RSS

124.මළා හා සමානයි. / Playing Dead.

12 Apr
124.මළා හා සමානයි. / Playing Dead.

වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා?

වෙන මොකුත් නෙවෙයි.

මම මැරිලා.

ම්ම්ම්ම්… ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.

මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන් හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ගන්නාගන්න, ඒක ඉතිහාසයේම කෙනෙක් දාපු ලොකුම පානිය වෙනව, කෙළපු ලොකුම බුල වෙනවා, අන්දපු ලොකුම ඇන්දිල්ල වෙනවා, නාගත්තු ලොකුම නෑම වෙනවා.

වැඩේ ලෙසටම පත්තු වුනොත් , මම මේ ශත වර්ෂයේ ආතල්ම, පට්ටතම වංචාව කලාට අමතරව, මුලු අවුරුද්දම, සමහරවිට ආයෙ කවදාවත්, ඉස්කෝලෙ නොගිහින් සිටීමේ චාන්ස් එකත් ලැබෙන්නෙ ඉඩ තියෙනවා.

මට මේ අදහස දුන්නෙ අපේ බල්ලා. මම ඉරිදා උදේට සූටියව ඔබීඩියන්ස් ක්ලාස් අරං ගියානේ. ඇත්තෙන්ම වැඩි කාලයක් නෑ, සති කීපයයි ගියේ. මූ ඉගෙනගත්තා ඉඳගන්න, දෙයක් ඉල්ලන්න, පෙරලෙන්න. ඊයෙ මූ ඉගෙන ගත්තා මැරිලා වගේ ඉන්න හැටි. ඉතින් මම කල්පනා කලා “යකෝ මගෙ බල්ලටත් පුලුවන් දේ ඇයි මට බැරි,” කියලා.

මට කරන්න තියෙන්නෙ හුස්ම නොගෙන ඇහි පිල්ලන් නොගහා නිදාගෙන ඉන්න එක විතරයි. ඒ කියන්නෙ මේ මේ ඇහි පිල්ලං නොගහම නෙවෙයි. කාටද එහෙම ඉන්න පුලුවං? ඇහි පිල්ලං ගහනවා කවුරුත් නොබලන වෙලාවට. අනික, හුස්ම නොගෙනම නෙවෙයි – ඒක මොන මෝඩ කමක්ද? මම කියන්නෙ, වරින් වර, යන්තම් නොමැරී ඉන්න හැකි පමනින්, පොඩී හුස්මවල් අරගෙන.

මට පොඩි බයකට තියෙන්නෙ, මම මේ වගෙ තක්කඩි වැඩ කොච්චර හොඳට කරනවද කිව්වොත්, මමම ‍රැවටෙන්න පුලුවන් මම මැරිලයි කියලා. එහෙම වුනොත් නම් මළා හා සමානයි! මැරෙනවා කියන එකේ කිසි ගතියක් ඇතියි කියලා මම හිතන්නෙ නෑ, ඉස්කෝලෙ නොගිහින් ඉන්න හැකි වීම ඇරෙන්න.

ඔන්න අම්ම එනවා කාමරේට කඩාගෙන බිඳගෙන.

“මොනවා? ඔයා තවම ඇඳේද? හා, හා, නැගිටින්න, නැගිටින්න.
පරක්කු වෙයි දැන් ඉස්කෝලේ යන්න.”

මට ඇහෙනවා අම්මා ජනෙල් තිර අරින සට සට හඬ.

එකවරම කාමරයට වැටෙන එලියට ඇස් රිදෙනවා. නමුත් මට වෙලාවට මතක් වෙනවා ඇස් පිල්ලං නොගහා ඉන්න ඕනෙ බව.

දැන් කොයි මොහොතෙ හරි අම්මා මාව දැකලා විලාප තියන්න ගනීවි. ඔන්න දැන් මා ගාව හිටගන්නවා.

“හ්ම්හ්, මේ කාමරේ ගඳ! කවද්ද ළමයො මේක අන්තිම වතාවට පොඩ්ඩක් අස් කරලා පිරිසිදු කලේ? මේක ඌරු කො‍ටුවක් වගේනෙ. කිලු‍ටු මේස්, අන්ඩවෙයා හැම තැනම. ඇයි අර අක්කා වගෙ කිලු‍ටු ඇඳුම් ලොන්ඩ්‍රි බාස්කට් එකට දාන්න බැරි ඔයාට?”

“හ්ම් ඒකෙන් කමක් නෑ. විනාඩි දහයෙන් නැගිටලා, ෂවර් එකක් දාලා, ඇඳගෙන එලියට බැස්සෙ නැතිනම්, බස් එක මිස් වෙනවා . මම නං කාරෙකෙන් ගිහින් දාන්නෙ නෑ ඕං.”

අම්මා යනවා කාමරෙන් එලියට.

මම සීලිම දිහා බලාගෙන කල්පනා කරනවා. ඇත්ත මලකඳක් කරන්නෙත් ඒකනේ. නැතුව එක පාරටම, “කරුණාකරලා, මට ඉන්න දෙනවද මගේ පාඩුවේ? මම අද ඉස්කෝලෙ යන්නේ නෑ, මොකද මම මැරිලා නිසා. මට මගේ පාඩුවේ සමාදානයේ කුණුවෙලායන්න දෙනවද?” වගේ දෙයක් කියන්න පුලුවනෑ එක පාරටම? හැබැයි මැරිලා නිසා කියන්න බැරුවා මිසක් නැතිනම් පට්ට වාක්‍යය ඒක! ලොවෙත් නෑ! ඉතින් මම සීලිම දිහා බලාගෙන උඩුබැලි අතට බෑවිලා ඉන්නවා.

එක පාරටම මේං තාත්තා ඇඳ ගාවා හිටගෙන ඉන්නවා.

“ඇන්ඩි.”

මම උත්තර දෙන්නේ නෑ.

“මොකද දැන් මේ වෙලා තියෙන්නෙ?” තාත්තා අහන්නේ තරමක් ගොරෝසු හඬකින්.

මම හුස්ම අල්ලගෙන ඉන්නවා, අතපය දරදඬු කරගෙන. තාත්තා නැවිලා, උරහිසෙන් අල්ලලා මාව හොලවනවා.

“ඇන්ඩි,” තාත්තා කියනවා. “මම මේ හොඳින් කියන්නේ. මේකත් ඔය වෙනද කරනවා වගේ ප්‍රෝඩාවක්නම්, දැන් ඔන්න සීමාව පන්නගෙන එන්නේ. තේරුණාද? දැන් ඔය හොඳටෝම ඇති!”

තාත්තා මාව හොලවද්දි, මම තවත් දරදඬු වෙලා ඉන්නවා. ටිකකින් එයා හෙලවිල්ල නවත්තලා, මගේ මැණික් ක‍ටුව එයාගේ මාපට ඇඟිල්ලටයි, දබ‍රැඟිල්ලයි හිර කරගෙන මගේ නාඩි බලනවා.

ෂික්! ඔන්න මට වංචා කරන්න බැරි එකම තැන. කොයිකටත් කියලා මම හිතින් හදවතේ වේගය පාලනය කරන්න උත්සාහ කරනවා.
මම කොහේදි හරි කියවලා තියෙනවා, කොහේ හරි ඉන්න, චිත්ත බලයෙන් නාඩි පාලනය කරන්න පුලුවන් මිනිස්සු වගයක් ගැන. මමත් කරන්න හදන්නේ ඒ වගේ දෙයක්.

මම හිතනවා මගේ හදවත

ගලක් වගේ නිශ්චල බව…

රතු ගලක් වගේ නිශ්චල බව…

හිරිවැ‍ටුණු, රතු ගලක් වගේ නිශ්චල බව…

මිදී, හිරිවැ‍ටුණු, රතු ගලක් වගේ, ගැඹුරු…ගැඹුරු…ගැඹුරු නින්දක බව.

කල්පාන්තරේකට පස්සෙ තාත්තා මගේ මැණික් ක‍ටුව අතෑරලා, අත ආපහු ඇඳ උඩින් තියන්නේ හෙමීහිට. ඉන් පස්සෙ එයා හරිම මෘදු හඬකින් මෙහෙම කියනවා.

“ඇන්ඩි, දැන් හොඳට අහගන්න මම කියන දේ, ඔයාගේ ඇඟ සීතල වෙලා. ඔයා හුස්ම ගන්නෙත් නෑ. සීලිම දිහා බලාගෙන ඔහේ ඉන්නවා. මට ඔයගේ නාඩි අහු වෙන්නෙත් නෑ. ඔයා මැරිලා වගේ තමයි පේන්නේ. නමුත් ඔයා මෙතුවක් කාලෙකට කරලා තියෙනෙ තක්කඩි, මගෝඩි වැඩ ගැන කල්පනා කරන කොට මට නිකමට හිතෙනවා මේකත් තවත් අර ජාතියෙම නසරානි වැඩක්ද කියලාත්. ඔයා මේ කරන්නේ ඒ වගේ මෝඩ විහිලුවක්නම්, මම තුනට ගනින්නයි යන්නෙ, ඔයාට ඇ‍ඳෙන් නැගිටලා එන්න.”

“එහෙම වුනොත්, මම මෙහෙම දෙයක් සිද්ධ වුන බව අමතක කරලා දාන්න ලෑස්තියි. ආයේ අපි දෙන්න ඒ ගැන වචනයක් වත් කතා කරන්න ඕනෙත් නෑ කවදාවත්.”

“හැබැයි වැරදිලාවත්, ඔයා ඇ‍ඳෙන් නැගිටින්නේ නැතුව හිටියේ ඇත්තටම මැරිලා නෙවෙයි කියලා මට දැනගන්න ලැබුනොත් නම් පු‍තෝ, ඔන්න එතකොට ඔයාට හිතෙයි මැරුණා නම් හොඳයි කියලා. මම කියන දේ පැහැදිළියි නේද?”

හියැක් හික් හූ! තාත්තා මේ මාව අන්දන්න හදන්නේ, මම ඔව් ඔව් කියලා ඔලුව හොල්ලයිද බලන්න. එව්වා හඳේ! තාත්තා කොහෙද මාව තම්බන්නේ?

තාත්තා ගනින්න පටන් ගන්නවා.

“එකායි…”

මට ෂුවර් නැත්තේ දැන් මම ඇත්තම කිව්වොත් වැඩේ ඇත්තටම ෂේප් කරගන්න පුලුවන් වෙයිද කියලයි. තාත්තා කතා කලේ නම් අන්තිම සිරා විදියට වුනාට, මාව සුමානෙකට ග්‍රවුන්ඩ් කරයිද කවුද දන්නේ? අනික…ඉස්කෝලෙ යන්න නම් වෙනවාමයි.

“දෙකායි…”

මට මොනවද නැති වෙන්න තියෙන්නේ? අනික මම දැන් ගිහින් තියෙන දුර වැඩියි පස්ස ගහන්න.

“තුනායි!”

මම නිසොල්මනේ ඉන්නවා.

තාත්තා අම්මට කාමරේට කතා කරනවා.

“ඇයි, මොකුත් ප්‍රශ්ණයක්ද?” අම්මා අහනවා.

“මම මේක ඔයාට කියන්නේ කොහොමද කියලා මේ කල්පනා කලේ. නමුත් නොකියා බෑ. අන්තිම අසුබ ආරංචියක් තියෙනවා කියන්න.” තාත්තා සුසුමක් හෙලනවා. “මම දන්නේ නෑ මේක කොහොමද සිද්ද වුනේ, මොකද හේතුව, කිසි දෙයක්. නමුත් මම හිතන්නේ අපේ ඇන්ඩි ජීවතුන් අතර නෑ තව දුරටත්… ඒ කියන්නේ එයා… මැරිලා.”

“අනේ!!!” අම්මට කෑ ගැස්සෙනවා. “අයියෝ!!!” එයා විලාප තියනවා.

මට ඇස් කොණට පේනවා, තාත්තා අම්ම වටේට අත් යවලා එයාව වත්තම් කර ගන්නවා. ඒ දෙන්නා අහක බලපු මේ වෙලාවේ මම ගැඹුරු හුස්ම කීපයක්ම ගන්නවා.

“අනේ එයා කාටවත් වැ‍රැද්දක් කරපු කෙනෙක් නෙවෙයි,” අම්මා අඬා වැටෙනවා. “කොච්චර ගුණ යහපත් දරුවෙක්ද! එයාගේ අඩු පාඩු තිබුණා තමයි. අනේ ඒ වුනාට එයා හිතලා මතලා කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. එයා ඒවා නරක අදහසින් කරපුවා නෙවෙයි!”

“නෑ,” තාත්තා කියනවා. “මමත් හිතන්නේ නෑ එයා නරක අදහසින් දේවල් කලා කියලා. හැබැයි එයා දැනගෙන හිටියේ නැත්තේ සීමාව තමයි. අන්න එතනයි වැ‍රැද්ද.”

මම හිතුවට වඩා හොඳට තාත්තා මේක හැන්ඩ්ල් කරනවානේ. තාත්තා කොහොමත් නිකරුනේ කලබල වෙලා උඩ පනින්නේ නෑ තමයි. නමුත් මම හිතුවේ එයා මීට වඩා තව පොඩ්ඩක් අප්සෙට් වෙයි කියලා. අනේ මම එයාගේ පුතානේ අප්පා!

“ආ, හරි, හරි,” තාත්තා කියනවා. “දැන් මෙතනට වෙලා උඩ බලා ඉඳලා හරියන්නේ නෑ. දැන් කරන්න වැඩ ගොඩක් තියෙනවා.”

“අනේ , ඒ වුනාට ඔයා දැන් වැඩට යන්න නෙවෙයිනේ හදන්නේ?”

“ම්ම්ම්, වැඩට ගියානම් හොඳයි තමා,” තාත්තා කියනවා. “නමුත් කවුරුහරි වල කපන්නත් එපායැ.”

“මොන වලද?”

“අපිට එයාගේ මිනිය මෙහෙම ගේ ඇතුලේ තියාගෙන ඉන්න බෑනේ. මේක වලලන්න වෙනවා.”

“ඒකත් ඇත්ත තමයි,” අම්මා කියනවා. “දැන් කොහෙද වල හාරන්නේ?”

තාත්තා අම්මට එයාගේ ලේන්සුව දෙනවා කඳුළු පිහදාගන්න.

“මම හිතුවේ අර ලෙමන් ගහ යට හොඳයි කියලා. අනික ඒක ලෙමන් පළදාවටත් හොඳයි.”

“ඔව්, “ අම්මා කියනවා. “ලෙමන් ගහටත් පෝර මදිව කේඬෑරි වෙලා තියෙන්නේ.”

“මම ගිහින් ෂවල් එකත් හොයාගෙන වල හාරන්න පටන් ගන්නම්. දවල් කෑමට කලින් ඇන්ඩිව වලදාගන්න බැලුවොත් හොඳයි, මේ… මේ… ගඳ ගහන්න පටන් ගන්න කලින්.”

BandAidහා, එහෙනම්.” අම්මා කඳුළු පිහදාමින් කියනවා. “ඔයා වල කපන අතරේ, මම කේතලේ ලිපේ තියන්නම්. අපි දෙන්නටම හොඳ කහට සැරට තේ එකක් බිව්වානම් හොඳයි නේද?”

මට අදහාගන්න බෑ මේ වෙන දේවල්. අම්මගෙයි තාත්තගෙයි මොලේ කචල් වෙලාද? යකෝ, මේ මාව මේ ගේ පිටිපස්සෙ නිකම්ම වලලලා දාන්න හදන්නේ? ඇයි හත්තිලව්වේ මේ රටේ මේවට නීතියක් කියලා මොකුත් නැද්ද? යකෝ මාර කෙලියක්නේ මේක!!!

මීලඟ කොටසින්…

තාත්තා ඇන්ඩිව ඇත්තටම වල දායිද?

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking කෙටිකතා එකතුවේ Playing Dead කෙටි කතාවේ සිංහල අනුවාදයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

මගේ ඩෙනිම, මට හිතෙන හැටි සහ HeyDude  කියවන රසික ඔබටත්, සයුරෙන් එතෙර සේවය කරන, වෙසෙන අප වැනිම මවුබිමේ අලුත් අවුරුදු අසිරිය අහිමි  ඔබටත්, සයුරෙන් එතෙර ජීවත් වන ඔබ සැමටත්, සකල ලංකාවාසී ඔබ සැමටත් ශුභ අලුත් අවුරුද්දකට ආසිරි, ඩූඩ්ගෙන්.

 

ටැග:

15 responses to “124.මළා හා සමානයි. / Playing Dead.

  1. ක්සැන්ඩර්

    අප්‍රේල් 12, 2013 at 2:00 පෙ.ව.

    ආව්.. මරු. පොඩි අවුලක් නං තියේ මට මේ කතාවේ. භාෂාව ඕනෑවට වඩා තිරිහන් වෙලා වගේ මට තේරෙන්නේ. සමහර වචන භාවිතා වෙලා තියනවා වැරදිද වැඩිද මන්දා.

     
    • ක්සැන්ඩර්

      අප්‍රේල් 12, 2013 at 12:29 ප.ව.

      සතුට සාමය පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා ඩුඩ් ඇතුළු සැමට. (මං නම් අවුරුදු කවද්ද දන්නෙත් නෑ මේ වතාවේ.)

       
      • henryblogwalker

        අප්‍රේල් 13, 2013 at 8:16 ප.ව.

        මූ කොල්ලෙක් හන්දා පොඩ්ඩක් තිරිහන් වුනාවේ, ඔන්න ඔහේ.

        ක්සැන්ඩරයාටත් සාමය සතුට පිරි සුභ නව වසරක්.

        අර ගලබොඩ බුවා ගැන ආරංචියන් නෑ?

         
        • ක්සැන්ඩර්

          අප්‍රේල් 15, 2013 at 11:37 ප.ව.

          නම්බරේ දෙන්න කියල ගලගොඩ සර් පන්ති කරන තැන ටික්කාට මගේ නම්බරේ දීල තිබ්බා. මු කතාවක්වත් නෑ. දෙවනිපාර ගියාම බැලුවම ටික්කත් නෑ. අනිද්දා ලංකාවට යනවා. මං ගිහින්ම හොයාන එන්නං.

           
  2. ayilas

    අප්‍රේල් 12, 2013 at 8:25 පෙ.ව.

    ෂා නියමයි මචන්, වෙනදා වගේම සුපිරි, මට උඹේ “කැරපොත්තා” පරිවර්තනය මතක් වුනා.

    තවත් දෙයක් මතක් වුනා මචන්, ඉස්සර ඉස්කෝලේ කට් කරන්න හිතුනම රතු ලුණු ගෙඩියක් සුද්ද කරලා කිහිල්ල අස්සේ ගහගන්නවා, මෙන්න ටිකකින් ඇඟ රත්වෙලා, හරියට උන හැදිලා වගේ. වැඩේ ගොඩ එදාට ගෙදර තමයි.

     
    • henryblogwalker

      අප්‍රේල් 13, 2013 at 8:19 ප.ව.

      මමත් ඔය වගේ එකක් අහලා තිබ්බට අත් හදා බලන්න බැරිවුනා.

      අයිලාස් ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් පතනවා.

       
  3. සිතුවම්

    අප්‍රේල් 12, 2013 at 4:36 ප.ව.

    එසේම වේවා ඩූඩෝ..

     
  4. hiruni

    අප්‍රේල් 12, 2013 at 8:24 ප.ව.

    කියන්න වචන නෑ…ඒ තරමටම එක හුස්මට කියවන් ගියා…හරිම ලස්සනයි….😀

    ඉක්මනට ඉතුරු ටිකත් දාන්න ඩුඩ්….අපි ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්….

    චිත්‍රෙ පෙන්නන්නෙ ඇන්ඩිගේ මුන තියනෙ ලෙමන් නේද…ඒ ගහ යට වල දැම්මම හැදුන? හිහ්හිහ් හිහ්😀 චිත්‍රෙත් ශෝක්

    හරිම සරල හරිම ඉහල පරිවර්තනයක්…

    ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න…….

    ඩුඩ් සහ පවුලටත් සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා!!!!! ලැබුවාවු අලුත් අවුරුද්දේ සිතුම් පැතුම් සියල්ල ඉ‍ටු කරගන්න ලැබේවා!!!!😀😀😀

     
    • henryblogwalker

      අප්‍රේල් 13, 2013 at 8:23 ප.ව.

      චිත්‍රෙ ගැන ඔයා කියන දේ හරියටම හරි. මම අදහස් කලෙත් ඒකමයි. ලෙමන් ගෙඩිවලත් ඇන්ඩිගේ මූණුවර පේන්න.

      ඔයාටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වන සුභ නව වසරක් පතනවා.🙂

       
  5. සිඳු

    අප්‍රේල් 13, 2013 at 7:59 පෙ.ව.

    ඇයි අපිට මෙහෙම කරන්නෙ? කියවන්න හම්බුන වෙලාවෙ සේරම ටික කියවලා ඉවර කරන්න බැරි විදියට වැඩ කරන්නෙ?………..😦

     
  6. chandana

    අප්‍රේල් 14, 2013 at 2:28 ප.ව.

    ඔන්න ආයේ වතාවක් කියෙව්වා කෙටියෙන්. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!🙂

     
  7. iamdeejay

    අප්‍රේල් 15, 2013 at 1:22 ප.ව.

    ඩුඩ්,

    මේ ඇන්ඩි ලෙමන් බොන අයත් ඇන්ඩියා වගේ අණ්ඩ වැඩ කරයිද දන්නෑනේ. 😮 එයාටත් මේ වගේම චිත්‍රයක් මැවෙන්න ඇති කිව්වේ නැති වුනාට. 🙂

     
  8. රූ

    අප්‍රේල් 16, 2013 at 2:00 ප.ව.

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඩූඩ්..
    මේ ලැබුනු තෑග්ග නම් ස්තුති කරලා ඉවර කරන්න බැරි තෑග්ගක්..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: