RSS

Monthly Archives: ජනවාරි 2013

112.සැරද ගුරුතුමණි: බණ ටෝකිං.

112.සැරද ගුරුතුමණි: බණ ටෝකිං.

පහුගිය ලිපියේ ඔබේ ප්‍රතිචාර වලට මම කිසිවක් කියන්න නොගියේ ඉන් සමහරකට පිළිතුරු දෙන්න ගියොත් ඔබ දැන් කියවන්න යන මෙම දෙවෙනි කොටසට ඉන් බලපෑමක් ඇතිවිය හැකි නිසායි. නමුත් ඉන් මතුවූ සමහර කරුණු මේ කොටසට ඇතුලත් කරන්න මම හිතුවා.

බ්ලොගර් පිටපත සඳහා මගේ ඩෙනිමට මෙතනින්.

faq4

ප්‍ර: තත්වය ඔබ සතු බළතල වලින් ඔබට පාලනය කල නොහැකි විට ශිෂ්‍යයා සුපවයිසර් ගාවට යැවීම තමයි කරන්නෙ එහෙම නේද? මේක හැම විටම කරන්න පුලුවන්ද?

උ: සීමාවක් තියෙනවා. ඔබ නිතර ශිෂ්‍යයන් සුපවයිසර්වරයා ලඟට යවනවා නම් විදුහලේ පරිපාලනය ඔබේ පන්ති පාලන හැකියාව ගැන අසතුටට පත් වෙනවා. මෙය කෙලින්ම ඔබේ ‍රැකියාවට බලපානවා.

ප්‍ර: දැන් ඔය කියන විදියට පන්ති පාලනයක් කියලා එකක් තියෙනවද?

උ: හපොයි ඔව්. මේක ගුරුවරයාගේ පළපුරුද්ද, දක්ෂතාවය, උපායශීලීභාවය මත තමයි ‍රැඳී පවතින්නෙ.

ප්‍ර: ළමයි කීකරුද?

උ: විවිධාකාරයි. මෙහි තියෙන අංක එකේ ප්‍රශ්නය විනය ප්‍රශ්නයයි. ළමයි කීකරු කර ගැනීම, ඒ කියන්නෙ ගහන්නෙ, බනින්නෙ, තර්ජනය කරන්නෙ නැතිව තමාගේ අණට අවනත කරගැනීම ගුරුවරයාගේ වගකීම. ඒකත් ගුරුවරයාගේ පළපුරුද්ද, දක්ෂතාවය, උපායශීලීභාවය මත තමයි ‍රැඳී පවතින්නෙ. ළමයින්ගෙ නොමනා හැසිරීම ගුරුවරයාගේ වරද ලෙස තමයි පරිපාලනය දකින්නෙ.

ප්‍ර:ළමයි ගුරුවරයට ගරුත්වයක් දක්වනවද?

උ: ගරුත්වයක් යනුවෙන් ඔබ අදහස් කරන්නෙ මොකක්ද?

ප්‍ර: දැන් ලංකාවෙ නම් ගුරුවරයාට නිතැතින්ම ගෞරවය හිමියිනෙ. එයට සාපේක්ෂව?

උ: ගරුත්වය රටින් රටට වෙනස්. ගුරුවරුන්ට දෙමාපියන්ට බුලත් හුරුළු දී වඳින්නෙ ලංකාවෙනෙ. ඔබට ඕස්ට්‍රේලියාවේ කැනඩාවෙ හෝ එක්සත් ජනපදයේ පාසැලකින් මේ දේ බලාපොරොත්තු වන්න බෑ. ඔබට ගෙදරදි ලැබෙන ගෞරවය විදෙස් රටකදීත් බලාපොරොත්තු වුනොත් ඒක විශාල ඉච්ඡා භංගත්වයක් වෙයි.

ප්‍ර: මෙහෙම අහමු. ඔබ විදෙස් රටක ගුරුවරයෙක් වෙන්න යනවා නම් ඔබ ළමයින්ගෙන් බලාපොරොත්තු නොවිය යුත්තේ කුමක්ද?

උ: ඔවුන් සමහර දෙනෙක් ඔබට ‘සර්’ හෝ ‘මැඩම්’ යනුවෙන් අමතාවි. සමහරු නිකම්ම නම කියාවි. ඔබ එක පන්තියකට උගන්නන නිසා ඔබ උගන්නන්නේ නැති පාසැලේ වෙනස් පන්තියක සිසුන් ඔබට ‘සර්’ කියා අමතාවි කියා බලාපොරොත්තු වෙන්න බෑ හැමවිටම.

ඔබ පන්තියට යන විට ඔවුන්නැගිට ආචාර කරාවි ඔබ ඔවුන්ව එහෙම පුරුදු කලොත් පමනක්. ඔවුන් ගුරු පු‍ටුවේ වාඩිවී හෝ ගුරු මේසය මත වාඩිවී සිටියොත් පුදුම වෙන්න වත් සිහි මුර්ච්ඡා වෙන්නවත් එපා. ගුරු මේසය ඔවුන්ට පූජනීය දෙයක් නෙවෙයි. ලංකාවේ පාසැලක ගුරුමේසයට ඇති තැන මෙහි දකින්න බෑ. එය තවත් ගෘහභාණ්ඩයක් පමණයි. නමුත් ඔබට කියන්න පුලුවන් එසේ නොකරන ලෙස.

ඔබ ඔවුන් ලඟට යන විට ඔවුන් නැගී සිටීයයි බලාපොරොත්තු වෙන්න එපා.
ඔවුන් ඔබ කියන දේට එකට එක කියනවා යයි ඔබට හැ‍ඟෙයි. නමුත් ඒ ඔවුන් කතාකරන හැටි

ප්‍ර: උදාහරණයක් හැටියට.

උ: ඔබ පන්තියට යන්න විනාඩියක් ප්‍රමාද වුනොත්.
“Sir, you are late,” ඔවුන් කියාවි.

ඇයි පොත ගෙනාවේ නැත්තේ යයි ඔබ ඇසුවොත්, කිසි චකිතයක් නැතිව. මට අමතක වුනා.

ඔබ ඔවුන්ට කිව්වොත් මම ඔබ ගැන සුපවයිසර් වරයාට දැනුම් දෙනවා කියා “I don’t care!” යයි ඔවුන් කියන්නත් පුලුවන්.

ඒ වගේම ඔබ ඔවුන්ට “Don’t be stupid” කිව්වොත් “You called me stupid, you insulted me” යයි මොරදෙන එම සිසුවාම “You are stupid. You don’t know anything” යයි ඔබට කියන්නට කිසිසේත්ම පසුබට නොවෙන්න පුලුවන්.

ඔබ ලංකාව ඉන්දියාව වැනි රටක උගන්වා පලපුරුදු ගුරුවරයෙක් නම් මේ හැසිරීම ඔබට දරාගන්න බැරි තරම් පීඩනයක් ඇති කරාවි

අවවාද කිරීමෙන් මේ තත්ව පාලනය කරගන්නත් ඔබට පුලුවන්.

ප්‍ර:සංස්කෘතික වෙනස්කම් ගුරු ගෝල සම්බන්ධයට බලපාන්නෙ කොහොමද?

උ: අපේ රටේ නම් පාසැල් පෙම් සබඳතා පවත්වාගෙන යන්නෙ ගුරුවරුන්ට රහසින්නෙ. නමුත් මෙහිදී සිසු සිසුවියන් ඔබට ඔවුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හෝ බෝයි ෆ්‍රෙන්ඩ් හඳුන්වා දේවි පාරේදි පවා. ඊට අමතරව අද ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග ඇතිවූ අමනාප කමක් නිසා තමන් ඉගෙන ගන්න මූඩ් එකේ නොමැති බව ඔබට කෙලින්ම පවසාවි.
තවත් වෙනස් කම් බොහෝමයි.ඔබ ඔවුන්ගේ සිත් දිනාගත් ගුරුවරයෙක් වූ විට ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්ණ පෙම් හබ වැනිදෑ පවා ඔබ සමග සාකච්ඡා කරන්න අවසර ඉල්ලනවා. සමහර විට ඔබට මහා හිරිහැරයක් වන තරමට.

ප්‍ර: ළමයි නරක වචන පාවිච්චි කරනවද?

උ: ඒක ළමයා එන පරිසරය අනුවයි. මෙහෙමයි. මෙහි සේවය කල ලන්ඩනයේ එක් ප්‍රදේශයක පාසැලක උගන්වමින්සිට මෙහි පැමිණි ස්වේච්ඡා ගුරුවරියක් අපට කීවේ ඇය ලන්ඩනයෙන් මෙහි ඒමට හේතුව ඇය සේවය කල පාසැලේ ළමයින් හැම වාක්‍යයකටම fucking යන වචනය කිහිප වරක් පාවිච්චි කරන නිසා බව කීවා. ඇය මෙහි පැමිණ මාස කීපයකින් ආපසු ගියා.

බොහෝ විට වෙන්නෙ දුර්වලම, විනයක් නොමැති නොහික්මුණු ළමයින් සමහර විට වෙනත් අයගෙන් වෙන් කර වෙනම පන්තියකට දමන වෙලාවල් තියෙනවා. එවැනි පන්තියකට යන ගුරුවරයා ඉතාම අප්‍රසන්න අත් දැකීම් විඳිනවා.

ප්‍ර: ඔබ එවැන්නෙක්ද?

උ: මමත් එවැනි එක පන්තියක් කරනවා.

ප්‍ර: කොහොමද එහි වැඩ කටයුතු.

උ:මම ඒ තරම් ආගමික නැඹුරුවක් ඇති පුද්ගලයෙක් නොවුනත් එ පන්තියට යාමට පෙර මම මෙහෙම පොඩි යාඥාවක් කරනවා හිතෙන්. දෙවියනේ මම මහ දෙයක් ඉල්ලන්නෙ නෑ. මට මේ පීරියඩ් එක විශේෂ සිදුවීමකින් තොරව නිම කරන්න පිහිට වෙන්න. බැලුවාම ඒ පන්තියට යන අනිත් ගුරුවරුත් එහෙම කරනවලු.

prayer

ප්‍ර: ඔවුන්ට කිසිම දඬුවමක් ලැබෙන්නෙ නැතිද?

උ: දැන් මම ඔවුන්ටත් ඔවුන් මටත් හුරුවීම නිසා වැඩේ හොඳින් යනවා. නමුත් මෙය කොයි වෙලේ පුලුරා යාවිද කිව නොහැකි ගිණිකන්දක් මත ඉන්නවා වගේ තමයි. මුලදී එක ළමයෙක් මට fucking asshole යයි කීම නිසා මම පැමිණිළි කල විට ඔහුව සති දෙකක් පන්ති තහනම් කලා.

ප්‍ර: එපමණයි?

උ: ඔහු මගෙන් සමාව ගත්තා. තව දෙයක් මොන තරම් වැ‍රැද්දක් කලත් ශිෂ්‍යයාව සුව පහසුවට පු‍ටුවක හිඳුවා තියලා තමයි ප්‍රශ්න කරන්නේ.

ප්‍ර: පන්ති තහනම් කිරීමෙන් ඔවුන් පාඩමක් ඉගෙනගන්නවද?

උ: සමහරවිට. සමහරුන් නම් එයින් වීරත්වයට පත් වෙනවා. සමහරු වැඩි කාලයක් පන්ති තහනම් කල ගමන් තමයි.

ප්‍ර: දෙමව්පියගේ බලපෑම කොහොමද?

උ: දෙමාපියෝ ඉතාම බලවත්. ඔවුන්ගේ ඉල්ලීම් බොහෝවිට ඉ‍ටුවෙනවා. ලංකාවේ මෙන් දෙමාපියන් ලවා පාසැලේ ඩෙස්ක් බංකු තීන්ත ගෑම වගේ ශ්‍රමදාන දකින්නට නෑ, පාසැලේ සියලුම කටයුතු වලට සේවකයන් සිටිනවා.

ප්‍ර: ළමයින් දෙමාපියන්ට කීකරුද?

උ: වැඩි හරියක් ඔව්. නමුත් ගුරු දෙගුරු සිසු හමුවලදී අර මා කිවූ පන්ති වල දෙමාපියන් කියන්නේ ළමුන් ඔවුන්ට පාලනය කල නොහැකි බවයි. දෙමාපියන්ටත් ගුරුවරුන්ට වගේම ළමයින්ට ශාරීරික දඬුවම් දීම, තහනම්.

ප්‍ර: ඉතින් මේ ආකාරයට ගියාම ගුරු වෘතිය ‍රැකියාවක් පමණක් වෙලා නේද?

උ: හපොයි ඔව්. ඔවුන් ගුරුවරයාට සලකන්නෙත් තවත් ‍රැකියාවක් කරන පුද්ගලයෙක් හැටියට තමයි. මම නම් කරන්නේ ‍රැකියාවක්. ඒ වුනත් මම සාරධර්මත් හැකි පමණ කියා දෙනවා.

ප්‍ර: ප්‍රතිඵල තියෙනවද?

උ: හපොයි ඔව්. නැතිනම් මේ ‍රැකියාව දිගටම කරගෙන යන්න බැහැ. මේ ලඟදී අපි කලින් සේවය කල පාසැලේ ළමයි කීප දෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා ඔවුන් රෝහලට ආවලු. අපි අද මාකට්‍ටුවටෙ ඒවි කියලා හිතලා මග ‍රැක ගෙන හිටියලු අපිට හලෝ කියන්න. ඒ දෙමාපියන් තවම කියනවා ළමයි අපිව නිතර මතක් කරන බව.

ප්‍ර: දැන් මේ ආකාරයට මේ රස්සාව කාන්තාවන්ට ගැලපෙන්නෙ නෑ කියලයි මට පේන්නෙ.

උ: ඔබ වැරදියි. මගේ බිරිඳ අර මැර පන්ති ඉතාම හොඳින් පාලනය කලා. ඇය කටින් හා බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි මටත් පුදුමයි. කලින් පාසැලේ සමහර මැර යයි සම්මත ළමයින් ඇයට නිතර දුරකථන ඇමතුම් දී පාඩම් වල අමාරු දේ අහගන්නවා, එක් එක උත්සව වලට සුභ පතනවා. සමහරු ‍රැකියාවල් කරනවා. ඒත් නිතර ඇගේ සුවදුක් විමසනවා. වෙලාවකට මටත් අදහාගන්න බෑ.

ඉතින් ලිපිය අහවර කරන්න කලින් තිබස් ප්‍රසන්න කියූ මේ ප්‍රකාශය ඔබේ අවධානයට යොමු කරනවා

Praසන්ன January 23, 2013 at 3:23 PM

>>ඉස්සෙල්‍ල ඔය රටේ ගුරුවරු සහ ළමුන් අතර ඇතිවෙන්න ඇති ප්‍රශ්න ගැන සලකල බලල වෙන්න ඇති සමහරවිට ඔය නීති දාන්න ඇත්තෙ.
මොකද මෑතක ඉඳං ලංකාවෙ ගුරුවරු අතිං ළමයින්ට ලිංගික අතවර වෙන ප්‍රවණතාව වැඩිවෙලා තියෙනව.

නමුත් ලංකාවෙ ඔය නීති තිබුණත් ඔච්චර තදිං ක්‍රියාත්මක වෙයි කියල හිතන්න අමාරුයි.<<

ප්‍රසන්න හරියට හරි කියලා මටත් හිතෙනවා. සමහර මිනිස්සු සීමාවල් නොදන්න නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන් මේක.

එතකොට මේ දිනවල දීර්ඝ නින්දකින් අවදිවී සිටින මියුරු කිව්වා මෙහෙම.

Miyuru January 24, 2013 at 5:49 AM

>>කියන්න අමතක උනු තවත් දෙයක් තියෙනවා… එක සැරයක් මෙහේ බටහිර ඕස්ට්‍රේලියාවෙ විවිධ රස්සාවල් ගැන කරපු රිසර්ච් එකකදි වැඩිම ආතතියක් ඇති රස්සාවල් අතුරින් අංක එකට තේරිලා තිබ්බෙ ගුරුකම….<<

මගේ පුතා නිතර කියන කෑල්ලක් තමයි “හා, එහෙම තමයි හිතන්න ආසා… ඒ වුනාට” කියන කෑල්ල. මමත් එහෙම තමයි හිතන්න ආසා. නමුත් මියුරු මම අවංකවම හිතනවා හීත්‍රෝ වගේ ගුවන් තො‍ටුපලක ATC රස්සාව (Air Traffic Controller) මීට වඩා ආතතිය පොඩ්ඩක් වැඩියි කියලා. 😀

Aaaaghhh!

ඇත්තම කිව්වොත් ස්ට්‍රෙස් එක අඩු කරගන්න තමයි මේ බ්ලොග් කෙරුවාවත් කරන්නෙ. 🙂

 

ටැග: , , ,

111.සැරද ගුරුතුමනි.

111.සැරද ගුරුතුමනි.

මතකනෙ මම අන්තිමට ලියපු පෝස්ට් එක? බැලුවෙ නැතිනම් මෙතනින් යන්න.
බ්ලොගර් පිටපත සඳහා මගේ ඩෙනිමට මෙතනින්.


මම මෙහෙම ප්‍රකාශයක් කලානෙ.

‘…අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය  උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන…’

මේකට මගෙ සහෘදයො එක එක අදහස් ඉදිරිපත් කලා…මම මෙතනදි දාලා තියෙන්නෙ මම ඊලඟට කියන්න යන දේට කෙලින්ම දාල කමෙන්ට් කොටස් විතරයි.

මිනිසා කියන සතා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නෑ කියන්නේ ඕක තමා…. අපිට නැති දේවල් ගැනම තමා හිතන්නේ. තියෙන දෙයින් සතුටු වෙන්නේ නෑ…. අනිත් කෙනා ෆුල් ජොලියේ ඉන්නේ. මට තමා සැනසීමක් නැත්තේ කියලයි හිතන්නේ. හැබැයි බලන් ගියාම හැමෝම දුකින්…..(සමනළී)



දැන් මට වෙලාවකට හිතෙනවා මුදල් අය නොකර ඉංග්‍රීසි පන්තියක් දාන්න. (විචාරක)



ඕක කාටත් පොදුයි. (තොටියා)



ඔය කොයිකත් මතුපිටට සුන්දරයි. (AKM)



අපිට මොනදේ තිබ්බත් අපි සෑහීමකට පත්වෙන්නේනෑ… මිනිස් හිතේ හැටි තමා කියල ඉන්නවා (මී ගොඩයා)



මම මේ ලිපිය කියවනකම්ම හිතන් හිටියෙ ගුරු වෘත්තිය හරි ආතල් ජොබ් එකක් කියලා.. උදේ ගියා, ළමයි එක්ක ආතල් එකේ හිටියා, එකහාමාරට ගෙදර ආවා, සෙනසුරාදා ඉරිදා නිවාඩු, ආයෙ මාස තුනකට පස්සෙ නිවාඩු.. මොන ආතල් එකක්ද… ඒත් දැන් තමයි තේරෙන්නෙ එකෙත් ආවේනික ප්‍රශ්න තියනවා කියලා..(සෙන්නා)



ඒත් ඩුඩ් කොච්චර අකමැති උනත් ඔයා උපරිමෙන්ම තමන්ගෙ වගකීම කරනවනේ…. ඒක අපි හොදටම දන්න දෙයක්….ඒක තමා වටින්නේ…(Hiruz theories)



ඊලඟට කැමති උගන්වන්න… ඉස්කෝලෙ ළමයන්ට නෙවෙයි… රසායන විද්‍යාව උගන්වන්න… ඒකත් ළඟදිම සඵල වෙන්නයි යන්නෙ… (Alchemist)



දැන් ට්‍රේනිං සෙන්ටර් එකේ ඉන්න නිසා වනජීවී ගුරෙකුත් වෙලා. රට පුරාම ඉන්න වනජීවී කොල්ලො ට්‍රේනිංවලදි මුණ ගැහිලා අත්දැකීම් හුවමාරු කරගන්න නිසා මම උන්ට උගන්නනවට වඩා උන්ගෙන් ඉගෙන ගන්නවා. (ගාමිණී සමරකෝන්)



ලංකාවෙනං බොහෝ ගුරුවරු ඉස්කෝලවල උගන්නනවට වඩා කරන්නෙ ටියුෂන් ක්ලාස් වලිං හොඳට හම්බකරන එක. (Praසන්ன)



අපි හැමෝම හිතන්නෙ අනික් පැත්ත කොළ පාටයි කියල. ඒ පැත්තෙ කෙනෙක් හම්බුනාම තමයි තේරෙන්නෙ ඒ පැත්තත් මේ වගේ කියල. (මුහුදු කොල්ලකාරයා)



හැම එකාම කැමති නෑ තමුන්ගෙ රස්සාවට…(රාජ්)



මේ ගැන හොදට හිතුවොත් මන් හිතන්නේ ගාර්මෙන්ට්

ළමයි ගැන කල්පනා කරොත් අපේ හිත් වල බර දාල

පිච්චිලා යාවි..(silentsahan)



රැකියාව එකිනෙකාට සාපේක්ෂයි නේද හෙන්රි අයියා…මම හිතන විදියට තමන්ගෙ රැකියාව ගැන සම්පූර්ණයෙන්ම තෘප්තිමත් පිරිස සෑහෙන අඩුයි… (සිරා)



දැන්නම් මේ ජොබ් එක මට අල්ලලා යනවා ලොකු ආතතියක් එහෙම දැනෙන්නේ නැහැ. (අසරණයා)



අපි හැමෝටම කැමති ජොබ් සිහින තිබ්බත් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ කී දෙනාටද ඩූඩ්? සමහර වෙලාවට අපි කැමතිම දේ කලත් තවත් කැමති දේවල් ලිස්ට් එකේ තියනවා…(රූ)



අපි ආසම දේ කරන්න සෙට් උනාම හිතට මාර සනීපයි සන්තෝසයි (මඩයා)



ඇත්තටම අපි කරන දේ ඇරෙන්න අනිත් ඕන දේකට තමා ආස වෙන්නේ…(දේශකයා)



ගුරු වෘත්තියේ ආසම නැති කොටස තමයි දවල් ගිනි කුටකේ ගෙදර එන එක . (Bindi)



“දෙහි ලෙල්ලක් හපන එකා දැක්කම අනික් උන්ගේ කටට කෙළ එනවා, කන එකා තමයි දන්නේ එකේ රහ” (Ayilas A)



මම හිතුවෙ ගුරුවරයෙක් කියන්නෙ හරිම නිදහස් රස්සාවක් කියල. (කම්මල)



මම අදටත් රස්සාව කරගෙන යන්නේ ගුරුවරියක් වුන නිසා එහෙම නැතිනම් මම රස්සාවට ආයුබෝවන් කියලා පොඩ්ඩෝ පොඩි කාලෙම .(DeeJay)



අයියන්ඩිගේ අදහස වගේම කොමෙන්ට් දාපු අයගේ අදහසුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා නම් මට තේරුම් ගන්න බෑ. (Sarath Chandrasiri)



හැමෝම ආස තමන්ට නැති දේවල් වලට තමා 🙂 (මඩිස්සලේ නිශාන්)



මම නම් ආසාවෙන් හිටිය ගුරුවරයෙක් වෙන්න, ගණිතය උගන්නන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ, මම උත්සාහ කළෙත් නෑ….ඒ වුනාට කාටවත් ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න නම් මට ඕන නෑ. (DDT)



ඕක අපි හැමෝගෙම කතාව.. (මාරයා හැර නේ?)  (රාමා)



උගන්නන්ඩ නං මට බෑ මයි කියල හිතුණ කැම්පස් එකේ වැඩ කරපු ටික කාලෙට (hansakinkini)



මම නම් ආසම් ගුරුවෘත්තියට..ඒක නිසා ඉස්කෝලෙ යනකාලෙ සෑහෙන්න කාලයක් දහම් පාසලේ ඉගැන්නුවා..හරිම තෘප්තිමත් ‍රැකියාවක්..හිතරිදෙන අවස්තා නැතිවාත් නෙවේ. කොයි ‍රැකියාවටත් ඒක පොදුයි (වීපොකුරෙ වීයා)



ගුරුවෘත්තියට ඩූඩ් ඔච්චර අකමැති ඇයි දැයි මම දන්නේ නෑ… මමත් වෘත්තියෙන් ගුරුවරයෙක් නොවුනත් අවස්තා කීපයකදිම ලොකු පොඩි සැලකියයුතු පිරිසකට උගන්නලා තියෙනවා… පංති වල ඒ එක එක්කෙනා එක්ක ඉන්ටරැක්ට් වෙද්දි ලැබුණු එකිනෙකට වෙනස් අත්දැකීම් වලට මමනම් අදටත් මාරම ආසයි… ඩූඩ් උගන්නන හැම ළමයගෙම ජීවිතේ පුංචි හරි වෙනසක් කරන්න ඩූඩ් දායක වෙලා ඇති… ඒක සල්ලිවලට ගන්න බැරි තෘප්තියක් නෙමේද..? 🙂 (Beetle)



ඒත් මම නම් කැමැති ගුරුවරයෙක් විදියට රැකියාව කරන්න තිබුනානම් .. ඒ අතින් බලනකොට ඩුඩ් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ ..(චමී4යූ~chami4u)
මට තේරුන දෙයක් තමයි මගෙ සහෘදයො හුඟ දෙනෙක්ට අද විශේෂයෙන්ම ලංකාවෙන් පිට උගන්නන ගුරුවරයෙක් විඳින ගැහැට ගැන යථා අවබෝධයක් නැති බව. මම මේ FAQ එක (Frequently Asked Questions) නැතිනම් නිතර ඇසෙන ප්‍රශ්න මාලාව සම්පාදනය කලේ ඒ නිසාමයි. මේක ලංකාවෙන් පිටත හුඟාක් තැන්වලට ඉතා හොඳින් ගැලපෙන නිසා ප්‍රවේසමෙන් පරිහරනය කරන්න. මම ඔබේ සමහර ප්‍රශ්න වලට No Comment යනුවෙන් උත්තර දෙන්නත් ඉඩ තියෙනවා.

ප්‍ර:  මොකක්ද ළමයා පිළිබඳ සාමාන්‍ය නීතිය?

උ: ළමයා පළමුව.

ප්‍ර: ළමයින්ට දඬුවම් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

උ: ළමයින්ට ශාරීරික දඬුවම් කරන්න බෑ.

ප්‍ර: ශාරීරික දඬුවම් කියන්නෙ මොනවද?

උ: ළමයට අත තියන්නෙ බෑ. මේකෙන් අදහස් වෙන්නෙ ගහන්න බෑ කියන එක විතරක් නෙවෙයි. ගහන්න තියා කනෙං අල්ලන්න, කොනිත්තන්න, නිය පිටින් පහර දෙන්න බෑ විතරක් නෙවෙයි, ඇඟිල්ලක්වත් ළමයට ස්පර්ශ වෙන්න බෑ.

ප්‍ර: ස්පර්ශ කරන්න බෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? දඬුවමක් හැටියට නොවෙයි. ප්‍රසංශාවක් හැටියටවත් හිස අත ගාන්න බැරිද?

උ:හොඳ ළමයා කියලා ඔලුව අතගාන්න, පිටට තට්‍ටු කරන්නවත් අවසර නෑ. ඔබ එහෙම කලාම ළමයා පැමිණිළි කලොත් ඔබ ඔහුගෙ හෝ ඇයගෙ ඇඟට අත තිබ්බා කියලා ඔබ අමාරුවේ වැටෙනවා. ඔබට විරුද්ධව විනයානුකූල පියවර ගන්නට පෙර පාසැල් පරිපාලනය ඔබට අවවාද කරාවි මුලින්ම. ඔවුන් සාක්ෂි කැඳවාවි සිද්දිය දු‍ටු අනිත් ලමයින්ගෙන්. ඔවුන් යාලුවාගේ පැත්ත ගත්තොත් ඔබ අමාරුවේ. එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔබට පක්ෂව සාක්ෂි  කියන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙන්න පුලුවන්.

ප්‍ර: ළමයි ඒ විදියට පැමිණිළි කරනවද ඔබ ප්‍රසංසාවක් හැටියට පිටට තට්‍ටු කලත්?

උ: ඔබ ළමයෙකුට දඬුවමක් හැටියට අත තිබ්බොත් එහෙම වෙන්න තියෙන ඉඩකඩ බොහෝමයි (99.99%) . ප්‍රසංශාවක් හැටියට අත තිබ්බත් එහෙම නොවේයයි සහතික වෙන්න බෑ. කොහොමත්. ළමයි මුලින්ම ඔබට මතක් කරනවා Don’t touch me. කියලා.

ප්‍ර: ළමයෙක් ස්පර්ශ කරන්නම වෙන අවස්ථා නැත්ද?

උ: ළමයා අතට අත දුන්නොත් අතට අත දෙන්න පුලුවන් ආචාර කිරීමේදී. දැන් ළමයෙක් කලන්තෙ දාලා වැ‍ටුනත් මම අල්ලන්නෙ නම් නෑ.

ප්‍ර: ළමයා ගුරුවරයව ඇල්ලුවොත්.

උ: මම නම් කියනවා මාව අල්ලන්න එපා කියලා.

ප්‍ර: ළමයෙක් තව ළමයෙක්ව ගුරුවරයගෙ ඇඟට තල්ලු කලොත්?

උ: ඒත් ඔබට ඔබේ ඇ‍ඟේ හැප්පුන ලමයව අල්ලන්නෙ එයින් අවසර ලැබෙන්නෙ නෑ. ඔබට පුලුවන්  තල්ලු කරපු ළමයට අවවාද කරන්න.

ප්‍ර: එයින් ප්‍රයෝජනයක් නොලැබුනොත්?

උ: ඔබට පුලුවන් සුපවයිසර් වරයාව පැමිණිළි කරන්න.

ප්‍ර: ළමයින්ට බනින්න පුලුවන්ද?

උ: අපහාසාත්මක වචන පාවිච්චි කරන්න අවසර නෑ. උදාහරණ හැටියට idiot, fool, moron, stupid වගේ. සතුන්ගෙ නම් පාවිච්චි කරන්න බෑ උදාහරණ හැටියට. donkey, monkey, dog, etc.

ප්‍ර:අවවාදයක් දෙන්නවත් බැරිද?

උ:අවවාද කරන්න පුලුවන් අර ඉහත කී වචන පාවිච්චි නොකර.

ප්‍ර:ශාරීරික දඬුවම්ම නොවන, හිටවා තැබීම වගේ දඬුවම් දෙන්න පුලුවන්ද?

උ:පුලුවන්. ඒ ඒ පාසැලේ පරිපාලනය අනුමත කරන විදියට. සමහර විට  ඔවුන්ව හිටවා තියන්න පුලුවන්, පන්තියෙන් එලියට යවන්න පුලුවන්. නමුත් බොහෝ පාසැල්වල එය එච්චර අනුමත කරන්නෙ නෑ. ඔබ යම් විදියකින් ළමයෙක් එලියට දැම්මොත්, ඔහු එළියේ සිටගෙන කරන ක්‍රියාවල වගකීමත් ගුරුවරයාගෙමයි. ඔහු එහෙමම ගෙදර ගියොත් ඒකත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබට.

ප්‍ර: ඔබ ළමයෙකුට පන්තියෙන් එළියට යන්න කියලා කිව්වාම ඔය ළමයි කීකරු වෙනවද?

උ: ඒක රඳා පවතින්නෙ ළමයාගෙ , පන්තියේ, පාසැලේ, ගති ස්වභාවය මත. මම උගන්නන පන්ති තුනෙන් දෙකක් අණට කීකරු වෙයි කියලා ස්ථිරයි.

ප්‍ර: අකීකරු වුනොත් මොකද ඔබ කරන්නෙ?

උ: වහාම දුරකථනය ගෙන සුපවයිසර් වරයා ඇමතීම තමයි. පන්තියට යනවිට අපි අනිවාරයයෙන් ජංගම දුරකථනය ගෙන යනවා

ප්‍ර: එතකොට මොකද වෙන්නෙ:

උ: එවිට සුපර්වයිසර්වරයා කියනවා ඔහුව සුපවයිසර් කාර්යාලයට එවන්න කියා. මම ළමයාට කියනවා සුපවයිසර්වරයාගෙ පණිවිඩය.

ප්‍ර; එතකොට ඔහු සුපවයිසර් වරයා ලඟට යනවද?

උ: යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්. ඒක රඳා පවතින්නෙ මම කලින් කිව්වා වගේ ළමයාගෙ , පන්තියේ, පාසැලේ, ගති ස්වභාවය මත. නොගියොත් මම නැවත සුපර්වයිසර් වරයාට දැනුම් දෙනවා. එවිට ඔහු පෞද්ගලිකව පැමිණ ළමයා අරන් යනවා.

ප්‍ර: ළමයෙක් ඔබට පහර දුන්නොත්?

උ: ඒත් ඔහුට පෙරලා පහර දෙන්න අයිතියක් නෑ. ඔහු/ඇය ළමා අයිතිවාසිකම් ඇති ළමයෙක්. ඔබ වැඩිහිටියෙක්. බුද්ධිමත් යැයි අපේක්ෂිත ගුරුවරයෙක්.


දැන් ඔබට කියන්න ඇතිදේ අහලා ඉතුරු ටිකට යන්න අදහස් කලා. හදිසි තීරණ වලට එලඹෙන්න එපා. හා හා පාට කන්නාඩි දාන්නත් එපා. සාහසික වෙන්න එපා. අන්තවාදී වෙන්න එපා. නමුත් මම මුලින්ම කිව්ව මේ ටික මම නැවතත් ඔබේ අවධානයට යොමු කරනවා.

‘…අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ
රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට
ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය  උපරිම, නමුත් නිදහස නැති
ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන
නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ
මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන…’



මතු සම්බන්ධයි.

 

ටැග: , , ,

110. මං කවුරු වෙන්නද ආසා…

110. මං කවුරු වෙන්නද ආසා…

බ්ලොගර් හිතවතුන් සඳහා මෙම ලිපිය මගේ ඩෙනිමේ පළ කර ඇත.

“අවුරුදු පහළොවක්ම බ්ලොග් ලිව්වට පස්සෙයි ඕං මට ලියන්න හැකියාවක් නැති බව මම දැනගත්තෙ?”

“ඈහ්, එතකොට මොකද කලේ? බ්ලොග් ලිවීම අතෑරියා?”

“මගුලක් කතා කරනවා? ලිවීම අතාරින්නෙ කොහොමද? ඒ වෙනකොට මම හෙන ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙලා ඉවරයි.”

මේක මම අහලා තියෙන පොඩි විහිලු කතාවක් වුනාට, මට වෙලා තියෙන දේත් එක්ක මේකෙ යම් අදාලත්වයක් තියෙනවා.

(මේ ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින් යන්න.)

මගෙ ජීවිතෙන් වැඩි හරිය ගුරුකම කලාට මොකද, ගුරු වෘතිය ඇත්තෙන්ම තියෙන්නෙ මගෙ කරන්න ආසා ජොබ් ලැයිස්තුවේ අඩියටම වෙන්න. ඉන්න පොඩ්ඩක් බලන්න. හෑ? අඩියටම වෙන්න නෙවෙයි. ඒක ඒ ලැයිස්තුවෙ ඇත්තෙත් නෑ.

නිකමට බලා ගන්න මගෙ කූල් ජොබ් ලැයිස්තුව කෙටි කරලා, වාරණය කරලා, කෑල්ලක් විතරක් මෙතන දාන්නම්. හරි, හරි, ඔය පිළිවෙල ටිකක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්.

Photographer, Photo Journalist, Journalist, Travel Writer, Writer, Artist, Architect, Civil Engineer, Draughtsman, Landscape Artist, Horticulturist, Pilot, Aircraft Technician, Rally Driver, F1 Driver, PTI, Doctor, Surgeon, Seaman, Computer Dude, Computer aided designing , Fashion designer, Advertising, Guitarist, Engine Driver…

මේකෙන් අදහස් වෙන්නෙ නෑ, මම අසාර්ථක, මහ එපා කරපු ගුරු හොරෙක් බව. අයියෝ නෑ. ඔය සමහරු කියන්නෙ මම ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කියලා. මේක ඉතින් ආත්ම වර්ණනාවක් වගේ පේන්න පුලුවන් වුනත්, ඔය හුඟක් ගෝලයො එහෙම කියනවා. ඕන්නම් අහලා බලන්නත් පුලුවන්.

ඒ වුනාට, මට පේන්නම බැරි ජොබ් එකක් තමයි ගුරු වෘතිය. ඇත්තෙන්ම කිව්වොත්, සතියෙ පළවෙනි දවසෙ උදේ ඉස්කෝලෙ, පන්ති කාමරේට යන්න නැතුව, වෙන වෙන ඕනෙ දිහාකට යන්න තියෙනවා නම්, මම එක පයින්. පහුවදාට ඉස්කෝලෙ යන්න නෑ කියලා නින්දට යන්න තියෙන දවස්වල, දෙයියනේ කියල සැපට නින්ද යනවත් එක්ක!

කාටත් මතක් ඇතිනෙ, ඉස්සර ඉංග්‍රීසි රචනා වලට පට්ට ගහපු එක මාතෘකාවක් තිබුනා My Ambition කියලා. ඔය, තමන් ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියන එක සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්නෙ. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකෙක් නම් ඕකට දුන්න දුම් විසි වෙන උත්තරයක්. “පුතා ලොකු වුනාම කවුරු වෙන්නද ආසා?” කියලා අහපු ගමන් කොල්ල කියන්නෙ, “සීයා කෙනෙක්” කියලා. අපිත් ඕක අහගන්න, කොල්ල දකින ගානෙ ඔය ප්‍රශ්නෙ අහනවා.

ඔය ප්‍රශ්ණෙට උත්තරේ කාලයාගෙ ඇවෑමෙන් වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. මම එහෙම කිව්වම, නිකං හුරු පුරුදු ගතියක් දැනුනා නේ?

ඕං, මම සර්කස් එකක් බලලා ආපුවම, මාස ගානක් යනකල් මට ඕනෙ සර්කස් කාරයෙක් වෙන්න. තව එක කාලයක්, මම ආසම ජොබ් එක අයිස් ක්‍රීම් වෑන් රියැදුරෙක් වෙන්නයි. මොකද හැම කොල්ල, කෙල්ලගෙම අවධානය ලැබෙනවා වගේම, ඕනෙ වෙලාවක ගහක් යට නවත්තලා අයිස් ක්‍රීම් දෙසා බාන්න පුලුවන්නෙ ඉස්මුරුත්තාව හැදෙනකල්. අනේ මම එහෙමයි හිතා හිටියෙ!

ඉතින් ඔය විදියට කාලෙන් කාලෙට, ගිණි නිවන භටයා, බස් රියදුරා, අර පාරෙ තාර ගලවන ජැක් හැමර් ක්‍රියාකරු, දොඹකර ක්‍රියාකරු, දුම්රිය රියැදුරා, අභිරූපණ රංගන ශිල්පියා, ඩ්‍රම්ස් වාදකයා, කෙල්ලන්ගෙ ස්කූල් බස් රියැදුරා වගෙ එක එක ජොබ් වලට ආසාව මාරු වුනා.

රස්සා හොයන කාලෙ කරපු ඇතුලත් වීමේ විභාගයක් ඉහලින් පාස් වීමේ හේතුවෙන් අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන.

මේ රස්සාවට ආවේනික දීර්ඝ කාලීන අරමුණු ජයගන්න, තමන්ගෙ උනන්දුවට වඩා තව කෙනෙක්ගෙ කැපවීම හා වාසනාව බලපෑවා. ඇත්තෙන්ම පාන් හැදුවොත්, ටික වෙලාවකින් සුවඳ හමන, උණු, උණු පාන් දකින්න හැකි බේකරි කාරයෙකුට, මීට වඩා ලැබීමක් තියෙනවා.

මම නිදහස් වෙලාවට ආසාවෙන් කරපු ගිටාර් වාදනය, නියම ආතල් වැඩක් හැටියටයි මම කවදත් දැක්කෙ. ඒ ආමි බෑන්ඩ් එකේ ගිටාර් වාදනය කරපු ධනුෂ්ක දවසක් මුන ගැහෙනකල්.

“අඩේ උඹ නම් මාර ලකී පොරක් බං.” මම මූට පාරක් අනින ගමන් කිව්වා.

“ඒ මොකෝ බං හෙන්රි අයියෙ උඹ එහෙම කියන්නෙ?”

“මේ අහපං. අපේ රස්සාවල් වල හෙන ස්ට්‍රෙස් එකනෙ බං. මට ‍ෆ්‍රී ටයිම් එකක් හම්බ වුන ගමන් මම කරන්නෙ ගිටාර් එක අරන් ගහන එක. ඒකෙන් මාර සැහැල්ලුවක් දැනෙනවා. මට ඕනෙ නම් මුලු දවසම, නොකා නොබී, ගිටාර් එක අත ගගා හිටියෑකි, අර කියන දේ අහන්නෙ නැති, ඉගෙන ගන්න ඕනෙ නැති එවුන් රංචුවකට ඉංග්‍රීසි උගන්නනවට වඩා. නමුත් ආපහු යතාර්ථයට යන්න වෙනවා බං, ටිකකින්…”

“ඉතිං?”

“ඉතිං යකෝ උඹලාට, ගිටාර් එක ගහනවා වගේ ආතල් ජොබ් එකක් කරනවට පඩියකුත් හම්බවෙනවා. ඉතින් උඹලා මාර ලකී නැද්ද? මට නම් ඇත්තටම උඹලා ගැන මාර ජෙල බං. සමහරුන්ට දෙන දෙයියෝ හොම්බට ඇන ඇන දෙනවා කියන්නෙ ඕකට තමයි.”

“හැක් හැක් හැක්!” ධනුෂ්කයා කින්ඩියට හිනාවුනා.

“මොකද උඹ හිනාවෙන්නෙ? මම දැං හිනා යන මොකුත් කිව්වද?”

“හිනා යන්නැද්ද බං? මේ අහපංකො. මාත් ආමි බෑන්ඩ් එකට බැ‍ඳෙන්න කලින් උඹ වගේම ගිටාර් ගහන්න මාර ආසයි බං. දැං ඒක ජොබ් එක හැටියට කරන්න ගත්තට පස්සෙ, මට ගිටාර් ගැහිල්ල එපා වුනා. උඹ දන්නවද බං හෙන්රි අයියෙ. මට ‍ෆ්‍රී ටයිම් එකක් හම්බවුනාම මම ගිටාර් එකක් අල්ලන්නවත් කැමති නෑ. මට ඊට වැඩිය සැපයි බං වත්තෙ වලක් කපන එක ‍ෆ්‍රී ටයිම් එකට. දෙයියම්පල්ලා.”

මම මූ කියන එක අහං හිටියෙ කට ඇරගෙන බව ටිකකින් මට තේරුනා.

“උඹ දන්නවද අයියෙ, මේ කොළඹ සමහර ලොකු ඉස්කෝල වලින් අපිව ඉල්ලනවා ඒවයෙ බෑන්ඩ් වලට ප්‍රැක්ටිස් කරන්න. අපේ එවුන් මරා ගන්නෙ නැතුව විතරයි එහෙම චාන්ස් එකක් ආවාම ඒකට දුවන්න. අපි මාර ආසයි බං ළමයින්ට උගන්නන්න.”

“නෑ!!!! අනේ පලයං යන්න.”

බලනකොට මයෙ කට ආයෙ ඇරිලා.

මේ ලිපිය මුල් වරට HeyDude බ්ලොග් අඩවියේ Some Guys Have All The Luck යන මාතෘකාවෙන් පළවිය.

බ්ලොගර් හිතවතුන් සඳහා මෙම ලිපිය මගේ ඩෙනිමේ පළ කර ඇත.

myguitarist

 

ටැග: ,

109. බාස් කතා. මේසන් බාස්.

109. බාස් කතා. මේසන් බාස්.

නිවාඩු කාලේ බාස් කතා -1 ට මෙතනින් ගියෑකි.

නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා, ‘ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ?’ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි, ‘අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං,’ කියලා.

ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

අපේ ගෙදර සමහර බාස් වැඩ කරලා තියෙන්නෙ දීපයි මායි අපේම අත් වලින්. බාත් රූම් එකේ තාවකාලික වොෂ් බේසින් එකකුයි, ටොයිලට් එකකුයි හයි කලේ බදාම අනලා කොන්ක්‍රීට් දාලා අපි දෙන්නමයි. ඉස්සර කොන්ක්‍රීට් අනලා අමාරුවට දෙන්නම පැනඩෝල් දෙකක් බීලා තමයි නිදාගන්නෙ. අපි දෙන්නා බාස් වැඩ කලා කිව්වාම දැන් හිතන්න එපා ඒවා බාල ක්වොලිටියෙ වැඩ කියලා. අර මම කවදත් කියනවා වගේ අපි බාස්ලට වැඩිය හොඳට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හේතුව ඒවා අපේම බඩු නිසා, අර පරෙස්සමෙන්, උපරිම ප්‍රමිතියෙන්, හැකි ඉහලම අයුරින් කරන නිසායි. වංචා නොකරන නිසායි.

ඉතින් අර වොෂ් බෙසින් එකයි, ටොයිලට් එකයි (සිංහලෙන් කොමෝඩ් එකයි) කොන්ක්‍රීට් බිමට හයි කරලා තිබ්බේ මම කොළඹ ගල්වලට ගිහින් අරන් ඇවිත් තිබ්බ මල නොබැ‍ඳෙන වානේ ඇණ මුරිච්චි භාවිතා කරලා. ඒක දැක්කාම කිසි කෙනෙක් හිතුවෙ නෑ මේක අපි වගෙ ආධුනික DIY ජෝඩුවකගෙ වැඩක් කියලා.

ඕන්න මේ පාර බාස්ලා සෙට් එකක් හොයාගෙන, (ඇත්තම කිව්වොත් සෙට් දෙකක්) වැඩේ කරගෙන යනවා. හැබැයි ඇහැ ගහගෙන නොහිටියොත් බඩුම තමයි. ඔන්න අර අපි දෙන්නා හයි කරලා තිබ්බ උපාංග ගලවන එක තමයි ඉස්සෙල්ලම කලේ. වොෂ් බේසින් එක හයි කරලා තිබ්බෙ පෙඩස්ටල් එකක් උඩ. ඔන්න බේසම නම් ගැලෙව්වා මම දාලා තිබ්බ ඇණ ගලවලා, ෆ්ලෙක්සිබල් හෝස් එක බිත්තියෙන් ගලවලා. එතකොටම මට යන්න වුනා විනාඩියකට හෝ දෙකකට එලියට අර අනිත් සෙට් එක කරන්න ගිය මක බාස් වැඩක් නවත්තන්න. ආපහු එනකොට පෙඩස්ටල් එක නෑ.

“අහ්, ගැලෙව්වද බාස් උන්නැහෙ පෙඩස්ටල් එක මෙච්චර ඉක්මනට?”

“ඔව් මහත්තයා, අන්න අර කාමරෙන් ගිහින් තිබ්බා, බේසමට එහා පැත්තෙ.”

වැඩේ කරලා තියෙන හැටි මම දැක්කෙ, විනාඩි කීපයකට පස්සෙ බුවාලා තේ බොන්න ගියාමයි.

DSCN9454

මේ කරලා තියෙන්නෙ ලෙසටම!

අර මම දාපු මල නොබැ‍ඳෙන වානේ බෝල්ට් දෙක, එක්කො දැකලා නෑ, නැතිනම් ඒක කරකවන්න රෙන්ච් එකක් හොයාගන්න කම්මැලි කමට පෙඩස්ටල් එක පොලොවෙන් උදුරලා අරගෙන. අඩියෙ කෑලි දෙකක් කැඩිලා ගිහින්. ආයෙ ඉතින් ඒකෙන් වැඩක් නෑ. ඇත්තෙන්ම ඒ සෙට් එකෙන්ම වැඩක් නෑ. මම බාත් රූම් එකට දුවලා බැලුවා. යකෝ මේ තියෙන්නෙ අර ඇණ දෙක තවම කොන්ක්‍රීට් එකට හයිවෙලා පෙඩස්ටල් එකේ මුලත් එක්ක.

පස්සෙ මම බුවාලාගෙන් ඇහුවා. කොහොමද බාස් උන්නැහෙ අරක කැඩුවෙ? දැක්කෙ නැද්ද ඇණ දෙක?”

“ආහ් ඒක කැඩුනනෙ ගලවන්න ගිහින්. මහත්තයලා එකට සිමෙන්ති දාලනෙ මුලට.”

සභ්‍යත්වයේ නාමයෙන් මට හිතුන, කටට ආපු, නමුත් නොකියපු දේ මෙතන සඳහන් නොකර ඉන්න තීරණය කලා, මම.

ඒ එක සිද්ධියක්.

බාස් උන්නැහෙලා පාවිච්චි කලේ එලියෙ තිබ්බ, මම වාහනේ හෝදන්නයි ගස් වලට වතුර දාන්නයි හෝස් එකක් හයි කරලා තිබ්බ වතුර කරාමෙ. ඒකෙ අග මම හයි කරලා තිබ්බා අර වතුර පාර සීරුමාරු කරන්න පුලුවන් නොසල් එකක්. බාස් තුමාලා මුලින්ම කැඩුවෙ ඕක. මමත් හිටියා නොකර සද්ද. හවස බුවාලා ගෙදර ගියාම මම දැක්කා ටැප් එකත් කඩලා බව. ඒ කියෙන්නෙ අර ගාඩන් ටැප් කියන වර්ගයෙ අර හෝස් එකක් ගහන්න හදලා තියෙන කෑල්ල.

පහුවදා උදේ බුවාලා ආවාමවත් මම මොකුත් නොකියා ඉන්න තීරනය කලා.

ටිකකින් අත් උදව් දෙන බුවා මට කියනවා,

“සෑර්, අතෙන්ට ටැප් එකක් දාන්න වෙයි!”

“හුහ්, මට කියනවද කොහොමද ඔය ටැප් එක කැඩුවෙ කියලා.”

“ආහ්, ඒක බාස් උන්නැහේට පෑගුනානෙ, ඊයෙ නානකොට”

“මොනවා මනුස්සයො? ටැප් එක පෑගුනා?”

මටත් හිතුනෙ නෑ ටැප් එකක් දාන්න. මම ඔහෙ නිකං හිටියා.
බුවාට මුලින් හෝස් එක ගහලා වතුර ගන්න තිබිච්ච චාන්ස් එක නැති නිසා වතුර බාල්දි උස්සගෙන යනවා මම දැක්කා.

ඒ තවත් කතාවක්.

ඒ කතා දෙකම එකම වර්ගයෙනෙ, නැද්ද? “බාස් උන්නැහෙලා ඔහොම තමයි. ඒගොල්ලන්ට ගානක් නෑ ඔය වගෙ දේවල්!” ඔන්න ඔහොමනෙ අපි ඒවා සධාරණීකරණය කරන්නෙ. එහෙනම් මේන්න අහගන්න.

බාස් බුවා වැඩට එන්නෙ පල්සාර් එකක. බුවා බයික් එක නවත්තන්නෙ පාර මැද්දෙ හන්දා මම කිව්ව ඒක පඩිපෙල ලඟට දාන්න කියලා, පාර අවහිර වෙන නිසා.

දවසක් ගඩොල් ට්‍රක් එකක් ඇවිත් ගඩොල් බාන්න පඩි පෙල ලඟට රිවර්ස් කරනවා වැස්සෙම. ටිකකින් ඔන්න දොර ඇරලා ගඩොල් බානවා.

ඔන්න මේ අස්සෙ මට ට්‍රැක් පනින්න වෙනවා. අපේ ගේ හදන්න මුලින්ම අපි ගෙනාපු ගඩොල් තොගේ බාගෙට හදපු ගේ ඉස්සරහ ගොඩ ගහලා තියෙනකොට, අසල්වැසියෝ ගඩොල් පන්සීය, දාහ වගෙ ඉල්ලාගෙන ගියා එක එක හදිස්සි වලට. “අයියේ, අක්කේ, අනේ බං අර බාස්ලා ගඩොල් නැතුව වැඩේ නවත්තන්න හදන්නෙ, මට ගඩොල් පන්සීයක් දෙනවද, මගෙ ගඩොල් ලෝඩ් එක ගෙනාපු ගමන් ආපහු දෙන්නම්.” ඉතින් ඔය විදියට මගෙ ගඩොල් දෙදාස් ගානක් නොඑන ගමන් ගියා. මම ආපහු ඉල්ලන්න ගියේවත්, එතුමලා ඒවා ආපහු ගෙනත් දෙන්න හැදුවේවත් නැතිබව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඔන්න මේ වෙලාවෙ ඕනෙ වුනේ ගඩොල් 500ක් වගෙ සුළු ගනනක් විතරයි. ඉතින් අර කට්ටිය මාව හොයාගෙන් ඇවිත් අර ගඩොල් ආපහු දෙන්න අහන්න ඇති නේද? හෙහ් හෙහ්. මම අහන්න ගියේ නෑ. මම හාඩ්වෙයාර් එකෙන් අන්තිමට ගඩොල් ගත්තෙ. මොකද බලපු එක පෝරණුවකවත් ගඩොල් නෑ.

ඔන්න ඔය ගඩොල් ටික තමයි අර ට්‍රක් එකේ ආවේ.

ඕන්න බාස් දුවගෙන ආවා, ඇස් ලොකු කරන්.

“වැදුනද, වැදුනද?”

“මොනවද බාස් උන්නැහෙ?”

“මගෙ බයික් එකේ වැදුනද ට්‍රක් එක රිවර්ස් කරද්ද?”

“පිස්සු කතාකරනවද බාස් උන්නැහෙ? ට්‍රක් එක තියෙන්නෙ මෙතන. ඔයාගෙ බයික් එක තියෙන්නෙ අතනනෙ. අපි එච්චර පස්සට ගත්තෙ නෑ. මෙතනන ගඩොල් බාන්නෙ.”

“ඇත්තද? මම හිතුවේ වැදුනා තමයි කියලා.”

පේනවා නේද වෙනස?

ඒ කියන්නෙ බාස් උන්නැහෙලත් අපේ බඩු ගැන වගේ නෙවෙයි, තමන්ගෙ බඩු ගැන හරිම ප්‍රවේසම්, නැද්ද?

මෙන්න මම ආසම කතාව.

මීට දවසකට පස්සෙ, මම ගෙනාව යකඩ පලංචි දෙකක්, යාලුවෙක්ගෙන්. බාස් උන්නැහේලා පලංචි එකහමාරක් විතරක් පාවිච්චි කරන නිසා එක කකුලක් ඔහේ පැත්තක දාලා තිබ්බා. මම ඒක බාස් උන්නැහෙ කෙනෙකුට කිව්වා මේක උඩට දාන්න කියලා. එහෙම කියලා මමයි පුතයි පඩිපෙල දිගේ උඩට ගියා. අර බයික් එක අයිති බුවාගෙ හොඳම යාලුවෙක් වන මේ බුවා, පලංචි කකුල උස්සලා ගත්තා. අරන් රවුමක් කැරකුනා. පලංචි කකුලක් දඩාං ගාලා මොකකද වදින සද්දයක් ඇහුනත් මම ගනං ගත්තෙ නෑ.

පස්සෙ බැලින්නම් අර පොර පලංචිය වද්දලා යාලුවගෙ පල්සාර් එකේ. වයිසර් එක පුපුරලා. පෙට්‍රල් ටැංකිය එබිලා. දැන් හෙන අර්බුදයක්. ඇත්තෙන්ම ඔය පලංචිය හප්පපු බුවා හරිම අප්‍රවේසම්. ටිකකින් පොර දුවගෙන ආවා මා ලඟට.

DSC_0304“සෑර්, මාර අප්සැට් එකනෙ. අරක හදාගන්නෙ කොහොමද? මේ ලඟ තැනක් නැද්ද”

“පෙට්‍රල් ලීක් වෙනවද?

“නෑ, ඒ වුනාට අරයාට හෙන අප්සෙට්.”

මම අත්දැකීමෙන්ම දැනගත්තා මේ එන්නෙ මගේ දත ගලවන්න බව.

“මම දන්න එවුන් මෙහෙ නෑ කවුරුවත්. හිටියත් මේ වෙලාවට වහලා.”

පල්සාර් එක අයිති බුවාත් හරියට, හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මූණ හදාගෙන මා දිහා බලනවා, අරූට ගොරවනවා, ටැංකිය අතගානවා.”

“තමන් ආදරේ කරන වාහනයකට මොනවා හරි වුනාම මාර අප්සෙට් නේද?”

“ඔව් මහත්තයා.”

ඇස් යුගල් කීපයක බලාපොරොත්තුවේ එළි දැල්වුනා.

“මේ බලන්න, මම පෙන්නුවා වෑන් බොඩියෙ තියෙන පලුදු. මේක නුවර පාරෙදි එකෙක් ට්‍රැ‍ෆික් එක මැද්දෙදි කෙලලා ඇරලා. පේනවා නේද?
එතකොට මේක, මේ එක පොරක් මගෙ පාර හරහා කම්බි කණු හිටෝලා මම ඒවා අස්සෙන් රිංගන්න ගිහින්… “

අර බලාපොරොත්තුවේ එළි නිවිලා ගියා.

මට මේ ලැයිස්තුවට එකතු කරන්න තවත් එකක් පලංචිය බයික් එකේ ඇන්න බුවාම හදලා ගිහින් තියෙන බව මම දැනගත්තෙ අපි කට්ටිය රෑ යාලුවෙකුගෙ ගෙදරයන්න හදනකොට. මේකා වීල්බැරෝ එක බිත්තියට හේත්තුකරලා ගිහින් මම වාහනේ හරවාගන්න රිවර්ස් කරන බිත්ති මුල්ලෙම.

ඔබ බ්ලොගර් මිතුරෙකු නම් මගේ ඩෙනිමේ පළවූ මුල් ලිපියට මෙතනින්.

 

ටැග: , , , ,

108. බාස් කතා / ගරාජ් බාස්.

108. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම ‘ගරාජ් බාස්’.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ ‘පවර් ස්ටියරින් ‍රැක්’ එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක. මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, ‘ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,’ කියලා හිතාගෙන.

“මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා,” කිව්වාම මම ගල් වුනා.

හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.

ඔය වගෙ ගැජට් එකක් දැම්මාම අනිවා වාහනේක අලයින්මන්ට් ආපහු තියන්න ඕනෙ. අලයින්මන්ට් කියන්නෙ ඉස්සරහ රෝද දෙක තියෙන්න ඕනෙ කෝණ කීපයක්. මේවා කැස්ටර්, කෑම්බර්, ටෝ ඉන් කියලා තුන් ආකාරයි. ඕක වැරදුනාම ටයර් වල පැත්තක් අධික වේගයෙන් ගෙවී යාම, වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය අපහසු වීම, වගෙ විවිධ රෝගාබාධ හැදෙනවා.

අර ගැජට් එක හයි කරලා ඉවරවෙනකොට රෑ වේගන ආපු නිසා මම ටිකක් අප්සෙට් ගහලා හිටියෙ, අලයින්මන්ට් තියන වර්ක්ෂොප් එක වැහැව්වොත් කියලා, මොකද පහුවදා ගල් පාන්දර දඹුල්ලට යන්න යෙදිලා තිබ්බ නිසා අලයින්මන්ට් තියන්න බැරිවේවි කියලා. එතකොටම අර මගෙ බාස් උන්නැහෙ බුවා කිව්වා, ‘අන්න අහවල් සුලුනගරෙ තියෙනවා අලුත් තැනක්, ගිහින් බලන්නකො නියමෙට කරනවලු’, කියලා.

මාත් අර මම වෙනදට යන තැන බලා වේගයෙන් ගමන් කරද්දි, අර කියපු සුලු නගරෙ පහුවෙනකොට වෙලාව හයත් පහුවෙලා තිබ්බ නිසාත්, අර කිව්ව අලුත් තැන තවමත් ඇරලා තිබ්බ එතැනට ගියා කොහොමද කියලා බලන්නත් එක්ක.

වාහනේ වලට දාලා, කම්පියුටරේට සම්බන්ධ කලා. නමුත් කම්පියුටරේ වැඩ සටහන තෝරන්නෙ අලයින්මන්ට් තියන බුවා නෙවෙයි, සමහර විට හතර, නැතිනම් පහ වසරෙ ඉගෙනගන්න බුවාගෙ පුත්තරයා. අනික මේකෙ අලයින්මන්ට් තියන්න මේ බුවා වැඩි දෙයක් කලෙත් නෑ, ‘කැස්ටර් කැම්බර් නම් හරි, තියන්න ඕනෙ නෑ,’ කියලා පොර කිව්වා. කොහොම හරි බුවා අලයින්මන්ට් තියන ගමන්ම ටයර් කඩේට දුවනවා, ටයර් එකක් විකුණන්න හරි, ගණං කියන්න හරි. ඊට පස්සෙ ආපහු දුවගෙන ඇවිත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙම දුවනවා පැච් එකක් දානවා. ඔන්න ඔය විදියට බුවා අලයින්මන්ට් තියලා රුපියල් අටසිය පනහක ගාස්තුවක් අය කරලා, මාස කීපයක වගකීමකුත් එක්ක මට සහතිකේකුත් නිකුත් කලත්, මට මේ අලයින්මන්ට් තිබිල්ල නම් ඇල්ලුවෙම නෑ.

මට පුදුම හිතුනෙ මේ බුවාට ස්ටියරිං වීල් එක ගලවාගන්න බැරි වෙච්ච එකයි. (අලයින්මන්ට් තිබ්බාම ස්ටියරිං වීල් එක කෙලින් තියෙන්න ගලවලා ආපහු හයි කරනවා නියම අතට.)

මේ බුවා නට් එක ගලවලා ස්ටියරිං වීල් එකට දෝයි දෝයි ගාලා ගහලා ගහලා, පස්සෙ එතනට ආපු යාලුවෙකුටත් කියලා, ඒ බුවත් තවත් ටිකක් පතබෑවත් ස්ටියරිං එක ගැලවුනේ නෑ. පස්සෙ මේකා කිව්වනෙ, ‘අනේ ආපහු ගරාජ් එකට ගිහින් මේක ගලවා ගන්න,’ කියලා.

පස්සෙ ගරාජ් එකට ගියාම බුවා අර පැය කීපයකට කලින් මට නිර්දේශ කරපු අලයින්මන්ට් බාස්ගෙ මව්ගුන වයලා එක පාරින්ම (වන් ෂොට්) වීල් එක ගැලෙව්වා.

පහුවදා ගල්පාන්දර දඹුල්ලට ගිහින් ගෙදර ආවා පට්ට පාන්දර.

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

දවස් කීපයකට පස්සෙ මම අර මගෙ සුපුරුදු අලයින්මන්ට් තියන බුවා හම්බවෙලා කතාව කියලා දැම්මා අලයින්මන්ට් චෙක් කරන්න වලට. පොර වලට බැහැලා දිග ලීවරයක් අරගෙන එහෙට මෙහෙට ඇනලා පෙන්නුවා මට.

අයියෙ ලෝවර් සස්පෙන්ෂන් ආම් බුෂ් එක ගිහින්. මේ!
ආයෙම ඇන්න ලීවරෙන්.

අයියෙ, ටයි බාර් බුෂ් ගිහින්, මේ!

“එතකොට මල්ලි ඒවා ගහන්නෙ නැතුව අලයින්මන්ට් තියන්න බෑ නේද?”

“බෑ අයියෙ, ගිහින් මේ බුෂ් ටික ගහගෙනම එන්නකො.

මාත් ඉතින් ගිහින් බුෂ් ගහගෙන පහුවදා ආවා.

DSC_0199

පොර රුපියල් හත්සිය පනහකට එළකිරි වගෙ අලයින්මන්ට් තිබ්බා. ඇත්තටම මේ බුවා නියම ප්‍රොෆෙෂනල් වැඩ්ඩෙක්. පාවිච්චි කලෙත් ඉතාලියේ නිශ්පාදිත අලුත්ම පරිගණක පද්ධතියක් සහ වැඩ සටහනක්.

පළවෙනි ප්‍රශ්ණය: මේකට ඔය කිට්‍ටුවම තියෙන පවර් ස්ටියරිං ‍රැක් එක දාන්න යට රිංගපු වෙලේ බාස් උන්නැහේ ඔය බුෂ් ටික නොදැක්කෙ ඇයි?

දෙවෙනි ප්‍රශ්ණය: ඇත්තෙන්ම ගලවලා බැලුවාම ගන්නම දෙයක් නැති, මේ බුෂ් ටික දාන්නෙ නැතිව අලයින්මන්ට් තියන්න බැරිනම් අර යක්සයා අලයින්මන්ට් තියලා මට මාස මාස කීයකද වගකීමකුත් එක්ක සහතිකයක් නිකුත් කලේ කොහොමද?

ප ලි: මේ පින්තූරවල තියෙන්නෙ අර ප්‍රොෆෙෂනල් අලයින්මන්ට් බුවාගෙ වර්ක්ෂොප් එක.

ප. ප. ලි.
මේ ලිපිය මුල් වරට පල වුනාම ඇනෝ හිතවතෙක් අහලා තිබුනා එයා බෑග් තියෙන ස්ටියරිං වීල් ගලවන්නෙ කොහොමද මේ වෙලාවට කියලා. ඒ ප්‍රශ්ණයත්, ඒකට මම දීපු පිළිතුරත් මෙතන දාන්නෙ ඒකත් වැදගත් ප්‍රශ්ණයක් නිසා.

  1. Henry
    I can’t understand one thing.As far as I know no need to remove the steering wheel to centre it.Think about a new car with an Air bag.It is a somewhat hard to remove the wheel as first you have to isolate air bag and then after reinstalled it to the safety computer.Can’t do all these without a scanner or proper analyser.

    ReplyDelete

  2. Hi Anonymous. Thanks for the comment. It is like this. The alignment program, at one point displays the on screen message “Now straighten the steering wheel” or something similar to that. The alignment dudes ignore this. When I asked the more experienced dude why won’t he follow that, he said the older vehicles have too much play in the steering system that it won’t really do the trick. And that really would work with the latest vehicles with airbags,” he added.
    I think in the vehicles like that simply straightening the steering wheel would do the trick.

    මෙම ලිපිය මුල් වරට මගේ ඩෙනිමේ පළවූවකි.

 

ටැග: , , , , ,

107. අහසයි, පොළවයි.

107. අහසයි, පොළවයි.

මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා. මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

DSCN0731

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත් ‘මහත්තයා’, ‘නෝනා මහත්තයා’ වගේ ‘නම්බුකාර වචනවලින්’ ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක් ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි) තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන ‘සුලු’ හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම සැර වැඩියි කියලා හිතුනා.) මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක් හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

“මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ. ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ – පනහ බෙදාගම්මු .”

ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක් මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ ‘ක්‍රියාවෙ’ ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි. ධනපාල අයියා එදා මට ගෙවපු ‘සුලු මුදල’ ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත් විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන් ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා.

D

ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

“මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා,” ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

“ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව.” මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

“කීයද ඔය ටෝච් එක”

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

“මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ.”

“ඔ…ඔව්. ඒ වුනාට… එයා ඒක කැඩුවනෙ.”

“හරි, ඒකෙ අලාබෙ තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා.”

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

“ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?” අයිතිකරු විමතියෙන් ඇසුවා.

“නෑ. අදහස වෙනස් කලා. අපි යනවා.”

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්… ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve” යන මාතෘකාවෙන් HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බ්ලොගර් හිතවතුන්ගේ පහසුව සඳහා මේ ලිපිය මගේ ඩෙනිමේද පළකර ඇත.

 

ටැග: , ,

106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි.

106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට  තබා මලෙන් ලියමි.

ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.

එහෙත්…

මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.

මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.

P.S.:
මම යටින්ම දාපු කමෙන්‍ටුවත් මෙතනට ගැලපේවි කියලා හිතෙනවා.

ඔන්න අයින් කලා.

මේ මටත් මගේ වැඩක් බලාගෙන, මගේ දේ හරි නිසා අනිත් උන්ට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගෙන ඉන්න බැරි කමට ලියවෙච්ච ලිපියක්.

කාගෙවත් පෞද්ගලික ප්‍රශ්ණ පැත්තකින් තිබ්බොත්, එදා අතින් අල්ලාගෙන ආරක්ෂා කරපු පෙම්වතිය, අද කෑවද, බිව්වද, ගෙදර ගියාද, නැතිනම් කොහෙවත් මරලා දාලාද, කියලා හොයන්න වත් උවමනාවක් නැතිවීම ගැන ඇතිවෙච්ච කලකිරීමක් විතරයි මෙතන නිමිති කරගත්තෙ.

ඒ වගෙම යම් විදිය‌කට අර අන්තිමට කිව්වා වගෙ සමූහ දූෂනයකට ලක්වෙලා මරලා දාලා තියෙන ගෑනියෙක්ව දැක්කාම හනේ හපොයි කියනවට වඩා එවැනි දෙයක් වලක්වාගන්න පොඩි හරි දෙයක් මට හැකි හැටියට කරන්න මට හිතුනා.

ඉඳගෙන සාකච්ඡා කරන්න අනිත් උන් ගත්ත උත්සාහ අසාර්ථක වෙච්ච බව මම මේ ලිපියෙම සඳහන් කරලා තිබුනා.

‘ලු’ ප්‍රත්‍යයෙන් යොදන්න වෙන පසුබිම් කරුණු මම ලියුවේ නැහැ.

මේ සම්බන්ධයෙන් ‘මල පැනීම’ ගැනවත්, බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැනවත් මම පසු තැවිලි වෙන්නෙ නැත්තෙ, තවමත් අනිකා ගැන පොඩ්ඩක් හෝ සංවේදී වීමේ ගතිය බින්දුවක් හෝ මා තුල ඉතිරිවී ඇති නිසා වෙන්න ඇති කියලා හීනියට ආඩම්බර වෙන නිසයි.

පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.
ඩූඩ් කියන එකා ඒ ටික විතරක් කිව්වා කියලා මතක් තිබුනොත් ඇති.

 

ටැග: , , , , ,