RSS

113. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?

04 පෙබ.
113. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?

එදා තමයි මගේ පුංචි මස්සිනා එක්සත් රාජධානියේ ‘සෑන්ඩ්හර්ස්ට් රාජකීය යුධ හමුදා අකැඩමියට’ පිටත් වෙලා ගියේ. ඉතින් අපි නෑදෑයෝ පිරිසම ක‍ටුනායක යන්න ලේසි වෙන්න බො‍රැල්ලේ සර්පන්ටයින් තට්‍ටු නිවාසවල පදිංචිව හිටපු අනිත් මස්සිනාගේ ගෙදර තමයි ‍රැස් වෙලා හිටියේ.

මෙම ලිපිය Blogger වලින් කියවන්න මෙතන ඔබන්න.

ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ ‘ඕවල් එක’ කියලා හැඳුන්වූ නමුත්, පස්සෙ කාලෙකදි ඊට වඩා කට උල් කරලා කියන්න ‘සරවනමුත්තු’ කියලා නම වෙනස් කරපු ක්‍රීඩාංගනයෙ, එදා එක්තරා ඉස්කෝල දෙකක ක්‍රිකට් තරඟයක් තිබුනා. ආදි ශිෂ්‍යයෝ අල්ලපු වත්තෙ තියෙන සර්පන්ටයින් නිවාස බිමේ තැන තැන වාහන නවත්තාගෙන කරටි කැඩෙන්න අනුමත වෙමින් හිටියා.

අපි තුන්දෙනා ගිහින් හිටිය මෝටර් සයිකලය, මම මචං කාරයගෙ තට්‍ටු නිවාසෙ තිබුන බ්ලොක් එකේ පාතම තට්‍ටුවේ පඩි පෙල යට නවත්තලා තිබුනේ වැඩි ආරක්ෂාවට. වරින් වර එහෙ මෙහෙ දුවන්න මම මෝටර් සයිකලය ගන්න එන ගානේ, අර ආදි ශිෂ්‍යයො කවුරු හරි ඒක උඩ ඉඳගෙන, වීදුරුවක් අතින් ගෙන, බයිට් හපමින් හිටියා. මම ලඟට ගියාම, “ඔයාගෙද බයික් එක? සොරි ආ!” කියලා බැහැලා අයින් වුනා. ටිකක් හවස් වෙන්න වෙන්න. “අඩේ උඹේද මචං බයික් එක, ෂොරි ඈ!” දක්වාත්, අන්තිමේදි, “ඒයි මචං. වරෙං ෂොට් එකක් දාමු,” දක්වාත් දියුණු වුනා.

රෑ ක‍ටුනායකට යන්න අපි වාහනවලට නගිද්දීත් අතන මෙතන ‘පාටි කොට’ දකින්නට ලැබුනා. තවමත් පඩි පෙල යට තිබූ මෝටර් සයිකලය ලඟ, කන් සාක්කුවේ දමාගත් එකා දෙන්නා වැනි වැනී හිටියා.

කොහොම හරි, පුංචි මස්සිනාට සමු දීලා අපි කට්ටිය ආපහු බො‍රැල්ලට ආවේ මධ්‍යම රාත්‍රිය පහු වෙලා. සර්පන්ටයින් තට්‍ටු නිවාසවලට ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා ඇති ඒවා ප්‍රමාණයෙන් කොච්චර කුඩාද කියලා. මමත් එහෙ ගියාම එලියට බහින කල් පුදුම අපහසුවකින් ඉන්නෙ. ඉතින් කොහොමත් පවුලේ කට්ටිය ඔක්කොටම නිදාගන්න නම් එහෙ ඉඩ නොතිබුන නිසා, අපි තුන් දෙනා ඒ රෑම මෝටර් සයිකලයෙ නැගලා ගෙදර ආවා.

ඔව්, ඔව්. බයික් එක පඩි පෙල යට යහතින් තිබුනා.

ඒ තවත් දිනයක්. අපේ ගේ ලඟම ඇති බස් නැවතුම් පොලේ සිටි මම බසයක් ඈත වංගුවෙන් මතුවෙන තුරු බලාගෙනයි හිටියේ. සාමාන්‍යයෙන් බසයේ හඬ මුලින්ම ඇසෙන නිසා කනුත් ඒ දිහාට යොමාගෙනයි මම හිටියේ. හරියටම රේසිං කාරයක් එකක් එනවා වැනි හඬක් වංගුව පැත්තෙන් ඇහුන නිසා මම තවත් උනන්දුවෙන් ඒ දිහා බැලුවා. පැයට කිලෝමීටර් සීයක හෝ වැඩි වේගයකින් වංගුවෙන් මතුවූ පික් අප් රථය දු‍ටු විටම එය පොලීසියේ අලුත් නහරකාර OIC මේ දිනවල පදවන රිය බවට මම හඳුනා ගත්තා. ඒ වේගයෙන් මේ වංගුව ගන්නේ කොහොමදැයි මගේ හිතට නැගුන පළමු සිතුවිල්ලයි. එම සිතුවිල්ලම සිතට නැගුනු රියැදුරාත් බ්‍රේක් පෙඩලය මත නගින්න ඇති.

තිරිංග අගුල් වැ‍ටුනා. රබර් ටයර තාර පාරේ ඇතිල්ලෙමින්, කලු දුමක් සමග වාහනය රවුම් කීපයක් පාරේ බඹරයක් මෙන් අධි වේගයෙන් කර කැවෙමින්, වංගුවේ ඇතුල් පැත්තේ වූ පොදු නාන ලිඳ වෙත ඇදී ගියා. මග තිබූ පොල් ගසේ වැදීමෙන් අවසාන මොහොතේ ලිං බැම්මේ නොගැටී නතර වුනු පිකප් රිය දූවිලි වලාව නිසා මොහොතකට නොපෙනී ගියා.

මොහොතකින් රිය නැවත පණ ගැන්වූ රියැදුරා, දූවිලි වලාවෙන් මහ පාරට අධි වේගයෙන් පසු පසට ධාවනය කලා. නැවතත් පාරට වන් රථය පෙරටත් වඩා වේගයෙන් ගමනාරම්භ කරමින් මා දෙසට ආවා. මම වහාම පාරෙනුත් ඉවතට පැන්නේ දෙවරක් නොහිතා. ඇත්තෙන්ම මේ සිද්ධිය දු‍ටුවේ මා පමණයි. පිකප් එක මා පහු කරනවිට, OIC නහරයා රියැදුරු අසුනේ සිට මා දෙස ඔරවා ගෙන ගියේ හරියටම ඒ මම කල වැ‍රැද්දක් වගේ.

“හොඳ වෙලාවට පාරේ වෙන වාහනයක් ආවේ නැත්තේ. යකෝ පොලීසියේ උන් මෙහෙමනම් වාහන එලවන්නෙ…” මම මටම කියාගත්තා.

ඒ අපි නැගෙනහිර පළාතේ දුෂ්කර සෙවා කට්ට කාලා කාලා නොවිඳිනා දුක් විඳලා යන්තම් ආපහු ගෙදර වන බස්නාහිර පළාතට ආපු ගමන්මයි. ගමේ වුනත් මහ ගෙදර ඉන්න ප්‍රතික්ෂේප කරපු අපි, ගමේම කුළියට ගෙයක් සොයමින් හිටියේ.

ඈතින් අක්කා කෙනෙක් වන, ඊටත් වඩා පවුලේ හිතවතියක් වන, ගමේ පොලීසියේ වැඩ කරපු උප පොලිස් පරීක්ෂක වරියක් කුළියට දීමට ඇති ගෙයක් ගැන දන්න බව මට දැන ගන්න ලැබුණ නිසා, ඊට දින කීපයකට පසු මම පොලීසියට ගියා. මෝටර් සයිකලය පොලීසිය මිඳුලේ ගහක් යට නතර කල මම පොලීසිය ඇතුලට ගොස් අක්කා සමග කතා කලා.

පොලිසියේ ඇගේ මේසය අවට හිටි අනිත් නිළධාරීන්ටත් මාව හඳුන්වාදුන් අක්කා, ඔවුන් දන්නා කුලී ගෙවල් ගැනත් විපරම් කලා.

ටිකකින් කතාව නිමකල මම පොලීසියෙන් එලියට ආවා.

එතකොටමයි කොහේදෝ සිට ඉගිලී ආ නහරයා මහා හඬින් තිරිංග යොදමින් පිකප් රිය පොලීසිය මිදුලේ නතරකර එලියට බැස්සේ. නහරයා පොලීසිය දෙසට යද්දී මම මගේ බයිසිකලය දෙසට ඇවිදගෙන ගියේ මගේ සුපුරුදු ගමනින්. මගේ ඇස් මානයේ සිටි පොලිස් පොඩ්ඩන් සීරුවෙන් සිටගත් බවත් මහ ජනතාවගෙන් වැඩි දෙනෙක්ගෙ කොඳු හදිසියේ පණ නැති වී, බෙලි ඇලවී අත් නිකට වෙත හෝ හිස් මුදුන වෙත ගමන් කර, මුහුණට නෝන්ජල් බයාදු පෙනුමක් ආ බවත් මම දැක්කා.

DSCN2842 - Copy

මෝටර් සයිකලයේ හැඬලය මත තිබූ හෙල්මට් එක හිසට දමාගත් මම එහි ගාංචුව සවි කරනා අතරතුර ඇසුනු කටහඬින් මගේ දෑස් පොලීසියේ ආලින්දය වෙත යොමු වුනා.

“ඒයි, අඩෝ! මොකද උඹ ඔය නිකං චන්ඩියා වගේ හිටගෙන ඉන්නෙ?”

නහරයා බලාගෙන හිටියේ මා දිහා උනත්, සැක හැර ගන්න මම ඔලුවා හරවලා පි‍ටුපසත් බැලුවා.

“අඩෝ උඹට තමයි කිව්වෙ. ඔය චන්ඩියා වගේ හිටගෙන ඉන්න එකාට.”

මම කිසිවක් නොකියා හෙල්මට් ගාංචුව තද කර ගත්තා.

“ඒයි, කවුද බං අරූ?” යි ලඟ සිටි පොලිස් පොඩ්ඩාගෙන් අසමින් OIC මා වෙත ආවා.

“මොකටද උඹ ආවේ?”

ඉඳුරන් පාලනය කරගත් මම,

“මම ආවේ අර WSI ‘අහවලී’ හම්බවෙන්න ගෙයක් ගැන දැනගන්න.”

“උඹ චන්ඩියෙක්ද? මට ඒ වගේ පේන්නෙ උඹ හිටගෙන ඉන්න විදියට?

“මම ගුරුවරයෙක්. මම සාමාන්‍යයෙන් හිටගන්න විදියට තමයි මම මේ හිටගෙන ඉන්නෙ”

එතකොටම පොලීසියෙන් එලියට ආ අක්කා ඉදිරිපත් වුනා.

“සර් මේ මගෙ මල්ලි කෙනෙක්. මාව හම්බවෙන්නයි ආවේ.”

“ආ තමුසෙගෙ මල්ලි කෙනෙක්ද? මෑන් නිකං හිතට අරං චන්ඩියා වගේ හිටගෙන හිටියේ, ඒකයි මට ඇල්ලුවේ නැත්තෙ.”

“මම හිට ගන්නෙ එහෙම තමයි කොහොමත්.” මමත් කිව්වා

“ආ එහෙමද? ගන්නවා බලන්න තමුසෙගෙ ලිය කියවිලි.”

මම දුන් ලියකියවිලි ඒ මේ අතට හරවා බැලුවත් වරදක් සොයා ගන්නට බැරිවුන පොලිස් ලොක්කා, මෝටර් සයිකලය වටේ රවුමක් ගියා.

“අහ් මේ තියෙන්නෙ!” පසුපස අංක තහඩුව ලඟ නැවතුන ලොක්කා ජයග්‍රාහී ලීලාවෙන් ගෙරෙව්වා. මමත් ඒ දිහා බැලුවා. ඊයේ වෙනතුරු අගේට තිබුන අංක තහඩුවේ පොඩි කෑල්ලක් අතුරුදහන්වෙලා තිබුනේ අංකයකින් බාගෙකුත් එක්ක.

මේක වෙලා තියෙන්නෙ අර මෝටර් සයිකලය ලඟ අනුමත වෙමින් හිටපු ආදි ශිෂයයෝ අතින්.

“දැන් මොකද කියන්නෙ?” ලොක්ක කට කොනක නලියන සමච්චල් හිනාවත් එක්ක මගෙන් ඇහුවා.

“ඕක වෙලා තියෙන්නෙ ඊයේ රෑ. බිග් මැච් එක වෙලාවේ…”

මගෙ විස්තරය පොලිස් චන්ඩියාගේ කිසිම ආකල්පමය වෙනසක් වෙනසක් කලේ නෑ.

“හරි. ගන්නවා මෙයාගෙ ලයිසන් එක. අරන් ටෙම්පරරි එකක් ලියලා දෙනවා.” ලොක්කා ලඟ හිටපු අක්කා අතටම රියැදුරු බලපත්‍රය දුන්නා. “මේක ලුමිනස් වලින් හදාගෙන ඇවිත් පෙන්නුවෙ නැත්නම් නඩු දානවා.”

මම ගෙදර ආවේ කේන්තියෙන් වෙව්ලමින්. මට ඒ වෙලාවෙ කරන්න දෙයක් නොමැති කමෙන් මට දැනුනෙ පුදුම අසරණකමක්. මම තුන්වෙනි ලෝකයේ රටක කොන්ද පණ නැති නිව‍ටුන් ‍රැලක් මැද ඉපදීම ගැන මටම සාප කරගත්තා. ඇත්තෙන්ම මේ කාලකන්ණියා මට චෝදනා කලේ සමාජයේ වරද නිසා. කොඳු පණ නැති, කකුල් වෙවුලන, ඔලුව කසමින් විරිත්තන නිව‍ටුන් අතර, සෘජුව හිටගෙන, හිස කෙලින් තියාගෙන හිටි මා කැපිලා පෙනුන නිසයි මේ හිත් වේදනාව.

පස්සෙ මම අංක තහඩුව හදාගෙන ගිහින් පෙන්නලා, මගේ රියැදුරු බලපත්‍රය ගන්නා විට අක්කාත් කිව්වේ මූ මහා තිරිසනෙක් බව. ඒ වගේම කිසි කෙනෙක් මේකාගේ ක්‍රියාකලාපය අනුමත නොකලත්, කරන්න දෙයක් නැති කමින් නිහඬව ඉන්න බව.

ඇත්තෙන්ම මේකා සමග රාජකාරි කරන මේ මිනිස්සුන්ට කොයි තරම් පීඩනයක් ඇතිද කියලා මට පස්සෙ කල්පනා වුනා.

එදාම මේ කාලකන්ණියා මගේ හිට් ලිස්ට් එකේ ඉහලම ස්ථානයට ගමන් කලා. දැන් වරදවා තේරුම් ගන්න එපා. හිට් ලිස්ට් එකෙන් අදහස් වෙන්නෙ වෙඩි තබා මරා දැමීම හෝ වෙනත් වද බන්ධනයකට ලක් කිරීම නෙවෙයි. කාලයාගේ ඇවෑමෙන් සංශෝධනය වූ වද දීම් වලින්, “අදාල ‘@#$% *&’ වතුර ටිකක් ඉල්ලමින් පාරේ වැටිලා හිටියොත්, කානුවට වැටෙන්නෙ පුකට පයින් ගහලා මගේ ගමන යාම” තමයි ඌට දැන් ලැබෙන ලොකුම දඬුවම. මේ හිට් ලිස්ට් එකේ ගුරුවරුන්, පොලිස් කාරයන්, පිරිස් කළමනාකරුවන් විතරක් නෙවෙයි, මාව සපා කෑ බල්ලන් දෙතුන් දෙනෙක් හිටියා.. සමහරු ප්‍රමුඛතාවයෙන් පහලට ගමන් කරලා ලැයිස්තුවෙන් අයිනුත් වුනා. නමුත් අලුතෙන් කට්ටියත් ඇතුල් වෙනවා. ඒත් මේකා තවම ඉන්නෙ මුදුනේ.

ප ලි. එදා සෑන්ඩ්හර්ස්ට් ගිය, කිසිදා තම නිලයෙන් හිස උදුම්මා නොගත් මා දැක ඇති අන්තිම නිහතමානී එකෙක් වූ පුංචි වීරයා, මගේ මස්සිනා, උතුරේදී දිවි පිදුවේ ඔහු මෙහෙයවා ජයග්‍රහණය කල තවත් මෙහෙයුමක් අවසානයේ, ඔහු ගමන් කල සන්නද්ධ රථයෙන් armored car එලියට පැමිණි විට, වෙඩි නොවදින කෙව්ලාර් ජැකට්‍ටුව පවා ඇඳ සිටියදීත්, ගෙල තුලින් ඇතුලු වී පපුව පසාරු කරගෙන ගිය අවාසනාවන්ත ස්නයිපර් උණ්ඩයකින්.

මේ අදාල නහරයා දැන් උගේ හොඳ යාලුවෙක් බව මගේ හිතවතෙක් මේ මෑතකදිත් කීවේ මගේ හිත රිදවමින්.

කාලකන්ණියා යහතින් සිටියදී හොඳ මිනිසුන් දුක් විඳ මියයාම, මා අදහන ආගමේ කර්මය ලෙසත්, මා නො අදහන අනිත් මැවුම්කාර ආගම්වල දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙසත් අර්ථ දැක්වුවත්, ඒ පිළිතුරු දෙකම ගැන මට නම් කිසිදා සෑහීමට පත් වෙන්න බැරි වුනා.

කෙසේ හෝ මේ කොඳු පණ නැති නිවට කම් අපේ සමාජයෙන් තුරන් කිරීමට නම් අපි සියල්ලන්ටම යම් භූමිකාවක් තියෙනවා.

සේවයක් ලබා ගැනීමට කොඳු නවමින්, හිස කසමින්, දණ්ඩ නමස්කාර කරමින් සර් කියමින් පස්සෙන් යෑම ලැජ්ජා සහගත දෙයක් වගේම සේවයක් ලබා දීමට තමන් වෙත එන ජනයාගෙන එවැනි කොඳු නැවීම්, හිස කැසීම්, දණ්ඩ නමස්කාර කිරීම්, සර්/මැඩම් කීම්, බලාපොරොත්තු වීමද ලැජ්ජා සහගත දෙයක්.

ඔබ පොලිස් නිලධාරියෙක් වුවත්, ආයතන ප්‍රධානියෙක් වුවත්, ගුරුවරයෙක් වුවත්, කාර්‍යාලයක ලිපිකරුවෙක් වුවත් ඔබත් අපේම සමාජයේ කොටසක්. නිවට නොවන අභිමානවත් මිනිසුන්ගෙන් යුත් සමාජයක ජීවත් වීමට මා මෙන්ම ඔබත් කැමතිනම් ඔබටත් ඒ ගැන යමක් කල හැකියි.

තමන් ගැන හීනමානයක් තියාගන්න එපා. අනිකාගේ හීනමානය වර්ධනය කරන වැඩ කරන්න හෝ හීනමානයට අනුබල දෙන්නත් එපා. අපි හැමදෙනාම යම් වටිනාකමක් තියෙන මිනිස්සු බව හැම විටම මතක තියාගන්න.

මේ දේවල් එකින් එක ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා නොදුන්නත්, මේ නිදහස් දිනයේදී ඔබම සිතා බලන්න මෙයට දායක වන්නේ කොයි අයුරින්ද යන වග.

animated-flag-sri-lanka

Simulblogged @ මගේ ඩෙනිම / My Blue Jeans

 

ටැග: ,

26 responses to “113. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?

  1. ක්සැන්ඩර්

    පෙබරවාරි 4, 2013 at 12:37 පෙ.ව.

    ඩුඩ් ඔය දැකල තියෙන්නේ සර්කස් පෙන්නන්නේ නැති බෝම්බ ඉව කරන්නේ නැති පොලිස් බල්ලෙක්ව.

     
  2. cartothilakasiri

    පෙබරවාරි 4, 2013 at 1:23 පෙ.ව.

    අර ලිස්ට් එකෙ මම ඉන්නේ කොතනද මචෝ ???

     
  3. hiruni

    පෙබරවාරි 4, 2013 at 4:58 පෙ.ව.

    ඇත්තටම ගොඩක් වටින පෝස්ට් එකක් ඩුඩ්…..මටත් කවුරුවත් ඉස්සරහ දෙකට නැවෙන්න බැරි කම තියෙනව, සමහර වෙලාවට ඒක අවාසියටත් හිටිනව, ඒත් මම විශ්වාස කරන දෙයක් කරල පැරදෙන එක මගේ ප්‍රතිපත්ති වලට එරෙහිව ගිහින් දිනන එකට වඩා වටිනවා…..

    මේ ලෝකෙ හොද මිනිස්සු ඉක්මනට නැති වුනත්, එයාලා මීට වඩා හොද තැනක සතුටින් ඉන්නව කියලයි මම විශ්වාස කරන්නෙ….හැමදේම වෙන්නෙ හේතුවකට කියල තමයි මම හිතන්නේ……

    නිදහස් දවසෙ වැදගත් අදහසක් ඩුඩ් කියල තියෙන්නෙ….ඔයයි අම්මයි, මල්ලිවයි මාවයි කොන්ද පන තියෙන මිනිස්සු කලාට ස්තුතියි…..ඒකයි අපි අද මෙහෙම ඉන්නේ

    නිදහස්ම නිදහස් නිදහස් දවසක් වේවා ඩුඩ් පවුලට!!!!!!!!!!!! [ මාත් ඇතුලුව 😀 😀 😀 :D]

     
    • kavikaari

      පෙබරවාරි 4, 2013 at 7:08 පෙ.ව.

      ජයෙන් ජයම වේවා ඩූඩ් දෝණි!!! මට බය මේවගේ රටක් වටින දූවරුන් අපේ රටේ කරුම නිසා ලංකාවට එන්නට මැලිවෙයි කියලා හිතෙනකොට තමා

       
    • kavikaari

      පෙබරවාරි 4, 2013 at 7:19 පෙ.ව.

      ඩූඩ් ගෙ පුංචි මස්සිනාටත් ඒ වගෙ අනිත් අයටත් අපි ණයයි

       
    • henryblogwalker

      පෙබරවාරි 4, 2013 at 12:12 ප.ව.

      @ හිරුණි: ඔයාටත් සුභ නිදහස් දිනයක් වේවා.
      @ කවිකාරි: බොහෝම ස්තුතියි කවිකාරි.

       
  4. ටික්කා

    පෙබරවාරි 4, 2013 at 8:13 පෙ.ව.

    Niyama lipiya.ube massinata niwan sepa lebewa.. Ubata wagema mage hit list eke inneth udinma policiya, rajaye ayathana wala kastiya thamai…untath niwan sepa lebewa…

     
  5. Gold fish

    පෙබරවාරි 4, 2013 at 9:14 පෙ.ව.

    ඇත්ත ඕකයි. දන්නවනේ අපේ පුංචි ගැන… පොලිස් ලොක්කෙක්ට දීගෙන හිටියාත් කරන්න බැරි දෙයක් නෑ…

     
  6. Pravin Indranama

    පෙබරවාරි 4, 2013 at 11:06 පෙ.ව.

    නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල (Law Enforcement) ඇතැම් චරිත ඔය වගේ තමයි. මා සේවය කරන ස්ථානයෙත් එහෙමයි. හැබැයි ඒ ඉතා සුලු ප්‍රමාණයක් තමයි. ඔය තත්වය නැතිකරන්න ආකල්පමය වෙනස දැන් දැන් සේවයට එන තරුණ නිලධාරීන්ට ඇති වෙලා තියෙනවා කියලා පේනවා. මීට දශක දෙකතුනකට කලින් පොදු මහජනතාවත් වැඩිය දැනුම් තේරුම් තිබුණු අය නෙමෙයි. අර වගේ කෙනෙක් “සද්දයක්“ දාපුවාම ඔලුව පාත්කරගෙන ඉන්නයි පුරුදු උනේ. නමුත් දැන් මාධ්‍ය හෙම දියුණු නිසා මිනිස්සු කලින්ට වඩා දැනඋගත්. තමන්ට අයිතිවාසිකම් ඇති බව, මානව හිමිකම් ඇති බව මිනිස්සු දන්නවා. ඒ නිසා අර වගේ පුද්ගලයන් නිකංම ප්‍රතික්ෂෙප වෙනවා මිසක් ඔවුන් බලාපොරොත්තු වන ‘පෞර්ෂය‘ ලැබෙන්නෙ නැහැ.
    විශ්වාස කරන්න, දැන් සේවයට එකතු වන තරුණ පරම්පරාව ඔහොම නැහැ. මා දුටු වැදගත්ම දෙය තමයි මගේ සේවා ස්ථානයේ, අලුතෙන් එක්වූ බොහෝ අය කලින් පුද්ගලික අංශයේ සේවය කරපු අය (මා ද ඇතුලුව). ඔවුන් දන්නවා වඩාත් ප්‍රියමනාප ලෙස මිනිසුන් හා කතාබහ කරන්න. ඒ ලක්ෂණ ඔවුන්ගෙන් රාජ්‍ය සේවයටත් එකතු වන බව විශ්වාසයි.

     
    • henryblogwalker

      පෙබරවාරි 4, 2013 at 12:23 ප.ව.

      ප්‍රවීන් වැඩ කරන්නෙ පොලිසිය රේගුව වගේ තැනක වෙන්න ඇති.

      කෙසේ හෝ මෙවැනි හරක් සුලු ප්‍රමානයක් කොයි ආයතනෙයෙත් ඉන්නවා. බහුතරය එහෙම නොවෙන්න පුලුවන්. මට ප්‍රියමනාප අයුරින් කතාකරන පොලිස් නිලධාරීන් මුණ ගැහිලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්.

      මේ භීෂනය නිමවී අවුරුදු හතරක් පමණ පසුවූ විට සිදුවූ සිදුවීමක්. නමුත් අර මානසිකත්වය කාගෙත් හිත්වල නොනිමී තිබීම වැඩියෙන්ම බලපෑවා වෙන්න පුලුවන්.

       
  7. kuwanna

    පෙබරවාරි 4, 2013 at 11:19 පෙ.ව.

    I have read the article in ‘my blue jeans’ and here I want to comment on your artistic ability.At the end of this year, you will be able to hold an exhibition of your sketches in your blogs.Can u guess who I am?

     
  8. sarath perera

    පෙබරවාරි 4, 2013 at 2:01 ප.ව.

    A very valuable article!

     
  9. සිතුවම්

    පෙබරවාරි 4, 2013 at 2:45 ප.ව.

    යකෝ උගේ …..

     
  10. Ayilas

    පෙබරවාරි 4, 2013 at 9:16 ප.ව.

    මචන් ඔය පොලිසියේ #### පුතාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

    //සේවයක් ලබා ගැනීමට කොඳු නවමින්, හිස කසමින්, දණ්ඩ නමස්කාර කරමින් සර් කියමින් පස්සෙන් යෑම ලැජ්ජා සහගත දෙයක් වගේම සේවයක් ලබා දීමට තමන් වෙත එන ජනයාගෙන එවැනි කොඳු නැවීම්, හිස කැසීම්, දණ්ඩ නමස්කාර කිරීම්, සර්/මැඩම් කීම්, බලාපොරොත්තු වීමද ලැජ්ජා සහගත දෙයක්.//

    සම්පුර්ණ ඇත්ත මචන්.

     
  11. Kenji @ Japan

    පෙබරවාරි 5, 2013 at 6:26 ප.ව.

    ඔය වගේම හොන්ඩ හෝර්ක් එක කොටුවෙ පේමන්ට් වෙළදාම් කරන මිනිසුන්ව යට කරගෙන යන පොරක් හිටිය “ෂෝ”කියල.ඔය ෂෝ [බන්දුල වික්‍රමසිංහ]කියන කාකි ඇදුම් දාගත්ත !@#$ල වැලිකඩ පොලිසියෙ ඉද්දි නිරපරාදේ කොල්ලෝ කී දෙනෙක් යන ජීප් එකෙන් පන්නල දත් ගැලෙව්වද ?

     
  12. දුකා

    පෙබරවාරි 5, 2013 at 6:55 ප.ව.

    ඔන්න ඔය වගේ දේවල් සිදුවෙනවා දැක්කාම හිතෙනවා බන් මැරිලා වැටෙන්න ඔන්න මෙන්න වෙනකම් මේ කාන්තාරේ ම රස්සවක් කරගෙන ඉන්න.

    අපේ ගෙදර උන්දෑලටත් ඔය වගේ සීන් එකක් උනා. පොලිසි ගියාම පැමිනිලි කාරයා විත්තිකාරයා කරලා මොකද විත්තිකාරයා පොලිසියේ උන්ට බොන්න අරන් දෙන එකක්.

    මම කිව්වා ඕකට කියන්නේ ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියල.

    උඩ දාගෙන මහරජාට කඩේ ගිය කට්ටිය ඕන් දැන් ඉන්නවා හැම එකාවම එපා වෙලා . .

     
  13. Beetle

    පෙබරවාරි 6, 2013 at 1:23 පෙ.ව.

    ///කෙසේ හෝ මේ කොඳු පණ නැති නිවට කම් අපේ සමාජයෙන් තුරන් කිරීමට නම් අපි සියල්ලන්ටම යම් භූමිකාවක් තියෙනවා.///

    මට මතකයි ඔය කොන්ද ගැන ලොකු සංවාදයක් බ්ලොග් අවකාශෙම ගියා අර දෙමළ දරුවෙක් බන්දුල ඇමතිතුමාට වඳින එක ප්‍රතික්ශේප කරපු සිද්ධියත් එක්කම…

    එක්කෙනෙක් තර්කයක් ගෙනාව පොඩිකාලේ ඉඳන් අම්මට තාත්තාට ගුරුවරයන්ට හාමුදුරුවන්ට වඳින්න පුරුදුවෙන හින්දා සිංහලයා උපතින්ම කොඳු පණ නැති නිවට ජාතියක් වෙනවාය කියලත් 😀 😀

     
  14. iamdeejay

    පෙබරවාරි 13, 2013 at 11:10 පෙ.ව.

    ඩුඩ්,

    කොන්ද නමාගෙන
    ඔළුව කසාගෙන
    නිවට කමින් ඉන්නේ………….

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: