RSS

85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

06 Sep
85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්.

මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො.

ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ?

මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්!

නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, මම බලාපොරොත්තු වුන හඬට වඩා වෙනස්. ටිකක් ගැඹුරු , උගුරෙන් එන හඬක්!
තාත්තගෙ කාරෙකේ හඬ නෙවෙයි!

බයිකර් මෑන්!!!

මම උඩ පැන, පැන අත වනනවා.
බුවාත් මාව දැක්ක ගමන්, මට අත වනාගෙන ඇවිත්, මා ගාවා නවත්තනවා.
ලඟට, මේ  බුවාගෙ තියෙන්නෙ, අර ඈතින් දැක්කටත් වඩා පිස්සු, විකාර පෙනුමක්.
අර රතු ‍රැවුලෙ ඇලිලා,  පැටලිලා, පිරිලා ඉන්නවා කෘමීන් රංචුවක්!
සමහරුන්ට තවම පණ තියෙනවා!

“ඉතිං?,” බුවා කියනවා. “මේ මගෙ පුංචි යාලුවනෙ! මොකෝ කරන්නෙ තනියෙම මෙතන?”

“අම්මයි, තාත්තයි දැම්මනෙ මාව කාරෙකෙන් එලියට, පයින් එන්න කියලා.”

“හ්ම්හ්… ඒකත් එහෙමද? ඔයා බයික්ස් වලට ආසද?”

“මොනවද මේ කතා!”

“නගින්ඩ.” බුවා කියනවා. “මොකක්ද ඔයාගෙ නම?”

“ඇන්ඩි. ඔයාගෙ නම මොකක්ද?”

“මැක්ස්. සන්තෝසයි අඳුනාගන්න ලැබුනට!”

බුවා මටත් දෙනවා හෙල්මට් එකක්.

“ආ, මේක දා ගන්ඩ.”

ඒකත්, එයා දාං ඉන්න එක වගේමයි.

“එහෙනං අල්ලගන්ඩ,” මැක්ස් කියනවා.

“මොකක්ද අල්ල ගන්නෙ?” මම බෙරිහන් දෙනවා, නමුත් හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් එන්ජිමේ ගෝරනාඩුව නිසා බුවාට ඒක ඇහෙන්නෙ නෑ.

මැක්ස් කරකවනවා ඇක්සලරේටරේ.
මගෙ ආමාශය බිමට පාත් වෙනවා වගෙ දැනෙනවා, බයික් එක අදින ඇදිල්ලට.
මම, මැක්ස්ගෙ ඉන වටේ අත දාලා,  පුලුවන් හයියෙන් අල්ලා ගන්නවා.
හුලඟ හෝ ගානවා. මගෙ මුලු ඇඟම ‘ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්’ ගාලා දෙදරනවා. මම සීතලෙන් ගැහෙන්න ගන්නවා. ෂික්, ජර්කින් එකක් වත් තිබ්බ නම්!

මට ඈත පේනවා අපේ කාරෙක.

“අන්න එයාලා!” මම මැක්ස්ගෙ කණට කෑ ගහනවා.

මැක්ස් ආයෙම කරකවනවා ඇක්සලරේටරේ, කෙලවරටම.  අර මම නූඩ්ල්ස් ‍රැලක් කටින් උරලා ගන්නවා වගේමයි,  යෝද  හාලි ඩේවිඩ්සන් බයික් එක තාර පාර  ගිලගන්නෙ!

අපි කාරෙකට ලංවෙනකොට, මම මැක්ස්ට කියනවා හෝන් එක ගහන්න කියලා. මැක්ස් හෝන් එක දිගටම ගහනවා. මම අත වනනවා. නමුත් කාරෙක නැවතීම කෙසේ වෙතත්, වේගය වැඩි කරනවා. සමහරවිට තාත්තා හිතනවා ඇති. මැක්ස් මොකක් හරි කොක්කක් ඇද ගන්න එනවා කියලා. සමහරවිට හෙල්මට් එක නිසා, මාවත් අඳුනාගත්තෙ නැතුව ඇති.

“මෑක්ස්!” මම කෑ ගහනවා. “අපි යං ලඟට. මං හිතන්නෙ එයාලා මාව ඇඳින්නෙ නෑ.”

මැක්ස් බයික් එක කාරෙකත් එක්ක කරට කර පදිනවා.
මම අත වනනවා.
තාත්තා නහයට කෙලින් ඉස්සරහා බලාගෙන යනවා.

“තාත්තේ,!” මම යටි ගිරියෙන් කෑ ගහනවා. “නවත්තන්ඩෝ!”

ම්හ්ම්, වැඩක් නෑ.
මම අත් දෙකම වනනවා. තාත්තා, ඇස් කොනින් එක පාරක් අපි දිහා බැලුවත්, අඳුනාගත්ත බවක් පේන්න නෑ. එයා කොන්ද කුදු කරගෙන, පාගනවා ලෑල්ලටම.

“පට්ට පට පට! යකෝ මම දන්නෙ නෑනේ අපේ වන්ඩියෙත් මෙහෙම ඇරලා යන්න පුලුවන් කියලා. අඩේ, තාත්තා මෙහෙම එලවනවා නම් හැමදාම, මට අරවගෙ පට්ට කම්මැලි හිතෙන එකකුත් නෑ! හික් හික්!”

මැක්ස් නෙවෙයි සැලෙන්නෙ. මැක්ස් හදනවා කාරෙකට ඉස්සර කරන්න. මෙන්න අපේ තාත්තා – ඔව් ඔව්,  මේ අපේ තාත්තා – අර ඇක්ෂන් මූවීස් වල වගෙ, කාරෙක ඇඟට කපලා, මැක්ස්ව බ්ලොක් කරනවා! කූ………………..ල් නේ!!!! මට මාර ආතල්!

මැක්සුත් වැඩ දන්න නිසා බේරෙනවා. මැක්ස් පොඩ්ඩක් පහු බැහැලා, බයික් එක, කනට වැලි යන්න නවලා, ගන්නවා කාරෙකේ අනිත් පැත්තෙන්, තාත්තා  කලින් හිටපු ලේන් එකට .
දැන් ඔන්න අපි ආයෙ කරට කර, හැබැයි දැන් අපි වැරදි ලේන් එකේ.
මැක්ස් ඔලුව පොඩ්ඩක් හරවලා කෑගහනවා, එන්ජින් සද්දෙට උඩින්.

“එයාලා නවත්තන්නෙ නෑ. ඔයාට පනින්ඩ වෙනවා කාරෙකට.”

මැක්ස් විහිලු කරනවද?

එක්කො එහෙමයි, නැත්නම් බුවාගෙ පිස්සු මීටරේ රතු කට්ට පැනලාද?

“මට බෑ!” මම කෑ ගහනවා.”මම ඔයත් එක්ක ඉන්නවා.”

“හිට ගන්ඩ.” මැක්ස් කියනවා. “මම බයික් එක පුලූවන් තරම් කාරෙකට කිට්‍ටු කරන්නම්”

මම මැක්ස්ගෙ උරහිසේ එල්ලිලා, සීට් එක උඩට කකුල් අරන්, දණ ගහගන්නවා. මගෙ කකුල් දෙක දැනටමත් වෙව්ලන්න අරගෙන!

තවම වාහන දෙක අතරෙ ලොකු පරතරයක් තියෙනවා.

“දුර වැඩි……යි!” මම කෑ ගහනවා.

මැක්ස්, බයික් එක පුලුවන් තරම් කාරෙකට ලං කරනවා.
කාරෙකේ වහලෙට අඩි කීපයයි දැන් දුර තියෙන්නෙ.
මගෙ බඩ ඇතුලෙ, දිය සුළියක්  කැකෑරෙනවා වගෙ තේරෙනවා. මට නිකං ඔක්කාරෙට වගෙ එනවා.

අනේ මේක කරන්න බෑ අප්පා!

මට තාම මැරෙන්න තරම්  වයසකුත් නෑ!!

මං තාම පොඩි එකා!!!

මම, මැක්ස්ගෙ කණට ලංවෙනවා.

“මට බෑ මැක්ස් මේක කරන්න.”

“බෑ කියලා බෑ,” මැක්ස් මට ගොරවනවා.

“ඇයි මට ඔයත් එක්ක ඉන්න බැරි?” මම අහනවා.”මම ඔයාගෙ ගෝලයා වෙන්නං.”

මැක්ස්ට හිනා. හැක් හැක් හැක්!!!

“මහ පාරෙ ජීවිතේ ඔයා වගෙ එල කොල්ලෙකුට හරියන එකක් නෙවෙයි. ඔයා ආපහු යන්ඩ. ඉස්කෝලෙ හිහින් එග්සෑම් ගොඩ දාගන්ඩ.”

“මම එල කොල්ලෙක් නෙවෙයි,” මම කියනවා. “මම හෙනම ඇණයක්.”

ඒකට මැක්ස්ට හොඳටම හිනා. ඒ හිනාවට, මට බයත් හිතෙනවා. අර හයිනාවෙක් වගෙ, හූ කියලා මැක්ස් හිනාවෙන්නෙ.

“හ්ම්… පනින්ඩ,” මැක්ස් කියනවා.

මැක්ස්ගෙ ඇස් වලට පිස්සු පෙනුමක් ඇවිත් ඒ ගමන. මේ යකා එක්ක ඉන්න එකත් එච්චර හොඳ අදහසක් නෙවෙයි වගෙ.
මම හිටගන්නවා සීට් එක උඩ. මේක නම් මහ මොලේ කොලොප්පං වෙන වැඩක්!

මම ගැඹුරු හුස්මක් ගන්නවා. ඇස් වහගන්නවා. අත් මිට මොලවා ගන්නවා.
මේ වගෙ වෙලාවක අත් මිට මොලවා ගන්න එකේ ඇති වැඩේ මට හිතාගන්න බැරිවුනත්, මට හිතෙනවා  එහෙම කරන එක හොඳයි කියලා.

ඉතින්, ආයුබෝවන් කුරිරු, දුෂ්ට ලෝකය.

මම ගුවන් ගත වෙලා ඇදිලා යනවා පැත්තකට හුලං කපාගෙන.

දඩාං!

මම කාරෙකේ වහලෙ උඩ! මම වැඩේ කලා, කොහොම හරි!

තාත්තා වෙට්‍ටු දාන්න ගන්නවා, වමට, දකුණට, පාර පුරාම! එයා හදන්නෙ මාව වහලෙන් බිමට දාන්න.
තාත්තට  මොන විදියෙන් හරි පෙන්නල දෙන්න වෙනවා, මේ මමයි වහලෙට පැන්නෙ කියලා.

මම  අත මිට මොලවලා, වහලෙට තඩි බානවා. තාත්තගෙ වෙට්‍ටු දැමිල්ල දරුණු වෙනවා.

මට අදහසක් පහල වෙනවා.

මම පුලුවන් තරම් ඉස්සරහට බඩ ගානවා ඇඟිලි  පුලුවන් තරම් විහිදලා කාරෙකේ වහලෙ බදාගෙන.
පොඩ්ඩ වැරදුනොත් සොරිම තමයි.
අනේ තාත්තට දකින්න සැලැස්සුවොත් මේ මම කියලා, එයා නවත්තයි කාරෙක.
මම වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ ඔලුව පහලට රූට්ටනවා.
මට පේනව අම්මයි තාත්තයි බය වෙනවා මාව දැකලා.
ඒ දෙන්නගෙ ඇස්  රවුම් වෙනවා.
කටවල් ඇරෙනවා.

එක පාරටම මම ඉගිල්ලිලා යනවා ඉස්සරහට.

තාත්තා එක පාරට බ්‍රේක් ගහලා,

මාව කැරකිලා, උඩුබැලි අතට හැරිලා, කාරෙකේ බොනට් එක උඩ. මම රේඩියෝ ඇන්ටෙනාවෙ එල්ලිලා නිසා, යන්තම් තාර පාරට නොවැටි බේරෙනවා.

කාරෙක නවතිනවා.
මම බොනට් එක උඩ වැතිරිලා,  නිල්වන් අහස දිහා බලං ඉන්නවා, හති දමමින්.

ඇති යාන්තම් අතක් පයක් නොකැඩි බේරුනා!

තාත්තයි අම්මයි එලියට පනිනවා.
මම හෙල්මට් එක ගලවනවා.

“මේකාට මොනව කරොත් හිත් වදීද!” තාත්තා කෑ ගහනවා. “මොනවද මිනිහෝ කරන්න හදන්නෙ? මැරෙන්ඩද ඕනෙ?”

ඕං තවත් මෝඩ ප්‍රශ්න.

“නෑ,” මම කියනවා. “මම ආපහු කාරෙකට නගින්නයි හැදුවෙ. ඔයාලා මාව කාරෙකෙන් එලියට දැම්මනෙ. ඇයි මතක නෑ?”

“ඔව්,” තාත්තා කියනවා. “තමුසෙට පාඩමක් උගන්නන්න.”

“මොන ජාතියෙ පාඩමක්ද ඒ?”මම අහනවා. “මාව අර කාන්තාරෙ මැද්දෙ දාලා ඇවිල්ල, වතුරත් නැතුව, සිතියමක්වත් නැතුව, සන්ස්ක්‍රීනුත් නැතුව?”

“අපි  ආපහු එන්න තමයි හැදුවෙ,” තාත්තා කියනවා අම්මගෙ මූණ  දිහාත් හොරෙන් බලන ගමන්. අම්මගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතු වෙනවා.

“කවද්ද?” මම අහනවා. “ආපහු ගෙදර යන ගමන්?”

තාත්තට අර ගලේ කක්කා දාපු ඤාව්වාට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නෙ.

අපි ආපහු  හරෝගෙන එන්න හදනකොටම තමයි, අර බයිකර් අපි පස්සෙ පන්නන්න ගත්තෙ. මම හැදුවෙ,  ඒ යකාව පුලූවන් තරම්, ඔයාගෙන් ඈතට යවා ගන්න. ඔය සමහර බයිකර්ස්ල කිසිම අණක් ගුණක් නැති තිරිසන්නු!

මම නගිනවා කාරෙකට.

“තාත්තෙ බයිලා කිව්ව ඇති,” මම කියනව. “ඔයා මගෙ කරදරෙන් බේරෙන්න, මාව අතරමං කලා. වැඩේ ගැස්සුනා. දැන්වත් ඉතිං, යං.”

“පුතේ, අපි ආපහු එන්නයි හැදුවෙ,” තාත්තා කියනවා. “දෙයියම්පල්ලා, මාව විස්වාස කරන්න.”

තාත්තා එන්ජිම ස්ටාට් කරනවා. එයාගෙ මූණ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ. හොඳ වැඩේ, මම නං කියන්නෙ!

තාත්තා කාරෙක ආපහු පාරට දානවා.

එලියෙන් ඇහුන එංජිමක ගෙරවුම හඬක් නිසා මම වීදුරුවෙන්  පිටත බලනවා.  මැක්ස්! ඔන්න අපිත් එක්කම පෙලට යනවා. මම වීදුරුව පාත් කරලා, හෙල්මට් එක විසිකරනවා මැක්ස්ට.  මැක්ස් තනි අතින් හෙල්මට් එක ‍රැකගන්නවා. ඊට පස්සෙ මට ලොකු හිනාවක් දාන මැක්ස්, රොකට් එකක් වගෙ ඉගිලිලා යනවා ඈතට.

මම ආපහු සීට් එකට පිට දීලා, සුසුමක් හෙලනවා.

පිස්සු උනත්, මැක්ස් නම් මැක්සාම බුවෙක් තමයි. කූල් ඩූඩ්!

ආපහු වීදුරුව උස්සනකොටයි, මම මැස්සව දකින්නෙ!

ඌ මේ පාර වහල ඉන්නෙ තාත්තගෙ ඔලුවෙ.
“මේ ඔක්කොම වුනේ උඹ නිසා,” මම මැස්සට කියන්නෙ පහත් හඬින්. “මාව අතරමං වුනා. තව පොඩ්ඩෙන් මගෙ නිවාඩු කාලෙත්  ඉවරයි. තව පොඩ්ඩෙං මං මැරෙනවා, ස්ටන්ට් කරන්න ගිහින්. මේ ඔක්කොම උඹ නිසා. දැන් ලෑස්ති වෙයං වන්දි ගෙවන්න.”

මම සීට් එකේ  ඉස්සරහට වෙන්න ඉඳගෙන, තාත්තට ලංවෙනවා. අත්දෙක තාත්තගෙ ඔලුවට උඩින් විහිදුවලා අල්ලාගෙන, මැස්සට ගහන්න ලෑස්ති වෙනවා.

අන්තිම මොහොතෙ, මැස්සා පනිනවා .

මගෙ අවධානය මොහොතකට බිඳිල, එල්ලය වරදිනවා. මගෙ අත්දෙකම චටාස් ගාලා, තාත්තගෙ කන් දෙක මත පතිත වෙනවා, කන් දෙකෙන් දුම් දාන්න.

හපෝයි.

තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුපාට වෙනවා පේනවා.

“අනේ තාත්තෙ. සොරි තාත්තෙ  –  ඒක නම් වැරදීමක් වුනේ. ඇත්තමයි තාත්තෙ, මම ඇත්තටම හැදුවෙ…”

තාත්තා මාව නවත්තනවා.
“කමක් නෑ ඇන්ඩි,  ඔයා නිදහසට කරුණු කියන්න ඕනෙ නෑ පුතා.”

“හෑ?”

“අපි හැමෝම අතින් වැරදි වෙනවා.”

ආහ් හා. දැන්නෙ තේරුනේ. ඒ කියන්නෙ මම මොනවා කලත්, අම්මයි තාත්තයි ආයෙම මාව කාරෙකෙන් එලියට දාන්නෙ නෑ කියන එකයි. එයාලා එයාලගෙ තියෙන ලොකුම තුරුම්පුව ගහලා තියෙන්නෙ, නමුත්, වෙලාවට, ඒක පත්තු  වුනේ නෑ. ඒකෙන් වුනේ, දෙන්නටම ඇඩ්‍රස් නැතුව යන එකයි. ආහ් හා. ට්‍රල ලල ලා..

මම  බොහොම සැහැල්ලුවට සීට් එකේ වැටිලා ඉඳගෙන ඇස් පියා ගන්නවා.
මට දැන් ඕනෙ දෙයක් කලෑකි. මට ඕනෙම දෙයක්. නරකම නෑ නේද වැඩේ.

නමුත් මට එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

“තාත්තේ?”

“හ්ම්ම්ම්?”

“දැන් ලඟයිද?”

_________________________________________________________________________________________

නිමි.

Andy Griffiths – Just Annoying – ARE WE THERE YET?

 

ටැග: ,

98 responses to “85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

  1. Weniwel

    සැප්තැම්බර් 6, 2012 at 4:47 ප.ව.

    පට්ට පට පට තමයි කතාව නම් !

     
  2. Beetle

    සැප්තැම්බර් 6, 2012 at 4:53 ප.ව.

    උපරිමයි🙂 කූ………………ල් ඩූඩ්…!!!! පාර්ට් 3 දාන්නේ කවද්ද..?

     
  3. රාමා

    සැප්තැම්බර් 6, 2012 at 5:14 ප.ව.

    නියමයි. සමහර වෙලාවට පරිවර්තනයේ රසය මුල් අනුවාදය අභිබවා ගිහින් ඇති. සමහර වෙලාවට කියල කිව්වේ මුල් ඒක කියවලා නැති නිසා..

     
  4. DDT

    සැප්තැම්බර් 6, 2012 at 5:32 ප.ව.

    මම කලින් එද්දි මේකෙ කමෙන්ට් ඩිසේබල් කරල තිබුණනේ, ඒ නිසා මම කලින් එකට ගිහින් ස්තූති කළා.

    අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වල තවත් කොටසක් දැම්මට ස්තූතියි අයියා. ඉදිරියටත් තවත් කොටස් බලාපොරොත්තු වෙනව.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 6, 2012 at 5:55 ප.ව.

      අද ඒ වගෙ විකාර වැඩ වෙන දවසක් DDT ඒක මම දැකලා හැදුවා එවෙලෙම. මම ඒ කමෙන්ට් එක දැක්කා.
      ඉතින් බොහෝම ස්තුතියි, මගෙ යාව ජීව පාඨකයෙක් වුනාට.
      අනේ බං මේක මෙතනින් ඉවරයි. මේ කෙටි කතාවක්නෙ. තව කතා නම් තියෙනවා. එක පෙලට නොදා ස්ව නිර්මාන අතරට අනුපාන වගෙ දාන්නම්.🙂

       
      • DDT

        සැප්තැම්බර් 6, 2012 at 6:15 ප.ව.

        // අනේ බං මේක මෙතනින් ඉවරයි. මේ කෙටි කතාවක්නෙ. //

        හප්පා මේක කෙටි කතාවක් ද? මම හිතුවෙ තව ඇතිය කියල. කතාවෙ හොඳම ටික පටන් ගන්න හදන කොටම ඉවරයි නේ. අර නිමි එක කලිනුත් තිබුණ ද?🙂

        හරි හරි කතා සීරීස් එකක් ම තියෙයි කිව්ව එකේ තව කොටස් ටිකක් පරිවර්තනය කරලම දාන්ටෑ.

         
  5. රාජ්

    සැප්තැම්බර් 6, 2012 at 5:40 ප.ව.

    පරිවර්තන ඕනපදං කියවල තිබුනත් මේ ජාතියෙ එකක් නං කියවල නෑ. කියමයි හෙන්රි අයියේ. උඹේ පරිවර්තනයත් එල. කොටස් දෙකම එක හුස්මට කියෙව්ව කිසි අමාරුවක් නැතිව.

     
  6. Naleen Dilruksha

    සැප්තැම්බර් 6, 2012 at 6:08 ප.ව.

    කාලෙකට පස්සේ නියම අනුවර්ථනයක් කියෙව්වා. සතුටුයි බොසා සතුටුයි.

     
  7. Naleen Dilruksha

    සැප්තැම්බර් 6, 2012 at 6:09 ප.ව.

    සුනිල් මාධවගේ හඬනු මැන නිදහස කියෙව්වට පස්සේ හිතට වැදුණ කතාව මේක

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 6, 2012 at 6:30 ප.ව.

      ඇත්තෙන්ම නලීන් උඹලා වගේ පඨකයො ඉන්න එකත් ලොකූ වාසනාවක්! අර කිව්ව කතාව නම් මම දන්නෙ නෑ, නලීන්!

       
      • Naleen Dilruksha

        සැප්තැම්බර් 7, 2012 at 9:20 පෙ.ව.

        පොත හොයාගෙන කියවන්න දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට එරෙහිව ගිය ස්ටීව් බිකො ගැන කියවුණ පොතක් ඒක. සුනිල් මාධව පොත ලියන්නේ ඩොනල්ඩ් වුඩ් නම් පුවත් පත් කතුවරයාගේ ලියැවිල්ලක් හා cry freedom නැමති චිත්‍රපටයත් දෙකම ප්‍රෙයා්ජනයට ගනිමින්. හරිම රසවත්. මාධව ආදි ආනන්දියෙක්

         
        • DDT

          සැප්තැම්බර් 7, 2012 at 3:21 ප.ව.

          ‘හඬනු මැන නිදහස‘ සුනිල් මාධවයන්ගෙ ඍජු පරිවර්තනයක් විතරයි නේද? ඒක ලිපි හා චිත්‍රපට කතාවක් පදනම් කරගෙන ඔහු සංස්කරණය කරපු එකක් නෙවි. කළු ජාතික ස්ටීව් බිකෝගෙ සමීපතමයෙක් වුනු වර්ණ භේද වාදයට විරුද්ධව ක්‍රියාකරපු සුදු ජාතික ඩොනල්ඩ් වුඩ්ගෙ ලිපි ඇසුරෙන් කතාව ලියන්නෙ ජෝන් බ්‍රයිලි, Cry Freedom චිත්‍රපටියෙ තිර රචකයත් ඔහුමයි මම හිතන්නෙ. ඇත්තෙන්ම හරිම රසවත්, ඒ වගේම අනුවේදනීය කතා පුවතක්. මමත් කාලයක් ඔය පොත හොයල පස්සෙ පුස්තකාලෙක තිබිල කියෙව්වෙ.

           
  8. ravi

    සැප්තැම්බර් 6, 2012 at 6:14 ප.ව.

    / මම එල කොල්ලෙක් නෙවෙයි,” මම කියනවා. “මම හෙනම ඇණයක්.” /

    මොකද බං මේ ටික රතෙං?….ඒ වචන ටික කොහොමෙයි ඇන්ඩි ලියල තියෙන්නෙ?….

    නියමයි හෙන්රි…උඹට මාර හැකියාවක් තියෙන්නෙ වචන අරපිරිමැස්මෙන් පාවිච්චි කරල හරියටම ටක්කෙටම කියන්ට ඕන ටික කියන්ට…දාපං පහක්…

     
  9. henryblogwalker the Dude

    සැප්තැම්බර් 6, 2012 at 6:29 ප.ව.

    ඇයි රවියා, අනිත් හැමෝම කියන්නෙ ඌ මල ඇණයක් කියලා. ඌ විතරයි ඒක පිළි නොගන්නෙ. (මම කියන්නෙ උගෙ අනිත් කතාවල් ඔක්කොමත් කියෙව්වාම.) මේ තමයි ඌ තමන් මම මාර ඇණයක් කියලා පිළිගන්න වෙලාව. ඌ ඇත්තෙන්ම දන්නවා ඒක ඇත්ත කියලා. ඒකයි ඒ වැදගත් අවස්ථාව රතුවෙන් දාලා තියෙන්න.😀

    අර කෑල්ල මෙහෙමයි:
    “I’m not nice,” I say. “I’m really annoying.”

    ස්තුතියි රවි නිර්ලෝභී විචාරයට.

     
  10. Maathalan

    සැප්තැම්බර් 6, 2012 at 6:31 ප.ව.

    උපරිමයි…. අනේ මහත්තයෝ අනික් ඒවා ලියන අතරේ මේ කතාත් ලියන්න. අර සමහර අය කිව්වා වගේ පරිවර්ථනයක් කලොත් නම් පංකාදුයි. ඔහේට හැම හැකියාවම තියෙනවා. බ්ලොග් වලට පිං සිද්ධ වේවා….!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 1:22 ප.ව.

      අඩේ මාතලන්තුමා මට මහත්තය කියලා! 😀
      දැන් කට්ටියම එහෙම කියන නිසා කරල බලමු. නමුත් මාතකං දන්නවනෙ, ඒක කරන්න ඕනෙ ස්ව නිර්මාණ කරන අතරෙ මඳ පමනින්. නැත්නම් මම පරිවර්තකයෙක් වෙලා නතර වේවි.
      බොහෝම ස්තුතියි මාතලන් මෙච්චර අගය කිරීම ගැන!

       
  11. chami4u

    සැප්තැම්බර් 6, 2012 at 6:41 ප.ව.

    නියම කථාව.. වෙලාවක් තියෙනවනම් ඉදලා හිටලා මේ විදියේ කථා පරිවර්තනය කරලා දාපන්… මේ විදියේ ඒවාට මම හරි කැමැති…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 1:23 ප.ව.

      අන්න චමියෝ වෙලාව තමයි ඔක්කොටම හරහට හිටලා තියෙන්නෙ, පුලුවන් හැටියට කරන්නම්. බොහෝම ස්තුතියි ප්‍රතිවාරයට.🙂

       
  12. පනුච්චි

    සැප්තැම්බර් 6, 2012 at 7:37 ප.ව.

    අඩේ…. මම එදා කිවුවේ…. මරු මරු… තව තියෙනවා නේ???

     
    • පනුච්චි

      සැප්තැම්බර් 6, 2012 at 7:42 ප.ව.

      අඩේ.. නිමි නේ…😦 ;(

       
      • henryblogwalker the Dude

        සැප්තැම්බර් 7, 2012 at 1:24 ප.ව.

        මම කිව්වා ගැමියාට දාපු කමෙන්ට් එකකදි, ගියපාර කොටස කියවලා දෙවැනි කොටස ගැන හරියටම අනුමාන කලේ අපේ පණුච්චියි, ගැමියයි දෙන්නා කියලා. හොඳ මීටර් දෙකක්, ඈ! ඒ වගෙම බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට පණුච්චි.🙂

         
  13. ගැමියාගේ පත් ඉරුව

    සැප්තැම්බර් 6, 2012 at 8:54 ප.ව.

    ෂා මරු කතාව… මම හිතුවේ නෑ පනින සීන් එකක් ලියයි කියලා බැලින්නම් පැනලනේ… මේ වගේ කතා රස නොමරා මෙහෙම පරිවර්තනය කරන්න නම් ඩුඩිතුමාම තමා ඉන්ඩෝන.මම හිතුව විදිය වෙච්චි එක ගැන සෑහෙන්න සතුටුයි ඈ.. පනුච්චිත් කියලා කියලා අදනේ දැක්කේ කොමෙන්ට් එකෙන්.විශේෂම දේ තමා පොඩි කොල්ලෙක්ගේ සාමාන්‍ය කතා විලාසය තියෙන එක…

    මේකෙ සමහර කොටස් සුපිරි හින්ට් එකක් විදියට වැදුනා ඈ….

    කූල් ඩූඩ්… තව මේ වගේ කතා බලාපොරොත්තු වෙන්න හිතෙනවා.ඒ තරම් නියමයි.මේ වගේ අමුතු කතා මාසෙකට එකක්වත් දැම්මොත් වටී නේද ඩුඩිතුමානෙනි…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 1:25 ප.ව.

      පොඩි කොල්ලෙක්ගෙ සාමාන්‍ය කතා විලාසය තියෙන්නෙ, මම කාලයක් පොඩි කොල්ලෙක් වෙලා හිටිය එකයි, ඒ බව අමතක නොකිරීමයි, දැනට පොඩි කොල්ලෙක්ගෙ තාත්තා වෙලා ඉඳීමයි, රස්සාව හැටියට උන්ට ඉගැන්වීමයි, ගැමියා වගෙ උන් බ්ලොග් ලෝකෙදි ආශ්‍රය කිරීමයි වගෙ හේතු කාරනා කීපයක් නිසානෙ ගැමියා. ගැමියා දන්නවද අපි අවුරුද්දෙන් මාස දහයහමාරක් ආශ්‍රය කරන එකම ලාංකිකයො බ්ලොග් යාලුවො විතරක් බව. ඇත්තෙන්ම ව්‍යවහාර සිංහල අප් ‍ටු ඩේට් වෙලා තියෙන්නෙ ගැමියා ඇතුලු අනිත් බ්ලොගර්ස්ලට ස්තුති වන්ත වෙන්නයි. 🙂
      හරි අර යෝජනාව ගැන මගෙ උපරිමය කරන්නම් ගැමියා. බොහෝම ස්තුතියි, ඈ?

       
  14. hirunidilueisgood

    සැප්තැම්බර් 6, 2012 at 8:57 ප.ව.

    Awesome story…..:D i lost my sinhala format that’s why i am typing in english. awesome pic too. but i am sad that it is over…nicely translated….finally andy got what he wanted😀

     
  15. ළිහිණි

    සැප්තැම්බර් 6, 2012 at 9:14 ප.ව.

    wow…..මැක්ස් නම් මැක්සාම බුවෙක්. මේකනම් සිරාම කතාවක් අයියේ…හරිම Interesting …මේක කියවද්දි මටත් ආස හිතුනා හාර්ලි ඩේවිඩ්සන් බයික් එකක රවුමක් යන්න..සුළඟේ වේගෙන්ම….
    නියමයි ඩූඩ්..නියමයි

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 1:44 ප.ව.

      මාත් හරි ආසයි හාර්ලි ඩේවිඩ්සන්වලට නමුත් ලංකාවෙ නීතියට අනුව ලංකාවට ගේන්නත් බෑ මම හිතන්නෙ එංජින් ධාරිතාවය වැඩි නිසා.
      ඉතින් බොහෝම ස්තුතියි මෙච්චර අගය කිරීම ගැන ළිහිණි. ඒක සෑහෙන වටිනවා මට.🙂

       
  16. sindu

    සැප්තැම්බර් 6, 2012 at 9:23 ප.ව.

    Oh at last you’ve written it !
    This is terrific. people who are capable of writing in both English and sinhala are a bit rare. You are one of that rare kind dude. Thus, keep on writing like this.
    Wow !!

     
  17. සෑම්

    සැප්තැම්බර් 6, 2012 at 10:25 ප.ව.

    MAXXA ! (Y)

     
  18. Senna

    සැප්තැම්බර් 6, 2012 at 11:13 ප.ව.

    නියමයි ඩූඩ්.. ෆුල් කූල්… පරිවර්තනයක් කියන එක අමතක වෙනතරමටම ඒකට අපේ කම ඔබ්බවලා තියනවා.. ඒත් මූල් කෘතියේ රසයත් අඩු නැතුව යටින් ගලාගන යනවා…

    ස්තූතියි ඩූඩ්.. අහලවත් නොතිබුන ලස්සන කතාවක් කියවන්ඩ සැලැස්සුවාට…

    // ඕං තවත් මෝඩ ප්‍රශ්න. //

    හිකිස්..🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 8:11 ප.ව.

      එහෙනම් මගෙ උත්සාහය සෑහෙන දුරකට සාර්ථකයි කියලා ආත්ම තෘප්තියක් ඇති කර ගත්තෑකි. බොහෝම ස්තුතියි සෙන්නා. හේයි සෙන්නා කෝ බං අර ඉරේ තිබ්බ තිත? ඒක නැතුව පාලුයි වගෙ!
      😀

       
      • Senna

        සැප්තැම්බර් 7, 2012 at 10:35 ප.ව.

        අපොයි එහෙමද… ? එහෙනම් ඒක ආයෙ දාන්නම්..

        එදා මම පොරොන්දු වුනානෙ අයේ ඉරේ ෆොටෝ එකක ගහලා බලනවා කියලා, තිත එනවද කියලා.. මේ ඒ පරික්ශනයේ ප්‍රතිඵලය.. මේදවස් වල අබු ඩාබි පොලව කර කුට්ටන් කරවන සූර්යය දිව්‍ය රාජයා ගොඩනැගිල්ලකට පිටු පසින් බැස යමින්…

         
  19. අටම්පහුර

    සැප්තැම්බර් 6, 2012 at 11:40 ප.ව.

    මේ කතාව ඉවර උනාට ඒ පොතේ තව එව්වා ඇතිනේ

     
  20. sujiya

    සැප්තැම්බර් 7, 2012 at 12:59 පෙ.ව.

    මැක්සා,, අර කිව්ව වගේ ඒ පොතේ තව කතා ඇති. ඒවයිත් පරිවර්තන බලන්න තිබුනනම් පන්කාදුයි.

     
  21. praveena

    සැප්තැම්බර් 7, 2012 at 6:53 පෙ.ව.

    ඔයාගේ පරිවර්තනේ හරිම ලස්සනයි. එක හුස්මට කියෙව්වා…..🙂

     
  22. Naleen Dilruksha

    සැප්තැම්බර් 7, 2012 at 9:24 පෙ.ව.

    “පුතේ, අපි ආපහු එන්නයි හැදුවෙ,” තාත්තා කියනවා. “දෙයියම්පල්ලා, මාව විස්වාස කරන්න.” මේ තමයි හෙන්රි කතාවෙ සංවේදීම තැන.පුදුම සංයමයකින් වචන කීපයකින් සියල්ල කියල දෙනවා ඔයා මෙතැනදි.
    මේ තමයි හැකියාව…….

     
  23. මී පැටියා

    සැප්තැම්බර් 7, 2012 at 10:33 පෙ.ව.

    නමුත් මට එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

    “තාත්තේ?”

    “හ්ම්ම්ම්?”

    “දැන් ලඟයිද?”

    ඔෆීස් එකේ ඉඳන් කියෙව්වේ මේක. මට තනියම හිනා ගියා අප්පා මේක කියවනකොට.😛

    මොනව වුනත් සිරා කතාව..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 8:24 ප.ව.

      ඒක හොඳ පන්ච් ලයින් එකක් නේද මී පැටියා? කතාව පටන් ගන්නෙත් ඒකෙන් ඉවරවෙන්නෙත් ඒකෙන්. ඇන්ඩි ග්‍රි‍ෆිත්ගෙ දක්ෂකම තමයි ඒ නම්!

       
  24. මඩිස්සලේ නිශාන්

    සැප්තැම්බර් 7, 2012 at 11:59 පෙ.ව.

    සුපිරි ත්‍රාසයජනක කතාව.
    ඒක නෙවේ මැක්ස් කියන්නේ එතකොට ඩූඩ් ද?😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 8:26 ප.ව.

      හපෝයි බං නිශාන්, ඒකගෙ ‍රැවුලෙ කෘමියෝ පිරීඑලා, සමහර උන්ට පණත් තියෙනවා. හාර්ල් ඩේවිඩ්සන් එක නම් එල, නමුත් ‍රැවුලේ විස්තරය ටිකක් අප්පිරියයි වගේ, නැත්ද?

       
  25. රූ

    සැප්තැම්බර් 7, 2012 at 12:45 ප.ව.

    මට නම් හිතට ඇල්ලුවෙම අර ගලේ කක්කා කරපු ඤාව්වාගෙ කතාව..
    හරිම අපූරුයි ඩූඩ්..සුපර් කූල්..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 8:37 ප.ව.

      බොහෝම ස්තුතියි, රූ!
      මට හිතුනෙ නෑ ගලේ පහරපු බළලා කියන යෙදුම ඒ විදියටම යොදන්න. ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් කලා. ඔයත් දකින දේවල්!!! හොඳයි හොඳයි!🙂

       
  26. ලකීසිරි

    සැප්තැම්බර් 7, 2012 at 1:01 ප.ව.

    මෙන්න බ්ලොග්..සෙම නෑ..සෙවල නෑ ..මඩ නෑ
    තමුන්ගෙ හැකියාවෙන් අනුන්ට උපරිම වින්දනයක් දෙන ඔබ වැන්නවුන් සයිබරයටම ආදර්ශයක්.

     
  27. සිරාගෙ කාමරේ

    සැප්තැම්බර් 7, 2012 at 1:40 ප.ව.

    මොකද හෙන්රි අයියා කියන්නෙ ගේමට ඇන්ටර් වෙමුද ? පරිවර්ථනේ කොරමුද ? කථාව නම් මාර කික්…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 8:30 ප.ව.

      සිරා මම කලින් පෝස්ට් එකේදි කිව්වා වගෙ දැනට මෙහෙම යමු. පස්සෙ බලමු ප්‍රතිචාර අනුව, හොඳේ!. බොහෝම ස්තුතියි සිරා, තමන්ගෙ වැඩක් වගෙ උනන්දු වීම ගැන.

       
  28. ලොකු ජෝන්

    සැප්තැම්බර් 7, 2012 at 3:19 ප.ව.

    සම්පූර්නයි. තව යමු

     
  29. Raj

    සැප්තැම්බර් 7, 2012 at 3:28 ප.ව.

    ඉංගිරිස් චිත්තර පටියක් වගේ මරු

     
  30. තොටියා

    සැප්තැම්බර් 7, 2012 at 8:28 ප.ව.

    පොඩ්ඩක් හිටින්නකෝ මම බෲස් ගාල ගිහින් මේකේ පාට්1 කියවලා එන්නම්කෝ කමෙන්ට් එක දාන්න

     
    • තොටියා

      සැප්තැම්බර් 7, 2012 at 9:24 ප.ව.

      එලනෙ… තව පරිවර්තනයක් ඉස්සරහටත් දාමුකෝ….

       
      • henryblogwalker the Dude

        සැප්තැම්බර් 7, 2012 at 9:30 ප.ව.

        තොටියා කලින් පෝස්ට් එකේ ඇහුව නිසා කියන්නෙ

        තොටියා, ඇත්තටම මේ චිත්‍ර අඳින්නෙ මම . එකෙන් මම මාර මානසික සුවයක් ලබනවා. ඔය චිත්‍රයක් අඳින්න පැය කීපයක් යනවා සමහර විට. අර 2 කොටසෙ කාර් එකේ ෂෙල් එක අඳින්න මට සෑහෙන වෙලා ගිය නිසා මුලු උදේ වරුවම ගියා ඒක ඉවර කරන්න. ඒක නිසා පෝස්ට් එක දැම්මෙත් හවස් වෙලා.
        ඇයි මම මගෙ බ්ලොග් නේම් එක henryblogwalker the Dude හංවඩුව ගහලා තියෙන්නෙ ඔය. මම මට පුලුවන් හැම විටම මගේම චිත්‍ර අඳිනව විතරක් නෙවෙයි සමහර යාලුවන්ටත් ඇඳලා දීලා තියෙනවා. අර ඔබා අයියගෙ බ්ලොග් එකේ තියෙනවා මම ඇඳලා දීපු චිත්‍ර කීපයක්ම මගෙ හංවඩුවත් එක්ක.
        මම කවදාවත් චිත්‍ර අඳින්න ඉගෙන ගෙන නෑ. මමත් තොටියලා වගෙ කෙම්, ‍ෆිසික්ස් බයෝ කරපු බුවෙක්නෙ, ඒකයි.

         
        • තොටියා

          සැප්තැම්බර් 7, 2012 at 9:47 ප.ව.

          ෂා… නියමයිනෙ… චිත්‍ර ටික නම් පංකාදුයි.. ඉඩ තියනවා නම් පොඩි කාටූන් පොතක් වුනක් කරන්න පුළුවන්නෙ ඩූඩ්.. අර ටිංටිං කතාපොත් වගේ….අර කලින් චික් මැග්නට් පෝස්ට් එකක කිව්වා වගේ ඩූඩ් මල්ටි ටැලන්ටඩ්ම තමා නේද?

           
  31. haree

    සැප්තැම්බර් 7, 2012 at 8:38 ප.ව.

    Superb!

     
  32. henryblogwalker the Dude

    සැප්තැම්බර් 7, 2012 at 9:31 ප.ව.

    Thanks very much, Haree.:)

     
  33. iamdeejay

    සැප්තැම්බර් 7, 2012 at 9:50 ප.ව.

    ඩුඩ්,

    වාව් !!!!!.😀 හරිම සතු‍ටුයි ඔයා ගේ මේ පරිවර්තනය ඔක්කොමලාම අගය කරලා තියෙන හැටි හා රසවිදලා තියෙන හැටි ඇහුවාම. මොකද මමයි චුටි පුතායි දන්නව ඔයා මේක ලියන්න සහ චිත්‍ර අදින්න සැහෙන්න මහන්සි වුනා අනිකුත් වැඩ අතරේ.

    ඉතිං ඒ මහන්සියෙ ප්‍රථිපල ඔය කමේන්ට් වලින් ලැබිලා තියෙනවානේ 😀. ඔයාට අපේ තුන්දෙනාගේම සුභ පැතුම්!!!!!!!!!!

     
  34. Amarasinghe Sujatha

    සැප්තැම්බර් 7, 2012 at 10:01 ප.ව.

    ඉස්සර අපේ දෙන්න පොඩි කාලෙ මට තිබුන පොඩි ශැරෙඩ් එකක්. ගමං යද්දි මුං දෙන්න රන්ඩුවෙනව හරියට. මම දඬුවමක් හැටියට කරන්නෙ උන්දැල දෙන්න ගෙදරට මීටර් 100ක් දුරිං බස්සන එක. නිකං නොවෙයි. දෙන්නගෙ මලුත් එක්ක. මම ඇර දාල ගෙදර එන කොට මුං දෙන්නත දුවගෙන පස්සෙං කොහොම හරි එනවා. දැං මතක්වෙන කොට දුකේ බැහැ.

    කතාවට දිගුවක් අතිං හදල දාල ලියන්න ඩුඩ්. ඔයාට කැමති විදියකට. ඩුඩ් අනුවර්තතනය කරපු හැටියට මේක කොට වැඩියි. පාඨකයා අමාරුවට දාන වත් අපහසුවට පත්කරන වත් ලියන්නෙක් නොවෙයි ඩුඩ් කියන්නෙ

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 7, 2012 at 10:10 ප.ව.

      ඩයිහට්සු ෂැරේඩ් ඩීසල් එකක්ද කවිකාරි , 32 ශ්‍රී, 64 ශ්‍රී වගේ ? ඔය ඩීසල් කාර් එක වැඩිම ඉන්ධන පිරිමැස්මක් ඇති වාහනයක් හැටියට ගිනස් පොතෙත් තිබ්බා මට මතකයි. හැබැයි ඩීසල් එක.
      ස්තුතියි ප්‍රතිචාරයට.🙂

       
  35. Gold fish

    සැප්තැම්බර් 8, 2012 at 10:18 පෙ.ව.

    සුපිරි අයියේ…

     
  36. අඩවි රජා

    සැප්තැම්බර් 8, 2012 at 3:08 ප.ව.

    හහහා…. මැක්සිමම් ඈ සර්🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  37. ක්සැන්ඩර් | Xander

    සැප්තැම්බර් 8, 2012 at 11:16 ප.ව.

    මම පරක්කු වුනා නේ කියවන්න එද්දී. ඒ හින්දා මම අයෙමත් මුල ටික කියෙව්වා. ඇන්ඩ් ග්‍රිෆිත් දන්නවා නම් ඇත්තෙන්ම ඔබට සුභාපතාවී මේ ලියවිල්ලට. කතා රසය නොමරා පරිවර්තනය කරන හැකියාව හැමෝටම නෑ.

     
  38. Raigama

    සැප්තැම්බර් 9, 2012 at 8:28 පෙ.ව.

    කතාව නම් කලින් බැලුවත් මොකවත් බැරි උනා හෙන්රි. කවුරුත් කතාව ගැනයි ඔබේ පරිවර්තනය ගැනයි ලියල තියෙන නිසා වෙන දෙයක් ලියන්නම්. ලංකාවේ ළමා හා තරුණ කතාවල් ලියන කොට උවමනාවට වඩා උලුප්පන දෙයක් තමා හැම විටම සමාජයට පණිවිඩයක් දෙන්න, නැත්නම් පන්සිල් පද පහ වටා ගෙතෙන්න ඕනේ කියන එක. හැබැයි හෙන්රි මේ කතා ගොඩක් වෙලාවට මේ කරුණම නිසා නීරස වගේම “කෘතීම” ගතියක් තියනවා. මා අද නිකමට බැලුවා අර “කුමාරොදය” කියන පොත් පෙලෙන් එකක්. පන්සිල් පද ටික වටේ තමයි යන්නේ. මේ ඇන්ඩි වගේ කට්ටිය ලියන සමහර කතාවල මේ වගේ පණිවුඩයක් හෝ සමහර වෙලාවට අර “නිම වළලු” පුළුල් කිරිල්ලකුත් නැහැ. නමුත් දෙන සරල රසය නිසා ළමයි කියවනවා. මෙවැනි පොත් වලින් අරඹන කියවිල්ල පසුව අනෙක්වාට ව්‍යාප්ත වෙන බවයි මගේ අත්දැකීම. මුලින්ම පන්සිල් පද පහම කියන්න ගත්තොත් ගොඩක් වෙලාවට අතරමගින් නවතින්න ඇති හැකියාව වැඩියි. මා මුලින් කියවපු හා දැනටත් ඉඳ හිට බලන රෝල් ඩාල්ගේ කතා වලත් මේ සරල ගතිය මිසක් නිම් වළලු නම් පුළුල් කිරිල්ලක් නැහැ. නමුත් කියවන්න ආසා හිතෙනවා.

     
  39. henryblogwalker the Dude

    සැප්තැම්බර් 9, 2012 at 10:41 පෙ.ව.

    //ලංකාවේ ළමා හා තරුණ කතාවල් ලියන කොට උවමනාවට වඩා උලුප්පන දෙයක් තමා හැම විටම සමාජයට පණිවිඩයක් දෙන්න, නැත්නම් පන්සිල් පද පහ වටා ගෙතෙන්න ඕනේ කියන එක. හැබැයි හෙන්රි මේ කතා ගොඩක් වෙලාවට මේ කරුණම නිසා නීරස වගේම “කෘතීම” ගතියක් තියනවා.//

    රයිගම්ගෙ මේ කතාවට මම 100%ම එකඟයි.

    මමත් ඔය ගැන හිතුවා. ඇත්තෙන්ම අද වේගයෙන් තුරන් වෙමින් පවතින කියවීමේ පුරුද්ද නැවත පණගහලා ගන්න පොඩි තල්ලුවක් දෙනවා නම් ඒකම ඇති. රයිගම්ට මතක ඇති මිනිස්සු ඩීමන් ආනන්දගෙ සත 75හේ මාරක කතාවලිනුත්. සතුට, සිත්තර වැනි චිත්‍ර කතා වලිනුත් කියවීමට ඇබ්බැහි වුන බව.

    රයිගම්ගෙ අලුත් ලිපියත් මීටම අදාලයි නේද? ඒකට මට පොස්ට් එකක්ම ලියන්න දේවල් තියෙන නිසා කියවලා ආවා පස්සෙ හැකි තරම් කෙටි කමෙන්ට් එකක් දාන්න.

    Roald Dahl ට මාත් හරිම කැමතියි. මගෙ ප්‍රියතම කතාව The Hitchhiker

     
    • ක්සැන්ඩර් | Xander

      සැප්තැම්බර් 11, 2012 at 12:54 ප.ව.

      Roald Dhal ගේ පොත් වලට මමත් ආසයි. වැඩියෙන්ම කැමති චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි.. කී පාරක් කියෙව්වත් එපා වෙලා නෑ.

       
  40. AKM

    සැප්තැම්බර් 9, 2012 at 12:02 ප.ව.

    මේකේ part 1 බලනකොට මන් හිතුවේ හෙන්රි අයියගේ පුතණ්ඩියා මේක ලියනවා කියලයි. කතාවනම් මැක්සා.

     
  41. රැංගෝ

    සැප්තැම්බර් 9, 2012 at 2:04 ප.ව.

    වෙන මොනවා කියන්න ද? නියමයි!!

     
  42. kuwanna

    සැප්තැම්බර් 14, 2012 at 10:28 පෙ.ව.

    What a story!I read both parts at one sitting. Though I read only your English blog up to now, I am going to be a follower of this one too. The whole story was one graphical image. What words! I think I have found an adviser for my translations. (I have done only one so far.but I am highly fascinated by science fiction short stories.)

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 16, 2012 at 10:22 පෙ.ව.

      Oops, what a name, Kuwanna! What about Blue Lotus?

      Then make yourself at home in my Sinhala blog, too.

      Ahh,about that adviser post, honestly I don’t have much experience either, to tell you the truth.
      You’ll see that my first attempt was the Accident Report of a Bricklayer. (The post before this) I just try to write trying to sound natural in Sinhala, and that’s it. People seem to like it.

      And thank you very much for being here and all the best with that Sci Fi translation work of yours, too!

       
      • kuwanna

        සැප්තැම්බර් 16, 2012 at 10:55 පෙ.ව.

        I am Blue Lotus in ‘Blogger.’ Kuwanna in WordPress. You don’t seem like an amateur when I read your stories. That’s why you receive so many comments and your posts are so popular among other bloggers. We are drawn to your stories and they are irresistible. I feel envious of your writing ability and I think that is an inborn talent in your case.

         
  43. Hiruhimawi

    සැප්තැම්බර් 15, 2012 at 3:08 පෙ.ව.

    කොටස් දෙකම එකපාර කියවන්න හම්බ උන එකත් හොඳයි අන්කල්..
    එතකොට අමතක වෙන්නෙත් නැහැ.
    නියමයි.
    මං කැමතියි මේ කතාවට..:)
    ජය!

     
  44. wicharaka විචාරක

    සැප්තැම්බර් 15, 2012 at 11:11 ප.ව.

    මුළු පොතම පරිවර්තනය කරලා පල කලොත් හොඳයි නේද?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 16, 2012 at 10:28 පෙ.ව.

      මේ එක පොතක් නෙවෙයි විචාරක, සීරීස් එකක්. ඒක ලේසි වෑක් නෙවෙයි තියෙන නිදහස් වෙලාවත් එක්ක.
      බොහෝමත්ම ස්තුතියි.

       
  45. Red

    සැප්තැම්බර් 16, 2012 at 10:44 පෙ.ව.

    This is really awesome.. We want more dude…😀 another story..
    BTW is it available as an E-book??

     
  46. Gaminie Vijith

    සැප්තැම්බර් 23, 2012 at 10:25 පෙ.ව.

    ඇමෙරිකන් ස්ටයිල් එකෙන් ලියවිලා තිබුනත් එල ස්ටොරිය මචං. අපේ අත්දැකීම්වලට ආරෝපනය කරලා බැලුවහම අපේ තාත්තලාම තමයි ඇමෙරිකාවෙ ඉන්නෙත් …!

     
  47. නරකයා..

    ඔක්තෝබර් 14, 2012 at 4:02 ප.ව.

    මම මෙ ෙගාඩක් කාෙලකින් ෙම් පැත්ෙත අාෙව්….. ඔක්ෙකාම කියවන්න සෑෙයන කාලයක් යාවී… ෙම්කනම් ඉතිං සිරාම තමයි….

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: