශ්‍රමය වැය කලා අනවශ්‍ය නොවැදගත් සටන් වලට.

ඉස්කෝලෙන් ඉස්කෝලෙට සටන් සංස්කෘතියත් වෙනස්. සමහර ඉස්කෝලවල කට්ටියම එකතු වෙලා එකෙකුට ගහන්නෙ නෑ. එකා පස්සෙ එකා  මිසක.  වැටිලා ඉන්න එකාට ගහන්නෙ නෑ නැගිටලා එනකල්. නමුත් සමහර ඉස්කෝලවල මුළු පන්තියක්ම එකතුවෙලා එකෙකුට ගහන වෙලාවල් තියෙනවා. වැටිලා ඉන්න එකාට  වටවෙලා පයින් ගහන තිරිසන්නුත් ඉන්නවා.

මම අවාසනාවකට වගේ ඊ ලඟට ගිහින් වැ‍ටුනෙ එහෙම තැනකට. මුන්ට මාව කොහොමත් දිරෙව්වෙ නෑ කාරණා කිහිපයකට. එකක් ඉංග්‍රීසි ප්‍රශ්ණෙ.  ඒ කියන්නෙ මට ඉංග්‍රීසි බැරිවීම නෙවෙයි, ඉංග්‍රීසි පුලුවන් වීම, අනික උදේට තාත්තා මාවයි නංගිවයි මෝටර් බයික් එකෙන් ගෙනත් ගේට්‍ටුව ලඟ  බැස්සීම වගෙ හේතු ගොඩක් තිබ්බා.

මුලදි මග ඇරලා හිටියත්, මුන් මාව ටොයිලට් එක ලඟදී අල්ලා ගන්නවා. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ඉන්දැද්දී, එහෙම නැත්නම් එකෙක්  පිටිපස්සෙන් ඇවිත් හෙඩ්ලොක් එකක් දාගෙන ඉන්දැද්දී අනිත් උන් පෝලිමෙ ඇවිත් බඩට අනිනවා, කම්මුල් පාරවල් දෙනවා. කොරිඩෝවලදි ඇ‍ඟේ හැප්පෙනවා. නැතිනම් තව එකෙක්ව තල්ලු කරනවා ඇ‍ඟේ හැප්පෙන්න. ඊට පස්සෙ “මොකෝ ඩෝ ඇ‍ඟේ හැප්පෙන්නෙ? උඹ චන්ඩියෙක්ද?” කියලාදෙක තුනක් අනිනවා.

එතකොට පන්තියෙදි කඩදාසි ගුලි, චෝක් කෑලි ප්‍රහාරත්, පන්තියෙන් පිටදි වතුර බෑග් වලින් නෑවීමත්, පිටේ බෝඩ් එල්ලීමත් වගෙ තාඩන පීඩන  වලට නිතර භාජනය වෙනවා. මේ විදියට ටික දවසකින් මට ඉගෙන ගන්න ලැබුනා මුන්ගෙ පලවෙනියයි, දෙවෙනියයි කවුද කියන එක.

දවසක් මුන් මාව අල්ලගෙන අතපය හිරි  ඇරගන්න හදනකොටම මම කිව්වා,

“උඹලා මහා පීචං වැඩ කරන්නෙ. උඹලා මහ බයගුල්ලො” කියලා.

කට්ටිය කොච්චර පුදුම උනාද කියනවා නම් උන් මාව අත හැරියා.

පස්සෙ මම කිව්වා, “උඹලා නියම චන්ඩි නම් එකා එකා වරෙල්ලා. එකෙකුට වදිනකොට අනිකා අත දාන්න බෑ. චැලේන්ජ් කරල ගහගම්මුද?”

කට්ටියට මේ ‘චැලේන්ජ් කරල ගහගැනීම‘ අලුත් සංකල්පයක් උනත් කවුරුත් මේකට කැමති වුනා. වැඩියෙන්ම අර ‘අංක එකේ‘ චන්ඩියාට මේකට බැහැයි කියන්න බැරි වුනා, මොකද මම චැලේන්ජ් කලේ ඌටත් එක්ක නිසා.

ඊට පස්සෙ අපි දිනයක් යොදාගෙන උදේ පාන්දරක සෙට් උනා. මම හිතපු විදියට මුලින්ම ආවේ  අංක එකේ චන්ඩියා වන කෑඳැත්තා  නෙවෙයි.  ඩෙපියුටි නොහොත් දෙවෙනියා වන මොරයා. කෑඳැත්තා සැහැල්ලු වේගවත් පොරක්. මොරයා තරමක් හැඩි දැඩි, ඇහැ ලඟ පිලිස්සුම් තුවාල කැලලක්  තියෙන එකෙක්.

හැබැයි මුංගෙ කෙරුවාව හුඟක් වෙලාවට කටින් තමයි. හැමෝම මුංගෙ කටවල් වලටයි බය. ඔය පෙකිං ඕඩර් එකේ යට ඉන්න කට්ටිය මුන්ට බයේ ඉන්නෙ මුං එක්ක   ගහගෙනම නෙවෙයි, අර බය සූත්‍රයට අනුව.

සටනින් මොරයාට අයිති වුනු පරාජය මොරයාව විතරක් නෙවෙයි කවුරුත් සසල කලා. හුලං ගැහීම සාර්ථක ක්‍රමයක් බව නැවත වතාවක් වචනයෙන් පමනක් නොව, ක්‍රියාවෙන්ම සනාථ වුනා.

“ටිලිං… ටිලිං… ටිලිං…”

විවේක කාලයේ ආරම්භය සටහන් කරන සීනු නාදය මගේ සිතුවිලි දැහැන බිඳ දමා මා වර්තමානයේ රළු පොලොව මතට වැරෙන් පතිත කලා.

ඉන්ටවල් එකේදි දෙවෙනි වටය පටන් ගත්තා. මම නැවතත් නීති රීති කිව්වට පස්සෙ සටන ආරම්භ කලා. මේ පාර අධික ප්‍රේක්ශකයන් සංඛ්‍යාවක් හිටියා ‘අලුතෙන් ආපු එකා හුළං ගහනවා‘ බලන්න. මේකෙන් මට වඩා නොසන්සුන්තාවයෙන් හිටියෙ කෑඳැත්තා. මුගේ අර කලින් තිබ්බ චන්ඩි පාට්  මුකුත් තිබ්බේ නෑ. ඌට ‍රැකගන්න දැයක් තිබ්බත්, මට නැතිවෙන්න දෙයක් තිබ්බෙ නෑ, දිනාගන්න දෙයක් මිසක.
කෑඳැත්තාට තිබ්බ මොරයාට හෝ වෙන කිසි කෙනෙකුට නොතිබූ වේගයක්. මූ මීටර් සීය සූරයා.  උගෙ ප්‍රියතම ෂොට් එක, ඇත්තෙන්ම කිව්වොත්,  කම්මුල් පාරක්.

සටන පටන් ගත්ත ගමන්ම මූ එල්ල කරපු කම්මුල් පාරවල් දෙකක් මට චට චට ගාලා වැදුනා. ඒවා වේගවත්, ඒ වගෙම සැහැල්ලුයි. ඒ වගෙම වේදනාකාරීයි. එතකොටම  මම දවස් ගනනාවක්  බලා සිටි මගෙ අවස්ථාව උදා වුනා. මුල්ම පහර එල්ල කලේ කෑඳැත්තගෙ කටට. ලේ ගැලුවෙ තොල් පැලිලද, දත් බුරුල් වෙලාද කියන්න හරියට අමාරුයි. කොහොම හරි මුල්ම පහරින් කෑඳැත්තගෙ ලේ හෙලවුනා. මේ පහර ඌ කොහොමත්ම බලාපොරොත්තු වෙන්න නැති නිසාදෝ මූ ගිහින් දඩාස් ගාලා බිත්තියෙ ඇනුනා.

කෑඳැත්තා සැහැල්ලු නිසාමදෝ වේගෙන් නැගිටලා ආපහු ආවා. මූ ඉස්සරහට පැනලා පොල් අඩියක් එල්ල කලත් මම පාත් වුනේ නෑ. වමතින් අවහිර කලා විතරයි. මගෙ දනහිස් පාර මුගේ පරම්පරා කුට්ටමට එල්ල වුනාම මූ මෙල්ල වුනා. ස්වයංක්‍රීයවම ඉස්සරහට නැඹුරුවුනු කෑඳැත්තගෙ බඩටයි පපුවටයි එකවර එල්ල කරපු ද්විත්ව පහරවලින් එකකින් සටන නිමා වුනා.

කෑඳැත්තා දෑතින්ම ශරීරයේ තැන් දෙකක්  මිරිකා අල්ලාගෙන බිමට පාත් වුනා, වේදනාවෙන් ඇඹරෙමින්. කෙටි හුස්ම ගත්තෙ උගුරෙන් හඬක්  නගමින්. මේකා හදිස්සියෙ මැරුනොත් මොකද කරන්නෙ යන බියකරු සිතුවිල්ල හදිසියෙම මට වද දෙන්න ගත්තා. අනිත් උන් මූව ඇදගෙන යන්න ගියා. මගේ සිතට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනදෙමින් සීනු නාදයත් සමගම කෑඳැත්තා අමාරුවෙන් වුනත් තනියෙම ඇවිදාගෙන පන්තියට ගියා.

නිල වශයෙන් චන්ඩියා මම වුනත් මම ඔ‍ටුන්න භාර ගන්න ගියේ නෑ. ඒ ඉස්කෝලෙ ඉන්නතාක් කල් කිසිම කෙනෙක් මට අභියෝග කලෙත් නෑ.

කෑඳැත්තා ඉඳලා ඉඳලා කෙහෙල් ගහට කෙටූ බව වෙන පන්ති වල උන් කතාවෙන බව මට දැනගන්න ලැබුනා. කෑඳැත්තයි මායි ආයෙ කවදාවත් එකිනෙකාට කතාකරෙත් නෑ. මේ සටනට පස්සෙ මම ඒ ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට ගියා. නමුත් දශක කීපයකට කලින් වෙච්ච මේ සටනෙ  බලපෑම කොච්චරද කිව්වොත් දැනුත් කෑඳැත්තා මගෙ මූන බලන්නෙ නෑ. ඉතාම කලාතුරකින් හමුවුනත්, හරියට අඳුනගන්න බැරි වුන බවයි  පෙන්නන්නෙ.

මොරයා නම් මම ඉඳහිට දකිනවා. ඌත් මුලදි මුලදි මාව මග ඇරියා. රස්සාවට කොම්පැණියක වාහනයක් එලවන නිසාදෝ  ඒකා දැන් මට කතා කරන්නෙ ‘මහත්තයා’ කියලා. මම නං ඌට මචං කියලා කතා කරනවා.

පසු වදන:

මේ කතාවෙන් ගන්න ආදර්ශයක් තියෙනවද කියන එක මට කියන්න අමාරුයි. මොකද සැබෑ ජීවිතයේ සිදුවෙන්න ඇතැම් සිදුවීම ආදර්ශමත් සිදුවීම් නොවන නිසා. නමුත් ඔබේ දරුවා ගැන කල්පනාවෙන් ඉන්න. සමේ ලප කැලැල්, හැසිරීමේ වෙනස්කම්, නොසලකා හරින්න එපා.

මීට කලකට පස්සෙ මගේ දියණිය මේ ආකාරයටම බුලී වෙන බව මට කිව්වෙ ඇය ගිය කොළඹ පෞද්ගලික බාලිකා පාසැලේ වෙනත් සිසුවියන්. මගේ කෙල්ල පන්තියෙ අනිත් ළමයිනට වඩා වයසින් අවුරුදු දෙකක් විතර බාල, ශරීරයෙන් කුඩා හුරුබුහුටි දැරියක්. අහලා බැලුවම කතාව ඇත්ත. ඇයට අල්ලාගෙන පහර දෙන්නෙ වෙනත් පන්තියක ඉන්න විශාල බුලිච්චියො.

මුලින්ම මම නියමිත ප්‍රමිතියට අනුව පන්ති භාර ගුරුතුමියට, අංශ භාර ගුරුතුමියට, ඒ වගෙම විදුහල්පතිතුමියට පිළිවෙලින් කිහිප වතාවක් පැමිණිළි කලත්, හිතූ ආකාරයටම කිසිම ප්‍රතිඵලයක් නොලැබුන නිසා මම මගේ පරණ ‘Blogwalker Method of Fighting Terror With Terror’ ක්‍රමයට අකමැත්තෙන් වුනත්  ආපහු ගියා.  මුලින්ම, මම කෙල්ලට මූලික taekwondo punches and kicks පුහුණු කලා. කෙල්ල මගේ බඩට පහර දෙමින් ශාස්ත්‍රය ප්‍රගුණ කලා සති කිහිපයකින්. මම ඇයට කියලා තිබ්බෙ මම කියන තෙක් බුලියන්ට පහර දෙන්න එපා කියලා. මුලදි මගේ උදරයට  ලපටියට වැදුනු සිඟිති අත් හා පා  පහරවල්  ක්‍රමයෙන්  එල්ලයට එල්ලවන වේදනාත්මක පහරවල් බවට පත්වුනා.   දීපා මේ දිහා බලා හිටියෙ තරමක චකිතයෙන් බව මම දැනගෙන හිටියා.

මම එදත් ඇයව එක්ක එන්න සුපුරුදු විදියට පාසැලට ගියා. එදා ගෙදර යන්න පෙර මම  විදුහල්පතිනිය මුණ ගැසීමට අවශ්‍ය බව මට කිව්වෙ කෙල්ලමයි. මම දොරෙන් ඇතුල්වෙනවාත් එක්කම මග බලා හිටි විදුහල්පතිණිය, “බලන්න මිස්ට බ්ලොග්වෝකර් දුව කරලා තියෙන හපන්කම. මෙයා අර ලමයි වගේකට අතින් පයිනුත් ගහලා අන්තිමට හෙල්මට් එකෙනුත් ගහල කියලා අද කම්ප්ලේන්ට් එකක් ආවනේ. අපි එයාට අවවාද කලා. මිස්ට බ්ලොග්වෝකරුත් පොඩ්ඩක් කියන්නකො”.

බලමුකො නීතිය වහාම ක්‍රියාත්මක වෙලා තියෙන අපූරුව! පස්සෙ දෙන්න එක්ක බයික් එකේ එනගමන්, කෙල්ල පෙට්‍රල් ටැංකිය උඩ ඉඳගෙන මට කතාවෙ සාරංශය කිව්වා. පස්සෙ දීපාවත් එයාගෙ ඉස්කෝලෙ ගාවින් නග්ගාගෙන කතාව විස්තර ඇතුව නැවත අහගත්තා.  මම කිව්වා ආත්මාරක්ෂාවට විතරක්  ඉගෙනගත්ත දේ පාවිච්චි කරන්න කියලා. මම දැනුවත්ව ඊට පස්සෙ බුලිච්චියො කෙල්ලට කරදර කරලා තිබ්බෙ නෑ.

මේ සිද්ධියත් ආදර්ශමත් නොවෙන්න පුලුවන්. මේ ක්‍රමය මම කාටවත් රෙකමෙන්ඩ්  කරන්නෙත් නෑ. ඔය සිද්ධියෙ ඇත්ත ඇති සැටියෙන්ම කියලා තියෙන්නෙ. මම කරපු දේ තාත්තා කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්. එතකොට අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව හදාරපු ගුරුවරයෙකුට  කරන්න තරම් නොවෙන්න පුලුවන්. නමුත් මම ඒ දේ නොකලා නම් මගේ කෙල්ල  දිගින් දිගටම බුලි වෙලා, ඉස්කෝලෙත් එපා වෙලා, පෞරුශ වර්ධනයත් අඩාල වෙලා, මහා විනාශයක් වෙන්න තිබ්බා. ඒ මොකවත් වුනේ නෑ. මේ ගැන මගෙ කෙල්ල දාන කමෙන්ට් එක බලමු.

 

ටැග: , , , , , , , ,

54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

ඔව් කියමු බලන්න. මේ මොන ගොං ප්‍රශ්නයක්ද? ඕකත් අහන්න දෙයක්ද? ම්ම්ම්..

හරි ලියන්න බලන්න උත්තරේ සිංහල අකුරෙන් ලඟම තියෙන කොල කෑල්ලක, එහෙමත් නැත්නම් Sticky Note එකක. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා නේද? මොකද /z/ශබ්දය සිංහලෙන් ලියන එක. ඒකට මෙහෙම කරමු. zස. දැනට වැඩේ ගොඩනෙ. හරි දැන් ලියමු බලන්න.

දැන් හරිනම් ඔබා අයියා වගේ මීයාගෙ බෝලේ කරකවාගෙන කරකවාගෙන පහලට යන්නනෙ තියෙන්නෙ. නෑ. අපි ඒ ඉඩෙනුත් ප්‍රයෝජනයක් ගනිමු.

මගේ බ්ලොග් සගයන් ලියාතියෙන සමහර ලිපිවල, ඒ වගෙම ප්‍රතිචාරවල අන්තර්ගතය, ඒ කියන්නෙ ඉංග්‍රීසි බැරිකමින් සිදුවුනු අකරතැබ්බ, ලජ්ජාවට පත්වීම් දැක්කම, මට හිතුනු දෙයක් තමයි පොඩි ඉංග්‍රීසි පන්තියක් දාන්න. චෙහ්! සල්ලි වලට නෙවෙයි. නොමිලේ. ගෙදර නෙවෙයි බ්ලොග් එකේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලාත් ඒ මදිවට ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන්නෙක් වෙලාත් මුන් වෙනුවන් යමක් නොකලොත් වැරදියි කියලා හැඟීමක් හිතට වද දෙන්න ගත්තා.

හා හා ඔහොම ඉන්න ඉන්න. හදිසි තීරණවලට පනින්න එපා. මේ කියන්නෙ ‘මට හිතෙන හැටි’ අධ්‍යාපන කඩයක් කරන්න යනවා කියන එකවත් මේක ඉංග්‍රීසි උගන්නන බ්ලොග් එකක් කරන්න යනවා කියන එකවත් නෙවෙයි. මම හිතන්නෙ ඉංග්‍රීසි උගන්නන බ්ලොග් එකක් දැනටමත් තියෙනවාද කොහෙද. මේ කරන්නෙ කාටත් අමතකවුන, අතපසුවුන නමුත් ඉතාම ප්‍රයෝජනවත් වෙනත් පැත්තකට අතගහන්න.

මෙතනදි මුලින්ම කියන්න දෙයක් තියෙනවා. ආකල්පමය වෙනසක්. ඉංග්‍රීසිත් එක්ක තරහෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න අමාරුයි. සමහර අයගෙ තියෙන්නෙ   ඉංග්‍රීසි සම්බන්ධයෙන් විරෝධාකල්පයක්, සතුරු ආකල්පයක්.  එහෙම නම්  අමාරුයි.

ඉංග්‍රීසි මවු භාෂාව නොවන අනිත් හැම ජාතියක්ම වගෙ අපිටත් තියෙනවා ආවේනික දෝශ. මේවා සමහරවිට හාස්‍යජනකයි, ඒ වගෙම ඓතිහාසිකයි. වැ‍රැද්ද පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයන්නත් අමාරුයි. සියවස් ගනනාවක්ම කිසිකෙනෙකුගෙ අවධානයට ලක්නොවී පරම්පරාවෙන් පරම්පරාවට ගිය සමහර දේ තියෙනවා. මේකෙ තියෙන ලොකුම ප්‍රශ්ණෙ මෙතන වැ‍රැද්දක් තියෙන බවවත් කෙනෙක් නොදන්න එකයි. අනික ඉතාම උගත් පුද්ගලයා පවා නොදැන මේ වැරදි කරන්නවා දකින්න පුලුවන්.

මතක තියාගන්න හැම කෙනාම කරපු පමනින් වරදක් නිවැරදි වෙන්නෙ නෑ. ඒ වගෙම මේ මතයට විරුද්ධව අවි අමෝරාගෙන එන්න පුලුවන් ඉංග්‍රීසි භාෂාවේ අයිති කාරයො. සැලෙන්න එපා. මේ පාඩම ඒ අයට නෙවෙයි. යමක් ඉගෙනගන්න කැමති, වරදක් හදාගන්න තරම් නිහතමානීවන ඔබ සඳහාමයි. හොඳ ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගන්න කැමති ඔබ සඳහාමයි.

හොඳයි, දැන් මොකක්ද අර ප්‍රශ්නෙට උත්තරේ? ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

ඔය තියෙන්නෙ බඩු!

මට ඔබ ලිව්ව දේ දකින්න බැරි වුනත් හිතා ගත්තහැකි. “ඉසෙඩ්” නේ? නැත්නම් අර මම කිව්ව විදියට ඉzසෙඩ් නේ? ඔබ තනි නෑ. මේ තියෙන්නෙ ඒකට උත්තරේ. ජාතික පුවත්පත්වල, රජයේ නිවේදනවල, රටේ වගකිවයුතු පුද්ගලයන්ගෙ ප්‍රකාශවලත් මේ තියෙන්නෙ.

මට කිසිම සැකයක් නෑ මේ ලිපිය කියවන ලංකාවෙ ජීවත්වෙන අයගෙන් සීයට අනූවක්ම දෙන්නෙ ඔය උත්තරේ බව. හේතුව කිසිදා කිසිකෙනෙක් ඔබව නිවැරදි නොකිරීම.

ඇත්තටම මෙන්න නිවැරදි කිරීම.

‘”ඉසෙඩ්”කියලා අකුරක් නෑ ඕයි!’

ඉසෙඩ් කියලා අකුරක් ඉංග්‍රීසි භාෂාවේ නෑ කිව්වොත් ඔබ පිලිගන්නවද?

අපි කැමති වුනත් අකමැති වුනත් ඉංග්‍රීසි භාෂාවේ ලෝකයම පිළිගත්ත උච්ඡාරණ විධි දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒ තමයි අමෙරිකානු (මින් ඉදිරියට US යනුවෙන් හඳුන්වමු) අනික බ්‍රිතාන්‍ය(මින් ඉදිරියට UK යනුවෙන් හඳුන්වමු. (හරි හරි ඔබා අයියා, AusE, NZE, එහෙමත් තියෙනවා තමයි මයිට් (mate) කලබොල වෙන්න අවශ්‍ය නෑ)

ඔය අකුර ඇත්තටම එක්කො

zසෙඩ් (බ්‍රිතාන්‍ය උච්ඡාරණය)

නැතිනම්

zසී (අමෙරිකානු උච්ඡාරණය)

ඔබට මම කියෙන දේ විශ්වාස නැතිනම් ඉංග්‍රීසි-ඉංග්‍රීසි ශබ්දකෝශයක බලන්න පුලුවන්. (ඉංග්‍රීසි-සිංහල නෙවෙයි) නමුත් ඔබට සිදුවෙයි IPS (International Phonetic Symbols) ඉගෙනගන්න සහ පාවිච්චි කරන්න. IPS වලින් මට හිතෙන හැටි ලියන්නෙ මෙහෙමයි./mɅtə hiθenə hæti/

ඔබ දකීවි මේ ආකාරය.

/zed/ (UK) /zi:/ (US)

ඒක මාර කතාවක්නෙ. එතකොට කොහෙන්ද යකෝ අර “ඉ” යන්න ආවෙ? ඔබ අනිවා කල්පනා කරනවා ඇති. ඒකට උත්තරේ හොයන්න ‘මට හිතෙන හැටි’යට නම් වැඩි දුර යන්න ඕනෙ නෑ. ලඟමයි තියෙන්නෙ. මේ අල්ලපු වැටේ. හිතන්න බලන්න.

ම්ම්ම්ම්? ඊට කලින් අකුර මොකක්ද? Y වයි නේ? අපිට මුලින්ම ඉංග්‍රීසි උගන්නපු කාලෙ සමහරවිට එක්දාස් අටසිය ගනන්වලදිම වයි අකුරෙ යි කෑල්ල zසෙඩ් අකුරට ඇලිලා. කවුරුවත් නෝට් කරලා නෑ. මේ අහිංසක බ්ලොග්වෝකරයා ඕක නෝට් කරන කල්!!

 

ටැග: , , , ,

53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

මෙන්න තුන්වෙනි පොලිස් කතාව.

පහුගිය දෙසැම්බර් නිවාඩුවෙ අන්තිම දවස්. කොල්ලුපිටියත් බම්බලපිටියත් අතර ගාලු පාර. නවීකරණය කර ඇති මාර්ගයේ වර්ණ සංඥා එලි එල්ලලා තියෙන්නෙ පාරට ඉහලින්. අංකයක් හොයමින් හෙමින් ධාවනය කරමින් හිටි අපේ ඉදිරියට පැන්න පොලිස් නිළධාරියා වාහනය නවත්තන්න සංඥා  කලා. මමත් ලාංකික ක්‍රමයට ලියකියවිලි අර වාහනයෙන් බහින කොටම දීපා කලා ඉල්ලීමක්. “අනේ හෙන්රි ආගියූ කරන්න යන්න එපා. ගහන දඩයක් ගහපුදෙන්.”

“රතු ලයිට් එක හරහා ගියේ මොකද?”

“මොන රතු ලයිට් එකද?”

“දැක්කෙත් නෑ හා? දැක්කෙත් නෑ? අන්න අර රතු ලයිට් එක”

“මම හොඳට ලයිට් දිහා බලාගෙන ආවෙ. ඒක මම එනකොට නම් කොළ පාටයි. මැදදි තැඹිලි වුනාද දන්නෙ නෑ.”

“අනිත් වාහන නතර කලා. මහත්තයා ආවා කඩාගෙන.”

“මම ආවෙ තව වාහන කීපයක් එක්ක එකට රාළහාමි අත අල්ලනකොට. ඒ අය ගියා.”

“නෑ. අනිත් වාහන ඔක්කොම නතර කලා. ඔයා ආවා කඩාගෙන.”

“හරි”

මම කට පියාගන්න තීරනය කලා.

ලියකියවිලි ඉල්ලාගත් පොලිස් නිළධාරියා, තව බොහෝ දේ කියවූවත් මම ‘හ්ම්’ ‘හ්ම්’ ගෑවා විතරයි. ඇයි දෙවියනේ මේ අසාධාරණේ කාටවත් පේන්නෙ නැති හැටි. නඩුත් හාමුදුරුවන්ගෙ. බඩුත් හාමුදුරුවන්ගෙ.

“මේකට නඩුවක් දාන්න ඕනෙ.”

“නඩු දාන්න එපා රාලහාමි, දඩයක් ගහන්න.”

“අපිත් දන්නවා මේ වගෙ පොඩි වැ‍රැද්දකට නඩු දැම්මම   කාටත් නිරපරාදෙ රස්තියාදු වෙන්න වෙන බව. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න. මොකද සද්ද නැතුව ඉන්නෙ?”

කාටද මේවා කියන්නෙ? කතා නොකර හිඳීමත් වරදක්!!!

“මම කියන්න තියෙන දේ කියලා තියෙන්නෙ. වෙන මොනවා කතා කරන්නද?”

“කොහෙද ගම? ආහ්, මේ පොලිසියට මිනිස්සු ගැහුවා නේද? හහ් හහ්! මහත්තයත් හිටියද? හහ් හහ්!

“ගැහුවලු. මමත් දැක්කෙ ඉන්ටනෙට් එකෙන්. මම ලංකාවෙ හිටියෙත් නෑ.”

දඩ කොලය ලියා මගේ රියැදුරු බළපත්‍රය වෙනුවට තාවකාලික රිසිට් පතත්  එක්ක අතට දීපු පොලිස් නිලධාරියා,

“මේක අහවල් පොලිසියට ගෙවන්න. මහත්තයාට හුඟක් වැඩ තියෙනවා නම් වෙන කෙනෙක් අතේ එවන්නත් පුලුවන්.”

“හරි, බොහෝම ස්තුතියි. අපි යනවා.”

පහුවදා උදේම ආපහු කොළඹ ගිහින් දඩේ ගෙව්වා නොකල වරදකට.

ඔන්න ඉඳලා ඉඳලා අන්තිමට දඩේ ගැහුවා. ඇත්තෙන්ම මට හිතෙන විදියට මට දඩ ගහන්න මූලික  හේතුව, තර්ක කරන්න හරි, පින්සෙන්ඩු වෙන්න හරි නොගිහින් කට පියාගෙන ඉඳීමයි.

 

ටැග: , , , , , , , ,

52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

මෙන්න දෙවෙනි පොලිස් කතාව. පොළොන්නරුව මඩකලපුව මාර්ගය. වෙලාව හවස පහ පහු වුනා විතරයි. අපිට ඉදිරියෙන් ගමන් කලේ හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් වාහනයක්. අපේ අවධානය මේකට යොමුවුනේ මේකේ තිබ්බ විදේශීය අංක තහඩුව නිසයි. මේකත් ගමන් කලේ තරමක් හෙමින් නිසාත්, දිගටම තිබ්බ සුදු ඉර නිසාත් අපි පාරේ නියම පැත්තෙ නියමිත වේගයට ගමන් කරපු බව සහතිකයි. අපි මොහොතකට කලින් පසුකල නගරය පුරාම එදා දකින්න තිබ්බ අසාමාන්‍ය නිළ ඇඳුම් සංඛ්‍යාව නිසා මම ඉතාමත්ම කල්පනාවෙන් ගියේ.

ලස්සන වෙලයායක්. කොක්කු පිරිලා. ඔය ඉන්නෙ.

ඔන්න ස්වභාව සෞන්දර්යය දෙගුණ තෙගුණ කරමින් ඉන්නවා කාකි සූට් කීපයක්. දැම්ම අත. විදේශික හොන්ඩා සිවික් එකට නෙවෙයි. මේ අහිංසක මට. මමත් නියමිත ප්‍රමිතියටම නවත්තලා, සන්වයිසරයෙන් ලියකියවිලි අතට ගන්නකොටම ආවා ඉතාම තරුණ පොලිස් නිළධාරියෙක් දොර ලඟටම, කට කොනකට අර ශර්ලොක් හෝම්ස් හිනාව දාගෙන. මෙන්න මුල්ම වාක්‍යය. මේක ඇහුවේ අර ගුරුවරයෙක් නිතර වැරදි කරලා අහුවෙන ළමයෙකුගෙන් අහන විදියට.

“මහත්තයා වැරදි කීයක් කලාද?”

“මම එකම වැ‍රැද්දක්වත් කලේ නෑ.”

මම වාහනේ ඇතුලේ ඉඳගෙනම උත්තර දුන්නා.මට හොඳටම විශ්වාසයක් තිබ්බා මම කිසිම වැ‍රැද්දක් නොකරපු බවට. ලපටි පොලිස් නිළදාරිය ඇස් ලොකු කලා. ඔලුව දෙපැත්තට වැනුවා.

“මහත්තයා කිසිම වැ‍රැද්දක් කලේ නෑ?”

“රාළහාමි, මම කිසිම ට්‍රැ‍ෆික් වරදක් දැන් කලේ නෑ!” කියපු මම පිටිපස්සත් බලලා වාහන එන්නැතිබව සහතික කරගෙන දොර ඇරලා එලියට බැහැලා වාහනේ ඉස්සරහම හිට ගත්තා වැඩි දුර සංවාදය සඳහා.

“මහත්තයා තාමත් කියන්නෙ කිසිම වරදක් කලේ නෑ කියලා? හොඳට හිතලා බලන්න. කෝ දෙන්න බලන්න ලයිසන්ස් ඉන්ෂුවරන්ස්.”

මම වෑන් එකට අදාල ලියකියවිලි දුන්නා. ඒවා පෙරලා පෙරලා බලලා මම නොදීපු මගෙ බයික් එකේ ලියකියවිලි දිහා බලලා,

“ඔය මොනවද?”, කියලා ඇහුවා. “ඒ මගෙ බයික් එකේ ඩොකියුමන්ට්ස්. ඒ බයික් එකත් මගෙම තමයි. ඒක මේකට අදාල නෑ. මම ඩොකියුමන්ට්ස් සෙට් දෙකම ගෙනියනවා කොයි වාහනේ ගියත්.”

“හරි, එතකොට මහත්තය පිළිගන්නෙම නෑ වරදක් කරපු බව.”

මිනිහෙක් කොච්චර ඉවසුවා උනත් ඒකෙත් සීමාවක් තියෙනවනෙ. දැන් දැන් සීමාව පැනගෙන එන බව මට දැනෙන්න අරන් තිබ්බෙ.

“මේ රාළහාමි, මම සමහර පන්සිල් පද කඩලා ඇති. නමුත් රාළහාමිට ඕනෙ ඒව ගැන දැනගන්න නෙමෙයිනෙ. මම දැන් කිසිම ට්‍රැ‍ෆික් ඔෆෙන්ස් එකක් කරලා නෑ. උදාහරණයක් විදියට මම අර ඉස්සරහින් ආපු ෆොරීන් ප්ලේට් තියෙන හොන්ඩා හයිබ්‍රිඩ් එක පිටිපස්සෙ ආවා සෑහෙන දුර. ඒක ගියේ ගාට ගාට, නමුත් මම ඉස්සර කලේ නෑ”

“ඒ කියන්නෙ ඉස්සර කරන්න හිතුන?”

“නැතුව? මට බැටික්ලෝ යන්න ඕනෙ රෑ වෙන්න කලින්. දැන් පහයි. ඒත් මම ඉස්සර කලේ නෑ හිතුනට.”

“ඒ කියන්නෙ, මහත්තයට ඉර කපාගෙන ඉස්සර කරන්න හිතුනා.”

“ඒක තමයි මම කිව්වෙ. ඉස්සර කරන්න හිතුනට ඉස්සර කලේ නෑ.”

“නමුත් හිතුනා කියන්නෙ ඉස්සර කරන්න ඉඩ තිබුනා”

“මේ රාළහාමි, හිතුනට නඩු දාන්න, දඩ ගහන්න පුළුවන්ද, ඒ වරද කලේ නැත්නම්?”

තරමක් වෙලා හිනාවෙවී මා දිහා බලාගෙන හිටිය පොලිස් කොලුවා මගෙ අතට ලියකියවිලි ටික දුන්නා.

“මම නිකං බැලුවෙ. යන්න මහත්තයා.”

මම මාරාවේශයෙන් වාහනයට නගිනකොට අපිත් එක්ක ගමන් කරපු ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක්ගෙ බිරිඳක් වන මගෙ ඥාති සොහොයුරිය මේ කතාව ඔක්කොම අහගෙන ඉඳලා තියෙන්නෙ.

“මල්ලි, ඔයා වැනෙන්නෙ නැතුව කෙලින් කතා කරපු නිසා තමයි ඒකාට කරගන්න දෙයක් නැතුව ගියේ. වෙන කාට හරි නං දඩයක් ගහලම තමයි එවන්නෙ . බලන්නකො ඌ කියපු අපූරුව ‘මම නිකං බැලුවෙ’ කියලා.”

“ඔන්න ඕකයි අක්කෙ, ඔයගොල්ලො වගේ පොලීසියෙ නොවන, අපිවගෙ අයට තියෙන ප්‍රශ්නෙ. ඔය දෙන්න වාහනේ යනකොට නැවැත්තුවද, අයියගෙ ID එක දුන්න ගමන්, ‘යන්න සර්’ කියනවා මොන වරද කලත්. ඔයා ගෙදර ගියාම කියන්න අයියට.” මම කිව්වා.

“අයියට කියන්න නෙවෙයි තියෙන්නෙ. ඔයා ඕක ලියන්න පත්තරේට!” අක්කා දත්මිටි කකා කිව්වා.

“පත්තරේ නෙවෙයි මම ලියන්නම් මගෙ බ්ලොග් එකේ.”

 

ටැග: , , , , , , , ,