RSS

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

16 Nov
99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

අද භාරත් ගෙදර ගියා.

ආයෙ අපි කිසිදා මුන ගැහෙන එකක් නෑ බොහෝවිට, මූණු පොතෙන් හෝ ඊයකින් හැර.

ඇත්තෙන්ම කඩවසම් පෙනුමක් තියෙන, අඩි හයයි අඟලක් විතර උස, ඉන්දියාවෙ නව දිල්ලියෙන් ආපු  භාරත්, අපේ පාසැලේ පරිඝනක විද්‍යා ගුරුවරයා.  පරිඝනක තාක්ෂනය පාසැලේ වැඩ වලට උපරිමයෙන් යොදා ගන්නා මේ රටේ, පාසැල් වල වාර විභාගවල ලකුණු සටහන්, එතකොට ප්‍රගති වාර්තා සම්පූර්ණයෙන්ම පරිඝනක ගත කරලා තියෙන නිසා, ඉගැන්වීමට අමතරව, භාරත්ට නිතරම ඔය  Excel  worksheet වලින් ඒවා නිර්මාණය කරලා පවත්වාගෙන යාමේ වගකීමත් පැවරිලා තිබුනා.

කැමති වුනත් නැති වුනත්, අනිත් ඉන්දියානුවන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න භාරත්ට සිදධ වුනේ, මෙතන බහුතරය වන කේරල වැසියන් හින්දි විරෝධී වීමත් ඒවාගේම හින්දි දැන නොසිටීමත්, භාරත් මලයාලම් නොදැනීමත්  යන සරල හේතුව නිසායි.

ගුරු විවේකාගාරයේදී, දීපාටත්, මටත් මුහුණ ලා ඉදිරියෙන් වාඩිවීමට පුරුදු වී සිටි භාරත්, ටික දවසකින් එතැන අතහැර දමා මගේ අසලට සංක්‍රමණය වුනේ, ඇතැම් කේරලයින් සමග ඇතිවූ සුලු සුලු ගැ‍ටුම් මත බව මම දැන හිටියා. මුලින්ම, බුවා මා ලඟට පැමිනීම ගැන මම එතරම් සතුටකින් නොහිටියේ, මේ ඉන්දියානුවන්ගේ සහජ ලක්ෂණයක් වූ අනිකාගේ පෞද්ගලිකත්වය තුට්‍ටුවකට නොසැලකීමේ ගතියට දීපාත් මමත්  අසාත්මිකතාවයක් දැක්වූ නිසයි.

උදාහරණයක් විදියට, දීපා පරිඝනකයේ Yahoo Mail පි‍ටුව ඇරගෙන, අපේ කෙල්ල එවූ ලිපියක් කියනවිට හෝ ඇයට  පිළිතුරක් ලියනවිට, අසල සිටින ඉන්දියානුවන් එක වරම, “දීපා මෑම්, ‘අම්මා’ කියන්නෙ මදර් කියන එකද සිංහලෙන්?” වැනි ප්‍රශ්නයක් ඇසූ විටයි ඇය දැනගන්නෙ, මෙපමණ වෙලා මොවුන් ලඟම ඉඳගෙන අර ලිපිය කියවමින් ඉඳ ඇති බවට.

“මේ යක්කු අනුන්ගෙ ලියුම් හොරෙන් කියවනවා  මදිවට අමාරු වචනවල තේරුමත් අහනවනෙ යකෝ!” මගෙ කටින් නිතර කියවිච්ච වචන පේලියක්.

මම ඉන්දියානුවන් ආශ්‍රය කිරීමට පෙර Height of Rudeness ලැයිස්තුවේ ඉහලින්ම තිබුනේ,  උදේ පාන්දරම කෙනෙක්ගෙ ගෙදරට ඇතුල්වෙන පඩිය මත මළපහ කර, දොරට තට්‍ටුවක් දමා නිවැසියන් අවදි කරවා, පස්ස සෝදා ගැනීමට වතුර ඉල්ලීමයි. දැන් නම් මට ඒ ගැන එච්චරම විශ්වාසයක් නැති වේගනයි එන්නෙ. අද උදේට කෑවෙ මොනවද යයි ඔවුන් අපෙන් අසන්නෙ හරිම අහිංසක විදියට. ලංකාවේ ඒ ප්‍රශ්ණය ආචාරශීලී නොවන ප්‍රශ්නයක් බව මා කියූ විට ඔවුන් පුදුම වුනා.

භාරත්ගෙ එක්තරා නිලනොවන රාජකාරියක් වුනේ, පාසලේ වයි ෆයි සබඳතාවය ගුරු මණ්ඩලයේ පෞද්ගලික ලැප්ටොප් පරිඝනක වලට ලබාදීමට මුරපද සහ වෙනත් සැකසුම් කරදීමයි. මේ නිසා  ලැප්ටොප් උස්සාගත් ගුරුවර, ගුරුවරියෝ භාරත් අසල නිතරම ගැවසුනා.

මට කීමට  අමතක වූ දෙයක්නම්  මෙහි හැම ගුරුවරයෙකුටම වාගේ ලැප්ටොප් පරිඝනක ඇති අතර මේ පාසැලේ හැම පන්ති කාමරයකම ඒවා සම්බන්ධ කිරීමට විශාල LCD තිරයක්ද සුදු ලෑල්ලට ඉහලින් බිත්තියේ සවිකර ඇති අතර ගුරුකාමරයේ සියලුමමේස වලට විදුලි පේනු සවිකර වයි ෆයි සබඳතාවයක්ද ලබා දී ඇති බවයි. (ඔව්, යූ බටය අවහිර කරලා තමයි තියෙන්නෙ. රතු?? මගුලක් කතා කරනවා!)

ඔන්න එදත් ලැප්ටොප් එකේ ඇති යම් කිසි අවුලක් ගැන කතා කරගන්න එක් දේශීය ගුරුවරියක් භාරත් ලඟින් වාඩි වුනා.

මම මේ කතාවලට කොහෙත්ම කන් නොදුන්නත්, එදා සමහර ප්‍රශ්ණ මා එල්ල කරගෙන ඇසූ නිසා මට කරමින් සිටි වැඩය අතරතුරදීත් මේ කතාවට එක් කනක් යොමු කරගෙන ඉන්න සිද්ද වුනා.

අර ගුරුවරිය අලුත් ලැප්ටොප් එකක් මිලදී ගන්න භාරත්ගෙන් උපදෙස් පතනවා.

“ඕක eBay එකෙන් කරගන්න පුලුවන්නෙ, මෑම්” භාරත් කිව්වා.

(ඉන්දියානුවන්ගෙ තියෙන තව ලක්ෂනයක් තමයි ඕනෑම කෙනෙකුට ‘සර්’ හෝ ‘මෑම්’ කියා ඇමතීම. මේ වචනෙ කිසිම ගෞරවයක් අදහස් නොවන,  හුදෙක් ආමන්ත්‍රණ පදයක්  පමනක් බව මම හිතන්නෙ ඔවුන් මෙය  කොල්ලටයි, බල්ලටයි හැමෝටම ආමන්ත්‍රණය කිරීම සඳහා යොදා ගැනීම නිසයි.)

ආපහු කතාවට.

“මම කල්පනා කලේ මාලෙන් ගන්න. ඒක ලේසියි,” ගුරුවරිය කිව්වා.

මම නම් මෙහෙන් බඩු ගන්න අකමැති මෙහෙන් ගන්න හුඟක් බඩුවල වගකීමේ ප්‍රතිපත්තිය ගැන මගේ ඇති අප්‍රසාදය නිසයි.

“අයියෝ මෙහෙන් ගන්න එපා අප්පා වොරන්ටි නෑනේ, නේද හෙන්රි සර්,” හරියටම භාරත්ට මගෙ සිතුවිලි දනුන නිසාදෝ මගෙන් ඇහුවා.

“ඒකනම් ඇත්ත.” මම සම්මාදම් වුනා.

“මේකෙත් අප්සෙට් එකක් ගියේ නෑනෙ,”. ඇය තමා අත වූ ලැපිය පෙන්වමින් කිව්වා. “මොකුත් අප්සෙට් එකක් වෙන එකක් නෑ. මම මාලෙන්ම ගන්නවා ඒක ලේසියි.”

“හා හා එහෙම කියන්න එපා මෑම්. ඕනෙම බඩුවක් ගන්නකොට බලන්න වොරන්ටිය තියෙයිද කියලා. අඩුම ගානෙ අවුරුද්දක්වත්. මම නම් එහෙමයි.”

“මොනවද හොඳ බ්‍රෑන්ඩ්?”

“hp හොඳයි, නේද හෙන්රි සර්. ඔය මේකත් hp එකක්නෙ,” භාරත් මගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා. “තව Compaq, Dell, Sony මේ, මගෙ එකත් SONY VAIOනෙ. මේකත් හොඳයි.”

“Acer  වරදක් නෑනෙ. මේ මේකත් Acerනෙ,” ගුරුවරිය ඇයගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා.

“ම්ම්ම්… වරදක්ම නෑ.  ඔව් ඔය බ්‍රෑන්ඩ් එකේ ගානත් අඩුයි අනික්වට වඩා.” බුවා එකඟවුනා.

“හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එක අඩුම ගානෙ 500GB වත් වෙන එකක් ගන්න.  ඔය ටෙරාබයිට් ගනන් ඒවත් තියෙන්නෙ දැන්. රෑම් එක 4GB වත් වුනොත් 64 බිට් කම්පැටිබල්. “

“වෙන?”

“ගන්නවත් වෙලා Core i7 processor එකකටම යන්න මොකද මාස හයෙන් යල් පනින තාක්ෂනයක්නෙ මේක.”

“එච්චරයිද?”

“බලන්න genuine Windows දෙනවද කියලා. මෙතන ස්ටිකර් එකක් තියෙන්නෙ ඕනෙ මේවගෙ” බුවා ලැප්ටොප් එක උස්සලා යට පැත්ත පෙන්නලා කිව්වා.

“හ්ම්ම්… හ්ම්ම්… හ්ම්ම්…” ගුරුවරියත් ස්ටිකර් එක අතගාලත් බැලුවා.

“තව බලන්න බැටරි ලයිෆ් කොහොමද කියලා. අනික බර. සැහැල්ලු එකක් ගන්න.”

ඔය වගෙ බුවා දිග විස්තරයක් කලා. මම කණ ආපහු අරන් සම්පූර්ණයෙන්ම වගේ මගෙ වැඩේට යොමු කල නිසා එතනින් එහාට මට ඇහුනෙ අතරින් පතර .

…NVIDIA or  AMD graphic card…blah blah blah…
…USB 3 ports… blah blah blah…
…HDMI…  blah blah blah…
…multi card reader blah blah blah…

ටිකකින් විවේක කාලය පටන් ගත් නිසා අපි ගුරු කාමරයත්, සුපවයිසර් කාමරයත් අතර තිබූ පැන්ට්‍රියට ගියා තේ බොන්න. මම විදුලි කේතලයට වතුර පුරවා විදුලි පේනුවට සම්බන්ධ කලා. අපේ කෑම පෙට්ටියත් බෑග් එකෙන් ගෙනැවිත් කෑම මේසය මත තැබූ මම කෝපි වලට සීනිත්, ක්ෂණික කෝපිත් මගේ ලොකරයෙන් අරන් ආවා. එතකොටම පන්තියක සිට ආ දීපා, කෝප්ප දෙකක් සෝදා කෝපි හදන්නට ලක ලැහැස්ති වුනා. ඉන් පස්සෙ කෑම මේසෙ කොනක ඉඳගත් අපි දෙන්නා එදා ගෙනැවිත් තිබූ සැන්විච් ටෝස්ට් වලට දෂ්ඨ කරන්න පටන් ගත්තා.

භාරතුත් තමාගෙ කෑමත් අරන් ලෑස්ති වුනා මේසෙ අනිත් පැත්තෙ ඉඳගෙන.

“මම දෙසැම්බර් බඳින්න ඉන්නෙ මෑම්.”

“හයියෝ ඌත් ඉවරයි. මොනවා හරි වෙන්න තියෙනවනම් වලක්වන්න බෑ,”මම කිව්වා.

භාරත් ඇස්දෙක පුංචි කරන් බෙල්ල ඇල කරන් මං දිහා ටික වෙලා බලා ඉන්නකොට දීපා කිව්වා,

“ෂා නියමයිනෙ භාරත්. මේ හෙන්රි විහිලුවට කියන්නෙ. ගනං ගන්න එපා.”

ඔන්න පොර හිනාවෙන්න ගත්තා. ඔය ඉන්දියානුවන්ගෙ (අපිට මුන ගැහෙන) sense of humor අහවල් එක නම් ඔය ජාතියෙම තමයි. මම විහිලු කරන්නෙම නැතිතරම්.

ඔන්න දීපා දැන් විස්තර අහනවා. ඉන්දියාවට ආවේනික ක්‍රමයට අනුව මේක ප්‍රේම විවාහයක් නෙවෙයිලු. යෝජනාවක්ලු.

“ලංකාවෙ එහෙම නෙවෙයිද?” භාරත්ට දැනගන්න ඕනෙ වුනා.

“අපෝ නෑ. ප්‍රේම විවාහ තමයි වැඩිම. උදාහරණයක් විදියට භාරත්, මමයි දීපායි ලව් කරලා බැන්දෙ. මගෙ සහෝදරයා, එතකොට සහෝදරී, ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ සහෝදර සහෝදරයො ඔක්කොම ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ. මගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ.” (මේක සහතික ඇත්ත.)

භාරත්ගෙ ඇස් දෙක හීනි වෙලා, පස්සෙ ටොනික් පියනක  ප්‍රමාණයට ලොකු වෙලා,  තව ටිකකින් යෝගට් පියනක ප්‍රමානයත් ඉක්මවලා, පීරිසියක ප්‍රමාණයට එනකොට, මම නැවැත්තුවා. කට ඇරිලා එල්ලෙනවා.

“මාත් හරි කැමතියි ඒ ක්‍රමේට. නමුත් ඉන්දියාවෙ ඔක්කොම වගෙ තියෙන්නෙ arranged marriages තමයි.”

“දැන් දෙසැම්බර් වල ගිහින් බඳින්න භාරත්ට කෙල්ලක් ඉන්නවද?”

“නෑ සර්, මම අම්මලට බාර දීලා ආවේ හොයලා තියන්න කියලා.”

“මොනවා? ඒ කියන්නෙ මේ දෙසැම්බර් ගියාම, අම්මලා හොයලා තියන, තමන් ජීවිතේට දැකලා නැති ගෑණියෙක්ව බැඳ ගන්නවා!!!”

“ඔව් සර්,” මේකා හිනාවෙලා කිව්වා.

“ඉතින් මනුස්සයො අම්මලා හොයලා තිබ්බට… මේ.. මේ..මේ..තමන්ට ගැලපෙනවද කියලා  කොහොමද දන්නෙ?”

“අම්මලා ඒවා හොයලා බලනවා.”

“යකෝ ඉතින් අම්මලා හොයලා බැලුවට, මේ ගෑණියෙක් නේද ගන්නෙ? බැරි වෙලාවත් යකෙක් හෙම වුනොත්?”

භාරත් හොඳටම හිනාවුනා.

“එහෙම වෙන්නෙ නෑ.”

“හරි දැන් උදේ ලැප්ටොප් එකක් ගන්නකොට  බලන්න ඕනෙ ස්පෙක්ස් හෙන තොගයක් කිව්වනෙ අර අහවලීට.   500GB හාඩ් ඩිස්ක්ද්, 4GB රෑම්ද, අරකද, මේකද. දැන් මේ ගෑණි ගන්න කොට මොනවද බලන්න ඕනෙ ස්පෙක්ස්?  එහෙම මොකුත් තියෙනවද, අඩුම ගානෙ?” මම ඇහුවෙ ඉවසන්නම බැරුව.

“ඔව් සර්.” ඔන්න මේකාගෙ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.

“ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. අඩුම ගානෙ ෆස්ට් ඩිග්‍රී එකක් වත්.”

“ඒ කියන්නෙ රස්සාවක් කරන්න ඕනෙ කියන එකනෙ?” දීපා ඇහුවා.

“නෑ මෑම්. මම රස්සාවක් නොකරන කෙනෙක් හොයන්නයි අම්මලට කිව්වෙ.”

“ඉතින් ඩිග්‍රියක් හොයන්නෙ? මේ ගෙදර ඉන්න?”

“ඒ වුනාට ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. මගේ අම්මලාත් එහෙම  බලාපොරොත්තු වෙනවා”

“@#$%$#” කියලා මම හිතුවට කටින් පිටවුනේ මෙච්චරයි…

“වෙන?”

“උස අඩි පහයි හයට වැඩි වෙන්න ඕනෙ.”

“ඒකත්  හරිනෙ. වෙන?”

“එච්චරයි සර්.”

“@#$%$#” මේ පාර නම්, මට තව පොඩ්ඩෙන් කියවෙනවා.

යකෝ ලැප්ටොප් එකක් ගන්න අච්චර දේවල් බලන එකා, ගෑණියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඩිග්‍රියයි, උසයි විතරද????”

භාරත් හිනාවුනා. ඇත්තටම මූට තියෙන්නෙ ලස්සන හිනාවක්.

මා ඉන්දියානුවෙකුව නොයිපදීම ගැන මම ස්තුතිවන්ත වුනේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ. සමහරවිට විසි පන්දාස් වතාවට?

හැම දෙයක්ම යහපත් අයුරින් සිදුවේවා උඹට.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න

 

ටැග: , , , , ,

16 responses to “99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

  1. abeetha

    නොවැම්බර් 16, 2012 at 2:40 ප.ව.

    අම්මට සිරි.. මට කොහොමද හෙන් රි අය්යේ මෙච්චර ලිපි ගොඩාක් අත ඇරුනේ…. කොණක ඉඳන් කියවන්න ඕන.

     
  2. සිඳු

    නොවැම්බර් 16, 2012 at 3:00 ප.ව.

    අනේ අසරණ භාරත්….. (ප්‍රසන්න පෙනුමක් තියෙන මනුස්සයෙක්නෙ)

    ජනූ අක්ක, සරත් අයිය ලිවුව සමහර දේවල් කියවද්දි ඉන්දියාවට ආසා හිතෙනවා… ඒ වුණාට මේ විදියට නම් බඳින්න වෙන්නෙ මම ඉන්දියාවට ආස වෙන්නෙම නෑ.

    දැන් තමයි මතක් වුණේ,මගෙත් යාලුවෙක් ඉන්නව ඉන්දියාවෙ. විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක්.(ඒ කියන්නෙ වෛද්‍යවරු අතරිනුත් දක්ෂ වෛද්‍යවරයෙක්)
    මනුස්සයගෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන ඇහුවමත් කියන්නෙ ඒක දෙමවුපියන්ගෙ වගකීම කියලා. එයා නෙමේ බඳින්නෙ වගේ

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 18, 2012 at 11:42 පෙ.ව.

      සිඳු මම මේකට කලිනුත් රිප්ලයි එකක් ගහලා දැම්මා. මටත් ඒක හොයා ගන්න නෑනෙ.

      ඉතින් ඒවගෙ උගත්ය කියන මිනිස්සුන්ගෙත් ආකල්ප එහෙම තමයි. ඒවා හරිය කියනවනෙ. ඉතින් තව වෙන මොනවද?

      ජනුවලා සරත්ලා කියන්නෙ ඉන්දියානු විවාහය ගැන නෙවෙයිනෙ සිඳූ. ඉන්දියාවෙ විවිධත්වය සහ මානව සබඳතා ගැන.

       
  3. Hasitha

    නොවැම්බර් 16, 2012 at 8:01 ප.ව.

    එච්චරටම ලස්සන ගෑණු ඉන්න රටේ වෙන දේවල්🙂

     
  4. Alchemiya

    නොවැම්බර් 17, 2012 at 1:29 පෙ.ව.

    මගෙත් යාළුවෙක් හිටියා… ඌ එකසැරයක් ඉන්දියාවෙ ගිහින් එනකොට කිරි ටොයියෙක් උස්සං ආවා. යන්තං අව්රුදු විස්සයි…. .. ජීවිතේටම හැබැහින් දැක්කෙ බැන්ද දවසෙලු… ඒ වුනාට ඉතිං උන් දෙන්නා සන්තෝසෙන් ඉන්නවා… කෑල්ලත් ඇහැට කණට පේනවා… ඒ වගේම ඇවිල්ලා මාස දෙකකින් විතර අළු ගසා දාලා ආවා… දැන් ඉන්දියන් කියලා හිතන්නත් බෑ….
    ඔන්න ඔහොමයි ජීවිතේ…..
    අපි ඔහොම එකක් කර ගත්තොත් ඉතිං කට්ටිය සෑහෙන පැදලා හම්පඩ වෙච්ච යකෙක් තමයි අපට සෙට් වෙන්නෙ…. (හොඳ වෙලාවට ලවු කරලා බැන්දෙ)

     
  5. Makulu Panchi

    නොවැම්බර් 17, 2012 at 4:48 පෙ.ව.

    එක අතකට ප්‍රේම කරන්න ගිහින් නාගන්නවට වඩා ඒකත් හොඳයි වගේ…😀 ගොඩ කාලෙකින් මේ දිහාවෙ එන්න ලැබුනෙ ඩූඩ්…. සෑහෙන ලියලනෙ..🙂

     
  6. සිරාගෙ කාමරේ

    නොවැම්බර් 17, 2012 at 2:15 ප.ව.

    භාරත්ගෙ පෙනුම ප්‍ර‍සන්නයි… අහිංසකයෙක් පාටයි… ඒකට අපේ හෙන්රි මහතා… ඔය ඉන්නෙ මනමාල බැල්මක් දාගෙන…

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 18, 2012 at 11:23 පෙ.ව.

      උඹට අඩුගානෙ මනමාල පෙනුමක් වත් පෙනුනා. අනිත් උන්ට පේන්නෙ මරුමුස් බැල්මක්ලු බං. ඇත්තටම මනමාල බැල්ම තියෙන්නෙ ඕනෙ භාරත්ට නේද?

       
  7. Praසන්னP

    නොවැම්බර් 18, 2012 at 1:19 ප.ව.

    අඩුම ගානෙ බඳින ගෑනු මනුස්සයගෙ පාටවත් බඳින එකා දන්නෙ නැද්ද?

     
  8. ගැමියාගේ පත් ඉරුව

    නොවැම්බර් 29, 2012 at 11:38 පෙ.ව.

    මාරයි……. මාත් සන්තෝස වෙනවා මම ඉන්දියන් නොවුනු එකට මම උඩින්ම ඉන්දියන් විරෝධීයි ෆිල්මක්වත් බලන්නෑ ඒවා ලස්සන නැති නිසා හැබැයි බලලා නැත්තෙත් නෑ

    ඒක‍ නෙමෙයි මෙතන තියෙන පොටෝව දැක්කම මට මේක නම් නොකියම බෑ ඩුඩි අයියා දැන් නිකන් අර die hard ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ රඟපාන ‍නළුවා වගේ(කොන්ඩ් ටිකක් අඩු වුනනානම්)

     
  9. iamdeejay

    දෙසැම්බර් 1, 2012 at 9:04 ප.ව.

    භාරත්ට එයා කියපු වීදියේ වයිෆ් කෙනෙක්ම ලැබෙන්න කියා අපි විශ් කරමු.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: