RSS

87. ප්ලාස්ටරේ / Band-Aid

18 Sep
87. ප්ලාස්ටරේ / Band-Aid

ඔයාලා කවදාහරි ඇ‍ඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්?
මම ඉඳලා තියෙනවා.
ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්!

අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්!
කොහොමද වැඩේ?
බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්!
ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි වෙන්න.
මම මේ ප්ලාස්ටරේ අලවං ඉඳලා තියෙනවා:
දවස් 182 1/2ක් . ඒ කියන්නෙ පැය 4380ක්. නැත්නම් විනාඩි 262,800ක්.
හෝ තප්පර 15,768,000ක්. තවත් නිවැරදිව කිව්වොත් …,
හ්ම්ම්, ඒකට නම් පු‍තෝ ටිකක් වෙලා යයි, මොකෝ ඕං කැල්කියුලේටරේටත් කෙල වුනා වගෙ, බින්දුවලට ඉඩ නැතුවද කොහෙද, මම තප්පරේකින් දාහෙන් පංගු බලන්න ගියාම!

හරි ඒකෙන් වැඩක් නෑ. දැන් කොහොමින් හරි, ප්ලාස්ටරේට මාව දරුණු විදියට ග්‍රහණය කරගන්න මේ කාලය හොඳටම ඇති කියලා ඔයාලට පැහැදිලියිනෙ?

මම මේ ප්ලාස්ටරේ මෙච්චර කල් අලවං හිටියේ කාගෙ වැ‍රැද්දෙන් කියලද ඔයාලා හිතන්නෙ?

ඒක තනිකරම අපේ අම්මගෙ වැ‍රැද්ද!

අපේ අම්මා නිකං බර බර ගාන්නෙ, හරියට මේ ප්ලාස්ටරයක් කියන එකක් ඩොලර් මිලියන් තුනක් විතර වටිනවා වාගෙනේ. ආන්න ඒකයි, මට මෙච්චර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ, එකම ප්ලාස්ටරේ අලෝගෙන. අම්මා ප්ලාස්ටර් හංගලා අරන් තියලා තියෙන්නෙ, මට ගන්න බැරිවෙන්න. මම තුවාලයක් කරගත්ත වෙලාවට, තුවාලෙ කොච්චර දරුණු වුනත් කමක් නෑ, එයා දෙන්නෙ එකම ප්ලාස්ටරයයි. එච්චරයි.

ඒ කියන්නෙ එකමයි, ඒකමයි!

මම බැරිවෙලාවත් ඕක ගලවලා දාලා වෙන එකක් ඉල්ලුවොත්, ඕං කියනවා:

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස් වලින් කඩනවා කියලා හිතුවද?”

“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”

කොච්චර ඉල්ලුවත් නෙවෙයිනෙ තව එකක් දෙන්නෙ. අනේ ඉතින් මමත් ප්ලාස්ටරයක් අලවාගත්තම ඔහේ තියෙන්න අරිනවා. හැබැයි මෙදා පාර නම් මම ටිකක් ඕනෙවට වඩා වැඩිපුර තියෙන්න ඇරියාය කියලයි මටත් හිතෙන්නෙ.

දැන්නම් මේක ගලවන්නත් ලේසි වෙන එකක් නෑ.

ඒ වුනාට දැන් මේක ගලවන්න වෙලා තියෙන්නෙ. ඇයි දන්නවද?

අද ඉස්කෝලෙ අපේ ගෲප් ෆෝටෝස් ගන්නවා.

මේ ප්ලාස්ටරේ තියෙන්නෙ මගෙ මූණෙ. හරියටම වම් ඇහැ යට .

මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ෆෝටෝ එකට හිටියෑකිද, ගොබ්බසේන වගෙ?

ගිය අවුරුද්දෙ ෆෝටෝ එක ගන්න කොටම, ගානට වෙලාවට ඇහි පිල්ලමක් වැදුනා . ඕං ඒකෙ මම ඉන්නවා නිදාගෙන.

ඊට කලින් අවුරුද්දෙ ගෲප් ෆෝටෝ එක ගන්න කොටම, මම හිටගෙන හිටපු බංකුව හරියටම, ඒ වෙලාවටම, පෙරලෙන්න වගෙ ගිය හන්දා, බය වෙච්ච පාර කට ඇරිලා, ඕං මම ඒකෙ ඉන්නවා යකෙක් දැකලා වගෙ කට ඇරගෙන!

මේ පාර ගනිංකො ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ! එතකොට, මුංට තව අවුරුදු ගානක් යනකල්, මාව මතක තියෙන්නෙ අර උනුත් එක්ක හිටපු හෙන මීටරේ හැටියට නෙවෙයි, අර ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ඉන්න මොංගල් ඩයල් එක හැටියටයි.

මටමනෙ වෙන්නෙ!

මේක මාර පජාත වැඩක්නෙ! මට හම්බ වෙන්නෙම නිකම්ම නිකම් ප්ලාස්ටර්! අනිත් උන්ට, හැම එකාගෙම අනුකම්පාව, අවධානය ලැබෙන, අර හැම එකාම අස්සන ගහන්න පොරකන, P.O.P කාස්ට් එක අත පය වලට දාගෙන ෆුල් ආතල් එකේ ඉන්න ලැබෙන, පට්ට ආතල් ඇක්සිඩන්ට් වෙනකොට මට මාර ජෙල. සික්! මට වෙන්නෙ නෑනෙ ඒ වගෙ ආතල් තුවාලයක් ආසාවටවත්. මට මාර ආසයි අර මගෙ ඇ‍ඟේ හැම ඇටයක්ම කැඩිලා, ඉස්පිරිතාලෙ නැවතිලා, අර කාස්ට් එකත් දාගෙන, මුළු දවසම ෆුල් ආතල් එකේ, අයිස් ක්‍රීම් කකා, ටීවී බලබල ඉන්න ලැබෙන ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්. මට නම් තියෙන්නෙ පුදුම නොලැබීමක් අප්පා.

ඕං මට එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා, ඇ‍ඟේ ඇට ඔක්කොම කැඩුනයි කියලා හිතමු. එතකොට ඩොකා මා දිහා බලලා කියයි, “මෙයාට එච්චර අමාරුවක් නෑ. ඔන්න ඔය ප්ලාස්ටර් දෙක තුනක් ගැහුවාම ඕක හරියයි,” කියලා.
එතකොට අපේ අම්මා අත් දෙක ඉනට තියාගෙන, ඩොකා දිහා ඔරවලා බලලා කියාවි,

“මොනවා? ප්ලාස්ටර් දෙක තුනක්?”

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”, කියලා.

ඩොකාත් එතකොට කියාවි,

“ඔව් ඔව්, ඔයා හරි. එක ප්ලාස්ටරයක් හොඳටෝම ඇති,” කියලා.

ඔය ඇක්සිඩන්ට් සම්බන්දයෙන් මගෙ නොලැබීම නම් ඔන්න ඔය වගෙයි.

වැඩිය ඕනෙ නෑ. හරි නම් පට්ට, ෆුල් ඔප්ෂන් ඇක්සිඩන්ට් එකක් වෙන්න තිබ්බ මට මේ අන්තිමට වෙච්ච ඇක්සිඩන්ට් එක බලන්නකො.

ඕං මම දවසක් ගෙදර එනවා ඉස්කෝලෙ ඇරිලා. මම දකිනවා කාගෙන්ද වැටිච්ච, රත්තරං පාට ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩි කුට්ටමක් පේව්මන්ට් එකේ දිලිසි දිලිසි තියෙනවා. මට කරුමෙට ඔය වෙලාවෙ, අර ලඟදී මම පත්තරේක කියවපු ‘කන්නාඩි දාන බුවාලා, නොදාන බුවාලට වඩා මීටර්’ කියන සමීක්ෂනයක ප්‍රතිඵලේ මතක් නොවුනා නම් මම ඕක දිහා බලන්නෙ වත් නෑ ඕං. මටත් හිතෙනවා මේ කන්නාඩි කුට්ටම දාගෙන ගියොත් , මගෙ ටීචර්ස්ල මම හෙනම මීටරයක් කියලා හිතලා, මට ලකුණු හෙම වැඩියෙන් දෙයි කියලා! මමත් මොකද කරන්නෙ, අර කන්නාඩි කුට්ටම අහුලගෙන දාගන්නවා.

හපෝයි! ඒක දාපු ගමන්, මුළු ලෝකෙම බොඳවෙලා යනව මදිවට, ඇස් වල දැල්ලක් බැඳලා වගෙ වෙනවා! කපලා දාපු ගහක් වගෙ මම ඇදගෙන්න වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මට ඇහෙනවත් කවුදෝ කෑ ගහනවා, “හා, හා, බලාගෙන බලාගෙන!” කියලත්. මම කොන්ඩෑරුමක් ගහලා නතර වෙන්නෙ අර පාර හදන එවුන් පාරෙ හාරලා තිබ්බ කාණුව පල්ලෙ.

අනේ ඒවුනාට :
කැඩියං කකුලක්වත්!
ම්හු! මොන?
අතක් කැඩියං!
ම්හු! මොන?
පැලියං ඔලුව, හිස් කබලට බරපතල තුවාල වෙන්න, මතකයටත් හානි වෙන්න!
මොන?
අඩුම ගානෙ හොඳ කැලලක් හිටින ආතල් තුවාලයක්වෙන්න තිබ්බ නේද?
නොදෝකිං! කැඩිච්ච එකම දේ කන්නාඩි කුට්ටම විතරයි. වෙච්ච එකම තුවාලෙ, මේ වම් ඇහැ යට පොඩ්ඩක් කැපිච්ච එක විතරයි.

කන්නාඩි දාලා, බුද්ධිමත් පෙනුමක් ගැනීම කෙසේ වෙතත්, මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ඉන්න මොංගල් පෙනුමක් නම් ලැබුනා.

හිටපංකෝ.
මේ ප්ලාස්ටරේ අද ගලවන්න ඕනෙ මොන ජාතියෙන් හරි.
තවත් නම් කල් දාලා හරියන්නෙ නෑ.
මම දත් මිටි කාගෙන, ගැඹුරු හුස්මක් අරගෙන, දෙන්න යන්නෙ වැඩේ.

ෆූ… දැවිල්ල!

පිච්චෙනවා වගේ!

අම්මෝ, රිදෙනවෝ!

ඉන්න බැරියෝ!

හයි යයියෝ!

කෝ මම තාම ප්ලාස්ටරේට අතවත් තියලා නෑ!!
ඒ ගැන හිතුවාමත් වේදනාව ඉවසන්න බෑ.
දෙයියනේ, හම ගැලවිලා ආවොත් මොකද කරන්නෙ?
ලේ නවත්තන්න බැරුව ගියොත්?
ලේ ගලලා, ගලලා, ගලලා නාන කාමරේ ලේ වලින් පිරුනොත්!
හැබෑටම මොනවා වෙයිද, මම නාන කාමරේ මගේම ලේ විලේ බැහැලා ඉන්නකොට, අම්මා ඇවිත් දොර ඇරියාම, නාන කාමරේ පිරිලා තිබ්බ ලේ, මුහුද ගොඩ ගලනවා වගේ ලොකූ ‍රැල්ලක් එක්ක එලියට ගහලා, අම්මයි මායි ලේ ගංගාවෙ පාරවල් දිගේ ගහගෙන ගියොත්?

එතකොට අම්මා කෑ ගහලා අහවි,
“මොනවද ළමයො මේ වෙන්නෙ?”

මම කෑ ගහලා කියාවි,
“මම මේ ප්ලාස්ටරේ ගැලෙව්වා විතරයි, අම්මේ!” කියලා.

එතකොට අම්මා කියාවි,
“මොනවා ළමයො? ප්ලාස්ටරේ ගැලෙව්වයි කිව්ව?”

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”

“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”

“නෑ අම්මෙ,” මම කියාවි,”ඒ වුනාට එහෙම වුනානම් කොච්චර හොඳද? එතකොට එකම ප්ලාස්ටරේ මාස හයක් අලෝගෙන ඉන්න වෙන්නෙ නෑනෙ,” කියලා.

පිස්සු හැදෙන සඳ!
මේ වගෙ දේවල් ගැන හිතුවමත් පිස්සු හැදෙනවා තමා.
හොඳ නෑ හිතන්න.
මම දන්නවා කරන්න ඕනෙ දේ.
හිතිල්ල නවත්තලා වැඩට බහින්නයි ඕනෙ!
වහ්…හාම!
ඉවරයක් කරලා දැම්මාම, ඉවරෙටම ඉවරයි.
මේ හුඟාක් මිනිස්සු නිකාං වේදනාව දික් ගස්සා ගන්නවා, මේ නිකාං බොරුවට ඒ ගැන ඕනෙවට වඩා හිතලාම.

මම නං එහෙම නෑ.

මම නම් යමක් කිව්වොත්, ඒක කරලම තමයි ආයෙ පස්ස බලන්නෙ.
ඕව්, ඔව්, ඔව්. මගේ හැටි එහෙම තමයි. මගේ නෑනෙ ඔය බයිලා. මම කිව්වොත් කෙරුවා.

සිරාවටම.

ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ. ඕන්න බලන්න එහෙනං.

මම මේක කරන්නයි යන්නෙ දැන්.

මේ දැන්.

තව මොහොතකින් පටන් ගන්නවා.

මේ දැන් ඉඳලා තව මොහොතකින්.

ඒ කියන්නෙ තව චුට්ටකින්.

එහෙම වෙන්නෙ, මම මේක හිතන්න ගිය අතරෙ, ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙලා. මම ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙච්ච එක ගැන හිතන්න ගිය අතරේ, ‘තව චුට්ටකින්’, ‘තවත් චුට්ටකින්’ බවට පත්වෙලා. අන්න ඒ නිසා තමයි මට තවත් චුට්ටකින් පටන් ගන්න විදියක් නැත්තෙ. මොකද ඒක දැනටමත් පහුවෙලා නිසා.

අන්න ඒක නිසා මම මේ දැන් පටන් ගන්නයි යන්නෙ.

තුනට ගැනපු ගමන්.

එක්..කා…යි!

දෙක්…කා…යියි!!

දෙකහමාරයි…

දෙකයි තුන්කාලයි…

දෙකයි පහෙන් හතරයි…

දෙකයි හයෙන් පහයි…

දෙකයි අටෙන් හතයි…

මේක හරියන මංගල්ලයක් නෙවෙයි.

ගණින වැඩේ හරියන්නෙ නෑ.

නිකම්ම අමුවටම කරන්න ඕනෙ.

මේක ගැන කතා කරන එකයි, හිතන එකයි දෙකම නවත්තලා, වැඩේට බහින්න ඕනෙ.

වැඩේනෙ කෙරෙන්න ඕනෙ.

ඕං එහෙනං!

ඒ වුනාට මේ වැඩේට අර ඇහිබැම ගලවන ට්වීසර් එකක් ඕනෙ වෙනවා, ප්ලාස්ටරේ කොණේ ඇඟිල්ලට අහුවෙන්න දෙයක් නැති තරමට තදින් ඇලිලා තියෙන නිසා.

මම නාන කාමරේ කැබිනට් එක ඇරලා හොයනවා ට්වීසර් එකක්.

මගෙ අම්මෝ! මේකෙ තියෙන ජාති!

බේබි ෂැම්පූ, ඇපල් ෂැම්පූ, ඉස් හොරි වලට ගාන ෂැම්පූ (වෙන කාගෙවත් නෙවෙයි තාත්තගෙ), හෙයා ස්ලයිඩ්, බ්ලේඩ්, ඇන්ටි රිංකල් ක්‍රීම් බෝතලයක් (අම්මගෙ. වෙන කාගෙද?), සන්ස්ක්‍රීන්, කොට්න් බඩ්, කුරුළෑ ක්‍රීම් (ඒක ජෙන්ගෙ. දැන් ඕං ඔයාලා ඒක ගැන කල්පනා කරනවා නම්, ඒක වැඩක් නැති ක්‍රීම් එකක්, ඒකට කුරුළෑ වැඩි වෙනවා වගේ මට නම් පේන්නෙ), ඩිස්ප්‍රින්, විටමින් සී පෙති, පණුවන්ට දෙන පෙති, (මම හිතන්නෙ අපේ බව්වා, සූටියාගෙ වෙන්න ඕනෙ), තාත්තා සමහර වෙලාවට එයාගෙ කකුලෙ ඇඟිලි වල ගාන අමුතු ගඳක් තියෙන ක්‍රීම් ජාතිය. ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් තව චූට්ටක් තියෙන, රෝල් කරපු ටූත් පේස්ට් ටියුබ් දහයක් විතර… කොටින්ම කිව්වොත් ට්වීසර් එක හැර අනිත් සෑම දෙයක්ම තියෙනවා.

දැන් ඔයාලා හිතනවා නම් මම මේ නාන කාමරේ කැබිනට් එකේ තියෙන හැම දේම ගැන ලැයිස්තුවක් හදන්නෙ නිකං කාලෙ මරන්න කියලා, ඒක නම් ලොකුම වැරදීමක් ඕං. ඒ මොකද මම තවම පර්ෆියුම්, මවුත් වොෂ් (ජෙන්ගෙ, හරි?), ලිප් බාම්, නේල් පොලිෂ්, ලිප්ස්ටික් ගැන සඳහනක් වත් කලේ නැති නිසා. මට ඇත්තෙන්ම, මේවා ගැනත් කියන්න තිබ්බා. නමුත් එහෙම නොකලේ, මට ඕනෙ කරන්නෙ ට්වීසර් එක හොයාගන්න මිසක්, නිකරුනේ වෙලාව නාස්ති කරන්න නොවන නිසා.

බලමු ප්‍රථමාධාර පෙට්ටිය ඇරලා.

ආහ්! මේ තියෙන්නෙ බඩුව.

මම ට්වීසර් එක එලියට ගන්නවා.
මට දැන් පුලුවන් ප්ලාස්ටරේ ගලවලා දාලා ඒ කරදරෙන් සදහටම මිදෙන්න.

පොඩී ප්‍රශ්නෙකට තියෙන්නෙ ට්වීසර් එක. ඇබීන්දක් විතර අපිරිසිදුයි වගෙ පේන්නෙ. මේක උණු වතුරෙ දාලා විෂබීජ මරලම ගත්තොත් මොකද? විෂබීජ ගැන කියන්න බෑනෙ!

මම උණුවතුර කරාමෙ ඇරලා ට්වීසර් එක හොඳට සෝදනවා.
දැන් ඔයාලා හිතනවා නේද නම් මම මේ කාලෙ ගතකරන්න විකාර කරනවා කියලා?

ඇත්තෙන්ම නෑ.

මට ඔය පුංචි වේදනාවක් කියන එක ගානක් නෑ.
ඇත්තෙන්ම මම කැමතියි වේදනාවට.
ඒකෙත් තියෙනවා යම් ආතල් එකක්.
ඇත්තෙන්ම මට නම් වේදනාව වැඩිවෙන තරමට තමා ගතිය.

සමහර වෙලාවට ලීයකට ඇණයක් ගහනකොට, මම කැමතියි ඕනැ කමින්ම ඇඟිල්ලටත් මිටි පාරක් ගහලා තලාගන්න. මොකටවත් නෙවෙයි, අර ඇදුම් කන වේදනාව විඳින්න.

මම A4 කඩදාසිත් එක්ක වැඩක් කරනකොට, මම කැමතියි කඩදාසියකට ඇඟිල්ලක් පොඩ්ඩක් කපාගන්න, මොකද ඒකෙන් මාර වේදනාවක් දැනෙන නිසා.

පිහියකින් වැඩක් කරනකොට මම පිහිය පොඩ්ඩක් ලෙවකනවාමයි, මොකද පිහියට දිව පොඩ්ඩක් කැපුනාම, අර A4 කඩදාසියට ඇඟිල්ල කැපුනට වැඩිය පට්ට ආතල් වේදනාවක් දැනෙන නිසා.

දැන් ඔයාලා හිතනවද මේවා මහා චාටර් වැඩනෙ කියලා?
හෙහ් හෙහ්හෙහ්! ඕවා මොනවද? මා ගාවා තියෙනවා පොතක්. ඒකෙ නම ‘මරණීය දණ්ඩණ විශ්ව කෝෂය‘ (Encyclopedia of Executions). අන්න පට්ට භාණ්ඩේ.! ඒකෙ තියෙන සමහර වධ ගැන ඇහුවොත්, ඔය මං කලින් කිව්ව ඒවා නිකං මොනවද කියලා හිතෙයි.

ඕං අහගන්නකො කීපයක්.
මිනිස්සුන්ව උණු වතුරෙ දාලා පණපිටින් තම්බනවා.
උලක ගහලා ගින්නට අල්ලලා පුච්චනවා.
කාන්තාරේ මැද්දෙ බිම දිගාකරලා අතපය හතර අතට ඇදලා කූඤ්ඤ වලට ගැට ගහලා තියනවා.
ඇඟ පුරාම මී පැණි තවරලා, කූඹි ගුලක් ලඟ ගැට ගහලා තියනවා.

ඔය ඔක්කෝම, මාස හයක් ඇ‍ඟේ අලවාගෙන හිටපු ප්ලාස්ටරයක් ගලවනකොට දැනෙන වේදනාවට යටයි.

මේ වැඩේ කොහොම හරි කරන්න ඕනෙ.

ඒක කරන්න ඕනෙ මේ දැන්.

ට්වීසර් එක ලෑස්තියි.

මම උණු වතුර කරාමේ වහනවා.

ෆුල් ඩම් එක ගන්නවා.

ට්වීසර් එකේ එක අණ්ඩක් ප්ලාස්ටරේ කොනකින් ඇතුලට රිංගවලා, අඬු දෙකෙන්ම අල්ලලා, අදිනවා.

ආආආආආආආආආආආආආහ්හ්හ්!@%*!!!!!!!!!@ @##**@ $!$%#%#$%!!!!ඌඌඌඌඌඌඌඌඋයි!@##**@
@!@%#%#$ @@ ඈව්! ආආආආආව්ව්!#!!!!*!!!!! !!@@##**@ # %&^%# #@!!!#%#$% ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියපු, Just Wacky! කියන පොතේ, BAND-AID කියන මුල් කතාවෙ මේ කෑගැහිල්ල තියෙනවා පි‍ටු තුනක්! හිතාගන්න පුලුවන්නෙ වේදනාව. පව් පොඩි එකා.

හරි, මහන්සිත් ඇතිනෙ කියවලා. මම මේ පාර, මෝඩ ප්‍රශ්න අහන්නෙ නෑ, ඊ ලඟ කොටස ඕනෙද කියලා. නමුත් ඇන්ඩි ප්ලාස්ටරේ ගලවා ගත්ත කියලද ඔයාලා හිතන්නෙ?

ඊ ලඟට මොකද වුනේ? ලඟදීම…

පසු වදන: මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.

 

ටැග: , ,

104 responses to “87. ප්ලාස්ටරේ / Band-Aid

  1. hiruni

    සැප්තැම්බර් 18, 2012 at 1:25 පෙ.ව.

    ඇත්තටම මේක කියවගෙන ගියේ එක හුස්මට. හරිම ලස්සනට ලියලා තියෙනවා….මේ කතා ඉන්ග්‍රසියෙන් කියෙව්වම ලැබෙන රසය එහෙම්මම තියෙනවා….චිත්‍ර හරිම ලස්සනයි…..ඉතුරු ටිකත් ඉක්මනටම කියන්න හරිද ඩුඩ්,,,😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 7:48 පෙ.ව.

      මුල්ම රසිකාවිය. මම මේක දාලා නිදාගන්න ගියා. මේක තාම අප්ඩේට් වෙලා නෑනෙ බ්ලොගර් බ්ලොග් වල. බොහෝම ස්තුතියි අගය කිරීමට.

       
  2. Kenji @ Japan

    සැප්තැම්බර් 18, 2012 at 5:55 පෙ.ව.

    ලියල තිබෙන විදියට මහන්සියක්,කම්මැලිකමක් නැතිව කියවා රස විදිය හැකි ලෙසටම ලියල තියෙනවා.ඒකට කියන්නේ “එල” කියලද?”සුපිරි” කියලද?දන්නේ නැහැ.පසුගිය දවසක පාසලේදී වැටිලා දනිස් දෙකම සුළු සිරීම් ඇතුව ආපු මගේ පුතණ්ඩියගේ ප්ලාස්ටර් ගලවද්දී එයාගේ ඉරියව් මතක් උනා.සෑහෙන වෙලාවක් ඔට්ටු වෙන්න ඕන ගලවන්න.එයාටත් ඔය වගේ හිතෙන්න ඇති කියල හිතුන.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 7:48 පෙ.ව.

      ඇත්තෙන්ම කෙන්ජි මම හිතුවෙ මේක ටිකක් දිගත් වැඩි ඇති කියලා එක කොටසකට, නමුත් මේක් කොටස් දෙකකට කඩනවා මිසක් තුනකට කඩන්න මට හිතුනෙ නෑ. මමත් ඔයා මෙගා සීරීස් වලට එච්චර කෑමැත්තකුත් නැති එකේ. අහා කෙන්ජිගෙ පැටියාගෙ සිද්ධියෙන්ම පේනවා නේද පොඩි එකෙක් හිතන විදිය අපි හුඟ දෙනෙකුට අමතක වේගන යන බව?🙂

       
  3. emailkavikaari

    සැප්තැම්බර් 18, 2012 at 5:56 පෙ.ව.

    නියමෙට ලියල ආයෙ සැරයක්. මේ කාලෙ අති සාර්තක ලියන්නා.

     
  4. maal

    සැප්තැම්බර් 18, 2012 at 7:20 පෙ.ව.

    නියමයි.මැවෙන්න ලියලා තියනවා.ඩෙනිස් වගේ..

     
  5. henryblogwalker the Dude

    සැප්තැම්බර් 18, 2012 at 7:49 පෙ.ව.

    අන්න මම ආසාම තවත් චරිතයක් මාල්, මම කියන්නෙ මූවී එක නෙවෙයි කාටූන්. අනිකා ටොම් සෝයර්.

     
  6. Amila

    සැප්තැම්බර් 18, 2012 at 8:27 පෙ.ව.

    ලෙසටම ලියලා, ආය ඒකේ හොදන්න දෙයක් නෑ,
    ටොම් සෝයර්ම තමයි

     
  7. henryblogwalker the Dude

    සැප්තැම්බර් 18, 2012 at 8:44 පෙ.ව.

    බොහෝම ස්තුතියි අමිල.

     
  8. හංසකිංකිණි

    සැප්තැම්බර් 18, 2012 at 9:30 පෙ.ව.

    මට මතක් වුණේ අයියෙ ඉස්කෝලෙ පහ වසරෙ විතර ඉන්නකොට දවසක් අපි කට්ටිය පාරෙ ඇවිදගෙන එනව… අම්මල කට්ටිය මොකද්දෝ කඩේකට ගියා.. අපි පාර අයිනෙ අර කාණුව වැයෙන්ඩ දාල තියෙන කොන්ක්‍රීට් තට්ටු උඩ හිටගෙන ඉන්නව.. මාත් ඉතිං දෙයක් විස්තර කරන්ඩ ගියාම ආයෙ නෑ පණ පිහිටුවල නෙ විස්තර කරන්නෙ.. ඔහොම මොකක් හරි විස්තර කරන වෙලාවෙ අර සිමෙන්ති තට්ටු දෙකක් අතරෙ තියෙන සිදුර අස්සෙන් මගෙ සපත්තුවකුත් දාල තිබුනු කකුල බැස්ස දණිස්ස ලඟටම… කකුලෙ මුල හරියෙන් කෙට්ටු හන්ද ලේසි වුණාට ඇඟේ බරත් එක්ක බත් කෙණ්ඩ හරියට එද්දි අර සිමෙන්ති තට්ටු දෙකට මැද්දෙන් ඇතුලට බැස්ස මගෙ කකුල ලෙලි ගිහිල්ල…. අනිත් එවුන් ඇදල ඇදල මාව ගොඩට ගත්තෙ… මාර වැඩේ කියන්නෙ සපත්තුවත් බේරගෙන තමයි මං නැගිට්ටෙ…
    ගෙදර ඇවිල්ල මංම බෙහෙත් දාගත්තෙ…
    (කොහොමද සර්ජිකල් ස්ප්‍රීතු දානකොට සනීපෙ….??)
    ඊලඟ දවසෙ කකුල හොල්ලන්ඩවත් බෑ.. ඒ වුණාට දොස්තර ලඟට අරන් ගියොත් කියල බයේ මංම තමයි සියලුම ශල්‍යකර්ම කටයුතු කරගත්තෙ…..

    දැන් අවුරුදු හත අටකට කලින් නියපොත්තක් ගලවන තැනට වැඩේ වෙලා තිබුණ කකුලෙ… ඒකටත් මංම තමයි වැඩේ දුන්නෙ.. කතුරු ට්වීසර් එහෙම තම්බල අරන්!!!
    ලස්සනම වැඩේ මොකද්ද දන්නවද.. ඔය උඹේ කතිවෙ පොඩි එකාට ඔව්ව කරද්දි හිතෙන මනෝ විකාර තියෙනව නේද?? එව්ව ආයෙ අඩුත් නැතුව වැඩිත් නැතුව මගෙ ඔලුවෙත් වැඩ කරනව … හිතන්ඩ පටං ගන්නෙ තුවාලෙං වුණාට ආයෙ ඉවර වෙන්නෙ කෙහෙන්ද කියල ලොවෙත් හිතාගන්ඩ බෑ….

    මේ කතාව මෙහෙම පරිවර්තනය කරනවට උඹට මොනවද දෙන්නෙ කියල මං මේ කල්පනා කරන්නෙ??

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 10:21 පෙ.ව.

      කකුල කොන්ක්‍රීට් තට්‍ටු දෙක අතරට බැහැපු එක අහද්දි ඇඟ හිරි වැටෙනවනෙ බං. අනික අර ආපහු අදිනකොට තවත් ලෙලි යන්න ඇති.
      උඹත් තුවාල සම්බන්ධයෙන් DIY තමයි නේ?😀 ඔය ඩොකා ගාවට ගියොත් රිදෙයි කියලා බයද?
      මට මොනවද ඕනෙ? අපි ආපු වෙලාවක අර උඹ රස කරලා විස්තර කරන කෑම වේලක් හදලා දීපංකො. ඉහටත් උඩිං.🙂

       
      • haree

        සැප්තැම්බර් 18, 2012 at 12:10 ප.ව.

        මට පුදුම ආසාවක් තියෙන්නෙ ඒ කොන්ක්‍රීට් තට්ටු උඩ ඇවිදින්න.. පාරෙ යනවානම් මම යන්නෙම ඒවා උඩ.. ඒවා අඩිය තියද්දි හෙල්ලෙනවට මම හරි ආසයි..🙂

         
        • හංසකිංකිණි

          සැප්තැම්බර් 18, 2012 at 4:18 ප.ව.

          මාත් ඉස්සරහින් යන කෙනා අඩිය තියන විදිය බලල… එතකොට හෙලවෙන එකක් දැක්කොත් ඒක නං මිස් කරන්නෙ නං නෑ … මුල්ලක් කැඩිල එහෙම තියෙනව නං එතනිං අනිවාර්යයෙන් අඩිය තියන්ඩම ඕනෙ… ඒක හෙන ජොලි වැඩේ!!!

           
      • හංසකිංකිණි

        සැප්තැම්බර් 18, 2012 at 4:14 ප.ව.

        සිම්පල් නෙව.. දෙන්නං ආයෙ බඩ දිගෑරෙන්ඩ කෑම වේලක්!!
        ඔවු… මට වෙන කවුරු හරි අතිං වෙන රිදවීමක් දරාගන්ඩ හරි අමාරුයි… දැන් කකුලෙ කටුවක් ඇණුන කියන්ඩකො… ආයෙ තුනට හතරට නැවිල කැරකිලා ඉඳගෙන හරි මංම තමා ඒක අරන් දාන්නෙ.. වෙන කාටවත් නං දෙන්නෙ නෑ අල්ලන්ඩවත්…
        උඹට කියන්ඩ ඔය ගලවන්ඩ ගලවන්ඩ කියල හැමෝම කියපු නියපොත්ත මම ඩිංග ඩිංග කැපුව… අර පේපර් නයිෆ් එකකුයි, නේල් කටර් එකයි, පුංචි කතුරකුයි අරන්..අර කලන්තෙ හැදෙන්ඩ නිලංකාර වෙන්නෙ.. . දෙපාරක් විතර ඒ වගෙත් ආව.. ඒත් මං නෙවෙයි අතෑරියෙ…
        මම කොච්චර නං බරපතල තුවාල ගෙදරට කියන්නෙ වත් නැතුව හොරෙන්ම මංම බෙහෙත් කරල සනීප කරන් තියෙනවද කියල මට ගනින්ඩවත් බෑ..

         
        • henryblogwalker the Dude

          සැප්තැම්බර් 19, 2012 at 10:21 පෙ.ව.

          අනේ බං ජනුවො, බබා හම්බවෙන්න නං ඉස්පිරිතාලෙකට පලයං ඈ!😀

           
          • හංසකිංකිණි

            සැප්තැම්බර් 19, 2012 at 10:30 පෙ.ව.

            හක් හක් හා!! හැබෑට මට දැන් නෙව එහෙමත් එව්ව වෙන්ඩ පුලුවං කියල මතක් වුනේ අයියෙ??
            මල කෙලියයි…!!!
            ඔන්නොහෙ ඕනෙ එකක් කියල යමු!!!
            ඉස්පිරිතාලෙ දෙකක් කරල දොස්තරලට නේස්ලට පයිං ගහල එන්ඩ බැරියැ ඉතිහාසගත වෙන දරු උපතක් සිද්ධ කොරල නැද්ද??

             
            • ravi

              සැප්තැම්බර් 19, 2012 at 7:54 ප.ව.

              හෙහ්, හෙහ්, දරු උපත් ගැන කියනකොට මරු කතාවක් මතක් උනා…එක්කොත් ඕන නෑ🙂

              මේ ජනූ, ඒක නෙවෙයි මම ලියන්නෙයි පෝස්ට් එකක් උඹ බබානිස් හම්බ වෙන්ඩ ගිහිල්ල වෙච්චි සීන්ස් ටික?

              ඔන්න මෙහෙමලු පටං ගන්නෙ….හරී?

              මෙන්න මේ දැන් ලැබුණු ප්‍රවෘත්තියක්…අද දහවල් කොළඹ කාසල් රෝහලේ නේවාසිකව සිටි ගැබිණි මාතාවක් වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියන් සතර දෙනෙකුට පහර දී රෝහලේ මායිම් තාප්පයෙන් පැන පළාගොස් ඇතිබව බොරැල්ල පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පළායන අවස්තාව වන විට ඇය හැඳ සිටියේ…………….

               
  9. අවතාර්

    සැප්තැම්බර් 18, 2012 at 9:33 පෙ.ව.

    ප්ලාස්ටර් කතාවත්
    ටිකක් දිග වැඩි නිසා මැදින් මැදින් කියෙව්වා

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 10:23 පෙ.ව.

      හයි යයියෝ අවතාර්. එහෙම කියවලා නම් මේකෙ මෙලෝ රහක් නෑ. මේක හෙමීහිට කියවන්න ඕනෙ එකක්. ආයෙ ට්‍රයි කරලා බලන්නකො වෙලාවක් ලැබුනාම.🙂

       
  10. Gold fish

    සැප්තැම්බර් 18, 2012 at 9:34 පෙ.ව.

    අප්පච්ච්යෝ මං හිතුවේ අයියට වෙච්චි දෙයක් කියලා…. හිකිස්…

     
  11. haree

    සැප්තැම්බර් 18, 2012 at 12:06 ප.ව.

    P.O.P කාස්ට් එක??

    කොන්ඩෑරුමක් ගහලා??

    BAND-AID කියලද කියන්නෙ.. අපි බැන්ඩේජ් කිව්වට හරි වචනෙ දන්නෙ නෑනෙ.. හෙන්රි අයියාත් තමුන්ගෙ වයසින් අවුරුදු 40ක් විතර අඩු කරගෙන ළමාකාලයට ගිහිල්ලම ලියලා තියනවා.. කතාව නම් සුපිරියි.. මල් හතයි.. !

    මම හිතුවා ප්ලාස්ටරේ ගලවන තැනින් වැඩේ ඉවරයි කියලා.. ඕං බලන්නකො මම කතාව දන්නෙ නැතුව කියන්නෙ.. පොඩි එකා ප්ලාස්ටරේ ගලවපුවම එතන හම වෙන පාටක්වෙලා ඇති.. ඌට පොටෝ එකට යන්න තව මොන මොනාහරි කරන්න වෙයි මුළු මූණම එක පාටකට ගන්න…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 12:23 ප.ව.

      P.O.P කාස්ට් එක = Plaster of Paris cast

      කොන්ඩෑරුමක් ගහලා?? = somersault ( කරනමක් ගහලා, බල්ටියක් ගහලා)

      BAND-AID කියන්නෙ හරී ප්ලාස්ටර් වල වෙළඳ නාමයක්, Dettol Plaster වගෙ. නමුත් හැමෝම ඒක පාවිච්චි කරනවා, අපි PVC පයිප්ප වලට එස්ලෝන් කියනවා වගේ. ඒ වගෙම අපි කොටන් බඩ්ස් කියන එකට අමෙරිකන්ස්ලා කියන්නෙ Q-Tips එතකොට, ටිෂූස් Kleenex. අන්න ඒවගෙ.

      මට අවුරුදු හතලිහක් පහුවුනත් ළමාකාලෙ අදවගෙ මතකයි හරී.

      මේ පාර හරීගෙ අනුමානය හරිද කියලා බලමු, ගියපාර ගැමියායි පණුච්චියි අනුමාන කරලා තිබ්බා ලස්සනට අර පළවෙනි කතාවෙ දෙවන කොටස.

       
  12. praveena

    සැප්තැම්බර් 18, 2012 at 1:31 ප.ව.

    මම හිතුවේ අර පරිවර්තනයේ කොටසක් කියලා. ඒ ලමයා කතා කරනවා වගේමනේ. හී හී..

    මට නම් ටිකක් වෙලා ප්ලාස්ටර් එකක් දාගෙන හිටපුවාම එතන තුවාලයක් හැදෙනවා. එක්තරා වර්ගයක් ඒවා විතරයි දාන්ට පුලුවන්. ඔන්න ඉතින් හදිසියකටවත් ඉස්පිරිතාලෙකට ගියොත්, මතක ඇතුව, ඒක කියන්ට මතක තියාගන්ට ඕනි.

    අද බ්ලොග් බලලා මගේ ඔලුව කැරකෙනවා. මුලින්ම රවිගේ. දැන් ඩූඩ්ගේ…මට ඔලුවට ප්ලස්ටරයක් දාගන්ට වෙයිද මන්දා….

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 3:16 ප.ව.

      හපෝයි ප්‍රවීනා මේ එක් කොලුවම නේන්නං. අර ඕස්ට්‍රේලයාවෙ ඉන්න ඇන්ඩියා.
      ඒ කියන්නෙ ඔයා ඒ ප්ලාස්ටර් එකේ ගම් එකට ඇලර්ජික් ඇති.

       
  13. sarath Lankapriya

    සැප්තැම්බර් 18, 2012 at 1:40 ප.ව.

    බැරි වෙලාවත් ඕක අපේ හෙන්රි මහත්තයට උනා නම් ඉතින් ප්ලාස්ටරේ පෙනෙන්නේ නැතුවම යනවානේ.. ඇයි ඉතින් මුණ සුදුම සුදුයි ප්ලාස්ටරෙත් ඒ පාටමයි.. ඔන්න මට උනොත් නම් ඉතින් මගේ මූණ ජුන්ඩක් විතර කළු හින්දා කැපිලා පෙනෙයි..

     
  14. අටම්පහුර

    සැප්තැම්බර් 18, 2012 at 1:44 ප.ව.

    දිගටම ඇන්ඩි කාරයගේ එව්වාම දැම්මත්කමක් නැ

     
  15. රාජ්

    සැප්තැම්බර් 18, 2012 at 2:50 ප.ව.

    අම්මපල්ල මං හිතුවෙ මේ හෙන්රි අයියගෙ සිද්ධියක්මයි කියල. චැහ්! ඒත් මට පොඩ්ඩක් හිතන්න තිබුන සුදුපාට ප්ලාස්ටර් එකක් මාස හයක් අලවගෙන හිටියට හෙන්රි අයියගෙ මූනෙ පාටට එන්නෙ නෑ කියල. අඩු ගානෙ අවුරුදු දෙක තුනක් නං කමක් නෑ.🙂

     
  16. Senna

    සැප්තැම්බර් 18, 2012 at 3:08 ප.ව.

    නියමයි..මාර ආසාවෙන් කියෙව්වෙ… ටෝම් සෝයර් ගොයියවයි, කෙ.කො. චූටි මහත්තයවයි මතක් වුනා මේක කියවද්දි..

    “මෝඩ ප්‍රශ්ණෙ ” කතාව ඩූඩ්ට ටිකක් දැනිලා වගේ.. මම මගේ මෝඩ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නවා. සිත් රිදවීමක් වුනානම් සමාවන්න.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 18, 2012 at 3:11 ප.ව.

      සෙන්නෝ, උඹලා කවදාද බං මාව හරියට තේරුම් ගන්නෙ. මෝඩ ප්‍රශ්ණෙට හිත රිදෙන්නෙ මොකටද. ඒකෙන් කිව්වෙ උඹ ඒ කතාවට එච්චර ආසයි කියලනෙ. බලාගෙන ගියාම ඒක මෝඩ ප්‍රශ්ණයක් තමයි. ඒ නැතත් එහෙම ප‍ටු විදියට හිතන්නෙ නැ බං මම.

       
      • Senna

        සැප්තැම්බර් 18, 2012 at 3:40 ප.ව.

        : D

        ඒත් ඩූඩ් දෙතැනකම මේ ගැන සඳහන් කරපු නිසා මට හිතුනා හිත රිදිලවත්දෝයි කියලා.. එහෙම නැත්තම් අවුලක් නෑ…🙂

         
  17. Red

    සැප්තැම්බර් 18, 2012 at 3:20 ප.ව.

    නියමයි… එක හුස්මට කියෙව්වා.. අනේ සහෝ අර පලි කොටස නම් ඕනේ ම නැ… ඔය නම් ළමයෙක් හිතන් විදිහනේ.. ඒ වුනාට ඔයිට අන්ත විදිහට ලියන වැඩිහිටියෝ ඉන්නේ.. දැන් ඉතින් ඊළඟ කොටස එන දවස තමා හිතන්න වෙන්නේ..

     
  18. lokujohn

    සැප්තැම්බර් 18, 2012 at 3:42 ප.ව.

    කියවගෙන කියවගෙන ගියා පහුගිය කතාව මතක නිසා මේපාරනම් ඇඳගන්නෙ නැතුව කියෙව්වා . මේ වැඩෙත් නියමයි වගේ

     
  19. DDT

    සැප්තැම්බර් 18, 2012 at 3:50 ප.ව.

    කියවන්න ගන්න කොටම මට නම් හිතුන මේ අර කලින් එකේම තවත් කතාවක් කියල. ඒකෙ ශෛලිය පටගාල මීටර් වෙනව. අදත් නියමෙටම වැඩේ දීල තියෙනව. පොඩි කාලෙදි අපිත් කොච්චර නම් ඔය වගේ චූටි දෙයක් මහමෙරක් කරන් හිතල තියෙනවද? අනික කවුරු හරි ලෙඩ වුනාම එයාට ගෙදර අනිත් අයගෙ තියෙන සැලකිල්ල දැක්කම අපිටත් හිතෙනව අනේ ඒ ලෙඩා මම උනානම් කියල. ඉස්කෝලෙදි කොල්ලෙක් දුවල වැටිල තුවාල කරගත්තම ටීචල වට වෙල බෙහෙත් දාද්දි (චූටි සන්දියෙදි ඈ..), ගෙදරින් ගෙන්නල ඌව කලින් ගෙදර යවද්දි, ආයෙ සනීප වෙල ආවම ළමයි වටවෙල ඔයාට රිදුනද, දැන් කොහොමද වගේ නානාවිධ ප්‍රශ්න අහද්දි අනේ ඒක මට උනානම් ජොලි කියල හිතුන කාලයකුත් තිබුණ කියල දැන් මතක් වෙනකොටත් හිනහයි.
    හෙන්රි අයියගෙ චිත්‍රවල ඔයාටම ආවේනික ගතියක් තියෙනව. අර කොළුවගෙ කොණ්ඩෙ දැක්කම මට මතක් වුනේ අපි ඉස්සර තදට පැස්ටල් අතුල්ලල නැවත ඒක හූරල අඳින චිත්‍ර.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 10:49 පෙ.ව.

      DDT, හනේ බං මටත් ඔහොමම හිතිලා තියෙනවනෙ. අපි කාල දෙකක ඉපදුනත් හිතන්නෙ එකම ට්‍රැක් එකේ නේද? ඇයි අසනීප වෙලා ඉඳලා සනීප වෙනකොට අපි තැම්බුම් හොදියි වැටකොලුයි බතුයි කද්දි අනිත් උන් කන කෑම කන සුවඳ එනකොට කොහොමද දැනෙන ආතල් එක.
      DDTයා කිව්වාම මාත් ස්ක්‍රෝල් කරලා බැලුවා. හැබෑ නේන්නං අර ඉස්සෙල්ලා කහ පාට, ඊට පස්සෙ රතු, ඊට පස්සෙ කලු පැස්ටල් ගාලා, සූරලා වගෙම තමයි පේන්නෙ. මේ අර ටැබ්ලට් එක බං. ඇත්තටම අපේ DDT ට තියෙනවා අර eye for detail. රහස් පරීක්ෂකයෙකුටත් වරදක් නෑ. ආ දැන් නැගිටලා පුෂ් අප්ස් දහයක් කරලා පොඩ්ඩක් ඇවිදලා වරෙං.

       
  20. රාමා

    සැප්තැම්බර් 18, 2012 at 4:05 ප.ව.

    ඔන්න ඔය පොතම හෙළුවට පෙරලමු… පරිවර්තනය කියන්නේ වචන වල බස මාරු කිරීමම නෙවෙයි කියන එක මෙහෙම පරිවර්තනයක් දැක්කම හොඳටම පැහැදිලියි. ඒකට මොකක්ද මෙව්වා එකක් ඇඟේ තියෙන්න ඕනි..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 10:49 පෙ.ව.

      රාමෝ, මේ එක පොතක් නෙවෙයි. කලින් එක Just Annoying පොතෙන්. මේක Just Wacky පොතෙන්. දෙකම Just සීරීස් එකෙන්. බොහෝම ස්තුතියි රාමා ඇගයීමට.

       
  21. රූ

    සැප්තැම්බර් 18, 2012 at 4:34 ප.ව.

    හරිම අපූරුයි ඩූඩ්…
    විස්තර කරන්න වචන මදි..හරිම ලස්සනට පරිවර්තනය කරලා තියනවා..මල් හතයි..

     
  22. Weniwel

    සැප්තැම්බර් 18, 2012 at 5:29 ප.ව.

    පරිපූර්ණ නිර්මාණයක්…අන්තිමේ කියන කම් හිතුනෙ නෑ පරිවර්තනය කලා කියලා..

     
  23. සිඳු

    සැප්තැම්බර් 18, 2012 at 5:52 ප.ව.

    නියමයි මේ පාරත්, ඩූඩ් අපි පොතක් ගහමු මේ වගේ ගොඩකින්. මේ විදියට ළමයෙක් හිතනව වගේ ලියන්න , පරිවර්තනය කරන්න පුළුවන් එක නියමයි.
    ළමා කාලයක් තිබුණ හැමෝම කැමති වෙයි.

    මට මතක් වුණේ round the twist එකේ පොඩි එකා bronson මාස 6ක් එක දිගට එකම මේස් කුට්ටම දාපු කතාව. එයා නම් එහෙම කළේ හොරු වගයක් සිහි නැති කරවන්න මේස් දෙක පාවිච්චි කරන්න.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 10:52 පෙ.ව.

      සිඳු, මම කල්පනා කලේ අර පි‍ටු පන්සීය දාහ තියෙන පොත් පරිවර්තනය කරන කට්ටිය කොහොම කට්ටක් කනව ඇත්ද කියලා.!😀

      ආ… සිඳු Round the Twist ලිව්වෙ Paul Jennings පොරත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච බ්‍රිට්ටෙක්. අන්න මම ආසම අනිත් බුවා. මම එයාගෙත් කීපයක් කරන්න හිතාගෙන ඉන්නෙ. අන්න ඔයා කිව්වා වගෙ තමන්ට ලමා කාලයක් තිබ්බ බව අමතක නොකරපු මිනිස්සු!

       
  24. චන්දන

    සැප්තැම්බර් 18, 2012 at 5:52 ප.ව.

    කියවල තියන කතා වලින් වෙනස්ම කතාවක්. පොඩි එකාගේ චිත්‍රය නිසා කතාව මැවිලා පේනවා. නියමයි ඩූඩ්!!!

     
  25. Kandyan

    සැප්තැම්බර් 18, 2012 at 6:33 ප.ව.

    ප්ලාස්ටරේ රබර් වගේනේ… ඇදෙනවා…🙂
    හා හා…ඉතුරු ටිකත් දැම්මනං

     
  26. විසිතුරු

    සැප්තැම්බර් 18, 2012 at 7:15 ප.ව.

    රෝල්ඩ් ඩාල්ගේ කතන්දර වලටත් වඩා හපන් වගේ!😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 11:00 පෙ.ව.

      රෝල්ඩ් ඩාල්ගෙ මම ආසම කතාව මම දාන්න ඉන්නෙ පරිවර්තනය කරලා. අපේ හුඟ දෙනෙක් නොදන්න කෙනෙක් තමයි ඒ, ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්, පෝල් ජෙනිංස් වගේම.

       
      • DDT

        සැප්තැම්බර් 19, 2012 at 1:16 ප.ව.

        රෝල්ඩ් ඩාල්ගෙ කතා ටිකක් චන්දන මෙන්ඩිස් මහත්තය පරිවර්තනය කරල තියෙනව ‘හරිම පුදුමයි‘ කියල. ටිකක් අමුතු කතා තමයි. මම ඒකෙ ආසම කතාව අර ඇඟිලි ශිල්පියෙක් ඉන්න මගියා කියන කතාව.

         
  27. ළිහිණි

    සැප්තැම්බර් 18, 2012 at 7:21 ප.ව.

    හප්පේ…කොල්ලා කරගන්න හදන දෙයක්. වෙලාවකට මට මෙහෙම හිතෙනවා පොඩි කාලෙ තියෙන කුතුහලය ලොකු වෙනකනුත් තිබ්බ නම් හොඳයි කියලා.
    මට නම් හිතෙන්නෙ ඩූඩ් කොල්ලගෙ මූණ ඉවර ඇති. ඇයි දෙයියනෙ එක ප්ලාස්ටරයක් මාස ගානක් එකම තැන තියෙද්දි…

    හැමදාම වගේ ඩූඩ් ගෙ පරිවර්ථනය..අති විශිෂ්ඨයි !

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 11:05 පෙ.ව.

      හපොයි ඔව් ළිහිණි, මූ හරිම හපුයියා. වචනයේ පරිසමාප්තියෙන්ම මූ කොල්ලෙක්. ඔය කතා ලියපු බුවාගෙ පොඩි කාලෙ අත්දැකීම් අනුසාරයෙන් තමයිලු මේවා ලියලා තියෙන්නෙ.
      ළමයින්ගෙ කුතුහලය මොට කරලා දාන්නෙ වැඩිහිටියොනෙ.
      කොල්ලා කරගන්න දේ මම ඉක්මනටම කියන්නම්!🙂

       
  28. ලකීසිරි

    සැප්තැම්බර් 18, 2012 at 9:38 ප.ව.

    හෙන්රි අයියගෙ පරිවර්තන මාර රසයි…සුපිරියි.කියවන්න කියවන්න ආසයි..

    ++++++++++++

     
  29. Maathalan

    සැප්තැම්බර් 18, 2012 at 9:46 ප.ව.

    මරු, මල් හතයි, බුලත් හතයි, කැවිලි හතයි. පට්ට පට පට. අපි වගේම හිතෙන එකෙක්. ඒකයි මේ රහ… ජයවේවා….

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 11:32 පෙ.ව.

      හප්පට සිරි, මාතලං ගොයියා පිදේනි තට්‍ටුවක්ම තියලා!.😀 අපි වගේම හිතෙන එකෙක්!! අනිවා, අපි වගේම හිතන එකෙක් තමයි. ඒකනෙ මේ රහස!

       
  30. Harshana Adikari (රජා)

    සැප්තැම්බර් 18, 2012 at 10:57 ප.ව.

    සුපිරියි ඈ..🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  31. AKM

    සැප්තැම්බර් 18, 2012 at 11:05 ප.ව.

    //ෆූ… දැවිල්ල!
    පිච්චෙනවා වගේ!
    අම්මෝ, රිදෙනවෝ!
    ඉන්න බැරියෝ!
    හයි යයියෝ!
    කෝ මම තාම ප්ලාස්ටරේට අතවත් තියලා නෑ!!….//

    යකෝ මේ මමද?

     
  32. Beetle

    සැප්තැම්බර් 19, 2012 at 12:55 පෙ.ව.

    කෙහෙල්කොටුවේ චූටිමහත්තයගේ රොක් වර්ෂන් එක😀 වෙනදා වගේම නියමයි🙂

     
  33. පනුච්චි

    සැප්තැම්බර් 19, 2012 at 12:57 පෙ.ව.

    හම්මෝ මෙහෙමත් ප්ලාස්ටරයක්… අනිත් එකත් ඕනේ………

     
  34. චන්දන

    සැප්තැම්බර් 19, 2012 at 9:35 පෙ.ව.

    තව සිද්දියක් මතක උනා. අපිත් එක්ක A/L ක්ලාස් එකේ හිටිය යාලුවෙකුට වුනු සිද්දියක්. උගේ අල්ලේ /අත්ලේ පොඩ්ඩක් කැපිල බ්ලේඩ් එකකට. මූ කැපුණු තැන ලං කරලා සුපර් ග්ලූ ටිකක් දාලා. ඒක දැම්මට පස්සේ ඉන්න බැරුව දැවිල්ලයි ලු. ඊට පස්සේ මුඋත් ඔය කතාවේ පොඩි එකා වගේ අර ගම්එක දාල හයි/සවි වුනු තැන කෙළවරෙන් අල්ලලා ඇදලා දාලා. මොනවද ඉතින් තිබුන වගේ දෙතුන් ගුණයක් හම ගැලවෙලා ගිහින්. උත් ඒ කාලේ හැටියට පිටු එක හමාරක් විතර හෑයි.. හුඋයි .. ගගා ඉඳල..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 11:39 පෙ.ව.

      හපෝයි අරූ!😮
      චන්දන. මට මතක නෑ කොහෙද දැක්කෙ කියලා, නැට්ජියෝ චැනල් එකේ හරි විකියෙ හරි කොහෙ හරි… ඕනෙ එකක්. ඔය සුපර් ග්ලූ යුද බිමේදි පාචිච්චි කරලා තියෙනවලු හම එකට තියලා අලවන්න මැහුම් වෙනුවට. අනේ කරලා බලන්න යන්න එපා. නමුත් වෙන්නත් ඇති කියලා හිතෙනවා. අනික අපරාදෙ කියන්න බෑ සුපර් ග්ලූ වලටත් වෙන මොන මගුල ඇලුනෙ නැතත් හම නම් ඇලෙනවනෙ ගලවා ගන්න බැරි වෙන්න.😀

       
  35. ක්සැන්ඩර් | Xander

    සැප්තැම්බර් 19, 2012 at 10:45 පෙ.ව.

    කියවන්න එන්න වුනේ පරක්කු වෙලා. ඒ වුනත් නියමෙට පරිවර්තනේ කරලා තියෙන්නේ. මම කලින් කිව්ව කතාව ඔප්පු කරන්න මේ කතාව ඇති.

     
  36. පරිකල්පන

    සැප්තැම්බර් 19, 2012 at 10:56 පෙ.ව.

    පුංචි සංදියෙ කාලයක් තිබ්බ මාසෙකට එක පාරක්වත් කොහේ හරි වැටිල දණිස් ලෙලි ගහ ගන්න. බෙහත් දාල තුවාලෙ සනීප වේගෙන එද්දි ඉස්සෙල්ලම කරන්න ආස වැඩේ තමයි ඔය තුවාලෙට දාපු ප්ලාස්ටර් ගලවන එක. ඊට පස්සෙ තමයි හොඳම හරිය එන්නෙ. සනීප වේගෙන එන තුවාලෙට උඩිං හැදෙන කබොල්ල ගලවන එක…

    පරිවර්තනේ උපරිමයි ඩූඩ්… එල!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 19, 2012 at 11:40 පෙ.ව.

      හපොයි මගෙ කකුල් දෙකෙත් හම නිතර අප්ඩේට් කරනවා ඒ කාලෙ. පරිකල්පනට කිව්වාම මොකද, ඔය කබොල්ල ගලවන එක පට්ට ආතල් වැඩක් තමා. අනික වරින් වර ප්ලාස්ටරේ ගලවලා චෙක් කරල බලන එක.😀😀😀

       
  37. iamdeejay

    සැප්තැම්බර් 19, 2012 at 6:39 ප.ව.

    ඩුඩ්,

    ෂා!!!! ඔයා මෙක ට්‍රාන්ස්ලේට් කරන කොටත් මම කිව්ව දේම තමයි කියන්න තියෙන්නේ , හරීම ලස්සනට කතාව සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා. මම ඔර්ජිනල් එක කියවලා ලබපු රසයම මෙකෙත් තියෙනවා. P

    මෙ වැඩෙන් ඔයාට වගෙම අපිටත් අත් විදලා නොතිබුන ඔයා ගේ ඒ සැගවුන හැකියාවත් විද ගැනීමට අවස්ථාවක් ලැබිම ගැන හුගක් සං‍තෝසයි D

    මගෙයි පැටව් දෙන්නා ගෙයි උණුසුම් සුභ පැතුම් ඔයාට !!!!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:33 ප.ව.

      අන්න ඒකනෙ. ඔයාලගෙ දිරිගැන්වීම නිසා තමයි මම මේ වැඩේ අත නොහැර කරන්නෙ. බොහෝම ස්තුතියි දීපා ප්‍රතිචාරයට සහ හැම දේටම.

       
  38. ravi

    සැප්තැම්බර් 19, 2012 at 7:26 ප.ව.

    අඩේ සාතිශය සොරි හෙන් රි..මේල් එකේ මේ පෝස්ට් එක තියනව දැක්කෙ මේ දැන්…අදයි ඊයෙහි පුල් බුසී උනා නෙව වියුණු සටහන් දෙකක්ම ලියල…

    කතාව ඉතිං නියමයි වෙනද වගේම….මම නම් කියන්නෙ අර පෝරිසාදය ඇන්ඩිය ඔය ලතෝනි තිබ්බට ප්ලාස්ටරේ අල්ලල වත් නෑ…හෙහ්, හෙහ්,..ඕකගෙ මොත්ත පාරක්නෙ ඔය…අපි අහුවෙයි ඔව්වට …..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:35 ප.ව.

      රවියා ඉතින් දුර දක්නා ඥානයෙන් සන්නද්ධ බුවානෙ. අපි බලමු ඒ අනාවැකිය හරි යයිද කියලා. දැන් උනත් බැලියෑකි ඕනෙ නම්. අන්න මම දෙවෙනි කොටසත් දැම්මා.

       
  39. hasithag

    සැප්තැම්බර් 19, 2012 at 9:54 ප.ව.

    මාස 6 ක් මූණේ තිබ්බ ප්ලාස්ටරයක් ගලවද්දී එන අමාරුව පිටු 3 කින් ඉවර කරපු එකයි පුදුමේ🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:36 ප.ව.

      හසිත, ඔය කිව්වට මම හිතන්නෙ නෑ ඕක මාස හයක් තිබ්බා කියලා. මේ ළමා මනස. අර මම අන්තිමට දාලා තියෙන්නෙ. //මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.//

       
  40. සිරාගෙ කාමරේ

    සැප්තැම්බර් 19, 2012 at 11:26 ප.ව.

    වෘත්තීය පරිවර්ථකයෙක් වීමට සියලු සුදුසුකම් ඔබ සතු බව මොනවට ඔප්පු කර ඇත… ජය !

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:37 ප.ව.

      ස්තුතියි සිරා, නමුත් ඇත්තම කිව්වොත් මම ස්ව නිර්මාණ කරන්න මීට වඩා ආසයි. අනික මේකෙ වගකීම වැඩෙයි. වැඩේත් අමාරුයි.

       
  41. මඩයා

    සැප්තැම්බර් 19, 2012 at 11:55 ප.ව.

    අගට එනකන් කියෙව්වා කුතුහලෙන් ඊළගට මොකද්ද වෙන්නේ ඊළගට මොකද්ද වෙන්නේ කියලා බල බලා.නාන කාමරේ සීන් එකේදී නම් හිතුනා එක ගැන පොඩි නයෙකුත් අරිනවා කියලා.සිරා කතාව.බොහොම ස්තුතියි ඉංග්‍රීසි කතාවක් අපිට කියවන්න මේ විදිහට දැම්මට🙂

     
    • emailkavikaari

      සැප්තැම්බර් 20, 2012 at 7:58 පෙ.ව.

      “ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් තව චූට්ටක් තියෙන, රෝල් කරපු ටූත් පේස්ට් ටියුබ් දහයක් විතර”

      ඒකෙ කොහෙද නයෙක් ඉන්නෙ. ඔක්කොම ඉවර වෙන්ට ලඟ ඒවා විසිකරන්ට ලෝභ කමේ ඉන්නව කියල මට හිතුනෙ. අනිත් ලට පට නං කොයි නාන කාමරෙත් තියෙනවා නෙ.අපේ ගෙදරත් ටියුබ් එකේ අග පාවිච්චි කරන්නෙ මම. බොහෝ වෙලාවට තාත්තත් පුතත් 10% විතර තියෙද්දි සබන් ටූත්පේස්ට් පාවිච්චියෙන් ඉවත් කරනවා. මම ඔක්කොම සබං පතුරු එකට අලවනවා. එව්ව ඉතිං කර වෙවී තියනවා.

       
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:38 ප.ව.

      බොහෝම ස්තුතියි මඩයා. අර කවිකාරි කිව්වා වගෙ නාන කාමර වල කොයින්ද නයි? මේ කොයි නාන කාමරෙත් බැලුවොත් තියෙන දේවල්නෙ. අනික මේ මම ලියපු කතාවක් නෙවෙයිනෙ. මම පරිවර්තනය කලා විතරයි.

      කවිකාරි, ටූත් පේස්ට් එක නම් සින්ක් එකේ දාරෙ තියලා ටූත් බ්‍රෂ් මිටෙන් මැදලා එකතු කරලා ගන්න එක මාත් කරනවා. අනික අන්ත්ක ටූත් පේස්ට් ටික රතුම රතුයි, මාර රහයි.

       
      • emailkavikaari

        සැප්තැම්බර් 22, 2012 at 9:55 පෙ.ව.

        ඔන්න පුතේ ලෝභයාගෙ ගැජට් එක. මට මෙයිං දෙකක් තියෙනවා. ඔන්න ඇරිය නයෙක්

         
        • හිරු

          සැප්තැම්බර් 22, 2012 at 10:07 පෙ.ව.

          මරු ගැජට් එක නැන්‌ෙද්… මාත් හොයා ගන්න ඕනේ…. නයි නෙවෙයි… මේව අත්‍යවශ්‍ය භාණ්ඩ…. හි හි

           
  42. JD

    සැප්තැම්බර් 20, 2012 at 3:38 ප.ව.

    මම …………. ………………. …………………………. ….. // කියලා තමා මෙච්චර වෙලා කල්පනා කලේ…නෑ මටයි වැරදුනේ.

     
  43. Naleen Dilruksha

    සැප්තැම්බර් 20, 2012 at 6:39 ප.ව.

    ඔන්න අදයි නිවාඩුපාඩුව මේ පෝස්ට් එක කියෙව්වේ. ඩූඩ් ඔයා නම් මාරයි. මේ කතා පෙළ ලංකාවේ අනිවා ජනප්‍රියම කතා ‍පෙළක් වෙනවා . ඒ තරම් රසවත්ව ඔයා වැඩේ දිල තියනවා. සුලෝහිතයෙක් හැටියට මම ඔබ ගැන ආඩම්බර වෙනවා. සදා ජය.

     
  44. හිරු

    සැප්තැම්බර් 21, 2012 at 9:53 පෙ.ව.

    ඩූඩ් අයියේ මේක ‌කොහෙ හංගලා තිබ්බද මන්දා මට මෙච්චරකල් අහුවුනේ නැත්තේ….
    කතාව ගැන නම් ආයිත් කියන්න දෙයක් නෑ… හැමෝම කියලා තියෙනවානේ… මට මතක් උනේ මැටිල්ඩා පොතේ පරිවර්තනය…. මේ වගේම භාෂාවක් තමා යොදා ගෙන තිබුනේ.. රෝල් ඩාල්ගේ ඔක්කොම පොත් ටික ( ෂික් මං මේ මතක් කලාට මතක් වෙන්නෙම නෑ කවුද පරිවර්තනය කලේ කියලා…) ඒ විදියට පරිවර්තනය වෙලා තිබුනා ගිය අවුරුද්දේ වගේ.. හරිම ලස්සනයි…..

    මේකත් ඒ වගේ… එක හුස්මට කියවන්න පුළුවන්…. ඩූඩ් අයියට අහුවුනොත් ඒ පරිවර්තන ටික කියවන්න… ඔරිජිනල් පොතේ පිටකවරේම තමයි සිංහල පරිවර්තනයෙත් තියෙන්නේ…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:40 ප.ව.

      මොනවා හිරු. ඒ කියන්නෙ ඔයා මීට කලින් මම දාපු
      අදනම් මහාම චාටර් දවසක් අප්පා
      දැන් ලඟද තාත්තේ
      කියන පරිවර්තන දෙකම බැලුවෙ නැත්ද?
      පුදුමයිනෙ. ඔයා මේ බ්ලොග් එකට නිතර එන හිතවතියක්නෙ.
      හිරූ, ඇත්තම කිව්වොත් අපිට අවුරුද්දකට සැරයක් වත් සිංහල පොතක් ඇහැට වත් දකින්න හම්බවෙන්නෙ නෑ. අනික මම පරිවර්තන කියවන්නෙත් නැති තරම් මොකද ඔරිමජිනල් එක ඉංග්‍රීසියෙන් කියවන නිසා. රෝල්ඩ් ඩාල්ගෙ මම ආසම කතාව මම ලඟදිම දාන්නම්.

       
  45. පිණිබිඳු

    සැප්තැම්බර් 21, 2012 at 10:32 පෙ.ව.

    හයියෝ ඉල ඇදෙනකල් හිනා උනා. අන්තිම වෙනකල්ම මම හිතුවෙ ඩූඩ්ට වෙච්ච දෙයක් කියලා. ඒත් ඉතින් නිකමට නොහිතුනා නෙමෙයි පින්තූරෙ දැක්කම මෙච්චර සුදු වෙන්න බෑනෙ කියලා. මොනා උනත් පරිවර්තනය කරලා තියෙනවා මල් හතයි.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:41 ප.ව.

      ඇයි පිණිබිඳු මම ඔය වයිට්නිං ක්‍රීම් එකක් හෙම ගාල මොකක්හරි කරගත්තොත්? බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.🙂
      මොකද අප්පා ඔයාගෙ බ්ලොග් එකට අපි දාන කමෙන්ට් වලට උත්තර දෙන්න සති ගානක් ගන්නෙ?😦

       
  46. chami4u~චමී4යු

    සැප්තැම්බර් 21, 2012 at 4:59 ප.ව.

    නියමයි ඈ ..ඉතුරු ටිකත් බලමුකෝ ඉක්මනින්..

     
  47. chami4u~චමී4යු

    සැප්තැම්බර් 21, 2012 at 5:01 ප.ව.

    ඔය කථා ටික ඔක්කොම පරිවර්තනය කරලා පොතක් ගැහුවොත් නරකද…

    හොදටම තියෙනවා පරිවර්තනේනම්..

     
  48. Miyuru

    සැප්තැම්බර් 23, 2012 at 12:39 ප.ව.

    නියමයි ඩූඩ්… සාමාන්‍යයෙන් අපි අතරෙ භාවිතා වෙන බස් වහරම පාවිච්චි කරල තියෙන නිසා පරිවර්තනයක් කියල හිතෙන්නෙත් නෑ… ජාතිය මොනව උනත් ඔක්කොම මනුස්ස පැටවුන්ට හිතෙන්නෙ එකම විදියට වෙන්නැති නේද…? කතාව සුපිරි…

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: