RSS

72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

02 Jul
72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

මහ බැංකුවට බෝම්බ ගැහුවට පස්සෙ විජේවර්ධන මාවතේ පාලු තැනකට ගෙනියන්න කලින්, මහජන බැංකුවෙ ‍රැජිණ වීදිය ශාඛාව තිබ්බෙ සෙලින්කෝ ගොඩනැගිල්ලෙ යටම තට්‍ටුවෙ. සල්ලි ගත්තෙ ATM වලින් වුනාට අනිත් වැඩ කටයුතු වලට මම ඔය බැංකුවට නිතර යනවා.

එදත් මම ගිහින් බැංකුව ඉස්සරහම තිබ්බ කුඩා රථ ගාලෙ වාහනේ නවත්තලා බැංකුව ඇතුලට ගියා. දොර ලඟ ‍රැකවල්ලාගෙන හිටපු මං අඳුනන සික්‍යුරිටි බුවාත් වීදුරු දොර ඇරලා අතින් අල්ලගෙන Good afternoon, sir”,කියලා ආචාර කලා. මාත් හිනාවෙලා නිසි පිළිතුර දීලා පොර වගෙ ඇතුලට ඇවිදගෙන ගිහින් ෆෝම් එකක් අරන් පුරවන්න ගත්තා.

ෆෝම් එක පුරවන, සංවේදී නහයක් තියෙන මට දැනෙනවා, ගතවෙන මොහොතක් මොහොතක් පාසා තීව්‍ර වෙන, ඉවසන්න බැරි බලු බෙටි සුගන්ධයක්. අහල පහල ඉන්න හැමෝම මූණවල් පුලු‍ටු කරගෙන, නහයවල් අකුලාගෙන එකිනෙකාගෙ මූණවල් දිහා සැකෙන් බලනවා. වායු සමීකරණය කරපු බැංකු ශාඛාවක් නිසා තත්වය තවත් උග්‍රයි. ශෝචනීයයි.

මං ලඟම හිටපු බුවාට මං කිව්වා, “හෙහ් හෙහ් , කවුරු හරි බලු පැටියෙක් පාගගෙන ඇවිත් වගේ නේ?” කියලා.

“ඒක තමයි” කිව්ව බුවා කට ඇද කරලා හිනාවුනා.

වට පිට විමසිල්ලෙන් බලපු මම එතකොටයි දැක්කෙ ඇතුල්වෙන වීදුරු දොර ලඟම පාපිස්නාවේ තැවරිලා තියෙන දුම් දමන බලු බෙට්ට. කවුරුහරි ඒක එතන ගාලා බැංකුව ඇතුලට ආපු පාසටහන් තිබ්බා සම දුරින්, ක්‍රමයෙන් අඩුවෙමින් බැංකුව තුලට අතුරුදහන් වුනා වගෙ පෙනුන.

ඔන්න දැන් සික්‍යුරිටි බුවාලා අතේ තිබ්බ වෝකි ටෝකි වලින් කතා කරනවා බස බස ගාලා. ටිකකින් ආවා SWAT ටීම් එකක් වගේ ක්ලීනිං ගැන්සිය. අධි පීඩන වාශ්ප සෝදන යන්ත්‍රද, චූෂණයන්ත්‍රද, වියලන යන්ත්‍රද, ඩිටර්ජන්ට්ද, කාපට් ෂැම්පූද, අරකද, මේකද, ඔක්කොම එක්ක. කෂ්ටිය බැස්ස වැඩේට. අපරාදෙ කියන්න බෑ දුන්න ෆුල් සුද්දයක් . මාත් අර ලඟ හිටපු පොරට කිව්වා කඩ කැඩිච්ච කමට, “ඔපෙරේෂන් බලුබෙටි. නේ?” කියලා.

බලුබෙටි මෙහෙයුම නොහොත් Operation Dogpile ඔය විදියට නැගලා යන අතරේ, එක සික්‍යුරිටි පොරක් එලියට ගිහින් (රථගාලට වෙන්න ඇති) ආපහු ඇවිත් අනිත් සික්‍යුරිටි පොරට කිව්වා පහත් හඬින්, “අර බයික් එකේ ආපු මහත්තයා තමයි මේක ගෙනත් තියෙන්නෙ” කියලා. මට ඕක ඇහුනෙ මම දොරට කිට්‍ටුවම ලොබියෙ තිබ්බ ඩෙස්ක් එකක තියාගෙන ෆෝම් එකක් පුරවමින් හිටපු නිසායි. මාත් වටපිට බැලුවා කොයි එකාද මේ බයික් එකේ ආපු පොර කියලා.

ඔන්න දැන් වැඩේ ඉවරයි. දැන් එන්නේ ඩිටර්ජන්ට්, කාපට් ෂැම්පූ, සහ අන්තිමට සලකලා ගහපු එයා ෆ්‍රෙෂ්නර් සුවඳයි විතරයි.දැන් ඔන්න ආයෙම හුස්ම ගන්න පුලුවන් යන්තම් කියල හැමෝම සැනසුම් සුසුම් හෙලුවා.

ටිකකින් මගෙ වැඩෙත් කරගෙන මම ගියා දොර දිහාට. සික්‍යුරිටි බුවාලාත් දඩි බිඩි ගාලා දොර ඇරලා දීලා, සුභ පතලා, “ගිහින් එන්න සර්” කියලත් කිව්වා, සුපුරුදු ලෙංගතු කමින්ම. මාත් එලියට ඇවිත් රථ ගාලට ගියාමයි මටත් මතක් වුනේ අර බයික් එකේ ආපු මහත්තයා ගැන. මමත් වටේම ස්කෑන් කරලා බැලුවා. එක බයික්එකයි තියෙන්නෙ! අනිත් ඔක්කොම රෝද හතරේ වාහන! එතකොටයි මට තේරුනේ, “හුටා! ඒක මගෙ බයික් එක නේද?” කියලා.ඇත්තෙන්ම මට අමතකම වෙලා තිබ්බෙ මම ඇවිත් තිබ්බෙ බයික් එකෙන් බව, මොකද මේ රථගාල තිබ්බෙ බැංකුවෙ මිදුලෙම නිසා මම හෙල්මට්, ජර්කින් ඔක්කොම බයික් එකේ හැඬල් එකේ එල්ලලා ගිහින් තිබ්බෙ.

දැන් මාත් ඇටිකෙහෙල් කාපු උගුඩුවාවගෙ හෙමීහිට ලංවුනා බයික් එකට. ඔය තියෙන්නෙ දිලිසි දිලිසි දුම් දාන ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් බලු බෙට්ටක් බයික් එක ලඟම. මම හරියටම ස්ටෑන්ඩ් එක ගහලා බැහැලා තියෙන්නෙ ඒක උඩට. ඔලුවමයි අඩිය තියලා තියෙන්නෙ! මං හෙමීහිට, හොරා වගෙ උස්සලා බැලුව වම් කකුල. ඔය තියෙන්නෙ තවම බැංකුව පුරා ගාලා ඉතුරු ටික.

මම මොකුත් වෙනසක් නොපෙන්වා, ජර්කින් එක ඇඳලා, හෙල්මට් එක දාගෙන ‘බෲස්’ ගාලා දැම්මා පාරට.

මේ කතාවෙ හොඳම දේ තමයි, අර සික්‍යුරිටි බුවාලා හොඳටම දැනගෙන හිටියත් හත්පොලේ බලු බෙට්ට ගෑවෙ මම කියලා, ඒ ගැන මට ඉඟියක්වත් නොදීපු එක. මම එලියට එනකොටත් වෙනද වගේම කිසිම වෙනසක් නොපෙන්වා මට උණුසුම් විදියට මට ආචාර කරපු එක, මාව අපහසුවට වන කිසිම දෙයක් නොකියපු, නොකරපු එක. ඇත්තටම මෙහෙම ආචාරශීලී සික්‍යුරිටි බුවාලා දකින්නත් වාසනාවන්.

මේ උපහාරය එදා රාජකාරිකල ඔබ දෙපලටයි, සිද්ධිය මතක නම්!

මේ, මා HeyDude බ්ලොග් අඩවියට මුලින්ම ලියූ Those Cool Security Dudes ලිපියේ සිංහල අනුවාදයි.

 

ටැග: , , , , , ,

79 responses to “72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

  1. hasithag

    ජූලි 2, 2012 at 12:36 පෙ.ව.

    ආහ් මේ සෙලින්කෝ ගොඩනැගිල්ලේ කාර් පාර්ක් එකේ තමා මම කිව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් වෙනුවන් හදලා තියෙන ස්මාරකේ තියෙන්නේ🙂

     
  2. henryblogwalker

    ජූලි 2, 2012 at 12:39 පෙ.ව.

    මම ඒක දැකලා තියෙනවා හසිත. ඊට පස්සෙ ඒ පැත්තටවත් යන්න නොදීපු කාලයක් තිබ්බනෙ. ඒක තාම්න ඇති නේද?

     
  3. අටම්පහුර

    ජූලි 2, 2012 at 12:46 පෙ.ව.

    බලු බෙට්ටක් කල හරියක්. අර බුවාලා දෙන්නා අනිවා ආමී හිටපු පොරවල්.

    ඒකට මම නිතර යන තැනකට අල්ලපු බැංකූවේ සිකූරිටි බුවා.

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 1:02 ප.ව.

      වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් අටම්පහුර. නමුත් දෙන්නම මහත්තුරු සහ professionalsලා.
      ඇයි මොකද අර බුවා වලිද?

       
  4. අහවලා

    ජූලි 2, 2012 at 3:54 පෙ.ව.

    මගේ තාත්ත වැඩ කලෙත් ඔය මහජන බැංකු ශාඛාවෙ තමයි… මට මතකයි තාත්ත මං පොඩි කාලෙ මාව බැංකුවට එක්කගෙන යනවා…🙂 ඒවයෙ වැඩ කරපු ගොඩක් දෙනා හිත් හොඳ මිනිස්සු…
    දුක හිතෙන වැඩේ, ඔය සික්‍යුරිටි අයගෙන් එක්කෙනෙක් ඒ බෝම්බෙන් නැති වුන එක… එදා තාත්ත ගෙදර එනකල් ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ…

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 1:04 ප.ව.

      අනේ ඇත්තද අහවලා. ඒක නම් හරිම කණගා‍ටුදායක ආරංචියක් එහෙම වුනා නම්. මට හිතාගත්තෑකි ඔයා කොච්චර බය වෙන්න ඇත්ද කියලා එදා. මම හිටියෙ කොළඹ කොටහේනෙ එදා.

       
  5. ක්සැන්ඩර් | Xander

    ජූලි 2, 2012 at 6:39 පෙ.ව.

    කතාව බලු බෙට්ටක් ගැන වුනත් ඒකෙ යටින් යන කතාව ගොඩක් වෙනස්. ස්තුතියි ඩුඩ්

     
  6. Amarasinghe Sujatha

    ජූලි 2, 2012 at 7:56 පෙ.ව.

    ඒකනෙ දැං කොළඹ බල්ලො නැත්තෙ. මරනවාද කියලා නං දන්නැහැ. නමුත් එහෙම ආරංචියක් තියෙනව

     
  7. praveena

    ජූලි 2, 2012 at 8:11 පෙ.ව.

    කතාව කියවන්ට පටන් ගත්තු හැටියෙම මටත් මහා අමුත්තක් දැනුනා.🙂

     
  8. Gold fish

    ජූලි 2, 2012 at 8:40 පෙ.ව.

    ඒ අතින් බලද්දි නම් ඒ සිකියුරිටි බුවා හෙන හොඳයි වගේ. දැන් ඉන්න කොල්ලෝ නම් කරන්නේ කස්ටමර්ටම කියලා සුද්ධ කරවන එක….

     
  9. නරකයා..

    ජූලි 2, 2012 at 8:53 පෙ.ව.

    මහජන බැංකුව නේ…. අහන්නත් සතුටුයි ඒ මහත්තුරු දෙන්නා ගැන.. ඇඳුනුම් කමට හිටියද නැත්තං ඇත්තටම හිතලම හිටියද දන්නෙ නෑ.. හැබැයි රාජ්‍යය බැංකුවල ආරක්ෂක නිළධාරියො ඉන්නවා… බැංවේ අයිති කාරයො වගේ කතා කරන

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 6:39 ප.ව.

      හපොයි ඔව් නරකයා, බැංකුවෙ අයිතිකාරයෝ වගෙ කතා කරන ආරක්ෂක නිළධාරියො හරියට ඉන්නවා. මේක ලියන්න මූලික හේතුව ඒ දෙන්නා සම්ප්‍රදායෙන් පිට යෑම අගය කරන්නයි. ඒ දෙන්නා එක්ක මගෙ කිසිම පෞද්ගලික ඇඳුනුම් කමක් නෑ. නිතර යන නිසා මාව පාරිභෝගිකයෙක් හැටියට දන්නවා එච්චරයි. ඒ දෙන්නා කාටත් ආචාරශීලීයි.

       
  10. DDT

    ජූලි 2, 2012 at 8:55 පෙ.ව.

    මොකද අනේ අර බයික් එකේ නම්බර් ප්ලේට් එකට වෙලා තියෙන්නෙ. ඔයා පාරෙ යන්නෙත් ඒකෙ තාර උලාගෙන ද?🙂

     
  11. Weni

    ජූලි 2, 2012 at 9:00 පෙ.ව.

    සුළුතරයක් තමයි ඉන්නෙ ඔහොම අය..ගොඩක් අය කරන්නෙ ඕකෙ අනිත් පැත්ත තමයි..

     
  12. DeeJay

    ජූලි 2, 2012 at 9:18 පෙ.ව.

    මෙන්න නියම මහත්මා ගති තියෙන,ඇත්තටම ඇගයිය යුතු සෙකියුරිටි බුවලා.

    ඩුඩ් අවුරුදු ගණනාවකට පසුවත් මෙ අයව මෙහෙම අගය කරලා සිංහලෙනුත් පොස්ට් එකක් දාපු එක නම් හොඳම හොඳයි.

    ඔයා කිව්වත් වගෙ ඒ අය මෙ පොස්ට් එක දැක්කොත් මොන තරම් සතු‍ටු හිතේවිද.මොකද කියෙන් කිදෙනා එවැනි හොද ලක්ෂණ දකින්නෙත් ,කියන්නෙත්.

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 6:41 ප.ව.

      ඔව් ඩීජේ අන්න ඒකයි මේක ලිව්වෙත්. නමුත් අර ඉහල අහවලාගෙ කමෙන්ට් එක අනුව නම්…
      මම එහෙම නොවේවා කියලා පතනවා.
      ඔහොම මිනිස්සු තමයි අපට අවශ්‍යය.

       
  13. R.p. Susantha

    ජූලි 2, 2012 at 9:37 පෙ.ව.

    මටත් ඔය වගේ වැඩ වෙලා තියනවා. ඒත් දැන මේ වගේ මහත්තුරු සෙකියුරිටිලා හරි අඩුයි. ඉන්නවා හැබැයි අඩුයි. ආයතන අනුවත් කට්ටියගේ හැසිරීම වෙනස්.

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 6:59 ප.ව.

      හපොයි ඔය වගේ වැඩ වෙලා තියෙනවනම් ලියන්නකො වෙදනා අතරින් පතර.
      ආයතන අනුවටත් වඩා ඉන්න ලොක්කා අනුව තමයි මම හිතන්නෙ හැසිරීම වෙනස් වෙන්නෙ.

       
  14. abeetha

    ජූලි 2, 2012 at 10:41 පෙ.ව.

    කථාව යටින් දුවන ආදර්ශයයි වැදගත්…. උඹනම් ඉතින් බෙට්ටක් දැක්කත් කරේ දාගන්නවනේ….😀

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:00 ප.ව.

      අන්න අභීත දැක්කා යටි අරුත. මේ දවස්වල උඹ හැම දේකම යටි අරුත හොයනවා කියලා පේනවා.🙂
      උඹේ දෙවෙනි වාක්‍යය උඹ මට කිව්වට කමක් නෑ. බැරි වෙලාවත් මම උඹට කිව්වා නම් උඹයි උඹේ ඇඹේනියයි දෙන්නම මාව හිට් ලිස්ට් එකට දායි නේ? හික් හික් හූ! (විහිලු විහිලු ඈ?)😀😀

       
  15. රූ

    ජූලි 2, 2012 at 12:57 ප.ව.

    මට ආපු ප්‍රශ්නෙ තමයි ඇයි හෙන්රි මේ ඔපරේෂන් එක අස්සෙ තමන්ගෙ සපත්තු අඩිය දිහා බැලුවෙ නැත්තෙ කියලා..!!

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:01 ප.ව.

      රූ, ඒක මනුෂ්‍ය ස්වහාවය වෙන්න ඇති. නරක් දේවල් ඔක්කොම වෙන්නෙ තමන්ට නෙවෙයි අනිත් එකාටනෙ. අනික මම විතරක් නෙවෙයි. කිසිම කෙනෙක් තමන්ගෙ කකුල් උස්සලා බලනවා මම දැක්කෙ නෑ. සමහරවිට මට වගෙ එහෙම හිතුනෙ නැතිවෙන්න පුලුවන්. නැතිනම් හිතුනත් පුහුල් හොරා කරෙන් දැනේ කතාව මතක් වුනා වෙන්න පුලුවන්.

       
  16. Kandyan

    ජූලි 2, 2012 at 1:34 ප.ව.

    දැන්නම් ඒ පැත්තට බලු බෙට්ටක් තියා මී බෙට්ටක් වත් ගෙනියන්ට හම්බ වෙන්නෑ…ඒතරමට ආරක්ෂාව…

     
  17. Senna

    ජූලි 2, 2012 at 3:18 ප.ව.

    වැදගත් ආරක්ශක නිළධාරී මහත්වරු දෙන්නෙක්..

    දැන් ඔය ෆොටෝ එක ගත්තෙ කවුද ? මේ ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියෙන්නෙ ඇත්තටම ඩූඩ්ගෙ පින්තූරයක් නෙමේ කියලා තමා මම හිතන් හිටියෙ.. දැන් බලපුවම ඇත්ත එකක් වගේ නේද ?

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:04 ප.ව.

      ප්‍රොෆයිල් ෆෝටෝ එකයි අනිත් ෆෝටෝ ඔක්කොමයි ඇත්ත Senna.
      මේ ෆෝටෝ එකේ ඉන්නෙ මම තමයි. නමුත් මේ එදා ගත්ත එකක් නෙවෙයි.
      මේ ගිය අවුරුද්දෙද කොහෙද මගෙ චූටි පුතා ගත්ත එකක්.
      ජංජාලෙන් උස්සන එකකට වඩා මේක ගැලපෙයි කියලා මට හිතුනා

       
  18. සෑම්

    ජූලි 2, 2012 at 4:00 ප.ව.

    ආතල් කමෙන්ට් එකක් දාන්න හිතුවට අර සිකි්‍යුරිටි බුවාලාගේ හොද කම දැක්කම උබටවත් බයිටක් දෙන්න හිතුනෙ නැහැ මචං

    එදා උබ බේරුනා උන්ගෙන් / අද උබ බේරුනා සෑමගෙන්

    එතකල් උබට ජය🙂

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:09 ප.ව.

      ඉතින් දාපං බං. ආතල් comments are always welcome!
      හරි අදට බේරුනා කියලා සටහන් කරගත්තා.
      තව තියෙනවා උඹලෑ ගෙවෙල් කිට්‍ටුව වෙච්ච දේවලුත් දෙකක් ලියන්න…

       
  19. මඩිස්සලේ නිශාන්

    ජූලි 2, 2012 at 4:22 ප.ව.

    එළකිරි මනුස්සකම් ඇති සික්කලා

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:16 ප.ව.

      ඇත්ත නිශාන් සමහර සික්කලා නම් කියලා වැඩක් නෑ. දවසක් අම්මට බෙහෙත් ගේන්න ගිහින් අම්මා නගිනකල් මම ආරෝග්‍යා එක ඉස්සරහ වෑන් එක නවත්තගෙන හිටියා. එතකොටම ආව ඩොකෙක් කාර් එකේ. සික්කා ඇවිත් කලබල කරලා දොරේ එල්ලිලා දොරත් පැන්නනෙ රේල් එකෙන් පාර මැද්දෙ. ඌ නං මගෙන් අහගත්තා. මම තව ටිකක් වැඩිපුරත් නවත්තාගෙන ඉඳලා ආවේ අන්තිමට පාර බ්ලොක් වෙච්ච නිසා ඩොකාගෙ වාහනේට. යකෝ දොස්තරලගෙන් වැඩක් තියෙයිද ලෙඩ්ඩු නැත්නම් ඒ වගෙ ආයතනයකට?

       
  20. u4j10

    ජූලි 2, 2012 at 4:22 ප.ව.

    LOL

     
  21. රාජ්

    ජූලි 2, 2012 at 4:29 ප.ව.

    ඒ සිකියුරිටි අයියට මගේ ප්‍රණාමය!

     
  22. බුද්ධි

    ජූලි 2, 2012 at 5:49 ප.ව.

    කතාව කියවගෙන යද්දි මට උනානම් කියලා හිතද්දි ඇගත් එක්කයි හිරිවැටිලා යන්නෙ…..

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:20 ප.ව.

      හප්පේ, චූටි මහත්තයට නම් මෙහෙම දේවල් වෙන්නෙම නැති බව කෙහෙල් කො‍ටුව පැත්තට යන ඕනැම කෙනෙකුට අවබෝධ වෙනවා.🙂

       
  23. Sumith Niriella

    ජූලි 2, 2012 at 7:02 ප.ව.

    මටනම් ඔහොම දෙයක් වුනොත් ඉස්සෙල්ලම බලන්නෙ මගේ කකුල.

    සිකියුරිටි මහත්තුරු ගැනනම් බොහොම සතුටුයි. ඒ වගේ අය අපේ රටට ඔනම කාලයක් මේ

     
    • henryblogwalker

      ජූලි 2, 2012 at 7:23 ප.ව.

      ඇත්ත. නමුත් ඕවගෙ තව අය ඉන්නවා. මට මේ ගිය අවුරුද්දෙත් හමු වුනා එහෙම එක්කෙනෙක්. මම ඊ ගාවට එක ලියනවද කියලා කල්පනා කලේ, සුමිත්.

       
  24. hiruni

    ජූලි 2, 2012 at 7:08 ප.ව.

    චිහ්…. එතනදි මොනවා හරි සික්කලා දෙන්නා කිව්වා නම් වස ලැජ්ජාව..😀 ඇත්තට අගය කල යුතු කරුනක්…ඩුඩ් ඒක් අගය කිරීමත් අගය කල යුතු කරුනක්…:D

     
  25. henryblogwalker

    ජූලි 2, 2012 at 7:26 ප.ව.

    අන්න එහෙම නොකිව්ව එක සාමාන්‍ය ආරක්ෂක නිළධාරියෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි ආචාරශීලී කමක් .ඒකයි ඒක අගය කරන්න වටින්නෙ.

     
  26. අඩවි රජා

    ජූලි 2, 2012 at 8:21 ප.ව.

    හක්ක හක හක..🙂 🙂
    හොද වැඩේ…

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  27. අසරණයා

    ජූලි 2, 2012 at 8:37 ප.ව.

    දවසක් ස්කුල් බස් එකේ ගෑණු ළමයෙක ගොම බෙට්ටක් පාගල බසේකම ගඳ ගැස්සුවා. අපෝ අපි ඒ කෙල්ලට කියපු කතා . අපි සිකුරිටි මහත්වරු තරම් වත් හැදියාවක් නැහැ මතක වෙද්දීත් අප්සෙට්.

     
  28. සිතුවම්

    ජූලි 2, 2012 at 9:04 ප.ව.

    හයියෝ සංසාරේ ගූ හත්පොලේ ගාගෙන නොවැ

     
  29. Mee Godaya

    ජූලි 3, 2012 at 12:47 ප.ව.

    හත්පොලේ ගාලත් උබව නෝන්ඩි නොකරපු සිකියුරිටි බුවාට මගෙත් ප්‍රනාමය…..😀

     
  30. henryblogwalker

    ජූලි 3, 2012 at 9:15 ප.ව.

    අනේ ඔව් මී ගොඩයා. එහෙම බුවාලා හිඟයි. ඉස්තූතී වේවා.:D

     
  31. ගැමියාගේ පත් ඉරුව

    ජූලි 4, 2012 at 3:00 ප.ව.

    ඔහොම තත්වෙකට පත්වුනාම දැනෙන අපහසුතාව ගැන කියලා වැඩක් නෑ… මොනා උනත් ඒ සිකුයුරිටි බුවා නම් නියම මනුස්සයෙක්… ආයෙ දවසක ගිහින් වෙච්චි වැරැද්දට සමාවත් ඉල්ලලා ස්තූතිත් කරලා එන්න තරම් වටිනවා…….

    මට මතක් වුනා අපි පොඩි කාලේ ඉස්කෝලෙ යද්දි තිබුනු නීතිය.අනිවාර්යෙන් මොකෙක් හරි එකෙක් බෙට්ටක් පාගගෙන එනවමයි පන්තියට.මේක ඉවසන්න බැරි වෙච්චි තැන අපේ මිස් යෝජනා කලා බෙට්ටක් පාගගෙන ඇවිත් පන්තියේ ගෑවොත් අනිවාර්යෙන් පන්තිය වගකිව යුත්තා තනියම හෝදන්න ඕනේ… ඒ විතරක් නෙමෙයි ඩෙස් පුටු පවා..(ඕක පාගගෙන ඇවිත් පුටු කකුලුයි ඩෙස් කකුලුයි නැතිම කරනවනේ)

    එදා ඉඳන් පුදුම පරිස්සමෙන් තමා පාරෙ ඇවිදින්නේ.මම ඉස්කෝලෙ යන්නේ පයින්ම නිසා සෑහෙන්න පරිස්සම් වුනා.ඒ වගේම පන්තියට යන්න කලින් කකුල් සපත්තුවෙ අඩිය හොඳට බලලා තමා යන්නේ.ඒ පුරුද්ද ඉස්කෝලෙ ගිහින් ඉවරවෙනකන්ම තිබුනා… මේ බෙටි සම්බන්ධ රහස් පරීක්ෂක කතාවකුත් තියෙනවා.අනාගතේ දවසක වෙලාවක් ලැබුණු ගමන් දාන්නම්කෝ…

     
    • henryblogwalker

      ජූලි 4, 2012 at 8:40 ප.ව.

      අහා, ගැමියා ඉතින් ඒ බෙටි සම්බන්ධ රහස් පරීක්ෂක කතා දාන්නකො බ්ලොගේ. එතකොට බොග් බ්ලොග් පෝස්ට් කියලා නම කරන්නත් පුලුවන්නේ.😀

      ගැමියගෙ කමෙන්ට් එකේ මෙන්න මේ කොටස ගැන මගේ අදහස් ප්‍රකාශ කරන්න හිතුනා.

      //මොනා උනත් ඒ සිකුයුරිටි බුවා නම් නියම මනුස්සයෙක්… ආයෙ දවසක ගිහින් වෙච්චි වැරැද්දට සමාවත් ඉල්ලලා ස්තූතිත් කරලා එන්න තරම් වටිනවා……//

      මම මෙතනදි ‘බැංකුව’ කියන වචනේ පාවිච්චි කලාට මේක රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට පොදුයි, හරි?

      ඉස්සෙල්ලම බැංකුවට වැදගත්ම පුද්ගලයා බැංකුවේ කළමනාකාරයාවත් අයිතිකාරයාවත් නෙවෙයි. මේ පාරිභෝගිකයන් වන අපියි. බැංකුව පවත්වාගෙනයන්නෙත්, එහි සියලුම සේවකයන් ඉන්නෙත් පාරිභෝගික අපට සේවය කරන්න. අපි නැත්නම් බැංකුව වහන්න වෙනවා. සේවකයන්ට ‍රැකියා අහිමි වෙනවා. ඔන්න ඔය මූලික සත්‍යය පාරිභෝගික අපිටත් අමතක වෙනවා වගේම බැංකු සේවකයෛනුත් තමන්ගෙ වාසිය තකා නොසලකාහරිනවා. ඔය අවබෝධය තියෙන අය පාරිභෝගිකයන්ට ගෙම්බර් දාන්නෙ නෑ කවදාවත්. මෙතනද් ජාතියක් හැටියට අපෙත් තියෙන නිවට කොන්ද පනනැතිකමත් නොසෑහෙන බලපෑමක් කරනවා.

      අනික අපි අසාධාරනය සාමාන්‍යකරනය වෙච්ච ඒවාගෙම ඒ තත්වය සාධාරනීකරනය කරන්න උත්සාහ කරන සමාජයක ජීවත් වෙන්නෙ. ඉතින් කෙනෙක් තමන්ගෙ රාජකාරිය හරියට කලොත් අපි වහාම ඒකෙ විශේෂත්වයක් දකිනවා, ඒ මොකද ඒ සිදුවීම “සාමාන්‍ය” ක්‍රමයට විරුද්ධ නිසා. ඇත්තෙන්ම බැංකුවෙ ආරක්ෂක නිලධාරීන් කලේ තමන් කල යුතු දේ සහ නිවැරදි දේ. ඔවුන් “සාමාන්‍ය” ආකාරයට වැඩ කලා නම්. මාව වචනයකින් හරි අපහසුවට පත් කලා නම් මම මුලින්ම කළමනාකරුට කියනවා බැංකුව ගැන මම හිතන දේ මගේ වචන වලින්ම. ඊ ලඟට මගේ ගිණුම වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දාලා වෙනත් බැංකුවක් හොයාගෙන යනවා. ඊට අමතරව බැංකුවට හැම අවස්තාවකම නරක ප්‍රසිද්ධියක් ලබා දෙනවා පාරිභෝගික සේවාව ගැන. කාටද පාඩු? බැංකුවටම නේද?
      නමුත් මේ බුද්ධිමත් ආරක්ෂක නිලධාරීන් ක්‍රියාකරපු ආකාරයට මම දැන් කලේ ඒට ඉඳුරාම වෙනස් දෙයක්. බලන්න මේ සිදුවීම වෙලා අවුරුදු කීයක්ද? අර බෝම්බෙටත් කලින්. මම අදත් ඒක අගය කරනවා නේද?

      තව දෙයක් මේ බැංකුවෙන් සේවය ලබාගන්නෙත් ඈත ගමක බැංකුවකින් සේවය ලබාගන්න අහිංසක පාරිභෝගිකයන්ට වඩා වෙනස් සමාජ ස්තරයකින් පැමිනෙන අය. (මම පොරක් කියනවා හෙම නෙවෙයි හරි?) කොළඹ බැංකු ඕනෙ තරම් තියෙනවා. පාරිභෝගිකයො තමන්ගෙ අයිතීන් ගැන අවබෝධයකින් පසුවෙන්නෙ. ඈත ගමක හෝ නගරයක බැංකුවක මහජන සම්බන්ධතාවය මීට වඩා වෙනස් වෙන්න පුලුවන්. මම මෙයින් අර බැංකු ආරක්ෂක නිලධාරීන් අවතක්සේරු කලා හෙම නෙවෙයි.

      ඒ වගෙම බලු බෙට්ට මගෙ කකුල ගෑවුනේ බැංකු පරිශ්‍රයෙම තිබිලා. ඒ කියන්නෙ කවුරු හරි තමන්ගෙ රාජකාරිය පැහැර හැරලා. හරි නම් කෑ ගහන්න ඕනෙ මම.

      බලු බෙට්ට මම ගෙදර ඉඳලා ගාගෙන ආවත් මේ තත්වයේ වෙනසක් නෑ. ගැමියා දැකලා ඇති ටයිල් අල්ලපු සමහර කඩවලට යනකොට පාරිභෝගිකයා පාවහන් ගලවල යන්න ඕනෙ තැන් තියෙනවා. මේක තනිකර වැරදි දෙයක්. පාරිභෝගිකයා හරිනම් මේවගෙ තැන් වර්ජනය කරන්න ඕනෙ. මිනිස්සු ඇතුලට වැලි ගේනවා නම් කඩ හිමියා ඒක වරින් වර පිරිසිදු කරන්න ඕනෙ. මේකත් පාරිභෝගිකයගෙ නිවටකමත් තමන්ගෙ අයිතිවාසිකම් නොදැන සිටීමේත් ප්‍රතිඵලයක්.

      එතකොට මම බලු බෙට්ට ගාගෙන ගියාම, අර ක්ලීනිං කෲ එක තියෙන්නෙ ඒවගෙ අවස්ථාවලට මුහුණ දෙන්න තමයි. ඉතින් මෙතන වෙලා තියෙන්නෙ විය යුතුදේ වියයුතු ආකාරයටයි. ටියුෂන් පන්තියකට යන ශිෂයයෙකුට තියෙන අයිතිවාසිකමයි, බැංකුවක පාරිභෝගිකයෙකුට තියෙන අයිතිවාසිකමයි සසඳන්න බෑ. ඒකත් එහෙම නොවියයුතුයි. මම ඒ ගැන කතා කරන්න කැමති නෑ.

      එතකොට අවසාන වශයෙන්, මෙතනදි වුනේ, විය යුතු දේ නියමාකාරයෙන් ක්‍රියාත්මකවීමත්, එසේ වීම
      මේ අසාධාරණ සමාජයට විශේෂ දෙයක් වීමත් නිසා මේක ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒ දෙන්නට විශේෂයෙන් ස්තුති කරලා ඒ අය දිරිමත් කිරීමයි.

      අනිත් තැනුත් ඔය වගේ වෙන සහ පාරිභෝගිකයන් තමන්ගෙ වටිනාකම තේරුම්ගන්න දිනයක් උදාවෙනකල්,මම ආසාවෙන් බලා සිටිනවා.

      ගැමියා අනිත් අයගෙ අදහස් නිහතමානීව පිළිගන්න කොල්ලෙක් නිසාමයි මම මේක ලිව්වෙ. ස්තුතියි ගැමියෝ.

       
      • ගැමියාගේ පත් ඉරුව

        ජූලි 5, 2012 at 12:53 පෙ.ව.

        //. මම මෙයින් අර බැංකු ආරක්ෂක නිලධාරීන් අවතක්සේරු කලා හෙම නෙවෙයි.//

        මම මෙහෙම අදහසකින් හිතලා නෙමේ මේ කොමෙන්ට් එක දැම්මේ.ඩුඩි කියන්නේ කවුද කියන එක මම සෑහෙන දුරකට තේරුම් අරගෙන ඉන්නවා කියලයි හිතුවේ.වැරැද්දට එරෙහි වීමත් හරි දේ පැසසීමත් ඔයාගේ නියම ගති ගුණයක්…

        මම හිතුවා ඩුඩි අයියා ආයෙ ගිහින් මෙන්න මේකයි වුනේ කියලා කියන්න ඇති කියලා.එක පාරටම මොලේට ආවේ නෑනේ මේ ලියලා තියෙන්නේ ස්තූතිය පුද කරන ලිපියක් කියලා…. වස වැරැද්දක් වෙලා තියෙන්නේ…

        //බලන්න මේ සිදුවීම වෙලා අවුරුදු කීයක්ද? අර බෝම්බෙටත් කලින්. මම අදත් ඒක අගය කරනවා නේද?//

        සහතික ඇත්ත…. මම ගරු කරනවා ඒකට

        //ගැමියා දැකලා ඇති ටයිල් අල්ලපු සමහර කඩවලට යනකොට පාරිභෝගිකයා පාවහන් ගලවල යන්න ඕනෙ තැන් තියෙනවා. මේක තනිකර වැරදි දෙයක්. පාරිභෝගිකයා හරිනම් මේවගෙ තැන් වර්ජනය කරන්න ඕනෙ. මිනිස්සු ඇතුලට වැලි ගේනවා නම් කඩ හිමියා ඒක වරින් වර පිරිසිදු කරන්න ඕනෙ. මේකත් පාරිභෝගිකයගෙ නිවටකමත් තමන්ගෙ අයිතිවාසිකම් නොදැන සිටීමේත් ප්‍රතිඵලයක්//

        මේකත් ඇත්ත එහෙම තැන් සෑහෙන්න තිබුනා ඒ විතරක් නෙමේ මොනා හරි දෙයක් ගන්න ගියාම ඒ ඒ අයගේ දරදඬු නීතිරිති වලට යටත් වෙන්න වෙච්චි තත්ව පවා තිබුනා.සමහරක් ඒවා සෑහෙන්න අසාධාරණයි.

        අනික අයියේ මම අර පන්තියට යද්දි සපත්තු අඩිය බලන කතාව කිව්වේ මගෙ ඒ ගැන තිබුණු බය පෙන්නන්න මිසක් ඔයාගේ වරදක් පෙන්නන්න නෙමෙයි හොඳේ… ඇත්තටම සමහර දේවල් පිළිබඳ මගෙත් ඇස් ඇරුණා… බොහෝම ස්තූතියි ඒකට සහ දිග අර්ථවත් පිළිතුරු කොමෙන්ටුවටත්…. හිත රිදවීමක් වුනා නම් සමාවත් අයදිමි

         
        • henryblogwalker

          ජූලි 5, 2012 at 7:58 පෙ.ව.

          Repeating: ගැමියා අනිත් අයගෙ අදහස් නිහතමානීව පිළිගන්න කොල්ලෙක් නිසාමයි මම මේක ලිව්වෙ. ස්තුතියි ගැමියෝ.
          I have been correct about that!🙂

           
  32. හංසකිංකිණි

    ජූලි 4, 2012 at 3:33 ප.ව.

    කියන්ඩ කට නලියනවාය…………..හැබැයි මොකුත් නොකියමි😀
    මං කියන්ඩ ඉන්න දේ කිව්වොතිං උඹ මාව හොයාගෙන ඇවිත් මරණවාය

     
  33. henryblogwalker

    ජූලි 4, 2012 at 8:01 ප.ව.

    එක අතකට මට හිත කියවන්න බැරිවෙච්ච එකත් හොඳය.අර විස්ල් එක නම් පට්ටය.🙂

     
  34. chami4u

    ජූලි 5, 2012 at 9:28 පෙ.ව.

    සිකුරිටි බුවාලා දෙන්නා හොදයි…ඩුඩ් ට නිකමටවත් බැංකුව ඇතුලෙදි සපත්තුව උස්සලා බලන්න හිතුනු නැති ඒකනේ වැඩේ … බයික් එකට නගිනකොට සිකුරිටි එකේ අය බලාගෙන හිටියේ නැද්ද?… මාර සීන් එක..

     
    • henryblogwalker

      ජූලි 5, 2012 at 5:20 ප.ව.

      චමී, මම මුල ප්‍රශ්නෙට උත්තරේ හැටියට ‘රූ’ ට දීපු උත්තරේම මෙතන දාන්නම්.,

      “ඒක මනුෂ්‍ය ස්වහාවය වෙන්න ඇති. නරක් දේවල් ඔක්කොම වෙන්නෙ තමන්ට නෙවෙයි අනිත් එකාටනෙ. අනික මම විතරක් නෙවෙයි. කිසිම කෙනෙක් තමන්ගෙ කකුල් උස්සලා බලනවා මම දැක්කෙ නෑ. සමහරවිට මට වගෙ එහෙම හිතුනෙ නැතිවෙන්න පුලුවන්. නැතිනම් හිතුනත් පුහුල් හොරා කරෙන් දැනේ කතාව මතක් වුනා වෙන්න පුලුවන්.”

      බයික් එක නවත්තලා තියෙන තැන ඒ අයට පේන්නෙ නැත්තෙ බැංකුවෙම බිත්තියට පොඩ්ඩක් මුවා වෙලා තිබ්බ නිසයි. ඒ නැතත් එයාලා සීන් එක දන්නවනෙ.

       
  35. Rashod

    ජූලි 5, 2012 at 2:34 ප.ව.

    බලු සීන් එකක්නේ බන්ස්.මේක ඇත්තටම වෙච්ච එකක්ද?

    ලන්කාවේ ප්‍රතම සින්හල වෙබ් අඩවි එකතුවට ඔබේ වෙබ් අඩවියත් එකතු කරන්න අරාධනා ..
    enryblogwalker
    http://site.myshouter.com

     
  36. henryblogwalker

    ජූලි 5, 2012 at 5:25 ප.ව.

    Rashod, සාදරයෙන් පිළිගනිමි. මේ බ්ලොගේ ලියලා තියෙන්නෙ ජීවන අත්දැකීම්. සමහර වෙලාවට සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයිනෙ.
    මම ඉඩක් ලැබුන හැටියෙම myshouter.com පැත්තෙ එන්නම්. ස්තුතියි ආරධනාවට.

     
  37. Gaminie Vijith

    ජූලි 6, 2012 at 12:31 ප.ව.

    මමත් දවසක් බලු පැටියෙක් පාගලා ඇවිත් දෙපාර්තමේන්තුවෙ වාහනේකට ගොඩවෙලා ගඳ ගැස්සුවා. එදා හිටපු ඩ්‍රයිවරයා නෝබට් කියලා මට ඉතාම හිතවත් එකෙක්. ඒ නිසාම ඌ කරබාගෙන ඇවිත් ඇලක් ලඟ නවත්තලා වාහනේ හෝදගත්තා.

    තව කෙනෙක් කරන වරදක් කරබාගෙන ඉවසන්නත් ලොකු මානසික ශක්තියක් තියෙන්න ඕනෑ මචං.

     
  38. සිඳු

    ජූලි 6, 2012 at 8:51 ප.ව.

    හෆොයි…… සර්ටත් වෙච්ච් දෙයක් . මට හිනා යනව හොඳටම
    ඒක නෙමේ, මොකද ඒවට බලු පැටවු කියන්නෙ?

     
  39. Anithkona

    ජූලි 6, 2012 at 9:06 ප.ව.

    හරි පුදුම මිනිස්සු…. ඒ අය එහෙම කල එක හොඳයි. හිතා ගන්නවත් බෑ. සාමාන්‍යයෙන් ඒ බව පෙන්වන්නමනේ හදන්නේ….ඒකට අපේ වාට්ටු වලට එන කට්ටිය (වැඩ කරන අය ඇරුනම සියලු දෙනා) ඇතුලට යන්න ඕනේ සෙරෙප්පු ගලවලා… අපිටනම් නීති නෑ. කොහොමත් අපි සෙරෙප්පු නිතර මාරු කරනවා. වෙනම කුට්ටම් තියා තියෙනවා තැනේ හැටියට.

     
    • henryblogwalker

      ජූලි 6, 2012 at 10:12 ප.ව.

      දිල්රු, ඔපරේෂන් තියටර් එකකට, ICU නොමේරූ ළදරු ඒකකය වගේ තැන්වලට පාවහන් දාන්න එපා කියන එක සාධාරනයි. මේ ටයිල් දාපු කඩේකට යනකොට පාරිභෝගිකයො සෙරෙප්පු ගලවල යන්න කියනවා නම්, අපි ඒ කඩේට නොයා ඉන්න එකයි කරන්න ඕනෙ. අර මං උඩ කමෙන්ට් එකේ ගැමියාට කියලා තියෙන්නෙ.
      ස්තුතියි කමෙන්ට් එකට.

       
      • anithkona

        ජූලි 8, 2012 at 8:17 පෙ.ව.

        ඔබ කියූ කතාව හරියට හරි…ඔබ අනිත්කොණට ආවානම් තේරෙයි…. සමූපකාරෙටත් යන්න ඕනේ සෙරෙප්පු ගලවලා. අපිනම් ඒවා කරන්නෙ නෑ. අපිට කරන්න කියන්නෙත් නෑ අර ගෞරවේ නිසා. නමුත් සාමාන්‍ය මිනිස්සු මෙහෙ ටයිල් කරපු කඩවලට යන්නේ සෙරෙප්පු එළියෙන් ගලවලා. ඇත්තටම මම නම් එහෙම කඩ වලට නොගිහින් ඉන්නවා.

         
  40. Hareendra Perera

    ජූලි 6, 2012 at 9:20 ප.ව.

    පැනලාදෙනකොටම මම හිතුවා නාගන්න තමයි යන්නෙ කියලා..:)

     
  41. henryblogwalker

    ජූලි 6, 2012 at 10:14 ප.ව.

    ඒක හරි, කට ඉස්සර කර ගත්තොත් බඩුම තමයි සමහර වෙලාවට. ස්තුතියි හරී.

     
  42. Nalini

    ජූලි 6, 2012 at 10:46 ප.ව.

    බොභොම ආචාරශීලී සේවක පිරිසක් ඉන්න තැනක් වගෙයි.

     
    • henryblogwalker

      ජූලි 6, 2012 at 10:51 ප.ව.

      එදා නම් එහෙමයි නලිනි, අදනම් කොහොමද දන්නෙ නෑ.
      මේ මහ බැංකු බෝම්බෙට පෝඩ්ඩකට කලින්.
      ස්තුතියි මේ පැත්තෙ ආවට.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: