RSS

63. ඒ පාහර වැඩේ කලේ කවුද?

05 May
63. ඒ පාහර වැඩේ කලේ කවුද?

කාර්යාල සේවක මගියා

වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු කරමින් මහනුවර බලා යන කාර්යාල දුම්රිය වේදිකාව වෙතට ලඟා වෙමින් තිබින. වේදිකාව මත ‍රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදී යන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ.

කාර්යාල බෑගය එක් අතකින් තුරුලු කරගත් මා මගීන් මගහරිමින්, දුම්රියත් සමාන්තරව වේදිකාව දිගේ දුවන්නට පටන් ගත්තේ පාපුවරුවේ එල්ලී දුම්රිය මැදිරිය තුලට රිංගා ගැනීමටයි. සෙසු සහෝදර කාර්යාල සේවකයන්ට මෙන්ම මා හටද දවසේ අප්‍රසන්නම කාර්යය මෙය විය.

දිනපතාම දුම්රියෙන් ගමන් කල කාර්යාල සේවක අප සියල්ලන්ම පාහේ සෙසු මගීහු ‘කල්ලි’ යනුවෙන් අවඥාවෙන් හැඳින්වූ කුඩා කණඩායම් වලට අයත් වීමු. අප සාමාන්‍යයෙන් එකම දුම්රියේ, එකම මැදිරියේ, එකම ආසන වල නිතිපතා අසුන් ගතිමු. දිනපතාම සැලකිය යුතු දුරක් හා කාලයක් ගමනටම ගෙවා දැමූ අපේ විඩාබර ගතටද, සිතටද, වල් පල් දොඩමින්, විහිලු තහලු කරමින්, සගයන් මඩවමින්, කාඩ් ක්‍රීඩා කරමින් ගෙවා දැමූ මේ කාලය ඉමහත් ප්‍රබෝධකයක් විය.

ඇතැම් දිනක යම් යම් පිටස්තරයින් අපගේ ආසන ඩැහැගැනීමට තැත් කලත් අප වහා යුධ ප්‍රකාශ කර අපගේ උරුමයන් ‍රැකගත්තේ ආක්‍රමනිකයන් සාර්ථකව පලවා හරිමිනි. මේ සඳහා ඇතැම්විට නොසරුප් වදනුත්, ඇනුම් පදත්, ඇතැම් විට ඉන් එහා ගිය අභියෝගත්,  ආක්‍රමණිකයන් සටනකින් තොරවම නමුත් පහත් හඬින් අපට සාප කරමින් පසු බැස්සවීමට යොදා ගන්න ලදි.

හතිලමින් දුම්රියත් සමඟ දුවමින් සිට මා මේ පුද්ගලයාව දු‍ටුවේ එවිටයි. මෑතක සිට සතියට කිහිපවතාවක් දුම්රියේදී ඇහැ ගැ‍ටුනු මොහු හදිසියේම පිරිස අතරින් මතුව මට සමාන්තරව දුවමින් තරඟයට එක්විය. පසුගිය සතියේ දිනක මා ‍රැකගෙන සිටි මගේ සගයාගේ ආසනට තරඟ කර ආරෝවක් ඇතිකර ගත් මෙම පුද්ගලයා එදා පටන් මගේ ‘ගුටි කන මූණක් ඇති’ පුද්ගල නාම ලැයිස්තුවට එක්වූයේ නිරායාසයෙනි.

මොහොතකින් අපේ මැදිරියේ අත්වැටට ලඟාවූ මම වැරෙන් එහි එල්ලුනෙමි. තවත් මොහොතකින් පයද රඳවා ගැනීමට සමත් වූ මම දුම්රියේ එල්ලී ගමන් කලෙමි. මට පසුව තරඟයට එක්වූ මේ හාදයාද මොහොතකින් අත්වැටේ එල්ලී පය ගසන්නට තැනක් සොයන්නට විය. අත ඔසවා එල්ලීගෙන සිටි නිසා නිරාවරනය වී තිබූ ඔහුගේ ඉල ඇට කූඩුවට මා වැලමිටි පහරක් එල්ල කලෙමි. “ඌහ්හ්” යනුවෙන් හඬක් නගා දෙකට නැවුනු පිටස්තර තරඟකරුවාට අත් වැට අත හැරුනි. මොහොතකින් ඔහු පොදිකන මගීන් අතර නොපෙනී ගියේ මගේ මුවට සිනහවක් නංවමිනි. එක පොකුරට පොරකමින් දුම්රිය මැදිරිය තුලට රිංගාගත් මම ජයග්‍රාහී ලීලාවෙන් මගේ බෑගය, මගේ අසුන මතට අත හැරියෙමි. මඳ වේලාවකින් දුම්රිය සම්පූර්ණයෙන් නැවතුන අතර ඒ වනවිට ඔහු මගේ මතකයෙන්ද නික්ම ගොස් සිටියේය.

සේනක:

දුම්රියේ හඬ ඇසීමට පෙර මා එය දු‍ටුවෙමි. රේල් පීලි දෙකේ කෙලවරින් නිහඬව මතුවූ දුම්රියේ මුහුණත ගතවන මොහොතක් පාසා විශාලවනු පෙනුනි. හිසට ඉහලින් එලා තිබූ දුම්රිය පලේ ශබ්ද වාහිනිය තෙබසින් එකකින් කිසිවෙකුට නොවැටහෙන  නිවේදනයක් නිකුත් කලේය.

“මයෙ පුතා මෙතනම වාඩිවෙලා ඉන්න ඕනෙ, අප්පච්චි කතා කරනකල්.” යැයි මම පැවසූ විට දෑස් විසල් කර මදෙස බලා හිස වනා අනුමත කල ඇය දසන් දක්වා මද සිනා පෑවාය. මොහොතකට ඇය වේදිකා බංකුව මත තනිකල මම පැමිණෙමින් තිබූ දුම්රිය දෙසට දිව ගියේ කෙසේ හෝ දුවන දුම්රියේ එල්ලී, ඇතුලට රිංගා, අසුනක් අල්ලාගෙන, ජනේලයෙන් ඔලුව දමා ඇයට අඬගසන සැලැස්ම හිතේ රඳවාගෙනය. පසු ගිය ගමන්වාරවලදී කරන ලද අධ්‍යයනයන්ට අනුව කිනම් මැදිරිය වේදිකාවේ කිනම් තැනක නවතීදැයි මට දළ අදහසක් තිබුනි.

වේදිකාව් මත ‍රැඳී සිටි පොදිකන මගීහු තවමත් ඇදීයන දුම්රිය දෙසට ලංවෙද්දී දැනටමත් පාපුවරු දෙපස සවිකල අත්වැට වල එල්ලීගත් සමහරු පය රඳවන්නට ඉඩක් සෙවූහ. දුම්රිය පීලි මතිනුත්, මා වේදිකාව මතිනුත් එකිනෙකා වෙත දුවගොස් එකිනෙකා මුණ ගැසුනෙමු. වානේ රිය සක වානේ පීලි මත වැයූ ටක ටකස් හඬේ තාල වේගය අඩු වෙද්දී ආපසු හැරුන මා දුම්රියත් සමගම දුවන්නට වීමි.

මන්දනය වෙමින් තිබූ දුම්රිය වේගයට ගැලපෙන අයුරින් වේගය සකසා ගත් මා අල්ලාගන්නට තැත් කලේ පස් වෙනි මැදිරියයි. මොහොතකින් පස්වන මැදිරියේ පාපුවරු අත්වැට අල්ලාගත් මා දුම්රියත් සමඟ වේදිකාව දිගේ දිව්වේ පය රඳවා ගන්නට ඉස්පාසුවක් සොයමිනි. මොහොතකින් පය රඳවාගන්නටත් ඉඩක් සොයාගන්නට සමත් වූ මා යකඩ පොල්ලේ එල්ලි වේදිකාවෙන් ඉහලට මතුවූවා පමනි!

“ඩිග්”

“ඌ….උහ්!!!”

කුලුගෙඩි පහරක් මගේ ඉල ඇට කූඩුව මත පතිතවනු දැනිනි. අනපේක්ශිත පහරේ සැරට නිරායාසයෙන්ම පහලට නැඹුරු වූ මට යකඩ පොල්ලද පා පුවරුවද ක්ෂනිකව අත හැරුනි. දුවන දුම්රියෙන් විසිවී ගොස් වේදිකාව මතට මා ඇද වැටෙන විට දුම්රිය මහ හඬක් නගමින් මා පසු කර ඇදී ගියේය.

දුවන දුම්රියෙන් ඇද වැ‍ටුන මා වේදිකාව මත රෝල් වෙමින් සිටියේ වේදිකාවේ අග්ගිස්සත් වානේ පීලි මත දෝංකාර දෙමින් ඇදෙන වානේ දුම්රිය රෝදත් වෙතය. මගේ දියණියගේ අහිංසක වත කමල මගේ දෑස් ඉදිරියේ ක්ෂනිකව ඇඳුනි. මගේ සිතේ පිරී තිබුනේ එක් සිතුවිල්ලක් පමණි. “මේ දුම්රියට යට වී මා මළහොත් මගේ අසරණ අහිංසකාවියට කුමක් සිදුවනු ඇත්ද?”

හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ්:

ඇතැම්හු විලාප දුනහ. දෑස් අයාගත් ගැහැණු හිසේ දෑත් ගසා ගත්හ. සමහරුන්ගේ මුවින් හඬක් පිට නොවුනි. කාලය එක තැන නතරවූ සෙයකි.

දුම්රිය පීලි වෙතට රෝල් වෙමින් සිටි සේනක ගොරවන රියසක වෙතට අඟල් කීපයක් තිබියදී නතර විය. ලඟම සිටි අයෙක් ඔහුව අල්ලා ඉවතට ඇදගත් විට කවුරුත් ඉහලට ඇද රඳවාගෙන සිටි හුස්ම පහලට දැමූහ.

සේනක:

මොහොතකට පෙර මාරයාගේ මුවෙන් ගැලවුනු මා ගින්නට හසුවූ ලා දල්ලක් මෙන් ගැහෙමින් සිටියෙමි. මගේ දෙපා පණ නැති විය. උගුර සහරා කතර මෙන් වියළි බව දැනිණි. නොසංසි‍ඳෙන පිපාසයකින් ද ක්ෂනික උණ ගතියකින්ද පෙලුනු මගේ හදවත ගැහෙන රාවය මට පැහැදිළිවම ඇසිණි.  දියණියගේ බංකුව මතට කඩා වැ‍ටුනු මා ඇය තරයේ වැළඳ ගතිමි. මා වටා දෑත් යවා වැරෙන් මා වැලඳ ගත් ඈ, “මයෙ අප්පච්චී” යයි කීවාය.

හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් ගෙන් කාර්යාල සේවක මගියා වෙත:

ඔබට අමතන්නට සුදුසු ආමන්ත්‍රනයක් කොයිතරම් කල්පනා කලත් ඔලුවට ආවේ නැත. හිතට පැමිනි මුල්ම වචන කිහිපය මෙහි සඳහන් කල නොහැක. මෙම ලිපිය ඔබේ ඇස ගැටීමට ඇති අවකාශය ඉතා සුළු වුවත් කිව යුතු දේ කිව යුතුය.

මුලින්ම මට ඉඩදෙන්න ඔබ වැලමිටෙන් ඉල ඇට වලට ඇන්න සේනකව ඔබට හඳුන්වා දෙන්නට.

සේනක දෙදරු පියෙක්. දෙදෙනාම දියණියන්. ඉන් වැඩිමහල් දියණිය ඉගෙනීමට දක්ෂ, බුද්ධිමත්, සාමාන්‍ය දැරියක්.

දෙවෙනි දැරිය අක්කා තරම් වාසනාවන්ත වුනේ නෑ. ඇය උපන්නෙ මහනුවර පෞද්ගලික රෝහලක මීට අවුරුදු 14කට පෙර. ඇය උපන් ගමන් හුස්ම ගත්තෙ නෑ ටික වෙලාවක් යනකල්. වෛද්‍යවරු නැවත ඇයට හුස්ම ගන්නට සලසන විට ඔක්සිජන් නොලැබුනු මොළයට වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. මේ දෛවෝපගත මිනිත්තු කීපය ඇයත් ඇගෙ පවුලත් හෙලුවෙ සුලු ප‍ටු කරදරයක නොවෙයි. .

අදත් ඇය ඉන්නෙ ඇගේ සම වයසෙ දරුවන්ට වඩා මානසිකව අවුරුදු 7ක් පමණ පසුපසින්. විකෘති කාමයෙන් පිරි මිනිසුන් ගහන ලෝකයක තනියෙම ආරක්ෂා වෙන්නටවත් නොදන්න ඒ දැරිය ‍රැකගෙන මේ තාක් දුර එන්න ඒ මවත් පියත් කරපු සටන දන්නෙ ඒ දෙන්න විතරයි.

සේනකටත් දේශීය හෝ විදේශීය කිසිම ‍රැකියාවක් වැඩිකල් එක දිගට කරගෙන යන්නට මේ තත්වය බාධාවක් වුනා. ඔහු දැරිය ‍රැක බලාගන්න ‍රැකියාව දමලා ගහලා ආපු වාර ගනන මට මතක නෑ. ඔහු සිය මුළු දිවියම ඇය වෙනුවෙන් කැපකර තිබුනා. ජීවිතයේ ඔබ ලබා ගැනීමට ආසා කල, ඒ වගේ ම කෙසේ හෝ ලබා ගත් හුඟක් දේ ඔවුන්ට අහිමි වුනා. මේ ඔක්සිජන් රහිත මිනිත්තු කිහිපය ඔවුන්ගෙ ජීවිත කණපිට පෙරලීමට සමත් වුනා.

ඔබ තව පොඩ්ඩෙන් ඒ අහිංසකයව මරා දැමූ ඒ දවසෙත්, ඔහු දැරියත් සමග කොළඹ ගිහින් තිබුනෙ ඇයව විශේෂ අධ්‍යාපනයක්, චිකිත්සාවක් දෙන ආයතනයක පන්තියකට සහභාගි කරවන්නයි. ඇය සතියට දවස් කිහිපයක්ම එහි යායුතුව තිබුනා. මිනිසුන් පිරුනු දුම්රියේ ඇයට අසුනක් දීමට තරම් පපුවේ තෙතමනයක් තිබූ කිසිවෙකු නොවූ බව ඔහු ඒ වන විට අත්දැකීමෙන් දැනගෙන හිටියා. කොළඹ සිට මහනුවරට කි මී 114ක් මේ දරුවා හිටගෙන යාම ඔහුට පියෙක් හැටියට දරාගන්න පුලුවන් වුනේ නෑ.

ඔබ එදා වලමිටෙන් වැරෙන් පහර දී දුම්රියෙන් බිමට හෙලූ ඒ පුද්ගලයා, අලුත උපන් බිළිඳුන් කුණුබක්කි වලට දමන මව්වරුන්ද, තම ලෙයින් උපන් දියණියන් දූෂණය කරන පියවරුන්ද සිටිනා අපේ සමාජයේම ජීවත් වෙමින් පසුගිය අවුරුදු 14 පුරාවට තම දියණියට සෙවනැල්ලක් වෙමින් ඇය දෑස මෙන් ‍රැක ගත්ත බව ඔබ නොදැන ඉන්නැති.

ඔබේ වැළමිටි පහර කා දුවන දුම්රියෙන් බිමට වැටෙන්නට මොහොතකට පෙර මේ පුද්ගලයා ඔහුගෙ ආබාධිත දියණිය දුම්රිය වේදිකාවේ බංකුවක වාඩි කරවා තබා ජීවිත අවදානමක්ද ගනිමින් දුම්රියේ එල්ලුනේ වෙහෙසකර තවත් දිනක අවසානයේ ඇයට ඔහුගේ උකුලේ හිස තබා නිදි කරවාගෙන යන්න ආසනයක් අල්ලා ගන්න බව ඔබ නොදැන ඉන්නැති.

ඔබේ වැලමිට ඇගේ පියාගේ ඉලයේ වදින මොහොතේ, ඇය දුම්රිය වේදිකාවේ කොනක වූ බංකුවක් මතට වී අයාගත් දෑසින් බලාසිටියේ ඇගේ මුලු දිවියටම අරුතක් එක්කල ඇගේම අප්පච්චී කොයි මොහොතේ හෝ දුම්රිය ජනේලයකින් හිස එලියට දමා ඇයට කතාකරන තෙක් බව ඔබ නොදැන ඉන්නැති.

ඔබ නොදැන හිටියත් මේ මොහොත මට හිතෙන් මවාගන්න අපහසු නැහැ. මා දිනක් වෑන් රථය මහනුවර කඳු සහිත ප‍ටු පාරක නතර කලේ සේනකට කඩයකට යාමට අවශ්‍ය වූ නිසයි. හදිසියේම තවත් වාහනයක් පැමිණි නිසා එයට ඉස්සර කිරීමට ඉඩ දීමට මට ඉදිරියේ තිබූ පාර තරමක් පළල් ස්ථානයට වාහනය පදවාගෙන යාමට අවශ්‍ය වුනා. මම වාහනය පණ ගන්වා ඉදිරියට පදවද්දී, මගේ පවුලේ අයත් සමග වෑන් රියේ පසුපස වාඩිවී සිටි මේ දැරිය, “අනේ හෙන්රි මාමී, මගෙ අප්පච්චිව දාලා යන්න එපා. අනේ එයා තනියෙන්…” කියා විලාප තැබූ ආකාරය මට අදත් මතක් වෙන්නෙ දෑසට කඳුලු නංවමින්. මදක් හිතා බලන්න සේනක එදා තව අඟල් කීපයක් ඉදිරියට රෝල් වී දුම්රිය වේදිකාවෙන් පහලට වැ‍ටුනා නම් ඇය කොහොම විලාප තියාවිද!!!! ඇය සනසන්නෙ කවුද?

දෛවයේ සරදමකට ජීවිතයේ බොහෝ දේ අහිමි වූ පුද්ගලයෙකුගෙ ජීවිතයක් සමගයි ඔබ එදා සෙල්ලම් කලේ.

ඒ සියල්ලටම වඩා, ඔබ එදා තව පොඩ්ඩෙන් මරා දැමූ පුද්ගලයා හෙන්රිබ්ලොග්වෝකර්වන මගේ බිරිඳගෙ සොයුරියගෙ සැමියා. විද්‍යා පීඨයක කතිකාචාර්ය ධුරයක් දරන ඔහුගෙ බිරිඳට ඔහු තරම් කාලයක් දැරිය වෙනුවෙන් වැය කිරීම අපහසුයි. ඔහු ඇයට මවක් වුනෙත් ඒ නිසාමයි. ඔබ කරපු පව්කාරකමට ඔබ තව තවත් පසුතැවිලි වෙන ආකාරයට මට තව තවත් කියන්න කරුණු බොහෝමයක් තිබුනත් මෙතනින් නතරවෙන්නෙ මමත් ඔබ මෙන් පර පීඩා කාමුකත්වයෙන් නොපෙලෙන නිසයි.

නමුත් වෙන්ව යන්නට පෙර ඔබට කිව යුතුම යමක් තියෙනවා..

ඔබ මින් මතුවටවත් ඔබ අනිකාගෙ ඉලයට වැලමිටෙන් අනිමින් අනෙකා පරයමින් ජීවන ගමනෙ යෙදෙන සඳ,

මඳක් නැවතී සිතන්න ඔබෙන් වැලමිටි පහර කන අසරණයන් කවුරුන් විය හැකිද යන වග,

සමහර විට ඔවුන් ඔවුන්ගේම නොවේ .

මේ සටහන මා මුලින් ලිව්වේ ඉංග්‍රීසියෙන්. රසය නොමරා පරිවර්තනය කරගන්න මුල් ලිපිය ලිව්වාට වඩා සෑහෙන කාලයක් ගතවුනා. මම ඔබට ආරධනා කරනවා. මුල් ලිපිය “SHAME ON YOU, IF THAT’S YOU!” කියවන්න මෙතනින්.

 

 

ටැග: , , , , ,

55 responses to “63. ඒ පාහර වැඩේ කලේ කවුද?

  1. hiruni

    මැයි 5, 2012 at 1:35 පෙ.ව.

    කියවද්දි ඇස් වල කදුලු… හරිම සන්වේදී කතාවක්….මේ මෝඩ මිනිසාට මේක කියවන්න ලැබේවා යන්න මගේ පැතුමයි. මිනිස්සුන්ට ජීවිතේ කියන්නෙ රේස් එකක් වගේ…ඒ රේස් එකේ පලවෙනියා වෙන්න ඕනෙම දෙයක් කරයි…. මිනිහෙක්ගෙ ජිවීතේ උනත් නැති කරාවි….

    හරිම හොද පාඩමක්….. මිනිස්සුන්ගේ ජීවිත වලට වටිනාකමක් දෙන්න හොද පාඩමක්

     
    • විසිතුරු | visituru

      මැයි 5, 2012 at 7:03 පෙ.ව.

      අවාසනාවන්ත සිදුවීමක් නොවීම සතු‍ටුයි. එකිනෙකා පරයා දුවන්න හදන්නෙ නැතුව අනිකාටත් ඉඩක් දෙන්න පුළුවන් නම්…………

      ප.ලි – කාර්යාල දුම්රිය වල ගිහින් නැති නිසා ඒ ගැන අත්දැකීමක් නැති වුණත් සමහර CTB බස් වලත් උදේට තියෙන්නෙ ඔය වගේ තත්වයක් තමයි. ආයෙ ඉතින් පිටිපස්සෙ සීට් එකට ලං වෙන්නවත් දෙන්නෙ නෑ.

       
  2. lanka Art

    මැයි 5, 2012 at 6:00 පෙ.ව.

    Kandulu unanawa. oba weni aya, mage Ratata athyawashyayi. thawa liyanna – lanka art

     
  3. Observer

    මැයි 5, 2012 at 9:28 පෙ.ව.

    හිතට වදින්න ලියල තියෙනව, ඉංග්‍රීසි වර්ෂන් එකත් කියවන්න ඕනෙ.

     
  4. pasanOnline

    මැයි 5, 2012 at 11:01 පෙ.ව.

    පුදුම විදියට දුක හිතුන. මිනිස්සු තමන්ගෙ සැපම විතරක් හොයනකොට තිරිසන්නු වෙන විදිය සමහරවිට අදහගන්නත් බෑ.

     
    • henryblogwalker

      මැයි 6, 2012 at 9:43 පෙ.ව.

      @හිරුණි, ස්තුතියි, අනුන් වෙනුවෙන් කඳුලක් හෙලන්නේ සංවේදී හදවත් ඇති අයයි. ආඩම්බර විය හැකි කාරණයකි.

      @විසිතුරු: ඒකනෙ ප්‍රශ්ණෙ.
      මමත් කිසිදාක කාර්යාල දුම්රියක වැඩට ගිහින් නෑ. වෙනත් ගමන් යනකොට දැකලා තියෙනවා හැසිරීම. පෞද්ගලික බූදලයක් වගෙ තමයි.

      @ඔබා අයියා, සාදරයෙන් පිළිගනිමි. තාම ලංකාවෙද?

      @pasanOnline : ඔබට සංවේදී හදවතක් ඇති නිසයි දුක හිතුනෙ. පසන් English Version එක කියෙව්වද? ඇයි ලඟදි මොකුත් ලිව්වෙ නැත්තෙ? විභාග වැඩද?

       
      • pasanOnline

        මැයි 8, 2012 at 9:42 ප.ව.

        ඔව් අයියේ මේ 18 වෙනකන් විභාග. ඒක දැන්නෙ දැක්කේ. මම කොහොමහරි විදියකින් subscribe වෙලා තිබ්බෙ සිංහල එකට විතරයි. මං ගොනා වගේ හිතන් හිටියේ ඉංග්‍රීසි එක අකර්මණ්‍ය වෙලා කියලා. ඒකෙත් දැම්ම කමෙන්ටුවක්.

         
  5. ගැමියාගේ පත් ඉරුව

    මැයි 5, 2012 at 12:01 ප.ව.

    සෑහෙන්න දුක හිතෙන සිදුවීමක්.සල්ලි පස්සේ දුවන සමාජයක මනුස්සකම බල්ලට දාලා තියෙන හැටි අහනකොටත් දුකයි.මේ ආදරණීය පියාගේ මනුස්සකම පිය සෙනෙහස කොයිතරම්ද කියලා තේරෙනවා මේ තරම් කැපකිරීමක් තමන්ගේ දරුවා වෙනුවෙන් කරනකොට… තවත් කෙනෙක්ගේ දරුවෙක්ව තමන්ගෙම දරුවෙක් ගානට අරගෙන මේ ලියපු ලිපිය ඕනේ අයියගේ දූ ගැන ලියපු ලිපිය තරම්ම සංවේදියි.මෙහෙම හිතන්න පුළුවන් අය අඩුයි… මොහොතකට මට හිතුනා මේ සිදුවීම මෙහෙම අවසන් වුනු එක කොයිතරම් හොඳයිද කියලා.අර තරුණයෙක් පාපුවරුවෙන් වැටිලා කතා කර කර ඉන්න දර්ශනයත් මැවිලා පෙනෙන්න ගත්තා….

     
  6. panda

    මැයි 5, 2012 at 1:34 ප.ව.

    ජීවිතයේ සමහර වෙලාවට පුන්චි දේවල් පස්සෙ දුවන හුගක් අය ඒක අයිති කරගන්න දගලන්නෙ තව කෙනෙක්ගෙ බෙල්ල පාගල …ඒක එවලෙට දන්නෙ නැ සමහ‍ර විට දැනගන්නකොට අපි අතින් වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි..අපි හැමොම අපි කරන හැමදේම දිහා හොඳ සිහි නුවණින් දකින්න වෙසක් දවසෙ හිතා ගන්න ඕනි

     
  7. රාජ්

    මැයි 5, 2012 at 1:42 ප.ව.

    මොනවදෝ කියන්න හිතාගෙන හිටියත් අන්තිම වෙද්දි කියන්න ඕන ඔක්කොම ඩියුඩ් කියල. ඇයි මිනිස්සු මෙච්චරම ආත්මාර්ථකාමී?

     
  8. ඉඳුනිල්

    මැයි 5, 2012 at 1:43 ප.ව.

    හරිම සංවේදී සටහනක්. හෙන්රි අයියා සමහර විට දකින්නත් ඇති චීනයේ කුඩා ළමයෙක් වාහනයකට යට වෙලා, පාරේ තව තවත් වාහන වලට යට වෙමින් සිටියදී ඒ නොසලකා යන මිනිස්සුත් නැවත ඒ දරුවා යට කරමින් යන වාහනත්. අපේ මිනිස්සුත් ඒ තත්වෙට ඉක්මනට එයි..

    වෙනස් කතාවක් වුනත්, මම දැකපු හදිසි අනතුරක් මතක් වුනා. පාසැල් ඇරෙන වෙලාවට අධික වේගයෙන් පැමිණි කාරයක් කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි බොහෝ දෙනෙකු හප්පාගෙන කිහිප දෙනෙක්ව යට කරමින් තවත් දුරක් ගිහින් නතර වුනේ මගේ ඉදිරිපිටමයි. රථ වාහන පොලිස් ස්ථානාධිපතිගේ බිරිඳත් දරුවනුත් පවා එයට යට වී තිබුනා. වැරැද්ද පැහැදිලිවම රියදුරාගේ, කිව්වේ නම් නින්ද ගිය බවක්. ඉතින් සුපුරුදු විදියට අපේ උදවිය ඒ මනුස්සයා එලියට ඇදලා පහර දෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පිටි පස්සේ සිටි ඔහුගේ දුව, “තාත්තාට ගහන්න එපා” කියමින් විලාප දුන්නත්, කිහිප දෙනෙක් පහර දීම නතර කලේ නැහැ.තමන් සමග තුවාල ලබා සිටින මව දුටු දරුවනුත් රියදුරාගේ දරුවාගේත් තමන්ගේ මව, පියා ගැන කොපමණ දුක් වෙන්න ඇති ද ?

     
    • henryblogwalker

      මැයි 6, 2012 at 9:56 පෙ.ව.

      @ගැමියා: ගැමියාගෙ ප්‍රතිචාර කවදත් මාව දිරි ගන්නනවා. ඇත්තෙන්ම ස්තුතියි. මම ගැමියාගෙ පෝස්ට් එකේ ලිපියක් අගය කිරීම ගෑන දිග කමෙන්ට් එකක් දාලා තියෙනවා තාම දකින්න නැතිව ඇති.

      @පැන්ඩා: හොඳම වෙසක් පැතුමක් පැන්ඩා. ස්තුතියි.

      @රාජ්: මටත් හිතාගන්න බැරි ඒකයි. ඇයි මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී? මේ ඉංග්‍රීසි රාජ් ද සිංහල රාජ්ද? උඹලා දෙන්න ටැපලෙනවා බං මූණ නැතුව ආවාම.

      @ඉඳුනිල්: මටත් මතකයි ඔය කතාවයි, තවත් ඔය වගෙ කතාවල් වගේකුයි චීනේ ගැන. මිනිස්සු වැඩිම රට නිසා මිනිස් ජීවිතවල වටිනාකමක් නැතිව ගිහිල්ලා කියලා හිතන්නත් බෑ නේද?
      ඉඳුනිල්ගෙ කතාව ඇත්ත. කසිප්පු කාරයට උනත් දරුවො ඉස්සරහ පොලිසියෙන් ගහන එකට මම නම් විරුද්ධයි. අනික වාහනයක් එලවද්දි නින්ද යනවයි කියන එකට මහ වෙලාවක් යන්නෙ නෑ. ඕනෙ කෙනෙකුට වෙන්න පුලුවන්.

       
  9. රූ

    මැයි 5, 2012 at 1:48 ප.ව.

    මිනිස්සුන්ට ඒ නම කියන්නත් බැරිවෙන තරමට රොබෝලා වෙලා ..
    තවත් මිනිස් ජීවිතයක වටිනාකම අවබෝධ වෙනකම් මේ වගේ සිද්ධි තවත් සිදුවේවි..

     
  10. praveena

    මැයි 5, 2012 at 2:01 ප.ව.

    කතාව කියවලා ඉවරවෙලා ටිකක් වෙලා ගියත්, තාම මුකුත් ලියන්ට හිතාගන්ට බෑ.
    හරිම දුක හිතෙන කතාවක්!!!

     
  11. ~ChAnDiKa~

    මැයි 5, 2012 at 2:35 ප.ව.

    මේක ලංකාවේ දුම්රිය වල සාමාන්‍ය තත්වයක් වෙලා දැන්. තමන් හමදාම යන පෙට්ටි වල ආසන වලට නිත්‍ය අයිතිකාරයො වෙලා. අසරණ අසනීප මගියෙක්ට තියා බඩදරු අම්මා කෙනෙකුටවත් සීට් එකක් දෙන්නේ නැහැ. මේ වගේ පාහරයොන්ටනම් ඉක්මනට බෙහෙතක් දෙන්න වෙනවා. බූරු ඇඳ දිගඇරගත්ත වගේ සීට් වල යන්නේ. තව කෙනෙකුට වාඩි වෙන්න ඉඩ තිබ්බත් දෙන්නෙ නැහැ. කල්ලි ගැහිලා ඉන්න හන්දා කවුරුවත් එකට එක කියාගෙන යන්නෙත් නැහැ ස්ද්ද නැතුව පසු බහිනවා මිසක්. කාලකන්නි. තමන් වගේම අනික් මිනිස්සුත් යන්න ඕන කියන එක මේ යක්කුන්ට තේරෙන්නෙ නැහැ.

     
    • දුම්රිය මගියෙක්

      මැයි 12, 2012 at 5:28 ප.ව.

      ඒ කතාව නම් ඇත්ත. හබඊ මේක හැම කල්ලියකටම අදාල නැ. හොද මිනිස්සු එකතු වෙලා හදුනා කල්ලිත් තියෙනවා. මමත් ඉඳල හිටලා සමුද්රේ එනව යනවා. නුපුරුදු කෙනෙක් දැක්කම ඔරවන අය අතරේ නැගිටලා අසනය දෙන්න තරම් හොද අයත් ඉන්නවා. අ වගේම දැන් සමුද්රේට දල තියෙන ඉන්දියානු දුම්රිය කට්ටලය ඒ වැඩේට ගැලපන්නේ නැ. එකේ පළල ආසනයක 4 දෙනෙක්ට වැඩි වෙන්න පුළුවන්. නමුත් එහෙම වැඩි වෙන්නේ කල්ලි ගැහුනා අය විතරඊ. අනිත් අය wadi උනාම යන්නෙත් අර කියපු බුරු ඇද දිග අරගෙන තමඊ. එක නිසා සෙට් වල හොද නරක දෙකම තියෙනවා කියලත් මතක තියා ගන්න ඕන.

       
  12. Gold fish

    මැයි 5, 2012 at 3:19 ප.ව.

    පුංචි දේවල් හිත ඇතුලෙන් දුරදිග ගියාම මහා ලොකු විනාශ වෙනවා. අමනුෂ්‍යයින්ගේ හිත් ඇතුලේ එහෙම නරක සිතුවිලි ඇතිවුනාම තත්වය ගොඩක් දරුණු වෙනවා… හරියට අයියගේ කතාව වගේ….

    කවුරු කලත් ඒ වැරැද්ද ගොඩක් බරපතල බව ඉක්මනට බුවාට වැටහෙයි.

     
    • henryblogwalker

      මැයි 6, 2012 at 10:17 පෙ.ව.

      @රූ: ඒක ඇත්ත මිනිස් කියන්නෙ මනස උසස් කියන එකලුනෙ. අනේ මන්දා අපට වැරදිලා ද කියලා. බල්ලො ලඟ කොච්චර උසස් ගතිගුණ තියෙනවද බලන්නකො මිනිස්සු ලඟ නැති.

      රූගෙ බ්ලොග් එක නම් නියමයි මම ලඟදි තමයි ගියේ. විශෙෂයෙන්ම කඳු කතා

      @praveenaa: ස්තුතියි පොඩ්ඩි. අපි විහිලුවට කොක්ක දා ගත්තට ඔයාට සංවේදී හදවතක් තියෙනබව මම දන්නවා.

      @~ChAnDiKa~ අපිට කොතන වැරදුනා කියන එක මටත් හිතාගන්න බෑ. එකවගෙ අදහස් තියෙන අය එකට ඇසුරු කිරීම වරදක් නෙවෙයි. නමුත් මෙතන යන ක්‍රමවේදය එයින් ඔබ්බට ගිය එකක්.

      @Gold fish: මෙතනදි නම් මෙහෙම සිද්ධියක් වෙච්ච බව බුවා දන්නෙත් නෑ.

       
  13. Nalini

    මැයි 5, 2012 at 6:14 ප.ව.

    ජීවිතේ හැම තත්පරයක්ම අනිකාට ඉහළින් සිටින්නට දඟලන තුච්ඡ මිනිහෙක්, මේ වගෙ බ්ලොග් එකක් කියවයිද?
    තමන්ටම එහෙම දෙයක් වුණොත් විතරක් මේ මිනිස්සුන්ට ඒකෙ බරපතලකම තේරෙයි.

     
  14. Sumith Niriella

    මැයි 5, 2012 at 7:36 ප.ව.

    කඳුළක් වැටෙන එක වලක්වන්න ගත් අසාර්ථක උත්සාහයෙන් මා පරාජය වුනා…..

     
  15. ලකීසිරි

    මැයි 5, 2012 at 8:01 ප.ව.

    ඇඟ හිරි වැටෙනවා..කිසිම වැඩකට නැති දේවල් වෙනුවෙන් අනෙකාගෙ ජීවිතය අනතුරේ දාන්න තරම් මනුස්සකම පහලට වැටීම මොනතරම් කනගාටු දායකද ? ඇයි මිනිස්සුන්ට හිතන්න බැරි මේත් මම වගේම මනුස්සයෙක් කියන එක.ඇයි මිනිස්සුන්ට අනික් අයගෙ දුක් කරදර වලට සංවේදි වෙන්න බැරි….මේ වගේ දේවල් මනුස්සයෙක්ට සතුටු වෙන්න පුලුවන් කියන එකත් හරි පුදුමයි…

     
  16. arunishapiro

    මැයි 5, 2012 at 8:09 ප.ව.

    කල්ලිවාදියාගේ පැත්තෙන් කිව්වොත් … එයා එහෙම කළේ හිතා බලා ද? නැත්නම් කල්ලියේ හැදියාව නිසා ද? එයා සේනකව දන්නවා නම් එහෙම කරන එකක් නැහැ කිසිදාක. මොකද එයා තුල අනෝන්‍ය සබඳතාවයෙන් සතුටු වෙන උවමනාවක් තියන නිසා. ඒකනෙ එකම පෙට්ටියේ එකම කල්ලියක් එක්ක යන්න වෑයමක් ගන්නෙ.

    ඉතින් කල්ලියකට අයිති නොවන කෙනෙක් ඉන්නවා නම් කල්ලිවාදියාගේ වැරැද්ද උලුප්ප උලුප්පා කියා අහිංසක සේනක ගැන දුක්වෙන්න.

    හැමදාම හැමෝම කියන වාදපදයන්: ආත්මාර්ථකාමියා, අනිකාට ඉහළින් නඟින්නට හදන තුච්ඡ මිනිසා යැයි කියා ගලක් ගහන්න.

    මා නම් දුක්වෙන්නේ කල්ලිවාදියා ගැනයි. අනේ පව්, ඔහුට කියාදෙන්නට කෙනෙක් ඉන්නේ නම් … ලෝකය කොතරම් සුන්දර වෙයි ද?!!!!

     
    • Senna

      මැයි 5, 2012 at 9:43 ප.ව.

      මොන දේ වුනත් ඔහුට මනුස්සයෙක් වශයෙන් හිතන්ඩ තිබුනා, දුවන කෝච්චියක එල්ලෙන්ඩ හදන මිනිසෙකුට පහරක් එල්ල කිරීමෙන් ඇතිවිය හැකි භයානක ප්‍රතිපලය ගැන. කල්ලියෙන් පිට අන් සැවෝම සත්තුද ?

       
      • arunishapiro

        මැයි 6, 2012 at 2:41 පෙ.ව.

        Senna,

        ඔහු සිතුවිලි ඔහුගේ කල්ලියේ මනුස්සයෙක් හැටියට සීමාවෙලා. මේ සටහනට ප්‍රතිචාර දාන අය හිතන්නේ අනිත් කල්ලියේ මිනිස්සු හැටියට. එනම්, දුවන කෝච්චියක එල්ලෙන්න හදන මිනිසෙකුට පහරක් එල්ල කිරීම නරක වැඩක් හැටියට හිතන අය අතරට. එතකොට ඔහුගේ කල්ලියට එරෙහිව මේ කල්ලිය යන දෙකම හිතන්නේ කල්ලිවාදයෙන්.

        කල්ලියෙන් පිට අන් සැවොම සත්තු කියලා ඔහු හිතනවා නෙමෙයි. තම කල්ලියට එරෙහිව තම තැන උදුරාගන්නට එන මේ කල්ලිය කියා පමණයි. ඒ හැදියාව ඔයිට වඩා මහා පරිමාණයෙන් විවිධ සමාජ වල දී වෙනත් තැන් තැන්වල දී ද දකින්නට ලැබෙනවා.

        ඇද වැටුන මිනිහාගේ පසුබිම දන්නවා නම් එසේ නොකර සිටින්නේ කල්ලියකට එකතු වෙන්නෙ නැති ඒකීය පුද්ගලයෙක්, වෙනස් විදියකට හැඩ ගැසිච්ච මොළයක් තියෙන කෙනෙක්. මේ අය එසේ නැහැ කතාවේ චරිතය ලියන විදියට එයා තම කල්ලියේ සබඳතාවයන් වලින් ප්‍රබෝධයක් ලබන්නෙක්.

        අපි හැමෝම එකතු වෙලා ඌට බැනලා වැඩක් නැහැ. තත්වය වෙනස් කරන්න නම් කල්ලිවාදයෙන් අයින්වෙන්න ඕනා.

         
      • Senna

        මැයි 6, 2012 at 9:24 ප.ව.

        Aruni,

        කල්ලිවාදය පැත්තකින් තිබ්බාම, අපි සමාජයේ ජීවත් වෙනකොට , පිළිපැදිය යුතු යුතුකම්, වගකීම් මාලාවක් සහ නීතී රාශියක් තියනවා නේද. මම මේ කතා කරන්නේ ඇද වැටුන මිනිසාගේ පසු බිම දන්න නිසා නොවේ. ඒ පසුබිම නොදැන වුනත් , මම කියනවා කල්ලිවාදියා අනිත් මිනිසාට කළ දේ වැරදියි කියා. ඔහු එසේ පහර දුන්නේ මේ මිනිසාගෙන් තමන්ගේ කල්ලියට තර්ජනයක් එල්ල වන නිසා නොවේ. පෙර දිනයක් සිදුවු නොරිස්සුම් සහගත සිද්දියෙන් ( කතුවරයා පවසන පරිධි ) හට ගත් කේන්තිය තමා ඔහුව මේ ප්‍රහාරයට පොළබවන්නෙ. මම කියන්නේ ඔහුට මිනිසකු වශයෙන් සිතට එන හැම දේම ක්‍රියාත්මක කළ නොහැකියි. එසේ කිරීමෙන් ඇතිවිය හැකි භායනක ප්‍රතිපල ගැන ඔහු සිතා බැලිය යුතුයි. අපිට මනුස්සයන්ට වගේ සළකන්ඩ පුලුවන් අපි ඉතිහාසය දන්න මනුස්සයින්ට සහ අපේ කල්ලියේ අයට විතරක් නම්.. මට හිතෙන හැටියට එතන ලොකු අවුලක් තියනවා..

         
      • arunishapiro

        මැයි 7, 2012 at 5:23 පෙ.ව.

        @Senna,

        //කල්ලිවාදය පැත්තකින් තිබ්බාම, අපි සමාජයේ ජීවත් වෙනකොට , පිළිපැදිය යුතු යුතුකම්, වගකීම් මාලාවක් සහ නීතී රාශියක් තියනවා නේද. මම මේ කතා කරන්නේ ඇද වැටුන මිනිසාගේ පසු බිම දන්න නිසා නොවේ. ඒ පසුබිම නොදැන වුනත් , මම කියනවා කල්ලිවාදියා අනිත් මිනිසාට කළ දේ වැරදියි කියා. ඔහු එසේ පහර දුන්නේ මේ මිනිසාගෙන් තමන්ගේ කල්ලියට තර්ජනයක් එල්ල වන නිසා නොවේ. පෙර දිනයක් සිදුවු නොරිස්සුම් සහගත සිද්දියෙන් ( කතුවරයා පවසන පරිධි ) හට ගත් කේන්තිය තමා ඔහුව මේ ප්‍රහාරයට පොළබවන්නෙ. මම කියන්නේ ඔහුට මිනිසකු වශයෙන් සිතට එන හැම දේම ක්‍රියාත්මක කළ නොහැකියි. එසේ කිරීමෙන් ඇතිවිය හැකි භායනක ප්‍රතිපල ගැන ඔහු සිතා බැලිය යුතුයි. අපිට මනුස්සයන්ට වගේ සළකන්ඩ පුලුවන් අපි ඉතිහාසය දන්න මනුස්සයින්ට සහ අපේ කල්ලියේ අයට විතරක් නම්.. මට හිතෙන හැටියට එතන ලොකු අවුලක් තියනවා..//

        කල්ලිවාදය පැත්තකින් තියලා කතා කරන්න බැහැ. හේතුව, රේල්ලුවට නඟින්න ආපු මිනිහාට වැලමිටෙන් ඇනලා තල්ලු කළේ කල්ලිවාදයේ මානසිකත්වයෙන් පිරුණු අයෙක් නිසාමයි. කතාව සත්‍යයක් වුනත් නොවුනත්, මෙහි එන දෙදෙනාගේ පසුබිම් දිහා බලා නොවෙයි, මෙහි ලියා ඇති ටිකෙන් පැහැදිලි වෙන්නේ, ඒ අය විදියට හැසිරෙන අනිත් අයත් ඉන්නා සමාජයක, පැහැදිලිව ම අහිංසකයා කෝච්චි පෙට්ටියේ නැඟලා අර කල්ලිය යන පෙට්ටියේ ආසනයක් ඩැහැ ගන්න හදන අයෙක් හැටියට සැලකූ නිසයි පාහරයා වැලමිටෙන් ඇනලා තල්ලු කරන්නෙ. තර්ජනය තම කල්ලියේ ආසනයක කල්ලියේ නොවන අයෙක් වාඩි ගැනීම. පෙර දිනයක සිදු වූ සිද්ධියෙන් තමයි එහෙම කරාවි යන උපකල්පනයෙන් කරන්නත් කළින් පාහරයා එය වළක්වන්න හදන්නෙ.

        ජපානයේ, ඇමෙරිකාවේ, ජර්මනියේ එහෙම තල්ලු කරගෙන මහජන ප්‍රවාහන සේවයකට නඟින අය නැහැ. පාරවල් වල වාහන පදවන අයත් නීති ගරුකයි. නීත්‍යානුකූලව තමන්ව පාස් කරලා යන්න හදන, තමන් නොදන්නා කෙනෙකුට පවා මහා මාර්ගයේ ඊට ඉඩනොදෙන මානසිකත්වයක් ලංකාවේ දකින්න ඇත්තේ හා ධනවාදී වූ (සල්ලි පස්සේ යනවා යැයි කියන!!!) ජපානයේ, ඇමෙරිකාවේ, ජර්මනියේ නැත්තේ ඇයි?

        ඔව්, අපි සමාජයේ ජීවත් වෙනකොට යුතුකම්, වගකීම්, නීති රීති පිළිපදින්න ඕනා. ඊට සම්පූර්ණයෙන් එකඟයි. නීති කඩන අයට දඬුවම් සහ රීති කඩන අයගෙන් නීති රකින අය ඈත් වෙන්නත් ඕනා. ඒත් එහෙම නොකරන බහුතරයක් ඉන්න සමාජයක ඔයගොල්ලෝ ජීවත් වෙන්නෙ ඊට හේතුව මිනිසා සල්ලි පස්සේ යනවා යැයි සිතන මුලාව වපුරමින් නිසා මිසක ඊට හේතුව කල්ලිවාදයේ අහිතකර පැත්ත නිසා බව පිළිගන්නේ නැහැ. ඒකයි මම පෙන්වන්න හදන්නෙ, අහිංසකයාගේ කල්ලිය හා පාහරයාගේ කල්ලිය කියා දෙකකට බෙදිලා හැමෝම පාහරයාට බනිනවා. ඒත් අහිංසකයාගේ පැත්ත ගන්නා අයත් ඉන්නේ පාහරයාගේ කල්ලියේම බව, එනම් නීති රීති ගරුක නොවන සමාජ කල්ලියේ බව, තමන් වටහා ගන්නෙ නැහැ. එවිට හැමදාම සල්ලි පස්සෙ දුවන පාහරයාගේ ජඩ වැඩ කිය කියා මුලාවකින් අන්ධ වී බැන බැන හිටියාට වැරැද්ද හැදෙන්නේ නැහැ.

         
  17. වින්චැට් කිරිල්ලී.

    මැයි 5, 2012 at 8:22 ප.ව.

    ඒ පාහරයව කවුරුවත් දැක්කෙ අඳුන ගත්තෙ නැද්ද?
    මට එක පාරටම හිතට ආවෙ අනේ මම එතන උන්න නම් කියල….

     
    • henryblogwalker

      මැයි 6, 2012 at 11:32 පෙ.ව.

      @Nalini: ඒක හරි නලිනි. සමහරුන්ට තේරෙන්නෙ තමන්ටම වුනොත් විතරයි. නැත්නම් නිර්වින්දනය වෙලා ඉන්නෙ.

      @සුමිත් නිරිඇල්ල: ඔබ ආඩම්බර විය යුතුයි හැඟීම් දැනීම් ඇති මිනිසෙක්ව ඉපදීම ගැන. ඔබ දන්නවාද මේක ලියනකොටත් මට ඔය දේම වුන බව?

      @ලකීසිරි: අපේ අවාසනාවට ඔය වගෙ කට්ටිය තමයි වැඩි. විශේෂයෙන්ම ඔය කෝච්චියෙ.

      @arunishapiro: ඔය කල්ලියට කල්ලිය නොකියා (clique or elite group) අපේ එකතුව කියලා කිව්වොත් අරමුණ වෙනස් වෙන වෙලාවල් තියෙනවා කියලා මට හිතෙනවා. අපේ ගැන්සිය අපේ ක්ලික් එක අපේ සෙට් එක කියලා අපිත් ඔහොම හිටියා. උදාහරණයක් විදියට ඔය වගෙ අපේ බ්ලොගර්ස්ල සෙට් එකක් කී පාරක් උදව් අවශ්‍ය විවිධ පුද්ගලයන්ට උදවු කරලා තියෙනවද. එදා සයිබර් සැනකෙලියටත් ඇවිල්ලා හිටියලුනේ එහෙම අපේ සෙට් එකේ උදව්වෙන් දිවි ‍රැකගත්ත දැරියක්.
      ගම් වල් තියෙන මරණාධාර සමිතියත් ඒවගෙ ධන අරමුණක් ඇති එකතුවක්නෙ. ඒ වගෙම ඔය බස් වල යන සමහර කන්ඩායම් ඉතාම හොඳ වැඩ වලට ශ්‍රමයෙන්, ධනයෙන් දායක වෙලා තියෙන බව මම පෞද්ගලිකව දන්නවා.

      නමුත් අරුණි ඒ වර්ගයෙ ගති ලක්ෂණ තියෙන කල්ලි බොහොම අඩුයි. නුහුගුණ තමයි වැඩියෙම දකින්න පුලුවන්.

      @Senna: සමහර වෙලාවට මිනිස්සු ගන්න ක්ෂනික තීරන කෙලවර වෙන්නෙ ඛේදවාචකයකින්.

      @වින්චැට් කිරිල්ලි: නැතුව ඇති වින්චැට් කිරිල්ලි. කෝච්චියෙ ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනකොට ඔය වගෙ දෙයක් දකින්නෙ කී දෙනාද.

       
      • arunishapiro

        මැයි 6, 2012 at 2:29 ප.ව.

        @henryblogwalker,

        නම වෙනස් කරන නිසා නෙමෙයි අරමුණ වෙනස් වෙන්නෙ හැදියාව වෙනස් වුනාම. සයිබර් සැනකෙලියට මාත් සහභාගී වුනා කිරිටොපි වලින් … එයාලගෙ සතුටට මාත් එකතු වුනා… ඉලන්දාරියට කරපු උදව් නිසා යම් ආකාරයකින් ඒ දැරියගේ සතුටටත් මාත් එකතු වුනා.

        නරකාදියට යන පාර දෙපැත්ත තැනිලා තියෙන්නෙ හොඳ අරමුණු වලින් කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනෙ. අපේ අරමුණු කොච්චර හොඳ වුනත් වැඩක් නැහැ ඒවා ඉෂ්ට කරන්නෙ බැරිනම්. සමහරු හොඳ අරමුණු ගොඩක් ගැන කිය කිය ඉන්නවා. සමහරු එක හොඳ අරමුණක් ක්‍රියාට නංවනවා.

         
  18. sAm sRi

    මැයි 5, 2012 at 9:12 ප.ව.

    මිනිස්සු හදන්න බැරි ජාතියක් නොවැ. මේක බලලා හැදෙන එකෙක් හිටියොත් හෙන්රිට පිං. !

    ප්‍රමාද වුනා මේ පැත්තේ එන්ට. කතාව දැක්කට ආවේ නැත්තෙ නිදහසේ කියවන්න. ඒ වගේම හෙන්රි මට පවරපු වැඩ ගොඩක් තියෙනවා අහවර කරන්න. සෑමගේ සහ හෙන්රිගේ පොටෝ දෙක කම්පෙයාර් කරන්නත් කියල කමෙන්ටුවක් තිබ්බ නිසා..🙂

    ජය !

     
    • sAm sRi

      මැයි 6, 2012 at 7:07 පෙ.ව.

      හෙන්රි මහතා මගේ පෝස්ටුවට දැමූ කමෙන්ටුවක් ඩලීට් කර ඒ යටින් කමෙන්ටුවක් දමා තිබින. මැකූ කමෙන්ටු කොටය ඉවත් කරන ලෙසද ඉල්ලා තිබින. එය ඉවත් කිරිමෙදී හොද කමෙන්ටුවද ඉවත් වු බැව් දුකෙන් හෝ දන්වා සිටිමි. :((

      ජය !

       
      • sAm sRi

        මැයි 12, 2012 at 11:53 පෙ.ව.

        hw cn i add my blog profile pic to this cmnt box ?

         
        • henryblogwalker

          මැයි 12, 2012 at 1:22 ප.ව.

          බොල සෑමො. අපි එහෙම තම්යි අනුන්ගෙ දේ අවසර නැතුව උස්සන්නෙ නෑ. මම නම් ජය කියන එක උඹෙන් තමයි කොපි කලේ. ආයෙ බොරු කියන්නෙ මොකටද? හැබැයි ඔය ජය කෑල්ල මගෙ නමෙත් තියෙනවා.
          මොකද බොල මේ ලඟදි ඉඳලා මට මහතා කියන්නෙ? ඒකත් ඒ වෙසක් සතියට කරන යහපත් වැඩවලින් එකක්ද, වැඩිහිටියන්ට සැලකීම වගෙ? හෙහ් හෙහ්..
          සෑම් අහලා තිබ්බ WordPress Comment Box අවුල ගැන කියනවා නම්. මම වර්ඩ්ප්‍රෙස් එකයි බ්ලොගර් එකයි දෙකම පාවිච්චි කරනවනෙ. ඇයි HeyDude ලියන්නෙ බ්ලොගර් එකකනෙ. ඉතින් මට නම් දෙකේම ප්‍රොෆයිල් තියෙනවා. බ්ලොගර් බ්ලොග් වලට ගියාම Dude හැටියටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට ගියාම henryblogwalker හැටියටත්. අනන්‍යතාවය ‍රැකගන්න කමෙන්ට් එක දාලා යටින් henryblogwalker the Dude කියලා ලියනවා. ඒ වගේම සෑමො විශ්වාසකරනවා නම් විශ්වාඅස කරපං නැත්නං ඒත් විශ්වාසකරපං ඔය දෙකේම ආවේනික වාසි සහ අවාසි තියෙනවා. ඇත්තමයි. උඹලා බ්ලොගර් වලින් විතරක් ලියන හන්දා බ්ලොගර් දොර දෙකේ ස්පෝට්ස් කාර් එකක් වගෙත්, වර්ඩ්ප්‍රෙස් 18වීලර් කන්ටේනර් ට්‍රක් එකක් වගෙත් පේන බව මම දන්නවා. හෙහ් හෙහ්.
          ඔය කමෙන්ට් බොක්ස් එකේ gravatar ගැන අහලා තිබ්බ නිසා මම වර්ඩ් ප්‍රෙස් සයින් අවුට් කරලා බැලුවා. ඊට පස්සෙ අර කො‍ටු තුන බ්ලොගර් විස්තර වලින් පිරෙව්වම , ඒ කිව්වෙ gmail user name එකයි උමේ බ්ලොග් එකේ ලිපිනයයි එතකොට user name වලට Sam කියලයි ගැහුවමෙ ඔය ලස්සන මූණ ආවෙ නැත්ද? නැත්නම් gravatar පින්තූරෙ උඩ කොරලා ඒ සයිට් එකට හිහින් රෙජිස්ටර් වෙලා පිතූරයක් දැම්මැකිනෙ සූප්පුවත් එක්කම. ඊට පස්සෙ හැමදාම ඒක පාවිච්චි කලෑකි. එතකොට සෑමා, මේ නවමගෙ, ගෝල්ඩ් ‍ෆිශාගෙ, හංස කිංකිණිගෙ බ්ලොග් වලට යන්නෙ කොහොමද? ඒවත් වර්ඩ්ප්‍රෙස්නෙ. එහෙනම් සී නැතිව ජය!😀

          henryblogwalker the Dude

           
  19. Senna

    මැයි 5, 2012 at 9:38 ප.ව.

    මේ වෙසක් දිනයේ ඒ මුග්ද මන්ද මානසික මිනිසාට අනුකම්පා කරමු. අහම්බයෙන් හෝ මේ ලිපිය කියවීමට ලැබී ඔහුට කළ වරද ගැන අවබෝධ වේවා !! ආත්මාර්තකාමී මිනිසුන් හිතා නොහිතා, දැන නොදැන කරන වැරදි වලින් කීදෙනෙක්නම් නම් අසරණයන් පීඩා විදින්නේද !!

    ලිවිල්ල නම් උපරිමයි.. කමෙන්ට් එකක් නොදමා කියවා විතරක් යෑමට සිතා සිටි මම මේ කමෙන්ට් එක දමන්නේ ඒ උපරිමයෙන් ලද ආකර්ශණයෙන්මයි, බරවූ සංවේදී හදවතින්මයි.

    අනුන් වෙනුවෙන් උණුවෙන හිතක් ඇති ඔබට ජයම පතමි !!

     
  20. Alchemiya

    මැයි 6, 2012 at 3:25 පෙ.ව.

    මට කියන්න දෙයක් නෑ…. මම මේ සල්ලි පස්සෙ දුවන, කිසිම හේතුවක් නැතිව දුවන්නන් වාලෙ දුවන සමාජයේ මිනිස්සුන්ට අනුකම්පා කරනවා. වෛර කරලා වැඩක් නෑ… අපේ ලේ නරක් වෙන එක විතරයි. නමුත් උන්ගෙ වරදකින් මගේ කෙනෙකුට යමක් සිදු වුනොත් උන් හදාගන්නෙ ලෝකෙ ලොකුම වෛරක්කාරයෙක්..
    අපි උත්සාහ කරන්නෙ හොඳ සමාජයක් නිර්මාණය කරන්න. නමුත්, දැන් පවතින සමාජ ක්‍රමය පුදුමාකාර විදියට යාන්ත්‍රික සහ හැඟීම් විරහිත මිනිස්සු බිහි කරලා…
    මට හිතා ගන්න බැහැ ඉස්සර පාරෙ සතෙක් වැටිලා හිටිද්දි වතුර පොදක් දීලා ඌව ජීවත් කරන්න වෙහෙසිච්ච ඒ සමාජය කොහේ ගිහින්ද කියලා. දැන් හැමෝම දුවන්නනෙ සල්ලි පස්සෙ. වැරැද්දක් කියන්නත් බෑ.. සල්ලි තමයි ජීවත් වෙන්න අවශ්‍ය එකම දේ. හෘද සාක්‍ෂිය, හොඳ නම, පිළිගැනීම, ලැජ්ජාව දැන් යට ගිහින්… සල්ලි සල්ලි…. නැති එකා හොයන්නත් ඇති එකා ගොඩ වැඩි කරගන්නත් මරා ගන්නවා…
    මම මේක බෙදා ගන්නවා… හොඳට හිතට වැදෙන්න ලියලා තියෙනවා…

     
    • henryblogwalker

      මැයි 6, 2012 at 11:44 පෙ.ව.

      @sAm sRi : හනේ අනේ සෑමෝ, ඉතින් ඒ පැවරුම ඉවර කලාද? මොකද ප්‍රතිඵල ගැන සද්දයක් නැත්තේ? මම හරි නේද?
      ඔන්න කමෙන්ට් එක ආයෙ දැම්මා.
      ස්තුතියි සෑම්.

      @Senna: මේ ප්‍රතිචාරය මට ඉතාම ලොකු දිරි ගැන්වීමක්. ඔබට ස්තුතියි සෙනා.

      @Alchemiya: කියන්න දෙයක් නෑ කිව්වට ඔය කියලා තියෙන්නෙ. පාරෙ වැටිලා ඉන්න මනුස්සයෙකුට උනත් උදව් නොකරන්න සමාජය හැඩ ගැහුනෙ සල්ලි හන්දම විතරක් නෙවෙයි කියලා මට වෙලාවකට හිතෙනවා. ඒකට මේ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටෙන ආකාරයට නිමවා ඇති ක්‍රමවේදයත් බලපානවා ඇති.

      හරි බෙදා ගන්න. ස්තුතියි ප්‍රතිචාරයටයි දිරි ගැන්වීනටයි ඇල්කෙමියා.

       
  21. Mewan Perera

    මැයි 6, 2012 at 10:10 පෙ.ව.

    ‘ඒ වැලමිටි පහර එල්ලකළ මිනිහා ගැන මම මොකුත් ලියන්න යන්නේ නැහැ .ඒ ,සෑමදෙනාම පාහේ ඔහු ගැන ලියා ඇති නිසාත් ,ඔහු වැන්නවුන් ගැන ලියා වචන නාස්ති කරනවාට වඩා කලයුත්තේ හැකි කමක් ඇතොත් ඔහු වැන්නවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කිරීම යයි මා සිතන නිසාත්ය . කෙසේ නමුත් මා ලියන්න යන්නේ ඔහු ගැන නොව ඔහුගේ වැලමිටි පහරට ලක්වූ පුද්ගලයා ගැනයි . සැබවින්ම ඔහු ඉතා යහපත් , කාරුණික උදාර පියෙකි . එසේ වුවද ඔහු ගැනද මසිතේ කේන්තියක් උපදී . මේ ප්‍රශ්නවලදී ඔහු ක්‍රියාකර ඇති ආකාරය එතරම් යහපත් නොවේ . ඔහු වැනි කෙනකුගේ ආරක්ෂාව දැඩිව අවශ්‍ය දැරියක් සිටිනා පියකු මීට වඩා තම ජීවිතය ගැන ආරක්ෂාකාරීව සිතිය යුතුය යන්න මගේ හැගීමයි . අඩියක් ගැසීමට ඉඩක් නැති පා පුවරු සහිත , දුවන දුම්රියක එල්ලීමට අවදානමක් ගැනීමට ඔහුට කොහෙත්ම අයිතියක් ඇති බවක් මට නොසිතේ . දුම්රිය පාපුවරු කඩා වැටී දුම්රියට යටවූවන් ගැන මෑතකදී ඔහුටද අසන්න ලැබුනාට සැකයක් නැත . වාඩිවී යාමට අසුනක් අල්ලා ගැනීමට ඔහු වැන්නකු ජීවිතය උගස් කලයුතු නොවේ .තව කීයක් හෝ වැඩියෙන් ගෙවා බස් රථයක ගමන් කිරීම වැනි යමක් ඔහුට කල හැකිව තිබුණි . දෙමා පියන් ආරක්ෂක හිස් වැසුම් පැළඳ දරුවන්ට වූල් තොප්පි අන්දවා යතුරු පැදි වල ගමනද එවැනිම වැඩි දුර නොහිතා කරනා අවදානම් ගමනක් බව මගේ හැගීමයි . හොඳ තත්වයේ නොමැති ඉන්දියානු ගුවන් යානා වල [රට තුල ] ගමන් යන එරට දෙමවුපියෝ වැඩි දෙනකු ගමන් යාමේදී ගුවන් යානා දෙකක වෙන වෙනම ගමන් කරන බවට වාර්තා වී තිබුණි ඒ එවනි අනතුරකට භාජනය වුවුහොත් ඔවුන්ගෙන් එක අයකු හෝ දරුවන් බලා ගැනීමට ඉතුරු වන නිසාය . මේ හැකි තාක් දුරට ආරක්‍ෂිත උපක්‍රම භාවිතා කර උපරිම ආරක්ෂාකාරී ලෙස ජීවත්විය යුතුව ඇති කාලයයකි !!!! ඔබගේ ජීවිතය ඔබෙන් යැපෙන තව අයෙකුට දැඩිව අවශ්‍යව ඇති මොහොතක එය තව තවත් වැඩි වැඩියෙන් පිළිපදිනවා විනා , නොගිනිය හැකි ප්‍රති ලාභයක් වෙනුවෙන් වටිනා ජීවිතයක් උගස් කලයුතු කාලයක් නොවේ . එසේ කිරීම ගැන නානාප්‍රකාර සාධාරනීකරණයන් කිරීමෙන් පලක් නොවේ !!!! අවසාන වශයෙන් කිවයුත්තක් තිබේ . ඒ , මේ දේවල් ලියැවුණේ අදාළ පුද්ගලයා ගැන අනාදරයෙන් නොවේ . ඔහුට හා ඔහුගේ දියණිය ගැන පහලවූ අතිමහත් ආදරය නිසාවෙන්මය !!!! මෙවැනි අනතුරු දායක අවදානම් නොගැනීමටත් , ඔහුගේ දියණිය සම්බන්ද සියලු කරුණු කාරනා ඔහු සිතන පතන ආකාරයට කර ගැනීමටත් ඔහුට ධහිර්යය ලැබේවා !!!! ‘

     
  22. lakmal

    මැයි 6, 2012 at 10:13 පෙ.ව.

    දැන් හැම තැනම තියෙන්නේ ඔය කතන්දරය.අනිකට හෙණ ගැහුවත් කමක් නැ. මම මම මම මම මම මම මම මම මම —————————– තමන් ගැන විතරයි හිතන්නේ

     
  23. අසරණයා

    මැයි 6, 2012 at 7:24 ප.ව.

    ගොඩාක් සංවේදී .අන්තිම ටික කියවද්දී ගොඩාක් දේවල් දැනුනා.

     
  24. සඳරු

    මැයි 6, 2012 at 11:50 ප.ව.

    සේවක මගියාගේ ඇසින් බලද්දී උන්දෑ හරි කියලයි මටත් හිතුනේ ඒත් සේනක ගැන දැනගත්තාම මට හිතුන දේ මෙතන ලියන්ඩ බෑ .. ! අපි කවුරුත් බලන්නේ ඉස්සරහට යන්න අනික් එවුන්ට මොනා වෙනවද කියලා කවදාකවත් අපි හිතන්නේ නෑ . මමත් අපි කවුරුත් එහෙමයි . .. හරිම සංවේදී කතාවක් ..

     
    • henryblogwalker

      මැයි 8, 2012 at 6:45 ප.ව.

      @Mewan Perera: ස්තුතියි මෙවන්. සිතා බැලිය උතු දෙයක්.

      @lakmal: ආත්මාර්ථකාමය අපි පෝලිමක ඉන්නකොට වුනත් දකින්න පුලුවන් නේද?

      @අසරණයා: මේ ලිපිය කියවපු හුඟ දෙනෙක් එහෙම සංවේදී අය බව කමෙන්ට් දැක්කාම පේනවා. ඒකත් ලොකු දියුණුවක් අසරණයා. ස්තුතියි.

      @සඳරූ: ඒ කියන්නෙ මගෙ ලිවීම සාර්ථකයි කියන එකයි. දෙන්න උත්සාහ කරපු පණිවිඩය ලැබිලා තියෙන බව පැහැදිලියි. ස්තුතියි සඳරූ. මේ ආවමයි නේද මේ පැත්තෙ?

       
  25. සාබිත්

    මැයි 6, 2012 at 11:53 ප.ව.

    මාත් අවුරුද්දක් දෙකක් කෝච්චියේ ගියා ඉස්කෝලෙ! ඔය කෝච්චි සංස්කෘතිය ගැන ඒ නිසා මාත් දන්නවා!පිස්සු යක්කු!

     
  26. chami4u

    මැයි 7, 2012 at 8:38 පෙ.ව.

    ගොඩක් හොද ලිපියක්..ඒ වගේම කියවපු බ්ලොග් අතර ගොඩක් හොද බ්ලොග් එකක් කියන එකත් කියන්නම ඕනේ…
    මේ ලිපිය මම හරිම අසාවෙන් කියෙව්වා… දුක හිතුන .වගේම .හිතන්න දෙයක් තිබුනා..
    —-ජය….

    චමී ….

     
  27. Gaminie Vijith

    මැයි 7, 2012 at 10:22 පෙ.ව.

    කෝච්චිවල ඔය පාහර සංස්කෘතිය ගැන මමත් අහලා තියෙනවා. අනිත් එකාට මොනවා උනත් මගෙ රාත්තල මම ගන්නවා කියන මානසිකත්වය තමයි උන්ට තියෙන්නේ, මට තේරෙන හැටියට.

    පපුවටම දැනෙන විදියට කතාව ලියවිලා තියෙනවා මචං

     
    • henryblogwalker

      මැයි 8, 2012 at 8:02 ප.ව.

      @සාබිත්: එත්තටම සාබිත් මම නම් කෝච්චියේ ඉස්කෝලෙවත් රස්සාවටවත් ගිහින් නෑ, මොකද අපි ඉන්නෙ කෝච්චි පාරක් කිට්‍ටුව නොවන නිසා. නමුත් ඔය ඔෆීස් ට්‍රේන් වලට අවාසනාවකට වගේ ගොඩ වෙලා තියෙනවා වෙන ගමන් යන්න. කියලා වැඩක් නෑ විස්තර. මරාගෙන මැරෙන්න හිතෙනවා.

      @චමී4යූ: ස්තුතියි චමී දිරි ගැන්වීමට. අර වගෙ ලිපිත් (ලව් ලෙටර් එක ලිව්වා වගෙ) ආයෙ ලියන්න හරි.

      @ගාමිණී විජිත්: ඇයි මචං ඔය පත්තර වලත් තියෙන්නෙ විස්තර.

       
  28. තිස්ස දොඩන්ගොඩ

    මැයි 7, 2012 at 10:17 ප.ව.

    “ඔබ මින් මතුවටවත් ඔබ අනිකාගෙ ඉලයට වැලමිටෙන් අනිමින් අනෙකා පරයමින් ජීවන ගමනෙ යෙදෙන සඳ,
    මඳක් නැවතී සිතන්න ඔබෙන් වැලමිටි පහර කන අසරණයන් කවුරුන් විය හැකිද යන වග,
    සමහර විට ඔවුන් ඔවුන්ගේම නොවේ… ”

    I salute you my dearest friend…!!!!!

     
  29. ක්සැන්ඩර් | Xander

    මැයි 8, 2012 at 8:34 පෙ.ව.

    මමත් අවුරුදු 3ක් කෝච්චියේ හැමදාම සිකුරාදා හවසට නුවර කොළඹ ගිහින් තියන එකේ මට මේ අත්දැකීම තියනවා මදි නැතුව. මම තවත් බ්ලොග් එකක මේ කාරණේම දැක්ක. එත් මේ තරම් සංවේදීව කියෙව්වේ අද. මිනිස්සුන්ගේ හිත ගැන කියන මේ වගේ පොස්ට් එකක් මම දැක්කමයි,..

     
  30. හංසකිංකිණි

    මැයි 8, 2012 at 9:45 පෙ.ව.

    කෝච්චි සංස්කෘතිය නං හරිම පිලිකුල් සහගතයි…. ඒවගේ හැමදාම යන මිනිස්සුන්ට හැර අපි වගේ ආගන්තුකයන්ට ඉඩක් නෑ…

     
    • henryblogwalker

      මැයි 8, 2012 at 8:10 ප.ව.

      @තිස්ස දොඩම්ගොඩ: ස්තුතියි මචං. ඔය කෑල්ල මම පරිවර්තනය කලේ සෑහෙන අමාරුවෙන්. මෙන්න ඔරිජිනල් එක THE NEXT TIME YOU ELBOW YOUR WAY THROUGH YOUR LIFE,
      PLEASE STOP TO CONSIDER WHOSE RIBS YOU DIG INTO.
      BECAUSE SO MUCH IS RIDING ON SOME PEOPLE’S LIVES.

      @Xander: ආ, එහෙනම් ඇති පුදුම ක‍ටුක අත්දැකීම් ගොන්නක්. ලියමුකො එකක් දෙක බ්ලොග් එකේ. ක්සැන්ඩර්, ස්තුතියි දිරි ගැන්වීමට. මේ දවස්වල ලංකාවෙනේ?🙂

      @හංසකිංකිණි: වෙන රටවල් වලත් මෙහෙමද දන්නෙ නෑ නේ. හංසකිංකිණි ලියලා තිබ්බා නේද ඉන්දියාවෙ කෝච්චි ගමනක් ගැන? ස්තුතියි මේ පැත්තෙ ආවාට.

       
  31. ලොකු පුතා

    මැයි 9, 2012 at 7:53 ප.ව.

    සංවේදී කතාවක් අයියේ..
    සමාජයේ ඔය වගේ කල්ලි හැදිලා හෝ තනි තනි පුද්ගලයින් වශයෙන් හෝ කරන මේ වගේ අමන වැඩ වලට මම කොහොමත් විරුද්ධයි.
    බස් වල ඉන්න මේ වගේ කල්ලි එක්ක මමත් ගොඩ වෙලාවට ගැටිලා තියෙනවා, (අතින් පයින් නෙමෙයි කටින්)
    ඒත් දැන් ඔෆිස් වෙලාවල් වල බස් වල යන්නේ නැති නිසා මේ ප්‍රශ්නෙට මුණ දෙන්න උනේ නැහැ කාලෙකින්.

    (මැද හරියේදී දාල තියෙන අධි මානසික කමෙන්ට් කීපය කියවන්නේ නැතුව ඉක්මනට පහලට ඇවිත් ඔළුව බේරාගත්තා. හික් හික්…..)

     
  32. lasiru

    අගෝස්තු 1, 2012 at 4:59 ප.ව.

    Oya hawasata Mathara yana Sagarika train eke antima pettiye innawa oya wage set ekak.Oke innawa walapayay godapayay inna wayasaka clark kenek.Miniha porakala nagala seat 2 alagannawa.Ekak uge duwage withara wayase kellekta.Thanikara kukulek.Dawasak mama oya allan inna seat eke wadi unama u kiyanawa meke innawa kiyala.Mama ahuwa ko kiyala.Denna uthhara na.mama Panaduren bahinakota footboard eke hitapu ekkenekta andagahala seat eka deela giye.Monawa hari kiwwanan kana rathwenna denawa kiyala hithagena hitiye.

     
  33. Itnishantha

    ජනවාරි 13, 2013 at 11:12 ප.ව.

    ඩුඩ් මගේ හිත තදින්ම සසල කරපු කතාවක්. සේනක අයියා කියන්නේ මගේ හොඳම හිතවතෙක් කියලා ඩුඩ් දන්නැ. හැබැයි දැන් අවුරුදු 6-7 ඔහුව දැක්කෙවත් කිසිම ආරංචියක් ලබුනේවත් නැ. ඔබ කියනවා හරි ඔහු මමත් සමග එකම ස්ථානයේ කල රැකියාවෙනුත් අයින් උනේ ඔය දරුවෝ නිසා. මම ඉස්සර ඔය ගෙදර ගිහින් කාල බීලා එහෙම එන්නේ. බෝධි සත්වයෙක් වගේ මනුස්සයෙක්. ඉංග්‍රීසි භාෂාව වගේම ගිටාරය ඔහුගේ සෙල්ලම් බඩු වගේ බාවිතා කරන්නේ. හැකිනම් ඔහු සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් මට කියන්න.

     
    • henryblogwalker

      ජනවාරි 15, 2013 at 8:11 පෙ.ව.

      නිශාන්ත මල්ලි,
      අනේ සමාවෙයං බං. මේක දැක්කෙ දැන්. සේනක අර කලින් වැඩකරපු රෙස්ටොරන්ට් එකේම මැනේජර්.
      මම මේ රිප්ලයි එක සේනකයට යවන්නම්.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: