RSS

Monthly Archives: පෙබරවාරි 2013

115. පිස්සු හැදෙන සඳ! Bizarre Laws.

115. පිස්සු හැදෙන සඳ! Bizarre Laws.

ලෝකෙ තියෙන පිස්සුම නීති විසි පහක් ගැන මේ ලඟදි මට කියවන්න ලැබුනෙ අන්තර්ජාලෙ list25.com වෙබ් අඩවියෙන්.

නීති තියෙන්නෙ පුරවැසියන්ගෙ යහපතට වුනාට සමහර නීති නම් මොනවට හැදුවද කියල හිතාගන්නවත් බැරි තරම් විකාරයි.

හරි කතා ඇති. මෙන්න ලෝකෙ විකාරම නීති විසිපහ.

 

25. එක්සත් ජනපදයෙ New Jersey වල, මිනී මරද්දී වෙඩි නොවදින කබායක් ඇඳගෙන  සිටීම නීතියෙන් තහනම්.

24 එක්සත් ජනපදයෙ.North Carolina වල බිංගෝ ක්‍රීඩාවක් පැය පහකට වඩා එක දිගට පැවැත්වීම තහනම්.

23. එක්සත් ජනපදයෙ North Dakota හි කිසිම අවන් හලකදී හෝ මත් පැන් හලකදි බීර සහ ප්‍රෙට්සල්ස් එකට පිළිගැන්වීම තහනම්.

22. ජූනි මාසෙදි හාවෙකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී වෙන්නෙ ඔබ ඉන්නෙ එක්සත් ජනපදයේ Wyoming වල නම් විතරයි.

21. ඔබ එක්සත් ජනපදයෙ Idaho වල නම් ඉන්නෙ බලාගෙනයි, ඔබේ පෙම්වතියට රසකැවිලි පාර්සලයක් තෑගි දෙන්නෙ. ඒ මොකද ඒ පාර්සලය රාත්තල් පනහකට වැඩි වීම නීති විරෝධියි.

20. එක්සත් ජනපදයෙම Maine වල නත්තල් සැරසිලි ජනවාරි 14න් පසු තියෙන්නට හැරීම නීති විරෝධීයි.

19. එක්සත් ජනපදයෙ Connecticut වලදි පාර මාරුවෙන්න පුලුවන් කකුල් වලින් ඇවිදගෙන විතරයි. ඔබ අත් වලින් ඇවිදගෙන පාර හරහා ගියොත් ඔබව අත් අඩංගුවට ගන්න පුලුවන් ඒ වරදට.

18. ලන්ඩනයේ පාර්ලිමේන්තු ගොඩනැගිලිවල London’s Houses of Parliament මිය යාම නීති විරෝධියි.

17. ස්වීඩනයේ තට්‍ටු නිවාසවල ජීවත්වන්නන් රෑ දහයෙන් පස්සෙ වැසිකිලිය ෆ්ලෂ් කිරීම තහනම්.

16. එක්සත් ජනපදයෙ Vermont  වල ජීවත් වෙන කාන්තාවන් බොරු දත් දානවා නම් සැමියාගේ ලිඛිත අවසරය ඒ සඳහා ලබාගත යුතු වෙනවා.

15. වයස 18ට අඩු අය පින් බෝල් යන්ත්‍රවල ක්‍රීඩා කිරීම තහනම් එක්සත් ජනපදයේ South Carolina වල.

14. රේල් පීලි මතට ලුණු දැමීම එක්සත් ජනපදයේ Alabama වල මරණීය දන්ඩනය නියම කල හැකි වරදක්.

13. එක්සත් ජනපදයේ Arizona හි බූරුවන්ට නාන ඔරුවල නිදාගන්න දෙන්නෙ නෑ.

12.. රියැදුරෙකු නැති කිසිම වාහනයක් පැයට හැතැප්ම 60කට වඩා වේගයෙන් ධාවනය කිරීම වරදක් වෙන්නෙ එක්සත් ජනපදයේ California හිදීයි.

11. එක්සත් ජනපදයේ Alaska වේ ඡායාරූප ගැනීම සඳහා නිදා සිටින වලසෙකු අවදි කිරීම තහනම්.

10.එක්සත් ජනපදයේ Connecticut වලදී ඔබ පැයට සැතපුම් 65කට වැඩි වේගයෙන් පාපැදියක් පැද්දොත් පොලීසියෙන් ඔබව නතර කරාවි.

9.එක්සත් ජනපදයේ Wisconsin වල රජයේ බන්ධනාගාරවල ‍රැඳවියන්ට බටර් වෙනුවට බටර් ආදේශක සැපයීම නීති විරෝධියි.

8. ජිරාෆයකුගේ පිටේ නැගගෙන මාලු බෑම තහනම් වන්නෙ එක්සත් ජනපදයේ Illinois වලදියි.

7. එක්සත් ජනපදයේ Louisiana වල බැංකුවක් මංකොල්ල කන්න අදහසක් තියෙනවානම් හොඳට මතක තියාගන්න, එහෙදි බැංකුව මංකොල්ල කෑවට පස්සෙ බැංකු සේවකයට වතුර පිස්තෝල වලින්  වෙඩි තියන්න තහනම් කියලා.

6. එක්සත් ජනපදයේ Colorado වල නිවැසියන්ට අල්ලපු ගෙදරින් වැක්‍යූම් ක්ලීනරය ඉල්ලා ගැනීම වැ‍රැද්දක්.

5.කිසිම කෙනෙකුට තාරාවෙක් හිස මත තබාගෙන Minnesota ප්‍රාන්ත සීමාව පසු කර යාමට ඉඩක් නෑ.

4.යම් අයෙක්  එක්වර පුද්ගලයන් තුන් දෙනෙකුට වඩා බීම අරන්දීම එක්සත් ජනපදයේ Las Vegas වල නීති විරෝධී ක්‍රියාවක්.

3. ඩෝනට් සිදුරු (උලුඳු වඩේ සිදුරු වගේ) විකිනීම තහනම් කියලා කියන්නෙ එක්සත් ජනපදයේ Nebraska වලයි. ඒක කරන්නෙ කොහොමද කියලා මගෙන් අහන්න එපා.

2. එක්සත් ජනපදයේ Pennsylvania හි වැසියන් ගෙයින් පිටත ශීතකරනයක් තබා ඒ මත නිදා ගැනීම සම්පූර්ණයෙන් තහනම්.

1.එක්සත් ජනපදයේ Vermont හිදී දිය යට ඉඳ විස්ල් කිරීම සපුරා තහනම්.

 
ප්‍රතිචාර 46

Posted by මත පෙබරවාරි 21, 2013 in පරිවර්තන

 

ටැග:

114. දොඩමලු සේයාරූ – මෙතෙක් කතාව සහ අද එතැන් සිට

114. දොඩමලු සේයාරූ – මෙතෙක් කතාව සහ අද එතැන් සිට

මම වතාවක් මේ බ්ලොග් අඩවියට ලිව්වා පෝස්ට් එකක් “ලංකාවෙ ඉන්නෙ මාර වැඩ කාරයො හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි” කියලා.

Blogger වලින් කියවන්න  මෙතන ඔබන්න.

ඒකෙ පලවුන මේ මමම ගත්ත පින්තූර තුනෙන් සමහරක් මෙන්න මටම එවනවා සමහරු ඊ මේල් හැටියට. විලිලැජ්ජා සන්තෝසෙ බෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ උස්සපු තැනක සටහනක් වත් නෑ.

හරි කොපි කරන එක වලක්වන්න බෑයි කියමුකෝ. නැට්ට පිටින් අලි මැරෙන්නෙ. කොපි කරන්නෙ හොඳ දෙයක්නෙ කියලා මාත් හිත හදා ගත්තා. ඒක ලේසියි.

මුලින්ම ඒ පින්තූර තුන මේ.මේ පාර ගැහුවා හංවඩුව.

මෙතෙක් කතාව…

Toilet Symbol Modified. Sigiriya.

මේ පින්තූරේ මම ගත්තෙ සීගිරිය රථගාලේ වැසිකිලියෙ තිබිලා. බලන්න නිර්මාණශීලිත්වය විතරක්. බලන්න අත් තියාගෙන ඉන්න හැටි. පස්සෙ ඒකට තවත් ඊටත් වැඩිය නිර්මාණශීලියෙක් කොටස් පවා එකතු කරලා.

වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත සෝදාගන්න කියන එක ආසියාතික අපට අලුත් දෙයක් නෙවෙයිනෙ. හැබැයි මේ #2 සම්බන්ධයෙනුයි. #2 ට පස්සෙ වතුර සහ වමත පාවිච්චිකරන ආසියාතිකයොත්, කඩදාසි පාවිච්චි කරන බටහිර වැසියොත් එකිනෙකා දිහා අවඥාවෙක් බලනවනෙ ‘තමන් තමයි, හරි අනිකා වැරදියි’  කියන මතයෙ ඉඳගෙන.

#1ට පස්සෙ සබන් යොදා අත සෝදාගැනීම ආසියාතික අපි අතර දුලබ  වුනත් බටහිරයන් අනිවාර්යයෙන් කලයුතු චාරිත්‍රයක්.  #1 සම්බන්ධයෙන් අපිට එච්චර ආඩම්බර වෙන්න බැරි නිසා හෝ බහුතරයක් ඒ ගැන නොදන්නා නිසා හෝ ඒ කාරණය යටපත් වෙලා තියෙන්නෙ කියලයි මම හිතා හිටියෙ පහුගිය දෙසැම්බර්  29 වෙනිදා වෙනකල්. මං කොච්චර වැරදිද!! අපේ පොරවල් අත් විතරක් නෙවෙයි කකුලුත් හෝදනවා කියලා දැන ගත්තම මගෙ හදවත ආඩම්බරයකින් පිම්බුනා. මේකත් කාර් පාක් වැසිකිලියකින්. තැන හරියටම කියනවා නම් නාවින්නෙ අර්පිකෝ සුපිරි වෙලඳ සැලේ රථ ගාලේ වැසිකිලියෙන්.

 

Good Manners!

Good Manners!

Courtesy of Google. Source unknown.

සාමාන්‍යයෙන් වින්ඩ්ස්ක්‍රීන් වයිපර්ස් ගැන කවුරුත් දන්නවනෙ. ඊටත් එහාට ගිහින් Volvo, SAAB, Mercedes Benz වගෙ සමහර මෝටර් රථ නිශ්පාදකයො කාලෙකට ඉහතදි හෙඩ් ලයිට් එකටත් වයිපර් එකක් හයි කලානෙ මේ වගෙ. 

අපේ පොරවලුත් නිකං හිටියෙ නෑ. උන්ට එහෙම පුලුවන් නම් අපිට බැරි මොකෝ කියල හයි කලානෙ නම්බර් ප්ලේට් වයිපර් එකක්. මම මේක දැක්කෙ පහුගිය නිවාඩුවෙදි (ලංකාවෙදි. පුදුම ආඩම්බරයක් මට දැනුනෙ.)

 

License Plate Wipers The Modern Invention. henryblogwalker.

License Plate Wipers The Modern Invention. henryblogwalker.



අද එතැන් සිට


 Windows Snipping Tool එක දන්නවනෙ ඔයාලා කවුරුත්? ඒකෙන් පුලුවන් නෙව ස්ක්‍රීන් ෂොට් අරගන්න කැමති විදියකට.නොදන්න අය මේ බලන්නකො. මෙන්න මේ කතුර තමයි අයිකන් එක.


මම කොහොමත් ඔය කාර්මික අංසෙට නැඹුරුයි කියලා ඔයාලා දන්නවනෙ දැනටමත්. මේ ලඟදි මම කම්පියුටර් ලැබ් එකට ගියවෙලාවෙ දැක්කා ඔය Windows 7 තියෙන CPU  එකක් ගලවලා තියෙනවා. මම එබිලා බැලුවා. මෙන්න තියෙනවා Windows Snipping Tool එකේ හාඩ්වෙයා කෑල්ල දිලිසි දිලිසි. ඉතින් මම පට් ගාලා ගත්තා ඒකෙ පින්තූරයක් ඔයාලා වගේ වැඩිය කොම්පීතර් වැඩ නොදන්න අයට බලා ගන්න.

 IMG_20130110_124248

 පහුගිය නිවාඩුවට ගෙදර ගිය වෙලාවේ මම ගියා ඉලෙක්ට්‍රීෂන් මල්ලි කෙනෙක් හම්බුවෙන්න පොඩි වැඩක් කරගන්න.  බුවා වැඩ කාරයා. මේ බලන්නකො සීලිං ෆෑන් එක.

පේනවද රිමෝට් එකකුත් තියෙනවා?

IMG_20121206_124149

 එදා සූර්යග්‍රහණයක් තිබ්බ දවසක්. අනිත් හැමෝම උඩ බලද්දි ඩූඩ් බැලුවේ බිම. අනිත් උන් එක ඉරක් දකිද්දි මං තුමා ඉරවල් දහස් ගානක් දැක ගත්තා.

DSC02818

 ඔන්න සමහර යාලුවන්ට සූර්යග්‍රහණය නොතේරුනයි කිව්ව නිසා පොඩි පැහැදිලි කිරීමක් කරලා අප්ඩේට් එකක් දානවා.

මතකනෙ සිදුරු කැමරාව? ඒකෙ එක පැත්තක තියෙන්නෙ සිදුරක්. අනිත් පැත්තෙ තෙල් ගාපු කඩදාසියක්. මේකෙ ලෙන්ස් එකක් (කාචයක්) නැති වුනත්, අර සිදුර කාචයක් වගේ ක්‍රියා කරලා කැමරාව ඉස්සරහ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බ හදනවා අර තෙල් කඩදාසිය මත.

ඒ ක්‍රමයටමනෙ වහලෙ තියෙන පුංචි සිදුරකින් එන එලියෙන් අඳුරු කාමරේ ඇතුලෙ එලියෙ තියෙන ගස් වැල් හෙලවෙනවා පේන්නෙ.

අන්න ඒ විදියටම මෙතනදි ගහක අත්තක් අස්සෙන් ඉර එලිය බිමට වැටෙනකොට ඉරේ ප්‍රතිබිම්බ දහස් ගනනක් බිම හෝ බිත්තියේ හැදෙනවා කොල අත්තෙ කොල න‍ටු අතරේ ඇති කුඩා පරතර තුලින් ගමන් කරලා ඒ පරතර සිදුරු කැමරාව වගේ ක්‍රියා කරලා.

ඕක වෙනදටත් වෙනවා, මෙතනදි ඔය C අකුරු වගේ පේන්නෙ.සූර්යග්‍රහණය වෙලාවෙ පොලොවට පෙනෙන සූර්යයාගේ ප්‍රතිබිම්බ සිය ගානක්.

බොලව් මම ඉංගිරිස් ගුරෙක්, හරිද? (භෞතික) විද්‍යා ගුරුවරයෙක් නොවෙයි.)

 

මටත් හොයා දීපල්ලකො මේවගෙ නිදහසේ කරන්න පුලුවං  සිකියුරිටි ජොබ් කට්ටක්. මාරෙ උඹලත් මෙහෙමද බං?

OLYMPUS DIGITAL CAMERA

මේ එයාපෝර්ට් සික්‍යුරිටි. කොහෙද කියලා කියන්න ඕනෙ නෑනෙ. 😀

 


ප.ලි:


DDT  මෙහෙම ඇහුවනෙ මේ දවසෙ  February 5, 2013 at 2:39 PM

ඒක නෙවි, ඩූඩ් මොකද මේ දවස්වල මල අතේ තියන් ලියපුවම දාන්නෙ එක දිගට?

Simulblogged @ මගේ ඩෙනිම.

 

ටැග: , , ,

113. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?

113. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?

එදා තමයි මගේ පුංචි මස්සිනා එක්සත් රාජධානියේ ‘සෑන්ඩ්හර්ස්ට් රාජකීය යුධ හමුදා අකැඩමියට’ පිටත් වෙලා ගියේ. ඉතින් අපි නෑදෑයෝ පිරිසම ක‍ටුනායක යන්න ලේසි වෙන්න බො‍රැල්ලේ සර්පන්ටයින් තට්‍ටු නිවාසවල පදිංචිව හිටපු අනිත් මස්සිනාගේ ගෙදර තමයි ‍රැස් වෙලා හිටියේ.

මෙම ලිපිය Blogger වලින් කියවන්න මෙතන ඔබන්න.

ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ ‘ඕවල් එක’ කියලා හැඳුන්වූ නමුත්, පස්සෙ කාලෙකදි ඊට වඩා කට උල් කරලා කියන්න ‘සරවනමුත්තු’ කියලා නම වෙනස් කරපු ක්‍රීඩාංගනයෙ, එදා එක්තරා ඉස්කෝල දෙකක ක්‍රිකට් තරඟයක් තිබුනා. ආදි ශිෂ්‍යයෝ අල්ලපු වත්තෙ තියෙන සර්පන්ටයින් නිවාස බිමේ තැන තැන වාහන නවත්තාගෙන කරටි කැඩෙන්න අනුමත වෙමින් හිටියා.

අපි තුන්දෙනා ගිහින් හිටිය මෝටර් සයිකලය, මම මචං කාරයගෙ තට්‍ටු නිවාසෙ තිබුන බ්ලොක් එකේ පාතම තට්‍ටුවේ පඩි පෙල යට නවත්තලා තිබුනේ වැඩි ආරක්ෂාවට. වරින් වර එහෙ මෙහෙ දුවන්න මම මෝටර් සයිකලය ගන්න එන ගානේ, අර ආදි ශිෂ්‍යයො කවුරු හරි ඒක උඩ ඉඳගෙන, වීදුරුවක් අතින් ගෙන, බයිට් හපමින් හිටියා. මම ලඟට ගියාම, “ඔයාගෙද බයික් එක? සොරි ආ!” කියලා බැහැලා අයින් වුනා. ටිකක් හවස් වෙන්න වෙන්න. “අඩේ උඹේද මචං බයික් එක, ෂොරි ඈ!” දක්වාත්, අන්තිමේදි, “ඒයි මචං. වරෙං ෂොට් එකක් දාමු,” දක්වාත් දියුණු වුනා.

රෑ ක‍ටුනායකට යන්න අපි වාහනවලට නගිද්දීත් අතන මෙතන ‘පාටි කොට’ දකින්නට ලැබුනා. තවමත් පඩි පෙල යට තිබූ මෝටර් සයිකලය ලඟ, කන් සාක්කුවේ දමාගත් එකා දෙන්නා වැනි වැනී හිටියා.

කොහොම හරි, පුංචි මස්සිනාට සමු දීලා අපි කට්ටිය ආපහු බො‍රැල්ලට ආවේ මධ්‍යම රාත්‍රිය පහු වෙලා. සර්පන්ටයින් තට්‍ටු නිවාසවලට ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා ඇති ඒවා ප්‍රමාණයෙන් කොච්චර කුඩාද කියලා. මමත් එහෙ ගියාම එලියට බහින කල් පුදුම අපහසුවකින් ඉන්නෙ. ඉතින් කොහොමත් පවුලේ කට්ටිය ඔක්කොටම නිදාගන්න නම් එහෙ ඉඩ නොතිබුන නිසා, අපි තුන් දෙනා ඒ රෑම මෝටර් සයිකලයෙ නැගලා ගෙදර ආවා.

ඔව්, ඔව්. බයික් එක පඩි පෙල යට යහතින් තිබුනා.

ඒ තවත් දිනයක්. අපේ ගේ ලඟම ඇති බස් නැවතුම් පොලේ සිටි මම බසයක් ඈත වංගුවෙන් මතුවෙන තුරු බලාගෙනයි හිටියේ. සාමාන්‍යයෙන් බසයේ හඬ මුලින්ම ඇසෙන නිසා කනුත් ඒ දිහාට යොමාගෙනයි මම හිටියේ. හරියටම රේසිං කාරයක් එකක් එනවා වැනි හඬක් වංගුව පැත්තෙන් ඇහුන නිසා මම තවත් උනන්දුවෙන් ඒ දිහා බැලුවා. පැයට කිලෝමීටර් සීයක හෝ වැඩි වේගයකින් වංගුවෙන් මතුවූ පික් අප් රථය දු‍ටු විටම එය පොලීසියේ අලුත් නහරකාර OIC මේ දිනවල පදවන රිය බවට මම හඳුනා ගත්තා. ඒ වේගයෙන් මේ වංගුව ගන්නේ කොහොමදැයි මගේ හිතට නැගුන පළමු සිතුවිල්ලයි. එම සිතුවිල්ලම සිතට නැගුනු රියැදුරාත් බ්‍රේක් පෙඩලය මත නගින්න ඇති.

තිරිංග අගුල් වැ‍ටුනා. රබර් ටයර තාර පාරේ ඇතිල්ලෙමින්, කලු දුමක් සමග වාහනය රවුම් කීපයක් පාරේ බඹරයක් මෙන් අධි වේගයෙන් කර කැවෙමින්, වංගුවේ ඇතුල් පැත්තේ වූ පොදු නාන ලිඳ වෙත ඇදී ගියා. මග තිබූ පොල් ගසේ වැදීමෙන් අවසාන මොහොතේ ලිං බැම්මේ නොගැටී නතර වුනු පිකප් රිය දූවිලි වලාව නිසා මොහොතකට නොපෙනී ගියා.

මොහොතකින් රිය නැවත පණ ගැන්වූ රියැදුරා, දූවිලි වලාවෙන් මහ පාරට අධි වේගයෙන් පසු පසට ධාවනය කලා. නැවතත් පාරට වන් රථය පෙරටත් වඩා වේගයෙන් ගමනාරම්භ කරමින් මා දෙසට ආවා. මම වහාම පාරෙනුත් ඉවතට පැන්නේ දෙවරක් නොහිතා. ඇත්තෙන්ම මේ සිද්ධිය දු‍ටුවේ මා පමණයි. පිකප් එක මා පහු කරනවිට, OIC නහරයා රියැදුරු අසුනේ සිට මා දෙස ඔරවා ගෙන ගියේ හරියටම ඒ මම කල වැ‍රැද්දක් වගේ.

“හොඳ වෙලාවට පාරේ වෙන වාහනයක් ආවේ නැත්තේ. යකෝ පොලීසියේ උන් මෙහෙමනම් වාහන එලවන්නෙ…” මම මටම කියාගත්තා.

ඒ අපි නැගෙනහිර පළාතේ දුෂ්කර සෙවා කට්ට කාලා කාලා නොවිඳිනා දුක් විඳලා යන්තම් ආපහු ගෙදර වන බස්නාහිර පළාතට ආපු ගමන්මයි. ගමේ වුනත් මහ ගෙදර ඉන්න ප්‍රතික්ෂේප කරපු අපි, ගමේම කුළියට ගෙයක් සොයමින් හිටියේ.

ඈතින් අක්කා කෙනෙක් වන, ඊටත් වඩා පවුලේ හිතවතියක් වන, ගමේ පොලීසියේ වැඩ කරපු උප පොලිස් පරීක්ෂක වරියක් කුළියට දීමට ඇති ගෙයක් ගැන දන්න බව මට දැන ගන්න ලැබුණ නිසා, ඊට දින කීපයකට පසු මම පොලීසියට ගියා. මෝටර් සයිකලය පොලීසිය මිඳුලේ ගහක් යට නතර කල මම පොලීසිය ඇතුලට ගොස් අක්කා සමග කතා කලා.

පොලිසියේ ඇගේ මේසය අවට හිටි අනිත් නිළධාරීන්ටත් මාව හඳුන්වාදුන් අක්කා, ඔවුන් දන්නා කුලී ගෙවල් ගැනත් විපරම් කලා.

ටිකකින් කතාව නිමකල මම පොලීසියෙන් එලියට ආවා.

එතකොටමයි කොහේදෝ සිට ඉගිලී ආ නහරයා මහා හඬින් තිරිංග යොදමින් පිකප් රිය පොලීසිය මිදුලේ නතරකර එලියට බැස්සේ. නහරයා පොලීසිය දෙසට යද්දී මම මගේ බයිසිකලය දෙසට ඇවිදගෙන ගියේ මගේ සුපුරුදු ගමනින්. මගේ ඇස් මානයේ සිටි පොලිස් පොඩ්ඩන් සීරුවෙන් සිටගත් බවත් මහ ජනතාවගෙන් වැඩි දෙනෙක්ගෙ කොඳු හදිසියේ පණ නැති වී, බෙලි ඇලවී අත් නිකට වෙත හෝ හිස් මුදුන වෙත ගමන් කර, මුහුණට නෝන්ජල් බයාදු පෙනුමක් ආ බවත් මම දැක්කා.

DSCN2842 - Copy

මෝටර් සයිකලයේ හැඬලය මත තිබූ හෙල්මට් එක හිසට දමාගත් මම එහි ගාංචුව සවි කරනා අතරතුර ඇසුනු කටහඬින් මගේ දෑස් පොලීසියේ ආලින්දය වෙත යොමු වුනා.

“ඒයි, අඩෝ! මොකද උඹ ඔය නිකං චන්ඩියා වගේ හිටගෙන ඉන්නෙ?”

නහරයා බලාගෙන හිටියේ මා දිහා උනත්, සැක හැර ගන්න මම ඔලුවා හරවලා පි‍ටුපසත් බැලුවා.

“අඩෝ උඹට තමයි කිව්වෙ. ඔය චන්ඩියා වගේ හිටගෙන ඉන්න එකාට.”

මම කිසිවක් නොකියා හෙල්මට් ගාංචුව තද කර ගත්තා.

“ඒයි, කවුද බං අරූ?” යි ලඟ සිටි පොලිස් පොඩ්ඩාගෙන් අසමින් OIC මා වෙත ආවා.

“මොකටද උඹ ආවේ?”

ඉඳුරන් පාලනය කරගත් මම,

“මම ආවේ අර WSI ‘අහවලී’ හම්බවෙන්න ගෙයක් ගැන දැනගන්න.”

“උඹ චන්ඩියෙක්ද? මට ඒ වගේ පේන්නෙ උඹ හිටගෙන ඉන්න විදියට?

“මම ගුරුවරයෙක්. මම සාමාන්‍යයෙන් හිටගන්න විදියට තමයි මම මේ හිටගෙන ඉන්නෙ”

එතකොටම පොලීසියෙන් එලියට ආ අක්කා ඉදිරිපත් වුනා.

“සර් මේ මගෙ මල්ලි කෙනෙක්. මාව හම්බවෙන්නයි ආවේ.”

“ආ තමුසෙගෙ මල්ලි කෙනෙක්ද? මෑන් නිකං හිතට අරං චන්ඩියා වගේ හිටගෙන හිටියේ, ඒකයි මට ඇල්ලුවේ නැත්තෙ.”

“මම හිට ගන්නෙ එහෙම තමයි කොහොමත්.” මමත් කිව්වා

“ආ එහෙමද? ගන්නවා බලන්න තමුසෙගෙ ලිය කියවිලි.”

මම දුන් ලියකියවිලි ඒ මේ අතට හරවා බැලුවත් වරදක් සොයා ගන්නට බැරිවුන පොලිස් ලොක්කා, මෝටර් සයිකලය වටේ රවුමක් ගියා.

“අහ් මේ තියෙන්නෙ!” පසුපස අංක තහඩුව ලඟ නැවතුන ලොක්කා ජයග්‍රාහී ලීලාවෙන් ගෙරෙව්වා. මමත් ඒ දිහා බැලුවා. ඊයේ වෙනතුරු අගේට තිබුන අංක තහඩුවේ පොඩි කෑල්ලක් අතුරුදහන්වෙලා තිබුනේ අංකයකින් බාගෙකුත් එක්ක.

මේක වෙලා තියෙන්නෙ අර මෝටර් සයිකලය ලඟ අනුමත වෙමින් හිටපු ආදි ශිෂයයෝ අතින්.

“දැන් මොකද කියන්නෙ?” ලොක්ක කට කොනක නලියන සමච්චල් හිනාවත් එක්ක මගෙන් ඇහුවා.

“ඕක වෙලා තියෙන්නෙ ඊයේ රෑ. බිග් මැච් එක වෙලාවේ…”

මගෙ විස්තරය පොලිස් චන්ඩියාගේ කිසිම ආකල්පමය වෙනසක් වෙනසක් කලේ නෑ.

“හරි. ගන්නවා මෙයාගෙ ලයිසන් එක. අරන් ටෙම්පරරි එකක් ලියලා දෙනවා.” ලොක්කා ලඟ හිටපු අක්කා අතටම රියැදුරු බලපත්‍රය දුන්නා. “මේක ලුමිනස් වලින් හදාගෙන ඇවිත් පෙන්නුවෙ නැත්නම් නඩු දානවා.”

මම ගෙදර ආවේ කේන්තියෙන් වෙව්ලමින්. මට ඒ වෙලාවෙ කරන්න දෙයක් නොමැති කමෙන් මට දැනුනෙ පුදුම අසරණකමක්. මම තුන්වෙනි ලෝකයේ රටක කොන්ද පණ නැති නිව‍ටුන් ‍රැලක් මැද ඉපදීම ගැන මටම සාප කරගත්තා. ඇත්තෙන්ම මේ කාලකන්ණියා මට චෝදනා කලේ සමාජයේ වරද නිසා. කොඳු පණ නැති, කකුල් වෙවුලන, ඔලුව කසමින් විරිත්තන නිව‍ටුන් අතර, සෘජුව හිටගෙන, හිස කෙලින් තියාගෙන හිටි මා කැපිලා පෙනුන නිසයි මේ හිත් වේදනාව.

පස්සෙ මම අංක තහඩුව හදාගෙන ගිහින් පෙන්නලා, මගේ රියැදුරු බලපත්‍රය ගන්නා විට අක්කාත් කිව්වේ මූ මහා තිරිසනෙක් බව. ඒ වගේම කිසි කෙනෙක් මේකාගේ ක්‍රියාකලාපය අනුමත නොකලත්, කරන්න දෙයක් නැති කමින් නිහඬව ඉන්න බව.

ඇත්තෙන්ම මේකා සමග රාජකාරි කරන මේ මිනිස්සුන්ට කොයි තරම් පීඩනයක් ඇතිද කියලා මට පස්සෙ කල්පනා වුනා.

එදාම මේ කාලකන්ණියා මගේ හිට් ලිස්ට් එකේ ඉහලම ස්ථානයට ගමන් කලා. දැන් වරදවා තේරුම් ගන්න එපා. හිට් ලිස්ට් එකෙන් අදහස් වෙන්නෙ වෙඩි තබා මරා දැමීම හෝ වෙනත් වද බන්ධනයකට ලක් කිරීම නෙවෙයි. කාලයාගේ ඇවෑමෙන් සංශෝධනය වූ වද දීම් වලින්, “අදාල ‘@#$% *&’ වතුර ටිකක් ඉල්ලමින් පාරේ වැටිලා හිටියොත්, කානුවට වැටෙන්නෙ පුකට පයින් ගහලා මගේ ගමන යාම” තමයි ඌට දැන් ලැබෙන ලොකුම දඬුවම. මේ හිට් ලිස්ට් එකේ ගුරුවරුන්, පොලිස් කාරයන්, පිරිස් කළමනාකරුවන් විතරක් නෙවෙයි, මාව සපා කෑ බල්ලන් දෙතුන් දෙනෙක් හිටියා.. සමහරු ප්‍රමුඛතාවයෙන් පහලට ගමන් කරලා ලැයිස්තුවෙන් අයිනුත් වුනා. නමුත් අලුතෙන් කට්ටියත් ඇතුල් වෙනවා. ඒත් මේකා තවම ඉන්නෙ මුදුනේ.

ප ලි. එදා සෑන්ඩ්හර්ස්ට් ගිය, කිසිදා තම නිලයෙන් හිස උදුම්මා නොගත් මා දැක ඇති අන්තිම නිහතමානී එකෙක් වූ පුංචි වීරයා, මගේ මස්සිනා, උතුරේදී දිවි පිදුවේ ඔහු මෙහෙයවා ජයග්‍රහණය කල තවත් මෙහෙයුමක් අවසානයේ, ඔහු ගමන් කල සන්නද්ධ රථයෙන් armored car එලියට පැමිණි විට, වෙඩි නොවදින කෙව්ලාර් ජැකට්‍ටුව පවා ඇඳ සිටියදීත්, ගෙල තුලින් ඇතුලු වී පපුව පසාරු කරගෙන ගිය අවාසනාවන්ත ස්නයිපර් උණ්ඩයකින්.

මේ අදාල නහරයා දැන් උගේ හොඳ යාලුවෙක් බව මගේ හිතවතෙක් මේ මෑතකදිත් කීවේ මගේ හිත රිදවමින්.

කාලකන්ණියා යහතින් සිටියදී හොඳ මිනිසුන් දුක් විඳ මියයාම, මා අදහන ආගමේ කර්මය ලෙසත්, මා නො අදහන අනිත් මැවුම්කාර ආගම්වල දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙසත් අර්ථ දැක්වුවත්, ඒ පිළිතුරු දෙකම ගැන මට නම් කිසිදා සෑහීමට පත් වෙන්න බැරි වුනා.

කෙසේ හෝ මේ කොඳු පණ නැති නිවට කම් අපේ සමාජයෙන් තුරන් කිරීමට නම් අපි සියල්ලන්ටම යම් භූමිකාවක් තියෙනවා.

සේවයක් ලබා ගැනීමට කොඳු නවමින්, හිස කසමින්, දණ්ඩ නමස්කාර කරමින් සර් කියමින් පස්සෙන් යෑම ලැජ්ජා සහගත දෙයක් වගේම සේවයක් ලබා දීමට තමන් වෙත එන ජනයාගෙන එවැනි කොඳු නැවීම්, හිස කැසීම්, දණ්ඩ නමස්කාර කිරීම්, සර්/මැඩම් කීම්, බලාපොරොත්තු වීමද ලැජ්ජා සහගත දෙයක්.

ඔබ පොලිස් නිලධාරියෙක් වුවත්, ආයතන ප්‍රධානියෙක් වුවත්, ගුරුවරයෙක් වුවත්, කාර්‍යාලයක ලිපිකරුවෙක් වුවත් ඔබත් අපේම සමාජයේ කොටසක්. නිවට නොවන අභිමානවත් මිනිසුන්ගෙන් යුත් සමාජයක ජීවත් වීමට මා මෙන්ම ඔබත් කැමතිනම් ඔබටත් ඒ ගැන යමක් කල හැකියි.

තමන් ගැන හීනමානයක් තියාගන්න එපා. අනිකාගේ හීනමානය වර්ධනය කරන වැඩ කරන්න හෝ හීනමානයට අනුබල දෙන්නත් එපා. අපි හැමදෙනාම යම් වටිනාකමක් තියෙන මිනිස්සු බව හැම විටම මතක තියාගන්න.

මේ දේවල් එකින් එක ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා නොදුන්නත්, මේ නිදහස් දිනයේදී ඔබම සිතා බලන්න මෙයට දායක වන්නේ කොයි අයුරින්ද යන වග.

animated-flag-sri-lanka

Simulblogged @ මගේ ඩෙනිම / My Blue Jeans

 

ටැග: ,