RSS

88. Band-Aid – Part 2/ප්ලාස්ටරේ

21 Sep
88. Band-Aid – Part 2/ප්ලාස්ටරේ

අපි නැවැත්තුවෙ මෙතනින්නෙ. ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr

මතක නැතිනම් කියවලම එන්නකො මෙතන ඔබලා.

ඊට පස්සෙ..

හපොයි ඇති, ඇති, ඇති. හොඳටම ඇති.
මේකනෙ මම විඳලා තියෙන පට්ටම දරුණු වේදනාව.
පට්ටම දරුණු වේදනා පිළිබඳ ඉතිහාසයේත් පට්ටම දරුණු එක.
හයියෝ.
ඉතින් බලන්නකො, මම තාම ගලවලා තියෙන්නෙ චූටි කොටසයි.
තව ඒ වගෙ කොටස් හැට අටහමාරක් ඉතුරු වෙලා තියෙනවා ගලවන්න.

චිරිස්‘ ගාලා ඇදලා දාන එක නෙවෙයි විසඳුම.
හැබැයි ස්ලෝ මෝෂන් මෝඩ් එකත් නෙවෙයි.
මේක තියෙන්න ඇරලත් බෑ,
ගලවන්නත් බෑ.
ගලවනවද නැත්ද?
ඕකනෙ වැඩේ.
ඕකයි අවුල.
ඇත්තට ඒකමද අවුල?
ඇත්තටම අතින් ගලවලා දානවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැත්ද?
ඇදලා දාන එක නම්, ෆූඌඌ… අයියෝ… වාතයක්.

වාතයක්?
වාතය.
වාතය නැති තැන.
රික්තය.
ආන්න උත්තරේ!
වැක්‍යූම් ක්ලීනරේ !
මට පුලුවන්නෙ අපේ අලුත්ම වැක්‍යූම් ක්ලීනර් එකෙන්, මේ උලව් ප්ලාස්ටරේ වැක්‍යූම් කරල දාන්න.
අපේ පරණ වැක්‍යූම් ක්ලීනරේ මේ ලඟදී කැඩුන නිසා, අම්මයි, තාත්තයි අලුත්ම ‘සුපර් පවර්‘ වැක්‍යූම් ක්ලීනර් එකක් ගෙනාවා. ඒක නම් පට්ටම භාණ්ඩයක්. ඒක කොච්චර සුපිරිද කියනවානම් ඒකෙන් පුලුවන් හඳ මතුපිට තියෙන දූවිල්ල වුනත් ඇදලා ගන්න පොලොවෙ ඉඳන්. මම කරලා බැලුවෙ නම් නෑ, නමුත් මට හිතන්නෙ බැරිවෙන එකක් නෑ. ඒ තරම් පට්ට භාණ්ඩෙ!

දෙන්නම් පොරි හැලෙන්න.

දෙන්නම් වැඩේ ප්ලාස්ටරේට ඇඩ්‍රස් නැතුව යන්න. හිටපංකෝ.
වැක්‍යූම් ක්ලීනරේ නොසල් එක ප්ලාස්ටරේට ලං කරපු ගමන් පට් ගාලා ගැලවෙයි.
ඇදලා දාන්න ඕනෙත් නෑ.
රිදෙන්නෙත් නෑ.
මොකුත් නෑ.
වැක්‍යූම් ක්ලීනරේ පෙන්නන්න විතරයි තියෙන්නෙ.

මම යනවා සාලේ බිත්ති කබඩ් එකේ තියෙන වැක්‍යූම් ක්ලීනරේ අරන් එන්න. ඒක දඩාර් සයිස්. මම ඒක ඇදගෙන ඇවිත් නාන කාමරේ ප්ලග් එකට ගහනවා. මම නොසල් එකට හයි කරලා තියෙන බ්‍රෂ් එක ගලවනවා. මට ඕනෙ නෑ ඔය අනං මනං කෑලි වලින් මේකෙ සැර බාල කරගන්න.

මම ස්විච් එක දානවා. හම්මෝ මේකෙ සද්දෙ! හරියට ජෙට් එංජිමක් වගෙ.

කල්පනාවෙන් කරන්න ඕනෙ වැඩක්.

මේක ලේසි නෑ හිතපු තරම්. කණ්නාඩියෙන් බලාගෙන ඕනෙ, නොසල් එකේ කොණ හරියට ප්ලාස්ටරේ උඩට ගේන්න. නමුත් හෝස් එකයි, නොසල් එකේ දිගයි නිසා වැඩියෙම කණනාඩියට ලංවෙන්නත් බෑ.

මම නොසලය හෙමීහිට ප්ලාස්ටරය ලඟට ගේනවා. මට තේරෙනවා හමත් එක්ක ප්ලාස්ටරේ ඉස්සෙනවා, නමුත් කම්මුලෙන් ගැලවෙන්නෙ නෑ.

මම තවත් චූට්ටක් ලං කරනවා.

ඒත් මදි.

මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ වෙනකොට ප්ලාස්ටරේ ගැලවිලා ගිහින් නැත්තෙ ඇයි කියලා. නොසල් එකේ මොනවා හරි හිර වෙලාද?

මම නොසලය ප්ලාස්ටරෙන් අහකට උස්සලා, නොසල් එක ඇතුලට එබිලා බලනවා. මොකුත් පේන්න නෑ. ඇතුල කලුවරයි.

මම නොසලය ඇහැට තව ටිකක් ලං කරනවා.
ම්හ්ම්.
තවත් ටිකක්.
ම්හු.
තවත් චූට්ටක්.
ග්බ්ලොග්බ්ක්ග්!
මගෙ ඇහැ!
හපෝයි වැක්‍යූම් ක්ලීනරේ මගෙ ඇහේ ඇලිලා, ඇස් බෝලෙ උගුල්ලන්නයි හදන්නෙ.
හම්මෝ, රිදෙන තරං!
ආආආආආආආආආආහ්, ඒ වේදනාව විස්තර කරන්න වචන නෑ.

ඒක A4 කඩදාසි වලට ඇඟිල්ල කැපුනට, පිහියට දිව කැපුනට, ඇඟිල්ලට මිටි පාරක් වැදුනට වැඩිය වේදනයි.


මේක අනිවා පණ පිටින් තම්බනවට, උලේ ගහලා පුව්ච්චනවට, කාන්තාරේ බාවලා කූඤ්ඤ වල ගැට ගහලා තියෙනවට, ඇ‍ඟේ පැණි තවරලා කූඹින්ට කන්න දෙනවට වඩා දරුණු වේදනාවක්.

කොටින්ම මූණෙ අලවලා තියෙන ප්ලාස්ටරයක් ගලවනවටත් වඩා වේදනාවක්… ම්ම්ම්ම්… සමහරවිට එච්චරටම නෙවෙයි. ඔයාලා දන්නවා මම අදහස් කරන දේ.

මේක නිකම්ම නිකං වේදනාවක් විතරක් නෙවෙයි.
මේක මාරාන්තිකයි.
මේකෙන් මගෙ ඇස් බෝලෙ ඇස් කුහරෙන් ඉදිරිලා එන්න පුලුවන්.
මගෙ ඇස් බෝලෙ මගෙ මොලේට සම්බන්දයිනෙ.
ඉතින් මගෙ මොලේත්, ඒත් එක්කම ඇස් කුහරෙ අස්සෙන් එලියට ඇදිලා එන්න පුලුවන්.
මගෙ මොලේ මගෙ ඇ‍ඟේ තියෙන හැම දේකටම සම්බන්ධයිනේ.
කොයි වෙලේ හරි මගෙ ඇඟ ඇතුලෙ තියෙන භැම දෙයක්ම හිස්කබල ඔස්සේ ඇස්කුහරේ හරහා ‘ග්බ්ලොග්බ්ක්ග්’ ගාලා ඇදිලා ඇවිත් වැක්‍යූම් ක්ලීනරේ ඇතුලට යන්න පුලුවන්.

හපෝයි මොනවා හරි කරන්න එපායැ වහාම.
මේ දැං.
මම කකුල දික්කරලා, ස්විච් එක නිවනවා.
මෝටරේ ඝෝෂාව ක්‍රමයෙන් අඩුවෙලා නවතිනවා.
මම නොසලය ඇහෙන් අහකට ඇදලා දාලා, බාත්ටබ් එකේ ගැට්ටෙ ඉඳගෙන හති හලනවා.

ඔය ඇති.
හොඳටෝම ඇති.
පිස්සු කෙලියා හොඳටෝම ඇති.
වැක්‍යූම් ක්ලීනරේ නෙවෙයි විසඳුම.
ප්ලාස්ටරේ හොඳටම ඇලිලා තියෙන්නෙ.
මේක අතින්ම කරන්න ඕනෙ වැඩක්.

මම ප්ලාස්ටරේ මැදින් අල්ලලා, පුලුවන් තරම් හයියෙන් කොනිත්තලා, ‘චරස්‘ ගාලා අදිනවා.
හේයි!
ගැලවුනා!
නරකම නෑනෙ.
ඇත්තම කිව්වොත් රිදුනෙම නෑ.
ඕකෙ රහස තමයි, මේවගෙ වැඩක් කරනකොට හැකි ඉක්මනින් කලයුතු දේ කරලා ඉවරයක් කරන එක.

මම ප්ලාස්ටරේ සාක්කුවට දාගන්නවා.
පස්සෙ ඕනෙ වෙන්න පුලුවන් ජෙනීව ඔරොප්පු කරන්න. අක්කිට පරණ ප්ලාස්ටර් පේන්න බෑනෙ. මාර වැඩක් තමයි. පාවිච්චි කරපු ප්ලාස්ටර් වලට එයාගෙ මාර අප්පිරියාවක් තියෙන්නෙ. විශේෂයෙන්ම එයාගෙ සැන්විච් එකක් අස්සෙ තිබිලා හැපුනාම.

මම නැගිටලා කණ්නාඩියෙන් බලනවා.

පිස්සු හැදෙන සඳ!
මාස හයක්. ඒ වුනාට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ තියෙන්නෙ සුදු පාට කොහොල්ලෑ රේඛාවකින් වටවෙච්ච ලා රෝසපාට සෘජු කෝණාශ්‍රයක් විතරයි.
පැල්ලමක් නෑ. මොකුත්ම නෑ, හම විතරයි. සාමාන්‍ය නිරෝගී හම.

හයි…යෝ….!
දෙයියනේ. මේ මොකද?
ප්ලාස්ටරේ නම් ගැලවිලා. ඒ වගෙම තුවාලෙත් සනීප වෙලා.
නමුත් දැං, මේං මගෙ වම් ඇහැ වටේටම තියෙනවා, රතු-කලු වලල්ලක් හිටලා අර නොසල් එක තද වෙච්ච පාරට. ඒක තැල්මකුයි, දියපට්ටෙකුයි දෙකේම සංකලනයක්.

දැන් කොහොමද ෆෝටෝ එකට ඉන්නෙ?
විලි ලැජ්ජා සන්තෝසෙ බෑ!
මම දැන් මොකද කරන්නෙ?
දැන් මාව ප්ලාස්ටර් එකක් අලවගෙන ඉන්න ගොබ්බසේන කෙනෙක් වගෙ නම් පේන එකක් නෑ තමයි, කන්නාඩි කුට්ටමකින් බාගයක් දාගෙන ඉන්න පිස්සු හුටං කෙනෙක් වගේ මිසක.
හ්ම්ම්ම්…
කණ්නාඩි කුට්ටමක්, ආ?
කණ්නාඩි කුට්ටමක්.
අඩ් ඩඩ් ඩා… ෆෝටෝ එකකට ඉන්න ඊට වඩා හොඳ විදියක් තව කොයින්ද?
දැන් ගෲප් ෆෝටෝ එක දකින කවුරුත් හිතයි, “අඩේ කවුද අප්පා අර කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්න පට්ට බුද්ධිමත් ලුක් එකක් තියෙන ඩයල් එක? පොර නම් පේන හැටියට මාර මීටරයක් වෙන්න ඕනෙ, හුම්!” කියලා.

ඒ වුනාට මම දාගෙන ඉන්නෙ කන්නාඩි කුට්ටමෙන් බාගයයිනෙ.
තනි ඇහැට ඇඬෙනවා.
සික්, වැඩේ චාටර්නෙ. වැඩෙන් බාගයයි.
මම දන්නව කරන්න ඕනෙ දේ.
ටිකක් රිදෙන්න පුලුවන්, නමුත් වැඩේ පාඩු නෑ. අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත් කාටද ආඩම්බර?
අර මම ඉස්සෙල්ලත් කිව්වෙ, ඔය චූට්ටක් රිදෙන එක නම් මට ගානක්වත් නෑ.

මම ආයෙම වැක්‍යූම් ක්ලීනරේ ස්විච් එක දානවා.
ඒක මහා ඝෝෂාවක් එක්ක වැඩ අරඹනවා.
මම නොසලය දකුණු ඇහැට තියලා තද කරනවා.
ඕං.
ග්බ්ලොග්බ්ක්ග්!
නොසලය මගෙ ඇස් බෝලෙ උගුල්ලන්න පොර කනවා. මේ පාර අනිත් පාර තරම්ම අමාරු නෑ. මොකද මම දැන් මේකට පුරුදු නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ, මේකෙන් ඇහැ කිති කැවෙනවා වගෙ විතරයි, රිදෙන්නෙ නෑ කියලා. මම නොසලය එහෙමම තියෙනෙ අරිනවා වේදනාව ඉවසන්න බැරුව යනකල්.

ආ, දැං ඇති.

මම ආපහු හැරෙනවා ස්විච් එක නිවන්න හිතාගෙන.
නමුත් වැක්‍යූම් ක්ලීනරේ හෝස් එක වදිනවා ඇරලා තියෙන කැබිනට් එකේ තට්‍ටුවේ.

ඒකෙ තියෙන හැමදේම පෙරලෙනවා බිමට.

ටයිල් පොලොව පුරාම වීදුරු ක‍ටු, ෂැම්පූ, රේසර්, පර්ෆියුම්, සබන්, පෙති ජාති, අර ගඳ ක්‍රීම් සහ මෙකී නොකී සෑම දෙයක්ම.

වැක්‍යූම් ක්ලීනරේ නොසලය තාම මගේ ඇහැට ඇලුණු ගමන්මයි. අන්න ඒ ගමන නම් වේදනාව ඉවසන්න බැරි වේගනයි එන්නෙ.

මම තව පාරක් උත්සාහ කරනවා ස්විච් එකට ලං වෙන්න, නමුත් ඒකෙන් වෙන්නෙ මම ලිස්සලා වැටෙන එකයි. මම ටවල් රේල් එකේ එල්ලෙන්නෙ නොවැටී බේරෙන්න, නමුත් අතර අහුවෙන්නෙ ටවල් එකක් විතරයි, රේල් එක නෙවෙයි. ටවල් එක රේල් එකෙන් ඇදිලා අතට එනවා. මම මහ හඬින් බිම පතිත වෙනවා. මූණෙ දකුණු පැත්ත වදිනව ටයිල් පොලොවෙ.

ඌයි!

මට තේරෙනවා තියුණු යමක් මූණෙ ඇනුනු බව.
අයියෝ!
මම ඔලුව උස්සනවා.
රේසර් එකක්.
ඒ මදිවට ලේ.
ලේ!
මගෙ ලේ ටයිල් පොලොවෙ!
වැක්‍යූම් ක්ලීනරේ තවමත් මගෙ ඇහැ උගුල්ලන්න හදනවා.
මම නැගිටින්න උත්සාහ කරනවා. වළලු කරින් ඉවසන්න බැරි වේදනාවක් එනවා. මට නැගිටගන්න බැහැ.
මට ස්විච් එකට ලං වෙන්න බැහැ.
මමනොසල් එක අත් දෙකෙන්ම අල්ලගෙ අදිනවා පුලුවන් හයියෙන්. නමුත් ගැලවෙන්නෙ නෑ.
මගෙ ඇඟට පණ නෑ වගෙ.
ලේ ගලන නිසා වෙන්නැති.

සික්, මම මෙහෙමද මැරෙන්න යන්නෙ?

මම බඩ ගාගෙන යනවා වැක්‍යූම් ක්ලීනරේ ලඟට.
ස්විච් එක නිවනවා.
ඝෝෂාව අඩුවෙලා නවතිනවා.

නොසල් එක නිකම්ම ගැලවිලා වැටෙනවා.
මම සින්ක් එකේ එල්ලිලා අමාරුවෙන් නැගිටගෙන එබෙනවා කණ්නාඩියට.
දෙයියනේ!
විනාසයි.
දකුණු ඇහැ වටේටමත් වම් ඇහැ වටේට තියෙන රතු-කලු වලල්ලට ගැලපෙන වලල්ලක් ඇඳිලා තියෙන බව ඇත්ත.
මම හීනෙකින්වත් ලබාගන්න හැකිවෙයි කියලා නොහිතපු “පට්ට මීටර් ඩයල් එකක” පෙණුම මට ලැබිලා තියෙන බවත් ඇත්ත.
ඒ වුනාට මේ පාර හරියටම දකුණු ඇහැ යටින්, අර වම් ඇහැ යටින් වුනා වගෙ කැපුමක්, අර රේසර් එක ඇනිලා.
ඒකෙන් ලේ ගලනවා.
හෝ ගාලා.
හ්ම්ම්… ආයෙම ප්ලාස්ටරයක් අලවන්න වෙලා.

නිමි.

***************************************************************************************************

ඔබ මේ කියෙව්වේ Andy Griffiths ලියපු, ‘JUST’ කතා මාලාවේ, Just Wacky කියන පොතේ පලවූ Band-Aid කතාවේ සිංහල අනුවාදයයි. මේ කතා කියවලා, අගය කරලා, වර්ණනා කරලා මාව උනන්දු කරලා ප්‍රතිචාර දක්වපු ඔබ සැමට මගෙ ප්‍රණාමය.
මම මේ කතාවෙ පලවෙනි කොටස අගින් කරපු ලියපු මේ සටහන මතකද?

මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.

ඒ එක්කම බලන්න ප්ලාස්ටරයක් ගැලවීම වගෙ සුලු සිද්ධියකින් මෙච්චර සිද්ධියක් මවන්න ලේඛකයා සමත් වෙච්ච අපූරුව!

***************************************************************************************************

මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම “මගේ ඩෙනිම/My Blue Jeans”.

බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මටත් පොඩි බැක් අප් එකක්.
හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!  මම දැනට කරන්නෙ මුල ඉඳලා මට හිතෙන හැටි එකේ ගිය පෝස්ට් මේකෙ පබ්ලිෂ් කරනවා අධි වේගයෙන්. ලඟදීම දවසක දෙකම කරට කර එයිනෙ. නමුත් මේ සයිට් එකත් මොකුත් නොවුනා වගෙ දිගටම තියේවි.

 

ටැග: , ,

70 responses to “88. Band-Aid – Part 2/ප්ලාස්ටරේ

  1. maal

    සැප්තැම්බර් 21, 2012 at 9:56 ප.ව.

    හය්යූඌඌ… වැකුම් ක්ලීනර් එක අල්ලනවා කිව්වා ගමන්ම මැවිලා පෙනුනා මූණ වැකුම් එකට ඇලිලා තියනවා.මාත් කම්මුල් එහෙම වැකුම් කරගෙන තියන නිසා වෙන්න ඇති.😀😀

     
    • maal

      සැප්තැම්බර් 21, 2012 at 9:58 ප.ව.

      මේ චිත්‍ර අඳින්නේ මොකෙන්ද දන්නෑ???

       
      • henryblogwalker the Dude

        සැප්තැම්බර් 21, 2012 at 10:10 ප.ව.

        මොන එකකටද අප්පා කම්මුල් වැක්‍යූම් කලේ ,මාල්? කුරුලෑවක් වත් ගලවන්නද?😀
        මේ චිත්‍ර නම් ඇන්දෙ ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකකින් මාල්.
        ස්තුතියි උණු උණු ප්‍රතිචාරයට.

         
  2. emailkavikaari

    සැප්තැම්බර් 21, 2012 at 9:57 ප.ව.

    හයියෝ හෙන්රි. මම බලාගෙන ඉන්නෙ මගෙ අක්කගෙ මුනුපුරා එනකං මේ කතන්දර එයාට කියවන්න. එයත් හරි වැඩ කරන්නෙ.

    ළඟදි එයා තරඟෙකට චිත්‍රයක් යැව්වා තැපෑලෙං. ලිපිනය තිබුනෙ, අහවල් තරඟය, තැපැල් පෙට්ටිය xxx, රත්මලාන කියල. කොල්ල කියනව අය්යෝ ආච්චියෙ දැං අපි මේ ලියුම දාන්න රත්මලානට ගිහිං ඔය නොම්මෙරේ තියන තැපැල් පෙට්ටිය හොයන්ඩත් ඕනැද කියල.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 21, 2012 at 10:12 ප.ව.

      ඒ කතාවට නම් බිම පෙරලෙමින් හිනා.😀 අන්න කිව්වත් වගෙ හෙන මීටරයක්. ඔය වෙලා තියෙන්නෙ අපිට නොපෙනෙන පැති පොඩි උන්ට පේන එකයි.
      ස්තුතියි කවිකාරි ප්‍රතිචාරයට.

       
  3. hiruni

    සැප්තැම්බර් 21, 2012 at 11:19 ප.ව.

    කියන්න වචන නෑ…..බැරි වෙලාවත් ඇහැ ඇදිලා ආවනම් මොකද කරන්නේ…හිතන්නත් බයයි….මම පොඩි කාලේ හරිම ආසයි ප්ලාස්ටර් ගහගෙන ඉන්න….ඒ කාලෙ ආවා මතකද ඩොනල්ඩ් ඩක්, මිකී මවුස් ඉන්න ප්ලාස්ටර්….😀

    හරිම ලස්සනට පරිවර්තනය කරලා තියෙන්නේ😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 22, 2012 at 6:16 පෙ.ව.

      වැක්‍යූම් ක්ලීනර් එකකට ඊට වැඩිය ලොකු මෝටරයක් හයි කරලා නියම වැඩ ටිකක් කරපු තවත් කතාවක් අපේ ගෙදර තිබ්බෙ නැත්ද? මමහිතන්නෙ ඒක රෂියන් ළමා කතාවක්. මට ඒකත් මතක් වුනා.
      හ්ම්ම් කාටූන් ප්ලාස්ටර් මොකද මතක නැත්තෙ? දැන් නැත්ද ඒවා?
      ඔයාට බොහෝම ස්තුතියි අගය කිරීමට.

       
  4. ravi

    සැප්තැම්බර් 22, 2012 at 2:22 පෙ.ව.

    හෙහ්, හෙහ්, හෙන්රි…නියමයි…ඈ..අති විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි, පරම රමණීයයි, දීප ව්‍යාප්තයි🙂🙂

    මට පොඩි කාලෙ හෙණ කුචි…තාමත් ලාවට තියනව…කිව්වම මොකද….

    කොණ්ඩෙ කපන්ට ඒ කාලෙ දැං වගෙ ඉලෙක්ට්‍රික් හෙයාර් කටර්ස් තිබ්බෙ නෑ…උඹට මතකයි නේද අතින් තද කරන අඬු දෙකක් තියන මැෂින් එකක් තිබ්බෙ…ඕකෙන් කොණ්ඩෙ කපනව කියන්නෙ මට මරන්න වගෙ…හපොයි අති ගෞරවාර්හ බාබර තෙමේට ඒ කාලෙ මම දුන්නු වදයක්…අන්තිමට ඌ මගේ කොණ්ඩෙ කපන එක එකහෙලාම ප්‍රතික්ෂේප කලා…

    ඒ සීන්ස් ටික මතක් උනා මචෝ උඹේ මේ ඇන්ඩි කොලූගෙ විස්තරේ කියවද්දි…ලියන්ට ඕන වෙලාවක…මගේ කරණවෑමි කතා කියල ඒ ආතල් ටික🙂🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 22, 2012 at 6:17 පෙ.ව.

      මටත් කිචි වුනාට මම ඒක පෙන්නුවෙ නෑ. මොකද ඒක අනිත් වුන් දැනගත්තාම බයිට් එකට ගන්නවනෙ.
      හ්ම්ම්ම් උඹ කියන්නෙ අර කොණ්ඩෙ කපන අත් ට්‍රැක්ටරේ. උඹ දන්නවද මම බාබර් කෙනෙක් එක්ක ඔරොප්පු වුනා පොඩි කාලෙම. එදා ඉඳලා මේ අද දක්වා කොණ්ඩෙ කපාගන්නෙ තනියෙම. DIY Dudeනෙ බං. අනිත් උන්ගෙ කොණ්ඩත් කපනවා. මගෙ බාබර් ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි, මගෙ හොඳම යාලුවා (NCGE බුවෙක්) උගෙ වෙඩිං එකට කොණ්ඩෙ කපාගන්නත් වෙනදා වගේම මාව හොයාගෙන ආවා. ඒක මාර වගකීමක්නෙ බං. හෙහ් හෙහ්.
      අනේ ලියාපං බං බාබර් කතා.
      ඒවගෙම ස්තුතියි බං නිර්ලෝභී අගය කිරීමට.

       
      • JP

        සැප්තැම්බර් 22, 2012 at 8:30 පෙ.ව.

        මම මෙහෙ කොන්ඩේ කපන තැන කොන්ඩේ කපල ඉවර වෙලා ඔලුව වැක්යුම් කරනවා …..අඩු ගාස්තු නිසා , තුවායක් නාස්ති කරන්න පාඩු ඇති ඔලුව පිහින්න

         
      • haree

        සැප්තැම්බර් 22, 2012 at 8:36 පෙ.ව.

        නියමයි.. අද ටික නම් පොඩ්ඩක් හදිසියේ ලියලද මන්දා? මදැයි කොළා තවත් ප්ලාස්ටරයක්..

        මගේ උපකල්පනය වැරදුනානෙ.. කතාව ගියේ හිතුවෙවත් නැති පැත්තකට.. එහෙම වෙනවට තමා මම නම් කැමතී.. ඒත් ලෝකල් සරලොක් හෝම් කතාවල අන්තිමේ මුල් ඡේදෙන්ම කියන්න පුලුවන්.. එතකොට ඉතින් මෙලෝ රහක් නෑ..

         
        • henryblogwalker the Dude

          සැප්තැම්බර් 22, 2012 at 9:02 පෙ.ව.

          හරී, එහෙනම් ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් හදිස්සියට ලියලා ඇති.😀
          උපකල්පනය වැරදුනාටො මොකෝ තෑගි හම්බ වෙනවා කියලෑ.
          බොහෝම ස්තුතියි හරී.

           
      • ravi

        සැප්තැම්බර් 22, 2012 at 2:44 ප.ව.

        හෙහ්..මම පෙන්නුවෙත් නෑ බං කුචි කියල…අප්පට සිරි අපෙ පෝරිසාදයො දැනගත්තනං වහ කාල කැලේ රිංගන්ඩයි වෙන්නෙ…අපෙ පංතියෙ එකෙකුට කුචි කියල අහුවෙල හපොයි ඌට දුන්නු වදයක්….ඌ තමා ටීචර්ලගෙ ෆේවරිට්…තේ ගේන්න, වතුර ගේන්න ඔක්කොටම ඌව තමයි යවන්නෙ..අනික් එවුන්ට ඕකට මල…මේක එක දවසක් නෙවෙයි මඟදි තේ එක හලාගත්තෙ අනික් එවුන් උගෙ ඉළේට ඇනල…දැන් නම් මතක් වෙන කොටත් දුක හිතෙනව…:(

        ඔන්න බලාපං දැං මේකත් නිදහස් සිතුවිලි වගෙ වෙන්නයි යන්නෙ…ඇන්ඩි පැත්තක තියල මාතෘකාව කුචි…හෙහ්, හෙහ්,

        කුචි ගැන කතා තියනව හෙන්රි කෝටි තුනහමාරක් විතර…..එහෙම කිව්වට එච්චරමත් නෑ…මොකටද බොරු කියන්නෙ …….ඇත්තටම නම් කෝටි තුනක් විතර තමයි…( Quote / මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න. / Unquote😀😀 :D….)

        කෝටි තුනෙන් එක කතාවක් කියන්නං සාරාංස ගතව…දරුනු කිචි කාරයෙක් හිටිය මයෙ ප්‍රානසම මිත්‍රයෙක්…

        ඔන්න ඕක බැන්ද…පහුවදා පාන්දරම අපි හත් අට දෙනෙක් ගියා ඌ මදු සමය ගෙවපු හෝටලේට..ඒක ඒ දවස්වල අපෙ සෙට් එකේ චාරිත්‍රයක්..මදු සමයට පහුවදා උදේ කෑම ඒ හෝටලෙන්ම මනමාලය ගානෙ…

        ඔන්න අපි ගිහිල්ල පනිවිඩයක් යැව්ව මූට..පැය කාලක් විතර ගියා එන පාටක් නෑ…ඒ පාර මමයි තව එකෙකුයි ගියා කාමරේට…ඔන්න ඉන්නව දෙන්න ඇඳ දෙපැත්තෙ වාඩි වෙලා දෙපැත්තක් බලාගෙන…මනමාලිගෙ වං ඇහැ වටේට නිල්ම නිල් පාටයි…නිල් කියන්නෙ නිල් පාටෙත් හොඳම එක…අර ඉන්ද්‍රනීල මාණික්‍යය කියල තියෙන්නෙ සැක්කරයහෙ ඔය කොහෙද හයි කරපු වටිනා මැණිකක්..හරියටම අන්න ඒකෙ පාට…

        මාර කෙලියක් නෙව වෙන්ට යන්නෙ..කෙල්ල අඬනව වැලහින්නි වගේ…අදම කසාදෙ කටුගාන්ට ඕනය කියනව…එක පයිං…ම්ම් එක පයිං කියනවට වඩා හොඳයි එක ඇහෙං කිව්වනම්…දැං ඔය කොල්ලො කියන්න වගෙ තනි ඇහැට ඇඬෙනව දොරේ…..

        ඔන්න මම බාරගත්ත අපේ කාලෙ විදිහට කියනව නම් හෙන් රි කීසිංගර්ගෙ පාට් එක..දෙය්යෝ සාක්කි දැන්නෙ ඒක මීටර් උනේ…අම්මප උඹේ බාප්පෙක් වත් බොලේ ඒ යකා?…..සිරා අහන්නෙ බං…

        දැං කාලෙ කියන විදිහට නම් එරික් සෝල්හයිම්ගෙ පාට් එක..ඒ කරල මනමාලිගෙ පාර්ස්වේ එක්ක පැය තුනහමාරකුත් තප්පර දහ අටයි දශම තුනයි දෙකක සාම සාමච්ඡාවකට පස්සෙ තමයි යන්තම් ඇම්මෝයූ එහෙකට ආවෙ…මම හින්දම වැඩේ ගොඩ දාගත්ත…

        පස්සෙං පහු අවුලක් උනේ නෑ…අපෙ ලොකු අම්මගෙ පුතා හිටිය ජොස්තරෙක්..ඒකට කියල මම අරූට සැට් කරා ඉන්ජැස්සං වගයක් ගහගන්ට අවස්ය වෙලාවට…ස්නායු ක්‍රියාකාරිත්වය තාවකාලිකව අඩපණ වන ස්ටෙරොයිඩ් එකක් ( Nervous activity transitory retarding agent)

        මොකක්ද ඇහුවෙ?…බඩු වැඩ කලාද කියල ඇහුව…හෙහ්, හෙහ්, මම උං දෙන්නගෙං අහන්ට ගියේ නම් නෑ…ඒත් අනිවා වැඩ කරන්ට ඇති…ලමයි පස් දෙනෙක්ම ඉන්නව…පස් දෙනෙක්ම..ලොකු දුව ගිය අවුරුද්දෙ එන්ජිනියරිං ෆැකල්ටි සිලෙක්ට් උනා…හැම සිංහල අවුරුද්දකම ලමයි ඇවිල්ල මට බුලත් එහෙම දීල දණ ගහල වැඳල යන්නෙ….

        හැමදාම උන්නෙ අම්ම කියනව කොල්ලො කෙල්ලො මට වැන්දට පස්සෙ උඹල කවදාකවත් අමතක කරන්ට එපා..මේ රවි මාම නැත්නං උඹල එකෙක්වත් අද නෑ කියල,

        උඹට කිව්වම මොකද හෙන් රියො…මම බැඳට පස්සෙ ආපු පලවෙනි සිංහල අවුරුද්දටත් ඔවුං කද මලුත් බැඳගෙන ආවයි කියාපංකො..ඒ කරල උන්නෙ අම්ම අර කතාව සුපුරුදු පරිදි ඒ විදිහටම කිව්වයි කියලත් කියාපංකො…

        අප්පට සිරි…උං කස්ටියට ගේට්ටුවෙං එහාට යන්ට උනේ නෑ කිව්වම..හොඳ විස්වාසෙට ගනිං මචෝ…මේ ඇත්තමයි…ඇන්ඩිගෙ වං ඇහැ යට තියෙන ප්ලාස්ටරේ පල්ලා….විසූවියස් එට්නා සහ ෆූජියාමා තුනම එක පාරට විදාරණය උනාය කියල හිතපං…ඔන්න ඉතිං ඕකනෙව කියන්නෙ ….එහෙම වෙන්ට බෑ කියල මමත් දන්නව බොල..නිකමට හිතපං…රයිට් ඔය අල්ල පනල්ලෙ හිරෝෂිමා සහ නාගසාකි දෙකට පරමාණු බෝම්බත් දැම්මය කියාපංකො..කොහොමද ආතල් එක…අන්න ඒ වගෙ තුනයි දශම පස් ගුණයක්.. ( Quote / මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න. / Unquote😀😀 :D….)

        විසාල පිපුරුමක් තමයි සිද්ද උනේ අපේ ගෙදර සාලෙ….හප්ප මතක් වෙන කොටත් හීං සහ මහ දාඩිය එකට දානව…මේං බලාපං බොරුවක්ද කියල…

        යාංතං මයෙ අර හෙන්රි කීසිංගර් සහ එරික් සෝල්හයිම් දෙන්නම එක්ක ඇවිල්ල තමයි ජාම් බේර ගත්තෙ…

        / DIY Dudeනෙ බං /

        උඹ දන්නවද කොල්ලො මේ ඩී. අයි. යූ. වැඩේ අන්තිම පරතෙරටම ගියාම මොකද වෙන්නෙ කියල?…..හෙහ්, හෙහ්, මෙතන කියන එක හරි නෑ…උඹම හිතා ගනිං…

         
  5. Kenji @ Japan

    සැප්තැම්බර් 22, 2012 at 8:17 පෙ.ව.

    //ප්ලාස්ටරයක් ගැලවීම වගේ සුළු සිද්ධියකින් මෙච්චර සිද්ධියක් මවන්න ලේඛකයා සමත් වෙච්ච් අපුරුව!// වගේම,එය සිංහලයට පරිවර්තනය කිරීමේදී අප විසින් එදිනෙදා භාවිතාකරන අලුත් වචන වලින් නියම තැනට ගලපා අපට රසවිදීමට සැලැස්වීම අති විශිෂ්ටයි හෙන්රි! පරිවර්තනයක් කියවා තේරුම් ගැනෙන අයුරින් පාඨකයාට ඉදිරිපත් කරන කීප දෙනා අතර ඔබත් සිටිනවා කියා ම සිතනවා.සමහරු කරන පරිවර්තනවල සිංහල ඒ අයටවත් තේරෙනවද මන්ද?තව තවත් රසබර,හරබර ලිපි ලිවීමට ශක්තිය!!!!!!!!!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 22, 2012 at 9:05 පෙ.ව.

      බොහෝමත්ම ස්තුතියි කෙන්ජි මගේ අංක එකේ රසිකයෙක් වුනාට. කෙන්ජි එජ්හෙම කිව්වට පස්සෙ මට හිතුනා මා මේ කතා පරිවර්තනය කල හැටි කියලා පෝස්ට් එකක් ලියන්නත්. ඇත්තෙන්ම.🙂 මොකද අර කෙන්ජි කියපු දේවල් මම ඇත්තටම කරපු හැටි.

       
  6. JP

    සැප්තැම්බර් 22, 2012 at 8:27 පෙ.ව.

    හෙන්රි …මේ සීරිස් එක නම් හිතට අල්ලලා ගියා…මුල් ලේඛකයට වගේම පරිවර්තනයටත් වැඩි ලකුණු …..

     
  7. Beetle

    සැප්තැම්බර් 22, 2012 at 9:55 පෙ.ව.

    ග්බ්ලොග්බ්ක්ග්..!

    මේ සද්දේ තමයි සද්දේ…😀 ඇන්ඩිට මෙච්චර අකරතැබ්බයක් වෙයි කියලා පළවෙනි කොටස කියවද්දී හිතුවේ නෑ… නියමයි ඩූඩ්… තව කතාවක් ලියමු…🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:06 ප.ව.

      බීටලේ, ඒ සද්දෙ මම කටින් කරල බලලා හැදුවා.😀 ඔරිජිනල් සද්දෙ PHOOMPH මට වැඩිය ගතියක් නෑ කියලා හිතුනා..
      බොහෝම ස්තුතියි බීටලේ!🙂

       
  8. DDT

    සැප්තැම්බර් 22, 2012 at 1:19 ප.ව.

    හෙහ් හෙහ් …. අද නම් මෑන් අර home alone එකේ පෝරිසාදයටත් එහා ගිහිල්ල. අර ඇහැ වටේ රවුම දැක්කම මට මතක් වෙන්නෙ ඉස්සර බලපු 2D කාටුන්වල ගුටි කාපු එවුවොන්ගෙ ඇස් වටේට තියෙන කළු රවුම. විකාර සිද්ධියක් ගැන මේ වගේ අපූරු කතාන්දරයක් ගොතන්න ලේඛකයට අපූරු පරිකල්පනයක්, නැත්නම් සුපිරි ළමා කාලයක් තියෙන්ට ඇති. අපේ රටේ නම් බොහෝ ටිට සාම්ප්‍රදායිකවම ළමා කාලය ඕක කරන්න එපා, ඔතනට යන්න එපා, ඕක අල්ලන්න එපා, එපා ! එපා ! එපා ! ම නේ. අපේ රටේ අම්මල තාත්තල ළමයි ගැන හිතනව සැලකිලිමත් වෙනව වැඩියි වගේ. එහෙම නැති වුනාම තමයි උන්ගෙ ළමා ගතිය හොඳින්ම ඉස්මතුවෙන්නෙ.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:07 ප.ව.

      අපි වුනත් ළමයි ගැන පණ බයේ තමයි ඉන්නෙ DDT ඒ අපේ හැටි. නමුත් බටහිර ළමයි හුඟාක් ස්වාධීනයි. ළමයි තනියෙම නිදාගන්නෙ පොඩී කාලෙ ඉඳලා. අම්මයි තාත්තයි බබාලා බේබි සිටර් කෙනෙක් එක්ක තියලා මූවී එකකට හරි පාටියකට හරි ගිහිල්ල එන්න දෙපාරක් හිතන්නෙ නෑ.
      ඒක නෙවෙයි බං. මම දැක්කා උඹේ ප්‍රොෆයිල් ෆෝටෝ එකක් දාලා තියෙනවා. උඹ කියන තරම් මහත නෑනෙ. කෙට්‍ටු මූණක්නෙ තියෙන්නෙ.😀

       
      • DDT

        සැප්තැම්බර් 23, 2012 at 8:32 ප.ව.

        ආ … ඒක දැන් අවුරුදු දෙකකට විතර කලින් ගතිපු ෆොටෝ එකක් අයියා. ඒ දවස්වල මම කෙට්ටුයි ටිකක්. පස්සෙ තමයි ඉතිං පිටි මුට්ටෙ වගේ වුනේ.😀
        දැන් ඔන්න ආයිත් චුට්ටක් විතර කෙට්ටු වීගෙන එනව, ඒත් බඩ ගෙඩිය ටිකක් ඉතුරුයි වගේ. 😀😀

         
  9. පනුච්චි

    සැප්තැම්බර් 22, 2012 at 2:15 ප.ව.

    හම්මියෝ….. අර ගහෙන් වැටුන මිනිහගේ ඉහේ කඩන් වැටිලා වඳින්න ගිය මිනිහට ගොනා ඇන්න වගේ කතාවක් නේ එකත් … හැපේ අප්පේ….

     
  10. Red

    සැප්තැම්බර් 22, 2012 at 5:05 ප.ව.

    අපොයි.. මේක තමා ෂැගී කියන්නේ ‘වදින්න ගිය දේවාලේට ගෝනා ඇනලා ගහෙන් වැටිච්ච මිනිහගේ ඉහේ කඩා වැටුනා කියලා.. හිහිහි.. :))

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:12 ප.ව.

      හප්පට සිරි මට ඒ ගමන හිතාගන්න බෑ ‘ගහෙන් වැටුන මිනිහගේ ඉහේ කඩන් වැටිලා, වඳින්න ගිය මිනිහට ගොනා ඇන්න වගේ’ද නැතිනම්, ‘වදින්න ගිය දේවාලේට ගෝනා ඇනලා ගහෙන් වැටිච්ච මිනිහගේ ඉහේ කඩා වැටුනා වගේ’ද මේක වුනේ කියලා. පණුච්චියි ඔයයි මාව කන්‍ෆියුස් කරනවනෙ අප්පා!😀

       
  11. Maathalan

    සැප්තැම්බර් 22, 2012 at 5:54 ප.ව.

    ඩියර් හෙන් රී මේක ලිව්වේ මමද බං. කියන්නට වදන් නොමැත. මම හිතන්නේ නෑ. ඔරිජිනල් එක මේ තරම් රහ ඇති කියලා. කොහොමත් ලංකාවේ පට්ට ඩයල් එකකට ගහන්න ඇමරිකන් කාරයටවත් බෑ. මාර ක්‍රියේටිව්. උන් සම්මාන දෙන පොත් දැක්කම ඇඬෙනවා..
    මේ මගුලක් කරන්නෙ නැතුව ඒකේ විතරක් දානවනම් අපිව දැණුවත් කරපන්…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:14 ප.ව.

      උඹ නම් මාතලන් මාව මෙච්චර උඩට යවලා අතු කඩාගෙන වැටෙයිද මන්දා.😀 බොහෝම ස්තුතියි බං. මූ ඕස්ට්‍රේලියන් බුවා. අම්මේ එහෙම කරන්න එපා බං වර්ඩ්ප්‍රෙස් සුද්දට. ඔන්න ඔහෙ චූටි සුපියල් දහයක් දීලා බස් එකේ වරෙං.😀

       
  12. Senna

    සැප්තැම්බර් 22, 2012 at 6:09 ප.ව.

    මම හිතුවෙ ඇහැ ඉවරයි කියලා.. ලිවිල්ලනම් පන්කාදු පහයි ඩූඩ්.. යන්ඩ ඕනා ඩෙනිම පැත්තෙ..

     
  13. චන්දන

    සැප්තැම්බර් 22, 2012 at 6:39 ප.ව.

    බහුතරයක් පරිවර්තන කතා කියවන්න මට එපා වෙන්නේ ඒවායේ තියන වචන ටික ගලප ගන්න හරි අමාරු නිසා. එත් මේ කතාව නම් පරිවර්තනයක් කියලා හිතෙන්නේ නැති තරමට විශිෂ්ඨ ලෙස සිංහලට හරවලා තියනවා.
    ඒ තමයි මට හිතට (බොක්කටම) දැනුනු දේ !!
    පොඩි එකාට නම් ප්ලාස්ටරෙන් ගැලවීමක් නෑ වගේ…🙂 ඩෙනිම පැත්තෙන්ම යන්නම් කෝ…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:16 ප.ව.

      ස්තුතියි චන්දන බොක්කට දැනුනු දේ ලිව්වට. ඇත්තම කිව්වොත් මම හුඟක් පරිවර්තන කියවලා නෑ. මොකද මම හුඟාක් ඉංග්‍රීසියෙන් නිසා. මම මේක කරන්න යොදාගත්ත උපක්‍රම බ්ලොග් එකේම ලියන්නයි හිතුවෙ.
      ඩෙනිම පැත්තෙ වරෝ.

       
  14. රාමා

    සැප්තැම්බර් 22, 2012 at 8:08 ප.ව.

    හෙන්රි අයියගේ පරිවර්තන හැකියාව ගැන අද මුකුත් කියන්නේ නැහැ.😀

    කියන්න සන්තෝෂයි මමත් ටික දවසක් කම්මුලක් රවුමක් ඇඳ ගත්තා රික්තයක් නිසා… වැකුවම් ක්ලීනර් එකකින් නම් නෙවෙයි. හපොයි නොසල් ඒක නහයට කිට්ටු වෙන කොට හරි ගඳයි.. ඒ නිසා ඒකෙන් බේරිලා හිටියේ..

    අවුරුදු 3-4 කාලේ බුරුමයකින් පිටි අල්ල සම්පුර්ණයෙන් සිදුරු කර ගත්ත එකත් මතක් වුනා මේ ප්ලාස්ටර් කොල්ලගේ කතාව නිසා…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:35 ප.ව.

      බොහෝම මොකක්ද ස්තුතියි රාමා ඇගයීමට.
      මොකක්ද ඒ මූනෙ රවුමක් ඇඳගත්ත කතාව. රික්තයකින් කිව්වා? නමුත් වැක්‍යූම ක්ලීනර් එකකින් නෙවෙයි! මම ආසයි ඒක දැනගන්න.
      පිටිඅල්ල සම්පූර්ණයෙන් සිදුරු කරගත්තා බුරුමෙකට? : o ඒ කියන්නෙ පසා වෙන්නම? ඇට හරහත් යන්න ඇතිනෙ. ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකකට නම් හිතුවෑකි. මේ අතික් කරකවන බුරුමෙකට. උඹ නම් යකෙක්!😀

       
      • රාමා

        සැප්තැම්බර් 23, 2012 at 8:10 ප.ව.

        රික්තකය = ප්ලාස්ටික් ඩප්පියක් මිරිකලා මුණට තියල තද කරලා අත අරිනවා ඇලවෙන හැටි බලන්න. දවසක් එහෙම කරගෙන ගොඩක් වෙලා හිටියට පස්සේ දවස් කීපයක් යනකම් මාක් ඒක තිබුනා..

        බුරුමෙට නම් ඇට අහු වෙලා තිබුනේ නැහැ මම හිතන්නේ. හැබැයි තවම කැළල තියෙනවා.. මටත් හිතා ගන්න බෑ වේදනාව ඉවසගෙන එහෙම කලේ කොහොමද කියන එක..😀

         
  15. මඩිස්සලේ නිශාන්

    සැප්තැම්බර් 22, 2012 at 9:11 ප.ව.

    හුටා
    මම නම් හිතුවේ නැහැ ජීවිතේට ප්ලාස්ටරේ ගලවයි කියලා🙂

    ඔය සිද්දියෙන් මටත් මගේ ළමා කාලය මතක් වුණා

     
  16. ළිහිණි

    සැප්තැම්බර් 22, 2012 at 10:40 ප.ව.

    අනේ අනේ ඔන්න ඔහොමලු කොල්ලා ප්ලාස්ටර් එක ගලවන්න හැදුවේ..
    කතාව පරිවර්ථනය කරලා තියෙන විදිය නම් නියමයි ඩූඩ්. සමහර වචන ඔන්න මාත් අල්ල ගත්තා. ඒවා නියමයි.

     
  17. Naleen Dilruksha

    සැප්තැම්බර් 23, 2012 at 7:38 පෙ.ව.

    ලොකයේ ප්‍රකට ලේඛකයන්ගේ නිර්මාන ලංකාවේ බොහෝ දෙනෙක් කියවලා තියෙන්නේ පරිවර්ථන හෝ අනුවර්ථන මගින් .එතැනදී පරිවර්ථකයා කරන්නේ මහා පින්කමක්.මේ පින්කම කරන්න ඔබට මහා ශක්තියක් ඇත.දිගටම කරමු.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:36 ප.ව.

      ඒක ඇත්ත නලීන්. අපේ පරිවර්තන වලට මාර ඉල්ලුමක් තියෙනබව පේනවා. අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා, මාර කියවිල්ලක් කියවන්නෙ පරිවර්තන. මට හිතාගන්නත් බෑ මෙච්චරට පරිවර්තන තියෙනවද කියලා.

       
  18. vpokura

    සැප්තැම්බර් 23, 2012 at 7:40 පෙ.ව.

    ඇත්තටම පොඩි ඈයො ඔයවගේ වැඩ කරනව තමයි…! ගෙවල් දෙක කරනව..!

     
  19. සෑම්

    සැප්තැම්බර් 23, 2012 at 9:24 පෙ.ව.

    මම එදා ඉදන් මනාපව හිටියේ බ්ලොග් එකට.. වර්ඩ්ප්‍රෙස්වලට වඩා 🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 23, 2012 at 6:38 ප.ව.

      සෑමො. මම ඔය දෙකේම බ්ලොග් කරනවානෙ. ඇත්තටම කිව්වොත් දෙකේම ආවේනික හොඳ සහ නරක තියෙනවා. උඹලා ඔක්කොම බ්ලොගර් නිසා උඹලට බ්ලොගර් එකකට ගිහින් කමෙන්ට් එකක් දාන එකත් එච්චර ගේමක් නෑ මේකට ඇවිත් ෆෝම් පුරවනවා වගෙ. අනික කනෙක්ෂන් එක ස්ලෝ නම් වර්ඩ්ප්‍රෙස් ලෝඩ් වෙන්නෙ නෑ. අන්න ඒකයි ලොකුම අවුල.

       
  20. Miyuru

    සැප්තැම්බර් 23, 2012 at 12:59 ප.ව.

    හි..හි.. ඇටකටු කැඩිල ඇඳට වැටෙනකම් බලාගෙන හිටපු එක්කෙනා ප්ලාස්ටරයක් ගලෝගන්න ගිහින් කරගත්තු හරියක්…. තව පොඩ්ඩෙන් ඇහැත් ගලෝගන්නව…. දැන් ඉතින් මේ ඔක්කොම ටික ආයෙ රිපීට් කොරන්න එපැයි… හරිම ලස්සනයි ඩූඩ් පරිවර්තනය… අර කවුද කලින් කියල තිබ්බ නේද මේ වගේ ඒවා පරිවර්තන නෙවෙයි අනුවර්තන කියල… හරියටම මතක නෑ අප්පා… ඒ මොක හරි, ආයෙ කියල වැඩක් නෑ… +++++++++++

     
  21. praveena

    සැප්තැම්බර් 24, 2012 at 6:01 පෙ.ව.

    බ්ලොග් රෝලේ එල්ලගෙන ඉඳලත් මේක දැක්කේ නෑනේ.🙂

    හපොයි කතාව බලනකොට මම හිතුවේ කොලු පොඩ්ඩා වැක්‍යුම් ක්ලීනර් එක ඇතුලේ නතරවෙයි කියලා.
    බලාගෙන යනකොට දැන් තියෙන පෙනුමේ නරකක් නෑනේ. කොන්ඩේ ඔහොමෙ වෙන්ට ඇත්තෙත් ඒ හන්දා වෙන්ට ඇති නේද?

    ඩූඩ්ට ඒ කාලෙට යන්ට ලේසි ඇති ඔය වගේ අත්දැකීම් තියන හන්දා….ඒක තමා මේ විදියට ලස්සනට ලියවෙන්නේ.. …😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 24, 2012 at 6:52 ප.ව.

      ඔන්න ඕකනෙ මේ නහය ලඟම තියෙන දේ පේන්නෙ නෑ කියන්නෙ. ඇන්ඩිගෙ කොන්ඩෙ ජෙල් ජෙම ගාලා මම අමාරුවෙන් හැදුවෙ ඔය විදියට. ඉස්සෙල්ලා කතාවෙත් ඔය වගේම තමා ප්‍රවීනා. බොහෝම ස්තුතියි ඈ.

       
  22. රූ

    සැප්තැම්බර් 24, 2012 at 1:41 ප.ව.

    හපොයි
    හරිම ලස්සනයි
    තැන්කූ හෙන්රි අපිවත් ප්ලාස්ටර් ගලවන ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කර ගත්තට..

     
  23. සිරාගෙ කාමරේ

    සැප්තැම්බර් 24, 2012 at 6:33 ප.ව.

    වෙනදා වගේම කථාව හොදට පරිවර්ථනය කරලා තියෙනවා…. මොකක්ද මේ බ්ලොග් දෙකක පටලැවිල්ල…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 24, 2012 at 6:46 ප.ව.

      පටලැවිල්ලක් නෙවෙයි සිරා. බ්ලොගර් යාලුවන්ගෙ පහසුවටයි (මල කරදරේ බේරෙන්න බැරි නිසයි :D) මම මගෙ ඉෂ්ග්ලිෂ් බ්ලොග් එකට අමතරව සිංහලෙනුත් මගේ ඩෙනිම My Blue Jeans කියලා බ්ලොග් එකක් පට්ටාං ගත්තා. ඒක පැත්තෙ රවුමක් දාලා උමේ බ්ලොග් රෝලෙ හෙම එල්ලගෙන පොඩි සප් එකක් දියං කියලයි කිව්වෙ.🙂

       
  24. iamdeejay

    සැප්තැම්බර් 25, 2012 at 9:42 ප.ව.

    ඕ…….. මම දැන්නේ දැක්කේ මෙ පොස්ට් එකට කමෙන්ට් එකක් දාලා නෑ කියලා.😦

    මෙ පුංචි ඇන්ඩියා කරලා තියෙන වැඩ දැක්කාම අර තාත්තාටයි, අම්මටයි, අක්කාටයි, යාළුවන්ටයි, ගුරුවරුන්ටයි, අසල්වැසියන්ටයි සම්මාන දෙන්න වටිනවා, ඒවා ඉවස ගෙන හිටියාට. :O

     
  25. ගමේ හිතවතා

    අගෝස්තු 24, 2013 at 9:25 පෙ.ව.

    නියමයි ඩූඩ් !

    තැන්කු කීවා…:D

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: