RSS

104. යුරේකා!!!!!

04 Jan
104. යුරේකා!!!!!

ජනවාරි පළමුවෙනිදා පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි, කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.DSCN2178

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.

අපි බෙලිහුල් ඔයෙන් ආපහු හැරුනේ දවසෙන් ආපහු එන්න ඕනෙ නිසයි

DSCN2733 DSCN2245මුලින්ම කියවලා ඉන්නකො මම දෙදාස් එකොලහේ නොවැම්බර් මාසෙ,  ලියපු, “මෙන්න මෙතනිං කපපං මචං’ කියන මේ ලිපිය.

මුල් ලිපිය කියවන්න කැමති නම් මෙතන කොටන්න.

මට ඒ මුල් ලිපියට වෙනස්කම් කීපයක් කරන්න වුනා මීට දවස් කීපයකට කලින් සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා. මේ තියෙන්නෙ ඒ සංශෝධිත ලිපිය.

‘මෙන්න මෙතනිං කපපං මචං!’

මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, රිචර්ඩ්, ජනක වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය.

දවසක් ජනකලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි සෙල්ලම. ජනකලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා, රිචර්ඩ්ලා ගමේම කොල්ලො.

රිචර්ඩ් ඇහුවා, “උඹලා දන්නවද මචං පොල්පිති ගොන්නු හදන්න?” කියලා.

අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං, මචං,” රිචා ජනකට කිව්වා. ජනකයා උගේ මනෝමය කාර් එකේම ‘බෲම්’ කියාගෙන ගිහින්, ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා, පාක් කලා කාරෙක. ජනකයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.

ඔන්න රිචා ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම.

මූ සෑහෙන ලොකු ගොනෙක්!

ජනකයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” රිචා පිහිය අමෝරාගෙන කිව්වා.

ජනකයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා,

“මෙතනිං කපපං මචං.” කිව්වා.

රිචා ‘ඩකාස්’ ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක, ජනකයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. ජනකයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය, ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

ජනකයගෙ ල‍තෝනියට ජනකගෙ අම්මා, කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා!

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා! මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා. රිචා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපේ තාත්තා බයික් එකේම ගිහින් ජනකගෙ තාත්තයි, කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරි නම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ ජනක ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ. ඉස්කෝලෙ කොල්ලො ජනකයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම ජනකට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා,” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම ජනකව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු ජනක ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ජනක නම් කරුණාකර මට ඊයක් එවන්න. නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

ඉතින් ඔන්න ඔහොමයි වුනේ. ඒ හරියටම අවුරුද්දයි මාසෙකට කලින් ලියැවුනු ලිපියක්.

මට තියෙනවනෙ අතීතය හොයාගෙනෙ යාමේ පුරුද්දක්. ඉතින් හරියටම 2012හේ දෙසැම්බර් තිස්වෙනිදා, අර රෝඩ් ට්‍රිප් එක ගියාම, මම අපේ පුතාට මම මුලින්ම ගිය ඉස්කෝල කීපයක් පෙන්නුවා. මම පොඩිකාලෙ කොන්වන්ට් එකකට ගියා කිව්වාම කොල්ලාට අදහාගන්න බැරිව ගියා. මේ තියෙන්නෙ, ඒ කොන්වන්ට් එක අද.

DSCN2472ටික වේලාවකින් මම වැලිහරනාව පාරට හරවලා පැරණි මතක මාවත දිගේ රිය පැදෙව්වා. අපි හිටපු ගේ වෙනුවට එතන වෙනත් ගෙයක්. නමුත් නවීකරණය වූ හා නොවූ ගෙවල් මග දෙපසම තිබුනා. (මේ මම අතීත මතක හොයාගෙන මෙතනටම ගිය තුන්වෙනි වතාවයි. අනිත් දෙපාරම කලබලෙන් ගියේ.)

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ප‍ටු පාරේ අපහසුවෙන් රිය නැවතූ මම, මුලින්ම මිස්ට අන්ද්‍රාදි ගැන හොයලා බැලුවා. ඒ මිනිස්සු, මම මුලින් හිතපු විදියට, මා දිහා සැකෙන් බැලුවේ නෑ. අර ඇඟිල්ල කැපුනු සිද්දිය ගැන කිව්වාම ලැබුනේ ඉහල ප්‍රතිචාරයක්. හැමෝටම ඒ සිද්දිය මතකයි.

කොහොමත් මේ ප්‍රදේශයේ බහුතරයක් වන, බලංගොඩ ක‍තෝලිකයෝ ගැන කිවයුතුම දෙයක් නම්, අපි හිටපු කාලේ, පොසොන් තොරණ ගහන්න මූලිකත්වය අරන් වැඩ කලේ, බෞද්ධයන්ටත් වඩා ක‍තෝලිකයෝ. වෙන මොකුත් කියන්න අවශ්‍ය නෑනෙ.

අන්ද්‍රාදි ගෙදරින් ලැබුන තොරතුර අනුව ඉස්සරහා කඩේ අයිති රිචර්ඩ්ට. මම මුල් ලිපියේ, ඇඟිල්ලට කෙ‍ටුවේ ටෙනිසන් කියලා ලියලා තිබුනේ මතකයේ තිබුන අඩුවක් නිසා. මම අන්ද්‍රාදි ගෙදරට ගිහින් මේ ගැන අහනවා බලා හිටියේ, කඩේ වැඩ කරමින් හිටිය රිචර්ඩ්ගෙ බිරිඳ. මම කඩේට ගිහින් මේ ගැන කියනකොටත් ඇයට කතාව ඇහිලා තිබුනේ. මුව පුරා සිනහවෙමින් මා පිළිගත් ඇය, රිචර්ඩ් මේ මොහොතේ ‍රැකියාවට ගොස් ඇති බව කිව්වා. එතනම හිටිය පැට්‍රීෂියා “ඇයි මාව මතක නැද්ද?” යයි මගෙන් ඇසුවා.

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්...

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්…

ජනක දැන් ඉන්නෙ නුවර බවත් ඔහු තවමත් ඉඳහිට මේ පැත්තෙ එන බවත් දැන ගත්තා. රිචර්ඩ්ගෙ දුරකතන අංකය ලබාගත් මම, පස්සෙ ඔහුට කතා කලාම, ඔහු මා වගේම සතු‍ටු වුන බව මට කට හඬින්ම තේරුනා. තව දිනකින් ආපසු යාමට තිබෙන නිසා දැක ගන්න අවස්තාවක් නොලැබුනත්, ලබන නිවාඩුවේ අනිවාර්‍ය අංගයක් වන්නේ රිචර්ඩ්ව මුණගැහීම බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇයි ජනක!

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

තවත් කිවයුතු දෙයක්නම් මම මුල් ලිපියෙ සඳහන් කරපු මේ වාක්‍යය:
“කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ.”
මම කුමාරසිංහලා ගැන ඇහුවාම රිචර්ඩ්ගෙ ප්‍රිය බිරිඳ ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“ඒ අංකලුයි ආන්ටියි දෙන්නම නැතිවුනා. නමුත් හරිම හොඳ මිනිස්සු. අච්චර දෙයක් වෙලාත් රිචර්ඩ්ලා එක්ක තරහ වුනේ නෑනෙ.”

අන්න මිනිස්සු!

“කෝ අර මෙතන තිබ්බ ටැප් එක?”

“අඩේ මේ රිචාලගේ ලයිට් මීටරේ නම් එදා තිබ්බ එකමද කොහෙද”

වගේ උදාන වාක්‍ය කිය කිය මම එහෙ මෙහෙ ඇවිදිනවා බලා සිටි දීපා, ඇත්තටම හෙන්රි මෙහෙ ඉන්නකොට ඔයාට කොච්චර විතර වයසද? කියලා ඇහුවා. “අවුරුදු නවයට අඩුයි,” කියලා මම කිව්වාම, “ඔයාට පුදුම මතකයක්නෙ තියෙන්නෙ! කියලා ඈ සුපුරුදු ලෙස, පුදුම වුනා.

ප ලි:

එදා රෑ කෑම කෑවේ ඒ කේ එම්ගේ අඩවිය ලියන අකමාගෙ ගෙදරින්. අකමා අකමැති වෙයිද දන්නෙ නැති නිසා මෙයිට වඩා විස්තර ලියන්නෙ නෑ. නමුත් ඒ ආගන්තුක සත්කාරය නම් හරිම ඉහලයි.

ඒ විතරක්ද!

මේ නිවාඩුව ආමාශය හා සම්බන්ධ එකක්. ඒ ගැන මම ඊ ලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

2013, ඔබ සැමට පැතුම් ඉ‍ටුවන,
වාසනාවන්ත වසරක් වේවා!

 

ටැග: , , , , ,

18 responses to “104. යුරේකා!!!!!

  1. රාමා

    ජනවාරි 4, 2013 at 8:58 පෙ.ව.

    හොඳ යාළුවෝ !!

    හෙන්රි අයියා මුණ ගැහෙන්න හිටියත් වුනේ නැහැ. ටික දවසක් විතර රටේ හිටියෙත් නැහැ🙂. වැඩේ කියන්නේ 29,30 දවස් වල මාත් බලංගොඩ හිටියේ. දැන ගත්තනම් ඇවිත් යනවා ඔතනට

     
    • henryblogwalker

      ජනවාරි 4, 2013 at 8:20 ප.ව.

      කොහෙද රාමා ගිහින් හිටියේ? ලබන නිවාඩුවට හමුවෙමු රාමා.
      අපරාදෙ, ඊලඟ පාර ෆෝන් නම්බර් හුවමාරු කරගම්මු වේලාසනම.

       
  2. Ayilas A

    ජනවාරි 4, 2013 at 10:42 පෙ.ව.

    ලස්සන පොස්ට් එකෙක් හෙන්රි. මටත් ඔය අතීතය හොයාගෙන යන පුරුද්ද තියෙනවා.

    හෙන්රිට සහ පවුලේ සැමට සුබ නව වසරකට අසිරි…!!!!

     
    • henryblogwalker

      ජනවාරි 4, 2013 at 8:20 ප.ව.

      අයිලාස්ටත් එහෙම පුරුද්දක් ඇති බව අහන්නත් සන්තෝෂයි. ඉතින් එහෙම ගිහින් සාර්ථක වුනාද?
      අයිලාස් පවුලටම සෞභාගයමත් නව වසරක්!

       
  3. R.p. Susantha

    ජනවාරි 4, 2013 at 10:44 පෙ.ව.

    මුන ගැහෙන්න බැරි වුනා නොවැ. කමක් නැහැ. ඔබට සුභ නව වසරක් වේවා!!

     
    • henryblogwalker

      ජනවාරි 4, 2013 at 8:21 ප.ව.

      වෙලාව තමයි ප්‍රශ්ණෙකට හිටියෙ වෙදනා. එන පාර මුලින්ම කරන්න ඕනෙ දෙයක් හැටියට මතක තියාගන්න ඕනෙ. අඩු ගානෙ වෙදනගෙ ගැඹුරු කටහඬ ඇහුවනෙ ෆෝන් එකෙන්. :

       
  4. Kenji @ Japan

    ජනවාරි 4, 2013 at 1:32 ප.ව.

    ලැබුවාවූ නව වසර ඔබ ඇතුළු පවුලේ සැමට සුභ වසරක් වේවායි පතමි!

     
  5. ccm

    ජනවාරි 4, 2013 at 1:39 ප.ව.

    Dear Mr. Henry,

    Have you been at Yakkala, Ambagahalanda Mawatha, I mean your residance.

     
    • henryblogwalker

      ජනවාරි 4, 2013 at 8:25 ප.ව.

      Hi ccm,
      Please don’t call me mister. Just Henry is fine.😀
      ccm, I may have passed that place, but it’s not my residence. I live in Gampaha district, on the Colombo – Pugoda road, or Gampaha – Pugoda road.

      Happy New year to you, and your family, ccm!

       
  6. Kenji @ Japan

    ජනවාරි 4, 2013 at 1:57 ප.ව.

    බත් ගෙඩි ටික බැදගෙන යන්න කෙහෙල් කොල හොයාගන්න ලැබුනෙ නැද්ද.ට්‍රිපක් යද්දී හින්දපු පරිප්පුයි,ඇබුල් තියල් මාලුයි,කරවල බැදුම එක්ක පොල්මැල්ලුම උදේ පාන්දර රත් කරපු කෙහෙල් කොලේ ඔතාගෙන ගිහිල්ල පැය 8-10 ට පස්සෙ කන්න දිග අරිද්දි එන කෙහෙල් කොළ සුවදයි ලාවට කෑමවලින් එන්න හදන පිලිනු සුවදත් දැනෙන්න ගත්ත පින්තුරෙ දැක්කම මතක් වෙල.

     
    • henryblogwalker

      ජනවාරි 4, 2013 at 8:22 ප.ව.

      හෙහ් හෙහ්, කෙන්ජි. මචං මේවා නම් මගින් (ඇහැළියගොඩින්) ගත්ත කෑම පාර්සල් වගයක්. රත්නපුරේදි කන කොටත් රස්නෙයි. අනික ඔය උදේ නැගිටලා උයාගෙන යන එක ඇණයක්. මොකද ඒකෙන් එච්චර ප්‍රයෝජනයක් නෑ දවස් කීපයක ට්‍රිප් එකකට. අපි නම් කන්නෙම පිටින්.
      හැබැයි අර පොඩී ගෑස් සිලින්ඩරේට හයි කරපු ලිපක් නම් ගන්න හිතෙනවා මගදි තේ/කෝපිහදන්න. විශේෂයෙන්ම රෑ දොලහත් පාන්දර හයත් අතර වාහන පදවනකොට එන නිදිමත නැතිකරගන්න. ෆ්ලාස්ක් එකේ දැම්මට එච්චර සාර්ථක නෑ.

       
      • Kenji @ Japan

        ජනවාරි 5, 2013 at 10:08 පෙ.ව.

        පොඩි ලිපට පැත්තෙන් ගෑස් කෑන් එක සවි කරන [ස්ප්‍රේ පේන්ට් කෑන් එක සයිස්] ලිපක් ගෑස් කැන් ටිකක් එක්ක වාහනේ තියාගත්තනම් හරි වටිනවා.

         
        • henryblogwalker

          ජනවාරි 5, 2013 at 1:12 ප.ව.

          ලංකාවෙ තියෙනවා කෙන්ජි, ‘ලාෆ්ස්’ ගෑස් එකේ හදන, ෆුට් බෝලයක් තරම් සිලින්ඩරේ උඩ හයි කරපු පොඩි ලිපක්. තුන්දාස් ගානක් මම හිතන්නෙ. අන්න ඒක නම් වටිනවා. රී‍ෆිල් කරන්නත් පුලුවන්නෙ.

           
  7. ravisandu

    ජනවාරි 6, 2013 at 10:34 පෙ.ව.

    / නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන් /

    හෙන්රි කොල්ලො , උඹේ මම අගය කරන එක ගතිගුණයක් තමා ආය තමන්ට වෙන වාසි අවාසි ගැන නොබල ලබ්බ ගලේ ගැහුව වගෙ ඇත්ත කියල දාන එක..දැන් බලාපං වෙන මොන එකාද වැකේෂන් ඇවිල්ලත් ගෝලයෙක් හැටියට වැඩ කලාය කියල කිසි ගානක් නැතුව කියන්නෙ..දාපං මල්ලි පහක්…අන්න මිනිස්සු..මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා මචං..මොකෝ මෝල්ඩිව්ස් පැත්තෙ එච්චරම සොච්චං පඩියක්ද බං හම්බ වෙන්නෙ?..අනේ බං…මොකටද ඔහොම රස්සා?…මෙන්න මෙහෙ වරෙං ආපහු….

    අනික ඔය අතීත මතකාවර්ජන පසුපස හඹා යාම…ඒ ගැන පොඩි විස්ලේසනයක් කලොත්…ඔය ගැන මම අහල තියෙන ටික මෙන්න මෙහෙමයි…

    ” නිරතුරු අතීතාවර්ජන හඹාගොස් එහි නිමග්නව අතීතකාමයෙහි හැසිරෙන්නාවූ යමෙක් වේද ඔහු වර්තමානයෙහි ඉච්ඡා භංගත්වයෙන් පෙළෙන්නේය.වර්තමානයෙන් පළායාම හේ පීඩන මෝචන කපාටයක් මෙන් උපයෝගී කොට ගන්නේය. ” 🙂🙂🙂

    Happy new year Machan , to you, Deepa & Kids !!!

     
    • henryblogwalker

      ජනවාරි 6, 2013 at 10:47 පෙ.ව.

      ඇත්ත බං. ගෝල වැඩේටත් එහා වැඩේනෙ බාස්ලට කඩේ යන එක. එකපාරක් රුපියක් 189ක ජොයින්ට් එකක් හොයන්න මම රුපියල් හයසීයකට වඩා ඩීසල් පුච්චගෙන වරුවක් හාඩ්වෙයා එකක් ගානෙ කඩේ ගියා.

      අර උඹ උපුටාගත්ත එක වගේ තව එව්වා තියෙනවා. මම එක සීරීස් එකක දැක්කා එක පොරක් හරි ආසයි පවර් ටූල්ස් වලට. පොරගේ දුව එක්ක ඩේට් එකක් එක්ක යන්න එන බුවා කියනවා, ඌත් අහලා තියෙනවලු Dudes who love power tools feel that they are sexually inadequate.” කියලා. අරූ තව පොඩ්ඩෙන් මැරුම් කනවා.😀

      මම නිරතුරු අතීතාවර්ජනයේ නොයෙදුනත්, පරණ යාලුවෙක් හම්බවුනාම කියන්න බැරි රසයක් ලබනවා. ඒ වෙනුවෙන් ඉච්ඡාභංගත්වයෙන් පසුවෙනවා කියලා අහගත්තත්, මම මම තමමත් අර විනෝදාංශයට කැමතියි. ඒක වටිනවා.🙂

       
      • ravisandu

        ජනවාරි 6, 2013 at 11:39 පෙ.ව.

        පවර් ටූල්ස් කතාව නම් නියමයි. මම කලින් අහල තිබුනෙ නෑ.

        / මම නිරතුරු අතීතාවර්ජනයේ නොයෙදුනත්, පරණ යාලුවෙක් හම්බවුනාම කියන්න බැරි රසයක් ලබනවා. ඒ වෙනුවෙන් ඉච්ඡාභංගත්වයෙන් පසුවෙනවා කියලා අහගත්තත්, මම මම තමමත් අර විනෝදාංශයට කැමතියි. ඒක වටිනවා. /

        යකෝ..ඕකනෙ උඹත් එක්ක බැරි?…ජිහ්වය කපෝලාභ්‍යන්තරයෙ ගටා ( Tongue in cheek ) කියපු කතාවක්නෙ උඹ ඔය සිරා අරගෙන තියෙන්නෙ..🙂🙂

        මම නම් හෙන් රි නිතරම අතීතාවර්ජනයෙ යෙදෙනව..ඒ වගෙ සතුටක් වෙන මොනවයින්වත් ලබන්න බෑ බං…විශේෂයෙන්ම මේ වැලි කතරෙ තනි වෙලා ඉන්න අපිට බොහෝ වෙලාවට එකම සැනසුම අතීතාවර්ජනය විතරයි…

        / එකපාරක් රුපියක් 189ක ජොයින්ට් එකක් හොයන්න මම රුපියල් හයසීයකට වඩා ඩීසල් පුච්චගෙන වරුවක් හාඩ්වෙයා එකක් ගානෙ කඩේ ගියා. /

        යකෝ ගම්පහ මාර දියුණුයි නෙව, දැං හාඩ්වෙයාර් වලත් ජොයින්ට් විකුණනවද?…අඩේ 189 නම් අත උඩිං වටිනව..මේ පහුගිය පාර ගෙදර ගිහිල්ල මම එකක් ගෙන්න ගත්තෙ 500 ක් දීල. ඒත් යන්තං විනාඩි දහයක් තියෙන්න ඇති..කිසි වැඩක් නෑ.

        උඹ ඉතිං මචං බාස්ල වැඩ කරනකල් ඒක ඇද ඇද ඉන්ට ඇති නේද කිං පයිසාල් වගෙ..හෙහ්, හෙහ්, මට මැවිල පේනව බං..ඔන්න බාස්ල ගිනිරාමෙට වැඩ. සිමෙන්ති අනනව…ගඩොල් බඳිනව…ඕසෙට..උඹ ඒ ළඟම ගහක් යට..අපි කියමු අඹ ගහක් කියල..යට බද්ධ පර්යංකයෙන් වැඩ හිඳ අත් දෙකත් දණිස් උඩ තියාගෙන ඉන්නව ඈත බලාගෙන..අඩවන් දෑසින්….හෙහ්, හෙහ්,

        ” අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මේ යයි විගසින් ” …වික්ටර් කිව්වෙත් ඔය ගැනනෙ බං…හැමෝම හිතාගෙන ඉන්නෙ ඔය වික්ටර් කිව්වෙ වෙන මඟුලක් කියල නෑ…වික්ටර් අදහස් කලේ මේ මම කියන එක…ආය මොනවද කියන්නෙ?..වික්ටර්මයි මට කිව්වෙ …කිව්වට විස්වාස කරපං…

        ප.ලි – Deliberately misunderstanding කියන්නෙ මම බොහොම කැමති ඒ වගේම නිතරම කරන දෙයක්…ඔහොම චේතනාන්විතව වරදවා වටහා ගෙන අනම් මනම් කියල මම අපෙ ලොක්කිගෙන් බැණුම් අහල ඇති ලෝකයක් නැතුව…හෙහ්, හෙහ්,

         
  8. iamdeejay

    ජනවාරි 14, 2013 at 12:15 ප.ව.

    එත් තවම ඒ යාළුවෝ දෙන්නා දකින්න බැරිවුන නිසා මම හිතන්නේ ඔයාට ආයෙමත් බලංගොඩ පැත්තේ යන්න වෙවි.

    සමහර විට අකමා ජගත් ගැන තොරතුරක් හොයලා දෙන්න පුළුවන් ඊළග නිවාඩුවට යන්න ඉස්සෙල්ලා. අකමා ඔයාටයි, ඔයාගෙ අම්මටයි, නංගිටයි ස්තුතියි.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: