RSS

101. අසල්වැසියාගේ තිළිණය /A Neighbor’s Gift

01 Dec
101. අසල්වැසියාගේ තිළිණය /A Neighbor’s Gift

ගෙදර ඇවිත් මගේ පොත් පත් එකතුවෙන් මුලින්ම ඇදලා ගත්ත පරණ Reader’s Digest සඟරාවෙ තිබ්බ මේ ඉතාම කෙටි කතා පිංච මගෙ බොක්කටම වැදුනා.

අපේ හුඟ දෙනෙක් බොහෝ විට බටහිරයන්ව දකින්නෙ අපි තරම් සංවේදී නොවන සත්ව කොට්ඨාශයක් හැටියටයි. සියලු සාරධර්ම, යහපත් මිනිස්සු ඉන්නෙ අපේ විතරයි, ලෝකෙ හොඳම සංස්කෘතිය අපේ කියලා තමයි අපි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ. නමුත් මේ කතාව කියවලා බලන්න.

මම මේ කතාව කියෙව්වෙ මෙන්න මේ පසු බිමේ ඉඳගෙන.  මගෙ වැට උඩට වැටිච්ච අල්ලපු  වත්තෙ  ගහකින් වැට පාත් වෙලා. මමම ඇවිත් ගහ අයින් කරන කල් ගහ එහෙමම තිබුනා.  .

තව කට්ටියක් මගේ වැටේ රෙදි වනනවා.

මම ආසම වැඩේ, ගිය අවුරුද්දෙ ප්‍රධාන පාරෙ කාපට් එක දෙපාරක් දාලා නිසා ගැට්ටක් හිටලා තිබ්බා වාහනයක් ගන්න බැරි වෙන්නම. මේක ගෙවල් දෙක තුනකට යන පොදු පාරක් වුනත් මම එනකල් පාර එහෙමම තිබ්බා. පස්සෙ මම තමයි පස් ගෙනත් පාර හැදුවෙ ආපු දවසෙ ඉඳන්ම. ඒ ගිය අවුරුද්දෙ.  හැබැයි මම පාර හදපු වෙලේ ඉඳලා ඒ පාරෙ වාහන  පාක් කරනවා. ගිය මැයි මාසෙ මම අම්මගෙ මරණෙට ගෙදර ආපු වෙලේ දවසක් මම මහ රෑ ගෙදර එනකොට පාරෙ ලොරියක් නවත්තලා. කරුමෙට හෝන් එකත් වදින්නෙ නෑ.  පස්සෙ මම වාහනෙත් අරන් නංගිලාගෙ ගෙදර ගිහින් නිදා ගත්තා.

මේ පාරත් මම යන එන ගානෙ හෝන් ගහලා වාහන අයින් කරවාගෙන තමයි ගෙදර යන්නෙත්, ගෙදරින් එලියට යන්නෙත්. ඇඩ්‍රස් නැතුව යනවා කියන කතාවට හොඳම උදාහරණය මේක වෙන්න ඇති.

සමහර විට ඒක නිසාම වෙන්නැති මේ කතාව මගෙ බොක්කටම වැදුනෙ.

අසල්වැසියාගේ තිළිණය /A Neighbor’s Gift

අවුරුදු අටක් තිස්සෙම, හැම නොවැම්බරයකම, මගෙ වහලෙ වැහි පීලි වල හිරවුනු කොළ ඉවත් කරන්න, මම මගෙ අසල්වැසියාගේ අඩි දහසයේ ඇලුමිනියම් ඉනිමඟ ඉල්ලනවා.

අවුරුදු අටක් තිස්සෙම, හැම නොවැම්බරයකම, ඝන කබායක් ඇඟලා ගන්නා බැරී,  ඔහුගේ ගේ  පිටිපස්සෙ ඉනිමග අරන් තිබ්බ  තැනට මා කැඳවාගෙන යනවා.

මඳක් කුදු ගැහී එම ඉඩ කඩට රිංගන අපි දෙදෙනා, පරණ මකුළු දැල් බිඳගෙන, සමහර විට පරණ ට්‍රයිසිකලයක්, වතුර බට රෝලක් එහාට මෙහාට කරමින් ඉදිරියට යනවා.

බැරී ඉනිම‍ඟේ එක කොණකින් අල්ලා ඔසවද්දී, මම එහි අනිත් කොණ ඔසවා ගන්නවා.  අපි දෙන්නගෙ ඉඩම් දෙක වෙන්වුන වැටට උඩින් මම මගේ වත්තට පනිද්දී  “ඉන්න මම මේක උස්සලා දෙන්නම්කො එහා පැත්තට,”යයි බැරී කියනවාමයි. ඇත්තෙන්ම මේ  ඉනිමඟ බර එකක් නොවේ. අපි දෙන්නාම මේ චරිත රංගනයට ඇලුම් කලා.

“ඇත්තෙන්ම මාත් මේකක් ගන්න ඕනෙ කොයි වෙලේ හරි.”

“අයියෝ, මොනවටද?”  බැරී එතකොට කියනවාමයි. “ඔයාට ඕනෙම වෙලාවක මගෙ එක  ඉල්ලගන්න පුලුවන්නෙ.”

බැරීයි, ඔහුගෙ බිරිඳ පැටීයි, එයාලගෙ දරුවන්ට අඳින්න බැරිව පුංචි වෙන  කලිසම්පොඩි, කමිසපොඩි, සපත්තුපොඩි  දුන්නෙ මගෙ දරුවන්ට. අපේ නිවෙස උණුසුම් කල උඳුන ක්‍රියාවිරහිත වූ  පෙබරවාරි මාසයක එක් සීතල ‍රැයක සමාගමෙන් පැමිණ එය අලුත්වැඩියා කරන තෙක් පැය පහක් හෝ හයක් අපේ මුලු පවුලටම ‍රැකවරණය ලැබුනේ බැරීගෙ වහල යට.

“ඕකෙ ඔය පුලී සිස්ටම් එක නම් පොඩ්ඩක් හිරවෙන්න බලනවා ඉනිමඟ දික් කරනකොට.” බැරී අනතුරු හඟවනවා.

“ප්‍රශ්ණයක් නෑ. මම මේක පැය කීපයකින් ආපහු දෙනවා.”

“කලබලයක් නෑ. මම ගෙදර නොහිටියොත් ඔන්න ඔය වැටේ මෙහා පැත්තෙන් තියන්නකො,” කියන බැරී මට අතවනා ආචාර කර ගේ දෙසට යනවා.

හැම නොවැම්බරයකම මේ දේ මේ විදියටම සිදුවුනා.

එක් ශීත සෘතුවක, එක් අඳුරු දිනෙක බැරීගේ ගේ ඉදිරිපස තණබිමේ “විකිණීමට තිබේ” දැන්වීමක් දකින්න ලැබුනා. ඔහුට ඇත්තටම ස්ථානමාරුවක් ලැබිලා වෙනත් ප්‍රදේශයකට යන්න වෙන බව පිළිගන්න හිත මැලිවුනා.

DSCN8453බඩු අදින වෑන් රථය බැරීගෙ නිවෙස ඉදිරියේ නතර කර තිබියදී පවා මා ප්‍රතික්‍රියා දැක්විය යුතුව තිබූ ආකාරයට එසේ නොකලේ ඒ මැලි කම නිසාම විය යුතුයි. මම කලයුතුව තිබුන ඔහු වටා දෑත් යවා ඔහුව තදින් වැලඳ ගැනීම වුවත්, මම කලේ සාමාන්‍ය විදියට අතට අත දී ආයුබෝවන් කීම පමණයි.  ඔහු රිය පදවාගෙන අපෙන් වෙන්වී යද්දි මා කලයුතුව තිබුනෙ ඔහු නොපෙනී යන තෙක් නොනවත්වා අත වැනීම වුවත්, මා එසේ කලේ නෑ.

එදා හවස, මම මගෙ පුතාගෙ ට්‍රයිසිකලය ගෙතුලට ගද්දීයි මම දු‍ටුවෙ මගෙ ගරාජයේ බිත්තියට  හේත්තු කර  තිබූ අඩි දහසයේ ඇලුමිනියම් ඉනිමඟ.

A Neighbor’s Gift
Christopher De Vinck
Reader’s Digest – November 1993

මෙම ලිපිය මගේ ඩෙනිමේ මුලින්ම පළවිය.

 

ටැග:

27 responses to “101. අසල්වැසියාගේ තිළිණය /A Neighbor’s Gift

  1. රාමා

    දෙසැම්බර් 1, 2012 at 8:04 පෙ.ව.

    මාත් ඉනිමග ඉල්ලාගන්නේ එහා ගෙදරින්.🙂

    අපේ ගෙවල් ඉදිරිපිටින් තියෙන පරණ රේල් පාර (දැන් පීලි නැහැ) දැන් සාමාන්‍ය වාහන යන පාරක්. තැනින් තැන හරස් කරලා මිනිස්සු ගෙවල් හදා ගෙන නිසා ඒ පාරට පිවිසෙන්නේ පුද්ගලික පාරවල් හරහා. ඒ කියන්නේ මේ පීලි නැති රේල් පාර තියෙන්නේ මහා මාර්ගයටත් , නිවෙස් වලටත් මැදි වෙලා. ඔය වගේ අපේ ගෙදරට පාරත් සමහරු පාවිච්චි කරනවා රේල් පාරට පිවිසෙන්න. දවසක් මම හදිස්සියකට වාහනේ අපේ පාර පටන් ගන්න තැන නවත්තලා ආවේ වැඩියෙන්ම වාහනේ අයින් කරන්න ඉඩ තියෙන්නේ එතන නිසා.. ටික වෙලාවකට පස්සේ මම එන කොට පහළ ත්‍රී වීල් එකක් නවත්තලා කුණුහරුපෙන් බැන බැන ඉන්නවා සෙට් එකක් පාර හරස් කරලා වාහනේ දාල ගිය එකාට. උන් පිට සෙට් එකක්, ආපු පාරෙන්ම යන්න ඇවිත්.

    ඔය කාපට් කරලා පාර උස්සන හරි කරදරයක් පහල ඉන්න මිනිස්සුන්ට. මේ පැත්තේ රත්නපුර-කලවාන-අගලවත්ත පාර හදනවානේ මේ දවස් වල. අපේ ගෙදරට එන්න තියෙන්නේ අර කියපු පාරයි, ටිකක් එහායින් තියෙන පාරකුයි. ළඟ පාර උපතින්ම අධික බෑවුම තිබුණු එකක්. දැන් ඒක වාහනයක් යන්න බැරි ගාණට බෑවුම. ඒත් ඉතින් බෑ කියාගෙන වාහනය අදින්නේ ඒකෙම තමයි. අනිත් පාර කලින් බැවුම අඩු පාරක්. ඒක පාර හදන එවුන් ආයේ හදල දීල, ඒත් එක තැන නවල. මිටි වාහන, දිග වාහන ගන්න බැහැ,

     
    • henryblogwalker

      දෙසැම්බර් 3, 2012 at 10:10 ප.ව.

      හයියෝ මේ මිනිස්සු වාහන පාක් කරන්නෙ නම් හරිම ආත්මාර්ථකාමී විදියට තමයි රාමා.

      අර පාර නම් මම හැදුවේ. මගෙ පවුලේ අය විතරයි උදව් කලේ.

       
  2. hiruni

    දෙසැම්බර් 1, 2012 at 4:46 ප.ව.

    ඔන්න මිනිස්සු….හරිම ලස්සන කතාව…දැන් ඒ මනුස්සයා දුක් වෙනවා ඇති හරියට සමු දෙන්න බැරි වුන එකට….මේ වගේ අසල්වාසීන් ලබන්න පින් කරන්න ඕනේ….

    ගෙදර වැට ගැන අහලා මම පුදුම නොවුනේ ඇයිද මන්දා….සමහර වෙලාවට අවුරුදු ගානක් තිස්සෙ පුරුදු වෙලා වෙන්න ඇති…..මේවට හිත කලබල කර ගන්න එපා….😀😀😀

     
  3. iamdeejay

    දෙසැම්බර් 1, 2012 at 8:56 ප.ව.

    ඇත්තටම මමත් මේ කලැන්ඩර් එක දකිනවා ඉස්සර අපි දෙන්නා වැඩටට යන එන කොට. මෙ පාර නම් එක එතන නෑ තමයි, සමහර විට එක කරපු කෙනා හුගක් වයස ඇති එහෙම නැතිනම් ඒ වැඩේ නවත්තලා ඇති.

     
  4. අසරණයා.

    දෙසැම්බර් 3, 2012 at 1:34 පෙ.ව.

    මේක ඉතින් ඔන්න අදයි කියෙවුවෙ.. ඇත්තටම එහෙම දෙයක් වුනාද?

     
  5. පිණිබිඳු

    දෙසැම්බර් 3, 2012 at 3:03 ප.ව.

    සමුගන්න එකත් හරියට කරේ නැත්නම් ඉතුරු වෙන්නෙ පසුතැවීම.

     
  6. හිතුවක්කාරී

    දෙසැම්බර් 3, 2012 at 4:13 ප.ව.

    මමත් ඔන්න අද කමෙන්ටුවක් දැම්මා… මීට කලිනුත් මෙහාට ආව ගියාට කමෙන්ටුවක් දැම්මෙ නෑ මං හිතන්නෙ..

    ලිපිය ගැන කිව්වොත් ඇත්තටම මමත් හිතන් උන්නෙ කාලයක් යනකම් බටහිර උදවියගෙ සංවේදිතාව, හැඟීම් දැනීම් අපිට වඩා දුර්වලයි කියලා…ම්ම්… අපූරු ලිපියක්…

     
  7. Padhmakumara

    දෙසැම්බර් 3, 2012 at 5:54 ප.ව.

    හෙන්රි

    අපේ අල්ලපු ගෙදර ඉන්න අධිරාජ්‍යවාදී සුද්දා අපි නිවාඩුවට ගියහම අපේ මල්වලට ව්තුර දාල,පාර අයිනෙයි මිදුලෙ ඉස්සරහයි තනකොල කපල,අපිට එන ලියුම් ටික එකතු කරල,දවසට සැරයක් ගේ වටේ බලල,මොනව හරි තියනවනම් අපි කියල තියන යාලුවෙකුට ටෙලිෆෝන් කරල අපි ඉන්නවටත් වඩා හොඳට ගෙදර බලා ගන්නව.මම හිතන්නෙ ඔයාගෙ අසල් වැසියා හොඳම දේශප්‍රේමියෙක් වගේ.

     
  8. දේව් ගේ අඩවිය

    දෙසැම්බර් 4, 2012 at 1:34 පෙ.ව.

    මෙවන් අසල්වැසියන් ලබන්න පින් කරන්න ඕනා අද ලංකාවේ නම්…. කාලෙකින් මේ පැත්තට ආවේ… ගොඩාක් ලොකු දෙයක් ජිවිතයට ගන්න පුළුවන් කතාවක්…. ජය වේවා

     
  9. Raigama

    දෙසැම්බර් 4, 2012 at 2:51 ප.ව.

    මචන් හෙන්රි, උඹ පීචන් සඟරා කියවනවා නේද? මාත් කැමති කොටසක් තමා මේ සඟරාවේ තියන “නන්නාඳුනන්නෙකු ගේ කරුණාව” කියන ඇත්ත කතා. මා පොඩි කතාවක් ලියන්නම්. දවසක් කෙනෙක් ශීත සෘතුවේ කාරය දුම්රිය පොලේ නතර කරලා, වෙනදා වගේ දුම්රියෙන් වැඩට ගියා. හවස ආපසු එනකොට, ඈතදීම දැක්කා තමන් වාහනයේ ආලෝක සඥ්යා බල්බ නිවා ගිහින් නැති බව. කාරය ලඟට එනකොට තමා දැක්කේ, වාහනයේ ඉදිරි වීදුරුවේ වයිපරයට යට කරලා නවපු කොලයක් තියන බව. එය අතට අරන් දිග හරින විට කාසි කීපයක් බිමට වැටුනා. එහි මෙවැන්නක් ලියා තිබුනා. “මා දුටුවා ඔබේ කාරයේ ලයිට් නිවා නැති වග. ඔබට මේ කාසි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්”. මේ ජංගම දුර කතන තිබුන කාලයක් නොවේ. පිටතට ගියහම ඇමතුමක් ගන්නේ කාසි දාල අර දුරකථන කුටි වලින්නේ.

    ලංකාවේ ඔය වගේ කීප දෙනෙක් පාවිච්චි කරන පොදු පාරක් නම් මචන් එකෙක් වත් හදා ගන්න බලන්නේ නැහැ. එය මා හිතන්නේ හැම තැනම තියන දෙයක්. කොයි රටේ හිටියත් මචන් අසල වැසියා ජරා පොරක් නම්, ජිවිතයම ජරා වෙනවා.

     
    • henryblogwalker the Dude

      දෙසැම්බර් 15, 2012 at 8:46 පෙ.ව.

      මගෙ තව යාලුවෙක් හිටියා තමයි රීඩර්ස් ඩයිජස්ට් ගැන ඔය මතය දරපු. ‘කියවපං ටයිම්ස්. නිව්ස්වීක්.’ පොර කිව්වා.

      රයිගම් මට තියෙන එකම ප්‍රශ්නය, ඇයි මේක පෝස්ට් එකක් හැටියට නොලිව්වෙ කියන එකයි. මේක අර චිකන් සුප්න් පොත්වල තියෙන ජාතියෙ කතාවක්.

       
      • Raigama

        දෙසැම්බර් 16, 2012 at 3:44 ප.ව.

        මා උඹගේ ඒ සටහන දැකලා තමයි මේක ලියුවේ. මෑතක් වනතුරු මා ඔය සඟරාවට දායක වී තිබුනා. දැන් ලොකු පුතාට ටිකක් දේශපාලනය තේරෙන නිසා උඹේ යාලුවාගේ ප්‍රියතම සඟරාවලින් එකකට දායක උනා.

         
  10. Ayilas

    දෙසැම්බර් 7, 2012 at 10:48 පෙ.ව.

    මම ඉස්සෙල්ලම කකියවන්න ගත්තේ රියට අත ඇල්ලු මගියා පොස්ට් එක. එක හරිම රසවත් විදියට පරිවර්තනය කරලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ පොස්ට් ඔක්කොම වගේ කියෙව්වා හරිම රසවත් මට හිතෙන්නේ දැන් මම ඔයාගේ බ්ලොග් එකේ ඉස්තිර පදිංචි කරයෙක් වෙලා වගේ.

     
  11. gold fish

    දෙසැම්බර් 11, 2012 at 8:07 ප.ව.

    කොහොමෙයි අයියේ… පාඩමක් කියලා දෙයක් ඉගෙන ගත්තා වගේ මේකෙන්…😀

     
  12. Kandyan

    දෙසැම්බර් 13, 2012 at 11:32 පෙ.ව.

    හරිම සංවේදී කතාවක්…

    මේ වගේ වැඩක් මටත් උනා… අපේ අල්ලපු ගෙදර (කලින් හිටපු තැන ) හිටියේ ටිකක් වයසක ජෝඩුවක්. අන්කල් ඇලබට් කියලයි අපි කිව්වේ. එයා DIY පොරක්. ඉඳලා හිටලා මමත් එයගේ ටූල් බොක්ස් එක ඉල්ලාගන්නවා හදිසියකදී. ඔහොම ඉන්නකොට ඒ අය ගෙවල් විකුණලා පුතා ඉන්න දිහාවට යන්න තීරණය කලා.. Isle of Wight වලට. යන දවසේ අපිත් බඩු අස්කරන්න..පටවන්න උදව් කලා..දැන් දෙන්නා අපෙන් සමු අරන් ට්‍රක් එකට නැගලා යන්න පිටත් උනා…අපිටත් හරිම දුකයි..අපේ අම්මා තාත්තා වගේ තමයි හිටියේ. ටිකක් දුර ගිහින් ට්‍රක් එක නැවතුනා…අන්කල් ඇල්බට් බැස්සා…ආපහු ගේ දිහාට ආවා..ඇවිත් මට කිව්වා…යමක් ඔයාට දෙන්න තියාගත්තා ඒක අමතක උනා..මතක් වෙලා තමා ආපහු ආවේ කියලා..ආපහු ගෙදරට ගිහින් ගෙනාවා අර ටූල් බොක්ස් එක. මගේ අතට දීලා කීව්වා.. මට අය මේක ඕන වෙන්නෑ..ඔයාට තමයි ඕන..මගෙන් සුළු තෑග්ගක් අපිව මතක් වෙන්න කියලා. මම අදත් ඒක පාවිච්චි කරනව… මේක උනේ අවුරුදු 7 කට කලින්.

     
    • henryblogwalker the Dude

      දෙසැම්බර් 15, 2012 at 8:51 පෙ.ව.

      මෙන්න තවත් සංවේදී කතාවක් අර රයිගම්ගෙ කතාව වගෙ. ඇත්තෙන්ම මේකත් අර චිකන් සුප් පෝතකට ගැලපෙන කතාවක්.

      කැන්ඩියන්ගෙ කමෙන්ට් එක කියෙව්වාම මට අලුත් අදහසක් ආවා.

       
  13. Dulip Sikurajapathy

    දෙසැම්බර් 19, 2012 at 3:35 ප.ව.

    ගොඩක් වෙලාවට අපේ අසල්වැසියො වගේම අපිට මහ මගදි මුන ගැසෙන අමුත්තොත් අපිට ලබාදෙන සුලු උදවු සමහරවිට අපේ ජීවිත කාලෙ තුරාවටම අමතක නොවෙන උදවු වෙන්න ඉඩ තියනව.

    ප.ලි.
    ඩයිජස්ට් එකනං කියෙවුව අයිය 2005 වෙනකං දැං ඒ පුරුද්ද නොදැනීම අමතක වෙලා ගිහින්

     
  14. Ayilas

    දෙසැම්බර් 20, 2012 at 8:52 පෙ.ව.

    හෙන්රි ගේ බ්ලොග් එකේ මුලින්ම කියෙව්වේ “රියට අත ඇල්ලු මගියා” පොස්ට් එක. නියමෙට ලියල තිබුණා. ඊට පස්සේ කැරපොත්තා , බල්ලා කපු මගේ කාර් එක,. මේවගේ බොහොම පොස්ට් කියෙව්වුවා. මේ කතාවත් ඉතාම සංවේදී එකක්. දැන් මම හෙන්රිගේ බ්ලොග් එකේ ඉස්තිර පදින්චිකාරයෙක් වෙලා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: