RSS

Monthly Archives: නොවැම්බර් 2012

100th Post @ 50,000 hits!

100th Post @ 50,000 hits!


ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන HeyDude බ්ලොග්ස්පොට් බ්ලොගයෙන් බ්ලොග් ලෝකයට මුලින්ම අවතීර්ණ වූ මට ඉන් දිනකට පසුව සිංහල බ්ලොග් අවකාශයට ඇතුල්වෙන්න මේ ‘මට හිතෙන හැටි’ නම් වූ වර්ඩ්ප්‍රෙස් සිංහල බ්ලොගය මට යාත්‍රාවක් වුනා.


පසුව බ්ලොග් මිතුරන්ගේම ‘වර්ඩ්ප්‍රෙස් විරෝධතාවය’ හමුවේ මම මගේ ඩෙනිම නම් වූ මගේ නවතම බ්ලොග්ස්පොට් බ්ලොගය ආරම්භ කලත්, සිංහල බ්ලොග් ලෝකයෙ යම් කිසි ස්ථාවරයක් ඇති කර ගන්න මට උදව් වුනු මට හිතෙන හැටි අමතක කරලා දාන එක ගුණමකු කමක් හැටියටයි මා දකින්නෙ.


ඉතින් මෙතෙක් කල් මට හිතෙන හැටි ලුහුබැඳි, ඒවාගේම ප්‍රතිචාර දැක්වීමට කාලය වැයකල, සහ කියවීමට කාරුණික වූ ඔබ සැමටයි මාගේ මේ ප්‍රණාමය.


ඒ වාගේම, මට හිතෙන හැටි පාඨකයන් අතරට ගෙනයාමට උපකාරී වූ සින්ඩිවලටත්, බ්ලොග් රෝල් වල ඇතුලත් කර සහයෝගය දුන සහෝදර බ්ලොග් කරුවන් වූ ඔබටත් මගේ හද පිරි ස්තුතිය.


අවසන් වශයෙන් සිංග්‍රීසි යුනිකෝඩ් මෘදුකාංගය නිමැවූ තමීරටත් මගේ විශේෂ ස්තුතිය.


හිට්ස් පනස් දහසත් සියවෙනි පෝස්‍ටුවත් එකට එළැඹීම අපූරු සිදුවීමක් නොවේද?


ඔබේ හිතවත්,


henryblogwalker the Dude.

 
ප්‍රතිචාර 103

Posted by මත නොවැම්බර් 21, 2012 in සැමරුම්

 

ටැග: ,

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

අද භාරත් ගෙදර ගියා.

ආයෙ අපි කිසිදා මුන ගැහෙන එකක් නෑ බොහෝවිට, මූණු පොතෙන් හෝ ඊයකින් හැර.

ඇත්තෙන්ම කඩවසම් පෙනුමක් තියෙන, අඩි හයයි අඟලක් විතර උස, ඉන්දියාවෙ නව දිල්ලියෙන් ආපු  භාරත්, අපේ පාසැලේ පරිඝනක විද්‍යා ගුරුවරයා.  පරිඝනක තාක්ෂනය පාසැලේ වැඩ වලට උපරිමයෙන් යොදා ගන්නා මේ රටේ, පාසැල් වල වාර විභාගවල ලකුණු සටහන්, එතකොට ප්‍රගති වාර්තා සම්පූර්ණයෙන්ම පරිඝනක ගත කරලා තියෙන නිසා, ඉගැන්වීමට අමතරව, භාරත්ට නිතරම ඔය  Excel  worksheet වලින් ඒවා නිර්මාණය කරලා පවත්වාගෙන යාමේ වගකීමත් පැවරිලා තිබුනා.

කැමති වුනත් නැති වුනත්, අනිත් ඉන්දියානුවන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න භාරත්ට සිදධ වුනේ, මෙතන බහුතරය වන කේරල වැසියන් හින්දි විරෝධී වීමත් ඒවාගේම හින්දි දැන නොසිටීමත්, භාරත් මලයාලම් නොදැනීමත්  යන සරල හේතුව නිසායි.

ගුරු විවේකාගාරයේදී, දීපාටත්, මටත් මුහුණ ලා ඉදිරියෙන් වාඩිවීමට පුරුදු වී සිටි භාරත්, ටික දවසකින් එතැන අතහැර දමා මගේ අසලට සංක්‍රමණය වුනේ, ඇතැම් කේරලයින් සමග ඇතිවූ සුලු සුලු ගැ‍ටුම් මත බව මම දැන හිටියා. මුලින්ම, බුවා මා ලඟට පැමිනීම ගැන මම එතරම් සතුටකින් නොහිටියේ, මේ ඉන්දියානුවන්ගේ සහජ ලක්ෂණයක් වූ අනිකාගේ පෞද්ගලිකත්වය තුට්‍ටුවකට නොසැලකීමේ ගතියට දීපාත් මමත්  අසාත්මිකතාවයක් දැක්වූ නිසයි.

උදාහරණයක් විදියට, දීපා පරිඝනකයේ Yahoo Mail පි‍ටුව ඇරගෙන, අපේ කෙල්ල එවූ ලිපියක් කියනවිට හෝ ඇයට  පිළිතුරක් ලියනවිට, අසල සිටින ඉන්දියානුවන් එක වරම, “දීපා මෑම්, ‘අම්මා’ කියන්නෙ මදර් කියන එකද සිංහලෙන්?” වැනි ප්‍රශ්නයක් ඇසූ විටයි ඇය දැනගන්නෙ, මෙපමණ වෙලා මොවුන් ලඟම ඉඳගෙන අර ලිපිය කියවමින් ඉඳ ඇති බවට.

“මේ යක්කු අනුන්ගෙ ලියුම් හොරෙන් කියවනවා  මදිවට අමාරු වචනවල තේරුමත් අහනවනෙ යකෝ!” මගෙ කටින් නිතර කියවිච්ච වචන පේලියක්.

මම ඉන්දියානුවන් ආශ්‍රය කිරීමට පෙර Height of Rudeness ලැයිස්තුවේ ඉහලින්ම තිබුනේ,  උදේ පාන්දරම කෙනෙක්ගෙ ගෙදරට ඇතුල්වෙන පඩිය මත මළපහ කර, දොරට තට්‍ටුවක් දමා නිවැසියන් අවදි කරවා, පස්ස සෝදා ගැනීමට වතුර ඉල්ලීමයි. දැන් නම් මට ඒ ගැන එච්චරම විශ්වාසයක් නැති වේගනයි එන්නෙ. අද උදේට කෑවෙ මොනවද යයි ඔවුන් අපෙන් අසන්නෙ හරිම අහිංසක විදියට. ලංකාවේ ඒ ප්‍රශ්ණය ආචාරශීලී නොවන ප්‍රශ්නයක් බව මා කියූ විට ඔවුන් පුදුම වුනා.

භාරත්ගෙ එක්තරා නිලනොවන රාජකාරියක් වුනේ, පාසලේ වයි ෆයි සබඳතාවය ගුරු මණ්ඩලයේ පෞද්ගලික ලැප්ටොප් පරිඝනක වලට ලබාදීමට මුරපද සහ වෙනත් සැකසුම් කරදීමයි. මේ නිසා  ලැප්ටොප් උස්සාගත් ගුරුවර, ගුරුවරියෝ භාරත් අසල නිතරම ගැවසුනා.

මට කීමට  අමතක වූ දෙයක්නම්  මෙහි හැම ගුරුවරයෙකුටම වාගේ ලැප්ටොප් පරිඝනක ඇති අතර මේ පාසැලේ හැම පන්ති කාමරයකම ඒවා සම්බන්ධ කිරීමට විශාල LCD තිරයක්ද සුදු ලෑල්ලට ඉහලින් බිත්තියේ සවිකර ඇති අතර ගුරුකාමරයේ සියලුමමේස වලට විදුලි පේනු සවිකර වයි ෆයි සබඳතාවයක්ද ලබා දී ඇති බවයි. (ඔව්, යූ බටය අවහිර කරලා තමයි තියෙන්නෙ. රතු?? මගුලක් කතා කරනවා!)

ඔන්න එදත් ලැප්ටොප් එකේ ඇති යම් කිසි අවුලක් ගැන කතා කරගන්න එක් දේශීය ගුරුවරියක් භාරත් ලඟින් වාඩි වුනා.

මම මේ කතාවලට කොහෙත්ම කන් නොදුන්නත්, එදා සමහර ප්‍රශ්ණ මා එල්ල කරගෙන ඇසූ නිසා මට කරමින් සිටි වැඩය අතරතුරදීත් මේ කතාවට එක් කනක් යොමු කරගෙන ඉන්න සිද්ද වුනා.

අර ගුරුවරිය අලුත් ලැප්ටොප් එකක් මිලදී ගන්න භාරත්ගෙන් උපදෙස් පතනවා.

“ඕක eBay එකෙන් කරගන්න පුලුවන්නෙ, මෑම්” භාරත් කිව්වා.

(ඉන්දියානුවන්ගෙ තියෙන තව ලක්ෂනයක් තමයි ඕනෑම කෙනෙකුට ‘සර්’ හෝ ‘මෑම්’ කියා ඇමතීම. මේ වචනෙ කිසිම ගෞරවයක් අදහස් නොවන,  හුදෙක් ආමන්ත්‍රණ පදයක්  පමනක් බව මම හිතන්නෙ ඔවුන් මෙය  කොල්ලටයි, බල්ලටයි හැමෝටම ආමන්ත්‍රණය කිරීම සඳහා යොදා ගැනීම නිසයි.)

ආපහු කතාවට.

“මම කල්පනා කලේ මාලෙන් ගන්න. ඒක ලේසියි,” ගුරුවරිය කිව්වා.

මම නම් මෙහෙන් බඩු ගන්න අකමැති මෙහෙන් ගන්න හුඟක් බඩුවල වගකීමේ ප්‍රතිපත්තිය ගැන මගේ ඇති අප්‍රසාදය නිසයි.

“අයියෝ මෙහෙන් ගන්න එපා අප්පා වොරන්ටි නෑනේ, නේද හෙන්රි සර්,” හරියටම භාරත්ට මගෙ සිතුවිලි දනුන නිසාදෝ මගෙන් ඇහුවා.

“ඒකනම් ඇත්ත.” මම සම්මාදම් වුනා.

“මේකෙත් අප්සෙට් එකක් ගියේ නෑනෙ,”. ඇය තමා අත වූ ලැපිය පෙන්වමින් කිව්වා. “මොකුත් අප්සෙට් එකක් වෙන එකක් නෑ. මම මාලෙන්ම ගන්නවා ඒක ලේසියි.”

“හා හා එහෙම කියන්න එපා මෑම්. ඕනෙම බඩුවක් ගන්නකොට බලන්න වොරන්ටිය තියෙයිද කියලා. අඩුම ගානෙ අවුරුද්දක්වත්. මම නම් එහෙමයි.”

“මොනවද හොඳ බ්‍රෑන්ඩ්?”

“hp හොඳයි, නේද හෙන්රි සර්. ඔය මේකත් hp එකක්නෙ,” භාරත් මගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා. “තව Compaq, Dell, Sony මේ, මගෙ එකත් SONY VAIOනෙ. මේකත් හොඳයි.”

“Acer  වරදක් නෑනෙ. මේ මේකත් Acerනෙ,” ගුරුවරිය ඇයගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා.

“ම්ම්ම්… වරදක්ම නෑ.  ඔව් ඔය බ්‍රෑන්ඩ් එකේ ගානත් අඩුයි අනික්වට වඩා.” බුවා එකඟවුනා.

“හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එක අඩුම ගානෙ 500GB වත් වෙන එකක් ගන්න.  ඔය ටෙරාබයිට් ගනන් ඒවත් තියෙන්නෙ දැන්. රෑම් එක 4GB වත් වුනොත් 64 බිට් කම්පැටිබල්. “

“වෙන?”

“ගන්නවත් වෙලා Core i7 processor එකකටම යන්න මොකද මාස හයෙන් යල් පනින තාක්ෂනයක්නෙ මේක.”

“එච්චරයිද?”

“බලන්න genuine Windows දෙනවද කියලා. මෙතන ස්ටිකර් එකක් තියෙන්නෙ ඕනෙ මේවගෙ” බුවා ලැප්ටොප් එක උස්සලා යට පැත්ත පෙන්නලා කිව්වා.

“හ්ම්ම්… හ්ම්ම්… හ්ම්ම්…” ගුරුවරියත් ස්ටිකර් එක අතගාලත් බැලුවා.

“තව බලන්න බැටරි ලයිෆ් කොහොමද කියලා. අනික බර. සැහැල්ලු එකක් ගන්න.”

ඔය වගෙ බුවා දිග විස්තරයක් කලා. මම කණ ආපහු අරන් සම්පූර්ණයෙන්ම වගේ මගෙ වැඩේට යොමු කල නිසා එතනින් එහාට මට ඇහුනෙ අතරින් පතර .

…NVIDIA or  AMD graphic card…blah blah blah…
…USB 3 ports… blah blah blah…
…HDMI…  blah blah blah…
…multi card reader blah blah blah…

ටිකකින් විවේක කාලය පටන් ගත් නිසා අපි ගුරු කාමරයත්, සුපවයිසර් කාමරයත් අතර තිබූ පැන්ට්‍රියට ගියා තේ බොන්න. මම විදුලි කේතලයට වතුර පුරවා විදුලි පේනුවට සම්බන්ධ කලා. අපේ කෑම පෙට්ටියත් බෑග් එකෙන් ගෙනැවිත් කෑම මේසය මත තැබූ මම කෝපි වලට සීනිත්, ක්ෂණික කෝපිත් මගේ ලොකරයෙන් අරන් ආවා. එතකොටම පන්තියක සිට ආ දීපා, කෝප්ප දෙකක් සෝදා කෝපි හදන්නට ලක ලැහැස්ති වුනා. ඉන් පස්සෙ කෑම මේසෙ කොනක ඉඳගත් අපි දෙන්නා එදා ගෙනැවිත් තිබූ සැන්විච් ටෝස්ට් වලට දෂ්ඨ කරන්න පටන් ගත්තා.

භාරතුත් තමාගෙ කෑමත් අරන් ලෑස්ති වුනා මේසෙ අනිත් පැත්තෙ ඉඳගෙන.

“මම දෙසැම්බර් බඳින්න ඉන්නෙ මෑම්.”

“හයියෝ ඌත් ඉවරයි. මොනවා හරි වෙන්න තියෙනවනම් වලක්වන්න බෑ,”මම කිව්වා.

භාරත් ඇස්දෙක පුංචි කරන් බෙල්ල ඇල කරන් මං දිහා ටික වෙලා බලා ඉන්නකොට දීපා කිව්වා,

“ෂා නියමයිනෙ භාරත්. මේ හෙන්රි විහිලුවට කියන්නෙ. ගනං ගන්න එපා.”

ඔන්න පොර හිනාවෙන්න ගත්තා. ඔය ඉන්දියානුවන්ගෙ (අපිට මුන ගැහෙන) sense of humor අහවල් එක නම් ඔය ජාතියෙම තමයි. මම විහිලු කරන්නෙම නැතිතරම්.

ඔන්න දීපා දැන් විස්තර අහනවා. ඉන්දියාවට ආවේනික ක්‍රමයට අනුව මේක ප්‍රේම විවාහයක් නෙවෙයිලු. යෝජනාවක්ලු.

“ලංකාවෙ එහෙම නෙවෙයිද?” භාරත්ට දැනගන්න ඕනෙ වුනා.

“අපෝ නෑ. ප්‍රේම විවාහ තමයි වැඩිම. උදාහරණයක් විදියට භාරත්, මමයි දීපායි ලව් කරලා බැන්දෙ. මගෙ සහෝදරයා, එතකොට සහෝදරී, ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ සහෝදර සහෝදරයො ඔක්කොම ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ. මගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ.” (මේක සහතික ඇත්ත.)

භාරත්ගෙ ඇස් දෙක හීනි වෙලා, පස්සෙ ටොනික් පියනක  ප්‍රමාණයට ලොකු වෙලා,  තව ටිකකින් යෝගට් පියනක ප්‍රමානයත් ඉක්මවලා, පීරිසියක ප්‍රමාණයට එනකොට, මම නැවැත්තුවා. කට ඇරිලා එල්ලෙනවා.

“මාත් හරි කැමතියි ඒ ක්‍රමේට. නමුත් ඉන්දියාවෙ ඔක්කොම වගෙ තියෙන්නෙ arranged marriages තමයි.”

“දැන් දෙසැම්බර් වල ගිහින් බඳින්න භාරත්ට කෙල්ලක් ඉන්නවද?”

“නෑ සර්, මම අම්මලට බාර දීලා ආවේ හොයලා තියන්න කියලා.”

“මොනවා? ඒ කියන්නෙ මේ දෙසැම්බර් ගියාම, අම්මලා හොයලා තියන, තමන් ජීවිතේට දැකලා නැති ගෑණියෙක්ව බැඳ ගන්නවා!!!”

“ඔව් සර්,” මේකා හිනාවෙලා කිව්වා.

“ඉතින් මනුස්සයො අම්මලා හොයලා තිබ්බට… මේ.. මේ..මේ..තමන්ට ගැලපෙනවද කියලා  කොහොමද දන්නෙ?”

“අම්මලා ඒවා හොයලා බලනවා.”

“යකෝ ඉතින් අම්මලා හොයලා බැලුවට, මේ ගෑණියෙක් නේද ගන්නෙ? බැරි වෙලාවත් යකෙක් හෙම වුනොත්?”

භාරත් හොඳටම හිනාවුනා.

“එහෙම වෙන්නෙ නෑ.”

“හරි දැන් උදේ ලැප්ටොප් එකක් ගන්නකොට  බලන්න ඕනෙ ස්පෙක්ස් හෙන තොගයක් කිව්වනෙ අර අහවලීට.   500GB හාඩ් ඩිස්ක්ද්, 4GB රෑම්ද, අරකද, මේකද. දැන් මේ ගෑණි ගන්න කොට මොනවද බලන්න ඕනෙ ස්පෙක්ස්?  එහෙම මොකුත් තියෙනවද, අඩුම ගානෙ?” මම ඇහුවෙ ඉවසන්නම බැරුව.

“ඔව් සර්.” ඔන්න මේකාගෙ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.

“ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. අඩුම ගානෙ ෆස්ට් ඩිග්‍රී එකක් වත්.”

“ඒ කියන්නෙ රස්සාවක් කරන්න ඕනෙ කියන එකනෙ?” දීපා ඇහුවා.

“නෑ මෑම්. මම රස්සාවක් නොකරන කෙනෙක් හොයන්නයි අම්මලට කිව්වෙ.”

“ඉතින් ඩිග්‍රියක් හොයන්නෙ? මේ ගෙදර ඉන්න?”

“ඒ වුනාට ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. මගේ අම්මලාත් එහෙම  බලාපොරොත්තු වෙනවා”

“@#$%$#” කියලා මම හිතුවට කටින් පිටවුනේ මෙච්චරයි…

“වෙන?”

“උස අඩි පහයි හයට වැඩි වෙන්න ඕනෙ.”

“ඒකත්  හරිනෙ. වෙන?”

“එච්චරයි සර්.”

“@#$%$#” මේ පාර නම්, මට තව පොඩ්ඩෙන් කියවෙනවා.

යකෝ ලැප්ටොප් එකක් ගන්න අච්චර දේවල් බලන එකා, ගෑණියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඩිග්‍රියයි, උසයි විතරද????”

භාරත් හිනාවුනා. ඇත්තටම මූට තියෙන්නෙ ලස්සන හිනාවක්.

මා ඉන්දියානුවෙකුව නොයිපදීම ගැන මම ස්තුතිවන්ත වුනේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ. සමහරවිට විසි පන්දාස් වතාවට?

හැම දෙයක්ම යහපත් අයුරින් සිදුවේවා උඹට.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න

 

ටැග: , , , , ,

98. මෙන්න වැඩක්!


මාල දිවයිනේ ජාතික වෘක්ෂය පොල් ගහ. නමුත් මේ මිනිස්සු කන්නෙ වේලිලා කරකුට්ටං වෙච්ච පොල්. ඒවායින් සම්බලයක් හෙම හැදුවම අප්පිරියයි. අමු ගෙඩි කැඩුවත් වේලෙන්න තියෙනවා. ගිය සති අන්තයෙ මම බ්ලොග් ලෝකෙ සැරි සරන අතරෙ අපිට ඇහුන ටොක් ටොක් ගාලා සද්දයක්. බැලින්නම් ලඟ ගෙදරක පොල් ගහක් කපනවා.

මේක සිද්ද වුනේ ලංකාවට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට නිසා මමත් කැමරාවක් අරන් දිව්වා බලන්න. මාල දිවයින් වැසියන්ගෙ අනිත් කිසිම වැඩක් ගැන අපේ ප්‍රසාදයක් නැති වුනත් මේ වැඩේ නම් ඒ හැම එකකටම වඩා වෙනස් කියලා මට හිතුනා.

හොඳ ආදර්ශයක් ගන්න තියෙනවා නම් කාගෙන් වුනත් කමක් නෑනෙ. අනික මාල දිවයිනේ ජනජීවිතය ගැනත් මොනවා හරි ලියන්න කියලා මට බ්ලොග් සහෘදයෙක් කිව්වෙ මේ මෑතකදිනෙ.

අපේ ගස් කපන්නෙකුට කියලා මේ වගෙ වැඩක් කරගන්න ගියොත් තියෙන අමාරුව මම අත්දැකීමෙන්ම දන්නවා. නමුත් මේ වැඩේ කරපු වේගය නම් අපිට අදහා ගන්න බැරි වුනා. මම මේ ඡායාරූප ගත්තෙ මම ගත්ත වීඩියෝවෙන්.

මුලින්ම බලන්න පාවිච්චි කරන ආරක්ෂක ක්‍රමවිධි. වලල්ලක් නෙවෙයි දාගෙන ඉන්නෙ කකුලට. සේෆ්ටි හානස් එකක්. ගේමක් නැතිව ගහේ හිටගෙන් ඉන්න පුලුවන්.
දැක්කද ඉනටත් තව ආරක්ෂක පටියක් දාලා බැඳගෙන ඉන්නෙ.
මාල දිවයින්  පොරොවත් අපේ ඒවට වඩා වෙනස්. බලන්න හැඩේ.
මේ කාර් එකකුත් රිංගනවනෙ ඒක අස්සෙ.
ගන්ඩකො නෝනා ඔය හුචක්කුව අහකට!
කැපුනා ඇති. පොරොව පාක් කරමු මෙහෙම.
ගැටේ ලෙහෙලා…
ගැට ගහමු පහතට වෙන්න. ඒයි මල්ලි, ඔය ෆෝන් එකෙන් මල් කැඩිල්ල පැත්තක තියලා ලනුව ඇදලා අල්ලපං අරිද?
හ්ම්ම්ප්..!
ජර බරාස්..!!
පට්ටයි නේ?
යාආආආහ්…!
කොහොමද වැඩේ?
මේ ගහ කුට්ටි හතරකට නැත්නම් පහකට කපලා බිමට දැම්මෙ ගහ යටම තියෙන ගේ, තාප්පෙ පාර  අනිත් ගස් ඔක්කොම බේරලා.
අනික හෙන කෲ එකක් හිටියෙත් නෑ. ලණුව අදින්න තව එක බුවෙක් හිටියා. ඇ‍ඟේ අමාරුවට කසියාත් නෑ.
වැඩේ ඉවර වෙච්ච ගමන් මම දුවලා ගිහින් අමු පොල් ගෙඩි ටිකක් මිලට ගත්තෙ හරිම සතුටින්. මම පොල් ඉල්ලුවාම මට ගොඩ ගහල තිබ්බ වේලිච්ච පොල් ටිකක් දෙන්න හැදුවා. මම කොල පාට පොල් පෙන්නලා මේවයි ඕනෙ කිව්වාම කට්ටිය මා දිහා බැලුවෙ අනුකම්පාවෙන්, ‘හනේ මෙහෙමත් මෝඩයො ඉන්නවනෙ.’ කියන්නා වගෙ.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න
 

ටැග: , , ,

97. කැරපොත්තා / Cockroach 2

97. කැරපොත්තා / Cockroach 2

මම මගේ ඇඳුම් ගොඩම හොඳට පරීක්ෂා කරලා බලනවා. කැරපොත්තා මගේ ජීන්ස් එකේ අඩියෙන් මතුවෙලා වම් කකුල දිගේ උඩට නගිනවා. මම හෙමීහිට සපත්තුවක් අහුලා ගන්නවා. ඊට පස්සෙ සපත්තුව උස්සනවා ඔලුවට උඩින්…දැන් කැරපොත්තා මගෙ සිzප් එකේ යට කොනේ.

මුල් කොටස කියෙව්වෙ නැතිනම් මෙතන ඔබන්නකො.

මම ගැඹුරු හුස්මක් ගන්නවා.

නමුත් මොකක්දෝ නොපෙනෙන බලවේගයක් මාව නවත්තනවා. මම කැරපොත්තව මෙතනම චප්ප කලොත්, සුදු පාට, මැලියම් වගෙ දියර පැල්ලමක් මගෙ කලිසමේ සිzප් එක ඉවරවෙන තැන තැවරෙනවා. එතකොට…විස්තර කරපල්ලකො ඒක වුන හැටි! ඒකත් ඒ ගැන ඇහුවොත්නෙ.

Not Cool!

විලි ලැජ්ජා සන්තෝසෙ බැරුව යයි ! කැරපොත්තා ආපහු රිංගනවා ජීන්ස් එක ඇතුලට.

මූව චප්ප කරනවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

මම වට පිට බලනවා උපක්‍රමයක්, අදහසක් බලාපොරොත්තුවෙන්.

ටොයිලට් එකට ඉහලින් තියෙනවා පොඩි කවුලුවක්. අර ෆෑන්ලයිට් එකක් කියන්නෙ. ඒක පොඩි උනාට මේ වැඩේට සෑහෙනවා. මට පුලුවන් එතනට නැගලා ජීන්ස් එක ජනේලෙන් එලියට දාලා කැරපොත්තව එලියට ගසන්න.

No sweat!

පැල්ලමුත් නෑ, කැරපොත්තත් නෑ, ලොවෙත් නෑ!

මම, කැරපොත්තට එලියට එන්න බැරිවෙන්න,  කකුලුයි, ඉනයි, පොඩ්ඩක් රෝල් කරලා  අල්ලගෙන ජීන්ස් එක අතට ගන්නවා. ඊට පස්සෙ,  ටොයිලට් සීට් එකේ පියන වහලා ඒක උඩට අඩියක් තියල නගිනවා සිස්ටන් එක උඩට. දැන් මගෙ ඔලුව කවුලුවට උසයි.

මම බිත්තියට හේත්තු වලා සමබරව ඉඳගෙන ජනෙල් පියන තල්ලු කරනවා පුලුවන් තරම් ඈතට.

ඊට පස්සෙ ජීන්ස් එක ජනේලෙන් එලියට රිංගවලා, ඉනෙන් අල්ලගෙන, පුලුවන් හයියෙන් ගසනවා.

එක පාරටම මෙන්න කැරපොත්තා මගෙ අත දිගේ දුවගෙන එනවා උඩට. මම කලබල වෙන  පාරට ජීන්ස් එක අත හැරෙනවා. ඒ එක්කම සමබරතාවය බිඳිලා, පය ලිස්සන  මම,  ඇදගෙන වැටෙනවා බාත් ටබ් එක ඇතුලට.

මට හිතෙනවා මෙතනම වැටිලා ඔහේ ඉන්න ඇස් පියාගෙන, මේක නම් මම දැකපු නරක හීනයක් විතරයි කියලා හිතාගෙන. නමුත් එහෙම ඉඳල හරියන්නෙ නෑ. ආයෙම හැංගෙන්න කලින්, කැරපොත්තව හොයාගන්න තියෙනවා. මම බාත් ටබ් එකෙන් නැගිටලා කන්නාඩිය ඉස්සරහට ගිහින් හිටගන්නෙ මගෙ ඇඟ පරීක්ෂා කරලා බලන්න.

කැරපොත්තා ඉන්නවා මගෙ ඔලුව මුදුනට වෙලා!

මේ වතාවෙ මම දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා. ඒක එච්චර සුන්දර අත්දැකීමක් නොවෙන්න පුලුවන්, නමුත් වෙන විකල්පයක් නෑ. මූ වගෙ කෛරාටික, වෙට්ටපිත්තල, මස්තබාල්දු, අපතයෙක් එක්ක මට ආයෙම අවදානමක් ගන්න බෑ.

මම ටොයිලට් එක ලඟ දණ ගහගන්නවා. පියන අරිනවා, සීට් එකත් එක්කම.   ඊට පස්සෙ දෑතින්ම ටොයිලට් එක අල්ලගෙන, ඔලුව ටික ටික පාත් කරනවා බෝල් එක ඇතුලට. දැන් මගෙ ඔලුව සම්පූර්ණයෙන්ම ටොයිලට් එක ඇතුලේ. මම ගැඹුරු හුස්මක් අරගෙන අතක් උස්සලා ෆ්ලෂ් කරනවා ටොයිලට් එක.

ඈක්කා…!

ඈ..ආඇහ්ග්. ග්බ්ල්ග්ක්හ්ජ්ක් බ්ල්ර්බ්ල්ර්ර්ප්!

ටොයිලට් වතුර මගේ නහයේ!

ටොයිලට් වතුර මගේ කන්වල!!

ටොයිලට් වතුර මගේ කටේ!!!

අන්තිමේදි වතුර නතරවෙනවා. මම ඔලුව අහකට ගන්නවා.

OH YEAAAH!

ඌ නෑ!

ඒ වුනාට..

ඌ විතරක් නෙවෙයි, මගෙ කලිසමත් නෑනෙ!

මට දැන් ආපහු මේසෙට ගියෑකියැ කලිසමත් නැතුව?

මම මොකද කරන්නෙ?

මට හිතා ගත්තෑකි මම දැන් ආපහු මේසෙට ගියොත්  ඇතිවෙන සංවාදය.

මිසිස් බේයින්ස්බ්‍රිජ්: කෝ ඇන්ඩි ඔයාගෙ කලිසම?

 

මම: ආ! ඒක වැරදීමකින් මගෙ අතින් බාත් රූම් එකේ ජනේලෙන් එලියට වැ‍ටුනනෙ මිසිස් බේයින්ස්බ්‍රිජ්.

 

මිස්ට බේයින්ස්බ්‍රිජ්: අයියෝ, ඕක මාර අප්සෙට් වැඩේ තමයි. මටත් කොච්චරවාත් වෙන වැඩක් තමයි ඕක. ඇන්ඩි ඇයි ඔයා ගිහින් මගෙ අල්මාරිය අවුස්සලා බලලා ඔයාට හරියන ඇඳුමක් හොයලා ඇඳගන්නෙ නැත්තෙ?


හ්ම්ම්… මට පුලුවන් ඔය විදියට හීන ලෝකෙම ජීවත් වෙන්න. නමුත් සැබැ ලෝකෙ, මම ඉනෙන් පහල අමු හෙලුවැල්ලෙන්!

ජනේලෙන් රිංගලා ගිහින් කලිසම ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. පොකට් මනි නැතුව මාසයක් ජීවත් වෙන්නෙ කොහොමද?

මම ආයෙම නගිනවා සිස්ටන් එක උඩට. ජනේලෙන් දානවා ඔලුව එලියට, බලන්න. මේක නම් හරි ගානට වගේ තියෙන්නෙ. නමුත් තාම මම කෑම කාලාත්, නැති නිසා මට මේකෙන් රිංගන්න පුලුවන් වෙයි කියලාමයි මට හිතෙන්නෙ.

මම ජනෙල්  රාමුවෙ එල්ලිලා, උඩට ඇදිලා ඔලුව රිංගවනවා ජනේලෙන්.  හරියටම ඇ‍ඟෙන් බාගයක් එලියට දාගන්න පුලුවන්.

හම්මෝ, මෙතන ඉඳල බිමට සෑහෙන්න දුරයිනෙ. මට අමතක වෙලා තිබුනෙ මම බිම ඉඳලා මෙච්චර උඩින් ඉන්නෙ කියලා. නමුත් මට වැටෙයි කියලා නම් බය වෙන්න දෙයක් නෑ, මොකද මම දැන් ජනේලෙ හිර වෙලා ඉන්නෙ. ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ.

ඒ ඔක්කොමත් හරි ඕං කවුද දොරට තඩි බානවා.

“මේකෙ එක්කෙනෙක් ඉන්නවා,” මම කෑගහනවා.

“පුතා, මොකුත් ප්‍රශ්ණයක්ද?” අම්මා අහනවා. “ඔයා ඕක ඇතුලෙ සෑහෙන වෙලාවක් හිටියනෙ දැන්.”

“ඔව්,” මම කෑ ගහනවා. “මම එනවා විනාඩියෙන්.”

“එයාගෙන් සද්දයක් නෑ.” ඒ අම්මගෙ කට හඬ. “අනේ මොනවත් වෙලාද දන්නෙ නෑ.”

අම්මට මම කියන දේ ඇහෙන්නෙ නැත්තෙ මගෙ ඔලුව තියෙන්නෙ ජනේලෙන් එලියෙ නිසා.

එතකොටම මට ඇහෙනවා බේයින්ස්බ්‍රිජ් ලොක්කගෙ කටහඬ.

“හැමෝම පස්සට වෙන්න. මම දොර කඩන්න යන්නෙ.”

පට්ටයි! පජාතයි!! කුජීතයි!!! මගෙ සුපිරි වීරයා!!!!

විලි ලැජ්ජා සං…

මට ඇහෙනවා විශාල සද්දයක්.

“ජර බරා…ස්…දඩාස්!!!”

බේයින්ස්බ්‍රිජ් ලොක්කා අයෝමය පුරුෂයෙක් නොවුනට, බාත් රූම් දොරේ තියෙන බාල අගුල කැඩිලා වීසි වෙන්න ඇත්තෙ හරියටම ආනෝල්ඩ් ෂ්වෝර්ට්සෙනගර්ම ඇවිත් වැඩේ දුන්න ගානට.

“ඕ මයි ගෝඩ්!” බේයින්ස්බ්‍රිජ් ලොක්කාගෙ හඬ.

සමහර විට ජීවිතේ පලවෙනි වතාවට බුවා දෙවියන් වහන්සේගෙ නාමය නිරපරාදේ පාවිච්චි කලා වෙන්නැති. නමුත් හීනෙකින්වත් නොහිතපු විදියට මගෙ  හෙලුවැලි පස්ස පැත්ත, එයාගෙම නාන කාමරේ ජනේලෙන්, එයා දිහා ඔරවාගෙන බලං ඉන්නවා දැක්කම. එහෙම වෙන එක වරදක්ම කියන්න බෑ.

“ඕ මයි ගෝඩ්!” ඒ මිසිස් බේයින්ස්බ්‍රිජ්

“ඕ මයි ගෝඩ්!” ඒ අම්මා.

“ඕ මයි ගෝඩ්!” ඒ තාත්තා.

“මම දන්නවා බැලූ බැල්මට මේක පේන්නෙ තරමක් අමුතු වැඩක් හැටියට බව,” මම බෙරිහන් දීලා කියනවා.”නමුත් මේකට ඉතාම සාධාරන, තර්කානුකූල පැහැදිලිකිරීමක් තියෙනවා. මේ අහන්නලකො. මම යාඥා කරද්දි  දැක්කා සැලඩ් එකේ කැරපොත්තෙක් ඉන්නවා. නමුත් මට හිතුනෙ නෑ ඒක කාටවත් කියන්න, මොකද…”

බීරන්ට කියනවා වගෙ. කිසිකෙනෙකුට ඇහෙන්නෙ නෑ මම කියන එක.

අම්මයි, තාත්තයි, බේයින්ස්බ්‍රිජ් ජෝඩුවයි, ඉණිමං ගැන, ගිණි නිවන හමුදාව ගැන, එතකොට අඩුම ගානේ ටොයිලට් සීට් එකේ හරි අතට ඉඳ ගනීද කියලවත් විශ්වාසයක් තියාගන්න බැරි තරුණ පරම්පරාව ගැන හෝ ගාලා කියවනවා ඇහෙනවා.

මම ඇස් පියාගෙන කල්පනා කරනවා, මට, මගෙ මේ කතාවෙ රූපවාහිණී, පුවත්පත්, සඟරා, චිත්‍රපටි, පොත් වල ප්‍රකාශන අයිතිය වත් මට ලබාගන්න පුලුවන් වෙන හැටියට  කවුරු හරි එක්ක කතාකරලා වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද කියලා. ඒ වගේම මට අහිමි වෙන්න යන පොකට් මනි වල ගානවත් ඒකෙන් ෂේප් කරගන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ?

එක දොරක් වැහෙනකොට, තව දොරක් ඇරෙනවා.

බේයින්ස්බ්‍රිජ් ලොක්ක කියනවා වගේ,…

“There’s a world of opportunity out there”

“ඕනෙකම කියන එක තියෙනවා නම්, අද කාලෙ අවස්ථාවන් අසීමිතයි.”

නිමි.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking පොතේ පලවූ Cockroach කතාවේ සිංහල අනුවාදයයි.

 වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න.

 
ප්‍රතිචාර 2

Posted by මත නොවැම්බර් 11, 2012 in පරිවර්තන, හිනා කතා

 

ටැග: ,

96. කැරපොත්තා / Cockroach 1

96. කැරපොත්තා / Cockroach 1

“ඕනෙකම කියන එක තියෙනවා නම් අද කාලෙ අවස්ථාවන් අසීමිතයි,” මිස්ට බේයින්ස්බ්‍රිජ් කියවාගෙන යන්නෙ බැරෑරුම් හඬකින්. “අනික ඇන්ඩි වගෙ තරුණ ළමයින්ට තියෙන අවස්ථාවල නිමක් නෑ. ඕව් ඕව් ඔව්. ඕනෙකම විතරයි ඕනෙ.”

“ඔව්, මිස්ට බේයින්ස්බ්‍රිජ්,” කියලා මගෙ කටින් පිට වුනත්, මට ඇත්තටම ඕනෙ කරන්නෙ ‘හනේ, මේ පිස්සු කෙලින්නෙ නැතුව කට වහං ඉන්නවද, බේයින්ස්බ්‍රිජ් ලොක්කා,’ කියලා කියන්න අවස්තාවක් විතරයි. නමුත් මම එහෙම කියන්නෙ නෑ, මගෙ තියෙන ආචාරශීලී කමට. ඇරත්, මිස්ට බේයින්ස්බ්‍රිජ් කියන්නෙ මගෙ තාත්තගෙ බොස්.

අද ගෙදරින් එලියට බහින්න ඉස්සෙල්ලම, මට විශේෂයෙන් උපදෙස් ලැබිලා තියෙන්නෙ, අතපය හතර එක විදියකට තියාගෙන, ‘මීක්’ නැතුව, මගෙ හොඳම හැසිරීමෙන්, ඉඳගෙන ඉන්න, පිස්සු නං කෙලින්න හිතන්නවත් එපා කියලා. කාලම ඉන්න බැරි වැඩේ, මගෙ ඔය practical jokes කියන ජාතිය නම්, කරන්න තියා හිතන්නවත් එපා කියලා, තාත්තා මාව පොරොන්දු කරවා ගත්ත එක.

තව විදියකින් කිව්වොත්, වතුර විදින මල්, පුපුරන රටකජු ටින්, රබර් වමනේ ඔක්කොම තහනම්.

තාත්තා කියලාමයි එක්ක ආවේ, මොනවා හරි ඕන්නැති වැඩක් කරලා අහුවුනොත්, කිසිම සමාවක් නැතුව, මාසයක් පොකට් මනි කපා හරිනවා කියලා. ඔව්, මාසයක්!

ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට මම පොරොන්දු වුනා තමයි. නමුත් මට මේක කොච්චර අමාරුද කියලා තාත්තා තේරුම් ගත්තාය කියලා නම් මම හිතන්නෙ නෑ. මම ඇත්තටම practical-jokaholic කෙනෙක්.  ඒ කියන්නෙ කොලොප්පම් ඇබ්බැහියක්නෙ. ඔය අනිත් මිනිස්සුන්ට, හුස්මගන්න, වතුර බොන්න ඕනෙ වගේම, මට practical joke එකක් කරලා ආතල් එකක් ගන්නම ඕනෙ.

මට ඇත්තටම  තේරෙන්නෙ නැත්තෙ, මම ඔය ඉඳලා හිටලා පොඩි කොළොප්පමක් කරලා පොඩි ආතල් එකක් ගත්තම තියෙන වැ‍රැද්ද මොකක්ද කියලා.  ඒකෙන්ම  පුලුවන්නෙ ඔය බොරු ලැජ්ජාවල් නැති වෙලා, අලුත් මානව සම්බන්ධතාද , යාලුකම්ද, අරකද, මේකද ඔක්කොම ඇති කරගන්න. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ බේයින්ස්බ්‍රිජ් ජෝඩුව එක්ක නම් මට ඇති කරගන්න ඕනෙ සම්බන්ධතාවයක්වත්, කතා කරන්න පුලුවන් පොදු මාතෘකාවක් වත් නෑ.

මම කියන්නෙ මේකයි. අයිස් තේ බීමක් කියලා හිතන මිනිස්සුත් එක්ක ආයෙ කතා කරන්න දෙයක් තියෙනවද? ‘මෝර්ටල් කොම්බැට්’ එකේ Sektor පරද්දන්නෙ කොහොමද කියලා කල්පනා කරනවට වඩා, ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩ කරන එක වැදගත් කියලා හිතන මිනිස්සුත් එක්ක ආයෙ කතා කරන්න දෙයක් තියෙනවද? ඒ ඔක්කොටම හපන් මේක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන ගානෙ මූණට නිකං දෙහි ඇටයක් හැපුනා වගෙ පෙනුමක් ඇවිත්, ඇස් නිකං වීදුරු බෝල දෙකක් වගෙ වෙන මිනිස්සුත්  එක්ක මොනවා කියලා තව කතා කරන්නද?

මලම ඇණයක්! වාතයක්! ඔය ඇහෙන්නෙ නැද්ද?

“දැං කාලෙ ඉන්න ළමයි…” ඕං බේයින්ස්බ්‍රිජ් ලොක්කා ආයෙම පටාං ගත්තා දේශනාව. ” …අවස්ථාව තමන්ගෙ කකුල් දෙක ලඟට එනකල් ඔහේ බකං නිලාගෙන ඉන්නවා. ඉතිං හරි යයිද, මං අහන්නෙ? අවස්ථාව කියන එක, අපි මේ හොයාගෙන ගිහිල්ලා, බෙල්ලෙංම අල්ලාගන්න ඕනෙ දෙයක්. මම ඔය වයසෙදි…”

“කෑම ලෑස්තියි!” මේ මොහොතෙම, විශාල සලාද භාජනයක් උස්සාගෙන කාමරේට ආපු මිසිස් බේයින්ස්බ්‍රිජ් නිවේදනය කරනවා.

“දෙවියන්ට ස්තුති වේවා!” මට නිකම්ම කියවෙනවා.

“මොකක්ද කිව්වෙ?” බේයින්ස්බ්‍රිජ් ලොක්කා අහන්නෙ ඇස් බෝල රවුම් කරලා.

“ම්…ම්…ම්…මම කිව්වෙ, ම්…ම්…ම්… අර වගෙ ලස්සන සලාදයක් ලබා දීම ගැන දෙවියන්ට ස්තුති වේවා කියලයි.”  මම යන්තම් ජාම බේරා ගන්නවා. අම්මයි තාත්තයි  ගිණි පුපුරු විසි වෙන ඇස් වලින් මා දිහා ඔරවාගෙන ඉන්නවා.

“ආ, එහෙම නම් කමක් නෑ,”මිස්ට බේයින්ස්බ්‍රිජ් කියනවා. “මම ඒත් හිතුවා මේ දෙවියන් වහන්සේගෙ නාමය නිරපරාදේ පාවිච්චි කලාවත්ද කියලා. ඔන්න අද ඉන්න තරුණ පරම්පරාවෙ තියෙන තව එක අඩු පාඩුවක්. අද ඉන්න ඉලංදාරින්ට නෑ…”

“ඇන්ඩිම එහෙනම් ග්‍රේස් එක කියමු නේ?”  මිසිස් බේයින්ස්බ්‍රිජ් කියනවා. “ලසාඥා එක සීතල වෙනවා.”

“අහ්හ්.. ඔ…ඔව්”

මම එහෙම කිව්වත්, යාඥා කරපු කාලයක් මතක නැති  නිසා වචන මතක නෑ.

හැමෝම ඔන්න ඇස් පියාගන්නවා.

මට හිතෙනවා දැන්,

“බලං ඉන්නෙ මොන මගුලට?
අඹරමු බුරි උලවෙන්නට,”

කියලා කිව්වොත් මොන ආතල් එකක් තියෙයිද කියලා.
එතකොටම මට තාත්තගෙ අවවාදය මතක් වෙනවා.

“අද දින අප ලබන්නා වූ මේ දේට…”

මම දන්නවා  හරි නම් මමත් ඇස් වහගෙන ඉන්න ඕනෙ කියලා, නමුත්, අනිත් අය හරියට ඇස් වහගෙනද ඉන්නේ කියලා බලන්නත් කෙනෙක් ඇස් ඇරගෙන  ඉන්න එපායැ. ඉතිං යාඥාව කියන්නෙත් මමම නිසා මමම ඒ වැඩේත් කරන්නම්කො.

නමුත් ඊලඟ පේලිය මොකක්ද කියලා මතක් කරන්න හදන කොටම මම දකිනවා සලාද භාජනයේ ඕවලාකාර යමක්! තද දුඹුරු පාට යමක්! මැරිච්ච කැරපොත්තෙක් වගේ පේන යමක්!

මම හිතනවා ඌ මැරිච්ච එකෙක් කියලා. හරියටම කියන්න නම් බෑ. හරියටම කියන්න පුලුවන් දේ නම් සලාද භාජනේ කැරපොත්තෙක් ඉන්න බවත්, කවුරුවත් ඌව එතනට හිතා මතාම නොදාපු බවත් විතරයි. ඒ බේයින්ස්බ්‍රිජ්  ජෝඩුව කැරපොත්තො කන්නෙ නැත්නම්. මම හිතන්නෙ නෑ  තාත්තට වඩා ලොකු පඩියක් ලැබෙන මිස්ට බේයින්ස්බ්‍රිජ්ට  කැරපොත්තො කන්න ඕනෙ කමක් තියෙනවා කියලා.

“දෙවියන්වහන්සේට ස්තුති වේවා!”

මොනවා? ස්තුති වේවා? මේ කැරපොත්තෙක් ලබා දුන්නාට?

මේක මෙච්චර බරපතල, පට්ට සිරා අවස්ථාවක් නොවුනා නම්, හිනා කන වැඩේ ඒක නම්.

මට පුලුවන් කමක් නෑ, එක පාරටම අත උස්සලා, “සමාවෙන්න, මෙන්න මැරිච්ච කැරපොත්තෙක් ඉන්නවා මේ සැලඩ් එකේ,” කියලා කියන්න. එහෙම කිව්වොත් ඒක හරියටම  බේයින්ස්බ්‍රිජ්ලගෙ කුස්සිය හරිම අපිරිසිදු එකක් කියලා කිව්වා වගේනෙ.  එතකොට,  හැම තිස්සෙම එයාලගෙ කෑම වලට කැරපොත්තො වැටෙනවා ඇති කියලා, අපි හිතනවා කියලා හිතලා,  ඒ දෙන්නා අපහසුතාවයට පත්වෙනවා.

ඒ ඔක්කොටම වඩා, අපේ තාත්තා හිතනවාමයි, මමයි ඌව ඒකට දැම්මෙ කියලා. ඒක ලෝක ලෙඩක්.

ඉතින් අපි හැමෝගෙම යහපතට, මට සිද්ද වෙනවා ඌව අහකට ගන්න, කවුරුවත් දකින්න කලින්.

මම හැන්ද අතට ගන්නවා කැරපොත්තව සලාද කොලෙන් අහකට ගන්න.

“ආමේන්!” මිස්ට බේයින්ස්බ්‍රිජ් මා වෙනුවෙන් යාඥාව හමාර කරලා, ඇස් අරිනවා.

“සැලඩ්, ඇන්ඩි?”

“ඔව් ටිකක් කමු.”

වාසනාව තවමත් මගේ පැත්තෙ. මිස්ට බේයින්ස්බ්‍රිජ් සලාද භාජනය මට පාස් කරනවා. මම ලොකු හැඳි දෙකක් කොත ගහලා ගන්නෙ, මැරිච්ච කැරපොත්තා ඉන්න උඩම සලාද කොල දෙකත් එක්ක. හ්ම්හ්, නරකම නෑ වැඩේ. ඔහොම යංකෝ.

මිසිස් බේයින්ස්බ්‍රිජ් මගේ පිඟානේ අනිත් පැත්තට ලොකූ ලසාඥා කුට්ටියක් බෙදනවා. සාමන්‍යයෙන් මේ වෙලාවට මගේ කටට හෝ ගාලා කෙල උනන්න ගත්තත්, අද නම්,  මේ කැරපොත්තා මගේ කෑම රුචිය එහෙම පිටින්ම අවුල් කරලා වගේ.

“අර්තාපල් ටිකකුත් බෙදාගන්න ඇන්ඩි” මිසිස් බේයින්ස්බ්‍රිජ් දුම් දමන අර්තාපල් භාජනය මට ලං කරනවා. මම එකක් අරන් භාජනය මිස්ට බේයින්ස්බ්‍රිජ්ට යවනවා.

දැන් කැරපොත්තා ඉන්නෙ මගෙ පිඟානෙ නිසා මට තියෙන්නෙ, කාටත් හොරෙන් මූව මගෙ සාක්කුවට දාගන්න එක විතරයි. නමුත් මට මුලින්ම මේ අයගෙ අවධානය වෙන අතකට යොමු කරන්න වෙනවා.

“ෂා, නියමම සීනරි එකක්නෙ”  මම අම්මගෙ ඔලුවට උඩින් බිත්තියෙ එල්ලලා තියෙන චිත්‍රය දිහා බලලා කියනවා.

හැමෝම ඔලුගෙඩි හරවනවා චිත්‍රය බලන්න.

මම සලාද කොලය උස්සනවා. නමුත් කැරපොත්තාට තියෙන්නෙ වෙනම සැලැස්මක්…

ඌ මැරිලා නෑ!

ඌ සලාද කොලෙන් එලියට පැනලා මේසෙ දිගේ දුවගෙන එනවා මා දිහාට. මේසෙ දාරෙට ඇවිත් මූ පනිනවා මගෙ ඔඩොක්කුවට. මම ඌට අතින් ගහලා  බිම දාන්න හැදුවත්, ඊට කලින් ඌ රිංගනවා මගෙ නැප්කින් එක යටට. හොඳ වෙලාවට අනිත් හැමෝම තවම චිත්‍රය රස විඳින නිසා කිසි කෙනෙක් දකින්නෙ නෑ, කැරපොත්තගෙ අඟල් දොළහේ කෙටි දුර ධාවනය. මම හෙමීහිට නැප්කින් එකේ කොනක් උස්සලා බලනවා මූ කොහේ ගියාද කියලා.

මු ආගිය අතක් නෑ!

එතකොටමයි මට දැනෙන්නෙ මගේ බඩෙන් කිති ගතියක්. මූ මගෙ ටී-ෂර්ට් එක අස්සට රිංගලා!

මම නොසෙල්වී ගල් ගැහිලා බලා ඉන්නවා. කැරපොත්තා මගේ  ඉණ වටේ රවුමක් ගහලා පිට පැත්තට යනවා. දඩාස් ගාලා පු‍ටුවේ ඇන්දට පිට  වේගයෙන් වැද්දුවොත් මූව චප්ප කරන්න පුලුවන් වෙයි කියලා මට හිතුනත් ඒක එක පාරින්ම කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. එක පාරකට වඩා ඒක කරන්න ගියොත් බේයින්ස්බ්‍රිජ් ජෝඩුව වරදවා හිතන්න පුලුවන් මට පිස්සු හැදීගෙන එනවා කියලා.

“ඇන්ඩි පේයින්ටිංස් වලට කැමතිද?” මිසිස් බේයින්ස්බ්‍රිජ් අහනවා.

“කැමතියි. ඒ වුනාට මට එච්චර චිත්‍ර නම් බෑ,” මම කියන්නෙ කලබල නොවී ඉන්න සෑහෙන සටනක් දෙන ගමන්.

“ආහා…” ඔන්න බේයින්ස්බ්‍රිජ් ලොක්කට මාතෘකාවක් අහුවෙනවා මාව බයිට් කරන්න. “නිරන්තර අභ්‍යාසය තමයි පරිපූර්ණත්වයට මග. Practice makes perfect. ඕනැම කෙනෙකුට යමක් කරන්න දැඩි උවමනාවක් තියෙනවානම්, ඒ වගේම අවශ්‍ය තරම් කාලය, ශ්‍රමය ඒ වෙනුවෙන් වැය කරන්න ලැහැස්ති නම්…”

“ඔව් ඩාලිං,” මිසිස් බේයින්ස්බ්‍රිජ්  කියනවා. “ඔයා කියනදේ ඇත්ත තමයි. නමුත් ඇන්ඩිට චිත්‍ර ශිල්පියෙක් වෙන්න අදහසක් නැතුව ඇති. ඇන්ඩි, ඔයා ආසම විෂයය මොනවද ඉස්කෝලෙදි?”

මම මේ කතාවට අවධානය යොමු කරගෙන ඉන්න ලොකු සටනක් දෙනවා. කැරපොත්තා දැන් මගෙ වම් කිහිල්ල යට ඉන්නෙ. මට හුස්ම වැටෙන්නෙත් නැති තරම්. ඌ කිහිල්ල යට ඉඳගෙන තව ඇතුලට යන්න හාරනවා වගේයි මට දැනෙන්නෙ.

“මම ඉංග්‍රීසි වලට තමයි ආසම. විද්‍යාවටයි, ගණිතයටයි නම් එච්චරම කැමති නෑ.”

“හපොයි, හපොයි.” පනිනවා බේයින්ස්බ්‍රිජ්  බුවා මැද්දට. “විද්‍යාවයි, ගණිතයයි නොසලකා හරින එක නම් මහා මෝඩ කමක්. තමන්ට තියෙන විකල්ප අහුරාගන්න එපා. මම නම් කියන්නෙ ඒකයි. අද අවස්ථා වැඩිම ගණනක් තියෙන්නෙ විද්‍යා හා තාක්ෂණ අංශයෙන්.”

මිසිස් බේයින්ස්බ්‍රිජ්ගෙ කලු ඉංගිරියාවල්  උඩු ඇසිපිය යට හැංගෙනවා. ඇය සුසුමක් හෙලනවා. මට, මේ මොහොතේ වගේ, මා ගැනම දුක් වෙන්න හේතුවක් නොතිබුන වෙලාවක නම්, මට ඇත්තෙන්ම  මිසිස් බේයින්ස්බ්‍රිජ් ගැන දුක හිතෙන්නත් ඉඩ තියෙනවා. මට මේ යකාගෙ වාත කිරිල්ල ඉවසගෙන ඉන්න වෙලා තියෙන්නෙ එක ‍රැයයි. මේ අසරණ මනුස්සයා මේ මඤ්ඤං ඩයල් එකත් එක්ක මුළු ජීවිත කාලයක් ඉන්න එපායැ.

මගෙ කිහිල්ලත් එක්ක සෙල්ලම් කරලා හති වැ‍ටුණු කැරපොත්තා, දැන් මගෙ පපුව හරහා ඇවිදගෙන යනවා මට තේරෙනවා. මට තව දුරටත් මේක දරාගෙන ඉන්න බෑ. මේ හිපා‍ටුවා, මේ මොහොතේ, මගේ බුරියේ බිත්තර දානවද කවුද දන්නෙ? මගෙ ඇඟ ඇතුලෙදි බිත්තර ‍රැකිලා, මුංබිත්තර බිඳගෙන අලියට ඇවිත් මගෙ පපුව ඉරාගෙන එලියට ආවොත් හරියට Alien මූවී එකේ අර ෆේස් ග්‍රැබර් වගේ!

මම අහ ගන්නවා නාන කාමරයට යන පාර. ඉන් පස්සෙ අවසර අරගෙන පු‍ටුවෙන් නැගිටිනවා.

දෙන්නං ජම්බු.

නාන කාමරේ තියෙන්නෙ උඩ තට්‍ටුවේ. මම දොර වහපු ගමන්ම ටී ෂර්ට් එක ඇදලා ගලවනවා. කාමරය හරහා පියාඹාගෙන යන ටී ෂර්ට් එක ටොයිලට් සීට් එක උඩින් ලිස්සලා ගිහින් එතනම බිම පතිත වෙනවා.

කැරපොත්තා මගෙ පපුවෙ නම් පේන්න නෑ.

පිටෙත් නෑ.

හයියයියෝ. ඔහොම හි‍ටු!

මම සපත්තු දෙක පයින්ම පාගලා ඇදලා දාලා යට ඇඳුමත් එක්කම ජීන්ස් එක ඇදලා ගලවන්නෙ අධි වේගයෙන්. දැන් ඇ‍ඟේ ඇඳුමකට තියෙන්නෙ මේස් දෙක විතරයි. ඒත් මට කැරපොත්තව හොයා ගන්න බෑ.මූ ඉන්න පුලුවන් තැන් දෙකයි තව තියෙන්නෙ. එයින් එකක් ගැන නම් හිතන කොටත් මොකක්ද වෙනවා.

ඇන්ඩි කැරපොත්තා හොයාගත්තද? මී ලඟ කොටසින්…

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න >>>

ඕස්ට්‍රේලියානු ලේඛක ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියූ Cockroach  කෙටිකතාවේ කතාවේ සිංහල අනුවාදයයි.

 
ප්‍රතිචාර 3

Posted by මත නොවැම්බර් 9, 2012 in පරිවර්තන, හිනා කතා

 

ටැග: ,