RSS

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

17 Mar
55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

මොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි මහන්සියක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනානම් හාන්සි තමයි.

මේ මොහොතෙ මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං  පන්ච් එකක් එල්ල කලා  නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි වේගයෙන්. මොරයාගෙ හුස්ම වූ…ෂ්  හඬකින් කටින් එලියට ගැලුවා. අධිවේගයෙන් මගෙ දෙවෙනි වමත් පාර  මොරයගෙ පැතලි, පලල් නාසය සමතලා කලා. මොරයා කවදාවත් එහෙම වේදනාවක් අත් විඳලා නැතිව ඇති.
අනිත් උන් කෑගහනවා මට ඇහුනා.


“ඒයි මෙහෙ වරෙල්ලා, මේ බලාපල්ලා. මූ හුලං ගහනවා!”

කට්ටිය වට වුනා.
මට පස්සෙ තේරුනා මුන්ට පොල් අඩි ස්වින්ග්ස්  මිසක් බොක්සිං/කරාටේ පන්චස් පුරුදු නැති බව. මුන්ට ඒක පෙනුනෙ බයිසිකල් පොම්පෙකින් හුලං ගහනවා වගෙ. නහය රතු වෙලා ඉදිමිලා තිබ්බ මොරයා මාරාවේශ වෙලා හිටියෙ. ඌ කිව්වා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකොට උගේ අයියලා ගෙන්නලා මට ගස්සන බව. අනිත් උං මූව වත්තං කරගෙන ගියා. හොඳ වෙලාවට බෙල් එක ගහපු නිසා කෑඳැත්තා සමග අන්තිම සටන ඉන්ටවල් එක දක්වා කල් ගියා.

පන්තියෙ ඉන්නකල් මොරයා පාරම්බබා හිටියා ඌ ඕකෙ පළිය ගන්න බව. අනිත් උන්ගෙ මූනවල් වල සෑහෙන වෙනසක් මම දැක්කා. මොරයා ඇර  එකෙක්වත් වචනයක් කිව්වෙ නෑ. සමහරු සතුටෙන් හිටිය බව මට පෙනුනා. දැනටම ‘භය සූත්‍රය’ ක්‍රියාත්මක වෙලා ඇති හැඩකුයි පෙනුනෙ.

කෑඳැත්තා අමුත්තක් නොපෙන්නුවත්, සෑහෙන්න කැළඹිලා හිටි බව පෙනුනා.

ගුරුවරු උගන්නපු දේවල් මගෙ හිතට නොගියෙ මගෙ හිත විවේක කාලයට නියමිත, කෑඳැත්තා සමග කෙරෙන තීරණාත්මක අවසන් මහා සටනට අදාල සිතිවිලි වලින් පිරී තිබූ නිසාමය කියන්න බැහැ. මගෙ සිත අතීතයට ඇදිලා ගියේ මා නොදැනුවත්වමයි.

අපේ තාත්තා රජයේ නිලධාරියෙක් නිසා මම ඉස්කෝල ගනනාවකට යන්න වුනා.  ඉතින් අනිත් සමවයසේ බුවෙකුට වඩා සෑහෙන අත්දැකීම් ලබලා තියෙනවා, ඇසූ පිරූ තැන් තියෙනවා. නමුත් ඒ ඔක්කොම රසවත් අත්දැකීම් නෙවෙයි.

Bullying  ඇත්තෙන්ම නවක වදයට වඩා භයානකයි, වේදනාකාරීයි. නවක වදය විඳින්නෙ සමූහයක් එකතුව. ලැජ්ජාව වේදනාව බෙදිලා යනවා. නමුත් Bullying වලට අහු වෙලා bully වෙන්නෙ බොහෝ විට තනියෙම. අනිත් අය ගැන මම දන්නෙ නෑ. මම නම් bully වෙලා තියෙන තරමක් වෙලා තියෙන්නෙ තනියෙම.

ළමයි මල් වගේ කියලා කියමනට කිව්වට, අලුත් ඉස්කෝලෙකට ගිය ගමන් මුණ ගැහෙන්නෙ යක්කු. මල් නෙවෙයි. මල් අඳුනාගන්න කල් යනවා. අන්තිමට මල් හඳුනා ගන්නකොට, අමාරුවෙන් මල් වෙන් කරගෙන ලං වෙන කොට, ඒ මල් දාලා, බඩු මුට්‍ටු පොදි බැඳගෙන අලුත් යක්කු ඉන්න අලුත් පළාතක, අලුත් ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතින් හැමදාම ‘මරුවා සමග වාසේ’ තමයි.

මම මේ ස්ථාන මාරු වලින් මේසා පීඩා විඳින බව මගේ දෙමව්පියෝ දන්නෙත් නෑ. ගුරුවරු දන්නෙත් නෑ. ගුරුවරු ඇත්තටම නොදන්නවද කියන එකනම් මට අදත් සැක සහිතයි. ඇත්තෙන්ම ඉස්කෝලවල ගුරුවරු මීට වැඩිය කල්පනාවෙන් ඉන්න ඕනෙ අලුතෙන් ඉස්කෝලෙට එන ළමයින්ට ලැබෙන  සැලකිල්ල මොනවාගෙද කියලා.

කොහොම හරි අලුත් ඉස්කෝලෙදි තනිවම – සමහර විට මුළු පන්තියක් එක්ක – සටන් කරන්න වෙනවා. මම සාමාන්‍යයෙන් දෙයක් වේගයෙන් ඉගෙන ගන්නවා. ඒ වගෙම වරක් උගත් පාඩම මතක තියාගන්නවා.මේක ලාංකිකයන්ට ආගන්තුක ලක්ෂණයක් කියලනෙ කියන්නෙ. ඉතින් තැලෙන යකඩෙ වගෙ මමත් පන්නරය ලැබුවා වයසට කලින්. මොකද මට තිබ්බෙ පැවැත්ම සඳහාවූ අරගලයක්.

මම මේ අත්දැකීම දෙපාරක් විතර ලබන විට සොයාගත්තා මගේම ක්‍රමයක්. ඕක මම සොයාගත්තෙ ජෝජ් බුෂ්ට කලින්. ‘Fighting Terror With Terror’. බලංගොඩ කොන්වන්ට් එකේ ඉඳලා බුද්ධ ජයන්ති විද්‍යාලයට ගියාම මට සෑහෙන්න bully වෙන්න සිද්ධ වුනා. ඒ පාර නම් මම තනියෙම නොවුනත්, මට තියෙන්නෙ ‘ගුටි කන මූණක්’ හන්දද කොහෙද මම නිතර ගුටි කෑවා.

පස්සෙ මම දැන ගත්තා අපේ කුලී ගේ ගාවා ගෙදරක හිටපු අයියා කෙනෙක් බොක්සිං  ක්‍රීඩා කරන බව. මම ඒ අයියාගෙන් බොක්සිං තරමක් දුරට ඉගෙන ගත්තා. ඊට පස්සෙ සටන් චිත්‍රපටි වල දකින අනෙකුත් උපක්‍රමත් එකතු කරලා මමම හදා ගත්තා මටම ආවේනික  සටන් ශෛලියක් (combat style). මේකට street fighting කිව්වත් වරදක් නෑ. මේ ඉගෙනගත්ත දේවල් කෙසෙල් ගස් වලට හාල් ගෝනිවලට යොදලා ප්‍රගුණ කලා.

මේ සියලු දෙයින්ම  ඉතාම වැදගත් හැරවුම් ලක්ශය වුනේ ස්වින්ග් (swing) කියන කවුරුත් දන්න පොල් අඩියත්,  අර මිටියකින් ගහනවා වගෙ(hammer blow) එල්ල කරන ගෑණු පොල් අඩියත් වෙනුවට කෙලින් සරළ රේඛාවක් ඔස්සේ එල්ල කරන  ආරක්ෂාකාරී මුශ්ඨි ප්‍රහාරය (punches and jabs) ආදේශ කිරීම. (punch instead of swing).



ඒක වුනේ මෙහෙමයි. ඔය ඉස්කෝලවල  කොල්ලො ගහගන්නකොට මිට මොළවපු අත කවාකාරව පද්දලා ගහන පොල් අඩියම තමයි වැඩියෙම පාවිච්චි කලේ. හරියට  කම්මුල් පාරක් වගෙ පැත්තකින් මේක එන්නෙ.මම බොහෝ විට සටන් බලා ඉඳලා සෑහෙන දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම එකිනෙකාගෙ දුර්වලකම්.

ඔය ස්වින්ග් කියන පොල් අඩියෙ තියෙන ලොකුම දුර්වලකම තමයි, ඕක ලේසියෙන් බ්ලොක් කරන්න, මග හරින්න (dodge) පුලුවන් (පුහුණු වුනොත්). අනික තමයි ඔය පහර එල්ල කරන අතරේ පහර දෙන එකාගෙ පපුව, බඩ ආරක්ෂාවක් නැතිව නිරාවරණය වෙලා තියෙන්නෙ. කොටින්ම මේ බුලියලා තමන්ගෙ ආරක්ෂාව ගැන හිතුවෙ නෑ. ඒක අවශ්‍ය වුනෙත් නෑ.

ඇත්තෙනම ආරක්ෂාව අවශ්‍ය වුනේ මට. මොකක්ද කලින් කිව්වා වගේමට තිබ්බෙ පැවැත්ම සඳහා කරපු අරගලයක්. බුලියන්ට එහෙම දෙයක් නෑ. තමන්ට ඇති තැන රැකගන්න විතරයි උන්ට තිබ්බෙ. ඒකට මහා කැපවීමක් අවශ්‍ය නොවුනෙ අනිත් ළමයි උන් එක්ක පැටලෙන්න නොගිහින් පුලුවන් තරම් මග ඇරලා හිටපු නිසයි.

ඊලඟට වේගය හා කඩිසර බව. මෙයින් පොල් අඩිය මග ඇරීමටත් අවහිර කිරීමටත් උපකාරී වෙනවා. එතකොට දෙපා මත සමබරව සිටීම. (footwork) මේක මට ප්‍රගුණ කරන්න උදව් වුනේ බුලියොමයි නොදැනුවත්වම. මම හිටගෙන ඉන්න වෙලාවටත් මුන් පිටිපස්සෙන් ඉඳගෙන දනහිසෙ පිටිපස්සට පයින් ගහනවා. එතකොට දනහිස නැවිලා ඇදගෙන වැටෙනවා. ඔය නිසාම මම නිතරම  හිටියෙ සමබරව හිටගෙන. මුන් පුදුම වුනා මම නොවැටී ඉන්නකොට.

ඊලඟ දේ තමයි සටනක් වේගයෙන් විශාල කම්පනයක් ඇතිකරමින් අවසන් කිරීම (dramatic bloody finale). අනිත් වුන් කම්මුලට බඩට ගහද්දි මම ‍තෝරාගත්තෙ නහය කට වගෙ ලෙහෙසියෙන් තුවාල වෙලා ලේ ගලන ඉලක්ක. ලේ ගලන කටකින් පුදුම කම්පනයක් ඇතිකරන්න පුලුවන් ගුටිකාපු එකාගෙ වගේ නරඹන්නන් තුලත්.

මෙතනදි තමයි අර මුලින් කියපු බය සූත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ. අහලා තියෙනවද බය සූත්‍රය? නෑ නෑ රතන සූත්‍රය නෙවෙයි. බය සූත්‍රය. ඒක මෙහෙමයි. පන්තියේ චන්ඩියෙක් ඉන්නවා. චන්ඩියාට පහලින් චන්ඩි අංක 2, 3 ආදී වශයෙන් පිළිවෙලට ඉන්නවා. හරියට ප්‍රාන්ත රාජ්‍යයක තනතුරු වාගෙ. අනිත් පන්ති වලත් එහෙමයි. ඔය විදියට මුලු ඉස්කෝලෙම බය කරගෙන ඉන්න චන්ඩියෙකුත් ඉන්නවා. ඌටත් දෙවෙනියො  තුන්වෙනියො ඉන්නවා. හරියටම ෆෙඩරල් මහ ආණ්ඩුව වගෙ. දැන් මුළු ඉස්කෝලෙම අනියමින් පාලනය වෙන්නෙ කවුරු කාට බයද කියන එක අනුවයි.


“ඒයි උඹ මූට බයද? උඹ අරූට බයද?” වගෙ ප්‍රශ්ණ සුලභයි.

දැන් අපි හිතමු මම මේ පන්තියෙ දෙවෙනි චන්ඩියාට මම අල්ලගෙන ගැහුවා කියලා අම්බානක.  එතකොට මට තව දුරටත් තුන්වෙනියා හෝ ඊට  පහලින් ඉන්න  එවුන් එක්ක සටන් කරන්න අවශ්‍ය නෑ තව දුරටත්, මොකද බය සූත්‍රයට අනුව උං සටනකින් තොරවම  මට බය වෙනවා, මම උන්  බයේ හිටපු එකාට ගහපු නිසා. නමුත් ඒ බය සූත්‍රයටම අනුව මම තවම පළවෙනියට බයයි සටනකින් ඌව පරාජය කරනකල්.  මම ඔය තත්වය  කල්තියා අඳුරාගෙන තිබ්බේ.  මුලදි මම නිකං ශ්‍රමය වැය කලා අනවශ්‍ය නොවැදගත් සටන් වලට.

ඉස්කෝලෙන් ඉස්කෝලෙට සටන් සංස්කෘතියත් වෙනස්. සමහර ඉස්කෝලවල කට්ටියම එකතු වෙලා එකෙකුට ගහන්නෙ නෑ. එකා පස්සෙ එකා  මිසක.  වැටිලා ඉන්න එකාට ගහන්නෙ නෑ නැගිටලා එනකල්. නමුත් සමහර ඉස්කෝලවල මුළු පන්තියක්ම එකතුවෙලා එකෙකුට ගහන වෙලාවල් තියෙනවා. වැටිලා ඉන්න එකාට  වටවෙලා පයින් ගහන තිරිසන්නුත් ඉන්නවා.

මම අවාසනාවකට වගේ ඊ ලඟට ගිහින් වැ‍ටුනෙ එහෙම තැනකට. මුන්ට මාව කොහොමත් දිරෙව්වෙ නෑ කාරණා කිහිපයකට. එකක් ඉංග්‍රීසි ප්‍රශ්ණෙ.  ඒ කියන්නෙ මට ඉංග්‍රීසි බැරිවීම නෙවෙයි, ඉංග්‍රීසි පුලුවන් වීම, අනික උදේට තාත්තා මාවයි නංගිවයි මෝටර් බයික් එකෙන් ගෙනත් ගේට්‍ටුව ලඟ  බැස්සීම වගෙ හේතු ගොඩක් තිබ්බා.

මුලදි මග ඇරලා හිටියත්, මුන් මාව ටොයිලට් එක ලඟදී අල්ලා ගන්නවා. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ඉන්දැද්දී, එහෙම නැත්නම් එකෙක්  පිටිපස්සෙන් ඇවිත් හෙඩ්ලොක් එකක් දාගෙන ඉන්දැද්දී අනිත් උන් පෝලිමෙ ඇවිත් බඩට අනිනවා, කම්මුල් පාරවල් දෙනවා. කොරිඩෝවලදි ඇ‍ඟේ හැප්පෙනවා. නැතිනම් තව එකෙක්ව තල්ලු කරනවා ඇ‍ඟේ හැප්පෙන්න. ඊට පස්සෙ “මොකෝ ඩෝ ඇ‍ඟේ හැප්පෙන්නෙ? උඹ චන්ඩියෙක්ද?” කියලාදෙක තුනක් අනිනවා.

එතකොට පන්තියෙදි කඩදාසි ගුලි, චෝක් කෑලි ප්‍රහාරත්, පන්තියෙන් පිටදි වතුර බෑග් වලින් නෑවීමත්, පිටේ බෝඩ් එල්ලීමත් වගෙ තාඩන පීඩන  වලට නිතර භාජනය වෙනවා. මේ විදියට ටික දවසකින් මට ඉගෙන ගන්න ලැබුනා මුන්ගෙ පලවෙනියයි, දෙවෙනියයි කවුද කියන එක.

දවසක් මුන් මාව අල්ලගෙන අතපය හිරි  ඇරගන්න හදනකොටම මම කිව්වා,

“උඹලා මහා පීචං වැඩ කරන්නෙ. උඹලා මහ බයගුල්ලො” කියලා.

කට්ටිය කොච්චර පුදුම උනාද කියනවා නම් උන් මාව අත හැරියා.

පස්සෙ මම කිව්වා, “උඹලා නියම චන්ඩි නම් එකා එකා වරෙල්ලා. එකෙකුට වදිනකොට අනිකා අත දාන්න බෑ. චැලේන්ජ් කරල ගහගම්මුද?”

කට්ටියට මේ ‘චැලේන්ජ් කරල ගහගැනීම‘ අලුත් සංකල්පයක් උනත් කවුරුත් මේකට කැමති වුනා. වැඩියෙන්ම අර ‘අංක එකේ‘ චන්ඩියාට මේකට බැහැයි කියන්න බැරි වුනා, මොකද මම චැලේන්ජ් කලේ ඌටත් එක්ක නිසා.

ඊට පස්සෙ අපි දිනයක් යොදාගෙන උදේ පාන්දරක සෙට් උනා. මම හිතපු විදියට මුලින්ම ආවේ  අංක එකේ චන්ඩියා වන කෑඳැත්තා  නෙවෙයි.  ඩෙපියුටි නොහොත් දෙවෙනියා වන මොරයා. කෑඳැත්තා සැහැල්ලු වේගවත් පොරක්. මොරයා තරමක් හැඩි දැඩි, ඇහැ ලඟ පිලිස්සුම් තුවාල කැලලක්  තියෙන එකෙක්.

හැබැයි මුංගෙ කෙරුවාව හුඟක් වෙලාවට කටින් තමයි. හැමෝම මුංගෙ කටවල් වලටයි බය. ඔය පෙකිං ඕඩර් එකේ යට ඉන්න කට්ටිය මුන්ට බයේ ඉන්නෙ මුං එක්ක   ගහගෙනම නෙවෙයි, අර බය සූත්‍රයට අනුව.

සටනින් මොරයාට අයිති වුනු පරාජය මොරයාව විතරක් නෙවෙයි කවුරුත් සසල කලා. හුලං ගැහීම සාර්ථක ක්‍රමයක් බව නැවත වතාවක් වචනයෙන් පමනක් නොව, ක්‍රියාවෙන්ම සනාථ වුනා.

“ටිලිං… ටිලිං… ටිලිං…”

විවේක කාලයේ ආරම්භය සටහන් කරන සීනු නාදය මගේ සිතුවිලි දැහැන බිඳ දමා මා වර්තමානයේ රළු පොලොව මතට වැරෙන් පතිත කලා.

ඉන්ටවල් එකේදි දෙවෙනි වටය පටන් ගත්තා. මම නැවතත් නීති රීති කිව්වට පස්සෙ සටන ආරම්භ කලා. මේ පාර අධික ප්‍රේක්ශකයන් සංඛ්‍යාවක් හිටියා ‘අලුතෙන් ආපු එකා හුළං ගහනවා‘ බලන්න. මේකෙන් මට වඩා නොසන්සුන්තාවයෙන් හිටියෙ කෑඳැත්තා. මුගේ අර කලින් තිබ්බ චන්ඩි පාට්  මුකුත් තිබ්බේ නෑ. ඌට ‍රැකගන්න දැයක් තිබ්බත්, මට නැතිවෙන්න දෙයක් තිබ්බෙ නෑ, දිනාගන්න දෙයක් මිසක.
කෑඳැත්තාට තිබ්බ මොරයාට හෝ වෙන කිසි කෙනෙකුට නොතිබූ වේගයක්. මූ මීටර් සීය සූරයා.  උගෙ ප්‍රියතම ෂොට් එක, ඇත්තෙන්ම කිව්වොත්,  කම්මුල් පාරක්.

සටන පටන් ගත්ත ගමන්ම මූ එල්ල කරපු කම්මුල් පාරවල් දෙකක් මට චට චට ගාලා වැදුනා. ඒවා වේගවත්, ඒ වගෙම සැහැල්ලුයි. ඒ වගෙම වේදනාකාරීයි. එතකොටම  මම දවස් ගනනාවක්  බලා සිටි මගෙ අවස්ථාව උදා වුනා. මුල්ම පහර එල්ල කලේ කෑඳැත්තගෙ කටට. ලේ ගැලුවෙ තොල් පැලිලද, දත් බුරුල් වෙලාද කියන්න හරියට අමාරුයි. කොහොම හරි මුල්ම පහරින් කෑඳැත්තගෙ ලේ හෙලවුනා. මේ පහර ඌ කොහොමත්ම බලාපොරොත්තු වෙන්න නැති නිසාදෝ මූ ගිහින් දඩාස් ගාලා බිත්තියෙ ඇනුනා.

කෑඳැත්තා සැහැල්ලු නිසාමදෝ වේගෙන් නැගිටලා ආපහු ආවා. මූ ඉස්සරහට පැනලා පොල් අඩියක් එල්ල කලත් මම පාත් වුනේ නෑ. වමතින් අවහිර කලා විතරයි. මගෙ දනහිස් පාර මුගේ පරම්පරා කුට්ටමට එල්ල වුනාම මූ මෙල්ල වුනා. ස්වයංක්‍රීයවම ඉස්සරහට නැඹුරුවුනු කෑඳැත්තගෙ බඩටයි පපුවටයි එකවර එල්ල කරපු ද්විත්ව පහරවලින් එකකින් සටන නිමා වුනා.

කෑඳැත්තා දෑතින්ම ශරීරයේ තැන් දෙකක්  මිරිකා අල්ලාගෙන බිමට පාත් වුනා, වේදනාවෙන් ඇඹරෙමින්. කෙටි හුස්ම ගත්තෙ උගුරෙන් හඬක්  නගමින්. මේකා හදිස්සියෙ මැරුනොත් මොකද කරන්නෙ යන බියකරු සිතුවිල්ල හදිසියෙම මට වද දෙන්න ගත්තා. අනිත් උන් මූව ඇදගෙන යන්න ගියා. මගේ සිතට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනදෙමින් සීනු නාදයත් සමගම කෑඳැත්තා අමාරුවෙන් වුනත් තනියෙම ඇවිදාගෙන පන්තියට ගියා.

නිල වශයෙන් චන්ඩියා මම වුනත් මම ඔ‍ටුන්න භාර ගන්න ගියේ නෑ. ඒ ඉස්කෝලෙ ඉන්නතාක් කල් කිසිම කෙනෙක් මට අභියෝග කලෙත් නෑ.

කෑඳැත්තා ඉඳලා ඉඳලා කෙහෙල් ගහට කෙටූ බව වෙන පන්ති වල උන් කතාවෙන බව මට දැනගන්න ලැබුනා. කෑඳැත්තයි මායි ආයෙ කවදාවත් එකිනෙකාට කතාකරෙත් නෑ. මේ සටනට පස්සෙ මම ඒ ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට ගියා. නමුත් දශක කීපයකට කලින් වෙච්ච මේ සටනෙ  බලපෑම කොච්චරද කිව්වොත් දැනුත් කෑඳැත්තා මගෙ මූන බලන්නෙ නෑ. ඉතාම කලාතුරකින් හමුවුනත්, හරියට අඳුනගන්න බැරි වුන බවයි  පෙන්නන්නෙ.

මොරයා නම් මම ඉඳහිට දකිනවා. ඌත් මුලදි මුලදි මාව මග ඇරියා. රස්සාවට කොම්පැණියක වාහනයක් එලවන නිසාදෝ  ඒකා දැන් මට කතා කරන්නෙ ‘මහත්තයා’ කියලා. මම නං ඌට මචං කියලා කතා කරනවා.

පසු වදන:

මේ කතාවෙන් ගන්න ආදර්ශයක් තියෙනවද කියන එක මට කියන්න අමාරුයි. මොකද සැබෑ ජීවිතයේ සිදුවෙන්න ඇතැම් සිදුවීම ආදර්ශමත් සිදුවීම් නොවන නිසා. නමුත් ඔබේ දරුවා ගැන කල්පනාවෙන් ඉන්න. සමේ ලප කැලැල්, හැසිරීමේ වෙනස්කම්, නොසලකා හරින්න එපා.

මීට කලකට පස්සෙ මගේ දියණිය මේ ආකාරයටම බුලී වෙන බව මට කිව්වෙ ඇය ගිය කොළඹ පෞද්ගලික බාලිකා පාසැලේ වෙනත් සිසුවියන්. මගේ කෙල්ල පන්තියෙ අනිත් ළමයිනට වඩා වයසින් අවුරුදු දෙකක් විතර බාල, ශරීරයෙන් කුඩා හුරුබුහුටි දැරියක්. අහලා බැලුවම කතාව ඇත්ත. ඇයට අල්ලාගෙන පහර දෙන්නෙ වෙනත් පන්තියක ඉන්න විශාල බුලිච්චියො.

මුලින්ම මම නියමිත ප්‍රමිතියට අනුව පන්ති භාර ගුරුතුමියට, අංශ භාර ගුරුතුමියට, ඒ වගෙම විදුහල්පතිතුමියට පිළිවෙලින් කිහිප වතාවක් පැමිණිළි කලත්, හිතූ ආකාරයටම කිසිම ප්‍රතිඵලයක් නොලැබුන නිසා මම මගේ පරණ ‘Blogwalker Method of Fighting Terror With Terror’ ක්‍රමයට අකමැත්තෙන් වුනත්  ආපහු ගියා.  මුලින්ම, මම කෙල්ලට මූලික taekwondo punches and kicks පුහුණු කලා. කෙල්ල මගේ බඩට පහර දෙමින් ශාස්ත්‍රය ප්‍රගුණ කලා සති කිහිපයකින්. මම ඇයට කියලා තිබ්බෙ මම කියන තෙක් බුලියන්ට පහර දෙන්න එපා කියලා. මුලදි මගේ උදරයට  ලපටියට වැදුනු සිඟිති අත් හා පා  පහරවල්  ක්‍රමයෙන්  එල්ලයට එල්ලවන වේදනාත්මක පහරවල් බවට පත්වුනා.   දීපා මේ දිහා බලා හිටියෙ තරමක චකිතයෙන් බව මම දැනගෙන හිටියා.

මම එදත් ඇයව එක්ක එන්න සුපුරුදු විදියට පාසැලට ගියා. එදා ගෙදර යන්න පෙර මම  විදුහල්පතිනිය මුණ ගැසීමට අවශ්‍ය බව මට කිව්වෙ කෙල්ලමයි. මම දොරෙන් ඇතුල්වෙනවාත් එක්කම මග බලා හිටි විදුහල්පතිණිය, “බලන්න මිස්ට බ්ලොග්වෝකර් දුව කරලා තියෙන හපන්කම. මෙයා අර ලමයි වගේකට අතින් පයිනුත් ගහලා අන්තිමට හෙල්මට් එකෙනුත් ගහල කියලා අද කම්ප්ලේන්ට් එකක් ආවනේ. අපි එයාට අවවාද කලා. මිස්ට බ්ලොග්වෝකරුත් පොඩ්ඩක් කියන්නකො”.

බලමුකො නීතිය වහාම ක්‍රියාත්මක වෙලා තියෙන අපූරුව! පස්සෙ දෙන්න එක්ක බයික් එකේ එනගමන්, කෙල්ල පෙට්‍රල් ටැංකිය උඩ ඉඳගෙන මට කතාවෙ සාරංශය කිව්වා. පස්සෙ දීපාවත් එයාගෙ ඉස්කෝලෙ ගාවින් නග්ගාගෙන කතාව විස්තර ඇතුව නැවත අහගත්තා.  මම කිව්වා ආත්මාරක්ෂාවට විතරක්  ඉගෙනගත්ත දේ පාවිච්චි කරන්න කියලා. මම දැනුවත්ව ඊට පස්සෙ බුලිච්චියො කෙල්ලට කරදර කරලා තිබ්බෙ නෑ.

මේ සිද්ධියත් ආදර්ශමත් නොවෙන්න පුලුවන්. මේ ක්‍රමය මම කාටවත් රෙකමෙන්ඩ්  කරන්නෙත් නෑ. ඔය සිද්ධියෙ ඇත්ත ඇති සැටියෙන්ම කියලා තියෙන්නෙ. මම කරපු දේ තාත්තා කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්. එතකොට අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව හදාරපු ගුරුවරයෙකුට  කරන්න තරම් නොවෙන්න පුලුවන්. නමුත් මම ඒ දේ නොකලා නම් මගේ කෙල්ල  දිගින් දිගටම බුලි වෙලා, ඉස්කෝලෙත් එපා වෙලා, පෞරුශ වර්ධනයත් අඩාල වෙලා, මහා විනාශයක් වෙන්න තිබ්බා. ඒ මොකවත් වුනේ නෑ. මේ ගැන මගෙ කෙල්ල දාන කමෙන්ට් එක බලමු.

 

ටැග: , , , , , , , ,

82 responses to “55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

  1. ඉඳුනිල්

    මාර්තු 17, 2012 at 7:34 පෙ.ව.

    ගියේ පාසැල් දෙකකට වුනත්, මමත් bully වෙලා තියෙනවා. ඒ වෙලාවට ළමයෙක් මොන තරම් අසරණ වෙනවාද?මම විරුද්ධ වෙන්න පටන් ගත්තේ දිගින් දිගටම ඉවසලා කාලයකට පසුව.ඉන් පසුව කරදර ටික ටික අඩු වුනා.ඔබ කියනවා වගේම දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන නිතර අවදානයෙන් ඉන්න ඕනි. හැම ගුරුවරයාම මේ සිද්ධි වලට මැදිහත් වෙන්නේ නැහැ වගේම තමන්ට දිරවන්නේ නැති ගෝලයන්ව පීඩාවට (බොහෝ විට මානසිකව) ලක් කරන ගුරුවරුත් නැතිවා නොවෙයි.

    මමනම් ඉතින් හෙන්රි අයියා වගේ ගුටිකන මුණක් තියෙන පුෂ්ටිමත් කෙනෙක් නෙවෙයි. වයසට වඩා බොහොම ලාබාල පෙනුමක් තිබුන (අදටත් එහෙමයි කියලා මම හිතාගෙන ඉන්නේ), අහිංසක කැහැටු කොල්ලෙක්.එහෙම කියලා මට පාඩුවේ ඉන්න දෙන්න සමහරු ඉඩ දුන්නේ නැහැ.

    මම පොඩි (වගේ) එකා නිසා මට වඩා ලාබාල එවුන්ගෙනුත් බුලි වුන අවස්ථා තියෙනවා..

    ඔයා අතර වුන විශේෂ දේවල් තුනක් මතක් වුනා.

    1. වරක් උදෑසනම කොන්දට වැදුන තද පහරක් නිසා,ක්ෂණිකවම මම පිටුපසට හැරෙන ගමන් පහර දුන්නා. ඊ ළඟ අවස්තාවේදී මම දුටු බියකරු දර්ශනය වුනේ, මම ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුනේ පාසලේ දරුණුම ගුරුවරයෙකු වුනු සිල්වා සර්ට බව. නියමිත කුණු ඇහිලීමෙන් මග ඇරලා ඉඳීම තමා මට පහර දීමට හේතුව. නැවත පහර දීමට පස්සෙන් පන්නද්දී දුවන ගමන් වුනු දේ පහදා දීමෙන් පසු ඔහු මට නිරුපද්‍රිතව කුණු අහුලන්න යන්න දුන්නා.

    2. තවත් වතාවක් නුපුරුදු පා පහරක් එල්ල කරන්නට ගිය මගේ කලිසමේ මැද මුට්ටුවෙන් තුන් කාලක්ම ඉරිලා ගියා. කටු ගහගෙන ෂර්ට් එක උඩින් දාගෙන ගෙදර ගියේ.

    3. පරම්පරා කුට්ටමට වදින පහර කියලා වැඩක් නැහැ. එහෙම පාරක් වැදුණු වෙලාවක හිත හොඳ මිත්‍රයෙක් සිද්ධාලේප ආලේප කලා. හපොයි ලංකාවෙන් මුලින්ම හඳට ගියේ මම ..ඒකනම් මාරම අධි සංවේදී කලාපයක්. :-))

     
    • පන්සල් හංදිය

      මාර්තු 17, 2012 at 11:07 පෙ.ව.

      පව්ට සීන්නෙ වෙලා තියෙන්නෙ, පුදුමයි සර්කාරය හම ගැහුවෙ නැතුවා ……

       
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 9:38 ප.ව.

      @ඉඳුනිල්: ප්‍රතිචාර සියල්ලටම එක වර පිළිතුරු දීම සාමාන්‍යයෙන් මම අනුගමනය කරන වුනත් අදනම් ලැබිලා තියෙන ප්‍රතිචාර වල තියෙන සංවේදී බව දැක්කාම වෙන වෙනම උත්තර දෙන එක යුතුකමක් කියලා හිතුනා.

      ඉඳුනිල් මමත් ගුටිකන මූනක් තිබ්බට පුශ්ඨිමත් එකෙක් නෙවෙයි ඉඳුනිල්. ඒ දැන්. මමත් කෙට්‍ටු එකෙක් අවුරුදු විසි ගනන් වලත් ඉණ අඟල් 26 -27 ට තිබ්බෙ. අනික ඔය බුලියලත් හැම තිස්සෙම පුශ්ඨිමත් උන් නෙවෙයි.
      අර පළවෙනි කතාව නම් අපි කියවලා සෑහෙන්නෙ හිනාවුනා. අර දුවන ගමන් කරුණු පැහැදිලි කරපු එක. කාටූන් එකකට නියම නිමිත්ත.

      ඔන්න මගේ දැනුම පොතේ ලියාගත්තා මුලින්ම හඳට ගියේ නීල් ආම්ස්ට්‍රෝං වුනාට හඳට ගිය පළවෙනි ශ්‍රී ලාංකිකයා ඉඳුනිල් බව.:D

       
  2. Gold fish

    මාර්තු 17, 2012 at 7:48 පෙ.ව.

    මයේ ගාවත් තියෙනවා මටම පුරුදු ෂොට් එකක්… ඒකෙදි වම් අත ඉස්සරහට දික් කරන කොට අනිත් අය ඒ අත වලක්වන කොට දකුණු අතින් යටි බඩ කොර කරනවා…

     
  3. රූ

    මාර්තු 17, 2012 at 9:01 පෙ.ව.

    මේ කතාව ආදර්ශමත් නැතැයි කියා නම් හිතෙන්නේ නෑ..
    කොහොම වුනත් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස ගන්න පොඩ්ඩොන්ට පුරුදු කරන එක හොඳ දෙයක්..

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 9:45 ප.ව.

      @රූ: රූ එහෙම හිතනවද? ඇත්තටම පොඩ්ඩොන්ට ස්වාධීනව වැඩකරන්න පුහුණු කරන්න ඕනෙ.

      තවම අර පරිනාමය පිළිබඳ කැලෑ නීතිය “The Survival Of The Fittest” තමයි හුඟක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නෙ.

       
  4. maathalan

    මාර්තු 17, 2012 at 9:17 පෙ.ව.

    පාසල් විෂය දාරවට මේක ඇතුලත් කරන්න කියලා කියන්න මට බෑ. නමුත් සෑම දෙමව්පියෙක්ම මේ ලිපිය කියවිය යුතුයයි මා විශ්වාස කරනවා. මම බ්ලොග් වලට කැමතිත් මේ නිසයි, මොකෝ මේ වගේ ලිපියක් ජාතික පුවත් පතක සංසාරෙදි පල කරන්නේ නෑ. ලිපිය රසවත්. එක හුස්මට කියවන්න පුළුවන්. පැහැදිලියි, නිරවුල්. ඔබ කියන දේත් මම 100% අනුමත කරනවා. බුලින්ග් කියන දේ ලංකාවේ සෑම පාසලකම තියෙනවා. මගේ පොඩි එකාත් හරිම අහිංසකයි. ඌට මේ ප්‍රශ්නය සෑහෙන තිබුනා. පස්සෙ මම කියලා දුන්නා පුතා ගුටි කන එක බයේ ඉන්න එක කිසිම ළමයෙකුට සුදුස් නෑ. කාටවත් බය වෙන්න ඕනෙත් නෑ. කවුරුවත් බය කරන්න ඕනෙත් නෑ. ගැහුවොත් ගහන්න ලේ එනකන්ම. ඉතුරු ටික මම බලා ගන්නම් කියලා. දවසක් මූ මගේ පාඩම ක්‍රියාත්මක කරලා තිබුනා. දැන් පොර තමයි ජේ.පී. ඒත් කාටවත් ගහන්නේ නෑ. ඔක්කොම සාමදානෙන්, සාඛච්චාවෙන්, සම්මුතියෙන්. හරියට ප්‍රේමදාස මහත්තයා වගේ. නැවත් වරක් මේ ලිපිය ලියුවාට ඔබට මාගේ ප්‍රමාණය. ෂොරි ඈ.. ප්‍රණාමය…

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 9:40 ප.ව.

      @මාතලන්: ඇත්ත. ජාතික පුවත්පතක දාන්න පුලුවන් තුන් දොස් කිපෙන්නෙ නැතිව මඳ පමනින් අඹරන ලිපි විතරයිනේ. මේවගෙ සදාචාර විරෝධී අදහස්! අම්මෝ මතක් කරන්න එපා. මමත් බ්ලොග් වලට කැමති එක කාරණාවක් ඕක.

      මාතලන් කරලා තියෙන්නෙත් මම කරපු දේමනෙ. ඇත්තටම එක අවස්ථාවක් එනවා නේද විකල්ප ඔක්කොම අවසන් වෙලා නොහිතූ දේ කරන්න සිද්ධවෙන?

      මාතලන් ස්තුතියි වටිනා කොමෙන්ට් එකට.

       
  5. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 17, 2012 at 9:19 පෙ.ව.

    මේක ආදර්ශමත් නැත්තේ මොකෝ සෑහෙන්න වටිනවා කාටවත් ඔළුව නමාගෙන බයෙන් ජීවත්වෙන්නේ මොකටද මෙහෙම තමයි ඉන්න ඕනේ…..මම නම් මට හැප්පෙන්න බැරි එවුන් එක්ක ගුටිකන්න වුනත් ගහගන්නවා මට නෙලන්න ආවොත් එකක් හරි ඌට දැනෙන්න ගැහුවනම් මට මාර සතුටුයි….හැබැයි ගහන්නෙම පොල් අඩි තමා ඉස්සර නම් ගුටිකනකොට අත් දෙක X අකුරේ හැඩේට හදාගෙන ඉන්නවා මූණ බේරගන්න….

    දුවටත් සටන් කලාව ඉගැන්නුව එකනම් සුපිරිම වැඩක් හොඳ වැඩේ අර බුලිච්චියො ටිකට….මම නම් කියන්නේ හැම ගෑණු ලමෙක්ටම ඔව්වා පුරුදු කරානම් හරි….

    චිත්‍රය උපරිමයි….

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 9:51 ප.ව.

      @ ගැමියාගේ පත් ඉරුව: ස්තුතියි ගැමියා. අන්න ඒ හැඟීම මටත් තිබ්බා. ගැමියට කියන්න මමත් ඔය විදියටම අත් දෙක X අකුර වගෙ ක්‍රොස් කරගෙන කොයි තරම් මූණ බේරගෙන ඇත්ද මුලදි!!

      අන්න දුව කමෙන්ට් එකක් දාලා තියෙනවා.

      චිත්‍රය ගැන අගැයීමට ස්තුතියි.

       
  6. indika27

    මාර්තු 17, 2012 at 9:49 පෙ.ව.

    නැහැ මේක ආදර්ශමත් කතාවක්…තමුන්ගෙ දරුවට ගෑනු පිරිමි බේදයක් නැතුව ආත්මාරක්ෂාව සහ පෞරුෂය වර්ධනය කරන වැඩසටහන් දෙන එක වැදගත්…ඔය බස්වලදි ගෑනුලමයින්ට වෙන අතවර එදත් තිබුන අදත් තියෙනව හෙටත් ඇති…
    එ්ත්ෙ දෙමාපියො පාසලේ තියෙන ආත්මාරක්ෂක ප්‍රෝග්‍රැම් එකකටවත් දරුව යොමුකරන්නෙ නෑ…එහෙම ආත්මාරක්ෂාව ප්‍රගුන කරපු ගෑනු ලමයෙක්ට ඔය හතලියෙ පනහෙ පොරවල් වලට දෙකක් ඇනල පරප්පරා කූට්ටම තැලිල යන්න දෙකක් අනින එක කජ්ජක් නෙමෙ…

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 9:55 ප.ව.

      @indika27: ස්තුතියි ඉන්දික. අර මම ඉස්සෙල්ල කිව්වත් වගෙ තවම ශක්තිවන්තයාගේ පැවැත්ම කියන පරිණාමයේ කැලෑ නීතිය අදත් ක්‍රියාත්මකයි. සමහර වෙලාවට වෙනත් විසඳුම් නැතුව යනවා.

       
  7. මාරයා...

    මාර්තු 17, 2012 at 10:26 පෙ.ව.

    ඇඩෙනවා හෙන්රි අයියේ…

    උපතින්ම කුඩා ප්‍රමාණයේ සිරුරක් තිබීමත්… ඒ තිබ්බ එකත් බොහෝම සවි ශක්තියෙන් අඩු වීමත් මත පුදුම විදියකට ගුටි කන්න වරම් ඇතිව උපන්නත් හොඳ වෙලාවට මට කට පිහිටලා තිබුනා අර අඩුව වැහෙන්න..ඒ හින්දා හැකි තාක් කටින් ගහලා බේරිලා හිටියත් සමහර අවස්ථා තිබුනා මග හැර යන්න බැරි.. මියෙම්වා රැකෙම්වා ගණයේ සටන් කිහිපයක් නිසා යන්තම් පහේ පන්තිය වෙනකල් චණ්ඩියා වගේ ඉන්න ලැබුනා…

    ඊට පස්සේ කොළඹ ජීවිතේ..ගුටි කෑම කියන දේ සාමාන්‍ය දෙයක් බවට පත් උනා… ඒත් බැරිම අවස්ථා වලදී ඔය චැලෙන්ජ් කරලා ගහ ගන්න ක්‍රමේට යන්න උනා… හෙන්රි අයියට වගේම මටත් ආවේණික පහරක් තමා ඔය පරම්පරා කුට්ටමට එල්ල කරන පහර… පහරක් දෙකක් කාගෙන ඉඳලා කල් යල් බලලා මං ආරක්ෂා වෙන ගමන්ම නියම වෙලාවට කොහොම හරි දණහිස් පහර එල්ල කරන එක හොඳට පිහිටියා..ඒ හරහා දෙතුන් දෙනෙකුට නෙලුවට පස්සේ තරමක් සැනසිල්ලේ කාලයක් ඉන්න පුළුවන් මට්ටමකට ඉන්න පුළුවන් උනා..ඒත් තත්වය හොඳටම හොඳ නැහැ..අඩුම තරමේ අනිත් උන්ගෙන් කන්නේ නැතිව පාඩුවේ ඉන්න පුළුවන් උනා…

    පුදුම කාලකණ්නි කාලයක්… මිනිස්සු උඩ දාගෙන කිව්වට හොඳම කාලේ පාසල් කාලය කියලා මං කවදාවත් එහෙම නොකියන්න හේතු තියෙනවා..ඔය එයින් එකක්… අද මෙවා බලලා සෝක ප්‍රකාශ නිකුත් කරන අය උනත් ආපහු හැරිලා බැළුවොත් පෙනෙයි තමුන් උනත් මේ අමන වැඩේ කොයි තරං කරලා තියේද කියලා… ගුරුවරුන්ට උවමනාව තියේනං මේ දේ වලක්වන්න හොඳටම ඉඩ කඩ තියෙනවා කියන එකයි මගේ හැගීම… ඒත් ඔවුන් මේ දේවල් ගැනවත්..ළමයි කොපි කරන එක ගැනවත් කිසිම සෙවීමක් උනන්දුවෙන් කරන්නේ නැහැ කියන එකනං මට හොඳටම විශ්වාසයි…

    එහෙම ගුරුවරුන්ටත්… තමුන්ගේ ළමයත් අනිත් ළමුන්ට හිංසා කරන කාලකණ්ණි දරුවකු බව දැන දැනත් නිශ්ශබ්දව ඉන්න කාලකණ්නි දෙමාපියන්ටත් සාප වේවා..! මේ ටික ලියන්නේ හදවතින්මයි අයියේ… ඒ තරමට ජීවිතේ අපායක් උන කාලයක් තිබුනා…උන් වගේ උන්ට හෙන ඉල්ලුවට පව් නැහැ…

    අයියා දුව ඔය තත්වෙට පත් කරවපු එක ඇත්තටම වැදගත්…

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:26 ප.ව.

      @මාරයා: මාරෙ මල්ලි, උඹේ කමෙන්ට් එක කියවලා මම පෝස්ට් එක ලියලා ලැබුවටත් වැඩි වින්දනයක්/කම්පනයක් ලැබුවා. මාරෙටත් ඉස්කෝලෙ තිත්ත වෙන්න මේ කාලකන්නි ක්‍රමය බලපාලා තියෙන හැටි. මාරෙ ඉස්සර කරලා තියෙන කමෙන්ට් කීපයකින් මම ඕක දැනගෙන හිටියා. නමුත් මෙච්චර දරුණුවට ඒක බලපාලා තියෙන බව දැන ගත්තෙ අද.

      ගුටිකෑම සාමාන්‍යකරණය වෙන එක නම් කියලා වැඩක් නෑ. මම අන්තිමට සටන් මාර්ගයට ඇද දැමුනෙ අන්න ඒ අවස්ථාවෙදි තමයි

      සමහරවිට ඔය අත්දැකීම් වලින් උඹ පදම් වෙන්න ඇති. නැතිනම් අපි හුඟ දෙන්කුට එක ජීවිත කාලයක් ඇතුලත ලබන්න බැරි අත්දැකීම් ගොන්නක්, ඒ කියන්නෙ බස් ජීවිතය, මහණ ජීවිතය, කුරුළු හමුදා ජීවිතය, පෞද්ගලික ආරක්ෂක නිලධාරී ජීවිතය වගෙ එකී නොකී අත්දැකීම් ගොන්නක් මේ අවුරුදු තිස්ගානකට ලබන්න!! (අපි නිවාඩුවට ආවම හංවැල්ල නිට්ටඹුව පාරෙ නුවර පාරට යන ගානෙ මම කියන දෙයක් තමයි ‘අර මාරයා ඉන්නෙ මේ හරියෙනෙ’ කියලා. ‘කවුද මාරයා කියලා?’ එතකොට ලමයෙක් අහනවා. අර තාත්තගෙ බ්ලොගර්.. ‘අර මහණ වෙලාත් ඉඳලා , එතකොට එයා ෆෝස් එකෙත් වැඩ කරලා ..එතකොට… ‘, ඔය විදියට ලැයිස්තුව කියාදෙනවා මගෛ බිරිඳ. ‘ඒකානම් මාරයෙක්ම තමයි’, කියලා මම කතාව ඉවරකරන්නෙ (:D)

      අනික, මේ බුලියොත් මේක කියවන්න ඇතිනෙ මාරෙ කිව්වත් වගෙ. මම නම් මාරේ ඇත්තටම කාවවත් ඔය විදියට බුලී කරලා නෑ. බුලියෙක් කියන්නෙ බයගුල්ලෙක් කියලනෙ කියන්නෙ. ඒක මානසික රෝගයක්.

      ඇත්තෙන්ම මමත් ගුරුවරයෙක් උනාට මාරෙ කරන චෝදනාවට එකඟ වෙන්න සිද්ද වෙනවා අකමැත්තෙන් උනත්. බොහොමයක් ගුරුවරු මේ ගැන හොයලා බලනවා මදි. ඇඟ බේරා ගැනීමේ කලාව තමයි තියෙන්නෙ හුඟ දෙනෙක් ලඟ.

      ඔන්න මාරේ මල්ලි, දුවත් කමෙන්ට් එකක් දාලා තියෙනවා.

       
  8. ලකීසිරි

    මාර්තු 17, 2012 at 10:31 පෙ.ව.

    මේ පොස්ට් එකනං මාරයි….තාත්තා කෙනෙක්..නියම තාත්තා කෙනෙක්…
    මේ පොස්ට් එක ආදර්ශමත් නැහැ කියන්නෙ කොහොමද? මේ අපේ ඇස් දෙක ඇරෙන කතාවක්නෙ…

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:28 ප.ව.

      @ලකීසිරි: සම්ප්‍රදායික ක්‍රමයෙන් පිට වුනත් ලකී හිතනවානම් මම නියම තාත්තා කෙනෙක් කියලා මට ලොකූ සතුටක් ඒක. කාගෙ හරි ඇහැ ඇරුනොත් ඒකම ඇති ලකී. ස්තුතියි.

       
  9. නවම්

    මාර්තු 17, 2012 at 10:32 පෙ.ව.

    මට නම් ඇඩ්වාන්ස්ලෙවල් කරනකන් යන්න උනේ එකෙම ඉස්කෝලෙකට, ඒක හන්ද ඉස්කෝලෙදි බුලි උනේ නැ. ඒත් කිව්වට විස්වාස කරන්න මම හොඳටම බුලි උනේ දහම්පාසලේදි. හයියෝ හෙමත් කාලයක්. මුංගෙ වැඩේ මගෙ සරම ගලවන එක. ගුටි කන එක සැපයි කෙල්ලො ඉස්සරහ සරම කැඩෙනවට වඩා. මහම ලැජ්ජාව උනේ මං කැමැත්තෙන් උන්න කෙල්ලෙකුත් ඔතන උන්න එක.

    බැරිම තැන දවසක් ඔයිං එකෙක්ට බංකු දෙකකට අත් දෙක තියල පැද්දිලා දුන්න පයිං එකක් කටටම ලේ එන්න. අනේ උලව්වෙ ඒ කකුල උස්සපුපාර මගෙ සරම යට ඉඳල අඩි දෙකක් විතර පැලුන. !! ඒ මදිවට අත් දෙකට වාරු නැතුව ගිහිල්ල දොහ් ! ගාල මං වැ‍ටුන බංකු දෙක අස්සෙ.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:33 ප.ව.

      @නවම්: උඹේ කමෙන්ට් එක බලලා පවුලේ හැමෝම කඳුලු එනකල් හිනාවුනා උදේ ම. උඹේ සරමත් පලාගෙන බංකු දෙක අස්සෙ වැටිලා ඉන්නවා මට හිතෙන් මකා දාන්නම බෑ. ඒත් අරූගෙ කටටත් පාර දුන්නනෙ!😀

      දහම් පාසලේ බුලි වෙන්න මොනතරම් දර්මස්කන්ධයක් ඔලු වලට ගිහින් තියෙන්න ඕනෙද!!

       
  10. කිරිපුතා

    මාර්තු 17, 2012 at 10:34 පෙ.ව.

    මම නම් බුලි වෙලා නෑ. ඒ උනත් ඉස්කෝලෙ වලි වලදි එක එක සටන් ක්‍රම පාවිච්චි කරල තියෙනවා. හොඳම එක මූණට ගහන පන්ච් එක. ඒක හරියට වැදුනනම් සතුරා සෑහෙන දුරට අඩපණ වෙනවා.

     
  11. ගිනි කුරුල්ලා

    මාර්තු 17, 2012 at 11:00 පෙ.ව.

    නියමයි…කවුරුවත් කතා කරන්නේ නැති මාතෘකා මෙහෙම හරි කතා කරන ඒක ලොකු දෙයක්..

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:38 ප.ව.

      @ගිණි කුරුල්ලා: ස්තුතියි ගිණි කුරුල්ලා. ඒවත් කතාකරන්න ඕනැනෙ.
      ගින්දර වගෙ නමක් තියෙන්නෙ ගිණි කුරුල්ලට!😛

       
  12. පන්සල් හංදිය

    මාර්තු 17, 2012 at 11:12 පෙ.ව.

    මටත් මගේ පාසල් කාලේ ආපහු මතක් උනා, මම නං ඔය කියන බූලි වලට නං මූණ දිලා නෑ …….
    ඒත් ඒ දවස්වල ඕන එකෙක්ගෙන් ෆේස්ටු ෆේස් ගේම ඉල්ලන්න නං දෙපාරක් හිතන්නෙ නෑ …….
    මම පැහැදිලිව දන්න එක දෙයක් තමා, මුලු ටවුන් එකක් හොලවං ඉන්න චණ්ඩියෙකුට උනත් එකෙක් ගැහුවොත් බල්ලොත් ගහනවා, ඒ කියන්නෙ ඌට තියන බය එහෙමපිටින්ම නැති වෙලා යනවා, කාගෙන්වත් ගුටි නොකා ඉන්නකං කිසි කෙනෙක් අත තියන්නෙ නෑ, කවුරු හරි අත තිබ්බොත් ඉතිං සොරි තමා …….

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:42 ප.ව.

      @පංසල් හන්දිය: ඒක ඇත්ත. කොච්චර ලොකු චන්ඩියෙක් උනත් එකෙක් ගැහුවොත් බල්ලොත් ගහනවා. වැඩේ මේකනෙ. අපිත් නිකං කාටවත් ගහන්නෙ නෑ, ඔය චන්ඩිත් ඉල්ලලානෙ කන්නෙ. විකල්ප අවසන් වුනාම තත්වය අභාග්‍යසම්පන්නයි.

       
  13. තිස්ස දොඩන්ගොඩ

    මාර්තු 17, 2012 at 11:15 පෙ.ව.

    අකුරක් නෑර කියෙව්ව බං – උඹ හරි – ලෝකේ හදන්න බෑ නෙව – අපට පරිස්සං වෙලා ඉන්න වෙනව
    ආත්මාරක්ෂාව කීවම ආත්ම[ගරුත්ව]ආරක්ෂාවත් අයිතියි නෙව.

    ළමයි එක්ක දෙමව්පියෝ මෙහෙම ඉන්නවනම් හැංගිල ගල්ගහන, මූණ වහන් හූකියන, ආත්මාභිමානයක් නැති කාඩ්බෝඩ් වීරයෝ වෙනුවට, පෞරුෂයක් ඇති මිනිසුන් බිහිකරත හැකි.

    පිහිණීමත් මේ වගේ ක්‍රීඩාවකුත් දරුවන්ටනම් උගන්වන්නම ඕනේ!!!
    මගේ ආචාරය මචෝ!!!

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:46 ප.ව.

      @තිස්ස: ස්තුතියි මචං. ආත්ම ගෞරවය ආරක්ෂාවත් ආත්ම ගෞරවයෙම කොටසක් තමයි.
      අර පිහිනීම ගැන කතාව නම් සහතික ඇත්ත තිස්ස. ඒක නම් මටත් අතපසු වෙන දෙයක්.
      නැවතත් ස්තුතියි මචෝ!

       
  14. සාබිත්

    මාර්තු 17, 2012 at 12:53 ප.ව.

    මාත් කටින් භය කරගෙන තමයි හිටියේ! මාත් කෙසඟ වැඩිය ඇඟ පත නැති එකෙක්! ඒ උනාට කටේ පිහිටෙන් දෙයියනේ කියලා අවුරුදු 13ටම කාගෙන්වත් ගුටි කෑවෙ නෑ!

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:49 ප.ව.

      @සාබිත්: යකෝ මේකට කොමෙන්ට් ලියන උන් ඔක්කොම කෙට්‍ටු උන්නෙ.
      සාබිත් නම් හැබෑ වාසනාවන්තයෙක්. කට නැත්නම් බල්ලො ඇදගෙන ගිහින් කියලනෙ කියන්නෙ! ස්තුතියි සාබිත්.

       
  15. Observer

    මාර්තු 17, 2012 at 12:53 ප.ව.

    මං හිතන්නෙ හතරෙ හරි පහේ පන්තියෙදි මම බොක්ෂින් පටන් ගත්තෙ. ඒ කාලෙ අපේ කෝච් මිස්ට එල්. වී. ජයවීර ඒ වනකොට {අදටත් මං හිතන්නෙ} ක්‍රීඩා දෙකකින්, {ක්‍රිකට් සහ බොක්ෂින්} ජාත්‍යන්තරව ලංකාව නියෝජනය කරපු එකම පුද්ගලයා. බොක්ෂින් ට්‍රේනිං වලදි සෑහෙන ගණන් කාරයෙකුටයි, ඉන්ටවල් එකේ සටනකදි ලොකුම බුලියටයි කෙළියට පස්සෙ, ඒ ඉස්කෝලෙ ඉන්නකන් මං බුලි වුනේ නෑ.

    පස්සෙ කාලෙක මිශ්‍ර පාසලකට ටිකකාලයක් යද්දි, රෙස්ලින් වලින් බොහොම ඉහල තැනක් තියාගෙන හිටපු, වයිස් ප්‍රින්සිපල්ගෙ ගෙදර ඉඳල ඉස්කෝලෙ එන, වයිස් ප්‍රින්සිපල්ගෙ ඥාති පුත්‍රයෙක් එක්ක, පුටුවක් හින්ද ඉස්කෝලෙම ප්‍රසිද්ධ වුන සටනකට බහින්න වුනා. මගෙ වෙලාවට ඒ ඉස්කෝලෙ රෙස්ලින් තිබුනට, කවදාවත් බොක්ෂින් තිබිල නෑ. ඌ ෆුල් ට්‍රයි කලේ මාව බදාගෙන පෙරලගන්න. තොල් වලින් නහයෙන් ලේ ගලද්දි අන්තිමට බැරිම තැන රෙස්ලින් ශූරය මගෙ වම් අතේ උඩ හ‍රිය හැපුව. කුරුප්පුගෙ දත් පාරවල් මගෙ අතේ එච්චර පැහැදිලි නැතත් තවම තියෙනව. ෆැමිලි ජුවෙල්ස් වලට දනිස් පාරක් දීල ගැලවුනේ. එදායින් පස්සෙ ඒ ඉස්කෝලෙත් කරදරයක් තිබ්බෙ නෑ. [ ඒ කාලෙ ඔබීත් ඒ ඉස්කෝලෙ හෙහ්..හෙහ්.. ] හැබැයි ඒ ඉස්කෝලෙත් වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නෑ. තාත්තගෙ ස්ථාන මාරු හින්ද නොවුනත්, මාත් ඉස්කෝල හතකට ගිහින් තියෙනව, වෘතිය පුහුණු වුන ඉස්කෝලෙ හැර.

    වෘතිය පුහුණු වුන ඉස්කොලේදීත්, එම්. ජී. ටී. [මෝඩ ගොන් තකතිරු කියල අපි කිව්වෙ] මුලකුරු තිබ්බ ගණන් කාරයෙක් එක්ක සටනකින් පස්සෙ බුලි වුනේම නෑ.

    එම්.ජී. ටී. නං පස්සෙ හොඳ යාලුවෙක් වුනා, කුරුප්පු නං කතා කළෙම නෑ, ඒ ඉස්කෝලෙන් ගියාට පස්සෙ දැක්කෙත් නෑ හැබැයි.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:54 ප.ව.

      @Observer: අර කුරුප්පුත් මගෙ කතාවෙ ඉන්න කෑඳැත්තා වගේම ආයෙ කතා කලේ නෑ නේ? ඒකෙන්ම පේනවා වෙච්ච හානියෙ තරම ආත්ම ගෞරවයට.

      මට එක ප්‍රශ්නෙකට තියෙන්නෙ ඇයි මේ කතාව තව විස්තර ඇතුව පඳුර වටේ තලලා හෙම පෝස්ට් එකක් හැටියට නොදාන්නෙ මේ ඔබා ලියන්නෙ කුණුහරප විතරයි කියන වාචාලයන්ගෙ (මාත් ඇතුලුව ;P) කටවල් වැහෙන්න?

       
  16. අංජන

    මාර්තු 17, 2012 at 1:00 ප.ව.

    මේක අමතකම වෙල තිබුන දෙයක්. ඔබට ඕක ඔය විදිහට උනාට ඔහොම හැමෝටම වෙන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. ගොඩාක් දක්ෂ, ගහන්න කැමති නැති අයට ලොකු ප්‍රශනයක් වෙනවා. අනික, ලමයි විතරක් නෙමෙයි, ගුරුවරුත් අලුතින් එන දක්ෂ ලමයි ගැන අකමත්තක් තියෙනව බොහෝ වෙලවට. මට එහෙම වෙල තියෙනවා. මම හිතන්නෙ, ඔය පෞර්ශ වර්ධනය කඩාකප්පල් කිරීමේ ගැටලුව නිසා මගෙ ජීවිතේ අවුරුදු 3ක් 4ක් විතර මට නැතිවෙල තියෙනවා. වාසනාවට මගේ ගැටලුව හඳුන ගත්තු කෙනෙක් නිස මම අද හොඳින්. ස්තුයී මෙගැන කථා කලාට. දෙමවුපියො මෙගැන වැඩි සලකිල්ලක් දක්වන්න ඔනේ.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 10:59 ප.ව.

      @අංජන: ඇත්ත අංජන. මේක හැමෝටම මේ විදියට වැඩ නොකරන්න පුලුවන්.

      මම ඇත්තටම ඉතාම කණගා‍ටුවෙනවා අංජනගෙ ජීවිතේ අවුරුදු කීපයක්ම ඔය ගැටලුව නිසා අහිමිවීම ගැන. ඒ උදවු කරපු පුද්ගලයා ශ්‍රේෂ්ඨයේ වෙන්න ඕනෙ. දැන් ඔක්කොම හරියි කියලා අංජන කියනවනෙ. සතු‍ටුයි ඒ ගැන.

       
  17. හරී

    මාර්තු 17, 2012 at 2:04 ප.ව.

    කරාටි ෂෝ එකක් බැලුවා වගේ…

     
  18. ඩිලාන්

    මාර්තු 17, 2012 at 2:22 ප.ව.

    එකෙක්ට එල්ල කරපු කලු ගල් ප්‍රහාරයක් නිසා උගේ ඔලුව පැලිලා අහිංසකයෙක් වෙලා හිටිය මමත් ස්කෝලේ වැඩ කරුවෙක් උනා කාලයක්

     
  19. Weni

    මාර්තු 17, 2012 at 2:42 ප.ව.

    මම නම් ඉස්කෝල දෙකකටයි ගියේ..කරාටේ සහ කුන්ග්ෆූ ඉගෙන ගෙන තිබ්බත් අවුරුදු ගනනක්ම..ඕනි උනේම නෑ..මගේ අහිංසක මූන දැක්කහම කෙල්ලො ටික කොල්ලන්ට මාව බුලි කරන්න දුන්නෙම නෑ..”අනේ පව් අහිංසක ලමයෙක්..” කියලා මාව බේරුවා..බුලියන්ට නියම පාඩම තමයි බුලියෙන්ම උත්තර දීම..

     
  20. කුරුම්නිය

    මාර්තු 17, 2012 at 3:06 ප.ව.

    කදිම ලියවිල්ලක් ඈ…රබර් වත්තෙ ඉස්කෝලෙ ඉදල 7 වසරට තමයි මමත් මහා විද්යාලයකට ගියේ ..ඉදගන්න පුටුවක් දුන්නෙ නෑ..තාත්තා පුටුවකට වෙනමම සල්ලි බැන්ද උනාට ඇත්තටම ඉස්කෝලෙ ලමයි ගානට පුටු තිබුනේ නැහැ.අන්තිම පේලියේ වැඩ බැරි චන්ඩිත් එක්ක පුටු දෙකකට ලෑල්ලක් දාල මමම හදාගත්ත තැනක තමයි පලවෙනි වාර පරීක්සනේ වෙනකම් ඉන්න උනේ.පහුවදාම පන්තියේ දෙවනියා උන මට ඉදිරි පෙලින් පුටුවක් ලැබුණ.ඒත් එදා ඉදන් කැපිලි වලින් අඩුවක් උනේම නෑ.ඔය කාලෙ තමයි මේ කුරුම්නිය කියන නම මට රෙජිස්ටර් උනෙත්.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 11:13 ප.ව.

      @කුරුමිණියා: ඇත්තටම ඉස්කෝලෙට ලී බඩුත් අරන්දෙන්න වෙලා තිබ්බ කාලයක් තිබ්බ තමයි. දැන් ඔය තාත්තා පු‍ටුවකට සල්ලි දීලත් ඔහොම වුනේ ඉස්කෝලෙ ලොක්කා ගසාකාලා වෙන්න ඇති නේ?
      මේ පෝස්ට් එක ලියලා මම ඉගෙන ගත්තා මොන තරම් කොල්ලො කෙල්ලො බුලී වෙනවද කියන එක.

      හැබැයි කුරුමිණියා නම් කනට ගැහුවා වගේ අරුන් දාපු නම් ප්‍රොෆයිල් එකට දාගෙන. මරු වැඩේ!!

       
  21. mahesh

    මාර්තු 17, 2012 at 3:41 ප.ව.

    මම ඉස්කෝල 4කට ගියා..අන්තිම එකේ ඇරෙන්න ඔය සිද්ධිය මටත් උණා…
    (මම ඒක බ්ලොග් එකේ ලියන්න ඔ්නේ)
    අන්තිමට ගියපු ඉස්කෝලෙ තමයි මගෙ රස්තියාදුකාර අයියා හිටියෙ… නැත්තං ඒකෙනුත් ඉවරයි..

    මම නොකරපු වැරුද්දකට ගුරුවරු සෙට් එකක් වටවෙලා කන්නවත් නැතිව රුග් කරද්දි… අයියා එතන වීරයෙක් උණා මටනම්… (හැබැයි එයා ටීචර් කෙනෙකුට කුණුහරුපෙන් බැන්නා… )
    අයියත් ඉස්කෝල 5කට ගියපු එකෙක්… මම හිතන්නෙ එයා ඒවිදියට හැදුනෙ ඔය Bullying වැඩේ නිසාම තමයි….

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 11:20 ප.ව.

      @Mahesh: ලියන්න මහේෂ් ඒ කතාව.මට පෝඩ්ඩක් පැහැදිලි නැත්තෙ මහේෂ් ශිෂයයෙක් වෙලා ඉන්නකොට ගුරුවරු සෙට් එකක් ‍රැග් කලා කියන එක? මාර ගුරුවරුනෙ?
      ඕක ලියන්නකො බලන්න අපිටත්.
      ස්තුතියි කමෙන්ට් එකට මහේෂ්!

       
  22. Hera

    මාර්තු 17, 2012 at 6:27 ප.ව.

    ගමේ ඉස්කෝලෙදි මමත් Bullying වලට මුහුන දීලා තියනවා. එක දවසක් හනස්සක් අරන් දුන්නා මගේ එක්ක හැමදාම පැටලෙන්න එන එකෙකුට. නඩුව අහලා ඉවර වෙලා අන්තිමේ අපේ අම්මගෙන් ගුටි කන්න උනෙත් මටමයි.
    ශිෂ්‍යත්වෙන් ඉස්කෝලෙ මාරු කලාට පස්සේ ගිය අලුත් ඉස්කෝලෙත් පොඩ්ඩක් එහෙම උනා අර වගේ uncivilized කීප දෙනෙක් හිටපු හන්දා. ගහ ගන්න යන්නත් බෑ ලෙඩ දා ගන්න බැරි හන්දා.

    Bullying කරන අයට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනා!.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 11:25 ප.ව.

      @Hera: හනස්සෙන් ගැහුවනම් බඩුම තමයි. අම්මත් ඒ ඉස්කෝලෙ ටීච කෙනෙක්ද හේරා?
      බුලී කරන එක ලංකාවෙ විතරක් නෙවෙයි අමෙරිකාව වගෙ රටවලත් සමාජ ප්‍රශ්ණයක්. දඬුවම් ක්‍රියාත්මක කරන්න අමාරුයි.

       
      • Hera

        මාර්තු 17, 2012 at 11:28 ප.ව.

        අම්මා නම් ටීචර් කෙනෙක් නෙවෙයි. ගුටි කාපු එකාගේ අම්මා ආවානේ වස්තර උස්සන් අපේ ගෙදර. :S

         
  23. Nalini

    මාර්තු 17, 2012 at 7:01 ප.ව.

    මං හිතන්නෙ දෙමවුපියො කරන්න ඕනෙ ඔය ඔබ කළ දේ තමයි. කුඩා කාලෙ ඉඳලම අනුන්ට ගරු කරන්න උගන්වන්නෙ නැති සමාජයකනම් අපි ඉන්නෙ, ඒකෙදි ජීවත්වීමේ අරගලය සඳහා හුරු කරවන්නම වෙනවා.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 11:28 ප.ව.

      @Nalini: වෙන විකල්පයක් මම දැක්කෙ නෑ නලිනි. කැලෑ නීතිය රජයන සමාජයකනෙ අපි ඉන්නෙ. Struggle for survival! ස්තුතියි ප්‍රතිචාරයට.

       
  24. ලොකු පුතා

    මාර්තු 17, 2012 at 7:02 ප.ව.

    මෙව්වා වැදගත් පෝස්ට් අයියේ… එක හුස්මට කියෙව්වා.
    අයිය දුවට උගන්වපු දේ හරි කියන මතයේ තමයි මම ඉන්නෙත්

    මම ගිය ඉස්කෝල තුනේදී මට ඒ තරම් ප්‍රශ්නයක් උනේ නැහැ
    ටිකක් වාත උනා සමහර වෙලාවට, ඒත් කිසිම කෙනෙක් හෝ කණ්ඩායමක් කවදාවත් නිකරුනේ කාටවත් ගැහුවේ නැහැ.
    අලුත් උන්ට නිකරුනේ ගහන්න අතක් උස්සන්න නොදෙන විදිහේ හොඳ කණ්ඩායමක් අපේ පන්තිය ඇතුලේ හිටියා…
    අපි හැමෝම එකා වගේ හිටියා…
    ඒකට හේතුව උනේ අපේ පන්තිය ශිෂ්‍යත්ව පන්තියක් වීම නිසාත් ගොඩක් අංශ වලින් ඉදිරියෙන් හිටිඅපු පන්තියක් වීම නිසාත් නිතරම අනිත් පන්ති වල උන් අපේ පන්තියත් එක්ක වලි දාගන්න එනඑක වෙන්න ඕනේ
    ඒ නිසා අපි කණ්ඩායමක් විදිහට ඉන්න පුරුදු උනා…
    මම මේ කිව්වේ 7 වසරේදී ගිය අලුත් ඉස්කෝලේ ගැන.
    ඊට කලින් එව්වයේනම් පොඩි කාලේ නිසාද මන්ද ලොකු කරදරයක් තිබුනේ නැහැ
    ඒත් මම පුංචිම කාලෙනම් මට හැමදාම ගහන එකෙක් හිටියා, මම ඒ ගැන පෝස්ට් එකකුත් දාල ඇති :))

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 11:33 ප.ව.

      @ලොකු පුතා: ස්තුතියි ලොකු පුතා.
      පන්තියම එකට ඉඳීම බුලි ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි. අර කිව්වත් වගෙ බුලියො කියන්නෙ බයගුල්ලො. මට හුඟක් වෙලාව උනේ තනිවීමනෙ. අර පෝස්ට් එක බලන්න ඕනෙ.

       
  25. hiruni

    මාර්තු 17, 2012 at 7:45 ප.ව.

    මට ඒ ගුටි කන දවස් අද වගේ මතකයි. සමහර දාට ගුටි කන්න බයේ තාත්තා එනකල් ඔ‍ෆිස් එකේ මිස්ලට පේන තැනක ඉන්නවා. එලියට එනකල් බුලිච්චියෝ බලා ඉන්නවා.අල්ලගෙන හුස්ම හිර වෙනකල් මට ගහනව. එදත් ඒ වගේම දවසක්. දෙන්නෙක් ගහන්න ආව. බඩ මැද්දට දෙකයි දුන්නෙ චන්ඩි ටික කොහෙද නෑ. හෙල්මට් පහර එල්ල කරන්න උනේ මගෙ බෑග් එක ලොකු මඩ වලකට දාලා ගහගන්න ආව කෙනෙක්ට. ඒ දවස් වල මම තාත්තයි අම්මයි එක්ක බ්යික් එකේනෙ යන්නෙ. ඉතින් හෙල්මට් අවිය හැම වෙලේම අතේ.

    ඒත් මම කවදාවත් මට තාත්තා කියලා දුන්න ආත්ම ආරක්ශා සටන් නිකන් පාවිව්චි කලේ නෑ. ඒක තමා තාත්තගෙ පලවෙනි නීතිය. එදා ඒ විදියට මම ආපහු ගැහුවෙ නැත්නම් මම අදත් බුලිච්චියන්ට බය වේවි. ඒත් දැන් මම අනිත් කෙල්ලො වගෙ තනියම පාරක යන්න බය නෑ. මොකද මම දන්නවා බුලිච්චියො වගේම බුලියන්වත් මට්‍ටු කරන හැටි. තාත්ත එදා කියා දීපු පාඩම් නිසා මම අදටත් ඔලුව කෙලින් තියන් ඉන්නව. ඒ පාඩම් වලට මම අදටත් ස්තුතිවන්ත වෙනවා.

     
    • henryblogwalker

      මාර්තු 17, 2012 at 11:35 ප.ව.

      @හිරුණි: මෙන්න මම බලාගෙනම හිටපු ප්‍රතිචාරය.
      කෙටියෙන් කිව්වොත් මම ආඩම්බරයි ඔයා ගැන.

       
    • පන්සල් හංදිය

      මාර්තු 18, 2012 at 12:19 පෙ.ව.

      මමත් බලාගෙන හිටියේ කෝ මේ හෙන්රි අයියගේ චණ්ඩි රැජින කියලා ……….
      ඔය වගේ රියල් තාත්තා කෙනෙක් ලබන්න පින් කරන්න ඕන ……….

       
      • hiruni

        මාර්තු 19, 2012 at 2:43 පෙ.ව.

        ඒක ඇත්ත. අපි, (මල්ලියි මමයි) ගොඩක් වාසනාවන්තයි. අපිට ඕනම වෙලාවක ලග ඉන්න තාත්තෙකුයි අම්මෙකුයි ඉන්නවා.

         
    • රන්දිල්

      මැයි 18, 2012 at 2:36 ප.ව.

      මාත් මේ ලිපිය කියවලා බලාගෙන බලාගෙන ආවේ දෝණියැන්දාගේ කොමෙන්ටුව කෝ කෝ කියලා… ගොඩක් අදහස් ගත්ත ලිපියක්… බොහොම ස්තුතියි තාත්තාටයි දෝණිටයි දෙන්නාටම… අම්මාටත් ස්තුතියි ගුටි කෙලි උගන්වද්දි වැලැක්කුවේ නැතුවාට….🙂

       
  26. sAm sRi

    මාර්තු 17, 2012 at 10:59 ප.ව.

    චිත්‍රය බොලගෙමද ? ගැමියගේ කමෙන්ටුවෙන් දැක්කේ.. ඒක සුපිරි !

    ගහ මරා ගන්න එක හොද නැති වුනාට ආත්මාරක්ෂාවට වැරදි නැහැ නොවැ

     
  27. henryblogwalker

    මාර්තු 17, 2012 at 11:40 ප.ව.

    @sAm sRi: (මේ සෑමාගෙ නම ගහන්නෙත් පාස්වර්ඩ් එකක් ගහනවා වගෙනෙ.)

    ඔවු සෑම්. චිත්‍ර මගෙම තමයි. බ්ලොග් ලියනවා කියවනවා වගේම මම සෑහෙන ආතල් එකක් ගන්නවා චිත්‍ර ඇඳලාත්. ස්ට්‍රෙස් එක සෑහෙන අඩු වෙනවා.

    නැතුව නැතුව. ගුටිකන එකෙත් සීමාවක් තියෙන්න එපායැ.

     
  28. Dulip Sikurajapathy

    මාර්තු 19, 2012 at 4:22 පෙ.ව.

    ශාස්ත්‍රාලෙට ආපු දවස්වල සෙට් එක මට බුලිය දීගෙන ආව . . .ඔය අතරෙ සෙට් වෙච්ච දෙතුන් දෙනෙක් ගෙදර එක්කං ගිහිං පොඩි වී.එච්.එස්. දෙක තුනක් පෙන්නුව . . අර බුලියො සෙට් එක නිකම්ම කුක්කො උනා

    කෙල්ලන්ට ශිල්පෙ ඉගැන්වීම . . . මගෙ කෙල්ල ප්‍රසන්න ජයවීර මාස්ටර්ගෙ අනාගත ගෝලිකාවක් අනිවා

     
  29. රාජ්

    මාර්තු 19, 2012 at 2:18 ප.ව.

    ෂහ් නියම මාතෘකාව. ඇදල අරගෙන තියෙන්නෙ. මට දැනටත් නිතර මතක්වෙන දෙයක් තමයි වැඩිහිටි වයසට පත්වෙච්ච අපිට දැන් තියන ප්‍රශ්න. ඒවත් එක්ක බැලුවම ඉස්කෝලෙ යන කාලෙ තිබුනු ප්‍රශ්න මොනවද කියල හිතෙනව. ඒත් වැදගත්ම දේ තමයි දැන් අපිට තියන ප්‍රශ්න නිසා ඔලුවට දැනෙන බර, ඒකාලෙ තිබුනු(දැන් පොඩි දේවල් කියල හිතෙන) ඒ ප්‍රශ්න නිසා ඔලුවට දැනුනු බව. ඒ දේවල් පොඩියට සලකන්න හොද නෑ කියලයි මගෙත් හැගීම. මොකද එහෙම උනොත් ළමයෙකුගෙ මානසිකත්වය බිංදුවට බහින්න ඉඩ තියනව.

    අනිත් කාරණාව චන්ඩි ගැන. ඕනෑම කෙනෙකුගෙ චන්ඩිකම් පවතින්නෙ ඊට වඩා චන්ඩියෙක් මුනගැහෙනකන් විතරයි. මම නං ඉස්කෝලෙ යනකාලෙ පංතියෙ හිටිය අනිත් එවුන්ට සාපේක්ෂව කුඩා ශරීරයක් හිමිවුනු එකෙක්. ඒත් මට අමතර වාසියක් තිබුන කාගෙන්වත් ගුටි නොකා බේරෙන්න. ඒ තමයි මගේ ඉගනීමේ හැකියාව සහ කතන්දර කීමේ හැකියාව. මගෙන් පාඩම් කොපිකරන එවුන් මට පහරදීමට නොපෙලඹුනා සේම මාව ආරක්ෂා කිරීමටත් පියවර ගත්ත වෙලාවල් තියනව. ඒ වගේම මගේ කතන්දර අහන්න තියන ආසාව නිසා මාව තරහ කරගන්න කැමතිවුනේ නෑ. ඒත් රණ්ඩුසරුවල් ඇති නූනම නෙවේ.

     
    • henryblogwalker

      මාර්තු 20, 2012 at 7:41 පෙ.ව.

      @රාජ්: කතාව ඇත්ත. නමුත් අපිට දැන් උනත් ඒ ඒ මොහොතට තියෙන ප්‍රශ්ණෙ නේද ලොකුම ප්‍රශ්නෙ වගෙ දැනෙන්නෙ? ගිය මාසෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ නෙවෙයි මේ මාසෙ ලොකුම ප්‍රශ්නෙ. කාන්තාරෙක අතරමං වෙච්ච් එකාට ලෝකෙන් ලොකුම ප්‍රශ්නෙ වතුරනෙ.

      රාජ් බේරිලා තියෙන හැටිත් අගෙයි. තියෙන සම්පත් උපරිමයට ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. (:D)

       
  30. Kasun Chanaka

    මාර්තු 19, 2012 at 11:48 ප.ව.

    අනේ හත්දෙයියනේ මේක සිංහලෙන් තිබුනද? අයියෝ සල්ලි කිව්වලු! අපරාදේ පන දාගෙන අරක කියෙව්වේ.

     
  31. henryblogwalker

    මාර්තු 20, 2012 at 7:47 පෙ.ව.

    @කසුන්: මම කසුන්ලියලා තිබ්බ ඉංග්‍රීසි කමෙන්ට් එකට උත්තරයක් දුන්නා. ඒක නියමයි. මේක සිංහලෙන් තිබ්බට කම්මැලි නැතිව ඉංග්‍රීසි එක කියවලා ප්‍රතිචාරත් දක්වපු එක සෑහෙන අගය කරන්න වටිනවා. ඔය කැපකිරීම්වලට ප්‍රතිඵල දැනටමත් කසුන්ට ලැබෙමින් පවතිනබව පේනවා ලියලා තියෙන ව්‍යක්ත භාෂා විලාශය දැක්කම.

     
  32. නිසුපා

    මාර්තු 20, 2012 at 10:11 පෙ.ව.

    අදමයි මේ පැත්තට ආවෙ.නියම කතාව.

    අද කාලෙ වෙන දේවල් හැටියට කෙල්ලො ඉපදුන ගමන් ආත්මාරක්ෂක සටන් කලාවක් උගන්නන්න තියෙනවානම් හොදයි කියලත් හිතෙනවා.

     
    • henryblogwalker

      මාර්තු 23, 2012 at 8:10 පෙ.ව.

      ඒක ඇත්ත නිසූපා. අද එහෙම කාලයක්. ඔය වගෙ කීපයක්ම තියෙනවා ඔයිට අමතරව ගැහැණු පිරිමි දෙගොල්ලම ඉගෙන ගතයුතු මම හිතන විදියට, වාහනයක් පදවන්න. පීනන්න වගෙ. නැතිනම් අසරණ වෙනවා.

       
  33. පිණිබිඳු

    මාර්තු 21, 2012 at 2:15 ප.ව.

    කැම්පස් එකක කට්ටියක් එක්ක රැග් වෙනව වගේ නෙමෙයි ඉස්කෝලෙක තනියෙන් රැග් වෙන එක. මට මතකයි අපේ ඉස්කෝලෙට අලුත් ලමයි ආපු කාලෙ ඉස්කෝලෙ ඉස්සර නෝන්ජල් වගේ එවුනුත් පොර වෙනවා. අතින් පයින් නැතුව කටින් බයකරන් ඉන්න එවුන් වැඩියි. අලුත් ලමයින්ගෙන් සල්ලි කඩාගන්න තරම.

     
    • henryblogwalker

      මාර්තු 23, 2012 at 8:13 පෙ.ව.

      සාමාන්‍යයෙන් නෝන්ජල් එවුනුත් පොර වෙන එක මම හොඳට දැකලා තියෙනවා. නිවට ඇම්බැට්ටයා දැක්කම එලුවත් නිකට පානවා කියනවනෙ.

       
  34. තුන් සිත

    මාර්තු 21, 2012 at 6:18 ප.ව.

    පළමුවෙන් කියන්න ඕනා මේක ආදර්ශමත් ඒ වගේම නැවත නැවතත් හිතන්න ඕනා කාරණාවක්, මමත් මුලින්ම ගියේ ගමේ පොඩි ඉස්කෝලෙට ඊට පස්සේ කොල්ලෝ විතරක් ඉගෙන ගන්න ජාතික පාසලකට ගියේ 8 පන්තියේදී. මමත් ඒ දවස් වල ගොඩක් කෙට්ටුයි, වයසේ අනිත් ළමයි එක්ක බලපුවම හැදුන ශරීර කුඩුවක් නෙවෙයි තිබුනේ, දන්නවනේ 8 පන්තිය වෙද්දී කොල්ලන්ගේ දැලි රැව්ල් වැවෙන්න පටන් අරන් චන්ඩි කම් ලොකුවටම ඔලුවට් අරන් ඉන්න කාලේ. ඉතින් මම වැටුන පන්තියෙත් හිටියා චන්ඩි 5 -6 විතර, කව්රුවත් මුන්ට විරුද්ධව කතා කරන්නේ නෑ, අනේ හැමදාම මම ගෙනියන කෑම එක කන්නේ මම නෙවෙයි මේ චන්ඩි, මම කලේ හැමදාම කදුළු පුරෝගෙන බලා ඉඳල බඩගින්නේ ගෙදර යන එක. මට අලුත් ඉස්කෝලේ තිත්ත වෙලා තිබුනේ, ගමේ පොඩි ඉස්කෝලේ මට දැනුනේ දිවිය ලෝකේ වගේ, ඒ මදිවට මුන් මගේ පොත් වලින් පිටු කඩා ගන්නවා බලෙන්ම, එපා කිව්වම කරන්නේ අත පුරවල කම්මුලට ගහන එක, හැබැයි මේ ඔක්කොම වෙනස් වුන දවසක් ආව , මේ චන්ඩියෙක් (ඉරෝෂ්) දවසක් මගේ අම්මට කුණු හරුපයක් කියලා හයියෙන් හිනා වුනා, එදා මගේ හිතට ආව ආවේගෙට මම ඒ කොල්ලට ගැහුවේ කොහොමද කියලා මට හරියටම මතක නෑ , හැබැයි උගේ නහය කැඩිලා ලේ ඇවිත් සුදු කමිසයට ලේ බින්දු වෙටෙන එක මට හොදට මතකයි, එයින් පස්සේ මගේ කෑම එක මට සැනසීමේ කන්න විතරක් නෙවෙයි , චණ්ඩින්ගේ බැල්මක්වත් ලැබුනේ නෑ.

    මමත් අහිංසක එකෙක් නෙවෙයි ඕන තරම් දඟ වැඩ කරලා තියෙනවා, , එත් අලුත් ඉස්කෝලේ මුල් කාලේ මගේම වයසේ අයගෙන් වින්ද කරදර මතක් වෙද්දී , මට තවමත් හිතට හරි අපහසුවක් දැනෙනවා…

     
    • henryblogwalker

      මාර්තු 23, 2012 at 8:22 පෙ.ව.

      ස්තුතියි කමෙන්ට් එකට තුන් සිත, ඇත්තෙන්න මේ පෝස්ට් එක ලියනකොට මම නොහිතපු කාරණා කීපයක් තියෙනවා. මම හිතුවෙ නෑ මේ තරම් පාඨකයො සංඛ්‍යාවක් බුලි වෙලා ඇතිය කියලා. මේකෙන් බැට කාපු අය කොච්චර ඉන්නවද කියලා දැක්කම පුදුම හිතෙනවා. ඔය කමෙන්ට් දාපු අය විතරනෙ.

      අනික කට්ටිය හුඟ දෙනෙක් කෙට්‍ටු කුඩා ශරීර තිබ්බ අය ඒ කාලෙ. මමත් එහෙමයි.

      ඔය අම්මට බනින එක තමයි අවසාන නිවේදනය නේද? ඕක මටත් වෙලා තියෙනවා. ඉවසීමාවෙ සීමාව ඉක්මවා යන්නෙ ඔය වාක්‍යයට.

      අවසාන වශයෙන් “මමත් අහිංසක එකෙක් නෙවෙයි ඕන තරම් දඟ වැඩ කරලා තියෙනවා.”
      දඟ වැඩ කියන්නෙ සුන්දර දේවල් තුන් සිත. ඔය අපි කතාකලේ බලු වැඩ සහ තිරිසන් වැඩ ගැන. ඒවා දඟ වැඩ නෙවෙයි.

       
  35. buddhiprasadh

    මාර්තු 23, 2012 at 1:58 ප.ව.

    ඒ අතින් උඔ නියම තාත්තෙක් !

    මට තියෙන ලොකුම ගැටලුව ළමයි ඇයි එහෙම වෙන්නෙ කියන එක.

    අපේ අම්මලා තාත්තලත් රජයේ රැකියා කරපු හින්දා අපිටත් ඉස්කෝලා කිහිපයකට යන්න උනා. නමුත් වැඩි පුර ගියේ ගම්වල ඉස්කෝල වලට හින්දා ඔය ප්‍රස්නෙ තිබුනෙ නෑ. නමුත් කාලයක් මට යන්න ලැබුනා නගරේ ඉස්කෝලෙකට. අන්න ඒ දවස් වල මට ඔය අද්දැකීමට මූණ දෙන්න උනා. ඒකෙ තියෙන වේදනාව ගැන මට කියන්න දෙයක් නෑ. කමෙන්ට් වලිනුත් උඔටත් ඒක තේරෙනවා ඇති. හැබැයි එදා නම් මම ඔය කට්ටියව නමා ගත්තෙ උන්ට කන්ඩ අරගෙන දීලා මහ නිවටයෙක් වගේ. මම නිවටයෙක් කියලා හිත වද දුන්නෙ වැඩිපුරම අපේ තාත්තත් අම්මත් කරාටේ බ්ලැක් බෙල්ට් කාරයො හන්දා. නමුත් ඒ කාලේ මම ඕවා දන්නෙ නෑ.

    මම ආයෙත් කියනවා උඔ නියම තාත්තෙක්. හොඳ ඉවසීමක් තියෙන.

    ආගම දහම නිසා ඉවසීම පුරුදු වෙලා තියෙන නිසා ඇරෙන්ඩ, ඉස්සර මට ඕවා දිරවන්නැ. අපේ මල්ලි කෙනෙක්ට හොස්ටල් එකේ දී ඔහොම වෙලා මම නිවුන්නු දෙන්නෙක්ට හොස්ටල් එක ඇතුලටම ගිහින් ගැහුවා හිතේ ගින්දර යනකල්ම.

    දැන්නම් මට හිතෙන හැටියට මම පුදුම විදිහට ඉවසීම පුරුදු කරලා තියෙන්නෙ. කෝපය වැඩෙද්දි මට ඒක දැනෙනවා. ඉතින් වහාම සමනය කර ගන්න පුලුවන්.

    ඒත් උපකල්පනය කරලා බැලුවොත් මගේ දරුවෙකුට ඔහොම කරනවයි කියලා, මම මොකක් කරයිද? මං හිතන්නෙ කරන්න සුදුසුම දේ තමා මේ ලිපි‍යෙ තියෙන්නෙ!

     
    • Dulip Sikurajapathy

      මාර්තු 24, 2012 at 2:54 පෙ.ව.

      මචං බුද්ධි,
      ආයෙත් කෝපය වැඩෙන අවස්තාවක් ආවොත් ඔබ්සර්වර් අයියගෙ මූන මතක් කරගෙන එකේ ඉදල දහයට හිතිං ගැනපං

       
  36. hasithag

    මාර්තු 24, 2012 at 6:16 ප.ව.

    හොඳින් හෝ නරකින් ඒක තමා හොඳ ප්‍රතිපත්තිය. ගහන්න ගහන්න වඳින්න යාමත් වඳින්න වඳින්න ගහන්න යාමත් අවුල්ලුනේ.

    කොහොම වුණත් මේ දවස්වල නම් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ප්‍රශ්න විසඳන්න තමා මම නම් පුරුදු වෙලා ඉන්නේ🙂

     
  37. Gaminie Vijith

    මාර්තු 25, 2012 at 10:15 පෙ.ව.

    මමත් මචං ඉස්කෝල තුන හතරකට ගිහිල්ලා ඔය පරිප්පුව කාලා තියෙනවා. හයේ පන්තියෙදි අපේ පංතිය භාරව හිටියෙ මගෙම අම්මා. කොල්ලන්ගෙන් ගුටිකාලා අම්මගෙනුත් ගුටි කෑවා.

     
  38. pasanOnline

    මාර්තු 25, 2012 at 9:30 ප.ව.

    මේ කතාව කියවනකොට මට මතක් වුනේම මේ video එක

     
    • ♛ Poorna Chathura☜☆☞ (@Poorna1989)

      අප්‍රේල් 14, 2012 at 10:47 පෙ.ව.

      බිබිලි නගින බෙළිකටුටුටුටුටු!!!ඇඟ හීතල වෙලා ගියා ඒක දැක්කම.පට්ට වීඩියෝ එක.අරූට තේරුනේවත් නැතුවැති තාම පෘතුවියේ ඉන්නේ කියලවත්.ලොල් ය,මැක්සා ය.නමුත් බුලියන් බුලිච්චියන් පජාතය,කුජීතය,නින්දා සහගතය.

      (මා මෙතෙක් බුලි වීනම් නොමැත රැග් වීනම් ඇත, නමුත් බුලිවීම් රැග් වීම් අප්‍රිය කරමි )

       
  39. Shorin-Ryu

    අප්‍රේල් 17, 2012 at 11:48 පෙ.ව.

    මෙම ලිපියේ සැගවුණු ආදර්ශ රැසක් තිබෙනවා. මෙය ඉතා වැදගත් ලිපියක් හෙයින් මා මෙය අප පිටුවේ හා බ්ලොග් අඩවියේ පල කරනවා.

     
  40. අටම්පහුර

    මැයි 6, 2012 at 10:43 පෙ.ව.

    නියමයි. මගේ දුවටත් පුරැදුකරන්න ඔන

     
  41. ලොක්ක

    ජනවාරි 5, 2014 at 12:51 පෙ.ව.

    මගේ කතාව මීට වෙනස්, මම මම හිටියේ පිරිමි පාසලක, O/L වලට කලින් පන්තියේ බුලින්ගෙන් හොදට ගුටි කාලතියනවා. මගේ අතපය දිගයි මමත් උසයි ඒ දවස්වලත්, එත් අපේ දෙමව්පියෝ පුදුමාකාර අහිංසකයෝ. කවදාවත් අනුබල දුන්නේ නැහැ කාටවත් ගහන්න ඊ නිසාම මගේ හිත බයයි රන්ඩු වලට පැටලෙන්න එපා නාහෙට නාහන උන් එක්ක මග ඇරලා ඉන්න කියනවා , මමත් හරි බයයි ප්‍රතිපහර දෙන්න .නමුත් O/L ඉවරවෙනවත් එක්කම මම Bodybuilding කරන්න ගත්තේ මට ඇග හදාගන්න තිබ්බ ලොකු පිස්සුවක් නිසා. හැබැයි මම ඊලග අවුරුද්ද ඇතුලත පුදුම විදියට ශක්තිමත්, විශාල වුන. මගේ අතපය යකඩ වගේ මගේ උසත් එක්ක මම බුලියන්ට වඩා විශාල විදියට වර්ධනය වුන. කොල්ලෝ කට අරන් ඉන්නවා මව දැක්කම.මගේ කමිස හිරට හිරයි. නමුත් එකෙක්වත් අයෙත් බුලි කරන්න අවේ නැහැ. උන් බයයි මම ගැහුවොත් සුන් කියල. මමත් පපුව පුම්බගෙන යනවා.පුදුම respect එකක් මට තිබුනේ.හොද වෙලාවට කවුරුවත් challenge කලේ නැහැ. .

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: