RSS

125. මළා හා සමානයි. / Playing Dead. Part 2

17 Apr
125. මළා හා සමානයි. / Playing Dead. Part 2

පළමු කොටසට මෙතනින්.

තාත්තා කාමරෙන් එලියට යනවා.

අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින්ම, මගෙ ඇරිලා තියෙන ඇස් පිහා‍ටු වහනවා. හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ. මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත්, තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා.

“ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට,” අම්මා කොඳුරනවා.

ටිකකින් අම්මත් එලියට යනවා.

දැන් මට ඇස් අරින්න බයයි, අම්මා එක පාරටම කාමරේට ඇවිත් මම ඇස් ඇරගෙන ඉන්නවා දැකලා හොඳටම බයවෙයි කියලා. එයා අදට බය වෙලා ඉන්න ටික හොඳටම ඇති.

මට වෙලාවකට හිතෙනවා අම්මට ඇත්තම කියලා දාන්නත්.

නමුත් එයාව තවත් බය නොකර, කොහොමද එහෙම කරන්නේ? අම්මා මම මැරිලයි කියලා හිතාගෙන ඉන්න වෙලාවේ, මම එක පාරට නැගිටලා, කුස්සියට ඇවිදගෙන ගිහින්, “අම්මේ මම මැරිලා නෑ. මම ජොලියට එහෙම කලේ,” කියලා කියන එක්ක එච්චර ඇඟට ගුණ වැඩක් කියලා මම හිතන්නේ නෑ.

හැබැයි මම ඇත්ත නොකීවොත් මට වෙන්නේ, අපේම ගේ පිටිපස්සෙ සීතල මඩ වලක වැලලෙන්නයි.

ලෝක විනාසෙ වෙනකල්, පණුවෝ තලු මර මර, මගේ ඇස් බෝල සූප්පු කරයි. මේක කොච්චර පට්ට ආතල් විහිලුවක් වුනත්, ලැබෙන්න යන රිටර්න් එක නම් සෙල්ලං නෑ වගේ. ඕන්නැති සෙල්ලං දාන්න ගිහින් සල්ලං වෙන්න වෙයිද මට?

playing dead original

ලෙමන් ගහ තියෙන්නේ මගේ කාමරේ ජනේලෙ ලඟමයි. මට ඇහෙනවා තාත්තා විස්ල් එකක් හෙම ගහ ගහ, වල හාරන සද්දේ.

විස්ල් එකක් ගහ ගහ?

මම මෙහෙ මැරිලා. තාත්තා සින්දුවක් විස්ල් කරනවා! තාත්තට මොනවා වෙලාද? තාත්තට ඇත්තටම පිස්සුද? සාමාන්‍ය මිනිස්සු විස්ල් කරනවායැ තමන්ගේ පුතා මලාම? ඔක්කොටම ඉස්සෙල්ලා සාමාන්‍ය මිනිස්සු ගේ පිටිපස්සෙ මිනී වලදානවායැ ?

මම තාත්තගෙ විස්ල් එක අහගෙන ඉන්නකොට මට දැනෙනවා ඒකෙ අමුත්තක්.
මේක සාමාන්‍ය විස්ල් එකකට වඩා වෙනස්.
මේක ඊට වඩා සද්දයි.
මේක ඊට වඩා නැටවෙන ටියුන් එකක්.
තාත්තට නැව ගිලුනත් බෑන්චූන්ද?

දැන් මට තේරෙනවා.

මේ දෙන්නා මගේ ලණුව ගිලලා නෑ. මේ දෙන්නා හදන්නේ මට ලණුවක් ගිල්ලවන්න. ඒ දෙන්නට ඕනෙ, ඒ දෙන්න මගේ ලණුව කාලා ඉන්නෙ කියලා, මාව අන්දවන්න. මේ මාව ලෙමන් පළදාවට හොඳ කතාවල් ඔක්කොම නිකං මේ බුලක්.

මේ ඔක්කොම කරන්නේ මාව මට්‍ටු කරන්න.

මාව මට්‍ටු කරන්න එයාලාට ලේසි වෙන්නේ නෑ. අනික, මේ… අර ඌරගේ මාලු ඌරගේ පිටේ තියලා කපන්නනේ හදන්නේ? හුහ්, හිතුවා මදි මාව තම්බන්න!

මුළු උදයක්ම උඩ බලං ඉඳලා, මට ඇති වෙලා.

ඇති යාන්තං, තාත්තා වල හාරලා ඉවරයි වගේ.

අම්මයි, තාත්තයි කාමරේට එනවා. මට හිතා ගත්තෑකි ඊ ලඟට වෙන්න යන දේ.

මම හුස්ම අල්ලාගෙන, නොසෙල්වී ඉන්න උත්සාහ කරනවා. තාත්තා මාව කිහිලි වලට යටින් අත දාලා උස්සද්දි, අම්මා මගේ කකුල් වලින් උස්සනවා. මම නියම මළ මිනියක් වගේ බෙල්ල කඩා වැටිලා පැද්දෙන්න අරිනවා. එයාලා මාව ගේ පිටිපස්සට ගෙනිහින් ලෙමන් ගහ යට බිමින් තියනවා.

තාත්තා වලට බහිනවා මට ඇහි පිහා‍ටු අතරින් පේනවා. තාත්තා ආයෙම මගේ කිහිලි වලට යටින් අත්දාලා, මාව අදිනවා වල ඇතුලට. මගෙ විලුම් දෙක බිම දිගේ ඇතිල්ලිලා ගිහින්, වලේ ගැට්ට පැනලා වලේ අඩියෙ වදිනවා ‘දොහ්’ ගාලා.

වල අඩියේ මඩ පසේ සීතලයි, තෙතමනයයි මගේ පිජාමා එක විනිවිද යනවා මොහොතකින්. තාත්තා දැන් බලාගෙන ඇති මම පරාජය බාර අරගෙන, ඇස් ඇරලා ‘මම විහිලුවක් කලේ,’ කියලා කියනකල්.

බලාගෙන ඉන්න මම කියයිද කියලා!

තාත්තා වලෙන් ගොඩ වෙනවා. අම්මා අර පුංචි නිල් පාට බයිබලය දිගෑරගෙන හරිම පහත් නමුත් ශාන්ත හඬකින් යාඥාව කියන්න ගන්නවා.

“…Ashes to ashes…dust to dust…”

තාත්තා බිම හිටවලා තියෙන ෂවල් එක ලඟම සීරුවෙන් හිටගෙන ඉන්නවා.

දැන් නම් මට හිතෙනවා මම කලේ ගොං වැඩක්ද කියලත්. තාත්තා වලට පස් දාන්න පටන් ගන්නවා. ආයෙ හිතන්න දෙයක් නෑ. ගොං වැඩක් තමයි.

පලවෙනි පස් ටික වැටෙන්නේ මගේ පතුල් දෙක උඩට. ටිකකින්, කකුල් පස් වලින් වැහීගෙන යනවා. ඊ ලඟට බඩ. පපුවට වැ‍ටුන පස් කුට්ට්යෙන් විසි වුන පස්, මගෙ මූණේ කටේ හැම තැනම.

මොකක් හරි අවුලක් තියෙනවා. මගේ රඟපෑමෙ සුපිරි කමට අම්මයි තාත්තයි ඇත්තටම ‍රැව‍ටුනා වෙන්න බෑ. ම්ම්ම්… එහෙම වෙන්න පුලුවන්ද භැබෑට?

ඒක වෙන්න බෑ. දැන් කොයි වෙලේ හරි දෙන්නා මේක නවත්තලා, ‘බක-බක’ ගාලා හිනා වෙන්න ගනී.

ඊ ලඟ පස් කුට්ටිය කෙලින්ම මගේ මූණෙ.

තව එකක්.

දැන් නම් මට මොකුත් හිතාගන්නත් බැරි තරම්. මොකද මම දැන් සම්පූර්ණයෙන්ම වැලලිලා වගේ මට දැනෙන නිසා. හුස්ම ගන්නත් බැරි විදියයි. දැන්නම් බඩුම තමයි.

“හරි හරී, ඔයාලා දිනුම්. මම පරාදයි!” කියන්න මම කට අරිනවා. මොන! ලොකු පස් කුට්ටියක් කට ඇතුලට රිංගන නිසා සද්දෙ පිටවෙන්නේ නෑ.

කලුවරයි.

නිශ්ශබ්දයි.

සීතලයි.

කම්මැලියි.

මම කොච්චර කල් මෙහෙම ඉන්න ඇත්ද?

බඩු පැකට් වුනාවත්ද?

මම මැරිලද?

මම මැරිල නම්, මට තාමත් දේවල් හිතෙන්නෙ කොහොමද?

එක දෙයක් පැහැදිළියි. මට මේකෙන් ගැලවෙන්න ලැබුනොත් – ඒක නම් දැන් කියන්න අමාරුයි – ආයෙ පණ තියෙන කල් මේ වගේ ගොං ආතල් නම් ගන්න යන්නෙ නෑ, නෑමයි!

ඈ! මොකක්ද ඒ? මගේ බඩ උඩ මොකෙක්ද දඟලනවා දැනෙනවා. මෙන්න ඒකා පහුරු ගානවයි හාරනවයි වගේ දැනෙනවා, එකසිය ගානට!

ටිකකින් මගේ බඩ උඩ තිබ්බ පස් වල බර සැහැල්ලු වෙලා යනවා. දැන් මෙන්න ඒකා මගේ පපුව හරිය පහුරු ගානකොට මට තේරෙනවා මේ මොකාද කියලා.

සූටි ඇවිත් මාව බේරා ගන්න! ඌට විතරයි තේරෙන්නෙ මම මැරිලා නැති බව! ඌට ඉව වැටිලා මගේ ඇ‍ඟේ උණුසුම!

පස් වල බර අයින් වෙච්ච ගමන් මම තීරණය කරනවා, වහාම ක්‍රියාත්මක වෙන පරිදි, මේ මැරුණු පාට් එක අතෑරලා දාන්න. මේක මාර කට්ටක් වුනානේ. කොටින්ම ඉස්කෝලෙ යන්න වෙන එකත් මෙච්චරම චාටර් නෑනේ!

මම දුන්න වගේ නැගිටලා වලේ ඉඳගෙන කෑ ගහනවා.

“හරි, මම වැ‍රැද්දක් කලා තමයි. මම ඒක පිළිගන්නවා. ඔයාලා දිනුම්! මම විහිලුවක් කලේ!”

මම මූණෙ ගෑවුණු මඩ පිහදාලා, ඇස් දෙක පාදගෙන, උඩ බලනකොට, මම දකින්නේ අම්මයි තාත්තයි මා දිහා හොල්මනක් දැක්කා වගේ බලං ඉන්න හැටි.

ඒ දෙන්නා ඇත්තටම බය වෙලා. මම මළවුන්ගෙන් නැගිටිනවා දැකලා ඒදෙන්නගේ ඇස්බෝල නළලෙ, කටවල් ඇරිලා නිකටවල් බිම ගෑවෙන සයිස්.

ඔන්න අම්මා යටි ගිරියෙන් කෑගහන්න ගන්නවා. තාත්තා මට ෂවල් එක උස්ස ගන්නවා මට ගහන්න, හරියටම මම අර සොzම්බී කෙනෙක් වගේ.

“තාත්තේ, බය වෙන්න එපා තාත්තේ!” මම තාත්තව කූල් ඩවුන් කරන්න හදනවා. “මම කලේ මෝඩ විහිළුවක්. සොරි, තාත්තේ.”

ෂික්! මම කියන දේ තාත්තට ග්‍රීක් වගේ. මෙලෝ වැඩක් නෑ. තාත්තා තවම, මම ලඟට ආවොත් ගහන්න ෂවල් එක උරුක් කර ගත්ත ගමන්, අම්මත් එක්ක අඩියෙන් අඩිය පස්සට යනවා, වලෙන් ඈතට.

පිස්සු ඩබල් වෙනවනේ! මගේ ජෝක් එක චාටර්ම වෙච්ච හැටි! දැන් ඒක මගේ පස්සෙම පන්නනවා, හි‍ටු කියලා! මාව දැකලා සතු‍ටු වෙන එකම එකා සූටියා විතරයි. ඌ වලේ ගැට්ටේ ඉඳගෙන, මගේ මූණ ලෙවකන්න හදනවා. මම ඌව අහකට තල්ලු කලත්, ඌ ආයෙම, ආයෙම එනවා මූණ ලෙව කන්න. ඌට ඒක සෙල්ලමක් වෙලා. අඩු ගානේ ඌවත් සාමාන්‍ය විදියට හැසිරෙන එක ලොකු දෙයක්.

ඔන්න එක පාරටම තාත්තා ෂවල් එක අතෑරලා, පපුව අල්ලගෙන පාත්වෙනවා. එයාගේ කට තාමත් ඇරිලා. මුලින්ම එයාට දණ ගැස්සෙනවා. ඊට පස්සෙ මුනින් අතට බිම වැටෙනවා…

එක පිම්මට වලෙන් එළියට පනින මම නතර වෙන්නේ තාත්තා ලඟ. මම තාත්තව අනිත් පැත්තට පෙරලලා බලනවා, එයාට හුස්ම වැටෙනවද කියලා.

තාත්තා හුස්ම ගන්නේ නෑ!!!!

අර ප්‍රථමාධාර පන්තියේදි කියලා දුන්න විදියට, මම මගේ අත් දෙක තාත්තගේ පපුව උඩ තියලා, මගේ මුළු බර දාලා තෙරපනවා. තුන් පාරක් පපුව තෙරපලා, එයාගේ නහය ඇඟිලි දෙකකින් මිරිකගෙන, ඔලුව බෙල්ලෙන් පස්සට නවනවා. මම කටට කට තියලා කෘතිම ශ්වසනය දෙන්න හදනකොටම අම්මා බෙරිහන් දෙනවා.

“අහකට පලයං සොZම්බී! එයාව අතෑරපං… මල පිල්ලිය උඹ!”

“මම සොZම්බී කෙනෙක් නෙවෙයි අම්මේ. මම මැරිලා නෑ. මම විහිලුවක්නේ කලේ!”

“උඹ එයාව අල්ලන්නේ නෑ, ලේ උරා බොන වැම්පයර්!”

“මට ඔයත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ අම්මේ! තාත්තව බේරගන්න ඕනෙ. එයාට වෙන පිහිටක් නෑ මේ වෙලාවේ මා හැර.”

මම ගැඹුරු හුස්මක් ගන්නවා. අම්මා ඒ ගමන හිනාවෙන්න ගන්නවා, හිටි හැටියෙම. මේ වෙච්ච දේවල් වලට එයාගේ මොලේ අප්සෙට් වෙලා වගේ. මමයි මේ ඔක්කොටම වග කියන්න ඕනෙ. අම්මට කලින් තාත්තව බේරාගන්න ඕනෙ. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනෙ.

මම තවත් ගැඹුරු හුස්මක් අරගෙන, මගේ කට තාත්තගේ කටට තියන්න හදනකොටම, තාත්තා එක පාරටම පොඩ්ඩක් දඟලලා, මොනවදෝ කියමින් කෙඳිරි ගන්නවා. ඉන් පස්සෙ එයා අමාරුවෙන් කීස් හඬින් හුස්ම ගන්නවා. ඊට පස්සෙ බිම පෙරලමින් හිනා වෙන්න ගන්නවා.

තාත්තා ඇස් ඇරලා බලනවා. ඒ ඇස් කඳුලු වලින් පිරිලා, හිනාවෙලාම.

“මටත් කියනවද මොකක්ද මෙතන තියෙන විහිළුව කියලා,” මම අහන්නෙ බැරිම තැන.

“ආ, නැතුව, නැතුව?” අමාරුවෙන් හිනාව නවත්තාගන්න තාත්තා කියනවා. “අපිත් මේ විහිළුවක් කලේ!”

එහෙම කියලා දෙන්නා එක්කම බිම පෙරලි පෙරලි හිනා වෙන්න ගන්නවා, කලින්ට වඩා හයියෙන්. දෙකට නැමිලා, බඩවල් අල්ලාගෙන හිනා කනවා. හරියටම, පිස්සු හැදිච්ච ජෝඩුවක් වගේ. සූටියාත් බිම පෙරලි, පෙරලි හති හලනවා. හති හල හල බිම පෙරලෙනවා.

මට සිද්ධියෙ බරපතල කම තේරෙන්න ටික වෙලාවක් යනවා.

දෙයියනේ, එයාලා දිනුම්!

මමයි චාටර් වුනේ!

මමයි ඇදගෙන නෑවේ!!

මමයි ලණුව කෑවේ!!!

ඔන්න මගේ ධනාත්මක අහවල් එක මතුවෙනවා.

පෙරළුණු ඔරුවේ මේ පැත්තත් නරක නෑ. කකුල් දෙක දෙපැත්තට දාලා, ආතල් එකේ ඉඳගෙන ඉන්න පුලුවන්නේ!

මීට වඩා නරක යමක් වෙන්න තිබ්බා.

වෙච්ච දේ නරකම නෑ.

මම තෙමිලා සීතලේ වෙව්ල වෙව්ලා ඉන්න බව ඇත්තයි.

මම ඔලුවේ ඉඳන් පතුල් දෙකටම මඩ නාගෙන ඉන්න බවත් ඇත්තයි.

මමම කරපු මෝඩ ජෝක් එක මටම පත්තු වෙලා, මගේ වැඩෙන් අම්මට පිස්සු හැදිලා, තාත්තා මැරුණා කියලා මමම ‍රැව‍ටුන බවත් ඇත්තයි.

හරි හරි ඒ ඔක්කොම ඇත්ත තමයි, මම නෑයි කියන්නේ නෑ.

මගේ ජෝක් එකෙත් මෙලෝ රහක් නෑ තමයි!

ඒ වුනාට, අද මට ඉස්කෝලෙ නොගිහින් ඉන්න ලැබුනනේ. හික් හික්!

ඒකම මදිද?

නිමි.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking කෙටිකතා එකතුවේ Playing Dead කෙටි කතාවේ සිංහල අනුවාදයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , ,

15 responses to “125. මළා හා සමානයි. / Playing Dead. Part 2

  1. hiruni

    අප්‍රේල් 18, 2013 at 12:39 පෙ.ව.

    ඩුඩ් මේ කතාවට කියන්න මට එකම එක ඉන්ග්‍රීසි වචනයයි එන්නේ… Splendid!!!!

    ඇත්තටම ඩුඩ්ගෙ පරිවර්තන ඔක්කොම අතරින් මම කැමතිම මේකට….මේ දවස් ටිකේම මේල් එකේ බල බල හිටියෙ දෙවනි කොටස ඇවිත්ද කියල….. 😀😀😀

    චිත්‍රෙ හරිම තාත්විකයි….

    ඩුඩ් මල්ටිටැලන්ටඩ් කියල අම්ම කියන්නෙ නිකන් නෙමයිනේ…ඇත්තටම අද මට හොදට නින්ද යයි…මේක කියෙව්වනෙ….😀😀😀

    මේ කතාවේ අපි හිතාගන්න එක සැරෙන් සැරේට වෙනස් වෙනවා…..මුලින් හිතුවෙ අම්මල ‍රැවටිලා කියලා…පස්සේ දන්නව කියලා….ආයෙම හිතුනා ‍රැවටිලා වත්ද කියලා….

    ඩුඩ් මේක උපරිමයි 😀😀😀

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2013 at 7:27 පෙ.ව.

      බොහෝම ස්තුතියි ඇගයීමට. චිත්‍රේ ඇන්දේ පුදුම වේගෙකින්. මට පෝස්ට් එකක් පබ්ලිෂ් කරන්න තියෙන අමතර බාධකය තමයි චිත්‍රය. මුල ඉඳන්ම මමයි වරද්දා ගත්තේ.

      ඔව් ඒක තමයිමේ කතාවැඉ තියෙන ලස්සන මම හිතන්නේත්.

      unpredictability.

       
  2. ayilas

    අප්‍රේල් 18, 2013 at 10:14 පෙ.ව.

    //මගේ ජෝක් එකෙත් මෙලෝ රහක් නෑ තමයි!

    ඒ වුනාට, අද මට ඉස්කෝලෙ නොගිහින් ඉන්න ලැබුනනේ. හික් හික්!

    ඒකම මදිද?//

    කොල්ලා දිනුම් තමයි.

     
  3. ක්සැන්ඩර්

    අප්‍රේල් 18, 2013 at 12:41 ප.ව.

    ඒකත් නරක නෑ.. මුණ පුරා පස්.. කට පුරා පස්.. ඒත් කොල්ලා දිනුම්..

     
  4. හිරු

    අප්‍රේල් 18, 2013 at 2:25 ප.ව.

    ඉස්කෝලේ නොයා ඉන්න තියෙනවනං මොනවා කරන්න බැරිද… හි හි….

     
  5. රයිටර්

    අප්‍රේල් 18, 2013 at 6:21 ප.ව.

    මෙන්න කෙටි කතා..සුපිරියි..පංකාදුයි..ඒවගේම පරිවතනයත් කියලා වැඩක් නෑ..

    අපරාදේ ඩුඩ් අයියේ අවුරුදු සීසන් එක පොඩ්ඩක් පහු වෙනකම් ඉඳලා පොස්ට් කළා නම් හරි. ගොඩක් අයට මිස් වෙලා වගේ

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2013 at 7:44 පෙ.ව.

      මාත් පට්ට ලයික් ඇන්ඩිගේ කතාවල් වලට. ආයේ වෙන මොකුත් ඕනෙ නෑ, අවංකවම හිනාවෙන්න පුලුවන් එකම ඇති මට නම්.

      ඇයි බං මේක මගේ ඩෙනිමෙත් යනවනෙ. කට්ටිය ඒකෙ කමෙන්ට් දානවා, ඔය Blogspot Lovers කට්ටිය. එතකොට ෆෝම් පුරව පුරව ඉන්න ඕනෙත් නෑනේ.

       
  6. chandana

    අප්‍රේල් 18, 2013 at 7:05 ප.ව.

    වසවර්ති පැටියාගේ කතා වස්තුව…😀

    ඒක දිහා බලා ඉන්නවා වගේ දැනෙන්නම ලියල තියනවා.

     
  7. blue lotus

    අප්‍රේල් 18, 2013 at 8:49 ප.ව.

    I always forget to comment in this blog. How did u draw that face inside a lemon? The story gives us so many false endings tricking us to the end.Cunning translator!

     
  8. Gold fish

    අප්‍රේල් 26, 2013 at 9:11 ප.ව.

    නරකද පොතක් ලිව්වනම්

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: