RSS

110. මං කවුරු වෙන්නද ආසා…

21 Jan
110. මං කවුරු වෙන්නද ආසා…

බ්ලොගර් හිතවතුන් සඳහා මෙම ලිපිය මගේ ඩෙනිමේ පළ කර ඇත.

“අවුරුදු පහළොවක්ම බ්ලොග් ලිව්වට පස්සෙයි ඕං මට ලියන්න හැකියාවක් නැති බව මම දැනගත්තෙ?”

“ඈහ්, එතකොට මොකද කලේ? බ්ලොග් ලිවීම අතෑරියා?”

“මගුලක් කතා කරනවා? ලිවීම අතාරින්නෙ කොහොමද? ඒ වෙනකොට මම හෙන ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙලා ඉවරයි.”

මේක මම අහලා තියෙන පොඩි විහිලු කතාවක් වුනාට, මට වෙලා තියෙන දේත් එක්ක මේකෙ යම් අදාලත්වයක් තියෙනවා.

(මේ ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින් යන්න.)

මගෙ ජීවිතෙන් වැඩි හරිය ගුරුකම කලාට මොකද, ගුරු වෘතිය ඇත්තෙන්ම තියෙන්නෙ මගෙ කරන්න ආසා ජොබ් ලැයිස්තුවේ අඩියටම වෙන්න. ඉන්න පොඩ්ඩක් බලන්න. හෑ? අඩියටම වෙන්න නෙවෙයි. ඒක ඒ ලැයිස්තුවෙ ඇත්තෙත් නෑ.

නිකමට බලා ගන්න මගෙ කූල් ජොබ් ලැයිස්තුව කෙටි කරලා, වාරණය කරලා, කෑල්ලක් විතරක් මෙතන දාන්නම්. හරි, හරි, ඔය පිළිවෙල ටිකක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්.

Photographer, Photo Journalist, Journalist, Travel Writer, Writer, Artist, Architect, Civil Engineer, Draughtsman, Landscape Artist, Horticulturist, Pilot, Aircraft Technician, Rally Driver, F1 Driver, PTI, Doctor, Surgeon, Seaman, Computer Dude, Computer aided designing , Fashion designer, Advertising, Guitarist, Engine Driver…

මේකෙන් අදහස් වෙන්නෙ නෑ, මම අසාර්ථක, මහ එපා කරපු ගුරු හොරෙක් බව. අයියෝ නෑ. ඔය සමහරු කියන්නෙ මම ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කියලා. මේක ඉතින් ආත්ම වර්ණනාවක් වගේ පේන්න පුලුවන් වුනත්, ඔය හුඟක් ගෝලයො එහෙම කියනවා. ඕන්නම් අහලා බලන්නත් පුලුවන්.

ඒ වුනාට, මට පේන්නම බැරි ජොබ් එකක් තමයි ගුරු වෘතිය. ඇත්තෙන්ම කිව්වොත්, සතියෙ පළවෙනි දවසෙ උදේ ඉස්කෝලෙ, පන්ති කාමරේට යන්න නැතුව, වෙන වෙන ඕනෙ දිහාකට යන්න තියෙනවා නම්, මම එක පයින්. පහුවදාට ඉස්කෝලෙ යන්න නෑ කියලා නින්දට යන්න තියෙන දවස්වල, දෙයියනේ කියල සැපට නින්ද යනවත් එක්ක!

කාටත් මතක් ඇතිනෙ, ඉස්සර ඉංග්‍රීසි රචනා වලට පට්ට ගහපු එක මාතෘකාවක් තිබුනා My Ambition කියලා. ඔය, තමන් ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියන එක සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්නෙ. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකෙක් නම් ඕකට දුන්න දුම් විසි වෙන උත්තරයක්. “පුතා ලොකු වුනාම කවුරු වෙන්නද ආසා?” කියලා අහපු ගමන් කොල්ල කියන්නෙ, “සීයා කෙනෙක්” කියලා. අපිත් ඕක අහගන්න, කොල්ල දකින ගානෙ ඔය ප්‍රශ්නෙ අහනවා.

ඔය ප්‍රශ්ණෙට උත්තරේ කාලයාගෙ ඇවෑමෙන් වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. මම එහෙම කිව්වම, නිකං හුරු පුරුදු ගතියක් දැනුනා නේ?

ඕං, මම සර්කස් එකක් බලලා ආපුවම, මාස ගානක් යනකල් මට ඕනෙ සර්කස් කාරයෙක් වෙන්න. තව එක කාලයක්, මම ආසම ජොබ් එක අයිස් ක්‍රීම් වෑන් රියැදුරෙක් වෙන්නයි. මොකද හැම කොල්ල, කෙල්ලගෙම අවධානය ලැබෙනවා වගේම, ඕනෙ වෙලාවක ගහක් යට නවත්තලා අයිස් ක්‍රීම් දෙසා බාන්න පුලුවන්නෙ ඉස්මුරුත්තාව හැදෙනකල්. අනේ මම එහෙමයි හිතා හිටියෙ!

ඉතින් ඔය විදියට කාලෙන් කාලෙට, ගිණි නිවන භටයා, බස් රියදුරා, අර පාරෙ තාර ගලවන ජැක් හැමර් ක්‍රියාකරු, දොඹකර ක්‍රියාකරු, දුම්රිය රියැදුරා, අභිරූපණ රංගන ශිල්පියා, ඩ්‍රම්ස් වාදකයා, කෙල්ලන්ගෙ ස්කූල් බස් රියැදුරා වගෙ එක එක ජොබ් වලට ආසාව මාරු වුනා.

රස්සා හොයන කාලෙ කරපු ඇතුලත් වීමේ විභාගයක් ඉහලින් පාස් වීමේ හේතුවෙන් අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන.

මේ රස්සාවට ආවේනික දීර්ඝ කාලීන අරමුණු ජයගන්න, තමන්ගෙ උනන්දුවට වඩා තව කෙනෙක්ගෙ කැපවීම හා වාසනාව බලපෑවා. ඇත්තෙන්ම පාන් හැදුවොත්, ටික වෙලාවකින් සුවඳ හමන, උණු, උණු පාන් දකින්න හැකි බේකරි කාරයෙකුට, මීට වඩා ලැබීමක් තියෙනවා.

මම නිදහස් වෙලාවට ආසාවෙන් කරපු ගිටාර් වාදනය, නියම ආතල් වැඩක් හැටියටයි මම කවදත් දැක්කෙ. ඒ ආමි බෑන්ඩ් එකේ ගිටාර් වාදනය කරපු ධනුෂ්ක දවසක් මුන ගැහෙනකල්.

“අඩේ උඹ නම් මාර ලකී පොරක් බං.” මම මූට පාරක් අනින ගමන් කිව්වා.

“ඒ මොකෝ බං හෙන්රි අයියෙ උඹ එහෙම කියන්නෙ?”

“මේ අහපං. අපේ රස්සාවල් වල හෙන ස්ට්‍රෙස් එකනෙ බං. මට ‍ෆ්‍රී ටයිම් එකක් හම්බ වුන ගමන් මම කරන්නෙ ගිටාර් එක අරන් ගහන එක. ඒකෙන් මාර සැහැල්ලුවක් දැනෙනවා. මට ඕනෙ නම් මුලු දවසම, නොකා නොබී, ගිටාර් එක අත ගගා හිටියෑකි, අර කියන දේ අහන්නෙ නැති, ඉගෙන ගන්න ඕනෙ නැති එවුන් රංචුවකට ඉංග්‍රීසි උගන්නනවට වඩා. නමුත් ආපහු යතාර්ථයට යන්න වෙනවා බං, ටිකකින්…”

“ඉතිං?”

“ඉතිං යකෝ උඹලාට, ගිටාර් එක ගහනවා වගේ ආතල් ජොබ් එකක් කරනවට පඩියකුත් හම්බවෙනවා. ඉතින් උඹලා මාර ලකී නැද්ද? මට නම් ඇත්තටම උඹලා ගැන මාර ජෙල බං. සමහරුන්ට දෙන දෙයියෝ හොම්බට ඇන ඇන දෙනවා කියන්නෙ ඕකට තමයි.”

“හැක් හැක් හැක්!” ධනුෂ්කයා කින්ඩියට හිනාවුනා.

“මොකද උඹ හිනාවෙන්නෙ? මම දැං හිනා යන මොකුත් කිව්වද?”

“හිනා යන්නැද්ද බං? මේ අහපංකො. මාත් ආමි බෑන්ඩ් එකට බැ‍ඳෙන්න කලින් උඹ වගේම ගිටාර් ගහන්න මාර ආසයි බං. දැං ඒක ජොබ් එක හැටියට කරන්න ගත්තට පස්සෙ, මට ගිටාර් ගැහිල්ල එපා වුනා. උඹ දන්නවද බං හෙන්රි අයියෙ. මට ‍ෆ්‍රී ටයිම් එකක් හම්බවුනාම මම ගිටාර් එකක් අල්ලන්නවත් කැමති නෑ. මට ඊට වැඩිය සැපයි බං වත්තෙ වලක් කපන එක ‍ෆ්‍රී ටයිම් එකට. දෙයියම්පල්ලා.”

මම මූ කියන එක අහං හිටියෙ කට ඇරගෙන බව ටිකකින් මට තේරුනා.

“උඹ දන්නවද අයියෙ, මේ කොළඹ සමහර ලොකු ඉස්කෝල වලින් අපිව ඉල්ලනවා ඒවයෙ බෑන්ඩ් වලට ප්‍රැක්ටිස් කරන්න. අපේ එවුන් මරා ගන්නෙ නැතුව විතරයි එහෙම චාන්ස් එකක් ආවාම ඒකට දුවන්න. අපි මාර ආසයි බං ළමයින්ට උගන්නන්න.”

“නෑ!!!! අනේ පලයං යන්න.”

බලනකොට මයෙ කට ආයෙ ඇරිලා.

මේ ලිපිය මුල් වරට HeyDude බ්ලොග් අඩවියේ Some Guys Have All The Luck යන මාතෘකාවෙන් පළවිය.

බ්ලොගර් හිතවතුන් සඳහා මෙම ලිපිය මගේ ඩෙනිමේ පළ කර ඇත.

myguitarist

 

ටැග: ,

9 responses to “110. මං කවුරු වෙන්නද ආසා…

  1. hiruni

    ජනවාරි 22, 2013 at 2:07 පෙ.ව.

    ඕක හැමෝටම ඔහොම තමයි ඩුඩ්…… මම හිතන්නෙ ගෙදර ඉදන් නිදහසේ ඉන්න කෙනෙක් වුනත් කැමති ඇති එහෙම ඉන්නවට වඩා මහන්සි වෙලා වැඩක් කරන්න….😀😀😀

    අර කිව්වත් වගේ ඕක තමා මිනිස් ගතිය…..ඒත් ඩුඩ් කොච්චර අකමැති උනත් ඔයා උපරිමෙන්ම තමන්ගෙ වගකීම කරනවනේ…. ඒක අපි හොදටම දන්න දෙයක්….ඒක තමා වටින්නේ….

     
    • henryblogwalker

      ජනවාරි 22, 2013 at 10:50 පෙ.ව.

      මම මහන්සි වෙලා වැඩ කරන්න අකමැතියි කිව්වේ නෑ. මේකෙ තියෙන්නෙ වෙන ප්‍රශ්ණ. උත්තර නැති විසඳුම් නැති ප්‍රශ්ණ.

      ඔව්, ඒත් මම උපරිමය කරනවා.

       
  2. Kenji @ Japan

    ජනවාරි 22, 2013 at 6:02 පෙ.ව.

    ඔබ දරුවන්ට උගැන්වීමේ ප්‍රතිපල ලැබෙන්නෙ ඉදිරියෙදී.ආතතිය අද කාටද නැත්තෙ හෙන්රි.අපි සුපිරි ජොබක් කියල හිතපු,චන්ද කොමාටත් ඩබල් ආතතිය හැදිල මැරෙන්නෙ නැතිව බේරුනේ.වයසට ගිය කාලෙට මග තොටේදී මුණගැහෙන ගෝල බාලච්චියෝ මම අහවල් රටේ අහවලා,මම අලුතින් පත් උන CJ,මම රනිල් ජනාධිපතිතුමාගේ අහවල් උපදේශක,මම නාමල් අගමැතිතුමාගේ ලේකම් කියද්දී හිතට දැනෙන සනීපෙ :)!!!!!

     
    • henryblogwalker

      ජනවාරි 22, 2013 at 10:52 පෙ.ව.

      ඔව් කෙන්ජි. නමුත් ප්‍රතිඵල රඳා පවතින්නෙ මම කිව්වා වගෙ තමන්ගෙ උනන්දුවට වඩා තව කෙනෙක්ගෙ කැපවීම හා වාසනාව මතයි ඒකයි අවුල.
      හොඳ වෙලාවට අර ජොබ් එක සුපිරි එකක් කියලා මම කවදාවත් හිතුවෙ නෑ.

       
      • Kenji @ Japan

        ජනවාරි 22, 2013 at 1:24 ප.ව.

        කොහොමත් එ සුපිරි ජොබ ඔබට ගැලපෙන්නෙ නැහැ.මොකද දිව දෙකට කැපිල,කොන්දට හෙන වැදිලා තියෙන්න ඕන.

         
  3. RanDil

    ජනවාරි 22, 2013 at 9:33 පෙ.ව.

    When daddy was a little boy……………………………. hi hi

    (I’m going to mail you, check your inbox dude)

     
  4. Ravi

    ජනවාරි 22, 2013 at 11:00 ප.ව.

    උඹ කිව්වට විස්වාස කරන්නෙ නැතිවෙයි හෙන්රි..පොඩි කාලෙ ඔය හැමෝටම කාලෙන් කාලෙට හිතෙනවනෙ මම ලොකු උනහම අරම වෙනව මෙහෙම වෙනව කියල…මට කවදාවත් එහෙම අයිඩියා එකක් තිබුනෙ නෑ. අම්මගෙ යාලු ඇන්ටිල එහෙම ඔය ප්‍රශ්නෙ ඇහුවම මම තුස්නිම්බූත වෙල වගෙ බලා හිටිය කියල අම්ම කියන්නෙ.පොඩි කාලෙ ඇරිච්චාවෙකො ඊට පස්සෙ උනත් මට ජීවිතේ මෙහෙම කරන්ට ඕන අරම වෙන්ට ඕන කියල කිසිම අරමුණක් තිබ්බෙ නෑ..නිකං ඔහෙ ජොලියෙ පොතක් පතක් බලාගෙන කවියක් දෙකක් ලියාගෙන ඉන්ට තිබ්බ නං ආන්න මගෙ පරමාදර්ශී ජීවිතේ ඒක තමා.

    ඔය විබාග කෙරිලි, කෝස් බෝස්, ඊට පස්සෙ රස්සාවල් උනත් මගේ දැඩි උනන්දුවකින් කොහෙත්ම තොරව මේ එක එක්කෙනා කිව්වට කරපුව සහ දෙන දෙයියො හොම්බට ඇන ඇන දෙනව කිව්ව වගෙ මට නිරායාසයෙන්ම ලැබිච්ච එව්ව.අපරාදෙ කියන්ට බෑ.ඇස්වහක් කටවහක් නෑ මට එහෙම ලැබීම නම් තියනව එකසිය ගාණට…..🙂🙂

     
  5. දුකා

    ජනවාරි 27, 2013 at 3:18 ප.ව.

    උඹට කියන්න මට ඔය මම කවුරු වෙන්නද කැමති කියන එක හරියට තේරුම් ගත්තු කාලේ ඉඳන් මම හීන මැව්වේ ඩාන්සිං ටීච කෙනෙක් වෙන්න.

    හතේදි සෞන්ධර්ය විෂයට ඩාන්සින් තෝර ගත්තෙත් ඒ හින්දමයි.

    කරුමෙද වාසනාවද මන්දා බන් ඕලෙවල් වලින් ඩාන්සින් ෆේල් අනිත් ඔක්කෝම පාස්. . .

    හික්ස්

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: