RSS

84. “දැන් ලඟද තාත්තෙ ?”

04 Sep
84. “දැන් ලඟද තාත්තෙ ?”

“තාත්තෙ”

“ම්ම්ම්?”

“දැන් ලඟද?

“තව නෑ.”

“දැන්?”

“තව නෑ.”

“දැන්?

“දෙයියංගෙ නාමෙට!!!”, තාත්තා ගොරවනවා. “කට පියං ඉන්නවද?”

“හරි හරි තාත්තෙ,” මම කියනවා. “ඔච්චර මල පනින්න දෙයක් නෑ!”

අපි මේ වෙනකොට මේ කාර් එක ඇතුලෙ දවස් දෙකක් ගමන් කරලා තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම පුපුරා හැලෙන්න ඕන්න මෙන්න.  මම මේ හිතලා මතලා ඒ දෙන්නව කේන්ති ගස්සනවා කියලා වරදවලා හිතන්නෙපා. ඒක වෙන්නෙ ඉබේටම.

අපි කැමති වුනත් නැතිවුනත් කාර් එකක දිග ගමනක් යක්නකොට අතරමග නවත්තන්න වෙනවනෙ, මගින් මගට.

මේ දෙන්න ඒකට කැමති නෑ!

ඉතින් මොනවද තියෙන විකල්ප?

බඩ ගින්නෙම මාව මැරෙන්න අරින එක?
මට කලිසමේ චූ යන කල් ඉන්න එක?
නැතිනම් පස්ස සීට් එක පුරාම මම වමනෙ දානකල් ඔහෙ යන එක?

ඔය මග වතාවක් දෙකක් නතර කරලා යන එක ඔච්චරම අප්සෙට්ද? ඊට වැඩිය අප්සෙට් නැත්ද මට ඔය දේවල් සිද්ද වුනොත්?

මම ඇත්තටම උදව්වක් කරන්නෙ, පොඩ්ඩක් නවතිමුකො කියලා.

ඇත්තටම අම්මටයි තාත්තටයි ඔරොප්පු වෙන්නෙ, ඔරොප්පු වෙන්න ඕනෙ දේවල් වලට නෙවෙයි!

දැන් මේ පැය බාගයක් විතර තිස්සෙ කාර් එක ඇතුලට කො‍ටුවෙලා ඉන්න මැස්සා ගම්මු. මම මේ අපි ඔක්කෝගෙම යහපතට උගෙ කරදරෙන් මිදෙන්න හදන්නෙ.

මම වීදුරුව පාත් කරනවා.
ඕං මැස්ස පැන්නා!
ඌ හැංගිලා ඉන්නෙ, මම ආපහු වීදුරුව උස්සනකල්.
මූව එලියට ගන්න ඕනෙ කොහොම හරි.
ඔන්න මම මැස්සට කතා කරනවා, මම දන්න හොඳම මැසි භාෂාවෙන්.

“බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්….. බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්…… බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්…..!”

ම්හුම්. තව සද්ද මදි.

“බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……. බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්….. බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!”

“ඇන්ඩී…..!!!” තාත්තා බෙරිහන් දෙනවා. “ඔය සද්දෙ කරනකොට මට මේ වාහනේ එලවන්න බෑ. මගෙ අවධානෙ කැඩෙනව. වාහනේ හප්පන්නද ඕනෙ අපි ඔක්කොම මැරිලා යන්න?”

තාත්තා ඔයවගෙ මෝඩ ප්‍රශ්න අහන එක මට පේන්න බෑ. දැන් තාත්තා බලාපොරොත්තු වෙන්නෙ මොනවගෙ උත්තරයක්ද ඔය ප්‍රශ්නෙට?

“ඔව් තාත්තෙ, මට ඕනෙ වාහනේ හප්පන්න තමයි, අපි ඔක්කොම මැරිලා යන්න,” කියලා කිව්වා නම් හරිද?

නමුත් මම එහෙම කියන්නෙ නෑ. මොකද මම එහෙම කිව්වොත් තාත්තා කාර් එක කොහෙ හරි හප්පා ගෙන, අපි ඔක්කොම මැරෙන්න ඉඩ තියෙන නිසා.

“හරි හරි තාත්තෙ,” මම කියනවා. “ඔච්චර මල පනින්න දෙයක් නෑ!”

“මේ, මට ඔය මල පනින කතාව කියන්නෙපා. මට යකා නගිනව ඔය කතාවට.” තාත්තා බෙරිහන් දෙනවා.

“හරි හරි තාත්තෙ,” මම කියනවා. “තාත්තටත් පනින්නෙ මලෙත් හොඳ එකනෙ!”

තාත්තා කොන්ද කුදු කරගෙන, ස්ටියරිං වීල් එක අල්ලාගන්නවා කිටිකිටියේ, ඇඟිලි පුරුක් සුදුමැලි වෙන්න. තාත්තගෙ බෙල්ල පිටිපස්සෙන් මතුවෙන දාඩිය බිබිලි දිලිසෙන්න ගන්නවා.

තාත්තා පරාජය භාර ගන්නවා. ඇත්තට මම වගෙ ස්මාට් පුතෙක් එක්ක ජීවත් වෙන එක තාත්තට ලේසි නැතිව ඇති. කට ගහලා තමන්ට දිනන්න බැරි බව දැනගත්තම කොච්චර අප්සෙට් ඇත්ද?

මැස්සා මගෙ ඇස් ඉස්සරහින් පියාඹනවා. මූ ඉල්ලන්නෙම ගේම. හරි පුතා. උඹ හරි පොර ලඟට ඇවිත් තියෙන්නෙ.

මට මතක් වෙනවා මම බලපු චිත්‍රපටියක ජම්බෝ ජෙට් එකක දොර අහසෙදි ඇරිලා, ඇතුලෙ හිටිය උන් ඔක්කොම ඇදිලා යනවා එලියට, ඒකෙන් ඇතිවෙන වැක්යූම් එකෙන්. මට එච්චර බලගතු වැක්යූම් එකක් නම් ඕනෙ නෑනෙ. මම කාර් එකේ දොර ඇරල වැහුවොත් ඇතිවෙන වැක්යූම් එකේ මැස්සව එලියට ඇදිලා යයි.

මම හැකි තරම් හෙමීහිට, දොරේ අගුල පරීස්සමෙන් අරිනවා, නොකර සද්ද!

ඊට පස්සෙ දොර අරිනවා, වහනවා!

අරිනවා, වහනවා!

අරිනවා, වහනවා!

“මොකක්ද මනුස්සයො ඔය කරන්නෙ?” තාත්තා ගුගුරනවා.

“මම මේ වැක්යූම් එකක් හදනවා,” මම කියනවා.

“මොකක්?”

“වැක්යූම් එකක්! මම මේ මැස්සව කාරෙකෙන් එලියට දාන්න හදන්නෙ.”

“වහනවා ඔය දොර මගෙ යකා අවුස්සන්නෙ නැතුව!  අල්ලන්නෙ නෑ දොර!” තාත්තා කෑ ගහනවා. “මම ආයෙ කියන්නෙ නෑ. ඊලඟ පාර කාරෙක නවත්තලා ඇදලා දානවා එලියට, පයින් එන්න. තේරුනාද?”

“තාත්තෙ, ඒ වුනාට…”මම කියනවා.

“අරින්නෙපා කට. තේරුනාද?”

“හා තාත්තෙ.”

තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුම සුදුයි ඒ ගමන. තාත්තා ස්ටියරිං වීල් එකකොච්චර තදින් මිරිකාගෙනද කිව්වොත්, ඇඟිලි වල ඇට, හම ඉරාගෙන මතුවෙයිද කියලා බයත් හිතෙනවා.

ඔන්න ආයෙම අර මැස්සාගෙ සද්දෙ. ඒ පාර මගෙ පිටිපස්සෙන් ඇහෙන්නෙ.
වැක්යූම් කරන වැඩෙත් හරි ගියේ නෑනෙ. මම හැරෙනවා පිටිපස්සට. මැස්සා පේන්න නෑනෙ. පොඩ්ඩක් ඉන්න – මේ සද්දෙ එන්නෙ එලියෙන්නෙ!

මම සීට් බෙල්ට් එක ගලවලා, ආපහු හැරිලා, දණ ගහ ගන්නවා සීට් එක උඩ .

මෙන්න එනවා, විකාර පෙනුමක් තියෙන බුවෙක්. කලු පාට හාලි ඩේවිඩ්සන් ලඩියක් පැදගෙන. රතු දිග ‍රැවුලයි, ඔලුවෙ නවපු අත හෝදන කෝප්පයක් වගෙ හෙල්මට් එකයි, පරණ තාලෙ ප්ලාස්ටික් මෝටසයිකල් ගොගල්ස් ජෝඩුවයි දැක්කම මැස්සෙක්ම තමයි මතක් වෙන්නෙ. මෝටර් බයික් එකේ හඬත් මැස්සෙක්ගෙ හඬක් වගෙ තමයි, වෙනස මැස්සට වඩා සද්දයි.

ඔන්න එතකොටම මැස්ස පියාඹනවා කාරෙකේ පස්ස වීදුරුව දිගේ.

දෙන්නං උඹට!

මම හදන්නෙ මූව වමත ගො‍ටු කරල අල්ලගෙන, ජනේලෙන් එලියට විසි කරන්න.

ඇත්තෙන්ම ඒක තමයි කරන්න හැදුවෙ.නමුත් මැස්සගෙ තියෙන්නෙ වෙනත් අදහසක් වගෙ. මේකා වීදුරුව දිගේ ඒ පැත්තටත් මේ පැත්තටත් රූට්ටන්න ගන්නවා. මමත් අත ගො‍ටු කරගෙන මැස්සව අල්ලන්න උත්සහ කරනවා. එතකොටම මට පේනවා අර බයිකර් මට අත වනනවා.

බුවා හිතන්නෙ මම බුවාට අත වැනුවා කියලා.!

මමත් අත වනනවා.

බුවා ආපහු අත වනනවා.

මම ආයෙ අත වනනවා,

බුවාත් ආයෙම අත වනනවා

ඔන්න අපි දෙන්නම හෙන ‍ෆිට් දැන්.

“නවත්තනවා අතපය වැනිල්ල,” තාත්තා කියනවා. “වාඩි වෙලා දාගන්නවා සීට් බෙල්ට් එක ආපහු.”

“ඒ වුනාට එයා තමයි ඉස්සෙල්ලා අත වැනුවේ,” මම කියනවා.

“මේ අහනවා, ඔය බයිකර්ස්ලව අවුස්සාගන්න එපා,” තාත්තා කියනවා. “මට මේ තියෙන කරදර ඇති.”

“මම මිනිහව අවුස්සා ගන්නවා නෙවෙයි – යාලු ‍ෆිට් එකට අත වැනුවා විතරයි.”

“ඉඳ ගන්න නේද මං කිව්වෙ!”

“හරි හරී, ඔච්චර මල පනින්න දෙයක් නෑ!”

මම අවසන් වතාවට බයිකර්ට අත වනනවා. නමුත් මේ පාර බුවා මාව දකින්නෙ නෑ බයික් එක පිරවුම් හලකට හරවන නිසා.

හොඳම යාලුවෙක් අහිමි වුනා වගෙ පාලු හැඟීමක් මගෙ හිතට එනවා.

එතකොටම ඇහේ කොනට මම යමක් දකිනවා.

මම උඩ බලනවා. මැස්සා වහලෙ! මූට ඕනෙ මාව ඔරොප්පු කරන්න. ඔන්න පටං ගන්නවා අර කුනුකුනුව.

“ඇන්ඩි,” තාත්තා කියනවා, “දැන් නම් සීමාව පැනගෙන එන්නෙ!”

“ඔය මම නෙවෙයි,” මම කියනවා. “ඒ මැස්සා!”

මේ මැස්සව ඉවරයක් කරලා දාන්න වෙනවා වහාම, මූ මාව ඉවරයක් කරන්න කලින්!

මම අත අල්ල ගොටු කරගෙන ඉස්සරහට බර වෙනවා.

මැස්සා පනිනවා වමට.

මම ආයෙම උත්සාහ කරනවා.

මැස්සා පනිනවා දකුණට, එතනින් ඉස්සරහා වීදුරුවට, “හූ හූ අල්ලයි මගෙ…” කියාගෙන.

මම ගලවනවා සීට් බෙල්ට් බකල් එක, පනිනවා ඉස්සරහ සීට් එකට. මැස්සා කො‍ටුවෙනවා මගෙ අතට, ගුවනෙදි.

“HOWZAT?” මම ප්‍රීති ඝෝෂා කරනවා.

මගෙ ඔලුව අම්මගෙ උකුලෙ, මගෙ කකුල් කාරෙකේ ස්ටියරිං වීල් එක අස්සෙ පැටලිලා.

තාත්තා හිටගන්නවා බ්‍රේක් පෙඩලය උඩ. කාර් එක ගැස්සිලා නවතිනවා.

‘බහිනවා එලියට!” තාත්තා කියනවා.

“තාත්තෙ, ඒ වුනාට මගෙ නෙවෙයි වැ‍රැද්ද,” මම කියනවා. “මැස්සගෙ.”

“කාගෙ වැ‍රැද්ද වුනත් කමක් නෑ.” තාත්තා කියනවා. “හ්ම්හ්, එලියට!”

“ඔන්න බලන්න තාත්තෙ!”

මම මෙපමණ වෙලා මැස්සව ගුලි කරගෙන හිටපු අත දිගහරිනවා තාත්තට මැස්සා පෙන්නන්න. වැරදි කාරයා කවුද කියලා ඔප්පු කරන්න. නමුත් මගෙ අත හිස්. ඔහෙ ඇති මැස්සෙක් නෑ. මූ අන්තිම මොහොතෙ, වෙට්‍ටුවක් දාලා මාරුවෙලා. ෂික්! මැස්සෙකුට පැරදීම ගැන මට ඇති වෙන්නෙ තරහක්.

“එලියට,” තාත්තා කියනවා.

තාත්තා සිරාවටමද මේ කියන්නෙ? බොරු වෙන්නැති.

“අනේ සොරි, තාත්තෙ… මම හැදුවෙ මැස්සව කාරෙකෙන් එලියට දාන්න… මොකද ඌ හිටියා නම් ඇක්සිඩන්ට් එකක් වුනත් වෙන්න පුලුවන් නිසා…”

“ඇක්සිඩන්ට් එකක් වුනොත් ඒ කවුරුවත් නිසා නොවෙයි, තමුසෙ නිසා තමයි!,” එයා කියනවා. “හම්හ් එලියට!”

“අනේ අම්මේ…” මම බැගෑපත් වෙනවා. ” ඔයා දෙනවද තාත්තට එහෙම කරන්න?”

“මේ ඔයාගෙම යහපතට.” අම්මා කියනවා. “ඔයාත් පාඩමක් ඉගෙනගන්න ඕනෙ.”

මම දොර අරිනවා.

“ඔය දෙන්නටම පස්සෙ දුක් වෙන්න වෙයි,” මම කියනවා, “ඔය දෙන්නා ආපහු එනකොට ගිජු ලිහිණියෝ මගෙ ඇට ක‍ටු සූප්පු කරලා තියෙනවා දැක්කාම.”

“ඕස්ට්‍රේලියාවෙ ගිජු ළිහිණියො නෑ.”

“එහෙනම් කුකබුරාලා”

“ඔය දොර වහනවා,” තාත්තා කියනවා. “ඔය රස්නෙ ඇතුලට ගහනවා”
තාත්තත් එක්ක හරි වැ‍රැද්ද කතා කරලා වැඩක් නෑ.
මම කාරෙකෙන් එලියට බැහැලා දොර හෙමීහිට වහනවා.

කාරෙකේ රෝද එක තැන කැරකෙන්න රේස් කරපු තාත්තා, ඉගිලිලා යනවා, වැලි දූවිලි බොරලු වැස්සකින් මාව නාවමින්. මම ඇස් පිහදාලා කාර් එක හොයනවා. දැනටමත් ඒක නොපෙනී ගිහින්.

මට මගෙ සපත්තුව දිහෑ බැලෙනවා. දරුණු පෙනුමක් තියෙන, විශාල, රතු, බුල් ඈන්ට් වර්ගයෙ දිමියෙක් මගෙ සපත්තුවට නැගලා. මම ඌව ගසලා දානවා. ම්ම්ම්, මම ඌව අල්ලාගත්තොත් මොකද, පස්සෙ මට කන්න දෙයන් නැතුව ගියාම ඌව ඕනැ වෙන්නත් පුලුවන්.

ඊ…යා!  දිමියො කන්නෙ මොකටද? අම්මයි, තාත්තයි කොයිවෙලේ හරි ආපහු ඒවි. මේ දැන් වුනත්! වැඩිම වුනොත් විනාඩි පහකින්. ඔය මාව බය කරන්නනෙ.

මම ඇවිදගෙන යනවා.

ඇත්තෙන්ම මේකත් නරක නෑ. පිරිසිදු වාතය. නිල් අහස.

අම්මගෙයි තාත්තගෙයි බර බරේ නෑ.

විනාඩි පහක් ගතවෙනවා.

තවත් විනාඩි පහක් ගතවෙනවා.

තවත් විනාඩි පහක් ගතවෙනවා.

කෝ එයාලා?

මම බිම ඉඳගන්නවා.

මට තියෙන්නෙ බිම වැටිලා මැරෙන එක, අම්මටයි තාත්තටයි හොඳ පාඩමක් උගන්නන්නත් එක්ක.

ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒකට ටිකක් වෙලා යන්න පුලුවන්, මොකද මම හොඳ සනීපෙන් ඉන්න නිසා දැනට….

ඊලඟ කොටසත් ඕනෙද, පොත හොයාගෙන ඉංගිරිස් වලින්ම බලනවද? කියන්න බලන්න.

මේ ඕස්ට්‍රේලියානු යොවුන් කතා ලේඛකයෙකු වන Andy Griffiths ලියපු, අමෙරිකා එක්සත් ජනපදයේ පළකරපු,  පිස්සු, කුජීත, චාටර්, පට්ට, පජාත, වැඩ අඩංගු පොත් සීරීස් එකකින් එකක් වන Just Annoying කියන කෙටිකතා පොතේ පළවෙනි කතාව මම ඔබ වෙනුවෙන් සිංහලට නැගූ හැටියි. මේ පොත් වෙන කිසිවෙක් පරිවර්තනය කරලා තියෙනවද කියලා මම දන්නෙ නෑ.  ඇන්ඩිගෙ ලිවීමේ ශෛලියට  මම නම් හරි කැමතියි. මම මුලින්ම කියෙව්වෙ ප්ලාස්ටර් එකක් ගැන කතාවක්. ඇත්තටම මගෙ පුතා ඇන්ඩිගෙ පොත් එකතු කරන රසිකයෙක්.

ඇන්ඩිගෙ පොත් වල චිත්‍රත් ඔය සම්ප්‍රදායික චිත්‍ර නෙවෙයි. අපි ඔය පොතක් ගත්තාම වාටිවල එක එක ඒවා කුරු‍ටු ගාන්නෙ. ඇන්ඩිගෙ පොත්වල් චිත්‍ර තියෙන්නෙත් වාටිවල. ඕන්නම් පස්සෙ පින්තූරෙකුත් දාන්නම්කො.

එතකොට ඇයි මම සම්භාව්‍ය යයි සම්මත ලේඛකයෙකුගෙ  සම්භාව්‍ය යයි සම්මත පොතක් පරිවර්තනය නොකර ඇයි මේවගෙ කතාවක් පරිවර්තනය කරන්න මහන්සි වුනේ?

උත්තරය සරල එකක්. මම මේ කතාවල්වලට ආසා නිසා. ඔබත් කැමති වෙයිද කියලා බලන්න.

Andy Griffiths ගැන වැඩි විස්තර http://www.andygriffiths.com.au වලින් බලන්න පුලුවන්.

ඊලඟ කොටසත් ඕනෙද?

 

ටැග: ,

119 responses to “84. “දැන් ලඟද තාත්තෙ ?”

  1. Naleen Dilruksha

    සැප්තැම්බර් 4, 2012 at 12:14 පෙ.ව.

    ඇත්තමයි හෙන්රි මම හරිම ආසාවෙන් මේ කතාව කියෙව්වා. හරිම රසවත් මේ පද අතර මොකක්දො නොදැනෙන රසයක් තියනවා.කුතුහලය දැනෙනවා. ඔබ ශූර අයුරින් පරිවර්ථන කාර්ය කර තිබෙනවා. ජය සතුට ඔබට

     
  2. Naleen Dilruksha

    සැප්තැම්බර් 4, 2012 at 12:30 පෙ.ව.

    අමතක වුණා අනිවාර්යයෙන්ම අනිත් කොටසත් ලියන්න

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 7:50 පෙ.ව.

      නලීන් ඇත්තෙන්ම බොහෝමත්ම ස්තුතියි අගැයීමට. මේ කතාවල මොකක්දො ආකර්ශණීය ගතියක් මටත් දැනෙනවා. වැඩි ප්‍රසිද්ධියක් අපි අතර නැති මේවගෙ ලේඛකයො තවත් කීප දෙනෙක් ගැන මම දන්නවා.

       
  3. ravi

    සැප්තැම්බර් 4, 2012 at 12:55 පෙ.ව.

    අඩේ හෙන්රි..උඹ නියම කොල්ලෙක් නෙව….පරිවර්තනය නම් අන්තිම ඉහලයි…නොම්බර එකටත් එහා…රින පාලහක් විතර දුන්නෑකි….ඇන්ඩිගෙ පොත් ටික හොයාගෙන කියවන්න ඕන කොහොම හරි…ඉස්තූතියි ඔත්තුවට….

    මට එක පාරටම මතක් උනේ පොඩි කාලෙ කියවාපු ජස්ට් විලියම් සීරීස් එක…..මාව පිස්සු වට්ටපු කතා පෙලක් තමයි ඒ….තාමත් ගෙදර තියනව පොත් හතර පහක්….

    / ඊලඟ කොටසත් ඕනෙද? /

    ඔන්න ඔන්න ඕකනෙ කියන්නෙ…උඹ ඒ පාර ජනමත විචාරණයක් පවත්වන්ටද යන්නෙ?…අර ලාම්පු කළගෙඩි සෙල්ලම වාගෙ…හෙහ්, හෙහ්, ඕනෙද කියල අහන්නෙ…ලියාපං, ලියාපං ඇන්ඩි කොලුවට මොකද උනේ කියල…..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 7:52 පෙ.ව.

      ඔය ඇවිත් ඉන්නෙ රවි තුමත්.
      උඹේ කමෙන්ට් එකක් නැති පෝස්ට් එකක් ලුණු දාන්න අමතක වෙච්ච හොද්දක් වගෙ මට නම්.😀
      ඔව් ජස්ට් විලියම්ස් මට මතකයි. අපි වගෙ තමයි නේහ්? ඇයි ටොම් සෝයර්!!

       
  4. ක්සැන්ඩර් | Xander

    සැප්තැම්බර් 4, 2012 at 1:20 පෙ.ව.

    මම හිතුවේ මේ ඩුඩ් ගේ අත්දැකීමක් කියලා.. අර බයිකර් කෙනෙක් ගැන කියද්දී එහෙම හිතුනෙම එහෙම. ඒත් පරිවර්තනේ නම් නියමෙට කරලා. මට ආසයි ඔය පොත කියවන්න.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 7:53 පෙ.ව.

      ස්තුතියි ක්සැන්ඩර්. මේ හොයන්න අමාරු පොත් නෙවෙයි. මේවා ඇත්තෙ පොත් සාප්පුවල children’s නැත්නම් teen සෙක්ෂන් එකේ වෙන්න ඕනෙ. පොත් සීරීස් එකක් තියෙනව ක්සැන්ඩර්. පිස්සු කොර වෙනවා!!!🙂

       
      • Senna

        සැප්තැම්බර් 5, 2012 at 12:16 පෙ.ව.

        මට හිතුනෙ ඩූඩ් බයික් එකේ පිටිපස්සෙන් යනකොට, කා එකක ඉඳන් පිටි පස්ස බලන් යන කොලුවෙක්ව දැකලා ඩූඩ් ගොතපු කතාවක් කියලා..

         
  5. Rohan

    සැප්තැම්බර් 4, 2012 at 2:12 පෙ.ව.

    yes, pls!!!!!!!!!!!!!!!!!!!!!!!!

     
  6. hiruni

    සැප්තැම්බර් 4, 2012 at 2:37 පෙ.ව.

    ඇත්තටම මට කියන්න වචන නැහැ….අන්තිම වෙනකල්ම හිතා ගන්න බැරි වුනා ඩුඩ්ට වෙච්ච දෙයක්ද නැද්ද කියලා…පරිවර්තනය නම් හරිම හරිම ලස්සනයි…Andy Griffith දැනගත්තොත් ගොඩක් සතු‍ටු වේවි ….පොත හොයාගන්නකලි ඉතුරු ටිකත් ලියන්නකො Dude…:D

     
  7. hiruni

    සැප්තැම්බර් 4, 2012 at 2:38 පෙ.ව.

    චිත්‍රෙත් හරිම ලස්සනයි😀

     
  8. අටම්පහුර

    සැප්තැම්බර් 4, 2012 at 5:51 පෙ.ව.

    මමත් අන්තිම වෙනකං හිතුවේ තාත්තලා පුතාලගේ වලියක් තමයි කියලා

    පුතා මේ කතාවලට කැමති ඌටත් ඒවාගේ අප්පෙක් ඉන්න හන්දද

    //ඊලඟ කොටසත් ඕනෙද, පොත හොයාගෙන ඉංගිරිස් වලින්ම බලනවද//

    මේ ලොකූ අයියේ මයෙත් එක්ක කුණුහබ්බ කතා කරන්ඩ එපා, කක්කූස්සි වලලේ පියන ඇරියානං දැන් ඉතින් ගොඩදාලා මිසක් පියන වහන්ඩ හිතන්ඩවත් එපා.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 7:55 පෙ.ව.

      අටමො, මට ඔහොම මල පනින්නෙ නෑ බං පුතා එක්ක. මමත් එක්ක ගමන් යන අපේ අක්කා කෙනෙක් කියනවා, “අනේ ලොකු මල්ලිට වාහනේ නවත්තන්න කිව්වාම නැවැත්තුවට අපේ මිනිහත් එක්ක කොහෙවත් යනකොට බොක්ක පිපුරුවත් නෙවෙයි නවත්තන්නෙ. ඔහේ යනවා බීරා වගෙ!” How is my driving?”

      උඹේ උදාහරණෙ නම් කියලා වැඩක් නෑ අටමො, හෙහ් හෙහ්!😀

       
  9. Miyuru

    සැප්තැම්බර් 4, 2012 at 6:11 පෙ.ව.

    කතාව කියවනකොට මං හිතුවෙ මේක ඇත්තටම හෙන් රිට වෙච්චි දෙයක් කියලා…. මට අපේ පොඩි කෙල්ලවත් මතක් උනා…. ඒකිත් එක්ක ගමනක් යනකොටත් ‘දැන් ළඟද අප්පච්චි..?’ කියල අහ අහා තමයි යන්නෙ අප්පච්චිට මල පනිනකම්… හික්ස්…
    අර චිත්‍රෙ නම් තියෙන්නෙ ඇත්තටම මට මේක කියවනකොට මැවිලා පෙනුනු විදිය… හැබැයි අම්මගෙ කොණ්ඩෙයි, තාත්තා ඉන්න පැත්තයි විතරයි වෙනස්…. ඇත්තටම අර විදියට ඇඳලා බයික් වල යන එව්වො තාමත් මං මෙහෙදි දකිනවා සමහර වෙලාවට…. හිනා යනවා තමයි…. පරණ චිත්‍රපටි මතක් වෙනවා…. ඔය මැස්සෙක් වාහනේ ඇතුලට රිංගා ගත්තම නම් ඕන්නෑ…. මෙහේ සමර් එක කාලෙට හරියට වෙනවා ඔය වැඩේ… දැන් නම් ඉතින් ඔහොම එකක් උනාම මට මේ කතාව මතක් වේවි….😀
    අනේ පරිවර්තනය නම් නවත්වන්න එපා…. බලන්න ඕන මෙහේ බුක් ෂොප්වලත් ඔය පොත් ටික සොයාගන්න…. පොඩි උනුත් ආසාවෙන් කියවයි…. ස්තුතියි හෙන් රි….

     
    • emailkavikaari

      සැප්තැම්බර් 4, 2012 at 7:09 පෙ.ව.

      කොල්ලගෙ කොන්ඩෙ කලුවට ඇඳල තිබුනානං මුලින් හිතේවි ඩුඩ් ගෙ කතාවක් කියල.

       
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 7:57 පෙ.ව.

      මියුරු ස්තුතියි. ඔයා කිව්වම තමයි මට ඩ්‍රයිවිං සයිඩ් එක මතක් වුනේ. ඇත්තම කිව්වොත් මම දන්නවා ඔසීයලා අපි එලවන පැත්තෙන්ම එලවන බව.

      වැඩේ වුනේ මේක ස්පෙලිං පවා අමෙරිකානුකරනය කරපු පොතක්නෙ. windshield, airplane වගෙ වචනත් එක්ක හාලි ඩේවිඩ්සන් එකත් එක්ක අනලා ගත්තම මොලේ තැන්පත් වුනේ අමෙරිකන් ඉන්ටස්ටේට් එකක යන ගමනක්. නොහිතාම චිත්‍රයෙ ඩ්‍රයිවර් අනිත් පැත්තට ගිහින්. ඔයා කිව්වාම තමයි මතක් වුනේ.

      “දැන් ලඟද” කියලා පරිවර්තනය කලේ Are we there,yet? කියන එක.

      ඔය පොත කොහෙ නැතත් ඔහෙ තියෙන්න එපායැ මොකද ඇන්ඩි ඕස්ට්‍රේලියන් නිසා.

       
      • henryblogwalker the Dude

        සැප්තැම්බර් 4, 2012 at 7:17 ප.ව.

        කවිකාරිටත් හිතෙන දේවල් නේ!😀 ඒ වුනාට මූ තාත්තට කතා කරන විදිය හරි නෑ!🙂

         
        • Senna

          සැප්තැම්බර් 4, 2012 at 10:07 ප.ව.

          පොඩි සිම්පල් වැඩක් ඕකට කරන්ඩ තියෙන්නෙ.. ඩූඩ්.. ඔය චිත්‍රෙ ලොකූ කන්ණාඩියකින් පේන චිත්‍රයක් වගේ පොඩ්ඩක් මොඩිෆයි කරන්ඩ.. එතකොට වැඩේ ඉවරයි..🙂

           
  10. praveena

    සැප්තැම්බර් 4, 2012 at 7:53 පෙ.ව.

    මම හිතුවෙම ඔයාට උනු දෙයක් කියලා. ඔස්ට්‍රේලියාව කියන කෑල්ල දැක්කාම හිතුනේ ඔයාගේ පුතා ලීව එකක් කියලා. ලස්සන පරිවර්තනයක්….

    ඔය වගේ රුසියානු ලේඛකයකු ලීව කතාවක් තිබුනා ‘රතු රෝස මලක’ කතාවක්. හැබැයි කතාවේ චරිතයට පිස්සු. ඒ ලීව එක්කෙනෙත් මානසික රෝගයක් තිබුනු කෙනෙක්ලු. නම නම් මතක නෑ.

    ලස්සනට ලියන්නේ ඇත්තටම පිස්සු අය වෙන්ට ඇති.🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 8:01 පෙ.ව.

      ඒක මරු කතාව! ඒකෙන් තේරෙනවා ඇයි මම මේ වගෙ පොත්වලට ආසා කියලා.
      ස්තුතියි ප්‍රවීනා!🙂
      ප.ලි: ඔයත් හරී ලස්සනට ලියනවා.. එතකොට….එක්කො ඕනෙ නෑ!😀

       
  11. maal

    සැප්තැම්බර් 4, 2012 at 7:58 පෙ.ව.

    නියම පොතක් වගේ…හොයාගන්න ඕනේ..ඉතුරු ටිකත් ලියන්න.

     
  12. henryblogwalker the Dude

    සැප්තැම්බර් 4, 2012 at 8:02 පෙ.ව.

    ස්තුතියි මාල්. මාත් හිතාගත්තෙ ඉතුරු ටිකත් ලියන්න තමයි!

     
  13. Weni

    සැප්තැම්බර් 4, 2012 at 8:05 පෙ.ව.

    මට මුලින්ම මතක් උනේ අර ශ්‍රෙක් ෆිල්ම් එකේ සීන් එක අර බූරුවා ශ්‍රෙක්ටයි කුමාරිටයි එයාලගේ නුවරට එන්න කියලා කීවහම මඟදි බූරුවා දෙන වදේ… මන් හිතුවෙත් මාර පුත්තර හෙන්රිම තාත්තට දීපු වදයක් කියලයි.. පරිවර්තනය නම් නියමයි..රසවිඳින්නාට වද නොවී රස විඳින්න කරලා තියෙනවා…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 5:54 ප.ව.

      හපෝයි ඒ බූරුවත් මාර වාත කිරිල්ලක් කරනවා නේ බූරුවෙක් වුනාට! ස්තුතියි වෙනී බොහෝමත්ම! ඇයි බොලං අපි උඹේ බ්ලොග් පෝස්ට් දාන කමෙන්ට් ගනන් නොගෙන ඉන්නෙ?

       
      • Weni

        සැප්තැම්බර් 4, 2012 at 10:46 ප.ව.

        කමෙන්ට් සේරම කියෝනවා ඊ මේල් එකෙන් හෙන්රි උත්තර ලියන්න වෙලාවක් තමා නොතිබ්බෙ.. දැන් හරි ඕන් !

         
  14. රාමා

    සැප්තැම්බර් 4, 2012 at 8:12 පෙ.ව.

    කොලු පැටිය හෙන්රි අයිය වගේමයි. මුලදී හිතුවේ පොඩි හෙන්රි ගැන කතාවක් කියලා.😀

    නියමෙටම පරිවර්තනය කරලා තියෙනවා. පරිවර්තන කටයුතු දිගටම කරන්න…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 4, 2012 at 5:57 ප.ව.

      ඇත්තට? ඌ මං වගෙ? මට එහෙම හිතුනෙ නෑ. මතකද අර කණ්ඩාලෙට මම ඇන්දපු චිත්‍රෙ? අන්න ඒකට නම් මගෙම පුතා අවුරුදු හතරෙදි ඇඳිලා තියෙන්නෙ නොදැනිම.
      බොහෝම ස්තුතියි රාමා, අගය කිරීමට!

       
  15. Amila

    සැප්තැම්බර් 4, 2012 at 8:47 පෙ.ව.

    මරු අයියේ, සුපිරි පරිවර්තනය…
    මේ බන් අයියේ මේක මම හිතේ තාම පරිවර්තනය කරලා නෑ,
    පරිවර්තනය කරලා එළිදක්වමුකෝ බන්, උඹේ හැකියාව සුපිරි. බ්ලොග් ලෝකේ කට්ටිය උදවු කරයි බන්

    මට මතක් වුනේ ටොම් සෝයර් ව.
    ඉතිරි කොටසත් දාන්න අයියේ, කඩ්ඩෙන් කියවන්න කම්මැලියි , අනික කතාව බොක්කට වදින්නේත් නෑ.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 7:04 පෙ.ව.

      අමිල, බොහෝම ස්තුතියි ඇගයීමට.
      වෙන්න පුලුවන්. හුඟක් වෙලාවට පරිවර්තකයො ‍තෝරාගන්නෙ මේවගෙ සරළ වින්දනයක් තියෙන කතා නෙවෙයි.
      අමිල මේකනෙ සීන් එක. මේක මගෙ කෘතියක් නෙවෙයිනෙ. මම කලේ පරිවර්තනය කරන්න ට්‍රයි කරපු එක විතරයි.
      ටොම් සෝයර් කියන්නෙ වගේ මට බයිබලේ වගෙ පොතක්. ඒක කීපාරක් කියවලා තියෙනවද කියලා මම දන්නෙ නෑ. ලෝකෙ අනිත් පැත්තෙ, වෙනත් ශතවර්ෂයක ජීවත් වෙලත් මෙච්චර මගෙ ජීවිතයට සමීප වෙච්ච චරිතයක් නෑ මම හිතන්නෙ.

       
      • ක්සැන්ඩර් | Xander

        සැප්තැම්බර් 5, 2012 at 10:17 ප.ව.

        මෙන්න තවත් ටොම් සෝයර් පිස්සෝ.. මේ මමත් එක්කෙනෙක්.. එක කාලයක් ඔය පොත අතේමයි.

         
  16. Maathalan

    සැප්තැම්බර් 4, 2012 at 9:16 පෙ.ව.

    මරු හෙන් රි මරු.. අනිත් අය වගේම මමට් රැවටුනා. පරිවර්ථනයක වටිනාකම කියන්නේ තියෙන එකම ලියන එක නෙමෙයි. ඒක අපේ කරලා ලියන එක. මේක රහ ඒකයි. ආයේ අහන්න දෙයක් නෑ පොතම ලිව්වත් කියවනවා. සරළ දේ රහයි. මට මල්ගුඩියේ දවස් මතක් උනා. ඒකෙත් තියෙන්නේ බොහොම සුළු සිඳුවීමක්.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 7:08 පෙ.ව.

      මාතලන් බොහෝමත්ම ස්තුතියි අගැයීමටයි අදහස් වලටයි. අපේම කරන්න තිමයි ටිකක් කල්පනා කරන්න වෙන්නෙ. ඒකට තමයි වෙලා යන්නෙත්.
      මල්ගුඩිය නම් නියමයි නේ. මම හිතන්නෙ අපේ ටයි මාමා ඒකට උපරිම යුක්තිය ඉශ්ඨ කරලා තියෙනවා.

       
  17. පනුච්චි

    සැප්තැම්බර් 4, 2012 at 9:29 පෙ.ව.

    අනේ… ඔන්න දැන් ඔයා පනුච්චිව ඇවිස්සුවා නේ…😥 සිංහල පරිවර්තන නැද්ද ඕකේ??? මම නම් හිතන්නේ ඊළඟට අර බයිසිකල් යාළුවා එයාව දාගෙන යයි නේ….
    මරු මරු යාළු… දැහැනේ සම වැදිලා මම කියෙවුවෙ මේක….

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 7:11 පෙ.ව.

      ඉස්සර අම්මලානම් කියන්නෙ පේර කන්න එපා පණුවො ඇවිස්සෙනවා කියලා. සිංහල පරිවර්තන නම් දන්නෙ නෑ පණුච්චි, නැතුව ඇති. මම මේ ලේඛකයා ගැන කවුරුවත් කතාවෙනවා වත් අහලා නෑ ලංකාවෙදි.
      ඔයා හරි බුද්ධිමත් පණුච්චියක්!

       
  18. ලොකු ජෝන්…

    සැප්තැම්බර් 4, 2012 at 10:38 පෙ.ව.

    අයියෝ මේ මට හැමදාම මේ WordPress Password එක පැටලෙනවා එතකොට ආයෙමත් මුල ඉඳලා කමෙන්ටුව ලියන්න ඕනේ.
    …නියම පරිවර්තනය. මුලින් කියවනකොටනම් හිතුනේ Dude ගේ ට්‍රිප් කතාවක් කියලා. ඒත් ලංකාවෙ ඉපදුන තාත්තා කෙනෙක් කොච්චර මල පැන්නත් ඔච්චර ළමයින්ට දරුනු විදියට නොසලකන බව ඇඟෙන්ම දැනුන නිසා ඒ අදහස අයින් කරගෙන කියෙව්වේ

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 7:18 පෙ.ව.

      ඉතින් බං ජෝනා, ඇයි අර කොටපු එක එතනම තියෙන්න අරින්නෙ නැත්තෙ කමෙන්ට් එක පබ්ලිෂ් වෙනකල්. එතකොට අප්සෙට් එකක් වුනත් ආයෙ අලවන එකනෙ තියෙන්නෙ.
      ජෝනා ලංකාවෙ දෙමව්පියො ගැන කිව්ව් කතාව ඇත්ත තරමක් දුරට. ඇත්තෙන්ම අපෙත් ඔය ඉන්නෙ ලමයින්ට වද දෙන උන්. එතකොට ඔය සුදු හමවල් අතරත් ලමයින්ට හරීම ආදරේ උන් ඉන්නවා. නමුත් ලමා අයිතිවාසිකම්, ලමයින්ගෙ නිදහස. ස්වාධීනකම වාගෙ සංකල්ප අතරෙ පොඩි වෙනසක් අපිට පේනවා ඇති.
      ඇත්තෙන්ම ලමයාව ඔහොම කාර් එකෙන් බස්සලා ගියොත් ලමා හිංසනයට නඩු දාන්න පුලුවන්. මේක ඉතින් කතාවක්නෙ.

       
  19. RanDil

    සැප්තැම්බර් 4, 2012 at 10:39 පෙ.ව.

    ඔබ නම් ශූරයෙකි. තවමත් එක කොමෙන්ට් එකක්වත් ඇන්ඩි………. කියන්නේ මගේ කැමතිම ලේඛකයෙක් කියලා වැටිලා නැහැ…………..🙂 මුලින් හිතුනා ඩූඩ්ට වෙච්ච දෙයක් කියලා, පස්සේ හිතුනා පුතායි තාත්තායි කියලා‍‍. ඒත් අපේ රටේ අම්මලා තාත්තලා ඔය විදිහට ළමයින්ට යටිතල පහසුකම් සපයන්න බැහැයි කියලා පුපුරා හැලෙන්නේ නැහැනේ. ටිකක් චුක් කිව්වාත්……… පස්සේ හිතුනා කෙටි කථාවක් කියලා……….. බැලුවහම මේක ඉතාමත් අගනා පරිවර්තනයක් නේ. ඉතිරියත් බලාපොරොත්තු වෙනවා. මට හිතෙන්නේ වඩා හොඳ වන්නේ, මේ කථා 5ක් 6ක් මෙතැන පල කරලා පාඨක ප්‍රතිචාර බලලා, ඒවාත් ඉතිරියත් ඔබේම පරිවර්තන කෘතියක් වශයෙන් එළිදක්වන එකයි. නැත්තං කොපි පේසට් වෙලා කොහෙන් නතර වෙයිද කියලා ඕං අපි නං දන්නේ නැහැ.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 7:26 පෙ.ව.

      හෙහ් හෙහ්, රන්දිල් ඒ පලවෙනි වාක්‍යය කටින් කිව්වා නම් මම පස්ස හැරිලා බලනවා පිටිපස්සෙ එකාටද කිව්වෙ කියලා. ඒක ඒ තරම් සැර ප්‍රශංසාවක්.

      ම්ම්ම් මේ කතාව යන්නෙ රන්දිල් මේ පොඩි කොල්ලගෙ දෘශ්ඨි කෝණයෙන්නෙ. ඉතින් ඔය වයසට දෙමාපියන් කරන කොයි දේත් වැරදි දැකීම, විවේචනය කිරීම වගෙ වෙනවනෙ අර හෝමෝන් කේස් එක නිසා. මම හිතන්නෙ නෑ තාත්තා ඔය කියන තරම් දරුණු විදියට යටිතල පහසුකම් කපා හැරියා කියලා. වෙන්න ඇත්තෙ ඇන්ඩිට ඕනෙ ඕනෙ තැන්වල කියන තරම් වාර ගානක් නවත්තන්න නැතිව ඇති දුර යන්න තියෙන නිසා.
      අනික මූ කරන වැඩ වලට තාත්තට තරහ යන එකත් පුදුමයක් නෙවෙයිනෙ.
      ඒ වගෙම තාත්තයි අම්මයි පුපුරා හැලෙන්නෙ මූ නවත්තන්න කියන නිසාම නෙවෙයි, ගමනෙ දුරකම, විඩාව, වගෙ හේතු නිසා වෙන්න පුලුවන්. ඒ උඩට ඇන්ඩියා වාත කරනවා ඇති. මම හිතන්නෙ එහෙමයි

       
  20. Beetle

    සැප්තැම්බර් 4, 2012 at 11:03 පෙ.ව.

    ගොඩක් ආසාවෙන් කියෙව්වේ මචං… ඊළඟ කොටස කියවන්න බලාගෙන ඉන්නේ… ඔරිජිනල් පොත කොයිවෙලේ කියවන්න බැරිද..?😀 මේක දිගටම ලියපන්…මම වැඩිය ආසා මේක කියවන්න…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 7:30 පෙ.ව.

      ඔරිජිනල් එකත් කියවපං බීටලේ, ඒක මරු. උඹ කියන්නෙ, ඒකෙ සමහර යෙදුම් ඉංග්‍රීසියෙන් මිසක් සිංහලෙන් කියන්න බෑ කෘතිම බවක් නැතුව.
      මූ තාත්තට මල පනිනවනෙ කියන එක කියන්නෙ Don’t get your knickers in a knot, dad!කියලා. ඕක ඉතින් කොහොමද කියන්නෙ ස්වභාවිකව!😀

       
      • ravi

        සැප්තැම්බර් 5, 2012 at 10:27 පෙ.ව.

        / Don’t get your knickers in a knot, dad! /

        හෙහ්, හෙහ්, මගේ ප්‍රියතම යෙදුමක් බං ඕක..මුලින්ම ඔය කතාව මට හම්බ උනේ James Hadley Chaseගෙ පොත්වල…..

        ” Hey, hey, don”t get your knickers in a knot now…babe ”

        ‘ හා, හා, තාත්තෙ ජොකා ගැට ගහ ගන්න එපා ඔන්න හොඳද?…” සික්, එහෙම කිව්වම හරි නැහැ තමයි..

        පොඩි රිසේච් පාරක් දැම්මම මේ ටික හම්බ උනා…

        You know how uncomfortable and “antsy” you can be if your underwear manages to get all wadded up? That’s what it’s referring to. Someone who’s getting all overexcitable and upset might get told “Don’t get your panties in a bunch.”

        Alternates:
        Don’t get your knickers in a twist.
        Don’t get your panties in a wad.
        Don’t get your bloomers in a knot.

         
        • henryblogwalker the Dude

          සැප්තැම්බර් 5, 2012 at 10:57 පෙ.ව.

          කතාව ඇත්ත බං රවී. Hadley Chase ගෙ චරිත ඕක කියන්නෙ නිකර්ස් අඳින ගෑණියෙකුටනෙ. ඇන්ඩියා ඕක කියන්නෙ තාත්තටනෙ බං. ඒකෙ තියෙනවා අමතර අපහාසයක්. අර අපේ රජ කුමාරයා පියරජතුමාට ස්ත්‍රී ආභරන යැව්වා වගෙ.

          උඹ කිව්වත් වගෙ රවී, අර තාත්තා මූට බැන්නාම මට ඔය මල පනින කතාව පේන්න බෑ කියලා මූ ඊ ගාවට කියන්නෙ.
          Okay Okay, Dad, Don’t get your pants in twist! කියලා. මට මතක විදියට. (මෙතන පොත නෑ බං මම මේ ඉස්කෝලෙ ඉන්නෙ.)

          ඉතින් උඹ කිවවා වගෙ ඕක සිංහලෙන් කිව්වම අදහස විකෘති වෙන නිසා මම Don’t get your knickers in a knot, dad!“ඔච්චර මල පනින්න දෙයක් නෑ!” කියලා ලිව්වා.

          “මේ, මට ඔය මල පනින කතාව කියන්නෙපා. මට යකා නගිනව ඔය කතාවට.” තාත්තා බෙරිහන් දුන්නම, සෑහෙන කල්පනා කරලා Okay Okay, Dad, Don’t get your pants in twist! වෙනුවට

          “හරි හරි තාත්තෙ, තාත්තටත් පනින්නෙ මලෙත් හොඳ එකනෙ!” කියලා ලිව්වා.

          ඔය වගෙ මම ලෝකලයිස් කරපු කෑලි හුඟක් මේකෙ තියෙනවා.

          ඇත්තටම එහෙම පරිවර්තනය කරන එකත් හක්ක පනින වැඩක් බං. ඊට ලේසියි ස්ව නිර්මානයක් කරන එක. ඔච්චර වගකීමක් නෑනෙ.

           
          • ravi

            සැප්තැම්බර් 5, 2012 at 11:29 පෙ.ව.

            / ඇත්තටම එහෙම පරිවර්තනය කරන එකත් හක්ක පනින වැඩක් බං. ඊට ලේසියි ස්ව නිර්මානයක් කරන එක. ඔච්චර වගකීමක් නෑනෙ. /

            හෙහ්, හෙහ්, කියල වැඩ නෑ හෙන්රි, කතාව සැටිපිකට් ටෘත්….

            ස්ව තන්ත්‍ර නිර්මාණයක් කරන එක ගේමක් නෑ බං…අපිට හිතෙන හිතෙන දේ ලියන්න පුළුවන්…අඩේ..පරිවර්තනයක් කරනකොට ඒ වගේද? කීයක් නම් දේවල් හිතන්න ඕනද?…මුල් කෘතිය පදනම් වෙච්චි කාල සීමාව,ඒ වගේම මුල් රචකයගෙ භාෂා ප්‍රයෝග..එක් එක් විශේෂිත යෙදුම් යෙදෙන්නෙ කුමන අර්ථයෙන්ද?…මුල් කෘතියෙ රචකයා කියන්ට අදහස් කලේ මොකක්ද?…ඔන්න ඔය වගෙ මෙකී නොකී කරුණු කාරණා මහ ගොඩක් සළකල බලන්ට ඕන පරිවර්තනයක් කරද්දි..

            එහෙම නැතුව ආ, ඕක මොකක්ද පරිවර්තනයි කරන එක..ඩික්ෂනරියක් දිගඇර ගත්තම ඕක කජු කනව වගේනෙ කියල හිතල කරන පරිවර්තන වලින් හෙරෙන්නෙ රචකයාටයි පාඨකයටයි දෙන්නටම ලොකුම අසාධාරනයක්….දැන් තියන පරිවර්තන සීයට අනූ නමයක්ම අන්න ඒ වගෙ ශබ්ද කෝෂ පරිවර්තන…

            ඒ අතින් ඒ.පී. ගුණරත්න, ඩේවිඩ් කරුණාරත්න, දීගොඩ පියදාස, කිර්ති කලහේ, දැදිගම වී. රුද්‍රිගු,…අන්න මල් තියල වඳින්ට ඕන මිනිස්සු…

             
  21. iamdeejay

    සැප්තැම්බර් 4, 2012 at 12:05 ප.ව.

    ඩුඩ්,

    ෂා!!!!!!!!!! ඔයාගෙ ගේ සිංහලට පරිවර්තනයෙන් Andy Griffiths ගේ ඔරිජිනල් කතාවේ රසවත් බවට කිසිම හානියක් සිදුවෙලා නෑ.

    ඔයා හරිම ලස්සනට මෙ කතාව සිංහලට පරිවර්තනය කරලා.ආහ්! මං ඔයා ඇදපු චිත්‍රය දැක්කේ මෙ පබ්ලිශ් කරපු පොස්ට් එකෙන්, මොකද ඔයා මේක අඳින කොට මං නිදා ගන්න ගියානේ හුගක් රෑ වුන නිසා. 😀 .

    පරිවර්තනයයි, චිත්‍රයයි සුපර්බ්.😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 10:19 පෙ.ව.

      අන්න කතා දෙකම කියවපු එක්කෙනෙක්. හරිම සතු‍ටුයි, පරිවර්තනයෙන් හානියක් වෙලා නෑ කියලා අහන්න!
      ස්තුතියි අගය කිරීමට පරිවර්තනයයි, චිත්‍රයයි දෙකම.

       
  22. සිරාගෙ කාමරේ

    සැප්තැම්බර් 4, 2012 at 1:18 ප.ව.

    ටිකක් වෙලා ගියා මොන අටමගලක්ද මේ කියන්නෙ කියලා තේරුම් ගන්න… පස්සෙ තේරුම් ගත්තා මේ යම්කිසි උපුටාගැනීමක් කියලා… ඇත්තටම හොදට පරිවර්ථනය කරලා තියෙනවා… නරකද මේ පොත් සීරීස් එකම පරිවර්ථනය කරලා කර්තෘගෙ අවසරයත් අරන් ලංකාවෙදි සිංහල පොතක් විදියට පළ කලොත්… කවරේ Art Work එක මගේ ගානෙ නිකං………

     
    • Naleen Dilruksha

      සැප්තැම්බර් 4, 2012 at 1:41 ප.ව.

      හෙලෝ සිරා…..
      ප්‍රකාශකයෙක් සොයාදීම මම අනිවාර්යයෙන්ම කරලා දෙනවා.

       
      • සිරාගෙ කාමරේ

        සැප්තැම්බර් 4, 2012 at 4:59 ප.ව.

        ඔය තියෙන්නෙ තවත් මොනවද ඕනෙ… හෙන්රි අයියා වැඩේ දෙමුද ? බැට්ට ගහේ තියෙද්දි ඇට්ටි බිම හැලෙන්න…

         
        • Naleen Dilruksha

          සැප්තැම්බර් 4, 2012 at 5:37 ප.ව.

          සිරාවටමයි කියන්නේ සිරා… මම හොයලා දෙනවා. හෙන්රි මම දැකලවත් නෑ ඒත් ඌ අපේ ඉස්කෝලෙ එකෙක්. මේ දේ මට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. නුඔයත් ජය…

           
          • henryblogwalker the Dude

            සැප්තැම්බර් 5, 2012 at 10:29 පෙ.ව.

            සිරා සහ නලීන්: අපි තව කතාවක් දෙකක් දාලා බලමු පාඨක ප්‍රතිචාරය. අනික පොතක් හැටියට ගහන්න ප්‍රකාශකයගෙ/ලේඛකයගෙ අවසර අවසර අරන් කරන්න ඕනෙ දෙයක්නෙ.

            අනික් කාරනාව මම මේ බ්ලොගේ කරන්නෙත් කාලයත් එක්ක සටනක් කරමින්. මේ රස්සාව සෑහෙන කාලයක් ශ්‍රමයක් වැයවෙන එකක්. ඉතින් වෙලාව හරිම ප්‍රශ්ණයක්. සමහර වෙලාවට මේ බ්ලොග් ලියන්න, කමෙන්ට් දාන්න, කමෙන්ට් වලට රිප්ලයි කරන්න, චිත්‍ර අඳින්න හොරකම් කරන්නෙ නිදා ගන්න තියෙන වෙලාව.

            හැබැයි උඹලා දෙන්නටම ස්තුතියි බොක්කෙන්ම ඒ අදහසට.
            මේ දවස් වල නම් යකා බැඳගත්තා වගෙ වැඩ. තව කතා කීපයක් දාලා බලමු.

            ප.ලි: තව කෙනෙක්ගෙ පොතක් පරිවර්තනය කාන එක මම පුද්ගලිකව ආසා කරන දෙයක් නෙවෙයි එච්චර, ස්ව නිර්මානයක් මිස. මම මේක කලේ මම කියවපු ලස්සන පොතකට මගෙ යාලුවන්ගෙ ආකර්ශනයක් ඇති කරලා, ඒක කියවන්න සලස්වන්න. යකෝ දැන් වෙන්නෙ මටම ඉතුරු ටිකත් ලියන්න.😀

             
  23. ලකීසිරි

    සැප්තැම්බර් 4, 2012 at 1:24 ප.ව.

    ඉතුරු ටිකත් ඕනද… ඔන්න ඉතින් මටත් මලේ හොඳම එක පනිනවා.. ඉතුරු ටිකත් ඕන තමයි :)…
    Anyway පරිවර්තනය නම් ටොප් ක්ලාස්..

    ප.ලි.
    ඉතුරු ටිකත් ඕනද කියල ඇහුව නිසා වෙනද වගේ කොමෙන්ට් නොකර මාරු වෙන්න බැරිවුනා..උප්පරවැට්ටියක්ද මන්දා  :)

     
  24. Amarasinghe Sujatha

    සැප්තැම්බර් 4, 2012 at 3:19 ප.ව.

    “I envy you” Dude.

    හෙන්රි මට හරි ඉරිසියයි.

    අහක යන පොතක් අරං ලස්සනට පරිවර්තනය හෝ අනුවර්තනය කරලා. මට ජීවිතේට බැහැ නෙව මෙහෙම හිත යන විදියට කතාවක් කියවල හිංගලට හරව ගන්න. මම විඳිනව උපරිමයට. නමුත් වෙනත් කෙනෙකුට රසය දැනෙන විදියට කියාගන්ට බැහැ මට.

    ඒ මදිවට බලපල්ලාකො වැටෙන කොමෙන්ට්. දැං ඉතිං නවත්වනු බැහැ. දිගටම ලියන්න වෙයි. පරිවර්තනය එළිදාන්නත් වෙයි. ජය නුඹට හෙන්රි!!! සදා ජය!!!!!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:01 පෙ.ව.

      හරිම සතු‍ටුයි ඒ කමෙන්ට් එකට නම්. කොලර් එක වෙන උස්සන්න බෑ ටයි පොල්ල දාලා බෙල්ල හිර කරං ඉන්න නිසා, කවිකාරි! (මේ ඉස්කෝලෙ ඉන්නෙ, ඒකයි)😀
      අපේ කවිකාරිටත් ජයෙන් ජය!

       
  25. chami4u

    සැප්තැම්බර් 4, 2012 at 3:25 ප.ව.

    කථාවනම් ලස්සනයි වගේ… හොදට පරිවර්තනය කරලා තියෙනවා… ඔකේ ඉතුරු ටිකක් ඉක්මනටම බලන්න පුළුවන් වෙයි නේද ?

     
  26. හංසකිංකිණි

    සැප්තැම්බර් 4, 2012 at 3:51 ප.ව.

    ඇන්ඩි කියන නම මොහොතකට අමතක කරල මං නං මවාගත්ත ඩූඩ් පොඩි කාලෙ අම්මටයි තාත්තටයි මෙහෙම කරදර කර කර වාහනේ යන හැටි!!…
    ඊට පස්සෙ කතාව ඔස්ට්‍රේලියාව දිහාට කැරකුණාම තමයි ඔන්න ඇත්ත ඇන්ඩි කතාවට ආවෙ!!
    හරිම ලස්සවයි අයියෙ… දෙවනි කොටසක් ඕනෙද කියල ඇහුව?? ඔය ඇත්තටමද උඹ අපෙන් අහන්නෙ??
    මෙලහකටත් බාගයක් විතර ඉවර ඇති නෙ..කෝලං නොකර හෙට අනිද්දට දානවද??

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:06 පෙ.ව.

      ඇත්තෙන්ම මම කොච්චර මැරෑටි වැඩ කලත් තාත්තට ඔහොම වද දුන්න බවක් මතක නෑ. මගෙ පැටව් දෙන්න වුනත් ඔහොම වාත කරන්නෙ නෑ බං!
      ඒ වුනාට මූත් මරු චරිතේ! උගෙ තාත්තත් ඌ වගෙම තමයි. මම පස්සෙ දාන්නම්කො අනිත් කතාවක් දෙකකුත්!

      හරි මැඩම් දාන්නම්!

       
  27. Raigama

    සැප්තැම්බර් 4, 2012 at 4:19 ප.ව.

    හෙන්රි, ඇන්ඩි කියන්නේ මෙහෙ ළමයින්ගේ ප්‍රියතම කතුවරන්ගෙන් එක කෙනෙක්. මගේ පුතාලගේ පොත් රාක්කයේ ඇන්ඩි ගේ පොත් දෙක තුනක් නැතිවෙන්න බැහැ. ඊටත් වැඩියෙන් මෙයාල පුස්තකාලයෙන් අරන් බලල ඇති. මා පුතාලට දැනට වසර කීපයකට පෙර පොත් තෝරන කොට අර පස්ස එළියේ දාගෙන ඉන්න පින්තුරේ තියන පොත් දැකලා මුලින් හිතුවේ ජරාව කියලා. නමුත් ඇතුලත එහෙම නැති බව දැක්කා. “සම්භාව්‍ය” නැති උනාට ළමයින්ගේ කියවීම දියුණු කරන්න දන්නා හොඳ කතුවරයෙක්. ඔහුත් ඔබ වාගේ ඉංගිරිසි ගුරුවරයෙක් හැටියටත් මා හිතන්නේ එක්තරා කාලයක් වැඩ කර තියනවා. ඔබට තියෙන්නේ, අවසර අරන් සම්පුර්ණ පොතක් පරිවර්තනය කරලා ප්‍රකාශකයෙකු හොයා ගෙන ලාංකික ළමයින්ට කියවන්න ඉදිරිපත් කරන්න. එයට ගැලපෙන කෙනා ඔබ තමා

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:17 පෙ.ව.

      මම හිතුවා ඇන්ඩි ඕස්ට්‍රේලියාවෙ ජනප්‍රිය ඇති කියලා. රයිගම ඔය කියන්නෙ THE DAY MY BUM WENT PSYCHO පොත වෙන්න ඕනෙ. “Don’t judge a book by its cover!” කියන එක නැවත වතාවක් ඔප්පු වුනා නේ? ඉස්සර මම James Hadley Chase පොත් බස් එකේදි කියව කියව යනකොට කවරෙ දකින මිනිස්සු හිතන්නෙ වැරදියට නිසා, පිට කවරෙකුත් දාගෙන යනවා!😀
      ඒ අදහසටත් ස්තුතියි, රයිගම්. තව දෙක තුනක් පරිවර්තනය කරලා බලන්නෙ ඕනෙ ඉස්සෙල්ල. මේ දවස් වල අර මොකාටද වගෙ වැඩ අධිකයි රයිගම්!

       
  28. Sithi

    සැප්තැම්බර් 4, 2012 at 4:59 ප.ව.

    ඉක්මනට දාන්න අනිත් කොටස.. අමුතු කාථාවක් උනත් අමුතු හැගීමක් තියනවා..

     
  29. සිඳු

    සැප්තැම්බර් 4, 2012 at 5:09 ප.ව.

    ඊළඟ කොටසත් ඕනද?? මේ මොනව අහනවද? මම මේක කියවගෙන ගියෙ පිස්සුවෙන් වගේ. මොකද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව හිටියෙ. මම හිතුව හෙන්රි අයියගෙ පුතාගෙ වැඩක්ද කියලත්. ලංකාවෙ නැද්ද දන්නෙ නෑ මේ පොත් ටික? කොහොමද මම මේ ඇන්ඩි ව දැනගෙන නොහිටියෙ?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:26 පෙ.ව.

      බොහෝම ස්තුතියි සිඳූ ඒ ඇගයීමට. මගෙ කොල්ලයි මායි මට ඔහොම කතා කරගන්නෙ නෑ.

      ලංකාවෙ ඇති නේද? මම ලංකාවෙන් අරන් නෑ මෙයාගෙ පොත්. නමුත් ලංකාවෙත් නැති දෙයක් තියෙනවද, හොයලා බැලුවොත්. ඇන්ඩිගෙ තියෙනවා “Just Series” එකක්. අර වෙබ් සයිට් එකේ හරි විකිපීඩියා එකේ නම කොටලා හරි බලන්නකො.

      ඔයා නොදැන ඉන්නෙ මෙහෙමයි සිඳු. අපි හුඟක් වෙලාවට අනුන් රෙකමෙන්ට් කරන පොත්නෙ බලන්නෙ. සමහර වෙලාවට ගවේශනය කරනකොට තමන්ගෙ දේශීයව එච්චර ප්‍රසිද්දියක් නැති වුනත් හරිම නියම පොත්, ලේඛකයො. සින්දු, ගායකයො. ‍ෆිල්ම්, නලුවො හෙම හම්බ වෙනවා, නිධාන හම්බවෙනවා වගෙ. නැත්ද?

       
  30. රූ

    සැප්තැම්බර් 4, 2012 at 5:18 ප.ව.

    මට ඉස්සෙල්ලාම හිතුනෙ ඩූඩිගෙ පොඩ්ඩා ගැන කතාවක් කියලා..
    හරිම ලස්සනයි..දිගටම පරිවර්තනය කරන්න නැත්නම් අපේ කංකරච්චලේ අහලම එපා වෙයි…!!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:31 පෙ.ව.

      බොහෝම ස්තුතියි රූ!
      මේක මිහිරි කංකරච්චලයක් කියලා කියන්න පුලුවන් රූ. 🙂
      ඔයා දන්නවද ලංකාවෙ ඉන්නකල් පොලේ යන එක මහ වාත කරච්චල් වැඩක්. අර මිනිස්සු අස්සෙ තෙරපෙන එක, වෙළෙන්දන්ගෙ ඝෝෂාව හෙම.😦
      අද ලංකාවට ගියාම කරන්න ආසාවෙන් ඉන්න එකක් තමයි පොලේ යන එක.
      ජීවිතේ හැටි ඔහොමයි.
      මිහිරි කංකරච්චලයක්!

      මේකත් කන්කලු කංකරච්චලයක්!🙂

       
  31. ළිහිණි

    සැප්තැම්බර් 4, 2012 at 8:01 ප.ව.

    සිරාවට කියවාගෙන යද්දී හිතුනෙම ඩූඩ් ලියාපු එකක් කියලා. නියමයි…අයියෝ පොත් හොයාගෙන කියවන්න බෑ..ඉතිරි ටික ඕනෙ…

     
  32. bindi2

    සැප්තැම්බර් 4, 2012 at 8:21 ප.ව.

    ෂා ස්තුතියි මේ කතාවට . මේ වගේ ඇට්ටර ළමයි ඉන්න පොත් කියවන්න අපේ උන් දෙන්නත් ආසයි. සොයල බලන්න ඕන . ඒ වුනාට මන් ආසයි සිංහලෙන් කියවන්න . අපි එපා කියයි කියලද ඊ ළඟ කොටස ඕනද කියල ඇහුවේ . අපි නම් එපා කියයි

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:43 පෙ.ව.

      ඔයාටත් ස්තුතියි බින්දි (මොකක්? බිංදි 2 කියන්නෙ බොලේ දැන් උඹලා දෙන්නෙක් ඉන්නවද? අනේ පව් අර අහිංසකයා! Double the Porial!!!)😀
      ඇට්ටර ලමයින්ගෙ දෙමව්පියොත් උන්ට පේන්නැති වෙන්න ඇට්ටර වැඩ වලට හිනාවෙන එකේ Oයාගෙ පොඩි උන් ආසා වෙන එක අහන්න දෙයක්ද?

       
  33. Gold fish

    සැප්තැම්බර් 4, 2012 at 9:23 ප.ව.

    දාන්න දාන්න ඊළඟ කොටසත් දාන්න… මේක නම් මරු වැඩක් අයියේ…

     
  34. මඩිස්සලේ නිශාන්

    සැප්තැම්බර් 4, 2012 at 10:00 ප.ව.

    ඊළඟ කොටසත් ඕන
    මමත් මේ වගේ කතා වලට ආසයි

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:48 පෙ.ව.

      “මූ ඉල්ලන්නෙම ගේම. හරි පුතා. උඹ හරි පොර ලඟට ඇවිත් තියෙන්නෙ.”
      කතාවෙන් උපුටාගත්ත මේ කෑල්ල මෙතනටත් ‍ෆිට් වෙනවා ගානට.😀 ස්තුතියි නිශාන්.

      මොකද බන්ස් අර අපිව එලියට දාලා දොර වහලා තිබ්බෙ බෙල් ස්විච් එකත් ගලවලා?😮

       
  35. Senna

    සැප්තැම්බර් 4, 2012 at 10:00 ප.ව.

    පරිවර්තනයනම් අති සාර්ථකයි.. අන්තිමට මෝඩ ප්‍රශ්නයක් අහපු එක ගැන තමා දුක..

    මැස්සො අල්ලන්ඩනම් කෙලින්ම මැස්සට ගහලා බෑ.. පැත්තට ගහන්ඩ ඕනා.. එතකොට නිකම්ම අහුවෙනවා.. අත්දුටුවයි

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:53 පෙ.ව.

      මෝඩ ප්‍රශ්ණෙ මේකනෙ සෙන්නා. මම අදහස් කලේ යාලුවො කට්ටියට අලුත් දොර පෙන්නලා නිකං ඉන්න. දැන් එහෙම කරලා මදි වෙලා තියෙන්නෙ.

      මැස්සො අල්ලන්න මම භාවිතා කලේ මැස්සගෙ ඉස්සරහින් ගහන එක. විශේෂයෙන්ම ඌ වහලා ඉන්නකොට. ඌ ටේක් ඕෆ් කරන්නෙ කෙලින්ම අතට. ඒකත් අත් දු‍ටුවයි.

      බොහෝම ස්තුතියි සෙන්නා!

       
  36. Sumith Niriella

    සැප්තැම්බර් 4, 2012 at 10:05 ප.ව.

    වෙලාවක් තියෙනවනම් මුළු පොතම ට්‍රාන්ස්ලේට් කරල ප්‍රින්ට් කරමු.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 11:57 පෙ.ව.

      ස්තුතියි සුමිත්. මේ පොත් සීරීස් එකක් “Just Series” කියලා. මට හිතුනා ඊ ලඟට සීරීස් එකේ වෙන පොතකින් වෙන කතාවක් කරන්න.

       
  37. ravi

    සැප්තැම්බර් 4, 2012 at 10:24 ප.ව.

    ඒ…බාං..හෙන්රියො…උඹ පොතක් ගහනව නං මාත් දෙඤ්ඤං සපෝට් එකක්…

    ඔන්න මෙහෙමයිළු හොඳද?….මම ඔය අනික් උදවිය වගෙ නෙවෙයිනෙ..හැමෝම උදව් කොරන්ට ඒවි මුලිම්ම..ඒත් අන්තිමට වැඩේ ජෝං බාස්ට ගිහාම කවුරුත් නෑ…ඒ නිසා ඔන්න කොල්ලො මම මෙහෙම උදව්වක් කොරන්නම්….

    අපේ ලොක්කිගෙ මාමණ්ඩිගෙ හීං බාප්පොච්චිගෙ ලොකු මස්සිනා කරන්නෙ පරන පොත් එහෙම එකතු කරල විකුණන බිස්නස් එකක්..මම ඌට කියන්නං උඹේ පොත් ටික ඔක්කොම ගන්ට කියල කිලෝ ගාණට…දැනට මාකට් ප්‍රයිස් එකට සත පණහක් මම වැඩියෙං ඉල්ලල දෙඤ්ඤං හොඳේ…යාළු පිට් එකට…හෙහ්, හෙහ්,…

    අන්න එහෙමයි අපි යාලුවො වෙනුවෙං කොරන්නෙ…දන්නවද?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 5, 2012 at 12:02 ප.ව.

      අනේ මම නොදන්නවයැ බන්ස්, උඹ ගැන. මේ හිස් බෝතල් වගේකුත් තියෙනවා ඔක්කොම ඩිපොසිට් තියලා ගෙනාපුවා, සීල් එකත් ගහලා තියෙන්නෙ. ඩිපොසිට් ගානම ඕනෙ නෑ උඹ යාලුවා හන්දා දෙකෙන් පංගුවට දෙන්නං.
      අන්න එහෙමයි අපි යාලුවො වෙනුවෙං කොරන්නෙ…දන්නවද?😀

       
  38. කම්මල

    සැප්තැම්බර් 5, 2012 at 11:24 පෙ.ව.

    විශිෂ්ට පරිවර්තනයක් ඩුඩ්,

     
  39. ගැමියාගේ පත් ඉරුව

    සැප්තැම්බර් 5, 2012 at 1:04 ප.ව.

    මම මේ වගේ අමුතු කතාවකට කියවලා තියෙන්නේ විලම්බීත හාමු කියන කතාව විතරයි.අමුතු ලස්සනක් තියෙනවා කියලා දැනෙනවා.දිගටම කොටස් ටික පල කරන්න පුළුවන්නම් සෑහෙන්න වටිනවා….

    ඊළඟ කොටසෙදි අර අත වනලා ෆිට් කරගත්තු බයිකර් මෑන් ඇවිත් ඇන්ඩිව නග්ගගෙන යයි කියලත් හිතෙනවා.බලන්ටෝන ඉතින් ඒක එහෙම්ම වෙයිද කියලා…

    මම මුලින්ම හිතුවේ මේක ඩුඩිතුමාගෙයි පොඩි ඩුඩිගෙයි සංවාදයක් කියලා.පස්සෙ තමයි සිද්ධිය තේරුනේ…

    ඉංග්‍රීසි පොත් වැඩිය මට කියවන්න හම්බුවෙලා නෑ…. මඩොල් දූව ඉංග්‍රීසි පරිවර්තනයයි.Village by the sea කියන කෘතියයි,twilight පොත් හතරයි විතරමයි මම කියවලා තියෙන්නෙ.රවුම් බෝල අකුරු කියවනවට වඩා වෙහෙසක් දැනෙනවා කියලා හිතෙනවා ඉංග්‍රිසි අකුරු කියවද්දි….

    ඊළඟ කොටසක් ඕනෙමයි…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 6, 2012 at 5:00 ප.ව.

      මම මෙගා සීරීස් වලට වැඩියෙම ආසා නෑ ගැමී.
      ඊ ලඟට වෙන දේ ගැන කරපු අනුමානය ගන කිව්වොත් ගැමී සහ පනුච්චි දෙන්නම හොඳ මීටර් කියලා කියන්න පුලුවන්. මේ වෙනකොට ඔයාලට ඒ උත්තරේ ලැබිලා ඇති.
      මොකද බොල ඩූඩ් තුමා කියන්නෙ ඒ ගමන? අර මන්ත්‍රීතුමා වගෙ?😀
      ඉංග්‍රීසි පොත් කියවන්න ලැබිලා නෑ කියන්නෙ. ඒ කම්මැලිකමනෙ, නැත්ද? ඉතින් ගැමියො ඉංග්‍රීසිවලත් o e c වගෙ රවුම් අමුරු කොච්චර තියෙනවද?😀

       
      • ගැමියාගේ පත් ඉරුව

        සැප්තැම්බර් 6, 2012 at 8:21 ප.ව.

        ඒක පණ දාගෙන හොයාගෙන කියෙව්වේ twilight ෆිල්ම් එක සෑහෙන්න හිට් වෙච්චි හින්දා.ඉතින් ෆිල්ම් එකේ අවසානය දැනගන්න ඕන වුනා මොන ක්‍රමෙන් හරි.ඒකයි පොත් සෙට් එක කියෙව්වේ.කියවද්දි චිත්ත රූප මැවෙන පට්ට කතාවක්.ෆිල්ම් එක පට්ට සවුත්තු වුනා අන්තිමේ.බලාපොරොත්තු වෙච්චි රූප තිබුනේ නැති නිසා.

        රවුම් අකුරු නම් තියෙනවා තමා ඒත් සිංහල අකුරුයි ඉංග්‍රීසි අකුරුයි තියෙන පොත් ගත්තම ආසා හිතෙන්නේ සිංහල එක කියවන්න තමා.ඉතින් පරිවර්තන සරන තමා හැම වෙලේම.ඉංග්‍රීසි පොත් සෑහෙන්න ගනන්නේ… අපේ පුස්තකාලෙත් රාක්ක තුනයි තියෙන්නේ ඉංග්‍රීසි පොත් වලට ඒවායින් බාගෙට බාගයක්ම සිංහල පරිවර්තනය වෙලා තියෙනවත් එක්ක….අනික්වා පරිගණක කේස්…. ඉංග්‍රීසි කතා නොකියෙව්වට E-books එහෙම කියවන්නේ දත කට මැදගෙන…

        තාම අළුත් කොටස කියෙව්වේ නෑ දැන් යන්ටෝන ඒ පැත්තේ

         
  40. DDT

    සැප්තැම්බර් 5, 2012 at 1:23 ප.ව.

    මමත් මුලදි හිතුවෙ මේ අපි දන්න කියන තාත්තෙකුයි පුතෙකුයි අතරෙ සීන් එකක්ය, අද පුතා ලියලය කියල.😀
    යොවුන් කතා නම් මම ඉස්සරවෙලාම කියෙව්වෙ කුලසේන ෆොන්සේකා මහත්මයාගෙ තුන් යහළු වික්‍රම පොත් තුන, මතක හැටියට 7 වසරෙ ඉද්දිද කොහෙද. ලංකාවෙ මේ ජාතියෙ කතා ලියපු තවත් අමතක කරන්න බැරි අය තමයි ඉලංගරත්න මහත්මය, දෙනගම සිරිවර්ධන, ආචාර්ය දොන් පීටර් පියතුමා. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ‘මඩොල්දූව‘. ඊට පස්සෙ නම් ඉනිඩ් බලයිටන්ගෙ කතා, ටොම් සෝයර්, හාර්ඩි බෝයිස් කලෙක්ෂන් එක කියෙව්ව මතකයි. හෙන්රි අයිය කියන මේ ලේඛකයගෙ පොත් නම් මම කියවල නෑ. ඒව හුඟක් රසවත් වගේ. ළමයෙක්ගෙ දෘෂ්ඨියෙන් ලියන පොත්වල අමුතු හාස්‍යය රසයක් තියෙනව. ඊඩිත් නෙස්බිට් මහත්මියගෙ ඒ වගේ පොත් දෙකක් චන්ද්‍ර අනගිරත්න මහත්මය පරිවර්තනය කරල තියෙනව ‘කෝච්චියෙ ළමයි“, “දඟකාර ළමයි“ කියල. හරිම රසවත් පොත්.
    ඕනද කියල අහ අහ ඉන්නෙ නැතුව ඔය ඉතුරු ටිකත් පරිවර්තනය කරල දාන්නකෝ, ආයෙ මොකටද අගේ කරන්නෙ.

     
    • ගැමියාගේ පත් ඉරුව

      සැප්තැම්බර් 5, 2012 at 11:14 ප.ව.

      තුන් යහළු වික්‍රමය කුලසේන ෆොන්සේකාගේ නෙමෙයි කියලයි මට මතක.වෙන තරුණ කෙනෙක්ගේ වෙන්න ඕනේ.නම නම් මතක නෑ… කුලසේන ෆොන්සේකා මහත්මයාගේ කතාවක් වෙන්නැති සිරීගේ වාසනාව වගේ නමක් තියෙන පොත.අර අන්තිමට මැජික් පොලිෂ් වගයක් පුටුවක ගෑවාම පුටුව අහසට යන සිද්ධියක් තියෙන්නේ…

      අයියා කියලා තියෙන අනික් පොත් මම කියවලා තියෙනවා සේරම මම ආසම පොත් ඕවා.විලම්බීත හාමු කියවලා තියේද?? ඒකත් ඩුඩිතුමාගේ පෝස්ට් එකේ ජාතියෙම පොතක්

       
      • DDT

        සැප්තැම්බර් 6, 2012 at 4:44 ප.ව.

        නැහැ ගැමියා මල්ලි, තුන් යහළු වික්‍රමය කුලසේන ෆොන්සේකා මහත්මයගෙ තමයි. ඒකෙම අනෙක් පොත් දෙක සෝමපුර වීරයෝ, කල්ලන්දූවේ මුතු කොල්ලය. තුන් යහළු වික්‍රමය යොවුන් නවකතාව 1984 රාජ්‍ය සම්මානය ලබපු පොතක්. සමහර විට මල්ලි කියන්නෙ ඒ නමින් පහු කාලෙක වෙන කෙනෙක් ලියපු පොතක් ගැන වෙන්න පුළුවන්. ඔබ කියන අනෙක් පොත ‘සිරිමල්ගේ වික්‍රම‘ වෙන්න ඇති. ඒ පොත නම් මට කියවන්න තවම හම්බවුනේ නැහැ. ඒ හුඟක් පොත් දැන් හොයා ගන්ට නැහැ, අළුත් මුද්‍රණ නැති නිසා වෙන්න ඇති. තුන් යහළු වික්‍රම පොත් තුනෙන් දැන් මගේ ළඟ තියෙන්නෙත් සෝමපුර වීරයෝ පොත විතරයි. ‘විලම්බීත හාමු‘ නම් මට කියවන්න හම්බවෙල නෑ, ඒක කාගෙ පොතක් ද? නැත්නම් ප්‍රකාශකය කව්ද කිව්වනම් හොයා ගන්න පුළුවන් වෙයි. ස්තූතියි දැනුවත් කිරීමට.

        @ හෙන්රි අයියා,
        හෙන්රි අයියා දෙවෙනි කොටසත් දාල තියෙනව දැක්කා, ස්තූතියි අපේ ඉල්ලීම ඉෂ්ඨ කරනවට.

         
        • henryblogwalker the Dude

          සැප්තැම්බර් 6, 2012 at 5:06 ප.ව.

          @DDT ෂාහ්, අපේ ඩීඩීටියා නියම පාඨකයෙක්නෙ. මමත් ඔය පොත් ඔක්කොම වගේ කියවලා තියෙනවා මට මතක විදියට. කෝච්චියෙ ළමයි කිව්වෙ The Railway Children” වෙන්නැති නේ?
          @ගැමියෝ, ඩූඩ්තුමා කියන්න එපා බොල ලැජ්ජාවෙ බෑ!😀
          බොහෝම ස්තුතියි කොල්ලනේ.🙂

           
          • ගැමියාගේ පත් ඉරුව

            සැප්තැම්බර් 6, 2012 at 8:14 ප.ව.

            @DDT,
            විලම්බීත හාමු කියන්නේ පරිවර්තනයක්… Don Quixote of La Mancha කියන පරිවර්තනය තමා විලම්බිත හාමු කියලා පරිවර්තනය කරලා තියෙන්නේ.ඔය පොත ගැන ටොම් සෝයර් පොතෙත් තිබුනා.ඒ නිසා තමා මට හිතුනේ ඒක කියවලා බලන්නත් .පොතේ ඉස්සරහින්ම ගහලා තියෙනවා උඩ තියෙන ඉංග්‍රිසි නම…පරිවර්තනය මහින්ද කරුණාරත්න

            අඩේ අයියේ සොරි වෙන්න ඕනේ නම පැටලුනා.තුන් යහළු වික්‍රම පොත් තුන කිව්වම මට එකපාරටම මතක් වුනේ අර බාලදක්ෂයො තුන්දෙනෙක් එක්ක කරපු නෙල්ලි කැලේ වීරයෝ,වනරජ දහන පොත් සෙට් එක.සෝමපුර වීරයෝ කිව්වමයි මීටර් වුනේ කුලසේන ෆොන්සේකාගේ පොත්ටික…

            @ඩුඩිතුමානෙනි,
            නිකමට හිතුනා ඩුඩිතුමා කියන්න කියලා බැලුවාම මාර කික් එකක් ආවා ඒක හොඳයි වගේ.අනික ඉතින් සර් කෙනෙක්නේ ගරු සරුවක් තියාගන්නත් එපැයිනේ.ඩුඩි තුමා කිව්වම ලේසියි ඩූඩ්තුමා කියනවට වඩා… හොඳට බලන්ඩෝ මම “ඩි” පාවිච්චි කලේ…

            ඩු+ඩිස්ට්‍රක්ෂන් ඩි=ඩුඩි අළුත් කොටස බලන්න යමි දැන්

             
              • DDT

                සැප්තැම්බර් 6, 2012 at 11:10 ප.ව.

                ස්තූතියි ගැමියා මල්ලි. මහින්ද කරුණාරත්න මහත්මයගෙ පරිවර්තනයක් නම් අනිවා ඒක හොඳ ඇති, එයාගෙ කෝමා, සිත්තමක අසිරිය, නයිල් නදියේ මනාලිය පරිවර්තන මම කියවල තියෙනව. මිනිස් අවයව ජාවාරමක් ගැන කියවෙන ‘කෝමා‘ කියවල දවස් ගානක් යනකන් මට ඒ කම්පනයෙන් මිදෙන්න බැරිවුනා, ඒකෙ භාෂාව භාවිතය හුඟක් හොඳ මට්ටමක තිබුණ. හුඟක් පරිවර්තකයොන්ගෙ භාෂාව භාවිතය දුර්වලයි, එතකොට කොච්චර හොඳ කතාවක් වුනත් කියවීම එපා වෙනව.

                 
            • Nimal Bandara

              දෙසැම්බර් 2, 2014 at 2:52 ප.ව.

              මම නිමල් බණ්ඩාර. නෙල්ලි කැලේ වීරයෝ ලියු ලේඛකය . මට සතුටුයි පොත ගැන ලියු සටහනට

               
            • Nimal Bandara

              දෙසැම්බර් 2, 2014 at 2:53 ප.ව.

              මම නිමල් බණ්ඩාර. නෙල්ලි කැලේ වීරයෝ ලියු ලේඛකය . මට සතුටුයි පොත ගැන ලියු සටහනට

               
  41. පරිකල්පන

    සැප්තැම්බර් 5, 2012 at 4:07 ප.ව.

    ඉතුරු කොටස අනිවා ඕනි…

    පොඩි එවුං හිතන්නෙ ලොකු අය හිතන විදිහට නෙවෙයි. වැඩේ කියන්නෙ පොඩි එවුං ලොකු මිනිස්සු වෙද්දි තමන් පොඩි කාලෙ හිතපු විදිහ අමතක කරල දාන එක.

    මේ කතාව කියවද්දි මේ වගේ තව කතා කීපයක් මතක් උනා… හැම එකම මගේ ෆේවරිට්…🙂

    මල්ලිගෙ විත්ති, ටොම් සෝයර්, හරි පුදුම ඉස්කෝලෙ (Totto Chan – The Little Girl at the Window), Dennis the Menace (කා‍ටූන් එක), Ramona and Beezus

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 6, 2012 at 5:07 ප.ව.

      ලොකු මිනිස්සු වෙද්දි තමන් පොඩි කාලෙ හිතපු විදිහ අමතක කරල දාන නිසානෙ පරිකල්පන පරම්පරා ගැ‍ටුමටත් හේතුව. බලා ගියාම අපි යාලුවො ඔක්කොටම සමාන රුචිකත්ව තියෙනවා නේ. ස්තුතියි පරිකල්පන.🙂

       
  42. sujiya

    සැප්තැම්බර් 5, 2012 at 5:37 ප.ව.

    ශෝක් කතාව

     
  43. සෑම්

    සැප්තැම්බර් 6, 2012 at 9:31 පෙ.ව.

    ස්තුති හෙන්රියා..

    ඇත්තටම මම හිතුවේ උබට වුන දෙයක් කියලා. රසවත් කතාවක්.. ඉවර වෙනකල් ඇස් උඩ ගහින් කියෙව්වා..

    හොයාගෙන බලන්න වෙලාවක් නැතිවෙයි😦

    ජය!

     
  44. සුසර විජේරත්න

    සැප්තැම්බර් 6, 2012 at 10:26 පෙ.ව.

    මේක නම් ඉස්තරම්
    පරිවර්තන කියන වචනේ මේ කට අදාල වෙන්නේ නැහැ
    කතාවක් කියවල විඳලා ඒක තමන්ගේ බසින් තමන්ගේ රටේ උපහැරණ සහ යෙදුම් එක්ක රසවත්ව අපහු කියන එකට කියන්නේ අනුවාදය .
    අපට සමීප වෙච්ච බොහෝ ළමා කතා ඒ වගේ ” මැන්චෝසන් චාරිකා” සහ “කැප්ටන් රුන්ගල්” හොඳම උදාහරණ.
    ඒවගේ දේවල් කරන්න පුළුවන් හොඳ කතා කියන්නෙකුට විතරයි .
    සුබ පතනවා .

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 6, 2012 at 5:10 ප.ව.

      සුසර, බොහෝමත්ම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ලස්සන කමෙන්ට් එකකුත් කරලා ගියාට.
      මැන්චෝසන් මමත් කියවලා තියෙනවා. ඇත්තෙන්ම මරු පොත.🙂

       
    • DDT

      සැප්තැම්බර් 6, 2012 at 11:29 ප.ව.

      ඇත්ත තමා, ඔය අනුවාදය කියන එකෙයි පරිවර්තනයක් කියන එකෙයි වෙනස මාත් ඉස්සෙල්ලම අවබෝධ කරගත්තෙ ඊ. ආර්. එරත්නයන්ගෙ ‘රොමාගේ වාසනාව‘ පොතෙන්. ඒක ඉංග්‍රීසි නවකතාවක ආභාෂය ලැබුව කියල හිතන්න බැරි තරමට දේශීය වෙල තිබුණ. පහුකාලෙ රූපවාහිනියෙ මාලානාටකයක් විදියටත් ගියා ඔය කතාව. මතක හැටියට පොතේ මුල ගහලම තියෙනව ඒක Great Expectation හි ඡායානුවාදයක් කියල. අනෙක ඩබ්ලියු ඒ සිල්වා මහත්මයගෙ සමහර නවකතා, කෙටිකතා මේ විදියෙ අනුවාදයන් කියල මම අහල තියෙනව. (හැබැයි එතුම නම් ඒ වගේ විවේචන ඉවසුවෙ නැතිළු)

       
      • henryblogwalker the Dude

        සැප්තැම්බර් 7, 2012 at 11:04 ප.ව.

        මේක නම් DDT, ඡායානුවාදයක් වෙන්න කරපු එකක් නෙවෙයි, අනුවාදයක් විතරයි. වෙලා තියෙන්නෙ හැකි තරම් දුරට අපේ යෙදුම් ඉංග්‍රීසි සෘජු පරිවර්තන වෙනුවට යොදලා භාෂාවේ කෘතිම ආගන්තුක ගතිය නැති කරන්න උත්සාහයක් යෙදීම විතරයි. නමුත් චරිත ස්ථාන සිදුවීම් ඒ විදියටම සිද්ධ වෙන්න හැරලා තියෙන්නෙ දේශීයකරණය නොකර.

         
  45. මී පැටියා

    සැප්තැම්බර් 7, 2012 at 10:14 පෙ.ව.

    මට මුලින් හිතුනේ මේක ඩූඩ් ට සිද්ද වෙච්ච දෙයක් කියලා. මොනවා වුනත් කතාවනම් සිරා. දෙවනි එකත් කියවලා කමෙන්ට් එකක් දාන්නම්..

     
  46. තොටියා

    සැප්තැම්බර් 7, 2012 at 8:39 ප.ව.

    ඉංග්‍රීසි පොත නම් මම කියවලා නෑ.. ඒත් මේ පරිවර්තනය නම් නියමෙට ලියලා… ආ… මම මුලින් හිතුවේ අර චිත්‍රය වූඩ් ඇඳපු එකක්ය කියලා.. පොතෙන් ගත්තු එකක්ද? ඇත්තටම වූඩ් ඇඳපු එකක්ද?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 9:23 ප.ව.

      තොටියා, ඇත්තටම මේ චිත්‍ර අඳින්නෙ මම . එකෙන් මම මාර මානසික සුවයක් ලබනවා. ඔය චිත්‍රයක් අඳින්න පැය කීපයක් යනවා සමහර විට. අර 2 කොටසෙ කාර් එකේ ෂෙල් එක අඳින්න මට සෑහෙන වෙලා ගිය නිසා මුලු උදේ වරුවම ගියා ඒක ඉවර කරන්න. ඒක නිසා පෝස්ට් එක දැම්මෙත් හවස් වෙලා.

      ඇයි මම මගෙ බ්ලොග් නේම් එක henryblogwalker the Dude හංවඩුව ගහලා තියෙන්නෙ ඔය. මම මට පුලුවන් හැම විටම මගේම චිත්‍ර අඳිනව විතරක් නෙවෙයි සමහර යාලුවන්ටත් ඇඳලා දීලා තියෙනවා. අර ඔබා අයියගෙ බ්ලොග් එකේ තියෙනවා මම ඇඳලා දීපු චිත්‍ර කීපයක්ම මගෙ හංවඩුවත් එක්ක.

      මම කවදාවත් චිත්‍ර අඳින්න ඉගෙන ගෙන නෑ. මමත් තොටියලා වගෙ කෙම්, ‍ෆිසික්ස්, බයෝ කරපු බුවෙක්නෙ, ඒකයි.

       
      • තොටියා

        සැප්තැම්බර් 7, 2012 at 9:48 ප.ව.

        ෂා… නියමයිනෙ… චිත්‍ර ටික නම් පංකාදුයි.. වෙලාවක චිත්‍ර කතා පෝස්ට් එකකුත් දාමුකෝ

         
  47. චන්දන

    සැප්තැම්බර් 11, 2012 at 10:55 ප.ව.

    මුල් ටික කියවද්දී හිතා ගන්න බැරි උනා මොකක් ද මේ කියල. පස්සේ තමයි ට්‍රැක් එකට වැටුනේ. වෙනස් කතාවක්.ආසාවෙන් කියෙව්ව්. කතාවේ තිබුණු “ගුවන් යානයක කවුළුවකින් මගීන් එලියට විසි වුනු” සිද්ධියක් ඇත්තටම උනා නේද සර් කාලෙකට කලින් රුසියාවේ දීද කොහෙද ?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 16, 2012 at 6:42 ප.ව.

      චන්දනව සාදරයෙන් පිළිගන්නවා. එහෙම කතා මූවීස් වල නම් වෙනවා, ඇත්තටම වුනා කියලා මටත් පොඩි මතකයක් තියෙනවා. අර Air Crash Investigations වැඩසටහනෙත් පෙන්නුවද කොහෙද. මට සර් කියන්න එපෝ. ලැජ්ජයි බං.

       
  48. kuwanna

    සැප්තැම්බර් 14, 2012 at 10:14 පෙ.ව.

    Very funny. I can imagine the picture well. An angry father and a smart son.You let us feel it and I was lost on a road with Andy while reading. Very lively description and I like it very much. I completely agree with ravi. The translators he mentioned are superb and modern translators are not as clever as them. It seems you have a knack for translating books.I have read some other books similar to one you have translated. It describes the life of ‘ Denise’. (Denise the menace)

     
  49. Hiruhimawi

    සැප්තැම්බර් 15, 2012 at 3:05 පෙ.ව.

    ඔන්න අද තමා කියෙව්වේ අන්කල්..පහුවෙලා කියෙව්වත් ගොඩක් ආසාවෙන් කියෙව්වේ..2 නි කොටසටත් ගිහින් එන්නම්කෝ මම..

     
  50. Gaminie Vijith

    සැප්තැම්බර් 23, 2012 at 10:10 පෙ.ව.

    තාත්තලා කියන්නෙ මහා බරක් උස්සගෙන ඉන්න කට්ටියක් මචං. අපේ තාත්තත් මම පුංචිකාලෙ කරපු මරි වැඩවලට තද වෙලා බැනපු හැටි මතක් උනා. You are a born translator machang, keep it up.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: