RSS

109. බාස් කතා. මේසන් බාස්.

18 Jan
109. බාස් කතා. මේසන් බාස්.

නිවාඩු කාලේ බාස් කතා -1 ට මෙතනින් ගියෑකි.

නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා, ‘ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ?’ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි, ‘අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං,’ කියලා.

ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

අපේ ගෙදර සමහර බාස් වැඩ කරලා තියෙන්නෙ දීපයි මායි අපේම අත් වලින්. බාත් රූම් එකේ තාවකාලික වොෂ් බේසින් එකකුයි, ටොයිලට් එකකුයි හයි කලේ බදාම අනලා කොන්ක්‍රීට් දාලා අපි දෙන්නමයි. ඉස්සර කොන්ක්‍රීට් අනලා අමාරුවට දෙන්නම පැනඩෝල් දෙකක් බීලා තමයි නිදාගන්නෙ. අපි දෙන්නා බාස් වැඩ කලා කිව්වාම දැන් හිතන්න එපා ඒවා බාල ක්වොලිටියෙ වැඩ කියලා. අර මම කවදත් කියනවා වගේ අපි බාස්ලට වැඩිය හොඳට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හේතුව ඒවා අපේම බඩු නිසා, අර පරෙස්සමෙන්, උපරිම ප්‍රමිතියෙන්, හැකි ඉහලම අයුරින් කරන නිසායි. වංචා නොකරන නිසායි.

ඉතින් අර වොෂ් බෙසින් එකයි, ටොයිලට් එකයි (සිංහලෙන් කොමෝඩ් එකයි) කොන්ක්‍රීට් බිමට හයි කරලා තිබ්බේ මම කොළඹ ගල්වලට ගිහින් අරන් ඇවිත් තිබ්බ මල නොබැ‍ඳෙන වානේ ඇණ මුරිච්චි භාවිතා කරලා. ඒක දැක්කාම කිසි කෙනෙක් හිතුවෙ නෑ මේක අපි වගෙ ආධුනික DIY ජෝඩුවකගෙ වැඩක් කියලා.

ඕන්න මේ පාර බාස්ලා සෙට් එකක් හොයාගෙන, (ඇත්තම කිව්වොත් සෙට් දෙකක්) වැඩේ කරගෙන යනවා. හැබැයි ඇහැ ගහගෙන නොහිටියොත් බඩුම තමයි. ඔන්න අර අපි දෙන්නා හයි කරලා තිබ්බ උපාංග ගලවන එක තමයි ඉස්සෙල්ලම කලේ. වොෂ් බේසින් එක හයි කරලා තිබ්බෙ පෙඩස්ටල් එකක් උඩ. ඔන්න බේසම නම් ගැලෙව්වා මම දාලා තිබ්බ ඇණ ගලවලා, ෆ්ලෙක්සිබල් හෝස් එක බිත්තියෙන් ගලවලා. එතකොටම මට යන්න වුනා විනාඩියකට හෝ දෙකකට එලියට අර අනිත් සෙට් එක කරන්න ගිය මක බාස් වැඩක් නවත්තන්න. ආපහු එනකොට පෙඩස්ටල් එක නෑ.

“අහ්, ගැලෙව්වද බාස් උන්නැහෙ පෙඩස්ටල් එක මෙච්චර ඉක්මනට?”

“ඔව් මහත්තයා, අන්න අර කාමරෙන් ගිහින් තිබ්බා, බේසමට එහා පැත්තෙ.”

වැඩේ කරලා තියෙන හැටි මම දැක්කෙ, විනාඩි කීපයකට පස්සෙ බුවාලා තේ බොන්න ගියාමයි.

DSCN9454

මේ කරලා තියෙන්නෙ ලෙසටම!

අර මම දාපු මල නොබැ‍ඳෙන වානේ බෝල්ට් දෙක, එක්කො දැකලා නෑ, නැතිනම් ඒක කරකවන්න රෙන්ච් එකක් හොයාගන්න කම්මැලි කමට පෙඩස්ටල් එක පොලොවෙන් උදුරලා අරගෙන. අඩියෙ කෑලි දෙකක් කැඩිලා ගිහින්. ආයෙ ඉතින් ඒකෙන් වැඩක් නෑ. ඇත්තෙන්ම ඒ සෙට් එකෙන්ම වැඩක් නෑ. මම බාත් රූම් එකට දුවලා බැලුවා. යකෝ මේ තියෙන්නෙ අර ඇණ දෙක තවම කොන්ක්‍රීට් එකට හයිවෙලා පෙඩස්ටල් එකේ මුලත් එක්ක.

පස්සෙ මම බුවාලාගෙන් ඇහුවා. කොහොමද බාස් උන්නැහෙ අරක කැඩුවෙ? දැක්කෙ නැද්ද ඇණ දෙක?”

“ආහ් ඒක කැඩුනනෙ ගලවන්න ගිහින්. මහත්තයලා එකට සිමෙන්ති දාලනෙ මුලට.”

සභ්‍යත්වයේ නාමයෙන් මට හිතුන, කටට ආපු, නමුත් නොකියපු දේ මෙතන සඳහන් නොකර ඉන්න තීරණය කලා, මම.

ඒ එක සිද්ධියක්.

බාස් උන්නැහෙලා පාවිච්චි කලේ එලියෙ තිබ්බ, මම වාහනේ හෝදන්නයි ගස් වලට වතුර දාන්නයි හෝස් එකක් හයි කරලා තිබ්බ වතුර කරාමෙ. ඒකෙ අග මම හයි කරලා තිබ්බා අර වතුර පාර සීරුමාරු කරන්න පුලුවන් නොසල් එකක්. බාස් තුමාලා මුලින්ම කැඩුවෙ ඕක. මමත් හිටියා නොකර සද්ද. හවස බුවාලා ගෙදර ගියාම මම දැක්කා ටැප් එකත් කඩලා බව. ඒ කියෙන්නෙ අර ගාඩන් ටැප් කියන වර්ගයෙ අර හෝස් එකක් ගහන්න හදලා තියෙන කෑල්ල.

පහුවදා උදේ බුවාලා ආවාමවත් මම මොකුත් නොකියා ඉන්න තීරනය කලා.

ටිකකින් අත් උදව් දෙන බුවා මට කියනවා,

“සෑර්, අතෙන්ට ටැප් එකක් දාන්න වෙයි!”

“හුහ්, මට කියනවද කොහොමද ඔය ටැප් එක කැඩුවෙ කියලා.”

“ආහ්, ඒක බාස් උන්නැහේට පෑගුනානෙ, ඊයෙ නානකොට”

“මොනවා මනුස්සයො? ටැප් එක පෑගුනා?”

මටත් හිතුනෙ නෑ ටැප් එකක් දාන්න. මම ඔහෙ නිකං හිටියා.
බුවාට මුලින් හෝස් එක ගහලා වතුර ගන්න තිබිච්ච චාන්ස් එක නැති නිසා වතුර බාල්දි උස්සගෙන යනවා මම දැක්කා.

ඒ තවත් කතාවක්.

ඒ කතා දෙකම එකම වර්ගයෙනෙ, නැද්ද? “බාස් උන්නැහෙලා ඔහොම තමයි. ඒගොල්ලන්ට ගානක් නෑ ඔය වගෙ දේවල්!” ඔන්න ඔහොමනෙ අපි ඒවා සධාරණීකරණය කරන්නෙ. එහෙනම් මේන්න අහගන්න.

බාස් බුවා වැඩට එන්නෙ පල්සාර් එකක. බුවා බයික් එක නවත්තන්නෙ පාර මැද්දෙ හන්දා මම කිව්ව ඒක පඩිපෙල ලඟට දාන්න කියලා, පාර අවහිර වෙන නිසා.

දවසක් ගඩොල් ට්‍රක් එකක් ඇවිත් ගඩොල් බාන්න පඩි පෙල ලඟට රිවර්ස් කරනවා වැස්සෙම. ටිකකින් ඔන්න දොර ඇරලා ගඩොල් බානවා.

ඔන්න මේ අස්සෙ මට ට්‍රැක් පනින්න වෙනවා. අපේ ගේ හදන්න මුලින්ම අපි ගෙනාපු ගඩොල් තොගේ බාගෙට හදපු ගේ ඉස්සරහ ගොඩ ගහලා තියෙනකොට, අසල්වැසියෝ ගඩොල් පන්සීය, දාහ වගෙ ඉල්ලාගෙන ගියා එක එක හදිස්සි වලට. “අයියේ, අක්කේ, අනේ බං අර බාස්ලා ගඩොල් නැතුව වැඩේ නවත්තන්න හදන්නෙ, මට ගඩොල් පන්සීයක් දෙනවද, මගෙ ගඩොල් ලෝඩ් එක ගෙනාපු ගමන් ආපහු දෙන්නම්.” ඉතින් ඔය විදියට මගෙ ගඩොල් දෙදාස් ගානක් නොඑන ගමන් ගියා. මම ආපහු ඉල්ලන්න ගියේවත්, එතුමලා ඒවා ආපහු ගෙනත් දෙන්න හැදුවේවත් නැතිබව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඔන්න මේ වෙලාවෙ ඕනෙ වුනේ ගඩොල් 500ක් වගෙ සුළු ගනනක් විතරයි. ඉතින් අර කට්ටිය මාව හොයාගෙන් ඇවිත් අර ගඩොල් ආපහු දෙන්න අහන්න ඇති නේද? හෙහ් හෙහ්. මම අහන්න ගියේ නෑ. මම හාඩ්වෙයාර් එකෙන් අන්තිමට ගඩොල් ගත්තෙ. මොකද බලපු එක පෝරණුවකවත් ගඩොල් නෑ.

ඔන්න ඔය ගඩොල් ටික තමයි අර ට්‍රක් එකේ ආවේ.

ඕන්න බාස් දුවගෙන ආවා, ඇස් ලොකු කරන්.

“වැදුනද, වැදුනද?”

“මොනවද බාස් උන්නැහෙ?”

“මගෙ බයික් එකේ වැදුනද ට්‍රක් එක රිවර්ස් කරද්ද?”

“පිස්සු කතාකරනවද බාස් උන්නැහෙ? ට්‍රක් එක තියෙන්නෙ මෙතන. ඔයාගෙ බයික් එක තියෙන්නෙ අතනනෙ. අපි එච්චර පස්සට ගත්තෙ නෑ. මෙතනන ගඩොල් බාන්නෙ.”

“ඇත්තද? මම හිතුවේ වැදුනා තමයි කියලා.”

පේනවා නේද වෙනස?

ඒ කියන්නෙ බාස් උන්නැහෙලත් අපේ බඩු ගැන වගේ නෙවෙයි, තමන්ගෙ බඩු ගැන හරිම ප්‍රවේසම්, නැද්ද?

මෙන්න මම ආසම කතාව.

මීට දවසකට පස්සෙ, මම ගෙනාව යකඩ පලංචි දෙකක්, යාලුවෙක්ගෙන්. බාස් උන්නැහේලා පලංචි එකහමාරක් විතරක් පාවිච්චි කරන නිසා එක කකුලක් ඔහේ පැත්තක දාලා තිබ්බා. මම ඒක බාස් උන්නැහෙ කෙනෙකුට කිව්වා මේක උඩට දාන්න කියලා. එහෙම කියලා මමයි පුතයි පඩිපෙල දිගේ උඩට ගියා. අර බයික් එක අයිති බුවාගෙ හොඳම යාලුවෙක් වන මේ බුවා, පලංචි කකුල උස්සලා ගත්තා. අරන් රවුමක් කැරකුනා. පලංචි කකුලක් දඩාං ගාලා මොකකද වදින සද්දයක් ඇහුනත් මම ගනං ගත්තෙ නෑ.

පස්සෙ බැලින්නම් අර පොර පලංචිය වද්දලා යාලුවගෙ පල්සාර් එකේ. වයිසර් එක පුපුරලා. පෙට්‍රල් ටැංකිය එබිලා. දැන් හෙන අර්බුදයක්. ඇත්තෙන්ම ඔය පලංචිය හප්පපු බුවා හරිම අප්‍රවේසම්. ටිකකින් පොර දුවගෙන ආවා මා ලඟට.

DSC_0304“සෑර්, මාර අප්සැට් එකනෙ. අරක හදාගන්නෙ කොහොමද? මේ ලඟ තැනක් නැද්ද”

“පෙට්‍රල් ලීක් වෙනවද?

“නෑ, ඒ වුනාට අරයාට හෙන අප්සෙට්.”

මම අත්දැකීමෙන්ම දැනගත්තා මේ එන්නෙ මගේ දත ගලවන්න බව.

“මම දන්න එවුන් මෙහෙ නෑ කවුරුවත්. හිටියත් මේ වෙලාවට වහලා.”

පල්සාර් එක අයිති බුවාත් හරියට, හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මූණ හදාගෙන මා දිහා බලනවා, අරූට ගොරවනවා, ටැංකිය අතගානවා.”

“තමන් ආදරේ කරන වාහනයකට මොනවා හරි වුනාම මාර අප්සෙට් නේද?”

“ඔව් මහත්තයා.”

ඇස් යුගල් කීපයක බලාපොරොත්තුවේ එළි දැල්වුනා.

“මේ බලන්න, මම පෙන්නුවා වෑන් බොඩියෙ තියෙන පලුදු. මේක නුවර පාරෙදි එකෙක් ට්‍රැ‍ෆික් එක මැද්දෙදි කෙලලා ඇරලා. පේනවා නේද?
එතකොට මේක, මේ එක පොරක් මගෙ පාර හරහා කම්බි කණු හිටෝලා මම ඒවා අස්සෙන් රිංගන්න ගිහින්… “

අර බලාපොරොත්තුවේ එළි නිවිලා ගියා.

මට මේ ලැයිස්තුවට එකතු කරන්න තවත් එකක් පලංචිය බයික් එකේ ඇන්න බුවාම හදලා ගිහින් තියෙන බව මම දැනගත්තෙ අපි කට්ටිය රෑ යාලුවෙකුගෙ ගෙදරයන්න හදනකොට. මේකා වීල්බැරෝ එක බිත්තියට හේත්තුකරලා ගිහින් මම වාහනේ හරවාගන්න රිවර්ස් කරන බිත්ති මුල්ලෙම.

ඔබ බ්ලොගර් මිතුරෙකු නම් මගේ ඩෙනිමේ පළවූ මුල් ලිපියට මෙතනින්.

 

ටැග: , , , ,

8 responses to “109. බාස් කතා. මේසන් බාස්.

  1. Ravi

    ජනවාරි 18, 2013 at 10:40 ප.ව.

    අඩේ මයෙ පූරුවෙ වාසනාවකටද කොහෙද නියම එළකිරි බාසෙක් මට සෙට් වෙලා ඉන්නව. බාස් කිව්වට මිනිහ දැන් කරන්නෙ සබ් කන්ට්‍රැක්ට් වගෙ. ඒත් විස්වාසෙට ඕන වැඩක් කරගත්තෑකි. දත් ගලවන්නෙ නෑ.වැඩේ කන්නෙ නෑ.

    එහෙම නැත්නම් මචං මම මෙහෙ ඉඳල කොහොමද ගෙදර වැඩ ටික කෙරෙන්නෙ?…අපෙ හාමිනේ තමයි වැඩ ටික කරවන්නෙ…හෙහ්, හෙහ්, ඔය පොඩි පොඩි අතපසුවීම් නම් වෙනව. ඒත් අපි ළඟ නැතුව වැඩ කරගන්නකොට එහෙම තමයි ඉතිං..

     
  2. Naleen Dilruksha

    ජනවාරි 19, 2013 at 3:16 ප.ව.

    මේක කියෙව්වා බං ටැපලෙනවා දැන්.

     
    • henryblogwalker

      ජනවාරි 19, 2013 at 6:40 ප.ව.

      මම බ්ලොග් තුනක් බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් පාඨකයන් සඳහා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කෙරීමේ භාරදූර කාර්යයේ යෙදිලන මචං ඉන්නෙ. ඉතින් ටැපලෙනෙ එක පුදුමයක්ද?

       
  3. අසරණයා

    ජනවාරි 19, 2013 at 5:28 ප.ව.

    අන්තිම ජෙදේ තේරුනේ නැහැ වගේ.එතන අදහස් කලේ විල් බැරෝ එක වැදිලා ආයෙත් වැන් එක එබුනද?.

     
  4. ගමේ එකා

    ජනවාරි 20, 2013 at 6:14 පෙ.ව.

    පරණ මතකයන් අඵත් වුණා. ඕවා ඉතිං ඔහොම තමා කොහොමටත් සිද්ධ වෙන්නේ.

    එතකොට අර මෑන් විල්බැරෝ එක හිතාමතාම හේත්තු කරලා ගිහින්ද එහෙම නැත්තම් මෑන්ස්ගේ මීටරේ වැඩකරන විදිහද?

     
    • henryblogwalker

      ජනවාරි 20, 2013 at 12:38 ප.ව.

      හිතාමතා නෙවෙයි. බාස්ලගෙ තියෙන නොසැලකිල්ල. මේ පොරවල් අර ග්‍රයින්ඩර් එක ප්ලග් කරලා ග්‍රයින්ඩර් එකේ ස්විච් එකෙන් විතරක් ඕෆ් කරලා බිම දාලා එතනම උඩ බලාගෙන ඇවිදින උන්. හුඟක් වෙලාවට මම දැකලා ඕෆ් කරනවා මුං කකුලක් වෙං වෙන්න කපාගන්න ඉස්සර.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: