RSS

52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

05 Mar
52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

මෙන්න දෙවෙනි පොලිස් කතාව. පොළොන්නරුව මඩකලපුව මාර්ගය. වෙලාව හවස පහ පහු වුනා විතරයි. අපිට ඉදිරියෙන් ගමන් කලේ හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් වාහනයක්. අපේ අවධානය මේකට යොමුවුනේ මේකේ තිබ්බ විදේශීය අංක තහඩුව නිසයි. මේකත් ගමන් කලේ තරමක් හෙමින් නිසාත්, දිගටම තිබ්බ සුදු ඉර නිසාත් අපි පාරේ නියම පැත්තෙ නියමිත වේගයට ගමන් කරපු බව සහතිකයි. අපි මොහොතකට කලින් පසුකල නගරය පුරාම එදා දකින්න තිබ්බ අසාමාන්‍ය නිළ ඇඳුම් සංඛ්‍යාව නිසා මම ඉතාමත්ම කල්පනාවෙන් ගියේ.

ලස්සන වෙලයායක්. කොක්කු පිරිලා. ඔය ඉන්නෙ.

ඔන්න ස්වභාව සෞන්දර්යය දෙගුණ තෙගුණ කරමින් ඉන්නවා කාකි සූට් කීපයක්. දැම්ම අත. විදේශික හොන්ඩා සිවික් එකට නෙවෙයි. මේ අහිංසක මට. මමත් නියමිත ප්‍රමිතියටම නවත්තලා, සන්වයිසරයෙන් ලියකියවිලි අතට ගන්නකොටම ආවා ඉතාම තරුණ පොලිස් නිළධාරියෙක් දොර ලඟටම, කට කොනකට අර ශර්ලොක් හෝම්ස් හිනාව දාගෙන. මෙන්න මුල්ම වාක්‍යය. මේක ඇහුවේ අර ගුරුවරයෙක් නිතර වැරදි කරලා අහුවෙන ළමයෙකුගෙන් අහන විදියට.

“මහත්තයා වැරදි කීයක් කලාද?”

“මම එකම වැ‍රැද්දක්වත් කලේ නෑ.”

මම වාහනේ ඇතුලේ ඉඳගෙනම උත්තර දුන්නා.මට හොඳටම විශ්වාසයක් තිබ්බා මම කිසිම වැ‍රැද්දක් නොකරපු බවට. ලපටි පොලිස් නිළදාරිය ඇස් ලොකු කලා. ඔලුව දෙපැත්තට වැනුවා.

“මහත්තයා කිසිම වැ‍රැද්දක් කලේ නෑ?”

“රාළහාමි, මම කිසිම ට්‍රැ‍ෆික් වරදක් දැන් කලේ නෑ!” කියපු මම පිටිපස්සත් බලලා වාහන එන්නැතිබව සහතික කරගෙන දොර ඇරලා එලියට බැහැලා වාහනේ ඉස්සරහම හිට ගත්තා වැඩි දුර සංවාදය සඳහා.

“මහත්තයා තාමත් කියන්නෙ කිසිම වරදක් කලේ නෑ කියලා? හොඳට හිතලා බලන්න. කෝ දෙන්න බලන්න ලයිසන්ස් ඉන්ෂුවරන්ස්.”

මම වෑන් එකට අදාල ලියකියවිලි දුන්නා. ඒවා පෙරලා පෙරලා බලලා මම නොදීපු මගෙ බයික් එකේ ලියකියවිලි දිහා බලලා,

“ඔය මොනවද?”, කියලා ඇහුවා. “ඒ මගෙ බයික් එකේ ඩොකියුමන්ට්ස්. ඒ බයික් එකත් මගෙම තමයි. ඒක මේකට අදාල නෑ. මම ඩොකියුමන්ට්ස් සෙට් දෙකම ගෙනියනවා කොයි වාහනේ ගියත්.”

“හරි, එතකොට මහත්තය පිළිගන්නෙම නෑ වරදක් කරපු බව.”

මිනිහෙක් කොච්චර ඉවසුවා උනත් ඒකෙත් සීමාවක් තියෙනවනෙ. දැන් දැන් සීමාව පැනගෙන එන බව මට දැනෙන්න අරන් තිබ්බෙ.

“මේ රාළහාමි, මම සමහර පන්සිල් පද කඩලා ඇති. නමුත් රාළහාමිට ඕනෙ ඒව ගැන දැනගන්න නෙමෙයිනෙ. මම දැන් කිසිම ට්‍රැ‍ෆික් ඔෆෙන්ස් එකක් කරලා නෑ. උදාහරණයක් විදියට මම අර ඉස්සරහින් ආපු ෆොරීන් ප්ලේට් තියෙන හොන්ඩා හයිබ්‍රිඩ් එක පිටිපස්සෙ ආවා සෑහෙන දුර. ඒක ගියේ ගාට ගාට, නමුත් මම ඉස්සර කලේ නෑ”

“ඒ කියන්නෙ ඉස්සර කරන්න හිතුන?”

“නැතුව? මට බැටික්ලෝ යන්න ඕනෙ රෑ වෙන්න කලින්. දැන් පහයි. ඒත් මම ඉස්සර කලේ නෑ හිතුනට.”

“ඒ කියන්නෙ, මහත්තයට ඉර කපාගෙන ඉස්සර කරන්න හිතුනා.”

“ඒක තමයි මම කිව්වෙ. ඉස්සර කරන්න හිතුනට ඉස්සර කලේ නෑ.”

“නමුත් හිතුනා කියන්නෙ ඉස්සර කරන්න ඉඩ තිබුනා”

“මේ රාළහාමි, හිතුනට නඩු දාන්න, දඩ ගහන්න පුළුවන්ද, ඒ වරද කලේ නැත්නම්?”

තරමක් වෙලා හිනාවෙවී මා දිහා බලාගෙන හිටිය පොලිස් කොලුවා මගෙ අතට ලියකියවිලි ටික දුන්නා.

“මම නිකං බැලුවෙ. යන්න මහත්තයා.”

මම මාරාවේශයෙන් වාහනයට නගිනකොට අපිත් එක්ක ගමන් කරපු ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක්ගෙ බිරිඳක් වන මගෙ ඥාති සොහොයුරිය මේ කතාව ඔක්කොම අහගෙන ඉඳලා තියෙන්නෙ.

“මල්ලි, ඔයා වැනෙන්නෙ නැතුව කෙලින් කතා කරපු නිසා තමයි ඒකාට කරගන්න දෙයක් නැතුව ගියේ. වෙන කාට හරි නං දඩයක් ගහලම තමයි එවන්නෙ . බලන්නකො ඌ කියපු අපූරුව ‘මම නිකං බැලුවෙ’ කියලා.”

“ඔන්න ඕකයි අක්කෙ, ඔයගොල්ලො වගේ පොලීසියෙ නොවන, අපිවගෙ අයට තියෙන ප්‍රශ්නෙ. ඔය දෙන්න වාහනේ යනකොට නැවැත්තුවද, අයියගෙ ID එක දුන්න ගමන්, ‘යන්න සර්’ කියනවා මොන වරද කලත්. ඔයා ගෙදර ගියාම කියන්න අයියට.” මම කිව්වා.

“අයියට කියන්න නෙවෙයි තියෙන්නෙ. ඔයා ඕක ලියන්න පත්තරේට!” අක්කා දත්මිටි කකා කිව්වා.

“පත්තරේ නෙවෙයි මම ලියන්නම් මගෙ බ්ලොග් එකේ.”

 

ටැග: , , , , , , , ,

25 responses to “52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

  1. Nihal Gurusinghe

    මාර්තු 5, 2012 at 6:22 පෙ.ව.

    මේ ලංකාවෙ පොලිසියද ? ඇති ඔයින් ගියා. මට මෙහෙම දෙයක් වුනා දවසක්. මම ගිය වාහනය නැවැත්තුවා. මම ටිකක් තරුණ වයස පහු කරමින් ඉන්න කෙනෙක්. මට හොඳටම ෂුවර් මගෙන් කිසිම වැරැද්දක් නොවුන බව. මම මෙහේ පුරුද්දට වාහනයෙන් නොබැසම හිටියා.
    ” ඕයි.. බැහැල එනවා….” මොනව කරන්නද මම බැහැල ගියා.

     
  2. ඉඳුනිල්

    මාර්තු 5, 2012 at 8:15 පෙ.ව.

    හප්පා, ඔක්කොමලගේ වගේ හැටි ඔහොමයි. එකම එකයි මට හම්බ වෙලා තියෙන්නේ ආචාරශීලී විදියට කතා කරන..

    එක දවසක් මම ගෙදර වැඩ කරපු බාසුන්නැහැලට උදවු කරමින් හිටි ගමන්ම අපිරිසුදු ඇඳුමින්ම ගියා පොඩි ගමනක් (කෙසෙල් ගන්න, මතක ඇති මම කලින් කිව්වා). ළඟපාතක අවසර ඇති නැවතුම් ස්ථානයක් නැති නිසාම, මාර්ගය සුලුවෙන්වත් අවහිර නොවන ආකාරයට පළතුරු කඩේ ළඟ නැවැත්තුවා. ඇත්ත නීත්‍යානුකූලව මම වැරදියි. ඒත් පාර එහා පැත්තේ හිටපු පොලිස් බුවා මට කතා කලේ “ඒයි , මෙහෙ වරෙන්!!! කියන ආමන්ත්‍රණයෙන්”.

    මේ එක්ක මට තව කතාවක් මතක් වුනා , මීට‍ අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ යුද්ධය තිබුන කාලයේ හමුදා මුර කපොල්ලක් ළඟින් යන්න ගිය මට එතන එවැන්නක් තිබෙන බව අමතකම වෙලා හිටියේ. මුර කපොල්ලක් වුනත් එතන මාර්ගය අවහිර කරපු තැනකුත් නොවෙයි. කොහොම හරි මම දැක්කේ කළුවරේ පාර මැද හිටගෙන ඉන්න මනුස්සයෙක් විතරයි.ඔහු සෙබළෙක් බවක් මට පෙනුනෙම නැහැ. නලාව ශබ්ද කරමින්ම ඔහු මග හැර යන්න ආ වේගෙන්ම යන්න හදන කොට තමයි මම දැක්කේ ඒ සෙබළෙක් බවත්, තුවක්කුව වාහනයට එල්ල කරන බවත්.එසැනින්ම මම වාහනය නැවැත්තුවා. මම බහින්නත් කලින් ලඟට ආපු ඔහුට මම කියා සිටියා ඔහුව හඳුනා නොගත් බව. ඔහු කීවේ, “ආ මට ඒක හිතුනා” කියන ඒක විතරයි.

    කොහොම වුනත් ඇති වුන සාධාරණ සැකය නිසාම ඔහුත් සගයනුත් සෑහෙන වෙලාවක් රථය පරීක්ෂා කළා. අවසානයේ “සමාවෙන්න මහත්තයා කරදරයක් වුනානම්” කියමින් යන්න අවසර දුන්නා.එතන අර මානසිකත්වයක් තියෙන කෙනෙක් හිටියානම්, සමහර විට මම මේ ලිපිය නොකියවන්න ඉඩ තිබුනා…

     
  3. නවම්

    මාර්තු 5, 2012 at 9:16 පෙ.ව.

    ඇයි හතිලව්ව්වෙ මොන නීතියක්ද, එහෙම නිකං ආසාවට, කම්මැලිකමට එහෙමත් වාහන නවත්තන්න පුළුවන් ද ? [මං මේ නොදන්න කමට අහන්නෙ]

     
    • තිස්ස දොඩන්ගොඩ

      මාර්තු 6, 2012 at 9:53 පෙ.ව.

      පොලිසියේ අයට අයිතියක් තියන බව ඇත්ත වාහන නවත්වන්න…
      ඒත් මෙ ඩයලොග් එකෙන් මොකුත් දෙයක් නොකියවෙන බවත් ඇත්ත…
      ඒ නිසා මේක ඒ මනුස්සයගෙ අවුලක් කියල ගන්න වෙනව වාගේ

      දැන් තවත් පැත්තක්…
      සී අයි ඩී එකෙන්, එන් අයි බී එකෙන් සහ තවත් අංශ වලින් එන තොරතුරු අනුව ඒ ගොල්ල යම් යම් වාහන, යම් හැඩහුරු කම් ඇති පුද්ගලයින්, මේවා ගැන විමර්ශනයක යෙදෙනව…
      අපරාධ මැඩලන්න, ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු එකතු කරන්න මෙහෙම කරනව…
      නමුත් ඉතින් කියන්න බෑ පරීක්ෂා කරන මනුස්සයගේ මූණට…
      පොඩි කථාබහක නියැළෙනව ඔවුන්…
      මේ එහෙම දෙයක්ද කියන්න බෑ…

      හැබැයි “නිකං බැලුවේ” කීවම මල පනින එක වලක්වාගන්නත් අමාරුයි..!!

       
  4. Observer

    මාර්තු 5, 2012 at 9:40 පෙ.ව.

    මට පෝස්ට් එක සහ කොමෙන්ට් කියවද්දිත් නිකං ඔළුව රත් වේගන ආව.

     
    • X-Porter

      මාර්තු 5, 2012 at 6:11 ප.ව.

      අප්පොච්චියෙ හලාගන්න අයිස් වෝටර් ටිකක් නැත්තං ඉතුරු කෙස් ගස් දෙකතුනත් හැලෙයි

      X-Porter

       
  5. විසිතුරු | visituru

    මාර්තු 5, 2012 at 9:42 පෙ.ව.

    ඔයින් ගියා මැදැයි!

     
  6. බුද්ධි

    මාර්තු 5, 2012 at 9:44 පෙ.ව.

    වැඩැක් නෑ කතාකරලා…. ඊට වඩා හොඳයි ඔය සිත්තරේ උඔගේ කොන්ඩා ගස් ගැන කතා කරනවා…… නියමෙට ඇඳලා තියෙනවා.. උඔ උඔව අඳිනවා ඒ විදිහටම නේද?

     
  7. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 5, 2012 at 9:56 පෙ.ව.

    නියම සිත්තරේ ජීවමාන විදියටම ඇඳලා තියෙනවා චූටි මහත්තයා කාටුන් ස්පෙෂලිස්ට්….ඩූඩ් අයියා සජීවී චිත්‍ර ස්පෙෂලිස්ට්….දෙන්නා එක්කහු වෙලා චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බොත් මොකෝ??

    මේකේ ඉංගිරීසි වර්ෂන් එකයි මම මුලින්ම දැක්කේ බැරි මරගාතේ ඒකට කොමෙන්ටුවක් කෙටුවා…..පොලිසියේ ඈයො කොයිවෙලෙත් බලන්නේ අහිංසකයට කෙලින්න ඔයක වීදුරු කළු කරපු සුපිරි වාහන බැරිවෙලාවත් නවත්තන්නේ නෑ….බයික් එකක් ත්‍රිවීල් එකක් තමයි අන්තිමට අහුවෙන්නේ පොකට් මනී හොයාගන්න

     
  8. henryblogwalker

    මාර්තු 5, 2012 at 1:18 ප.ව.

    @නිහාල්: මාත් තරුණ වයස පහුකරපු බුවෙක් තමයි නිහාල්. ඇත්තටම අපේ රටේ කවදානම් පුරවැසියන්ට නිසි හිමිකම් සැලකුම් ලැබෙන දවසක් උදාවෙයිද දන්නෙ නෑ!
    හැබැයි නිහාල් දැන්නම් බහුතරය මිනිස්සුන්ට නම්බුකාර විදියට කතාකරනවා. ඉඳ හිට තමයි “ඕයි, උඹ, අඩෝ” කියනවා ඇහෙන්නෙ.

    @ඉඳුනිල්: සිද්ධි දෙක අහසට පොළොව වාගෙ. මගෙ යාලුවගෙ මල්ලි දවසක් චෙක් පොයින්ට් එකකදි තව පොඩ්ඩෙන් වෙඩි කනවා මොකද GO කියන බෝඩ් එක වරද්දලා වනලා.

    @නවම්: අනේ මන්දා නවම් ලංකාවෙ ඔය නීතිය මට තාම හොයාගන්න බැරිවුනා. නමුත් මම ඔයිට සමාන නීතියක් දැක්කා. මම බලලා කියන්නම්.

    @තිස්ස: ස්තුතියි තිස්ස. එදා නම් ඔය කොයි දේට නැවැත්තුවද මම දන්නෙ නෑ. කිව්වත් වගෙ එදා නගර සීමාව ඇතුලෙත් අසාමාන්‍ය නිල ඇඳුම් සංඛ්‍යාවක් තිබ්බා තමයි පෝස්ට් එකේ කියලා තියෙන විදියට, ඒත් මගෙන් අහපු ප්‍රශ්ණ සෙට් එක බැලුවම ඒක අපරාධ හරි ජාතික ආරක්ෂාවට හරි අදාල බවක් පෙනුනෙ නෑ.

    @Observer: මොනවා කරන්නද ඔබා අයියා යකාගෙ හැටියට තමයි විමානෙ.

    @Visithuru: අම්මෝ ඔවු, අතක් පයක් කඩා නොගෙන. මේ දවස්වල Exam වෙන්නැති විසිතුරුට?

    @බුද්ධි: අපේ බුද්ධියාට නම් පොලෝසිය අරහං! මගේ කොන්ඩා ගස් ගැන කතාකරන්න? හික්ස්! ස්තුතියි බුද්ධි.

    @ගැමියා: මේ ගැමියා තමන්ගෙ ඉංග්‍රීසි දැනුම තමන්ම අවතක්සේරු කරන්න එපා. ඒක මරු කොමෙන්ට් එකක්. අඩුපාඩු කාගෙද බං නැත්තෙ? ඔය බ්ලොග් ලියන මමත් කරන අඩුපාඩු මගෙ ළමයි සමහරවිට පෙන්නල්ලා ඊ මේල් එකක් එව්වාම මම හදනවා.
    ගැමියගෙ කතාව සැටි‍ෆිකට් ඇත්ත.පහත් තැනින් තමයි වතුර ගලාගෙන යන්නෙ.

     
  9. රූ

    මාර්තු 5, 2012 at 3:47 ප.ව.

    ලස්සන සිත්තරයක් කියල නම් නොකියම බෑ..
    පොලිස් රාලාමිලා ගැනනම් කියලා වැඩක් නෑ අයියෝ..
    !%^%$#@#$%$#@! කියලා තමා කියන්න වෙන්න…
    සමහර වෙලාවට නම් ගෑල්ලමයෙක් නිසා පොඩි පොඩි වරප්‍රසාද හම්බවෙනවා..හරියට ලයිසන් එක ගන්නැතුව දඩකොලේ ලියලා දීලා ගෙවන්න වගේ..හික්ස්

     
    • henryblogwalker

      මාර්තු 5, 2012 at 4:54 ප.ව.

      @රූ:ස්තුතියි රූ සිත්තරේ ගැන වර්ණනාවට.
      ඒ ගෑල්ලමයින්ටනේ. මට තියෙන්නෙ ගුටි කන මූනක් නිසා පාරෙ චෙක් පොයින්ට් හතක් තිබ්බොත් හතේම මාව නවත්තනවා, අනිවා. සන්ග්ලාස් දාන් ගියොත් බඩුම තමා.

       
  10. ගෝල්ඩ් fish

    මාර්තු 5, 2012 at 8:13 ප.ව.

    මට පට්ට කේන්තියි අප්පා… අපෙත් ඉන්නවනේ පොලිස් පුංචියෙක්… අම්මපා වෙලාවක මම අයිනවා මුන දෙක වෙන්න…

     
  11. දූපත්

    මාර්තු 5, 2012 at 10:33 ප.ව.

    හාපෝ පොලීසියේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි, බහුතරයක්ම චාටර් ඩයල්.. වෙන මොනා කියන්නද.

     
  12. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 6, 2012 at 12:30 පෙ.ව.

    හරේ ඕං බය නැතිව කඩ්ඩ අකුරු කරනවා දැන්… බොහෝම ස්තූතියි ලබා දීපු ධෛර්යයට.ඇත්තටම ලැජ්ජ හිතුනා මට මාවම අවතක්සේරු කරගත්තු එකට.ආයේ එසේ නොවනු ඇත ජය වේවා

     
  13. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති)

    මාර්තු 6, 2012 at 12:50 පෙ.ව.

    මටනං ඔයවගේ පොලීසියෙන් ආතල් එකට නවත්තන සීන් එමට වෙලා තියනව. මම කරන්නෙ බයික් එකෙන් බැහැල, මේන් ස්ටෑන්ඩ් එක ගහල මගෙ පාඩුවෙ හෙල්මට් එක ගලවලා, ජැකට් එකේ සිප් එක ඇරල, ග්ලවුස් දෙක ගලෝල, බයික් එකේ සයිඩ් බොක්ස් එක ඇතුලෙ දාල තියන ඩොකියුමන්ට්ස් දාපු කවරෙ අරගෙන මගෙ පාඩුවෙ ඒක දිගෑරල දෙන එක. මේ වැඩ ඔක්කොම කරනකන් බලාගෙන ඉදල එහෙමත් මල පැනපු නැති බාප්පෙක් තමා ඩ්‍රයිවින් ලයිසම ඉල්ලන්නෙ

     
  14. ravin89

    මාර්තු 6, 2012 at 2:43 පෙ.ව.

    මම අද තමයි මේ පැත්තේ ආවේ. මොනවා කියන්නද. අපි කොච්චර වැරදි නොකර ගියත් නවත්තල ලයිෂන් චෙක් කරනවා නේ. මෝටර් බයික් කාරයෝ හින්ද වෙන්න ඇති. කාර් එකක් එහෙම ඔය වගේ නවත්තන් ඉන්නවා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින් තමයි.

     
  15. පන්සල් හංදිය

    මාර්තු 6, 2012 at 11:37 පෙ.ව.

    එක්කො පොලිසිය බල්ලට ගිහිං නැත්නම් බල්ලො පොලිසියට ඇවිත් …………

     
  16. henryblogwalker

    මාර්තු 6, 2012 at 12:55 ප.ව.

    @ගෝල්ඩ් Fish: හම්මෝ මේ අපි නං නෑ ඕවට. මාව ගාවගන්නවත් එපා.

    @දූපත් වැසියා: ඇත්තට කොහොමද එහෙම උනේ? තුන්වෙනි ලෝකයේ ඕක උග්‍රයි මට පේන්නෙ. ඔය වචනේ රටේ නමත් එක්ක Google Image වලින් search කරල බැලුවොත් පොලු වලින් මිනිස්සුන්ගෙ ඔලුවලට තඩි බාන පින්තූර තියෙනවාමයි. ලැජ්ජයි දැක්කහම. ඇත්තටම ඇයි මේ?

    @ගැමියා: අන්න හරි ගැමියා. ඕං මං ඊයක් එව්වා, අර gmail address එකට.

    @ඕනයා: ඇයි උඹ බීලා හෙම හිටියොත් දත් වලින් ග්ලව්ස් ගලවලා කටින්ම එල්ලගෙන ඉන්න එක ග්ලව් එකේ ගඳට අරක්කු ගඳ මැකෙන්නෙ.

    @රවින්89: අනේ එහෙමත් නෑ රවින්, මම ඔය දෙකේම යනවනෙ. ඕක බලපානෙ මූන ගුටිකන මූනක්ද නැත්ද කියන එක අනුව මම හිතන්නෙ. බලන්නකො උඩ රූගෙ කොමෙන්ට් එකට මම දීලා තියෙන උත්තරේ.

    @පන්සල් හන්දිය: මේ අපිව ගාවගන්න එපා ඔය අහක යන කේස් වලට හරිද? බුහ් බුහ්!! (ඇත්තටම කොහොමද බං බුයන්නයි අර බින්දු දෙකයි ගහන්නෙ?)

     
  17. නිරංජල

    මාර්තු 7, 2012 at 12:59 ප.ව.

    @

     
  18. ~ChAnDiKa~

    මාර්තු 7, 2012 at 7:35 ප.ව.

    අප්පා පොලිසි වල ඉන්න බහුතරයක් මේ වගේ උන්දලාම තමයි. කීයක් හරි කඩාගන්නමයි බලන්නේ.

     
  19. weniwel

    මාර්තු 9, 2012 at 7:54 පෙ.ව.

    ඔයින් ගියා මදැයි..නේද ?

     
  20. hasithag

    මාර්තු 24, 2012 at 6:26 ප.ව.

    නිකම් බැලුවා කියද්දී හොඳ කුණුහරුප තමා මතක් වෙන්නේ🙂

     
  21. සංවේදී

    අගෝස්තු 2, 2013 at 6:09 ප.ව.

    මෙයාලගෙ වැඩ නම් කියලා වැඩක් නෑ….
    පොඩ්ඩක් හරි කන්ෆිඩන්ස් නෑ කියල පෙන්නුවොත් දෙනව වැඩේ.
    මේ තියෙන්නේ මගේ අත්දැකීම්
    කාට කියන්නද මේ අවනඩුව….?
    බාප්පලාගේ බලාපොරොත්තු කඩකිරීමේ සතුට

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: