RSS

Monthly Archives: මැයි 2012

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

ගමයයි මායි දෙන්න ගියා සුපුරුදු විදියට හොරි බනිස් කාලා ප්ලේන්ටිය ගහලා කැහි කූරක් ඇදලා එන්න. දෙන්නම දුම්බට වලට ගිණි තියාගෙන ඔන්න යාවත්කාලීන කරනවා.

“මොකද බං උඹ ඊයෙ ආවෙ නැත්තෙ?”මම ඇහුවා.

“ආ… ඊයෙද? ඊයෙ ගියානෙ මචං එයාපෝට්. ඊයෙ දුලානිලගෙ අයියා ජර්මන් ගියානෙ බං ස්කෝල් එකක් හම්බ වෙලා.”

“මරුනෙ! ඉතිං කොච්චර කාලෙකටද?”

“අවුරුදු තුනකට මචං.”

“අන්න වාසනාවන්තයො. ශ්‍රී ලන්කන් ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවද ජර්මනියට?”

එතකොටම අපි කැහිකූරු ගන්න, සිංහලද, දෙමලද, ජාද, බර්ගර්ද, මුස්ලිම්ද, මොකක්ද කියන්න බැරි නමක් තියෙන කඩේ, ඒ කොයි වර්ගයට අයිතිද කියලා පෙනුමෙන්වත් ඇක්සෙන්ට් එකෙන්වත් අනුමානවත් කරන්නවත් බැරි මුදලාලි පැන්නා මැද්දට.

“ෆ්‍රැන්ක්ෆර්ට් යන්නෙ අබුඩාබි එකට ගීල්ලා තමයි. ඊත්‍රෝ(හීත්‍රෝ) යන්නෙත් ඒමයි. අබුඩාබි එකේ හරි ඩුබායි එකේ හරි ටච් කරලා තමයි යන්නෙ”

“ම්හ්ම්.. ඇත්තද?”

මුදලාලි ගියා කඩේ ඇතුලට.

තවත් දුම් උගුරක් පෙනහලු පිරෙන්න ඇදපු මම,

“දුලානිගෙ අයියා ජර්මන් ගියා කිව්වනේද මචං?”

“ඔව්, ඌ ජර්මන් තමයි ගියේ, ඇයි මචං?”

“ඌට කොච්චර ට්‍රයි කලත් ජර්මන් යන්න බෑ මචං.”

ගමයා මොකුත් නොකියා තොල් එකට තද කරගෙන බෙල්ල ඇල කරලා මං දිහා බැලුවා.

“මචං, ඌ ගියේ ජර්මනි. නැත්නං ජර්මනියට. ජර්මන් නෙවෙයි. මොකද ඒක භාෂාවක්. එහෙම වුනොත් සිංහල, හීබෲ, පාලි, සංස්කෘත, එස්ප‍රැන්ටෝ, පෘතුගීසි, ඉංග්‍රීසි, දෙමල හෙමත් යන්න පුලුවං වෙන්න එපෑ. බැරිවෙලාවත් එහෙම යනවානම් මචං මොකක් හරි බේතක් කරන්න වෙයි!”

ගමයා අමුතු හිනාවක් දාගෙන මං දිහා බලා හිටියා. මම ඔන්න තවත් පටවනවා.

“ඒවගෙම මචෝ අර යන BMW එක ජර්මන් කාර් එකක්.
එතකොට ජර්මන් විශේෂන පදයක්.
එතකොට රට වැසියා ජර්මන්කාරයා නැතිනම් ජර්මන් ජාතිකයා.”

“එහෙම කියනකොට තේරෙනවා මචං. ඒ වුනාට එක පාර ටැපලෙනවා, අර පුරුද්දට…”

“ආපහු ගියාම මම උඹට කොලේක ඇඳලා පෙන්නන්නම්කො.”

තව පොඩි අවුලක් තමයි අර බුවා කිව්වා නේද ඩුබායි එකෙන්ද, අබුඩාබි එකෙන්ද බැහැලා යන්න ඕනෙ කියලා?

“ඔව්”

“මචං ඕක හුඟ දෙනෙක් කියනවා මං අහලා තියෙනවා. ඊට ලස්සනයිනේද ඩුබායි වලින්, අබුඩාබි වලින් බැහැලා යනවා කියන එක. ඩුබායි එකේ කියන්නෙ නැතුව? එතකොට හොංකොංවල, ලන්ඩන්වල.”

පාරේ වනවන ගිය පස්සක් දිහා නොපෙනි යනකල්ම බලා හිටපු අපි දෙන්නා එකිනෙකාගෙ මූණ බලාගෙන ඉඟි මැරුවා හරියට “කොහොමද ඒ වැනිල්ල?” කියනවා වගෙ.

“ඉතිං මොකක්ද උඹ කිය කිය හිටියෙ? පස්සක් දැක්කම උඹටත් උන් හිටි තැන් අමතක වෙනවනෙ, හෙහ් හෙහ්. යකෝ දරු පවුල් කාරයො නේද? මේ හිටහල්ලකො අපි වගෙ ඩීසන්ට් කමට”

“අනේ ‍තෝ මට කියන්නෙ නේ? ඔය සපත්තුව තෙමිලා තියෙන්නෙ තොගෙ දිව ඇතිල්ලිලා…”

“මේ ඒක නෙවෙයි හෙන්රියො. සිංගපූරුවෙ එකා සිංගපූරියන්නෙ. එතකොට හොංකොංවල එකා මොකාද? ඕක අපේ පුතා බං ඇහුවෙ. ඩික්ෂනරියෙත් නෑනෙ බං.”

ගමයා අති සාර්ථක විදියට ආරක්ෂාකාරී ඉරියව්වෙන් පාදය පසුපසට ගෙන වේගවත් පහරක් එල්ල කලා පන්දුව තන නිල්ල දිගේ වේගයෙන් ගලාගෙන යන්න.

“ඔය හොංකොං වල වැසියාට කියන වචනයක් මම දැනගෙන හිටියෙ නෑ මේ ලඟක් වෙනකල්. මෙන්න මේ ලඟදි National Geographic Channel එකේ දැන්වීමක හොංකොඟර් කිව්වා බං. මං හොල්මං වෙලා ගියා.”

“ආහා ඇත්තට! යකෝ අද සෑහෙන දිග පාඩමක් ඉගෙන ගත්තනෙ” ගමයා සිගරට් කොටේ බිම දාලා පාගන ගමන් කිව්වා.

“එහෙම තමයි ඩෝ, හැම දාම නෑ හැම තැනම නෑ” මම කහමදේටම ආපු බටේ පෙරේත උගුර අදින්න ඉස්සෙල්ල කිව්වා.

_______________________________________________________________________________________

වැඩේ ඒත් අවුල් නම් මෙන්න මමම හදපු වගුවක් තියෙනවා. කොහෙන්වත් උස්සලා නෙවෙයි, මේ දැන් හැදුවෙ. හැමෝම මං වගෙ 18ටේ කොල්ලො නෙවෙයිනෙ. 🙂 පේනවා මදිනං එහෙම කෂ්ටිය ලැජ්ජ වෙන්න ඕනෙ නෑ වගුව උඩ දෙපාරක් කොටන්න. 😀

ප.ලි. මා අවුරුදු පහකට හෝ හයකට පෙර දුම්පානය නතර කල බව සලකන්න. Hong Konger යන වචනයේ භාවිතාව මේ කතාවට ඈඳූමුත් එය සැබවින්ම සිදුවූයේ මෙම වසරේ 2012 මුල භාගයේය.

මමත් සියල්ල දත් නෙවෙයිනෙ. මම නොදැන හිටියට එහෙම වචනයක් තිබිලා තියෙනවා. මෙන්න විකිපීඩියාවෙන්…

The terms Hong Konger (or Hongkonger), Hongkongese, and Hong Kong People are all translated into the Cantonese term of Hèung Góng Yàhn (Chinese: 香港人; Cantonese Yale: Hèung Góng Yàhn). As a result, the above terms are different only as far as English language usage is concerned. People from Hong Kong in Western countries are also referred to colloquially as Hongers[citation needed] (or honkies[citation needed], an offensive term ), however these latter terms are not always well received. The terms embodies a civic identity as opposed to one based upon race or ethnicity.

Hong Konger is used more often by native speakers of English,[citation needed] while Hong Kong People, a more direct translation of the term Hèung Góng Yàhn, is used to a greater extent by Chinese native speakers in Hong Kong when writing or speaking in English.[citation needed] Hongkongese is a relatively recent term coined by the North American press, likely using the same suffix as the word Chinese does.[1]

The term Hong Kong Chinese was used more often in the 19th to early 20th century in Hong Kong[citation needed], where the British population residing in Hong Kong made up a higher percentage than what it comprises now. One used to refer to an individual as Hong Kong Chinese in order to differentiate the person from a Hong Kong Briton.

 

ටැග: , , , , ,

66. නුඹ…

66. නුඹ…

අපේ උකුල් මත සුව නින්දේ පසුවෙමින් සිටියදී අවදි කරවා මින් පෙර දැක නොතිබූ ෆ්‍රයිඩ් රයිස් කෑමට කතාකලදා, අප දඩාවතේ යන පූසන්ට අනා දෙන ඉතිරි බත් මතක් වීමෙන්දෝ, ‘මේ මොනවද? පූසන්ට දෙන බත්ද?”යි ඇසූ නුඹ…,

අප දෙදෙනාම ‍රැකියා කල නිසාත්, වැඩ අධික කම නිසාත්, බොහෝ වේලා රූපවාහිණිය නරඹන්නට යොමුවීමේ ඵලයක් ලෙස දිනක් උදෑසනම පාසැල් යාමට අවදි කල විට “චුට්ටක් ඉන්න මේ දැන්වීම ඉවරවෙනකල්” යයි පැවසූ නුඹ…,

කුඩා මවුන්ටන් බයිසිකලයේ අධාරක රෝද ගලවා දැමූදා වැනෙමින් නමුත් නොවැටී සයිකලය පැදයනු දැක අප හදවත් ආඩම්බරයෙන් පිරවූ නුඹ…,


දිනක් අර නිල් හෙල්මටය හැඳ, කුඩා බයිසිකලයේ නැගී, අර මහ පල්ලමේ අපේ මෝටර් රථය පසු පසින් පැදවිත්, ඇද වැටී, අගලේ වල් පඳුරු තුල නොපෙනී ගොස්, අනතුරුව නිල් හෙල්මටයද, ඉන් පසු කුඩා දැරියක්ද පඳුරු අතරින් මතුවනු දැක සැනසුම් හෙලූ අපට, “වැ‍ටුන එක නම් කමක් නෑ, අර ටටා හැන්ඩ් එක මම වැ‍ටුනම මට ටටා ටටා කිව්ව එකටයි මට කේන්ති!” යයි මට පෙ‍රැත්තකර බයිසිකලයට සවිකර ගත් ගැජට්‍ටුවක් ගැන පැමිණිළි කල නුඹ…,

එක වසරේ ඉගෙනුම ලබද්දී පාසලේ පියානෝවේ යතුරු පුවරුව මත ඇවිදිමින් නව සංගීත ආරක් බිහි කිරීමට තැත් කලැයි පන්ති භාර ගුරුතුමිය මා හමුවේ පැමිණිලි කිරීමට සැලැස්වූ නුඹ…,

සියලු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අසාර්ථක වූ තැන ආත්මාරක්ෂාවට මා ඉගැන්වූ පරිදි අතින් පයින් පමනක් නොව අතේ තිබූ හෙල්මටයෙන්ද පහරදී බුලිච්චියන් පලවා හැරීයයි විදුල්හල්පතිතුමිය මට පැමිණිළි කලදා නිවටව බියසුළුව නොසිට දෙපයින් නැගීසිටීම ගැන මා රහසින් අමන්දානන්දනයට පත්කල නුඹ…,

දිනක් කොමාන්ඩෝ සටන් ඇඳුම් හැඳ සෙල්ලම් රිවොල්වරයක් එක් අතකින් තමන්ගේම පපුවට එල්ල කරගෙන “මා නුඹව අත් අඩංගුවට ගන්නවා! අත් ඔසවා යටත් වනු!” යයි නියෝග කර අනිත් අත ඔසවා යටත් වී, සෙබලාගේත් කැරලිකරුවාගේත් ද්විත්ව චරිත රංගනය කරමින්, පවුලේ එකම දරුවා වීමේ කාංසිය අපට ක්‍රියාවෙන්ම ඔප්පු කල නුඹ…,

කාරුණික ගැහැණියකද, ගත් කතුවරියකද වූ විදුහල්පතිනිය දිනක් මා කැඳවා, “බ්ලොග්වෝකර් මහත්මයා, හිරුණි අද මාව මුණ ගැහෙන්නට කාර්යාලයව ඇවිත් කිව්වා එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕනෙ කියලා ඔබට කියන්න කියලා ඇගේ විදුහල්පතිණිය හැටියට”යි පැවසීමට ක්‍රියා කිරීමෙන් අන්තිම තුරුම්පුවද පාවිච්චි කල නුඹ…,

තවත් දිනෙක වරදකට දඬුවමක් ලෙස මා නුඹ කැමතිම අයිස් ක්‍රීම් වර්ගය නුඹට නොදී නුඹ ඉදිරියේ සිටගෙන තනියෙන් කෑ දින අහිංසක මුවැත්තියක මෙන් වරෙක මා දෙසද වරෙක ඉවත බලාගෙනද එම දඬුවම විඳි ආකාරය නිසා මා සිතින් පසුතැවීමට සැලසූ නුඹ…,

මිත්තණියටත්, නැන්දණියටත් ගෙතුලට පැමිනිය නොහැකි වනසේ අලුත උපන් මල්ලියා සමග ගෙයි දොරගුලු ලාගෙන ඔහු ඔවුනට රැගෙන යාමට නොදී ‍රැක බලා ගත්තේ යයි සිතූ නුඹ…,

සය හැවිරිදි වියේදී පාසැලේ ලාබාලතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වීමෙන්ද, නිවෙසට ගෙන ආ පදක්කම් සම්මාන, ප්‍රගති වාර්තා වලින්ද අපේ කම් කටොලු අමතක කරවාලූ නුඹ…,

වරක් මෙහි ජීවිතය ඒකාකාරී බව පවසා අප හැරදා තනිව ලක්බිම බලා පියාසර කලදා ගුවන් තො‍ටුපලේ දැවැන්ත ප්‍රදර්ශන තිරයන් මත FINAL CALL හා ඉනික්බිතිව GATE CLOSED නිවේදනය දැක මා හැඬවූ නුඹ…,

මා කෝප ගැන්වීමටම කවට කමට Home English Kitchen Version යයි මා නිතර අවඥාවට ලක් කල වර්ගයේ ඉංගිරිසියම ගෙදරදී හැකි සෑමවිටම භාවිතා කල සහ තවත් මෙහි සඳහන් නොකල අනන්තවත් සිදුවීම් වලට මුල්වූ නුඹ…,

අද උපන් දිනය සමරන්නීය.

නුඹට සුභ උපන්දිනයක් පතමු මෙලෙස,

හිරුණි, අපේ දයාබර දියණිය!

අධික කාර්ය බහුලත්වය නිසා මෙම ලිපිය සිංහලයට නගන්නට වේලාවක් නොතිබුනෙන් HeyDude බ්ලොග් අඩවියේ පළකරන මුල් පිටපත එලෙසින්ම මෙහි පළකරන්නට සිදුවීම ගැන සමාව අයදිමි. අවස්ථාවක් ලද විගස මෙහි සිංහල පිටපත පළකිරීමට අදහස් කරමි.

henryblogwalker the Dude

 

ටැග: , ,

65. කළන මිතුරෙකුගේ නික්ම යාම

65. කළන මිතුරෙකුගේ නික්ම යාම

දෑස් කඳුලින් බොඳවී ඇති මොහොතක, උගුරේ යමක් සිරවී, පපුව මත බරක් පැටවූවාක් මෙන් හැ‍ඟෙන මොහොතක ලියන මේ ලිපියේ දහසක් දෝෂ තිබිය හැක. ඔබා අයියා ගැන මෙවැනි සටහනක් තබන්නට සිදුවේ යැයි සිහිනෙකුදු නොසිතුවෙමි.

ලියන්නාගේ බ්ලොග් රෝලේ ඔබා අයියාට නිවන් සුව පතමින් පළකර තිබූ බ්ලොග් වල මාතෘකා දුවු විට ඇතිවූයේ විමතියකි. මා මුලින්ම සිතුවේ මෙය කවටකමක් කියාය. මෙය මා අසල සිටි දීපාට පැවසූ විට ඇයද නොසෑහෙන සේ කලබල වූවාය. “මුංගෙ විහිලුවක් වෙන්න ඇති” යන සිතුවිල්ලත් සමග, “ඒත් යකෝ ඔහොමත් විහිලු කරනවද?” යයි අපේ උන් සමග මඳ අමනාපයක්ද සිතට දැනිනි.

ඉන් පසු කඳුලු පිරිණු දෑසින් බ්ලොග් සියල්ල කියවා බැලූ අපට පාසැල ඇරී ගෙදර යාමටද අමතක වී තිබින.

අන්තිම පේලියේ ඔබා පළකර තිබූ කවි පන්තියකට ප්‍රතිචාරයක් ලියා ඇතිවූ මිත්‍රකම ඊ මේල් හුවමාරු කරගැනීමටත්, පසුව ඔබා අයියාගේ ලිපි වලට ගැලපෙන චිත්‍ර ඇඳ දීමත් දක්වා වර්ධනය විය. පසුගිය සැප්තැම්බරයේ මගේ ලැප්ටොප් පරිඝනකයේ මතුවූ BSOD දෝශයත් සමඟ අක්‍රීය වීම නිසා ඔබා කවර වර්ගයේ මිනිසෙකුදැයි අප හැඳින ගැනීමට මහඟු අවස්ථාවක් උදා විය.

මේ මගේ බ්ලොග් අඩවියේ ලිපි සහ ඔහුට ඇඳ දීමට මා පොරොන්දු වූ චිත්‍ර කිහිපයක් ගැන ඔහු විමසූ පසු ඔබා අයියාත් මාත් අතර වූ ඊ මේල් කිහිපයක සංක්ශිප්ත උපුටා ගැනීම් කිහිපයකි.

“Computer can’t be repaired in a hurry because i think the dust has done the damage and is overheating.the problem is this is still covered by the warranty and I can’t get back to Sri Lanka before end of Nov. There is a screw I won’t dare to remove at the bottom under the warranty sticker, so can’t vacuum inside. So not only blogging. My son’s studies, (he used to refer to PDF past papers while downloading games), our games, communication with daughter, reading newspapers, music, picture collections and doing homework and school work and many more, have come up to a halt. And you can select the best of the pictures for your purpose…”

(ඔබා අයියා, මගේ ලැප්ටොප් එක මේ හදිසියේ ගොඩගන්න අමාරුයි, ලංකාවට යනකල් ඉන්න වෙනවා. දැන් වෙලා තියෙන ප්‍රශ්නෙ මට බ්ලොග් ලියන්න විතරක් නෙවෙයි, මගෙ ඉස්කෝලෙ යන පොඩි එකා මේකෙ PDF වලින් සේව් කරගෙන හිටපු ප්‍රශ්ණ පත්‍ර බැංකුවයි , එතකොට ඩව්න්ලෝඩ් කරපු ගේම්ස්, අපේ කෙල්ලත් එක්ක චැට් කරපුවා ඔක්කොම ඉවරයි) එවිට කිසිදා නුදු‍ටු, බ්ලොග් ලෝකයෙන් පමණක් මාස කීපයකට පෙර හඳුනාගත් ඔබා අයියා එවූ පිළිතුරින් මා විමතියට පත් වීමි.

“Hi Henry, I have a lap top which I am not using any more. Only problem with that lap top is, it has to be connected to power, while being used. The battery is not holding its charge. Anyway if you need it for your child’s studies, please send me your mailing address, I’ll put in a new battery and send it to you. Obaa”

(හෙන්රි, මා ලඟ තියෙනවා මම පාවිච්චි නොකරන ලැප්ටොප් එකක්, ඒකෙ තියෙන එකම ප්‍රශ්ණෙ චාජර් එක ගහගෙන විතරයි වැඩ කරන්න පුලුවන්, මොකද චාජ් එක අල්ලලා හිටින්නෙ නෑ. මට පුලුවන් ඒක එවන්න පුතාගෙ ඉස්කෝලෙ වැඩටික කරගන්න. මට එවන්න ලිපිනය. මම බැටරියක් දාලාම එවන්නම් ඒක. ඔබා.) මේ ඊ මේල් පණිවිඩය දු‍ටුවිට දීපාත් මාත් එකවිට “අන්න මිනිස්සු, ඔය ඉතින් කවදාවත් ඇහැටවත් දැකලද?”.යයි කීවෙමු. මෙන්න මා ඔහුට දුන් පිළිතුර:

“Obaa, Thanks a million. I was just wondering that you don’t even know me in the flesh. still you offered to give that laptop to me. Still you don’t have to do that and still I really appreciate it so much. Obaa, I can manage with the school computers for the moment. And we’re going home in Nov and then we can get it done there as I think still 2 year warranty’d be valid when we go. It was bought on 19/12/2009.”

(ඔබා, දහස් වාරයක් ස්තුතියි. මම කල්පනාකලේ ඔබා අයියා මාව ඇහැටවත් දැකලාවත් නැතුව මට ලැප්ටොප් එකක් එවන්න හදන හැටියි. ඕහෙම කරන්න අවශ්‍ය නෑ ඔබා අයියා, නමුත් මම මේ දේ ඉතාමත්ම අගය කරනවා. මට පුලුවන් ඉස්කෝලෙ කම්පියුටර් වලින් මේ වැඩ ටික කරගන්න. අපි කොහොමත් තව මාසෙකින් ලංකාවට යනවනෙ….)

මගේ දරුවාත් ඔහුගේ දරුවෙක් මෙන් සැලකූ ඔබාගේ පිළිතුර මෙය විය.

“Hey Henry, What’s this still and still business, the laptop is not for you, it’s for the kid if he needs it. About the batteries, you and I should run them to the last minute before recharging the bastards, otherwise they empty themselves pre maturely, that was what I learned from a so called expert.”

(හෙන්රි, මොනවද මේ කතා කරන්නෙ? ලැප්ටොප් එක උඹට නෙවෙයි. අර පොඩි එකාටයි, එයාට ඕනෙ නම්. ඔය ලැප්ටොප් බැටරි ගැන කිව්වොත්… )

ඉතින් මා ඔහුගේ පරිඝනකය කාරුණිකව ප්‍රතික්ෂේප කලත්, ඔහුගේ ගුණ සුවඳ මනාව වටහා ගතිමි. සමහරුන් මෙන් ප්‍රසිද්ධ වීමට පින්කම් කරන, අඬබෙර ගසා දන් දෙන, දුන් දෙය ගැන පම්පෝරි ගසන, අනුන්ට වල කපන පුස්සන්ගෙන් පිරි ලොවක ඔබා අයියා කළ්‍යාන මිත්‍රයෙකී, සැබෑ මහත්මයෙකි. ඔබා අයියේ අප කිසිදින මුන නොගැසීම ගැන මා දැන්නම් සතු‍ටුවෙමි. එසේවීනම් මෙය දරාගැනීමට මට ඉතා අපහසු වනු ඇත. ඔබට නිවන් සුව ඔබා අයියේ!

 
ප්‍රතිචාර 25

Posted by මත මැයි 13, 2012 in සැමරුම්

 

ටැග: , , ,

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

උගන්නන රස්සාවෙ ලංකාවෙදි සහ මෙහෙදි පුදුම වෙනසක් තියෙනවා, සමානකමුත් නැත්තෙ නෑ. ලොකුම වෙනස තමයි ලංකාවෙදි අපි විශ්‍රාම වැ‍ටුප් සහිත ස්ථිර රජයේ සේවකයො හන්දා අපිට තියෙන බලතල වැඩියි. මෙහෙදි, රජයේ ඉස්කෝලවල ඉගැන්නුවත් අපි අවුරුද්දකට සැරයක් ගිවිසුම අලුත් කලයුතු විදේශීය සේවා දායකයො. ඉතින් බලතල ගැන කතාකරලා වැඩක් නෑනෙ. ඒකට ලංකාව!! 🙂 හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වුනත්, ජීවිතෙන් බාගයක් පාරට වැය කලත්, අපිට (සෑ)හෙන බලතල තිබ්බා. නිවාඩු ඕනෙ තරම්! අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක කොකු දාගන්න එක ‘ජීවනාංගයක්’. (ඔන්න මම මේ දැන් නිර්මාණය කරපු වචනයක්. “It’s a way of life” වලට සමාන කියලයි අදහස් කලේ! 🙂 අම්මෝ, තිබ්බ නිදහසක්! 🙂

ඔන්න දැන් කශ්ටිය ඇවිස්සුනානම්, බලතල කිව්වෙ මෙහෙට සාපේක්ෂව. වගකිවයුතු තීරණ ගන්න අපිවත් සහභාගී කරගත්තා. අපේ අදහස් විමසුවා. විදුහල්පති වුනත් තමන්ට ඕනෙ හැටියට වැඩකරන ඒකාධිපතියෙක් වගේ හැසිරුනේ නෑ. අපි එහෙම හැසිරෙන්න ඉඩ දුන්නෙත් නෑ.! නිවාඩු ඕනෙ තරම් තිබ්බා. ඒ කියන්නෙ හතලිස් එකක්ද කොහෙද තිබ්බා. අනියම් නිවාඩුත් එක්ක. මතක් වෙනකොටත් දුකයි. 😦 අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක, විදුහල්පතිලත් එක්ක, ගුරු උපදේශකලත් එක්ක, කොකු දාගත්තෙ අසාධාරණයට එරෙහිව. නමුත් මතක තබාගතයුතු දෙයක් තමයි අසාධාරණයත්, අනිත් කොයි දේත්, වගෙ සාපේක්ෂ බව. ‍රැස්වීම්වලදි නැගිටල තර්ක කලා. සමහර අධ්‍යාපන අධ්‍යක්ෂකලට අපි මාර ඇණයක් වෙලා තිබ්බෙ. අනේ එහෙම නිදහසක්! දුකේ බැරුවා. 😦

කිවයුතු තව දෙයක් තමයි ලංකාව් හිටියත්, පිටරටක හිටියත් වැඩකරන එකා වැඩ කරනවා. හොරා කොහෙ හිටියත් හොරා!

මම අන්තිමට ලංකාවෙ වැඩකලේ “කොට අදින ඉස්කෝලෙ”. මේ ඉස්කෝලෙට ඔය නම වැ‍ටුනෙ, පිහිටියෙ කොට වලට සම්බන්ද තැනක හන්දා විතරක් නෙවෙයි. කශ්ටිය අහලා ඇතිනෙ පෙරහැරේ යන අලියි, කොට අදින අලියි ගැන. කොළඹ කිව්වම කශ්ටියට එකපාර ඔලුවට එන්නෙ පොෂ් තැනක්නෙ නේද? කොළඹ හැම තැනම පොෂ් නැතිබව ඔලුවට එන්නෙ පස්සෙ. ඉතින් ඔය කොළඹ නගරෙම කුමාර විදුහල් වගේම කොහොමවත් පොෂ් නැති, දුප්පත්, කාටවත් යන්න ඕනෙ නැති ඉස්කෝලත් තියෙනවා. (ඔය පොෂ් කියන වචනෙ අපි කවුරුත් පාවිච්චි කලාට ඕකෙත් නැවකට සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. ඒක කියන්නම්කො වෙන වෙලාවක ඉංග්‍රීසි පාඩමකට) මම කුමාර ඉස්කෝලෙකට නොගිහින් කොට අදින ඉස්කෝලෙකට වැ‍ටුනෙ කොහොමද කියන එකත් දැන්නම් හරි රසවත් කතාවක් එදා තිත්ත කතාවක් වුනාට. කලකදි රස කලකදි වස වෙනවා වගේම කලකදි වස කලකදි රස වෙන එකත් පුදුමාකාර දෙයක්!

ඉතින් කොට අදින ඉස්කෝලෙ වැඩකරන අපි කාලේ සිංහලෙන් කිව්වොත් thankless job එකක්. අපි ඉගැන්නුවෙ තරමක් දක්ෂ ටික දෙනෙකුටයි, සැලකියයුතු දක්ෂතාවයක් නොපෙන්වන, ඉගෙනගන්න කිසිම ඕනෙ කමක් නැති වැඩි දෙනෙකුටයි,අවම පහසුකම් මැද්දෙ. අර කසුන් උගෙ ප්‍රොෆයිල් එකේ විස්තරේට එල්ලාගෙන ඉන්න “මෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකක්” කියන කසුනගෙ කෙරුවාවට කොහෙත්ම නොගැලපෙන විස්තරේ මේ ඩයල් වලට නම් නියමෙට ගැලපුනා. ඉතින් අපේ ප්‍රතිඵලත් ඊට සාපේක්ෂයි. අපි පණ යනකම් උගන්නලා දක්ෂයො ටික පොලිශ් කරලා, අදක්ෂයො සෑහෙන තැනකට ගේනකොට අපේ හොඳ පණ ගිහින්. අනික වැඩ ටිකක් හරි පුලුවන් එකා හැකි ඉක්මනින් අර පොෂ් ඉස්කෝලෙකට මාරු වෙනවා. අනේ ඒකෙ වරදක් කියනවා නෙවෙයි. ඉතින් ප්‍රාතිහාර්ය පාන්න අපිට ඉතුරුවෙන්නෙ පෙරිලා ආපු රොඩ්ඩ.

එතකොට කුමාර විදුහල්වල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ඇත්තෙන්ම ලැබෙන්නෙ පෙරිලා ආපු ක්‍රීම් එක, සීයට සීයක්ම නොවුනත්. වැඩේ අපිට වැඩිය හුඟක් ලේසියි. ප්‍රතිඵලත් එලෙසමයි. ප්‍රාතිහාර්ය පාන්නත් ලේසියි. අපි තරම් මහන්සි වෙන්න ඕනෙත් නෑ.

අර කතාවක් තියෙනවනෙ තනි මිනිහෙකුට පුලුවන් අශ්වයාව ජලාශයට ගෙනියන්න, නමුත් මිනිස්සු දාහක් එකතු වුනත් බෑ මේකාට වතුර පොවන්න, ඌට වතුර බොන්න අවශ්‍යතාවයක් නැතිනම් කියලා..

ඉතින් කරුමෙ කියන්නෙ අර අධ්‍යාපන බලධාරීන් කියන කශ්ටිය අපෙනුත් බලාපොරොත්තු වෙන්නෙ අර කුමාර විද්‍යාලෙ ගුරුවරු පෙන්නන ප්‍රතිඵලමයි. අපිට දෙසනවා උදාහරණ එක්ක, “අර ඉස්කෝලෙ මෙච්චර Aස් තියෙනවා ඇයි ඇයි මේ ඉස්කෝලෙ ප්‍රතිඵල මෙච්චර සවුත්තු?” වගෙ අමන තර්ක. ඕවට තමා අපි ගැටෙන්නෙ. මුන්ට නොතේරෙන දේ තමයි අපි අර තරම්වත් ප්‍රතිඵලයක් ගත්ත එක ප්‍රාතිහාර්යයක් බව අපිට ලැබිලා තියෙන අමු ද්‍රව්‍යයි, සම්පතුයි එක්ක.

ඉතින් අපි කවදත් මගුල් ගෙදර ගිය දුප්පත් නෑයො වගෙ තමයි. ලැබෙන සැලකිල්ලත් එපා වාහෙට හොදි බෙදනවා වගෙ තමයි. ඉතින් ඔන්න ඔහොමයි ඒ අය පෙරහැරේ යන අලියි අපි කොට අදින අලියි වුනේ. විශේෂයෙන්ම අපි අමාරුවෙන් මොළේ පාදලා, යම් මට්ටමකට ගෙනාපු ළමයිනුත් දැන් අර ඉස්කෝලවලට ගිහින්.

ඉතින් ඔන්න ඔහොමයි අපේ ඉස්කෝලෙ කොට අදින ඉස්කෝලෙ උනේ.

හරි, දැන් පසුබිම ගානට පාට වෙලා තියෙන නිසා චරිත දාමු. අපේ කාල සටහන් පිරිලා තිබ්බට ඔය ඉස්කෝලෙත් හිටියා අමුතුම වාසනාවන්තයො කීපදෙනෙක්. එක්කෙනෙක් මිස්ට මෙත්තානන්ද. විශ්‍රාම යන්න ඔන්න මෙන්න. එන්නෙත් ඉන්ටවල් එක කිට්‍ටුව. හැම තිස්සෙම ස්ටාෆ් රූම් එකේ ඉඳගෙන මොකක් හරි රස කතාවක්. යන්නෙත් තමන්ට ඕනෙ වෙලාවට. ඉස්කෝලෙ එන්නෙත් තමන්ට හිතුනාම.

මේකෙ රහස මේකයි. මිස්ට මෙත්තානන්දගෙ වැඩ තහනම් වෙලා මොකක්දෝ හේතුවක් නිසා. පස්සෙ විනය පරීක්ෂණයෙදි මෙත්තා නිවැරදිකාරයා වෙලා. මෙත්තා කලේ වහාම දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් ගොනු කිරීම. ඒකත් ඇදි ඇදි ගිහින් අන්තිමේදි මෙත්තා දිනලා විතරක් නෙවෙයි, මෙත්තාට දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ ගානක වන්දියකුයි, නඩු ගාස්තුයි, ඊට අමතරව, වහාම සේවයේ පිහිටුවලා හිඟ වැ‍ටුප් ගෙවන්නත් නියෝගයකුත් ලැබිලා. ඉතින් පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න වයසේ හිටපු මෙත්තාට කාල සටහනකුත් නෑ. අතිරික්ත ගුරුවරයෙක් නිසාත්, මෙත්තාගෙ ගති ස්වභාවය අනුවත්, ඒ ඔක්කොටම වඩා උසාවි නියෝගයකින් ඇවිල්ලා ඉන්න බුවෙක් නිසාත් විදුහල් පරිපාලනයෙනුත් මෙත්තාට බලපෑම් කරන්න ගියේ නෑ.

ඒ එක වාසනාවන්තයෙක්.

අනිත් වාසනාවන්තයා මයිකල්. මයිකල් ඉස්කෝලෙ එන්නෙ පඩි දවසට විතරයි. අනිත් දවස් ඔක්කොම ගුරු වෘත්තීය සමිතියක ඉහල නිලයක් දරන මයිකල්ව අමාත්‍යාංශයෙන්ම පූර්ණ කාලීනව නිදහස් කරලා තියෙන්නෙ වෘත්තීය සමිති වැඩ වලට. අපි නම් කලින්ම විවාහ වෙලා දරු සුරතල් බලමින් හිටියත්, මයික් නම් තරුණ විය පසු කරමින් සිටියත් විවාහ වෙලා හිටියෙ නෑ.

වෘත්තීය සමිතියෙ දේශපාලන අදහස් පැත්තකින් තිබ්බොත්, මයිකල් මට අමතක නොවන චරිතයක්. එකක් මයිකල් Clean Freak කෙනෙක්. වෙන වචනයක් නෑ ඒකට. මයිකල් අඳින ඇඳුම සුදු හෝ ලා පාටයි, අති පිරිසිදුයි, මයිකල් ෂැම්පූ දාන්නෙ කොන්ඩෙට විතරක් නෙවෙයි කන්නාඩි කුට්ටම හෝදන්නෙත් එක්තරා විශේෂ වර්ගයක ෂැම්පූ වලින් විතරලු. ඔරලෝසු පටිය විශේෂ වර්ගයක බේබි සබන් දාලා මදින්න වෙනම බුරුසුවක් තියෙනවාලු. සපත්තු වලින් අර මොනවද පේන්නෙ නැත්තෙ දිග කලිසම ඇඳලා ඉන්න නිසයි.

අපේ ස්ටාෆ් එකේ කශ්ටියම, උප විදුහල්පති මාලිනී අක්කා ඇතුලුව, ගමයා, ගිම්හානී, වින්ධ්‍යා, ඇලයා, මං ඇතුලු ගැන්සියක් අපේ බත් මුල් ඔක්කොම එකට දිග ඇරගෙන අඩංගු ද්‍රව්‍ය හුවමාරු කරගෙන හවුලේ කන සිරිතක් තිබ්බා. මම අදත් ඒ දේවල් සිහි කරන්නෙ හරිම ආසාවෙන්.

එක්තරා පඩි දවසක විවේක කාලයෙදි අපි කට්ටියම බත් පාර්සල් දිග ඇරගෙන බෙදාගෙන හවුලේ දෂ්ට කරමින් ඉන්න කොට මයිකල් ආවා.

“අනේ මයික් මගෙ දෙයියෝ, මොකද ඔතන ඇයි හිටගෙන එන්න එන්න වාඩිවෙන්න!” මාලනී අක්කා කෑ ගැහුවා.

“මයිකල් තුමා, හත් අට පොලකින් ඉඳගෙන කමු ඔන්න ඔහෙ බත් ටිකක්”, ගමයා ආරාධනා කලා.

ඊට පස්සෙ මයිකල් බත් කන්න බැරි ඇයි කියන එකට සුදුසු සුපුරුදු පිළිතුරක් දුන්නා, නමුත් වාඩි වුනා. ඊලඟට ගමයා ඇහුවා අමුතුම ප්‍රශ්ණයක්.

“මයික්, මොකෝ මේ කසාද බඳින්නැත්තෙ?”

“මට සුදුසු කෙනෙක් හමු වුනේ නෑනෙ, ඒකයි!”

“ඒ කියන්නෙ කවදාවත් affair එකක් තිබිලා නෑ?” මාලිනී අක්කා තව බත් කටක් කටේ ඔබා ගන්න මොහොතකට කලින් ඇහුවා.

“ම්ම්ම්,” මයික් පොඩ්ඩක් උඩ බලාගෙන කල්පනා කෙරුවා. “නැහැමයි කියන්නත් බැහැ. වතාවක් මම මගේ ගෝලයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බා. ඒ ළමයත් මට කැමතියි කිව්වා. මම ඒ ලමයගෙ ගෙදරත් යන්න එන්න ගත්තා ටියුෂන් දෙන්න. මගෙ බයික් එකත් තිබ්බනෙ ඒ කාලෙ. එයාගෙ දෙමව්පියන්ටත් හඟවලා තිබ්බේ අපේ සම්බන්ධෙ ගැන. මම මේක ඔ‍ෆිෂලි කියන්නත් හිතාගෙන හිටියෙ. ඒ මිනිස්සුත් යමක් කමක් තියෙන හොඳ වැදගත් මිනිස්සු.. ඒ අයගෙත් අකැමැත්තක් තිබ්බෙ නෑ….”

“ඉතින්, මොකද ඒකට උනේ?” තවත් ඉවසාගෙන ඉන්න බැරි ගිම්හානි පැන්නා.

“කන්න ඇති දාර බූට් එකක්!” හෙන්රිබ්ලොග්වෝකර්ගෙ පඬි අදහසක්.

“ඉන්නකෝ කියනකල්. දවසක් ටියුෂන් දීලා ඉවර වුනාම මටත් කෑමට කතා කලා ඒ ගෙදර කට්ටිය. කෑම කාලා ඉවරවෙලා මේ ගෑණු ලමයා ඉස්තෝප්පුවට ආවා වෙනදා වගේම තනියෙම පොඩ්ඩක් කතා කර කර ඉන්න…”

දැන් අපේ කුතුහලය අධිකයි. මගේ හිතේ නොයෙකුත් චිත්ත රූප මැවි මැවී යන්න ගත්තා.

“එදා මේ ගෑණු ලමයගෙ ඉස්සරහ දතක අර දවල්ට කාපු මැල්ලුම් කෑල්ලක් ඇලිලා තිබ්බා. මේ කෙල්ල මේ මැල්ලුම් කෑල්ලත් දතේ අලවගෙන මාත් එක්ක හිනාවෙවී හුරතලේට කතා කරනකොට මට ඇතිවුනා කියන්න බැරි තරම් පිළිකුලක්. ඒක වැරදි අදහසක් තමයි. නමුත් ඒකෙන් මට ඒ ළමයව එපා වුනා.”

“යකෝ මේකා මාර පොරක්නෙ.” මට නිකම්ම කෑ ගැස්සුනා. ගෑණු පිරිමි බේදයකින් තොරව අපේ කටවල් වලට ගලාගෙන ආපු අසභ්‍ය වදන් වැල සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහනෙන් වහාම ස්පෑම් කලා .

හැමෝම කං අදහාගන්න බැරුව මයිකල් දිහා පුදුමෙන් බලා හිටියා. කෑම කමින් හිටි අපි ඔක්කොම ගල් ගැහිලා මයික් දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දැක්කා වගෙ. අපි මේකා ටිකක් weird geek නැතිනම් nerd කෙනෙක් බව දැන හිටියත් මූට මෙච්චර පිස්සු බව දැන ගත්තෙ එතකොටයි. හැමෝගෙම කෑම නතර වෙලා. කටවල් නතරවෙලා. අතැඟිලි බත් මුල් මැද අතරමං වෙලා.

“යකෝ හොඳ වෙලාවට ඒක ඔයින්ම නතර වුනේ. මේකා ඒ කෙල්ලව බැන්දානම් හෙම ඒකි නිකං අතරමං වෙනවා!” මාලිනී අක්කා කිව්වෙ වෙනදා වගෙ විහිලුවට නෙවෙයි.

“වෙන්න පුලුවන්. මම ඊට පස්සෙ කවදාවත් එහෙ ගියෙ නෑ. ඒක එහෙමම අතහැරිලා ගියා. ඊට පස්සෙ මට ඒවගෙ කෙල්ලෙක් කවදාවත් හමු වුනේ නෑ.” මයිකල් කිව්වා.

මම නොදැනුවත්වම මගෙ දිව දත් මතින් මැල්ලුම් කෑලි සොයමින් ගමනාරම්භ කලා.

මේ සිද්ධිය මගෙ ජීවිතයට මොන තරම් බලපෑමක් ඇති කලාද කිව්වොත් අද පවා මැල්ලුම් සම්බෝල වගෙ දෙයක් කෑවොත් සමාජයට මුහුන දෙන්න කලින් දත් පරීක්ෂා කරලා බලන පුරුද්දක් මට අදත් තියෙනවා.

(මෙය සතය කතාවකි. මයිකල් සහ මෙත්තානන්ද ආරූඪ නාමයන් වේ)

 

ටැග: , , , , , ,

63. ඒ පාහර වැඩේ කලේ කවුද?

63. ඒ පාහර වැඩේ කලේ කවුද?

කාර්යාල සේවක මගියා

වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත ‍රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ.

කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, දුම්රියත් සමාන්තරව වේදිකාව දිගේ දුවන්නට පටන් ගත්තේ පාපුවරුවේ එල්ලී දුම්රිය මැදිරිය තුලට රිංගා ගැනීමටයි. සෙසු සහෝදර කාර්යාල සේවකයන්ට මෙන්ම මා හටද දවසේ අප්‍රසන්නම කාර්යය මෙය විය.

දිනපතාම දුම්රියෙන් ගමන් කල කාර්යාල සේවක අප සියල්ලන්ම පාහේ සෙසු මගීහු ‘කල්ලි’ යනුවෙන් අවඥාවෙන් හැඳින්වූ කුඩා කණඩායම් වලට අයත් වීමු. අප සාමාන්‍යයෙන් එකම දුම්රියේ, එකම මැදිරියේ, එකම ආසන වල නිතිපතා අසුන් ගතිමු. දිනපතාම සැලකිය යුතු දුරක් හා කාලයක් ගමනටම ගෙවා දැමූ අපේ විඩාබර ගතටද, සිතටද, වල් පල් දොඩමින්, විහිලු තහලු කරමින්, සගයන් මඩවමින්, කාඩ් ක්‍රීඩා කරමින් ගෙවා දැමූ මේ කාලය ඉමහත් ප්‍රබෝධකයක් විය.

ඇතැම් දිනක යම් යම් පිටස්තරයින් අපගේ ආසන ඩැහැගැනීමට තැත් කලත් අප වහා යුධ ප්‍රකාශ කර අපගේ උරුමයන් ‍රැකගත්තේ ආක්‍රමනිකයන් සාර්ථකව පලවා හරිමිනි. මේ සඳහා ඇතැම්විට නොසරුප් වදනුත්, ඇනුම් පදත්, ඇතැම් විට ඉන් එහා ගිය අභියෝගත්,  ආක්‍රමණිකයන් සටනකින් තොරවම නමුත් පහත් හඬින් අපට සාප කරමින් පසු බැස්සවීමට යොදා ගන්න ලදි.

හතිලමින් දුම්රියත් සමඟ දුවමින් සිට මා මේ පුද්ගලයාව දු‍ටුවේ එවිටයි. මෑතක සිට සතියට කිහිපවතාවක් දුම්රියේදී ඇහැ ගැ‍ටුනු මොහු හදිසියේම පිරිස අතරින් මතුව මට සමාන්තරව දුවමින් තරඟයට එක්විය. පසුගිය සතියේ දිනක මා ‍රැකගෙන සිටි මගේ සගයාගේ ආසනට තරඟ කර ආරෝවක් ඇතිකර ගත් මෙම පුද්ගලයා එදා පටන් මගේ ‘ගුටි කන මූණක් ඇති’ පුද්ගල නාම ලැයිස්තුවට එක්වූයේ නිරායාසයෙනි.

මොහොතකින් අපේ මැදිරියේ අත්වැටට ලඟාවූ මම වැරෙන් එහි එල්ලුනෙමි. තවත් මොහොතකින් පයද රඳවා ගැනීමට සමත් වූ මම දුම්රියේ එල්ලී ගමන් කලෙමි. මට පසුව තරඟයට එක්වූ මේ හාදයාද මොහොතකින් අත්වැටේ එල්ලී පය ගසන්නට තැනක් සොයන්නට විය. අත ඔසවා එල්ලීගෙන සිටි නිසා නිරාවරනය වී තිබූ ඔහුගේ ඉල ඇට කූඩුවට මා වැලමිටි පහරක් එල්ල කලෙමි. “ඌහ්හ්” යනුවෙන් හඬක් නගා දෙකට නැවුනු පිටස්තර තරඟකරුවාට අත් වැට අත හැරුනි. මොහොතකින් ඔහු පොදිකන මගීන් අතර නොපෙනී ගියේ මගේ මුවට සිනහවක් නංවමිනි. එක පොකුරට පොරකමින් දුම්රිය මැදිරිය තුලට රිංගාගත් මම ජයග්‍රාහී ලීලාවෙන් මගේ බෑගය, මගේ අසුන මතට අත හැරියෙමි. මඳ වේලාවකින් දුම්රිය සම්පූර්ණයෙන් නැවතුන අතර ඒ වනවිට ඔහු මගේ මතකයෙන්ද නික්ම ගොස් සිටියේය.

සේනක:

දුම්රියේ හඬ ඇසීමට පෙර මා එය දු‍ටුවෙමි. රේල් පීලි දෙකේ කෙලවරින් නිහඬව මතුවූ දුම්රියේ මුහුණත ගතවන මොහොතක් පාසා විශාලවනු පෙනුනි. හිසට ඉහලින් එලා තිබූ දුම්රිය පලේ ශබ්ද වාහිනිය තෙබසින් එකකින් කිසිවෙකුට නොවැටහෙන  නිවේදනයක් නිකුත් කලේය.

“මයෙ පුතා මෙතනම වාඩිවෙලා ඉන්න ඕනෙ, අප්පච්චි කතා කරනකල්.” යැයි මම පැවසූ විට දෑස් විසල් කර මදෙස බලා හිස වනා අනුමත කල ඇය දසන් දක්වා මද සිනා පෑවාය. මොහොතකට ඇය වේදිකා බංකුව මත තනිකල මම පැමිණෙමින් තිබූ දුම්රිය දෙසට දිව ගියේ කෙසේ හෝ දුවන දුම්රියේ එල්ලී, ඇතුලට රිංගා, අසුනක් අල්ලාගෙන, ජනේලයෙන් ඔලුව දමා ඇයට අඬගසන සැලැස්ම හිතේ රඳවාගෙනය. පසු ගිය ගමන්වාරවලදී කරන ලද අධ්‍යයනයන්ට අනුව කිනම් මැදිරිය වේදිකාවේ කිනම් තැනක නවතීදැයි මට දළ අදහසක් තිබුනි.

වේදිකාව් මත ‍රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදීයන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ. දුම්රිය පීලි මතිනුත්, මා වේදිකාව මතිනුත් එකිනෙකා වෙත දුවගොස් එකිනෙකා මුණ ගැසුනෙමු. වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු වෙද්දී ආපසු හැරුන මා දුම්රියත් සමගම දුවන්නට වීමි.

මන්දනය වෙමින් තිබූ දුම්රිය වේගයට ගැලපෙන අයුරින් වේගය සකසා ගත් මා අල්ලාගන්නට තැත් කලේ පස් වෙනි මැදිරියයි. මොහොතකින් පස්වන මැදිරියේ පාපුවරු අත්වැට අල්ලාගත් මා දුම්රියත් සමඟ වේදිකාව දිගේ දිව්වේ පය රඳවා ගන්නට ඉස්පාසුවක් සොයමිනි. මොහොතකින් පය රඳවාගන්නටත් ඉඩක් සොයාගන්නට සමත් වූ මා යකඩ පොල්ලේ එල්ලි වේදිකාවෙන් ඉහලට මතුවූවා පමනි!

“ඩිග්”

“ඌ….උහ්!!!”

කුලුගෙඩි පහරක් මගේ ඉල ඇට කූඩුව මත පතිතවනු දැනිනි. අනපේක්ශිත පහරේ සැරට නිරායාසයෙන්ම පහලට නැඹුරු වූ මට යකඩ පොල්ලද පා පුවරුවද ක්ෂනිකව අත හැරුනි. දුවන දුම්රියෙන් විසිවී ගොස් වේදිකාව මතට මා ඇද වැටෙන විට දුම්රිය මහ හඬක් නගමින් මා පසු කර ඇදී ගියේය.

දුවන දුම්රියෙන් ඇද වැ‍ටුන මා වේදිකාව මත රෝල් වෙමින් සිටියේ වේදිකාවේ අග්ගිස්සත් වානේ පීලි මත දෝංකාර දෙමින් ඇදෙන වානේ දුම්රිය රෝදත් වෙතය. මගේ දියණියගේ අහිංසක වත කමල මගේ දෑස් ඉදිරියේ ක්ෂනිකව ඇඳුනි. මගේ සිතේ පිරී තිබුනේ එක් සිතුවිල්ලක් පමණි. “මේ දුම්රියට යට වී මා මළහොත් මගේ අසරණ අහිංසකාවියට කුමක් සිදුවනු ඇත්ද?”

හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ්:

ඇතැම්හු විලාප දුනහ. දෑස් අයාගත් ගැහැණු හිසේ දෑත් ගසා ගත්හ. සමහරුන්ගේ මුවින් හඬක් පිට නොවුනි. කාලය එක තැන නතරවූ සෙයකි.

දුම්රිය පීලි වෙතට රෝල් වෙමින් සිටි සේනක ගොරවන රියසක වෙතට අඟල් කීපයක් තිබියදී නතර විය. ලඟම සිටි අයෙක් ඔහුව අල්ලා ඉවතට ඇදගත් විට කවුරුත් ඉහලට ඇද රඳවාගෙන සිටි හුස්ම පහලට දැමූහ.

සේනක:

මොහොතකට පෙර මාරයාගේ මුවෙන් ගැලවුනු මා ගින්නට හසුවූ ලා දල්ලක් මෙන් ගැහෙමින් සිටියෙමි. මගේ දෙපා පණ නැති විය. උගුර සහරා කතර මෙන් වියළි බව දැනිණි. නොසංසි‍ඳෙන පිපාසයකින් ද ක්ෂනික උණ ගතියකින්ද පෙලුනු මගේ හදවත ගැහෙන රාවය මට පැහැදිළිවම ඇසිණි.  දියණියගේ බංකුව මතට කඩා වැ‍ටුනු මා ඇය තරයේ වැළඳ ගතිමි. මා වටා දෑත් යවා වැරෙන් මා වැලඳ ගත් ඈ, “මයෙ අප්පච්චී” යයි කීවාය.

හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් ගෙන් කාර්යාල සේවක මගියා වෙත:

ඔබට අමතන්නට සුදුසු ආමන්ත්‍රනයක් කොයිතරම් කල්පනා කලත් ඔලුවට ආවේ නැත. හිතට පැමිනි මුල්ම වචන කිහිපය මෙහි සඳහන් කල නොහැක. මෙම ලිපිය ඔබේ ඇස ගැටීමට ඇති අවකාශය ඉතා සුළු වුවත් කිව යුතු දේ කිව යුතුය.

මුලින්ම මට ඉඩදෙන්න ඔබ වැලමිටෙන් ඉල ඇට වලට ඇන්න සේනකව ඔබට හඳුන්වා දෙන්නට.

සේනක දෙදරු පියෙක්. දෙදෙනාම දියණියන්. ඉන් වැඩිමහල් දියණිය ඉගෙනීමට දක්ෂ, බුද්ධිමත්, සාමාන්‍ය දැරියක්.

දෙවෙනි දැරිය අක්කා තරම් වාසනාවන්ත වුනේ නෑ. ඇය උපන්නෙ මහනුවර පෞද්ගලික රෝහලක මීට අවුරුදු 14කට පෙර. ඇය උපන් ගමන් හුස්ම ගත්තෙ නෑ ටික වෙලාවක් යනකල්. වෛද්‍යවරු නැවත ඇයට හුස්ම ගන්නට සලසන විට ඔක්සිජන් නොලැබුනු මොළයට වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. මේ දෛවෝපගත මිනිත්තු කීපය ඇයත් ඇගෙ පවුලත් හෙලුවෙ සුලු ප‍ටු කරදරයක නොවෙයි. .

අදත් ඇය ඉන්නෙ ඇගේ සම වයසෙ දරුවන්ට වඩා මානසිකව අවුරුදු 7ක් පමණ පසුපසින්. විකෘති කාමයෙන් පිරි මිනිසුන් ගහන ලෝකයක තනියෙම ආරක්ෂා වෙන්නටවත් නොදන්න ඒ දැරිය ‍රැකගෙන මේ තාක් දුර එන්න ඒ මවත් පියත් කරපු සටන දන්නෙ ඒ දෙන්න විතරයි.

සේනකටත් දේශීය හෝ විදේශීය කිසිම ‍රැකියාවක් වැඩිකල් එක දිගට කරගෙන යන්නට මේ තත්වය බාධාවක් වුනා. ඔහු දැරිය ‍රැක බලාගන්න ‍රැකියාව දමලා ගහලා ආපු වාර ගනන මට මතක නෑ. ඔහු සිය මුළු දිවියම ඇය වෙනුවෙන් කැපකර තිබුනා. ජීවිතයේ ඔබ ලබා ගැනීමට ආසා කල, ඒ වගේ ම කෙසේ හෝ ලබා ගත් හුඟක් දේ ඔවුන්ට අහිමි වුනා. මේ ඔක්සිජන් රහිත මිනිත්තු කිහිපය ඔවුන්ගෙ ජීවිත කණපිට පෙරලීමට සමත් වුනා.

ඔබ තව පොඩ්ඩෙන් ඒ අහිංසකයව මරා දැමූ ඒ දවසෙත්, ඔහු දැරියත් සමග කොළඹ ගිහින් තිබුනෙ ඇයව විශේෂ අධ්‍යාපනයක්, චිකිත්සාවක් දෙන ආයතනයක පන්තියකට සහභාගි කරවන්නයි. ඇය සතියට දවස් කිහිපයක්ම එහි යායුතුව තිබුනා. මිනිසුන් පිරුනු දුම්රියේ ඇයට අසුනක් දීමට තරම් පපුවේ තෙතමනයක් තිබූ කිසිවෙකු නොවූ බව ඔහු ඒ වන විට අත්දැකීමෙන් දැනගෙන හිටියා. කොළඹ සිට මහනුවරට කි මී 114ක් මේ දරුවා හිටගෙන යාම ඔහුට පියෙක් හැටියට දරාගන්න පුලුවන් වුනේ නෑ.

ඔබ එදා වලමිටෙන් වැරෙන් පහර දී දුම්රියෙන් බිමට හෙලූ ඒ පුද්ගලයා, අලුත උපන් බිළිඳුන් කුණුබක්කි වලට දමන මව්වරුන්ද, තම ලෙයින් උපන් දියණියන් දූෂණය කරන පියවරුන්ද සිටිනා අපේ සමාජයේම ජීවත් වෙමින් පසුගිය අවුරුදු 14 පුරාවට තම දියණියට සෙවනැල්ලක් වෙමින් ඇය දෑස මෙන් ‍රැක ගත්ත බව ඔබ නොදැන ඉන්නැති.

ඔබේ වැළමිටි පහර කා දුවන දුම්රියෙන් බිමට වැටෙන්නට මොහොතකට පෙර මේ පුද්ගලයා ඔහුගෙ ආබාධිත දියණිය දුම්රිය වේදිකාවේ බංකුවක වාඩි කරවා තබා ජීවිත අවදානමක්ද ගනිමින් දුම්රියේ එල්ලුනේ වෙහෙසකර තවත් දිනක අවසානයේ ඇයට ඔහුගේ උකුලේ හිස තබා නිදි කරවාගෙන යන්න ආසනයක් අල්ලා ගන්න බව ඔබ නොදැන ඉන්නැති.

ඔබේ වැලමිට ඇගේ පියාගේ ඉලයේ වදින මොහොතේ, ඇය දුම්රිය වේදිකාවේ කොනක වූ බංකුවක් මතට වී අයාගත් දෑසින් බලාසිටියේ ඇගේ මුලු දිවියටම අරුතක් එක්කල ඇගේම අප්පච්චී කොයි මොහොතේ හෝ දුම්රිය ජනේලයකින් හිස එලියට දමා ඇයට කතාකරන තෙක් බව ඔබ නොදැන ඉන්නැති.

ඔබ නොදැන හිටියත් මේ මොහොත මට හිතෙන් මවාගන්න අපහසු නැහැ. මා දිනක් වෑන් රථය මහනුවර කඳු සහිත ප‍ටු පාරක නතර කලේ සේනකට කඩයකට යාමට අවශ්‍ය වූ නිසයි. හදිසියේම තවත් වාහනයක් පැමිණි නිසා එයට ඉස්සර කිරීමට ඉඩ දීමට මට ඉදිරියේ තිබූ පාර තරමක් පළල් ස්ථානයට වාහනය පදවාගෙන යාමට අවශ්‍ය වුනා. මම වාහනය පණ ගන්වා ඉදිරියට පදවද්දී, මගේ පවුලේ අයත් සමග වෑන් රියේ පසුපස වාඩිවී සිටි මේ දැරිය, “අනේ හෙන්රි මාමී, මගෙ අප්පච්චිව දාලා යන්න එපා. අනේ එයා තනියෙන්…” කියා විලාප තැබූ ආකාරය මට අදත් මතක් වෙන්නෙ දෑසට කඳුලු නංවමින්. මදක් හිතා බලන්න සේනක එදා තව අඟල් කීපයක් ඉදිරියට රෝල් වී දුම්රිය වේදිකාවෙන් පහලට වැ‍ටුනා නම් ඇය කොහොම විලාප තියාවිද!!!! ඇය සනසන්නෙ කවුද?

දෛවයේ සරදමකට ජීවිතයේ බොහෝ දේ අහිමි වූ පුද්ගලයෙකුගෙ ජීවිතයක් සමගයි ඔබ එදා සෙල්ලම් කලේ.

ඒ සියල්ලටම වඩා, ඔබ එදා තව පොඩ්ඩෙන් මරා දැමූ පුද්ගලයා හෙන්රිබ්ලොග්වෝකර්වන මගේ බිරිඳගෙ සොයුරියගෙ සැමියා. විද්‍යා පීඨයක කතිකාචාර්ය ධුරයක් දරන ඔහුගෙ බිරිඳට ඔහු තරම් කාලයක් දැරිය වෙනුවෙන් වැය කිරීම අපහසුයි. ඔහු ඇයට මවක් වුනෙත් ඒ නිසාමයි. ඔබ කරපු පව්කාරකමට ඔබ තව තවත් පසුතැවිලි වෙන ආකාරයට මට තව තවත් කියන්න කරුණු බොහෝමයක් තිබුනත් මෙතනින් නතරවෙන්නෙ මමත් ඔබ මෙන් පර පීඩා කාමුකත්වයෙන් නොපෙලෙන නිසයි.

නමුත් වෙන්ව යන්නට පෙර ඔබට කිව යුතුම යමක් තියෙනවා..

ඔබ මින් මතුවටවත් ඔබ අනිකාගෙ ඉලයට වැලමිටෙන් අනිමින් අනෙකා පරයමින් ජීවන ගමනෙ යෙදෙන සඳ,

මඳක් නැවතී සිතන්න ඔබෙන් වැලමිටි පහර කන අසරණයන් කවුරුන් විය හැකිද යන වග,

සමහර විට ඔවුන් ඔවුන්ගේම නොවේ .

මේ සටහන මා මුලින් ලිව්වේ ඉංග්‍රීසියෙන්. රසය නොමරා පරිවර්තනය කරගන්න මුල් ලිපිය ලිව්වාට වඩා සෑහෙන කාලයක් ගතවුනා. මම ඔබට ආරධනා කරනවා. මුල් ලිපිය “SHAME ON YOU, IF THAT’S YOU!” කියවන්න මෙතනින්.

 

 

ටැග: , , , , ,