RSS

121. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2

28 මාර්තු
121. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2

පළමු කොටස මෙතනින්

ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත් ඉග්නේෂස් පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.

ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, ප‍ටු ම‍ඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය නිවැරදිදැයි පසක් කර ගත් ඔහු බැංකුව ඇමතීය. බැංකුවේ සභාපති, මධ්‍යාහ්න දොළහට ඔහුව මුණ ගැසීමට එකඟ විය.

පට්ට ගැසූ බ්‍රීෆ්කේසයක් අතින් ගත් ඉග්නේෂස්, නියමිත වෙලාවට විනාඩි කිහිපයකට පෙර බැංකුවේ කිරිගරුඬින් නිමකල පිළිගැනීමේ ශාලාවට ගොඩ වැදුනි.

“වෙලාවට වැඩකරන නයිජීරියන් කාරයෙක්!” ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් එහි ‍රැඳීසිටි අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ සහ අළු පැහැ සිල්ක් ටයි පටියකින් හැඳ සිටි බැංකු නිලධරයා ඔහුව පිළිගනිමින් සිතීය.

හිස නමා ඇමතිවරයාට ආචාරකල තරුණයා, තමා බැංකු සභාපතිගේ පෞද්ගලික ලේකම් බව පැවසීය. ඉන් අනතුරුව ඉග්නේෂස්ව සභාපතිවරයා වෙත කැඳවාගෙන යාම සඳහා දොර විවෘත කරගෙන රඳවාගෙන සිටි විදුලි සෝපානයට දෙදෙනාම ගොඩ වූහ. සෝපානය එකොලොස්වන මහලට ලඟාවන තෙක්ම දෙදෙනා අතර පැවතියේ ගැඹුරු නිහඬතාවයකි.

සභාපතිගේ දොරට තරුණ නිළධරයා ඉතාම මෘදුව තට්‍ටු කල විට කාමරය තුලින් “Entrez,” යනුවෙන් පිළිතුරු ලැබිණි. දොර විවරකල නිළධාරියා ඉග්නේෂස්ට ඇතුලු වීමට සන් කලේය.

“නයිජීරියාවේ මුදල් ඇමති, සර්,” තරුණ නිළධාරියා පැවසීය.

අමුත්තාට ආචාර කිරීම සඳහා බැංකු සභාපතිවරයා සිය අසුනෙන් නැගිට ඉදිරියට පැමිණියේය. ඔහුද අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ සහ අළු පැහැ සිල්ක් ටයි පටියකින් හැඳ සිටි බව ඉග්නේෂස් දු‍ටුවේය.

“සුභ දවසක් ඇමතිතුමා, අපි වාඩි වෙලා කතා කරමු.” කී සභාපතිවරයා ඉග්නේෂස්ව සුවිසල් කාමරයේ අනිත් පස වූ වීදුරු ලෑල්ලක් සහිත මිටි මේසය වටා පිළියෙල කර තිබූ සුව පහසු අසුන් කරා කැඳවාගෙන ගියේය.

“මම දැනටම කෝපි ඇණවුම් කරලා තියෙන්නෙ. ඔබතුමා කෝපි බොනවනෙ?”

ඉග්නේෂස් හිස සලා, සිය බ්‍රීෆ්කේසය බිම තබා සැප පු‍ටුවක අසුන් ගෙන සුවිසල් වීදුරු ජනේලයෙන් පිටත දර්ශනය නැරඹීය. කාමරයට ඇතුල්වූ තරුණ සේවිකාවක් කෝපි පිළිගන්වා අවසන් වන තෙක් ඉග්නේෂස් ජනේලයෙන් පෙනුන මනරම් වතුර මල ගැන වර්ණනාවක් කලේය.

තරුණ සේවිකාව කාමරයෙන් පිටතට ගිය වහාම ඉග්නේෂස් වැඩ ඇරඹීය.

“අපේ රාජ්‍ය නායකයා මගෙන් ඉල්ලා හිටියා තමුන්නාන්සෙලගෙ බැංකුවට ඇවිත් තරමක් අමුතු ඉල්ලීමක් කරන්න කියලා,” ඉග්නේෂස් කීය. සභාපතිගේ හෝ ලේකම්ගේ මුහුණේ ඉරියව්වල විශ්මයට පත්වූ බවක සේයාවකුදු නොවීය. ” තමුන්නාන්සෙලාගේ බැංකුවේ අංකිත ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානු පුර වැසියෝ කවුද කියලා හොයා ගැනීමේ වගකීම එතුමා මට පවරලා තියෙන්නෙ.”

මේ ඇසුනු වහාම සභාපතිවරයා කටහඬ අවදි කලේය.

“මට අවසරයක් නෑ…”

“පොඩ්ඩක් ඉන්න සභාපතිතුමා මම මගේ කතාව කියනකල්. මුලින්ම කියන්න ඕනෙ මම ඇවිල්ලා ඉන්නෙ නයිජීරියානු රජයේ සම්පූර්ණ බළතල ඇතිව බව.” කී ඉග්නේෂස්, සිය කබායේ ඇතුලත සාක්කුවේ වූ කවරයක් එලියට ගෙන, සභාපති වරයාට දිගු කලේය. එය අතට ගත් සභාපති එතුල වූ ලිපිය ඉවතට ගෙන ප්‍රවේශමෙන් කියවන්නට විය.

මඳ වේලාවකින් ලිපිය කියවා හමාරකල සභාපතිවරයා උගුර පෑදුවේය. “සමාවෙන්න ඇමතිතුමා, මේ ලිපිය අපේ රට තුල වලංගු වෙන්නෙ නෑ,” යි කී හෙතෙම, ලිපිය ප්‍රවේශමෙන් නැවත කවරයට රිංගවා එය ඉග්නේෂස් අතට දුන්නේය. ” තමුන්නාන්සෙට නයිජීරියානු රාජ්‍ය නායකතුමා විසින් ඇමතිවරයෙකු හැටියටත්, තානාපතිවරයෙකු හැටියටත් පූර්ණ බලතල පවරා ඇති බවට කිසිම සැක සංකාවක් මට නෑ ඇමතිතුමනි. නමුත් ඒ නිසා බැංකුවේ නීතිවල හෝ රහස්‍යභාවයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොනයම්ම අවස්ථාවකදීවත් බැංකුව, ගිණුම් හිමියන්ගේ අවසරයෙන් තොරව ඔවුන්ගේ කිසිම තොරතුරක් අනාවරණය කරන්නේ නෑ, කිසිම හේතුවක් නිසාවත්. තමුන්නාන්සෙට මීට වඩා සහයෝගයක් දක්වන්න නොහැකිවීම ගැන ඇත්තෙන්ම මම ඉතාම කණගා‍ටුවෙනවා. නමුත් මේ තමයි බැංකුවේ දැනට සහ ඉදිරියේදීත් බලපවත්නා නීතිය.”

මෙසේ කී සභාපතිවරයා සාකච්ඡාව අවසන් බැව් සිතා අසුනින් නැගී සිටියේ ‘ක්ලීන් ස්වීප් ඉග්නේෂස්’ ගැන ඔහු හරි හැටි දැන නොසිටිය නිසා විය යුතුය.

“මගේ රාජ්‍ය නායකයා…,” ඉග්නේෂස් මෘදු හඬින් පැවසීය, “…මට පූර්ණ බලතල දීලා තියෙනවා, මින් මතුවට නයිජීරියාව සහ ස්විට්සර්ලන්තය අතර ඇතිවන ඕනෑම මූල්‍ය ගණුදෙනුවකදී, අතරමැදියා ලෙස ක්‍රියාකරන්න තමුන්නාන්සේගේ බැංකුවට අවස්ථාව ලබා දෙන්න.”

“අප ගැන තබපු ඒ විශ්වාසය ඇත්තෙන්ම අපිට ආඩම්බරයට කරුණක් ඇමති තුමා,” නැවතත් අසුන් ගැනීමට තැත් නොකල සභාපති වරයා කීය. “නමුත් අපේ ගණුදෙණුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියට ඉන් බලපෑමක් ඇති නොවෙන බව තමුන්නාන්සේ තේරුම් ගනීවි කියලා මම විශ්වාස කරනවා.”

ඉග්නේෂස් ඉන් කැළඹුනු බවක් නොපෙන්වීය.

“එහෙනම් ගර්බර් මහත්මයා, මට ඉතාම කණගා‍ටුවෙන් ඔබට දැනුම් දෙන්න සිද්ධ වෙනවා, නයිජීරියානු පුරවැසියන් ගැන තොරතුරු ලබා ගැනීමට අප රජය, ඔබෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්, ඔබ සතු‍ටුදායක මට්ටමේ සහයෝගයක් නොදැක්වීම ගැන, මට අපේ ජිනීවා තානාපති මාර්ගයෙන් ඔබේ විදේශ කටයුතු කාර්යාංශයට, නිල වශයෙන් දැනුම් දෙන්න සිදුවෙන බව.”

තම වචන වල බැරෑරුම්බව බැංකුකරුවන් දෙදෙනාට අවබෝධවීමට මඳ විරාමයක් තැබූ ඇමතිවරයා මෙසේද කීය.

“එවැනි අපහසුතාවයක් ඇතිවීම වලක්වා ගන්න , ඇත්ත වශයෙන්ම ඔබට කරන්න ඇත්තෙ, Gerber et Cie බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානුවන්ගේ නම් ලැයිස්තුව මට ලබාදීම පමණයි.අපේ තොරතුරු වල මූලාශ්‍ර, අපි මොනයම්ම හේතුවක් නිසාවත් හෙලි නොකරන බවට මට සහතික වෙන්න පුලුවන්.”

“ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැතිව ඒ නිල දැනුදීම කරන්න පුලුවන් ඇමති තුමනි. මට හොඳටම විශ්වාසයි ස්විට්සර්ලන්ත නීතිය යටතේ, විදේශ කටයුතු කාර්යාංශයට එවැනි අනාවරණයක් කරන ලෙස ස්විස් බැංකුවකට බලපෑම් කිරීමේ බලයක් නොමැති බව, අපේ ඇමතිතුමා තමුන්නාන්සෙලාගේ තානාපතිතුමාට ඉතාම කාරුණික හා රජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් පැහැදිළි කරලා දේවි කියලා.”

“එහෙමනම්, මම අපේ වෙලඳ කටයුතු අමාත්‍යාංශයට නියෝග කරනවා, මේ නම් ලැයිස්තුව අපට ලබා දෙන තෙක්, ස්විස් ජාතිකයන් සමඟ නයිජීරියාවේ ඇති සියලුම අනාගත ගණුදෙණු අත්හිටවන්න කියලා.”

“ඒක තමුන්නාන්සෙලාගේ වරප්‍රසාදයක්.” කිසිසේත් නොසැලුනු සභාපතිවරයා කීය.

“ඒ වගේම, තමුන්නාන්සෙලාගේ පුරවැසියෝ නයිජීරියාවේ දැනට කරගෙන යන කොන්ත්‍රාත් කටයුතු නැවත සලකා බලන්නට අපිට සිද්ධ වෙන්න පුලුවන්. ඊට අමතරව, ගිවිසුම්වල වන්දි ගෙවීම් සම්බන්ද ඡේද නොසලකා හරින ආකාරයට වැඩ සිද්ධ කිරීමට, මම පුද්ගලිකව වග බලාගන්නවා.”

” තමුන්නාසෙට හිතෙන්නෙ නැද්ද ඒක නම් එච්චර ඥානවන්ත ක්‍රියාවක් නෙවෙයි කියලා?”

“තමුන්නාන්සෙ දැනගත්තොත් හොඳයි, මම ඒවගේ තීරණයක් ගන්න කිසිසේත්ම පසුබට වෙන්නෙවත්, පසුතැවිලි වෙන්නෙවත් නැති බව. මට ඔය නම් ලැයිස්තුව අතට ගන්න වැඩේදි තමුන්නාන්සෙලාගේ රට බිමටම වට්ටන්න සිදු වුනත් මම නෙවෙයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ.”

“හොඳමයි, ඇමතිතුමා,” සභාපතිවරයා කීය. ” ඒ කොයි හැටි වෙතත්, රහස්‍යභාවය ගැන බැංකු ප්‍රතිපත්තිවලටවත්, ආකල්පයටවත් එයින් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ.”

“තමුන්නාන්සෙලාගේ ප්‍රතිපත්තිය එහෙමනම්, මේ අදම මම ජිනීවාවල ඉන්න අපේ තානාපතිට අණදෙනවා තානාපති කාර්යාලය වහලා දාන්න. ඒ එක්කම ලාගෝස් වල ඉන්න ස්විස් තානාපතිව අපට පිළිගත නොහැකි පුද්ගලයෙක් හැටියට නම් කරනවා. ඔව්, Persona non Grata!”

ඇමතිවරයා මඳක් බලා සිටියත් සභාපතිවරයා මුනිවත ‍රැකීය.

“වැඩේ සිද්ද වෙන්නෙ එහෙම නම්, මට වෙන කරන්න දෙයක් නෑ,” ඉග්නේෂස් හුනස්නෙන් නැගිටිමින් කීය.

ඉග්නේෂස් අන්තිමේදී සමුගන්නට යන්නේ යයි සිතා සැනසුම් සුසුමක් හෙලූ සභාපතිවරයා, ඔහුට සමු දීමට සුරත දිගුකල මුත් සිදුවූයේ වෙනත් දෙයකි. සිය කබා සාක්කුවට අත දැමූ ඉග්නේෂස් ඉන් කුඩා පිස්තෝලයක් පිටතට ගනු ඔහු බලා සිටියේ සංත්‍රාසයෙනි.

පිස්තෝලය අමෝරාගත් ඉග්නේෂස්, පියවර කිහිපයක් ඉදිරියට පැමිණ අවියේ කට සභාපතිගේ හිසට තබා තෙරපූ විට බැංකුකරුවන් දෙදෙනා හුන් තැනම ගල් ගැසුනහ.

DSCN2867 (2) - Copy

“මට ඒ නම් ලැයිස්තුව ඕනෙමයි මිස්ටර් ගර්බර්. දැන් ඔහේට තේරෙන්න ඕනෙ මම ඒක ලබාගෙන මිසක් පස්ස බලන්නෙ නැති බව. මට මේ දැන් ඒවා නොදුන්නොත් ඔහේගෙ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා, තේරුණාද ඔහේට?”

සභාපති යන්තමින් හිස සැලීය. ඔහුගේ නලල් තලයෙන් දහඩිය බිඳු මතුවිය.

“ඊ ලඟට වෙඩි කන්නෙ අර හාදයා,” පියවර කීපයක් ඔබ්බේ සෙල් රුවක් මෙන් නොසැලී සිටි තරුණ නිලධරයාව හිසෙන් පෙන්වූ ඉග්නේෂස් තර්ජනාත්මක ස්වරයෙන් කීය.

“මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන හැම නයිජීරියානුවෙකුගෙම නම් මට වහාම අරන් දෙනවා හොඳයි.” තරුණයා දෙස බලමින් පහත් හඬින් කී ඉග්නේෂස්, “නැතිනම් ඔහේගෙ සභාපතිගේ මොළ කෑලි මේ බිම් එලලා තියෙන වටිනා, ලස්සන, බුමුතුරණය පුරාම විසිරේවි. වහාම! ඔහේට ඇහුනද?”යි තියුණු හඬින් නැවත අණ කලේය.

තරුණයා වික්ෂිප්තව සභාපති දෙස බැලීය. බියෙන් වෙව්ලමින් සිටියද සභාපතිගේ වචන පැහැදිළි විය.

“Non, Pierre, jamais.”

“D’accord,” සහායකයා කෙඳිරීය.

“මම ඔහේලට දෙන්න පුලුවන් හැම අවස්ථාවක්ම දුන්නා.” කී ඉග්නේෂස් පිස්තෝලයේ ආරක්ෂිය ලීවරය පැන්නීය. සභාපතිගේ මුහුණ දිගේ දහඩිය ගංගා ගලා බැසීමට පටන් ගත් අතර, සහායකයා වෙඩි පහරට බියෙන් මුහුණ ඉවතට හැරවීය.

“පංකාදු පහයි.” කී ඉග්නේෂස් පිස්තෝලය සභාපතිගේ හිසෙන් ඉවතට ගෙන ආපසු සිය අසුන වෙත පිය මැන්නේය. බැංකුකරුවන් දෙදෙනාම තවමත් කතාකර ගත නොහැකිව, වෙව්ලමින් පසුවූහ.

ඇමතිවරයා සිය ආසනයේ පසෙක බිම තිබූ හම ගිය බ්‍රීෆ්කේසය ගෙන තමා ඉදිරිපිට තිබූ මිටි වීදුරු මේසය මත තැබීය. ඔහු එහි අගුල් දෙක පැන්නූ වහාම එහි පියන ස්වයංක්‍රීයව ඉහලට එසවුනි.

බ්‍රීෆ්කේසය තුල කදිමට පිළිවෙලට අසුරා තිබූ ඩොලර් සියයේ නෝට්‍ටු මිටි දෙස බැංකුකරුවන් දෙදෙනා දෑස් විසල් කොට බැලූහ. කිටි කිටියේ අසුරා තිබූ මුදල් නෝට්‍ටුවල වටිනා කම සමහරවිට ඩොලර් මිලියන පහ ඉක්මවනු ඇතැයි සභාපති සිතෙන් ගණනය කලේය.

“දැන් මට කියන්න බලන්න මහත්වරුනි, මේ බැංකුවේ අලුත් ගිණුමක් විවෘත කරන හැටි.” ඉග්නේෂස් කීය.


෴ *නිමි* ෴

මගේ ප්‍රියතම ලේඛකයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික Jeffrey Archerගේ කෙටි කතාවල ඇති තවත් සුවිශේෂිත ලක්ෂනයක් වනුයේ ඒවායේ ඇති අනපේක්ෂිත අවසානයන්ය. මා ගියවර සඳහන් කල ආකාරයට කෙටිකතාව කියවා අවසන් වූ වහාම එය තව අයෙකුට කියන තෙක් ඉස්පාසුවක් නැති ගතියට එයද ප්‍රභල හේතුවක් විය හැකියයි මට සිතේ.

ඔබේ ප්‍රතිචාර වලට මා පිළිතුරු සැපයීම ප්‍රමාද කලේ මේ කතාවේ රසවින්දනයට එය බාධාවක් වේයයි සිතූ බැවිනි.

ප. ලි.:

මේ චිත්‍රයේ කතා වස්තුව:

DSCN2852 - Copy

මේ පෝස්ට් එකට මුලින්ම දාපු චිත්‍රය තමයි මේ තියෙන්නෙ. මම ඒක වෙනස් කරලා පස්සෙ දාපු චිත්‍රය තමයි උඩම තියෙන්නෙ. ගර්බර් කාරයා බර්බර් ගාපු නිසාම නෙවෙයි බුවාව පොඩ්ඩක් තරුණ කරලා බය කරලා ඇන්දෙ. මගේ සහෘදයො කිව්ව දේවල් අහලා. ඇත්තෙන්ම මගේ ලිපි කියවලා රස විඳින වගේම මගේ චිත්‍ර රස විඳින රසිකයො පිරිසකුත් ඉන්න එකමට ආඩම්බරයක්.මෙන්න 


මේවයි යාලුවෝ කිව්වේ.

සමාවෙන්නොනේ මෙහෙම කියනවට.. අර චිත්‍රෙ නම් ටිකක් හැගීම් ප්‍රකාශනය අතින් ටිකක් දුර්වලයි වගේ..
ක්සැන්ඩර් – මට හිතෙන හැටි

චිත්‍රෙ ගැන කියන්න බැරිඋනා. මිනිහනං වෙඩිකන්න ආසාවෙං වගේ ඉන්නෙ. 😀
Praසන්ன – මගේ ඩෙනිම

මේ වැඩ අස්සෙ චිත්‍රයකුත් ඇඳල දැම්මට ස්තූතියි, මම හෙන්රි අයියගෙ පෝස්ට්වල කැමතිම අංගය ඔයාගෙ චිත්තරේ. මොකද එහෙම තමංගෙම අතින් ඇඳපු චිත්‍රයක් පළකරන්න පුළුවන් අය අපි අතරෙ ඉන්නෙ අතලොස්සක්නේ. අපරාදෙ කියන්නෙ කළු ජාතිකයගෙ අතයි සුදු ජාතිකයගෙ මූණයි නම් කැපී පේන්න ඇඳල තියෙනව. අපේ සුදු ජාතික බැංකු සභාපතිගෙ මුහුණෙ තැතිගැන්වුනු පෙනුම මදිවගේ නේද? මස් පිඬුවලින් ඒ ගතිය ගන්නත් අමාරු ඇතිනේ, මූනෙ මස් එල්ලල වැටෙන තරමට. ඔන්න ටිකක් පුදුමයට පත්වුනු පෙනුමක් නම් තියෙනව. අනෙක් දේ මට කොච්චර උත්සාහ කළත් ඔය විදියට ඇස්වල පෙනුම මට අවශ්‍ය විදියට අඳින්න බෑනේ. ඒ ගැන පොඩි උපදේශයක් දෙන්න බැරිද.
DDT- මගේ ඩෙනිම

මම හරි කැමතියි උඹලා මගේ චිත්‍ර ගැන මේ වගේ විවේචන ඉදිරිපත් කරනවට.
ඔන්න මුලින්ම මම වෙන චිත්‍රයක් ඇන්දා පට් ගාලා. ගර්බර් කාරයව තව ටිකක් තරුණ කලා. අතින් පයින් යනවෑ. මොකද ප්ලාස්ටික් සර්ජරි කරන එකක්යැ? පොරව හොඳටම බය කලා. කලිසමේ බඩු යන සයිස් එකටම!

උඹලට කියන්න මම මේක ඇන්දේ ‍රැවුල කපන කන්නාඩියක් මේසෙ උඩ තියාගෙන  ඒක දිහා බලාගෙන ඇස් ලොකු කරලා කට ඇරලා හෙම තමයි. හැබැයි ඒ විදියටම නොවෙන්න වෙනස් කම් කලා.

අර DDT අහලා තිබ්බ දේට හොඳ උපදේශයක් නම් අන්න එහෙම තමාවම බලාගෙන අඳින්න උත්සාහ කරන එකයි.

දැන් ඊ ගාවට පරණ චිත්‍රය ගැන කිව්වොත් ඒක මෙහෙමයි වුනේ.

උඹලා දකින්න ඇති, ඉග්නේෂස් ආපු වෙලාවේ ඉඳලා ගර්බර් නියම ජෙන්ටා වගේ, ඒ වගේම හරිම කූල් පිට ඩිප්ලොමැටික් විදියට තමයි හැසිරුනේ. ඉග්නේෂස් මොනවා කිව්වත් පොර නෙවෙයි සැලුනේ. අන්න ඒක නිසා තමයි පිස්තෝලෙ කනට තිබ්බත් ගර්බර් පුලුවන් තරම් හැඟීම් නොපෙන්නා හිටියේ පිටට. ඇතුලෙන් කලබල වෙන එක ඇත්ත. ඕකට කියන්නෙ පෝකර් ෆේස් කියලා. පොර පස්සෙ හොඳටම බය වෙන එක සාධාරණයි, මොකද මිනිහා උගත් ඒ වගේම ධනවත් බැංකු කරුවෙක් මිසක් ‍රැම්බෝවත්, ටර්මිනේටර්වත් නෙවෙයිනෙ. අන්න ඒක වෙන්න ඕනෙ මගේ අතින් පොරව එහෙම ඇඳුනේ.

අනික ඔයවගේ විශාල බැංකුවක්  හිමි, ඒකෙ සභාපතිත්වය දරණ පොරක් තරමක් වයස වෙන්නත් ඕනෙ. ඒකයි පොරව වයස කරලා, බෙල්ල යටින් මස් පොඩ්ඩක් එල්ලෙන්න දැම්මේ.

කෙසේ හෝ වේවා, ඔන්න දැන් බුවාව වෙනස් කලා.

෴ *** ෴

Jeffrey Archer  රචනා කල A Twist In The Tail කෙටිකතා සංග්‍රහයේ පළවූ Clean Sweep Ignatius කෙටි කතාවේ සිංහල අනුවාදයයි.

 

Simulblogged @ මගේ ඩෙනිම for Blogspot lovers

 

ටැග:

22 responses to “121. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2

  1. හංසකිංකිණි

    මාර්තු 28, 2013 at 4:20 ප.ව.

    නියමයි නියමයි මං පළවෙනි කොටස කියවල නොයිවසිල්ලෙන් හිටියෙ දෙවනි කොටස කියවන්ඩ. ඇත්තටම කියනව නං මේක කියවල ඉවර වුණාම මට මතක් වුණේ මේ ලඟදි බලපු කහානී කියන හින්දි චිත්‍රපටය අයියෙ. මේ කතාවෙ තියෙන්නා වාගෙම අනපේක්ෂිත අවසානයක් ඒ කතාවෙත් තිබුණ… ( උඹ නං බලයිද මන්ද එව්ව) මේ වගේ අපි හීනෙංවත් නොහිතන විදියෙ අවසානයක් තියෙන කතාවලට මං ආසයි.
    මේක කෙටිකතා පොතක් නං මුලු පොතම මේ විදියට සැරෙන් සැරේ දාපං හොඳේ අයියෙ?? මං කමෙන්ට් කරන්ඩ කම්මැලිය වුණාට කියවන්ඩ කම්මැලි නෑ හරිය??

     
    • henryblogwalker

      මාර්තු 29, 2013 at 11:00 ප.ව.

      එහෙමනම් කියවාපංකො ජෙෆ්‍රි ආචර්ගෙ මේ කෙටි කතා පොත්.

      මේකෙ නම A Twist In The Tail.

      ස්තුතියි බං කමෙන්‍ටුවට, කම්මැලි කමේ දැම්මත්… 🙂

       
  2. ක්සැන්ඩර්

    මාර්තු 28, 2013 at 4:27 ප.ව.

    කන්න යන්න හදද්දී දැක්කේ.. ඒ වැඩෙත් පැත්තක දාල මේක කියෙව්වා. 🙂 දැන් බඩගින්න කොහෙද දන්නේ නෑ.

     
    • ක්සැන්ඩර්

      මාර්තු 28, 2013 at 4:31 ප.ව.

      සමාවෙන්නොනේ මෙහෙම කියනවට.. අර චිත්‍රෙ නම් ටිකක් හැගීම් ප්‍රකාශනය අතින් ටිකක් දුර්වලයි වගේ..

       
      • ක්සැන්ඩර්

        මාර්තු 29, 2013 at 6:10 ප.ව.

        ශා දැන් නම් චිත්‍රෙ මරු. ඩොලර් කොළ පාට එක්ක චිත්‍රෙ නැගල යනවා. අර බැංකු සභාපති කියන වචන ටිකයි දාඩිය බින්දු ගලා හැලුන කියන එකයි චිත්‍රෙ එක්ක ගත්තම ටිකක් වෙනස් විදියට දැනුනේ. ඒ නිසයි එහෙම කිව්වේ. කතාව එක්කම යන වෙඩි වගේ චිත්රේක අඩුව දැනුනා. දැන් හරි. මේ කමෙන්ට් එකක් වෙනුවෙන් මං දැකපු හොඳම ප්‍රතිචාරය.

        බොහොම ස්තුතියි හෙන්රි.

         
  3. Kenji @ Japan

    මාර්තු 28, 2013 at 5:46 ප.ව.

    කවුරුත් නොහිතපු අවසානයක්.නයිජිරියානුවො ගල් ආදෝ කියන්නෙ නිකන් නෙමේ එහෙනම්.

     
  4. iamdeejay

    මාර්තු 28, 2013 at 8:55 ප.ව.

    ඩුඩ්,

    තව ටිකකින් මෙකට අළුත් චිත්‍රයක් එකතු වෙන බව මට හොදටම ෂුවර්. |D|

     
  5. Padhmakumara

    මාර්තු 29, 2013 at 3:36 ප.ව.

    හෙන්රි ඇත්තටම අවුරුද්දකට එක ගානේ වත් හොඳ පරිවර්තනයක් කරල පලකරන්න බලන්න.

     
    • henryblogwalker

      මාර්තු 29, 2013 at 11:04 ප.ව.

      පද්මකුමාරව දැකපු කල්! වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමයි තියෙන්නෙ පද්මෙ. මේ බ්ලොග් කෙලියටත් සෑහෙන කාලයක් වැය වෙනවනෙ.

       
      • Padhmakumara

        මාර්තු 30, 2013 at 6:22 පෙ.ව.

        හෙන්රි
        අතට අහුවන හැම පොතම කියවන පුරුද්දක් ඉස්කෝලෙ යන කාලෙ හිටන් තියනව.අම්ම තමයි ඒක ඇතිකලේ පොත් අරන් දීල.මට අරන් දීපු පලවෙනි පරිවර්තනය තමයි
        Dr Spitle ගෙ වනසරන. මම දැකපු හොඳ පරිවර්තකයො තමයි සිරිල් සී පෙරේරා,ඒ.පී.ගුනරත්න,වගෙ අය.පස්සෙ කාලෙක අර අමාරිස් අයියා වගෙ සත පනහෙ ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගත්තට තවම කැමති සිංහල පරිවර්තනය කියවන්න.ඒත් දැන් කරල තියන සමහර පරිවර්තන බලපුවහම හරිම දුකයි,මොකද පොත කාල.හෙන්රිගෙ මම දැකපු වෙනස්කම තමයි පරිවර්තනය සමගම කියවන කෙනාට තමනුත් එතන ඉන්නව වගෙ දැනෙන්න ලියන එකයි මේක පරිවර්තනයක් කියල නොදැනෙනෙ බවයි.භාෂාව එක්සලන්ට්. මමා බොහොම දන්නව ඔහෙ කරන ගුරුකම ලංකාවෙ එකට වැඩිය බොහොම වෙනස් කියල ලංකාවෙ වගෙ එකහමාරට බෙල් එක ගහපුවහම වගකීම ඉවර නෑ.ඒත් ඉතින් තව සැරයක් ඉල්ලනව කොහොමහරි කාලෙ හොයාගෙන එකක් දෙකක් කරල බලන්න.කෙටිකතා ගොඳ පටන්ගැන්මක් වේවි.ප්‍රකාශකයගෙ අවසර ගැනීම වගෙ දේවල් ටිකක් කරදර වැඩද? කොහොම වුනත් තියන දක්ශකමෙන් ප්‍රයෝජනයක් ගන්න.පොතක් ගහනවනම් පලවෙනි කස්ටමර් මම.

         
  6. රූ

    මාර්තු 29, 2013 at 4:56 ප.ව.

    මේක නිකම් කරකවලා අතාරින ටයිප් එකේ අවසානයක්නේ..හෙන්රි ඒක කොටස් දෙකකට කඩලා තවත් අවුල් කරලා හරියට ජෙෆ්රි ආචර්ගේ ලේකම් වගේ..හපොයි..කියෙව්වත් කියෙව්වෙ නෑ මෙහෙම මයිල් කෙලින් වෙන කතාවක්..!!

     
  7. Jude F'do

    මාර්තු 31, 2013 at 1:00 ප.ව.

    hey dude, shouldn’t the name be changed to ‘A Twist In The Tale’. Love your work, keep it up.

    A Regular Reader
    Jude F’do

     
  8. හරී

    අප්‍රේල් 6, 2013 at 11:00 ප.ව.

    සුපිරියිනෙ.. මට නම් මුලදි හිතුනෙම ඉග්නේෂස්ගෙ විස්තර එළිවෙයිද චෙක් කරනවා කියලයි.. බලද්දි එයත් වැඩේ පටන් ගන්ඩ හදන්නෙ..

     

ක්සැන්ඩර් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න