RSS

68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

09 Jun
68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

මුං කියන විදියට ඇයි අම්මේ සතිඅන්තයට කිට්‍ටු කරලා අප හැර ගියේ? මුං කියන විදියට මැරෙන්න ඕනෙ වැඩකරන දවසක. විශේෂයෙන්ම සතිය මුල.

ඇයි අම්මේ වැරදි දවසක යන්නම ගියේ? අම්මාගෙ මරණයට යනවා කිව්වාම මරණ සහතිකය ඉල්ලන මුං කියන විදියට “මයි ඩීපස්ට් සිම්පතීස්!” කියලා අතට අත දුන්නම ඔක්කොම හරි. නිවාරණයි, තීන්දුයි.

මරණයක් උනාම, “මචං උඹ ලඟ සල්ලි තියෙනවද?” කියලා අහලා මරණෙ වැඩ කටයුතු වලට සල්ලි කීයක් හරිත් එකතු කරලා දෙන උන්ව දාලා, අම්ම තාත්තගෙ අගයක් නොදන්න, මස් රාත්තලම ඉල්ලන, ශයිලොක්ලා රොත්තකට වැඩ කරන්න මෙතනට ආපු වරදට, අවසන් වතාවට ඔබේ මුහුණ බලන්නට ඩොලර් වලින් ඇපයක් තියලා යන්න යන්න වුනා කිව්වොත් අම්මා විශ්වාස කරයිද ?

ඒ කරලත් මට එන්න ලැබුනේ පැය විසි හතරක් ප්‍රමාද වෙලා!

අපි ගන්න සමහර තීරණවලට වන්දි ගෙවන්නෙ වෙන්නෙ නොහිතන විදියට අම්මේ! අපෙන් යුතුකම් කලට වෙලාවට අකුරටම බලාපොරොත්තු වෙන, ස්මාට් ස්කූල්, ස්මාට් වර්ක් ප්ලේස්, ගැන නන් දොඩවනවුන්, උංගෙන් අපට වියයුතු යුතුකම් ගැන මතක් කලාම, එකිනෙකාට ඇඟිල්ල දික්කරලා ඇඟ බේරාගන්න හැටි බලා ඉන්න ලස්සනයි අම්මේ.

අම්මා, තාත්තාගෙ මරණෙට සියරට යනවුන්ට, “ප්‍රයෝරිටි ඉල්ලන්න එපා නෝමල් ප්‍රොසීඩියර් එන්න” කියන වුන් නොකියා කියන්නෙ අම්මට තව මාස හයකින් අපි නිවාඩුවට එනකල් අල්ලාගෙන ඉන්න තිබ්බා කියන එක නේද?

කිසිම හේතුවකට දුරකථනයට උත්තර නොදෙන එක අලුත්ම පරිපාලන උපක්‍රමයක් වෙලා තියෙන මෙකල, වගකිවයුතු එකෙක් හිටියෙ නිවාඩු නිකේතනයක.

“අපි තොපේ මරණෙකට වත් එන්නෙ නෑ” කියන්නෙ පරම හතුරෙකුට නේද? එහෙම කිව්ව එකාත් ඔය කිව්වට මරණෙට එනවා. ඒත් අම්මගෙ මරණෙට නොයන පුතා මොනවගෙ පුතෙක්ද? ඒ ගැන කතාකලොත් මරාගෙන මැරෙන්න පුලුවන්.

අනිත් හැම ප්‍රශ්ණෙකදිමත් සමාවට කරුනක් හොයාගන්න එකේ මම මේකටත් හොයාගත්ත සමාවට කරුණක්. මට අම්මව ඒ විදියට දකින්න නොලැබුන එකත් ඇත්තටම හොඳයි. මට අම්මාව ඒ විදියට මතක තියාගන්න ඕනෙ නෑ. දැන් මට අම්මව මතක් තියෙන්නෙ අර හැමදාම දැකපු අම්මා වාගේ.

මම අම්මගෙ ගුණ වයන්න යන්නෙවත්, අවසන් මොහොතෙවත් නාවට සමාව ඉල්ලන්නවත්, යන්නෙ නෑ. සමාවක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම ඇත්තටම මේක ලියන්නෙත් නෑ. කවුරුහරි කිව්වොත් මම මේක ලිව්ව හිට්ස් වැඩිකරගන්න කියලා ඒ අපහාසෙ අම්මටද මටද කියලා හරියටම කියන්න අමාරු නිසා. නමුත් එතකොට අපහාසය සම්පූර්ණයි.

නමුත් හිතට වද දෙන නිසා ඔහේ ලියලා දැම්මා.

 

ටැග: , , ,

96 responses to “68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

  1. DDT

    ජූනි 9, 2012 at 11:05 ප.ව.

    හ්ම් … දුක්බරයි. ජීවිතේ ඔහොම තමයි. මගේ අම්ම තාත්ත ගැන මට තියන කැක්කුම අනිත් එකාට නෑ. එහෙම නැත්නම් ඌ කොහෙත්ම දෙමාපියන් ගැන හැඟීමක් නැති එකෙක්. ඕක තමයි හේතුව. මරණයක් වගේ සංවේදී සිදුවීමකදිවත් නම්‍යශීලී වෙන්න බැරි මිනිස්සු, ඇත්තටම මිනිස්සුද මන්ද?
    ඔබේ මවගේ අභාවය ගැන කණගාටුයි. එතුමියට සසර ගමන කෙළවර අමා මහ නිවන්සුව ලැබෙන්න කියල පතනව.

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 12:14 ප.ව.

      මටත් හිතුනෙ ඕකමයි. නමුත් මේ ප්‍රශ්ණෙදි මට පුදුම විදියට උදවු කරපු සහයෝගය දීපු මිනිස්සුත් මෙහෙ හිටියා කියලා නොකිව්වොත් මම වැරදියි. ස්තුතියි DDT.

       
  2. Weni

    ජූනි 9, 2012 at 11:06 ප.ව.

    අම්මට නිවන් සුව පතමු හෙන්රි,
    අපි ජීවත් වෙන්නෙ ස්වභාවධර්මයෙන් ණයට ඉල්ලා ගත්ත ජීවිත නිසාම අපිට ජීවිතය ආපහු දෙන්න වෙනවා. ඔව් හෙන්රිට අම්මාගේ මතකය ජීවමානවම තියෙයි. මොකද ඔබ අම්මව දුටුවෙ නෑ ඒ විදියට ඉන්නවා.
    ඔබට හිතට කේන්තියක් එන පරිපාලනය..කොහෙත් එකයි හෙන්රි..මරණාසන්නව හිටපු අම්මව බලන්න මන් හදිසියෙ දුවලා එන්න උන දවසක දන්වල ගියේ නෑ කියලා මගේ ඕනි තරම් නිවාඩු තියෙද්දිත් නෝ පේ කැපුවා. නිදහසට කාරනා අහපු දවසේ මන් කිව්වා කැමති දෙයක් කර ගන්න කියලා මන් ආවා. මන් මේ කාරනය කිව්වෙ මෙහෙත් එකයි..වෙනසක් නෑ..මිනිස්සු තමයි සේරම..
    මටත් තාම පෑරිච්ච හිත හදා ගන්න බැරි උනා..කාලය ඔය තුවාල සනීප කරයි කියලා බල්න් ඉන්නවා..
    ඔය හිට් කතාව කියන අයට මන් දීපු උත්තරය නම් ඔව් ඇයි ? Yes, So What ? කියලයි..මගේ බ්ලොග් එක තියෙන්නෙ මගේ දේවල් කියන්න..අහන්න අකමැති නම් නිකන් ඉන්න කියන්න අනේ..ඔය ඔහොම කියන සුළුතරයක් නලවන්න අපිට වෙලාව නෑ..

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 12:16 ප.ව.

      වෙනිත් මට සති කිහිපයකට කලින් ඔය අත්දැකීමම ලැබුවනෙ. අසංවේදී මිනිස්සු කොහෙත් ඉන්නවා නේ?
      ස්තුතියි වෙනී,

       
  3. Amarasinghe Sujatha

    ජූනි 9, 2012 at 11:11 ප.ව.

    මගෙ තාත්තගෙ මරණෙට මට එන්ට බැරිඋනා. මිනිය රාගම රෝහලේදිම නරක් වූනිසා හා ප්‍රංශයේ ශිෂ්‍ය බිරිඳකට re entry visa අරං පැය ගනනකිං ලියකියවිලි වැඩ කරගන්නට තිබූ නොහැකියාව නිසා. නමුත් දැං හිත හදාගෙන ඉන්නෙ. අවුරුදු 20 කට පස්සෙ. ඒකාලෙ හරි බරක් උනා හිතට. නමුත් අත දරුවන් දෙන්නෙක්ගෙ වැඩපල කරගෙන ඉන්නකොට කාලය ගෙවී ගියා

    ඔබගේ මව් තුමියට නිවන් සුව ලැබේවා!

     
  4. අටම්පහුර

    ජූනි 9, 2012 at 11:49 ප.ව.

    කොහේ ගියත් ඔය කතන්දරය ඔහොම තමයි. හැමෝටම ඔය ටොෆිය. මමත් අපේ උන්දෑගේ ලග ඉන්නඔන දවස් උනාට අදත් වැඩ. හාමිනේට ඇදෙන් බහින්නත් බෑ.. හිතහදාගන්න හෙන්රි මහත්තයා.මොනවා කරත් උන්ට අපේ හදවතට අගූල් දාන්න බැ, අපිට හොදට නින්ද යනවා.ඒ මොකද දන්නවද අපේ හදවත පිරිසිදුයි.හදවත තෙතයි.

     
  5. ලකීසිරි

    ජූනි 9, 2012 at 11:50 ප.ව.

    කණගාටුයි ඩූඩ්..

    මව් තුමියට නිවන් සුවයම අත්වේවා..

     
  6. ගැමියාගේ පත් ඉරුව

    ජූනි 10, 2012 at 12:03 පෙ.ව.

    අපේ ගමේ ආච්චිඅම්මා විදියමයි ඔයාගේ අම්මා…. මනුස්සකම සල්ලි වලට යටවෙලා… ලංකාවේ මේ තත්වය නැති එක ගැන සතුටු වෙන්න ඕනේ මොකද තාම මනුස්සකම ඩිංගක් හරි ඉතුරුවෙලා තියෙන නිසා…..

    බොහෝම කණගාටුයි ඩුඩි අයියේ…. ආදරණීය මව්තුමියට නිවන් සුව අත්වේවා….

     
  7. Hasitha Chamikara Gunasinghe

    ජූනි 10, 2012 at 12:12 පෙ.ව.

    මව් සෙනෙහස, මව් ගුණ හැමදාටමයි

     
  8. Reader

    ජූනි 10, 2012 at 1:18 පෙ.ව.

    හෙන්රි, අම්මලා තාත්තලාට දරුවො හැමදාමත් පොඩි එවුන්. ඒ ආදරය සදාකාලිකයි.ඒකනිසා අම්මා ඔයාට සමාව දෙයි. ඇයට ඈ පැතූ ආකරයේ සැනසීමක් ලැබේවායි පතනවා!!!

     
  9. Senna

    ජූනි 10, 2012 at 5:59 පෙ.ව.

    ඔබගේ මව් තුමියගෙ මතු ජීවිතය යහපත් වේවා !!! සසර අවසන අමා මහ නිවනම අවබෝධ වේවා !!!

    මේකයි එහෙනම් පහුගිය දොහේ ඩූඩ් පේන්ඩ නොහිටියෙ.

    පිට රටවල වැඩ කරණ අපි මොන තරම් දුශ්කරතාවලට මුහුණ දෙනවද ! අපිට මේවගේ දේවල් ගැන තියන හැඟීම් උන්ට හිතාගන්ඩවත් බෑ.. උන් තනිකරම රොබෝලා වගේ. වැඩ වැඩ…වැඩ.. එච්චරයි ජීවිතේ..

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 12:29 ප.ව.

      අපි දෙන්නම පිටරටවල රස්සාව කරන නිසා ඒක අපි දෙන්නටම පොදු හැඟීමක් වුනා නේ. තමන්ගෙ වැඩේ කෙරෙනවා නම් අනිකා මලත් කමක් නෑ උන්ට.
      ස්තුතියි Senna.

       
  10. JP

    ජූනි 10, 2012 at 6:03 පෙ.ව.

    හෙන්රි ඔබේ මවට නිවන් සුව පතමි.
    අර ස්මාට් වර්කින් ප්ලේස් ගැන කතාව නම් ඇත්ත, ගොඩක් තැන් වල කට්ටිය හිතන්නේ , team get togethers ඔර්ගනයිස් කරල, කාර්යාලයේ පාට පාට පොස්ටර් ටිකක් ඇලෙව්වම ඇති කියලා. 
    මොනව කරන්නද, අපිට මාසේ අන්තිමට ලැබෙන පඩිය අවශයයි නේ.

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 12:34 ප.ව.

      ස්මාට් වර්කිං ප්ලේස් සංකල්පය ඇත්තටම හොඳ වුනාට හුඟක් උන් කරන්නෙ ඕක වැරදි වහගන්න යොදන මේක් අප් එකක් විදියට. ඒකෙ සෝබන කෑලි විතරයි අහුලගන්නෙ. උඩින් ඔපේ යටින් හපේ. ඇත්තම ස්මාට් තැනක මේවගෙ දේවල් වෙන්න විදියක් නෑ JP. ඔබට ස්තුතියි.

       
  11. රාජ්

    ජූනි 10, 2012 at 7:28 පෙ.ව.

    අම්මට නිවන්සුව පතනව!

    //අම්මා, තාත්තාගෙ මරණෙට සියරට යනවුන්ට, “ප්‍රයෝරිටි ඉල්ලන්න එපා නෝමල් ප්‍රොසීඩියර් එන්න” //
    ඒවගේ දියුණු ලෝකයකයි අපි ඉන්නෙ. අපි යන්න හදන්නෙ.
    -රාජ්

     
  12. ක්සැන්ඩර් | Xander

    ජූනි 10, 2012 at 7:47 පෙ.ව.

    ඉස්සරලාම ඔබේ අම්ම වෙනුවෙන් අමාමහ නිර්වාන සුවය ප්‍රර්ථනා කරනවා. ඉපදුනු අපි හැමෝම මැරෙන්න ඕනේ. එත් මට තේරෙනවා ඔබේ තත්වේ.. වහල් මෙහෙයට ගිය අපිට එන එක ඒතරම් ලේසි නෑ. එහෙමනම් ඒ තමයි ඔබ පහුගිය ටිකේ පෙනෙන්නට නොහිටි හේතුව.. මම ඊයේ ඔබේ කමෙන්ටුවක් දැක්කම හිතුවේ ආයෙත් ලංකාවට ඇවිත් ගිහින්දෝ කියල. හිට්ස් ගන්න පොස්ට් ගැන කියනවනම්, මම දැක්ක ඔය කතාව ඔබා මාමා මැරුණු වෙලාවෙත් එතුමා එක්කම හිටි කීප දෙනෙක් තව සමහරුන්ට ඇඟිල්ල දික්කරනවා. ඔවුන්ට අමතක වෙලා ඇඟිලි හතරක් ඔවුන්ගේ දිහාට කියල එතකොට. ඒ ඉස්සෝ වගේ මිනිස්සු ගැන වද වෙන්න එපා. උන්ට අමතකයි උන් කවුද කියල.

     
  13. විසිතුරු | visituru

    ජූනි 10, 2012 at 7:54 පෙ.ව.

    හෙන්රි අයියාගේ මෑණියන්ට නිවන් සුව පතමි.

     
  14. Gold fish

    ජූනි 10, 2012 at 8:07 පෙ.ව.

    අයියට රට ඉඳන් එන්න ගියේ පැය විසිහතරක් විතරයි. ඒත් අපේ අම්මගේ, අම්මගේ මළ ගෙදර ගැන අපිට ආරංචිය හම්බුනේ මළගෙදර පස්වෙනි දවසෙදි…. මිනිය වලදාලාත් ඉවරයි එතකොට….

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 12:42 ප.ව.

      මේ කතාව මට හරියට තේරුම් ගන්න තමයි මම මාලුට ඊයකුත් එව්වෙ. දැන් තේරුනා.

      මාලු මට පැය විසි හතරෙන් එක්ක බැරිවුනා. දවස් තුනක් ගියා වීසා එක හදාගන්න. මම එනකොට අවසන් කටයුතුත් ඉවර වෙලා පැය 24කටත් වැඩියි කියන එකයි මම අදහස් කලේ.

       
      • Senna

        ජූනි 12, 2012 at 4:20 ප.ව.

        වීසා !! ලංකාවට එන්ඩ !! ඒ ඇයි ?

         
        • henryblogwalker

          ජූනි 12, 2012 at 7:13 ප.ව.

          Senna අපි work permit නැතිනම් work visa holdersලා. ඕක හැම අවුරුද්දෙම අලුත් කරන්න ඕනැනෙ. ඉතින් ඒක කරන්න ඕනෙ සේවායෝජකයා. අපේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය අපේ වීසා හදවලා පාස්පෝට් වල වීසා ස්ටිකර් ගහලා අපටත් අර මුලින් කිව්ව work permit visa card එකත් නිකුත් කරන්න ඕනෙ. ඒ නිසාම අමාත්‍යාංශය අපේ පාස්පෝට් රඳවාගෙන ඉන්නෙ ඒ අය ලඟ. හරි නම් මගෙ විසා එක 2012 ජනවාරි 31 වනකොට අලුත් කරලා තියෙන්න ඕනෙ. නමුත් රට අරාජික වෙලා බල්ලට ගිහින් තියෙන නිසා එකෙක්වත් තමන්ගෙ රාජකාරිය හරියට කරන්න උනන්දු වෙන්නෙ නෑ. ඉතින් මේ මිනිස්සු මුලු අවුරුද්දම ඔය පාස්පෝට් නිකං තියං ඉඳලා නොවෙම්බර් වල අපි ගෙදර එන්න කිට්‍ටුව ආගමන විගමන එකට දඩත් ගෙවලා වීසා හදලා දෙනවා. ඉතින් ඔය වීසා කාඩ් එක නැතුව අපි අනන්ත දුශ්කරතා වලට මූන පානවා බැංකු කටයුතු වලදි හෙම.

          ඕකෙ නියම රඟ තේරෙන්නෙ මට වුනා වගෙ හදිස්සියෙ ලංකාවට එන්න වුනොත් තමයි. පාස්පෝට් එක අතට ගත්තත් අමාත්‍යාංශයෙන් ඒක පාවිච්චි කරලා ආගමන විගමන කවුන්ටරය හරහා රටෙන් පිටවෙන්න බෑ වීසා ගහලා නැතිනිසා. මොකද එතකොට හරියටම අනවසරයෙන් රටේ ‍රැඳී හිටියා වගේ පේන නිසා. අමාත්‍යාංශයෙන් බලකලත් වීසා එක වෙලාවට නොකරන්නෙත් ආගමන විගමන එකේ එවුන්මයි. මෙතන් කොයි එකා හොඳද කොයි එකා නරකද කොයි එකා හරිද කොයි එකා වැරදිද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. වැඩේ කෙරිලා නැති එකයි. ඒකෙන් අන්තිමේ අමාරුවෙ වැටෙන්නෙ අහක ඉන්න අපි.
          අනික නිවාඩුවකුත් මැදට වැ‍ටුනම අනාතයි.

          පස්සෙ එක එකා ඇහැරවලා ඔය multiple entry visa එක ගහගෙන එනකොට පෙරහැර ගිහින්

           
          • Senna

            ජූනි 12, 2012 at 9:34 ප.ව.

            ඒක මිසක්. මම ඒත් බැලුවා ලංකවට එන්ඩ විසා මොකටද කියලා.. කතාවෙන් පේන්නෙ, කොහෙ වුනත් හෙන්රි එච්චර හොඳ රටක නෙමේ වගේ ඉන්නෙ.

             
  15. Sumith Niriella

    ජූනි 10, 2012 at 8:27 පෙ.ව.

    සංවේදී ලිපියක්…දුක වගේම කේන්තියකුත් ඇතිවෙනවා. වෙනියගේ ප්‍රතිචාරයත් සලකා බැලුවම මේක රට පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි. ක්‍රමය පිළිබද ප්‍රශ්නයක්….ඒක එහෙම වුනත් ලංකාව තවමත් යහපත් මිනිස්සු ඉන්න රටක්. “තොපේ මරණෙටවත් එන්නෙ නෑ..” කියන මිනිස්සු තමයි එහෙම අවස්ථාවකදි මුලින්ම බර කරට අරගෙන වැඩ කරන්නෙ. කරට අත දාගෙන පැත්තකට එක්ක ගිහින් “මොනවහරි අඩුපාඩුවක් තියේද ” කියලා අහන්නෙ ඊට කලින් දවසක වලටත් හෙන ඉල්ලපු මිනිහෙක් විය හැකියි…..එහෙම තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි. එහෙම රටක් අතහැරලා වෙනත් රටක ගිහින් කඹුරන්න සිද්ධවෙලා තියෙන්නෙ ඇයි කියන එක ලියන්න මේ තැන නෙවෙයි….

    හෙන්රි සහෝගේ ආදරණිය මෑණියන්ට සුබ රාත්‍රියක්……!!!!

     
  16. අඩවි රජා

    ජූනි 10, 2012 at 10:09 පෙ.ව.

    ඇත්තටම කණගාටුයි ඩියුඩ්…😦
    ඔබතුමාගේ අම්මට නිවන් සුවම ලැබේවා!!!!

     
  17. බුද්ධි

    ජූනි 10, 2012 at 10:57 පෙ.ව.

    අම්මාට නිවන් සුව ලැබේවා!

    ඔය වගේ මිනිසුන් ඉන්න තැනක වැඩ කරන එක නම් එක්තරා විදිහක වදයක්.

     
  18. avatar

    ජූනි 10, 2012 at 11:00 පෙ.ව.

    harima dukai jeewithedi ohoma dewal wenawa yaluwa.
    Maniyanta niwan suwa!

     
  19. Amarasinghe Sujatha

    ජූනි 10, 2012 at 12:00 ප.ව.

    කොච්චර වයස ගියත් මලක ලස්සන විඳින්ට දැනගෙන හිටපු මවක්. මතකයන් තුලින් විඳින්න. විඳවන්න එපා අම්මට ඉන්න තැනක සැනසීම නැතිවේවි. අපේ යුතුකම් දරුවන් වෙනුවෙන් තවත් ඉටු කරන්ට තියෙන නිසා සමහර වෙලාවට කාගෙන ඉන්න වෙනවා. අපිත් ඔයවගේම කාලයක් ගත කලා. අමතක කරන්න එපා. පැය විසි හතරෙං ඔක්කොම ඉවර කරන මිනිස්සුන්ට අපිව තේරුම් ගන්ට බැහැ කවදාවත්

     
  20. kathandarakaraya

    ජූනි 10, 2012 at 12:25 ප.ව.

    අපේ ළමයින් ගේ දෙමව්පියොත් ඔය වගේම යන්න යාවි.
    ඔබේ මවට ශාන්තියක්ම වේවායි පතමි.

     
  21. මඩිස්සලේ නිශාන්

    ජූනි 10, 2012 at 12:30 ප.ව.

    ඔබේ මව ගැන කනගාටුයි සර්
    වෙච්ච දේ ගැන ඊටත් වඩා කනගාටුයි.
    සල්ලි මත්තේ නැහෙන ලෝකෙක ඔය වගේ දේවල් නොවුනොත් තමා පුදුමේ.

     
  22. sAm (සෑම්)

    ජූනි 10, 2012 at 1:12 ප.ව.

    මචං අර පොටෝ එකේ අම්මව අල්ලගෙන යන්නේ වයිෆ් නේද? එහෙම ලගින් හිටිය කියන්නේ ඉන්න කාලේ උබලා අම්මට සලකල හින්දනේ. මලාට පස්සේ දාන කැටයම් වලට වඩා ඒව තමා බං වටින්නේ.

    // කවුරුහරි කිව්වොත් මම මේක ලිව්ව හිට්ස් වැඩිකරගන්න කියලා//
    එහෙම දහ ජරා එවුන් මේ බ්ලොග් ලෝකෙ ඉන්නවද බං? එහෙම ඉන්නව නම් “ඕනෙ එකෙක් ඕන පුකක්” කියල මම නම් ලියන්න ඕනෙ දේ ලියනවා.

    මම අම්ම ගැන දාපු පෝස්ටුව උබ යන්තම් දැක්කලු නේද? කලබලේට කියවන්න බැරි වුනා කිව්වේ උබ අම්ම නැති වෙලා ලංකාවට එන්න හදිස්සියෙ නිසා කිව්වනේ.

    අම්මාට නිවන් සුව !

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 1:02 ප.ව.

      සෑම්, ඒ වමේ පහලම ෆෝටෝ එකේ අම්මව අල්ලගෙන යන්නෙ මගෙ දූ. පහල මැද ෆෝටෝ එකේ අම්මත් එක්ක වැට අල්ලාගෙන ඉන්නෙ වයිෆ්. වයිෆ් අම්මාගෙ අතින් අල්ලගෙන සීගිරියට පවා නග්ගලා තියෙනවා.

      මම ඒ පෝස්ට් එක දැක්කා, කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න තරම් ඔලුවට නිදහසක් තිබ්බෙ නෑ. සෑමාත් හොඳ පුතෙක් කියලා මම තේරුම් ගත්තා.

      ස්තුතියි සෑම්.

       
  23. chami4u

    ජූනි 10, 2012 at 1:54 ප.ව.

    හරිම දුකයි ඩුඩ්..
    කියවගෙන යනකොට ඇහැට කදුලක් ආවා…
    අම්මට නිවන් සුව !!!

     
  24. NJ ranGo

    ජූනි 10, 2012 at 5:31 ප.ව.

    මචං. මෙතන ශෝකාලාපයක් ලියන්න මට ඕන කමක් නෑ.. ඒත් මේ පද්ධතිය සකස් වෙලා තියෙන විදියේ හැටියට අපිට අපේ අම්මා තාත්තා වුණත් අමතක කරන්න බල කරනවා. අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට ඒකෙ කොටස්කාරයෝ වෙන්න වෙලා. වෙන කියන්න දෙයක් හිතා ගන්න බෑ. අම්මාට නිවන් සුව පතනවා.

     
  25. praveena

    ජූනි 10, 2012 at 5:31 ප.ව.

    අම්මට නිවන් සුව පතනවා. කාලයක් යයි දුක තුනීවෙන්ට. ඒත් මතකය කවදාවත්ම අමතක වෙන එකක් නෑ.

     
  26. Himal Jayawardena

    ජූනි 10, 2012 at 6:52 ප.ව.

    කෙනෙක් කොයි තරම් පින් දහම් කරලා තිබුනත් මරණය සිදුවෙන මොහොතේ ඇතිවෙන චිත්තක්ෂණ අනුව කෙටිකලකට හෝ ඊළඟ ප්‍රතිසන්ධියට ලොකු බලපෑමක් වෙන නිසා ඒ මොහොතේ පිරිත් සජ්ජායනය හා බුදුගුණ මෙනෙහි කරවීමට යම්කෙනෙක් ළඟ හිටියනම් ඒ කල්‍යාණ මිත්‍රයෙක් ම වෙයි. ඔයාටත් මටත් වඩා හොඳින් ඒ දෙය කරන්න පුළුවන් කෙනෙක් විදිහට අපේ සුනන්ද අයිය ඒ වෙලාවේ ළඟ හිටිය එක ගැන හිතලා හිත හදාගන්න උත්සහ කරන්න. මී ලඟට තියෙන්නේ අපේ රත්තරන් අම්මා වෙනුවෙන් පින් දහම් කිරීමම පමණයි. අපි ඒ දෙය හැම වෙලාවේම කරමු.

    –මල්ලි

     
    • henryblogwalker

      ජූනි 12, 2012 at 1:09 ප.ව.

      ස්තුතියි මල්ලි. මේ මගෙ බ්ලොග් එකේ ඔයාගෙ පලවෙනි කමෙන්ට් එක. සුනන්ද කල්‍යාන මිත්‍රයෙක්. ඒ ගැන විවාදයක් නෑ. ඒ වෙලාවෙ එතන හිටි ඔයාටත් මගෙ කෘතඥතාවය හිමියි. ඔයා හරි.

       
  27. hiruni

    ජූනි 10, 2012 at 9:02 ප.ව.

    කියවද්දි ආච්චි මතක් වෙලා ඇත්තටම ඇඩුනා…ඒත් ඩූඩ් යන්න බැරි උන එක ඔයාගෙ වැ‍රැද්දක් නෙමයිනෙ….අනික ආච්චිත් ඒක දන්නවා…එයා දැන් ගොඩක් හොද තැනක ඉන්නෙ…ලස්සන් ජීවිතයක් ගෙවලා හොද තැනකට ගිහිල්ලා ඉන්නේ….ඉතින් එ අගැන හිතලා හිත හදා ගමු…

     
    • henryblogwalker

      ජූනි 13, 2012 at 10:40 පෙ.ව.

      ඔයා 2010 ලංකාවට ගිය වෙලාවෙ ආච්චිත් එක්ක එයාගෙ අත අල්ලාගෙන ඇම්බ්යුලන්ස් එකේ ගිය කතාව ආච්චි නිතර මතක් කලා.

       
  28. නවම්

    ජූනි 10, 2012 at 9:05 ප.ව.

    හෙන්රි අයියගෙ ආදරණීය අම්මා නිදුක් වේවා

     
  29. තනි අලියා

    ජූනි 10, 2012 at 9:53 ප.ව.

    කණගාටුයි😦
    නිවන් සුව ලැබේවා!

     
  30. Nalini

    ජූනි 10, 2012 at 10:11 ප.ව.

    හිතට ලොකු බරක් ආවා මේ ලිපිය කියෙව්වහම.

    ඔබගේ ආදරණීය මවට යහපත් මතු ජීවිතයක් සහ ඇය හිතුව පැතුව විදිහේ අවසන් සැනසුමක් ප්‍රාර්ථනා කරනවා.

     
  31. වින්චැට් කිරිල්ලී.

    ජූනි 11, 2012 at 12:57 පෙ.ව.

    පිටරටවල උන් ඔහොමමයි…හරිම දුකක් තරහක් ඇති උනා…
    ඔයාගෙ අම්මා හරීම පින් පාටයි හොඳ ලෝකෙක ඉඳන් ඔයාලට ආශිර්වාද කරාවි එයා…..

     
  32. vimukthi

    ජූනි 11, 2012 at 7:50 පෙ.ව.

    අම්මාට නිවන්සුව අත්වේවා.

     
  33. නරකයා..

    ජූනි 11, 2012 at 9:48 පෙ.ව.

    අපිට වගේ නෙවේ අපේ ළමයි දවසක ඔයිට වඩා අසරණ වෙවී ඔබේ දුක අතරින් මමනම් දැක්කේ සමාජයේ මහා අඳුරු පැත්තක්…. ඒක දැනට සුලුතර ලාංකික කොටසකගෙ කතාවක් උණත්…

     
  34. abeetha

    ජූනි 11, 2012 at 12:27 ප.ව.

    උඹ ඉන්න රට ගැන මට කිව්වේ ඕනයා… ඌට මලම පැනලා ඇවිත් ආයිත් යන්නේ නෑ කිව්වම පුදුම වුනා.. මේ පෝස්ට් එක කියෙව්වම ඒ පුදුමේ නැතිවෙලා ගියා…

    බ්ලොග් ලියන්නේ හිතෙ බර නැති වෙන්නනේ බන්.. ඒක වෙනවනම් කවුරු මොනා කිව්වත් මොකද? ඕනනම් ලියනවා නැත්නම් නිකන් ඉන්නවා….

    ආදරණීය මවට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා…..

     
    • henryblogwalker

      ජූනි 13, 2012 at 10:52 පෙ.ව.

      ඕනයාත් ආපහු නො එන ප්‍රබල හේතුවක් ඒක වෙන්න පුලුවන් අභීත. ඔව්, මම නම් මේක ලිව්වෙ හිත සැහැල්ලු කරගන්න තමයි.
      ස්තුතියි අභීත.

       
  35. රූ

    ජූනි 11, 2012 at 1:19 ප.ව.

    හෙන්රිගේ මවට සුභ ගමන් පතමි..
    තෙතක් නැති හදවත් අතර සංවේදී හදක් හැදූ මව්තුමියට සුභ ගමන්..

     
  36. Kandyan

    ජූනි 11, 2012 at 5:40 ප.ව.

    දෙමව්පියන්ගේ වියෝව කොහේ හිටියත් දුක්බරයි. ඇයට නිවන් සුව!
    දැනට මාස තුනකට ඉස්සර වියොවුනු මගේ අප්පච්චිගේ අවසන් කටයුත්තට හරියටම පැය විසි හතරකට කළින් යන්න පුළුවන් උනා.

     
    • henryblogwalker

      ජූනි 13, 2012 at 10:55 පෙ.ව.

      ඔව් ඉතින් ඒක අපි කවුරුත් කවදා හෝ මුහුන දිය යුතුන් ක‍ටුක සත්‍යයක්. ඔබේ අප්පච්චිටත් අවසන අමා මහ නිවන් සුව ප්‍රර්ථනා කරනවා.

       
  37. DeeJay

    ජූනි 11, 2012 at 5:48 ප.ව.

    ඩුඩ් හෙන්රි,

    අම්මා ගේ අවසාන කටයුතු වලට යන්න බැරි වුනේ මෙ රටෙ අය ගෙ රාජකාරියක් වන විසා නියම වෙලාවට හදපු නැතිකම නිසානේ. එත් ඔයා අධෛර්යමත් නොවි බලහත්කාරයෙන් කොහොම හරි එක හදා ගෙන අම්මා ගෙ බණ , දාන කටයුතු වලට යා ගන්න පුලුවන් විම මට කියන්න බැරි තරම් සතු‍ටුයි.

    අම්මා ඔයා එයා හොයා බලන එක ගැන හරිම පැහැදිමක්, විශ්වාසයක් තිබිච්ච බවත් එවගෙම හරිම ආඩම්බරයෙන් හා සතුටෙන් සිටි බවත් මම වගෙම අපේ පැ‍ටුව් දෙන්නත්, නැදැයෝත්, අසල්වැසියනුත් දන්නවා අම්මා ජිවත් වෙලා ඉන්න කොට කියපු කරපු දෙවල් වලින්. ඉතිං එකම ඇති නේද පුතෙක් හැටියට ඔයාට සතු‍ටු වෙන්න.

    හෙන්රි ඩුඩ්, අම්මා මෙලොව ඉන්න කොට එයාව සතු‍ටු කලා වගේම , අපි අම්මව එලොවදිත් සතු‍ටු කල හැකි එකම විදිය වන පින් දහම් කරමු.

     
    • henryblogwalker

      ජූනි 13, 2012 at 10:59 පෙ.ව.

      වේදනාවෙන් අකර්මන්‍ය වෙලා හිටි මාව අවසන් කටයුතු වලට සහභාගි කරවන්න සිහිනුවනින් ඔයා කටයුතු කරපු ආකාරය සදහටම අගයකරනවා.

       
  38. අසරණයා

    ජූනි 12, 2012 at 12:22 පෙ.ව.

    අම්මට නිවන් සුව පතනවා.

    පිට රට රැකියා කරන ගොඩාක් දෙනෙකුට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඩොලර් හොයාගෙන යන අපි වගේ අයට මේ දුකත් ටිඅක් උරුමයි.

     
    • henryblogwalker

      ජූනි 13, 2012 at 11:01 පෙ.ව.

      “අපි ගන්න සමහර තීරණවලට වන්දි ගෙවන්නෙ වෙන්නෙ නොහිතන විදියට” කියලා මම ලිව්වේ ඒක තමයි අසරණයා. ඔබට ස්තුතියි.

       
  39. හිස් අහස

    ජූනි 12, 2012 at 8:22 ප.ව.

    බොහොම දුකයි මිත්‍රයා ..! මට නම් ඔබට වෙච්ච දේ ගැන හිතාගන්නත් අමාරුයි . කොහොම වෙතත් ඔබගේ අම්මට නිවන් සුව පතනවා !!

     
  40. Sarath Lankapriya

    ජූනි 13, 2012 at 7:30 පෙ.ව.

    ඔබේ මවට සුගතියක උපතින් මතු නිවන් අවබෝධවෙවා. !!
    අම්මලා යන්නේ එහෙමයි.. අපේ අම්මත් ගියේ හදිසියේ..තාත්ත ගිය පස්සෙන්.. අලුතින් රස්සාවට මෙහෙ ඇවිත් සති තුනකට පස්සේ තාත්තගේ මළගමට යන්න උනේ.. ඊට දවස් දහයකට පස්සසේ අම්මගේ මරණය සිද්ද උනා. අම්ම වයිද්‍ය විද්‍යාලයට සිරුර දීල තිබුන නිසා මට ලැබුනේ පැය 24 ඇතුලත ඇය දැක ගැනීමට පමණයි.. භාරදීමට පැය තුනකට පෙරයි මට ඇය දකින්න ලැබුනේ..මට නම් ඒ ගමන් යන්න සියලු උදවු ලැබුනා. ඒ අතින් මගේ හාම්පුත් සමාගමේ මනුස්සකම ඉහලයි.. එත් ඔය වගේ මිනිසුන්ට තමුන්ගේ දෙමාපියන් ගැනවත් සැලකිල්ලක් නැති රටවල පිටින් ශ්‍රමය විකුණන්නන් ගැන කවර කතාද ?

     
    • henryblogwalker

      ජූනි 13, 2012 at 11:07 පෙ.ව.

      හපොයි සරත්.. දවස් දහයකින්!! මට හිතාගන්න පුලුවන් ඇතිවෙච්ච තත්වය.
      අපේ අම්මා නම් තාත්තා නැතිවෙලා අවුරුදු 17ක් ජීවත් වුනා.

       
  41. ඉඳුනිල්

    ජූනි 13, 2012 at 10:54 පෙ.ව.

    පරක්කු වෙලා මේ ලිපිය දැක්කේ. හෙන්රි අයියගේ මවට නිවන් සුව පතනවා. මෙහෙ තත්වය හොඳයි. ඒත් ඔයා ජාතියේම එවුන මෙහේ නැතිවාමත් නෙමෙයි.

     
  42. henryblogwalker

    ජූනි 13, 2012 at 11:08 පෙ.ව.

    ස්තුතියි ඉඳුනිල්. ලොකු දෙයක් ඔහෙ එහෙමනම්. මෙහෙත් හැමෝම නරක නෑ.

     
  43. pasanOnline

    ජූනි 13, 2012 at 10:56 ප.ව.

    සමාවෙන්න ඕනෙ ලිපිය දැක්කෙ පරක්කු වෙලා.

    කෙනෙක් කරදරේක වැටුනම ඒකෙ අමාරුව තේරෙන්නෙ අමාරුවෙ වැටුනු කෙනාම තමයි. අනිත් මනුස්සයා වැටිලා ඉන්න තත්ත්වය තේරුම් ගන්න එකට තමා මනුස්සකම කියන්නෙ. අවසානාවට ඒ ගුණය නැති කිහිප දෙනෙක් වග කිව යුතු තැන්වල ඉඳලා තියෙනවා වගේ.

    හෙන්රි අයියගෙ මවට නිවන් සුව පතනවා

     
    • henryblogwalker

      ජූනි 14, 2012 at 7:27 පෙ.ව.

      මේ සමාජෙ හුඟක් ඉන්නෙ අනුන්ගෙ දුකට නිර්වින්දනය වෙච්ච පිරිසක්. එහෙම නොවෙන අයත් ඉන්නවා සුලුතරයක්.
      ඔබට ස්තුතියි පසන්.

       
  44. පිණිබිඳු

    ජූනි 14, 2012 at 10:54 පෙ.ව.

    ඔබේ මෑණියන්ට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මනුස්සකම් නොදන්නා මිනිස්සු ගැන පුදුම කළකිරීමක් දැනෙන්නෙ.

     
  45. දුකා

    ජූනි 15, 2012 at 10:39 පෙ.ව.

    පහුගිය ටිකේ නිවාඩු ගිහින් හිටි හන්දා මේක දැක්කේ නෑ බන් . . සමාවෙයන් . . හරිම දුකයි . . එත් අපි මුන්ට කඹුරන්න ඇවිත් ඉන්න නිසා උන්ගේ නීති වලට යටවෙලා ඉන්න වෙනවා බන් ගොඩක් වෙලාවට . . මක්කා කරන්නද . .

    අම්මාට නිවන් සුව අත්වේවා

     
    • henryblogwalker

      ජූනි 17, 2012 at 5:46 ප.ව.

      මම දුකා මේ ලඟදි ලියපු පෝස්ට් එකෙන් තේරුම් ගත්තා දුකාත් මොනවගෙ හැඟීමකින්ද ඔහෙට වෙලා ඉන්නෙ කියලා.

      ඔබට ස්තුතියි දුකා.

       
  46. Rohan

    ජූනි 17, 2012 at 2:31 පෙ.ව.

    my deepest symphothy on your loss!!!
    just belive me, same thing happend to me also!!
    i’m in Saudi Arabia & when my mother got seriously ill, i applied 10 days emrgency & my company rejected the same saying that, it was vacation banned perioed.
    but when shepassed away after 4 days of my leave application, they approved the same subject to against the cash deposit of SR 7500.

     
  47. henryblogwalker

    ජූනි 17, 2012 at 5:49 ප.ව.

    Thanks Rohan. I hate to hear what happened to you, but it made me feel that I’m not the only one.

     
  48. Gaminie Vijith

    ජූනි 17, 2012 at 10:05 ප.ව.

    කලින් දවසක මේ පෝස්ට් එක කියෙව්වත් කොමෙන්ට් එකක් දාන්න හිත එකලස් කර ගන්න බැරි උනා. මට මගෙ අම්මා නැතිඋන දවස මතක් උනා මචං. වස්ගමුවෙ කැලෑව මැද්දෙ ඉන්දැද්දි තමයි ආරංචිය ආවේ. අම්මා අවසාන කාලෙ හිටපු අක්කලාගෙ ගෙදරට යනකොට අවසන් කටයුතුවලට සූදානම් කරලත් ඉවරයි.

    අම්මාට නිවන්සුව අත්වේවා කියලා පතනවා ..

     
  49. raigamahandiya

    ජූනි 21, 2012 at 4:32 පෙ.ව.

    හෙන්රි, ඔබ විසින් මාගේ අනික් ප්‍රතිචාරයට පිළිතුරු ලෙස ලියල තිබුන දේ නිසා, කලින් බලපු මේ සටහනටත් යමක් ලියන්න හිතුනා. අසාදාරනකම් උනත් සාපේක්ෂයි නේද? ඔබගේ පුතා හෝ තාත්තා ගෙදරින් කුදලාගෙන ගිහින්, ඉන්පසු ආගිය තැනක් හෝ දන්නේ නැති කෙනෙකුට ඔබගේ සටහන කියවන කොට දැනෙන “දුක” වෙනස් වෙන්නේ පුළුවන් නේද?. අපේ බ්ලොග් ලෝකයේ හමු වන ගොඩක් දෙනා ජිවිතයේ “දුක” තේරුම් අරන් තියෙන්නේ පොත් කියවලා, අන්තර්ජාලය බලලා කියලා මට සමහර විට හිතෙනවා. ඔබගේ අම්මාට ඔබ ප්‍රර්ථනා කරන නිවන් සුව, මාත් ප්‍රර්ථනා කරන්නම්!

     
  50. Kondaya

    ජූලි 10, 2012 at 10:55 ප.ව.

    මට අම්මව ඒ විදියට දකින්න නොලැබුන එකත් ඇත්තටම හොඳයි. මට අම්මාව ඒ විදියට මතක තියාගන්න ඕනෙ නෑ. දැන් මට අම්මව මතක් තියෙන්නෙ අර හැමදාම දැකපු අම්මා වාගේ.

    ……… මට හැමදාම අම්ම ලස්සනයි අම්මේ !.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: