RSS

Monthly Archives: ඔක්තෝබර් 2012

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

සපත්තු පාලම මැදදි මම සුක්කානම වමට කැපුවෙ, පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම මහා හඬක් නඟමින් වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා.

මම වාහනේ ඉස්සරහින් ගිහින් බැලුවා වෙලා තියෙන හානිය. බම්පර් එකේ වම් පැත්ත කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා. වම් පැත්තෙ ඉස්සරහා රෝද කොන්ක්‍රීට් එකෙන් කුට්ටියක් කඩාගෙන පහලට වැටිලා. ලෝවර් සස්පෙන්ෂන් ආර්ම් එක උඩ තමයි වාහනේ සමබරව තියෙන්නෙ. කඩාගෙන වැටෙනකොට අර මම ඉස්සරහට දාලා තිබුන, අමාරුවෙන් ලබා ගත්ත අලුත් බ්‍රිජ්ස්ටන් ටයර් එක පුපුරලා. ටයර් එකේ හැදිලා තියෙන හිල ඇතුලට මගෙ අත රිංගවන්න පුලුවන්. ටයර් එක පුපුරන සද්දෙයි, කොන්ක්‍රීට් එක කඩාගෙන ගිහින් වෑන් එකේ සස්පෙන්ෂන් ආර්ම් එක කොන්ක්‍රීට් එකේ වදින සද්දෙයි එකතුවෙලා තමයි, අර බෝම්බයක් ගහනවා වගේ සද්දෙ ඇවිත් තියෙන්නෙ.

වාහනේ ගානට කොන්ක්‍රීට් එකේ හිරවෙලා. ඊ ලඟට දැක්ක දෙයින් මගෙ කටේ කෙළ හිඳුනා. මම හිටගෙන හිටියෙ දුම් දාන අලි බෙට්ටක් උඩ. අපි මේ හිරවෙලා ඉන්නෙ යාල කැලේ අලි පාර හරහා යන අලි මංකඩක මැද්දෙ. මේ වන අලි සහ වල් අලි පාර පනින වෙලාව.

තව දුරටත් කියවන්න >>>

 
 

ටැග: , , , , , , , , ,

94. බල්ලා කාපු මගෙ කාරෙක.

94. බල්ලා කාපු මගෙ කාරෙක.

සෙනසුරාදා කියන්නෙ සතියක් ආසාවෙන් බලා ඉඳලා එලඹෙන දවසක්නෙ. හැබැයි නිවාඩු කිව්වට, සති අන්තයට තමයි වැඩ වැඩි. ඉදල අරන් සතියක් තිස්සෙ මිදුලෙ එකතුවෙච්ච කොල අතුගාන එක මගෙ හිතට ඇතිකලේ සැහැල්ලුවක්. හරියට භාවනාවක් වගෙ.

මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්.
DOG ATE IT @ HeyDude

ඒ දවස් වල තිබ්බ අපේ පුංචි රතු කාර් එකට හරි හැටි ගරාජයක් තිබ්බෙ නැත්තෙ, ඒක කුලී ගෙදරක් වෙච්ච නිසා. නමුත් අව්වෙන් වැස්සෙන් වාහනේ බේර ගන්න, නවපු ගැල්වනයිස් බට වලිනුයි, අර ඉරි ඉරි ටෙන්ට් රෙද්දකිනුයි මමම හදාගත්ත ගරාජ් එකේ වහල උඩ, අඹ කොළ වගේම වැහි වතුරත් තරමක් ‍රැඳුනා, බොක්ක ගැහිලා. මිදුල අතුගාන්න කලින් වහලෙට අතින් උඩු අතට තට්‍ටු කරලා, අඹකොළ ටික බිම දාන එක මම නොවරදවාම කලා.

කාරෙක වටේට තිබ්බ අඹකොල අතුගාන කොටයි මම දැක්කෙ ඉස්සරහ බම්පර් එක යටින් එල්ලෙන වයර් කෑලි දෙක. ඉදල බිම දාලා ලංවෙලා බැලුවම මට තේරුනා මේක සිග්නල් ලයිට් එකත් එක්කම එකට බම්පර් එකේ හයි කරලා තිබ්බ පාක් ලයිට් එකට එන වයර් එකක් බව. කාරෙක අන්තිමට ගුරු පාරේ වැස්සෙ පදවගෙන ආපු නිසා වයර් එකේ ප්ලාස්ටික් ආවරණය මඩ පාටට තිබ්බත්, එලියට මතුවෙලා තිබ්බ තඹපාටින් දිලිසුන කම්බි පොටවල් මට කිව්වෙ මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ කියන්නෙ මේක වෙලා තියෙන්නෙ මෙතන වාහනේ නැවැත්තුවට පස්සෙයි.

කලබල වෙන්න දෙයක් නෑ. මම  කඩාකප්පල්කාරියා කවුද කියලා එවෙලෙම සැක කරපු නිසා, කාරෙක යටට එබිලා බැලුවා. ඔය ඉන්නෙ කඩාකප්පල්කාරියා, සුපුරුදු බලු සිහිනයක් දැක දැක, කම්මැලි කමට තවමත් නිදාගෙන!

අපේ බලු පැටියගෙ තිබ්බ, මේ හැමදේම හපලා ‍රැල් කරන පුරුද්ද නිසා, අපි සෙරෙප්පු සපත්තු පවා දොරෙන් ඇතුලෙයි තිබ්බෙ. මේකා කොහෝම හරි මේ පාක්ලයිට් එකෙන් තරමක් පාතට එල්ලෙන වයර් එක දැකලා, ඒක කාලා වෙන් වෙන්නම. මම කාරෙකේ  ලාච්චුව ඇරලා, හදිසියකට ගන්න ඒකෙ කවදත් තියාගෙන හිටපු කලු පීවීසී ටේප් රෝල අරන් ආවා. වයර් කෑලි දෙක එකට අඹරලා ගැටගහලා,  ටේප් එක ඔතලා වැඩේ සම්පූර්ණ කලා. ඔය තියෙන්නෙ අලුතෙන් ගත්තා වගේ . ටේප් එක ආපහු ලාච්චුවට දාපු මම, ඒක අමතක කරලා ඉදල අතට ගත්තා.

ඒ දවස් වල තමයි, ලිබර්ටි එකේ මුල් වරට ජුරාසික් පාක් පෙන්නුවෙ. අපේ ගෙදර තුන්දෙනාම හරිම කැමැත්තෙන් බලන්න හිතාහිටිය මේ චිත්‍රපටිය බලන්න අපි, මගෙ අම්මවත් එකතු කරගත්තෙ, ඇයත් ඔය වගෙ අමුතු කතාවලින් සෑහෙන වින්දනයක් ලබපු නිසා. අර සිද්දියෙන් සති ගනනාවකට පස්සෙ,  අපි හතරදෙනාම හවස 3.15වේ දර්ශණය නරඹන්න කොළඹ ගියා.

“කොහොමද ආච්චියෙ ‍ෆිල්ම් එක? ඔයා ආසද?”
චිත්‍රපටිය අවසන් වෙලා සිනමා රථගාලෙ නවත්වලා තිබ්බ කාරෙකට නගින ගමන්, අපේ දුව ආච්චිගෙන් ඇහුවා.

“නියමයි පුතු. හරි ෂෝක්!” අම්මා කියනවා මම අහගෙන.

ඉතින් අපි ආපහු ගෙදර එන්න පිටත් වුනේ ඩයිනසෝරයන් ගැන කතා කර කර. විහාරමහාදේවි උද්‍යානය පහු කරනකොටයි අපි දැක්කෙ, එදා එහි තිබුන විසිතුරු මල් පැල ප්‍රදර්ශණය සහ අලෙවි සැල්. සාමාන්‍යයෙන්, අපි විසිතුරු පැල සේල් වලට ඇදිලා ගියේ නිකම්මයි. වහාම වාහනේ රථගාලට රිංගවපු අපි ගියා ප්‍රදර්ශනේ බලන්න. පැයකට හමාරකට පස්සෙ, අපි ආපහු ප්‍රදර්ශන භූමියෙන් එලියට ආවෙ, රුපියල් දෙතුන් දාහක් සැහැල්ලු කරගෙන, නමුත් තවත් කැලෑවක් වන් විසිතුරු පැල රාශියක් වාහනේ පටවාගෙන.

ගෙදර යන්න බියගම පාර මම ‍තෝරාගත්තෙ, ඒ වෙලාවෙ හැටියට ඒ පාර  බත්තරමුල්ල පාරට හෝ නුවර පාරට වැඩිය තදබදයෙන් අඩු නිසා. අපි කැළණිය පහු කරනකොටත්, විදුලි පහන් නොදල්වා යන්න තරම් එලියක් ඉතිරි වෙලා තිබුනා. නමුත් මානෙල්වත්ත රජමහා විහාරෙ පහුවෙනකොට මම විදුලි පහන් දැල්වුවා. ඒ වෙනකොට අපි අර වංගුවත් එක්කම තිබුන, දැඩි බෑවුමක් ඇති පල්ලම බහිමිනුයි හිටියේ.  එක් වරම කාරය කලු දුමින් පිරුනා.

“හයියෝ අර යකාගෙ  ට්‍රක් එක! මාර දුමක්නෙ!” මම කිව්වෙ එවෙලෙ අධික බරක් පටවාගෙන, කලු දුම් වලාවක් පිටකරමින් කන්ද නගිමින් හිටි ට්‍රක් රථය ගැන.

තවත් මීටර් සීයක් හමාරක් ගියත් දුමේ වැඩිවීමක් මිස අඩුවක් නොපෙනුන නිසා, මට දැනුනා අනතුරක සේයාවක්. මම වහාම කාරය අයින් කරලා නැවැත්තුවා.

කාරය නැවතුන ගමන්ම මම දැක්කෙ බොනට්‍ටුව අස්සෙන් එලියට ගලාගෙන ආපු කලු දුම වලාව. මම වාහනෙන් එලියට පැන්නෙ බොනට්‍ටුවෙ අගුල ඇරෙන ලීවරයත්  ඇදගෙන. වහාම බොනට්‍ටුව එසවූ මතුවූ ප්ලාස්ටික් පිලිස්සෙන ගඳටයි දුම් වලාවටයි මාව පස්සට විසිවුනා. ගිණි ජාලාවක් බැටරිය අවටින් මතුවෙමින් තිබුනා.

“බහින්න, බහින්න කාරෙකෙන් ඔක්කොමලා!” මම කෑ ගැහුවා.

දෙපාරක් කියන්න අවශ්‍ය වුනේ නෑ.

මම ආපහු දුවලා කාරයෙ තිබ්බ රෙදි කඩමල්ලක් ගෙනත් ගිණි දලුවලට පහර දුන්නා. මුලින්ම මම පහරදී නිවා දැමූ ගිණිදලු නැවත නැවතත් ඇවිලෙන්නට වුනත්, දීපාත් මාත් එක්ව දීපු  එකව කල ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ ගින්න පරාජය  වුනා. බොනට්‍ටුවේ සමහර තැන්වලා පින්තාරුව පිලිස්සී බුබුලු නැගී ඇති බව මම දැක්කෙ පසුවයි.

ගින්න සමග කල සටනින් ජයගත් අපට දැන් අවශ්‍ය  වුනේ හැකි ඉක්මනින් ගෙදර යන්නයි. මම ඉග්නිෂන් ස්විචය කරකවා බැලුවා. අච්චර දෙයක් වෙලාත් දෙවියන්ගෙ පිහිටෙන් එන්ජිම වහාම පණගැන්වුනේ අපේ හිත් වලට පුදුමාකාර සහනයක් ගෙන දෙමින්. නමුත් ඒ සහනය වැඩි වෙලා නොතිබුනේ, විදුලි පහන් දැල්වූ වහාම, නැවතත් වයර් හානසයේ තැන් තැන් වලින් දුම් මතුවෙන්න ගත්ත නිසා. මම වහාම ස්විචය නිවා එන්ජිම ක්‍රියා විරහිත කර, මතුවෙමින් තිබූ ගිණිදලු වලට පහර දී නිවා දැම්මා.

“කළබල වෙන්න හොඳ නෑ. ඔලුව අවුල් කරගන්න එපා. කරදරයක් වුනාම ක්‍රියාකරන හැටියට තමයි ඒ මනුස්සයගෙ ගති ස්වභාවය තේරුම්ගන්න පුලුවන්. සංසුන් වෙයං හෙන්රි,” මම මටම කියාගත්තා.

මම හිතන්න ගත්තා. සරළව මුළසිට  හරියටම  ඉංග්‍රීසි පන්තියක දැන්වීමක් වගෙ.

මෙතන මෙකැනිකල් ෆෝල්ට් එකක් නෑ. තියෙනවා නම්, එන්ජිම ස්ටාට් වෙන්නෙ නෑ. මේක ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට් එකක්. ඇත්තටම ෂෝට් සර්කිට් එකක්.

මම ගින්න ඇතිවුන තැන් පරීක්ෂා කරලා බැලුවා. සමහර වයර් වල ප්ලාස්ටික් ආවරණය උණුවෙලා තඹ කම්බි පොටවල් මතුවෙලා එකට ඇලිලා තිබුනේ, කොයි කොයි වයර, මොන පාටට තිබුන, කොහේ ඉඳලා ආපු ඒවාද කියලාවත් හොයාගන්න බැරි විදියට. ඒ මදිවට කලුවර!

වැල නොකැඩී ඇදී යන වාහන වල එලියෙන් යමක් හරියට බලාගන්න අමාරුයි. හොඳ වෙලාවට, කවුරු මොනවා කිව්වත් අම්මා ගමනක් යනකොට අරන් යන විට එයාගෙ එයාගෙ අත් බෑග් එකේ දාගෙන යන විදුලි පන්දම, මේ වෙලාවෙ පිහිටට ආවා.

විදුලි පන්දම් එළියෙන් මට පුලුවන් වුනා වෙලා තිබ්බ හානිය වඩා හොඳට බලාගන්න. ඊට පස්සෙ මම පටන් ගත්තා ක්‍රමානුකූල  පරීක්ෂාවක්. Systematic search with checklist.

මුලින්ම මම සියලුම ස්විච නිවා දැම්මා. සහායක නියමු දීපා උකුසු ඇස් එන්ජිම මත රඳවා ඉඳිද්දී චෙක් ලිස්ට් එක ආරම්භ වුනා.

පළමුව මම එන්ජිම පණ ගැන්නුවා.  එන්ජිම හොඳින් දුවනවා, දුමක් නෑ.

දෙවනුව වයිපර් – දුමක් නෑ.

මම බ්‍රේක් පෙඩලය පෑගුවා  – දුමක් නෑ සහායක නියමු දීපා නිවේදනය කලා.

ඊ ලඟට ප්‍රධාන විදුලි පහන් දැල්වුවා.  හෝව්, හෝව්!! මෙන්න දුම් දානවෝ!!

මම වහාම විදුලි පහන් සහ එන්ජිම නිවා දැමුවා.

හොඳ වෙලවට, ඒ වෙලේත් ඇරලා තිබුන හාඩ්වෙයාර් බඩු කඩයෙන්, මම වැඩි පුර පීවීසී ටේප් දෙක තුනක් ගත්තා. දීපා විදුලි පන්දම දල්වාගෙන ඉඳිද්දී මම අර උණු වෙලා එකට ඇලිලා තිබ්බ ‍රැහැන් ගලවලා පුලුවන් හැටියට  ටේප් කලා. වැඩි හොඳට විදුලි පහන් වලට යන සම්බන්ධ ‍ෆියුස් එකත් ගැලෙව්වා. ඇත්තෙන්ම ඒකත් උණු වෙලා නමුත් කවදා හරි දාපු වැරදි අගයක් තියෙන ෆියුස් එකක් නිසා වෙන්න ඕනෙ මෙහෙම වුනේ, මට නිකමට හිතුනා. ටික වෙලාවකින්, මේ වගේ අවස්ථාවක කල හැකි හැම දේම කර ඇති  බව සහතික වුනාට පස්සෙ, අපි ඊලඟ දුශ්කර කාර්යයට සූදානම් වුනා. මේ වනකොට ගිනි ගැනීමේ අවදානමක් නැතුව වාහනේ ආපදා පහන් (hazard lights) පාවිච්චි කරන්න හැකි බව මම හොයාගෙන තිබුනේ.

ඊන් පස්සෙ හැමදෙනාම වාහනයට ගොඩවුනාම, මම එන්ජිම පණගන්වලා ආපදා පහන් දල්වාගෙන ගෙදරට යන්න තියෙන අති දුෂ්කර ගමන ආරම්භ කලා. දීපා මුලින්ම විදුලිපන්දම වාහනයේ ඉදිරිපස වීදුරුව තුලින්ම පාරට ඇල්ලුවත්, අත එලියට දමා විදුලි පන්දම පිටතින් අල්ලන එක වඩා සාර්ථක බව ටික, වේලාවකින් අපි තේරුම් ගත්තා.

රෑක, බැටරි දෙකේ විදුලි පන්දම් එලියකින් කාර් එකක් පදවන එක හිතපු තරම් ලේසි වුනේ නෑ. විශේෂයෙන්ම අපි ඉදිරියටත්, පසුපසිනුත් ආ අනිත් ආත්මාර්ථකාමී රියැදුරන් කිසිම අනුකම්පාවක් නොදක්වන විට. පසු පසින් ආ උන් කන් බිහිරිවන්නට නලා හැඬවූවා මදිවාට, හෙඩ් බීම් දල්වමින් මාව අන්ධ කලා. ඉදිරියෙන් ආ උන් හෙඩ් බීම් පාවිච්චි කලේ මාව හොඳින් දැකගැනීමටත්, මේ කලුවරේ විදුලි පන්දමකින් රිය පදවන මා කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට බැරිව බවත් මට තේරුනා.

මට වැඩියෙන්ම වද දුන්නේ බස් රියැදුරෝ. මේ හැම දෙයින්ම වුනේ මගේ අර්බුදය උග්‍ර වීම පමණයි.  නමුත් අර කාලකන්නි ‍රැලට වඩා වෙනස්, එක් මහත්මා රියැදුරෙක් මට ඉස්සර කර, මට ඔහු පසු පසින් ධාවනය කල හැකි සේ හිමින් රිය පදවමින් මට මග පෙන්වීම, මට ඉමහත් අස්වැසිල්ලක් වුනා.

බියගම ෆොන්ටෙරා සමගම අසලදී මම විදුලි කාර්මිකයෙකු සොයා ගැනීමට රිය නතර කලා. ඇත්තෙන්ම ඒ වෙලාවෙ වාහන විදුලි කාර්මිකයන් කිසිවෙක් හිටියේ නෑ. නමුත් එක් නිර්මාණශීලී රේඩියෝ, රූපවාහිණී ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා ශිල්පියෙක්, මට පිහිට වෙන්න කැමති වුනා.

ඔහු අර මා කල ආකාරයටම, කොනක සිට විදුලි පරිපථ පරීක්ෂා කලා. ඔහුට අවශය උපකරණ සහ ආලෝකයත් තිබූ නිසා වඩාත් කාර්යක්ෂමව කාර්‍යය කරන්නට හැකි වුනා.  අන්තිමේදී ඔහු වරද සොයා ගත්තා. ඒ තමයි මම එදා උදේ පුරුද්දා ගැට ගැසූ පාක් ලයිට් වයරය.

“ඇයි අයියෙ මේක ගැට ගැහුවෙ?”  ඔහු ඇහුවේ කුතුහලයෙන්.

“ඕක බල්ල කෑවනෙ මල්ලි. මම ඉතින් ගැට ගහලා ටේප් කලා.”

“පිස්සු හැදෙන සඳ අයියෙ. මේ ප්ලස් මයිනස් වයර් දෙකනෙ අයියා එකට ගැට ගහලා තියෙන්නෙ.”

“හප්පට සිරි යකෝ, මම හිතුවෙ ඕක එකම වයර් එක කියලනෙ. ඇත්තෙනම මම වයර් එකේ පාටෙ වෙනසක් දැක්කෙ නෑ මොකද මඩ ගෑවිලා තිබ්බ නිසා!”

ඔහු බම්පරය අස්සට අත දමා තවත් වයර් කොට දෙකක් එලියට ඇද පෙන්නුවා.

“මේ බලන්න අයියෙ. ඇති ඔයින් ගියා!”

“හරි මල්ලි. මම ඔය වයර් දෙක එකට ඇමුණුවට පස්සෙත් කී පාරක් මේ කාර් එකේ ගියාද? ඇයි මේක මේ අදම වුනේ?”

ප්‍රශ්ණෙ අහනවත් එක්කම මටම හේතුව පැහැදිළි වුනා.

“ඒ ගියේ ලයිට් දාන්න ඕනෙ වුනේ නැති ගිණි දවාලෙ නේද අයියෙ? “

බලං යනකොට මේක කාල බෝම්බයක්. මම කවදා හෝ කොහේදී හෝ ලයිට් දානකල් කල්යල් බලමින් සිටි අනතුරක්!

මේක අද නොවුනා නම්මීට වඩා නරක වෙලාවක වෙන්නත් ඉඩ තිබුනා. ඇත්තෙන්ම, මෙතන ඉඳලා ගෙදරට කිලෝමීටර් 10ක් නැතිනම් 15ක් ඇති. හිතලා බලමු, මේක දුර ගමනක් ගිය වෙලාවක, පාලු පලාතක,  රෑක වුනානම් ඇතිවෙන්න තිබුන තත්වය!

වයර් හානස් එක නොපෙනෙන තැන් වලින් හානි වෙලා විදුලි කාන්දුවක් වෙන්න තියෙන ඉඩ නිසා, ඔහු සැක කටයුතු පරිපථ විසන්ධි කලා. ඉන්පස්සෙ ඔහු බැටරියෙන් ප්‍රධාන ලාම්පුවලට වෙනම ‍රැහැනක් ඇද්දා. ඒ එක්කම ඔහු මට පෙන්නුවා, කාරෙකේ එන්ජිම දුවද්දි බැටරි වයරය ගැලෙව්වාමත්, එන්ජිම ඕල්ටනේටරයේ විදුලියෙන් හොඳින් දුවන බව. මම එතෙක් කල් හිතා හිටියෙ ඒ හැකියාව තියෙන්නෙ මැග්නෙටෝ වලින් දුවන මෝටර් සයිකල් එන්ජින් වලට විතරයි කියලා. පසුව ඔහු බැටරි වයරය සම්බන්ධ කලා. ඔහු මට කිව්වා ගෙදර ගිය ගමන් බැටරි වයරය ගලවලා දාන්න, ඒ වගේම උදේම වාහන විදුලි කාර්මිකයෙක් අල්ලාගෙන වැඩේ හරියට කරගන්න කියලා.

අන්තිමේදි, අපි නැවත ගමනාරම්භ කරන්න සුදුසු තත්වයක හිටියා.  අපි හැමෝම, අපිව ගලවාගත් මේ කාරුණික මිනිසාට මුව නොසෑහෙන සේ ස්තුති කරලා ඔහුගේ ගාස්තුවත් ගෙව්වා. නමුත් කිව යුතුම දේ තමයි, ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපිව මංකොල්ල කන්න උත්සාහ නොකල එක.  මා ඔහුට අත මොලවන්න හැදූ වැඩිපුර ගානවත් ඔහු පිළිගත්තෙ නෑ. අපි එන විට ඔහු ලෑස්ති වෙමින් හිටියෙ, ඔහුගෙ රේඩියෝ අලුත්වැඩියාපල වහලා ගෙදර යන්නයි. නමුත්, තමන්ගෙ ගමනත් නවත්තලා, තමන්ට අදාල නොවන මේ උදව්වත් කරපු, ඒ වගේම, තමන්ගෙ විෂය පථයෙන් බැහැර ක්ෂේත්‍ර ගැන පවා මනා අවබෝධයක් තියෙන මේ වගෙ මිනිස්සු රටකට වාසනාවක්!

ඉන් පසු කිවයුතු විශේෂයක් නැතුව අපි ගෙදර ආවා. මේ සියල්ලටම වග කිවයුතු අපේ හුරතල් බලු පෝතකයා, තමන් කල හානිය ගැන කිසිම අවබෝධයකින් තොරව, වෙනදා වගේම වලිගය වනමින් අප පිළිගන්නට පෙරමග බලා සිටිනු කාරයේ විදුලි පහන් එලියෙන් අප දු‍ටුවා.

පසු වදන:

මේ කතාවෙන් ඔබට ගත හැකි යමක් තියෙනවද? මම පසුව කල්පනා කලා.

  • කිසිවිට නොසැලකිල්ලෙන් වයර් පුරුද්දන්න එපා. මම තව ටික ඔලුව ඇතුලට දාලා බැලුවා නම් මට අර ඉ‍තුරු වයර් කොට දෙකත් අහුවෙනවා.
  • විදුලි පන්දමක් වාහනයක තිබිය යුතුම අංගයක්,
  • පීවීසී ටේප් අර ආවුද පෙට්ටියෙ තිබිය යුතුම තවත් දේවල් වලින් එකක්.
  • කුඩා ගිණි නිවනයක වටිනාකම කියලා නිම කරන්න බෑ.
  • වැඩිපුර ‍ෆියුස් වාහනේ තියාගන්න.
  • බැටරි වයර් හදිසියකදී ලේසියෙන් ගලවන්න හැකි බටර්ෆ්ලයි නට් එකකින් සවි කරන්න
  •  මම නම් දුර ගමන් යනකොට ස්පෙයා වීල් දෙකක් අරන් යනවා. හිතලා බලන්න රෑ දොළහට ගෙදරින් කිලෝමීටර් තුන්සීයක් ඈතදි තියෙන එකම ස්පෙයා වීල් එක දාගත්තට පස්සෙ තව ටයර් එකක් ගියොත් ඇතිවෙන තත්වෙ.
  • මේ ඔක්කොටම වඩා, අර්බුදයකදී කලබල නොවී කටයුතු කිරීම වැදගත්.
  • අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුව තවත් අමාරුවේ නොදා ඔහුට කරන්න පුලුවන් සුලු හෝ උදව්වක් කරන එක හරිම උතුම් වැඩක්. මට අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ සිද්ධි අද වගේ මතක හැටි බලන්න
  •  ඒ වගෙම පාඨක ඔබ යෝජනා කරපු මේ දේවල්:
    ජම්පර් කේබල් එකක්. (ඉන්දික)
    ටෝ රෝප්/කේබල් එකක්. (ඉන්දික)
මේ කතාවේ ඉංග්‍රීසි මුල් ලිපිය මෙතනින්
DOG ATE IT @ HeyDude
වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතනට කොටන්න.
 

ටැග: , , , , , , , ,

93. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 3

93. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 3

මුල් කොටස් දෙක කියෙව්වෙ නැතිනම්:

රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -1

රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker -2

“අන්න ඒකයි මම කෙනෙකුට කතා කරන කොට විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෙත්. මම කෝ’මද දන්නෙ බොස් සිවිල් පිට ඉන්න පොලිස්කාරයෙක් නෙවෙයි කියලා?”

“ඔයාට මාව පොලිස්කාරයෙක් වගෙ පේනවද?”

“නෑ බොස්,” ඔහු කිව්වා. “කො’එත්ම නෑ. අනික බොස් පොලිස්කාරයෙක් නොවෙන බව ඕනැ මෝඩයෙකුට තේරෙනවා.”

ඔහු සාක්කුවකට අත යවා දුම්කොල ටින් එකකුත්, සිගරට් ඔතන කොල පැකට්‍ටුවකුත් ඉවතට ගෙන සිගරට්‍ටුවක් ඔතන්නට වුනා. මම ඇස් කොනින් ඔහු කරන දේ බලා සිටියා. තරමක් අමාරු කාර්යයක් වූ සිග‍රැට්‍ටුවක් එතීම, ඔහු කරපු වේගය මට අදහා ගත නොහැකි තරම් වුනා. ඇත්තෙන්ම ඔහු තප්පර පහක පමණ කාලයකදී සිග‍රැට්‍ටුව ඔතා අවසන් කලා. අවසානයේදී. සිගරට් කොලයේ දාරය දිගේ දිවේ තුඩ දිවවූ ඔහු, කොලය අලවා සිග‍රැට්‍ටුව තොල් අතර රඳවා ගත්තා. ඉන් පසු ලයිටරයක් ඔහුගේ අතේ පහල වුනා. ලයිටරයෙන් ගිණි දැල්ලක් මතු වුනා.. සිග‍රැට්‍ටුව දැල්වුනා. ලයිටරය අතුරුදහන් වුනා. මුලු ක්‍රියාවලියම ඇත්තෙන්ම සුවිශේෂ රංගනයක් කියා කිව හැකියි.

“මම ජීවිතේට දැකලා නෑ මනුස්සයෙක් ඔය තරම් වේගයෙන් සිගරට් එකක් රෝල් කරනවා,” මම කිව්වෙ පුදුමයෙන්.

“ආ,” ඔහු පෙනහලු පිරෙන්න දුම් උගුරක් ඇද්දා. “ඒ’නම් බොස් ඒක දැක්කා?”

“නැතුව? මම දැක්කා තමයි. ඒක නම් මාරයි, ඈ!”

ආසනයේ ඇන්දට හේත්තු වූ ඔහු සිනාසුනා. ඔහු සිග‍රැට්‍ටුව එතූ වේගය මගේ අවධානයට යොමු වීම ගැන ඔහු බොහෝ සතු‍ටු වූ බව පෙනුනා.

“බොස්ට දැනගන්න ඕනෙද, මට ඒක  ඒ’ම කරන්න පුලුවන් ඇයි කියලා?”

“කියමුකො බලන්න එහෙනම්.”

“ඒකට ‘ඒතුව බොස්, මට තියෙන මේ අරුම පුදුම සුපිරි ඇඟිලි. මගේ මේ ඇඟිලි…,” ඔහු දෑතේම ඇඟිලි ඔහුගේ මුහුන ඉදිරියෙන් විහිදාලමින් කිව්වා. “…ලෝකෙ ඉන්න ‘ඔඳම පියානෝ වාදකයගෙ ඇඟිලි වලට වඩා වේගවත්, ඒ වගේම දක්ෂයි.”

“ඔය පියානෝ වාදකයෙක්ද?”

“මොනාද බොස්! බොස්ට මාව පියානෝ වාදකයෙක්  වගෙ පේනවද?”

මට ඔහුගෙ ඇඟිලි දිහා බැලුනා. ඒවායෙ තිබුනෙ හරිම අලංකාර හැඩයක්. සිහින්, දිග, සියුමැලි  ඒ ඇඟිලිවල , ඔහුගේ ශරීරයට කිසිසේත්ම ගැලපීමක් තිබුනෙ නෑ. ඒවා හරියටම ඔහුගෙ ඇ‍ඟේ කොටසක් නොවේ වගේ පෙනුනේ. ඒවා ගැලපුනේ මොලයේ සැත්කම් කරන ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකුට හෝ ඔරලෝසු කාර්මික ශිල්පියෙකුට.

“මගෙ රස්සාව,” ඔහු කිව්වා. “…පියානෝ එකක් වාදනය කරනවා වගේ සිය ගුණයක් අමාරුයි.  ඕනෙ ගොබ්බයෙකුට පුලුවන්නෙ ඒක නම්. මේ දවස්වල ඔය ‘ඇම ගෙදරම ඉන්නෙ මේ ඇඹිටිල්ලං පොඩි උං, පියානෝ  ග’අන්න ඉගෙන ගන්න, නැද්ද මං ‘ආන්නේ?”

“හ්ම්ම්.. ඔව් එහෙම කියන්නත් පුලුවන්.”

“ඒක ‘ඒමම තමයි බොස්. නමුත්, කෝටියකින් එක පුද්ගලයෙකුටවත් මම කරන රස්සාව ඉගෙන ගන්න බෑ. කෝටියකින් එක්කෙනෙකුටවත්! දන්නවද බොස්?”

“මාරයිනෙ!”

“නැතුව බොස්? මාරයි තමයි”

“මම හිතන්නෙ ඔයා කරන්නෙ මේ ඉන්ද්‍රජාලික වැඩ. ඔයා මැජික් කාරයෙක්.”

“මේ මම?” ඔහු ගෙරෙව්වා. ” මැජික් කාරයෙක්? මේ… මේ… මේ… ඔය කජු කිරි කොලු කෙල්ලංගෙ  පාටි වලට ගි’ඉන් තොප්පි වලින් ‘ආවො අරං පෙන්නන?”

“එහෙනම් ඔයා කාඩ් ප්ලේයර් කෙනෙක්. ඔයා මිනිස්සුන්ව කාඩ් සෙල්ලමට පොළඹවලා, ඔයාට වාසි වෙන විදියට අත බෙදාගෙන…”

“මම? මේ කාඩ් ගා’ලා වංචා කරන තක්කඩියෙක්?” ඔහුට කෑගැස්සුනා. “ඊටත් වඩා කාලකණ්නි රස්සාවක් තවත්  තියෙනවද?”

“හරි, හරි, මම පරාජය බාර ගන්නවා.”මම කාරය පැදවූයෙ ඉතාම හෙමින්, පැයට හැතැප්ම හතලිහකට වැඩි නොවෙන්න, මොකද තව පාරක් පොලීසියට අහු වෙන්න මගේ කිසිම අදහසක් නොතිබුන නිසා.  අපි මේ වෙනකොට ලන්ඩන් – ඔක්ස්ෆර්ඩ් ප්‍රධාන මාර්ගයේ ඩෙනැම් දෙසට වූ පල්ලම බසිමිනුයි හිටියේ.

හදිසියේම මගේ මගියා කලු හම් බඳ පටියක්  මට පෙන්වා. “බොස් මේක කලින් දැකලා තියෙනවද?”යි ඇසුවා. පටියේ ගාංවුවේ හැඩයේ විශේෂත්වය මම වහාම දු‍ටුවා.

“ඒයි! ඕක මගෙ නේද? ඔව්, ඕක මගෙ බෙල්ට් එක? ඔයාට කොහෙන්ද ඕක?”

ඔහු හිනාවෙලා පටිය දෙපැත්තට පැද්දුවා.

“වෙන කො’එන්ද, බොස්ගෙ කලිසමෙන් මිසක්.”

මම වහාම මගේ ඉන අතගා බැලුවා.

මගේ පටිය අතුරුදහන් වෙලා තිබුනා!

“මේ ඔයා කියන්නෙ,  මම  කාරෙක එලවන අතරේ, ඔයා මගේ බෙල්ට් එක ගලවා ගත්තා කියලාද?” මම ඇහුවේ වික්ෂිප්ත වෙලා.

ඔහු, අර මී ඇස්, මගෙ මුහුණෙන් ඉවතට නොගෙනම, හිස ඉහලට පහලට වැනුවා.

“ඒක වෙන්නෙ කොහොමද?,” මම කිව්වා. “ඔයා බෙල්ට් බකල් එකත් පන්නලා, ලූප්ස් අස්සෙන් ඕක ඇදලා ගන්න එපායැ? එහෙනම් මම දැක්කෙ නැත්තෙ කොහොමද, ඔච්චර හරියක් වෙනකල්?  හරි මම දැක්කෙ නෑ කියමු. ඒත් මට දැනෙන්න එපායැ”

“ඒ වුනාව  බොස්ට දැනුනෙවත් නෑ නේද?” ඔහු ඇසුවේ ජයග්‍රාහී ලීලාවෙන්.

මගෙ බඳ පටිය තමාගෙ උකුල මතට අත හැරිය ඔහු , මෙවර දුඹුරු පැහැති සපත්තු ලේස් එකක් ඇඟිලි වලින් එල්ලාගෙන හිටියා.

“හොඳයි, බොස් මේක ගැන මොකද කියන්නෙ?”

“මොකක්ද ඕක ගැන කියන්න තියෙන්නෙ?”

“මෙතන ඉන්න කාගෙ ‘අරි සපත්තු ලේස් එකක් ‘එම නැති වුනාද?” ඔහු ඇහුවෙ සිනා සෙමින්.

මට නිකම්ම මගෙ සපත්තු දිහා බැලුනා.

එක සපත්තුවක ලේස් එක අතුරුදහන්!

“දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ!  ඔයා කොහොමද ඒක කලේ? මම කොයි වෙලේවත්, ඔයා ඉස්සරහට නැවෙනවවත් දැක්කෙ නෑනෙ!”

“බොස් දැකපු ඇති දෙයක් නෑ තමයි.  මම එක අඟලක්වත් එ’ආ මෙ’ආ වෙනවාවත් බොස් දැක්කෙ නෑ තමයි. බොස් දන්නවද ඒ ඇයි කියලා?

“ඔව්,” මම කිව්වා. “ඒ ඔයාට ‘අරුම-පුදුම-සුපිරි-ඇඟිලි’ තියෙන නිසා.”

“ආන්න ‘අරි. අන්න බොස්ට තේරුනා වෙඩි වගේ.”

නැවතත් සුව පහසුවෙන් ආසනයේ ඇන්දට හේත්තු වූ ඔහු  තමන්ම  ඔතාගත් සිග‍රැට්‍ටුව උරමින් ඉදිරි වීදුරුව දෙසට දුම සිහින් දල්ලක් සේ යැව්වා. ඔහුගේ හපන්කම් වලින් මා විශ්මයට පත්වී ඇති බැව් දැන සිටි ඔහු, ඒ ගැන උද්දාමයෙන් පසු වූ බව පෙනුනා.

“අද නම් පරක්කු වෙනවා මට. වෙලාව කීයද බොස්?”

“ඔය තියෙන්නෙ ඔයා ඉස්සරහා ඔරලෝසුව,”

“ඔය කාර් ඔරලෝසුවල වෙලාවල් මම විශ්වාස කරන්නෙ නෑ,” ඔහු මුහුණ ඇද කරමින් කිව්වා. “බොස්ගෙ ඔරලෝසුවේ වෙලාව කියන්නකො.”

මම මගේ  අත් ඔරලෝසුව දෙස බැලීමට කමිස අත උඩට ඇද්දා.

ඔරලෝසුව අතුරුදහන් වෙලා තිබුනා!

මට ඔහු දෙස බැලුනේ නිතැතින්මයි. ඔහු සිටියේ සිනාසෙමින්.

“ඒකටත් ගැහුවා නේ?”

ඔහු අල්ල විදහා පෙන්නුවා. මගේ ඔරලෝසුව එහි තිබුනා.

“මේක  නියම භාණ්ඩයක්. ‘ඔඳම වර්ගයේ. කැරට් දා’ අටේ රත්තරන්. විකුණගන්නත් ලේසියි. මේ වගේ ඉස්තරම් වර්ගයේ බඩු විකුණගන්න එක කෝ’මත් ගේමක් නෙවෙයි.”

“මට ඕක නම් ආපහු ලැබුනොත් හොඳයි!” මම කිව්වෙ තරමක ආවේගයෙන්.

ඔහු ඉදිරියෙන් තිබූ සමින් නිමකල රඳවනය මත ඔරලෝසුව ප්‍රවේශමෙන් තැන්පත් කලා.

“මම බොස්ගෙන් කිසිම දෙයක් ගන්නෙ නෑ බොස්,” ඔහු කිව්වා. “බොස් මගෙ මිත්‍රයා, අනික මේ මට ලිෆ්ට් එකක් දෙන ගමන්.”

“ඒක නම් දැනගත්ත එකත් ලොකු දෙයක්.”

“බොස් මම මේ කරන්නෙ, බොස් මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන එකයි. බොස් මගෙන් ඇහුවානෙ මම කරන රස්සාව ගැන. ඉතින් මම මේ බොස්ට පෙන්නනවා ක්‍රියාවෙන්ම.”

“හරි, මගෙන් වෙන මොනවද ගත්තේ?”

මදහසක් පෑ ඔහු, සිය කබා  සාක්කුවෙන්, මට අයත් භාණ්ඩ එකින් එක එලියට ගන්න පටන් ගත්තා. ඒ අතර මගේ රියැදුරු බළපත්‍රය,  යතුරු කැ‍රැල්ල, පවුම් නෝට්‍ටු කිහිපයක්, කාසි, මගේ ප්‍රකාශකයෝ එවූ ලිපියක්, මගේ දිනපොත, පැන්සල් කොටයක්, සිගරට් ලයිටරය, සහ ඒ සියල්ලන්ටම වඩා, මගේ බිරිඳට අයත් නිල් මැණිකක් වටා මුතු ඔබ්බවා සාදා තිබූ අගනා පැරණි මුද්දත් තිබුනා. මම එය ලන්ඩනයේ රන් ආභරණ ශිල්පියෙකු වෙත ‍රැගෙන යමින් සිටියේ  එහි හැලී තිබූ එක මුතු ඇටයක් අලුතින් සවිකරවා ගැනීමටයි.

“මෙන්න තවත් නියමම භාණ්ඩයක්,” මුද්ද ඇඟිලි තුඩුවලින් ඒ මේ අත කරකවමින් ඔහු කිව්වා. “මට වැරදීමක් වෙලා නැත්නම්, දා’ අටවෙනි ශත වර්ෂෙ, තුන් වෙනි ජෝජ් රජ්ජුරුවන්ගෙ කාලේට අයිති භාණ්ඩයක්”

“හරියටම හරි”

ඔහු මුද්දත් අනිත් බඩුත් සමග රඳවනය මත තැබුවා.

“ඒ කියන්නෙ ඔයා පික් පොකට් කාරයෙක්.” මට ඇහුනේ නිතැතින්මයි..

“මම ඒ වචනෙට කැමතිම නෑ,” ඔහු පිළිවදන් දුන්නා. “ඒක බොහෝම ගොර’ඇඩි, ග්‍රාම්‍ය වචනයක්. අනිත් එක, පික් පොකට් කාරයෝ කියන්නෙ, මේ බොහෝම ලේසි,  ලාමක, බාලාංශ මට්ටමේ වැඩ කරන, ගොර’ඇඩි ආධුනිකයො  වගයක්. උං මේ ඇස් පෙන්නැති නාකි අම්මන්ඩිලාගෙන් සල්ලි ‘ඔරකං කරන උංනේ.”

“දැන් ඔයා කොහොමද ඔයාවම හඳුන්වා ගන්නෙ?”

“මම? මම අතැඟිලි ශිල්පියෙක්. ෆිංගර්ස්මිත්. මම වෘතීය  අතැඟිලි ශිල්පියෙක්. ඒ කියන්නෙ ප්‍රොෆෙෂනල් ‍ෆිංගර්ස්මිත් කෙනෙක්.”

ඔහු  ඒ වචන කිව්වෙ, හරියටම ඔහු, ශල්‍ය වෛද්‍ය විශේෂඥයින් සඳහාවූ  රාජකීය විද්‍යාලයේ  කුලපති හෝ කැන්ටබරිහි අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ  බව මට පවසන්නාක් මෙන් ගාම්භීරතා පූර්වක අභිමානයකිනුයි.

“මම කවදාවත් අහලා නෑනෙ ඒ වචනෙ. ඒක ඔයා නිර්මාණය කරපු එකක්ද?”

“අපොයි නෑ. ඒක මම ‘අදපු වචනයක් නෙවෙයි. ඕක ඔය වුර්තියේ ඉහලටම ගිය අයව ‘අඳුන්වන්න බාවිතා කරන වචනයක්. බොස් ‘ආල තියෙනවනෙ ස්වර්ණාබරණ නිර්මාණ ශිල්පියා, ගෝල්ඩ්ස්මිත්, එතකොට සිල්වර්ස්මිත්.  ඒ අය ඒ ඒ වුර්තියේ විශේෂඥයො. මම අතැඟිලි පිලිබඳ විශේෂඥයෙක්. ඉතින් මම අතැඟිලි ශිල්පියෙක්. ෆිංගර්ස්මිත්.”

“මරු ජොබ් එකක්නෙ”

“නියමම ජොබ් එකක්. කියලා වැඩක් නෑ,” ඔහු පිළිතුරු දුන්නා.

“එහෙනම්, ඒකයි මේ රේස් එකට යන්නෙ.”

“ඒක ‘අරි ලේසි වැඩක් බොස්.  රේස් එක ඉවර වුනාට පස්සෙ, දිනපු කට්ටිය සල්ලි ගන්න පෝලිම් ගැහෙන කල් පොඩ්ඩක් ගැවසෙනවා අවට. ලොකු කුට්ටියක් දිනපු කෙනෙක් සල්ලි ගන්නකල් බලා ඉඳලා, යනවා මිනිහා පස්සෙන්. ගි ‘ඉල්ලා දෙනවා වැඩේ සල්ලි මිටියටම. ඔන්න බොස් වරදවා තේරුම් ගන්නෙපා. මම කවදාවත් පැරදුන කෙනෙක්ගෙන් වත් දුප්පතෙක්ගෙන්වත් කිසි දෙයක් උස්සන්නෙ නෑ. මම වැඩේ දෙන්නෙ ඇති ‘ඇකි අයට පමණයි. ඒ කියන්නේ ජයග්‍රා’අකයෝයි, ධනවත්තුයි.”

“ඔයා හරි ප්‍රතිපත්ති ගරුකයිනෙ. ඉතින් නිතරම පොලීසියට හෙම අහුවෙනවද?”

“අ’උවෙනවද? ඔහු….කැගැහුවා.” මේ මාව අ’උවෙනවද කියලා ඇව්වා? පික්පොකට් කාරයොයි අ’උවෙන්නෙ.  අතැඟිලි ශිල්පියො කවදාවත් අ’උ වෙන්නෙ නෑ.  මේ ‘ආන්න බොස්,  මට ඕනෙ නම් බොස්ගෙ බොරු දත් කුට්ටම උස්සන්න පුලුවන් බොස්ට නොදැනෙන්න,”

“මට බොරු දත් නෑ.”

“මම ඒක දන්නවා, ඔහු කිව්වා. “නැත්නම් මේ වෙනකොටත් දත් කුට්ටම උස්සලා ‘උඟක් වෙලා.”

මට ඇත්තෙන්ම ඒ ගැන සැකයක් තිබුනෙ නෑ.  ඔහුගෙ සිහින් දිගු ඇඟිලි වලට කල නොහැක්කක් නැති බව ඒ වෙනකොට මම හොඳින් තේරුම් අරන් තිබුනා.

අපි නිහඬවම ඉදිරියට ගමන් කලා.

“අර පොලිස් කාරයා ඔයාගෙ විස්තර හොඳට චෙක් කරලා බලයි. ඒකෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැත්ද?”

“මගෙ විස්තර කාටවත් චෙක් කරන්න ලැබෙන්නෙ නෑ බොස්”

“මොකෝ නැත්තෙ?  ඒ යකා අර පොඩි කලු පොතේ බොහෝම පරිස්සමෙන් ලියාගත්තෙ, ඔයාගෙ නමයි, ඇඩ්‍රස් එකයි, ඔක්කොම!”

නැවතත් අර කපටි මී හිනාවක්.

“ආ, ඒකද? මම ‘ඉතන්නෙ නෑ ඒ යකා ඒක ඒ වගේම පරෙස්සමෙන් මතකයෙත් ලියාගත්තා කියලා. මොකද ‘ඔඳ මතක ශක්තියක් තියෙන කොස්සෙක් මට නම් ‘අම්බවෙලාම නෑ. සමහර උන්ට උංගෙම නම් වත් මතක තියා ගන්න බෑ.”

“මතකයක් මොකටද? ඒ හාදයා ඒක පොතේ ලියාගත්තනෙ.”

“කතාව ඇත්ත බොස්. පොර ඒක ලියාගත්තා තමයි. නමුත් ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒ යකා අතින් පොත නැති වෙලා. එකක් නම් මදෑ, පොත් දෙකම. අර මගේ නම ලියාගත්ත පොතයි, බොස්ගෙ නම තියෙන දඩ පොතයි දෙකම.”

ඊ ලඟ මොහොතෙ, ජයග්‍රාහී සිනහවක් මුව රඳවාගත් ඔහු, අර සියුමැලි දිග අතැඟිලි වලින් පොලිස් නිළධාරියාගේ සාක්කුවලින් සොරකම් කරන ලද පොත් දෙකම අල්ලාගෙන සිටියා.

“මම කරලා තියෙන ලේසිම ජොබ් එකක් බොස්,” ඔහු කිව්වේ ආඩම්බරයෙන්.

මම කොපමණ විශ්මයට පත් වුනාද කිව්වොත්, පාරේ ගමන් කර තිබූ කිරි බවුසරයක නොහැපි බේරුනේ අනූ නමයෙන්!

“ඒ කොස්ස ගාවා අපි ගැන කිසිම සටහනක් දැන් නෑ.”

“ඔයා නං විශ්ව කර්මයෙක්!” මට කෑ ගැස්සුනා.

“නමක් වත්, ඇඩ්‍රස් එකක් වත්, කාර් එකක නොම්බරයක්වත් මෙලෝ දෙයක් නෑ.”

“මාරම වැඩකාරයෙක්, ආ!”

“මම හිතන්නෙ බොස් අපි පුලූවන් තරම් ඉක්මනින් අතුරු පාරකට ‘ඇරෙව්වා නම් හොඳයි. එතකොට අපිට පුලුවන් පොඩි ගිණි මැලයක් හෙම ගා’ලා, මේ පොත් දෙක ගිණි දෙවියන්ට පුදන්න.”

“ඔයා නං මනුස්සයෙක් නෙවෙයි, දෙයියෙක්!”

“බෝ’ම ස්තුතියි බොස්. ‘ඔඳක් අහන්න ලැබෙන එක, කෝ’මත් ලොකූ සතුටක්!


නිමි.

ප. ලි:  මම අර උඩින්ම තියෙන චිත්‍රය අඳින්න Roald Dahl ගෙම තරුණ වියේ මෙන්න මේ ඡායාරූපය ටිකක් වෙනස් කරලා ගත්තා. ඇත්තෙන්ම තරුණ කාලේ බුවා හෙන හැන්ඩියා නේද? උසත් අඩි හයයි අඟල් ගානක් නිසා අර ප්‍රහාරක ගුවන් යානා පදවපු කාලේ ප්‍රශ්නයක්  තිබ්බලු අර පුංචි නියමු කුලිය ඇතුලෙ හිර වෙලා ඉන්න එක.

ABOUT THE AUTHOR

By Courtesy of Wikipedia

Roald Dahl (13 September 1916 – 23 November 1990) was a British novelist, short story writer, poet, fighter pilot and screenwriter.Born in Wales to Norwegian parents, he served in the British Royal Air Force during World War II, in which he became a flying ace and intelligence officer, rising to the rank of Wing Commander.

Dahl rose to prominence in the 1940s, with works for both children and adults, and became one of the world’s best-selling authors. He has been referred to as “one of the greatest storytellers for children of the 20th century”. In 2008 The Times placed Dahl 16th on its list of “The 50 greatest British writers since 1945”. His short stories are known for their unexpected endings, and his children’s books for their unsentimental, often very dark humour.Some of his notable works include James and the Giant Peach, Charlie and the Chocolate Factory, Matilda, The Witches, Fantastic Mr Fox, The Twits, George’s Marvellous Medicine and The BFG.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න කරුණාකරලා මෙතන කොටන්නකො. ‘මගේ ඩෙනිම My Blue Jeans’

 

ටැග: , ,

92. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 2

92. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 2

මෙතෙක් කතාව: පළමු කොටසින්.

මගේ විවෘත ජනේලය පැත්තෙන් පැමිණි පොලිස් නිළධාරියා. මසින් ගැවසීගත් විශාල අතක් ජනෙල් රාමුව මත ‍රැ‍ඳෙව්වා.

“මොකද මේ හදිස්සිය?”

“හදිස්සියක් නෑ ඔ‍ෆිසර්,” මම පිළිතුරු දුන්නා.

“ම්හ්ම්,  පස්ස සීට් එකේ ඉන්නවද බබෙක් හම්බ වෙන්න විලි රුදාව හැදිලා ඉන්න  ගෑණු කෙනෙක්, ඔහේ මේ හොස්පිටල් එකට අරන් දුවන? ඒකද ප්‍රශ්ණෙ?

“නෑ ඔ‍ෆිසර්”

“නැතිනං ඔහේගෙ ගේ ගිණි අරං. ඔහේ මේ  ගෙදර දුවන ගමන්ද, උඩ තට්‍ටුවෙ කො‍ටු වෙලා ඉන්න ඔහේගෙ පවුල බේරා ගන්න?”

පොලිස් නිළධාරියගෙ සමච්චල් සහගත හඬේ තිබ්බේ භයංකාර මෘදු කමක්.

“මගේ ගේ ගිණි අරං නෑ ඔ‍ෆිසර්.”

“එහෙනං, ඉතිං වහ කෑවා වගේ තමයි,” ඔහු කිව්වා. “මොකද කියන්නෙ? දන්නවද මේ රටේ වේග සීමාව කීයද කියලා?”

“පැයට හැතැප්ම හැත්තෑවයි,” මම කිව්වා.

“එහෙනම් මට තරහ නැතුව කියනවද, ඔහේ මේ දැන් කීයට ගියාද කියලා?”

මම කිසිත් නොකියා උරහිස් හැකිලුවා.

“පැයට හැතැප්ම එකසිය විස්සයි!” ඔහු බිරුසන් දුන් හඬට මා උඩ විසිවී බිම වැ‍ටුනා.
“ඒ කියන්නෙ වේග සීමාවට වඩා පනහක් වැඩියි.”

ඔහු හිස හරවා රථයේ බඳට ගැසූ ගැසූ විශාල කෙල පිඩ, මගේ රථයේ අලංකාර නිල් පින්තාරුව දිගේ හෙමිහිට පහලට ලිස්සා ගියා.

නැවතත් අප දෙසට හැරුනු ඔහු, මගේ මඟියා දෙස රවා බලා. “ඔහේ කවුද?”යි  තියුණු හඬින් විමසුවා.

“එයා හිච්හයිකර් කෙනෙක්,” මම කිව්වා. “මම මේ එයාට ලිෆ්ට් එකක් දෙනවා.”

“මම ඔහේගෙන් ඇහුවෙ නෑ.” ඔහු ගෙරෙව්වා. “මම ඇහුවෙ අරයගෙන්.”

“මමත් මෙතන මොකුත් වරදක් කලාද?” මගේ මගියා ඇහුවෙ පැණි බේරෙන හඬකින්.

“වෙන්න පුලුවං.” පොලිස් නිළධරියා කිව්වා. ” “ඔහේ දැන් කොහොමත් මේකෙ සාක්කි කාරයෙක්. ඒක තව පොඩ්ඩකින් බලා ගමු.”

“රියැදුරු බලපත්‍රය,” රළු හඬින් කී නිළධාරියා,  අත්ල මදෙසට දිගු කලා.

මම මගේ රියැදුරු බලපත්‍රය ඔහු අතට පත් කලා. පොලිස් කබායේ වම් සාක්කුවේ බොත්තම ගැලවූ ඔහු, අර කාලකන්ණි දඩ පොත එලියට ගත්තා. ඉන් පසු ඔහු ඉතාම ප්‍රවේශමෙන් මගේ නමත් ලිපිනයත් අනිත් විස්තරත් පිටපත් කර ගෙන, බලපත්‍රය නැවත මා අතට දුන්නා. ඉන්පසු නැලවිල්ලේ රථයේ ඉදිරි පසට ගිය ඔහු අංක තහඩුවේ තිබූ අංකයත් පිටපත් කලා. ඉන් පසුව දිනයත්, මා කල වරදේ විස්තරත් පිරවූ ඔහු දඩ කොලයේ මුල් පිටපත පොතෙන්  ඉරා ගත්තා. නමුත් එය මා අතට පත් කිරීමට පෙර, මුල් පිට පතේ ඇති සියලුම විස්තර කාබන් පිටපතේත් පැහැදිළිව සඳහන් වී ඇත්දැයි ප්‍රවේශමෙන් සසඳා බැලුවා.  අවසානයේදී දඩ පොත සාක්කුවට දමාගත්  ඔහු බොත්තමද පියවූවා.

“දැන් බලමු ඔහේ ගැන,” යි මගේ මගියට කී ඔහු, වටෙන් අනිත් පස ජනේලය වෙත පැමිණ,  කබායේ අනිත් සාක්කුවෙන් තවත් කුඩා සටහන් පොතක් එලියට ගත්තා.

“නම?” ඔහු සුපුරුදු රළු හඬින් විමසුවා.

“මයිකල් ‍ෆිෂ්,” මගේ මගියා පිළිතුරු දුන්නා.

“ලිපිනය?”

“අංක 14, වින්ඩ්සර් ලේන්, ලූටන්.”

“ඔය කිව්ව නමයි, ලිපිනයයි ඇත්ත ඒවා කියලා ඔප්පු කරන්න මොකුත් ලියකියවිලි තියෙනවද?”

මගේ මගියා සිය සාක්කුවට අත දමා සොයාගත් රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කලා.  නිළධාරියා එය පරීක්ෂා කර බලා ආපසු දුන්නා.

“මොකක්ද ඔහේගෙ රස්සාව?” ඔහු තියුණු හඬින් විමසුවා.

“මම ‘ඔඩ් කැරියර් කෙනෙක්.”

“මොකෙක්?”

“‘ඔඩ් කැරියර්.”

“කොහොමද ඕක ලියන්නෙ? අකුරු කොහොමද?”

“H-O-D   C-A…”

“හා හා ඇති ඇති. මොකක්ද මේ හොඩ් කැරියර් කියන්නෙ කියල මට කියනවද පොඩ්ඩක්?”

මේ තියෙන්නෙ හොඩ් එකක්.

“‘ඔඩ් කැරියර් කියන්නෙ ඔ‍ෆිසර්, ඉනි මගක් දිගේ නැගලා, මේසන් බාස් ගාවට බදාම ගෙනියන කෙනා. ‘ඔඩ් කියන්නෙ බදාම දාගෙන යන ආ’වල් එක. ඒකට තියෙනවා දිග මිටක්. ඒකෙ මුදුනෙ ලෑලි කෑලි වගයක් ‘අයි කරලා තියෙනවා, එක්තරා…””හරි, හරි, ඇති. කවුරු ගාවද ඔහේ දැන්ට වැඩ කරන්නෙ?”“දැනට කවුරුවත් ගාවා නෙවෙයි. මේ මෝ’තේ  මට ජොබ් එකක් නෑ.”

පොලිස් නිළධාරියා මේ සියල්ල සිය කලු පැහැති කුඩා සටහන් පොතේ ලියා ගැනීමෙන් පසු, සටහන් පොත ආපසු සාක්කුවට දමා බොත්තමත් පියවූවා.

“මම ආපහු ස්ටේෂන් එකට ගිය ගමන්ම, මම ඔහේ ගැන චෙක් කරලා බලනවා,” ඔහු කිව්වා.

“මා ගැන? මම කරපු වරද මොකක්ද?”  මූසික මුහුණැති මගේ මගියා ඇසුවා.

“ආරලු බූරලු නැතුව කිව්වොත්, ඔහේගෙ මූණ මට එච්චර ඇල්ලුවෙ නෑ,. ආන්න ඒකයි,”පොලිස් නිලධාරියා කිව්වා. “සමහර ඔය මූණත්තහඩුවෙ පින්තූරයක් අපේ ෆයිල් වල තියෙන්නත් බැරි කමක් නෑ.”

එසේ කී පොලිස් නිළධාරියා ලැසි ගමනින්, රථය වටෙන් මගේ ජනේලය අසලට නැවත පැමිණියා.

“තමන් ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ කියලා දන්නවද?” ඔහු කීවේ මට.

“ඔව් ඔ‍ෆිසර්.”

“අපි මේ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරලා ඉවර වුනාම ඔහේට,  ඔහේගෙ මේ සෝබන, හයි ෆයි  කාරෙක  සෑහෙන කාලෙකට එලවන්ඩ ලැබෙන එකක් නෑ. මේ කාර් එක විතරක් නෙවෙයි, මොනම කාරෙකක් වත්.  දන්නවද? අවුරුදු ගානකට. ඔහේට ඔහොම වෙලා මදි මම නම් කියන්නෙ.  අවුරුදු ගානකට යකඩ කූරු ගනින්න වැඩේ සිද්ධවෙන්නත් පුලුවන්”

“මොනවා ? ඒ කියන්නෙ හිරේ?” මම කලබල වෙලා ඇහුවා.

“අන්න හරි. මහ උලු ගෙදර තමයි. අනිත් අපරාධකාරයොත් එක්ක බලු කූඩුවෙ. ඒ මදිවට හොම්බෙන් යන්න වෙන දඩේකුත් ගෙවලා. ඔහේ දන්නවද මේ ගැන වැඩියෙන්ම සතු‍ටු වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, මේ මම. හරි  එහෙනම් උසාවියෙදි හම්බවෙමු. ඔහෙලා දෙන්නම. දෙන්නටම උසාවියේ පෙනී හිටින්න සිතාසි හම්බවෙයි.”

පොලිස් නිළධාරියා ආපහු හැරිලා, මෝටර් සයිකලය වෙත ඇවිදගෙන ගියා. පැති ආධාරකට පොලිස් බූට් පැලඳි පයින් ඇන කකුල ඔසවා ආසනයේ ඉඳ ගත්තා. ඉන් පසු පයින් ස්ටාටරයට ඇන එන්ජිම පණගන්වා ගෙන මහ මගේ ඈතට නොපෙනී ගියා.

“ශික්, මාත් කරගත්ත වැඩක්…!” මම කිව්වෙ කලකිරීමෙන්

“අපි ඉල්ලං කෑවෙ නේද බොස්?”  මගියා කිව්වා, “කට උත්තර නෑ.”

“මමයි ඉල්ලං කෑවෙ, අපි නෙවෙයි,” මම කිව්වා.

“ඔව්, ඒ’ම තමයි, ” ඔහු කිව්වා. “දැන් බොස් මොකක්ද කරන්ඩ යන්නෙ?”

“මම දැන් ලන්ඩන් වලට ගිය ගමන්ම, මගෙ නීතිඥයා හම්බවෙනවා,”යි කී මම රථය පණ ගන්වා පාරට ගත්තා.

“ඒ යකා කිව්ව අර කූඩුවෙ දාන කතාව නම් බොස් විස්වාස කරන්ඩ එපා,” මගියා කිව්වා. “ස්පීඩිං වලට කාවවත් කූඩුවෙ දාන්නෙ නෑ.”

“හොඳටම විශ්වාසද එහෙමයි කියලා?” මම ඇහුවා.

“ඒකෙ ආයෙ දෙකක් නෑ,” ඔහු කිව්වා. “ඔන්නම් ලයිසන් එක තියාගෙන, කොර  වෙන දඩයක් ගා’වි. එච්චරයි.”

ඒ වචන වලින් මට පුදුමාකාර සහනයක් දැනුනා.

“ඒක නෙවෙයි, මොකද ඔයා අර යකාට බොරු කිව්වේ?”

“කවුද? මේ මම?” ඔහු ඇසුවා.”ඇයි බොස් ‘ඉතන්නෙ මම බොරු කිව්වා කියලා?”

“ඔයා ඒ යකාට කිව්වෙ ඔයා රස්සාවක් නැති  හොඩ් කැරියර් කෙනෙක් කියලා. නමුත් ඔයා මට කිව්වෙ නිපුනතා ශිල්පයක් කරනවා කියලා.”

“ඒක ඇත්ත බොස්,” ඔහු කීවා. “ඒ වුනාට ඔය කොස්සෙකුට ‘ඇමදේම කියන්ඩ යන එක ඇඟට ගුණ දෙයක් නෙවෙයි.”

“ඇත්තෙන්ම ඔයා මොකක්ද කරන්නෙ?”

“දැන් නම් ගැලවුමක් නෑ වාගේ, නේද බොස්?”

“ඒක මේ… කියන්න ලැජ්ජා හිතෙන දෙයක්ද?”

“ලැජ්ජා ‘ඉතෙන දෙයක්? ලැජ්ජා?” ඔහු කෑගැසුවා. “මේ මම? මම මගේ රස්සාව ගැන ලැජ්ජා වෙනවද ඇ’වුවා?  මම තරම් තමන්ගෙ රස්සාව ගැන ආඩම්බර වෙන මිනි’එක් ලොවෙත් නැතුව ඇති.”

“එහෙනම් ඇයි මට නොකියන්නෙ, මොකක්ද ඔය රස්සාව කියලා.”

“ඇත්තටම මේ ලේකකයන්ටත් ඕන්නැති මගුලක් නෑනෙ, නේද බොස්? ඔහු ඇහුවා. “දැන් මම මේක කියන කල්, බොසා මේක දැනගන්න කල්, බොසාට ඉන්ඩ බෑ දැන්, නේ? නිකං කසනවා වගේ”

“හනේ මට මොකෝ? මට ඔයා ඕක කිව්වත් එකයි, නැතත් එකයි. මට කමක් නෑ.” මම කිව්වෙ බොරුවට.

ඔහු හරියටම මීයෙක් වගෙ මං දිහා කපටි බැල්මක් හෙලුවා.

“කමක් තියෙනවා. මට බොස්ගෙ මූණෙන්ම පේනවා බොස් දැන් හිතනවා මේ යකා මොකක් ‘අරි අරුම පුදුම රස්සාවක් කරනවා ඇත්තෙ කියලා. බොස්ට ඕක ‘අරියටම මොකක්ද දැනගන්න කල් නින්ද යන එකක් නෑ.”

ඔහු මගේ සිතුවිලි කියවූ ආකාරයට නම් මම කොහෙත්ම මනාප වුනේ නෑ. මම නිහඬව මාර්ගය දෙසට නෙත් යොමාගත්තා.

“එක අතකට බොස් ‘ඉතන එක ‘අරි. මම කරන්නෙ අරුම පුදුම රස්සාවක් තමයි. ඒක අරුම පුදුම රස්සාවල් වලිනුත් විශේෂ එකක්.”

ඔහුට දිගටම කතා කරන්න ඇරලා මම නිහඬව රිය පැදවුවා.

ඇත්තටම මේ අභිරහස් මගියාගේ අභිරහස් රස්සාව කුමක් ද?

අවසාන කොටසින් කියවන්න.

මගේ අලුත්ම සිංහල බ්ලොගර් බ්ලොග් අඩවිය ‘මගේ ඩෙනිම My Blue Jeans’ වෙත ක්‍රමයෙන් සංක්‍රමණය වෙමින් සිටිනා බැවින් ඔබේ වටිනා ප්‍රතිචාර එහි දමා මෙම සංක්‍රාන්තියට මට සහය වන්නට ඔබෙන්  ඉල්ලා සිටිමි.

 
92. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 2හි ප්‍රතිචාර වසා ඇත.

Posted by මත ඔක්තෝබර් 12, 2012 in පරිවර්තන, පොලිස් කතා, වාහන කතා

 

ටැග: , ,

91. රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker – 1

91. රියට අත ඇල්ලූ මගියා /  The Hitchhiker – 1

ඒ මගෙ මොටෝරිය ගත්ත අලුතමයි.

කාටත් තේරෙන වාහන භාෂාවෙන්ම කිව්වොත්, BMW 3.3 Li වර්ගයේ, ලෝං වීල්බේස් සහිත විශාල කාරය, ෆ්‍යුවල් ඉන්ජෙක්ෂන් සහිත, ලීටර් 3.3ක ධාරිතාවයකින් යුත් එංජිමකින්ද, පැයට සැතපුම් 129ක උපරිම වේගයකින්ද, එයටම ගැලපෙන විශ්මිත ත්වරණයකින්ද (මාර පිකප් එකකින්ද) යුතු වූ නියම කෙළි බඩුවක්. රියේ බඳ ලා නිල් පැහැ ගත් අතර, තද නිල් පැහැති රියේ ඇතුලත එම පැහැයම ගත් ආසන නිමවා තිබුනේ හොඳම වර්ගයේ නියම මෘදු සමින්. ජනෙල් වීදුරු මෙන්ම සන් රූෆ් එකත් ස්වයංක්‍රීයව විදුලියෙන් ක්‍රියාත්මක වුනා. රේඩියෝව ක්‍රියාත්මක කලවිට පමනක් සැඟවූ තැනින් මතුවී ඉහලට එසවුනු රේඩියෝ ඇන්ටෙනාව, රේඩියෝව නිවා දැමූ වහාම රියේ බඳ තුල ගිලී අතුරුදහන් වුනා. මඳ වේගයේදී නොඉවසිල්ලෙන් ගෙරවූ, මැසිවිලි නැඟූ ජවාධික එංජිම, පැයට සැතපුම් හැට ඉක්මවූ වහාම සතුටින් කොඳුරන්නට ගත්තා.

ජූනි මාසයේ සුන්දර දිනයක් වූ එදා මම තනිවම ලන්ඩනය දක්වා රිය පදවමින් සිටියා. මග දෙපස වූ මලින් ගැවසී ගත් රුක් අත්තන ගොමු වලට ඔබ්බෙන්, වූ කෙත් වතුවල ගොවියන් වැඩෙහි යෙදී සිටියා. ඇඟට පතට නොදැනෙන අයුරින් පැයට සැතපුම් 70ක වේගයෙන් රිය පැදවූ මා, ඉතා සුව පහසු ඉරියව්වකින් අසුනට බරදී, ඇඟිලි දෙකකින් පමනක් සුක්කානම හසුරවමින් සිටියා.

මගේ වාහනයට අත ඇල්ලු  ඔහු මා දුරදීම දු‍ටුවා. මා මෘදුලෙස තිරිංග යොදා ඔහු අසලම රිය නැවතූවා. සාමාන්‍යයෙන් මෙසේ වාහනයට අත අල්ලන්නන්ට රිය නතර කිරීමේ පුරුද්දක් කොහොමත් මට තිබුනා. හේතුව, ගම්බද මාවත් අද්දර හිටගෙන,  මා පසු කර වැලනොකැඩී ඇදී ගිය වාහන, දෙස බලා සිටින  විට ඇතිවෙන හැඟීම මට නුහුරු එකක් නොවීමයි.  මා දැක දැකත්  නොදැක්කා සේ ගිය, විශේෂයෙන්ම  අසුන් තුනක්ම හිස්ව ගිය තඩි මොටෝ රථ රියැදුරන්ට මම සාප කල තරමක්! කොහොමත් ඔය විශාල වටිනා රථ නම් නැවැත්තුවෙම නැති තරම්.

නවත්තන තරමක් නැවැත්තුවේ මල බැඳුනු, පරණ රථ හෝ ළමුන් පුරවාගෙන ගමන් කල්, “අපිට පොඩ්ඩක් එහාට මෙහාට වෙලා මෙයාටත්  ඉඩ චූට්ටක්  හදගන්න පුලුවන් වෙයි නේද?”, කියා ඇසූ රියැදුරන් පැදවූ රථයි.

අත ඇල්ලූ මගියා, විවෘත කවුලුවෙන් එබුනා,

“බොස්, ලන්ඩන් වලටද යන්නෙ?”

“ඔව්. නගින්න,” මම කිව්වා.

ඔහු රථයට ගොඩ වුනා. මම නැවත ගමනාරම්භ කලා.

අලු පැහැ දත් දෙපෙලක් තිබූ, කුඩා මිනිසෙකු වූ මගේ මගියාගේ මුහුණ මට සිහිපත් කලේ මීයෙක්! වේගයෙන් ඔබ මොබ දිවූ, තද පැහැ, තියුණු ඇසුත් මී ඇස් වුනා මදිවාට ඔහුගේ දෙකන් පවා මුදුනෙන් මඳක් උල්වී තිබුනා. රෙද්දෙන් නිමකල කැප් තොප්පියක් පැලඳ සිටි ඔහු හැඳ සිටියේ විශාල සාක්කු තිබූ අලු පැහැයට හුරු  කබායක්. අලු පැහැ කබායත්, මී ඇසුත්, උල් කණුත් එකව ඔහුගේ ‘යෝද මිනිස් මූසික’ පෙනුම  සර්ව සම්පූර්ණ කලා.

“ලන්ඩන් වල කොහේටද යන්නෙ?” මම ඇහුවා.

“මම ලන්ඩන් වලින් එයා යනවා,” ඔහු කිව්වා.” මම යන්නෙ එප්සම් වලට. අර අස්ස රේස් ‘එම තියෙන්නෙ. අදනෙ Derby Day” එක.”

“ආ, ඒකයි මේ,” මම කිව්වා. ” ෂෙහ්, මටත් යන්න තිබ්බා නම් ඔය එක්කම. මාත් ආස වැඩක් තමයි අස්සයන්ට ඔට්‍ටු අල්ලන එක.”

“අයියෝ, මම කවදාවත් අස්සයන්ට ඔට්‍ටු අල්ලන්නෙ නෑ. අඩුගානෙ මම උන් දුවනවා බලා ඉන්නෙවත් නෑ. ඕක මා අමන, තකතීරු වැඩක්නෙ.”

“එහෙනම් යන්නෙ?” මම ඇහුවා.

ඔහු ඒ ප්‍රශ්ණයට ප්‍රිය නොකරපු බව පෙනුනා. ඔහුගේ මූසික මුහුණ හදිසියේම හැඟීම් වලින් තොර වුනා.  ඔහු නිහඬව, පාර දෙස නෙත් යොමාගත්තා.

“එහෙනම් ඔයා බෙටිං මෂීන්ස් වල වැඩ කරනවා ඇති,” මම කිව්වා.

“ඒක ඊටත් වඩා අමන වැඩක්නෙ, බොසා,” ඔහු පිළිතුරු දුන්නා. “ඔය බෙටිං මැෂීන්වල් වැඩයි, රේස් බලන්න එන මැටි මෝල්ලුන්ට ටිකට් විකුනන එකයි, මෙලෝ රා’ක් ඇති වැඩ නෙවෙයි බොස්.  ඕවා ඕනෙම මැට්ටෙකුට කරන්ඩ පුලුවන් වැඩනෙ.”

ඉන්පසු දීර්ඝ නිහැඬියාවක්.  මම ඔහුගෙන් තව දුරටත් ප්‍රශ්න නොකරන්නට ඉටා ගත්තා. මමත් මෙහෙම වාහන වලට අත අල්ලලා ගිය කාලෙ, වාහන රියැදුරෝ මගෙන් අහපු අතොරක් නැති ප්‍රශ්ණාවලියට උත්තර බඳින එක මම කොච්චර නොරිස්සුවද කියා මට මතක් වුනා.

කොහෙදයන්නෙ? ඇයි එහෙ යන්නෙ? බැඳලා හෙමද ඉන්නෙ? කෙල්ලෙක් හෙම යාලු කරං නැත්ද? එයාගෙ නම මොකක්ද? ඔයාට වයස කීයද? ඔයවගේ කෙළවරක් නැති ප්‍රශ්න. ඇත්තටම මට මහා අප්‍රසන්නයි ඒවට උත්තර දෙන එක.

“සමාවෙන්න  මම අනවශ්‍ය ප්‍රශ්න ඇහුවානම්,” මම කිව්වා. “ඕකෙ වැඩේ, මම ලේඛකයෙක්නෙ. දන්නවනෙ ඉතින් ඔය ලේඛකයො කියන ජාතියට ඕන්නැති මගුලක් නෑනෙ.”

“බොස් පොත් ලියනවද?” ඔහු ඇසුවා.

“ඔව්,” මා පිළිතුරු දුන්නා.

“පොත් ලියන එක ‘ඔඳම වැඩක්නෙ,” ඔහු කිව්වා. “මම කියන්නේ ඒක නිපුනතා  ශිල්පයක්. මාත් කරන්නෙ නිපුනතා ශිල්පයක්.  මුලු ජීවිතේම ඔය ඒකාකාරී, කිසි කමකට නැති, කුසලතාවයක්  නැති රස්සාවල් කරන මිනිස්සු  මට නම් අරාං. බොස්ට තේරෙනවද මම කියන එක?”

“ඔව්, මට තේරෙනවා.”

“සැබෑ ජීවිතයක රා’ස තමයි, මොකක් හෝ අමාරු වැඩක්, නියමෙට කරන්ඩ ඉගෙන ගන්න එක.”

“මේ ඔයා වගේ,” මම කිව්වා.

“‘අරියට ‘අරි. අපි දෙන්නම වගෙ.”

“ඔයා කොහොමද දන්නෙ ,මම මගේ රස්සාව නියමෙට කරනවා කියලා. ඔය ඕනෙ තරම් ඉන්නෙ අසාර්ථක ලේඛකයො බුරුතු පිටින්.”

“හහ්, හහ්, හහ්! බොස් දක්ෂ ලියන්නෙක් නොවෙයි නම්, බොස්ට කොයෙන්ද මේ වගෙ කාරෙකක් පාවිච්චි කරන්ඩ ලැබෙන්නෙ?,” ඔහු කීවා. “මේකත් අස්ප ගානක් වෙන්ඩ ඇතිනෙ.”

“ඔව්, ලේසි ගානක් නම් නෙවෙයි තමයි.”

“මේකෙ කීයකට යන්ඩ පුලුවන්ද උපරිම?”

“පැයට හැතැප්ම එකසිය විසි නවයක්.”

“මොනවද ඔට්‍ටු මේකෙ ඒ ගානට යන්ඩ බැරි බවට?”

“හහ් හහ්, මොනවද ඔට්‍ටු මේකෙ ඒ ගානට යන්න පුලුවන් බවට?”

“ඔය කාර් නිෂ්පාදකයො ඉන්නවා නේද බොස්?  ඕකුං කියන්නෙම බොරු,” ඔහු කිව්වා. “ඕනෙ කාර් එකක් අරන් බලන්ඩ මම කියනවට. ඔය කිසිම කාරෙකකට ඔය දැන්වීමෙ කයිය ගා’න තරම් වේගෙන් යන්ඩ බෑ.”

“ඒ වුනාට මේකට පුලුවන්.”

“‘අරි කරලම පෙන්නමු පුලුවන් නම්,” ඔහු අභියෝග කලා. “ආ බොසා, පාගන්ඩ බලන්න ලෑල්ලටම කීයකට යයිද කියලා බලන්ඩ වැඩිම!”

අප ගමන් ගත් මහා මාර්ගය ඉදිරියෙන්  හමුවන Chalfont St. Peter වට රවුම පසු කල වහාම ඇරඹුන , වංගු රහිත, පෙනෙන තෙක් මානය ඉද්ද ගැසූවාක් මෙන් කෙලින් දිස් වුන,  මං තීරු බෙදූ,  සුමට මහා මාර්ගය එලැඹුන පසු මම ඇක්සලරේටරය පෑගුවා ලෑල්ලටම. පසු පසට බඹරෙකු ඇන්නාක් මෙන් ඉදිරියට පිනූ මොටෝ රිය තත්පර දහයකදී පැයට සැතපුම් අනූව ඉක්මවූවා.

“ෂා, නියමයි, මාරයි. ඕ’ම යං, ඕ’ම යං,” මගේ මගියා සතුටින් කෑගැසුවා.

බිමටම පෑගූ ඇක්සලරේටරය  මා එසේම  රඳවාගෙන සිටියා.

“සීයයි!” ප්‍රමෝදයට පත් මගියා කෑගසන්නට වුනා. “එකසිය පා’යි! එකසිය දා’යයි! එකසිය පා’ළොවයි! කකුල ගන්ඩ එපා බොස්!”

පිටත මං තීරුවේ ගමන් කල මා, අනිත් තීරුවේ ගමන් කරමින් තිබූ, බොඳ ඡායාවන් මෙන් දිස් වූ, කොළ පැහැති මිනි මයිනරයක්, විසල් ක්‍රීම් පැහැති සිට්‍රොයිනයක්, සුදු පැහැති ලෑන්ඩ් රෝවරයක්, දැවැන්ත කන්ටේනර් ට්‍රක් රථයක් හා තැඹිලි පැහැති වෝක්ස්වාගන්  මිනි බසයක් පසු කලේ එක තැන නැවතී තිබූ වාහන පෙලක් පසු කරන අයුරිනුයි.

“එකසිය විස්සායි!” මගේ මගියා ඔහුගේ අසුන මත උඩ පනිමින් කෑ ගැසුවා. ඕ’මම යං. ඕ’මම යං. එකසිය විසි නවයටම!”

පොලිස් සයිරනයේ විලාපය මට ඇහුනේ එතකොටමයි. එය කොතරම් ලඟින් ඇසුනාදැයි කියතොත් මා මොහොතකට සිතුවේ එය මොටෝරිය තුලින් ආ හඬක්  මෙනුයි. එවිටම ඇතුලත  මං තීරුවෙන් මතුවූ මෝටර් සයිකලයක නැගි පොලිස් නිලධාරියා අපට නතර කිරීමට සන් කර අප පසු කර ඉදිරියට ඇදී ගියා.

“කෙලියා නේද තාප්පෙටම මහරජ!” මම කිව්වා. හරිනේ වැඩේ! ඉල්ලං කෑවේ!”

පොලිස් නිලධාරියා අප පසු කර ගියේ පැයට සැතපුම් එකසිය තිහක පමන වේගයකින් විය යුතුයි. ඒ  නිසාම ඔහු වේගය අඩු කලේ ක්‍රමානුකූලව, වේලාව අරන්. අවසානයේදී ඔහු පාර අද්දර මෝටර් සයිකලය නැවතූ අතර, මම ඊට පසු පසින් නතර කලා.

“මම දැනගෙන හිටියෙ නෑනෙ පොලිස් බයික්ස් වලට මෙච්චර වේගෙන් යන්න පුලුවන් බව,” මම කිව්වෙ බිඳුනු හඬකින්.

“ඕකට පුලුවන්,” මගේ මගියා කිව්වා. “ඕක BMW R90S එකක්. පාරෙ යන වේගවත්ම බයික් එක. මේ දවස් වල ඕකම තමයි පොලීසිය පාවිච්චි කරන්නෙ.”

පොලිස් නිළධාරියා මෝටර් සයිකලයෙන් බැස, එය පැති ආධරකයේ රඳවා, අත් ආවරන ගලවා ප්‍රවේශමෙන් මෝටර් සයිකලයේ ආසනය මත තැන්පත් කලේ කිසිම කලබලයකින් තොරවයි. අපි ගානට කො‍ටුවී ඇති බව දන්නා ඔහු බළලෙක් ඌට  කො‍ටුවුනු  මී ගොදුරක් සමග  කරනා සෙල්ලමට අප යොදා ගත් අයුරකුයි පෙනුනේ.

“මාර අප්සෙට් එකනෙ!”  මම කිව්වා. “මේකා ටිකක් එක විදියක කොස්සෙක් වගේයි පේන්නෙ.”

“බොස්, ඕනෙම දේකට විතරක් කතා කරන්ඩ, අරිද?” මගේ මිත්‍රයා කිව්වා. “පුලූවන් තරම් කට පරිස්සම් කරගන්ඩ බලන්ඩ.”

මරණ දණ්ඩනයට නියම වූවකු වෙත ලංවන අලුගෝසුවකු මෙන් පොලිස් නිළධාරියා හෙමින් හෙමින් අප වෙත පිය මැන්නා.

විශාල උදරයක් සහිත, හැඩි දැඩි දැවැන්තයකු වූ ඔහුගේ නිල් පැහැති කලිසම කලවා වලට තදින් ඇලී තිබුන බව පෙනුනා. ඔහුගේ ඇස් ආවරණ ඔසවා හෙල්මටය මතට රඳවා තිබූ නිසා පළල් කම්මුල් සහිත රත් පැහැ ගත් මුහුණ මනාව පෙනුනා.අප දෙදෙනා වරදක් කර හසුවූ දඟකාර කොලුවන් දෙදෙනෙකුමෙන් අසරණව ඔහු එන තෙක් බලා සිටියා.“බොසා, බලාගෙන.” මගෙ මගියා පහත් හඬින් කෙඳිරුවා. “මූ නම් මා’ අපතයෙක් වගෙයි පේන්නෙ.”

මීට කලින් මා ලියූ Andy Griffiths ගෙ පරිවර්තන කියවලා මාව දිරිමත් කරපු ඔබ සැමට මම ප්‍රියකරන තවත් ලේඛකයෙකු වන Roald Dahl ලියූ මගේ ප්‍රියතම The Hitchhiker කෙටි කතාවෙ පරිවර්තනයක් ඉදිරිපත් කරන්න මම අදහස් කලා වෙනසකටත් එක්ක.
ඔබ දකීවි මේ පරිවර්තනයෙ රිද්මය සහ භාෂා විලාශයත් කතාවට අනුකූලව වෙනස් කරන්නට සිදුවූ බව.

මම ඔබගේ ප්‍රතිචාර දැනගන්න ඉතාම ආසාවෙන් මග බලා ඉන්නවා කියලා විතරක් කියන්නම් දැනට.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න කරුණාකරලා මෙතන කොටන්නකො.‘මගේ ඩෙනිම My Blue Jeans’

 

ටැග: , ,