RSS

105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

06 Jan
105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

Simulblogged at මගේ ඩෙනිම.Originally published at HeyDude.

හැම දෙසැම්බර් 31 වෙනිදාටම මම සිගරට් බීගෙන බීගෙන යන්නෙ පිස්සු හැදිලා වගේ. ඒකට හේතුව, හැම ජනවාරි පළවෙනිදටම, අලුත් අවුරුදු අධිෂ්ඨානයක් හැටියට, මම සිගරට් බීම නවත්තන නිසයි. කිව්වත් වගේ වැඩේ නැගලා යනවා. 

 මම ජනවාරි පළවෙනිදට සිගරට් දිහා බලන්නෙ වත් නෑ. බොහෝවිට දෙවෙනිදත් එහෙමයි. ඔය තුන්වන දිනයත් හැටවන දිනයත් අතරෙදි තමයි වැඩේ චොර වෙන්නෙ. මට ඕනෙ වෙනවා, මම ඇත්තටම සිගරට් බීම අතෑරලා, නිකොටීන් ලෝලිත්වයෙන් මිදිලද කියලා දැනගන්න. ඉතින් මම සිගරට් එකක් බීලා බලනවා. පස්සෙ තව එකක්… ඊටත් පස්සෙ තව එකක්… මම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන ඇති බව මටම ඔප්පු කරන්න. ටික දවසකින් බැලින්නම් ආයෙම මම හිටපු තැනමයි.

මට මතකයි මම දවසක් ජගත්ට කියනවා, (ජගත් දැන් ඉන්නෙ පැරීසියේ), මම සිගරට් එකක් පත්තු කරන ගානෙ, මම මේ වැඩේ  ඉක්මනින්ම නවත්තන්න ඕනෙ කියලා හිතන බව.

ජගත්ටත් තිබුනෙ ටිකක් වෙනස් විදියකට, සම්මතයෙන් ඔබ්බට , හිතන ගතියක්.

“උඹට ඇත්තෙන්ම සිගරට් බීමෙන් කික් එකක් තියෙනවද?” ජග්ගා ඇහුවා.

“නැත්නං යකෝ, සිගරට් බොයිද?”

“එහෙනං මචෝ, සිගරට් බීම නවත්තන එකේ තේරුමක් නෑ. මේ ජීවිතේ, නීති විරෝධී නොවන,  යම් දේකින් තමන්ට කික් එකක් ලැබෙනවා නම් ඒක නවත්තන එක මෝඩ කමක්.”

මම ජගත් එක්ක කිසිසේත්ම එකඟ නොවුනත්, මම සිගරට් බීම නවත්තපු හැම විටම මට ඔය කතාව මතක් වුනා. (ජගත්, උඹ මේක කියවනබව මම දන්නවා. කියාපං බලන්න දැනුත් මොනවා හරි.)

ඔය දුම් විරෝධී සංවිධාන මොනවා කිව්වත්, ඇත්තෙන්ම මම සිගරට් බීමෙන්, ලොකු තෘප්තියක්, රසයක්, සහනයක්, සරලව කිව්වොත් ආතල් එකක් ලැබුවා. ඇතැම් විට කාලය ගෙවා ගන්න, තවත් විටෙක, ගෙදරින් පිට සිටින සාංකාව නැති කර ගන්න සිග‍රැට්‍ටුව හිතේෂී මිත්‍රයෙක් වුනා මට. එතකොට ඔය ආතතිය, ජීවිතය ගැන බලාපොරොත්තු රහිතව හිටි යුගවල දැනුන ඉච්ඡා භංගත්වය, සමනය කරගන්නත් සිගරට් උරන්න මම පුරුදු වෙලා හිටියා. කොටින්ම දුකට, සතුටට දෙකටම සිගරට් උදව්වක් වුනා. මම ඉන්න ඕනෙම මානසික තත්වයකට, සිග‍රැට්‍ටුව නියමෙට ගැලපුනා.

මිත්‍ර  සමාගම තවත් රසවත් කරපු සිගරට්,  නැතුව ‘සෙට් වෙන්නෙ’ කොහොමද කියන එක හිතාගන්නවත් බැරි වුනා. ආහාර වේලක් සම්පූර්ණ වුනේ සිගරට් එකක් බිව්වට පස්සෙයි. තේ, කෝපිත් එහෙමයි. සමහර වෙලාවට, සිගරට් එකක් බොන්න  නිදහසට කාරණයක් හැටියට, අමතර තේ කෝප්පයක් බීපු වෙලාවල් ඕනෙ තරම්. සිගරට් එකක් නැතිව වැසිකිළියට යාම හිතාගන්නත් බැරි භයංකාර දෙයක්.  තවත් දෙයක්. සිගරට් එකක් ඉතුරුවෙලා තිබුනොත්, මහ රෑ නැගිටලා හරි ඒක ඉවර කරලා තමයි ආපහු නින්දට යන්න පුලුවන් වුනේ.

සිගරට් බීම නවත්තන්ම අවංක චේතනාවක් මට තිබුනා. සිග‍රැට්‍ටුවක් දල්වාගන්න හැම විටකම මම සිගරට් බීම නවත්තන්නට සුදුසු, ජනවාරි පළවෙනිදා, මගේ උපන් දිනය, දරුවන්ගෙ, බිරිඳගෙ  උපන් දින, විවාහ සංවත්සරය වගෙ,  ඊ ලඟ නැකැත් දිනය, ගැන හිතුවා.

වතාවක් මම සිගරට් බීම නවත්තලා අවුරුද්දකට වඩා හිටියා  අන්තිමේදි කාලෙකට පස්සෙ මුණ ගැහුන මගේ මචං කාරයා එක්ක ‘සෙට්’ වෙනකල්ම.

සිගරට් බීම මගෙ සෞඛ්‍යයට වගේම, ආර්ථිකයටත් මරු පහරක් වුනා. මට නිතරම තිබුන අර “smokers’ cough” නැතිනම් ‘සිගරට් කැස්සෙන්’ මම පීඩා වින්දා. එක් වතාවක් මගේ පෙනහල්ලකින් ආ වේදනාවකට කරන්නට සිදුවූ  වෛද්‍ය පරීක්ෂනයේ  වාර්තාව එනකල්, මම හිටියේ නොමැරී මැරෙමින්. මට නොහිතුන දෙයක් නෑ. අන්තිමේදි ඒ සෙම අවහිරවීමක් බවත්, එක්ස්පෙක්ටරන්ට් සිරප් එකකින් විසඳිය හැකි තත්වයක් බවත් දැනගත්තාම මට දැනුන සහනය, ඇති වූ ප්‍රීතිය වචනයට නගන්නට බෑ.

දුම්බීමෙන් ඇතිවූ ළය පිළිකාවක් ගැන පොතක් කියවූ හෝ, චිත්‍රපටියක් හෝ වාර්තා වැඩසටහනක් නැරඹූ හෝ හැම විටෙකම, මගේ දුම්බීමට ආයුබෝවන් කීමේ ඕනෑකම දැඩිවුනා.

ඒ වගේම නිකොටීන් වලින් කහ පැහැ ගැහුණු මගේ දකුණතේ නිය සහ දත්වල පසු පස දකින හැම විටෙකම මම සිතෙන් දුම්බීම හා යුද වැදුනා. එමෙන්ම දුම්බොන්නාට ගානක් නැති වුනත්, ඔහුගේ ඇඳුම් වලින් සහ, කටින් හමන සිගරට් ගඳ නිසා, අවට සිටින්නන්ට අලු බඳුනක් (ash tray) ලඟට පැමිණියාක් මෙන් දැනෙන බවත් මම නොදැන හිටියා නොවේ.

සිගරට් බොන කාලයේ මගෙ අතේ මාරු කාසි කියන දේ නම් ‍රැඳුනේම නෑ.

ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ ඒකාධිකාරය දරන සිලෝන් ‍ටුබැකෝ සමාගමේ නිතර ඇතිවුනු වැඩවර්ජන නිසා, දිවයින පුරා උග්‍ර සිගරට් හිඟ විටින් විට ඇතිවීම සාමාන්‍ය දෙයක් වුනා. එවැනි තත්වයන් වලදී කඩ හිමියන් කලේ තමන්ගේ නිත්‍ය ගණුදෙනුකරුවන්හට පමණක්, හිඟයේ බරපතල කමට සමානුපාතිකව, කළුකඩ මිලට, සීමිත සිගරට් ප්‍රමාණයක් අලෙවි කිරීමයි.

මේ කලුකඩ මිලත් තීරණය කලේ කඩ හිමියායි. “මමත් මේ අපෙන් හැමදාම සිගරට් ගන්න මහත්තයලට ඕනෙ නිසා හෙන ඈත ගිහින් බ්ලැක් මාකට් ගානට තමයි ඕක හොයාගෙන ආවේ,” යයි ඔහු  එය සාධාරණීකරනය කරන්නට තැත් කලත්, එහි ඇත්ත නැත්ත ගැන අපි නිතර සැක කලා. සිගරට් හිඟය අති උග්‍ර වෙද්දී, අන්න අර පලාතේ අහවල් කඩේ සිගරට් තියෙනවා, මෙන්න මේ ගානට යන දූෂමාණ ආරංචිය ඔස්සේ, කිලෝමීටර් විස්ස, තිහ රෝද දෙකේ හෝ හතරේ වාහන වලින් කෙනෙක් ගමන් කිරීම එතරම් අරුමයක් නෙවෙයි. මේ පුදුමාකාර කැපවීමත්, උනන්දුවත්, ජීවිතේ අනිත් රාජකාරි වලටත් දැක්වුවානම්!

වැඩිහිටියකු වුවත්, මා කිසිදා මගේ දෙමාපියන් ඉදිරියේ සිගරට් බිව්වේ නැහැ. මා සිගරට් බොන බව ඔවුන් දැන සිටියා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔබ ලාංකිකයෙක් නිසා (ඔබ මෙය සිංහලෙන් කියවන බැවින් මා එසේ උපකල්පනය කලා) අපේ දෙමාපියන්ට ගෞරව කිරීමේ වෙනස්ම ක්‍රම ඇති බව වටහාගන්නට අපහසුතාවයක් නෑනේ. අම්මලා, තාත්තලා, පුතාලා එකට වටවෙලා මත්පැන් තොල ගාන, තාත්තා පුතාගේ සිගරට් එකෙන් ගින්දර ඉල්ලාගෙන තමන්ගෙ සිගරට් එක දල්වන පවුල් ලංකාවේ හිටියත්, මම එන්නේ එහෙම පවුලකින් නොවේ.

මම මෙයින් අදහස් කලේ අපි හරි බවවත්, එහෙම කරන අය වැරදි බව දක්වන්නවත් නෙවෙයි. ඊ ලඟට මට කිවයුතු දේ වඩා පැහැදිළි වෙන්නයි.

ඒ වගේම. මම කිසිදා අපේ දරුවන් ඉදිරියේ සිගරට් බිව්වේ නෑ. එකක්, අක්‍රීය දුම් පානය, සක්‍රීය දුම් පානයටත් වඩා බයානක බව කියැවෙන නිසා එහි ඇති සෞඛ්‍යමය තර්ජණය. අනික නරක ආදර්ශය.

සමහර විට සිගරට් එකක් නිසා මම බස් රිය වරද්දාගත් අවස්ථාත් එමට තිබුනා. ඔය බස් වලටත් තිබූනනෙ අර මර්ෆිගේ නීතියෙන් (Murphy’s Law) අපිට හැකි හැම විටම නෙලන පුරුද්දක්. ඒ කියන්නෙ , වරු ගානක් බලා ඉන්නවා බස් එක එනකල් සිගරට් එකක් වත් නොබී. අන්තිමේදී, බැරිම තැන, එකක් පත්තුකරලා උගුරු දෙක අදිනකොට ඔන්න බස් එක වංගුවෙන් මතුවෙනවා.

ඒ කොයි හැටි වෙතත් බස් එකේදී සිගරට් බීම තහනම් කරපු එකට, මම ඒ කාලෙත්, ඒ කියන්නෙ සිගරට් බොන කාලෙත්, කැමතියි.

මම කිසිදාක මගේ දරුවන්ට බොරු කියලා නැහැ.  නමුත් දවසක් අපේ චූටි පුතා මම සිගරට් බොනවද කියලා අහපු දවසේ ඉතාම අකමැත්තෙන් මට පළවෙනි බොරුව කියන්න සිදුවුනා. නමුත්, මට, මම හිතූ තරම් වරදකාරී හැඟීමක් ඇති නොවුනේ, වෙනදා වගේම, මම නුදුරු අනාගතයේදීම,  සිගරට් බීම නවත්තන්න හිටි නිසා වෙන්න ඕනෙ. පුතා ඊ ලඟට ඇහුවෙ ඇයි මම සිගරට් නොබොන්නෙ කියලා. ඒක පිළිතුරක් හැටියට මම සිගරට් බීමේ ආදීනව ගැන දිග කතාවක් පැවැත්තුවා. චූටි පුතත් හැම වචනයක්ම හරිම උනන්දුවෙන් අහගෙන හිටියා මට මතකයි.

ඔන්න මගේ ජීවිතේ ඉරණම වෙනස් කල ඒ තීරණාත්මක දවසටත් එලිවුනා.

එදත් බාස් උන්නැහේලා අපේ ගේ හදමින් සිටි දවසක්.  මමත් උකුස්සා වගේ ඒ අය කරන දේ බලාගෙන හිටියේ. (ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ.) ඉතින් ගෙදර දූවිල්ල වැඩි නිසාත්, නිතර හැමතැන දුව පැන දඟලන දරුවන්ට අනතුරුදායක නිසාත්, දරුවො දෙන්නාම මගේ නංගිලාගෙ ගෙදරට යවලා තිබුනේ සෙල්ලම් කරන්න.

මම ගේ අසලම කඩයට ගියේ සිගරට් කීපයක් මිලට ගන්නයි. සිගරට් සාක්කුවේ දමාගෙන, එකක් කඩයේ එල්ලා තිබූ ලයිටරයෙන් දල්වද්දීයි මට ඇහුනේ වාහනයක බ්‍රේක් හඬකුත්, ඒ එක්කම වෑන් රියක ලිස්සන දොරක් ඇරෙන හඬත්, මගේ පසු පසින්.


දැල්වෙන සිග‍රැට්‍ටුව දෙතොල් අතර රුවාගෙනම මම ආපසු හැරුනා. මගෙ මචං කාරයා එයාගෙ වෑන් එකෙන් අපේ දරුවො දෙන්නා ආපහු ඇරලවන්න ඇවිත්. චූටි පුතා දැල්වෙන සිග‍රැට්‍ටුවක් කට කොණකින් එල්ලාගෙන සිටි මා දිහා බලා සිටියේ විශ්මයෙන්. කට උත්තර නෑ.

ම්ම්ම්… නැත්තෙම නෑ.

“You smoke!” (ඔයා සිගරට් බොනවා!),මේ ඊයෙ පෙරේදා සිගරට් බීමේ ආදීනව ගැන දේශනයක් පවත්තපු තාත්තා, සිගරට් එකක් බොනවා දැකපු  පොඩි එකා මොර දුන්නා විශ්මයෙන්. මම වැ‍ටුනේ පුදුම අපහසුතාවයකට.

මට ගණදෙවි නුවණ පහලවුනා.

“No, This is for one of the builders. He can’t come because he’s too busy and I lit it for him to save the trouble of looking for a lighter.” (නෑ. මේක අර බාස් කෙනෙකුට. එයාට එන්න බෑ වැඩ නිසා. මම ඉතින් ඒක පත්තු කරලම ගෙනියනවා, එතකොට ලයිටරයක් හොය හොයා දඟලන්න දෙයක් නෑනෙ   එයාට.”

එයාගෙ මූණෙ ඉරියව් වෙනස් වෙනවා මම බලා හිටියා.

“Oh, I thought for a moment you smoked” (ආ, මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.)

“Naah!” (නෑ…හ්. පිස්සුද?)

මම වේගයෙන් ගේ දිහාට ඇවිදගෙන යන ගමන් කිව්වා. ඔහු ඉඳික‍ටුවට ඇමිණූ නූල වගේ, මා පස්සෙන් ඇදිලා ආවා. ඇඟිලි අතර රඳවාගත් දැල්වෙන සිග‍රැට්‍ටුවත් අරගෙන බාස් ගෝලයෙක් ලඟට ගිය මම,

“ආ, මෙන්න ඔයාගෙ සිගරට් එක.” කියමින් සිග‍රැට්‍ටුව ඔහුට දික් කලා.

ගෝලයා ලොකූ ප්‍රශ්ණාර්ථ ළකුණක් මූණේ ඇඳගෙන මා දිහා බලා හිටිය නිසා, මම බුවාට ඇහැක් ගැසුවා.

මම සාක්කුවේ තිබුන අනිත් සිගරට් සියල්ලත් බුවාටම දීලා දැම්මා.

හදිසියේ කඩා වැ‍ටුන මේ වාසනාව ගැන උද්දාමයෙන් බාස් ගෝලයා මට ස්තුති කලා.

මේ ගණුදෙනුව ඇස් අයාගෙන බලා සිටි පොඩි එකා.”I thought for a moment you smoked” (මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.) කියා නැවතත් කිව්වා.

“Well, I don’t smoke.” (මම කිව්වනෙ, මම සිගරට් බොන්නෙ නෑ කියලා.) මම ඒ පාර කිව්වෙ බොරුවක් නෙවෙයි. සහතික ඇත්ත. මොකද මම ඊට මොහොතකට පෙර සදහටම සිගරට් බීම නවත්තපු නිසා.

ඉතින් විශ්වාස කරන්න, මම එදා සිට මේ දක්වා සිගරට්‍ටුවක් කටේවත් තියලා නෑ. අනික මම සිගරට් බීම අතහැරියේ ජනවාරි පළවෙනිදා වගේ විශේෂ දවසකත් නෙවෙයි. මට මගේම පුතාට බොරු කියලා කුහකයෙක් වෙන්න ඇති  අකමැත්ත විතරයි නිමිත්ත වුනේ.

මගේ දරුවාට ස්තුතිවන්ත වෙන්න අද මම සිගරට් වලින් නිදහස්.  දරු සෙනෙහසට කල නොහැකි දෙකක් නැහැ.

Dපසුවදන:

ඒ අවුරුදු හයකට (මේ වනවිට හතකට) පෙර.  මම ඒ පොරොන්දුව කිසිදා බිඳින අදහසක් තුන් හිතකවත් නෑ. මට ලැබුන ඒ අවස්ථාව නොලැබී, තවදුරටත් සිගරට බොන බුවාලා ගැන මගෙ හිතේ අද තියෙන්නෙ අනුකම්පාවක්.  අද මට සිගරට් දුම ඉවසාගෙන ඉන්නත් අමාරුයි. දුම් බොන්නෙක් එක්ක කතා කරද්දී කටින් හමන දුම් ගඳ මට අප්‍රසන්නයි. දුම් බොන්නෙක් ලඟ ඉඳිද්දී මගේ හුස්ම හිරවෙන ගතියක් දැනෙන්නෙ.

ප. ලි. : දුම්බීම ගැන කවුරුහරි බ්ලොගර් කෙනෙක් සඳහන් කරන ගානෙ මම මේ ලිපියට ලින්ක් එකක් දුන්නෙ, මේ  මා විසින්ම ලියැවුනු ලිපියක් වුනත්,  දුම්බීම අතහැරීම ගැන ලියැවුනු අව්‍යාජ අත්දැකීමක් බව මම විශ්වාස කරපු නිසා.
ප්‍රශ්ණෙකට තිබුනෙ මම මේ ලිපිය මුලින්ම ලිව්වෙ ඉංග්‍රීසියෙන් වීමයි. HeyDude බ්ලොග් අඩවියට ‘How I quit smoking’ යන මාතෘකාවෙන්, 2012 මාර්තු 10 වන දින පල කල මේ ලිපියෙන්, සිංහල පමණක් කියවන සහෘදයන්ට ප්‍රයෝජනයක් ගත හැකි වෙන අයුරුන් සිංහලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මට දැනුනේ කලක සිට.

ඉතින් මේ එයට විසඳුමක්.

නමුත් මෛ ලිපිය කියවා හමාරකර, ඉංග්‍රීසි ලිපියත් කියවන්න කියා මම ඔබට ආරාධනා කරන්නේ, ඇතැම් දේ පරිවර්තනයේදී විනාශ වෙන බව අත්දැකීමෙන් දන්නා නිසයි

 

ටැග: , , , , , , , ,

35 responses to “105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

  1. hiruni

    ජනවාරි 6, 2013 at 8:49 ප.ව.

    ඇත්ත….අපි කිසිම දවසක දැකල නෑ තාත්ත සිගරට් බොනවා…..මල්ලිට ගොඩක් ස්තුතියි තාත්තව සිගරට් යකාගෙන් බේර ගත්තට….

    මෙහෙත් ගෑනු පිරිමි බේදයක් නැතුව කට්ටිය එකට හිටගෙන සිගරට් බොනවා…..පුදුම වැඩේ තමා එයාල දොස්තරලා වෙන්න ඉන්න අය…. ඒක නම් සීතලට කියමුකො ඒත් මෙහෙ ලෙඩ්ඩු!!!!:O

    ලෙඩ්ඩුත් එහෙමයි….පෙනහලුවල ලෙඩ්ඩු ඉන්නෙ වෙනම ෆ්ලොර් එකක [ හැම ලෙඩේම වෙන් කරල තියෙන්නෙ]….ඉතින් අපි ගිහින් case history එක ලියන්න විස්තර ගනිද්දි අපිට කියනවා ඉක්මන් කරන්නලු එයාලගෙ සිගරට් බොන වෙලාව ඇවිත්ලු…. :O :O :O

    ඩුඩ් අපිට ඔයා ගැන හරිම ආඩම්බරයි…..අනිත් අයත් මේක කියවල හැදෙයි කියල මම බලාපොරොත්තු වෙනව😀😀😀

     
    • henryblogwalker

      ජනවාරි 7, 2013 at 10:46 පෙ.ව.

      ඔව් මල්ලිට තමයි ඒකෙ ගෞරවය හිමි.

      ඒ ලෙඩ්ඩු නම් මාරයිනෙ. ඇත්තෙන්ම මමත් දැකලා තියෙනවා සිගරට් බොන දොස්තරලා. ඒ ආදීනව නොදැන නෙවෙයිනෙ. ඒ ඇබ්බැහිය.

      ස්තුතියි හිරූස් තියරීස්.

       
  2. hasithag

    ජනවාරි 6, 2013 at 9:16 ප.ව.

    අපේ අයියා කෙනෙකුත් මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණේ එයාගේ පොඩි දරුවා තාත්තා ගාව ගඳයි කියලා කරපු චෝදනාවත් එක්ක. දෙමාපියෝ ළමයි හදනවා වගේම ළමයින්ටත් පුලුවන් දෙමාපියන්ව හදන්න

     
  3. Lucky Wickramasinghe

    ජනවාරි 6, 2013 at 9:19 ප.ව.

    වාසනාවන්ත නව වසරක් වේවා කියලා ආයෙම ප්‍රාර්ථනා කරන ගමන් කියන්න තියෙන්නෙ ඇත්තටම වීර ක්‍රියාවක් කියලා.
    මම දුම්බොන තාත්තෙක්ව දැකලා නෑ. ඔහු දුම්බීම නවත්තලා තියෙන්නෙ අපි උපදින්නත් සෑහෙන කාලෙකට ඉස්සර. ඒත් මත්පැන් පානය කරන තාත්තෙක්ව 1994 වෙනකම් දැක්කා. ඔහු එය නැවැත්තුවෙ එකපාරටම. ආයි මේ වනතුරු වයින් හෝ බියර් තරම් දෙයක් වත් කටේ නොතියන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් ඔහු.
    ඒ වගේම මට එක පාරක් ගුරු පුහුණු සැසියකදි මුණගැහුණා තමන්ගෙ පළවෙනි දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා මත්පැන් කටේ නොතියන සර් කෙනෙක්ව.
    අනිත් කතාව තමයි, බොහොම දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණු අපේ අම්මගේ තාත්තා හෘදයාබාධයකට ලක්වුණාට පස්සෙත් දුම්බීම අත් නොහැරීමේ විපාක විදිහට අපේ අම්මලා යොවුන් වයසට එද්දිම තාත්තා අහිමි වීම.
    ඔබ හරිම වටිනා තාත්තා කෙනෙක්! (Y)

     
  4. Alchemiya

    ජනවාරි 6, 2013 at 10:33 ප.ව.

    මගේ තාත්තා ඉස්සර සිගරැට් එකක් ඇරෙන්න එකක් පත්තු කරගත්ත මනුස්සයෙක්.. මම ජීවිතේට සිගරැට් එකක් කටේ තියලා නෑ… මම පාසැල් යන කාලෙ ADIC එකේ ප්‍රබල සාමාජිකයෙක්… මගේ මූලික අරමුණ වුනේ මගේ පවුලේ සිගරැට් බොන අය ඒකෙන් නවත්වන එක…
    අදටත් තාත්තා කියන එක දෙයක් තමයි මම සිගරැට් බොන එක නැවැත්තුවේ ලොකු පුතා නිසා කියලා.. ඒ මම තාත්තට සිගරැට් බොන්න එපා කියපු නිසා…. ඒ නිසාමයි මම අපේ තාත්තට ලෝකෙ අනිත් සියළුම මිනිස්සුන්ට වඩා ගරු කරන්නෙ…
    මට කරන්න බැරි වුනේ අපේ බාප්පා කෙනෙක් සිගරැට් බොන එක නතර කරන්න.. නමුත් එයාට බයිපාස් 4 ක් එකවර කරන්න සිදු වෙලා ඒකෙන් ගොඩ වුනාට පස්සෙ නම් සිගරැට් එකක් කටේ තියන්නෙ නෑ…. ඒක මම වක්‍රාකාරව ලබපු ජයග්‍රහණයක්…
    මට සිගරැට් බොන අය පෙන්නන්න බෑ… සීත රටවල සිගරැට් බොනවා වගේ නෙවෙයි ඌෂ්ණ රටවල සිගරැට් බීම.. මට තේරෙන්නෙ නෑ…
    කොහොමත් සිගරැට් බීම නවත්තපු එක හොඳයි…. මම ඒක අගය කරනවා… ඔයා ඒක අනාගතයට කරපු ලොකු ආයෝජනයක්… ඔබට වඩා ඔබේ දරුවන්ට ඔබේ ජීවිත කාළය දික් කරලා දීපු එක ගැන…
    බොහොම සංතෝෂයි ඩූඩ්……

     
    • henryblogwalker

      ජනවාරි 7, 2013 at 10:47 පෙ.ව.

      සිගරට් බීම නවත්තන්න ADIC භාවිතා කරන ක්‍රමවේදයේ අනන්ත දුර්වලතා තිබුනත්, ADIC සංවිධානයෙන් යම් පමණක සේවයක් වුනා කියන්න හොඳ සාධකයක් මේක.

      සිගරට් ශීතල නිසාම බොන දෙයක් නෙවෙයි ඇල්. ඇත්තෙන්ම නිකොටීන් වලත් කැෆේන් වල වගේම උත්තේජනයක් ලබාදෙන ගතියක් තියෙන බව ඇල්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

      බොහෝම ස්තුතියි ඇල්කෙමියා.

       
    • Beetle

      ජනවාරි 7, 2013 at 6:34 ප.ව.

      දුම්බීම නවත්තන්න පොඩි දරුවෙකුට කරන්න පුළුවන් බලපෑම ගොඩක් ලොකුයි තමයි…

      මේ වීඩියෝව දැකපු නැති කෙනෙක් වෙනුවෙන්…

      Thirty days and thirty nights
      Been putting up a real good fight
      And there were times I thought you’d win
      It’s so easy to forget
      The bitter taste the morning left
      Swore I wouldn’t go back there again🙂

      ඩූඩ්ට සුභපැතුම් සහ පවුලේ සැමට සුභ නව වසරක්..!

       
  5. ටික්කා

    ජනවාරි 7, 2013 at 3:17 පෙ.ව.

    Uba thawa ekekuta hithanta hedenta deyak liwwata thanks..godak watinawa..

     
    • henryblogwalker

      ජනවාරි 7, 2013 at 10:48 පෙ.ව.

      බොහෝම ස්තුතියි ටික්කා. මේක කියවලා තව එකෙක් හරි සිගරට් වලින් මිදුනොත්, නැතිනම් අඩුගානෙ සිගරට් බීම නවත්තන්න උත්සාහ කරන්න හරි හිතුනොත් ඉහටත් උඩින්.

       
  6. ගමේ එකා

    ජනවාරි 7, 2013 at 6:57 පෙ.ව.

    ශුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා..

    මාර හැඩයි. තිතට දීලා තියෙන්නේ. හරිම ආදර්ශමත්…..

    මම මේ දින වල ඔඹ තුමාගේ පරණ පෝස්ට් ඉඩ ලැබෙන විදිහට කියවාගෙන යනවා. මාරයි…

    ඔඹට ජය හා සතුට!

     
  7. රාමා

    ජනවාරි 7, 2013 at 8:38 පෙ.ව.

    මගේ පියා දුම් වැටි පාවිච්චි කලේ නැහැ. මත්පැන් පානය කලේ ඉතාම කලාතුරකින්. ඒ කලාතුරකින් බොන එක නැවැත්තුවේ මම හින්දා. හැබැයි කොහොම වුනත් කුඩා කාලයේදීම ඒවාගෙන් වලකින්න ලැබුණු උපදෙස් හා ළඟම ඥාතීන්ට සිදු වූ දේවල් හරහා ඒ උපදෙස් වල නිවැරදි කම දැකීම නිසා කවදාවත්ම දුම්වැටි, මත්පැන් වලට යොමු වුනේ නැහැ. ඒක ඇත්තටම සතුටක්. හොඳටම දැනෙන්නේ ඒක ඒ දේවල් කරන පිරිසක් අතර සිටින විට . තවත් විදියකින් කියනවානම් හිතින්වත් නොබිඳපු එකම එක සිල් පදයක්වත් තිබෙන එක සතුටක්,😀

     
    • henryblogwalker

      ජනවාරි 7, 2013 at 10:49 පෙ.ව.

      අහන්නත් සන්තෝෂයි රාමා. රාමා හන්දා තාත්තා ඉඳහිට හරි බොන එකත් නැවැත්තුවා කියන්නෙ ලොකු ජයග්‍රහණයක්. කොහොමත් දැන් මිනිස්සු සිගරට් බොනවා නම් (සාපේෂව) අඩුයි නේද?

       
  8. Ayilas A

    ජනවාරි 7, 2013 at 8:42 පෙ.ව.

    අති විශිෂ්ටයි හෙන්රි, ඔබගේ ක්‍රියාවත් ලිපිය ලියපු පුරුදු ශෛලියත්.

     
  9. පිණිබිඳු

    ජනවාරි 7, 2013 at 9:54 පෙ.ව.

    ඔබ හොඳ පියෙක්.

     
  10. abeetha

    ජනවාරි 7, 2013 at 11:36 පෙ.ව.

    සිගරට්… අවුරුදු 18 20 කාලෙදි ඉතාම ලොකුවට පාවිච්චි කරා මම… දැනුත් ඉඳ හිට පාවිච්චි කරනවා.. නමුත් සිගරට් සඳහා මම විසින්ම නීති දෙකක් දාගෙන ඉන්නේ…

    1. බීලා මදි කියලා හිතට දැනෙන මොහොතක් වෙන්න ඕන…

    2. ඩන්හිල්ම තියෙන්න ඕන…

    අන්තිම පේලියේ අවංක පැට්ට එතන හිටියේ නැත්නම් මේ නීති දෙක කැඩෙන්නේ එහෙමත් වෙලාවක…

     
  11. දුකා

    ජනවාරි 7, 2013 at 2:34 ප.ව.

    මමත් ජයග්‍රාහී විසි පාරක් විතර නතරකරපු පොරක් හරිද . . .

    ඔලුවට උහුලගන්න බැරි ප්‍රශ්න ආපු සමහර වෙලාවට සිගරට් එකක් පිහිටවුනු අවස්ථා ඕනෑ තරම්. (තාවකාලික නම් තමා ඒත් . . අනේ මන්දා)

    ඉවසන්න බැරි පාලුවට . . පිට කර ගන්න බැරි තරහට මේ කෝකටත් තෛලය විදිහට සිගරට් ඉතිං භාවිතා කරනවා . . .

    හැබැයි සමහර කාලවල් තියෙනවා මාසයක් හමාරක් මාස හයක් විතර නොබී ඉන්න වෙලාවලුත් . .

    ඒක නිසා මට තාම කියන්න අමාරුයි මම ඒ නිකොටින් ඇඩික්ෂන් එකට අහුවෙලා කියලම . .

     
    • henryblogwalker

      ජනවාරි 7, 2013 at 7:31 ප.ව.

      මාක් ට්වේනුත් ඔහොම කතාවක් කියලා තියෙනවා බං.
      උඹ ඔය කියලා තියෙන කෝකටත් තෛලය කතාව මමත් අත් විඳලා තියෙනවා. ඒකෙ භයානකකමත් අන්න ඒකයි.
      ඕක අල්ලලාම දාන්න බලාපං බං.

       
  12. අසරණයා

    ජනවාරි 8, 2013 at 12:43 පෙ.ව.

    හොඳ තීරණයක් .මම අත්හදා බලල තියෙනවා.එත් ඒවාට තියෙන අප්‍රිය එදා වගේම තවමත් තියෙනවා..

     
  13. Kenji @ Japan

    ජනවාරි 8, 2013 at 8:47 පෙ.ව.

    ජපානෙට ආවලින් පස්සෙ දවසට 20 පැකට් දෙකක් ඉවර වෙනව.2002 පුතා හම්බ වුනාම නැවැත්තුව.දැන්නම් සුවදවත් උහුලන්න බැහැ.දුවටත්,පුතාටත් කව්රු හරි එළියේදී බොන සුවද දැනුනත් පැත්තකට දුවනවා.ඒක දැක්කම හිතෙනව නැවැත්තුවෙ නැත්නම් දෙන්න කොහොම නටයිද කියල:)

     
    • henryblogwalker

      ජනවාරි 9, 2013 at 1:17 ප.ව.

      ඔය ඉන්නෙ තවත් තාත්තලා ඒ හේතුවටම දුම්බීම අතෑරපු. ඊට පස්සෙ ‘සාකේ’ ගහන්න පටන් ගත්තෙ නෑ නේද මචං ඒ වෙනුවට?😀

       
  14. රුචිකා

    ජනවාරි 8, 2013 at 1:58 ප.ව.

    මේක හොඳ දෙයක් වෙච්ච වෙලාවක්. ඔබේ දරුවා වෙනුවෙන් ඒ පරිත්‍යාගය කල ඔබේ පිය සෙනෙහසට ගරු කරමි.

     
  15. පනුච්චි

    ජනවාරි 8, 2013 at 10:40 ප.ව.

    වෙල්ඩන් ඩූඩ්.. උ රොක් මයි ෆ්‍රෙන්ඩ්
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

     
  16. පනුච්චි

    ජනවාරි 8, 2013 at 10:50 ප.ව.

    උ නෙමෙයි යූ ඈ…

     
  17. සාතන්

    ජනවාරි 13, 2013 at 9:05 පෙ.ව.

    අරක්කු නම් නැවැත්තුව ගේමක් නැතුව… සිගරට් නම් තාම නවත්තගන්න පුළුවන් වුනාද ෂුවර් නෑ…

    කවදත් අරක්කු සිගරට් පාවිච්චි කලේ හොඳම යාළුවො 3 දෙනා එක්ක සෙට්වීමකදි විතරයි (මාසෙකට දෙකකට සැරයක්)…. උන් එකෙක්වත් නැති තැනක නම් මොන තරම් ඉස්තරම් බ්‍රෑන්ඩ් තිබුනත්, කවුරු පොවන්න ට්‍රයි කලත් සිගරට් හෝ අරක්කු අල්ලන්නෙවත් නැතුව ඉන්න පුළුවන්…🙂

    ඇත්තටම අරක්කු සිගරට් වලට ඇබ්බැහියට වඩා තිබුනෙ තියෙන්නෙ මට වැඩියෙම වටින යාළුවො 3 දෙනා එක්ක බයිලයක් ගහන් හිනාවෙලා හූ කියල ඉන්න එකට…. කොහොම හරි ඩ්‍රයිවින් ලයිසන් ගත්තට පස්සෙ අරක්කු නතර වුනා සහ ආපහු පටන්ගැනීමක් නෑ කියන එක නම් ෂුවර්… (මුන්ව ගෙවල් වලට ඇරලන්න එපෑ.. ) සිගරට් වලටත් හොඳ හේතුවක් ලැබෙන්නෙ නැතෑ… බලමු…🙂

     
  18. iamdeejay

    ජනවාරි 14, 2013 at 12:30 ප.ව.

    චුටී පැටියා හුගාක් පිං ඔයාට මෙ පුරුද්දෙන් මිදෙන්න උදව්වුන එකට.
    ඒ වගෙම ඔයාගේ දැඩි අධිෂ්ඨානය නිසා තමයි අද ඔයාට ඒ පුරුද්දෙන් මිදිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: