RSS

Monthly Archives: සැප්තැම්බර් 2012

90. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය…

90. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය…

මේ හෙන්රිබ්ලොග්වෝකර්ගෙ අර දුර්ලභ ඡායාරූපය, බ්ලොගර් ප්‍රොෆයිල් පික්චර් එක.”කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ” කියලා අපේ සෙන්නා අහලම තිබ්බා. මෙන්න බඩු. 😀

දිය යට සිට මුහුදු මතුපිට දු‍ටු අවසන් හිරු කිරණ වියැකිලා ගියා මතකයිනෙ?


මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, “එන්න සබ්මැරීන් එකක යන්න”

නියමිත වෙලාවට විනාඩි තිහක් කලින් මාලේ ජෙටි අංක 1 ට ඇවිත් ඉන්න කියලා තමයි උපදෙස් දෙන්නෙ. එතනින් අර අපි ගියාවගෙ සාමාන්‍ය බෝට්‍ටුවකින් තරමක් මුහුද මැද්දට වෙන්න පිහිටලා තියෙන Whale House නමින් හැඳින්වෙන පාවෙන සබ්මැරීන් ජෙටියට (submarines floating dry-dock)  සංචාරකයන්ව එක්ක යනවා.
මේ සබ්මැරීනයේ නම Whale Submarine වුනාට මේක තල්මසුන් නරඹන්න තියෙන සබ්මැරීනයක් කියලා වරදවා තේරුම් ගන්න එපා. ඒක  නමක් විතරයි.
අද නම් ටිකට් එකක් වැඩිහිටියෙකුට USD 80.00 සහ ළමයෙකුට USD 40.00 ක්ද වගෙ මතකයි.

මේ මිල ගනන් වෙනස් වෙලා තියෙන්න පුලුවන්.

ඔන්න යානය කිමිදෙනවා. සම්බ්මැරීනයේ පිටත සවි කරලා තියෙනවා ඉතාම ප්‍රභල, හාත් පස එලිය විහිදුවන ආලෝක ධාරා. ඒ වගේම ඔය පින්තූරවල පෙනෙන විදියට මාලු සබ්මැරීනයේ කවුලු (Port Holes) ලඟට ගෙන්නා ගන්නට පොඩි උපක්‍රමයක් යොදලා තියෙන්නෙ.

ඒ තමයි කවුලු අසලම තියෙන නොසල් වගයකින් මාලු කෑම සබ්මැරීනය අවට ජලයට නිකුත් වෙන එක. මේ මාලු පොර කන්නෙ ඒවා කන්න.

පුංචි ළමයිට නම් ඉතාම සුන්දර ලෝකයක්!

මේ කවුලු අසල වීඩියෝ මොනිටරුත් සවි කර ඇති බව ඔබට පේනවා ඇති.

මේ වේල් සබ්මැරීනය 1994 වසරෙදි, අමරිකානු නාවික කටයුතු පිළිබඳ කාර්යංශයේ (The American Bureau of Shipping and Bureau Veritas) දැඩි රෙගුලාසිවලට අනුකූලව සැලසුම් කොට නිර්මාණය කරලා  තියෙන්නෙ, ජර්මනියෙ Karlsruhe නගරයේ පිහිටි, Bruker Meerestechnik GmbH නිෂ්පාදනායතනයේදීයි.

මේ සබ්මැරීනය මුලින්ම සේවයට යොදවලා තියෙන්නෙ 1994 දි. ටොන් 120ක් බ‍රැති, අඩි 73ක් දිගැති මේ යානයට හැකියාව තියෙනවා, මගීන් පනස් දෙනෙක් සහ දෙදෙනෙකුගෙන් යුත් කාර්‍ය මණ්ඩලයත් ‍රැගෙන, මීටර් 150ක් දක්වා ගැඹුරු මුහුදේ කිමිදෙන්නට.

එතකොට මේ නවීන සම්බැරීනය ලොවේ ඇති ගැඹුරු මුහුදෙ කිමිදෙන විශාලතම මගී සබ්මැරීනය කියලයි ඔවුන් නම් කියන්නෙ.

වායුසමීකරණය කර ඇති මේ සම්බැරීනය තුල සාමාන්‍ය වායු ගෝලීය පීඩනය පවත්වාගෙන යන නිසා සාමාන්‍ය ආකාරයට හුස්ම ගන්න පුලුවන්. ඒ නිසාම මේ සබ්මැරීනයේ කිමිදී මතු පිටට පැමිණි වහාම වුනත් ගුවන් ගමනක යෙදෙන එක කිසිම අවදානමක් නැතිබව ඔවුන් සහතික වෙනවා. නමුත් ඔබ ඔක්සිජන් ටැංකියක් බැඳගෙන කිමිදුනා නම් (scuba diving) තත්වය වෙනස් මම හිතන්නෙ.

මේ යානයට නොට් 4.5ක වේගයෙන් ගමන් කල හැකි වුවත් ඔවුන් මේ සංචාරය සඳහා යොදා ගන්නේ නොට් 1.5 ක උපරිම වේගයක් පමණයි. ඒ වගේම මීටර 150ක ගැඹුරක ආරක්ෂා සහිතව කිමිදිය හැකි වුවත් ඔවුන් මීටර් 40 ට වඩා ගැඹුරට යන්නෙ නෑ මේ සංචාරයේදී.

ඔවුන් මුලින්ම මීටර් 25 කදී නවතිනවා මේ කොරල් පර සහ එහි වාසය කරන නොයෙකුත් විසිතුරු ජීවීන්  දැක බලා ගන්නට. දෙපැත්තෙම නරඹන්නන්ට සමාන අවස්ථා ලබාදීමට ඔවුන් යානය හසුරුවනවා.

දෙවන නැවතුම මීටර් 40ක ගැඹුරේදී සිදුවෙනවා. සබ්මැරීනය මෙහිදී ඇත්තටම කොරල් උද්‍යානයක පිහිටි කොරල් ගුහාවක් අසල වැලි නිම්නයක ගාල් කරනව කිව්වොත් නිවැරදියි. මෙහිදී ඇත්තෙන්ම අර ප්‍රභල ආලෝක ධාරා නිසා විවිධ නම් ඇති දැවැන්ත grouper වැනි මසුන් පවා දැක බලාගත හැකියි.

මේ කිමිදීම් රාත්‍රී කාලයේදී පවා කරනවා.
දිනයේ වේලාව, දියවැල් වල තත්වය හා වෙනත් කරුණු රාශියක් යහපත් නම් සම්බැරීනය, මෝරුන් කෑම කන තැන් (shark feeding areas), ගිලී ගිය නැවක්, හා වෙනත් විසිතුරු කොරල් පර කරාත් ඔබව ගෙනයන්නට ඉඩ තියෙනවා. එදා නම් එහෙම වුනේ නෑ.

මේ මම සහ ගැඹුරු මුහුද.

තාත්තයි පුතයි.

මේ සබ්මැරීනය ප්‍රමිතියට අදාල සියලුම ආරක්ෂක අංගෝපාංගයන්ගෙන් සමන්විත නිසා සහ ඉතා හොඳින් පුහුණු වූ ප්‍රංශ සහ දේශීය නියමුවන් විසින් පදවන නිසා, ඉතාම ආරක්ෂාකාරී සුව පහසු ගමනක් ඔවුන් සහතික වෙනවා.

ඔබට ඒත් සැක නම් සබ්මැරීනය සියලුම මගීනට සහ කාර්ය මණ්ඩලයට පැය සියයකට සෑහෙන ඔක්සිජන්, ජලය, සහ ආහාර ගෙනයනවා.

කොහොමත් නියමුවා මුහුද මතුපිට පාලන මැදිරියත් සමඟ නිරන්තර රේඩියෝ සබඳතාවයක් පවත්වා ගන්නවා.

ආපහු මතු පිටට.

මේ එදා අපේ සබ්මැරීන් නියමුවා.

පොඩි එකත් ආසයිනෙ පයිලට් මේ වැඩේ කොහොමද කරන්නෙ කියලා බලන්න,මං වගේම! 🙂

අම්මයි දුවයි ඉනිමගේ නගින්න ලෑස්තියි.

මේ මම සහ මගේ ඩෙනිම ඉනිමගේ, Forever In Blue Jeans. 😀
දෙයියනේ අර සෙන්නාට ‘මගේ ඩෙනිම’ පේන්නෙම ‘මගේ වෙඩිම’ වගේලුනෙ. 😀

බ්ලොග්වෝකර් පවුලේ අය.

මෙන්න භාණ්ඩේ. දුරකථන අංකය බඳේ ලියලා තියෙන්නෙ තල්මසෙකුට මෝරෙකුට උනත් කෝල් එකක් දීල බුක් කරන්න පුලුවන් වෙන්න.

අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවා නැවතත්

නැවතත් මාලේ නගරය.

ඒක නම් අපූරු අත්දැකීමක්.

කරුණාකරලා වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන ඔබන්න.

 
 

ටැග: ,

89. එන්න සබ්මැරීන් එකක යන්න!

89. එන්න සබ්මැරීන් එකක යන්න!

මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා සබ්මැරීන් එකක. ජර්මනියෙ නිෂ්පාදනය කරපු මේ සබ්මැරීනය  මාල දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහායි. මුලදි මුලදි නම් මේ සබ්මැරීනය පැදවූයෙ විදේශික නියමුවන්, දැන්නම් දේශීය නියමුවො පුහුණු කරලා තියෙන්නෙ. කතාව පින්තූරෙන්ම කිව්වා නම් ඉවරයි නේ?

මීට වැඩිය පින්තූර පැටෙව්වොත් බ්ලොග් පෝස්ට් එක ලෝඩ් වෙන එකකුත් නැහැනෙ. ඒක නිසා ඉතිරි කොටස ඊලඟ පෝස්ට් එකෙන්. 🙂 

 
 

ටැග: ,

88. Band-Aid – Part 2/ප්ලාස්ටරේ

88. Band-Aid – Part 2/ප්ලාස්ටරේ

අපි නැවැත්තුවෙ මෙතනින්නෙ. ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr

මතක නැතිනම් කියවලම එන්නකො මෙතන ඔබලා.

ඊට පස්සෙ..

හපොයි ඇති, ඇති, ඇති. හොඳටම ඇති.
මේකනෙ මම විඳලා තියෙන පට්ටම දරුණු වේදනාව.
පට්ටම දරුණු වේදනා පිළිබඳ ඉතිහාසයේත් පට්ටම දරුණු එක.
හයියෝ.
ඉතින් බලන්නකො, මම තාම ගලවලා තියෙන්නෙ චූටි කොටසයි.
තව ඒ වගෙ කොටස් හැට අටහමාරක් ඉතුරු වෙලා තියෙනවා ගලවන්න.

චිරිස්‘ ගාලා ඇදලා දාන එක නෙවෙයි විසඳුම.
හැබැයි ස්ලෝ මෝෂන් මෝඩ් එකත් නෙවෙයි.
මේක තියෙන්න ඇරලත් බෑ,
ගලවන්නත් බෑ.
ගලවනවද නැත්ද?
ඕකනෙ වැඩේ.
ඕකයි අවුල.
ඇත්තට ඒකමද අවුල?
ඇත්තටම අතින් ගලවලා දානවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැත්ද?
ඇදලා දාන එක නම්, ෆූඌඌ… අයියෝ… වාතයක්.

වාතයක්?
වාතය.
වාතය නැති තැන.
රික්තය.
ආන්න උත්තරේ!
වැක්‍යූම් ක්ලීනරේ !
මට පුලුවන්නෙ අපේ අලුත්ම වැක්‍යූම් ක්ලීනර් එකෙන්, මේ උලව් ප්ලාස්ටරේ වැක්‍යූම් කරල දාන්න.
අපේ පරණ වැක්‍යූම් ක්ලීනරේ මේ ලඟදී කැඩුන නිසා, අම්මයි, තාත්තයි අලුත්ම ‘සුපර් පවර්‘ වැක්‍යූම් ක්ලීනර් එකක් ගෙනාවා. ඒක නම් පට්ටම භාණ්ඩයක්. ඒක කොච්චර සුපිරිද කියනවානම් ඒකෙන් පුලුවන් හඳ මතුපිට තියෙන දූවිල්ල වුනත් ඇදලා ගන්න පොලොවෙ ඉඳන්. මම කරලා බැලුවෙ නම් නෑ, නමුත් මට හිතන්නෙ බැරිවෙන එකක් නෑ. ඒ තරම් පට්ට භාණ්ඩෙ!

දෙන්නම් පොරි හැලෙන්න.

දෙන්නම් වැඩේ ප්ලාස්ටරේට ඇඩ්‍රස් නැතුව යන්න. හිටපංකෝ.
වැක්‍යූම් ක්ලීනරේ නොසල් එක ප්ලාස්ටරේට ලං කරපු ගමන් පට් ගාලා ගැලවෙයි.
ඇදලා දාන්න ඕනෙත් නෑ.
රිදෙන්නෙත් නෑ.
මොකුත් නෑ.
වැක්‍යූම් ක්ලීනරේ පෙන්නන්න විතරයි තියෙන්නෙ.

මම යනවා සාලේ බිත්ති කබඩ් එකේ තියෙන වැක්‍යූම් ක්ලීනරේ අරන් එන්න. ඒක දඩාර් සයිස්. මම ඒක ඇදගෙන ඇවිත් නාන කාමරේ ප්ලග් එකට ගහනවා. මම නොසල් එකට හයි කරලා තියෙන බ්‍රෂ් එක ගලවනවා. මට ඕනෙ නෑ ඔය අනං මනං කෑලි වලින් මේකෙ සැර බාල කරගන්න.

මම ස්විච් එක දානවා. හම්මෝ මේකෙ සද්දෙ! හරියට ජෙට් එංජිමක් වගෙ.

කල්පනාවෙන් කරන්න ඕනෙ වැඩක්.

මේක ලේසි නෑ හිතපු තරම්. කණ්නාඩියෙන් බලාගෙන ඕනෙ, නොසල් එකේ කොණ හරියට ප්ලාස්ටරේ උඩට ගේන්න. නමුත් හෝස් එකයි, නොසල් එකේ දිගයි නිසා වැඩියෙම කණනාඩියට ලංවෙන්නත් බෑ.

මම නොසලය හෙමීහිට ප්ලාස්ටරය ලඟට ගේනවා. මට තේරෙනවා හමත් එක්ක ප්ලාස්ටරේ ඉස්සෙනවා, නමුත් කම්මුලෙන් ගැලවෙන්නෙ නෑ.

මම තවත් චූට්ටක් ලං කරනවා.

ඒත් මදි.

මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ වෙනකොට ප්ලාස්ටරේ ගැලවිලා ගිහින් නැත්තෙ ඇයි කියලා. නොසල් එකේ මොනවා හරි හිර වෙලාද?

මම නොසලය ප්ලාස්ටරෙන් අහකට උස්සලා, නොසල් එක ඇතුලට එබිලා බලනවා. මොකුත් පේන්න නෑ. ඇතුල කලුවරයි.

මම නොසලය ඇහැට තව ටිකක් ලං කරනවා.
ම්හ්ම්.
තවත් ටිකක්.
ම්හු.
තවත් චූට්ටක්.
ග්බ්ලොග්බ්ක්ග්!
මගෙ ඇහැ!
හපෝයි වැක්‍යූම් ක්ලීනරේ මගෙ ඇහේ ඇලිලා, ඇස් බෝලෙ උගුල්ලන්නයි හදන්නෙ.
හම්මෝ, රිදෙන තරං!
ආආආආආආආආආආහ්, ඒ වේදනාව විස්තර කරන්න වචන නෑ.

ඒක A4 කඩදාසි වලට ඇඟිල්ල කැපුනට, පිහියට දිව කැපුනට, ඇඟිල්ලට මිටි පාරක් වැදුනට වැඩිය වේදනයි.


මේක අනිවා පණ පිටින් තම්බනවට, උලේ ගහලා පුව්ච්චනවට, කාන්තාරේ බාවලා කූඤ්ඤ වල ගැට ගහලා තියෙනවට, ඇ‍ඟේ පැණි තවරලා කූඹින්ට කන්න දෙනවට වඩා දරුණු වේදනාවක්.

කොටින්ම මූණෙ අලවලා තියෙන ප්ලාස්ටරයක් ගලවනවටත් වඩා වේදනාවක්… ම්ම්ම්ම්… සමහරවිට එච්චරටම නෙවෙයි. ඔයාලා දන්නවා මම අදහස් කරන දේ.

මේක නිකම්ම නිකං වේදනාවක් විතරක් නෙවෙයි.
මේක මාරාන්තිකයි.
මේකෙන් මගෙ ඇස් බෝලෙ ඇස් කුහරෙන් ඉදිරිලා එන්න පුලුවන්.
මගෙ ඇස් බෝලෙ මගෙ මොලේට සම්බන්දයිනෙ.
ඉතින් මගෙ මොලේත්, ඒත් එක්කම ඇස් කුහරෙ අස්සෙන් එලියට ඇදිලා එන්න පුලුවන්.
මගෙ මොලේ මගෙ ඇ‍ඟේ තියෙන හැම දේකටම සම්බන්ධයිනේ.
කොයි වෙලේ හරි මගෙ ඇඟ ඇතුලෙ තියෙන භැම දෙයක්ම හිස්කබල ඔස්සේ ඇස්කුහරේ හරහා ‘ග්බ්ලොග්බ්ක්ග්’ ගාලා ඇදිලා ඇවිත් වැක්‍යූම් ක්ලීනරේ ඇතුලට යන්න පුලුවන්.

හපෝයි මොනවා හරි කරන්න එපායැ වහාම.
මේ දැං.
මම කකුල දික්කරලා, ස්විච් එක නිවනවා.
මෝටරේ ඝෝෂාව ක්‍රමයෙන් අඩුවෙලා නවතිනවා.
මම නොසලය ඇහෙන් අහකට ඇදලා දාලා, බාත්ටබ් එකේ ගැට්ටෙ ඉඳගෙන හති හලනවා.

ඔය ඇති.
හොඳටෝම ඇති.
පිස්සු කෙලියා හොඳටෝම ඇති.
වැක්‍යූම් ක්ලීනරේ නෙවෙයි විසඳුම.
ප්ලාස්ටරේ හොඳටම ඇලිලා තියෙන්නෙ.
මේක අතින්ම කරන්න ඕනෙ වැඩක්.

මම ප්ලාස්ටරේ මැදින් අල්ලලා, පුලුවන් තරම් හයියෙන් කොනිත්තලා, ‘චරස්‘ ගාලා අදිනවා.
හේයි!
ගැලවුනා!
නරකම නෑනෙ.
ඇත්තම කිව්වොත් රිදුනෙම නෑ.
ඕකෙ රහස තමයි, මේවගෙ වැඩක් කරනකොට හැකි ඉක්මනින් කලයුතු දේ කරලා ඉවරයක් කරන එක.

මම ප්ලාස්ටරේ සාක්කුවට දාගන්නවා.
පස්සෙ ඕනෙ වෙන්න පුලුවන් ජෙනීව ඔරොප්පු කරන්න. අක්කිට පරණ ප්ලාස්ටර් පේන්න බෑනෙ. මාර වැඩක් තමයි. පාවිච්චි කරපු ප්ලාස්ටර් වලට එයාගෙ මාර අප්පිරියාවක් තියෙන්නෙ. විශේෂයෙන්ම එයාගෙ සැන්විච් එකක් අස්සෙ තිබිලා හැපුනාම.

මම නැගිටලා කණ්නාඩියෙන් බලනවා.

පිස්සු හැදෙන සඳ!
මාස හයක්. ඒ වුනාට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ තියෙන්නෙ සුදු පාට කොහොල්ලෑ රේඛාවකින් වටවෙච්ච ලා රෝසපාට සෘජු කෝණාශ්‍රයක් විතරයි.
පැල්ලමක් නෑ. මොකුත්ම නෑ, හම විතරයි. සාමාන්‍ය නිරෝගී හම.

හයි…යෝ….!
දෙයියනේ. මේ මොකද?
ප්ලාස්ටරේ නම් ගැලවිලා. ඒ වගෙම තුවාලෙත් සනීප වෙලා.
නමුත් දැං, මේං මගෙ වම් ඇහැ වටේටම තියෙනවා, රතු-කලු වලල්ලක් හිටලා අර නොසල් එක තද වෙච්ච පාරට. ඒක තැල්මකුයි, දියපට්ටෙකුයි දෙකේම සංකලනයක්.

දැන් කොහොමද ෆෝටෝ එකට ඉන්නෙ?
විලි ලැජ්ජා සන්තෝසෙ බෑ!
මම දැන් මොකද කරන්නෙ?
දැන් මාව ප්ලාස්ටර් එකක් අලවගෙන ඉන්න ගොබ්බසේන කෙනෙක් වගෙ නම් පේන එකක් නෑ තමයි, කන්නාඩි කුට්ටමකින් බාගයක් දාගෙන ඉන්න පිස්සු හුටං කෙනෙක් වගේ මිසක.
හ්ම්ම්ම්…
කණ්නාඩි කුට්ටමක්, ආ?
කණ්නාඩි කුට්ටමක්.
අඩ් ඩඩ් ඩා… ෆෝටෝ එකකට ඉන්න ඊට වඩා හොඳ විදියක් තව කොයින්ද?
දැන් ගෲප් ෆෝටෝ එක දකින කවුරුත් හිතයි, “අඩේ කවුද අප්පා අර කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්න පට්ට බුද්ධිමත් ලුක් එකක් තියෙන ඩයල් එක? පොර නම් පේන හැටියට මාර මීටරයක් වෙන්න ඕනෙ, හුම්!” කියලා.

ඒ වුනාට මම දාගෙන ඉන්නෙ කන්නාඩි කුට්ටමෙන් බාගයයිනෙ.
තනි ඇහැට ඇඬෙනවා.
සික්, වැඩේ චාටර්නෙ. වැඩෙන් බාගයයි.
මම දන්නව කරන්න ඕනෙ දේ.
ටිකක් රිදෙන්න පුලුවන්, නමුත් වැඩේ පාඩු නෑ. අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත් කාටද ආඩම්බර?
අර මම ඉස්සෙල්ලත් කිව්වෙ, ඔය චූට්ටක් රිදෙන එක නම් මට ගානක්වත් නෑ.

මම ආයෙම වැක්‍යූම් ක්ලීනරේ ස්විච් එක දානවා.
ඒක මහා ඝෝෂාවක් එක්ක වැඩ අරඹනවා.
මම නොසලය දකුණු ඇහැට තියලා තද කරනවා.
ඕං.
ග්බ්ලොග්බ්ක්ග්!
නොසලය මගෙ ඇස් බෝලෙ උගුල්ලන්න පොර කනවා. මේ පාර අනිත් පාර තරම්ම අමාරු නෑ. මොකද මම දැන් මේකට පුරුදු නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ, මේකෙන් ඇහැ කිති කැවෙනවා වගෙ විතරයි, රිදෙන්නෙ නෑ කියලා. මම නොසලය එහෙමම තියෙනෙ අරිනවා වේදනාව ඉවසන්න බැරුව යනකල්.

ආ, දැං ඇති.

මම ආපහු හැරෙනවා ස්විච් එක නිවන්න හිතාගෙන.
නමුත් වැක්‍යූම් ක්ලීනරේ හෝස් එක වදිනවා ඇරලා තියෙන කැබිනට් එකේ තට්‍ටුවේ.

ඒකෙ තියෙන හැමදේම පෙරලෙනවා බිමට.

ටයිල් පොලොව පුරාම වීදුරු ක‍ටු, ෂැම්පූ, රේසර්, පර්ෆියුම්, සබන්, පෙති ජාති, අර ගඳ ක්‍රීම් සහ මෙකී නොකී සෑම දෙයක්ම.

වැක්‍යූම් ක්ලීනරේ නොසලය තාම මගේ ඇහැට ඇලුණු ගමන්මයි. අන්න ඒ ගමන නම් වේදනාව ඉවසන්න බැරි වේගනයි එන්නෙ.

මම තව පාරක් උත්සාහ කරනවා ස්විච් එකට ලං වෙන්න, නමුත් ඒකෙන් වෙන්නෙ මම ලිස්සලා වැටෙන එකයි. මම ටවල් රේල් එකේ එල්ලෙන්නෙ නොවැටී බේරෙන්න, නමුත් අතර අහුවෙන්නෙ ටවල් එකක් විතරයි, රේල් එක නෙවෙයි. ටවල් එක රේල් එකෙන් ඇදිලා අතට එනවා. මම මහ හඬින් බිම පතිත වෙනවා. මූණෙ දකුණු පැත්ත වදිනව ටයිල් පොලොවෙ.

ඌයි!

මට තේරෙනවා තියුණු යමක් මූණෙ ඇනුනු බව.
අයියෝ!
මම ඔලුව උස්සනවා.
රේසර් එකක්.
ඒ මදිවට ලේ.
ලේ!
මගෙ ලේ ටයිල් පොලොවෙ!
වැක්‍යූම් ක්ලීනරේ තවමත් මගෙ ඇහැ උගුල්ලන්න හදනවා.
මම නැගිටින්න උත්සාහ කරනවා. වළලු කරින් ඉවසන්න බැරි වේදනාවක් එනවා. මට නැගිටගන්න බැහැ.
මට ස්විච් එකට ලං වෙන්න බැහැ.
මමනොසල් එක අත් දෙකෙන්ම අල්ලගෙ අදිනවා පුලුවන් හයියෙන්. නමුත් ගැලවෙන්නෙ නෑ.
මගෙ ඇඟට පණ නෑ වගෙ.
ලේ ගලන නිසා වෙන්නැති.

සික්, මම මෙහෙමද මැරෙන්න යන්නෙ?

මම බඩ ගාගෙන යනවා වැක්‍යූම් ක්ලීනරේ ලඟට.
ස්විච් එක නිවනවා.
ඝෝෂාව අඩුවෙලා නවතිනවා.

නොසල් එක නිකම්ම ගැලවිලා වැටෙනවා.
මම සින්ක් එකේ එල්ලිලා අමාරුවෙන් නැගිටගෙන එබෙනවා කණ්නාඩියට.
දෙයියනේ!
විනාසයි.
දකුණු ඇහැ වටේටමත් වම් ඇහැ වටේට තියෙන රතු-කලු වලල්ලට ගැලපෙන වලල්ලක් ඇඳිලා තියෙන බව ඇත්ත.
මම හීනෙකින්වත් ලබාගන්න හැකිවෙයි කියලා නොහිතපු “පට්ට මීටර් ඩයල් එකක” පෙණුම මට ලැබිලා තියෙන බවත් ඇත්ත.
ඒ වුනාට මේ පාර හරියටම දකුණු ඇහැ යටින්, අර වම් ඇහැ යටින් වුනා වගෙ කැපුමක්, අර රේසර් එක ඇනිලා.
ඒකෙන් ලේ ගලනවා.
හෝ ගාලා.
හ්ම්ම්… ආයෙම ප්ලාස්ටරයක් අලවන්න වෙලා.

නිමි.

***************************************************************************************************

ඔබ මේ කියෙව්වේ Andy Griffiths ලියපු, ‘JUST’ කතා මාලාවේ, Just Wacky කියන පොතේ පලවූ Band-Aid කතාවේ සිංහල අනුවාදයයි. මේ කතා කියවලා, අගය කරලා, වර්ණනා කරලා මාව උනන්දු කරලා ප්‍රතිචාර දක්වපු ඔබ සැමට මගෙ ප්‍රණාමය.
මම මේ කතාවෙ පලවෙනි කොටස අගින් කරපු ලියපු මේ සටහන මතකද?

මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.

ඒ එක්කම බලන්න ප්ලාස්ටරයක් ගැලවීම වගෙ සුලු සිද්ධියකින් මෙච්චර සිද්ධියක් මවන්න ලේඛකයා සමත් වෙච්ච අපූරුව!

***************************************************************************************************

මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම “මගේ ඩෙනිම/My Blue Jeans”.

බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මටත් පොඩි බැක් අප් එකක්.
හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!  මම දැනට කරන්නෙ මුල ඉඳලා මට හිතෙන හැටි එකේ ගිය පෝස්ට් මේකෙ පබ්ලිෂ් කරනවා අධි වේගයෙන්. ලඟදීම දවසක දෙකම කරට කර එයිනෙ. නමුත් මේ සයිට් එකත් මොකුත් නොවුනා වගෙ දිගටම තියේවි.

 

ටැග: , ,

87. ප්ලාස්ටරේ / Band-Aid

87. ප්ලාස්ටරේ / Band-Aid

ඔයාලා කවදාහරි ඇ‍ඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්?
මම ඉඳලා තියෙනවා.
ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්!

අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්!
කොහොමද වැඩේ?
බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්!
ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි වෙන්න.
මම මේ ප්ලාස්ටරේ අලවං ඉඳලා තියෙනවා:
දවස් 182 1/2ක් . ඒ කියන්නෙ පැය 4380ක්. නැත්නම් විනාඩි 262,800ක්.
හෝ තප්පර 15,768,000ක්. තවත් නිවැරදිව කිව්වොත් …,
හ්ම්ම්, ඒකට නම් පු‍තෝ ටිකක් වෙලා යයි, මොකෝ ඕං කැල්කියුලේටරේටත් කෙල වුනා වගෙ, බින්දුවලට ඉඩ නැතුවද කොහෙද, මම තප්පරේකින් දාහෙන් පංගු බලන්න ගියාම!

හරි ඒකෙන් වැඩක් නෑ. දැන් කොහොමින් හරි, ප්ලාස්ටරේට මාව දරුණු විදියට ග්‍රහණය කරගන්න මේ කාලය හොඳටම ඇති කියලා ඔයාලට පැහැදිලියිනෙ?

මම මේ ප්ලාස්ටරේ මෙච්චර කල් අලවං හිටියේ කාගෙ වැ‍රැද්දෙන් කියලද ඔයාලා හිතන්නෙ?

ඒක තනිකරම අපේ අම්මගෙ වැ‍රැද්ද!

අපේ අම්මා නිකං බර බර ගාන්නෙ, හරියට මේ ප්ලාස්ටරයක් කියන එකක් ඩොලර් මිලියන් තුනක් විතර වටිනවා වාගෙනේ. ආන්න ඒකයි, මට මෙච්චර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ, එකම ප්ලාස්ටරේ අලෝගෙන. අම්මා ප්ලාස්ටර් හංගලා අරන් තියලා තියෙන්නෙ, මට ගන්න බැරිවෙන්න. මම තුවාලයක් කරගත්ත වෙලාවට, තුවාලෙ කොච්චර දරුණු වුනත් කමක් නෑ, එයා දෙන්නෙ එකම ප්ලාස්ටරයයි. එච්චරයි.

ඒ කියන්නෙ එකමයි, ඒකමයි!

මම බැරිවෙලාවත් ඕක ගලවලා දාලා වෙන එකක් ඉල්ලුවොත්, ඕං කියනවා:

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස් වලින් කඩනවා කියලා හිතුවද?”

“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”

කොච්චර ඉල්ලුවත් නෙවෙයිනෙ තව එකක් දෙන්නෙ. අනේ ඉතින් මමත් ප්ලාස්ටරයක් අලවාගත්තම ඔහේ තියෙන්න අරිනවා. හැබැයි මෙදා පාර නම් මම ටිකක් ඕනෙවට වඩා වැඩිපුර තියෙන්න ඇරියාය කියලයි මටත් හිතෙන්නෙ.

දැන්නම් මේක ගලවන්නත් ලේසි වෙන එකක් නෑ.

ඒ වුනාට දැන් මේක ගලවන්න වෙලා තියෙන්නෙ. ඇයි දන්නවද?

අද ඉස්කෝලෙ අපේ ගෲප් ෆෝටෝස් ගන්නවා.

මේ ප්ලාස්ටරේ තියෙන්නෙ මගෙ මූණෙ. හරියටම වම් ඇහැ යට .

මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ෆෝටෝ එකට හිටියෑකිද, ගොබ්බසේන වගෙ?

ගිය අවුරුද්දෙ ෆෝටෝ එක ගන්න කොටම, ගානට වෙලාවට ඇහි පිල්ලමක් වැදුනා . ඕං ඒකෙ මම ඉන්නවා නිදාගෙන.

ඊට කලින් අවුරුද්දෙ ගෲප් ෆෝටෝ එක ගන්න කොටම, මම හිටගෙන හිටපු බංකුව හරියටම, ඒ වෙලාවටම, පෙරලෙන්න වගෙ ගිය හන්දා, බය වෙච්ච පාර කට ඇරිලා, ඕං මම ඒකෙ ඉන්නවා යකෙක් දැකලා වගෙ කට ඇරගෙන!

මේ පාර ගනිංකො ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ! එතකොට, මුංට තව අවුරුදු ගානක් යනකල්, මාව මතක තියෙන්නෙ අර උනුත් එක්ක හිටපු හෙන මීටරේ හැටියට නෙවෙයි, අර ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ඉන්න මොංගල් ඩයල් එක හැටියටයි.

මටමනෙ වෙන්නෙ!

මේක මාර පජාත වැඩක්නෙ! මට හම්බ වෙන්නෙම නිකම්ම නිකම් ප්ලාස්ටර්! අනිත් උන්ට, හැම එකාගෙම අනුකම්පාව, අවධානය ලැබෙන, අර හැම එකාම අස්සන ගහන්න පොරකන, P.O.P කාස්ට් එක අත පය වලට දාගෙන ෆුල් ආතල් එකේ ඉන්න ලැබෙන, පට්ට ආතල් ඇක්සිඩන්ට් වෙනකොට මට මාර ජෙල. සික්! මට වෙන්නෙ නෑනෙ ඒ වගෙ ආතල් තුවාලයක් ආසාවටවත්. මට මාර ආසයි අර මගෙ ඇ‍ඟේ හැම ඇටයක්ම කැඩිලා, ඉස්පිරිතාලෙ නැවතිලා, අර කාස්ට් එකත් දාගෙන, මුළු දවසම ෆුල් ආතල් එකේ, අයිස් ක්‍රීම් කකා, ටීවී බලබල ඉන්න ලැබෙන ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්. මට නම් තියෙන්නෙ පුදුම නොලැබීමක් අප්පා.

ඕං මට එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා, ඇ‍ඟේ ඇට ඔක්කොම කැඩුනයි කියලා හිතමු. එතකොට ඩොකා මා දිහා බලලා කියයි, “මෙයාට එච්චර අමාරුවක් නෑ. ඔන්න ඔය ප්ලාස්ටර් දෙක තුනක් ගැහුවාම ඕක හරියයි,” කියලා.
එතකොට අපේ අම්මා අත් දෙක ඉනට තියාගෙන, ඩොකා දිහා ඔරවලා බලලා කියාවි,

“මොනවා? ප්ලාස්ටර් දෙක තුනක්?”

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”, කියලා.

ඩොකාත් එතකොට කියාවි,

“ඔව් ඔව්, ඔයා හරි. එක ප්ලාස්ටරයක් හොඳටෝම ඇති,” කියලා.

ඔය ඇක්සිඩන්ට් සම්බන්දයෙන් මගෙ නොලැබීම නම් ඔන්න ඔය වගෙයි.

වැඩිය ඕනෙ නෑ. හරි නම් පට්ට, ෆුල් ඔප්ෂන් ඇක්සිඩන්ට් එකක් වෙන්න තිබ්බ මට මේ අන්තිමට වෙච්ච ඇක්සිඩන්ට් එක බලන්නකො.

ඕං මම දවසක් ගෙදර එනවා ඉස්කෝලෙ ඇරිලා. මම දකිනවා කාගෙන්ද වැටිච්ච, රත්තරං පාට ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩි කුට්ටමක් පේව්මන්ට් එකේ දිලිසි දිලිසි තියෙනවා. මට කරුමෙට ඔය වෙලාවෙ, අර ලඟදී මම පත්තරේක කියවපු ‘කන්නාඩි දාන බුවාලා, නොදාන බුවාලට වඩා මීටර්’ කියන සමීක්ෂනයක ප්‍රතිඵලේ මතක් නොවුනා නම් මම ඕක දිහා බලන්නෙ වත් නෑ ඕං. මටත් හිතෙනවා මේ කන්නාඩි කුට්ටම දාගෙන ගියොත් , මගෙ ටීචර්ස්ල මම හෙනම මීටරයක් කියලා හිතලා, මට ලකුණු හෙම වැඩියෙන් දෙයි කියලා! මමත් මොකද කරන්නෙ, අර කන්නාඩි කුට්ටම අහුලගෙන දාගන්නවා.

හපෝයි! ඒක දාපු ගමන්, මුළු ලෝකෙම බොඳවෙලා යනව මදිවට, ඇස් වල දැල්ලක් බැඳලා වගෙ වෙනවා! කපලා දාපු ගහක් වගෙ මම ඇදගෙන්න වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මට ඇහෙනවත් කවුදෝ කෑ ගහනවා, “හා, හා, බලාගෙන බලාගෙන!” කියලත්. මම කොන්ඩෑරුමක් ගහලා නතර වෙන්නෙ අර පාර හදන එවුන් පාරෙ හාරලා තිබ්බ කාණුව පල්ලෙ.

අනේ ඒවුනාට :
කැඩියං කකුලක්වත්!
ම්හු! මොන?
අතක් කැඩියං!
ම්හු! මොන?
පැලියං ඔලුව, හිස් කබලට බරපතල තුවාල වෙන්න, මතකයටත් හානි වෙන්න!
මොන?
අඩුම ගානෙ හොඳ කැලලක් හිටින ආතල් තුවාලයක්වෙන්න තිබ්බ නේද?
නොදෝකිං! කැඩිච්ච එකම දේ කන්නාඩි කුට්ටම විතරයි. වෙච්ච එකම තුවාලෙ, මේ වම් ඇහැ යට පොඩ්ඩක් කැපිච්ච එක විතරයි.

කන්නාඩි දාලා, බුද්ධිමත් පෙනුමක් ගැනීම කෙසේ වෙතත්, මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ඉන්න මොංගල් පෙනුමක් නම් ලැබුනා.

හිටපංකෝ.
මේ ප්ලාස්ටරේ අද ගලවන්න ඕනෙ මොන ජාතියෙන් හරි.
තවත් නම් කල් දාලා හරියන්නෙ නෑ.
මම දත් මිටි කාගෙන, ගැඹුරු හුස්මක් අරගෙන, දෙන්න යන්නෙ වැඩේ.

ෆූ… දැවිල්ල!

පිච්චෙනවා වගේ!

අම්මෝ, රිදෙනවෝ!

ඉන්න බැරියෝ!

හයි යයියෝ!

කෝ මම තාම ප්ලාස්ටරේට අතවත් තියලා නෑ!!
ඒ ගැන හිතුවාමත් වේදනාව ඉවසන්න බෑ.
දෙයියනේ, හම ගැලවිලා ආවොත් මොකද කරන්නෙ?
ලේ නවත්තන්න බැරුව ගියොත්?
ලේ ගලලා, ගලලා, ගලලා නාන කාමරේ ලේ වලින් පිරුනොත්!
හැබෑටම මොනවා වෙයිද, මම නාන කාමරේ මගේම ලේ විලේ බැහැලා ඉන්නකොට, අම්මා ඇවිත් දොර ඇරියාම, නාන කාමරේ පිරිලා තිබ්බ ලේ, මුහුද ගොඩ ගලනවා වගේ ලොකූ ‍රැල්ලක් එක්ක එලියට ගහලා, අම්මයි මායි ලේ ගංගාවෙ පාරවල් දිගේ ගහගෙන ගියොත්?

එතකොට අම්මා කෑ ගහලා අහවි,
“මොනවද ළමයො මේ වෙන්නෙ?”

මම කෑ ගහලා කියාවි,
“මම මේ ප්ලාස්ටරේ ගැලෙව්වා විතරයි, අම්මේ!” කියලා.

එතකොට අම්මා කියාවි,
“මොනවා ළමයො? ප්ලාස්ටරේ ගැලෙව්වයි කිව්ව?”

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”

“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”

“නෑ අම්මෙ,” මම කියාවි,”ඒ වුනාට එහෙම වුනානම් කොච්චර හොඳද? එතකොට එකම ප්ලාස්ටරේ මාස හයක් අලෝගෙන ඉන්න වෙන්නෙ නෑනෙ,” කියලා.

පිස්සු හැදෙන සඳ!
මේ වගෙ දේවල් ගැන හිතුවමත් පිස්සු හැදෙනවා තමා.
හොඳ නෑ හිතන්න.
මම දන්නවා කරන්න ඕනෙ දේ.
හිතිල්ල නවත්තලා වැඩට බහින්නයි ඕනෙ!
වහ්…හාම!
ඉවරයක් කරලා දැම්මාම, ඉවරෙටම ඉවරයි.
මේ හුඟාක් මිනිස්සු නිකාං වේදනාව දික් ගස්සා ගන්නවා, මේ නිකාං බොරුවට ඒ ගැන ඕනෙවට වඩා හිතලාම.

මම නං එහෙම නෑ.

මම නම් යමක් කිව්වොත්, ඒක කරලම තමයි ආයෙ පස්ස බලන්නෙ.
ඕව්, ඔව්, ඔව්. මගේ හැටි එහෙම තමයි. මගේ නෑනෙ ඔය බයිලා. මම කිව්වොත් කෙරුවා.

සිරාවටම.

ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ. ඕන්න බලන්න එහෙනං.

මම මේක කරන්නයි යන්නෙ දැන්.

මේ දැන්.

තව මොහොතකින් පටන් ගන්නවා.

මේ දැන් ඉඳලා තව මොහොතකින්.

ඒ කියන්නෙ තව චුට්ටකින්.

එහෙම වෙන්නෙ, මම මේක හිතන්න ගිය අතරෙ, ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙලා. මම ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙච්ච එක ගැන හිතන්න ගිය අතරේ, ‘තව චුට්ටකින්’, ‘තවත් චුට්ටකින්’ බවට පත්වෙලා. අන්න ඒ නිසා තමයි මට තවත් චුට්ටකින් පටන් ගන්න විදියක් නැත්තෙ. මොකද ඒක දැනටමත් පහුවෙලා නිසා.

අන්න ඒක නිසා මම මේ දැන් පටන් ගන්නයි යන්නෙ.

තුනට ගැනපු ගමන්.

එක්..කා…යි!

දෙක්…කා…යියි!!

දෙකහමාරයි…

දෙකයි තුන්කාලයි…

දෙකයි පහෙන් හතරයි…

දෙකයි හයෙන් පහයි…

දෙකයි අටෙන් හතයි…

මේක හරියන මංගල්ලයක් නෙවෙයි.

ගණින වැඩේ හරියන්නෙ නෑ.

නිකම්ම අමුවටම කරන්න ඕනෙ.

මේක ගැන කතා කරන එකයි, හිතන එකයි දෙකම නවත්තලා, වැඩේට බහින්න ඕනෙ.

වැඩේනෙ කෙරෙන්න ඕනෙ.

ඕං එහෙනං!

ඒ වුනාට මේ වැඩේට අර ඇහිබැම ගලවන ට්වීසර් එකක් ඕනෙ වෙනවා, ප්ලාස්ටරේ කොණේ ඇඟිල්ලට අහුවෙන්න දෙයක් නැති තරමට තදින් ඇලිලා තියෙන නිසා.

මම නාන කාමරේ කැබිනට් එක ඇරලා හොයනවා ට්වීසර් එකක්.

මගෙ අම්මෝ! මේකෙ තියෙන ජාති!

බේබි ෂැම්පූ, ඇපල් ෂැම්පූ, ඉස් හොරි වලට ගාන ෂැම්පූ (වෙන කාගෙවත් නෙවෙයි තාත්තගෙ), හෙයා ස්ලයිඩ්, බ්ලේඩ්, ඇන්ටි රිංකල් ක්‍රීම් බෝතලයක් (අම්මගෙ. වෙන කාගෙද?), සන්ස්ක්‍රීන්, කොට්න් බඩ්, කුරුළෑ ක්‍රීම් (ඒක ජෙන්ගෙ. දැන් ඕං ඔයාලා ඒක ගැන කල්පනා කරනවා නම්, ඒක වැඩක් නැති ක්‍රීම් එකක්, ඒකට කුරුළෑ වැඩි වෙනවා වගේ මට නම් පේන්නෙ), ඩිස්ප්‍රින්, විටමින් සී පෙති, පණුවන්ට දෙන පෙති, (මම හිතන්නෙ අපේ බව්වා, සූටියාගෙ වෙන්න ඕනෙ), තාත්තා සමහර වෙලාවට එයාගෙ කකුලෙ ඇඟිලි වල ගාන අමුතු ගඳක් තියෙන ක්‍රීම් ජාතිය. ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් තව චූට්ටක් තියෙන, රෝල් කරපු ටූත් පේස්ට් ටියුබ් දහයක් විතර… කොටින්ම කිව්වොත් ට්වීසර් එක හැර අනිත් සෑම දෙයක්ම තියෙනවා.

දැන් ඔයාලා හිතනවා නම් මම මේ නාන කාමරේ කැබිනට් එකේ තියෙන හැම දේම ගැන ලැයිස්තුවක් හදන්නෙ නිකං කාලෙ මරන්න කියලා, ඒක නම් ලොකුම වැරදීමක් ඕං. ඒ මොකද මම තවම පර්ෆියුම්, මවුත් වොෂ් (ජෙන්ගෙ, හරි?), ලිප් බාම්, නේල් පොලිෂ්, ලිප්ස්ටික් ගැන සඳහනක් වත් කලේ නැති නිසා. මට ඇත්තෙන්ම, මේවා ගැනත් කියන්න තිබ්බා. නමුත් එහෙම නොකලේ, මට ඕනෙ කරන්නෙ ට්වීසර් එක හොයාගන්න මිසක්, නිකරුනේ වෙලාව නාස්ති කරන්න නොවන නිසා.

බලමු ප්‍රථමාධාර පෙට්ටිය ඇරලා.

ආහ්! මේ තියෙන්නෙ බඩුව.

මම ට්වීසර් එක එලියට ගන්නවා.
මට දැන් පුලුවන් ප්ලාස්ටරේ ගලවලා දාලා ඒ කරදරෙන් සදහටම මිදෙන්න.

පොඩී ප්‍රශ්නෙකට තියෙන්නෙ ට්වීසර් එක. ඇබීන්දක් විතර අපිරිසිදුයි වගෙ පේන්නෙ. මේක උණු වතුරෙ දාලා විෂබීජ මරලම ගත්තොත් මොකද? විෂබීජ ගැන කියන්න බෑනෙ!

මම උණුවතුර කරාමෙ ඇරලා ට්වීසර් එක හොඳට සෝදනවා.
දැන් ඔයාලා හිතනවා නේද නම් මම මේ කාලෙ ගතකරන්න විකාර කරනවා කියලා?

ඇත්තෙන්ම නෑ.

මට ඔය පුංචි වේදනාවක් කියන එක ගානක් නෑ.
ඇත්තෙන්ම මම කැමතියි වේදනාවට.
ඒකෙත් තියෙනවා යම් ආතල් එකක්.
ඇත්තෙන්ම මට නම් වේදනාව වැඩිවෙන තරමට තමා ගතිය.

සමහර වෙලාවට ලීයකට ඇණයක් ගහනකොට, මම කැමතියි ඕනැ කමින්ම ඇඟිල්ලටත් මිටි පාරක් ගහලා තලාගන්න. මොකටවත් නෙවෙයි, අර ඇදුම් කන වේදනාව විඳින්න.

මම A4 කඩදාසිත් එක්ක වැඩක් කරනකොට, මම කැමතියි කඩදාසියකට ඇඟිල්ලක් පොඩ්ඩක් කපාගන්න, මොකද ඒකෙන් මාර වේදනාවක් දැනෙන නිසා.

පිහියකින් වැඩක් කරනකොට මම පිහිය පොඩ්ඩක් ලෙවකනවාමයි, මොකද පිහියට දිව පොඩ්ඩක් කැපුනාම, අර A4 කඩදාසියට ඇඟිල්ල කැපුනට වැඩිය පට්ට ආතල් වේදනාවක් දැනෙන නිසා.

දැන් ඔයාලා හිතනවද මේවා මහා චාටර් වැඩනෙ කියලා?
හෙහ් හෙහ්හෙහ්! ඕවා මොනවද? මා ගාවා තියෙනවා පොතක්. ඒකෙ නම ‘මරණීය දණ්ඩණ විශ්ව කෝෂය‘ (Encyclopedia of Executions). අන්න පට්ට භාණ්ඩේ.! ඒකෙ තියෙන සමහර වධ ගැන ඇහුවොත්, ඔය මං කලින් කිව්ව ඒවා නිකං මොනවද කියලා හිතෙයි.

ඕං අහගන්නකො කීපයක්.
මිනිස්සුන්ව උණු වතුරෙ දාලා පණපිටින් තම්බනවා.
උලක ගහලා ගින්නට අල්ලලා පුච්චනවා.
කාන්තාරේ මැද්දෙ බිම දිගාකරලා අතපය හතර අතට ඇදලා කූඤ්ඤ වලට ගැට ගහලා තියනවා.
ඇඟ පුරාම මී පැණි තවරලා, කූඹි ගුලක් ලඟ ගැට ගහලා තියනවා.

ඔය ඔක්කෝම, මාස හයක් ඇ‍ඟේ අලවාගෙන හිටපු ප්ලාස්ටරයක් ගලවනකොට දැනෙන වේදනාවට යටයි.

මේ වැඩේ කොහොම හරි කරන්න ඕනෙ.

ඒක කරන්න ඕනෙ මේ දැන්.

ට්වීසර් එක ලෑස්තියි.

මම උණු වතුර කරාමේ වහනවා.

ෆුල් ඩම් එක ගන්නවා.

ට්වීසර් එකේ එක අණ්ඩක් ප්ලාස්ටරේ කොනකින් ඇතුලට රිංගවලා, අඬු දෙකෙන්ම අල්ලලා, අදිනවා.

ආආආආආආආආආආආආආහ්හ්හ්!@%*!!!!!!!!!@ @##**@ $!$%#%#$%!!!!ඌඌඌඌඌඌඌඌඋයි!@##**@
@!@%#%#$ @@ ඈව්! ආආආආආව්ව්!#!!!!*!!!!! !!@@##**@ # %&^%# #@!!!#%#$% ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියපු, Just Wacky! කියන පොතේ, BAND-AID කියන මුල් කතාවෙ මේ කෑගැහිල්ල තියෙනවා පි‍ටු තුනක්! හිතාගන්න පුලුවන්නෙ වේදනාව. පව් පොඩි එකා.

හරි, මහන්සිත් ඇතිනෙ කියවලා. මම මේ පාර, මෝඩ ප්‍රශ්න අහන්නෙ නෑ, ඊ ලඟ කොටස ඕනෙද කියලා. නමුත් ඇන්ඩි ප්ලාස්ටරේ ගලවා ගත්ත කියලද ඔයාලා හිතන්නෙ?

ඊ ලඟට මොකද වුනේ? ලඟදීම…

පසු වදන: මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.

 

ටැග: , ,

86. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!

86. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!


හායි, හෙන්රී!


හායි, අමාලි!


මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා!


ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ?


ඉතින්, කොහොමද හෙන්රි?


ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්‍රස් එකක් වැටෙන්නෙ?


ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ.  ඊට පස්සෙ ඔයා ට්‍රාන්ස්ෆර් උනානෙ.


ඔව්, ඔව්. මම ගියානෙ එතනින්, ඉතින්?


ඊට පස්සෙ හුඟක් දේවල් උනා. කෙටියෙන් කිව්වොත්, මට ඩේවිඩ් මුණ ගැහුනා.


ඒ කියන්නෙ, ඔයා දැන් බැඳල හෙම ඉන්නෙ?


අනේ ඔව්, හෙන්රි. ඩේවිඩ් කැනේඩියන්.


අහා. ඉතින් හොඳයිද ඔහේ ජීවිතය?


හපොයි ඔව්, හෙන්රි.  මම ආසම, මේ ‍ෆ්‍රීඩම් එකට. මෙහෙ කැමති ඇඳුමක් අඳින්න පුලුවන්.  ගෑණියෙක් කියලා නෑ, කැමති දිහාවක, කැමති වෙලාවක, යන්න එන්න පුලුවන්.  ලංකාවෙදි වගේ, අනිත්  උන් රබර් ඇහැ දාන්නෙ නෑ. අපේ ලංකාවෙ උන්ගෙ ඇටිටියූඩ් නම් ඉතින් හදන්න බෑනේ, හෙන්රි. හරියට ලිං ගෙම්බො වගෙ ඔහේ ඉන්නවානෙ!


හ්ම්ම්… ඒ කතාවෙ නම් ඇත්තක් තියෙනවා තමයි.


ඔව් අනේ. මේ කපල්ස් පාරෙ යන ගමන්, නැවතිලා කිස් කලාට, කවුරුවත් බලන්නෙවත් නෑ, කැත විදියට. දැක්කෙ නෑ වගෙ යනවා. කොහොමද ලංකාවෙ හෙම එහෙම කලොත්? ඕකනෙ කොල්ලො, කෙල්ලො චාන්ස් එකක් ලැබිච්ච ගමන්, ගෙස්ට් හවුස් වලට රිංගන්නෙ. ඕකනෙ ධර්මද්වීපයෙත් කාම අපරාධ වැඩි.


ඕවා කතාකරල වැඩක් නෑ, අමාලි. ඉතින් ඔයාට බබාල හෙම ඉන්නවද?


හි… හි… හි…!


ඇයි හිනා වෙන්නෙ?  මම හිනා යන දෙයක් කිව්වද?


දෙන්නෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලයි. උන් දැන් බබාලා නෙවෙයි, අනේ . මහ උන්. ඇයි අනේ, ඒ දෙන්න මගෙ කලින් මැරේජ් එකේනෙ. ඔයා  අර ඉස්කෝලෙ ඉන්නකොට, ස්ටාෆ් එකත් එක්ක, බර්ත්ඩේ වලටත් ඇවිල්ල තියෙන්නෙ!


හුටා, හුටා, ඇත්ත නේන්නම්. එතකොටත් එයාලා සෑහෙන ලොකුයිනේ?


ඒකනෙ. දෙන්නම බැඳලා දැන්.


හප්පට සිරි! අපි දන්නෙම නැතුව වයසට ගිහින් නේ? එයාලත් ඔහෙන්ද බැන්දෙ, නැතිනම් ලංකාවෙ අයද?


මෙහෙන් මෙහෙන්. දෙන්නම බැන්දෙ කැනේඩියන්ස්ලා.


ආහා!


දූට නම්, අපරාදෙ කියන්න බෑ, හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් හම්බවුනා හෙන්රි. ඔයාට කියන්න, උදේට ඉස්සෙල්ලම ඇහැරෙන්නෙ, ඒ කොල්ලා, බ්‍රයන් තමයි. ඊට පස්සෙ කිචන් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට්, කොෆී හෙම හදාගෙන, ට්‍රේ එකේ තියාගෙන ඇඳට ගෙනල්ලාලුනේ කෙල්ලව ඇහැරවන්නෙ.


ෂෙහ්.. මොන සැපද, ආ?


ඔව් අනේ, බ්‍රයන් ගෙදර ලොන්ඩ්‍රි ඔක්කොම  කරන්නෙ හරිම සතුටින්ලු. මගෙ කෙල්ලට ඇඟිල්ලක් උස්සලා කරන්න වැඩක් නෑලු. අන්න ඒකයි මේ රටවල තියෙන ලිබරල් ඇටිටියූඩ්  එකේ වෙනස. ගෑණු පිරිමි වෙනසක් නෑ. සමාන අයිතිවාසිකම්. කෙල්ල ඉතින් ලන්ච් එක හදලා, ගේ පොඩ්ඩක් අස් පස් කරලා ඉන්නවලු.  අනේ බ්‍රයන් හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත්, ඩිනර් එකත් ප්‍රිපෙයා කරනවලු. ඊට පස්සෙ කැන්ඩල් ලයිට් ඩිනර් එකක් සෙට් කරනවලු, අනේ.  බලන්න හෙන්රි, කොච්චර රොමෑන්ටික්ද කියලා.


මට මොකුත් කියන්න වචන මතක් වෙන්නෙ නෑ අමාලි.


ඔයාට කියන්න, ඩිනර් එකට පස්සෙ, මේසෙ ක්ලියර් කරලා, ඩිෂස් සෝදලා තියන්නෙත් බ්‍රයන්ලු. මගෙ කෙල්ල නම් හරිම ලකී. දාහකින්  හොයාගන්න බැරි කොල්ලා අනේ, සුද්දෙක් වුනාට.


එතකොට පුතා?


පුතා ගැන නම්, මම කතා කරන්නවත් කැමති නෑ, හෙන්රි.


ඇයි අමාලි, මොකද අප්සෙට් එක?


ඉහි… ඉහි…! අනේ මගෙ කොල්ලා ගැන තමයි මට දුක. ඌ අමාරුවෙ වැ‍ටුනා මේ කොහේවත් යන කැනේඩියන් මළ හෝන්තුවක් කරේ එල්ලාගෙන.


ඇයි ඉතින් එහෙම කියන්නෙ?


අනේ හෙන්රි ඔයාට කිව්වාම මොකෝ, අර මල හෝන්තුව, මූසල කමට පස්ස පැත්තට අව්ව වැටෙන කල් දපනවා, මළකඳ වගෙ. අපේ එකාට තමයි, වහලා වගෙ, උදේම නැගිටලා ගිහින්, බ්‍රෙක්ෆස්ට් එකයි, කොෆී එකයි හදලා, අරකිට ඇඳට ගිහින් දෙන්න වෙලා තියෙන්නෙ. මල විකාර! ඉතින් ගේකට ශ්‍රියා කාන්තාව වඩීද?  ඌ තමයි ගෙදර රෙදි ඔක්කොම හෝදන්නෙ, මදින්නෙ ඔක්කොම, ඩෝබි වගෙ. අරකිගෙ අතපය වලට හෙන ගහලද මං අහන්නෙ!


ඒ ඔක්කොමත් හරි. අපේ ගොනා, ඔෆීස් එකේ අච්චර මැරිලා, මැරිලා, ගෙදර ආවම අර නෝනා මහත්තයට කෑම ටිකත් හදලා දෙන්න ඕනෙලුනෙ. ඒ ඔක්කොමත් හරි ඉටිපන්දං එලියෙන් කෑවෙ නැත්නම්, අරකිට ගිලෙන්නෙත් නෑලුනෙ. අනේ මගෙ කට! අපි නොදන්න රොමෑන්ටික් ඩිනර්!  මට නම් හොඳ කුණුහබ්බ කටට එනවා ඕවා ඇහෙනකොටත්, හෙන්රි!  අනේ ඒ කරලත්, අපේ හරකා තමයි වලං ටික හෝදන්නත් ඕනෙ.


අනේ මගෙ අහිංසක කොලුවා අහුවුනා පරට්ටියෙකුට! ඉහි ඉහි …හලෝ හලෝ හෙන්රි, හෙන්රි!  ඔයාගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝද මන්දා ඔයාගෙ පික්චර් එක ‍ෆ්‍රීස් වෙලා…හි… හි… ඔයාගෙ කටත් ඇරිලා…! හි… හි…හරි කැතයි හෙන්රි ඔයාගෙ කට ඇරිලා තියෙන විදිය නම්! හි… හි…!


මෙය මා අසා ඇති විකට කතාවක් මත පදනම් වූ  නිර්මාණයක් පමණි.

 

ටැග: , , ,

85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්.

මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො.

ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ?

මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්!

නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, මම බලාපොරොත්තු වුන හඬට වඩා වෙනස්. ටිකක් ගැඹුරු , උගුරෙන් එන හඬක්!
තාත්තගෙ කාරෙකේ හඬ නෙවෙයි!

බයිකර් මෑන්!!!

මම උඩ පැන, පැන අත වනනවා.
බුවාත් මාව දැක්ක ගමන්, මට අත වනාගෙන ඇවිත්, මා ගාවා නවත්තනවා.
ලඟට, මේ  බුවාගෙ තියෙන්නෙ, අර ඈතින් දැක්කටත් වඩා පිස්සු, විකාර පෙනුමක්.
අර රතු ‍රැවුලෙ ඇලිලා,  පැටලිලා, පිරිලා ඉන්නවා කෘමීන් රංචුවක්!
සමහරුන්ට තවම පණ තියෙනවා!

“ඉතිං?,” බුවා කියනවා. “මේ මගෙ පුංචි යාලුවනෙ! මොකෝ කරන්නෙ තනියෙම මෙතන?”

“අම්මයි, තාත්තයි දැම්මනෙ මාව කාරෙකෙන් එලියට, පයින් එන්න කියලා.”

“හ්ම්හ්… ඒකත් එහෙමද? ඔයා බයික්ස් වලට ආසද?”

“මොනවද මේ කතා!”

“නගින්ඩ.” බුවා කියනවා. “මොකක්ද ඔයාගෙ නම?”

“ඇන්ඩි. ඔයාගෙ නම මොකක්ද?”

“මැක්ස්. සන්තෝසයි අඳුනාගන්න ලැබුනට!”

බුවා මටත් දෙනවා හෙල්මට් එකක්.

“ආ, මේක දා ගන්ඩ.”

ඒකත්, එයා දාං ඉන්න එක වගේමයි.

“එහෙනං අල්ලගන්ඩ,” මැක්ස් කියනවා.

“මොකක්ද අල්ල ගන්නෙ?” මම බෙරිහන් දෙනවා, නමුත් හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් එන්ජිමේ ගෝරනාඩුව නිසා බුවාට ඒක ඇහෙන්නෙ නෑ.

මැක්ස් කරකවනවා ඇක්සලරේටරේ.
මගෙ ආමාශය බිමට පාත් වෙනවා වගෙ දැනෙනවා, බයික් එක අදින ඇදිල්ලට.
මම, මැක්ස්ගෙ ඉන වටේ අත දාලා,  පුලුවන් හයියෙන් අල්ලා ගන්නවා.
හුලඟ හෝ ගානවා. මගෙ මුලු ඇඟම ‘ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්’ ගාලා දෙදරනවා. මම සීතලෙන් ගැහෙන්න ගන්නවා. ෂික්, ජර්කින් එකක් වත් තිබ්බ නම්!

මට ඈත පේනවා අපේ කාරෙක.

“අන්න එයාලා!” මම මැක්ස්ගෙ කණට කෑ ගහනවා.

මැක්ස් ආයෙම කරකවනවා ඇක්සලරේටරේ, කෙලවරටම.  අර මම නූඩ්ල්ස් ‍රැලක් කටින් උරලා ගන්නවා වගේමයි,  යෝද  හාලි ඩේවිඩ්සන් බයික් එක තාර පාර  ගිලගන්නෙ!

අපි කාරෙකට ලංවෙනකොට, මම මැක්ස්ට කියනවා හෝන් එක ගහන්න කියලා. මැක්ස් හෝන් එක දිගටම ගහනවා. මම අත වනනවා. නමුත් කාරෙක නැවතීම කෙසේ වෙතත්, වේගය වැඩි කරනවා. සමහරවිට තාත්තා හිතනවා ඇති. මැක්ස් මොකක් හරි කොක්කක් ඇද ගන්න එනවා කියලා. සමහරවිට හෙල්මට් එක නිසා, මාවත් අඳුනාගත්තෙ නැතුව ඇති.

“මෑක්ස්!” මම කෑ ගහනවා. “අපි යං ලඟට. මං හිතන්නෙ එයාලා මාව ඇඳින්නෙ නෑ.”

මැක්ස් බයික් එක කාරෙකත් එක්ක කරට කර පදිනවා.
මම අත වනනවා.
තාත්තා නහයට කෙලින් ඉස්සරහා බලාගෙන යනවා.

“තාත්තේ,!” මම යටි ගිරියෙන් කෑ ගහනවා. “නවත්තන්ඩෝ!”

ම්හ්ම්, වැඩක් නෑ.
මම අත් දෙකම වනනවා. තාත්තා, ඇස් කොනින් එක පාරක් අපි දිහා බැලුවත්, අඳුනාගත්ත බවක් පේන්න නෑ. එයා කොන්ද කුදු කරගෙන, පාගනවා ලෑල්ලටම.

“පට්ට පට පට! යකෝ මම දන්නෙ නෑනේ අපේ වන්ඩියෙත් මෙහෙම ඇරලා යන්න පුලුවන් කියලා. අඩේ, තාත්තා මෙහෙම එලවනවා නම් හැමදාම, මට අරවගෙ පට්ට කම්මැලි හිතෙන එකකුත් නෑ! හික් හික්!”

මැක්ස් නෙවෙයි සැලෙන්නෙ. මැක්ස් හදනවා කාරෙකට ඉස්සර කරන්න. මෙන්න අපේ තාත්තා – ඔව් ඔව්,  මේ අපේ තාත්තා – අර ඇක්ෂන් මූවීස් වල වගෙ, කාරෙක ඇඟට කපලා, මැක්ස්ව බ්ලොක් කරනවා! කූ………………..ල් නේ!!!! මට මාර ආතල්!

මැක්සුත් වැඩ දන්න නිසා බේරෙනවා. මැක්ස් පොඩ්ඩක් පහු බැහැලා, බයික් එක, කනට වැලි යන්න නවලා, ගන්නවා කාරෙකේ අනිත් පැත්තෙන්, තාත්තා  කලින් හිටපු ලේන් එකට .
දැන් ඔන්න අපි ආයෙ කරට කර, හැබැයි දැන් අපි වැරදි ලේන් එකේ.
මැක්ස් ඔලුව පොඩ්ඩක් හරවලා කෑගහනවා, එන්ජින් සද්දෙට උඩින්.

“එයාලා නවත්තන්නෙ නෑ. ඔයාට පනින්ඩ වෙනවා කාරෙකට.”

මැක්ස් විහිලු කරනවද?

එක්කො එහෙමයි, නැත්නම් බුවාගෙ පිස්සු මීටරේ රතු කට්ට පැනලාද?

“මට බෑ!” මම කෑ ගහනවා.”මම ඔයත් එක්ක ඉන්නවා.”

“හිට ගන්ඩ.” මැක්ස් කියනවා. “මම බයික් එක පුලූවන් තරම් කාරෙකට කිට්‍ටු කරන්නම්”

මම මැක්ස්ගෙ උරහිසේ එල්ලිලා, සීට් එක උඩට කකුල් අරන්, දණ ගහගන්නවා. මගෙ කකුල් දෙක දැනටමත් වෙව්ලන්න අරගෙන!

තවම වාහන දෙක අතරෙ ලොකු පරතරයක් තියෙනවා.

“දුර වැඩි……යි!” මම කෑ ගහනවා.

මැක්ස්, බයික් එක පුලුවන් තරම් කාරෙකට ලං කරනවා.
කාරෙකේ වහලෙට අඩි කීපයයි දැන් දුර තියෙන්නෙ.
මගෙ බඩ ඇතුලෙ, දිය සුළියක්  කැකෑරෙනවා වගෙ තේරෙනවා. මට නිකං ඔක්කාරෙට වගෙ එනවා.

අනේ මේක කරන්න බෑ අප්පා!

මට තාම මැරෙන්න තරම්  වයසකුත් නෑ!!

මං තාම පොඩි එකා!!!

මම, මැක්ස්ගෙ කණට ලංවෙනවා.

“මට බෑ මැක්ස් මේක කරන්න.”

“බෑ කියලා බෑ,” මැක්ස් මට ගොරවනවා.

“ඇයි මට ඔයත් එක්ක ඉන්න බැරි?” මම අහනවා.”මම ඔයාගෙ ගෝලයා වෙන්නං.”

මැක්ස්ට හිනා. හැක් හැක් හැක්!!!

“මහ පාරෙ ජීවිතේ ඔයා වගෙ එල කොල්ලෙකුට හරියන එකක් නෙවෙයි. ඔයා ආපහු යන්ඩ. ඉස්කෝලෙ හිහින් එග්සෑම් ගොඩ දාගන්ඩ.”

“මම එල කොල්ලෙක් නෙවෙයි,” මම කියනවා. “මම හෙනම ඇණයක්.”

ඒකට මැක්ස්ට හොඳටම හිනා. ඒ හිනාවට, මට බයත් හිතෙනවා. අර හයිනාවෙක් වගෙ, හූ කියලා මැක්ස් හිනාවෙන්නෙ.

“හ්ම්… පනින්ඩ,” මැක්ස් කියනවා.

මැක්ස්ගෙ ඇස් වලට පිස්සු පෙනුමක් ඇවිත් ඒ ගමන. මේ යකා එක්ක ඉන්න එකත් එච්චර හොඳ අදහසක් නෙවෙයි වගෙ.
මම හිටගන්නවා සීට් එක උඩ. මේක නම් මහ මොලේ කොලොප්පං වෙන වැඩක්!

මම ගැඹුරු හුස්මක් ගන්නවා. ඇස් වහගන්නවා. අත් මිට මොලවා ගන්නවා.
මේ වගෙ වෙලාවක අත් මිට මොලවා ගන්න එකේ ඇති වැඩේ මට හිතාගන්න බැරිවුනත්, මට හිතෙනවා  එහෙම කරන එක හොඳයි කියලා.

ඉතින්, ආයුබෝවන් කුරිරු, දුෂ්ට ලෝකය.

මම ගුවන් ගත වෙලා ඇදිලා යනවා පැත්තකට හුලං කපාගෙන.

දඩාං!

මම කාරෙකේ වහලෙ උඩ! මම වැඩේ කලා, කොහොම හරි!

තාත්තා වෙට්‍ටු දාන්න ගන්නවා, වමට, දකුණට, පාර පුරාම! එයා හදන්නෙ මාව වහලෙන් බිමට දාන්න.
තාත්තට  මොන විදියෙන් හරි පෙන්නල දෙන්න වෙනවා, මේ මමයි වහලෙට පැන්නෙ කියලා.

මම  අත මිට මොලවලා, වහලෙට තඩි බානවා. තාත්තගෙ වෙට්‍ටු දැමිල්ල දරුණු වෙනවා.

මට අදහසක් පහල වෙනවා.

මම පුලුවන් තරම් ඉස්සරහට බඩ ගානවා ඇඟිලි  පුලුවන් තරම් විහිදලා කාරෙකේ වහලෙ බදාගෙන.
පොඩ්ඩ වැරදුනොත් සොරිම තමයි.
අනේ තාත්තට දකින්න සැලැස්සුවොත් මේ මම කියලා, එයා නවත්තයි කාරෙක.
මම වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ ඔලුව පහලට රූට්ටනවා.
මට පේනව අම්මයි තාත්තයි බය වෙනවා මාව දැකලා.
ඒ දෙන්නගෙ ඇස්  රවුම් වෙනවා.
කටවල් ඇරෙනවා.

එක පාරටම මම ඉගිල්ලිලා යනවා ඉස්සරහට.

තාත්තා එක පාරට බ්‍රේක් ගහලා,

මාව කැරකිලා, උඩුබැලි අතට හැරිලා, කාරෙකේ බොනට් එක උඩ. මම රේඩියෝ ඇන්ටෙනාවෙ එල්ලිලා නිසා, යන්තම් තාර පාරට නොවැටි බේරෙනවා.

කාරෙක නවතිනවා.
මම බොනට් එක උඩ වැතිරිලා,  නිල්වන් අහස දිහා බලං ඉන්නවා, හති දමමින්.

ඇති යාන්තම් අතක් පයක් නොකැඩි බේරුනා!

තාත්තයි අම්මයි එලියට පනිනවා.
මම හෙල්මට් එක ගලවනවා.

“මේකාට මොනව කරොත් හිත් වදීද!” තාත්තා කෑ ගහනවා. “මොනවද මිනිහෝ කරන්න හදන්නෙ? මැරෙන්ඩද ඕනෙ?”

ඕං තවත් මෝඩ ප්‍රශ්න.

“නෑ,” මම කියනවා. “මම ආපහු කාරෙකට නගින්නයි හැදුවෙ. ඔයාලා මාව කාරෙකෙන් එලියට දැම්මනෙ. ඇයි මතක නෑ?”

“ඔව්,” තාත්තා කියනවා. “තමුසෙට පාඩමක් උගන්නන්න.”

“මොන ජාතියෙ පාඩමක්ද ඒ?”මම අහනවා. “මාව අර කාන්තාරෙ මැද්දෙ දාලා ඇවිල්ල, වතුරත් නැතුව, සිතියමක්වත් නැතුව, සන්ස්ක්‍රීනුත් නැතුව?”

“අපි  ආපහු එන්න තමයි හැදුවෙ,” තාත්තා කියනවා අම්මගෙ මූණ  දිහාත් හොරෙන් බලන ගමන්. අම්මගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතු වෙනවා.

“කවද්ද?” මම අහනවා. “ආපහු ගෙදර යන ගමන්?”

තාත්තට අර ගලේ කක්කා දාපු ඤාව්වාට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නෙ.

අපි ආපහු  හරෝගෙන එන්න හදනකොටම තමයි, අර බයිකර් අපි පස්සෙ පන්නන්න ගත්තෙ. මම හැදුවෙ,  ඒ යකාව පුලූවන් තරම්, ඔයාගෙන් ඈතට යවා ගන්න. ඔය සමහර බයිකර්ස්ල කිසිම අණක් ගුණක් නැති තිරිසන්නු!

මම නගිනවා කාරෙකට.

“තාත්තෙ බයිලා කිව්ව ඇති,” මම කියනව. “ඔයා මගෙ කරදරෙන් බේරෙන්න, මාව අතරමං කලා. වැඩේ ගැස්සුනා. දැන්වත් ඉතිං, යං.”

“පුතේ, අපි ආපහු එන්නයි හැදුවෙ,” තාත්තා කියනවා. “දෙයියම්පල්ලා, මාව විස්වාස කරන්න.”

තාත්තා එන්ජිම ස්ටාට් කරනවා. එයාගෙ මූණ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ. හොඳ වැඩේ, මම නං කියන්නෙ!

තාත්තා කාරෙක ආපහු පාරට දානවා.

එලියෙන් ඇහුන එංජිමක ගෙරවුම හඬක් නිසා මම වීදුරුවෙන්  පිටත බලනවා.  මැක්ස්! ඔන්න අපිත් එක්කම පෙලට යනවා. මම වීදුරුව පාත් කරලා, හෙල්මට් එක විසිකරනවා මැක්ස්ට.  මැක්ස් තනි අතින් හෙල්මට් එක ‍රැකගන්නවා. ඊට පස්සෙ මට ලොකු හිනාවක් දාන මැක්ස්, රොකට් එකක් වගෙ ඉගිලිලා යනවා ඈතට.

මම ආපහු සීට් එකට පිට දීලා, සුසුමක් හෙලනවා.

පිස්සු උනත්, මැක්ස් නම් මැක්සාම බුවෙක් තමයි. කූල් ඩූඩ්!

ආපහු වීදුරුව උස්සනකොටයි, මම මැස්සව දකින්නෙ!

ඌ මේ පාර වහල ඉන්නෙ තාත්තගෙ ඔලුවෙ.
“මේ ඔක්කොම වුනේ උඹ නිසා,” මම මැස්සට කියන්නෙ පහත් හඬින්. “මාව අතරමං වුනා. තව පොඩ්ඩෙන් මගෙ නිවාඩු කාලෙත්  ඉවරයි. තව පොඩ්ඩෙං මං මැරෙනවා, ස්ටන්ට් කරන්න ගිහින්. මේ ඔක්කොම උඹ නිසා. දැන් ලෑස්ති වෙයං වන්දි ගෙවන්න.”

මම සීට් එකේ  ඉස්සරහට වෙන්න ඉඳගෙන, තාත්තට ලංවෙනවා. අත්දෙක තාත්තගෙ ඔලුවට උඩින් විහිදුවලා අල්ලාගෙන, මැස්සට ගහන්න ලෑස්ති වෙනවා.

අන්තිම මොහොතෙ, මැස්සා පනිනවා .

මගෙ අවධානය මොහොතකට බිඳිල, එල්ලය වරදිනවා. මගෙ අත්දෙකම චටාස් ගාලා, තාත්තගෙ කන් දෙක මත පතිත වෙනවා, කන් දෙකෙන් දුම් දාන්න.

හපෝයි.

තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුපාට වෙනවා පේනවා.

“අනේ තාත්තෙ. සොරි තාත්තෙ  –  ඒක නම් වැරදීමක් වුනේ. ඇත්තමයි තාත්තෙ, මම ඇත්තටම හැදුවෙ…”

තාත්තා මාව නවත්තනවා.
“කමක් නෑ ඇන්ඩි,  ඔයා නිදහසට කරුණු කියන්න ඕනෙ නෑ පුතා.”

“හෑ?”

“අපි හැමෝම අතින් වැරදි වෙනවා.”

ආහ් හා. දැන්නෙ තේරුනේ. ඒ කියන්නෙ මම මොනවා කලත්, අම්මයි තාත්තයි ආයෙම මාව කාරෙකෙන් එලියට දාන්නෙ නෑ කියන එකයි. එයාලා එයාලගෙ තියෙන ලොකුම තුරුම්පුව ගහලා තියෙන්නෙ, නමුත්, වෙලාවට, ඒක පත්තු  වුනේ නෑ. ඒකෙන් වුනේ, දෙන්නටම ඇඩ්‍රස් නැතුව යන එකයි. ආහ් හා. ට්‍රල ලල ලා..

මම  බොහොම සැහැල්ලුවට සීට් එකේ වැටිලා ඉඳගෙන ඇස් පියා ගන්නවා.
මට දැන් ඕනෙ දෙයක් කලෑකි. මට ඕනෙම දෙයක්. නරකම නෑ නේද වැඩේ.

නමුත් මට එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

“තාත්තේ?”

“හ්ම්ම්ම්?”

“දැන් ලඟයිද?”

_________________________________________________________________________________________

නිමි.

Andy Griffiths – Just Annoying – ARE WE THERE YET?

 

ටැග: ,

84. “දැන් ලඟද තාත්තෙ ?”

84. “දැන් ලඟද තාත්තෙ ?”

“තාත්තෙ”

“ම්ම්ම්?”

“දැන් ලඟද?

“තව නෑ.”

“දැන්?”

“තව නෑ.”

“දැන්?

“දෙයියංගෙ නාමෙට!!!”, තාත්තා ගොරවනවා. “කට පියං ඉන්නවද?”

“හරි හරි තාත්තෙ,” මම කියනවා. “ඔච්චර මල පනින්න දෙයක් නෑ!”

අපි මේ වෙනකොට මේ කාර් එක ඇතුලෙ දවස් දෙකක් ගමන් කරලා තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම පුපුරා හැලෙන්න ඕන්න මෙන්න.  මම මේ හිතලා මතලා ඒ දෙන්නව කේන්ති ගස්සනවා කියලා වරදවලා හිතන්නෙපා. ඒක වෙන්නෙ ඉබේටම.

අපි කැමති වුනත් නැතිවුනත් කාර් එකක දිග ගමනක් යක්නකොට අතරමග නවත්තන්න වෙනවනෙ, මගින් මගට.

මේ දෙන්න ඒකට කැමති නෑ!

ඉතින් මොනවද තියෙන විකල්ප?

බඩ ගින්නෙම මාව මැරෙන්න අරින එක?
මට කලිසමේ චූ යන කල් ඉන්න එක?
නැතිනම් පස්ස සීට් එක පුරාම මම වමනෙ දානකල් ඔහෙ යන එක?

ඔය මග වතාවක් දෙකක් නතර කරලා යන එක ඔච්චරම අප්සෙට්ද? ඊට වැඩිය අප්සෙට් නැත්ද මට ඔය දේවල් සිද්ද වුනොත්?

මම ඇත්තටම උදව්වක් කරන්නෙ, පොඩ්ඩක් නවතිමුකො කියලා.

ඇත්තටම අම්මටයි තාත්තටයි ඔරොප්පු වෙන්නෙ, ඔරොප්පු වෙන්න ඕනෙ දේවල් වලට නෙවෙයි!

දැන් මේ පැය බාගයක් විතර තිස්සෙ කාර් එක ඇතුලට කො‍ටුවෙලා ඉන්න මැස්සා ගම්මු. මම මේ අපි ඔක්කෝගෙම යහපතට උගෙ කරදරෙන් මිදෙන්න හදන්නෙ.

මම වීදුරුව පාත් කරනවා.
ඕං මැස්ස පැන්නා!
ඌ හැංගිලා ඉන්නෙ, මම ආපහු වීදුරුව උස්සනකල්.
මූව එලියට ගන්න ඕනෙ කොහොම හරි.
ඔන්න මම මැස්සට කතා කරනවා, මම දන්න හොඳම මැසි භාෂාවෙන්.

“බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්….. බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්…… බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්…..!”

ම්හුම්. තව සද්ද මදි.

“බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……. බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්….. බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!”

“ඇන්ඩී…..!!!” තාත්තා බෙරිහන් දෙනවා. “ඔය සද්දෙ කරනකොට මට මේ වාහනේ එලවන්න බෑ. මගෙ අවධානෙ කැඩෙනව. වාහනේ හප්පන්නද ඕනෙ අපි ඔක්කොම මැරිලා යන්න?”

තාත්තා ඔයවගෙ මෝඩ ප්‍රශ්න අහන එක මට පේන්න බෑ. දැන් තාත්තා බලාපොරොත්තු වෙන්නෙ මොනවගෙ උත්තරයක්ද ඔය ප්‍රශ්නෙට?

“ඔව් තාත්තෙ, මට ඕනෙ වාහනේ හප්පන්න තමයි, අපි ඔක්කොම මැරිලා යන්න,” කියලා කිව්වා නම් හරිද?

නමුත් මම එහෙම කියන්නෙ නෑ. මොකද මම එහෙම කිව්වොත් තාත්තා කාර් එක කොහෙ හරි හප්පා ගෙන, අපි ඔක්කොම මැරෙන්න ඉඩ තියෙන නිසා.

“හරි හරි තාත්තෙ,” මම කියනවා. “ඔච්චර මල පනින්න දෙයක් නෑ!”

“මේ, මට ඔය මල පනින කතාව කියන්නෙපා. මට යකා නගිනව ඔය කතාවට.” තාත්තා බෙරිහන් දෙනවා.

“හරි හරි තාත්තෙ,” මම කියනවා. “තාත්තටත් පනින්නෙ මලෙත් හොඳ එකනෙ!”

තාත්තා කොන්ද කුදු කරගෙන, ස්ටියරිං වීල් එක අල්ලාගන්නවා කිටිකිටියේ, ඇඟිලි පුරුක් සුදුමැලි වෙන්න. තාත්තගෙ බෙල්ල පිටිපස්සෙන් මතුවෙන දාඩිය බිබිලි දිලිසෙන්න ගන්නවා.

තාත්තා පරාජය භාර ගන්නවා. ඇත්තට මම වගෙ ස්මාට් පුතෙක් එක්ක ජීවත් වෙන එක තාත්තට ලේසි නැතිව ඇති. කට ගහලා තමන්ට දිනන්න බැරි බව දැනගත්තම කොච්චර අප්සෙට් ඇත්ද?

මැස්සා මගෙ ඇස් ඉස්සරහින් පියාඹනවා. මූ ඉල්ලන්නෙම ගේම. හරි පුතා. උඹ හරි පොර ලඟට ඇවිත් තියෙන්නෙ.

මට මතක් වෙනවා මම බලපු චිත්‍රපටියක ජම්බෝ ජෙට් එකක දොර අහසෙදි ඇරිලා, ඇතුලෙ හිටිය උන් ඔක්කොම ඇදිලා යනවා එලියට, ඒකෙන් ඇතිවෙන වැක්යූම් එකෙන්. මට එච්චර බලගතු වැක්යූම් එකක් නම් ඕනෙ නෑනෙ. මම කාර් එකේ දොර ඇරල වැහුවොත් ඇතිවෙන වැක්යූම් එකේ මැස්සව එලියට ඇදිලා යයි.

මම හැකි තරම් හෙමීහිට, දොරේ අගුල පරීස්සමෙන් අරිනවා, නොකර සද්ද!

ඊට පස්සෙ දොර අරිනවා, වහනවා!

අරිනවා, වහනවා!

අරිනවා, වහනවා!

“මොකක්ද මනුස්සයො ඔය කරන්නෙ?” තාත්තා ගුගුරනවා.

“මම මේ වැක්යූම් එකක් හදනවා,” මම කියනවා.

“මොකක්?”

“වැක්යූම් එකක්! මම මේ මැස්සව කාරෙකෙන් එලියට දාන්න හදන්නෙ.”

“වහනවා ඔය දොර මගෙ යකා අවුස්සන්නෙ නැතුව!  අල්ලන්නෙ නෑ දොර!” තාත්තා කෑ ගහනවා. “මම ආයෙ කියන්නෙ නෑ. ඊලඟ පාර කාරෙක නවත්තලා ඇදලා දානවා එලියට, පයින් එන්න. තේරුනාද?”

“තාත්තෙ, ඒ වුනාට…”මම කියනවා.

“අරින්නෙපා කට. තේරුනාද?”

“හා තාත්තෙ.”

තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුම සුදුයි ඒ ගමන. තාත්තා ස්ටියරිං වීල් එකකොච්චර තදින් මිරිකාගෙනද කිව්වොත්, ඇඟිලි වල ඇට, හම ඉරාගෙන මතුවෙයිද කියලා බයත් හිතෙනවා.

ඔන්න ආයෙම අර මැස්සාගෙ සද්දෙ. ඒ පාර මගෙ පිටිපස්සෙන් ඇහෙන්නෙ.
වැක්යූම් කරන වැඩෙත් හරි ගියේ නෑනෙ. මම හැරෙනවා පිටිපස්සට. මැස්සා පේන්න නෑනෙ. පොඩ්ඩක් ඉන්න – මේ සද්දෙ එන්නෙ එලියෙන්නෙ!

මම සීට් බෙල්ට් එක ගලවලා, ආපහු හැරිලා, දණ ගහ ගන්නවා සීට් එක උඩ .

මෙන්න එනවා, විකාර පෙනුමක් තියෙන බුවෙක්. කලු පාට හාලි ඩේවිඩ්සන් ලඩියක් පැදගෙන. රතු දිග ‍රැවුලයි, ඔලුවෙ නවපු අත හෝදන කෝප්පයක් වගෙ හෙල්මට් එකයි, පරණ තාලෙ ප්ලාස්ටික් මෝටසයිකල් ගොගල්ස් ජෝඩුවයි දැක්කම මැස්සෙක්ම තමයි මතක් වෙන්නෙ. මෝටර් බයික් එකේ හඬත් මැස්සෙක්ගෙ හඬක් වගෙ තමයි, වෙනස මැස්සට වඩා සද්දයි.

ඔන්න එතකොටම මැස්ස පියාඹනවා කාරෙකේ පස්ස වීදුරුව දිගේ.

දෙන්නං උඹට!

මම හදන්නෙ මූව වමත ගො‍ටු කරල අල්ලගෙන, ජනේලෙන් එලියට විසි කරන්න.

ඇත්තෙන්ම ඒක තමයි කරන්න හැදුවෙ.නමුත් මැස්සගෙ තියෙන්නෙ වෙනත් අදහසක් වගෙ. මේකා වීදුරුව දිගේ ඒ පැත්තටත් මේ පැත්තටත් රූට්ටන්න ගන්නවා. මමත් අත ගො‍ටු කරගෙන මැස්සව අල්ලන්න උත්සහ කරනවා. එතකොටම මට පේනවා අර බයිකර් මට අත වනනවා.

බුවා හිතන්නෙ මම බුවාට අත වැනුවා කියලා.!

මමත් අත වනනවා.

බුවා ආපහු අත වනනවා.

මම ආයෙ අත වනනවා,

බුවාත් ආයෙම අත වනනවා

ඔන්න අපි දෙන්නම හෙන ‍ෆිට් දැන්.

“නවත්තනවා අතපය වැනිල්ල,” තාත්තා කියනවා. “වාඩි වෙලා දාගන්නවා සීට් බෙල්ට් එක ආපහු.”

“ඒ වුනාට එයා තමයි ඉස්සෙල්ලා අත වැනුවේ,” මම කියනවා.

“මේ අහනවා, ඔය බයිකර්ස්ලව අවුස්සාගන්න එපා,” තාත්තා කියනවා. “මට මේ තියෙන කරදර ඇති.”

“මම මිනිහව අවුස්සා ගන්නවා නෙවෙයි – යාලු ‍ෆිට් එකට අත වැනුවා විතරයි.”

“ඉඳ ගන්න නේද මං කිව්වෙ!”

“හරි හරී, ඔච්චර මල පනින්න දෙයක් නෑ!”

මම අවසන් වතාවට බයිකර්ට අත වනනවා. නමුත් මේ පාර බුවා මාව දකින්නෙ නෑ බයික් එක පිරවුම් හලකට හරවන නිසා.

හොඳම යාලුවෙක් අහිමි වුනා වගෙ පාලු හැඟීමක් මගෙ හිතට එනවා.

එතකොටම ඇහේ කොනට මම යමක් දකිනවා.

මම උඩ බලනවා. මැස්සා වහලෙ! මූට ඕනෙ මාව ඔරොප්පු කරන්න. ඔන්න පටං ගන්නවා අර කුනුකුනුව.

“ඇන්ඩි,” තාත්තා කියනවා, “දැන් නම් සීමාව පැනගෙන එන්නෙ!”

“ඔය මම නෙවෙයි,” මම කියනවා. “ඒ මැස්සා!”

මේ මැස්සව ඉවරයක් කරලා දාන්න වෙනවා වහාම, මූ මාව ඉවරයක් කරන්න කලින්!

මම අත අල්ල ගොටු කරගෙන ඉස්සරහට බර වෙනවා.

මැස්සා පනිනවා වමට.

මම ආයෙම උත්සාහ කරනවා.

මැස්සා පනිනවා දකුණට, එතනින් ඉස්සරහා වීදුරුවට, “හූ හූ අල්ලයි මගෙ…” කියාගෙන.

මම ගලවනවා සීට් බෙල්ට් බකල් එක, පනිනවා ඉස්සරහ සීට් එකට. මැස්සා කො‍ටුවෙනවා මගෙ අතට, ගුවනෙදි.

“HOWZAT?” මම ප්‍රීති ඝෝෂා කරනවා.

මගෙ ඔලුව අම්මගෙ උකුලෙ, මගෙ කකුල් කාරෙකේ ස්ටියරිං වීල් එක අස්සෙ පැටලිලා.

තාත්තා හිටගන්නවා බ්‍රේක් පෙඩලය උඩ. කාර් එක ගැස්සිලා නවතිනවා.

‘බහිනවා එලියට!” තාත්තා කියනවා.

“තාත්තෙ, ඒ වුනාට මගෙ නෙවෙයි වැ‍රැද්ද,” මම කියනවා. “මැස්සගෙ.”

“කාගෙ වැ‍රැද්ද වුනත් කමක් නෑ.” තාත්තා කියනවා. “හ්ම්හ්, එලියට!”

“ඔන්න බලන්න තාත්තෙ!”

මම මෙපමණ වෙලා මැස්සව ගුලි කරගෙන හිටපු අත දිගහරිනවා තාත්තට මැස්සා පෙන්නන්න. වැරදි කාරයා කවුද කියලා ඔප්පු කරන්න. නමුත් මගෙ අත හිස්. ඔහෙ ඇති මැස්සෙක් නෑ. මූ අන්තිම මොහොතෙ, වෙට්‍ටුවක් දාලා මාරුවෙලා. ෂික්! මැස්සෙකුට පැරදීම ගැන මට ඇති වෙන්නෙ තරහක්.

“එලියට,” තාත්තා කියනවා.

තාත්තා සිරාවටමද මේ කියන්නෙ? බොරු වෙන්නැති.

“අනේ සොරි, තාත්තෙ… මම හැදුවෙ මැස්සව කාරෙකෙන් එලියට දාන්න… මොකද ඌ හිටියා නම් ඇක්සිඩන්ට් එකක් වුනත් වෙන්න පුලුවන් නිසා…”

“ඇක්සිඩන්ට් එකක් වුනොත් ඒ කවුරුවත් නිසා නොවෙයි, තමුසෙ නිසා තමයි!,” එයා කියනවා. “හම්හ් එලියට!”

“අනේ අම්මේ…” මම බැගෑපත් වෙනවා. ” ඔයා දෙනවද තාත්තට එහෙම කරන්න?”

“මේ ඔයාගෙම යහපතට.” අම්මා කියනවා. “ඔයාත් පාඩමක් ඉගෙනගන්න ඕනෙ.”

මම දොර අරිනවා.

“ඔය දෙන්නටම පස්සෙ දුක් වෙන්න වෙයි,” මම කියනවා, “ඔය දෙන්නා ආපහු එනකොට ගිජු ලිහිණියෝ මගෙ ඇට ක‍ටු සූප්පු කරලා තියෙනවා දැක්කාම.”

“ඕස්ට්‍රේලියාවෙ ගිජු ළිහිණියො නෑ.”

“එහෙනම් කුකබුරාලා”

“ඔය දොර වහනවා,” තාත්තා කියනවා. “ඔය රස්නෙ ඇතුලට ගහනවා”
තාත්තත් එක්ක හරි වැ‍රැද්ද කතා කරලා වැඩක් නෑ.
මම කාරෙකෙන් එලියට බැහැලා දොර හෙමීහිට වහනවා.

කාරෙකේ රෝද එක තැන කැරකෙන්න රේස් කරපු තාත්තා, ඉගිලිලා යනවා, වැලි දූවිලි බොරලු වැස්සකින් මාව නාවමින්. මම ඇස් පිහදාලා කාර් එක හොයනවා. දැනටමත් ඒක නොපෙනී ගිහින්.

මට මගෙ සපත්තුව දිහෑ බැලෙනවා. දරුණු පෙනුමක් තියෙන, විශාල, රතු, බුල් ඈන්ට් වර්ගයෙ දිමියෙක් මගෙ සපත්තුවට නැගලා. මම ඌව ගසලා දානවා. ම්ම්ම්, මම ඌව අල්ලාගත්තොත් මොකද, පස්සෙ මට කන්න දෙයන් නැතුව ගියාම ඌව ඕනැ වෙන්නත් පුලුවන්.

ඊ…යා!  දිමියො කන්නෙ මොකටද? අම්මයි, තාත්තයි කොයිවෙලේ හරි ආපහු ඒවි. මේ දැන් වුනත්! වැඩිම වුනොත් විනාඩි පහකින්. ඔය මාව බය කරන්නනෙ.

මම ඇවිදගෙන යනවා.

ඇත්තෙන්ම මේකත් නරක නෑ. පිරිසිදු වාතය. නිල් අහස.

අම්මගෙයි තාත්තගෙයි බර බරේ නෑ.

විනාඩි පහක් ගතවෙනවා.

තවත් විනාඩි පහක් ගතවෙනවා.

තවත් විනාඩි පහක් ගතවෙනවා.

කෝ එයාලා?

මම බිම ඉඳගන්නවා.

මට තියෙන්නෙ බිම වැටිලා මැරෙන එක, අම්මටයි තාත්තටයි හොඳ පාඩමක් උගන්නන්නත් එක්ක.

ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒකට ටිකක් වෙලා යන්න පුලුවන්, මොකද මම හොඳ සනීපෙන් ඉන්න නිසා දැනට….

ඊලඟ කොටසත් ඕනෙද, පොත හොයාගෙන ඉංගිරිස් වලින්ම බලනවද? කියන්න බලන්න.

මේ ඕස්ට්‍රේලියානු යොවුන් කතා ලේඛකයෙකු වන Andy Griffiths ලියපු, අමෙරිකා එක්සත් ජනපදයේ පළකරපු,  පිස්සු, කුජීත, චාටර්, පට්ට, පජාත, වැඩ අඩංගු පොත් සීරීස් එකකින් එකක් වන Just Annoying කියන කෙටිකතා පොතේ පළවෙනි කතාව මම ඔබ වෙනුවෙන් සිංහලට නැගූ හැටියි. මේ පොත් වෙන කිසිවෙක් පරිවර්තනය කරලා තියෙනවද කියලා මම දන්නෙ නෑ.  ඇන්ඩිගෙ ලිවීමේ ශෛලියට  මම නම් හරි කැමතියි. මම මුලින්ම කියෙව්වෙ ප්ලාස්ටර් එකක් ගැන කතාවක්. ඇත්තටම මගෙ පුතා ඇන්ඩිගෙ පොත් එකතු කරන රසිකයෙක්.

ඇන්ඩිගෙ පොත් වල චිත්‍රත් ඔය සම්ප්‍රදායික චිත්‍ර නෙවෙයි. අපි ඔය පොතක් ගත්තාම වාටිවල එක එක ඒවා කුරු‍ටු ගාන්නෙ. ඇන්ඩිගෙ පොත්වල් චිත්‍ර තියෙන්නෙත් වාටිවල. ඕන්නම් පස්සෙ පින්තූරෙකුත් දාන්නම්කො.

එතකොට ඇයි මම සම්භාව්‍ය යයි සම්මත ලේඛකයෙකුගෙ  සම්භාව්‍ය යයි සම්මත පොතක් පරිවර්තනය නොකර ඇයි මේවගෙ කතාවක් පරිවර්තනය කරන්න මහන්සි වුනේ?

උත්තරය සරල එකක්. මම මේ කතාවල්වලට ආසා නිසා. ඔබත් කැමති වෙයිද කියලා බලන්න.

Andy Griffiths ගැන වැඩි විස්තර http://www.andygriffiths.com.au වලින් බලන්න පුලුවන්.

ඊලඟ කොටසත් ඕනෙද?

 

ටැග: ,