RSS

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

06 Apr
122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ජීවී විශේෂයක්. මේ පන්තිවල උගන්නන්නෙ ආගම, මව් භාෂාව , ඉංග්‍රීසි, විත්‍ර සහ ගණිතය විතරයි. උදේ ඉඳලා පීරියඩ් හතරයි වැඩ. ඉන්ටවල් එකට ගෙදර ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ. ලිමිටඩ් කරිකියුලම් කියන ඒකට යන, ගිය ආත්මේ ගෙවාගන්න බැරි පාප කර්ම කරලා තියෙන අවාසනාවන්ත ගුරුවරු කවුරුත් ඒකට කියන්න අපාය තමයි. අපායට යන්න කලින් මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත් කියවලා මූඩ් එක හදාගෙන ගියේ.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අර යාඥාවක් එහෙම කරලානේ ඔය පන්තියට යන්නේ. මේකට ඇතුල් වෙන්නෙත් ඔය සාමාන්‍ය පන්තියකට ඇතුල් වෙන විදියට නෙවෙයි මම නම්. දොර ලඟට ගිහින් ඉස්සෙල්ලම දොරබෝලෙ කරකවලා බලනවා. ලොක් කරලා නම් එහෙමම ඉන්නවා කවුරුහරි ලොක් එක අරිනකල්. නැති නම් බෝලෙ කරකවලා, අඟලක් දොර අතින් තල්ලු කරලා අත ගන්නවා. ඒ එක්කම අඩියක් පස්සට අරගෙන, සපත්තුවේ ටෝ එකෙන් දොර තල්ලු කරලා තව අඩියක් පස්සට අරන්, බලා ඉන්නවා දොර මුල්ලක් ඉතිරි නොවී දොර සම්පූර්ණයෙන් බිත්තියට ගිහින් හේත්තු වෙනකල්. මේ ඔක්කොම කරන්නෙ දොර බූබිට්‍රැප් කරලා තියෙන්න පුලුවන් නිසා. ඊට පස්සෙ උඩ සහ වම හොඳට බලලා සැක හැරගෙන තමයි පන්තියට ඇතුල් වෙන්නෙ.

ඉතින් වෙනද වගේම මම හිල් කලේට වතුර අදිමින් විනාඩි විස්සකට වඩා වැය කලා. මතක තියාගනිල්ලා. මේ පන්තියෙ විනාඩියකට තප්පර හයසීයක් තියෙනවා. වෙන පන්තිවලට ගුරුවරු ගියාම ළමයි නිතර ඔරලෝසුව දිහා බලනවා ඒක නැවතිලාද කියලා දැනගන්න. අපායට ගියාම, නිතර ඔරලෝසුව දිහා බලන්නෙ ගුරුවරු, ඒක නැවතිලාද කියලා දැනගන්න.

මාත් ගිහින් තනියෙම පාඩමක් කරනවා. මම හිතන්නෙ මේ අපාය කියන පන්තිවල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි, කොයි ගුරුවරයා ගියත්, හොඳ හෝ නරක.

ගුරුවරයට කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්. තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා. නැගීගෙන එන, පහළ අපායේ පන්තියෙන් එලියට දාලා ඉන්නවුන් මේ පන්තියෙ උන්ට, ජනේලෙන් කෑ ගහනවා. මේ පන්තියෙ උන් පැනලා ජනේලෙන් අත දාලා අරුන්ගෙන් එකෙක්ව අල්ලාගෙන ජනේලෙන් ඇතුලට අදින්න හදනවා, කෙල්ලො, කොල්ලන්ව වට කරගෙන අතේ පච්ච කොටවා ගන්නවා. තව එකෙක් චිත්‍ර අඳිනවා. තව එකෙක් ඔහේ බලාගෙන ඉන්නවා. එකෙක් පාර පැත්තෙ ජනේලෙ ගාවට දුවලා පාරෙ යන ගෑණියෙක්ගෙ පස්ස වැනෙන හැටි දැකලා කෑගහලා, අනිත් උන්ටත් කියනවා. කට්ටියම ජනේලෙ ගාවා. ගුරුවරයා එතනට ගිහින් අරුන්ට කෑගහනවා, ‘ගිහිල්ල ඉඳගනිල්ලා’ කියලා. අරුන් ගුරුවරයට අර ‘පස්ස’ පෙන්නලා කියනවා, ‘පට්ට කෑල්ලක් යනවා සර්, අර බලන්ඩකො, මට ම්ම්ම්ම් හිතෙනවා…’, කියලා. ගුරුවරයා ආයෙම බලනවා ඔරලෝසුව නැවතිලාද කියලා.

ඔන්න ඔයාකාරයි.

දැන් ඔන්න නිතරම සින්දු කියන බෙර ගහන එකෙක් ටොයිලට් එකට ගියා. ටිකකින්, පන්තියෙ අද ඇවිල්ලා ඉන්න උන්ගෙන් ජරාම එකා වගේම, පන්තියෙ ජරාම උන්ගෙන් එකෙකු වන සිරිමත් මගේ සකි, යහපත් ළමයෙකි තව එකෙකුත් එක්ක ජනේලෙ ගාවට දුවනවා. මේ හදලා මාස දෙකක්වත් නැති අලුත්ම බිල්ඩිමේ පන්ති කාමරයේ එක පැත්තක එලියට ඇරෙන ඇලුමිනියම් ජනේලත්, කොරිඩෝව පැත්තට පීල්ල දිගේ ලිස්සන ඇලුමිනියම් ජනේලත් දාලායි, හදලා තියෙන්නෙ.

ජනේලෙ ගාවට ගිය මේ දෙන්නා, මුලින්ම මොකක් හරි වාදයක් ගියා මව් භාෂාවෙන්. ඊට ටිකකට පස්සෙ පස්සෙ දෙන්නම ජනේලෙ වීදුරු දෙකකට අත් තියලා තල්ලු කරනවා මම බලාගෙන. ‘මේ ඕක නවත්තනවා!’ කියලා කෑ ගහල කට ගන්න හම්බවුනේ නෑ, වීදුරු ජනෙල් පියන් දෙක දඩාස් ගාලා පීල්ලෙන් පැනලා කොරිඩෝව පැත්තට පෙරලුනා. මුන් දෙන්න දඩිබිඩි ගාලා ජනෙල් පියන් දෙක යන්තම් අල්ලා ගත්තා. දැන් දෙන්න එක්ක මේක ආපහු දාන්න හදනවා, හරියන්නෙ නෑ. මොකද ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි , පියන දෙන්නෙක්වත් දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව.

IMG_20130404_093814

දැන් දෙන්නගෙම මූණු අර ගලේ පහරපු බළල්ලු වගේ. අතෑරලා දුවන්නත් බෑ, ජනේලෙ පෙරලෙනවා, අල්ලගෙන ඉන්නත් බෑ මාට්‍ටු වෙනවා. අපරාදෙ කියන්න බෑ වෙන එකෙක්වත් මුන්ට උදව්වක් කරන්න ආවේ නෑ. ‘හක හක’ ගගා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. මම කෙලින්ම පන්තිය දාලා ගියා සුපවයිසර්ට කියන්න. සුපර්වයිසර්ට කලින් මෙන්න ප්‍රින්සිපල් එනවා කොරිඩෝව දිගේ. මම ප්‍රින්සිපල්ව දැනුවත් කරලා ආවා.

මෙහෙම නීතියක් තියෙනවා. දැන් කවුරුහරි ඩෙස්ක් එකක් පොඩි කලොත්, කුණුහරපයක් ලිව්වොත්, අතේ පච්චයක් කොටා ගත්තොත්, පරිපාලනය ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු ගුරුවරයාටයි. වැ‍රැද්ද කරපු එකාට දඬුවම් දෙන එකට වඩා ප්‍රමුඛතවයක් දෙන්නෙ ගුරුවරයට ලෙඩේ අදින්නයි. ඒක නිසා මට අනිවාරයයෙන්ම ඒක කරන්න වෙනවා.

ප්‍රින්සිපල් එනකොටත්, පොරවල් ජනෙල් වල එල්ලිලා අල්ලගෙන ඉන්නවා. පන්තිය ඇතුලේ උන් මහා හයියෙන් හිනාවෙනවා. මටත් හිත ඇතුලෙන් මැරෙන්ඩ හිනා වුනත්, මමත් සීරියස් මූණක් හදාගෙන ඉන්නවා.

ප්‍රින්සිපල්ට මුන් දෙන්නත් එක්ක මල පැනලා මදිවට, පන්තියෙ ඉන්න උන් එකිනෙකාට ගහ ගහා, බිම පෙරලි පෙරලි, හිනාවෙන එකට කරන්න දෙයක් නෑ.

ටිකකින් ආවා අර ටොයිලට් ගිහින් හිටපු එකා. මූ ප්‍රින්සිපල් ලඟ නැවතිලා කටවල් ඇරලා ඇස් රවුම් කරලා බැලුවා සීන් එක. බලලා එතනම ඉඳන් ඇතුලෙ උන්ගෙන අහනවා මොකද යකෝ වුනේ කියලා. මුන් කියනවා විස්තරේ, අතිනුත් දාලා මහා හයියෙන්. ඒක අහපු බුවා, ප්‍රින්සිපල් ගාවම බිත්තියට මිට මොලවලා ගහ ගහ, උඩ පැන පැන, හිනාවෙනවා.

ප්‍රින්සිපල් කෙනෙකුටත් පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.

ටිකකින්, ප්‍රින්සිපල් කිව්වා ඔය ජනෙල් දෙක හෙමීහිට උස්සලා අහකට අරගෙන බිත්තියට හේත්තු කරන්නය කියලා, එකෙක් නම් එහෙම කලත්, අර සිරිමත් ඒක එහෙම්මම හිර කරලා, තර්ක කරනවා ප්‍රින්සිපල් එක්ක. ටිකකින් බුවාත් ජනෙල් පියන බිම තියලා ප්‍රින්සිපල් එක්ක එකට එක කියාගන්න පටන් ගන්න කොටම බෙල් එක ගැහුවා. ඔව්! සීමිත විෂයමාලා පන්තිවලට යන ගුරුවරු කවුරුත් අර ආසාවෙන් බලා ඉන්න සද්දෙ. මම මාකර් දෙකත් සාක්කුවේ දාගෙන එලියට එනකොට එක කොල්ලෙක් දුවගෙන ආවා මාත් එක්කම.

“සර් මාත් එනවා.”

“කොහෙද යන්නෙ?”

“මම යනවා ටොයිලට් එකට.”

“දැන් එක පාරක් ගියානේද?”

“දැන් යන්නෙ හොඳට හිනාවෙන්ඩ.”

“හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න.”

ඒක අහලා, ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.

Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers.

 

ටැග: , ,

17 responses to “122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

  1. හරී

    අප්‍රේල් 6, 2013 at 4:28 ප.ව.

    හැක්.. හැක්.. බඩ පැලෙන්න හිනා..

    ඒත් ඒ අතරින් දුක හිතෙන්නෙ ඩූඩ් අයියාට විඳින්ඩ වෙලා තියෙන වද ගැන වගේම ඔහොම හැදෙන එවුන් අනාගතේ මොක්කු වෙයිද කියලා හිතලා..

    ඔය රටේ ළමයිට ඔච්චර බලයක් ඇවිත් ගුරුවරු බලු වෙලා තියෙන්නෙ ඕවා සල්ලි අරන් උගන්වන ඉස්කෝල නිසාද? නැතිනම් ඔය ළමයින්ගේ දෙමව්පියෝ සල්ලිකාරයෝ නිසාද? මෙහෙත් ඉඳලා හිටලා ළමයෙක් දෙන්නෙක් ඔය වගේ වැඩ කරාට ඒවා ඔයතරම් ගුරුවරයාව මරන්කන තරම් දුර යන්නෙ නෑනෙ..

     
    • henryblogwalker

      අප්‍රේල් 8, 2013 at 8:48 පෙ.ව.

      හරී. ඔක්කොටම ඉස්සෙල්ලා සමාවෙයං උත්තර දෙන්න ප්‍රමාද වුනාට. මේ දවස් වල පට්ට බිසි බං. උඹ බලපං මගේ ඩෙනිමෙත් කමෙන්ට් වලට මම දවසකට කීපයක් උත්තර ලියලා වැඩේ කල් දාන්න වෙනවා. ඇයි බං අනිත් දේවලුත් කරන්න එපායැ.

      නෑ බං මෙහෙ අධ්‍යාපනය නොමිලේ.
      නෑ හැමෝම සල්ලි කාරයෝ නෙවෙයි. ලංකාවෙ වගේ තමයි.

      අපිටා ඕක ඔච්චර දරුණුවට පේන්නෙ අපි ශ්‍රී ලාංකික දෘශ්ඨි කෝණයකින් බලන නිසා. ලෝකෙ හුඟක් තැන්වල ඔහොම තමයි. අනික හැමෝම ඔහොම නෑ, හැම පන්තියමත් ඔහොම නෑ.

       
  2. ක්සැන්ඩර්

    අප්‍රේල් 6, 2013 at 4:47 ප.ව.

    හිනාව කොහොම වෙතත් මටනම් තියෙන්නේ දුකක්. එකක් මෙහෙව් ළමයින්ව කවදා හදන්නද? දෙක මේක ලංකාවට වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

     
  3. අටම්පහුර

    අප්‍රේල් 6, 2013 at 10:18 ප.ව.

    අනේ අයියේ පාං කැල්ලක් හරි කාලා ඉන්ඩ මෙන්න මෙහේ වරෙන් බං, අපා දුකක් නේ උඹ විදින්නේ

     
    • henryblogwalker

      අප්‍රේල් 6, 2013 at 10:29 ප.ව.

      පාං දැන් මාර ගනං නේද බං, අටමා?😀

       
    • Kenji @ Japan

      අප්‍රේල් 7, 2013 at 2:23 ප.ව.

      අටම්,හෙන්රි ඔය කට්ට කාගෙන ඉන්නව ඇත්තෙ ගෙවිල්ල හොද ඇති.
      අනිත් එක දමල ගහල ඇවිල්ල මේකෙ ලියන්න ස්වභාවික සම්පත් නැතුව යයි කියල බයේ වෙන්න ඇති.

       
      • henryblogwalker

        අප්‍රේල් 8, 2013 at 8:52 පෙ.ව.

        ඒක හන්දනේ මම 2013 මොඩල් SUV එක්ක් එලවන්නේ නැතුව පරන වෑන් කට්ටක් එලවන්නෙ.😀

        ස්වභාවික සම්පත් එකතු කරගන්න, ඈ? හනේ හනේ කෙන්ජියෝ!😀

         
  4. Gold fish

    අප්‍රේල් 6, 2013 at 10:37 ප.ව.

    උන්ව හදන්නම බැරිද…

     
  5. kuwanna

    අප්‍රේල් 6, 2013 at 11:27 ප.ව.

    මන් කියෙව්ව කතාවක් මට මතක් වුනා. එක ගුරුවරයෙකුට ටියුශන් එකක් හම්බවෙනවා. දෙමව්පියො හරි පෝසත්. ලමයට වෙනම ටියුෂන්වලට කාමරයක්. ඕන වෙලාවක කන්න පලතුරු බන්දුනක්. වෙනම ෆ්‍රිජ් එකක්. හැම පහසුකමක්ම. ගුරුවරයාටත් ඒ ඕනම දෙයක් භුක්ති වින්දහැකි.

    නමුත් ලමය ඉගෙනගන්න ආස නැ.එයාට ඕනෙ කතන්දර අහන්න විතරයි.කතන්දරවලිනුත් අලි බබා සහ හොරු හතලිහට තමා ගොඩක් කැමති.ගුරුවරයට සිය සැරෙකට වැඩිය අරකතාව කියන්න සිද්ද වෙනවා. දෙන වැ‍ටුප හොඳ නිසා ඉවසගෙන හිටියත් කාලයක් යනකොට ‍රැකියාවෙ පීඩනය නිසා ඔහු නතර වෙන්නෙ ආතතිය හැදිලයි.
    දෙමව්පියො කවදාවත් ගුරුවරයා තමන්ගෙ ලමය ගැන කියන දේ පිලි ගන්නෙ නැ. ඔවුන් ගුරුවරයට දොස් පවරනවා හොඳට උගන්වන්නෙ නැ කියල.

    අපේ රටේ ගුරුවරුන්ගෙ ඩිග්නිටි එක ටිකක් හරි වැඩි කලේ මැඩම් චන්ද්‍රිකා බන්ඩාරනායක. එයාට මේ වෙලාවෙ මම ස්තූති කරනවා.

     
    • henryblogwalker

      අප්‍රේල් 8, 2013 at 8:56 පෙ.ව.

      මානසික ආත්තිය කියන එක ඕනෙම ‍රැකියාවක අඩු වැඩි වශයෙන් තියෙනවා. අනික තියෙන්නෙ ඕනෙ යම් කිසි ආත්තියක්. මේ රස්සාව ආතතිය වැඩිම එකක්, තැනේ සහ පුද්ගලයාගේ ගති ලක්ෂණ අනුව.

       
  6. hiruni

    අප්‍රේල් 7, 2013 at 2:31 ප.ව.

    අපෝ ඩුඩ්…..මම ඉන්න කාලෙටත් වඩා අන්තද මම දන්නෙ නෑ!

    කවදමහරි දවසක ඔය ලමයි ලොකු වෙලා එයාලට ලමයි ඉන්නකොට ඩුඩ්ලා විදපු දුක තේරෙයි…..

    අනේ මන්දා ඩුඩ්…ඉවසනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?

    ඩුඩ් පන්තියට ඇතුල් වෙන විදිහ මට ඇක්ශන් මුවි එකක් වගේ මැවුනේ…හිකිස් 😀😀😀

     
    • henryblogwalker

      අප්‍රේල් 8, 2013 at 8:58 පෙ.ව.

      ඔව් මේ limited curriculum කතාව පස්සෙ පටන් ගත්තේ මට මතක විදියට.

      ඉවසනවා ඇර විකල්ප නැති බව මම තේරුම් ගත්තේ මුලදිමයි.

       
  7. හරී

    අප්‍රේල් 7, 2013 at 11:09 ප.ව.

    මේ ඩූඩ් ගොයියා අපිට උත්තර දෙන්නෙ නෑ වගේ.. මම දන් කීපසැරයක්ම මේ පැත්තෙ ආවා..😐

     
    • henryblogwalker

      අප්‍රේල් 8, 2013 at 9:01 පෙ.ව.

      තරහ වෙන්න එපා බ. ඔන්න උත්තර ලිව්ව. සමාවෙයං බං රස්තියාදු කෙරෙව්වට.

      මේ උඹ බ්ලොගර් කෙනෙක් වෙච්ච එකේ මගේ ඩෙනිමට යන එක ලේසි නැද්ද? ෆෝම් පුරාන්න ඕනෙත් නෑනෙ.

       
  8. iamdeejay

    අප්‍රේල් 10, 2013 at 10:26 පෙ.ව.

    ඩුඩ්,

    මමත් මේ විදිහේ පන්ති සමග වැඩ කරලා මෙ හැසිරිම් ගැන හොද අවබෝධයක් හා අත්දැකිම් තියෙනවා අඩු වැඩි වශයෙන්. එකම දේ මම මාවත්, ඔවුන්වත් පාලනය කරගෙන ඒ ඒ වෙලාවට ගැලපෙනවා කියලා හිතෙන ක්‍රම භාවිතා කරලා කොහොම හරි ගුරු ගෝල ගැ‍ටුමක් ඇති නොවන ලෙස කටයුතු කරගෙන යැමක් තමයි අද වෙනකල් කරගෙන ආවේ. *-)

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: