මට තියෙනවනෙ හිනාවෙනකොට ඇස්වලින් කඳුලු පනිනකල් හිනාවෙන සීන් එකක්. ඔන්න පහුගිය කාලෙ කියෙව්වා අර මියුරු කියන එකී ලියන බ්ලොගක් මුල ඉඳලා. මොකුත් නෑ අර කාලෙකින් දැක්කෙ නැතුව යට ගිහින් තිබ්බ සික්ස් පැක් එකත් ආපහු මතුවේගන ආව හිනා වෙච්ච තරමට. ඔන්නං ගිහින් බලන එකයි ඇත්තෙ.
ඔය විහිලු කිව්වාමත් සමහර විහිලු වලට ඇඬෙනවනෙ, හිනා යෑම කෙසේ වෙතත්. මේ සමහර විහිලු මම ඇත්තටම හිනාවෙච්චා. දීපයි මායි එකම විහිලුව කියවලා ඉස්සෙල්ලම දෙන්නම හිනා වෙනවා. ඊට පස්සෙ දීපා හිනා වෙන එක නවත්තලා මම දිහා බලා ඉන්නවා මොකද මම තාම හිනා වෙන්නෙ කියලා.
සමහර විට මට හිනා යනවා වැඩිද මන්දා.
මේ පල්ලෙහා තියෙන්නෙ මම Reader’s Digest සඟරාවක කියවලා , සීන් එක හිතෙන් මවාගෙන පස්සෙත් මතක් කර කර හිනාවෙච්ච කතාවක්.
මේ කතාව ස්ටැන්ඩඩ් කතාවක්. ඒ කියන්නෙ පන්ච් ලයින් එක, නැතිනම් හිනා යන වාක්‍ය එකයි තියෙන්නෙ. ඔව් ඒක තියෙන්නෙ නියමිත ස්ථානයේ – කතාවෙ අන්තිමට.
අමෙරිකාවෙ ග්‍රාමීය පලාතක ජීවත් වුන එක බුවෙක් දර කොට කපලා අට්ටි ගහන එක කලේ. මේක ඉතින් පණ යන වැඩක් කියලා කියන්න ඕනෙ නෑනෙ. හවස බාර් එකට ගිහිල්ල බොන අතරෙදි හම්බවෙච්ච යාලුවෙකුට මේකා මේ දුක කිව්වා.
” බලපං මචං, උදේ ඉඳල නැහිලත් දර අට්ටි දෙකයිනෙ කපලා ඉවර කරන්න පුලුවන් දවසකට.
“උඹ මොකෙන්ද කපන්නෙ?” යාලුවා ඇහුවා.
“කියතෙංනෙ බං, වෙන මොකෙන්ද?”
“කියතෙං ඔයිට වැඩිය කරන්නෙ කොහොමද? ඉතින් ගනිංකො චේන් සෝ එකක්. පට් පට් ගාලා දෙන්න පුලුවන්නෙ වැඩේ බබා වගෙ”
අපේ බුවා ඉතින් හාඩ්වෙයා එකට ගිහින් ගත්ත චේන් සෝ එකක් සල්ලි සල්ලි කියලා බලන්නැතුව.
අරන් ගිහින් සතියකට පස්සෙ බුවා ආවා හාඩ්වෙයා එකට ආපහු චේන් සෝ එකත් අරගෙන, මල පැනලා.
“මොකක්ද ඕයි මේ බම්බුව. මට මේක රිටර්න් කරන්න ඕනෙ.”
“දැන් මොකක්ද සර් මේකෙ අවුල?” කඩේ එකා ඇහුවා.
“මම මේ මගුල නැතුව නිකං කියතෙං කපන කොටත් දවසකට දර අට්ටි දෙකක් කපනවා”
“අහා?”
“මේ චේන් සෝ මගුල ගෙනිහිං ඕං පලවෙනි දවසෙ නම් අමාරුවෙන් අට්ටි දෙකක් ගොඩ දාගත්තා”
“ඉතින් සර්”
“දෙවෙනි දවසෙ මට උණ වගෙ. යාන්තම් අට්ටි එකහමාරක් කපාගත්තා.”
“පුදුමයිනෙ සර්”
“ඒක තමයි ඕයි. දවසෙන් දවස එන්න එන්න අමාරුයි. ඊයෙ කැපුවෙ දර අට්ටි කාලයි. මගේ මුළු ඇඟම ඇදුම් කනවා ඕයි”
“මම ඇහුවමයි මෙහෙම කතාවක්. ඕක පොඩ්ඩක් දෙන්න බලන්න සර්”
අපේ බුවා තිබ්බා චේන් සෝ එක කවුන්ටර් එක උඩින්. කඩේ බුවා චේන් සෝ එකේ කෝඩ් එක ඇදලා එංජිම ස්ටාට් කරා. එංජිමත් ‘බ්බ්බ්බෲම් බෘම් බෘම් බෘම්’ ගාලා බබා වගේ ස්ටාට් වුනා.
අපේ පොර බයවෙලා පස්සට පැනලා,
“අම්මට හුඩු!! මොකක්ද ඒ සද්දෙ?” කියලා අහපි.
හිනා ගියාද මන්දා. ඔන්න දෙවෙනි කතාව. මේක සුප්‍රසිද්ධ කතාවක් ජාලෙ එක එක ජෝක් සයිට් වල කාලෙකට ඉස්සෙල්ල පලවෙච්ච. මේක කියවලා මට අදත් හිනා. හිතෙන් මවා ගන්න ඕනෙ කතාව. මම මේක පරිවර්තනය කලෙත් හිනා වෙවී.
මේ කතාවෙ විශේෂය තමයි. මේකෙ පන්ච් ලයින් එකක් නෙවෙයි තියෙන්නෙ. මේක Multiple Punchline තියෙන කතාවක්. අනිත් කතාවෙ වගේම අන්තිම පේලියෙත් එකක් තියෙනවා. කියවලාම බලන්නලකො.
“අද නම් මහා චාටර්ම දවසක් අප්පා!” කියලා කවදා හරි හිතිලා තියෙනවද? ඇයි නැත්තෙ නේ? මටත් එහෙම හිතිච්ච දවස් කොච්චර තියෙනවද? නමුත් මට දැන් එහෙම හිතෙනවා අඩුයි. මොකද මෙන්නෙ මේ කතාව ඇහුවට පස්සෙ. මේ බුවාට වෙච්ච ඇබැද්දිය ඇහුවොත් ආයි ජීවිතේට එහෙම හිතෙන එකක් නෑ.
නරකම වැඩේ කෙනෙකුට වෙච්ච විපතක් අහලා හිනාවෙන එකනෙ. අනේ ඒ වුනාට මේ කතාව අහපු දවසෙ මම හිනා වුනා හිනාවිල්ලක්, ලොවෙත් නෑ.
පෙදරේරුවාගේ හදිසි අනතුරු වාර්තාව.
ප්‍රිය මහත්මයානෙනි,
මා විසින් ඉදිරිපත් කිරීමට යෙදුන හදිසි අනතුරු වාර්තාකිරීමේ පෝර්මයේ තුන්වන කොටසේ ඉල්ලා ඇති “වැඩි විස්තර” සඳහා වූ ඇමිණුමයි.
එම අයදුම් පතේ ‘අනතුරට හේතුව’ යටතේ මා සඳහන් කර තිබූ “දුර්වල සැලසුම්කරණය” සම්පූර්ණ විස්තර සහිතව තව දුරටත් පැහැදිළි කරන ලෙස ඔබ කල ඉල්ලීමට පිළිතුරු වශයෙන් මා මේ සපයන විස්තරය ප්‍රමාණවත් වේ යයි උදක්ම විශ්වාස කරමි.
වෘතියෙන් පෙදරේරුවරයෙකු වන මා අනතුර සිදු වූ දින අලුත් සය මහල් ගොඩනැගිල්ලේ තනිවම වැඩ කරමින් සිටියෙමි. වැඩ නිමවූ විට වැඩිපුර ගඩොල් සංඛ්‍යාවක් ඉතිරිවී ඇතිබව මා දුටුවෙමි. සිද්ධියෙන් පසුව කිරා බැලූ විට මෙම ගඩොල් තොගය රාත්තල් 240ක් බව සනාථ කරගන්නා ලදි. මෙම ගඩොල් තොගය අතින් පහලට ගෙන නොයා, ගොඩනැගිල්ලේ හයවන මාලයේ අයිනකට වන්නට සවිකර තිබූ පුලිය භාවිතා කර හිස් බැරලයකට දමා බිමට පහත් කිරීමට මා තීරණය කලෙමි.
මේ සඳහා භාවිතා කල කඹයේ කෙලවර ගොඩනැගිල්ලේ මිදුලේ තිබූ අධාරකයක හොඳින් ගැට ගැසූ මා, නැවතත් ගොඩනැගිල්ලේ හයවන මාලයට නැග, බැරලය පුලියේ එල්ලී තිබියදී, ගඩොල් බැරලය තුලට පැටවූවෙමි. ඉන් පසුව ගොඩනැගිල්ලෙන් බිමට බැස කඹයේ ගැටය ගැලවූයේ රාත්තල් 240 ක ගඩොල් පිරවූ බැරලය ඉතාමත් සීරුවෙන් බිමට බෑමේ අදහසින් ලනුව වැරෙන් අල්ලා ගනිමිනි. හදිසි අනතුරු වාර්තා පෝර්මයේ මගේ බර රාත්තල් 135 ක් ලෙස කර ඇති සඳහනට ඔබගේ අවධාණය යොමු කරනු කැමැත්තෙමි.
අනපේක්ෂිතව මා එක්වරම දැඩි ගැස්සීමක් සහිතව පොලොවෙන් ඉහලට ඉපිලී ඒමෙන් ඇති වූ දැඩි කම්පනය නිසාම වික්ෂිප්ත වූ මා හට කඹය අත හැරීමට අමතක විය. මේ නිසා මා අධි වේගයෙන් ගොඩනැගිල්ලේ පැති බිත්තිය ඔස්සෙ සීඝ්‍රගාමීව ඉහලට ගමනාරම්භ කලෙමි.
තුන්වන මහල ආසන්නයේදී, මා ඉහලට ගමන් කර තිබූ වේගයටම ආසන්න වේගයකින් පහලට ගමන් කර තිබූ ගඩොල් බැරලය හා මා එකට හමුවීම, මා හදිසි අනතුරු පෝර්මයේ තුන්වන කොටසේ සඳහන් කර ඇති හිස්කබලේ භග්නය, සුලු සීරීම් හා අකු ඇටයේ (collarbone) බිඳීම යනාදිය සිදු කිරීමට හේතු කාරණා විය.
මෙම හමුව නිසාම මඳක් වේගය බාල වූ මුත් මොහොතකින් නැවතත් සීඝ්‍රගාමීව උඩු අතට කල ගමන නැවතුනේ මෙම ලිපියේ සිව්වන පරිච්ඡේදයේ මා සඳහන් කර ඇති පුලියත්, කඹයත් අතර මගේ දකුණතේ ඇඟිලි සියල්ල තුන්වෙනි පුරුක දක්වා සිරකරමිනි. වාසනාවකට මෙන් මේ අවස්ථාව වන විට මා නැවත පියවි සිහියට එලඹ තිබුන අතර, ඒ වනවිට දැනෙන්නට පටන්ගෙන තිබූ ඉවසිය නොහැකි වේදනාවෙන් වුවද කඹයේ එල්ලී සිටීමට සමත් වීමි.
ආසන්න වශයෙන් මේ කාල පරාසයේදීම, ගඩොල් පැටවූ බැරලය මහපොලොව මත වැරෙන් පතිත වූ අතර බැරලයේ පතුල බැරලයෙන් වෙන් විය. හදිසියේම ගඩොල් වල බරින් සැහැල්ලුවූ බැරලයේ බර දැන් ආසන්න වශයෙන් රාත්තල් 50ක් පමණ විය. මා නැවතත් මගේ ශරීරයේ බරට ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
ඔබ අනුමාන කල පරිදිම මා ගොඩනැගිල්ලේ පැති බිත්තිය ආසනයෙන් නැවතත් පොලෝ මට්ටම බලා අධිවේගයෙන් ගමනාරම්භ කලෙමි. තුන්වන මහල ආසන්නයේදී එම වේගයෙන්ම ඉහලට ගමන්කරමින් තිබූ බැරලය හා මා නැවත වතාවක් එකිනෙකා මුණගැසීම, මා පෝර්මයේ සඳහන් කර ඇති මාගේ වලලුකර දෙකම බිඳීයාමට , දතක් කැඩී යාමට හා ශරීරයේ පහත කොටසට සිදුවී ඇති දරුණු කැපීම් වලට හේතු වේ.
මෙම මොහොතේ පටන් තත්වය මඳක් යහපත් වීමට පටන් ගන්නා ලදි. බැරලය සමග වූ හමුව නිසාම මාගේ ගමන් වේගය සැලකිය යුතු ලෙස අඩාල වූ නිසාම බිම වූ ගඩොල් ගොඩ මතට ඇද වැටීමේදී වාසනවකට මෙන් බිඳී ගියේ කොඳු ඇට තුනක් පමණි.
අවසන් වශයෙන්, මා අධික වේදනාවෙන් පෙලෙමින් , සෙලවිය නොහැකිව, ගඩොල් ගොඩ මත වැතිර, මට තට්‍ටු හයකට ඉහලින් පුලියේ එල්ලෙමින් තිබූ හිස් බැරලය දෙස බලා සිටිද්දී මා මෙතෙක් වැරෙන් අල්ලාගෙන සිටි කඹය අතහැරුනේ හදිසියේම මගේ එලැඹ සිහියද නිවැරදි කල්පනාවද මා හැර ගිය නිසා බව ඔබ වෙත වාර්තා කරන්නේ කණගාටුවෙනි.
hiruni
අගෝස්තු 28, 2012 at 1:01 පෙ.ව.
මේක කියෙව්වෙ කාලා ඉවර වෙලා…හොද වෙලාවට නැත්නම් මේ වෙනකොට කෑම පෙනහල්ලට් ගිහින් ඉස්පිරිතාලේ….ඩුඩ් අපිව මරන්නද හදන්නෙ ආ????? 😀 😀 😀
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 7:56 පෙ.ව.
මට අවවාදය දාන්න බැරි වුනානෙ. කෑම කනගමන් හෝ ඔෆීස් එකේදි හෝ කියවන්න එපා කියලා. 😀
වින්චැට් කිරිල්ලි.
අගෝස්තු 28, 2012 at 2:54 පෙ.ව.
හික්ස්..පලමු එක නම් මරු.මට හිනා ගියෙ ඒකට…!
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:04 පෙ.ව.
එකකට හරි කමක් නෑ හිනා ගියානම් එච්චරයි! 🙂
Kenji @ Japan
අගෝස්තු 28, 2012 at 8:29 පෙ.ව.
දාන්න තිබුනේ 50+ අය ප්‍රවේසමෙන් කියවන්න kiyala.
Rohan
අගෝස්තු 28, 2012 at 3:03 පෙ.ව.
simply this is the classic example of real sinhala blog!!
most of others are now really full of shit!!
tks wood!!!!!!!!!!!!!!!!!!!!!
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:00 පෙ.ව.
Thanks for the compliment Rohan. There are some awesome blogs.
praveena
අගෝස්තු 28, 2012 at 4:52 පෙ.ව.
හී හී…දෙකම ලස්සනයි. වැඩක් කරගන්ට බැරුව කම්මැලිකමේ හිටියේ. ඒක කොහේ ගියාද දන්නේ නෑ. 🙂
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:05 පෙ.ව.
සන්තෝසයි ප්‍රවීනා. කාගෙ හරි දවස ප්‍රබෝධමත් වුනා නම් කොච්චර හොඳද!
පරිකල්පන
අගෝස්තු 28, 2012 at 6:35 පෙ.ව.
Digest වර්ගයේ සඟරානං සුපිරියි. අහල තියෙනවද අර මැරයෙක් බාර් එකේ මනුස්සයෙක්ගෙ බීම වීදුරුව බලෙන් බීපු කතාව?
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:07 පෙ.ව.
අහලා තිබ්බට කමක් නෑ. පරිකල්පන කොටලා දාන්නකො මෙතන පොඩ්ඩක් හිනාවෙන්න!
පරිකල්පන
අගෝස්තු 28, 2012 at 3:21 ප.ව.
දවසක් හවස නගරෙ ඉන්න මැර බුවෙක් ගියාලු තමන්ගෙ සුපුරුදු තැබෑරුමට. මේ මනුස්සය තැබෑරුමට ඇතුල් වෙද්දිම දැක්කලු වෙනද දැකල පුරුදු නැති මනුස්සයෙක් තැබෑරුමෙ ඈත කෙලවරේ මේසෙක මත්පැන් වීදුරුවකුත් තියාගෙන කල්පනා කර කර ඉන්නව. ඉතින් අපේ මැර බුවා කලේ එකපාරටම එතෙන්ට ගිහිං අර මනුස්සයගෙ මත්පැන් වීදුරුව අරගෙන කටේ හලාගත්ත එක.
අර මනුස්සය ඇස් වල කඳුළු පුරෝගෙන දැන් අඬන්න ඔන්න මෙන්නලු. ඒ මූණ දැක්කම මැරයටත් ඉතින් දුක හිතුනලු.
“අයියෝ මල්ලි! මොකද මේ… නිකං ගෑණු ළමයෙක් වගේනෙ… මේ… වේටර් මල්ලී… මේ මල්ලිට තව බීම වීදුරුවක් ගේන්න මං ගානෙ…”
එහෙම කියල අර මැර බුවා මෙහෙමත් කිව්වලු.
“මොකෝ බං මේ… නිකං හෙන හත ගහල වගේ… ඉඳපල්ලකො මේ අපි වගේ…”
මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු අර මනුස්සය මැරයට කියනවලු…
“අද මහම මහ සවුත්තු දවසක්… උදේම ගෙවල් අයිතිකාරය ඇවිල්ල දැං මාස ගානකිං ගෙවල් කුලී දුන්නෙ නැති නිසා ගෙදරින් යන්න කියල තර්ජනේ කරල ගියා… රස්සාවට ගියාම නිවාඩු ගන්නව වැඩි නිසා රස්සාවෙන් අස් කරා කිව්ව… වාරික ගෙවල නෑ කියල ෆිනෑන්ස් එකෙන් වාහනේ අරං ගියා… අන්තිමේදි ගෙදර යද්දි ගෑණි වෙන මනුස්සයෙක් එක්ක පැනල ගිහිං… මට ජීවිතේ එපාම වෙලා මෙතනට ඇවිල්ල බීම වීදුරුවක් අරගෙන ඒකට වහ දාල බොන්න හදනකොටම තමුසෙ ඇවිල්ල ඒකත් බීල දැම්ම…”
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 6:31 ප.ව.
😀 මේ දෙබස් ටික මම අහල තියෙන ඔරිජිනල් වර්ෂන් එකට වඩා නිර්මානශීලීයි. පරිකල්පනද පරිවර්තනය කලේ?
පරිකල්පන
අගෝස්තු 28, 2012 at 7:25 ප.ව.
මට මතක විදිහට ඔය කතාව තිබ්බෙ ‘සිව්දෙස‘ සඟරාවක, ඉංග්‍රීසි කතාවෙ පරිවර්තනයක් විදිහට. කතාව එහෙමපිටින්ම මතක තිබ්බෙ නැති නිසා කොටසක් අතින් දාල තමයි ලිව්වෙ… 🙂
ළිහිණි
අගෝස්තු 28, 2012 at 8:09 පෙ.ව.
සිරාවට…අද නම් මහ චාටර් දවසක් අප්පා.මොකද අද අපේ ඔෆීසියේ weekly meetings තියන දවස…චාටර්.
එහෙම හිතාගෙන ගෙදරින් ආවට දැන් නම් මේක කියවලා හොඳටම හිනා උනා. මම තනියම හිනා වෙද්දී මට එහා ඉන්න එකා මගෙ මූණ දිහා බැලුවේ හරියට ” මේකිට උදේ පාන්දර අමු කැවිලද කොහෙද ” කියනවා වගේ. උන් දන්නවෑ මම මේ හිනා වෙන්නේ ඩූඩ්ගෙ කතාවලට කියලා..හි හි හි
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:58 පෙ.ව.
අපේ මීටිං එක තිබ්බෙ ඊයෙ ලිහිණි. පට්ට බඩගින්නෙ අහගෙන හිටියා අමාරුවෙන්. හොඳකට තියෙන්නෙ බඩගින්න වැඩි උනාම නින්ද යන්නෙ නෑ. ළිහිණි සන්ග්ලාසස් දාන්න පුරුදු වුනා නම් මීටිං එකේදිත් ආතල් එකේ නිදා ගත්තෑකි!
Kenji @ Japan
අගෝස්තු 28, 2012 at 8:25 පෙ.ව.
ඇත්තටම මතක් කර කර හිනාවිය හැකි කතා දෙකක්.//”අම්මට හුඩු!!මොකක්ද ඒ සද්දේ?”// සහ දෙවෙනි කතාවේ අන්තිම ටික කියෙඋව්ව,ඉල ඇට තාම අතගානවා.
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 9:09 පෙ.ව.
අන්න Kenjiත් මගෙ ජාතියෙ. හිනා වෙන්න හිතුනම ලෝබ නැතුව හිනා වෙනවා. මටත් සිද්ධිය හිතෙන් මවා ගත්තම කවුරු ලඟ හිටියත් හිනා යනවා.
හංසකිංකිණි
අගෝස්තු 28, 2012 at 8:47 පෙ.ව.
හප්පච්චියේ…!! ඔය මියුරුගෙ බ්ලොග් එක මුල ඉඳල අගට කියවල තව ටිකෙන් මේ මමත් සික්ස් පැක් දානව…
දැන් උඹේ කතාවට ආවොත් අයියෙ…..හික් හික් මිනිහ එතකොට චේන් සෝ එකක් අරගෙනත් කරල තියෙන්නෙ කලින් වැඩේමද??
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 9:11 පෙ.ව.
මේ දවස් වල මියුරුගෙ සද්දයක් නෑ.
උඹ දන්නවද ජනුවො මේ දවස් වල අපි කියවන්නෙ උඹේ බ්ලොග් එක මුල ඉඳලා. ඒකත් ක්ලැසික් ඈ. අර උඹගේ මල්ලි බොරැල්ලෙ උමං මාර්ගය ගැන දීලා තිබ්බෙ උපදෙස අපි ඊයෙ කියෙව්වෙ. ඌ හෙන මීටර් නේ?
ඔව්නෙ බං අර බුවා අච්චර බර චේන් සෝ එක උස්සගෙන නිකං කියතකින් වගෙ කපලා තියෙන්නෙ එංජිම ස්ටාට් නොකර. ඇයි අරූ කිව්වනෙ චේන්සෝ එකෙන් ලේසියි කියලා!
සෑම්
අගෝස්තු 28, 2012 at 9:30 පෙ.ව.
කියතේ සීන් එක කලින් අහල තියෙනව වගේ බං.
අනිත් එක සිරා 🙂
ජය !
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 12:20 ප.ව.
ස්තුතියි සෑමා. උඹටත් ජය!
chami4u
අගෝස්තු 28, 2012 at 9:31 පෙ.ව.
නියම කතා දෙක… අන්තිම එකනම් සුපිරි..
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 12:24 ප.ව.
ස්තුතියි චමි. අර වගෙ කතා තව ලියපාං!
දුකා
අගෝස්තු 28, 2012 at 9:45 පෙ.ව.
මමත් ඔෆීසියට ආපු ගමන් උදේ පාන්දර කියෙව්වේ මේක . . . හොඳ වෙලාවට තාම එක්කෙනයි ඉන්නේ . . පොර ඊමේල් කියවන්න බිසී නිසා මම හිතේ හැටියට හිනා උනා . .. .තැන්කූ මචෝ දවස ප්‍රබෝදමත් කලාට . ..
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 12:16 ප.ව.
දුකාත් මං වගෙ තනියෙම හිනාවෙන එකෙක්නේ? දවස ප්‍රබෝධමත් උනානම් මේක කියවලා ඊට වඩා සතුටක් තියෙනවද බං?
DDT
අගෝස්තු 28, 2012 at 9:57 පෙ.ව.
පළවෙනි එකනම් අහල තිබුණා වගේ. දෙවැනි එක නම් මරු, තාමත් හිනාවෙනව. ඒ වගේ සීන් ටිකක් තිබුණ Baby’s Day Out ෆිල්ම් එක මතක් වුණා. හෙන්රි අයිය බලල තියෙනවද, හිනාකාල මැරෙනව ඒක බලද්දි.
http://www.imdb.com/title/tt0109190/
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 10:29 පෙ.ව.
මං බලලා තියෙනවා DDT කීපවතාවක්ම. ඌ මාර වැඩ්ඩා නේ? අර Home Alone සීරීස් එකත් ටිකක් ඒ වගෙ නේ?
මගෙත් ෆේවරිට් එක දෙවෙනි එක. 🙂
Maathalan
අගෝස්තු 28, 2012 at 10:16 පෙ.ව.
පළවෙනි එක සුපිරි.. ඒකට මැහි
අනික් එකේ ලිවිල්ල සුපිරි… අර ඇඳේ ඉන්න තත්වේ අනුව ඔච්චර දෙයක් ලිව්වා කියන්නේ.. නේද…?
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 10:22 පෙ.ව.
අඩේ මාතලං. උඹ අර සෑමගෙ චූ පෝස්ට් එකේ දාලා තියෙන චූටි එකා චූ දාලා වෙවිලිල්ල ගැන කිව්ව කතාව කියවලා අපි මාර ආතල් එකක් ගත්තා බං. මම කල්පනා කලේ ඒවගෙ සුපිරි කතා උඹ කමෙන්ට් වලට ලියලා පෝස්ට් වලට මගුල් දේශපාලන කතාවල් දානවා. හරි හරි උඹේ කැමැත්තක්. මේ මට හිතුන හැටි සැන්ඩි නැතුව.
රාජ්
අගෝස්තු 28, 2012 at 10:54 පෙ.ව.
මගෙ අම්මෝ……… පුදුම අනතුරක්නේ. ඉස්සෙල්ල කතාව ඊටත් හපං.
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 12:28 ප.ව.
අනේ බං රාජ්, කෙනෙකුට වුන අනතුරක් දැකලා හිනාවෙන එක කොච්චර කැත වැඩක් වුනත් මේකට නම් ඒක අදාල වෙන්නෙ නෑ මට. මේ බුවාත් එවරෙඩි පූසා වගෙ පණ මාර හයියයි!
සාතන්
අගෝස්තු 28, 2012 at 11:04 පෙ.ව.
මට නම් චාටර් දවස් සෙට් වෙලාම නෑ,.. 🙂
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 12:37 ප.ව.
අන්න වාසනාවන්තයො! සාතන් වුනහම එහෙම වෙන්නැති! අනිත් උන්ට නෙ චාටර් කරන්නෙ. 😀
Gold fish
අගෝස්තු 28, 2012 at 11:39 පෙ.ව.
මරු ඈ… අනේ සිරා මේසන් බාස් කෙනෙක්…. 😀
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 12:38 ප.ව.
ඒකනෙ බං. බලාපංකො ගෝලයා නෑ කියලා වැඩ නොකර ඉඳලත් නෑනෙ. ගෝල වැඩෙත් කරලා…! ඒකට අපේ උං!!
මී පැටියා
අගෝස්තු 28, 2012 at 2:25 ප.ව.
පෙදරේරුවාගේ රෙපෝර්ට් එකනම් සිරා. මමත් ලියන්න ඕන ඒ වගේ රිපෝර්ට් එකක් අපේ ලොක්කට දෙන්න.
ඩුඩ් අවවාදේ දාල තියෙන්නේ අන්තිමටනේ. මම ඔෆීස් එකේදි කියෙව්වේ මේක..!
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 5:00 ප.ව.
ඇයි මී පැටියා ඒ වගෙ සීන් එකක් වුනාද? 😮
අවවාදෙ අන්තිමටත් දාන්න බැරිවුනා බං. ඒක කමෙන්ට් එකට දාලා තියෙන්නෙ. 🙂
මී පැටියා
අගෝස්තු 29, 2012 at 11:13 පෙ.ව.
ඒකනේ මචං. පෝස්ට් එක කියවලා ඉවර වුනහම තමයි කමෙන්ට් එක දැක්කේ..
Senna
අගෝස්තු 28, 2012 at 3:06 ප.ව.
ආහ්.. මියුරු ආච්චිගෙ බොලොග මම කියවන්නෙ.. මම බොලොග් කියවන්ඩ ගත්තු මුල්ම කාලෙ ඉඳලා.. ඒක හොඳ ආතල් කතා යන බොලොගක් තමා.. 🙂
කියතෙ කතාවනම් එල…මට මැවිලා පෙනුනා පොර පණ දාගන චේන් සෝ එකෙන් කොට කපනවා… 🙂
අනිත් කතාව කියවද්දිනම් පොඩි කාලෙ බලපු කාටුන් මතක් වුනා.. 🙂
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 5:05 ප.ව.
මියුරු ආච්චි! අරවගෙ Accident Report එකක් පුරවන්න හිතුනද Senna?
මම නම් ඒ බොලොක්කෙ දැනගත්තෙ මේ මැයි මාසෙදි අහම්බෙන්.
Miyuru
සැප්තැම්බර් 1, 2012 at 8:45 ප.ව.
ංආ… හෙන්නා සීයෙ… කොහොමද…. 😛
මට හැරෙන තැපෑලෙන් කේලම් කමෙන්ට් එකක් ලැබුණෙ මේකයි එහෙනම්…
Senna
සැප්තැම්බර් 1, 2012 at 9:55 ප.ව.
හැක් හැක්… 🙂 මදෑ ඔයින් ගියා.. ඩූඩ් කිව්වම මමත් ටිකක් තිගැස්සුනා Accident report එකක් පුරවන්ඩ වෙයිද දන්නෙත් නෑ කියල.. :-).. කොහෙද මේ වර්ඩ් පෙරෙස් වල හදිසියකට කමෙන්ට් එකක් මකන්ඩවත් දෙනවයැ.. ගියොත් ගියා.. 🙂
කේලම් කියන එක නම් මහ වස නරක පුරුද්දක් නේද මියුරු ආච්චියෙ..? ( ඇත්තටම ආච්චි කෙනෙක් වෙච්ච දවසට ඔය නම වෙනස් කොරන්ඩ වෙනවා.. ” මියුරු ආච්චි ” කියන එක කොහෙත්ම යන්නෑ.. )
henryblogwalker the Dude
සැප්තැම්බර් 1, 2012 at 10:41 ප.ව.
ඇයි බොල මියුරියල් ආච්චි කියන එක නියමෙට රයිම් වෙනවනෙ. හුටා කට වරද්දාගත්තාවත්ද? ෆෝම් පුරවන්න වෙයිද? 😀
Senna
සැප්තැම්බර් 1, 2012 at 11:09 ප.ව.
ආ ඒක හරි ඩුඩ්..ඒක නියමෙට යනවා…. 🙂
( පුරෝනව නම් මටත් එක්ක එකක් පුරවන්ඩකො එහෙනම්.. 🙂 )
සිරාගෙ කාමරේ
අගෝස්තු 28, 2012 at 3:47 ප.ව.
බාස් උන්නැහේට නම් අද දවස විතරක් නෙමෙයි මාස ගණනාවක්ම පට්ට චාටර් වෙන්න ඇති…
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 5:08 ප.ව.
ඇත්තෙන්ම අපි හිනා වුනාට පොර රෝද පුටුවෙන් ගියාද දන්නෙත් නෑ! 😦
රූ
අගෝස්තු 28, 2012 at 5:45 ප.ව.
පවු අප්පා ඒ මේසන් බාස් කාරයා…ඔයාලා හැමෝමා එයැයිට හිනාවෙන එක වැරදියි..
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 5:53 ප.ව.
මොනවා! රූට පොඩ්ඩක්වත් හිනා ගියේ නැත්ද? ඔයා ඔය ඇත්තම වෙන්නැති කියන්නෙ නේද?
අඩවි රජා
අගෝස්තු 28, 2012 at 8:12 ප.ව.
හෙහ් හෙහ් හූ… 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:14 ප.ව.
සුභ වේවා රාජ සම්පත් ලැබේවා කිව්වෙ අර බාස් උන්නැහේටද රජෝ?
iamdeejay
අගෝස්තු 28, 2012 at 8:48 ප.ව.
මට අදටත් මැවිලා පේනවා මෙ කතාවල් අපි තුන්දෙනා කියවලා චුටි පුතාටත් දුන්නාම කියවන්න [එතකොට එයාට අවුරුදු පහක් හෝ හයක් ඇති] එයාත් කිචි කිචි ගාලා හිනාවුන හැටි.
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:56 ප.ව.
සිනහවට දේශසීමා, වයස් සීමා නෑනේ!
vpokura
අගෝස්තු 28, 2012 at 8:51 ප.ව.
අම්මේ………!!#4%@#%$%%
මගේ බඩ..!!කොරවුනා..හිනා කාල..! සුපිරි ලියවිල්ල..!!!
henryblogwalker the Dude
අගෝස්තු 28, 2012 at 8:57 ප.ව.
සික්ස් පැක් එයිද දන්නෙ නෑ නේ! 😀
රොබින්
අගෝස්තු 28, 2012 at 9:28 ප.ව.
අම්මෝ ලියුම ලියලා තියෙන්නේ කොහොමද අප්පේ ඉතින් අර මනුස්සයා …>
henryblogwalker the Dude
අගෝස්තු 29, 2012 at 1:05 ප.ව.
ඩික්ටේට් කරන්න ඇති නේද රොබින් කාට හරි ලියාගන්න?
රාමා
අගෝස්තු 29, 2012 at 12:38 පෙ.ව.
මම නම් මේක බැලුවේ විඩාබර දවසක අන්තිමට, රෑ 12.30 … දැන් හිනාබරව නින්දට යන්න පුළුවන්.. තැන්කු..
henryblogwalker the Dude
අගෝස්තු 29, 2012 at 1:06 ප.ව.
යක්කු ගස් නගින වෙලාවටත් බ්ලොග් කියවනකොට විඩාබර නොවී තියෙයියෑ රාමා. 🙂 බොහොම ස්තුතියි!
Sumith Niriella
අගෝස්තු 29, 2012 at 12:53 පෙ.ව.
මතක ඇති කාලෙක කියවපු වඩාත්ම හාස්‍යජනක කතාව……… 😀 😀 😀
මගේ පපුවත් රිදෙනවා නිදහසේ හිනාවන්න බැරිවෙලාවක කියවලා ඇතුලෙන් හිනාවෙන්න ගිහින්…….. 🙂
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 10:19 පෙ.ව.
සුමිත්, මේ මාත් ආසම කතා දෙකක්. බලාගෙන හිනා ගිලින්නෙ. ඒ හොඳ වැඩක් නෙවෙයි. 🙂
meegodaya
අගෝස්තු 29, 2012 at 11:20 පෙ.ව.
පට්ත කථාව බන්… පළව්නි එකනම් කලින් අහල තිබ්බ..
දෙවනි එකනම් මරේ මරු
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 10:21 පෙ.ව.
මී ගොඩයා මේවා මම පරිවර්තනය කලා විතරයි. පලවෙනි එක නම් කතාව දිහා බලාගෙන පරිවර්තනය කලත් නෙවෙයි. නිකං මතක විදියට ලිව්වා. 🙂
Sarath Lankapriya
අගෝස්තු 29, 2012 at 2:45 ප.ව.
ඌන පුරණය මෙසේ විය හැකිද ?
“අනතුරුව හිස් බැරලය ලනුවද සමග මගේ උඩු බැලිවු සිරුර මත පතිතවීමෙන් මා මියගිය බවත් මේ ලියන්නේ මුර්ත ශරීරාගාරයේදී බවත් කරුණාවෙන් සලකන්න..
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 10:23 පෙ.ව.
හපෝයි, බාස් උන්නැහෙව මරන්න එපා සරත්. පොරගෙ පන හෙන හයියයි. ඕන්න දැන් කොන්ත්‍රාත් කාරයෙක්ලු. (එහෙම හිතමු ආතල් එක නොකැඩෙන්න)
Raj
අගෝස්තු 29, 2012 at 7:39 ප.ව.
පට්ට…..
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 10:24 පෙ.ව.
පට පට!! 😀
තොටියා
අගෝස්තු 30, 2012 at 3:29 ප.ව.
හෆොයි.. ඇති ඔයින් ගියා… තවමත් හිනා මේක කියවලා… සිද්ධිය මැවිලා පෙනුනේ හරියට ඉස්සර පොඩිකාලේ බලපු හාවගෙයි නරියගෙයි කාටූන් එකේ (you Just wait) නරියට වෙන අකරතැබ්බයක් බලන්නා වගේ….
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 10:27 පෙ.ව.
මේකෙ තොටියටත් සෑහෙන කාර්යභාරයක් තියෙනවා Emergency Room එකේ! 😀
ඇත්තටම කාටූන් වල තිර රචනය ඕවගෙ ඇති නේ!
ක්සැන්ඩර් | Xander
අගෝස්තු 31, 2012 at 10:48 පෙ.ව.
මේ උදේ ඔෆිස් ආපු ගමන.. කවුරුත් නෑ.. නැතිනම් කැබින් එක දෙකවෙන්න හිනාවෙද්දී මේකට මොකක් වෙලාද බලයි අපේ එවුන්..
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 10:44 පෙ.ව.
හැබැයි දැන් ඉස්සරට වඩා නිදහසේ තනියෙම කතා කරන්න පුලුවන් නේද ක්සැන්ඩර්, මෝබයිල් ෆෝන්, ලැප්ටොප් ආවට පස්සෙ. ඉස්සර එහෙම තනියෙම කතා කලොත් හිනා වුනොත් පිස්සන් කොටුවට ගිහින් දාන්නත් ඉඩ තියෙනවා, නැත්ද? 😀
Miyuru
සැප්තැම්බර් 1, 2012 at 8:41 ප.ව.
කතා දෙකම අහලා තිබ්බෙ නෑ…. හයියෝ… හයියෝ…. හිනා උනා ඇතිවෙන්න…. මැවිලා පේනව සිදුවීම් ටික…. හොඳට ඉන්ස්පයර් වෙලා තියෙනවා…. ආයෙ දෙකක් නෑ…. 😀 😀
අර දෙවෙනි කතාවෙ සිද්දිය ළඟින් යන සීන් එකක් තිබ්බා Baby’s Day Out කියන ෆිල්ම් එකේ….
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 11:07 පෙ.ව.
ඒකනෙ මම කිව්වෙ! ඉතින් තව ලියමු ලස්සන කතා. 🙂
Hasitha
සැප්තැම්බර් 1, 2012 at 10:34 ප.ව.
මට නම් ඇල්ලුවේ පළවෙනි කතාව 🙂 මිනිහෙක් auto gear car එකක් අරගෙන රෑට එලවන්න බැහැ කියලා කිව්ව කතාව මතක් වුණා. මිනිහා කාර් එක දවල්ට D [day] දාගෙන drive කරලා රෑට N දැම්මාලු night නිසා 🙂
henryblogwalker the Dude
සැප්තැම්බර් 2, 2012 at 11:10 පෙ.ව.
😀 😀 ඒක මරු කතාව හසිත. P දැම්මෙ පෝය දවසටද දන්නෙ නෑ, නේ? 😀
Gaminie Vijith
සැප්තැම්බර් 22, 2012 at 7:50 ප.ව.
මාසෙකට විතර පස්සේ අද තමයි මචං නිවී සැනසිල්ලේ කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා උඹ මෑතකදී දාපු පෝස්ට් ටික බලන්න ගත්තේ. තව පොඩ්ඩෙන් උඹ අනියම් මිනීමැරුමකට අහු වෙලා හිරේ යනවා. ඇක්සිඩන්ට් රිපෝට් එක බලලා හුස්ම හිරවෙලා නොමැරී බේරුනේ පූරුවෙ වාසනාවකට. නියමෙටම ලියවිලා තියෙනවා මචෝ ..!