RSS

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

23 Jun
70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

“අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”

අර නංගිලාගෙ ජීවිත වලින් ඉවතට ඇවිදගෙන ගිය මම නුහුරු නුපුරුදු අම්පාරෙ ගතකල පළමු අවුරුද්ද අත්දැකීම් බහුල එකක්. මම දැනටමත් පළකරලා තියෙන ඒවායින් සමහරක් මෙන්න.

පැඩිඩිලියන්ලා

පිංසිබොල්ගෙ ගොං කේස් එක.

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල

ගම්පහ වගේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පදිංචිව සිට කොළඹ සුලෝහිත පාසලකට ගිය මටත්, මහනුවරින් ගිය උමේෂ්ටත්, අම්පාර නගරය ජනශූන්‍ය නගරයක් වගෙ පෙනීම අරුමයක් නෙවෙයි. පේරාදෙණියෙ තිබ්බ පූර්ව සේවා පුහුණුවෙදි මුණ ගැසුනු අපි දෙන්නා, නාඳුනන නගරයක, යාබද පාසැල් වලට පත්වීම අපිදෙන්නගෙම සැනසීමට හේතුවුනා. හැම හවස් යාමෙකම එකතුවෙන අපි නගරයේ පාරක් පාරක් ගානෙ ඇවිදිමින් කල නගර ගවේශනය පාරවල් ඉවර වීම නිසා ඉක්මනින්ම නිමා වුනා. හවසට කරන්නෙ මොනවද, යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක් වුනා.

අපි දෙන්නා උමේෂ්ගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයෙ හවසට, හවසට සෙට් වෙන්න ගත්තෙ ඔය තත්වය යටතේ. උමේෂ්ගෙ විදුහල්පති සුපිරිපාල, නමේ හැටියටම විනෝදකාමී සුපිරි බුවෙක්. තව ඩයස්, නාරද වගෙ තව ඩයල් කීපයකුත් සමහර දිනවල අපිත් එක්ක අනුමත වෙන්න සැදී පැහැදී හිටියා. මුලදී කාන්සියට පටන් ගත්ත මේ වැඩේ තරමක් කල් යද්දී සීමාව පන්නන බවත් මට නොහිතුනාම නොවෙයි.

“මේ විදියට යද්දී අපි බේබද්දො වෙලා නතර වෙයිද දන්නෑ බං.” මම දවසක් උමේෂ්ට කිව්වා.

“ඒක තමයි බං මාත් කල්පනා කලේ.” උමේෂ් කිව්වම මගෙ හිතටත් තරමක චකිතයක් දැනුනා.

ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට, උමේෂ්ගෙ උත්තරෙන් දැනුනෙ අස්වැසිල්ලක් නෙවෙයි.

එදා අපි සෙට් උනේ “කටට බ්‍රේක් නැති” වි.ප. සුපිරිපාලතුමාගෙ උපන්දින සාදයටයි. විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.

“එහෙනම් දෙකක් ඇනගෙන ඉමු නේ?”, ඩයසා තොල් පොටවල් දිවෙන් පොඟවමින් කිව්වා.

“චියර්ස්!!” බීම පිරවූ වීදුරු එකට ගටා සුපිරිපාල ලොක්කාට සව්දිය පුරලා කවුරුත් වැඩ ඇල්ලුවා. බීමත් සමග ඇදිලා එන රසකතා, මඩ කතා, හපංකම්, මෝඩකම්, පුරසාරම් හැන්දෑව වර්ණවත් කලා. බොනකොට, කලින් බීලා කරපු කෙලි ගැන කතා අනිවාර්යයිනෙ. මුලදිම සුපුරුදු විදියට ‘සංගීතයා’ නොහොත් ‘චූනා’ නොහොත් නාරදයව බයිට් එකට ගත්තත්, මුං කවුරුත් “අද අපි හෙන්රියාව වට්ටමු” කියන තේමාව යටතේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරලා තිබ්බ් බව මම දැනගත්තෙ සති ගානකට පස්සෙ.

බිව්වම නටන එක අනිවාර්ය අංගයක්නෙ. ඉතින් අපි කවුරුත් වීදුරු එහෙමම තියලා නටලා එනවා. වීදුරුව තනිකරන්න එපා කියලා අර බ්ලොග් සහෘදයෙක් ලියලා තිබ්බෙ ඔන්න ඕකයි. බීමට මුසුකරන්න මම පාවිච්චි කලේ Coca Cola වීම කුමන්ත්‍රණයට තවත් පහසු වුනා. මම නටලා එන සෑම විටකම, අඩක් හිස් කර තබා ගිය  සෑම බීම වීදුරුවකටම මුන් බියර් වත් කර ස්පයික් කර ඇල්කොහොල් සාන්ද්‍රනය ඉහල නංවා තිබූ බව මට තේරුනේ නෑ. ඒ වගෙම මා ලඟ තිබූ අඩක් හිස් කල Coca Cola බෝතලයත් බියර් වලින්ම නැවත පුරවා තිබූ බවත් මට තේරුනේ නෑ.

“යකෝ අද වදිනවානෙ අම්බානක. මේ බඩු හොඳයි වගෙ” මම තවත් වීදුරුවක් පුරවාගන්න ගමන් කිව්වා.

“ඕව කවලං නොකරපු හොඳ බඩු බං. නුවර කාගිල්ස් එකෙන් ගෙනාපුව. මම උඹලට බාල බඩු දෙනවද?” මස් කුට්ටියක් ‍තෝරමින් සිටි සුපිරිපාලතුමා කිව්වා.

“ඒක තමයි බොසා මේ නස්පුක් වෙන්න වදින්නෙ.” කියූ මම දැනටමත් අකීකරු දෑතින්, අසීරුවෙන් දුම් වැටියක් දල්වන්න උත්සාහ කලා.

“මටත් තේරුනා ඒක. මේ බාර් කාරයො කවලං කරනවානෙ බං කෂියා දාලා” කියපු උමේෂයා, අනිවා ඇහැක් ගහන්න ඇති අනිත් උන්ට මෙහෙම කියලා. මම නම් දැක්කෙ නෑ.

“ඒයි හෙන්රි කියාපං බං සින්දුවක්.”

“මොන ෂින්දුවක්ද?”

“උඹ දන්න එකක්”

“දැං ගායනා කරන්න නං බෑ බොෂ්, ඕන්නං ෂිංදුවක් කියන්නං ඈ…”

“නෝ වොරීස්. කියාපං.”

“මං කියන්නං ‘ඇබා’ගෙ ‘නෝවිං මී නෝවිං යූ’? නැත්නං…, ‘තැංක්යූ ෆෝද ම්යූෂික්’? නැත්නං…, ‘බොනී එම්’ගෙ ‘මදලෂ් චයිල්ඩ්’? ‘මයිකල් ජැක්ෂන්’ගෙ ‘බිලී ජීන්’? ‘බීජීෂ්’ලගෙ…?

“අඩෝ හෙන්රියො, අපි ඉංග්‍රීසි සින්දු දන්නෙ නෑ බං. සිංහල එකක් කියාපිය.” ඒ නාරද, පෙරදිග සංගීතයේ මුර දේවතාවා!”

“නාරද @#$, ෂංගීතය කියන්නෙ විෂ්ව බාෂාවක් @#$!”

එතකොටම බර්ත්ඩේ බෝයි මැද්දට පැන්නා.

“හෙන්රි, උඹ කියාපං ජෝතිපාලගෙ එකක්.”

“යකෝ ෂර්, මං දන්නෑනෙ බං ජෝතිපාලගෙ ෂිංදු…මං ඔන්නං ක්ලැරන්ෂ්ගෙ එකක් කියලා දාන්නං… දිල්හානී දුවනී” මං කිව්ව.

“අඩෝ, ඒක කියන්නෙ ක්ලැරන්ස්ද බං?” ඩයසා හිනාවෙලා ඇහුවා.

“මේ ඩයසො, උඹ දෙන්නැතුව හිටපං.”

“මේ හෙන්රියෝ. උඹ කියාපං ජෝතිපාලගෙ එකක්. අද මගෙ බර්ත්ඩේ එකනෙ.”

“අම්මට හුඩු!  ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

හිනා හඬින් ගුරුනිවාසෙ වහලෙ උලු උඩයන්න ඇති.

“උඹට වැඩිද මන්දා.”උමේෂ් කිව්වා.” මේ අපි ඒ ගැන මොනවහරි කරන ගමං තමයි මේ.”

“නයි කයිද රෝෂ් පාං!! අඩේ එහෙනං ෂිංදුවක් කියන්නම එපෑ.” ජෝතිපාලගෙ මෝරා ෂිංදුව කියමු. (මට ඒකත් මතක් වුනේ ඒ සම්බන්ධ ජෝක් එක නිසා). නාරදයා උඹ ඔෂ්තාද්නෙ. උඹ ගානට අල්ලලා දියං මුල, හරිද?… මං දෙන්නං ඇට්ටි හැලෙන්ඩ…”

ඔන්න ඔහොමලු බටහිර සංගීත ලෝලයෙකු වුන බ්ලොග්වෝකර්, නොදන්න ජෝතිපාලගෙ සින්දු, නොනවතින රිද්මයෙන් කියන්න ගත්තෙ.

පස්සෙ නූඩ්ල්ස් කන්න ඉඳගෙන ඉන්නවා මතකයි.

වරින් වර අනිත් උන් “ඒයි කාපං බං තව” කියනවත් මතකයි යන්තමට…

හීනයක් වාගෙ….

දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා. හාත්පස අඳුර. සුපුරුදු විදියට ඇ‍ඳෙන් බහින්න කකුල් පද්දලා ඇලයට හැරනකොටම, කවුදෝ ඒ හදිසියේ පාර හරහා ඉදිකර තිබූ බිත්තියක් වැනි බාධකයක නහය වැදීමෙන් තරු මල් යායක් විසිර ගියා. තරු එලිය නිවී වේදනාව මදක් අඩුවූ විට, අනිත් ඇඳේ පැත්තෙන්, ප්‍රවේශම් කාරීව බිමට බැස්සත්, පා බිම ගැටෙන විටම පෘථිවිය පැත්තකට ඇලවීම නිසා නොවැටී බේරුනේ ඇඳ විට්ටම අල්ලාගෙනයි. කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා

මං මේ කොහෙද ඉන්නෙ?

බාධක කීපයක ගැටෙමින් බිත්තිය අල්ලාගෙන අඳුරේම ඉදිරියට යද්දී හොඳ වෙලාවට විදුලි ස්විචයක් අත ගැ‍ටුනා. ආයාසයෙන් ස්විචය පහතට එබූ විට දැල්වුනු විදුලි බල්බය මගේ ඇස් මඳකට නිලංකාර කලා.

ටොයිලට් එක කොහෙද ඇත්තෙ?

ආලෝකයට දෑස හුරුවූ පසු, හාත් පසු බැලූ විට, මේ ඉන්නේ වෙනදාට නිදන කාමරයේ නොවන බවත්, මේ සුපිරිපාල තුමාගේ පාසැලේ, පාවිච්චි නොකරන ගුරු නිවාසයක් බවත්, ක්‍රමයෙන් වැටහුනා. එහි සිටියේ මා පමනක් බවත්, තව මොහොතකින් තව දුරටත් අවබෝධ වුනා. අධික මුත්‍රා බරකුත්, ඒ එක්කම පිපාසයකුත්, ඒ සියල්ල යටපත් කරමින් වමනය දැමීමේ ඉතා දැඩි අවශ්‍යතාවයකුත් දැනුනා.

කෝ මේ ටොයිලට් එක?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට ආමාශය ක්‍රියාත්මක වුනා.

ඕවෑහ්හ්!……….ඕවෑහ්හ්!……… ප්තුහ්ක්!! හඬ නගමින් ආමාශයේ අන්තර්ගතය නිදහස් වුනේ කාමරයේ මැද.
පුපුරු ගහන හිසරදයත්, නැවත නැවත වමනය දැමීමත් නිසා දුර්වල වූ මම ඇඳේ අයිනක ඉඳගෙන අලාබය තක්සේරු කලා. කාමරයේ තත්වය ශෝචනීයයි. නූඩ්ල්ස් නම් බීලා කන්න හොඳ කෑමක් නෙවෙයි. වැරදි පාරෙන් පිටවූ නූඩ්ල්ස් ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. නෑ, ඒ ලේ වමනේ ගිහින් නෙවෙයි. ඒ සෝස්…කෙචප්! ෆූෆ් ! ඒ දර්ශනය නැවතත් ආමාශය කලඹන්න වුනා.

උඩින් උඩින් පැනලා කාමරෙන් පිට වෙලා වැසිකිලිය හොයාගත් මම තිබූ බරෙනුත් නිදහස් වෙලා ආපහු කාමරයට ආවේ වතුර බාල්දියකුත් කොස්සකුත් අරගෙන. මුං දැක්කොත් හෙම කබ්බා දාලා තියෙනවා හෙන නෝන්ඩිය! වදී කාඩ් එකක් ආයේ ජීවිතේට වලංගු වෙන්න!

කොච්චර අමාරුවෙන් හිටියත් වතුර බාල්දි පහලොවකට විතර පස්සෙ මුලු කාමරයෙම බිම සෝදා, මගේ රෑ කෑම වේල ඉදිරි දොරෙන් පිටතටත්, එතනින් ගේ වටා ඇති සිමෙන්ති කානුවටත්, කානුවෙන් ඉවතටත් සෝදා හරින්න හැකි වුනා. ඉන් පසුව සාක්කුව අතගා තැලී චප්ප වී ගිය සිග‍රැට්‍ටුවකුත් සොයාගත් මම එය දල්වාගෙන ඉදිරියට සැලසුම් කලා.

දැනටමත් වටින් ගොඩින් එලිය වැටීගෙන එමිනුයි තිබ්බේ. තවත් මඳ වෙලාවක් ‍රැඳී සිටි මම ගුරු නිවාසයේ දොර වසා දමා එලියට බැස්සේ මගේ පාසැල වෙත යන්නයි.

නගර මධ්‍යයේ උදේම විවෘත කර තිබූ ආපනශාලාවක් දු‍ටුවිට මගේ පිපාසයත් බඩගින්නත් දෙගුන තෙගුන වුනා. උණු උණුවේ බෑ ආප්ප දෙකකුත්, ආනමාලු කෙසෙල් ගෙඩියකුත්, දුම් දමන කලු කෝපි කෝප්පයකුත් බී, දුම් වැටියක්ද දල්වාගත් විට මෙතෙක් නොදැනුනු ප්‍රබෝධයක් ගතට දැනුනා.

මා මගේ පාසලේ ගුරු නිවාසය වෙත ලඟාවෙනවිට මගේ චමරි සගයන් වූ කලුතොටයාත්, විමලයාත් අවදි වෙලයි හිටියෙ..

“ආ මේ ඇවිත් ඉන්නෙ අකීකරු පුත්‍රයා!”

“හැබෑට… කොහෙද යකෝ රෑ තිස්සෙ යන්නෙ?”

මට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් නිසා මට බාල සොහොයුරෙකුට මෙන් සැලකූ විමලයාටත්, කලුවාටත් සුදුසු උත්තර දුන් මා, සීතල දිය නා, පාසැල් යාමට සූදානම් වුනා.

මේ පාසැලේ ගුරු විවේකාගාර දෙකක් තිබ්බා. ඇතුල්වෙන ගේට්‍ටුව අසලම ගොඩනැගිල්ලේ තිබූ නියම ගුරු විවේකාගාරයට අමතරව, පාසැලේ මැද හරියට වන්නට වූ කුඩා විදයාගාරයේ ඇතුල්වන තැනම කබඩ් වලින් වෙනකල අනියම් ගුරුවිවේකාගාරයක් තිබ්බා. මා මේ දෙතැනේම කල් ගත කලත් වඩා ප්‍රිය කලේ වයසක ගුරුතුමියන් නිතර ගැවසුනු නිල ගුරු විවේකාගාරයට වඩා සමවයසේ සගයන් සිටි දෙවන ස්ථානයටයි. විශේෂයෙන්ම එකල මා පිළිබඳ සිතක් ඇතිකරගෙන සිටි රුවැත්තිය සමග හිඳගෙන, උකුසු ඇස්වලින් ගැලවී’ වල්පල් දෙඩීමටත්, කවට කම් කිරීමටත් ඔහේ දොඩමලු වීමටත් මෙය කදිම ‍තෝතැන්නක් වුනා.

හොඳ වෙලාවට එදා උදෙන්ම එහි සිටියේ මා පමණයි. දිය නෑමෙන් මදක් යටපත් වී තිබූ හිසරදයත්, ඔක්කාර ගතියත්, දැඩිවන හිරු රශ්මියත් සමගම මතුවී ආවා. ආමාශය නැවත විරෝධතා ව්‍යාපාරයක් අරඹලා. හදිසියේම කටට දැනුනු තිත්ත රසත්, උදේ ආහාරයේ සුවඳත්, ලඟ ලඟම එලැඹෙන හදිසි අවස්ථාව ගැන පූර්ව දැනුම්දීමක් වුනා.

විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා හුනස්නෙන් නැගී සිටි මා දොරෙන් එලියට දිවැවුනා.

වැරදි තීරණයක්!

මුලු පාසැලක හරි මැද වමනෙ දාන්නේ කෙසේද? ඒ පොඩ්ඩටත් ලඟම පන්තියේ කොලු කෙල්ලන් මා දෙස විමතියෙන් බලනු දු‍ටු මා වහා පසුබැස්සා. ඒ වනවිටත් ආප්ප, ආනමාලු, හා කෝපි වලින් සමන්විත උදේ ආහාරය ගලනාලය දිගේ ඉහලට වේගයෙන් සම්ප්‍රේශනය වෙද්දී මා විද්‍යාගාරය තුලට දිවගියා. කාමරයේ කොනක වූ සින්ක් එක මා දු‍ටුවේ එවිටයි. උඩු අතට ගමන් කරමින් තිබූ අහාර වේලේ වේගයට වඩා වැඩි වේගයෙන් මා සින්ක් එක වෙත ලඟාවුනා. ඒ සමගම පාතරසය උගුර පසුකලා.

“ඔවෑ ආඅර්ර්හ්ක්” එල්ලය හරි ගියා. මඳ සතුටක් හිතට දැනුනත් ඒ සැනෙකින් සතුට අතුරුදහන් වුනා. කබ්බා බිඳක්වත් සින්ක් එකෙන් පිටට නොවැ‍ටුනත් සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!  සියලුම පරීක්ෂන නල තුලත් මතුපිටත් ආප්ප, ආනමාලු, කෝපි හා ආමාශයික යුෂ මිශ්‍රණය!

අසල කබඩ් දොරේ අලවා තිබූ විද්‍යාගාර කාලසටහනට මගෙ ඇහැ ගියේ ඉබේටම. තව විනාඩි දහයකින් නවයේ පන්තියක් එනවා විද්‍යාගාරයට. ඒ දු‍ටු ගමන් නැවතත් වමනය ගියා.

දැන් මොකද කරන්නේ? මේ ටෙස්ට් ටියුබ් මගුල නොතිබුනා නම් ටැප් එක ඇරලා සින්ක් එක හෝදලාදාලා ෂේප් වෙන්න තිබ්බා. ම්ම්ම්… වතුර තියෙනවද ටැප් එකේ? මම ගැහෙන හදවතින් කරාමය ඇර බැලුවා.

දෙයියනේ! වතුර තියෙනවා!

මම වැඩ පටන් ගත්තා. දෙවෙනි වතාවටත් සාක්ෂි අතුරුදහන් කිරීමට. මුලින්ම පරීක්ෂන නල රාක්කය සෝදා ගොඩින් තිබ්බා වතුර අවමයෙන් පාවිච්චි කරලා, මොකද සින්ක් එක අවහිර වී වතුර බැස යාමේ අවදානමක් තිබූ නිසා. ඉන් පසූ පරීක්ෂණ නල එකින් එක, ඇතුලත්, පිටත් සේදුවා, ඉතාම සීරුවෙන්, නමුත් උපරිම වේගයෙන් හා කාර්යක්ෂමතාවයෙන්. සේදූ නල රාක්කයේ තැන්පත් කලා. සීනුව නාද වුනේ තව නල දෙකක් සෝදන්න තියෙද්දී. ලමයි පන්තියෙන් එලියට ඇවිත් පෝලිම් ගැහිලා විද්‍යාගාරයට එකකොට මම අන්තිම නල දෙකත් සෝදලා සින්ක් එකත් සෝදලා වතුර බස්සලත් ඉවරයි. හොඳ වෙලාවට මේ සින්ක් වල අඩියෙ තියෙන කට ලොකුයි. දැල වගෙ කෑල්ල ඔන්නම් අතට ගන්නත් පුලුවන්.

ළමයි විද්‍යාගාරයට ඇතුල්වෙනකොට මම වැනි වැනී ගිහින් අපේ කොටසෙ ඉඳගෙන පත්තරේ සිරස්තල කියවනවා කවදාවත් නැති උනන්දුවකින්. හොඳ වෙලාවට මට ඊලඟ පීරියඩ් එකත් ඕෆ්. ලඟම තියෙන කඩේට ගිය මම තැඹිලි ගෙඩියක් බිව්වම ආමාශය පොඩ්ඩක් සන්සුන් වුනා. ආපහු ඇවිත් අතන ඉඳගත්තාම අර හිත හොරාගත් රුවැත්තියත් ඇවිත් හිටියා. මම වෙනදාවගෙ ඈ ලඟින් ඉඳ නොගෙන අනිත් පැත්තෙ වාඩිවුනේ මගෙ ලඟ තිබ්බ සුගන්ධය ගැන වැඩි විශ්වාසයක් නොතිබුන නිසා.

ටිකකින් කබඩ් පේලිය අතරින් මතුවුනු විද්‍යාව උගන්නන ගුරුතුමී මගෙ මූණ දිහා ප්‍රශ්ණාර්ථ ලකුණක් එක්ක ටිකක් වෙලා බලා ඉඳලා ආපහු ගියා. මම “ඇයි අක්කා?” කියලා අහන්න ගියේ නෑ.

පස්සෙ මම ගනං හදලා බැලුවා. තප්පර හයසීයකින් පරීක්ෂන නල හතලිස් අටක්. එකකට තප්පර දොළහයි ගානක්. නමුත් රාක්කයයි සින්ක් එකයිත් සෝදන්න ගිය කාලයත් අඩු කලාම නරකම නෑ

ඊට පස්සෙ මම බිව්වත් අරවගෙ සිහිය නැතිවෙන්න බීලා නෑ කවදාවත්. දැන්නම් ඉඳහිට බිව්වත් බොන්නෙ ඔය බියර්, වයින් වගෙ අහිංසක බීම විතරයි. ඔන්න කෂ්ටිය ලකුණු කරගනිල්ලා ඈ!

 

ටැග: , , , , , , ,

71 responses to “70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

  1. Lucky Wickramasinghe

    ජූනි 23, 2012 at 2:01 ප.ව.

    අපොයි මදෑ ඔයින් ගියා. ඉතින් එදා දවසෙම ළමයින්ට ඉගැන්නුවෙ මොනවද කියල මතකද? 😀

     
    • henryblogwalker

      ජූනි 23, 2012 at 8:05 ප.ව.

      එහෙමට අප්සෙට් එකක් වුනේ නෑ ලකී. ඊට පස්සෙ ටික ටික හරි ගියා. වැඩේ කාටවත් මාට්‍ටු වුනේ නෑ, මම මේ දැන් බ්ලොග් එකේ දාලා වන කරගන්නකල්. 😀

       
  2. hiruni

    ජූනි 23, 2012 at 2:19 ප.ව.

    හිහ් හිහ්… අපරාදෙ ටැප් එකේ වතුරත් නැති වෙන්න තිබ්බෙ…:D මොකද දන්නෑ විදයා ගුරුතුමී අමුතු විදියකට බැලුවේ….වැඩේ තේරුනාද දන්නෙ නෑ….

    මේක තමා හිනාම යන කෑල්ල:

    “කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා”
    😀

     
    • henryblogwalker

      ජූනි 23, 2012 at 8:09 ප.ව.

      පෙනේද නපුරුකම!

      විද්‍යා ටීචර්ට මීටර් වෙන්න නැතිව ඇති. සමහර විට එයා කල්පනාකලාද දන්නෑ නෑ කවුද මේ දැන් ටෙස්ට් ටියූබ් ටික හෝදලා තිබ්බ පිංවතා කියලා. නැත්නම් එයා හිතන්න ඇති එයාට පිස්සු හැදීගෙන එනවා කියලා මේදැන් එයාම කරපු දේ ඔච්චර ඉක්මනට අමතක වෙන්න.🙂

       
  3. ක්සැන්ඩර් | Xander

    ජූනි 23, 2012 at 2:35 ප.ව.

    මේ කතාව කියවද්දී මට මගේ කතා ටිකකුත් මතක්වුනා, වෙලාවක බ්ලොගේ කොටන්න ඕනේ. මම ඇතුළු අපේ එවුන් කටාර් වල බීපු හැටි..

     
    • henryblogwalker

      ජූනි 23, 2012 at 8:11 ප.ව.

      අනේ ලියමුකො ක්සැන්ඩර් හැකි ඉක්මනට.
      ඇත්තම කිව්වොත් බීම නරක දෙයක් උනාට ඒ හා සම්බන්ධ සාහිත්‍යය හරිම රසවත්.🙂

       
  4. සිතුවම්

    ජූනි 23, 2012 at 3:19 ප.ව.

    හැක හැක ඔය කොරගෙන තියෙන්නෙ.හනේ හපොයි.

     
  5. R.p. Susantha

    ජූනි 23, 2012 at 3:31 ප.ව.

    මම බ්ලොග් අවකාශෙ දැක්ක අවංකම සටහනක්. ඇත්තෙන්ම අපූරුයි.

     
    • henryblogwalker

      ජූනි 23, 2012 at 8:16 ප.ව.

      ස්තුතියි වෙද මහත්තයා. ඇත්ත ඇති සැටියෙන් තමයි ලිව්වෙ.
      පොර වෙන්න ලිව්වානම් වැටෙන්නෙත් නෑ, වමනෙ දාන්නෙත් නෑ.

       
  6. දුකා

    ජූනි 23, 2012 at 3:51 ප.ව.

    අයියෝ සල්ලී . . . හෙ හෙ හේ . . . යකෝ ගුරුවරු ඔහොම බොනව කියලා මේ ඇහුවමයි . . හික් හික් හික්

     
    • henryblogwalker

      ජූනි 23, 2012 at 8:20 ප.ව.

      අඩේ දුකා උඹ හිතුවෙ ගුරුවරු ඔහොම නෙවෙයිනම් කොහොම බොනවා කියලද? අර කටට බ්‍රේක් නැති සුපිරිපාලතුමා ලින්ක් එකේ බැලුවා නම් සුපිරිපාලතුමා ඕකට නියම උත්තරයක් දීලා තියෙනවා. 😀

      ඔය සුමිත් නිරිඇල්ල උඹට කියයි ගුරුවරු බොන විදිය මං හිතන්නෙ ඇහුවොත්. ; )

       
  7. Kandyan

    ජූනි 23, 2012 at 3:51 ප.ව.

    මෙහෙමත් බීමක් ඈ!
    කොලු ජීවිතයට අම්පාර සුරපුරක්…. අත්දැකීමෙන් කියන්නේ….

     
  8. Sumith Niriella

    ජූනි 23, 2012 at 4:01 ප.ව.

    සුරාතලේ (සුරා ආතල්) පාට එහෙම පිටින්ම මේ පෝස්ට් එකේ තියෙනවා.

     
  9. raigamahandiya

    ජූනි 23, 2012 at 5:14 ප.ව.

    Déjà vu😀

     
  10. Gold fish

    ජූනි 23, 2012 at 6:54 ප.ව.

    හරි පොතේ ලියාගත්තා…

    කොහොමහරි චන්ඩියා වැටුනානේ…

     
  11. වින්චැට් කිරිල්ලී.

    ජූනි 23, 2012 at 7:34 ප.ව.

    පෝස්ට් එකට වඩා මරු හිරුනිගෙ කොමෙන්ට් එක…හික්ස්..මට මැරෙන්න හිනා.. :D:D:D:D

     
  12. vimukthi

    ජූනි 23, 2012 at 7:40 ප.ව.

    හෙහ් හේ..අර වයර්එක නැත්නම්,බෝතලේ කටේ තියන් බොනව වගේ…
    පස්සෙනෙ තේරුම…?හෙහ් හේ ….

     
  13. අඩවි රජා

    ජූනි 23, 2012 at 8:46 ප.ව.

    අයියෝ…… මහ ලොකු චණ්ඩියා ,කබරයත් දාලා….🙂
    එක පාරක්නං කමක් නෑ.. දෙපාරක්ම…

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

     
    • henryblogwalker

      ජූනි 23, 2012 at 9:05 ප.ව.

      අඩේ රජාත් හිතන්නෙ මම චන්ඩියෙක් කියලද. මේ ගැන සලකා බලන්න ඕනෙ.🙂
      ඔය කවුරුත් කබ්බා දාලා තියෙනවා රජෝ. ලැජ්ජාවට කියාන්නෑ.

       
  14. රාජ්

    ජූනි 23, 2012 at 8:48 ප.ව.

    පට්ට කතාව. පුදුම බීමක්නෙ චික්. ජරා…….ව!🙂

     
  15. අටම්පහුර

    ජූනි 23, 2012 at 9:14 ප.ව.

    මං හිතාගන හිටියේ හොද මහත්තයෙක් කියලා , බලන කොට මම වගේම බේබද්දෙක්නේ

     
  16. ඉඳුනිල්

    ජූනි 23, 2012 at 9:17 ප.ව.

    රාජකාරී වේලාවේ, බී මතට කබරයා දැමීම !!!!

     
  17. henryblogwalker

    ජූනි 23, 2012 at 9:31 ප.ව.

    බී මතට? ටෙස්ට් ටියුබ් මතට ඉඳුනිල්! ස්තුතියි.

     
    • ඉඳුනිල්

      ජූනි 24, 2012 at 8:34 පෙ.ව.

      නිවැරදි කිරීම :

      රාජකාරී වේලාවේ, බී මතට ටෙස්ට් ටියුබ් මත කබරයා දැමීම !!!!🙂

       
      • henryblogwalker

        ජූනි 24, 2012 at 6:26 ප.ව.

        හරියට හරි. මම නීතිය කඩලා නෑ. රාජකාරී වෙලාවේ බීලා නෑ.
        කලින් දවසෙ රෑ බීපුවට රාජකාරි වෙලාවෙ වමනෙ දාලා විතරයි.😀
        ආයතනෙ සංග්‍රහයෙ කබරයා දැමීම ගැන මොකුත් සඳහන් වෙන්නෙ නෑ මම හිතන්නෙ.

         
  18. Senna

    ජූනි 23, 2012 at 9:50 ප.ව.

    හෙන්රියා වැඩ කාරයා.. දෙවතාවම කොහොම හරි ගොඩ දාගන තියනවා.. හොඳ වෙලාවට මූ අපරාධකාරයෙක් නොවුනෙ. එහෙම උනානම් කරන කරන එකේ සාක්ශි මකයි හෝම්ස්ටවත් හොයාගන්ඩ බැරිවෙන්න..

    අර මගුල අංශක විසිතුනාමාරක් ඇලයි කියන්නෙ මොකේට සාපේක්ශවද ? මට හරි පුරස්නයක් ඕක.

     
  19. henryblogwalker

    ජූනි 23, 2012 at 10:25 ප.ව.

    තව පාරක් කබ්බා දැම්මත් කොහොම හරි ගොඩ දාගන්නවා Senna. ස්තුතියි.

    අර මගුල අංශක විසිතුනහමාරක් ඇල, ඒ මගුල හිරු වටා යන කක්ෂයේ පරිධියට ලම්බකව සාදනු ඇතැයි උපකල්පනය කරනු ලබන සරල රේඛාවට සාපේක්ශව කියලා මට හිතෙනවා.Senna මම ඉංගිරිස් ගුරුවරයෙක්. විද්‍යා ගණිත නෙවෙයි හරි?

     
    • Senna

      ජූනි 23, 2012 at 11:26 ප.ව.

      නෑ නෑ.. ඩූඩ් ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඒක ඇහුවා නෙමේ.. නිකන් ඇහුවේ දන්න කෙනෙක් හිටියොත් උත්තරයක් දෙයි කියලා.. මට තියන හරි ප්‍රශ්න තමා ඕවා.. මම හිතන්නෙ ඩූඩ් හරියි කියලා හිතන්ඩ පුලුවන් උත්තරයක් දීලා තියනවා.. ඔක්කොම ඉතින් කල්පිත තමා නේද ?

      ස්තූතියි.

       
      • henryblogwalker

        ජූනි 24, 2012 at 7:26 පෙ.ව.

        Senna. ඒකට කමක් නෑ.මම දන්නෙ නැති දේට දන්නෙ නෑයි කියලා කියන්න බය නෑ. ම්ම්ම්ම්… මේක කල්පිතයක් නෙවෙයි නේද? ඍතු බේදය ඇතිවෙන්න මූලික හේතුව ඕකනේද? ඔය ඇලය නැත්නම් හැම රටටම හැමදාම එකම ඍතුව වෙයි. සමකය ආසන්න අපිට වගෙ.

         
        • Senna

          ජූනි 24, 2012 at 2:52 ප.ව.

          එහෙමද ? අනේ මංදා.. පොඩි කාලෙ ඔය වගේ මොන මොනවද ඉගන ගත්තා කියලා හීනෙන් වගේ මතකයි..

          ස්තූතියි පැහැදිලි කලාට.

           
  20. hasithag

    ජූනි 23, 2012 at 10:35 ප.ව.

    මෙවන් විපතක් අම්පාරේ වන සතෙකුටවත් නොවේවා🙂

     
  21. සෑම්

    ජූනි 23, 2012 at 10:55 ප.ව.

    අපි ශිෂ්‍යයෝ විදිහට ඒ කාලෙ කරපුවා ලියනවා. හෙන්රි ගුරුවරයෙක් විදිහට මේ ස්ටෝරිය දැම්මම මම කල්පනා කලේ අපි ඉස්කොලෙ යන කාලෙ සර්ලට, ටීචර්ලට කොච්චර සීන් වෙන්න ඇද්ද. ඒව ඔක්කොම අර විද්‍යාගාරෙට රිංගන්න පෝලිමේ පොර කාපු ලමයි සෙට් එක වගේ, අපිත් නොදැන ඉන්න ඇති.. :))

    හිනා සාගරයයි.

    එදා හෙන්රි එක්ක සෙට් වුන එකෙක් හිටිය නම් හෙන්රිට අමතක වුණු හරිය කියයි නේද ?

    ජය සහෝ !

     
  22. DDT

    ජූනි 24, 2012 at 8:59 පෙ.ව.

    අපෝ …… බොන එවුවො මට පේ …. න්න බෑ. බේබද්දො.😉

     
  23. අංජන

    ජූනි 24, 2012 at 11:51 පෙ.ව.

    “කෙලින් ඉන්න පුලුවන් වෙන්න බොන්න එපායැ…”

    “මේක පොර වගෙ බීල කබරය දාලා…”

    “බේබද්දෝ…”

    බීල ගත්තු ආතල් නම් එමට ඇත…

     
    • henryblogwalker

      ජූනි 24, 2012 at 12:22 ප.ව.

      පොරවලුත් බීලා කබරයා දානවද අංජන? මං හිතුවෙ කබරයා නොදාන එවුනුයි පොරවල් කියලා.🙂

      බීලා ගත්තු ආතල් එමට ඇත කියලා හරියන්නෙ නෑ. ඒවා බෙදාගමුකො.

       
  24. Weni

    ජූනි 24, 2012 at 6:48 ප.ව.

    බොන උන් දහසක් අවමන් කලත් මන් නම් ශොට් තුනෙන් එහාට යන්නෙ නැත්තෙ ඔය කබරයා සීන් එක නිසාමයි..කබ්බා දාන්න ගත්තොත්..අර මොකද්ද ඉන්ජෙක්ශන් එකක් ගහන කම්ම මට යනවා..

     
    • henryblogwalker

      ජූනි 24, 2012 at 7:01 ප.ව.

      හිහ් හිහ්. දැනගත්ත එක හොඳයි.
      මමත් එහෙම කබරයා දාන්නෙ නෑ බං හැමදාම.
      මේ බීම එපාවුනු සහ ජීවිතයේ ගමන්මග වෙනස්කල විශේෂ දවසක්.

       
  25. අසරණයා

    ජූනි 24, 2012 at 11:22 ප.ව.

    මම මුලින් හිතුවේ ඉස්කෝලේ ළමයි සෙට් එකත එක්ක බිලා කියල. කතාවේ මැද හරියේ ඉඳලම හිනාව. ඇත්ත සිද්දිය.

    මමත් ඒ වගේ හිටපු කාලයක් තිබුනා අයියෝ ඒ කාලේ. උගුරට නිවනක් නැහැ වමනේ දාලම.

     
  26. praveena

    ජූනි 25, 2012 at 7:01 පෙ.ව.

    බොනවා කීවට මෙහෙමත් බොනවද?🙂

     
  27. පිණිබිඳු..

    ජූනි 25, 2012 at 11:12 පෙ.ව.

    තම තමන්ගේ කබරයන් තම තමන් විසින්ම අස් කරගන්න එක නම් හොඳයි නොබීපු උන්ට වද නොදී. නැත්තන් බීපු උන්ට වැඩි දුකක් විඳින්නෙ නොබීපු අය.

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 7:24 ප.ව.

      පිණිබිඳු ඒක කිව්වෙ කාත් එක්කහරි පොඩ්ඩක් තරහෙන්ද කියලා මට නිකමට හිතුනා.🙂 බ්ලොග් එකේ නමත් මට හිතෙන හැටිනෙ! 😀

       
  28. හංසකිංකිණි

    ජූනි 25, 2012 at 1:12 ප.ව.

    අනේ අයියෙ උඹේ බ්ලොග් එක මං රාජකාරි වේලාවන්හිදී කියවිය නොයුතු එකක් විදියට ලකුණු කරගත්ත..

    බඩ වියත රැකගන්ඩ නං මේ රස්සාව කොරන්ඩ එපෑ බං අයියෙ..

    මගෙ අම්මේ මට තාම හිනාව නවත්තගන්ඩ බෑ!!

    /සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!/

    මට උඹේ උපමා ගැන නං ඉරිසියයි අයියෙ ඇත්තමයි!!!

     
  29. රූ

    ජූනි 25, 2012 at 4:43 ප.ව.

    අපොයි දෙයියනේ..!!

     
  30. මඩිස්සලේ නිශාන්

    ජූනි 25, 2012 at 7:18 ප.ව.

    සර් කෙනෙක්ට වෙච්චි දෙයක්.

     
  31. නිසුපා

    ජූනි 26, 2012 at 1:56 ප.ව.

    අපොයි මෙහෙමත් බීමක්. ඔය වෙච්ච දේවල් මතක තිබුනා මදෑ.

     
    • henryblogwalker

      ජූනි 26, 2012 at 7:32 ප.ව.

      අනේ හැමදාම ඔහොම නෑ නිසූපා. ඔය දැම්මමයි.
      මගෙ මතකය හොඳ නිසානෙ “මම මට හිතෙන හැටි” මට මතක විදියට ලියන්නෙ.🙂

       
  32. නවම්

    ජූනි 26, 2012 at 3:21 ප.ව.

    හප්පා මෙහෙම අත්දැකීම් එක්ක පෝස්ට් එකක් ලියන්න මට නම් තව අවුරුදු විස්සකින් මෙහා බෑ වගෙයි.. හෙහ් හෙහ් සුවල්ප අත්දැකීම් ගොඩක් යැ….. අර සාලෙ මැද්දෑවෙ හිටෝපු වෑන් එකත් ඔය කාපු බීපු වෙලාවක කොරාපු වැඩක් වෙන්ඩැ…

     
  33. henryblogwalker

    ජූනි 26, 2012 at 7:35 ප.ව.

    මොනාද බං මේ පැය විසි හතරක් ඇතුලත් වෙච්ච දේවල්නෙ.
    අර වෑන් කතාව නම් මට හරියට මීටර් නෑ බං. පැය බාගයක් විතර කල්පනා කලා. උඹ කියන්නෙ අර දොර ලඟ තිබ්බ තැලුම ගැනද, නැතිනම් ගරාජ් ඩිසයින් එක ගැනද???????

     
  34. Amarasinghe Sujatha

    ජූනි 28, 2012 at 5:52 ප.ව.

    අදයි කියෙව්වෙ

     
  35. Kaushi Ariyabandu

    අගෝස්තු 5, 2012 at 11:32 ප.ව.

    මදැයි ඔයින් ගියා…..

     
  36. කෝරලේ මහත්තයා

    අගෝස්තු 25, 2012 at 2:20 ප.ව.

    මදැයි ඔයින් ගිය අතක් පයක් නොකැඩි

     
  37. AKM

    නොවැම්බර් 26, 2012 at 8:25 ප.ව.

    ///….කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා…..///

    සහතික ඇත්ත අප්පා……

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: