RSS

Monthly Archives: ජූනි 2012

71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…

71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…


මීට දශක කීපයකට කලින් අද වගෙ දවසක උපන් පුංචි කොලු පැටියෙකි.


මේ ඊට වසර ගානකට පසු අපේ ගෙදර සිදුවූ සිදුවීමකි.


” ආ…පොඩ්ඩක් ඉන්න මේ ෂර්ට් එකටම හරියන සපත්තු දෙකක් තියෙනවා…ඉන්න මම අරන් එන්නම්…” කියපු තාත්තා නිදන කාමරේ පැත්තට ගියා. අල්මාරිය අවුස්සන සද්දයක් ඇහුනත් ඉන් පසු දැඩි නිහඩතාවයකුත් ඇති උනා. අපි නොඉවසිල්ලෙන් බලා හිටියේ අපි දැනටමත් පරක්කු වෙලා තිබුන හින්දයි. ටිකකින් තාත්තා එනකොට එයාගේ මුනෙ තිබුනේ විශ්මයට පත් වුනු, ඒත් හිනා වෙන්න ඔන්න මෙන්න පෙනුමක්.


” මොකද වුනේ?…මොකද වුනේ?’ අපි ඔක්කොම එක වර කෑ ගැසුවා.


කිසිම කතාවක් නැතුව තාත්තා සපත්තු දෙක අපිට දුන්නා. අපොයි! මහ පුදුම වැඩක්නෙ වෙලා තියෙන්නෙ…මෙලෝ මනුස්සයෙකුට වෙන්න බැරි වැඩක්..සපත්තු දෙකම එකම කකුල! දකුණු කකුල්ම දෙකක්!


මීට මාස ගානකට කලින් අම්මයි, තාත්තයි සපත්තු සේල් එකකින් බොහොම වටින මුදලකට (මේ විදියට තමා ඒවායෙ මිල ගැන එයාලා කීවේ), සපත්තු කුට්ටම් කීපයක්ම මිලට ගෙන තිබුනා. ඊට පස්සෙ එලඹුන දවස් කීපයේම නොයෙක් අවස්තාවල මේ සේල් එකේ වටිනාකම ගැන අපිව දැනුවත් කෙරුනා. ඉතින් ඔන්න ඕවගෙන් එක කුට්ටමක් තමා තාත්තා එදා අඳින්න ගියේ. ඒත් වෙලා තිබුන දේට අපි ඔක්කොම හිනා වුනා. ඇත්තටම ඉතින් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ, මොකද සේල් එක තිබුන තැන දැන් සපත්තුවක් තියා හිස් සපත්තු පෙට්ටියක්වත් හොයා ගන්න නැතුව ඇති…


අපේ ගෙදර තියෙන බඩු ඔක්කොම එක්කහු කලොත් මම හිතන්නෙ ඒවායින් 75% ක්ම තියෙන්නෙ පොත්. ඒක පුංචි කාලෙ ඉදන්ම මල්ලිටයි මටයි පුරුදු කරපු දෙයක්. ඒ දෙන්නත් හරියට පොත් කියවනවා. අපිත් ඒ ආදර්ශය හොඳින් අනුගමනය කලා. තාත්ත කොච්චර අපිට ආදර්ශමත් වුනාද කිව්වොත් එයා ටොයිලට් එකට යද්දිත් පොතක් අරන් යනවා. ඒක කොච්චර ආදර්ශමත් ක්‍රියාවක් උනත්, අපේ වැඩේ බෙරිහන් දීලා දීලා තාත්තව එලියට ගෙන්න ගන්න එක, අපිටත් ටොයිලට් යන්න ඕනෙ වුනාම නම්. ඔයලා හිතනවා ඇති නේද ලයිට් කපපු වෙලාවට නම් ඉක්මනට එනවා ඇති කියලා. මොන පිස්සුද? ඒ වෙලාවට තමා ඉටිපන්දම් මුලින්ම නිපදවපු මිනිහාට ගහන්න හිතෙන්නෙ…


අපේ තාත්තට හොද රහට උයන්න පුලුවන්. ඒ ඉතින් අවුරුද්දකට වතාවක් වගේ එයා උයන්න තීරණය කලාම තමයි. ඒවයේ පෝෂණ ගුණය නම් හරිම ඉහලයි. ඒ හේතුව හින්ද වෙන්න ඕනෙ අම්මා කුස්සිය පැත්තෙ ඉදන් කෑ ගහනවා ඇහෙන්නෙ ගෙදර උයන තුනපහ සේරම තාත්තා ඉවර කරලා කියලා…


කවදාහරි දවසක අහලා තියනවද Jack in all trades ගැන. ඒ තමා අපේ තාත්තා. අපේ ගෙදර කැඩෙන දේවල් ඔක්කොම වගේ පිලිසකර කරන්නෙ තාත්තා. දෙයක් තිබ්බ විදියට හරි, සමහර විට ඊට වඩා හොඳ විදිහකට හරි හදනවා. මගේ පලවෙනිම නිල් පාට ලී කබඩ් එකයි, පුංචි නිල් පාට ලී පොටි එකයි හදලා දුන්නෙ තාත්තා. මටනම්, ඒවා ඔය ලොකු බ්‍රෑන්ඩඩ් ලී බඩු ඔක්කොටම වඩා වටිනවා. තාත්තා ගොඩක් වෙලාවට දේවල් හදනවා උනාට හදන්න ගිහින් කඩන වෙලාවලුත් නැත්තෙම නෑ. අර අපේ කාර් එකේ ස්ටාටර් මෝටරේට වතුර ගිය වෙලාවේ ඒක වේලන්න අම්මගෙ හෙයාර් ඩ්‍රයර් එක අරන් පුච්චලා දාපු එකත් එහෙම එකක්…


ඉස්සර අපේ මිදුලේ හරියට ගොලු බෙල්ලො. තාත්තගෙයි මල්ලිගෙයි වැඩේ උන්ව අල්ලා මල්ලකට දාලා ඈත රබර් වත්තකට විසි කරන එක. ඒත් ගොලු බෙල්ලන්ගෙන් නම් අඩුවක් නෑ. ඔන්න ඔය අතරෙ තමා තාත්තටයි මල්ලිටයි අදහස ආවෙ මේ ආපහු එන්නේ එක පාරක් විසි කරපු ගොලුබෙල්ලොමද කියලා බලන්න. ටිපෙක්ස් වලින් හැම ගොලු බෙල්ලගෙම ක‍ටුව ලකුණු උනා. ඇත්තම කියන්න මේකෙ අවසන් ප්‍රතිපලේ මට මතක නෑ. බලමුකො කමෙන්ට් එකකින්
තාත්තා කියයිද කියලා…


ඉතින් ඔන්න ඔය තමා අපේ තාත්තා. ඒයා තමා මේ ලෝකෙ ඉන්න හොදම තාත්තා.. සැර වෙලාවට සැර (අත් දැකීමෙන් කියන්නෙ), හරීම පිලිවෙල, (ඇත්තටම මේ ගුණාංගය මම බාගෙට උරුම කරගෙන තියෙන්නෙ), ඉවසනසුලු (මේක නම් මම අරන්ම නැද්ද කොහෙද?), තාත්තා ලග තමා අපේ ප්‍රශ්නවලට උත්තර තියෙන්නෙ. තාත්තට කතා කලාට පස්සේ අපිට තිබ්බ ප්‍රශ්න වල බරපතල බව අඩු වෙන්නෙ ඇයි කියන්න අපි කාටවත් බෑ. සමහර විට ඒ එයා ලග අපිට හරිම උත්තරේ තියෙන නිසා වෙන්න ඇති….


ඉතින් තාත්තා අද වගේ විශේෂ දවසක, මට ඔයාට මෙන්න මේ හේතුවලටයි, තව හේතු ගොඩකටයි ස්තුති කරන්න ඕනෙ,


ඒ තමයි


අපිට අවශ්‍ය හැම මොහොතකම අපි ලගින් ඉන්නවට……


මේ ලෝකෙ කොහෙ හිටියත් ගෙදර තරම් හොද තැනක් නැති බව අපට හිතෙන තරමටම ගෙදර ලස්සන තැනක් කලාට…


මට මගේ හීන, හීන විතරක් වෙන්න නොදී ඒවා සැබෑ කර ගන්න උදව් කලාට….


අපිව ලංකාව වටේ එක්කන් ගිය ඒ සුන්දර චාරිකා වලට, (දැනුත් මම ගෙදර ගැන හිතද්දි මට මතක් වෙන්නෙ අපි හතර දෙනා කොහේ හරි ලස්සන තැනක වෑන් එක නවත්තගෙන, පිටිපස්සේ දොරත් ඇරන් තේ බි බී ඉන්නවා…)


මම ඉස්කෝලෙ ඇරිලා ජිම්නාස්ටික් පුහුණුවට හිටපු දවස්වල බස් එකේ එනකොට, මගෙ කකුල් රිදෙයි කියලා, තියෙන එකම හිස් සීට් එකේ මාව ඉන්දවලා, අච්චර දුර හිටගෙන ආවට…


රස්සාව කරන්න මුහුදෙන් එතෙරට යන්න වෙද්දි , මල්ලිවයි මාවයි ගෙනියන්න දෙන්න බෑ කියලා ලොකු ලොක්කො කියද්දි, අපි දෙන්නා වෙනුවෙන් සටන් කරලා, කොහොම හරි අපිව ඔයාලා ලගින්ම තියා ගත්තට….


ජීවන ගමනෙදි මට වැටෙන්න නොදී බලා ගත්තට, වැටෙන හැම මොහොතකම අත දීලා ආයෙම කකුල් දෙකෙන් හිට ගන්න උදව් කලාට…


ජීවිතේ ගැන මට කියලා දීපු හැම පාඩමකටම…


මම ඔයාලව දාලා ආපු දවසෙ මම ඉස්සරහ අඬපු නැති එකට (මම දන්නවා එදා සමුගන්න මොහොතකට කලින් මම පොඩ්ඩකට ගිහින් එන්නම් කියලා ගියේ ඇයි කියලා)…


අම්මව පණටත් වඩා ආදරෙන් බලා ගන්නවට, (මම දැන් පිරිමින් මනින මිණුම් දඬුව තාත්තා…)


ජීවිතේ කොච්චර කරදර ආවත් අපි වෙනුවෙන් පසු නොබැස්සට….


මේ හේතු වලටයි තව ගොඩකටයි මට ඔයාට ස්තුති කරන්න ඕනෙ තාත්තා…ඒත් ඔක්කොම කියන්න ගියොත් සයිබර් අවකාශයේ ඉඩ මදි වෙන්න පුලුවන්…


ඒ ඔක්කොටමත් වඩා අපේ තාත්තා වුනාට ස්තුතියි…

මම කියවලා තියෙනව ඕනෙ මිනිහෙකුට පියෙක් වෙන්න පුලුවන් ඒත් තාත්තා කෙනක් වෙන්න පුලුවන් කීප දෙනෙකුට විතරයි….ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා කෙනෙක්….


සුබ උපන්දිනයක් තාත්තා!!!! අපි ඔයාට ගොඩක් ආදරෙයි.

_________________________________________________________________________________

ලිව්වේ සහ පරිවර්තනය කලේ: හිරුණි

 

ටැග: , ,

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

“අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”

අර නංගිලාගෙ ජීවිත වලින් ඉවතට ඇවිදගෙන ගිය මම නුහුරු නුපුරුදු අම්පාරෙ ගතකල පළමු අවුරුද්ද අත්දැකීම් බහුල එකක්. මම දැනටමත් පළකරලා තියෙන ඒවායින් සමහරක් මෙන්න.

පැඩිඩිලියන්ලා

පිංසිබොල්ගෙ ගොං කේස් එක.

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල

ගම්පහ වගේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පදිංචිව සිට කොළඹ සුලෝහිත පාසලකට ගිය මටත්, මහනුවරින් ගිය උමේෂ්ටත්, අම්පාර නගරය ජනශූන්‍ය නගරයක් වගෙ පෙනීම අරුමයක් නෙවෙයි. පේරාදෙණියෙ තිබ්බ පූර්ව සේවා පුහුණුවෙදි මුණ ගැසුනු අපි දෙන්නා, නාඳුනන නගරයක, යාබද පාසැල් වලට පත්වීම අපිදෙන්නගෙම සැනසීමට හේතුවුනා. හැම හවස් යාමෙකම එකතුවෙන අපි නගරයේ පාරක් පාරක් ගානෙ ඇවිදිමින් කල නගර ගවේශනය පාරවල් ඉවර වීම නිසා ඉක්මනින්ම නිමා වුනා. හවසට කරන්නෙ මොනවද, යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක් වුනා.

අපි දෙන්නා උමේෂ්ගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයෙ හවසට, හවසට සෙට් වෙන්න ගත්තෙ ඔය තත්වය යටතේ. උමේෂ්ගෙ විදුහල්පති සුපිරිපාල, නමේ හැටියටම විනෝදකාමී සුපිරි බුවෙක්. තව ඩයස්, නාරද වගෙ තව ඩයල් කීපයකුත් සමහර දිනවල අපිත් එක්ක අනුමත වෙන්න සැදී පැහැදී හිටියා. මුලදී කාන්සියට පටන් ගත්ත මේ වැඩේ තරමක් කල් යද්දී සීමාව පන්නන බවත් මට නොහිතුනාම නොවෙයි.

“මේ විදියට යද්දී අපි බේබද්දො වෙලා නතර වෙයිද දන්නෑ බං.” මම දවසක් උමේෂ්ට කිව්වා.

“ඒක තමයි බං මාත් කල්පනා කලේ.” උමේෂ් කිව්වම මගෙ හිතටත් තරමක චකිතයක් දැනුනා.

ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට, උමේෂ්ගෙ උත්තරෙන් දැනුනෙ අස්වැසිල්ලක් නෙවෙයි.

එදා අපි සෙට් උනේ “කටට බ්‍රේක් නැති” වි.ප. සුපිරිපාලතුමාගෙ උපන්දින සාදයටයි. විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.

“එහෙනම් දෙකක් ඇනගෙන ඉමු නේ?”, ඩයසා තොල් පොටවල් දිවෙන් පොඟවමින් කිව්වා.

“චියර්ස්!!” බීම පිරවූ වීදුරු එකට ගටා සුපිරිපාල ලොක්කාට සව්දිය පුරලා කවුරුත් වැඩ ඇල්ලුවා. බීමත් සමග ඇදිලා එන රසකතා, මඩ කතා, හපංකම්, මෝඩකම්, පුරසාරම් හැන්දෑව වර්ණවත් කලා. බොනකොට, කලින් බීලා කරපු කෙලි ගැන කතා අනිවාර්යයිනෙ. මුලදිම සුපුරුදු විදියට ‘සංගීතයා’ නොහොත් ‘චූනා’ නොහොත් නාරදයව බයිට් එකට ගත්තත්, මුං කවුරුත් “අද අපි හෙන්රියාව වට්ටමු” කියන තේමාව යටතේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරලා තිබ්බ් බව මම දැනගත්තෙ සති ගානකට පස්සෙ.

බිව්වම නටන එක අනිවාර්ය අංගයක්නෙ. ඉතින් අපි කවුරුත් වීදුරු එහෙමම තියලා නටලා එනවා. වීදුරුව තනිකරන්න එපා කියලා අර බ්ලොග් සහෘදයෙක් ලියලා තිබ්බෙ ඔන්න ඕකයි. බීමට මුසුකරන්න මම පාවිච්චි කලේ Coca Cola වීම කුමන්ත්‍රණයට තවත් පහසු වුනා. මම නටලා එන සෑම විටකම, අඩක් හිස් කර තබා ගිය  සෑම බීම වීදුරුවකටම මුන් බියර් වත් කර ස්පයික් කර ඇල්කොහොල් සාන්ද්‍රනය ඉහල නංවා තිබූ බව මට තේරුනේ නෑ. ඒ වගෙම මා ලඟ තිබූ අඩක් හිස් කල Coca Cola බෝතලයත් බියර් වලින්ම නැවත පුරවා තිබූ බවත් මට තේරුනේ නෑ.

“යකෝ අද වදිනවානෙ අම්බානක. මේ බඩු හොඳයි වගෙ” මම තවත් වීදුරුවක් පුරවාගන්න ගමන් කිව්වා.

“ඕව කවලං නොකරපු හොඳ බඩු බං. නුවර කාගිල්ස් එකෙන් ගෙනාපුව. මම උඹලට බාල බඩු දෙනවද?” මස් කුට්ටියක් ‍තෝරමින් සිටි සුපිරිපාලතුමා කිව්වා.

“ඒක තමයි බොසා මේ නස්පුක් වෙන්න වදින්නෙ.” කියූ මම දැනටමත් අකීකරු දෑතින්, අසීරුවෙන් දුම් වැටියක් දල්වන්න උත්සාහ කලා.

“මටත් තේරුනා ඒක. මේ බාර් කාරයො කවලං කරනවානෙ බං කෂියා දාලා” කියපු උමේෂයා, අනිවා ඇහැක් ගහන්න ඇති අනිත් උන්ට මෙහෙම කියලා. මම නම් දැක්කෙ නෑ.

“ඒයි හෙන්රි කියාපං බං සින්දුවක්.”

“මොන ෂින්දුවක්ද?”

“උඹ දන්න එකක්”

“දැං ගායනා කරන්න නං බෑ බොෂ්, ඕන්නං ෂිංදුවක් කියන්නං ඈ…”

“නෝ වොරීස්. කියාපං.”

“මං කියන්නං ‘ඇබා’ගෙ ‘නෝවිං මී නෝවිං යූ’? නැත්නං…, ‘තැංක්යූ ෆෝද ම්යූෂික්’? නැත්නං…, ‘බොනී එම්’ගෙ ‘මදලෂ් චයිල්ඩ්’? ‘මයිකල් ජැක්ෂන්’ගෙ ‘බිලී ජීන්’? ‘බීජීෂ්’ලගෙ…?

“අඩෝ හෙන්රියො, අපි ඉංග්‍රීසි සින්දු දන්නෙ නෑ බං. සිංහල එකක් කියාපිය.” ඒ නාරද, පෙරදිග සංගීතයේ මුර දේවතාවා!”

“නාරද @#$, ෂංගීතය කියන්නෙ විෂ්ව බාෂාවක් @#$!”

එතකොටම බර්ත්ඩේ බෝයි මැද්දට පැන්නා.

“හෙන්රි, උඹ කියාපං ජෝතිපාලගෙ එකක්.”

“යකෝ ෂර්, මං දන්නෑනෙ බං ජෝතිපාලගෙ ෂිංදු…මං ඔන්නං ක්ලැරන්ෂ්ගෙ එකක් කියලා දාන්නං… දිල්හානී දුවනී” මං කිව්ව.

“අඩෝ, ඒක කියන්නෙ ක්ලැරන්ස්ද බං?” ඩයසා හිනාවෙලා ඇහුවා.

“මේ ඩයසො, උඹ දෙන්නැතුව හිටපං.”

“මේ හෙන්රියෝ. උඹ කියාපං ජෝතිපාලගෙ එකක්. අද මගෙ බර්ත්ඩේ එකනෙ.”

“අම්මට හුඩු!  ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

හිනා හඬින් ගුරුනිවාසෙ වහලෙ උලු උඩයන්න ඇති.

“උඹට වැඩිද මන්දා.”උමේෂ් කිව්වා.” මේ අපි ඒ ගැන මොනවහරි කරන ගමං තමයි මේ.”

“නයි කයිද රෝෂ් පාං!! අඩේ එහෙනං ෂිංදුවක් කියන්නම එපෑ.” ජෝතිපාලගෙ මෝරා ෂිංදුව කියමු. (මට ඒකත් මතක් වුනේ ඒ සම්බන්ධ ජෝක් එක නිසා). නාරදයා උඹ ඔෂ්තාද්නෙ. උඹ ගානට අල්ලලා දියං මුල, හරිද?… මං දෙන්නං ඇට්ටි හැලෙන්ඩ…”

ඔන්න ඔහොමලු බටහිර සංගීත ලෝලයෙකු වුන බ්ලොග්වෝකර්, නොදන්න ජෝතිපාලගෙ සින්දු, නොනවතින රිද්මයෙන් කියන්න ගත්තෙ.

පස්සෙ නූඩ්ල්ස් කන්න ඉඳගෙන ඉන්නවා මතකයි.

වරින් වර අනිත් උන් “ඒයි කාපං බං තව” කියනවත් මතකයි යන්තමට…

හීනයක් වාගෙ….

දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා. හාත්පස අඳුර. සුපුරුදු විදියට ඇ‍ඳෙන් බහින්න කකුල් පද්දලා ඇලයට හැරනකොටම, කවුදෝ ඒ හදිසියේ පාර හරහා ඉදිකර තිබූ බිත්තියක් වැනි බාධකයක නහය වැදීමෙන් තරු මල් යායක් විසිර ගියා. තරු එලිය නිවී වේදනාව මදක් අඩුවූ විට, අනිත් ඇඳේ පැත්තෙන්, ප්‍රවේශම් කාරීව බිමට බැස්සත්, පා බිම ගැටෙන විටම පෘථිවිය පැත්තකට ඇලවීම නිසා නොවැටී බේරුනේ ඇඳ විට්ටම අල්ලාගෙනයි. කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා

මං මේ කොහෙද ඉන්නෙ?

බාධක කීපයක ගැටෙමින් බිත්තිය අල්ලාගෙන අඳුරේම ඉදිරියට යද්දී හොඳ වෙලාවට විදුලි ස්විචයක් අත ගැ‍ටුනා. ආයාසයෙන් ස්විචය පහතට එබූ විට දැල්වුනු විදුලි බල්බය මගේ ඇස් මඳකට නිලංකාර කලා.

ටොයිලට් එක කොහෙද ඇත්තෙ?

ආලෝකයට දෑස හුරුවූ පසු, හාත් පසු බැලූ විට, මේ ඉන්නේ වෙනදාට නිදන කාමරයේ නොවන බවත්, මේ සුපිරිපාල තුමාගේ පාසැලේ, පාවිච්චි නොකරන ගුරු නිවාසයක් බවත්, ක්‍රමයෙන් වැටහුනා. එහි සිටියේ මා පමනක් බවත්, තව මොහොතකින් තව දුරටත් අවබෝධ වුනා. අධික මුත්‍රා බරකුත්, ඒ එක්කම පිපාසයකුත්, ඒ සියල්ල යටපත් කරමින් වමනය දැමීමේ ඉතා දැඩි අවශ්‍යතාවයකුත් දැනුනා.

කෝ මේ ටොයිලට් එක?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට ආමාශය ක්‍රියාත්මක වුනා.

ඕවෑහ්හ්!……….ඕවෑහ්හ්!……… ප්තුහ්ක්!! හඬ නගමින් ආමාශයේ අන්තර්ගතය නිදහස් වුනේ කාමරයේ මැද.
පුපුරු ගහන හිසරදයත්, නැවත නැවත වමනය දැමීමත් නිසා දුර්වල වූ මම ඇඳේ අයිනක ඉඳගෙන අලාබය තක්සේරු කලා. කාමරයේ තත්වය ශෝචනීයයි. නූඩ්ල්ස් නම් බීලා කන්න හොඳ කෑමක් නෙවෙයි. වැරදි පාරෙන් පිටවූ නූඩ්ල්ස් ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. නෑ, ඒ ලේ වමනේ ගිහින් නෙවෙයි. ඒ සෝස්…කෙචප්! ෆූෆ් ! ඒ දර්ශනය නැවතත් ආමාශය කලඹන්න වුනා.

උඩින් උඩින් පැනලා කාමරෙන් පිට වෙලා වැසිකිලිය හොයාගත් මම තිබූ බරෙනුත් නිදහස් වෙලා ආපහු කාමරයට ආවේ වතුර බාල්දියකුත් කොස්සකුත් අරගෙන. මුං දැක්කොත් හෙම කබ්බා දාලා තියෙනවා හෙන නෝන්ඩිය! වදී කාඩ් එකක් ආයේ ජීවිතේට වලංගු වෙන්න!

කොච්චර අමාරුවෙන් හිටියත් වතුර බාල්දි පහලොවකට විතර පස්සෙ මුලු කාමරයෙම බිම සෝදා, මගේ රෑ කෑම වේල ඉදිරි දොරෙන් පිටතටත්, එතනින් ගේ වටා ඇති සිමෙන්ති කානුවටත්, කානුවෙන් ඉවතටත් සෝදා හරින්න හැකි වුනා. ඉන් පසුව සාක්කුව අතගා තැලී චප්ප වී ගිය සිග‍රැට්‍ටුවකුත් සොයාගත් මම එය දල්වාගෙන ඉදිරියට සැලසුම් කලා.

දැනටමත් වටින් ගොඩින් එලිය වැටීගෙන එමිනුයි තිබ්බේ. තවත් මඳ වෙලාවක් ‍රැඳී සිටි මම ගුරු නිවාසයේ දොර වසා දමා එලියට බැස්සේ මගේ පාසැල වෙත යන්නයි.

නගර මධ්‍යයේ උදේම විවෘත කර තිබූ ආපනශාලාවක් දු‍ටුවිට මගේ පිපාසයත් බඩගින්නත් දෙගුන තෙගුන වුනා. උණු උණුවේ බෑ ආප්ප දෙකකුත්, ආනමාලු කෙසෙල් ගෙඩියකුත්, දුම් දමන කලු කෝපි කෝප්පයකුත් බී, දුම් වැටියක්ද දල්වාගත් විට මෙතෙක් නොදැනුනු ප්‍රබෝධයක් ගතට දැනුනා.

මා මගේ පාසලේ ගුරු නිවාසය වෙත ලඟාවෙනවිට මගේ චමරි සගයන් වූ කලුතොටයාත්, විමලයාත් අවදි වෙලයි හිටියෙ..

“ආ මේ ඇවිත් ඉන්නෙ අකීකරු පුත්‍රයා!”

“හැබෑට… කොහෙද යකෝ රෑ තිස්සෙ යන්නෙ?”

මට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් නිසා මට බාල සොහොයුරෙකුට මෙන් සැලකූ විමලයාටත්, කලුවාටත් සුදුසු උත්තර දුන් මා, සීතල දිය නා, පාසැල් යාමට සූදානම් වුනා.

මේ පාසැලේ ගුරු විවේකාගාර දෙකක් තිබ්බා. ඇතුල්වෙන ගේට්‍ටුව අසලම ගොඩනැගිල්ලේ තිබූ නියම ගුරු විවේකාගාරයට අමතරව, පාසැලේ මැද හරියට වන්නට වූ කුඩා විදයාගාරයේ ඇතුල්වන තැනම කබඩ් වලින් වෙනකල අනියම් ගුරුවිවේකාගාරයක් තිබ්බා. මා මේ දෙතැනේම කල් ගත කලත් වඩා ප්‍රිය කලේ වයසක ගුරුතුමියන් නිතර ගැවසුනු නිල ගුරු විවේකාගාරයට වඩා සමවයසේ සගයන් සිටි දෙවන ස්ථානයටයි. විශේෂයෙන්ම එකල මා පිළිබඳ සිතක් ඇතිකරගෙන සිටි රුවැත්තිය සමග හිඳගෙන, උකුසු ඇස්වලින් ගැලවී’ වල්පල් දෙඩීමටත්, කවට කම් කිරීමටත් ඔහේ දොඩමලු වීමටත් මෙය කදිම ‍තෝතැන්නක් වුනා.

හොඳ වෙලාවට එදා උදෙන්ම එහි සිටියේ මා පමණයි. දිය නෑමෙන් මදක් යටපත් වී තිබූ හිසරදයත්, ඔක්කාර ගතියත්, දැඩිවන හිරු රශ්මියත් සමගම මතුවී ආවා. ආමාශය නැවත විරෝධතා ව්‍යාපාරයක් අරඹලා. හදිසියේම කටට දැනුනු තිත්ත රසත්, උදේ ආහාරයේ සුවඳත්, ලඟ ලඟම එලැඹෙන හදිසි අවස්ථාව ගැන පූර්ව දැනුම්දීමක් වුනා.

විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා හුනස්නෙන් නැගී සිටි මා දොරෙන් එලියට දිවැවුනා.

වැරදි තීරණයක්!

මුලු පාසැලක හරි මැද වමනෙ දාන්නේ කෙසේද? ඒ පොඩ්ඩටත් ලඟම පන්තියේ කොලු කෙල්ලන් මා දෙස විමතියෙන් බලනු දු‍ටු මා වහා පසුබැස්සා. ඒ වනවිටත් ආප්ප, ආනමාලු, හා කෝපි වලින් සමන්විත උදේ ආහාරය ගලනාලය දිගේ ඉහලට වේගයෙන් සම්ප්‍රේශනය වෙද්දී මා විද්‍යාගාරය තුලට දිවගියා. කාමරයේ කොනක වූ සින්ක් එක මා දු‍ටුවේ එවිටයි. උඩු අතට ගමන් කරමින් තිබූ අහාර වේලේ වේගයට වඩා වැඩි වේගයෙන් මා සින්ක් එක වෙත ලඟාවුනා. ඒ සමගම පාතරසය උගුර පසුකලා.

“ඔවෑ ආඅර්ර්හ්ක්” එල්ලය හරි ගියා. මඳ සතුටක් හිතට දැනුනත් ඒ සැනෙකින් සතුට අතුරුදහන් වුනා. කබ්බා බිඳක්වත් සින්ක් එකෙන් පිටට නොවැ‍ටුනත් සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!  සියලුම පරීක්ෂන නල තුලත් මතුපිටත් ආප්ප, ආනමාලු, කෝපි හා ආමාශයික යුෂ මිශ්‍රණය!

අසල කබඩ් දොරේ අලවා තිබූ විද්‍යාගාර කාලසටහනට මගෙ ඇහැ ගියේ ඉබේටම. තව විනාඩි දහයකින් නවයේ පන්තියක් එනවා විද්‍යාගාරයට. ඒ දු‍ටු ගමන් නැවතත් වමනය ගියා.

දැන් මොකද කරන්නේ? මේ ටෙස්ට් ටියුබ් මගුල නොතිබුනා නම් ටැප් එක ඇරලා සින්ක් එක හෝදලාදාලා ෂේප් වෙන්න තිබ්බා. ම්ම්ම්… වතුර තියෙනවද ටැප් එකේ? මම ගැහෙන හදවතින් කරාමය ඇර බැලුවා.

දෙයියනේ! වතුර තියෙනවා!

මම වැඩ පටන් ගත්තා. දෙවෙනි වතාවටත් සාක්ෂි අතුරුදහන් කිරීමට. මුලින්ම පරීක්ෂන නල රාක්කය සෝදා ගොඩින් තිබ්බා වතුර අවමයෙන් පාවිච්චි කරලා, මොකද සින්ක් එක අවහිර වී වතුර බැස යාමේ අවදානමක් තිබූ නිසා. ඉන් පසූ පරීක්ෂණ නල එකින් එක, ඇතුලත්, පිටත් සේදුවා, ඉතාම සීරුවෙන්, නමුත් උපරිම වේගයෙන් හා කාර්යක්ෂමතාවයෙන්. සේදූ නල රාක්කයේ තැන්පත් කලා. සීනුව නාද වුනේ තව නල දෙකක් සෝදන්න තියෙද්දී. ලමයි පන්තියෙන් එලියට ඇවිත් පෝලිම් ගැහිලා විද්‍යාගාරයට එකකොට මම අන්තිම නල දෙකත් සෝදලා සින්ක් එකත් සෝදලා වතුර බස්සලත් ඉවරයි. හොඳ වෙලාවට මේ සින්ක් වල අඩියෙ තියෙන කට ලොකුයි. දැල වගෙ කෑල්ල ඔන්නම් අතට ගන්නත් පුලුවන්.

ළමයි විද්‍යාගාරයට ඇතුල්වෙනකොට මම වැනි වැනී ගිහින් අපේ කොටසෙ ඉඳගෙන පත්තරේ සිරස්තල කියවනවා කවදාවත් නැති උනන්දුවකින්. හොඳ වෙලාවට මට ඊලඟ පීරියඩ් එකත් ඕෆ්. ලඟම තියෙන කඩේට ගිය මම තැඹිලි ගෙඩියක් බිව්වම ආමාශය පොඩ්ඩක් සන්සුන් වුනා. ආපහු ඇවිත් අතන ඉඳගත්තාම අර හිත හොරාගත් රුවැත්තියත් ඇවිත් හිටියා. මම වෙනදාවගෙ ඈ ලඟින් ඉඳ නොගෙන අනිත් පැත්තෙ වාඩිවුනේ මගෙ ලඟ තිබ්බ සුගන්ධය ගැන වැඩි විශ්වාසයක් නොතිබුන නිසා.

ටිකකින් කබඩ් පේලිය අතරින් මතුවුනු විද්‍යාව උගන්නන ගුරුතුමී මගෙ මූණ දිහා ප්‍රශ්ණාර්ථ ලකුණක් එක්ක ටිකක් වෙලා බලා ඉඳලා ආපහු ගියා. මම “ඇයි අක්කා?” කියලා අහන්න ගියේ නෑ.

පස්සෙ මම ගනං හදලා බැලුවා. තප්පර හයසීයකින් පරීක්ෂන නල හතලිස් අටක්. එකකට තප්පර දොළහයි ගානක්. නමුත් රාක්කයයි සින්ක් එකයිත් සෝදන්න ගිය කාලයත් අඩු කලාම නරකම නෑ

ඊට පස්සෙ මම බිව්වත් අරවගෙ සිහිය නැතිවෙන්න බීලා නෑ කවදාවත්. දැන්නම් ඉඳහිට බිව්වත් බොන්නෙ ඔය බියර්, වයින් වගෙ අහිංසක බීම විතරයි. ඔන්න කෂ්ටිය ලකුණු කරගනිල්ලා ඈ!

 

ටැග: , , , , , , ,

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

මයි ෆස්ට් ලව්ස්?

නෑ… වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.
බඳින්න කලින් එව්වා ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.

පහුගිය දවස්වල දාපු පෝස්ට් ඔක්කොම හැඟීම්බර ඒවා වෙලා නොදැනීම. මේ විදියට ගියොත් මම සංවේදී ලිපි ලියන බ්ලොග් කාරයෙක් හැටියට රාමුවකට කො‍ටුවෙන්න පුලුවන්, ඒ වගේම ‘මට හිතෙන හැටි’ සංවේදී සිරා බ්ලොග් කෑල්ලක් හැටියට හංවඩුව වදින්නත් බැරිකමක් නෑ. ඒ නිසා ඔන්න ආපහු ආව සුපුරුදු බ්ලොග්වෝකර් ශෛලියට.

අපේ එකෙක් (වර්ඩ්ප්‍රෙස් පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.

“ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා.”

එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ ‘යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?’ කියලා. ‘Desperate times call for desperate measures’ කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.

අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.

“අඩෝව්, මේ අහගනිල්ල,” එකෙක් කියනවා, “පුදුමා…කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්…තා කරලා වැඩක් නෑ.”

දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා.

“දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු ‍රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ.”

පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.

ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.

අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.
“ඒයි කොහොමද මචං උඹේ ලව?”
“සීයට පනහක් ගොඩ මචං.”
“සිරාවටම?”
“ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ.”
(aka One Way Love Affairs)

තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ.

කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් “කැත ගෙවී යාම”. කවදහරි පුදුමවෙලා තියෙනවද ‘ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?” කියලා. ඒක

බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍන ලක්ෂන යටපත්වෙලා වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු “සුප් එකකට වෙන්නැති” කියලා.

ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?

ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.

“ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.

“තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?”

කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?

“අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු”

මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ

“අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු.”

මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!

ඇති ඇති. ඔය ඇති.

ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.
මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා

“අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?”

“ඔයා අපිත් එක්ක තරහද?”

“ඇයි ඔයාට අපිව එපා වෙලද?”

“ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?”

“මම ඉන්නෙ අම්පාරෙ” මම කිව්වා.

“අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?”

“අනේ කැලේ නේද අනේ?”

“ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?”

“එහෙ සත්තුත් ඇතිනේ?” (“හුහ් සුකොමල ලලනාවො ටික!”)

“අනේ අලි විමානෙලු නේ?”

“ඉන්නවා ඕනැ තරම්.” මම කිව්වා.

“ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා.”

“අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා.” ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.

“නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ.”

මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.

“ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී…නරකයි”

“කැමති විදියකට හිතාගන්න.”

“ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?”

“නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ.” මම කිව්වා.

කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.

“හරි නංගිලා, මම යනවා, Good Bye!” කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.

 

ටැග: , , , ,

68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

මුං කියන විදියට ඇයි අම්මේ සතිඅන්තයට කිට්‍ටු කරලා අප හැර ගියේ? මුං කියන විදියට මැරෙන්න ඕනෙ වැඩකරන දවසක. විශේෂයෙන්ම සතිය මුල.

ඇයි අම්මේ වැරදි දවසක යන්නම ගියේ? අම්මාගෙ මරණයට යනවා කිව්වාම මරණ සහතිකය ඉල්ලන මුං කියන විදියට “මයි ඩීපස්ට් සිම්පතීස්!” කියලා අතට අත දුන්නම ඔක්කොම හරි. නිවාරණයි, තීන්දුයි.

මරණයක් උනාම, “මචං උඹ ලඟ සල්ලි තියෙනවද?” කියලා අහලා මරණෙ වැඩ කටයුතු වලට සල්ලි කීයක් හරිත් එකතු කරලා දෙන උන්ව දාලා, අම්ම තාත්තගෙ අගයක් නොදන්න, මස් රාත්තලම ඉල්ලන, ශයිලොක්ලා රොත්තකට වැඩ කරන්න මෙතනට ආපු වරදට, අවසන් වතාවට ඔබේ මුහුණ බලන්නට ඩොලර් වලින් ඇපයක් තියලා යන්න යන්න වුනා කිව්වොත් අම්මා විශ්වාස කරයිද ?

ඒ කරලත් මට එන්න ලැබුනේ පැය විසි හතරක් ප්‍රමාද වෙලා!

අපි ගන්න සමහර තීරණවලට වන්දි ගෙවන්නෙ වෙන්නෙ නොහිතන විදියට අම්මේ! අපෙන් යුතුකම් කලට වෙලාවට අකුරටම බලාපොරොත්තු වෙන, ස්මාට් ස්කූල්, ස්මාට් වර්ක් ප්ලේස්, ගැන නන් දොඩවනවුන්, උංගෙන් අපට වියයුතු යුතුකම් ගැන මතක් කලාම, එකිනෙකාට ඇඟිල්ල දික්කරලා ඇඟ බේරාගන්න හැටි බලා ඉන්න ලස්සනයි අම්මේ.

අම්මා, තාත්තාගෙ මරණෙට සියරට යනවුන්ට, “ප්‍රයෝරිටි ඉල්ලන්න එපා නෝමල් ප්‍රොසීඩියර් එන්න” කියන වුන් නොකියා කියන්නෙ අම්මට තව මාස හයකින් අපි නිවාඩුවට එනකල් අල්ලාගෙන ඉන්න තිබ්බා කියන එක නේද?

කිසිම හේතුවකට දුරකථනයට උත්තර නොදෙන එක අලුත්ම පරිපාලන උපක්‍රමයක් වෙලා තියෙන මෙකල, වගකිවයුතු එකෙක් හිටියෙ නිවාඩු නිකේතනයක.

“අපි තොපේ මරණෙකට වත් එන්නෙ නෑ” කියන්නෙ පරම හතුරෙකුට නේද? එහෙම කිව්ව එකාත් ඔය කිව්වට මරණෙට එනවා. ඒත් අම්මගෙ මරණෙට නොයන පුතා මොනවගෙ පුතෙක්ද? ඒ ගැන කතාකලොත් මරාගෙන මැරෙන්න පුලුවන්.

අනිත් හැම ප්‍රශ්ණෙකදිමත් සමාවට කරුනක් හොයාගන්න එකේ මම මේකටත් හොයාගත්ත සමාවට කරුණක්. මට අම්මව ඒ විදියට දකින්න නොලැබුන එකත් ඇත්තටම හොඳයි. මට අම්මාව ඒ විදියට මතක තියාගන්න ඕනෙ නෑ. දැන් මට අම්මව මතක් තියෙන්නෙ අර හැමදාම දැකපු අම්මා වාගේ.

මම අම්මගෙ ගුණ වයන්න යන්නෙවත්, අවසන් මොහොතෙවත් නාවට සමාව ඉල්ලන්නවත්, යන්නෙ නෑ. සමාවක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම ඇත්තටම මේක ලියන්නෙත් නෑ. කවුරුහරි කිව්වොත් මම මේක ලිව්ව හිට්ස් වැඩිකරගන්න කියලා ඒ අපහාසෙ අම්මටද මටද කියලා හරියටම කියන්න අමාරු නිසා. නමුත් එතකොට අපහාසය සම්පූර්ණයි.

නමුත් හිතට වද දෙන නිසා ඔහේ ලියලා දැම්මා.

 

ටැග: , , ,