RSS

Monthly Archives: අප්‍රේල් 2013

127.මාරක කේක් වට්ටෝරුව 2 – Cake of Doom 2

127.මාරක කේක් වට්ටෝරුව 2 – Cake of Doom 2

මේ කතාව කියවනකොට, ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. 😀

ඔයා අන්තිමට කලේ, ඔලුව අත් දෙකෙන්ම බදාගෙන, හොල්මං වෙලා , ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක්, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි බලා ඉන්න එක.

මතක නෑ? එහෙනම් මෙතන ඔබලා පළවෙනි කොටස කියවලාම එන්නකෝ.
ඉතින්…

*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.
*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම්, යන්න 11ට.


 

 10.


ඔයා ගෙයින් එලියට පැනලා, පිස්සා වගේ පාර දිගේ දුවනවා,  මෙලෝ සිහියක් නැතුව. ආයේ හෝදන්න දෙයක් නෑ, අම්ම දැක්ක ගමන් ඔයා කුස්සියට කරපු අපරාදේ අම්මා ඔයාව මරණ බව  ඔයා දන්නවා. ඔයා කොහෙද මේ දුවන්නෙ කියල හිතන්නවත්, එහෙම හිතන්න කරදර වෙන්න ඕනෙ කමක්වත් ඔයාට නෑ. ඔයා දුවලා, දුවලා, දුවලා, පැය ගානකට පස්සෙ, මහන්සියටම නවතිනවා. දැන් ඔයාගේ  දිව ඇදිලා, කට ඇරිලා, ඔල්මොරොන්දං වෙලා  ඉන්නේ. ඒ මදිවට බල්ලට වගේ හති. ඒත් මදිවට අතරමං වෙලා. නන්නත්තාරයි!

නමුත්, තවම වාසනාව ඔයා සමඟයි. බැංකු කොල්ලකාරයො රංචුවකට ඔයාව මැදිවෙනවා. එයාලා ඔයාව කණ්ඩායමට බඳවාගෙන, ඔයාට පිහිට වෙනවා. ඒ වෙනුවෙන්, එයාලා ඔයාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමයි,  අර බැංකුව කොල්ල කාලා පලා යන කාරෙක, ඒ කියන්නේ getaway car එක එලවන්න කියලයි.  බැංකු මංකොල්ල කන එක නීති විරෝධී බව ඔයා දන්නවා වුනත්,  එයාලට කලගුණ සලකන්න ඔයාට ඕනෙ වෙන නිසා, ඔයා එකඟ වෙනවා.

ඔන්න ඔයා සහබාගි වෙන කුළුඳුල් බැංකු මංකොල්ලය. ඔයා පේව්මන්ට් එක අයිනේ නවත්තලා තිබ්බ කාරෙක, ටයර් කෑගස්සගෙන, දුම් දාගෙන, එන්ජිම ෆුල් රේස් කරලා, එකතැන  පිකප් කරලා, ලෙසටම පාරට විදින කොටම ඔයාට මතක් වෙනවා, ඔයාට කාර් එලවන්න බැරි බව.

සම්පූර්ණයෙන්ම ඔයාගේ පාලනයෙන් තොරව ස්කිඩ් කරන්න ගන්න කාරෙක, ඇදිලා යනවා ඒ වෙලාවෙ පාරෙ යන කට කපලා C3H5N3O9 පුරවපු, දැවැන්ත බව්සර් එකක මූණටම!

ඔව් නයිට්‍රොග්ලිසරීන් තමයි!

නමුත් තවම වාසනාව ඔයා සමඟයි. ප්‍රාතිහාර්යයකට වගේ, බව්සර් එක පුපුරන්නේ නෑ. ඔයායි, ඔයාගේ කණ්ඩායමයි කාරෙකෙන් එලියට බහිනවා, සීරිමක්වත් නැතුව.

ඔන්න එතකොටම පොලීසියෙන් එනවා. ඔයා පැනලා දුවනවා, ඔලුව හැරිච්ච පැත්තට. ඔයා දුවන්නේ, වයසක නෝනා කෙනෙක් පදවන, අර විදුලියෙන් ක්‍රියාකරන ස්වයංක්‍රීය රෝද පු‍ටුවක් ඉස්සරහට.

මෙන්න මෙතනදි ඔයාගේ වාසනාව අහක බලනවා. ඔයා කකුල පැටලිලා වැටෙනවා. වයසක නෝනා ඔයාගේ ඔලුව උඩින් යනවා.

ඔයා මැරෙනවා.

෴ නිමි  ෴
11.


ඔයා ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකයි, බේකින් සෝඩා තේ හැඳි බාගයයි, ලුණු තේ හැඳි කාලයි, කොකෝ පව්ඩර් කෝප්ප බාගයයි, සීනි කෝප්පයයි, බටර් ස්ටික්ස් එකයි තුන්කාලයි, කිරි කෝප්ප එකයි, වැනිලා තේ හැන්දයි, බිත්තර දෙකයි  අඩංගු මිශ්‍රණය, සීලිමෙනුයි, බිත්තිවලිනුයි, කවුන්ටර් මතු පිටිනුයි, පොලොවෙනුයි සුරලා ගන්නවා.

මේ වෙලාවෙ ඔයාගේ උදව්වට එන ඔයාගේ බල්ලා, සූටි, ඌට අහුවෙන, අහුවෙන තැන් ලෙවකාගෙන, ලෙවකාගෙන යනවා. ඊට පස්සෙ වමනේ දානවා. ඔයා සූටිව කුස්සියෙන් එලවලා දානවා. සූටි ආපහු ඇවිත්, වමනේ දාපු ටික ආයෙම කනවා. ඊට පස්සෙ කාපු ටික ආයෙම වමනේ දානවා. ඔයා ඌව ආයෙම එලවලා දානවා.

ඌ ඇත්තටම ගියාද කියලා බලන ඔයා, බේරාගන්න පුලුවන් වෙච්ච  මිශ්‍රණය ඔක්කොම, ලාවට බටර් ගාපු තැටියට දාලා, ටයිමරය විනාඩි 60කට සෙට් කරලා, අවන් එක ඇතුලෙන් තියනවා.

*අවන් එක රත් වෙන්නේ නැතිනම් යන්න 12ට.


*අවන් එක නම් රත් වෙනවා, ඒ වුනාට, මොකක්ද යකෝ අර අවන් එකෙන් එන,  පහුරු ගාන, ‘කූස්-කූස්’ ගාන සද්දෙ කියලා ඔයා කල්පනා කරනවා නම්, යන්න 13ට.


12.

ගොං මෝල් වහන්සේ! ඔයා ගෑස් එක ඇරලා, නමුත් ගෑස් එක පත්තු කරන්න අමතක වෙලා. ඔයා ගිණි කූරක් අරන් ගහනවා ගිණි පෙට්ටියේ, ඒක පත්තු කරන්න, මොකද මේ වෙනකොට මුලු කුස්සියම ගෑස් වලින් පිරිලා තියෙන බව ඔයාට අමතක නිසා.

ගෑස් ගිණි ගන්නවා “පොහ්” ගාලා.
අවන් එක පුපුරනවා “ඩෝං” ගාලා.
කුස්සිය පුපුරනවා “කබූම්” ගාලා.
ඔයාත් පුපුරනවා.

ඉතින් ඔයා මැරෙනවා.

 ෴ නිමි  ෴

13.

 ඔයා දණ ගහගෙන අවන් දොරේ වීදුරුවෙන් එබිලා බලනවා. අම්මා ගහයි කී බෝඩ් එකෙන්! ඒ අවන් එකෙන් එන  පහුරු ගාන කූස් කූස් ගාන සද්දෙ එන්නෙ කේක් එකෙන් නෙවෙයි, සූටියාගෙන්.  ඔයා අහක බලපු වෙලාවක, මේ මෝඩයා අවන් එක ඇතුලට රිංගලා. ඔයා අවන් එකේ දොර ඇරලා පස්සට වෙනවාත් එක්කම, අවන් එකෙන් එලියට පනින සූටියා කුස්සියේ රවුමට, රවුමට දුවනවා රොකට් එකක් වගේ, මොකද උගේ නැට්ටට ගිණි අරන් නිසා.

*සූටියා කලබල වෙලා දඟලද්දී, ඌ ඔයාගේ ඇ‍ඟේ ගෑවෙනවා නම්, යන්න 14ට.

* සූටියා කලබල වෙලා දඟලද්දී, ඌ මේස රෙද්දෙ ගෑවෙනව නම්, යන්න 15 ට


14.


ඔයාට “ඈව්-ඈව්” කියවෙනවා,  කලිසමට ගිණි  ඇවිලෙන නිසා. ඔයා කුස්සියේ සින්ක් එකට දුවනවා වතුර ගහලා ගින්න නිවාගන්න, නමුත් චොකලට් කේක් එකට දාපු සමහර ද්‍රව්‍ය තවමත් ටැප් එකේ කටේ හිරවෙලා, කොන්ක්‍රීට් වගේ ගල් වෙලා තියෙන නිසා, ටැප් එක ඇරියට වතුර එන්නේ නෑ. 

ගිණි දැල් ඔයාව වෙලා ගන්නවා. 

ඔයා මැරෙනවා.

෴ නිමි  ෴

15

ඔයාට දිගින් දිගටම  “ඈව්-ඈව්” කියවෙනවා,  මේස රෙද්දට ගිණි  ඇවිලෙන හැටි කට ඇරගෙන බලා ඉන්න නිසා. ටිකකින්, ඔයා නැප්කින් එකක් අරන් ගින්න නිවන්න හදනවා. මෝඩ ගොං මෝල් වහන්සේ! ඔහොම කරන්න බෑ ඕක. මම කිව්ව නේද! නැප්කින් එකටත් ගිණි තිබ්බනේ, මේ මෝඩ ගොං මෝල් වහන්සේ!

ඔයා නැප්කින් එක බිමට අතාරිනවා. බිම දාලා තියෙන ලිනෝලියම් එක උණුවෙන්න ගන්නවා. ඔයා කුස්සියේ සින්ක් එකට දුවනවා වතුර ගහලා ගින්න නිවාගන්න, නමුත්, චොකලට් කේක් එකට දාපු සමහර ද්‍රව්‍ය තවමත් ටැප් එකේ කටේ හිරවෙලා කොන්ක්‍රීට් වගේ ගල් වෙලා තියෙන නිසා, ටැප් එක ඇරියට වතුර එන්නේ නෑ. ඔයා දුවනවා ලඟම තියෙන නාන කාමරයට. වැඩක් නෑ, ඒක ලොක් කරලා. ඔයාගේ අක්කා, ජෙන්, ෂවර් එකක් ගන්නවා. එයා ඉතින් වරුවකට ඕකෙන් එලියට එන්නේ නෑ, ගේ ගිණි ගත්තයි කිව්වත්. කතාකරලා වැඩක් නෑ. ගෑණු ඔහොම්මමයි.

ඔයා දුවනවා උඩ තට්‍ටුවේ නාන කාමරේට. අම්මෝ ඇති යාන්තං, ඒකෙ කවුරුවත් නෑ. ටැප් ඇර ඇර ඉන්න වෙලාවක් නෑ. ඔයා කෙලින්ම ටොයිලට් බෝල් එක ඇතුලට ඔලුව ඔබලා, ගන්නවා කට පුරෝලා වතුර එකක්.  අරන් ආපහු කුස්සියට දුවලා, මේස රෙද්දටයි, නැප්කින් එකටයි ඇවිලේන ලිනෝලියම් පොළොවටයි, කටේ පුරවගෙන ආපු ටොයිලට් වතුර හලනවා “ප්…ලූ…ලුග්..හ්ක්,” ගාලා.

*ඔයාට ගින්න නිවාගන්න පුලුවන් වුනත්, වැරදීමෙන් ටොයිලට් වතුර ටිකක් පෙවෙනවානම්, යන්න 16ට.


 * ඔයාට ගින්න නිවාගන්න පුලුවන් වෙලා, වැරදීමෙන් ටොයිලට් වතුර ටිකක්වත් පෙවෙන්නෙ නැතිනම්,  යන්න 17ට.

 

16.

ඔයාට ඔක්කාර ගතියක් දැනෙනවා. පුදුමයක්යෑ මෝඩයෝ  ඔයාට ටොයිලට් වතුර පෙවුනයි කිව්වාම. අර එක බින්දුවක, මාරාන්තික විෂබීජ බිලියන් තුනකට වඩා අඩංගු, කිලු‍ටු, ජරා, ගඳගහන, අප්‍රසන්න, භයානක  ටොයිලට් වතුර!

අර මාරාන්තික විෂබීජ ඔයාගේ ආමාශයට ඇතුල් වෙනවා. එතනින් ඇතුල් වෙනවා ඔයාගේ රුධිර වාහිණී පද්ධතියට. දැන් ඔයා හොඳටම සුදුමැලි වෙලා, අප්‍රාණික වෙනවා.

colorchangegreen - Copy

ඔයා මුලින්ම කොළ පාට වෙනවා.
ඊට පස්සෙ නිල් පාට වෙනවා.
ඊට පස්සෙ එක්තරා දුර්ලභ වර්ගයක  අලංකාර දම්පාටකට හැරිලා,
ඔයා මැරෙනවා.

෴ නිමි  ෴

17.

ඔයා දැන් කේක් එක කොහොමද කියලා බලනවා. ඊට පස්සෙ බලනවා සූටියාට කොහොමද කියලා. උගේ නැට්ට තවම ගිණි ගන්නවා. ඔයා සූටියව කරපටියෙන් අල්ලලා නවත්තගෙන, ඌව වඩාගෙන දුවනවා නාන කාමරේට.

ඔයා හදන්නේ, සූටියාගේ නැට්ට ටොයිලට් එක ඇතුලට ඔබලා නිවන්න. නමුත් ඌ හිතන්නෙ ඔයා ඌව නාවන්න හදනවා කියලා. ඌ නාන්න කොච්චර හොරද කියනවා නම්, ඌට නාන්නෙ නැතුව ඉන්න පුලුවන් නම්, නැට්ට ගිණි අරන් තියෙන එකත් ඉවසගෙන ඉන්න පුලුවන් සයිස් එකක් තියෙන්නේ.

ඌ දරදඬු වෙලා, කකුල් දික් කරගෙන ඉන්නවා ඌව ටොයිලට් බෝල් එකට ඔබන්න බැරි වෙන්න. ඔයා මූව බලහත්කාරෙන් ටොයිලට් බෝල් එකටඔ බන්න දඟලන අතරේ, ඔයා සිස්ටන් එකේ මුදුනෙනුත් අල්ලාගන්නවා සපෝට් එකට. අන්තිමේදි ඔයා වැඩේ නම් ගොඩ දාගන්නවා.

සූටියගේ නැට්ට වතුරේ එබෙනවත් එකක්ම, චූස් ගාලා හුමාලය වලාවක් නගිනවා ටොයිලට් බෝල් එකෙන්. නමුත් ඒ එක්කම, ඔයා අතින් වැරදිලා ෆ්ලෂ් බටන් එක එබෙනවා. ටොයිලට් එක ෆල්ෂ් වෙන්න ගන්නවා.

* ටොයිලට් එක ෆ්ලෂ් වෙද්දිත් ඔයාට පුලුවන් වෙනවා නම් සූටියව අල්ලලා නවත්තා ගන්න, යන්න 18ට

* සූටියාව ෆ්ලෂ් වෙලා ගහගෙන යනවා නම්, යන්න 19ට.



18.

ඔයා සූටියාව ටොයිලට් බෝල් එකෙන් උස්සලා අරන් වඩාගෙන් ආපහු හැරෙනවා.  “හෑ….හ්!!!!!!!!!! අම්මා!!!!!! අම්මා හිතන විදියට වගේම, බැලූ බැල්මටත්, ඔයා  අර අහිංසක බල්ලව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරන්න හදලා අතේ මාට්‍ටු!

අම්මා සූටියට පණ වගේ ආදරෙයි. අම්මා කියලා තියෙන්නේ, ඔයා හරි, වෙන කවුරු හරි, බල්ලට හිරිහැර කරලා අහුවුනොත්, ආය කිසි කතාවක් නෑ, හිරිහැර කරලා අහුවෙච්ච එකාව මරනවා කියලා.

අම්මා, එක අතකින් ටොයිලට් බ්‍රෂ් එකයි, අනිත් අතින් එයා ෆ්‍රෙෂ්නර් එකයි  අරගෙන, එයා කියන දේ කරන, කරන දේ කියන, තනි වචනේ ගෑනියක් බව  ඔප්පු කරනවා.

මෙතනදි අර ‘අම්මා ගහයි බැට් එකෙන්’, ‘අම්මා ගහයි කී බෝඩ් එකෙන්’ කියන යෙදුම්වල ඉතිහාසගත වෙනසක් ඇති කරමින්,

අම්ම ගහන්නේ  ටොයිලට් බ්‍රෂ් එකෙන්.


ඔයා මැරෙනවා.


෴ නිමි  ෴

19.



හුටා! ඔයා සූටියාව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කලා වැරදීමෙන්. අම්මා සූටියට පණ වගේ ආදරෙයි. අම්මා කියලා තියෙන්නේ, ඔයා හරි, වෙන කවුරු හරි, බල්ලට හිරිහැර කරලා අහුවුනොත්, ආය කිසි කතාවක් නෑ, හිරිහැර කරලා අහුවෙච්ච එකාව මරනවා කියලා. එයා විහිලු නෙවෙයි කරන්නේ. එයා කියන දේ කරන, කරන දේ කියන, තනි වචනේ ගෑනියක්.

සූටියව හොයාගන්න වෙනවා. ඔයා එක කකුලක් ටොයිලට් බෝල් එක ඇතුලෙන් තියනවා. ඊට පස්සෙ අනිත් කකුලත් ඇතුලට ගන්නවා. ෆ්ලෂ් බටන් එක ඔබලා ටොයිලට් එක ෆ්ලෂ් කරනවා. ඊ ලඟට ඔයා අධිවේගයෙන්  S බෙන්ඩ් එක හරහාත්, ඊට පස්සෙ දිග පයිප්ප ඔස්සේත් ඇදිලා යනවා හරියට වෝටස්ලයිඩ් එකක යනවා වගේ, නමුත් වෙනස මේක ඊට වඩා දිගයි, ගඳයි. ඔයා සූවර් ලයින් දිගේත් ගිහින් අන්තිමේදි මුහුදට වැටෙනවා. සූටියා පේන්න නෑ.

දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන් ඉන්නේ… දැන් ඔයා ගිලෙන්නෙ ඔන්න මෙන්න. එතකොටම ඔයා දකිනවා තල්මසෙක්.

*තල්මසා ඔයාව ගනන් ගන්නේ නැති නම්, යන්න 20ට..


* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට..


හැබැයි 20ටයි 21ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ අන්තිම කොටස දානකල්. 

ඒයි ඩූඩ්, හොඳ එකා වගේ ඕක ඉක්මනට දාපං බං, මේ කට්ටිය බලං ඉන්නවනේ.

මේ ඩූඩ්, මැරුං නොකා ඕක දාපං, ඈ.

Andy Griffiths –  Just Disgusting – Cake of Doom.

Simulblogged @ මගේ ඩෙනිම for WordPress Lovers.

 

ටැග: , , , ,

126. මාරක කේක් වට්ටෝරුව 1 – Cake of Doom 1

126. මාරක කේක් වට්ටෝරුව 1 – Cake of Doom 1

මාරක කේක් වට්ටෝරුව. Cake of Doom
 
A choose your own baking adventure

කේක්  එක බේක් කර ගැනීම: 
ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද?
නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද?
මේ කතාවෙදි එය  තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි . 
ඔබමයි.
ඔබේ නම ඇන්ඩි.
හෙට මව් වරුන්ගේ දිනය. 
හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා,
ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා. 
එකම ගැටළුව ඔබ මින් පෙර කිසිදා කේක් එකක් සාදා නොමැති වීමයි. 
නමුත් එවැනි සුළු කරුණකින් සැලෙන්නෙක් නෙවෙයි ඔබ.
 
එසේ නම්, සුබ පැතුම්!
Good Luck! Happy Baking 
අනේ මොනවා කලත් ‘පරිස්සමෙන්’ මයේ දෙයියෝ!
෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴+෴ Cake of Doom ෴
 1.


ඔන්න දැන් හෙට උදෙත් වෙලා. ඔන්න  ඔයාගේ අර ඩිජිටල් X-Men අලාම් ඔරලෝසුවවදිනවා හි‍ටු කියලා. ඉස්සෙල්ලම අර අනතුරු හඟවන සයිරන් සද්දේ. ඊට පස්සෙ X-Men ලගේ අණදීම: “GET UP! TIME FOR ACTION! GO! GO! GO!”


*ඔයාට
මල පැනලා, අනිත් පැත්ත හැරිලා මෙහෙම හිතනවා නම්, “නෙද්දකිං!   මොන මල
කරදරයක්ද යකෝ මේක! මට බෑ නැගිටලා කේක් හදන්න. මම නිදාගන්නවා… අනික අම්මා
මා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?”  යන්න කෙලින්ම 2 කොටසට.



*ඔයා දුන්න වගෙ නැගිටලා කෙලින්ම කුස්සියට යනවානම්, යන්න කෙලින්ම 3 කොටසට.

2.  



ඔයා ඇඳේ රවුමක් පෙරළිලා, අලාම් එක ඕෆ් කරන්න හදනවා. නමුත් කරුමෙට, අර ඇඳ ලඟ පොඩි කබඩ් එක උඩ තිබුන වතුර වීදුරුවෙ අත වැදිලා, ඒක පෙරළෙනවා බිමට. වතුරෙන් වැඩි කොටස කාපට් එකට උරා ගන්නවා, නමුත් වතුර ටිකක් යනවා  අර විදුලියෙන් ක්‍රියාකරන ඩිජිටල් X-Men අලාම් අර්ලෝසුවේ පිටිපස්සෙන් ඇතුලට. ඔයා දැන්ටමත් දන්න විදියට වතුරයි විදුලියයි මිශ්‍ර වෙන්නේ නෑ. 

ඔරලෝසුව කෙකර ගානවා, චට පට ගානවා, සයිරන් සද්දේ එකසිය ගානට වැඩි වෙනවා, අඩුවෙනවා. X-Men ලගෙ අණදීමත් දැන් ඇහෙන්නේ බුවාලා වතුර යට ඉඳන් කෙකර ගානවා වගේ. 

දැන් ඔයාට මල් පොකුරම පනිනවා ඔරලෝසුවත් එක්ක. ඔයා අත දික් කරලා ඒක ඕෆ් කරන්න හදනවා. මේ පාර නම් ඔයාට පුලුවන් වෙනවා ඔරලෝසුවට ගහන්න, නමුත් කරුමෙට, ඒකට ඇවිත් නන්නත්තාර වෙලා ඉන්න  වෝල්ට් 220ක විදුලිය, ‘සිං’ ගාන කොට ඔයාගේ අත දිගේ ඇවිත් ඔයාගේ මොළේ කරකුරුට්ටං වෙනවා. 

ඔයාගේ අවසාන සිතුවිල්ල, අම්මා විශ්මයට පත්වෙනවා නම් තමයි, නමුත් ඒ ඔයා කරන්න හිතාගෙන හිටපු විදියට නෙවෙයි කියන එක. 

ඔයා මැරෙනවා.


 ෴ නිමි  ෴

3.

ඔයා කුස්සියට යනකොට ඔයාට ඇහෙනවා පැන්ට්‍රියෙන්  ‘ටකාස්’ සද්දයක්. ඒ, මේ මෑතක ඉඳන් කුස්සිය ආක්‍රමණය කරන්න හදන මීයන්ට එරෙහිව,  ඔයාගේ තාත්තා කරන මෙහෙයුමේ කොටසක් හැටියට  අටවපු මී උගුලක් වෙන්නැති. මුං කවුන්ටර් උඩයි, අවන් එක ඇතුලෙයි, පාං දාන පෙට්ටිය ඇතුලෙයිබෙටි ගහන එකට විරුදධව, තාත්තා, මී උගුල්, මී කතුරු, මී පාසානම්, ඒ ඔක්කොටම වඩා දරුණු අවිය වන ඔයාගේ බල්ලා සූටිව  යොදාගෙන යුද ප්‍රකාශ කලා. 



ඔයා පැන්ට්‍රි කබඩ් එකක් අරිනවා. ආ මේ ඉන්නෙ බඩු! මෙන්න මීයෙක් අහුවෙලා මී කතුරකට.  දුඹුරු පාට, ඇ‍ඟේ මැක්කො ඉන්න, අපිරිසිදු ජරා මීයෙක්! මූ මැරිලා නෑ.  උගේ අතක් විතරයි අහුවෙලා තියෙන්නේ කතුරට. ඌ, උගේ අර දුක්බර, ආයාචනාත්මක, ඇඬුම්බර මී ඇස්වලින් ඔයා දිහා බලනවා. ඔයාට හෙන අවුල් මේ වැඩේ. ඔයාටම විශ්වාස කරන්න අමාරුවුනත්, ඔයාට පව් කියලා හිතෙනවා මේ ජරා සතා ගැන….


*ඔයා මී කතුර එළියට අරන් ගිහින් මීයව නිදහස් කරනවා නම් කෙලින්ම යන්න 4 ට.

*ඔයා අර රෝලිං පින් එකෙන් ඔලුවට පාරක් දීලා අරන් මීයව මේ දුක්ඛිත සංසාරෙන් එගොඩ කරලා දානවා නම් යන්න 5ට.

4.


ඔයා මීයව නිදහස් කරනවා. මේ ජරා යකා අනිත් පැත්ත හැරිලා ඔයාගේ ඇඟිල්ල හපනවා.
මීයාගේ කෙල හරහා ඔයාට අධි මාත්‍රාවකින් ශරීරගත වෙනවා අධි වේගී, මාරාන්තික, ජලභීතිකා වෛරසය. 

ඔයාගේ කටින් පෙණ දාන්න ගන්නවා.

ඔයා පිස්සු බල්ලා වගේ රවුමට රවුමට දුවනවා.

දුවලා දුවලා ඇද ගෙන  වැටෙනවා. 

වැටිලා ඔයා මැරෙනවා.


  ෴ නිමි  ෴
5.





ඔයා රෝලිං පින් එකෙන් නෙලනවා පාරක් මීයගේ ඔලුවට, පොරි හැලෙන්න. ඈක්කා! පොරි කිව්වට මොළ කෑලි එලියට වීසි වෙන්න. වැඩේ චොර! මොකද මේකගෙ ඔලු කට්ට පුපුරනවා හරියට කුණු බිත්තරයක් පුපුරනවා වගේ, ‘පඨෝං’ ගාලා.

ඔයා මූණ පුරාම විසි වෙච්ච ලේයි, මොළ කෑලියි පිහදාද්දි, ඔයාට දැනෙනෙවා   චිත්ත සන්තානනයේ ඇතුලතින් බුර බුරා නැගෙන  උණුසුම් විස්තර කරන්න අමාරු හැඟීමක්, ඔයා කල දේ හරිය කියලා. එහෙමයි කියලා ඔයාට, මුළු දවසම මීයන්ගේ ඔලු පල පල ඉන්න බෑනේ. අර කේක් එක හදන්න තියෙනවනේ. 

*ඔයාට නියම ක්‍රමයට කේක් එක හදන්න කම්මැලි නිසා අර ක්ෂණික කේක් මිශ්‍රණයට අත යනවා නම් , යන්න 6 ට.
*ඔයාට නියම කේක් එක හදන්න කම්මැලි නැති නිසා අර කෑම වට්ටෝරු පොත ගන්න  අත දික්වෙනවා නම්, යන්න 7ට.

6.


අර ක්ෂණික කේක් මිශ්‍රණය තියෙන්නේ, පැන්ට්‍රි කබඩ් වල උඩම තට්‍ටුවේ. ඔයා ඇඟිලි තුඩු වලින් හිටගෙන ඒක ගන්න හදන්නේ… නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා.

කුස්සිය කියන්නේ ඔයා නිතර යන තැනක් වත්, ගිහින් කේක් හදන තැනක් වත් නොවන නිසා අම්මයි තාත්තයි, ඔයාගේ උපන් දිනයට ඔයාට දෙන්න හිතාගෙන ඉන්න බෝලිං බෝල් එක හංගන්න හොඳම තැන හැටියට තෝරගත්තෙත්, පැන්ට්‍රි කබඩ් එකේ උඩම තට්‍ටුව.

ඔයා ක්ෂණික කේක් මිශ්‍රනය පැකට් එකේ කොනකින් අල්ලලා අදිනවා පහලට. කරුමෙට, පහලට ඇදිලා එන්නේ කේක් මිශ්‍රණ පැකට් එක විතරක් නෙවෙයි. ඒ එක්කම ඇදිලා එන බෝලිං බෝල් එක දෝයි ගාල වැටෙන්නෙ ඔයාගේ ඔලුවඋඩට. ඔයා එතනම මැරෙනවා..

 
෴ නිමි  ෴

7.



අර කෑම වට්ටෝරු පොත තියෙන්නේ, පැන්ට්‍රි කබඩ් වල උඩම තට්‍ටුවේ. ඔයා ඇඟිලි තුඩු වලින් හිටගෙන ඒක ගන්න හදන්නේ… නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා.

කුස්සිය කියන්නේ ඔයා නිතර යන තැනක් වත්, ගිහින් කේක් හදන තැනක් වත් නොවන නිසා අම්මයි තාත්තයි, ඔයාගේ උපන් දිනයට ඔයාට දෙන්න හිතාගෙන ඉන්න බෝලිං බෝල් එක හංගන්න හොඳම තැන හැටියට තෝරගත්තෙත්, පැන්ට්‍රි කබඩ් එකේ උඩම තට්‍ටුව.

ඔයා කෑම වට්ටෝරු පොත කොනකින් අල්ලලා අදිනවා පහලට. නමුත් පහලට ඇදිලා එන්නේ කෑම වට්ටෝරු පොත විතරක් නෙවෙයි. ඒ එක්කම ඇදිලා එන  බෝලිං බෝල් එක ඔයාගේ නහයේ ගෑවීගෙන  දෝයි ගාල වැටෙනවා බිමට.

“යකෝ, මාර බේරිල්ලක්නේ. ඒක ඔලු ගෙඩියට වැ‍ටුන නම් කේක් හදන්න මම ඉතුරු වෙන්නේ නෑ!” ඔයා කියනවා.

ඔයා කෑම වට්ටෝරු පොතත් අරගෙන කුස්සියේ මේසෙට ගිහින්, කේක් හදන හැටි කියන කොටස පෙරලාගන්නවා. .

*ඔයා කැරට් කේක් එකක් හදන්න තීරණය කරනවා නම්, යන්න 8 ට.
*ඔයා චොක්ලට් කේක් එකක් හදන්න තීරණය කරනවා නම්, යන්න 9 ට.


8.



මේ වට්ටෝරුවට ඕනෙ වෙනවා ග්‍රේට් කරපු කැරට්. ඒ වුනාට ඔයාට ග්‍රේටර් එක හොයාගන්න  බෑ.  ඔන්න ඔයාට පහල වෙනවා පට්ට අයිඩියා එකක් වැඩේ ගොඩ දාගන්න. තාත්තා, මේ පාර Mothers’ Day  එකට අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ, සුපිරි බලයක් තියෙන බ්ලෙන්ඩර් එකක්. ඔයාට හිතෙනවා ඔයා හොරෙන්ම තෑගි පාර්සලේ ඇරලා අරගෙන, පාවිච්චි කරලා, ආපහු තිබ්බ විදියටම ඔතලා තිබ්බොත්, ඕක කාටවත් දැනගන්න ලැබෙන එකක් නෑ කියලා.

ඔන්න ඉතින් ඔයා බ්ලෙන්ඩර් එක එලියට ගන්නවා. ඒකෙ  පෙට්ටියේ එලියෙම අවවාදයක් සටහන් වෙනවා, පළමුව උපදෙස් පත්‍රිකාව  නොකියවා කිසිසේත්ම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා කියලා. තමන් හෙන ස්මාර්ට් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්න ඔයා,  කවදාවත් උපදෙස් පත්‍රිකාවල් කියවන්නෙ නෑ. ඉතින් ඔයා බ්ලෙන්ඩර් එකට කැරට් පුරවගෙන පුරවගෙන යනවා. ඊට පස්සෙ ස්විච් එක දානවා.

වැඩේ නැගලා යද්දි ඔයා නිකමට කල්පනා කරනවා ඇයි මේ ග්‍රේට් කරපු කැරට් මෙච්චර රතු පාට කියලා. ඒ එක්කම ඔයා කල්පනා කරනවා, ඇයි ඔයාගේ ඇඟිලි මෙච්චර රිදෙන්නේ කියලා. ඔන්න එතකොටම ඔයාට තේරුම් යනවා, ඔයාඋපදෙස් කියෙව්වේ නැති නිසා, ඔයා අර ආරක්ෂිත වැස්ම දාලා නැති බවත් ඒ නිසා ඔයාගේ දකුණු අතේ ඇඟිලි ටිකත් කැරට් එක්කම ග්‍රේට් වෙලා ගිහින් බවත්.

ඔයා කොච්චර කම්පනයට පත් වෙනවද කිව්වොත්, ඔයා කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා ‘දෝයි’ ගාලා. ඔයාගේ ඇ‍ඟේ තියෙන ලේ ඔක්කොම,  ඔයාගේ කලින් ඇඟිලි තිබ්බ තැන් වලින් එලියට ගලාගෙන යනවා ‘ගොදගොද’ ගාලා. කුස්සියේ බිම ඇතිවෙන ඔයාගෙම ලේ  විලේ, ඔයා  ගිලිලා මැරෙනවා..  

 
෴ නිමි  ෴


9.




ඔයා වට්ටෝරු පොතේ කියලා තියෙන  හැම දේම කරනවා.

ඔයා අවන් එකත් කලින්ම 350 ට රත් කරනවා. 13″ X 9″ X 3″ සෘජු කෝණාශ්‍රාකාර තැටියේ අඩියට ඔයා බටර් ගාලා, පිටි පොඩ්ඩකුත් ඉහිනවා. ඊට පස්සෙ තියෙන්නේ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාලා  ගහන්න. නමුත් ඔයාට බ්ලෙන්ඩරයක් හොයා ගන්න බෑ. ඔන්න ඔයාට පහල වෙනවා පට්ට අයිඩියා එකක් වැඩේ ගොඩ දාගන්න.  තාත්තා, මේ පාර Mothers’ Day එකට අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ,  සුපිරි බලයක් තියෙන බ්ලෙන්ඩර් එකක්. ඔයාට හිතෙනවා ඔයා හොරෙන්ම තෑගි පාර්සලේ ඇරලා අරගෙන, පාවිච්චි කරලා, ආපහු තිබ්බ විදියටම ඔතලා තිබ්බොත්, ඕක කාටවත් දැනගන්න ලැබෙන එකක් නෑ කියලා. 

ඔන්න ඉතින් ඔයා බ්ලෙන්ඩර් එක එලියට ගන්නවා. ඒකෙ  පෙට්ටියේ එලියෙම අවවාදයක් සටහන් වෙනවා, පළමුව උපදෙස් පත්‍රිකාව  නොකියවා කිසිසේත්ම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා කියලා. තමන් හෙන ස්මාර්ට් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්න ඔයා  කවදාවත්, උපදෙස් පත්‍රිකාවල් කියවන්නෙ නෑ.

ඉතින් ඔයා බ්ලෙන්ඩර් එකට  ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තරදෙකක් පුරවගෙන පුරවගෙන ගිහින් ස්විච් එක දානවා. ස්විච් එක දාපු ගමන් ඔයාට හයියෙන්, “හුටා!” කියවෙනවා, මොකද ඔයාට තේරුම් යනවා ඔයා (අර උපදෙස් පත්‍රිකාව කියවලා තිබ්බා  නම් ඔයා දැනගෙන සිටිය යුතු මූලික දෙයක් වන)  බ්ලෙන්ඩර් එකේ පියන වහපු නැති බව.

ඔයා ඔලුව අත් දෙකෙන්ම බදාගෙන හොල්මං වෙලා බලා ඉන්නවා, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක් කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි. ඇත්තෙන්ම ඊට වඩා තව හුඟාක් දේවල් විසි වෙනවා වගේ තමයි පෙනුම නම්.

ඔයා බ්ලෙන්ඩර් එක ඕෆ් කරනවා.

*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.

*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම් යන්න 11ට.


ප. ලි:

හැබැයි 10ටයි 11ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ ඉතිරි කොටස දානකල්.

ඒයි ඩූඩ්, ඕක ඉක්මනට දාපං බං, නිකං මේ කට්ටිය රස්තියාදු නොකර.

ඔන්න උඹලට බයේ දාලා තියෙන්නේ. දෙවෙනි කොටසට මෙතන ඔබන්න..

 
Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers.
 
 

ටැග: ,

125. මළා හා සමානයි. / Playing Dead. Part 2

125. මළා හා සමානයි. / Playing Dead. Part 2

පළමු කොටසට මෙතනින්.

තාත්තා කාමරෙන් එලියට යනවා.

අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින්ම, මගෙ ඇරිලා තියෙන ඇස් පිහා‍ටු වහනවා. හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ. මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත්, තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා.

“ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට,” අම්මා කොඳුරනවා.

ටිකකින් අම්මත් එලියට යනවා.

දැන් මට ඇස් අරින්න බයයි, අම්මා එක පාරටම කාමරේට ඇවිත් මම ඇස් ඇරගෙන ඉන්නවා දැකලා හොඳටම බයවෙයි කියලා. එයා අදට බය වෙලා ඉන්න ටික හොඳටම ඇති.

මට වෙලාවකට හිතෙනවා අම්මට ඇත්තම කියලා දාන්නත්.

නමුත් එයාව තවත් බය නොකර, කොහොමද එහෙම කරන්නේ? අම්මා මම මැරිලයි කියලා හිතාගෙන ඉන්න වෙලාවේ, මම එක පාරට නැගිටලා, කුස්සියට ඇවිදගෙන ගිහින්, “අම්මේ මම මැරිලා නෑ. මම ජොලියට එහෙම කලේ,” කියලා කියන එක්ක එච්චර ඇඟට ගුණ වැඩක් කියලා මම හිතන්නේ නෑ.

හැබැයි මම ඇත්ත නොකීවොත් මට වෙන්නේ, අපේම ගේ පිටිපස්සෙ සීතල මඩ වලක වැලලෙන්නයි.

ලෝක විනාසෙ වෙනකල්, පණුවෝ තලු මර මර, මගේ ඇස් බෝල සූප්පු කරයි. මේක කොච්චර පට්ට ආතල් විහිලුවක් වුනත්, ලැබෙන්න යන රිටර්න් එක නම් සෙල්ලං නෑ වගේ. ඕන්නැති සෙල්ලං දාන්න ගිහින් සල්ලං වෙන්න වෙයිද මට?

playing dead original

ලෙමන් ගහ තියෙන්නේ මගේ කාමරේ ජනේලෙ ලඟමයි. මට ඇහෙනවා තාත්තා විස්ල් එකක් හෙම ගහ ගහ, වල හාරන සද්දේ.

විස්ල් එකක් ගහ ගහ?

මම මෙහෙ මැරිලා. තාත්තා සින්දුවක් විස්ල් කරනවා! තාත්තට මොනවා වෙලාද? තාත්තට ඇත්තටම පිස්සුද? සාමාන්‍ය මිනිස්සු විස්ල් කරනවායැ තමන්ගේ පුතා මලාම? ඔක්කොටම ඉස්සෙල්ලා සාමාන්‍ය මිනිස්සු ගේ පිටිපස්සෙ මිනී වලදානවායැ ?

මම තාත්තගෙ විස්ල් එක අහගෙන ඉන්නකොට මට දැනෙනවා ඒකෙ අමුත්තක්.
මේක සාමාන්‍ය විස්ල් එකකට වඩා වෙනස්.
මේක ඊට වඩා සද්දයි.
මේක ඊට වඩා නැටවෙන ටියුන් එකක්.
තාත්තට නැව ගිලුනත් බෑන්චූන්ද?

දැන් මට තේරෙනවා.

මේ දෙන්නා මගේ ලණුව ගිලලා නෑ. මේ දෙන්නා හදන්නේ මට ලණුවක් ගිල්ලවන්න. ඒ දෙන්නට ඕනෙ, ඒ දෙන්න මගේ ලණුව කාලා ඉන්නෙ කියලා, මාව අන්දවන්න. මේ මාව ලෙමන් පළදාවට හොඳ කතාවල් ඔක්කොම නිකං මේ බුලක්.

මේ ඔක්කොම කරන්නේ මාව මට්‍ටු කරන්න.

මාව මට්‍ටු කරන්න එයාලාට ලේසි වෙන්නේ නෑ. අනික, මේ… අර ඌරගේ මාලු ඌරගේ පිටේ තියලා කපන්නනේ හදන්නේ? හුහ්, හිතුවා මදි මාව තම්බන්න!

මුළු උදයක්ම උඩ බලං ඉඳලා, මට ඇති වෙලා.

ඇති යාන්තං, තාත්තා වල හාරලා ඉවරයි වගේ.

අම්මයි, තාත්තයි කාමරේට එනවා. මට හිතා ගත්තෑකි ඊ ලඟට වෙන්න යන දේ.

මම හුස්ම අල්ලාගෙන, නොසෙල්වී ඉන්න උත්සාහ කරනවා. තාත්තා මාව කිහිලි වලට යටින් අත දාලා උස්සද්දි, අම්මා මගේ කකුල් වලින් උස්සනවා. මම නියම මළ මිනියක් වගේ බෙල්ල කඩා වැටිලා පැද්දෙන්න අරිනවා. එයාලා මාව ගේ පිටිපස්සට ගෙනිහින් ලෙමන් ගහ යට බිමින් තියනවා.

තාත්තා වලට බහිනවා මට ඇහි පිහා‍ටු අතරින් පේනවා. තාත්තා ආයෙම මගේ කිහිලි වලට යටින් අත්දාලා, මාව අදිනවා වල ඇතුලට. මගෙ විලුම් දෙක බිම දිගේ ඇතිල්ලිලා ගිහින්, වලේ ගැට්ට පැනලා වලේ අඩියෙ වදිනවා ‘දොහ්’ ගාලා.

වල අඩියේ මඩ පසේ සීතලයි, තෙතමනයයි මගේ පිජාමා එක විනිවිද යනවා මොහොතකින්. තාත්තා දැන් බලාගෙන ඇති මම පරාජය බාර අරගෙන, ඇස් ඇරලා ‘මම විහිලුවක් කලේ,’ කියලා කියනකල්.

බලාගෙන ඉන්න මම කියයිද කියලා!

තාත්තා වලෙන් ගොඩ වෙනවා. අම්මා අර පුංචි නිල් පාට බයිබලය දිගෑරගෙන හරිම පහත් නමුත් ශාන්ත හඬකින් යාඥාව කියන්න ගන්නවා.

“…Ashes to ashes…dust to dust…”

තාත්තා බිම හිටවලා තියෙන ෂවල් එක ලඟම සීරුවෙන් හිටගෙන ඉන්නවා.

දැන් නම් මට හිතෙනවා මම කලේ ගොං වැඩක්ද කියලත්. තාත්තා වලට පස් දාන්න පටන් ගන්නවා. ආයෙ හිතන්න දෙයක් නෑ. ගොං වැඩක් තමයි.

පලවෙනි පස් ටික වැටෙන්නේ මගේ පතුල් දෙක උඩට. ටිකකින්, කකුල් පස් වලින් වැහීගෙන යනවා. ඊ ලඟට බඩ. පපුවට වැ‍ටුන පස් කුට්ට්යෙන් විසි වුන පස්, මගෙ මූණේ කටේ හැම තැනම.

මොකක් හරි අවුලක් තියෙනවා. මගේ රඟපෑමෙ සුපිරි කමට අම්මයි තාත්තයි ඇත්තටම ‍රැව‍ටුනා වෙන්න බෑ. ම්ම්ම්… එහෙම වෙන්න පුලුවන්ද භැබෑට?

ඒක වෙන්න බෑ. දැන් කොයි වෙලේ හරි දෙන්නා මේක නවත්තලා, ‘බක-බක’ ගාලා හිනා වෙන්න ගනී.

ඊ ලඟ පස් කුට්ටිය කෙලින්ම මගේ මූණෙ.

තව එකක්.

දැන් නම් මට මොකුත් හිතාගන්නත් බැරි තරම්. මොකද මම දැන් සම්පූර්ණයෙන්ම වැලලිලා වගේ මට දැනෙන නිසා. හුස්ම ගන්නත් බැරි විදියයි. දැන්නම් බඩුම තමයි.

“හරි හරී, ඔයාලා දිනුම්. මම පරාදයි!” කියන්න මම කට අරිනවා. මොන! ලොකු පස් කුට්ටියක් කට ඇතුලට රිංගන නිසා සද්දෙ පිටවෙන්නේ නෑ.

කලුවරයි.

නිශ්ශබ්දයි.

සීතලයි.

කම්මැලියි.

මම කොච්චර කල් මෙහෙම ඉන්න ඇත්ද?

බඩු පැකට් වුනාවත්ද?

මම මැරිලද?

මම මැරිල නම්, මට තාමත් දේවල් හිතෙන්නෙ කොහොමද?

එක දෙයක් පැහැදිළියි. මට මේකෙන් ගැලවෙන්න ලැබුනොත් – ඒක නම් දැන් කියන්න අමාරුයි – ආයෙ පණ තියෙන කල් මේ වගේ ගොං ආතල් නම් ගන්න යන්නෙ නෑ, නෑමයි!

ඈ! මොකක්ද ඒ? මගේ බඩ උඩ මොකෙක්ද දඟලනවා දැනෙනවා. මෙන්න ඒකා පහුරු ගානවයි හාරනවයි වගේ දැනෙනවා, එකසිය ගානට!

ටිකකින් මගේ බඩ උඩ තිබ්බ පස් වල බර සැහැල්ලු වෙලා යනවා. දැන් මෙන්න ඒකා මගේ පපුව හරිය පහුරු ගානකොට මට තේරෙනවා මේ මොකාද කියලා.

සූටි ඇවිත් මාව බේරා ගන්න! ඌට විතරයි තේරෙන්නෙ මම මැරිලා නැති බව! ඌට ඉව වැටිලා මගේ ඇ‍ඟේ උණුසුම!

පස් වල බර අයින් වෙච්ච ගමන් මම තීරණය කරනවා, වහාම ක්‍රියාත්මක වෙන පරිදි, මේ මැරුණු පාට් එක අතෑරලා දාන්න. මේක මාර කට්ටක් වුනානේ. කොටින්ම ඉස්කෝලෙ යන්න වෙන එකත් මෙච්චරම චාටර් නෑනේ!

මම දුන්න වගේ නැගිටලා වලේ ඉඳගෙන කෑ ගහනවා.

“හරි, මම වැ‍රැද්දක් කලා තමයි. මම ඒක පිළිගන්නවා. ඔයාලා දිනුම්! මම විහිලුවක් කලේ!”

මම මූණෙ ගෑවුණු මඩ පිහදාලා, ඇස් දෙක පාදගෙන, උඩ බලනකොට, මම දකින්නේ අම්මයි තාත්තයි මා දිහා හොල්මනක් දැක්කා වගේ බලං ඉන්න හැටි.

ඒ දෙන්නා ඇත්තටම බය වෙලා. මම මළවුන්ගෙන් නැගිටිනවා දැකලා ඒදෙන්නගේ ඇස්බෝල නළලෙ, කටවල් ඇරිලා නිකටවල් බිම ගෑවෙන සයිස්.

ඔන්න අම්මා යටි ගිරියෙන් කෑගහන්න ගන්නවා. තාත්තා මට ෂවල් එක උස්ස ගන්නවා මට ගහන්න, හරියටම මම අර සොzම්බී කෙනෙක් වගේ.

“තාත්තේ, බය වෙන්න එපා තාත්තේ!” මම තාත්තව කූල් ඩවුන් කරන්න හදනවා. “මම කලේ මෝඩ විහිළුවක්. සොරි, තාත්තේ.”

ෂික්! මම කියන දේ තාත්තට ග්‍රීක් වගේ. මෙලෝ වැඩක් නෑ. තාත්තා තවම, මම ලඟට ආවොත් ගහන්න ෂවල් එක උරුක් කර ගත්ත ගමන්, අම්මත් එක්ක අඩියෙන් අඩිය පස්සට යනවා, වලෙන් ඈතට.

පිස්සු ඩබල් වෙනවනේ! මගේ ජෝක් එක චාටර්ම වෙච්ච හැටි! දැන් ඒක මගේ පස්සෙම පන්නනවා, හි‍ටු කියලා! මාව දැකලා සතු‍ටු වෙන එකම එකා සූටියා විතරයි. ඌ වලේ ගැට්ටේ ඉඳගෙන, මගේ මූණ ලෙවකන්න හදනවා. මම ඌව අහකට තල්ලු කලත්, ඌ ආයෙම, ආයෙම එනවා මූණ ලෙව කන්න. ඌට ඒක සෙල්ලමක් වෙලා. අඩු ගානේ ඌවත් සාමාන්‍ය විදියට හැසිරෙන එක ලොකු දෙයක්.

ඔන්න එක පාරටම තාත්තා ෂවල් එක අතෑරලා, පපුව අල්ලගෙන පාත්වෙනවා. එයාගේ කට තාමත් ඇරිලා. මුලින්ම එයාට දණ ගැස්සෙනවා. ඊට පස්සෙ මුනින් අතට බිම වැටෙනවා…

එක පිම්මට වලෙන් එළියට පනින මම නතර වෙන්නේ තාත්තා ලඟ. මම තාත්තව අනිත් පැත්තට පෙරලලා බලනවා, එයාට හුස්ම වැටෙනවද කියලා.

තාත්තා හුස්ම ගන්නේ නෑ!!!!

අර ප්‍රථමාධාර පන්තියේදි කියලා දුන්න විදියට, මම මගේ අත් දෙක තාත්තගේ පපුව උඩ තියලා, මගේ මුළු බර දාලා තෙරපනවා. තුන් පාරක් පපුව තෙරපලා, එයාගේ නහය ඇඟිලි දෙකකින් මිරිකගෙන, ඔලුව බෙල්ලෙන් පස්සට නවනවා. මම කටට කට තියලා කෘතිම ශ්වසනය දෙන්න හදනකොටම අම්මා බෙරිහන් දෙනවා.

“අහකට පලයං සොZම්බී! එයාව අතෑරපං… මල පිල්ලිය උඹ!”

“මම සොZම්බී කෙනෙක් නෙවෙයි අම්මේ. මම මැරිලා නෑ. මම විහිලුවක්නේ කලේ!”

“උඹ එයාව අල්ලන්නේ නෑ, ලේ උරා බොන වැම්පයර්!”

“මට ඔයත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ අම්මේ! තාත්තව බේරගන්න ඕනෙ. එයාට වෙන පිහිටක් නෑ මේ වෙලාවේ මා හැර.”

මම ගැඹුරු හුස්මක් ගන්නවා. අම්මා ඒ ගමන හිනාවෙන්න ගන්නවා, හිටි හැටියෙම. මේ වෙච්ච දේවල් වලට එයාගේ මොලේ අප්සෙට් වෙලා වගේ. මමයි මේ ඔක්කොටම වග කියන්න ඕනෙ. අම්මට කලින් තාත්තව බේරාගන්න ඕනෙ. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනෙ.

මම තවත් ගැඹුරු හුස්මක් අරගෙන, මගේ කට තාත්තගේ කටට තියන්න හදනකොටම, තාත්තා එක පාරටම පොඩ්ඩක් දඟලලා, මොනවදෝ කියමින් කෙඳිරි ගන්නවා. ඉන් පස්සෙ එයා අමාරුවෙන් කීස් හඬින් හුස්ම ගන්නවා. ඊට පස්සෙ බිම පෙරලමින් හිනා වෙන්න ගන්නවා.

තාත්තා ඇස් ඇරලා බලනවා. ඒ ඇස් කඳුලු වලින් පිරිලා, හිනාවෙලාම.

“මටත් කියනවද මොකක්ද මෙතන තියෙන විහිළුව කියලා,” මම අහන්නෙ බැරිම තැන.

“ආ, නැතුව, නැතුව?” අමාරුවෙන් හිනාව නවත්තාගන්න තාත්තා කියනවා. “අපිත් මේ විහිළුවක් කලේ!”

එහෙම කියලා දෙන්නා එක්කම බිම පෙරලි පෙරලි හිනා වෙන්න ගන්නවා, කලින්ට වඩා හයියෙන්. දෙකට නැමිලා, බඩවල් අල්ලාගෙන හිනා කනවා. හරියටම, පිස්සු හැදිච්ච ජෝඩුවක් වගේ. සූටියාත් බිම පෙරලි, පෙරලි හති හලනවා. හති හල හල බිම පෙරලෙනවා.

මට සිද්ධියෙ බරපතල කම තේරෙන්න ටික වෙලාවක් යනවා.

දෙයියනේ, එයාලා දිනුම්!

මමයි චාටර් වුනේ!

මමයි ඇදගෙන නෑවේ!!

මමයි ලණුව කෑවේ!!!

ඔන්න මගේ ධනාත්මක අහවල් එක මතුවෙනවා.

පෙරළුණු ඔරුවේ මේ පැත්තත් නරක නෑ. කකුල් දෙක දෙපැත්තට දාලා, ආතල් එකේ ඉඳගෙන ඉන්න පුලුවන්නේ!

මීට වඩා නරක යමක් වෙන්න තිබ්බා.

වෙච්ච දේ නරකම නෑ.

මම තෙමිලා සීතලේ වෙව්ල වෙව්ලා ඉන්න බව ඇත්තයි.

මම ඔලුවේ ඉඳන් පතුල් දෙකටම මඩ නාගෙන ඉන්න බවත් ඇත්තයි.

මමම කරපු මෝඩ ජෝක් එක මටම පත්තු වෙලා, මගේ වැඩෙන් අම්මට පිස්සු හැදිලා, තාත්තා මැරුණා කියලා මමම ‍රැව‍ටුන බවත් ඇත්තයි.

හරි හරි ඒ ඔක්කොම ඇත්ත තමයි, මම නෑයි කියන්නේ නෑ.

මගේ ජෝක් එකෙත් මෙලෝ රහක් නෑ තමයි!

ඒ වුනාට, අද මට ඉස්කෝලෙ නොගිහින් ඉන්න ලැබුනනේ. හික් හික්!

ඒකම මදිද?

නිමි.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking කෙටිකතා එකතුවේ Playing Dead කෙටි කතාවේ සිංහල අනුවාදයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , ,

124.මළා හා සමානයි. / Playing Dead.

124.මළා හා සමානයි. / Playing Dead.

වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා?

වෙන මොකුත් නෙවෙයි.

මම මැරිලා.

ම්ම්ම්ම්… ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.

මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන් හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ගන්නාගන්න, ඒක ඉතිහාසයේම කෙනෙක් දාපු ලොකුම පානිය වෙනව, කෙළපු ලොකුම බුල වෙනවා, අන්දපු ලොකුම ඇන්දිල්ල වෙනවා, නාගත්තු ලොකුම නෑම වෙනවා.

වැඩේ ලෙසටම පත්තු වුනොත් , මම මේ ශත වර්ෂයේ ආතල්ම, පට්ටතම වංචාව කලාට අමතරව, මුලු අවුරුද්දම, සමහරවිට ආයෙ කවදාවත්, ඉස්කෝලෙ නොගිහින් සිටීමේ චාන්ස් එකත් ලැබෙන්නෙ ඉඩ තියෙනවා.

මට මේ අදහස දුන්නෙ අපේ බල්ලා. මම ඉරිදා උදේට සූටියව ඔබීඩියන්ස් ක්ලාස් අරං ගියානේ. ඇත්තෙන්ම වැඩි කාලයක් නෑ, සති කීපයයි ගියේ. මූ ඉගෙනගත්තා ඉඳගන්න, දෙයක් ඉල්ලන්න, පෙරලෙන්න. ඊයෙ මූ ඉගෙන ගත්තා මැරිලා වගේ ඉන්න හැටි. ඉතින් මම කල්පනා කලා “යකෝ මගෙ බල්ලටත් පුලුවන් දේ ඇයි මට බැරි,” කියලා.

මට කරන්න තියෙන්නෙ හුස්ම නොගෙන ඇහි පිල්ලන් නොගහා නිදාගෙන ඉන්න එක විතරයි. ඒ කියන්නෙ මේ මේ ඇහි පිල්ලං නොගහම නෙවෙයි. කාටද එහෙම ඉන්න පුලුවං? ඇහි පිල්ලං ගහනවා කවුරුත් නොබලන වෙලාවට. අනික, හුස්ම නොගෙනම නෙවෙයි – ඒක මොන මෝඩ කමක්ද? මම කියන්නෙ, වරින් වර, යන්තම් නොමැරී ඉන්න හැකි පමනින්, පොඩී හුස්මවල් අරගෙන.

මට පොඩි බයකට තියෙන්නෙ, මම මේ වගෙ තක්කඩි වැඩ කොච්චර හොඳට කරනවද කිව්වොත්, මමම ‍රැවටෙන්න පුලුවන් මම මැරිලයි කියලා. එහෙම වුනොත් නම් මළා හා සමානයි! මැරෙනවා කියන එකේ කිසි ගතියක් ඇතියි කියලා මම හිතන්නෙ නෑ, ඉස්කෝලෙ නොගිහින් ඉන්න හැකි වීම ඇරෙන්න.

ඔන්න අම්ම එනවා කාමරේට කඩාගෙන බිඳගෙන.

“මොනවා? ඔයා තවම ඇඳේද? හා, හා, නැගිටින්න, නැගිටින්න.
පරක්කු වෙයි දැන් ඉස්කෝලේ යන්න.”

මට ඇහෙනවා අම්මා ජනෙල් තිර අරින සට සට හඬ.

එකවරම කාමරයට වැටෙන එලියට ඇස් රිදෙනවා. නමුත් මට වෙලාවට මතක් වෙනවා ඇස් පිල්ලං නොගහා ඉන්න ඕනෙ බව.

දැන් කොයි මොහොතෙ හරි අම්මා මාව දැකලා විලාප තියන්න ගනීවි. ඔන්න දැන් මා ගාව හිටගන්නවා.

“හ්ම්හ්, මේ කාමරේ ගඳ! කවද්ද ළමයො මේක අන්තිම වතාවට පොඩ්ඩක් අස් කරලා පිරිසිදු කලේ? මේක ඌරු කො‍ටුවක් වගේනෙ. කිලු‍ටු මේස්, අන්ඩවෙයා හැම තැනම. ඇයි අර අක්කා වගෙ කිලු‍ටු ඇඳුම් ලොන්ඩ්‍රි බාස්කට් එකට දාන්න බැරි ඔයාට?”

“හ්ම් ඒකෙන් කමක් නෑ. විනාඩි දහයෙන් නැගිටලා, ෂවර් එකක් දාලා, ඇඳගෙන එලියට බැස්සෙ නැතිනම්, බස් එක මිස් වෙනවා . මම නං කාරෙකෙන් ගිහින් දාන්නෙ නෑ ඕං.”

අම්මා යනවා කාමරෙන් එලියට.

මම සීලිම දිහා බලාගෙන කල්පනා කරනවා. ඇත්ත මලකඳක් කරන්නෙත් ඒකනේ. නැතුව එක පාරටම, “කරුණාකරලා, මට ඉන්න දෙනවද මගේ පාඩුවේ? මම අද ඉස්කෝලෙ යන්නේ නෑ, මොකද මම මැරිලා නිසා. මට මගේ පාඩුවේ සමාදානයේ කුණුවෙලායන්න දෙනවද?” වගේ දෙයක් කියන්න පුලුවනෑ එක පාරටම? හැබැයි මැරිලා නිසා කියන්න බැරුවා මිසක් නැතිනම් පට්ට වාක්‍යය ඒක! ලොවෙත් නෑ! ඉතින් මම සීලිම දිහා බලාගෙන උඩුබැලි අතට බෑවිලා ඉන්නවා.

එක පාරටම මේං තාත්තා ඇඳ ගාවා හිටගෙන ඉන්නවා.

“ඇන්ඩි.”

මම උත්තර දෙන්නේ නෑ.

“මොකද දැන් මේ වෙලා තියෙන්නෙ?” තාත්තා අහන්නේ තරමක් ගොරෝසු හඬකින්.

මම හුස්ම අල්ලගෙන ඉන්නවා, අතපය දරදඬු කරගෙන. තාත්තා නැවිලා, උරහිසෙන් අල්ලලා මාව හොලවනවා.

“ඇන්ඩි,” තාත්තා කියනවා. “මම මේ හොඳින් කියන්නේ. මේකත් ඔය වෙනද කරනවා වගේ ප්‍රෝඩාවක්නම්, දැන් ඔන්න සීමාව පන්නගෙන එන්නේ. තේරුණාද? දැන් ඔය හොඳටෝම ඇති!”

තාත්තා මාව හොලවද්දි, මම තවත් දරදඬු වෙලා ඉන්නවා. ටිකකින් එයා හෙලවිල්ල නවත්තලා, මගේ මැණික් ක‍ටුව එයාගේ මාපට ඇඟිල්ලටයි, දබ‍රැඟිල්ලයි හිර කරගෙන මගේ නාඩි බලනවා.

ෂික්! ඔන්න මට වංචා කරන්න බැරි එකම තැන. කොයිකටත් කියලා මම හිතින් හදවතේ වේගය පාලනය කරන්න උත්සාහ කරනවා.
මම කොහේදි හරි කියවලා තියෙනවා, කොහේ හරි ඉන්න, චිත්ත බලයෙන් නාඩි පාලනය කරන්න පුලුවන් මිනිස්සු වගයක් ගැන. මමත් කරන්න හදන්නේ ඒ වගේ දෙයක්.

මම හිතනවා මගේ හදවත

ගලක් වගේ නිශ්චල බව…

රතු ගලක් වගේ නිශ්චල බව…

හිරිවැ‍ටුණු, රතු ගලක් වගේ නිශ්චල බව…

මිදී, හිරිවැ‍ටුණු, රතු ගලක් වගේ, ගැඹුරු…ගැඹුරු…ගැඹුරු නින්දක බව.

කල්පාන්තරේකට පස්සෙ තාත්තා මගේ මැණික් ක‍ටුව අතෑරලා, අත ආපහු ඇඳ උඩින් තියන්නේ හෙමීහිට. ඉන් පස්සෙ එයා හරිම මෘදු හඬකින් මෙහෙම කියනවා.

“ඇන්ඩි, දැන් හොඳට අහගන්න මම කියන දේ, ඔයාගේ ඇඟ සීතල වෙලා. ඔයා හුස්ම ගන්නෙත් නෑ. සීලිම දිහා බලාගෙන ඔහේ ඉන්නවා. මට ඔයගේ නාඩි අහු වෙන්නෙත් නෑ. ඔයා මැරිලා වගේ තමයි පේන්නේ. නමුත් ඔයා මෙතුවක් කාලෙකට කරලා තියෙනෙ තක්කඩි, මගෝඩි වැඩ ගැන කල්පනා කරන කොට මට නිකමට හිතෙනවා මේකත් තවත් අර ජාතියෙම නසරානි වැඩක්ද කියලාත්. ඔයා මේ කරන්නේ ඒ වගේ මෝඩ විහිලුවක්නම්, මම තුනට ගනින්නයි යන්නෙ, ඔයාට ඇ‍ඳෙන් නැගිටලා එන්න.”

“එහෙම වුනොත්, මම මෙහෙම දෙයක් සිද්ධ වුන බව අමතක කරලා දාන්න ලෑස්තියි. ආයේ අපි දෙන්න ඒ ගැන වචනයක් වත් කතා කරන්න ඕනෙත් නෑ කවදාවත්.”

“හැබැයි වැරදිලාවත්, ඔයා ඇ‍ඳෙන් නැගිටින්නේ නැතුව හිටියේ ඇත්තටම මැරිලා නෙවෙයි කියලා මට දැනගන්න ලැබුනොත් නම් පු‍තෝ, ඔන්න එතකොට ඔයාට හිතෙයි මැරුණා නම් හොඳයි කියලා. මම කියන දේ පැහැදිළියි නේද?”

හියැක් හික් හූ! තාත්තා මේ මාව අන්දන්න හදන්නේ, මම ඔව් ඔව් කියලා ඔලුව හොල්ලයිද බලන්න. එව්වා හඳේ! තාත්තා කොහෙද මාව තම්බන්නේ?

තාත්තා ගනින්න පටන් ගන්නවා.

“එකායි…”

මට ෂුවර් නැත්තේ දැන් මම ඇත්තම කිව්වොත් වැඩේ ඇත්තටම ෂේප් කරගන්න පුලුවන් වෙයිද කියලයි. තාත්තා කතා කලේ නම් අන්තිම සිරා විදියට වුනාට, මාව සුමානෙකට ග්‍රවුන්ඩ් කරයිද කවුද දන්නේ? අනික…ඉස්කෝලෙ යන්න නම් වෙනවාමයි.

“දෙකායි…”

මට මොනවද නැති වෙන්න තියෙන්නේ? අනික මම දැන් ගිහින් තියෙන දුර වැඩියි පස්ස ගහන්න.

“තුනායි!”

මම නිසොල්මනේ ඉන්නවා.

තාත්තා අම්මට කාමරේට කතා කරනවා.

“ඇයි, මොකුත් ප්‍රශ්ණයක්ද?” අම්මා අහනවා.

“මම මේක ඔයාට කියන්නේ කොහොමද කියලා මේ කල්පනා කලේ. නමුත් නොකියා බෑ. අන්තිම අසුබ ආරංචියක් තියෙනවා කියන්න.” තාත්තා සුසුමක් හෙලනවා. “මම දන්නේ නෑ මේක කොහොමද සිද්ද වුනේ, මොකද හේතුව, කිසි දෙයක්. නමුත් මම හිතන්නේ අපේ ඇන්ඩි ජීවතුන් අතර නෑ තව දුරටත්… ඒ කියන්නේ එයා… මැරිලා.”

“අනේ!!!” අම්මට කෑ ගැස්සෙනවා. “අයියෝ!!!” එයා විලාප තියනවා.

මට ඇස් කොණට පේනවා, තාත්තා අම්ම වටේට අත් යවලා එයාව වත්තම් කර ගන්නවා. ඒ දෙන්නා අහක බලපු මේ වෙලාවේ මම ගැඹුරු හුස්ම කීපයක්ම ගන්නවා.

“අනේ එයා කාටවත් වැ‍රැද්දක් කරපු කෙනෙක් නෙවෙයි,” අම්මා අඬා වැටෙනවා. “කොච්චර ගුණ යහපත් දරුවෙක්ද! එයාගේ අඩු පාඩු තිබුණා තමයි. අනේ ඒ වුනාට එයා හිතලා මතලා කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. එයා ඒවා නරක අදහසින් කරපුවා නෙවෙයි!”

“නෑ,” තාත්තා කියනවා. “මමත් හිතන්නේ නෑ එයා නරක අදහසින් දේවල් කලා කියලා. හැබැයි එයා දැනගෙන හිටියේ නැත්තේ සීමාව තමයි. අන්න එතනයි වැ‍රැද්ද.”

මම හිතුවට වඩා හොඳට තාත්තා මේක හැන්ඩ්ල් කරනවානේ. තාත්තා කොහොමත් නිකරුනේ කලබල වෙලා උඩ පනින්නේ නෑ තමයි. නමුත් මම හිතුවේ එයා මීට වඩා තව පොඩ්ඩක් අප්සෙට් වෙයි කියලා. අනේ මම එයාගේ පුතානේ අප්පා!

“ආ, හරි, හරි,” තාත්තා කියනවා. “දැන් මෙතනට වෙලා උඩ බලා ඉඳලා හරියන්නේ නෑ. දැන් කරන්න වැඩ ගොඩක් තියෙනවා.”

“අනේ , ඒ වුනාට ඔයා දැන් වැඩට යන්න නෙවෙයිනේ හදන්නේ?”

“ම්ම්ම්, වැඩට ගියානම් හොඳයි තමා,” තාත්තා කියනවා. “නමුත් කවුරුහරි වල කපන්නත් එපායැ.”

“මොන වලද?”

“අපිට එයාගේ මිනිය මෙහෙම ගේ ඇතුලේ තියාගෙන ඉන්න බෑනේ. මේක වලලන්න වෙනවා.”

“ඒකත් ඇත්ත තමයි,” අම්මා කියනවා. “දැන් කොහෙද වල හාරන්නේ?”

තාත්තා අම්මට එයාගේ ලේන්සුව දෙනවා කඳුළු පිහදාගන්න.

“මම හිතුවේ අර ලෙමන් ගහ යට හොඳයි කියලා. අනික ඒක ලෙමන් පළදාවටත් හොඳයි.”

“ඔව්, “ අම්මා කියනවා. “ලෙමන් ගහටත් පෝර මදිව කේඬෑරි වෙලා තියෙන්නේ.”

“මම ගිහින් ෂවල් එකත් හොයාගෙන වල හාරන්න පටන් ගන්නම්. දවල් කෑමට කලින් ඇන්ඩිව වලදාගන්න බැලුවොත් හොඳයි, මේ… මේ… ගඳ ගහන්න පටන් ගන්න කලින්.”

BandAidහා, එහෙනම්.” අම්මා කඳුළු පිහදාමින් කියනවා. “ඔයා වල කපන අතරේ, මම කේතලේ ලිපේ තියන්නම්. අපි දෙන්නටම හොඳ කහට සැරට තේ එකක් බිව්වානම් හොඳයි නේද?”

මට අදහාගන්න බෑ මේ වෙන දේවල්. අම්මගෙයි තාත්තගෙයි මොලේ කචල් වෙලාද? යකෝ, මේ මාව මේ ගේ පිටිපස්සෙ නිකම්ම වලලලා දාන්න හදන්නේ? ඇයි හත්තිලව්වේ මේ රටේ මේවට නීතියක් කියලා මොකුත් නැද්ද? යකෝ මාර කෙලියක්නේ මේක!!!

මීලඟ කොටසින්…

තාත්තා ඇන්ඩිව ඇත්තටම වල දායිද?

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking කෙටිකතා එකතුවේ Playing Dead කෙටි කතාවේ සිංහල අනුවාදයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

මගේ ඩෙනිම, මට හිතෙන හැටි සහ HeyDude  කියවන රසික ඔබටත්, සයුරෙන් එතෙර සේවය කරන, වෙසෙන අප වැනිම මවුබිමේ අලුත් අවුරුදු අසිරිය අහිමි  ඔබටත්, සයුරෙන් එතෙර ජීවත් වන ඔබ සැමටත්, සකල ලංකාවාසී ඔබ සැමටත් ශුභ අලුත් අවුරුද්දකට ආසිරි, ඩූඩ්ගෙන්.

 

ටැග:

123. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!

123. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!

ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම, හැම එකාම අහන දේ තමයි, “ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?” කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් තියෙනවායැ? එදා අටමත් මාව දැක්ක ගමන් කිව්වේ, “අනේ අයියේ, මම හිතා හිටියේ උඹ හෙන උස මහත, හයේ හතරේ පොරක් කියලා.”

දැන් උඹලටත් සැකයක් තියෙනවා නම් මෙන්න මේ පින්තූර දෙක තුන ඇස් දෙකෙන්ම දැකලා උඹලම තීරණය කරපල්ලා.

DSC03336

අපි 2008දි ඔන්න යනවා රෝඩ් ට්‍රිප් එකක්, අනුරාධපුර පාරේ. මග හිතට අල්ලන දෙයක් තිබ්බොත් ඉතින් නතර වෙලා බලනවනේ. එක තැනක තිබ්බ මෙන්න මේ ගල වැටෙන්නෙ යනවා. මම ටක් ගාල පැනලා යන්තම් උස්සලා හරිගස්සලා තිබ්බා. අපරාදෙ තව පොඩ්ඩෙන්.

DSC03337

මේ ඒ සිද්ධිය බලාගෙන හිටි නරඹන්නො තුන් දෙනෙක්. පේනවා නේද? විමතිය, ආඩම්බර කම සතුට ඔක්කොම තියෙන හැටි ඒ මූණු වල?

DSC03338

ඔය අපේ බ්ලොගර් කෙනෙකුත් (අහන්ඩෙපා කවුද කියලා, කියන්නේ නෑ. හරි නෑනෙ) එක පාරක් දොස්තර ගාවට ගිහින්, කියලා මෙන්න මෙහෙම.

“ඩොක්ටර්, මම නැවිලා, අත් දෙකේ ඇඟිලි, කකුලේ මාපට ඇඟිලි ගාවා ඉඳලා උඩහට අත ගාගෙන ඉණ ගාවට එනකොට, මේ තුණටිය රිදෙනවනෙ.”

“ඉතින් මිස්ටර් ලියන්නා, ඇයි ඉතින් ඒ වගේ අමාරු එක්සසයිස් කරන්නේ? තමන්ට ගැලපෙන ලේසි එකක් කරන්නකො,” දොස්තර කිව්වලු.

“මගුලක් කතාකරනවා. නැතුව කොහොමද ඩොක්ටර් මම කලිසම අඳින්නේ?”

හරි ඉතින් කවුද බ්ලොගර් කියලා වැඩක්නෑ. කතාව රස විඳපල්ලකෝ. උඹලටත් කාගේ හරි ඕපයක්මයි ඕනෙ!

උඹලා අහලා නැද්ද අර ධනචින්තනගේ කතාව? මේක හැබැයි මේ ලංකාවෙවත්, මේ ලෝකෙවත් වෙච්ච එකක් නෙවෙයි. ලොවෙත් නෑ කියන්නේ ඒකයි! මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්. පොරම තමන්ගේ නම වෙනස් කරගෙනත් තියෙන්නෙත් ඔය ධනාත්මක චින්තනය ගැන තදින් විස්වාස කරපු හන්දලුනෙ.

ඔන්න ධනාට හැත්තෑ පහකුත් වුනාම, පොර පටන් ගත්තලු දවසකට කිලෝමීටර් පහක් ඇවිදින්න. වැඩේ කොච්චර කැපවීමෙන් උනන්දුවෙන් කලාද කිව්වොත්, වැඩි කාලයක් යන්න කලින් පොරට ආවලු අවුරුදු පනහක බුවෙක්ගෙ පෙනුම. දවසක් ධනාගෙ යාලුවෙක් ධනාව සුපර් මාකට් එකේදි දැකලා කියනවලු,

“යකෝ මේ ධනානේ! මට උඹව අඳුනාගන්නත් බැරි වුනානේ මචං. පට්ටයිනෙ බං උඹ!”

පොරට මේක කොච්චර හිතට වැදුනද කිව්වොත්, පොර ජිම් එකකට බැඳිලා, අර කිලෝමීටර් පහ ඇවිදිනවට අමතරව, සතියට දවස් හතරක් වර්ක් අවුට් කරන්න ගත්තලු, ජිම් එකේ. වැඩි දවසක් ගියේ නෑලු , පොරට ආවලු අවුරුදු හතලිහක පෙනුම. දවසක් ධනාගෙ පරණ කැච් එකක් ධනාව දැකලා කියනවලු,

“ධනා, මට ඔයාව අඳුනාගන්න බැරු වුනානේ. ඔයා මාරයිනේ අනේ!”

මේකෙන් තව දුරටත් ෆෝර්ම් වෙච්ච ධනා එයරොබික්ස් ක්ලබ් එකකට ජොයින් වුනාලු, එයරොබික්ස් කරන්න. දැන් පොර දිනපතා කිලෝමීටර් පහක් ඇවිදිනවා, සතියට දවස් හතරක් ජිම් එකේ වර්ක් අවුට් කරනවා, සතියට දවස් තුනක් ක්ලබ් එකේ එයරොබික්ස් කරනවා.

මාස හය යනකොට පොරට තියෙන්නේ අවුරුදු තිහක පෙනුමලු. ඒ මදිවට ධනාට අවුරුදු විසි එකක කෙල්ලෙකුත් සෙට් වුනාලු එයරොබික්ස් ක්ලාස් එකෙන්. පොර අහලා බඳින්න කැමතිද කියලා, කෙල්ලත් හා කියලා.

ඔන්න බැඳලා හනිමූනුත් ගිහින් නුවර එලියේ හෝටලේකට. ” අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස. ඉන්න ඩාලිං මම ෂැම්පේන් බෝතලයක් ගේන්නම්,” කියලා පොර යන්න හදලා.

මනමාලි කිව්වලු, “ඇයි අනේ රූම් සර්විස් එක තියෙන්නෙ,” කියලා.

“නෑ ඩාලිං. මේවයේ තියෙන්නෙ කවලං බඩු. මම අර ටවුන් එකේ තියෙන කාගිල්ස් එකට දුවලා ඔරිජිනල්ම බඩුවක් ගේන්නම්.” කියලා, පොර අර තට්‍ටු හතම එලවේටර් එකේ යන්නෙත් නැතුව පඩි පෙල දිගේ දුවලා පාරට දාපු හැටියෙම, ඇමති ආරක්ෂක වාහනයක් මේකාව යට කරන් ගිහින්.

පොර කෙලින්ම දිවිය ලෝකෙ. පොර දෙවියන්වහන්සේට කිට්‍ටු කරලා ඇහුවලු. “ඇයි දෙවියනේ මෙහෙම කලේ? ඇයි මාව මේ අදම ගෙන්න ගත්තේ? අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස වෙන්න තිබුනකොට! ඇයි ඔබ වහන්සේ මෙහෙම දෙයක් කලේ?

දෙවියන්වහන්සේ ධනා දිහා හොඳට බැලලා කියනවලු,

“ධනා!! මේ ධනාද? මට අඳුනාගන්න බැරි වුනානේ. නියමයිනේ!”

මේක මේ ලංකාවෙවත් මේ ලෝකෙ ලෝකෙ වත් වෙච්ච එකක් නෙවෙයි. මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්!

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 
 

ටැග: , ,

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ජීවී විශේෂයක්. මේ පන්තිවල උගන්නන්නෙ ආගම, මව් භාෂාව , ඉංග්‍රීසි, විත්‍ර සහ ගණිතය විතරයි. උදේ ඉඳලා පීරියඩ් හතරයි වැඩ. ඉන්ටවල් එකට ගෙදර ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ. ලිමිටඩ් කරිකියුලම් කියන ඒකට යන, ගිය ආත්මේ ගෙවාගන්න බැරි පාප කර්ම කරලා තියෙන අවාසනාවන්ත ගුරුවරු කවුරුත් ඒකට කියන්න අපාය තමයි. අපායට යන්න කලින් මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත් කියවලා මූඩ් එක හදාගෙන ගියේ.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අර යාඥාවක් එහෙම කරලානේ ඔය පන්තියට යන්නේ. මේකට ඇතුල් වෙන්නෙත් ඔය සාමාන්‍ය පන්තියකට ඇතුල් වෙන විදියට නෙවෙයි මම නම්. දොර ලඟට ගිහින් ඉස්සෙල්ලම දොරබෝලෙ කරකවලා බලනවා. ලොක් කරලා නම් එහෙමම ඉන්නවා කවුරුහරි ලොක් එක අරිනකල්. නැති නම් බෝලෙ කරකවලා, අඟලක් දොර අතින් තල්ලු කරලා අත ගන්නවා. ඒ එක්කම අඩියක් පස්සට අරගෙන, සපත්තුවේ ටෝ එකෙන් දොර තල්ලු කරලා තව අඩියක් පස්සට අරන්, බලා ඉන්නවා දොර මුල්ලක් ඉතිරි නොවී දොර සම්පූර්ණයෙන් බිත්තියට ගිහින් හේත්තු වෙනකල්. මේ ඔක්කොම කරන්නෙ දොර බූබිට්‍රැප් කරලා තියෙන්න පුලුවන් නිසා. ඊට පස්සෙ උඩ සහ වම හොඳට බලලා සැක හැරගෙන තමයි පන්තියට ඇතුල් වෙන්නෙ.

ඉතින් වෙනද වගේම මම හිල් කලේට වතුර අදිමින් විනාඩි විස්සකට වඩා වැය කලා. මතක තියාගනිල්ලා. මේ පන්තියෙ විනාඩියකට තප්පර හයසීයක් තියෙනවා. වෙන පන්තිවලට ගුරුවරු ගියාම ළමයි නිතර ඔරලෝසුව දිහා බලනවා ඒක නැවතිලාද කියලා දැනගන්න. අපායට ගියාම, නිතර ඔරලෝසුව දිහා බලන්නෙ ගුරුවරු, ඒක නැවතිලාද කියලා දැනගන්න.

මාත් ගිහින් තනියෙම පාඩමක් කරනවා. මම හිතන්නෙ මේ අපාය කියන පන්තිවල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි, කොයි ගුරුවරයා ගියත්, හොඳ හෝ නරක.

ගුරුවරයට කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්. තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා. නැගීගෙන එන, පහළ අපායේ පන්තියෙන් එලියට දාලා ඉන්නවුන් මේ පන්තියෙ උන්ට, ජනේලෙන් කෑ ගහනවා. මේ පන්තියෙ උන් පැනලා ජනේලෙන් අත දාලා අරුන්ගෙන් එකෙක්ව අල්ලාගෙන ජනේලෙන් ඇතුලට අදින්න හදනවා, කෙල්ලො, කොල්ලන්ව වට කරගෙන අතේ පච්ච කොටවා ගන්නවා. තව එකෙක් චිත්‍ර අඳිනවා. තව එකෙක් ඔහේ බලාගෙන ඉන්නවා. එකෙක් පාර පැත්තෙ ජනේලෙ ගාවට දුවලා පාරෙ යන ගෑණියෙක්ගෙ පස්ස වැනෙන හැටි දැකලා කෑගහලා, අනිත් උන්ටත් කියනවා. කට්ටියම ජනේලෙ ගාවා. ගුරුවරයා එතනට ගිහින් අරුන්ට කෑගහනවා, ‘ගිහිල්ල ඉඳගනිල්ලා’ කියලා. අරුන් ගුරුවරයට අර ‘පස්ස’ පෙන්නලා කියනවා, ‘පට්ට කෑල්ලක් යනවා සර්, අර බලන්ඩකො, මට ම්ම්ම්ම් හිතෙනවා…’, කියලා. ගුරුවරයා ආයෙම බලනවා ඔරලෝසුව නැවතිලාද කියලා.

ඔන්න ඔයාකාරයි.

දැන් ඔන්න නිතරම සින්දු කියන බෙර ගහන එකෙක් ටොයිලට් එකට ගියා. ටිකකින්, පන්තියෙ අද ඇවිල්ලා ඉන්න උන්ගෙන් ජරාම එකා වගේම, පන්තියෙ ජරාම උන්ගෙන් එකෙකු වන සිරිමත් මගේ සකි, යහපත් ළමයෙකි තව එකෙකුත් එක්ක ජනේලෙ ගාවට දුවනවා. මේ හදලා මාස දෙකක්වත් නැති අලුත්ම බිල්ඩිමේ පන්ති කාමරයේ එක පැත්තක එලියට ඇරෙන ඇලුමිනියම් ජනේලත්, කොරිඩෝව පැත්තට පීල්ල දිගේ ලිස්සන ඇලුමිනියම් ජනේලත් දාලායි, හදලා තියෙන්නෙ.

ජනේලෙ ගාවට ගිය මේ දෙන්නා, මුලින්ම මොකක් හරි වාදයක් ගියා මව් භාෂාවෙන්. ඊට ටිකකට පස්සෙ පස්සෙ දෙන්නම ජනේලෙ වීදුරු දෙකකට අත් තියලා තල්ලු කරනවා මම බලාගෙන. ‘මේ ඕක නවත්තනවා!’ කියලා කෑ ගහල කට ගන්න හම්බවුනේ නෑ, වීදුරු ජනෙල් පියන් දෙක දඩාස් ගාලා පීල්ලෙන් පැනලා කොරිඩෝව පැත්තට පෙරලුනා. මුන් දෙන්න දඩිබිඩි ගාලා ජනෙල් පියන් දෙක යන්තම් අල්ලා ගත්තා. දැන් දෙන්න එක්ක මේක ආපහු දාන්න හදනවා, හරියන්නෙ නෑ. මොකද ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි , පියන දෙන්නෙක්වත් දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව.

IMG_20130404_093814

දැන් දෙන්නගෙම මූණු අර ගලේ පහරපු බළල්ලු වගේ. අතෑරලා දුවන්නත් බෑ, ජනේලෙ පෙරලෙනවා, අල්ලගෙන ඉන්නත් බෑ මාට්‍ටු වෙනවා. අපරාදෙ කියන්න බෑ වෙන එකෙක්වත් මුන්ට උදව්වක් කරන්න ආවේ නෑ. ‘හක හක’ ගගා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. මම කෙලින්ම පන්තිය දාලා ගියා සුපවයිසර්ට කියන්න. සුපර්වයිසර්ට කලින් මෙන්න ප්‍රින්සිපල් එනවා කොරිඩෝව දිගේ. මම ප්‍රින්සිපල්ව දැනුවත් කරලා ආවා.

මෙහෙම නීතියක් තියෙනවා. දැන් කවුරුහරි ඩෙස්ක් එකක් පොඩි කලොත්, කුණුහරපයක් ලිව්වොත්, අතේ පච්චයක් කොටා ගත්තොත්, පරිපාලනය ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු ගුරුවරයාටයි. වැ‍රැද්ද කරපු එකාට දඬුවම් දෙන එකට වඩා ප්‍රමුඛතවයක් දෙන්නෙ ගුරුවරයට ලෙඩේ අදින්නයි. ඒක නිසා මට අනිවාරයයෙන්ම ඒක කරන්න වෙනවා.

ප්‍රින්සිපල් එනකොටත්, පොරවල් ජනෙල් වල එල්ලිලා අල්ලගෙන ඉන්නවා. පන්තිය ඇතුලේ උන් මහා හයියෙන් හිනාවෙනවා. මටත් හිත ඇතුලෙන් මැරෙන්ඩ හිනා වුනත්, මමත් සීරියස් මූණක් හදාගෙන ඉන්නවා.

ප්‍රින්සිපල්ට මුන් දෙන්නත් එක්ක මල පැනලා මදිවට, පන්තියෙ ඉන්න උන් එකිනෙකාට ගහ ගහා, බිම පෙරලි පෙරලි, හිනාවෙන එකට කරන්න දෙයක් නෑ.

ටිකකින් ආවා අර ටොයිලට් ගිහින් හිටපු එකා. මූ ප්‍රින්සිපල් ලඟ නැවතිලා කටවල් ඇරලා ඇස් රවුම් කරලා බැලුවා සීන් එක. බලලා එතනම ඉඳන් ඇතුලෙ උන්ගෙන අහනවා මොකද යකෝ වුනේ කියලා. මුන් කියනවා විස්තරේ, අතිනුත් දාලා මහා හයියෙන්. ඒක අහපු බුවා, ප්‍රින්සිපල් ගාවම බිත්තියට මිට මොලවලා ගහ ගහ, උඩ පැන පැන, හිනාවෙනවා.

ප්‍රින්සිපල් කෙනෙකුටත් පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.

ටිකකින්, ප්‍රින්සිපල් කිව්වා ඔය ජනෙල් දෙක හෙමීහිට උස්සලා අහකට අරගෙන බිත්තියට හේත්තු කරන්නය කියලා, එකෙක් නම් එහෙම කලත්, අර සිරිමත් ඒක එහෙම්මම හිර කරලා, තර්ක කරනවා ප්‍රින්සිපල් එක්ක. ටිකකින් බුවාත් ජනෙල් පියන බිම තියලා ප්‍රින්සිපල් එක්ක එකට එක කියාගන්න පටන් ගන්න කොටම බෙල් එක ගැහුවා. ඔව්! සීමිත විෂයමාලා පන්තිවලට යන ගුරුවරු කවුරුත් අර ආසාවෙන් බලා ඉන්න සද්දෙ. මම මාකර් දෙකත් සාක්කුවේ දාගෙන එලියට එනකොට එක කොල්ලෙක් දුවගෙන ආවා මාත් එක්කම.

“සර් මාත් එනවා.”

“කොහෙද යන්නෙ?”

“මම යනවා ටොයිලට් එකට.”

“දැන් එක පාරක් ගියානේද?”

“දැන් යන්නෙ හොඳට හිනාවෙන්ඩ.”

“හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න.”

ඒක අහලා, ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.

Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers.

 

ටැග: , ,