RSS

75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

20 ජූලි
75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

පාසැල ඇරුනාම සුලෝහිත ඉස්කෝලෙ ගාවයින් පිටත්වෙන ඩබල් ඩෙකර් බස් රථයෙ උඩුමහලෙ පසුපස වීදුරුවෙන් පෙනෙන තට්ට හිස ධර්මාරාම හාමුදුරුවන්ගෙ. ධර්මාරාම හාමුදුරුවන්ගෙ රූපකාය මට සිහිපත් කලේ සිවුරක් පොරවාගත්ත මල්ලවපොර ශූරයෙක්ව. තනි උරේට දාන සිවුර නිතර නැවත නැවත උරයට උඩින් දෙපැත්තට විසි කර අඳින පුරුද්දයි, පොළොවට නොදැනෙන උපශාන්ත ගමන් විලාසය වෙනුවට , බරට අඩි තියමින් දෙපැත්තට මදක් පැද්දෙමින් කරන ගමන් විලාශයයි නිසාමද කොහෙද කවදත් කාටත් නම් පටබඳින කොල්ලන් උන්වහන්සේව හැඳින්වුව අනවර්ථ නාමය “තන්ඩර්”. ඒ එවකට ජනප්‍රිය සුපිරි වීරයෙකුගෙ සහයට හිටි තට්ට හිසක් ඇති චරිතයක්. තන්ඩර්ට අමතරව ‘කිහිල්ලේ මයිලානන්ද’  යනුවෙනුත් උන්වහන්සෙව හැඳින්වුවා.

බෲස් ලී, “එන්ටර් ද ඩ්‍රැගන්” චිත්‍රපටියෙන් මුලු ලොවම වසඟ කරගෙන හිටි ඒ දිනවල අපි කාටත් තිබ්බ ‘කුං ෆූ’ උන ධර්මාරාම හාමුදුරුවන්ටත් වැළඳිලා තිබ්බ නිසාදෝ උන්වහන්සෙ පන්ති කාමරය ඇතුලෙදි අපිට කරාටේ ප්‍රහාර එල්ල කරන්නෙ කටින් ‘ඩිෂුම්, ඩිෂුම්, යාහ්,යාහ්’ හඬ නගමින්. මිට මෙලවූ අතින් ‘ඩිෂුම්’ හඬත් සමග අපට හිටිවනම එල්ල කරන මුෂ්ඨි ප්‍රහාරත්,  අත්ලේ දාරයෙන්  ‘යා………හ්’ හඬ සමග බෙල්ලට එල්ල කරන චොප් වර්ගයේ ප්‍රහාරත් ඉලක්කයට අඟල් කීපයක් තිබියදී ගුවනේම නතර වෙනවා. මේ හාමුදුරුවන්ගෙ කෙළිලොල් ගතිය නිසා අපි සෑහෙන විනෝදයක් ලැබුවත් උන්වහන්සෙට තිබ්බ ගුරු ගෞරවයට ඉන් අබමල් රේණුවක හානියක් වුනේ නෑ.

වරදක් කල විට බොහෝවිට දඬුවමට ලක්වෙන්නෙ කොල්ලන්ගෙ කණ හෝ බඩයි. කණ වගේම බඩත් ඇඟිලි දෙකකින් වැරෙන් අල්ලා අංශක අනූවක් කරකවන විට දැනෙන සනීපය කියා නිමකල නොහැකියි.

බුද්ධාගම සටහන් ලියා ගැනීමේදී අපට යම් කිසි කොටසක් මග හැරෙන එක නිතර සිදුවෙන දෙයක්. ඒ වෙලාවට අත උස්සලා “සාදු,…………” කියලා මග හැරුන කොටස අහලාදැනගන්න එකත් ඒ වගේම නිතර සිදුවෙන දෙයක්.  උදාහරණයක් විදියට, සිසුවෙක් අත ඔසවා,
“සාදු, අනේපිඬු සිටානෝ…?” වැනි යමක් ඇසුවොත්
එවිට තොල් පෙරලා ප්‍රශ්ණය ඇසූ කොලුවා දෙස බලන ධර්මාරාම හිමි;
අනේපිඬු සිටානෝ? ඔව්, අනේපිඬු සිටානෝ පාදයක් පෙරට ගෙන වේගවත් පහරක් එල්ල කලා ආරක්ෂාකාරී ඉරියව්වක් අනුගමනය කරමින්. (දැන් උන්වහන්සේ තනිවම අත් පොලසන් දෙමින්, තට්ට හිස වනමින්) දැන් පන්දුව වේගයෙන් ගලාගෙන යනවා  ස්ලිප් ක්‍රීඩකයන් අතරින්. ඔව්, මට පේනවා එක්ස්ට්‍රා කවර්, කවර් පොයින්ට්, මිඩෝන්. මිඩෝෆ්, ෆයින් ලෙග්, තර්ඩ් මෑන් යන ස්ථානවල ක්‍රීඩකයන්…. පුතා මොකක්ද ඇහුවෙ? අනේපිඬු සිටානො නේ? අනේපිඬු සිටානෝ වරක් බුදුරජාණන්වහන්සේගෙන් විමසා සිටි විට…”
සිනහව තද කරගන්නා අපි සටහන සම්පූර්ණ කරගන්නවා අදාල කොටස් පමණක් යොදා ගනිමින්. උන් වහන්සේගේ මේ හැසිරීම අපිට නම් හුරු පුරුදු වුවත් අලුතින් ආපු සිසුවෙකුට නම් අදහාගන්නත් බැරි තරම්.

හිටි ගමන්, දෑස් වසාගෙන  තට්ට හිස පද්දමින්, මිට මෙලවූ අතින් කල්පිත මයික්‍රෆෝනයක් අල්ලා ගන්නා ධර්මාරාම හාමුදුරුවෝ කට උල් කරමින් “කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී, බඳින දවසෙ මගුල හැඩයි යස හැඩ කාරී” යනුවෙන්  ගායනා කරන්නේ අපිට පැවරුමක් දී අපි එය කරන අතරේයි. උන්වහන්සේ මේ කොටසම ‍තෝරාගන්න ඇත්තෙ කුරුළු යන වචනයේ ‘කු’ යන්න ශබ්ද කිරීමේදී ඇති තරම් කට උල් කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙන නිසා වෙන්නට ඇතියි මට හිතුනා. “යස හැඩකාරී” කොටස කියනවිට මුහුණේ සිනාවක් සමග හිස පද්දන්නෙ කුරුලු කුමාරිගෙ හැඩ ගැන පූර්ණ තෘප්තියකට පත්වූ අයෙකු මෙන්.

දීර්ඝ බුද්ධාගම සටහන් ලියාගන්නා විට කෙටිමං පාවිච්චි කිරීම මම කරපු අහිංසක කට්ට කමක්. ඉතා දිග වචනයක් මෙන් පෙනුන බුදුරජාණන්වහන්සේ මම LB යනුවෙන් ලිවීමට පුරුදුවී  සිටියා.  සටහන් දෙන අතරම හදිසි ක්‍රිකට් විස්තර ප්‍රචාර, මරදාන දුම්රිය ස්ථානයේ නිවේදන ප්‍රචාරය කරමින් ගී ගයමින් පන්තිය පුරා සක්මන් කරමින් සිටි ධර්මාරාම හිමි මා අසල තිරිංග යොදා එක්වරම  නතර වුනා. මගේ සටහන දෙස හිස වනමින් මඳ වේලාවක් බලාසිටි උන්වහන්සේ,

“කාටද පුතා LB කියන්නෙ?” යයි ඇසුවා.

“ලෝඩ් බුද්ධ හාමුදුරුවනේ !” මම උත්තර දුන්නෙ දැන් කනෙන් අල්ලයි යන බලා පොරොත්තුවෙන්. නමුත් සිදුවෙනේ වෙන දෙයක්.

“පුතා, අප මහ බුදුරජාණන්වහන්සේ සකල ලෝක වාසීන්ටම ලොකූ සේවයක් කරපු උත්තමයෙක්. ඒවගේම අසහාය ධර්මයක් දේශනා කරපු උත්තමයෙක් වගේම, අපේ ආගමික ශාස්තෘවරයා වෙන උන්වහන්සෙගෙ නම  ලියන්නත් අපි  කම්මැලි වෙනවා නම් පුතා, අපි බෞද්ධයො හැටියට ලැජ්ජා වෙන්න ඕනෙ නේද?”

“එහෙමයි හාමුදුරුවනේ”

එදායින්  පසු සටහන් පොතේ එක් පි‍ටුවකට කී වරක් අප බුදුරජාණන්වහන්සේ යයි ලිවීමට සිදුවුවත් මම නොවේ කෙටි මං හෙව්වේ.

මේ තවත් දවසක්.
එදත් අපේ හාමුදුරුවෝ සටහන් කියවමින් පන්තියෙ සක්මන් කරනවා.

“…මගධ රටින්…”

ඔන්න අපේ එකෙකුට ප්‍රශ්ණයක්.

“සාදු, “මගද රටින්” කියන්න කොයි දයන්නද?

සක්මන නවතා බෙල්ල ඇලකර අපේ එකා දෙස බැලූ ධර්මාරාම හිමියෝ…

“ධර්මාරාම ධයන්න පුතා, ධර්මාරාම ධයන්න” යයි පවසා සක්මන පටන්ගත්තේ කිසිත් සිදු නොවුනා වගෙයි.

ධර්මාරාම හාමුදුරුවන්ගේ සටහන් ලියා ගැනීමට නම් ‘කිරෙන් දියර වෙන් කර ගන්නා හංසයා’ සේ විශේෂ හැකියාවක් තිබිය යුතුයි. හොඳ අවධානයෙන් නොසිටියොත් සටහන් කුමක්ද සටහන මැද අනපේක්ශිතව නිකුත් කරන නිවේදනය කුමක්දැයි හඳුනාගත් නොහැකිව පඹගාලක පැටලෙනවා ඒකාන්තයි.

“…දිනක් නාලාගිරි ඇතාට රා පොවා… පුතා, හෙන්රි පුතා, ඔය බස් හෝල්ට් මුර කර කර හිටියට වැඩක් වෙන්නෙ නෑ පුතා. ඔය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඔය ගෝතමී එක පැත්තෙ කැරකි කැරකි ඉඳලා විතරක් හරි ගිය එකෙක් නෑ පුතා…You must remember that පුතා!… උන්වහන්සේ ඉදිරියට එවන ලදි.”

ඉදින් කාඩ් (ඉතිරි වී ඇති කාඩ් එකක් වේ නම්) කුඩුයැ!

ඉහල මට්ටමක ඉංග්‍රීසි දැනුමත් තිබ්බ ධර්මාරාම හිමියෝ අපිට සමහර විට බනින්නේත් ඉංග්‍රීසියෙන්. පණිවිඩයක් ‍රැගෙන පන්තියට එන පිට පන්තියක සිසුන් හෝ ශිෂ්‍ය නායකයින් කඩු පහරින් ගෙල සිඳ නොගන්නෙ යන්තමින්.

“අවසර හාමුදුරුවනේ”

“Yes? What can I do for you, පුතා?”

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජාතිවාදීන් ආගම් වාදීන් අන්තවාදීන් යැයි යැයි චෝදනා කරන්නන්  ධර්මාරාම වැනි හිමිවරුන් ගැන අසාවත් ඇත්දැයි සැකයි. මෙය අපටත් ඇදහිය නොහැකි සිද්ධියක්. අපේ පන්තියේ සිටි එකම මුස්ලිම් කොලුවාට, (අපි ඔහුට මොහමඩ් කියමු) ධර්මාරාම හාමුදුරුවො දවසක් මෙහෙම කියනවා අපි අහගෙන.

“ඒයි මොහමඩ්, අනිත් දවසෙ එනකොට අරන් එන්න පුතා පොතක්”

මොහමඩ් සටහන් පොතකුත් තවත් මොනවාදෝ පොත් කීපයකුත් ගෙන ආ අතර , අපට බුද්ධාගම උගන්නන ගමන්ම මොහමඩ්ව මේසය වෙත කැඳවා ඔහුට වෙනම ඉස්ලාම් ධර්මය ඉගැන්වීමටද  ධර්මාරාමහිමියෝ විනාඩි පහ දහයක් වැය කල සේක. එදා පාසැල් සිසුන් වුන අප මෙයින් තරමක් විමතියට පත් වුනත් අද වැඩිහිටියෙක් වන මට මෙය අදහාගත නොහැකි තරම් සිදුවීමකි.

කතා කීමේ රුසියෙකු වූ උන්වහන්සේ දවසක් කියූ මේ කතාව අදටත් මට එලෙසම මතකය.

>>ඔය බුදුරජාණන් වහන්සෙ වැඩ ඉන්න කාලෙ, ඉන්දියාවෙ හිටියනෙ බ්‍රාහ්මණයො කියලා ජාතියක්. මේ අය හරිම උඩඟු ජාතිය. තමන් අනිත් මිනිස්සුන්ට වඩා උසස් කියලා තමයි ඒ අය හිතාගෙන හිටියෙ.
දවසක්  ………….. බ්‍රාහ්මණයන්ගෙන් අහනවා
“මොකද නුඹලා ඔය විදියට තමන් උසස් ජාතියක්යැයි හිතාගෙන ඉන්නෙ?”
ඔන්න එතකොට නායක බ්‍රාහ්මණයා කියනවා,
“ඒ අපි අනිත් සියලුම කුල වලට වඩා උසස් නිසා”
එතකොට  ……….. අහනවා
“ඇයි තමන් හිතන්නෙ තමන් අනිත් සියලුම කුලවලට වඩා උසස් කියලා?”
“එහෙම වෙලා තියෙන්නෙ අපි මහ බ්‍රහ්මයගෙ කටින් උපන් නිසා”
එතකොට අපේ …………. අහනවා
“තමන්ට හොඳටම විශ්වාසද තමන් උපන්නෙ මහ බ්‍රහ්මයගෙ කටින් බව?”
එතකොට බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා,
“එසේය ස්වාමීනි, අපට හොඳටම විශ්වාසයි.”
“ඒ ගැන කිසිම සැකයක් නැතිද?” ………….. අහනවා.
“නැත ස්වාමීනි, ඒ ගැන කිසිම සැකයක් නැත.”
එතකොට අපේ ……….. කියනවා.
“එහෙමද? එහෙනම් අපි කවුරුත් දන්නවනෙ සාමාන්‍යයෙන් ලමයෙක් හම්බවෙන්නෙ කොතනින්ද කියලා. එහෙනම් එකත් එකටම මහ බ්‍රහ්මයාගෙ කටත් පිහිටලා ඇත්තෙ ඔය හරියෙම වෙන්ඩෑති” කියලා.<<

ඔය කතාවෙ ඇත්ත නැත්ත ගැන අපි ඒ වෙලාවෙම සැක පහල කලත් අපිට හිනාවෙන්න ලයිසන් ලැබුනා වගේ උන නිසා අපි බඩවල් කොර වෙනකල් හිනාවුනා. නමුත්  තට්ටෙ  රවුමට අතගාමින් හිටි ධර්මාරාම හිමියො නෙවෙයි පොඩ්ඩක්වත් හිනාවුනේ.

 

ටැග: , , , , , ,

105 responses to “75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

  1. hiruni

    ජූලි 20, 2012 at 12:22 පෙ.ව.

    ඇත්තටම මේ වගේ හාමුදුරුවරු ගැන අහන්නත් ලැබෙන්නෙ කලාතුරකින්….චිත්‍රය හරිම ලස්සනයි….:D

     
  2. Senna

    ජූලි 20, 2012 at 3:15 පෙ.ව.

    අමුතු හාමුදුරු කෙනෙක් වගේ නේද ?

    හාමුදුරු වරුන්ට ගුරු වෘත්තිය කැපද ? දැන්නම් ඉතින් පාර්ලිමේන්තුවෙත් පිණුම් ගහන එකේ උගන්වන එක කොච්චර හොඳද කියලා හිතෙනවා..

    චිත්‍රෙනම් නියමයි..

    මට මතක් වුනේ සිංහලයි, බුද්ධාගමයි, කතෝලික ආගමයි ඔක්කොම උගන්වපු අපේ සිංහල සර්ව..

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:03 ප.ව.

      අනේ දන්නෙ නෑ සෙන්නා මොනවා කැපද මොනවා අකැපද කියලා. නමුත් සමහර හාමුදුරුවරු හොඳ ගුරුවරු කියලා නම් දන්නවා.
      ස්තුතියි චිත්‍රය අගය කිරීමට. 🙂

       
  3. වින්චැට් කිරිල්ලී.

    ජූලි 20, 2012 at 3:46 පෙ.ව.

    මොන අවාසනාවක්ද මන්ද මට ලංකාවෙදි අහන්න දකින්න ලැබුනෙ හොඳ හාමුදුරුවරු ගැන නෙවේ…දැනුත් මගේ හිතේ තියෙන්නෙ ඒ පරන සෙවනැලි…

     
  4. raigamahandiya

    ජූලි 20, 2012 at 4:14 පෙ.ව.

    මා හිතන්නේ හෙන්රි, අපේ ගොඩක් හාමුරුවන් ජනතාවගෙන් ඇත්තටම “ගොඩක් ඈත්”. පන්සල් වල ගොඩක් දායකයන් ඉන්නවා තමයි. ඒත් සාමාන්‍ය ජීවිතයේදී වෙන්නේ මොනවාද කියලා සමහර උන්නාසෙලට මෙලෝ අවබෝධයක් නැහැ (පොඩි කාලෙම මහන වීම නිසා වෙන්නත් ඇති). ධර්මාරාම හාමුදුරුවන් ඒ අතින් ටිකක් වෙනස් හාමුදුරු නමක්!

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:06 ප.ව.

      ඒ කාරණාවෙදි මමත් රයිගම් හන්දියත් එක්ක එකඟයි. සමහර හාමුදුරුවරුන්ගෙ සමහර තර්ක හරිම බොළඳයි. නමුත් සද්ද නැතුව අහගෙන ඉන්න වෙනවා. ප්‍රශ්ණ කරන්න ගිහින් මිත්‍යාදෘශ්ඨිකයෙක් කියලා ප්‍රසිද්ධියේ අහගන්න බැරි නිසා. සාමාන්‍ය ජීවිතයෙදි ඉතාම බුද්ධිමත්ව හැසිරෙන පුද්ගලයො පවා අර දේශනාවන් අහන් ඉඳලා සාදුකාර දීලා පස්සෙ කියනවා “ෂෝක් බණ ටික” කියලත්. අර විමසා සැකහැරගැනීමේ ගතිය අද අහුරලා දාලා තියෙන්නෙ.

       
  5. praveena

    ජූලි 20, 2012 at 6:26 පෙ.ව.

    මම කියන්ට හිතපු දේවල්ම හිරුනි කියලා. 🙂

    ඔය වගේ ආනන්ද එකේ උගන්නපු හාමුදුරුවන් කෙනෙක් ගැන අපේ මාමා කියනවා අහලා තියනවා. කොහොම උනත්, හොඳ ගුරුවරයෙක් කියන එක නම් පැහැදිලියි. ලමයි කොච්චර විනෝදෙන් ඉගෙනගන්ට ඇතිද කියලත් හිතාගත්ත හැකි.

    හොඳම ටික තමයි ‘ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!! ‘
    සිත්තරෙත් හරිම අගෙයි.

     
  6. Hareendra Perera

    ජූලි 20, 2012 at 7:21 පෙ.ව.

    ධර්මාරාම හිමියන් රූපයෙන් දැක නැතත් ඔබගේ අකුරුවලින් උන්වහන්සේව මතුකළාට ඔබට තුති.

    සටහන අතරේ වෙන වෙන දේවල් කියන ගුරුතුමෙක් අපෙත් හිටියා. මට මතකයි ඒ ගුරුතුමා උගන්වපු පළවෙනි පාඩම ‘අප පරිසරයේ ක්ෂුද්‍ර ජීවීන්ද දැකිය හැක’ ඊටපස්සෙ පෝලිමට එනවා එහෙම ලියපු උන්ගෙ කන් මිරිකන්න.

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:06 ප.ව.

      හරී, අගය කිරීමටත් තුති. ඒ වෙන දේවල් කියෙව්වට මෙච්චර කල් ගිහිල්ලත් තවම මතක තියෙන්නෙ ඒ විශේෂත්වය නිසා වෙන්නැති. නමුත් උගන්නන ක්‍රමවේදවලට ඔය දේවල් එකඟවෙන්නෙ නෑ කියලා තර්ක කලත් අන්තිමට සාර්තක වෙලා තියෙන්නෙ ඒවම තමයි

       
  7. Weni

    ජූලි 20, 2012 at 8:22 පෙ.ව.

    ආදර්ශමත් හාමුදුරු නමක්..උගන්වන දේ නීරස නොවෙන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ. අපි 9 ශ්‍රේණියෙදි කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන්ම ආපු හාමුදුරුවො තමයි අපිට සිංහල හා බුද්ධාගම ඉගැන්නුවෙ.. කොයි තරම් දක්ශද කියනවනම් මට ඩී දෙකක් තියෙන්නෙ ඒ විශයන් වලට විතරයි.ඩී කියන්නෙ ඒ කාලෙ ගන්න තිබ්බ ලොකුම අකුරනෙ.. යන්තම් තව විශයන් තුනකට සී තිබ්බ නිසා ගොඩ ගියා උ.පෙ. ලට..

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:46 ප.ව.

      ඔව් බං. සමහර ගුරුවරුන්ගෙ ක්‍රමෝපාය ඔය අපිට කියාදෙන Teaching Methodology රාමුවට එකඟ නොවුනට, වඩා කාර්‍යක්ෂමයි. ඕක ඔය පන්ඩිතයො කවදාවත් තේරුම් ගන්නෙත් නෑ, පිළිගන්නෙත් නෑ. සුද්දෙක් කිව්වොත් විතරයි පිළිගන්නෙ.

       
  8. emailkavikaari

    ජූලි 20, 2012 at 9:27 පෙ.ව.

    මං හිතන්නෙ මේ ස්වාමීන්වහන්සෙ ගැන මීට පෙර අහල තියෙනවා

     
  9. emailkavikaari

    ජූලි 20, 2012 at 9:30 පෙ.ව.

    ඔය ස්වාමීන්වහන්සෙ වැල්ලවත්තෙ පංසලකින් නොවෙයිද? බෞද්ධ පතෝලයා කියා නාලන්දයේ ගුරුවරයෙක් සිටියාද?

     
    • padhmakumara

      ජූලි 20, 2012 at 7:26 ප.ව.

      කවිකාරිගෙ අනුමානෙ හරි.මට මතක විදියට ධර්මාරාම හාමුදුරුවන්ගෙ පන්සල වැල්ලවත්තෙ විජයාරාමය වගේ.

       
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:47 ප.ව.

      ඇයි ඇදුරු කියලා ඇතිනෙ. බෞද්ධ ප‍තෝලයා කියලා නමක් මම අහලා නෑ. වැඩේ කියන්නෙ, සිසු පරම්පරාවෙන් පරම්පරාවටනම් අප්ඩේට් කරනවනෙ කවිකාරි.
      ඔය පද්මකුමාර කියලා තියෙන්නෙ.

       
      • padhmakumara

        අගෝස්තු 2, 2012 at 7:57 ප.ව.

        කවිකාරිගෙ ඇදුරුතුමාත් ගිහින් තියෙන්නෙ සුලෝහිතෙට නේද?එතුමාගෙන්ම අහගන්න නිකං මොකටද වෙන අයගෙන් අහන්නෙ.

         
  10. මාරයාගේ හෝරාව...

    ජූලි 20, 2012 at 9:32 පෙ.ව.

    යකෝ මේ කියන්නේ අපේ මයික් ටයිසන් ගැනද..?

    ඔහොමම ලිව්වනං නිල අල්ලන වීරයා ගැන සහ බස්තියන් පයින් යන සෑර් ගැනත්…

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:48 ප.ව.

      ඔන්න ඕකනෙ කියන්නෙ. අර කවිකාරිට කිව්වා වගෙ මාර මල්ලි, සිසු පරම්පරාවෙන් පරම්පරාවටනම් ගුරුවරුන්ට දාන නම් අප්ඩේට් කරනවනෙ. උඹලා කියන්න ඇත්තෙ මයික් ටයිසන් වෙන්න ඇති. අර දෙන්න ගැන උඹම ලියපං මල්ලි. නිළ අල්ලන වීරයා අපේ ක්ලාස් ටීචර් වෙලාත් හිටියා බං.

       
      • Amarasinghe Sujatha

        ජූලි 22, 2012 at 10:15 පෙ.ව.

        දැං හාමුදුරුවො වැඩවසන්නෙ ඇමරිකාවෙ. ඇදුරුගෙ සීය ආච්චි දායකයො උන පංසල මේක. අර මරන්ට නියම උන හරක් නිදහස් කරන ආනන්ද හාමුදුරුවො වැඩවසන්නෙ වැල්ලවත්තෙ ඒ පංසලේ තමා

         
    • ලොකු ජෝන්…

      ජූලි 31, 2012 at 11:51 පෙ.ව.

      ඇයි ලොරි මූනා . අපි කියුවෙ චැලියක් උඩ ලොරියක් කියලා . නිගමුනි සර් නම් ලඟදි මියගියා. ඇතිවෙන්න බැනුම් අහලා ගුටි කාලා තිබුනට මට සෑහෙන්න දුක හිතුනා ඒ මරණය අහලා. එතුමට නිවන් සුව පතනවා !

       
  11. නිසුපා

    ජූලි 20, 2012 at 9:58 පෙ.ව.

    හික්ස්…නියම හාමුදුරු නමක් නෙ.කම්මැලි නම් නැතුව ඇති පොඩ්ඩක්වත්. අපිට ඉස්සර බුද්ධාගම ඉගැන්නුව මිස් ඔහේ පාඩම කියවන එක විතරයි කලේ.ටික වෙලාවකින් අපි නිදි.ඇස් ඇරගෙන හිටියෙ සැරින් සැරේ ඇස් වල වතුර ගගා බොහොම අමාරුවෙන්.

     
  12. Sumith Niriella

    ජූලි 20, 2012 at 10:07 පෙ.ව.

    බුද්ධාගම වගේ නීරස විෂයක් උගන්වන්න ඔන ඔය විදියට තමයි. අපට බුද්ධාගම ඉගැන්නුවෙත් හාමුදුරුනමක්, උන්වහන්සෙත් ඔය යට කතාව අපට කියලා දුන්නා.

     
    • ඉඳුනිල්

      ජූලි 20, 2012 at 7:46 ප.ව.

      ඒ හාමුදුරුවොමද මන්දා, මට දවසක් මතක හිටින පාරක් දුන්නා.. නිතර එහෙම කෝප ගැන්වෙන කෙනෙක් නම් නෙවෙයි ඒකට.

       
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:49 ප.ව.

      සුමිත්. කොයිකටත් කියලා මම එක චරිතයකට තිත් ඉරිම දාලා දැම්මා.

      අඩේ ඉඳුනිල් ගියෙත් ඔය සුලෝහිත ඉස්කෝලෙටමද? ම්ම් එහෙම කෝප ගැන්වෙන්නෙ නම් නෑ තමයි, බැරිම උනහම තමයි ඔය කණ, බඩ හෙම කරකවන්නෙත්.

       
  13. abeetha

    ජූලි 20, 2012 at 10:30 පෙ.ව.

    අපේ හිටියා ආනන්ද හාමුදුරුවෝ…. උගන්නනකොට අල්ලපු පන්තිවල ගුරුවරු ලමයි එක්කරගෙන් යනවා පිට්ටනියෙ ගස් ගල් යටට…. මොකද එච්චරකට හාමුදුරුවෝ උගන්නන පංතියේ ළමයි හිනා වෙනවා,,, ලොකුම දේ තමයි හාමුදුරුවන්ගෙ මුවෙන් මන්දස්මිතයකට වඩා වැඩි ද්යක් අපි කවුරුත් දැකලා නෑ ජීවිත කාලෙටම…

     
  14. Gaminie Vijith

    ජූලි 20, 2012 at 10:31 පෙ.ව.

    සුලෝහිතේදි නෙල්සන් මෙන්ඩිස් සර් අපට විද්‍යාව ඉගැන්නුවෙත් ඔය වගේම තග දාලා. පන්තියක අවධානය පවත්වාගෙන යන්න ඒ ගුරුවරුන්ට පුදුම හැකියාවක් තිබුනා.

    ස්කූල් බස් එකේ උඩ තට්‍ටුව මතක් කලාට ස්තුතියි මචං, ඒක නං විනෝද සාගරයක් .

    චිත්‍රය එල, මචං …!

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:53 ප.ව.

      මම දන්නවා මෙන්ඩිස් සර්. ආදරේට කිව්වෙ මෙන්ඩියානෙ. මචං මම නං ඔය ඩබල් ඩෙකර් එකේ ගියේ නෑ. උඹ නම් යන්න ඇති. අර පහල කමෙන්ට් එක දාලා තියෙන පද්මකුමාර අහලා තියෙහ්හෙ බස් එක එලවපු ඩෝසන් අයියා මතකද කියලා.උඹට තමයි ඒකට උත්තර දෙන්න පුලුවන්. ස්තුතියි මචං චිත්‍රය අගය කලාට.

       
  15. රූ

    ජූලි 20, 2012 at 11:45 පෙ.ව.

    සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසැල් කාලේ…
    ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ….

    පෝස්ටුව කියවද්දි එකපාරටම හිතට ආවේ මේ ගීය..පෝස්ටුවේ මතු කරපු මූලික හරය ගැන මම මොකුත් කියන්නැත්තෙ මේ ගැන කතා කරන එකෙන් වෙන්නෙ තවත් නීශ්ඵල මතවාද ඇති කරගැනීම පමණක් නිසයි..

    අතීත මතක අවදි කලාට ස්තුතියි..

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:58 ප.ව.

      මතකයන් අවදි උනානම් ඒක තමයි මූලිකහරය රූ. අර අනිත් වැඩකට නැති මතවාද නෙවෙයි, ඒක නිකම් අතුරු කතාවක් විතරයි. මම මේ හාමුදුරුවො හොඳයි හෝ නරකයි කියලා තීරණය කරන එක පාඨකයාට භාර කරලා ලියන්නයි උත්සාහ කලේ හැකි තරම් දුරට.

       
  16. සෑම්

    ජූලි 20, 2012 at 11:46 පෙ.ව.

    // කණ වගේම බඩත් ඇඟිලි දෙකකින් වැරෙන් අල්ලා අංශක අනූවක් කරකවන විට // බොහොමයක් හාමුදුරුවරු දඩුවම් කර පොදු ක්‍රමය නේද?

    බුදුරජානන්වහන්සේ කියලා මාත් ලියන්න කම්මැලි.. මම ලියන්නේ බුදුහිමි හර බුදුන් කියල හරි.. 🙂

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:01 ප.ව.

      ඒක දඬුවම් දීමේ පොදු ක්‍රමවේදයක් වගෙ සෑමා. බලං ගියාම අපි ඔක්කොම කම්මැලි හොරු වෙලා ඉඳලා තියෙනවා නේ? බලපං ඒක කිව්ව නිසා කී දෙනෙක් පාපෝච්චරනය කරලද කියලා. 😀

       
  17. නවම්

    ජූලි 20, 2012 at 12:48 ප.ව.

    මට නම් ඉස්කෝලෙ කාලෙදි හාමුදුරුනමකගෙන් විශයක් ඉගනගන්න ලැබිල නෑ. ඒත් මම අහල තියනව හාමුදුරුවො උගන්වන විලාශය ප්‍රසන්නයි විනෝද ජනකයි කියල. මොකද ඒ කාලෙ පිරිවෙන්වලය ගියපු යාළුවො කීපදෙනක්ම අපිත් එක්ක හිටිය.

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:04 ප.ව.

      පුදුමයි. ඉස්කෝලෙ කාලෙදි හාමුදුරුනමකගෙන් විශයක් ඉගනගන්න ලැබිල නැතිනම් උඹ කොහොමද ඔච්චර උපශාන්ත විදියට හැසිරෙන්නෙ කියලා කල්පනා කලේ. 😀

       
  18. සිඳු

    ජූලි 20, 2012 at 3:34 ප.ව.

    බුදුරජානන් වහන්සේ කියල ලියන්න මාත් කම්මැලියි ඒ දවස් වල.

    ඒ විතරක්ද,හරිම කම්මැලියි බුද්ධාගමට. කොච්චර කම්මැලිද කියනව නම් මම O/L බුද්ධාගම රචනා ප්‍රශ්න පත්තරේ අන්තිම ප්‍රශ්නෙ අන්තිම ප්‍රශ්න දෙකට උත්තර නොලියා හිටියනෙ. ඒ දෙකම තියෙන්නෙ විස්තර කරන්න.මට හොඳටම කම්මැලි හිතුණා. ඒ නිසා එක වාක්‍යයකින් දෙකට උත්තර ලියල නිකම් හිටිය. හැබැයි ප්‍රතිපල එනකම් බයේ හිටියෙ, ඇයි ඉතින් A එකක් මිස් වුනොත් කියල

     
  19. Thanoja Rajapaksha

    ජූලි 20, 2012 at 3:37 ප.ව.

    “පුතා, හෙන්රි පුතා, ඔය බස් හෝල්ට් මුර කර කර හිටියට වැඩක් වෙන්නෙ නෑ පුතා. ඔය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඔය ගෝතමී එක පැත්තෙ කැරකි කැරකි ඉඳලා විතරක් හරි ගිය එකෙක් නෑ පුතා…”

    ඇත්තටම දැකලද දන්නෙත් නෑ උන් වහන්සේ? 😉

     
  20. ගැමියාගේ පත් ඉරුව

    ජූලි 20, 2012 at 3:49 ප.ව.

    අපිට බුද්ධාගම විෂයට අදාල පීරියඩ් එක එනකොට දැනෙන්නේ මස් කඩේට දක්කන හරක්ට දැනෙනවා වගේ හැඟීමක්.ඒ තරම් වස හාමුදුරුනමක් මම ජීවිතේට දැකලා නෑ…. එක ගාථාවක් වැරදුනත් එක පාඩමක් කරලා නොතිබුනත් අතකට දෙක බැගින් අත් දෙකටම නෙලන්නේ ඇඟේ තියෙන සේරම ශක්තිය දාලා… වේවැල කැඩුනොත් අන්තිමට පාර කාපු එකා වේවැලක් පහුවදා ගෙනත් තියන්න ඕනේ…

    චිත්‍රය නම් පුදුම ලස්සනයි.හරිම තාත්විකයි…. ඒ වගේම අගය කල යුතු හිමිනමක්.

    මේ කතාව කියවද්දි මට මතක්වුනේ මම ඊයේ දැකපු සිද්ධියක්.. ඊයේ පොත් වගයක් ගන්න පිළියන්දල ප්‍රසාද් බුක්ෂොප් එකට ගියාම මම දැක්කේ පුංචිම පුංචි හාමුදුරු නමක් සිවුරත් ඇඳගෙන බිම ඉඳගෙන ඉන්න හැටි…. ටිකක් විමසිල්ලෙන් බැලුවාම මම දැක්කේ ඒ පොඩි හාමුදුරුවෝ බලාගෙන ඉන්නේ සෙල්ලම් බඩු අහුරලා තිබුණු ෂෝකේස් එක දිහා බව…. ඒ හාමුදුරුවන්ට අවුරුදු 3ක් හෝ 4ක් යන්තමින් ඇති කියලයි හිතුනේ…

    මම එතන පහුකරගෙන ගිහින් අවශ්‍ය පොත් ටික අරගෙන එනකොට දැකපු දෙයින් මට සෑහෙන්න දුක හිතුනා.ඒ පොඩි හාමුදුරුවෝ එතන හිටිය අක්කා කෙනෙක්ට කතා කරලා අර සෙල්ලම් බඩු දිහාට අත දික්කරනවා අරන් දෙන්න කියන්න වගේ.මම ටිකක් බලාගෙන හිටියා ඒ දිහා.ඒ පොඩි හාමුදුරුවෝ එතන ලොකු කාර් එක අරගෙන බිමින් තියලා යවන්න හදනවා….

    “මේක යන්නෑනේ…..”

    “මේක තල්ලු කරන්න ඕන සෙල්ලම් බඩුවක් බබා” ඒ අක්කා උත්තර දුන්නේ එහෙම.ඒත් කාටවත් ඒ ගැන වගක් නෑ මොකද සිවුර ඇන්දට ඒත් පුංචි දරුවෙක්නේ කියන හැඟීම හැමෝගාවම තිබුනා නිසා වෙන්නැති….

    මම ගත්තු පොත්වල සල්ලි ගෙවද්දි එතන හිටිය අක්කා කිව්වා “අනේ පව් මොනවා තේරෙන වයසකද මේ මහණ කරලා තියෙන්නේ” කියලා…

    ඒ කතාව ඇත්ත තමයි.ඒත් මට මතක්වුනේ රාහුල හාමුදුරුවන්ව.මම එතනින් ආවේ මේ ගැන සතුටු වෙන්නද දුක්වෙන්නද කියලා මුකුත් හිතාගන්න බැරිව….

    //ඔය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඔය ගෝතමී එක පැත්තෙ කැරකි කැරකි ඉඳලා විතරක් හරි ගිය එකෙක් නෑ පුතා…//

    මේං මේකනම් සහතික ඇත්ත ඈ…. දැන් එතකොට ඩුඩි තුමාගේ පාසල කොළඹ අවට එකක්ද??.ඔය ඉස්කෝලේ ගෑණු ලමයි ගැන කියන්න කතා එමටයි.මොකද අපෙත් මිතුරියෝ සෑහෙන්න හිටියේ ඔය පාසලෙයි දේවි එකෙයි විශාකා එකෙයි.

    මේ කතාවේ කතා නායකයා පෙට්ටියා….

    පෙට්ටියා තමුන්ගේ පාසල් ප්‍රවාහන සේවයේ නැගලා එනකකොට ගොඩක් දවස්වලට ගෝතමී එකේ බස් එකත් ට්‍රැෆික් එකට සෙට්වෙනවලු.වෙන එවුන් බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන එකේ මේ ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන මේකා ඉතින් බස් එකට කීප දවසක් තිස්සේ ඇහැ දාන්න ගත්තලු.

    කෙල්ලෝ මූව දැක්ක ගමන් අහක බලා ගන්නවලු ඉතින් ඔහොම වුනාම තද වෙනවනේ.මේකා හිතා ගත්තලු ආයේ ඔහොම කෙල්ලෙක් බලපු ගමන් හොඳ කුණුහරුපයක් කියන්න.කීප දවස බැලුවත් පෙට්ටියා කට අරින්න කලින් මුං අහක බලනවලු…. හදිසියෙම දවසක පෙට්ටියට තේරුනාලු කෙල්ලෙක් තමන් දිහා බලාගෙන ඉන්න බව.දෙපාරක් තුන් පාරක් මූ බැලුවත් කෙල්ල අහක බලාගත්තෙත් නෑලු.මෙච්චර කාලයක් බලං හිටිය වැඩේට හොඳ අවස්ථාවක් නිසා මේකා බස් එකටම ඇහෙන්න හයියෙන් ඇහුවලු

    ” **ද බලන්නේ…..??? ”

    කෙල්ල ගත් කටටම ඊටත් වඩා හයියෙන් ඇහැව්වලු ” ඇයි තමුසෙගෙ ** තියෙන්නේ මූණෙද….?? ” කියලා…

     
    • Senna

      ජූලි 20, 2012 at 9:06 ප.ව.

      මමත් විරුද්දයි ඔය කිරි සප්පයනව මහන කරන වැඩේට.. කිසිම හරයක් නැති මෝඩ පවු කාර වැඩක් ඕක.. කෙනෙක් මහන වෙන්ඩ ඕනා සිය කැමැත්තෙන් අවබෝධයක් ඇතුව..

      ඒ අතින් මේ සම්බන්ධ කතෝලික සභාවෙ පිළිවෙත විශිෂ්ඨයි.. දීර්ග පුහුණුවකින් පස්සෙ ඔවුන් නැවත සිතා බැලීමේ කාලයකුත් දෙනවා.. එතනදි තමන්ට බෑ කියලා හිතෙනවනම් අයින් වෙන්ඩ පුලුවන්.. එතකොට සැබෑම උවමනාව තියන කෙනා විතරයි පූජකවරය ලබන්නෙ. සිවුරු හැර යාමේ හා ලෝගු හැරයාමේ ප්‍රශිශත වල වෙනස ඕක තමා..

       
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:24 ප.ව.

      ගැමියාට නම් ඒ චාන්ස් එක ලැබිලා නෑ වගේ. මමත් අහලා තියෙන්නෙ හුඟක් හාමුදුරුවරු හරිම සැර පරුශයි කියලා තමයි.
      ස්තුතියි ගැමියා චිත්‍රය අගය කිරීමට.

      අර චූටි හාමුදුරන්ගෙ කතාවත් අර ටැග් එක යටතෙම දාන්න පුලුවන් එකක් තව ටික විස්තර කරලා. අපිටත් ඒක කියවලා හරිම දුක හිතුනා.

      මම ඔය කියන ඉස්කෝලෙ මොකක්ද කියලා දැන් නම් හංගන්න දෙයක් නෑනේ, බළලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නෙ. ඔය නාලන්දෙ. ගෝතමී එක අපේ සිස්ටර් ස්කූල් එක.
      අර පෙට්ටියාට නම්හොඳම වැඩේ!

       
  21. Niroshinie

    ජූලි 20, 2012 at 5:06 ප.ව.

    හරිම අපුරු හාමුදුරු නමක්! ඒ වගේම කොච්චර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ගුරුවරයෙක්ද?
    මට මතක් උනේ ලඟදි හම්බුනු ඕස්ට්‍රේලියානු ජාතික හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ නම ජගනාත ද මොකද්ද උනාට උන් වහන්සේ කියන්නේ ‘මන්ක් ජැග්’ කියල. ඔය වගේම තමයි ධර්මය පහදලා දෙන්නේ.

     
  22. විසිතුරු

    ජූලි 20, 2012 at 5:17 ප.ව.

    ලිපියෙ අන්තිම ටික කියවද්දි මට මතක් වුණේ මේ කතන්දරය….
    http://visituru.blogspot.com/2011/07/blog-post_21.html

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:31 ප.ව.

      අනිවා. ඇයි විසිතුරු ඕක තමයි මම විසිතුරුගෙ බ්ලොග් එකේ කියවපු පළවෙනි පෝස්ට් එක මට මතක විදියට. මේ තියෙන්නෙ මම ඒකට දාපු කමෙන්ට් එක.
      “බ්‍රහ්ම කටා සැහෙන වාසනාවන්තයි ඔය වගෙ ඩීසන්ට් බුවෝ සෙට් එකක් ලබන්න. මං හිටියනං ඕකට දාන්නෙ අනිත් නම: යෝ…… කටා කියලා”

       
  23. nalini

    ජූලි 20, 2012 at 5:32 ප.ව.

    හොඳ ගුරුවරයෙක්. බොහෝදෙනෙක් කම්මැළියයි සළකන ආගම විෂයය රසවත් විදිහට මතකයෙ රඳවලා. මමත් ඒ කාලෙ බු.රා. හරි බුදුන් හරි කියල ඕක කෙටි කළා.

     
  24. padhmakumara

    ජූලි 20, 2012 at 7:17 ප.ව.

    හෙන්රි මේ කියන්නෙ අහංගම ධර්මාරාම හාමුදුරුවො ගැන නේද?තවත් හාමුදුරුවරු දෙනමක් හිටියා ඒ දවස්වල සුලෝහිත ඉස්කෝලෙ ඒත් මට නම මතක තියෙන්නෙ කොක්මාදුවෙ ගුනසිරි හාමුදුරුවන්ගෙ විතරයි. මට නම් අවාසනාවකට ධර්මාරාම හාමුදුරුවන්ගෙන් ඉගෙනගන්න ලැබුනෙ නෑ මොකද අපේ පන්තියට දිගටම සිංහල සහ බුද්ධාගම ඉගැන්නුවෙ අමරසිංහ සර්.ඒත් සමහර දවස්වල සර් නැති දවසක හාමුදුරුවො අපේ පංතියට ඇවිත් තියනවා.තන්ඩර් කියන නමටම ගැලපෙන ඇඟපත නිසා ඒ නම අපහාසයක් නම් නෙමෙයි අනික එතුමා ඒක දැනගෙන හිටියා.මට මතක විදියට සතුට පත්තරේ නේද තන්ඩර් චරිතය තිබුනෙ? ධර්මාරාම හාමුදුරුවො ඉස්කෝලෙ හිටපු හොඳම ගුරුවරයෙක්.දැන් ඉන්නෙ ඇමරිකාවෙ මම දන්න තරමට. නිලවීර සර් එහෙම වැරදිලාවත් පංතියට ඇවිත් නැද්ද?එක දවසක් ටීචර් කෙනෙක් නැති වෙලාවක ඇවිත් බුද්ධාගම ප්‍රශ්නයක් අහලා එකෙකුටවත් උත්තර දෙන්න බැරුව අපි ඔක්කොම ගුටිකෑවා.ගහන ගමන් කියනවා උඹලට මේකට උත්තර දෙන්න බැරි වුනාට බෝ මැඩ මුලදී ජිනරත්න තන මිරිකුවා කියන එකේ තේරුම නම් කියයි නේද කියලා.අයියයි මල්ලියි දෙන්නම හිටපු විතාන සර්ලගෙන් ලොකු විතාන සර්ගෙන් මැත්ස් එහෙම ඉගෙනගත්තද?ඒදවස්වල ඕ ලෙවෙල් සයන්ස් පංති දොලහෙන් එකොලහක්ම ගුරුවරු නැතුව ලොකු විතාන සර් එක පංතියක උගන්වනව නම් එකෙක් සද්ද කරන්නෙවත් පංතියෙන් එලියට බහින්නෙවත් නෑ.කමෙන්ට් එක දිග වැඩි වුනත් අපිට පිසික්ස් කරපු ජයසූරිය සර්ව මතක් කල යුතුමයි.ඕ ලෙවෙල් අවුරුදු දෙකටම අපිට සර්ගෙන් මිස් වුනේ පීරියඩ් දෙකයි. ඒකට හේතුව තමයි පූගොඩට ගංවතුර ගලලා සර්ට එන්න බැරිවුනා.මට හම්බවුන තවත් හොඳ ගුරුවරයෙක්.හාමුදුරුවො ගැන කියපු නිසා අපිට වුන තවත් අකරතැබ්බයකුත් ලියනවා.ඒ ලෙවෙල් වලට ගිහින් 11 වසරෙ මුලම දවසෙ කාල සටහන පංතියට ගෙනහවම පියෝ මැත්ස් වලට එන ගුරුවරයගෙ නමට තිබුනා උදිත හිමි කියල.අපි හිතුවෙ මොකක් හරි වැරදීමක් කියලා.මෙන්න යකෝ පලවෙනි මැත්ස් පීරියඩ් එකට තරුන හාමුදුරු කෙනෙක් ඇවිත් මම උදිතධම්ම කියලා අඳුන්වල දීල පාඩ්ඩම පටන් ගත්තා.වැඩි කාලයක් හිටියෙ නෑ ඒ හාමුදුරුවො.පස්සෙ කාලෙක ඒ හාමුදුරුවන්ගෙ කැම්පස් බැචෙක් හම්බවුනහම තමයි දැනගත්තෙ බැචාල එයාට කියන්නෙ ගනිතධම්ම කියල බව.කමෙන්ට් එක දිග වැඩි නිසා ඉවරකරන්න ක්ලින් අහන්නම් ඔය කියලා තියන ඩබල් ඩෙකර් එක එලවපු ඩෝසන් අයියව මතකද?

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:54 ප.ව.

      පද්මකුමාර මගෙ සමකාලීනයෙක් වගෙ මට පේන්නෙ. මාවත් දන්නවද කියලා කල්පනා කලේ.

      ඔව් ඒඅහංගම ධර්මාරාම හාමුදුරුවො තමයි. ඔව් මටත් ඔය අනිත් හාමුදුරුවො මතකයි. ඔව් තන්ඩර් සතුර්ට පත්තරේ නිව්රෝගෙ දකුණු අත. 🙂 නිලවීර සර්, පොඩි විතාන සර් අපේ පන්ති භාර වෙලා ඉඳලා තියෙනවා.උදිත හාමුදුරුවොත් මටමතකයි වාගෙ. කමෙන්ට් දිග වැඩියි කියලා එකක් නෑ මචං. මම මේකෙන් සෑහෙන රසයක් වින්දා. එතකොට ඔය ජයසූරිය සර් අපිට ‍ෆිසික්ස් ඉගැන්නුවා.

      අර ඩබල්ඩෙකර් එකේ මම ගිහින් නෑ මචං. අර උඩ කමෙන්ට් එක දාලා තියෙන ගාමිණී නම් ගිහින් ඇති. අහලා බලමු.

      ස්තුතියි කමෙන්ට් එකට. ආයෙ එනවනෙ?

       
    • Gaminie Vijith

      ජූලි 23, 2012 at 6:12 ප.ව.

      මචං පද්මකුමාර,

      මචෝ පේන හැටියට අපි (මමයි, හෙන්රියායි, උඹයි) එකම කාලේ සුලෝහිතයේ ඉඳලා තියෙන්නේ. සුලෝහිතයේ කිව්වට කුප්පියාවත්ත හන්දියේ සාන්තසිරි හෝටලයේ, බෝ‍රැල්ල ලිඩෝ එකේ සහ රිට්ස් එකේ තමයි මම අකුරු කලේ. ඉඳලා හිටලා සුලෝහිතේට ගිහිල්ලා නම ලකුණු කරගත්තා. ඔය කියාපු සේරම ගුරු දෙවිවරුන්ගෙන් මමත් බැනුම් අහලා, ගුටි කාලා තියෙනවා. නමය පන්තියෙදි වාර විභාගෙකදි කොපි කරලා අහුවෙලා ලොකු විතාන ගුරු දේවයාගෙන් කනේ පාරක් කෑවා, තාමත් මතක් වෙනකොට සනීපයි.

      මම සුලෝහිතයට ගොඩ උනේ 1970 දි අටේ පන්තියට.

      උඹ කියාපු ඩෝසන් අය්යා ගැන මට මතකයක් නෑ.

       
      • padhmakumara

        ජූලි 25, 2012 at 6:34 ප.ව.

        මචං ගාමිනී
        උඹයි මමයි සුලෝහිත ඉස්කෝලෙ එකම කාලවල ඉඳල තියනව.ඒත් උඹ මට වැඩිය අවුරුදු දෙකක් සීනියර්.මම ආවෙ 1973 ඕ ලෙවල් කර්න්න මහානමෙ ඉඳලා, මොකද ඒ දවස්වල මහානාමෙ කණිෂ්ඨ ඉස්කෝලයක් අටට විතරයි පංති තිබුනෙ.ඒකත් 8A,8බී ක්ලාස් දෙකයි.දැන් නම් කොහොමද? 77 ඒ ලෙවෙල් කරනකම් හිටියා.උඹ සයන්ස්ද කලේ.අපේ ඕ ලෙවෙල් ක්ලාස් ටීචර් කරුනාරත්න ටීච ඉංග්‍රිසි ඉගැන්නුවෙ.ඒ ලෙවෙල් වල රංජනී සිල්වා(රංජනි අක්කා) මතකද? බයෝ ජයවර්දන,කාලිදාස(කෙමෙස්ට්‍රි),ජයසූරිය(පිසික්ස්),ලොකු විතාන,ලෝරා(කෙමෙස්ට්‍රි),උපාලි පෙරේරා(කිතුල් බඩා)සර්ලව එහෙම තවම මතක් වෙනවා.නාසා එකේ ඉන්න සයන්ටිස්ට් Dr Gunapalata ඉස්කෝලෙන් උපහාර උත්සවයක් තියලා එවෝඩ් එකක් දීලා තිබුනා.එයා ඒක එදා උත්සවයට ඇවිත් හිටපු ජයසූරිය සර්ට එවලෙම දීල තියනව මට පිසික්ස් ගැන ආසාවක් ඇතිවුනේ ජයසූරිය සර් උගන්නපු හොඳකමටය කියලා. මචං මහරගම පැත්තට ගිය ස්කූල් බස් එක ඩෙකර් එක එලවපු ඩෝසන් අයියා ගැන මම කියන්නෙ.මට මතක අවුරුදු ගානම එයා ත්මයි හිටියේ.සන්ග්ලාස් එහෙම දාල බස් එලවන ලංගම ඩ්‍රයිවර්ලා මම ඒ දැක්කමයි.උඹේ පොත් මම ලඟ තියනවා.අලුත් ඒව නැද්ද? ආයි උඹේ බ්ලොග් එකට ලියන්නම්.

         
      • ලොකු ජෝන්…

        ජූලි 31, 2012 at 10:55 පෙ.ව.

        හප්පේ මම නම් සුලෝහිතෙට ගොඩ උනේ 80දි

         
    • ලොකු ජෝන්…

      ජූලි 31, 2012 at 11:18 පෙ.ව.

      මට මතක හැටියට කොක්මාදුවේ ගුනසිරි හාමුදුරුවො නම් අපිට ඉගැන්නුවා. නිලවීර සර් නම් ගහන්නෙ දනිස්සෙන්නෙ අපි නම් කාලා තියනවා.

       
  25. ඉඳුනිල්

    ජූලි 20, 2012 at 7:51 ප.ව.

    එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න දේ වගේම දඬුවමුත් මතක හිටිනවා.

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:46 ප.ව.

      හැබැයි ඉතින් ඔය දඬුවන් දීමෙත් Negative Reinforcement සහ Positive Reinforcement දෙපැත්තක් තියෙනවා. සමහර දඬුවම් වලින් ඉස්කෝලෙයි, ගුරුවරයයි, විෂයයයි ඔක්කොම එපා වෙනවා.

       
  26. අසරණයා

    ජූලි 20, 2012 at 8:18 ප.ව.

    අපිට හිටපු හාමුදුරු නමක් අපිට කියන්නේ වැඩ කරගෙන ආවේ නැත්නම් අපවත් වෙන්න ගහනව කියල. ඒ හාමුදුරුවොත් මේ වගේ තම විහිළුවෙන් පාඩම කරන්නේ.

     
  27. vpokura

    ජූලි 20, 2012 at 8:23 ප.ව.

    ඔය වගේ හාමුදුරුවරු ඉස්සර හිටිය කියල අහල තියෙනව..එක එක චර්්‍යාරටා තියෙන. හැබැය් ඒ අය හරිම උගත් ධර්මය වගේම සමාජය ගැනත්. ජෝතිශ්‍යය ගැන එහෙම දැනුවත් හාමුදුරුවරු හිටිය ,දැන් අය සල්ලි වලටනෙ හැම දෙයක්ම.

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:40 ප.ව.

      වීයා. ඒ කාලෙ කියලා වෙනසක් නෑ. හැම ජාතියෙම හාමුදුරුවරු හිටියා. ලෝකෙ නරක අතට වෙනස් වෙලා තියෙන්නෙ මේ මෑතක ඉඳන් නෙවෙයි. මිනිස්සුන්ගෙ මතකයයි දුර්වල.

       
  28. Mourya Raj

    ජූලි 20, 2012 at 8:43 ප.ව.

    මේව නියම කතා හෙන්රි අයියේ. අපිටත් උගන්වපු හාමුදුරුවරු දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් චිත්‍ර. එයාගෙත් දඪුවම් දීමේ ක්‍රමය ඕකමයි. දැන් ඒ දෙන්නම තාත්තල.

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 7:37 ප.ව.

      චිත්‍ර? පුදුමයි. ඒත් වෙන්නත් ඇති. ඉංග්‍රීසි උගන්නන හාමුදුවරුත් හිටියා අපිත් එක්ක ට්‍රේනිං කොලේජ් එකේ. දෙන්නම දැන් තාත්තලා??? No Comment.

       
  29. Hasitha Chamikara Gunasinghe

    ජූලි 20, 2012 at 9:56 ප.ව.

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති වෙලා හිටිය හාමුදුරුවන්ව මතක් වුනා 🙂

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:22 ප.ව.

      ඇයි හසිත විදුහල්පති වෙලා හිටිය කිව්වෙ? දැනුත් ඉන්නෙ හාමුදුරු කෙනෙක් නෙවෙයිද?

       
      • hasithag

        ජූලි 21, 2012 at 6:55 ප.ව.

        හොඳ හොඳ කතා ගොඩක් තියෙන ප්‍රින්සිපල් හාමුදුරුවෝ නම් විශ්‍රාම ගියා. අලුත් ප්‍රින්සිපල් හාමුදුරු නමක්ද කියලා නම් දන්නේ නැහැ

         
  30. DDT

    ජූලි 21, 2012 at 12:27 පෙ.ව.

    උදේ ඇවිත් කියවල ගියාට කමෙන්ට් කරන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ නිසා ආයෙ ආවා.
    ඉස්කෝලෙ කාලෙ මතක් වෙනකොට සතුට මිශ්‍ර වුන දුකක් තමා දැනෙන්නෙ. ඒ කාලෙ පාන්දර නැඟිටල කම්මැලිකමේ ගියාට දැන් හිතෙනව ආයෙ යන්න පුළුවන් නම් කියල. අපේ ඉස්කෝලෙත් හිටිය හාමුදුරුවො නමක්. එයත් ටිකක් යෝධයෙක් වගේ. හරි සැරයි. අපි පොඩි එවුවො ළඟට හාමුදුරුවො එනකොට හෙවනැල්ල තමා ඉස්සෙල්ල වැටෙන්නෙ. බයට චූ නොයනව විතරයි. බනින්නෙ එහෙම “තලනව, තොපි ඔක්කොටම“ කියල. ඩූඩ් අයියලගෙ හාමුදුරුවො නම් ඒ අතින් හරි හොඳයි වගේ. මමත් කැමති එහෙම විවෘත අදහස් තියන අයට. විශේෂයෙන් හාමුදුරුවරු අන්තගාමී වියයුතු නැහැ. මටත් පොඩි කාලෙ මහන වෙන්න ආශාවක් තිබුණ. අම්මලගෙ නම් කැමත්තක් තිබුණෙ නැහැ ඒකට. දැනුත් ඒ අදහස යටපත් වුනාට නැතිම වෙල නෑ. හිතෙනව ජීවිතේ අන්තිම කාලෙ හරි පිටිසර පළාතකට ගිහින් මහන වෙන්න. හැමදේම අතෑරල දැම්මම කොයිතරම් සැහැල්ලුවක් දැනෙනව ඇත් ද?
    මගෙත් ඕලෙවල් කාලෙ අකමැති විෂයක් බුද්ධාගම. හේතුව ගාථ පාඩම්කරන්න තියෙන කම්මැලිකම. ඔය කටපාඩම්කරන වැඩ මට ඉස්සර ඉඳලම මළ විකාරයි. ඒකෙ ප්‍රතිඵල මට ලැබුණ, අපේ ඕලෙවල් බුද්ධාගම පේපර් එකේ එක ප්‍රශ්නයක් ගාථාව සම්පූර්ණකරල තේරුම ලියන එක. ඉතින් සොරි ඩොට් කොම්. ඒකට සී, අනිත්ව ඔක්කොටම ඩී තියෙද්දි. රිසල්ට් එකත් සවුත්තු වුන කම්මැලිකම නිසා.
    ආඃ … හාමුදුරුවො තට්ටෙ අතගානව කිව්වම මට අපේ සර් කෙනෙක් ගැනත් මතක් වුනා. උසස්පෙළ ශුද්ධ ගණිතය උගන්වපු සර්ටත් පොඩි තට්ටයකුයි ඒකෙ උඩට ඉස්සෙන්න පොඩි ගැටයක් වගේ එකකුයි තියනව. සමහර වෙලාවට ගණනක් එහෙම හදන්න ගිහින් උත්තරේ වැරදිල හරි හදන්න ක්‍රමයක් කල්පනා කරනකොට හරි සර් පොඩ්ඩක්වෙල බෝඩ් එක දිහා බලාගෙන අර තට්ටෙ තියන ගැටේ අතගානව, ඊළඟට පටගාල ලියන්න පටන්ගන්නව. ඉතින් ළමයි අර ගැටේට කියන්නෙ ‘ගණිත ගැටේ‘ කියල.

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:23 ප.ව.

      DDTගෙ කමෙන්ට් එක වෙනද වගේම මගේ පෝස්ට් එකට ඌණපූර්ණයක්. ඒක ඇත්ත. මේ හාමුදුරුවො විශේෂ කෙනෙක්. ඒකනෙ මෙච්චර කල් ගිහිල්ලත් මතක හිටියෙත්. අර “ගණිත ගැටේ” නම් මරුනේ. 😀 ඇත්තටම කොල්ලන්ගෙ නම්පටබැඳීම සමහර වෙලාවට හරිම නිර්මාණශීලීයිනේ? 🙂

       
  31. හංසකිංකිණි

    ජූලි 21, 2012 at 9:40 පෙ.ව.

    අයියෙ උඹ මෙව්ව විස්තර කරන විදියට චිත්ත රූප මැවිල ඒ පන්තියෙ අපිත් හිටිය වගේ දැනෙන්නෙ…
    ඔය බුදුරජාණන්වහන්සේ කියන එකට මං ඉස්සර ලිව්වෙ බු.ව.
    වැරදිලා වාර විභාගෙට උත්තර ලියද්දිත් ලියල තියෙනව එහෙම
    කවි ගාථා කවමදාවත් වෙලාවට පාඩං කැගෙන ගිහින් නෑ… පේලියට අහගෙන එන ටිකට තමයි ගිරව දාගන්නෙ…
    මලියදේවෙ ආනන්ද හාමුදුරුවොංගෙ ගැන නං මාත් මලය කියන කතා හන්ද දන්නව

     
    • henryblogwalker the Dude

      ජූලි 21, 2012 at 6:24 ප.ව.

      ඉතින් ජනූ ලියන කතාත් එහෙම තමයි. චිත්ත රූප මැවෙනවා. අපි මේ දවස්වල ඉන්දියාවෙ කෝච්චියකට පටවලා තියෙන්නෙ ඔය… 🙂
      බලං ගියාම බුදුරජාණන්වහන්සෙ කියලා ලියන්න ෂෝට්කට් නොදාපු කවුරුත් නැති ගානයි. 🙂

       
  32. ක්සැන්ඩර් | Xander

    ජූලි 21, 2012 at 9:54 පෙ.ව.

    හාමුදුරුවරු ගොඩ දෙනෙක් උගන්නපු ඉස්කෝලෙක ගොඩක් හාමුදුරුවරුන්ගෙන් ඉගනගෙන මගේ ගාවත් ඔය වගේ මතකයන් කීපයක් තියනවා. වෙලාවක ලියන්න ඕනේ. ඒත් ලියන්න කතා ගොඩක් තිබ්බට කෝ වෙලාව? අපිට බුද්ධාගම උගන්නපු හාමුදුරුවෝ දඬුවම් දෙන්නේ මහා කරුණාවෙන්. 🙂

     
  33. මඩිස්සලේ නිශාන්

    ජූලි 21, 2012 at 10:52 පෙ.ව.

    අමුතුම ජාතියේ හාමුදුරු කෙනෙක්නෙ.මාත් ගොඩක් කැමතියි මේ වගේ අයට.

     
  34. Kandy

    ජූලි 23, 2012 at 12:23 පෙ.ව.

    හෙන්රිලාගෙ ‘හාමුදුරු සර්’ නියම චරිතයක්නෙ !

    කන්ද උඩ ඉස්කෝලෙ අපට උගන්නපු හාමුදුරුවොන්ට මූල වාතෙ. පන්තියට එන්නෙ සිවුර අස්සෙ වේවැල ගහගෙන.

     
  35. Gold fish

    ජූලි 24, 2012 at 2:15 ප.ව.

    දැන් ඉන්න අයට ආදර්ශයක් දෙන්න පුළුවන් හාමුදුරු කෙනෙක්….

     
  36. සාබිත්

    ජූලි 25, 2012 at 10:22 ප.ව.

    අපේ සර් කෙනෙකුත් හිටියා..මිනිහා ජාතක කතා කියලා දෙන්නෙත් හෙන විහිලුවෙන්! අර භර වචන එහෙම කොහොම මතක හිටිනවද දන්නේ නෑ! හාමුදුරු නම ගැන කියනවනම් SALUTE!!!!

     
  37. රොබින්

    ජූලි 26, 2012 at 8:48 පෙ.ව.

    අම්මෝ එකට අපේ ඉස්කෝලේ හාමුදුරුවෝ ,බුද්දාගම පීරියඩ් එක කියන්නේ හොරර් ෆිල්ම් එකක් වෙලා තිබුනේ උන්නාන්සේගේ දඩුවම් නිසා ….

     
    • henryblogwalker the Dude

      ජූලි 26, 2012 at 1:56 ප.ව.

      හාමුදුරුවරු විතරක් නෙවෙයි රොබින්, සමහර ගුරුවරු නිසා විෂයයයි , ඉස්කෝලෙයි ඔක්කොම එපා වෙන එක නිතර වෙන දෙයක්. ස්තුතියි මේ පැත්තෙ ආවට. 🙂

       
  38. Hiruhimawi

    ජූලි 26, 2012 at 2:37 ප.ව.

    හරිම ආසාවෙන් කියෙව්වා.මට නම් මතක් උනේ අපේ ආච්චි අම්මලගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ව.
    චිත්‍රයට නම් හිත ගියා ..බොහොම ලස්සනයි සහෝ!

     
  39. පිණිබිඳු

    ජූලි 26, 2012 at 3:06 ප.ව.

    අපිට බුද්ධාගම ඉගැන්නුවෙත් හාමුදුරු කෙනෙක්. මම එක දවසක් සංගීතෙට ගිහින් පන්තියට එන්න පරක්කු උනා. අවසරයි ස්වාමීන්වහන්ස කියන එක අමතක වෙලා ‘එක්ස්කියුස් මී ස්වාමීන් වහන්ස’ කිව්වා. යකා නැග්ගෙ නැද්ද හාමුදුරුවන්ට. සුස් සුස් ගාහා පිඹින්නෙ තමුසෙ නයෙක්ද. එනව පන්තියට කිව්වා.

    හාමුදුරුවො ළමයින්ට තමන්ට කියන්න පහසු නම් දාගෙන හිටියෙ. මගේ නම ෂර්මිලා උනාට හාමුදුරුවො කියන්නෙ සාර්මිලා.. කියනවා බලාන්ඩ.. කියලා. එතකොට නම් යකා නගින්නෙ මට. ෂර්මන් කියලා කොල්ලෙක් හිටියා. ඌට කතා කරේ සර්මන කියලා.

     
  40. henryblogwalker the Dude

    ජූලි 26, 2012 at 7:39 ප.ව.

    බලන්න අපේ හාමුදුරුවන්ගෙ සම්පූර්ණ අනිත් පැත්ත නේද, පිණිබිඳු?
    අපේ හාමුදුරුවො. “අවසරයි හාමුදුරුවනේ” කිව්වම,
    “Yes පුතා What can I do for you? ” කියලා අහනවා. 😀

    මටත් සමහරු ‘හැන්රි’, ‘හැන්ඩ්‍රි,’ ‘හෙන්ඩ්‍රි’ වගේ එක එක නම් කියනකොට ඉස්සර යකා නගිනවා තමයි. 🙂

     
  41. chami4u

    ජූලි 27, 2012 at 11:38 පෙ.ව.

    හික් මරු ගුරුවරයෙක්ගෙන් නෙවැ,, ඩුඩ් ඉගෙනගෙන තියෙන්නේ.. කිසිම කම්මැලි කමක් නැතිව ඉගෙන ගන්න පුළුවන් ඇති පාඩම . මමත් හරි කැමැති එහෙම උගන්වන අයට..

    // පුතා, හෙන්රි පුතා, ඔය බස් හෝල්ට් මුර කර කර හිටියට වැඩක් නැහැ පුතා //

    එදායින් පස්සේ මුර වැඩට ගියේ නැද්ද ?

     
  42. henryblogwalker the Dude

    ජූලි 27, 2012 at 1:12 ප.ව.

    ඇත්තෙන්ම ඔවු චමී. නමුත් එදා අපි ඉගෙන ගත්ත හැමෝම ඒ වගේ නෙවෙයි. සමහරු නිසා විෂයය එපා වෙච්ච වෙලාවල් තියෙනවා.
    බස් හෝල්‍ටුත් පව්නේ. ඉතින් වැඩේ දිගටම කලා 😀

     
  43. අංගොඩයා..

    ජූලි 27, 2012 at 9:27 ප.ව.

    අපි 6 වසරේ ඉන්නකොට හිටියා හාමුදුරු නමක්.. අර මාරයාගේ කතාවේ පන්සල් සූදුවට උපන් හපන් කමක් තිබ්බේ.. කස්ටියට අඹ ලෑලි ගහන් එන්න උනා අන්තිම ටිකේ..

     
  44. Ravi

    ජූලි 28, 2012 at 2:47 ප.ව.

    අඩේ හෙන් රි, අම්ම අප්ප දැක්ක වගෙ තංතෝසයි බාං…..අර සුන්දර නිහතමාන ගොයිය පොතක් ගහල තියෙන්නෙ මහින්දෙ තමයි ඉස්කෝලෙ කියල…ඒ වගෙ වෙලාවක කට්ටියම එකතු වෙලා ගහමු පොතක් සුලෝහිතේ…අනේ බොලේ ඒක තමයි ඉස්කෝලෙ කියල…බොහොම තන්තෝසයි මට වඩා සීනියර් කස්ටියක් අඳුනාගන්ට ලැබීම ගැන.ඔය මට වඩා වයසක බුවාල ටිකක් හම්බ උනාමයිද කොහෙද?….හෙහ්, හෙහ්,

    සික් උඹ මෙච්චර මගෙ විකාර වලට කමෙන්ට් කලාට එක දවසක්වත් බැරි උනා නෙව මේ අහ ඇවිල්ල යන්න…:( 😦

    මම නාලන්දෙට ආවෙ හෙන් රි 1977 අවුරුද්දෙ, අපි කලේ අර තිබ්බෙ N.C.G.E. කියල විභාගයක්. ඒ විභාගෙ තිබ්බෙම දෙපාරයි. අපි තමයි අන්තිමට කලේ. ඒ කරල 10 වසරට ආව කිත්‍යාකාර රෝඩ්.

    අනික් හාමුදුරුවො මම කියන්නද?….පුනහැල සද්ධානන්ද හාමුදුරුවො නේද?….කුවේජු සර් ගැන එහෙම මතක නැද්ද? හපොයි මතකය එනව කඩාගෙන බිඳගෙන දොරගුළු ඇරගෙන. දැනට ඔය ඇති. ආයෙම ලියමු ඒ ගැන.

     
    • ලොකු ජෝන්…

      ජූලි 31, 2012 at 10:49 පෙ.ව.

      අපි ගහමු එකක් “සුලෝහිතෙ තමයි ඉස්කෝලේ ” කියලා.
      …
      …මම නම් සුලෝහිතෙට බැඳුනේ 80දි. ඇත්තටම මම සුලෝහිතයෙක් වීම ගැන මට ආඩම්බර වන්නේ, සුලෝහිතයන් ලෝකේ කොහේ හිටියත් තමන් සුලෝහිතෙ උන්න මතක අමතක නොකරන නිසා.

       
  45. henryblogwalker the Dude

    ජූලි 28, 2012 at 7:48 ප.ව.

    හප්පට සිරි. මෙන්න තවත් සුලෝහිතයෙක්. මගෙ හොඳම යාලුවො දෙන්නගෙන් එකෙකුත් ඔය අනාතවෙච්ච NCGE කරපු එකෙක්. රවියා අර චීස් වලට සිංහලෙන් කියන කොට නමත් මතක් වුනේ නැත්ද? ඔය උඩ කමෙන්ට් වල ඉන්නවා අනිත් සුලෝහිත බුවාලා.
    වෙනදට මම බ්ලොගර් එකෙන්නෙ කමෙන්ට් කරන්නෙ. මේ පාර හිතුන අධිරාජ්ජවාඅදී වර්ඩ්ප්‍රෙස් සුද්දටත් අර හුදු හෙළ බ්ලොගර් අප්පුහාමිට දෙන චාන්ස් එකෙන් ‍ෆිෆ්ටි ‍ෆිෆ්ටි දීලා බලන්න. 😀

     
  46. Sarath Lankapriya

    අගෝස්තු 2, 2012 at 7:47 පෙ.ව.

    නියම කතා පොජ්ජ.. අර හාමුදුරුවෝ කීව කතාව කියලා අපේ ධම්මානන්ද ලොකු හාමුදුරුවෝ කිවුව බුදු හාමුදුරුවෝ එහෙමම කිවුවද කියල සැකයි.. බොහෝ විට පසුව මේ කතා ව්ච්චුරණය කල හාමුදුරුවරු ඔය විධිහට හදන්න ඇති කියල..

     
  47. henryblogwalker the Dude

    අගෝස්තු 2, 2012 at 10:11 ප.ව.

    අන්න ඒකයි සරත් මාත් තිත් ඉරි දැම්මෙ. මොකද මටත් ඕක එච්චර විශ්වාස නෑ.

     
  48. තොටියා

    අගෝස්තු 2, 2012 at 10:24 ප.ව.

    මාර හාමුදුරුවො කෙනෙක්නේ… හැබැයි ඉතින් හාමුදුරුවෝ උගන්නන වෙලාවට කවුරුවත් නිදාගන්නේ නැතිව ඇතිනේද?

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 2, 2012 at 10:37 ප.ව.

      නිදාගන්නෙ කොහෙද පන්තියෙ තියෙන ක්‍රියාශීලී කමට. නිදාගත්තොත් හෙම අනිවා කරාටේ ප්‍රහාරයක් එල්ලවෙයි. තොටියා අර බොත්තම ඔබලා වගෙයි. 😀

       
  49. Naleen Dilruksha

    අගෝස්තු 19, 2012 at 9:34 ප.ව.

    මේ ලිපියත් එක්ත මම ආයෙත් සුලෝහිතේට හදවතින්ම ගියා මේ දැන්.

     
  50. Upeksha

    ජූලි 18, 2013 at 10:17 පෙ.ව.

    හපොයි… මට මේ පොස්ටුව මිස් වෙලා නේ…

    අගනා පොස්ටුවක්! මම පොඩි කාලේ නම් ඔය පන්තිවල පිස්සු කියෝන ගුරුවරුන්ට කැමති නැහැ මට ඕනේ උගන්නල පාඩුවේ යන අය…හැක්!!
    විකාරයි නේද? ඔව් මම එහෙමයි… මෙලෝ රහක් නැහැ නේද?
    ඒ කොහොම උනත් දැන් ඒ වජේ ජොලි ගුරුවරු ගැන ඇහුවම හිනා යනවා ආසා හිතෙනවා… ගොඩක් වෙලාවට පිරිමි ළමයින්ගේ ඉස්කෝලවල ඔය ගතිය වැඩි..

     

henryblogwalker the Dude වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න