RSS

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

07 Jul
73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

අපේ ගෙදර තිබ්බ හැම ගෘහ භාණ්ඩයකම ගහලා තිබ්බා ලේබලයක්. ඒකෙ තිබ්බෙ තාත්තගෙ නමයි, අහවල් දුම්රිය ස්ථානාධිපති බාරේ, අහවල් දුම්රිය ස්ථානය, අහවල් නගරය, කියලා. ඒකෙන් අදහස් වුනේ රජයේ නිළධාරියෙකු වූ තාත්තා, ස්ථාන මාරුවක් ලැබෙන ගානෙ, තමන්ගෙ දරු පවුලත් අරගෙන බඩු මුට්‍ටු පොදි බැඳගෙන ලංකාවෙ විවිධ ප්‍රදේශ වල සේවයට ගියා කියන එකයි.

රජයේ නිලධාරියාගේ බඩු භාණ්ඩ රජයේ වියදමින් ආසන්නම දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කරලා දෙනවා. ඉතිරි දුර ලොරියකින් ගෙනිහින්, බිල් ඉදිරිපත් කරලා ගමන් වියදම් ලබාගන්න පුලුවන්. මේක කොච්චර පිස්සු වැඩක්ද කිව්වොත් නවගමුවෙ ඉඳලා බලංගොඩ යන බඩු ලොරියකින් මරදානට ගෙනිහින් කෝච්චියට පටවලා, කෝච්චි පෙට්ටියක් කුලියට අරන් ඕපනායකට යවනවා. ඕපනායක ඉඳලා අච්චර දුර බලංගොඩට නැවත ලොරියකින් ගෙනියන්න ඕනෙ. ආපහු එන දවසකත් බඩු ගන්න මරදානට යන්න ඕනෙ.

තවමත් කෝපි කාලෙ සුද්දො කිව්ව විදියට වැඩ කරන අපට ඕක මහ පුදුමයකුත් නෙවෙයි. මේ මෑතක් වෙනකල් ගමන් ගාස්තු ඉල්ලන අයැදුම් පතේ ගමන ගියේ අශ්වයා පිටින්ද කියලා අහලා තිබ්බා මට මතකයි. මට නම් ඕක පුරවන්න වෙන්නෙ ඡන්ද රාජකාරි වලට ගිය වෙලාවටයි.

මට මතකයි තාත්තා ලොරියකුත් කතා කරගෙන ලොරි රියැදුරාට ස්ටේසමට එන්න කියලා එයා යනවා ගල් පාන්දර එයාගෙ තඩි BSA මෝට බයික් එකේ Yale ඉබ්බන්ගෙ යතුරුත් අරගෙන. ඒකට හේතුව තමන් කුලියට ගත්ත කෝච්චි පෙට්ටියට වැඩි හොඳට තමන්ටත් ඉබ්බෙක් දාන්න පුලුවන් කැමතිනම්. ඉතින් පරක්කු වුනොත් කම්කරුවො ඉබ්බා කඩලා බඩු බානවා. බානවා කියන්නෙ වීසිකරනවාලු. තාත්තා දුවන්නෙ ඊට කලින්. මොකද ඒ අය බඩු බාන්නෙ හරිම විනාශකාරී විදියට කියලා අපි විශ්වාස කලා. විශේෂයෙන්ම අයිතිකාරයා ලඟ නැති වෙලාවට අල්ලලා විසි කරනවලු කකුල් කැඩිලා යන්න. මොකද තමන්ගෙ බඩු නොවන නිසා.

වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න මම හිතාගෙන ඉන්න මේ කාරණාව හුදෙක් කල්පිතයක් නොවන බව අපිට වැටහුනේ පහු කාලෙක ගුවන් තො‍ටුපල වලදී. විශේෂයෙන්ම අපේම ගුවන්තො‍ටුපලේදී. එක වතාවක් මම ගෙනාවා කෑලිගලවලා ලස්සනට පෙට්ටියට අහුරපු පොත් රාක්කයක්, අපේ ගමන් බඩුත් එක්ක. මේක කන්වේයර් බෙල්ට් එකේ එලියට ආවේ කෑලි කෑලි, කවුද කාලකන්නියෙක් හිතාමතාම ඒක උස්සලා අතෑරලා. කෑලි ටික ඔක්කොම හොයාගත්තෙ හරිම අමාරුවෙන්.

මේ බලන්න අන්තිමට ආපු වතාවෙ මේ අලුත්ම බෑග් එකේ කකුල් කඩලා තියෙන හැටි. මේ නම් පැහැදිලි ඊර්ෂ්‍යාව මිසක් වෙන මොකවත් වෙන්න බැහැ. මේ ගැන අපිට ඇත්තෙන්ම මොකක්ද කරන්න පුලුවන්?

පදිංචිය වෙනස් කිරීම දුකත් සතුටත් මිශ්‍ර හැඟීමක්. අත්වලට කාඩ්බෝඩ් තියලා ගැට ගහපු පු‍ටුසෙට් වෙනම.ඇඳන් ගලවලා වියල් එකට කාඩ්බෝඩ් තියලා බැඳලා. ලෑලි එකේ සිට අංක යොදලා මිටි බැඳලා. අල්මාරිය කෑලිවලට ගලවලා කාඩ්බෝඩ් මැද්දට තියලා මිටි බැඳලා. කාඩ්බෝඩ් පෙට්ටි පෙට්ටි ගේ පුරාම. පිඟන් එකින් එක අතරට පත්තර කෑලි දාලා වෙනම පෙට්ටියක. පෙට්ටි වල ගමනාන්ත ලේබල් වලට අමතරව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා හොයාගන්න ලේසිවෙන්න තවත් ලේබල් අලවලා. කුස්සි බඩු යටතේ සාස්පාන්, හැඳි, කේතලේ, යනාදී වශයෙන් විස්තර ඇතුලත්. තව පෙට්ටියක පුතාගෙ සෙල්ලම් බඩු කියලා ලියලා. මගෙ, (දැන් නංගිගෙ) ට්‍රයිසිකලේ හැඬල් එකේ ටැග් එකක් එල්ලලා. මිරිස් ගල ගෝනියකින් ඔතලා. එතකොට අරන් යන්නෙ මොනවද, දාලා යන්නෙ මොනවද කියලා තීරණය කරන්න නොයෙකුත් විවාද.

“මේ ඔක්කොම මල් පෝච්චි ගෙනියන්නම ඕනෙද?.”

“මොකටද අනේ මේ කෙහෙල් පැලේකුත් අරන් තියෙන්නෙ, නැතුවට?”

බඩු ඇසුරුවට පස්සෙ කෑම බීම අසල්වැසියන්ගෙන්. ගමේදි නම් නෑදෑයන්ගෙන්. ගමනාන්තයට ලංවුනාමත් එහෙමයි.

බඩු අලුත් තැන්වල ස්ථානගත කරන එක වෙනම කලබලයක්.පින්තූර එල්ලන්නෙ කොතනද, ඔර්ලෝසුව එල්ලන්නෙ කොතනද, මේ කාමරේ කාටද, ඇඳ තියන්නෙ කොතනද, වාගෙ. එක ගෙදරක තාත්තා දිග බාගෙ බිත්තියකින් වටවෙලා තිබ්බ ඉස්තොප්පුවෙ එක පැත්තක් ලෑලි වලින් පාටිෂන් දාලා කන්තෝරු කාමරයක් හැදුවා මට මතකයි.

අපිට ඒ කාලෙ බල්ලො නම් කොහොමත් හදන්න බැරි වුනත් පූසො, එතකොට කුකුලො රංචුවක් හෙම හිටියා.

කලින් කිව්ව වගෙ දුම්රිය සංක්‍රමණික ජීවිතයට තදින්ම බැඳී තියෙන දෙයක්. මගෙ හද බැඳගත්  වාහනයක් වගේම ප්‍රවාහන මාධ්‍යයක්. දුම්රියෙ හඬ, දුම්රිය ස්ථානයක දකින්නට අත්විඳින්නට ලැබෙන ඊටම ආවේනික ජීවන රටාව, ඈතින් මතුවෙන දුම්රියක් දු‍ටුවිට දැනෙන හැඟීම, දුම්රිය වේදිකාවෙ නැවතුන පසු ඇතිවන කලබලය, මොන භාෂාවෙන් කිව්වත් මෙලෝ යකෙකුට නොතේරෙන දුම්රියපලේ ශබ්දවිකාශන වලින් කෙකර ගාන නිවේදන වල දෝංකාරය කුඩා මගේ හිතේ ඇතිකලේ පුදුමාකාර චමත්කාරයක්.

මේ අද පවා මට දුම්රියක් හරි ගුවන් යානයක් හරි පිටත්වෙලා යනවා දකිනවිට පුදුමාකාර පාලු ගතියකුයි හිතට බර ගතියකුයි දැනෙනවා. මට කිසිදාක දුම්රියක හඬ ගොරහැඩි ඝෝෂාවක් වගේ ඇහිලා නෑ. ගොරවන දුම්රිය එන්ජිම, පීලි වලින් නැගෙන ‘ටක -ටකස් – ටක ටකස්’ හඬ, දුම්රියේ ඇතුලට දැනෙන නැලවිල්ල, ගැස්සිල්ල, පැද්දිල්ල, තව දුම්රිය මැදිරියකටම ආවේනික සුවඳ මට වෙනම සුරංගනා ලෝකයක්. එතකොට දුම්රියේ ජනේලය 3D රූපවාහිණී තිරයක් වගේ නොවෙයිද? දුම්රිය ගමනකදි මම හැමතිස්සෙම පොරකෑවෙ අයිනෙ ඉඳ ගන්න. හුලං පාර මූනට වැදිලා එසවෙන අකීකරු හිසකෙස්, එක ප්‍රමාණයකට මුහුණ එසවූ විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව, කට ඇරිය විට කට තුලට හුලං පිරී පිම්බෙන දෙකම්මුල් සහ එවිට තරඟයට හුලං ගිල දැමීම, හුලං පහරේ සැරට දෑස් වලට නැගෙන කඳුළු අත් නොවිඳි දරුවන් ඇත්ද? දුම්රිය ජනේලයකින් පිටත බලා ඉන්නාවිට ලඟින් තියෙන දේ වේගයෙනුත් ඈතින් පිහිටි දේ ඉතා හෙමිහිටත් ආපසු ගමන් කරන හැටි මතකද?

දුම්රියේ මැදින් ඇති කොරිඩෝව දිගේ මැදිරියෙන් මැදිරියට ඇවිදගෙන යෑම වික්‍රමාන්විත ක්‍රියාවක්. අලුත් අලුත් මුහුණු තම තමාගෙ ලෝක වල. මැදිරි දෙකක් එකතුවෙන තැන්වල තියෙන concertina joint එක තරණය කිරීම , ත්‍රාසජනක අත්දැකීමක්. එකක් මත එකක් වැටී පැද්දෙන දුම්රියේ චලිතයට අනුව එකට ඇතිල්ලෙමින් මැදෙන වානේ තහඩු දෙක මතින් අනතුරකින් තොරව මාරුවීම හැදෑරියයුතු කලාවක්.

කුඩාම කාලෙ අවසර නොලැබුනත් පසුව දුම්රිය පාපුවරුවේ ඉඳගෙන යාම මම ඉතාම ප්‍රිය කරන දෙයක්. කැලෑ මැදින්, පාලම් මතින් ගමන් කරන දුම්රිය එක වරම දුමරිය හරස් පාරක් හරහා ගමන් කරද්දි , ටිං ටිං ගා නාදවෙන හරස් පාරේ සීනු හඬත් සමගම, යකඩ යකාට යන්න දීලා නැවතිලා බලන් ඉන්න වාහන දැක්කම “රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි”, තාලෙට හිතෙන් කියවෙනවා.

දුම්රිය නැවතුම්පලවල් වලදී නගින විවිධ වෙලෙන්දන් ඉස්සො වඩේ, තැම්බූ බඩ ඉරිඟු,රටකජු, පැලපී, තේ, කිරි තේ, කෝපි, පත්තර, ලොතරයි පළතුරු, සිසිල් බීම, රසකැවිලි, සෙල්ලම්බඩු යනාදී එකී නොකී සියලු දේ මගීන්ට විකුනන්නට උත්සාහ කරනවා.පිරිසිදුකම ගැන නම් සහතිකයක් නැතිවුනත් අපි කොයි තරම් කඩචෝරු කාලා ඇත්ද ඔය වෙලෙන්දන්ගෙන්. ගෙදරින් හදාගෙන යන කෑමත් දුම්රිය මැදිරිය ඇතුලේ ඉඳන් කනකොට අමුතු රසයක් තියෙනවා.

දවසක් අපි පවුලම බදුලු දුම්රියේ නිදන මැදිරියක යනවා. තාත්තයි මායි නිදා ගත්තෙ උඩ බංක් එකේ. ලයිට් ස්විච් එක මගෙ අත ගාවම. සීලිම අතින් අල්ලන්න පුලුවන්. මම කවදාවත් බලබ් එකකට මෙච්චර ලඟින් ඉඳලා නැතුව ඇති. මගෙ වැඩේ ටකස් ටකස් ගාලා ලයිට් එක දානවයි නිවනවයි. මගෙ කුඩා හිතට මේක පුදුමාකාර සතුටක් ලබා දුන්නා.  ලයිට් එකත් ගෙදරක බල්බ් එකක් තරම් රත් වෙන්නෙත් නෑ එච්චර එලියත් නෑ. පස්සෙ අන්තිමට තාත්තා කෑගහනවා මට මතකයි, “මොන කරදරයක්ද ළමයො, නිදාගන්නකො ඔය ලයිට් එකට තියෙන්න ඇරලා” කියලා. මේ සුලු සිද්ධිය අදත් මගෙ හිතේ මෙච්චරම ගැඹුරට කා වැදිලා තියෙන්නෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ.

පසු කාලෙක පේරාදෙණියෙ ඉන්න කාලෙ නුවර කෝච්චියෙ එද්දි මම ගියා සුපුරුදු විදියටම අර දුම්රිය මැදිරියෙ ටොයිලට් දෙක තියෙන වංගුවෙ ඉඳන් දුමක් අදින්න. සිගරට් එක තිබ්බට ගින්දර නැති එක අපේ ලක්ෂනයක්නෙ. ඉතින් සිගරට් ‍ෆිල්ටර් එක අත් ඔරලෝසුවෙ තට්‍ටු කරන ගමන් මම ඉල්ලුව ගින්දර ටිකක් ලඟම ඉන්න සුද්දාගෙන්. තුන්වෙනි පන්තියෙ ටොයිලට් එකේ පිටපැත්තෙ බිත්තියට පිට දීලා බිම ඉඳගෙන දුමක් අදිමින් සිටි සුද්දා රත්තරන් පාට වටිනා ලයිටර් එකක් මට දික්කලා. මගේ දුම්වැටිය දල්වාගෙන ලයිටරය ආපසු දෙනවිට, මගේ වාගේම නිල් පැහැය දියවී ගිය ඩෙනිම් ජීන්ස් එකකුත්, ටී ෂර්ට් එකකුත් හැඳගෙන ගමන් බෑගයක්ද සමග සිටි සුද්දාගේ දුම්වැටිය දිහා මට බැලුනේ ඉබේටම. මේකා බොන්නෙ බීඩියක්නෙ!

ටිකකින් දෙන්නම කතාවට වැ‍ටුනා.

සුද්දා ජර්මන් කාරයෙක්. මම ගුරු ශිෂයයෙක් කිව්වාම සතුටින් හිනාවෙලා ඔලුව වනපු සුද්දගෙන් මම ඇහුවා එයා මොකද කරන්නේ කියලා.

“I’m a judge”, සුද්දා කිව්වාම මම හිතුවෙ මට හරියට ඇහුනෙ නෑ කියලා. මම ආයෙම ඇහුවා. ඔව්!! මේ මම වගේම හිපි පෙනුමක් තියෙන ‍රැවුලකුත් වවාගෙන ඉන්න සුද්දා නඩුකාරයෙක් තමයිලු ජර්මනියෙ!!!

මගෙ මූණෙ මතුවුන විමතිය දිහා ටිකක් වෙලා බලන් ඉඳලා, බීඩියෙන් දුම් උගුරක් ඇදලා, කොරිඩෝවේ වහල දිහාට පිඹපු විනිසුරුතුමා කියනවා.

“මම දන්නවා හෙන්රි ඔයගොල්ලන්ගෙ රටවල නඩුකාරයෙකුට රස්සාවත් එක්කම ලැබෙන ස්ටේටස් එක. නමුත් ජර්මනියෙදි, නඩුකාරකම තවත් රස්සාවක් විතරයි.”

තවත් බොහෝ වල්පල් කතා කරමින් හිටි අපි පේරාදෙණියෙදි සතුටින් විසිර ගියා. නමුත් හිතන්න යමක් මගෙ හිතේ ඉතිරි කරලා.

බිංගෙයක් තුලින් කෝච්චිය යනකොට කවුරු හරි හූ කියනවාමයි. මම අදටත් ඒ වෙලාවට ජනේලෙන් ඔලුව එලියට දාලා හූ කියන්න ආසයි. අර එකෙක් හූව පටන් ගත්තම නලියන්න ගන්න නරි ජානය කොහොමත් අපි තුල තියෙනවානෙ.

බිංගේ ඇතුලෙ පිරිලා තියෙන දුම දුම්රිය මැදිරිය තුලටත් එනවා. බිංගෙයින් එලියට එනවිට ඇතිවන ආලෝකයෙයි, හඬෙයි වෙනස වින්දනය කලයුතු මිස, අසා දැනගත හැකි හැඟීමක් නොවෙයි. දුම්රිය පාලමක් තරනය කිරීමත් එසේමයි. මම හිතන්නෙ රේල්පාරත්, මහ පාරත් එකම මගේ ගිය එකම පාලම වුනේ මනම්පිටියයි. දැන් ඒක වෙනස් කරලා බව මේ පාර නිවාඩුවට ගියාම දැක්කා.

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම මතින් ගිය රේල් පාර සහ මහ පාර

එතකොට අපි සුද්දන්ට බැන බැන අදටත් පාවිච්චි කරන, සුද්දො තමන්ගෙ අවශ්‍යතාවයකට වුනත් හදපු ගල් ආරුක්කු පාලම්, පොලොව දෙදරවාගෙන යන දුම්රියේ බර දරාගෙන, අවුරුදු 100ක් 150ක් තිස්සේ තවම සේවය කරන බව අදහන්නත් අමාරු තරම්.

රජයේ නිළධාරීන්ට ස්ථාන මාරු ලැබිලා යනවාට අමතරව වසරකට නිදහස් ගමන් බළපත් තුනක් හිමියි. තියෙන අවිවේකී බව නිසා සමහර විට මෙයින් ප්‍රයෝජනයක් ගන්න නොලැබෙන අවස්ථායි වැඩි. අවසන් වරට ලබපු හොඳම දුම්රිය අත්දැකීම දීපාගේ පාසලේ ගුරු මණඩලය සමග Hitachi සුඛෝපබෝගී දුම්රියේ බදුල්ලට ගිය ගමනයි. ගමන් බලපත් තුනම එකතු කර ගිය මේ ගමන ඇත්තෙන්ම chartered train trip එකක් කිව්වැකි. අපි අපේ දුම්රිය, දුම්රිය ස්ථාන වල නවත්තලා නැරඹිය යුතු තැන් නරඹලා එනවා, හරියට පෞද්ගලික  වාහනයකින් ගියා වගෙ. දුම්රිය, දුම්රිය ස්ථාන දෙකක් අතර නවත්තලා අපිට බහින්න දුන්නා අඹේවෙල කිරි පිටි කම්හල බලන්න යන්න. අපිව බස්සපු දුම්රිය ඊලඟ දුම්රිය ස්ථානයට ගිහින් නවත්තාගෙන හිටියා අපි එනකල්. ඉදල්ගස් හින්නේ එතකොට දෙමෝදර වගේ දුම්රිය ස්ථානවල නවත්තාගෙනත් හොඳට අවට ඇවිද්දා සිරි නරඹමින්.

හැම නිවාඩුවටම ගෙදර ගියාම කෝච්චියේ කොහෙ හරි යන්න හිතා හිටියත් පහුගිය අවුරුදු දහයටම ඒක බැරි වුනා.


මේ පාරවත් බලන්න ඕනෙ.

 

ටැග: , ,

97 responses to “73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

  1. hiruni

    ජූලි 7, 2012 at 3:31 පෙ.ව.

    ඇත්තටම මේක කියවද්දි වෙනමම සුන්දර ලෝකයමට් ගියා වගේ….මාත් හරිම ආසයි කෝච්චි වලට්…ඒත් ෆුට් බෝඩ් යන්නෙ පරිස්සමෙන්…අර හිතාචි චාරිකාව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ…තව මතකද එක දවසක් අම්මා අපිට ඉස්කෝලෙ අරන් යන්න සැන්ඩ්විච් ටෝස්ට් හැදුවා…ඒත් අම්මා ඉස්කෝලෙ ගියාට අපිට කොළඹට යන්න හොදටම පරක්කු වෙලා නිසා ඉස්කෝලෙ නොගිහින් කෝච්චියේ නැගලා සැන්ඩ්විච් ටෝස්ට් කකා ගම්පහට ආවා….ඒ දවස්වල අපේ ටීවී එකත් සින්ගර් එකට දීලා තිබ්බෙ හදන්න…ඒකත් ඒ ගමන්ම බලාගෙන ආවේ…?

     
  2. Gold fish

    ජූලි 7, 2012 at 7:49 පෙ.ව.

    කෝච්චියේ තැනින් තැනට යනවා කියන්නේ හරි ෂෝක් අත්දැකීමක්. ඒත් මං වැඩියෙන්ම ආසා බස් එකේ පිටි පස්සේ මුල්ලට වෙලා යන්න… හැබැයි දුනු හොඳට වැඩ කරන එකක…

     
  3. indika27

    ජූලි 7, 2012 at 9:40 පෙ.ව.

    හරිම ලස්සන අත්දැකීම් තියෙනවා….හොඳ ලිපියක්…

     
  4. Weniwel

    ජූලි 7, 2012 at 1:25 ප.ව.

    ලියවිල්ලේ සාර්ථකතවය කියන්නෙ හෙන්රි දුක හිතුනා කියවලා ඉවර වෙනකොට අයියෝ මන් ආයි මේ ඉන්නෙ පුටුව උඩ කම්පියුටරේ ලඟනෙ කියලා..ඒ කාලෙ හෝ අද කාලෙ වෙනකම්ම 10-15 වතාවකට වඩා කෝච්චියෙ නොගිය මට තාමත් කෝච්චියෙ යනවා කියන්නෙ නොසන්සිඳෙන ආසාවක්ම තමයි…

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 7:32 ප.ව.

      ස්තුතියි වෙනියා. ඉතින් ඔය නිවාඩුවක් අල්ලලා, වැඩිපුරත් දෙක

      තුනක් අතින් දාලා, කැමරා පොජ්ජත් අරං යමංකෝ, අපි එපා කිව්වැයි?

       
  5. රූ

    ජූලි 7, 2012 at 1:30 ප.ව.

    //බිංගෙයක් තුලින් කෝච්චිය යනකොට කවුරු හරි හූ කියනවාමයි. මම අදටත් ඒ වෙලාවට ජනේලෙන් ඔලුව එලියට දාලා හූ කියන්න ආසයි. අර එකෙක් හූව පටන් ගත්තම නලියන්න ගන්න නරි ජානය කොහොමත් අපි තුල තියෙනවානෙ.//

    මේ කතාව නම් සහතික ඇත්ත..සාමාන්‍යයෙන් හොඳ තැන්පත් ළමයෙක් වුනු මමත් බිංගෙවල් ඇතුලෙදි ඇති තරම් හූ කියලා තියනවා..මම නම් දුම්රිය ගමනෙදි ආසම කෑල්ල ඒක..විශේෂයෙන් කඩුගන්නාවට ළඟ පාතදි හම්බවෙන බිම් ගෙවල්වලදි..
    ඒ ඇරෙන්න කොච්චියේ පා පුවරුව උඩ වාඩිවෙලා කකුල් දෙක තියාන හුළං වදිමින් ගියපු ගමන් තාමත් මතකයේ තියනවා..

    ස්තුතියි ඩූඩ්..ඒ මතක සුවඳ අරගෙන ආවාට..

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 7:33 ප.ව.

      රූ හොඳ තැන්පත් ලමයෙක් කියලත් කියා ගත්තා නේ?😀
      බලාගෙන ගියාම අපි කාගෙත් රුචිකත්වයන් අතර මොනතරම් සමානකම් තියෙනවද නේද?

       
  6. තොටියා

    ජූලි 7, 2012 at 1:47 ප.ව.

    ඇත්තටම මමත් පේරාදෙණි ඉන්න කාලෙ දුම්රියේ යන්න සෑහෙන හුරුවෙලා හිටියා. ගොඩාක් වෙලාවට යන්නෙ නුවර මාතර කෝච්චියේ. අර සුද්දාගෙ කතාවත් මරු. මටත් ඔය හිපි ටයිප් ඩයල් කීපයක්ම බස්වල කෝච්චිවල හම්බවෙලා තියනවා. පොඩ්ඩක් කථා කරලා බැලුවම උන් ඔක්කොම එහේ ලොකු ලොකු රස්සා කරන එවුන්..
    අදමයි මේ පැත්ත්ට ආවේ

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 7:35 ප.ව.

      ඉතිං තොටියෙකුත් කෝච්චියෙ යන්න ඇවිත්! බහින්න එපා දිගටම යමු!🙂
      ඔව් හුඟක් උන් අපේ උන් වගෙ ඇඳගෙන නෑ නේ? ඒකයි වෙනස.
      මම නම් ඒ වෙනසට ආසයි.
      තොටියා හිතුවෙ මම HeyDude විතරයි ලියන්නෙ කියලා නේ?
      ඒකෙ කමෙන්ට් දාලා තිබ්බෙ?
      මම කඩු සටන්, පොලු සටන් දෙකම කරනවා😀

       
  7. Mourya Raj

    ජූලි 7, 2012 at 1:55 ප.ව.

    බොහොම හෙමිහිට කි‍යවන ගමන් චිත්තරූප මවාගත්ත. පුංචි ඩියුඩ් ලයිට්එක දල්වනව නිවනව, සුද්ද එක්ක සිගරට් බොනව මැවිල පෙනුන.

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 7:35 ප.ව.

      බොහොම හෙමිහිට කියවන කොට මම හිතන්නෙ ලියන්න උත්සාහ කරපු හුඟක් දේ ග්‍රහනය කරගන්න පුලුවන්. එහෙම නේද රාජ්?

       
  8. ගැමියාගේ පත් ඉරුව

    ජූලි 7, 2012 at 1:55 ප.ව.

    මම පොඩිම කාලේ ඉඳන් අවුරුද්දට දෙසැරයක් නුවර යනවමයි.ඒ යන්නෙත් කෝච්චියෙන්.මෑතක් වෙනකන්ම නුවර යන්න හැමෝම ලෑස්ති වෙද්දි මට රෑට නින්ද යන්නෙත් නෑ.සමහර වෙලාවට නින්ද ගියාම හීනෙන් පේන්නෙත් කෝච්චි… මම ඒ තරම්ම කෝච්චි වලට ආසයි…

    මේක හරිම අපූරුවට ලියලා තියෙනවා අපිත් ඔයත් එක්ක ඒ ඒ තැන්වල හිටියා වගේ.ඒක නෙමේ අර රේල් පීල්ල අල්ලගෙන ඉන්නේ පොඩි ඩූඩ් වගේ….

    පහුගිය අවුරුදු දෙක තුනේ නම් කෝච්චියේ නෙමෙයි නුවර ගියේ… කෝච්චියේ නගින්න තියෙන අමාරුවත් ගෙදරට හොරෙන් නුවර ගිහින් රෑ වෙන්න කලින් යහතින් එන්න ඕනෙත් නිසා බස් එකේ යන්න පුරුදු වුනා…

    අන්තිම පාරට පෙරහැර බලන්න යාළුවෝ එක්ක කෝච්චියෙ යද්දි තමයි අම්මලා තාත්තලාගේ ඇස් වලින් මිදිලා කෝච්චියේ පාපුවරුවේ ගියේ… කඳු උඩින් යද්දි පල්ලෙහා ප්‍රපාත වල ලස්සනට කුඹුරු කොටලා තියෙන හැටි බලන්න වෙන කිසිම තැනක් නෑ…. පුදුමාකාර ලස්සන දර්ශනයක්

    ඒ අන්තිම සැරේ යාළුවො කට්ටිය යද්දි තරඟෙට හූ කියලා සිංදු කිය කිය ගියෙ අපරාදේ කියන්න ඕනේ නෑ සිංහල සිංදු වලට සුද්දෝ පවුලක්ම සපෝට් එක දුන්නා…. ඔය අතරේ තමා අපේ එකෙක්ට අදහසක් ආවේ ෆුට් බෝඩ් එකේ ඉඳලා එලියට චූ කරන්න… මම ඌට කිව්වා මොක කලත් ඕක නම් කරන්න එපා හුළං පාරෙ සැරට පිටිපස්සේ පෙට්ටි වල ඉන්න එවුන්ට නාන්න වෙයි කියලා ම්හු මූට ඒක කරන්න ඕනෙමයි…. මම කිව්වා අඩු ගානේ කෝච්චි පාර කෙලින් තියෙද්දි කරහං කියලා…. පරහකට හිට්ටෙ අපිත් එක්ක සෙට් වෙච්චි පොඩි සුද්දියෙකුයි ලොකු සුද්දෝ ඩබලයි ඉද්දි මේක කරන්න බැරිකම….

    ඊළඟ බිංගේ පටන් ගන්නකොටම ඌ කිව්වා හරි මචෝ මාව අල්ලගනින් බිංගෙයි කළුවර වැටුනාම මම චූ දානවා එතකොට මොකාටවත් පේන්නැ කියලා…. බිංගෙට එනකොටම මූ දාන්න ගත්තා

    මල සේකරයි විනාඩියක් යන්න කලින් බිංගේ ඉවරයි…. *&(%&_)(

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 7:36 ප.ව.

      ගැමියෝ මේක කියවලා මම හිනාවෙලා කඳුලු පෙරනකොට දීපාත්

      කිව්වා මෙන්න මෙයා අඬනවා කියලා. අර චූ සීන් එකට! මම කිව්වා වගේ

      මේවා බ්ලොගේ දාන්න ගැමියා අර අලුත් ටැග් එක යටතෙ. “මම කමෙන්ට්

      හැටියට දැමූ බ්ලොග් පෝස්ට්” කියලා. නැත්නම් අපරාදෙ?

       
  9. Mee Godaya

    ජූලි 7, 2012 at 2:13 ප.ව.

    අපූරු අද්දකීම් ටිකක්… පෝස්ට් එක් මැද නයෙක් ඇදුනදෝ කියල ත් හිතුනා.. මේටිකේ බ්ලොග් වල නයි හුටප්පර වැඩිනේ….🙂

    කොහොම උනත් කමක් නෑ.. පොස්ට් එක මරු.. උබ අර ජර්මන් කාරයට සිගරට් එකක් දෙන්න එපැයි බන් පව් ඌ බීඩි බොද්දි දුක හිතුනේ නැද්ද.. දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙයන්.. අපේ වගේ ආස්චර්යමත් රටකට එන තුන්වන ලෝකයේ රටවල් වල අසරණ මිනිස්සුන්ට අපි සලකන්න ඕනේ බං.. එතකොට තමයි අපිට උන්ගෙ සහය අරන් ඉක්මනට ඇමරිකාව පරද්දල ලෝකෙ එක වෙන්න පුළුවන්

    මේ henri උබ ලන්කාවෙන් පිට ඉන්න එකෙක්ද.. රට කියාපන්කෝ

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 7:38 ප.ව.

      හායි මීගොඩයා! කොතනද බොල නයෙක් හිටියෙ? මම ආයෙම කියවලා බැලුවා.
      අර පූසො කුකුලො හිටපු එකද?

      මෙන්න අහපං.

      “අප ජීවත් විය යුත්තේ අනිත් උන්ට අනුකම්පා හිතෙන ආකාරයට නොව ඉරිසියා හිතෙන ආකාරයටය.”
      ඕක නම් කවුද කිව්වෙ කියලා මම දන්නෙ නෑ. නමුත් අමූලික ඇත්ත.

      එතකොට මේක:

      “ඔබ ඇත්ත කියන විට නයි අරින්නාක් සේ අනිත් උන්ට සිතෙයි නම් ඔබ සාර්ථක ජීවිතයක් ගත කරන සාර්ථක මිනිසෙකි.”
      මේකනම් නිර්මාණයකලේ මම: henryblogwalker the Dude🙂

      ඔව් බං අපි මේ ආසන්නම රටක උන්ට බොරු උගන්නනවා .😀

       
      • DDT

        ජූලි 7, 2012 at 8:26 ප.ව.

        // “ඔබ ඇත්ත කියන විට නයි අරින්නාක් සේ අනිත් උන්ට සිතෙයි නම් ඔබ සාර්ථක ජීවිතයක් ගත කරන සාර්ථක මිනිසෙකි.” //

        හෙහ් හෙහ් ….. අයියා දවසක් ඔය උත්තරේ මටත් දුන්නා. හැබැයි මගේ ජීවිතේ නම් (ගෙදර අය හිතන හැටියට) එච්චර සාර්ථක නෑ. (ගෙදර අය හිතන හැටියට) ජීවිතේ සාර්ථක කරගන්න මගේ උනන්දුවකුත් නෑ.🙂

         
  10. Kandyan

    ජූලි 7, 2012 at 2:16 ප.ව.

    ඇත්තටම මේක කියවන ගමන් මමත් අතීතයට ගියා කියලා දැනුනා. කෝච්චි කියන්නේ අපේ ජීවිතවල කොටසක්. අපි හැමෝම ‘කෝච්චි පිස්සෝ’. අපේ මහ ගෙදර තියෙන්නේ නුවර – මාතලේ රේල්පාර ලඟ. අපි පොඩිකාලේ නැගිටින්නේකෝච්චිය ගේ ඉස්සරහින් යන වෙලාවට. අම්පාරේ ඉන්න කාලේ නුවර ඉඳලා මඩකලපුවට කෝච්චියේ ගිහින් එතනින් බස් එකේ යනවා. පස්සේ කාලෙක නුවර බණ්ඩාරවෙලත් සෑහෙන්න ගමන් ගියා. අදත් ගෙදර ගියාම ඒ පුරුද්දට ඇහැරෙනවා. තාමත් ලංකාවට ගියාම මගේ ගමන කෝච්චියෙන්මයි. බස් වල යන එක හරිම අඩුයි. දැනුත් බොහෝ වෙලාවට ගමන කෝච්චියෙන්මයි – Great North Eastern Railway එහෙම නැත්නම් Transpenine එකෙන්.

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 8:11 ප.ව.

      TransPennine සහ Great North Eastern Railway නිසා මට හිතුනා කැන්ඩියන් ඉන්නෙ Liz ආච්චිගෙ රටේ කියලා.🙂 මමත් කෝච්චියෙ මඩකලපුවට ගිහින් අම්පාරට ගිහින් තියෙනවා. පස්සෙ පොළොන්නරුවට ගිහින් දෙහිඅත්තකණ්ඩියට ගිහින් තියෙනවා.

       
  11. vimukthi

    ජූලි 7, 2012 at 2:18 ප.ව.

    හැමනිවාඩුවකම යන්නකලින් කරන්නකොච්චරදේවල් හිතාගෙනඉන්නවද?ඒත්කීයක්මග ඇරුනදකියලමතක්‌වෙන්නෙ ආපහුඇවිත්ටිකදවසක් ගියාමයි.මතක්‌වෙනකොටත් තනිඇහැටඇඬේ.යාපනේයනවකියල හිතන්ආවත් අල්ලපුගෙදරට ගොඩවෙලාතියෙන්නෙත් සැරයයිදෙකයි.ඕන්වැකේෂන්.
    අනිකකොයිපාරත් වෙන්නෙඕකමයිඅනිකඉතිං ඒමාසේයන්නෙ දවස්හතරපහ උඩින්පැනපැන.නැත්නම්දෙපොටදාගෙනනේ.

     
  12. DDT

    ජූලි 7, 2012 at 2:23 ප.ව.

    සුන්දර මතකයක් අයියා අවදිකළේ. ස්තූතියි ඒකට. ළඟදි මාරය අයියත් කෝච්චි ගමන් ගැන ලියල තිබුණ. අපිත් පොඩි කාලෙ හැම ඉස්කෝල නිවාඩුවකටම දුර ගමනක් යනව කෝච්චියේ. අපේ තාත්තටත් අවුරුද්දකට නිදහස් ගමන් බලපත් තුනක් තිබුණ. ඔය ජනේලෙ ළඟ සීට් එකේ වාඩි වෙන්න අයියයි මමයි පොරකනව මට මතකයි. අපි වාඩිවුනේ එකිනෙකට මූණදාල තියෙන සීට් දෙකක නිසා අයින් දෙකක් තිබුණ. පොරකන්නෙ නම් ඉතිං පුරුද්දට. අනෙක ගාල්ලෙ ඉඳන් කෝච්චිය යන්නෙ අනිත් පැත්තට නිසා සීට් දෙකෙන් එකක් තමයි හුඟක් වැදගත්. දෙන්නටම ඕන ඉස්සරහ බලාගෙන යන්න. ඔය ගමන් යන්න කලින් දවසෙ අම්ම මොනව මොනව හරි කෑම ජාති එහෙම හදනව. අපිටත් අමුතු සතුටකින් හිත පිරිල. එදා රෑට හරියකට නින්ද යන්නෙත් නෑ. උදෙන්ම යනව ස්ටේෂන් එකට. අඩ අඳුරෙ තියන කෝච්චිය දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. බඩු ඇතුලට දාල අම්මල අක්කල වාඩි කරල කෝච්චිය යන්න වෙලා තියෙන නිසා අයියයි මමයි තාත්තත් එක්ක යනව එන්ංජින් එක බලන්න. පාන්දර මීදුමේ දුම දාගෙන සද්දෙ දාගෙන ඉන්න එන්ජිම බලන්න වටිනව. මමත් 2 වසරෙ ඉද්දි, තාත්තලගෙ ඔෆීස් එකේ වැඩකරපු අයගෙ පවුල්වල අය ට්‍රේන් එකක් වෙන්කරන් පොසොන් එකට අනුරාධපුරේ ගියා මතකයි. ඒක අපි වෙනද යන ට්‍රේන්වලට වඩා ගොඩක් සුඛෝපභෝගී එකක්. මගේ හිතේ විශේෂ ගමන්වලට වෙන්කරපු එකක්. ඒ දවස්වල වැඩි තේරුමක් නෑ ඒගැන. අනුරාධපුරේදි ඇවිදින්න ලංගම බස් දාල තිබුණ. චාරිකාව ඉවරකරල දවස් දෙකින්ද කොහෙද ආයිත් ඒකෙම ගෙදර ආවා. තව නුවර, ගම්පොල එහෙම කීප පාරක් ගියා. උඩරට මාර්ගෙ තමයි මම නම් කැමතිම. වටේට පේන කඳු, මිටියාවත් තේ වතු මීදුම ඒ වගේ සුන්දර දර්ශන බලන්න ඉතිං කෝච්චියෙම යන්න ඕන.

    අර ජර්මන් සුද්ද කියන සමාජ ක්‍රමේට ඇත්තටම මම කැමතියි. එහෙම බැළුවම අපේ රටවල්වල මිනිස්සු ආකල්ප අතිනුත් ගොඩක් දුප්පත් තවමත්. පාර පිරිසිදුකරන මිනිහත් වෛද්‍යවරයෙක්, නීතීඥයෙක්, ඉංජිනේරුවෙක් වගේම වෘත්තියක් කරන්නෙ. ඒ වෘත්තීන්වල උස් පහත් බවක් නෑ. ඒක මිනිස්සු හිතින් හදාගන්න දෙයක්. හැම වෘත්තියකම යෙදෙන අය එකිනෙකා මත යැපෙනව. එකිනෙකා කෙරෙහි බැඳිල ඉන්නව.

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 8:15 ප.ව.

      DDT,මේ කමෙන්ට් එක මගෙ පෝස්ට් එකට වැඩිය හොඳයි කියලා මට හිතෙනවා. මේ ටිකත් දැම්මා නම් පෝස්ට් එක තවත් සාරවත්. මටත් මැවිලා පෙනුනා මාත් තාත්තත් එක්ක එංජීම බලන්න ගිය හැටි!
      අර අඩ අඳුරෙ තියෙන කෝච්චිය! ලස්සන මතකයන් DDT! බොක්කෙන්ම ලියපු කමෙන්ට් එකක්!

       
  13. kathandarakaraya

    ජූලි 7, 2012 at 3:06 ප.ව.

    ඔය කෝච්චි බං ගෙවල් ඇතුලෙන් යන එක ඉස්සර චිත්‍රපටිවල නං හොඳ ශෘංඝාරාත්මක සංකේතයක්!

     
  14. R.p. Susantha

    ජූලි 7, 2012 at 3:23 ප.ව.

    කතාව නම් ඉතාමත් සාර්ථකයි. ඔය හැම දෙයක්ම ඇත්ත. ඒක නෙමේ අර කෝච්චියෙන් යත්දි බිංගෙවල් ඇතුලෙදි හූ කියන එක ලෙඩක්ද මන්ද? දැන් මම එහෙම යනකොට කට පියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. ඉස්සර මමයි මල්ලියි බිංගේ ලංවෙද්දි පෙට්ටි දෙකකට ගිහින් කොහොම හරි ජනේලෙකින් ඔලුව දාල හූ කියනවා. ඒ එක්කම බොහෝ හූ ඇහෙනවා. මහ වෙදනා

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 8:16 ප.ව.

      අඩේ වෙදමහත්තයෙකුටත් එහෙම හිතෙනවා නම් හූ කියන්න, අර උඩ කමෙන්ට් දාපු දොස්තර නෝනලාටත් හිතෙනවානම් හූ කියන්න මට අසනීපයක් නෑ නේ?

       
  15. බුද්ධි

    ජූලි 7, 2012 at 3:51 ප.ව.

    මගේ දුරම දුම්රිය ගමන බදුල්ල. මුහුදු මාර්ගයේ නං ගාල්ල. අනික්වා පොඩි පොඩි ගමන් වාර කොළඹ බදලා ගෙදරට වගේ……..

    ඒක නිසා වැඩිපුර බිංගෙවල් සීන් අහුවෙන්නැ… අහුවුනු දෙක තුනෙ දී ආපහු නොලැබෙන බව දන්න හන්දා නරි ජාන නෙමේ ටොකු ජානත් ඉස්මතු කර ගත්තා….

     
  16. Senna

    ජූලි 7, 2012 at 4:40 ප.ව.

    අපිව නැවතත් ඒ සුන්දර අතීතයට අරන්ගිය අපූරුව.. මේකට තමයි හැකියාව කියන්නෙ.

    මට මතක නෑ අන්තිමට කෝච්චියෙ ගියෙ කවදද කියලා.. ගේ ලඟින් කෝච්චිය ගියාට නිතරම එහෙ මෙහෙ යන්ඩ ලැබිලා නෑ කෝච්චියෙන්.. වැඩට යනකොටනම් මම කෝච්චියට ආස නෑ. ඒ ඒකෙ තියන සුපුරුදු පරක්කුව හින්දා.. අනිත් එක කෝච්චි පෙට්ටි ඇතුලෙ තියන මාෆියාවටත් මම කැමති නෑ.. ඒවා ඉවසන්ඩ බැරි හින්දා මම බස් එකේ ගියා.

    ජෑම් පැක් වෙච්ච කෝච්චියක බදුලු ගියා මතකයි.. ඒකත් ෆුඩ් බෝඩ් එකේ.. සීතල විඳිමින් ෆුඩ් බෝඩ් එකේ වාඩි වෙලා ගිය ගමන කවදාවත් අමතක වෙන්නෑ..

    ලස්සන ලිවිල්ලක් ඩූඩ්, මේක කියවපු හැමෝම මොහොතක් අතීතයේ සමාධිගත වෙලා හිටිය බවට මට සහතිකයි..

     
  17. Sumith Niriella

    ජූලි 7, 2012 at 4:55 ප.ව.

    දුම්රිය ගමන් අත් දැකීම්නම් මට තියෙන්නෙ බොහොම ටිකයි, ඒවත් එච්චර රසවත් නෑ.
    ඒත් මේ පොස්ට් එකෙන්නම් කිසියම් රසයක් වින්දා…….

     
  18. මාරයාගේ හෝරාව...

    ජූලි 7, 2012 at 5:02 ප.ව.

    මුලින්ම සුද්දා…

    අපේ රටේ නඩු කාරයෙක් උනත් වෙන රටකට ගියාමනං ඔය විදියටම නැතත් ටිකක් විතර පොළවේ පය ගහලා හිටී.. ඒත් උන්නාන්සේලාට මේ රටේ එහෙම කරන්න වරං නැහැ… ඇඳ ගත්ත ගමන්ම ඉන්න ඕන…

    අර බීඩිය ඒ ඔක්කෝටම වඩා මට හිතට ඇල්ලුවා… රෝමෙට ගියානං රෝමන්කාරයෙක් විදියට හිටු කිවුවා වගේම වවුලගේ වෙඩිමේ කතාවත් අදාලයි… මොන ආතල්ද හෙන්රි අයියා… හැමදාම බොන සිගරට් එක වගේද තමන් නොදන්න රටක..නොදන්න පරිසරයක..ඔහේ ඉබාගාතේ යන ගමන්..ඒ රටේ පොඩි මිනිස්සු දීලා ඇදින බීඩියක් උර උර… අම්මපා… මට අර සිරිපාදේ යද්දි ගහන මලුවට එකයි සිහි උනා… මං සිගරට් සුරුට්ටු බොන එකෙක් නොවුනත් අනිවාර්යයෙන්ම මලුවට එකනං ගහනවමයි.. ඒ තමා එතනදී තියෙන උපරිම සතුට… සුද්දා ජීවත් වෙන්න දන්නවා…

    උඹලනං දැන් සංචාරක ජීවිතේ අවසන් කරලා ඇති..මංනං තාමත් එහෙමයි..ඒත් කෝච්චියෙන් නං නෙවෙයි කොහෙන් හරි හොයා ගන්න පොඩි ලොරියකින් ගෙනියන්න ඇහැකි දේවල් තමා තාමත් තියෙන්නේ.. මේ ලගකදී අර සීත පෙට්ටියක් ගන්න ගිය වෙලෙත් මං සිය පාරක් හිතුවේ මේක තවත් මට බරක් නේද කියන කාරණාව..මොකද මං ගාව තියෙන කිසිම දෙයක් ඒ හැටි වියදං කරලා හදපුවා නෙවෙයි..දෙකේ දෙකේ ලී වලින්..රීප්ප වලින් නිම කරපු බඩු මුට්ටු.. ඕන වෙලාවක තියෙන තැනක දාලා ලොකේ කොහේ හරි යන්න ඇහැකි… ඒත් අර වගේ පවුලක් ඉතිං මං වගේ එක කකුලක් එළියට තියන්න බලං ඉන්න ජාතියේ නෙවෙයිනේ.. ඉතිං බඩු මුට්ටු තියා ගන්න වෙනවා… අමා දුකකි..ඔව්වා අස් කරන්න ගියාම…

    කෝච්චි ගැන කියන්න ගියොත් මේක කොමෙන්ට් එකක් නෙවෙයි පෝස්ට් එකක් වෙනවා… කොහොම උනත් සෑහෙන දවසකින් මට කමෙන්ට් එකක් ඔහේ ලියං යන්න හිතෙන්න තරං මේ ලිපිය හිතට ඇල්ලුවා… දැන් ඉස්සර ව‍ගේ මාගල් කමෙන්ට් එකක් ලියන්න තරං පෝස්ට් කට්ටිය ලියනවා අඩුයිනේ.. හැම එකාටම නයි උණ… ඉතිං මොන මාගල්ද..

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 8:48 ප.ව.

      ඒ සුද්දා ගතකරන්නෙ ඔය මාරයා ගතකරනවා වගේ කාලයක් නේ? වැඩේ අපි හම්බකරන සේසතම ගෙවල් හදන්නම් වාහන ගන්න, ලමයිට උගන්නන්න වියදම් කරද්දි, සුද්දො ඒ ඔක්කොමත් කරගන්න අතරෙ ජීවිතයත් විඳිනවා.

      මාරයා මල්ලි. අපි ඒ විදියට ගතකරපු සංචාරක ජීවිතේ අවසන් නෑනෙ බං. ගේකුත් යන්තම් අටවාගත්තට ඒකෙ වැටිලා ඉන්න පින නෑ. පැක් කරගෙන මෙහෙ එනවා. ගෙවල් හොයනවා, මාරු කරනවා තවම.

      මාරයාගේ සංචාරක සටහන් කියවද්දී මටත් ඒකට එකතු කලයුතුම දෙයක්නම් අපිත් උඹ වගේම තමයි. සංචාරයට ලැදි ජානයක් තියෙනවා. නිවාඩුව වැඩිපුර ගෙවෙන්නෙ පාරෙ. මාරයගෙයි මගෙයි එකම වෙනස යොදාගන්නා පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයේ තියෙන රෝද ගනන විතරයි. කොහොමත් ගෙදර ආවාම කිලෝමීටර් දෙදාහකට තුන්දාහකට වග කියලයි යන්නෙ. මමත් වඩා ආසයි මාරයා වගෙ රෝද දෙකේ යන්න, නමුත් පවුලක් වුනාම එහෙම බෑනෙ.

      අපිත් ඔය වගෙ සැහැල්ලුවෙන් ඉන්න ආසයි. නමුත් ඔය තරම්ම නම් අමාරුයි. ඔය නිදහස අවශ්‍ය නිසා අපිත් සත්තු හෙම නම් හදන්න අදහසක් නෑ.

      අන්තිම ඡේදය ලොකු හයියක් මාර මල්ලි. ස්තුතියි.

       
  19. ~ChAnDiKa~

    ජූලි 7, 2012 at 5:08 ප.ව.

    ඉතාම සුන්දර සටහනක් හෙන්රි මහතාණෙනි. ඉතාම ආසාවෙන් කියවූවා. මගේ මවු පාරශවයේ නෑයන් රැසක් රේල්ලුවේ සේවය කල අය. එනිසා දුම්රිය කුඩා කල පටන් මගේ ජීවිතයේ සුමිත්‍රයෙක්! අදටත් දුම්රියක හඬ ඇසෙද්දි පොඩි එකෙකු සේ ඒ ගැන අවධානය යොමු කරන්නේත් කුඩා කල පටන් බැඳුනු ඒ ලෙංගතු කම නිසාමයි. නිවාඩුවක් ලද සැනින් මගේ ජීවිතය ගෙවෙන්නේ මේ සුවිසාල යකඩ යකුන් සහ ඔවුන් නිරන්තර ඔබ මොබ දිවෙන මංමාවත් වලයි. ඒ නිසාම තමා මට කෝච්චියා කියලත් නමක් පට බැදී තියෙන්නේ. මට නම් මේ මිහි පිට තියෙන සුන්දරම වාහනය කෝච්චිය තමා.🙂

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 8:49 ප.ව.

      අඩේ අපේ කෝච්චියාත් එහෙම හිතනවා නම් මේක හොඳ පෝස්ට් එකක් වෙන්න ඕනෙ. චන්දික මම ඔය කෝච්චි බ්ලොග් එක කියවනවා ආසාවෙන්. තියෙන ප්‍රශ්නෙ මොකක්ද කමෙන්ට් එකට දාන්නෙ කියලා. ඔක්කොම කියවලා බොරුවට ගොං ප්‍රශ්නයක් අහන්නත් බෑ අහන්නං වාලෙ. එලස්, හොඳට ලියලා තියෙනවා පට්ටයි ඈ කියන එකත් මදි වෙලා තියෙන මහංසියෙ හැටියට. ඉතින් කියවා ආපහු එනවා, මං වගේ අය තව ඇති ඕනෙ තරම්.

      ම්ම්ම් මම නම් ආස තව වාහනයක් තියෙනවා ඔය වගේම. ගුවන් යානා. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ. සද්දෙත් ඒ වගේ

       
  20. Alchemiya

    ජූලි 7, 2012 at 5:49 ප.ව.

    මමත් ආසම නැති දෙයක් තමයි තැනකින් තැනකට මාරු වෙන එක. බඩු පැක් කරන්නයි, ලේබල් කරන්නයි, පෙට්ටි උස්සන්නයි, ගෙනියන්නයි, ආයෙම බාන්නයි, පෙට්ටි ආයෙම ලිහලා වෙන වෙනම බඩු එළියට ගන්නයි – වැඩ කෝටියයි.
    නමුත් ඒ යතාර්ථයට මම අද මේ දවස්වල මුහුණ දෙනවා. මටත් මාරු වෙන්න වෙලා…අර සුද්දාගෙ රටට. ඒකත් හරිම සංකීර්ණයි. … මම ඒ ගැන වෙනම ලියන්නම්… කවදද ලංකාවට යන්නෙ ?
    මගේ විද්‍යුත් ලිපිනයට දුරකථන අංකය එවන්න… ආවොත් කතා කරන්න පුළුවන් වේවි….
    ආස හිතෙන ලිපියක්… පැටියට ලංකාවෙ කෝච්චියක ගිහින් පෙන්නන්නත් ආසාවක් තියෙනවා… බලමු.

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 9:04 ප.ව.

      මමත් ආස නෑ ගෙදරින් යන්න පැක් කරන්න බඩුත් උස්සන්න හෙම ඇල්කෙමියා වාගෙම. නමුත් ගෙදර එන්න පැක් කරන එක ඒකෙ අනිත් පැත්ත. ටොන් ගනන් බරත් උස්සන්න පුලුවන්.🙂
      අර සුද්දගෙ රටට කිව්වෙ US ඉඳලා ජර්මනියට? ජර්මන් ටිකක්වත් වනාගන්න පුලුවන්ද?
      අපි යන්නෙ නොවෙම්බර් මැද.
      මම එවන්නම් ෆෝන් නම්බර් එක.
      මටත් ලොකූ ඕනෙ කමක් තියනවා පොඩි එකත් එක්ක බදුලු කෝච්චියෙ යන්න. අර හිතාචි ගමන යනකොට එයා හරි පොඩියි.🙂

       
  21. praveena

    ජූලි 7, 2012 at 6:02 ප.ව.

    හිරුනි කියනවා වගේ වෙනම සුන්දර ලෝකෙකට ගියා. නිවාඩුවකට ගියාම ඔය සුන්දර අත්දැකීම විඳින්ට ඕනි.
    තමන් ඉන්න තැනක් අත් හැරලා වෙන තැනකට පදිංචියකට යනවා කියන්නේ අලුත් ජීවිතයක් පටන් ගැනීමක්. හරියට අලුතෙන් ඉපදුනා වගේ.

    ලියවිල්ල නම් හරිම අගෙයි. චිත්ත රූප මැවෙන විදියට ලියලා තියනවා.

    //අපිට ඒ කාලෙ බල්ලො නම් කොහොමත් හදන්න බැරි වුනත් පූසො, එතකොට කුකුලො රංචුවක් හෙම හිටියා.//

    ඉතින් මේ පූසොයි , කුකුළොයි අරං ගියාද කෝච්චියේ?🙂

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 9:06 ප.ව.

      ස්තුතියි ප්‍රවීනා.
      කුකුළො නම් කුකුළො හදන තව අසල්වැසියන්ට දුන්නා. පූසා නම් ගෙනාවා.
      No animals were harmed during the production of this blog post. _Blogosphere Humane Society

       
  22. විසිතුරු

    ජූලි 7, 2012 at 7:00 ප.ව.

    කෝච්චියෙ ගමන් යන්න මමත් හරිම ආසයි. විශේෂයෙන්ම පා පුවරුවේ!

    අර සුද්දා කියපු කතාව ඇත්තටම හිතන්න යමක් ඉතුරු කරනවා තමයි.

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 9:07 ප.ව.

      පා පුවරුව මගෙත් ප්‍රියතම තැනක්. නමුත් බලාගෙන.
      හඩු සුද්දො කියලා බැන්නට උන්ගෙනුත් ගන්න පාඩම් තියෙනවා තමයි.🙂

       
  23. hasithag

    ජූලි 7, 2012 at 8:09 ප.ව.

    දැන් කෝච්චි කතා රැල්ලද පටන් ගත්තේ🙂

     
    • henryblogwalker

      ජූලි 7, 2012 at 9:08 ප.ව.

      කෝච්චි ‍රැල්ලක් එන එකත් නරක නෑ නේ හසිත?🙂 ඉන්දියාවෙ නම් කෝච්චි දිනයකුත් තියෙනවා කියලා නැෂනල් ජියෝග්‍රැ‍ෆික් එකේ පෙන්නුවා.

       
  24. කලුවා

    ජූලි 7, 2012 at 9:17 ප.ව.

    මමත් ආසම දෙයක් තමා කෝච්චි ගමන…වැඩියෙන්ම ආස උඩරට කෝච්චි පාරට…. තාමත් හිතින් මවගෙන ඒ කෝච්චි පාරේ යනවා(මීදුම, පිරිසිදු වාතය, කෝච්චියෙ ඩිසල් දුම….)…..ඉස්සර අපි හැම අවුරුද්දකම බන්ඩාරවෙල යනවා(ඉස්කොලේ අගෝස්තු නිවාඩුවට )…. පැටියා කලෙය් මගේ හීනය වෙලා තිබුනෙ උඩරට කෝච්චියේ ඩ්‍රයිවර් වෙන්න….
    නමුත් දැන් ඉතින් මොන කෝච්චි ඩ්‍රයිවර්ද….හික් හික්….

     
    • henryblogwalker

      ජූලි 8, 2012 at 10:27 පෙ.ව.

      ඇයි කලුවා ඒක මගෙත් හීනයක් වෙලා තිබ්බා. අද මම මගෙ HeyDude බ්ලොග් එකට මේ මොහොතෙ ලියමින් ඉන්න පෝස්ට් එකෙත් ඒ සිහිනය ගැන තියෙනවා.
      ස්තුතියි කමෙන්ට් එකට කලුවා.

       
  25. Hiruhimawi

    ජූලි 7, 2012 at 11:00 ප.ව.

    🙂 අපුරුයි!

     
  26. Beetle

    ජූලි 8, 2012 at 2:04 පෙ.ව.

    ගොඩක් දේවල් කියන්න තිබුණත් අද වෙලාවක් නෑ… කියවලා හොරෙන්ම මාරුවෙන්න බැරි තරමට පෝස්ට් එක ලස්සනයි… මේ කමෙන්ටුව ඒ නිසයි…🙂

     
  27. ක්සැන්ඩර් | Xander

    ජූලි 8, 2012 at 8:01 පෙ.ව.

    මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මමත් එක්තරා කෝච්චි පිස්සෙක් තමයි. ඉස්කෝලේ යන කාලේ ඒ නිදහස වැඩි උනා. උදේ හවා කෝච්චියේ යන්න ගියාම ඉතින් ෆුට්බෝඩ් එකේ එල්ලිලා යන්න, පෙට්ටි දෙකක් අතර ෆුට්බෝඩ් වලින්ම මාරු වෙන්නේ එහෙම කෝච්චිය යද්දීමයි. ඒ කාලේ ඉඳලා තිබ්බ ආසාවක් තමයි කෝච්චි එන්ජිමේ යන එක. දැන්වත් ඒ ආසාව ඉටුකරගන්න ඕනේ..

     
    • henryblogwalker

      ජූලි 8, 2012 at 10:29 පෙ.ව.

      දැන් බැලුවම අපි හැමෝම කෝච්චි පිස්සොනෙ අර අඩවි රජා ඇරෙන්න.😀
      ඉතින් දැන් බැරි ඇයි එන්ජිමේ යන්න? කතාකරලා බැලුවා නම් හරි.🙂

       
  28. අඩවි රජා

    ජූලි 8, 2012 at 9:57 පෙ.ව.

    මට නං කෝච්චියේ ගිහිල්ලා එපා………..වෙලා 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
    • henryblogwalker

      ජූලි 8, 2012 at 10:15 පෙ.ව.

      මේකා ජහමනයගෙ දහඩිය සුවඳ හඳුනන, ජහමනයත් එක්ක එකට ගැටෙන, කෝච්චියෙ යන පොරජාතන්ත්‍රවාදී රජෙක්නෙ! ඇයි රාජකීය රථය?

       
  29. abeetha

    ජූලි 8, 2012 at 2:06 ප.ව.

    සමාවෙයන් පරක්කු වුනාට ගොඩ වෙන්න… කෝච්චි අත්දැකීම් කමෙන්ට් එකකින් දාන්න බැරි තරමට ලොකුයි.. බ්ලොග් මාලාවක්ම ලියන්න පුළුවන් වෙයි… මමනම් ඒ කාලේ හොරෙන්මයි ගියේ….. දැන් නිකමටවත් හොරෙන් යන්නේ නෑ…

     
  30. henryblogwalker

    ජූලි 8, 2012 at 5:52 ප.ව.

    “අනේ මචං (දැන්) එහෙම බෑනෙ පවුල් වෙලා මං” කියන බයිලා කෑල්ල මතක් වුනා බං.😀

     
  31. සෑම් (sAm)

    ජූලි 8, 2012 at 10:07 ප.ව.

    පොස්ටුවක් දාලා හරියට කරදර වුනා සෑමාට :ඩී
    ඒකයි එන්න බැරි වුනේ.. හිකිස්..

    ලස්සන අතීතයක්. මට කෝච්චිය එච්චර ආතල් නැහැ නේ😦

    කෝච්චි ගැන කියනකොට මතක් වුනේ අපේ මිත්‍රයා ඔබාව.

    ජය !

     
    • henryblogwalker

      ජූලි 8, 2012 at 10:19 ප.ව.

      පෝස්‍ටුවක් දාලා කරදර වුනා කිව්වෙ කුලයා උඹට කලු ගලකින් වත් ගැහුවද?😀
      ඔන්න කෝච්චි වලට එච්චර ආසනැති දෙවෙනියා.😮
      ස්තුතියි සෑමා.

       
  32. අසරණයා

    ජූලි 8, 2012 at 10:52 ප.ව.

    රජයේ සේවකයෝ ස්ථාන මාරු කරනවා කියන්නේ කොච්චර අමාරු දෙයක් ද. . හැමෝම වගේ මමත් කෝච්චියට ගොඩාක් ආසයි කෝච්චියේ ට්‍රිප් ගියා බදුල්ලට ගිහින් බස් හොයාගෙන අනිත් ඒවා බලන්න ගියේ. 2010 අවුරුද්දේ අපේ සෙට් එකම වෑන් එකක් අරන් යන්න කතා කරද්දී මම බෑ කියල තනියෙන්ම නානුඔයට කෝච්චියේ ගිහින් බස් එකේ නුවර එලියට ඇවිත් අනිත් කට්ටියත් එක්ක එකතු වුනා.

     
  33. Sarath Lankapriya

    ජූලි 9, 2012 at 7:41 පෙ.ව.

    හොඳටම රස වින්දා. ඔය හැමදේම දරුවන් එක්ක එකතු වෙලා කරන්න කෝච්චියේ දුර ගමනක් යන්න මමත් හිතාගෙන ඉන්නවා එත් තාමත් බැරි උනා.

     
  34. Sammani

    ජූලි 9, 2012 at 10:04 පෙ.ව.

    නුවර කොළඹ 10.30 කෝච්චියට නුවරින් 9ට විතර ගොඩ වෙලා එහාට මෙහාට පැද්දි පැද්දී, සීට් එකක් හොයාගෙන ජනේලෙට ඔලුව තියාගෙන අනන්තය හොය හොයා කොළඹට අනේක වාරයක් ආපු එක්කෙනෙක් මං.. ගොඩක් වෙලාවට කඩිගමුව හරියට එනකොට ජනේලෙ උඩම මං නිදි, රාගමට කිට්‍ටු කරල තමයි ඇහැරෙන්නෙ.. බලන, කඩුගන්නාව, කඩිගමුව ස්ටේශන් මොන හේතුවටද මන්දා මගෙ ජීවිතේටම බද්ධ වෙලා වගේ.. කොච්චර ගියත් එපාවෙන්නෙ නෑ.. අවට සුන්දරත්වය බල බල යනවා.. . බදුලු ගියේනම් තාමත් එක පාරයි ..

    ඒත් ගාලු මාතර පැත්තෙ යනකොටනම් මට ඇතිවෙන්නෙ එකම එක සිතුවිල්ලයි.. ඈත මුහුද පේනකොට මට හිතෙන්නෙම අපි අපේ රට හුදකලා වෙලා කියලා.. මහ පිස්සු සිතුවිල්ලක් උණාට තාමත් කෝච්චියේ මුහුද පේන විදියට ගියොත් මට හිතෙන්නෙම ඕක …

     
    • henryblogwalker

      ජූලි 10, 2012 at 10:33 ප.ව.

      මේ කමෙන්ට් එක නිසා මම සම්මානිගෙ මල් මිටියාවතට යන්න පාර ඇරුනා. හරිම ලස්සන බ්ලොග් එකක්. අර මුහුද පේන කොට සම්මානිට ඇතිවෙන හැඟීම මට නම් කවදාවත් ඇතිවෙලා නෑ.🙂

       
  35. Buru

    ජූලි 9, 2012 at 9:30 ප.ව.

    ආශාවෙන් සටහන කියෙව්වා මතක පාර දිගේ සුසුම් එක්කම.

    අන්තිමට නුවර එලියේ රෑ කොච්චියේ යාළුවෝ එක්ක ගියේ 2003 විතර. ඒ ගමන් නම් තාමත් මතක් වෙනකොටත් හීන් හිනාවක් ගේනවා. ෆූට් බෝඩ් එකේ ඉඳන් සිගරට් එකක් බිබී ගිටාර් එකක් සෙල්ලම් කර කර අපි මෙහේ යාළුවෝ ටිකක් ලංකාවේ සෙට් වුනේ නියම ෆන් එකකට.
    නානු ඔයට යද්දි මගෙ යාළුවෝ එක්ක මටත් වඩා කෝච්චියේ හිටපු මිනිස්සු යාළුවෝ වෙලා. කොටින්ම මගේ ඒ යාළුවෝ දැන් නිතර මුනගැහෙන්නෙත් නෑ අපි රස්සාවල් අරවා මේව හින්දා බිසි වීම අස්සේ. ඒත් ටෙලිෆෝන් කෝල් එකකින් හරි අපේ ආගිය කතා මතක් කරද්දි මම ලංකාවට ගිහින් ආවා කීව ගමන්ම ඉබේම අපේ කෝච්චියේ නුවර එලි ගමන මතක් කරලා අනේ දැන් කොහෙද පවුල් පිටින් ඔය වගේ ගමන් යන්නේ කියලා හූල්ලන්නත් අමතක කරන්නේ නෑ.
    දැන් ඉතින් මම වැල්ලවත්ත බම්බපිටිය ගල්කිස්සේ කෝච්චි පාර දිගේ යනවා. හිටි ගමන් කවුරු හරි ළඟ හිටියොත් අඩෝ මාවත් කෝච්චියේ එක්ක පලයන් කියලා පුරුද්දට තාමත් කියවෙනවා.
    මෙහේ නම් ඉතින් මගේ ඩේලි ට්‍රාන්ස්පෝට් වල කෝච්චිය තියෙනවා. ඒත් ඒකයි ලංකාවේ කෝච්චි ගමන් සමානයි කියලා මට කවදාවත් හිතිලා නෑ.

     
  36. DeeJay

    ජූලි 9, 2012 at 9:42 ප.ව.

    ඉස්සර අපි දෙන්නා ගෙ විනෝදාංශ වලින් එකක් නෙ නිවාඩු දවස් වල උදේට පේරාදෙණියෙන් කෝච්චියකට නැගලා නුවර ගිහිල්ලා එතනින් ආයෙමත් තවත් කෝච්චියකට නැගලා, පිලිමතලාවට නැත්නම් නාවලපිටියට එහෙමත් නැත්නම් කඩුගන්නාවට, මීරීගම වගෙ ඒ වෙලාවට හිතෙන තැනකට ගිහින් බැහැලා ඊලගට තියෙන කෝච්චියෙන් ආපහු පේරාදෙණියට එන එක.

    සමහර දවස් වල හවසට ඔහේ කෝච්චි පාර දිගේ නිදහසේ මොනවා හරි කකා කතා කර කර ඇති වෙනකන් ඇවිදලාත් තියෙනවාත් මතක් වුනා.

    ඔව්, මෙ පාරවත් බලමු කොහොම හරි කෝච්චියෙන් කදුකරයේ රවුමක් ගිහිල්ලා එන්න ගෙදර ගියාම.

     
  37. vpokura

    ජූලි 9, 2012 at 10:08 ප.ව.

    හරිම ලස්සනට චිත්‍රරූප මැවුනා..අපූරුයි,..!!

     
  38. නවම්

    ජූලි 10, 2012 at 11:13 පෙ.ව.

    අම්මල ගාල්ලෙයි මම කොළඹයි ඉන්න කාලෙ හැම සති අන්තයකම කෝච්චි සරණං ගච්ඡාමි තමයි. කොච්චර තද බද වෙලා ඇඹරිලා ගියත් බස් එකේ යනවට වැඩිය සනීපෙට යන්න පුළුවන්. මම යන්න ආසම අර කෝච්චි පෙට්ටි දෙක සම්බන්ධවෙන තැන තියන යකඩ තහඩු දෙකට කකුල් දෙක තියාගෙන [පෙට්ටිට ඇතුලෙ] සමහර ඔ‍ෆිස් ඇරිල යන අංකල්ල ඉන්න වෙලාව්ට නම් එහෙම යන්න බැරි වෙච්ච දවස් තියනව😉 එතකොට ෆුට්බෝඩ් එකේ වාඩිවෙලා එහෙමත් නැත්නම් හිටගෙන.

    එක සැරයක් ගාල්ලෙ ඉඳල කොළඹ එන්න ආපු කෝච්චිය මම හිටපු අන්තිම පෙට්ටිය බූස්සෙන් හලල ගියා. විනාඩි තිහක් විතර ගියා ආයෙම අමුනගන්න.

     
  39. henryblogwalker

    ජූලි 10, 2012 at 10:43 ප.ව.

    පුවක් ගහකට ගියත් දෙබලක්නේ?

    මාත් ආසයි ජොයින්ට් එකේ යන්න. ඒක ත්‍රාසය, භීතිය ඔක්කොම තියෙන අත්දැකීමක්නෙ.

     
  40. u4j10

    ජූලි 11, 2012 at 11:10 පෙ.ව.

    Niyamai.Train eke trip ekak yana tharam gathiyak wena koheth nehe.

     
  41. හංසකිංකිණි

    ජූලි 11, 2012 at 1:17 ප.ව.

    මං නං ආසම බදුලු කෝච්චියෙ කවුලුවක් ලඟ වාඩි වෙලා පේරාදෙනියෙං එහාට ඔලුව එලියට දාං යන්ඩ තමා!!!
    හ්ම්!!! අපේ අම්ම නං ලඟදි ගියා… මටත් යන්ඩ ඕනේ….

     
    • henryblogwalker

      ජූලි 11, 2012 at 10:23 ප.ව.

      ඇයි පේරාදෙණියට කලින් මීරිගම ඉඳලා තියෙන හරියත් නරක නෑ නේද? කම්මැලිකමට ඉන්නෙ නැතුව අම්මත් එක්ක යන්න තිබ්බනෙ දෙන්නට.

       
  42. Gaminie Vijith

    ජූලි 11, 2012 at 1:39 ප.ව.

    කාලෙකට පස්සෙ ආයෙත් කෝච්චියෙ ගමනක් ගියා වගේ මචං .. කෝච්චි මතකය ඇවිස්සුවාට ස්තුතියි ..!

    අපි පුංචි කාලෙ ඉස්කෝල නිවාඩුවට අපිව රේල්වේ වොරන්ට්වලින් රට පුරාම එක්ක යන්න තරම් අපේ අම්මලා තාත්තලාගෙ ජීවිත නිස්කලංක උනා. ඒත් අපිට ඒ අත් දැකීම අපේ දරුවන්ට දෙන්න බැරි උනා මචං. අපිට රස්සාව දාලා යන්න බෑ .. දරුවන්ට ටියුෂන් පන්ති දාලා යන්න බෑ.

     
  43. Hiruhimawi

    ජූලි 11, 2012 at 4:39 ප.ව.

    හ්ම්ම් කොච්චි!🙂

     
  44. henryblogwalker

    ජූලි 11, 2012 at 10:30 ප.ව.

    හ්ම්ම්ම්🙂

     
  45. Dulip Sikurajapathy

    ජූලි 13, 2012 at 12:33 ප.ව.

    මම ගිය සතියෙ මගෙ කෙල්ලව එක්කගෙන නුවර ගියා කෝච්චියෙ. මම හිතන්නෙ ඒ තමා මගෙ හොදම කෝච්චි ගමන

     
  46. ඩිලාන්

    ජූලි 14, 2012 at 2:02 පෙ.ව.

    මේ සැරේ ලංකාවට ගිහින් මම නම් ගියා හොද කෝච්චි ගමන් සෙට් එකක්,හැටන් ගියා ශ්‍රී පාදේ යන්න කෝච්චියෙන්,, බිම වැටීගෙන කෝච්චි ගමන මරු

     
  47. අංගොඩයා..

    ජූලි 27, 2012 at 9:50 ප.ව.

    හ්ම්ම්ම්.. කාලෙකින් කෝච්චියක ගිහින් නැහැ.. ඔය මගුල සිග්නල් නැතුව අතන මෙතන වරු ගණන් නවත්තගෙන ඉන්න එක තමයි එපා වෙන්නේ..

     
  48. ගිමන් නිවන්නා

    අගෝස්තු 2, 2012 at 9:26 පෙ.ව.

    අපූරුයි Dude, පුංචිම පුංචි කාලේ ඉඳලා හිටලා පොල්ගහවෙල ඉදන් ගාල්ලට ගිය දුම්රිය ගමනෙදි මම වින්ද සුන්දර දේවල් ගොඩක් ඒ විදිහටම විස්තර කරල තියන හැටි දැක්කහම පුදුමත් හිතෙනව. කෝච්චිය කියන්නෙ නම් කොයි කාට වුනත් සුන්දර අත්දැකීමක් වෙන්න ඕනෙ.
    ඒත් අර පාපුවරුවේ ඉඳගෙන යාම ගැන නම් ඒ හැටි මනාපයක් නෑ Dude. එය රසවත් අත්දැකීමක් තමයි ඒත් එක්තරා විදිහක අවදානමක් නේද? මගේ ජීවිතේ ප්‍රථම වගේව ලඟම මිතුරෙක් ජීවිතෙන් සමුගත්තෙ දුම්රියේ පා පුවරුවෙ හිඳගෙන යමින් සිටියදී ඉවතට විසි වීමෙන්. එදා සිට දුම්රිය පාපුවරුව මට පේන්නෙ අනතුරක් විදිහට.

     
    • henryblogwalker

      අගෝස්තු 2, 2012 at 10:28 ප.ව.

      ඒ කියන්නෙ ලිපිය සාර්ථකයි. කෝච්චියට අකමැති අයත් අතරින් පතර ඉන්නවා වාගෙ ගිමන්.
      මට හරිම කණගා‍ටුයි යාලුවා ගැන නම්.😦

       
  49. Kaushi Ariyabandu

    අගෝස්තු 2, 2012 at 1:54 ප.ව.

    හප්පේ කෝච්චි කතාවක්… කෝච්චියේ කොහෙ ගියත් ඒක මාර ඇත්දැකීමක් නේද? ඇත්තටම මගෙත් ජීවිතේ වැඩි හරියක් කෝච්චියේ තමයි ගෙවුනේ. ලවු කළෙත් කෝච්චියේ නෙවැ.
    මේ කාටවත් නොකිවු කතාවක්… හැමදාම කොල්ලෝ ටික ෆුට්බෝඩ් එල්ලුනාම අපිට යන්න හම්බුවෙන් නෑ නොවැ. ඕලෙවල් තිබුන නිවාඩු කාලේ අපි ගිය හැම කෝච්චියකම සෙනග අඩු නිසා කාටවත් බය නැතුව කාගෙන්වත් බැනුම් අහන් නැතුව හිතේ හැටියට ෆුට්බෝඩ් එකේ අන්තිම පඩියට බැහැලා ආවා මතකයි.. ගෙදරට කේලම් කියන්න ඇන්ටිලා අංකල්ලා නෑ නොවැ.
    උදේට කෝචිච්යට එන්නේ ඒක ඉස්සරහින් රේල්පාර දිගේ දුවගෙන නිසා මං එනකං කෝච්චිය නවත්තගෙන හිටපු වාර අනන්තයි. ප්ලැට්ෆොම් එකට එනකොට ස්ටේෂන් මාස්ටර් ඉක්මණට නගින්න කියලා මාව නග්ගගන්නවා හරියට ස්කූල් වෑන් එකක වගේ…. එය මාරැ වෙලා යන දවසේ උදේම මට කතා කරලා කිව්වා රේල් පාර දිගේ එනවනං වේලාසනින් එන්න කියලා. හැබැයි ඊළගට ආපු ස්ටේෂන්මාස්ටරැත් මගෙන් ඇහුවා ආ මෙයාද මේ හැමදාම කොච්චිය පරක්කු කරන ගෑනු ළමයා කියලා…… ලැජ්ජාවේ බෑ…..

    අපේ මහත්තයව ඇදගෙන කොච්චියේ කොහෙහරි යන්න ඕනෙ කියන ආසාව අලුත් වුනා මේක කියවලා……

     
    • henryblogwalker

      අගෝස්තු 2, 2012 at 10:16 ප.ව.

      හපොයි අපිත් ලව් කොරන කාලේ අරමුනක් නැතුව කෝච්චිවල ගිහින් තියෙනවා අනන්ත. සාදරයෙන් පිළිගනිමි මට හිතෙන හැටි වෙත.

       
  50. අටම්පහුර

    අගෝස්තු 31, 2012 at 10:37 ප.ව.

    අපිත් රට වටේම ගියා , වෙනසකට තියෙන්නේ බඩුටික ලොරියේ.
    මේ පෝස්ට් එක මාර රහයි.

     
  51. අළුත් මල්ලි

    ඔක්තෝබර් 25, 2012 at 1:52 ප.ව.

    හ්ම්ම්… කෝච්චි ගැන මගේ නම් මහා ලොකු අත්දැකීමක් නෑ… කොළඹට ගියත් බස්එකේ තමා එල්ලිලා යන්නේ…. ඒක පුරුද්දට ගිහිල්ලා… පෝස්ට් එක කියවනකොට අමුතුම ලෝකෙ‍කට ගියා වගේ… ඔබට ජය…

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: