RSS

107. අහසයි, පොළවයි.

12 Jan
107. අහසයි, පොළවයි.

මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා. මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

DSCN0731

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත් ‘මහත්තයා’, ‘නෝනා මහත්තයා’ වගේ ‘නම්බුකාර වචනවලින්’ ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක් ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි) තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන ‘සුලු’ හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම සැර වැඩියි කියලා හිතුනා.) මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක් හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

“මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ. ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ – පනහ බෙදාගම්මු .”

ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක් මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ ‘ක්‍රියාවෙ’ ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි. ධනපාල අයියා එදා මට ගෙවපු ‘සුලු මුදල’ ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත් විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන් ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා.

D

ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

“මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා,” ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

“ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව.” මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

“කීයද ඔය ටෝච් එක”

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

“මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ.”

“ඔ…ඔව්. ඒ වුනාට… එයා ඒක කැඩුවනෙ.”

“හරි, ඒකෙ අලාබෙ තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා.”

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

“ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?” අයිතිකරු විමතියෙන් ඇසුවා.

“නෑ. අදහස වෙනස් කලා. අපි යනවා.”

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්… ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve” යන මාතෘකාවෙන් HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බ්ලොගර් හිතවතුන්ගේ පහසුව සඳහා මේ ලිපිය මගේ ඩෙනිමේද පළකර ඇත.

 

ටැග: , ,

21 responses to “107. අහසයි, පොළවයි.

  1. Ravi

    ජනවාරි 12, 2013 at 7:32 ප.ව.

    අඩෝව් හැන්රි ද නයින්ත් කැචයි හොන්ජේ..උඹ අර ධනපාල අයියගෙ කඩේට අපි යයි කියල ද කොහෙද ෆොටෝ එකේ බෝඩ් වල ටවුන් එක කොහෙද කියල හොයා ගන්ට බැරි විදිහට මකල දාල නේද?..ඔහොමද බං ඒ මනුස්සයගෙ ගුණයහපත් කමට ප්‍රති උපකාර කරන්නෙ?…:) 🙂

    ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී සහ දියුණු කිරීමේදී ව්‍යාපාරික ආචාර ධර්ම ( Business Ethics ) හරිම වැදගත්. දැන් කාලෙක ඉඳල අන්තර් ජාලය පුරාම රැල්ලක් යනවනෙ සිංහල ව්‍යාපාරිකයින්ගෙන විතරක් බඩු ගන්න කියල. මට ඒ විකාර කියවලම ඇති වෙලා තියෙන්නෙ. සිංහල ව්‍යාපාරිකයො කරන්න ඕන තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන නම් ගන්න අපේ දේ කියල ජාතිවාදය ඉස්සරහට දාන එක නෙවෙයි උඹ කිව්ව ධනපාල අයිය වගෙ මිනිස්සු ආදර්ශයට ගන්න එක.

    මතකද L.P. ගෑස් ඒකාධිකාරය මුලින්ම තිබ්බෙ විදේශීය සමාගමකට. ඒ ඒකාධිකාරී ගිවිසුම මට මතක විදිහට අවුරුදු 10ක්. ඔන්න දැන් ඒ ගිවිසුම ඉවරයි කියමුකො…අනේ අපිත් දත මැදගෙන හිටිය විදේශීය සමාගම එක්ක තරඟයට ආපු අපේ දේශීය ව්‍යාපාරිකයා අපිට කීයක් හරි අඩුවෙන් ගෑස් දෙයි කියල…අර කවුද ඇමතියෙක් කිව්ව වගෙ බම්බුව තමයි…. දුන්න ලබ්බක්…ඒ මිනිහ කලේ පෙට්‍රෝලියම් එකෙන් ලාබෙට ගෑස් අරගෙන අර විදේශීය සමාගම විකුණපු මිලටම දීල අපිටම කෙලෙව්ව එක. ඔන්න ඔහොමයි අපේ දේසීය වියාපාරිකයො ලාබ ලබන්නෙ……ගන්න අපේ දේ!!!!😀

     
    • henryblogwalker

      ජනවාරි 13, 2013 at 8:40 ප.ව.

      ඔය ඉන්නෙ රවියා ද ඩිටෙක්ටිව්. උඹ මොන එකකටද ෆෝටෝස් විශාල කරලා බලන්න ගියේ, මෙතනින් දෙන පණිවිඩය අරන් නිකා නොඉඳ?

      බිස්නස් එතික්නම් බල්ලටම ගිහින් මචං තියෙන්නෙ. උඹ කතා කරලා තියෙනවද ඔය ලොකු කොම්පැනි වල කස්ටමර් සර්විස් එකට හෙම? හයියෝ පිස්සුම හැදෙනවා. Grrrrrrr…

       
  2. අසරණයා

    ජනවාරි 12, 2013 at 7:54 ප.ව.

    ලංකාවේ හැම මුදලාලි කෙනෙක්ම තමන්ගේ පාරිබෝගිකයාට හොඳට සලකනවානම් හැමෝම හොඳින් ඉන්නවා.තමාගේ ගමේ ඉඳලා පිට ගමකට යන්නේ නැහැ බඩු ගන්න,.හිතටත් සහනයක්.

     
    • henryblogwalker

      ජනවාරි 13, 2013 at 8:41 ප.ව.

      අන්න ඒක මුදලාලිලා දන්නෙ නෑ අසරණයා. ඕක දන්නවා නම් මිනිස්සු ගමේ කඩේට නොගිහින් කොළඹ ගිහින් බඩු ගේන එක නතර කරන්න පුලුවන්. හොඳ මුදලාලි කෙනෙක් වැඩි වෙළඳාම සුළු ලාබය කියන ක්‍රමයයි අනුගමනය කරන්නෙ.

       
  3. රාමා

    ජනවාරි 12, 2013 at 7:57 ප.ව.

    සමහර තැන් වල ඉන්න උන් හිතන් ඉන්නේ ගනුදෙනුකාරයෝ උන්ගෙන් පිනට බඩු ගන්නේ කියල. අපි ලොකු ගනුදෙනුකාරයෝ නොවන බව ඇත්ත. අපි ආපහු නොයන තැන් තියෙන්නේ එකක් දෙකක් නෙවෙයි. පොඩි තැන් , ලොකු තැන් කියල ප්‍රශ්නයක් නැහැ. ආයතන හිමිකරුවන් විතරක් කර ගන්න දෙයක් නෙවෙයි, සමහර විට ඔවුන් නොදැන තකතීරු සේවකයින් ගනුදෙනුකරුවෝ නැවත නොඑන තරමට වැඩ කරනවද. හිමිකරුවෝ විතරක් සුහදශීලී වෙලා මදි , ඔය කියන ධනපාල මහත්මයා වගේ තමන්ගේ සේවකයොත් හදා ගන්න ඕනි.

    දවසක් අතේ තිබුණු මුදල් සියල්ල ඉවර වෙලා ATM එකට ගියාම කාඩ් එක වැඩ කරන්නේ නැහැ. ඒ බැංකුවේම වැඩ කරන මිත්‍රයෙකුට කෝල් කරහම කිව්වේ ප්‍රශ්නයක් නැහැ, පාස් පොත නැති වුනාට කමක් නැහැ, අපේ සිස්ටම් එකේ අත්සන බලා ගන්න පුළුවන්නේ, කතාව කියල කවුන්ටරෙන් සල්ලි ගන්න. එතනට ගියාම එතන හිටපු තඩියා කියපි, ‘පාස් පොත නැතිව අත්සන බලා ගන්නේ කොහොමද ?’ කියල. ඇයි ඕගොල්ලන්ගේ සිස්ටම් එකෙන් අත්සන බලා ගන්න පුළුවන් නේද කියල අහවාම ඒ හු%^& කිව්වා ඒක තියෙන්නේ බැංකුවේ ඇතුලේ පාව්ච්චියටලු. ඒ මදිවට ඌ අහනවා මම ඒක දන්නේ කොහොමද කියලත්. පස්සේ මම ඉහලට පැමිණිලි කරන බව කිව්වට පස්සේ තමා වැඩේ කරලා දුන්නේ. ඒත් මම පැමිණිලි කළා . ඒ වගේම මම පුද්ගලිකව දන්නා කිහිප දෙනෙකුත් මිනිහට විරුද්ධව් පැමිණිලි කරල තිබුන. තව කීයක්‌ තියෙන්න ඇතිද ? ඒ නිසාම වෙන්න ඇති, දැන් මිනිහා ඇතුලේ වැඩටම දාල, ගනුදෙනුකාරයින් එක්ක වැඩ කරන්න දෙන්නේ නැහැ. මට ඒක ඒ මිනිහ එක්ක ගැටළුවක් මිසක් බැංකුව එක්ක ගැටළුවක් වුනේ නැහැ, ඒ වුනාට ගිණුම් පිටින් අයින් කර ගෙන අයත් ඉන්නවානේ ඔය වගේ සිද්ධි වලදී.

     
    • henryblogwalker

      ජනවාරි 13, 2013 at 8:42 ප.ව.

      රාමාගෙ කතාවට සීයට සීයක් එකඟයි. සමහර ආයතන වල පල්ලට යවන්නෙ සේවකයො. මුදලාලි දන්නෙත් නෑ මොකද වෙන්නෙ කියලා. වෙළඳ සේවකයගෙ මූඩ් එක, බැල්ම පවා පාරිභෝගිකයට හොඳට තේරෙනවා.

      අර වගෙ ගොන්නු නම් බැංකු වල හරීයට ඉන්නවා. මමත් ගිණුම් වහලා දාලා තියෙන්වා ඔය වගෙ උන් නිසා.

       
  4. DDT

    ජනවාරි 13, 2013 at 9:57 පෙ.ව.

    ඩෙනිමෙ තිබිල කියෙව්ව. එතන කමෙන්ට් එකකුත් කෙටුවා.

    අයියල රෙදි ගන්න සරසවි ගියා කිව්වම එකපාරටම මම බැලුව මේ මොකක්ද කියල. මොකද අපිට මතක ඇති කාලෙ ඉඳන් අපි සරසවි යන්නෙ පොත් ගන්නනේ.🙂

     
    • henryblogwalker

      ජනවාරි 13, 2013 at 8:42 ප.ව.

      ඔව් DDT. මේ ලඟදි ඊට එහා හාඩ්වෙයාර් එකේ පොර මට කියනවා මම යනවා අයියෙ කැම්පස් එකට ගිහින් එන්න කියලා. බැලින්නම් මූ සරසවියට යන්නෙ.

       
  5. Kenji @ Japan

    ජනවාරි 13, 2013 at 6:10 ප.ව.

    ඔබ හොද වැඩියි.තමන්ගෙ දරුවකුට පිටස්තර කෙනකුට අත තැබිය නොහැක.මම ගොඩනැගිල්ලක ලිෆ්ට් [සිංහල වචනය එන්නෙ නැහැ]එකෙ යද්දී උවත් අනිත් එව්වන්ට ඇතිල්ලෙන්න ගෙනියන්නෙ නැහැ.මම රස්තියාදුකාරයෙක් හින්දද මන්ද,මෝල්දිව් කාරයාගේ ගහනව කන පුපුරන්න.

     
  6. ජනිත්

    ජනවාරි 14, 2013 at 7:54 පෙ.ව.

    ප්‍රතිචාරයක් ලබා දෙන්න ඕන නෑ වගේ. කියන්න ඕන ඔක්කොම ඔය ලියවිලා තියෙන්නේ…

     
  7. ayilas

    ජනවාරි 14, 2013 at 2:54 ප.ව.

    ඔය වගේ අවස්ථාවක මගේ හැසිරීමත් ඕකම තමයි හෙන්රි. මේසමහර බුරු වෙලෙන්දොන්ට මේදේවල් තේරෙන්නේ නැහැ, ධනපාල අයිය වගේ අය ඉතාම අඩුයි.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: