RSS

127.මාරක කේක් වට්ටෝරුව 2 – Cake of Doom 2

28 Apr
127.මාරක කේක් වට්ටෝරුව 2 – Cake of Doom 2

මේ කතාව කියවනකොට, ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා.😀

ඔයා අන්තිමට කලේ, ඔලුව අත් දෙකෙන්ම බදාගෙන, හොල්මං වෙලා , ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක්, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි බලා ඉන්න එක.

මතක නෑ? එහෙනම් මෙතන ඔබලා පළවෙනි කොටස කියවලාම එන්නකෝ.
ඉතින්…

*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.
*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම්, යන්න 11ට.


 

 10.


ඔයා ගෙයින් එලියට පැනලා, පිස්සා වගේ පාර දිගේ දුවනවා,  මෙලෝ සිහියක් නැතුව. ආයේ හෝදන්න දෙයක් නෑ, අම්ම දැක්ක ගමන් ඔයා කුස්සියට කරපු අපරාදේ අම්මා ඔයාව මරණ බව  ඔයා දන්නවා. ඔයා කොහෙද මේ දුවන්නෙ කියල හිතන්නවත්, එහෙම හිතන්න කරදර වෙන්න ඕනෙ කමක්වත් ඔයාට නෑ. ඔයා දුවලා, දුවලා, දුවලා, පැය ගානකට පස්සෙ, මහන්සියටම නවතිනවා. දැන් ඔයාගේ  දිව ඇදිලා, කට ඇරිලා, ඔල්මොරොන්දං වෙලා  ඉන්නේ. ඒ මදිවට බල්ලට වගේ හති. ඒත් මදිවට අතරමං වෙලා. නන්නත්තාරයි!

නමුත්, තවම වාසනාව ඔයා සමඟයි. බැංකු කොල්ලකාරයො රංචුවකට ඔයාව මැදිවෙනවා. එයාලා ඔයාව කණ්ඩායමට බඳවාගෙන, ඔයාට පිහිට වෙනවා. ඒ වෙනුවෙන්, එයාලා ඔයාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමයි,  අර බැංකුව කොල්ල කාලා පලා යන කාරෙක, ඒ කියන්නේ getaway car එක එලවන්න කියලයි.  බැංකු මංකොල්ල කන එක නීති විරෝධී බව ඔයා දන්නවා වුනත්,  එයාලට කලගුණ සලකන්න ඔයාට ඕනෙ වෙන නිසා, ඔයා එකඟ වෙනවා.

ඔන්න ඔයා සහබාගි වෙන කුළුඳුල් බැංකු මංකොල්ලය. ඔයා පේව්මන්ට් එක අයිනේ නවත්තලා තිබ්බ කාරෙක, ටයර් කෑගස්සගෙන, දුම් දාගෙන, එන්ජිම ෆුල් රේස් කරලා, එකතැන  පිකප් කරලා, ලෙසටම පාරට විදින කොටම ඔයාට මතක් වෙනවා, ඔයාට කාර් එලවන්න බැරි බව.

සම්පූර්ණයෙන්ම ඔයාගේ පාලනයෙන් තොරව ස්කිඩ් කරන්න ගන්න කාරෙක, ඇදිලා යනවා ඒ වෙලාවෙ පාරෙ යන කට කපලා C3H5N3O9 පුරවපු, දැවැන්ත බව්සර් එකක මූණටම!

ඔව් නයිට්‍රොග්ලිසරීන් තමයි!

නමුත් තවම වාසනාව ඔයා සමඟයි. ප්‍රාතිහාර්යයකට වගේ, බව්සර් එක පුපුරන්නේ නෑ. ඔයායි, ඔයාගේ කණ්ඩායමයි කාරෙකෙන් එලියට බහිනවා, සීරිමක්වත් නැතුව.

ඔන්න එතකොටම පොලීසියෙන් එනවා. ඔයා පැනලා දුවනවා, ඔලුව හැරිච්ච පැත්තට. ඔයා දුවන්නේ, වයසක නෝනා කෙනෙක් පදවන, අර විදුලියෙන් ක්‍රියාකරන ස්වයංක්‍රීය රෝද පු‍ටුවක් ඉස්සරහට.

මෙන්න මෙතනදි ඔයාගේ වාසනාව අහක බලනවා. ඔයා කකුල පැටලිලා වැටෙනවා. වයසක නෝනා ඔයාගේ ඔලුව උඩින් යනවා.

ඔයා මැරෙනවා.

෴ නිමි  ෴
11.


ඔයා ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකයි, බේකින් සෝඩා තේ හැඳි බාගයයි, ලුණු තේ හැඳි කාලයි, කොකෝ පව්ඩර් කෝප්ප බාගයයි, සීනි කෝප්පයයි, බටර් ස්ටික්ස් එකයි තුන්කාලයි, කිරි කෝප්ප එකයි, වැනිලා තේ හැන්දයි, බිත්තර දෙකයි  අඩංගු මිශ්‍රණය, සීලිමෙනුයි, බිත්තිවලිනුයි, කවුන්ටර් මතු පිටිනුයි, පොලොවෙනුයි සුරලා ගන්නවා.

මේ වෙලාවෙ ඔයාගේ උදව්වට එන ඔයාගේ බල්ලා, සූටි, ඌට අහුවෙන, අහුවෙන තැන් ලෙවකාගෙන, ලෙවකාගෙන යනවා. ඊට පස්සෙ වමනේ දානවා. ඔයා සූටිව කුස්සියෙන් එලවලා දානවා. සූටි ආපහු ඇවිත්, වමනේ දාපු ටික ආයෙම කනවා. ඊට පස්සෙ කාපු ටික ආයෙම වමනේ දානවා. ඔයා ඌව ආයෙම එලවලා දානවා.

ඌ ඇත්තටම ගියාද කියලා බලන ඔයා, බේරාගන්න පුලුවන් වෙච්ච  මිශ්‍රණය ඔක්කොම, ලාවට බටර් ගාපු තැටියට දාලා, ටයිමරය විනාඩි 60කට සෙට් කරලා, අවන් එක ඇතුලෙන් තියනවා.

*අවන් එක රත් වෙන්නේ නැතිනම් යන්න 12ට.


*අවන් එක නම් රත් වෙනවා, ඒ වුනාට, මොකක්ද යකෝ අර අවන් එකෙන් එන,  පහුරු ගාන, ‘කූස්-කූස්’ ගාන සද්දෙ කියලා ඔයා කල්පනා කරනවා නම්, යන්න 13ට.


12.

ගොං මෝල් වහන්සේ! ඔයා ගෑස් එක ඇරලා, නමුත් ගෑස් එක පත්තු කරන්න අමතක වෙලා. ඔයා ගිණි කූරක් අරන් ගහනවා ගිණි පෙට්ටියේ, ඒක පත්තු කරන්න, මොකද මේ වෙනකොට මුලු කුස්සියම ගෑස් වලින් පිරිලා තියෙන බව ඔයාට අමතක නිසා.

ගෑස් ගිණි ගන්නවා “පොහ්” ගාලා.
අවන් එක පුපුරනවා “ඩෝං” ගාලා.
කුස්සිය පුපුරනවා “කබූම්” ගාලා.
ඔයාත් පුපුරනවා.

ඉතින් ඔයා මැරෙනවා.

 ෴ නිමි  ෴

13.

 ඔයා දණ ගහගෙන අවන් දොරේ වීදුරුවෙන් එබිලා බලනවා. අම්මා ගහයි කී බෝඩ් එකෙන්! ඒ අවන් එකෙන් එන  පහුරු ගාන කූස් කූස් ගාන සද්දෙ එන්නෙ කේක් එකෙන් නෙවෙයි, සූටියාගෙන්.  ඔයා අහක බලපු වෙලාවක, මේ මෝඩයා අවන් එක ඇතුලට රිංගලා. ඔයා අවන් එකේ දොර ඇරලා පස්සට වෙනවාත් එක්කම, අවන් එකෙන් එලියට පනින සූටියා කුස්සියේ රවුමට, රවුමට දුවනවා රොකට් එකක් වගේ, මොකද උගේ නැට්ටට ගිණි අරන් නිසා.

*සූටියා කලබල වෙලා දඟලද්දී, ඌ ඔයාගේ ඇ‍ඟේ ගෑවෙනවා නම්, යන්න 14ට.

* සූටියා කලබල වෙලා දඟලද්දී, ඌ මේස රෙද්දෙ ගෑවෙනව නම්, යන්න 15 ට


14.


ඔයාට “ඈව්-ඈව්” කියවෙනවා,  කලිසමට ගිණි  ඇවිලෙන නිසා. ඔයා කුස්සියේ සින්ක් එකට දුවනවා වතුර ගහලා ගින්න නිවාගන්න, නමුත් චොකලට් කේක් එකට දාපු සමහර ද්‍රව්‍ය තවමත් ටැප් එකේ කටේ හිරවෙලා, කොන්ක්‍රීට් වගේ ගල් වෙලා තියෙන නිසා, ටැප් එක ඇරියට වතුර එන්නේ නෑ. 

ගිණි දැල් ඔයාව වෙලා ගන්නවා. 

ඔයා මැරෙනවා.

෴ නිමි  ෴

15

ඔයාට දිගින් දිගටම  “ඈව්-ඈව්” කියවෙනවා,  මේස රෙද්දට ගිණි  ඇවිලෙන හැටි කට ඇරගෙන බලා ඉන්න නිසා. ටිකකින්, ඔයා නැප්කින් එකක් අරන් ගින්න නිවන්න හදනවා. මෝඩ ගොං මෝල් වහන්සේ! ඔහොම කරන්න බෑ ඕක. මම කිව්ව නේද! නැප්කින් එකටත් ගිණි තිබ්බනේ, මේ මෝඩ ගොං මෝල් වහන්සේ!

ඔයා නැප්කින් එක බිමට අතාරිනවා. බිම දාලා තියෙන ලිනෝලියම් එක උණුවෙන්න ගන්නවා. ඔයා කුස්සියේ සින්ක් එකට දුවනවා වතුර ගහලා ගින්න නිවාගන්න, නමුත්, චොකලට් කේක් එකට දාපු සමහර ද්‍රව්‍ය තවමත් ටැප් එකේ කටේ හිරවෙලා කොන්ක්‍රීට් වගේ ගල් වෙලා තියෙන නිසා, ටැප් එක ඇරියට වතුර එන්නේ නෑ. ඔයා දුවනවා ලඟම තියෙන නාන කාමරයට. වැඩක් නෑ, ඒක ලොක් කරලා. ඔයාගේ අක්කා, ජෙන්, ෂවර් එකක් ගන්නවා. එයා ඉතින් වරුවකට ඕකෙන් එලියට එන්නේ නෑ, ගේ ගිණි ගත්තයි කිව්වත්. කතාකරලා වැඩක් නෑ. ගෑණු ඔහොම්මමයි.

ඔයා දුවනවා උඩ තට්‍ටුවේ නාන කාමරේට. අම්මෝ ඇති යාන්තං, ඒකෙ කවුරුවත් නෑ. ටැප් ඇර ඇර ඉන්න වෙලාවක් නෑ. ඔයා කෙලින්ම ටොයිලට් බෝල් එක ඇතුලට ඔලුව ඔබලා, ගන්නවා කට පුරෝලා වතුර එකක්.  අරන් ආපහු කුස්සියට දුවලා, මේස රෙද්දටයි, නැප්කින් එකටයි ඇවිලේන ලිනෝලියම් පොළොවටයි, කටේ පුරවගෙන ආපු ටොයිලට් වතුර හලනවා “ප්…ලූ…ලුග්..හ්ක්,” ගාලා.

*ඔයාට ගින්න නිවාගන්න පුලුවන් වුනත්, වැරදීමෙන් ටොයිලට් වතුර ටිකක් පෙවෙනවානම්, යන්න 16ට.


 * ඔයාට ගින්න නිවාගන්න පුලුවන් වෙලා, වැරදීමෙන් ටොයිලට් වතුර ටිකක්වත් පෙවෙන්නෙ නැතිනම්,  යන්න 17ට.

 

16.

ඔයාට ඔක්කාර ගතියක් දැනෙනවා. පුදුමයක්යෑ මෝඩයෝ  ඔයාට ටොයිලට් වතුර පෙවුනයි කිව්වාම. අර එක බින්දුවක, මාරාන්තික විෂබීජ බිලියන් තුනකට වඩා අඩංගු, කිලු‍ටු, ජරා, ගඳගහන, අප්‍රසන්න, භයානක  ටොයිලට් වතුර!

අර මාරාන්තික විෂබීජ ඔයාගේ ආමාශයට ඇතුල් වෙනවා. එතනින් ඇතුල් වෙනවා ඔයාගේ රුධිර වාහිණී පද්ධතියට. දැන් ඔයා හොඳටම සුදුමැලි වෙලා, අප්‍රාණික වෙනවා.

colorchangegreen - Copy

ඔයා මුලින්ම කොළ පාට වෙනවා.
ඊට පස්සෙ නිල් පාට වෙනවා.
ඊට පස්සෙ එක්තරා දුර්ලභ වර්ගයක  අලංකාර දම්පාටකට හැරිලා,
ඔයා මැරෙනවා.

෴ නිමි  ෴

17.

ඔයා දැන් කේක් එක කොහොමද කියලා බලනවා. ඊට පස්සෙ බලනවා සූටියාට කොහොමද කියලා. උගේ නැට්ට තවම ගිණි ගන්නවා. ඔයා සූටියව කරපටියෙන් අල්ලලා නවත්තගෙන, ඌව වඩාගෙන දුවනවා නාන කාමරේට.

ඔයා හදන්නේ, සූටියාගේ නැට්ට ටොයිලට් එක ඇතුලට ඔබලා නිවන්න. නමුත් ඌ හිතන්නෙ ඔයා ඌව නාවන්න හදනවා කියලා. ඌ නාන්න කොච්චර හොරද කියනවා නම්, ඌට නාන්නෙ නැතුව ඉන්න පුලුවන් නම්, නැට්ට ගිණි අරන් තියෙන එකත් ඉවසගෙන ඉන්න පුලුවන් සයිස් එකක් තියෙන්නේ.

ඌ දරදඬු වෙලා, කකුල් දික් කරගෙන ඉන්නවා ඌව ටොයිලට් බෝල් එකට ඔබන්න බැරි වෙන්න. ඔයා මූව බලහත්කාරෙන් ටොයිලට් බෝල් එකටඔ බන්න දඟලන අතරේ, ඔයා සිස්ටන් එකේ මුදුනෙනුත් අල්ලාගන්නවා සපෝට් එකට. අන්තිමේදි ඔයා වැඩේ නම් ගොඩ දාගන්නවා.

සූටියගේ නැට්ට වතුරේ එබෙනවත් එකක්ම, චූස් ගාලා හුමාලය වලාවක් නගිනවා ටොයිලට් බෝල් එකෙන්. නමුත් ඒ එක්කම, ඔයා අතින් වැරදිලා ෆ්ලෂ් බටන් එක එබෙනවා. ටොයිලට් එක ෆල්ෂ් වෙන්න ගන්නවා.

* ටොයිලට් එක ෆ්ලෂ් වෙද්දිත් ඔයාට පුලුවන් වෙනවා නම් සූටියව අල්ලලා නවත්තා ගන්න, යන්න 18ට

* සූටියාව ෆ්ලෂ් වෙලා ගහගෙන යනවා නම්, යන්න 19ට.



18.

ඔයා සූටියාව ටොයිලට් බෝල් එකෙන් උස්සලා අරන් වඩාගෙන් ආපහු හැරෙනවා.  “හෑ….හ්!!!!!!!!!! අම්මා!!!!!! අම්මා හිතන විදියට වගේම, බැලූ බැල්මටත්, ඔයා  අර අහිංසක බල්ලව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරන්න හදලා අතේ මාට්‍ටු!

අම්මා සූටියට පණ වගේ ආදරෙයි. අම්මා කියලා තියෙන්නේ, ඔයා හරි, වෙන කවුරු හරි, බල්ලට හිරිහැර කරලා අහුවුනොත්, ආය කිසි කතාවක් නෑ, හිරිහැර කරලා අහුවෙච්ච එකාව මරනවා කියලා.

අම්මා, එක අතකින් ටොයිලට් බ්‍රෂ් එකයි, අනිත් අතින් එයා ෆ්‍රෙෂ්නර් එකයි  අරගෙන, එයා කියන දේ කරන, කරන දේ කියන, තනි වචනේ ගෑනියක් බව  ඔප්පු කරනවා.

මෙතනදි අර ‘අම්මා ගහයි බැට් එකෙන්’, ‘අම්මා ගහයි කී බෝඩ් එකෙන්’ කියන යෙදුම්වල ඉතිහාසගත වෙනසක් ඇති කරමින්,

අම්ම ගහන්නේ  ටොයිලට් බ්‍රෂ් එකෙන්.


ඔයා මැරෙනවා.


෴ නිමි  ෴

19.



හුටා! ඔයා සූටියාව ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කලා වැරදීමෙන්. අම්මා සූටියට පණ වගේ ආදරෙයි. අම්මා කියලා තියෙන්නේ, ඔයා හරි, වෙන කවුරු හරි, බල්ලට හිරිහැර කරලා අහුවුනොත්, ආය කිසි කතාවක් නෑ, හිරිහැර කරලා අහුවෙච්ච එකාව මරනවා කියලා. එයා විහිලු නෙවෙයි කරන්නේ. එයා කියන දේ කරන, කරන දේ කියන, තනි වචනේ ගෑනියක්.

සූටියව හොයාගන්න වෙනවා. ඔයා එක කකුලක් ටොයිලට් බෝල් එක ඇතුලෙන් තියනවා. ඊට පස්සෙ අනිත් කකුලත් ඇතුලට ගන්නවා. ෆ්ලෂ් බටන් එක ඔබලා ටොයිලට් එක ෆ්ලෂ් කරනවා. ඊ ලඟට ඔයා අධිවේගයෙන්  S බෙන්ඩ් එක හරහාත්, ඊට පස්සෙ දිග පයිප්ප ඔස්සේත් ඇදිලා යනවා හරියට වෝටස්ලයිඩ් එකක යනවා වගේ, නමුත් වෙනස මේක ඊට වඩා දිගයි, ගඳයි. ඔයා සූවර් ලයින් දිගේත් ගිහින් අන්තිමේදි මුහුදට වැටෙනවා. සූටියා පේන්න නෑ.

දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන් ඉන්නේ… දැන් ඔයා ගිලෙන්නෙ ඔන්න මෙන්න. එතකොටම ඔයා දකිනවා තල්මසෙක්.

*තල්මසා ඔයාව ගනන් ගන්නේ නැති නම්, යන්න 20ට..


* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට..


හැබැයි 20ටයි 21ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ අන්තිම කොටස දානකල්. 

ඒයි ඩූඩ්, හොඳ එකා වගේ ඕක ඉක්මනට දාපං බං, මේ කට්ටිය බලං ඉන්නවනේ.

මේ ඩූඩ්, මැරුං නොකා ඕක දාපං, ඈ.

Andy Griffiths –  Just Disgusting – Cake of Doom.

Simulblogged @ මගේ ඩෙනිම for WordPress Lovers.

 

ටැග: , , , ,

6 responses to “127.මාරක කේක් වට්ටෝරුව 2 – Cake of Doom 2

  1. hiruni

    අප්‍රේල් 29, 2013 at 12:00 පෙ.ව.

    ඩුඩ්!!!!!!!!!!!!!! ආයෙම කලානෙ වැඩේ!!!! මේක එනකල් බලා ඉදලා මට නම් හයිපර්ටෙන්ශන් වගේ….

    හරිම ලස්සන කතාව ඩුඩ්…චිත්‍රෙත් ඒ වගේමයි… 😀😀😀

    මම නම් තල්මහගේ පිට උඩ නැගල යනව…..

    මේ කේක් එක හැදුවට වඩා හොදයි නිකන් හිටිය නම් හිහ් හිහ් හිහ් 😀 : D😀

    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න…..

    අර සුටිය වමනෙ කරන එක නම් හරිම අප්පිරියයි…ශිහ් 😀😀😀

     
  2. පිණිබිඳු

    අප්‍රේල් 29, 2013 at 9:46 පෙ.ව.

    ඩූඩ් ඕකෙ අනිත් කොටස දානවද නැද්ද ආ…

     
  3. ක්සැන්ඩර්

    අප්‍රේල් 29, 2013 at 2:42 ප.ව.

    මේකා කොහෙන් ගියත් මැරෙනවානේ දෙය්යනේ..

     
  4. මම

    අප්‍රේල් 29, 2013 at 4:23 ප.ව.

    අම්ම ගහයි ටොයිලට් බ්‍රෂ් එකෙන්…මැරුම් නොකා ඊගාව එක දාන එක තමා ඇඟට ගුණ ඈ

     
  5. iamdeejay

    මැයි 17, 2013 at 12:17 පෙ.ව.

    මේ කේක් එකක් හන්දා ඇන්ඩියා විදින කරදරයක්! :-O

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: